ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

බෞද්ධ උපාසිකාව කෙසේ විය යුතුද?

මාකඳුර ශ්‍රී සරණංකරාරාමවාසී 
හීනටිපනේ සීලරතන හිමි

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වූයේ භික්ෂු, භික්ෂුණී, උපාසක ,උපාසිකා යන සිවු කොටසය. ලොව තුළ බුදුසමය ස්ථාපනය වීමත්, චිරස්ථායිවීමත් උදෙසා මේ සිවු පිරිස වෙත භාරදුර වගකීමක් පැවරෙන බව බුදුරදුන්ගේ අදහස වූ බව පෙනේ. සිවුපිරිසෙන් උපාසිකා පිරිස කවරාකාර සන්නද්ධභාවයකින් යථෝක්ත වගකීමට උරදිය යුතුද? යන්න බුදුරදුන් මාරයා සමඟ වදාළ බුදුවදනකින් හඳුනාගත හැකිය.
පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවිකාවන් වන උපාසිකාවෝ වියත් විනීත විසාරද බහුශ්‍රැත ධර්මධර, ධර්මානුධර්මයන්හි පිළිපන් සාමීචියෙහි පිළිපන්, අනුධර්මචාරි වූවෝ නොවෙත්ද? තථාගත ධර්මය උගෙන ප්‍රකාශ නොකරෙත්ද? දේශනා නො කෙරෙත්ද? නො පනවත්ද? නො පිහිටුවත්ද? විවරණය නො කෙරෙත්ද? බෙදා නො දක්වත්ද? නොගැඹුරු නො කෙරෙත්ද? උපන් පරවාදයන් ඇත්නම් කරුණු සහිතව එහි වරද පෙන්වාදී නිවනට නැඹුරුකොට දේශනා නොකෙරෙත්ද? ඒ තාක්කල් පිරිනිවන් නොපාන්නෙමි.
මෙහිදී උපාසිකාව යනු කවරෙක්දැයි පළමුව හඳුනාගැනීම ඉතා අවශ්‍යය. උපාසිකා යනු පොහොයට සිල්සමාදන්වන වයෝවෘද්ධ කාන්තාවයන්ය. යන සමාජ ව්‍යවහාරයට සීමා නොවේ. බාල තරුණ මහලු භේදයක් නැතිව තෙරුවන් සරණගිය සියලුම කාන්තාවෝ උපාසිකාවෝය. ඔවුන් සමාජය තුළ සමාජ පන්ති, වෘත්තීය ආදි විවිධ වෙනස්කම් ඇත්තන් විය හැකිය.
බෞද්ධ උපාසිකාවක වෙතින් බුදුරදුන් අපේක්ෂා කළ පළමුවැනි ගති ලක්ෂණය වන්නේ ඔවුන් ව්‍යක්ත විය යුතු බවයි. මේ වූ කලී භාෂාමය ව්‍යක්තියට සීමා වූවක් නොවේ. සමාජය තුළ හෝ නිවසේ හෝ පැන නැගෙන අර්බුදයකදී බුදුසමයට අනුරූප වු විසඳුම තම ශක්ති ප්‍රමාණයෙන් පහදා දීම ඇයගේ වගකීමයි. බුදුසමයෙන් ලබාගත් දැනුම මත ඇයගේ විසඳුම යෝජනා කිරීමයි. සතෙකුට හිංසාකරන හෝ අන් සතු දෙයක් සොරකම් කරන කුඩා දරුවන් පිරිසකට එසේ නොකළ යුතු බව යෝජනා කොට ඉන් වළක්වන කුඩා දැරිය වියත් උපාසිකා ලක්ෂණ පිළිබිඹු කරයි. කොසොල් රජු සතුන් ඝාතනය කොට මාහායාගයක් කිරීමට සැරසෙද්දී මල්ලිකා බිසව මැදිහත්ව රජුට කරුණු වටහාදී එය වැළැක්වීමට ක්‍රියා කළහ.
විනීතභාවයද උපාසිකාවන් තුළ විද්‍යමාන විය යුතු චරිතස්වභාවයකි. උපාසිකාවක තුළ ධර්මානුකූල ශික්ෂණයක් තිබිය යුතුය. පන්සිල් දිවිහිමියෙන් සුරැකීම, සදාචාර සීමාවන්ගෙන් ඔබ්බට ගිය ඉඳුරන් පිනවීමට උත්සුක නොවීම, දස පුණ්‍යක්‍රියාවන්හි යෙදීම වැනි ප්‍රතිපදා මගින් ධර්මිෂ්ඨභාවයට පත් කාන්තාවක් සැබවින්ම විනීතය. විෂමාචාරවලින් කිලිටි වූ ස්ත්‍රී සමාජය තුළ ඇයගේ විනීතභාවය බුදුසමයට ගෞරවනීය බවක් ගෙන එයි. ශිෂ්ට සම්පන්න බව නම් මේ යයි වක්‍රව කියාපායි. මණිකාර කුළුපග තිස්ස කථාවේ මැණික් සැට්ටරා දොළොස් අවුරුද්දක් තම නිවසට පිඬු සිඟා වැඩි තිස්ස තෙරුන් වහන්සේ කෙරෙහි සැක උපදවා උන්වහන්සේට වධ හිංසා කිරීමට පෙළඹුණද ඔහුගේ සැදැහැවත් බිරිය තම විශ්වාසය බිඳ ගත්තේ නැත. ඒ ඇය ධර්මයෙන් ශික්ෂිත විනීත කාන්තාවක් වූ බැවිනි.
බෞද්ධ කාන්තාවක් විශාරද විය යුතු බවද එම දේශනා පාඨයේ දැක්වේ. බුදුරදුන්ගේ වෛශාරද්‍ය ගුණය පිළිබඳ ධර්මප්‍රදීපිකාවේ විස්තර වන්නේ බුදුරදුන් ‘සම්මා සම්බුද්ධ ‘ බවත් ආශ්‍රවයන් ඉතිරි නොකොට ක්ෂය කළ බවත් බුදුරදුන් පෙන්වා දෙන මාර්ගය ස්වර්ගමෝක්ෂ දෙකට හේතුවන බවත් එම ධර්මය නිවන් පිණිස හේතුවන බවත් කිසිදු දෙවියකුටවත් , මිනිසකුටවත් , එසේ නොවේ යයි අභියෝගයට ලක් කළ නොහැකි බවය. මේ වෛසාරද්‍ය කරුණු පැකිලීමකින් තොරව විශ්වාස කිරීම උපාසිකා ස්වභාවය විය යුතුය. තම විශ්වාසයෙහි සැකසංකා ඇතිකරගැනීම හෝ පටු ලාභප්‍රයෝජන උදෙසා එම විශ්වාසය පළුදු කර ගැනීම උපාසිකාවකට නොගැලපෙන්නකි. විසාරද ගුණවත් උපාසිකාවක් පුර්වෝක්ත විශ්වාසය මත පිහිටමින් හැම තන්හිම පෙනී සිටී.
උපාසිකා තොමෝ බොහෝ ඇසු පිරූ තැනැත්තියක් විය යුතුය. ඉන් අදහස් කරන්නේ ඇය ධර්මශ්‍රවණය කරන, දහම් පොතපත ඇසුරු කරන, ඒ තුළින් දියුණු කරගත් ධර්මඤාණයක් ඇත්තියක විය යුතු බවයි. ගිහි බෞද්ධ කාන්තාවක විසින් දතයුතු ධර්ම කරුණු අසා දැනගෙන තිබීම උපාසිකා ලක්ෂණ දියුණු පමුණු කරගැනීමට උපකාරි වේ. දුසිරිත්වලින් ඈත්ව මව්පියන්, ස්වාමිපුරුෂයන්, දූදරුවන්, යහළුයෙහෙළියන් අයත් සමාජය සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට සිඟාලෝවාද සූත්‍රය, භාර්යාවරුන්ගේ විවිධතාවන් දැක්වෙන සත්තභරියා සූත්‍රය, විශාඛා මල්ලිකා ආදි බෞද්ධ උපාසිකාවන් පිළිබඳ තොරතුරු, ජාතකකතාවල එන බිරින්දෑවරුන් හා කාන්තාවන් පිළිබඳ තතු, තෙරණිවරුන් ගැන විස්තර ඉගෙන ගැනීම උපාසිකා ජීවිතයකට ඉතා වැදගත්ය. ගැඹුරු තථාගත ධර්මය මැනවින් හදාරා අන් අයටද දේශනාකිරීමට හැකියාව තිබුණු ඛුජ්ජුත්තරා උපාසිකා චරිතය මෙහිදී ඉතා ආදර්ශමත්ය.
ධාර්මික ප්‍රතිපදාවන්හි පිහිටීම උපාසිකා චරිතය සෝභාසම්පන්න කිරීමට හේතු වෙයි. භික්ෂුභික්ෂුණීන්ට සේම ස්ත්‍රී පුරුෂයන්ටද නිර්දේශිත ධර්මානුකූල ප්‍රතිපදා බුද්ධවචනයෙහි ඇතුළත්ය. පන්සිල්, අටසිල් ආදි චරණධර්මත් දානාදී පුණ්‍යකර්මත් භාවනා වැඩීම පිළිබඳ උපදේශත් ඒ අතර වේ. ඇතැම් සදාචාරාත්මක පිළිවෙත් ඍජුව සඳහන් නොකළත් බෞද්ධ ආචාරධර්මවලට අනුව උපකල්පනය කරගත යුතුය. ආගමික ස්ථානයකට යාමේදී සුදුසු ඇඳුම් පැළඳුම්, තමන්තුළ පැවතිය යුතු ආචාරශීලි පැවතුම්, කතාව, සිනාව ආදි කරුණු අනුධර්මචරණ සේ ගත හැකිය.
සාමීචිප්‍රතිපදාව යනු සමාජය තුළ සක්‍රීය භූමිකාවක් විද්‍යමාන කිරීමයි. සංකීර්ණ වූ සමාජය තුළ ආත්මපාරිශුද්ධිය සුරක්ෂිත කරගනිමින් සමානාත්මතාව නිහතමානී බව අර්ථචරියාව වැනි සාරධර්ම සජීවිකරණය කරමින් ගෞරවනීය වූත් සමාජශීලි වූත් ජීවිතයක් ගෙවීමය. විශාඛා සිටුදියණිය සාකේත නගරයේ සිට සැවැත් නුවරට ආ දිනයේම තමන් ලත් තුටු පඬුරු නුවරවාසින් වෙත බෙදා දෙමින් පැමිණියවුන්ට වයස අනුව නෑකම් ආරෝපනය කොට කතා කරමින් එක් දවසකදීම මුළු නගරවාසීන්ම නෑහිතවතුන් බවට පත්කරගත් බව සඳහන් වේ. තවත් වරෙක ඕ මත්පැන් ලොල් වූ කාන්තාවන් පන්සියයක් දෙව්රම වෙත කැඳවාගෙන ගොස් බණ ඇස් වූවාය. සමාජය තුළ සක්‍රිය භූමිකාවක් ඉදිරිපත් කිරීමෙන් උපාසිකාවක උරුමකර ගන්නා ගෞරවය හා අභිමානය බුදුසමයට මහත් රුකුලක් බව කිවයුතුය.
පූර්වොක්ත ලෙස සන්නද්ධ වූ උපාසිකාවක විසින් ස්වකීය ආචර්යවාදය මැනවින් උගෙන කියාදීම තේරුම්කරදීම ප්‍රස්තුත කාරණාවන්හිදීද ධර්මානුකූල අර්ථවිවරණ ලබාදීම හා නොගැඹූරු කොට ඉදිරිපත් කිරීම කළ යුතුය. සියලුකාන්තාවන් මහාධර්මදේශකයන් විය යුතු බවක් මින් අදහස් නොකෙරේ. තමන්ගේ දැනුම් සීමාවන් තුළ සිටිමින් කෙනෙකුට බුද්ධ මතය පැහැදිලිකරදීමේ සරල වගකීම ඇයගෙන් අපේක්ෂා කළ බව පෙනේ.
ලෝකය විවිධ ආගමික, දේශපාලනික ,ආර්ථික ආදි මතවාදයන්ගෙන් පිරී තිබේ. බෞද්ධ නොවන හා ඇතැම්විට බෞද්ධ සමාජය තුළද ධර්මවිරෝධී විග්‍රහයන් බොහෝ අවස්ථාවලදී අසන්නට ලැබේ. පදනම් විරහිත විවේචනයන්ට බෞද්ධ සංකල්ප පාත්‍ර වන අවස්ථා අනල්පය. මේවාහිදී නෑසූකන්ව සිටීම බෞද්ධ ශ්‍රාවකයකුට සුදුසු වන්නේ නැත.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සෝතාපන්න වන්නේ භාවනාවෙන්ද? ධර්ම ශ්‍රවණයෙන්ද?


කිවුල්දෙණියේ විජිතනන්ද හිමි

බුද්ධ ශාසනය පරියාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන කාරණ තුනෙන් යුක්‌තය. මෙය ත්‍රිවිධ කල්‍යාණ ශාසනය ලෙසද නම් කෙරේ. තථාගතයන් වහන්සේ හතලිස්‌පස්‌ වසක්‌ පුරා දෙසා වදාළ අසූහාරදහසක්‌ ධර්මස්‌කන්ධය පරියාප්තියයි. ඒ අනුව සීල, සමාධි, ප්‍රඥ වැඩීම ප්‍රතිපත්තිය වන අතර ඒ තුළින් ලැබෙන ප්‍රතිඵලය ප්‍රතිවේධ ශාසනයයි. 

'පටිපත්ති මූලකං මහාරාජ ඉමං සත්ථු ශාසනං' මහරජ ශාතෘ ශාසනය ප්‍රතිපත්තිය මුල්කොට පවතී. ප්‍රතිපත්ති (ප්‍රති + පත්ති) යනු ප්‍රත්‍ය වන රාගාදී ක්‌ලේෂයන්ට ප්‍රතිපක්‌ෂව සිතපුරුදු කිරීමයි. විදර්ශනා වැඩීම ලෙස හඳුන්වන්නේ මෙයයි. තථාගතයන් වහන්සේට සැබෑ ලෙස ගරු කිරීම, සත්කාර සම්මාන කිරීම, වැඳීම පිදීම සිදුවන්නේ ආර්ය මාපිය අනුගමනය කිරීමෙනි. (පරමාය පූජාය පටිපත්ති පූජාය).

ප්‍රතිවේධ ශාසනයේ ආරම්භය සිදුවන්නේ සෝතාපන්න වීමෙනි. සෝවාන්වීම පිළිබඳ වර්තමාන ගිහි පැවිදි සමාජයේ ඇත්තේ වැරැදි දුර්මතය. වර්තමානයේ බහුතරයක්‌ භාවනා කරගෙන යනවිට සෝවාන්විය හැකි යෑයි සිතාගෙන සිටී. මෙය සම්පූර්ණයෙන්ම බුද්ධ වචනයට පටහැනිය. ත්‍රිපිටකාගත දේශනාවල භාවනාවෙන් සෝවාන් වන බවක්‌ හෝ බවුන් වඩා සෝවාන්වූ කිසි කෙනෙක්‌ ගැන සඳහන් නොවේ.

සෝතාපන්න වීම යනු කෙලෙසුන්ගෙන් සිත නිවා ගැනීමට ආර්ය මාර්ගය වැඩීමට පෙර ධර්ම ශ්‍රවණයෙන් මුලින්ම ලැබෙන දර්ශන ඥනයයි. චතුරාර්යය සත්‍යය පිළිබඳ මූලික ප්‍රඥව සෝවාන් වනවිට ලැබේ. කොළඹට යැමට අවශ්‍ය කෙනකුට එහාට යන්නේ මේ ආකාරයටයි කියා පළමුව වැටහීමක්‌ ඇතිවිය යුතුය. වැටහීම ඇතිකර ගැනීම කොළඹට යාම නොවේ. මූලික වැටහීම ඇතිකර නොගෙන කොළඹට යාමටද නොහැක. පළමුවෙන් වටහාගත යුතු කරුණ ඇතිකරගත් කෙනාට තව කෙනකුගෙන් මග ඇසීමට අවශ්‍යතාවක්‌ද නොමැත. මෙය සම්මත සිදුවීම්වලටද පොදුය.

නිවන් අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වන කෙනා පළමු සිත කෙළෙසුන්ගෙන් නිවාගන්නේ මේ ආකාරයටයි කියා දැකිය යුතුය. එම දර්ශන ඥනය ලෝකෝත්තර සම්මා දිට්‌ඨිය ලෙසනම් කෙරෙන අතර සෝතාපන්න වීම ලෙස හඳුන්වන්නේත් මෙම අනාර්යය සම්මා දිට්‌ඨියයි. කොළඹට යන ක්‍රමය දැනගත් විට එය තව කෙනකුගෙන් අසා දැනගැනීමට අවශ්‍ය නොවන්නා සේ සෝතාපන්න වූවකුට නිවන් අවබෝධය පූර්ණ කර ගැනීමට උදව් අවශ්‍ය නැත. 'අපරපත්තෝ සත්ථු ශාසනං' ඔහු පර ප්‍රත්‍යය නැතිවම ඉතිරි මාර්ගඵල අවබෝධ කර ගනී. 'නියතෝ සම්බෝධි පරායනෝ' යනුවෙන් ඔහු සතර අපායට නොවැටෙන නියත වූ සම්බෝධිය හෙවත් අවබෝධය කරාම ගමන් කර සසර දුක නිවාගනී. සම්මා දිට්‌ඨියට පත්වූ කෙනාට ඉතිරි මගඵල ලැබීමට පර ප්‍රත්‍ය අත්‍යවශ්‍ය නොවුණාට කල්‍යාණ මිත්‍ර ඇසුර, ධර්ම ශ්‍රවණය අරිහත්වය දක්‌වා උපනිශ්‍රයවන බව සූත්‍ර දේශනාවල සඳහන් වේ. සෝවාන්වූ කෙනෙක්‌ නැවත භවයක ඉපදුණොත් ඔහු ජාත සෝතාපන්නයෙක්‌ ලෙස හඳුන්වන අතර ඔහු එය නොදැන සිටියත් ධර්මතාවයෙන්ම විදර්ශනා වැඩී ඉතිරි මගඵල පූර්ණයකර ගනී.

සම්මා දිට්‌ඨි යනු දැක්‌මකි. සං + මා + දිට්‌ඨි යන වචනයේ සං යනු අවිද්‍යා තෘෂ්ණා දෙකට සම්බන්ධවී ලොව සාරයි, සැපයි කියා මුලාවෙන් සසරට බැඳීමයි. 'මා' යනු සසරට එසේ නොබැඳීමයි. කෙලෙසුන්ගෙන් සසර බැඳෙන ස්‌වභාවයෙන් මිදීම සඳහා දැකිය යුත්ත ආර්ය සම්මා දිට්‌ඨියයි. වර්තමානයේ සම්මා දිට්‌ඨියට, යහපත් දැකීම, නිවැරැදි දැකීම, හරි දැකීම කියා අර්ථ දී ඇතත් මෙසේ කී තරමින් සම්මා දිට්‌ඨියේ දහම් අර්ථය මතු නොවේ.

'ඉමේච සුභද්ද භික්‌ඛු සම්මා විහරෙය්‍යං ආසුඤ්ඤේ ලෝකේ අරහන්තෙහි අස්‌ස්‌ යන බුද්ධ වචනයෙන් භික්‌ෂුන් නිවැරැදි ආර්ය මාර්ගයේ ගමන් කරන තාක්‌ ලොව රහතුන්ගෙන් හිස්‌ නොවන බව සඳහන් වේ.බුද්ධ වචනය එසේ වුවත් වර්තමානයේ අරිහතුන් වහන්සේලා නොව ඉන් මෙහා මගඵල ලාභීන්ගෙන්ද සසුන හිස්‌වී ඇත. ඉහත බුද්ධ දේශනාව අනුවඊට හේතුව නම් භික්‌ෂුන් ආර්ය මාර්ගයේ නොයෙදීමයි. අවංකවම නිවන් අවබෝධයට පැවිදි වෙන අයටද සද්ධර්ම ප්‍රතිරූපකවලින් ධර්මය යටපත් වීම නිසා නිවන් මග වැසී ඇත.

පෘථග්ජන යන වචනය ගැන සමාජයේ ඇත්තේද නිවැරැදි අර්ථකථනයකි. ධර්මය තුළ පෘථග්ජනයා විග්‍රහ කර ඇත්තේ වෙනත් ආකාරයකටය. බුද්ධ ප්‍රසාදයත්, ධර්ම ප්‍රසාදයත්, සංඝ ප්‍රසාදයත්, ආරියකාන්ත සීලයත් පෘථග්ජනයාට නැති අතර ඔහු ප්‍රමාද විහාර ඇත්තෙක්‌ බව සංයුත්ත නිකායේ නන්දිය සූත්‍රයේ පෙන්වා ඇත. ඒ වාගේම යමෙකුට ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥ යන පංච ධර්මයන් මුළුමනින්ම නැතිද ඔහු පෘථග්ජනයෙක්‌ බවයි බුද්ධ දේශනාවල හඳුන්වා ඇත්තේ. ධම්ම චක්‌ක සූත්‍රයේ නාම සුඛයන්හි ඇලී වාසය කරන්නා පෘථග්ජනයෙක්‌ බවත්, අනාර්යයෙක්‌ බවත් 'හීනෝ ගම්මෝ පෝථුප්ජනිකෝ අනරියෝ අන‍ෙථ සංහිතෝ යන දේශනයෙන් පැහැදිලි කළහ.

'සුතවා අරිය සාවකෝ අස්‌සුතවා ප්‍රථු-ජනෝ' යන දේශනයෙන් ධර්මය මැනවින් නොඇසූ, ධර්මය පිළිබඳ දැනුවත් නොවූ කෙනා පෘථග්ජනයෙකි. ධර්මය අසා ශ්‍රැතවත් භාවය ඇති කෙනා අනාර්ය ශ්‍රාවකයෙකි. ප්‍රථම ආර්යය ශ්‍රාවකත්වය හෙවත් සෝතාපන්නවන්නේ ධර්ම ශ්‍රවණයෙන් බව මෙම බුද්ධ දේශනාවෙන් සනාථ වේ. කනටද සෝත කියනු ලැබේ. කනට ධර්මය පැමිණීම සෝතාපන්න යන්නෙහි තේරුමයි. (සෝත ආපන්න). මෙම අර්ථයෙන්ද බණ අසාම සෝවාන් වන බව සනාථ වේ. ආර්යයන් නොදකින, ආර්ය ධර්මය නොදැක්‌ක, ආර්ය ධර්මයෙහි නොහික්‌මෙන, ආර්ය ධර්මයෙහි අදක්‌ෂ කෙනා අශ්‍රැතවත් පෘථග්ජනයෙකි. (අස්‌සුතවා පුථු-ජනෝ අරියානං අදස්‌සාවි අරිය ධම්මස්‌ස අකෝවිදෝ, අරිය ධම්මේ අවිනීතෝ - මජ්ධිම නිකාය සබ්බාසව සූත්‍රය)

පෘථග්ජනයා මෙබඳු ආකාර කෙනෙක්‌ නම් එවැනි අයට නිවැරැදි මාර්ගයක්‌ දේශනා කළ නොහැකි වන අතර එවැනි පෘතග්ජනයන්ගෙන් ධර්ම දේශනාවලින් ශ්‍රාවකයාටද සිදුවන යහපතක්‌ නොමැත. වර්තමානයේ ශාසනයට සිදුවීඇත්තේ මේ ෙ€දවාචකයි. ඒ නිසා වසර දහසකටත් අධික කාලයක සිට සසුන පිරිහී ආර්ය උතුමන්ගෙන් තොර නාමික අන්ධ බාල පෘථග්ජන ගිහි පැවිදි නාමික බෞද්ධ සමාජයක්‌ ඉතිරිවී ඇත.

ආර්ය කල්‍යාණ මිත්‍රයකුගෙන් ලැබෙන චිත්ත ශාන්තියත් උන්වහන්සේගේ කටහඬ තුළින් ඇතිවන වීතරාගී, වීත දෝසී, වීත මෝහී ස්‌වභාවයත් නිසා ධර්ම ශ්‍රවණය කරන තැනැත්තාගේ සිත ශාන්ත භාවයට පත්වේ. ඒ නිසයි මගඵල ලාභියකුගෙන් බණ අසා තවත් කෙනෙක්‌ මගඵල ලබනවා කියන්නේ.

පෘථග්ජන දේශකයන් බණ කියන විට ඒ වීතරාගී, වීත දෝසී, වීත මෝහී චිත්ත ශාන්තිය ශ්‍රාවකයාට නොලැබේ. ඒ නිසා එවැනි අයගෙන් බණ අසා තව කෙනකුට ධර්මාවබෝධයක්‌ නොලැබේ. පෘථග්ජනයා බණ කියන්නේ පොතපතින් ලබාගත් කටපාඩමකින් මිස ධර්මාවබෝධයක්‌ ලබා නොවේ. ඒ නිසයි වර්තමානයේ කෙතරම් ධර්ම දේශනා සුලබව තිබුණත් ධර්මාවබෝධයෙන් යුතු ආර්ය සමාජයක්‌ බිහි නොවන්නේ.

අදත් ආර්ය උතුමන්ගෙන් ධර්ම ශ්‍රවණය කිරීමට ලැබේ නම් මගපල ලැබීමට හේතු වාසනා ඇති විශාල දහම් පිපාසිත පිරිසක්‌ ගිහි පැවිදි දෙපාර්ශ්වය තුළම සිටී. වී වල පැළවෙන ශක්‌තිය ඇතත් අටුවේ ඇති තාක්‌ පැළ නොවේ. සකස්‌ කළ සුදුසු බිමක දැමූ විට සමනන්තරය සකස්‌වීමෙන් පැළවීම සිදුවේ. එමෙන් නිවන් දැකීමට හේතු වාසනා ඇති අයට ආර්ය උතුමන් ධර්ම දේශනා කළොත් මගඵලලාභී දැහැමි සමාජයක්‌ බිහි වේ. එසේ නොවන තුරු ශාසනයේ දියුණුවක්‌ බලාපොරොත්තු විය නොහැක.

ආර්ය මාර්ගය ආරම්භ වන්නේ සීලයෙන් කියන බොහෝ දෙනෙක්‌ සිතා සිටියත් එය නිවැරැදි නොවේ. නිවන් මගේ පටන් ගැන්ම සම්මාදිට්‌ඨියයි. මෙය අයිතිවන්නේ ප්‍රඥවටයි. මූලික ප්‍රඥව පහළ වූ කෙනකුටයි සංකල්ප, වචන, ක්‍රියා ආජීවය සකස්‌ වනනේ. සම්මා දිට්‌ඨියෙන් පසු සංකප්ප, වංචා, කම්මන්ත, ආජීව ආදී අංගපෙළගස්‌වා ඇත්තේ ඒ නිසාය. මේවා පවා අද පටලවාගෙන නිවන් මගේ ආරම්භය සීලය කියා බහුතරයක්‌ සිතා සිටින බව පෙනේ.'පඤ්ඤවතෝ අයං ධම්මෝ' කියා වදාළාමිස 'සීලවතෝ අයං ධම්මෝ' කියා වදාළ බුද්ධ දේශනාවක්‌ පෙළ දහමේ නැත.

තථාගතයන් වහන්සේ දෙසා වදාළ ශ්‍රී සද්ධර්මය තුළින් ආර්ය මාර්ගය දියුණු කර ගැනීම සඳහා අනිවාර්යයෙන් වැඩියයුතු ධර්ම කාණ්‌ඩයක්‌ වන්නේ සත්තිස්‌ බෝධි පාක්‌ෂික ධර්මයන්ය. මේ ධර්ම වැඩීමට පෙර මූලිකව දැනගත යුත්තේ අනිච්ච, දුක්‌ඛ, අනත්තයන තිලකුණු ධර්ම හා චතුරාර්ය සත්‍යයේ දුක්‌ඛ, සමුදය, නිරෝධය යන ආර්ය සත්‍ය තුනය. මෙම ධර්ම බෝධි පාක්‌ෂික ධර්මවලට ඇතුළත් නොවේ.චතුරාර්යය සත්‍යයයේ මාර්ගය සත්‍යය පමණයි එයට ඇතුළත් වී ඇත්තේ. මේ කරුණු ඇතුළත් නොවීමටද හේතුවක්‌ තිබේ. පළමුවෙන් ධර්ම ශ්‍රවණයෙන් අවබෝධ කළයුතු කොටසක්‌ තිබේ. ඒ තමයි ත්‍රිලක්‌ෂණය හා චතුරාර්යය සත්‍යයේ මුල් සත්‍යය තුන. මාර්ග සත්‍ය වැඩිය යුත්තකි. භාවනාව යනු එයයි. දුක පිරිසිඳ දත යුතුයි. සමුදය පහකළ යුතුයි. නිරෝධය සාක්‌ෂාත් කළ යුතුයි කියා ධර්ම ශ්‍රවණයෙන් වටහාගත යුතුය. තිපරිමට්‌ටමේ සත්‍යය ඥනය ලෙස සඳහන් වන්නේ එයයි. මෙම සත්‍ය ඥනය ලැබූ කෙනා තමා අරිඅටඟි මග භාවනා වශයෙන් වඩමින් ඇලීම්, ගැටීම් දුරු කිරීමට පටන්ගන්නේ ඒ නිසයි. චතුරාර්යය සත්‍යයේ මුල් සත්‍යය තුන බෝධි පාක්‌ෂික ධර්මවලට ඇතුළත් නොවන්නේ,


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මඟඵල ලාභියෙකු හඳුනා ගන්නේ කෙසේ ද?


මාර්ගඵල අවබෝධය පිළිබ`දව සමාජයේ විවිධ මත පවතියි. එසේම මාර්ගඵල අවබෝධය සමාජයේ ජනප්‍රිය මාතෘකාවකි. පාලි ත්‍රිපිටක බුදු දහම පිළිබ`දව ගැඹුරු ප්‍රමාණික උගත්කමක්‌ ඇති අය මෙන්ම එසේ නැති අය ද මේ පිළිබ`දව විවිධ අයුරින් දොඩමළු වෙති. නූතන සමාජය විද්‍යාව හා තාක්‌ෂණ අංශ දෙසට නැඹුරු වූ අධ්‍යාපන පසුබිමක්‌ ඇති සමාජයකි. එයට හේතුව ඉංග්‍රීසි භාෂා මාධ්‍ය විද්‍යා තාක්‌ෂණ නැඹුරුවූ වර්තමාන අධ්‍යාපන පද්ධතියයි. එය වෘත්තීය කේන්ද්‍රීය අංශයට නැඹුරු කරවීමට එලෙස සකස්‌ කර තිබේ. පාලි ත්‍රිපිටක බුදු දහම පෙරදිග අධ්‍යාපන පද්ධතිය මත පදනම්ව ඇත. මාර්ගඵල අවබෝධය නම් බෞද්ධ ඉගැන්වීම්වල ස`දහන් අවබෝධයේ ඉතා ගැඹුරු මානසික මට්‌ටමක්‌ වෙත ප්‍රවේශ වීමයි. මේ ගැඹුරු මානසික මට්‌ටම් සංජානනය (perception) නම් තාක්‌ෂණ පදය භාවිත කර අධ්‍යයනය කරනු ලැබේ. සංජානනයේ ක්‍රමික අවස්‌ථා කීපයකි. ඒවා සඤ්ඤා, විඤ්ඤාණ, ඤාණ, ප්‍රඥා ආදී ලෙසට ප්‍රභේද වේ. මෙයින් සඤ්ඤා නම් සංජානනයේ ප්‍රාථමික අවස්‌ථාවයි. එය යමක්‌ පිළිබ`දව ඇති මූලික අවබෝධයයි. නිදසුනක්‌ ලෙස ළදරුවෙකු රුපියල් දහයේ කාසියක්‌ පිළිබ`දව හැඳිනීම මෙනි. විඤ්ඤාණ නම් අවබෝධයේ ඊ ළ`ග අවස්‌ථාවයි. එහි දී සඤ්ඤාව ම`දක්‌ ඉදිරියට ගමන් කරන ආකාරය දැකිය හැකියි. යමක්‌ පිළිබ`දව වූ ද්විතීයික අවබෝධයයි. වැඩිහිටියෙකු රුපියල් දහයේ කාසියක්‌ හැඳිනීම මීට නිදසුනකි. 

පංචස්‌කන්ධ විග්‍රහයේ දී වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන සතර වැදෑරුම් නාම ස්‌කන්ධයට මෙය අයත්ය. සාමාන්‍ය පුහුදුන් අයෙකුට ඇති වන අවබෝධය හුදු සඤ්ඤා හා විඤ්ඤාණ අවස්‌ථා ඉක්‌මවා නොයයි. අවබෝධයේ තෘතියික අවස්‌ථාව ඤාණයයි. බැංකුකරුවෙකු රුපියල් දහයේ කාසියක්‌ පිළිබ`දව හැඳිනීම මීට නිදසුනකි. ඤාණ නම් අවස්‌ථාව ද සුතමය, චින්තාමය, භාවනාමය ආදී ලෙස වර්ග වී ඇත. ඉගෙනීම, විභාග සමත්වීම ආදියෙන් ලබන දැනුම අවබෝධය සුත ඤාණයයි. යමක්‌ පිළිබ`දව ඇති වූ පරිකල්පන, නිර්මාණශීලී ආකල්ප චින්තා ඤාණයයි. විධිමත් අධ්‍යාපනයක්‌ නොලැබුව ද සමහරු තුළ විවිධ කුසලතා ඉස්‌මතු වූයේ මේ චින්තා ඤාණය නිසාය. භාවනා වඩා සිත එක්‌තැන්වීම නිසා ඇති වන පැහැදිලිතාව භාවනා ඤාණයයි. භාවනා ඤාණය ද සාමාන්‍ය හා අභිඤ්ඤා ලෙස දෙවැදෑරුම්ය. සාමාන්‍ය භාවනා ඤාණය නම් සිත එක්‌තැන්වීම, සමාධිය ඇතිවීම හා භාවනා අභ්‍යාස නිසා ඇති වන එක දෙයකට ක්‌ෂණිකව මනස යෙදවීමේ හැකියාවයි. මේ අනුව චිත්‍රයක්‌ ඇ`දීම වැනි නිර්මාණශීලි ඕනෑම කටයුත්තක්‌ සිදු කිරීමේ දී ඒ කෙරෙහි ඇති වන පූර්ණ මානසික ඒකාග්‍රතාව එක්‌තරා අයුරකින් භාවනාවක්‌ නිසා ඇති වන මානසික ඒකාග්‍රතාවයට එක්‌ අංශයක සමානත්වයක්‌ දක්‌වයි. භාවනාව ද සමථ හා විපස්‌සනා වශයෙන් දෙවැදෑරුම්ය. මින් සමථ භාවනාව නම් සිත සමාධිගත කිරීමයි. හෙවත් මානසික ඒකාග්‍රතාවය දියුණු කිරීමයි. විපස්‌සනා භාවනාව නම් ප්‍රඥාව අවදි කිරීමයි. සමථ භාවනාවේදී සිත එක අරමුණක තැබීම මෙන්ම එම අරමුණ කුසල අරමුණක්‌ වීම ද වැදගත්ය. මේ අනුව සමථ භාවනා කිරීමේ දී හුදෙක්‌ මානසික ඒකාග්‍රතාව පමණක්‌ නොව කුසල් අරමුණ වැඩීමක්‌ද වේ. නමුදු ලෞකික කාර්යයක නිරතවීමේදී ඇතිවන මානසික ඒකාග්‍රතාව කුසල් අරමුණක්‌ වීමට හෝ මධ්‍යස්‌ථ අරමුණක්‌ වීමට හෝ අකුසල් අරමුණක්‌ වීමට හෝ ඉඩ තිබේ. චිත්‍රයක්‌ ඇ`දීම වැනි කලා කටයුත්තක නිරතවීමේ දී ඇතිවන චිත්ත ඒකාග්‍රතාව කුසල් හෝ මධ්‍යස්‌ථ අරමුණක්‌ වීමට ඉඩ තිබේ. අ`දිනු ලබන්නේ විහාරස්‌ථානයක හෝ ආගමික කටයුත්තකට සම්බන්ධ චිත්‍රයක්‌ නම් එය කුසල සහගත එකාග්‍රතාවකි. නමුත් චිත්‍රය කෙනෙකුගේ කාම, කෝප හෝ මෝහ හැ`ගීම් අවුලූවාලන එකක්‌ වී නම් එය අකුසල සහගත ඒකාග්‍රතාවක්‌ වේ. භූමි දර්ශනයක්‌ බ`දු යමක්‌ නම් උපේක්‌ෂා සහගත බවක්‌ ඇත.

අභිඤ්ඤා නම් අතීන්ද්‍රිය හැකියාවයි. මෙය දිබ්බ චක්‌ඛු, දිබ්බ සෝත, පුබ්බේ නිවාසානුස්‌මෘති, පරචිත්ත විජානන, සෘද්ධි විධ ආදී වශයෙන් විවිධ ප්‍රභේදයක්‌ට අනුව වර්ගීකරණය වී තිබේ. මානව මොළයේ සුවිශේෂී හැකියා ඇත. නමුදු සාමාන්‍ය අවස්‌ථාවලදී මානව මොළය මේ සුවිශේෂී හැකියා අනුව ක්‍රියාත්මක වීම ස`දහා සුසරවී නැත. යමෙකු අභිඤ්ඤා ලැබීම යනු මනසේ ඇති මෙම සුවිශේෂී හැකියා සුසර කර ගැනීමයි. සාමාන්‍ය අවස්‌ථාවලදී මෙම සුවිශේෂී අතීන්ද්‍රිය හැකියා සුසර නොවේ. ඊට හේතුව එබ`දු අතීන්ද්‍රිය හැකියාවක්‌ ක්‍රියාත්මක වීමට තරම් දියුණු ආකල්ප පසුබිමක්‌ මනසේ ඇති නොවීමයි. භාවනාවේ ඊළ`ග අවස්‌ථාව නම් විදර්ශනා භාවනාවයි. මෙම විදර්ශනා භාවනාව සතර සති පට්‌ඨාන, සප්ත විශුද්ධිය, සප්ත බො-Cධංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය, ප්‍රඥා භාවනා වැඩීම ලෙස හැ`දින්වේ. වෙනත් ආගම්වල හා බුදු දහම අතර ඇති ප්‍රධාන වෙනස ඉස්‌මතු වන්නේද මේ විදර්ශනා භාවනාව නිසාය. බුදු දහමෙන් පිටස්‌තර වෙනත් කිසිදු ආගමක හෝ දර්ශනයක මෙම විදර්ශනා භාවනා ක්‍රමවේදය දක්‌නට නැත. නමුත් සමථ භාවනා ක්‍රම ලෝකයේ බුදු කෙනෙකු පහළ වීමට පෙර පවා පැවතී තිබේ. එ් හේතුව නිසාම විදර්ශනා භාවනාවට බෞද්ධ භාවනාව යනුවෙන්ද ව්‍යවහාර කෙරේ. මෙහි සුවිශේෂී බව නම් විදර්ශනා භාවනාව ස`දහා අරමුණ වශයෙන් තබා ගන්නා කායානුපස්‌සනා, වේදනානුපස්‌සනා, චිත්තානුපස්‌සනා හා ධම්මානුපස්‌සනා යන සතර සතිපට්‌ඨාන කමටහන කුසල්, ක්‍රියා හා ප්‍රඥා අරමුණු වශයෙන් සැලකිය හැකි බැවිනි. මෙහි දී ක්‍රියා යනුවෙන් අර්ථ දක්‌වන දේ පිළිබ`දව පැහැදිලි කළ යුතුය. අකුසලයට වඩා කුසලය උසස්‌ය. කුසලයට වඩා ක්‍රියා උසස්‌ වේ. වඩාත් උසස්‌ වූ නමුත් කුසල් වශයෙන් සැලකිය නොහැකි දේ මෙහි දී ක්‍රියා නමින් හැ`දින්වේ. සම්මා සම්බුදු, පච්චෙක බුද්ධ හා අර්හත් ඵල සිත් සියල්ල ක්‍රියා වේ.

විදර්ශනා භාවනාව සාර්ථක වන අවස්‌ථාව එළැඹි කළ විදර්ශනා ඤාණ පහළ වේ. මේවා සංස්‌කාර ධර්මතා ත්‍රිලක්‌ෂණ වශයෙන් දකින බැවින් ඤාණ නමින් හැ`දින්වේ. එහි දී ලෝක විෂයට අයත් වන සංස්‌කාර ධර්මතා පිළිබ`දව භාවනානුයෝගියා තුළ ඇති වන අවබෝධය සාමාන්‍ය ලෝක සම්මුතියට වඩා උසස්‌ දැනුමක්‌ වන බැවින් එම අවබෝධය ඤාණ යි. ඤාණය ද ලෞකික හා ලෝකෝත්තර වශයෙන් වර්ගීකරණය වේ. විපස්‌සනා ඤාණ ඇතිවීමෙන් පසු ලෝකෝත්තර ඤාණ ඇතිවේ. එනම් මාර්ගඵල ඤාණ හටගැනීමේ අවස්‌ථාවයි. මෙයින් ද සතර මාර්ග ඤාණ කුසල්ය. 

සතර ඵල ක්‍රියාය. පඤ්ඤා වශයෙන් හ`දුන්වන්නේද මේ අවසාන අවස්‌ථාව වේ. යමෙකුගේ අවබෝධය සංවර්ධනය වීම පඤ්ඤාව දක්‌වා ගමන්කරයි. අවබෝධයෙහි උපරිම අවස්‌ථාව වන පඤ්ඤාව තෙක්‌ ගමන්කළ උතුමා සුවිශේෂී පුද්ගලයෙකි. හෙතම ලෞකිකත්වයෙහි සිට ලෝකෝත්තරත්වය දක්‌වා අවබෝධය උසස්‌ කර ගත්තෙකි. නිදසුනකින් මෙය පැහැදිලි කළහොත් රුපියල් දහසේ කාසිය පිළිබ`දව ආර්ථික විද්‍යා මහාචාර්යවරයකු තුළ ඇතිවන අවබෝධය වැනිය. නමුදු ඒ නිදසුන වුවද අවබෝධය පැහැදිලි කිරීම ස`දහා 100 % ක්‌ම නිවැරදි නැත. මුදල පිළිබ`දව ආර්ථීක විද්‍යා මහාචාර්යවරයෙකුට ඇති අවබෝධය සහ ළදරුවෙකුට ඇති අවබෝධය අතර ඇති පරතරය, සංස්‌කාර ධර්ම පිළිබ`ද පුහුදුනෙකු තුළ ඇති අවබෝධය සහ අර්හත්වයට පත්වූ උතුමෙකු තුළ ඇති අවබෝධයට සමානුපාතිකව සැලකිය හැකිය. 

පුහුදුන් පුද්ගලයා තමන්ගේ ඉන්ද්‍රිය සංජානනවලට සීමාවී කොටුවී ලෝකය ග්‍රහණය කර ගන්නා මුත් අර්හත් උතුමා ස්‌වකීය ඉන්ද්‍රිය සංජානනවලින් බැහැරවී උපේක්‌ෂකව සිහි ඇතිව යථාර්ථ ග්‍රහණයකර ගනියි. බුදු දහම පිළිබ`දව ආචාර්ය උපාධියක්‌ යමෙකුට ලැබිය හැකිය. එය විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අවසාන කෙළවරයි. නමුදු එම දැනුම පවා ඉහතකී අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂයේ ප්‍රාථමික අවස්‌ථාව වත් නිසි වටහා ගැනීමට අපොහොසත්ය. දැනුම එකකි. අවබෝධය තවත් දෙයකි. මේ අතර විශාල පරතරයක්‌ තිබේ. නමුදු අවාසනාවට කරුණ නම් යමෙකු බුදු දහම පිළිබ`දව තර්කානූසාරි වීමට හදිසි වනුයේ මේ සුත දැනුම පවා නොමැතිවය. සමථ භාවනා අභ්‍යාස කර ලැබිය හැකි අවබෝධය එකකි. විදර්ශනා භාවනා අභ්‍යාස කර ලැබිය හැකි අවබෝධය ඊට හාත්පසින්ම වෙනස්‌ දෙයකි. යමෙකුට සුත දැනුම හා විදර්ශනා භාවනා අභ්‍යාස යන දෙකම තිබේ නම් යම් පමණකින් හෝ න්‍යායාත්මකව අවබෝධය පිළිබ`දව ඉහතකී තත්ත්ව වටහාගත හැකිය. අවුරුදු 47ක පරිණත පුද්ගලයෙකු වන මා ජීවිතයේ විශාල කාල පරිච්ඡේදයක්‌ ඉහත කී සුත දැනුම ලැබීමට හා විදර්ශනා භාවනා අභ්‍යාස වැඩීමට කාලය මිඩංගු කර ලැබූ ප්‍රායෝගික අවබෝධය නිසි පරිදි වචන භාවිතා කර භාෂා මාධ්‍යයෙන් වෙනත් අයෙකුට ඒ අයුරින්ම වටහාගත හැකි ලෙස ප්‍රකාශ කිරීමට තවම අසමත්ය. මා කියන්නට උත්සාහ කරන්නේ එය වුවද එය නිසිලෙස කළහැකි වේදැයි කීමට අපොහොසත්මි. බොහෝවිට වනුයේ මා ප්‍රකාශ කරන්නට වෑයම් කරන දේ අන්‍යයන් වරදවා වටහාගැනීම හා ඔවුන් විසින් වරවා වටහාගනු ලැබූ දේට සිතෙන පරිදි දොස්‌ නැ`ගීම පමණකි. එහි දී මම ද තවත් එක්‌ කෂාය බිවූ ගොළුවෙක්‌ බවට පත්ව ඇත්තෙමි.

ඒ අතර සාමාන්‍ය සමාජයේ දහමේ හරයට නොව ව්‍යාජ ලේබල්වලට ඇත්තේ පුදුමාකාර ඉල්ලුමකි. ඒ අනුව රහතන්වහන්සේ, මාර්ගඵලලාභියා, බුද්ධත්වය, බෝධිසත්ත්වයා වැනි ආගමික වචනවලට ඇති ඉහළ ඉල්ලුම හා ලාභසත්කාර ප්‍රයෝජන සලකා එවැනි පද ලේබල් ලෙස යොදාගෙන අවභාවිතයේ යොදවා මුදල් උපයාගැනීමේ ව්‍යාපෘති ද දැකගත හැකිය. මෙබ`දු විෂයන් පිළිබ`දව සාකච්ඡා කිරීමට ඔබ අවබෝධයට පත්ව ඇත්දැයි ප්‍රශ්න කරනුයේද එසේ ප්‍රශ්න කරන්නාගේ ලේබල්වලට ඇති ප්‍රියතාව නිසාය. එසේ ප්‍රශ්න කරන්නන් සිතන්නේ මේ විෂය පිළි`දව කතාකිරීමට නම් මම අවබෝධය ලැබීමි යෑයි ලේබල් එකක්‌ අලවාගත යුතුයෑයි කියාය. පූර්ණ අවබෝධය යන වචනයද ලේබල් එකකි. එසේ අවබෝධය ලැබීම යන ලේබල් එක අලවා නොගෙන වුවද අවබෝධයට පත් කෙනෙකුට විසිය හැක. සත්‍ය වශයෙන්ම පූර්ණ අවබෝධයට පත්වූ අය සිටින්නේ නම් ඇත්තේ ලේබල් අලවාගත් අය අතර නොව එලෙස ලේබල් අලවා නොගත් අය අතරය. මන්ද එසේ ලේබල් අලවාගැනීමේ අවශ්‍යතාවක්‌ මමත්වය දුරු කළ උතුමන් තුළ නොමැති බැවිනි. පූර්ණ අවබෝධයට පත්වූ උතුමෝ ලේබල් අලවා නොගෙන නිදහසේ විමුක්‌ති සුවයෙන් විසීම රුචි කරති. එබැවින් ලේබල්කරුවන් ජනප්‍රියව ඇත්තේ ලේබල් ප්‍රියකරන පුහුදුන් ලෞකික ලෝකයා අතරය. සතර සතිපට්‌ඨාන වඩා ස්‌වකීය සකන්ධ පංචක වෙනත් අවශේෂ ස්‌කන්ධ පංචකවලින් වෙන්කර නොසලකා මධ්‍යස්‌ථව,සිහි,නුවණ ඇතිව තමන්ගේ ස්‌කන්ධ පංචකය කෙරෙහි පවා මම මාගේයෑයි මමත්ව ග්‍රහණයෙන් තොරව පිටස්‌තරව සැලකිය හැකි නම් එය අවබෝධයෙහි උපරිම අවස්‌ථාව ලෙස දැක්‌විය හැකිය. තමන්ගේ කයට, සිතට අරමුණු වන ඉන්ද්‍රිය සංජානන කායානුපස්‌සනාවේදී භෞතිකව ද වේදනානුපස්‌සනාවේදී සංවේදන (sens) ලෙස ද චිත්තානුපස්‌සනාවේ දී හැ`ගීම්, වි`දීම්, ආවේග (affective) ලෙස ද ධම්මානුපස්‌සනාවේදී ධර්මතා ලෙස ද දකිමින් සියුම්ව පිරික්‌සුම් නුවණ හා සිහියෙන් අඛණ්‌ඩ නිරීක්‌ෂණයට ලක්‌ කෙරේ. මින් ලැබෙන ප්‍රතිඵලය සියල්ල මානසිකව බැහැරකර සැලකීමේ මානසික හුරුව ඇතිවීමයි. අවිද්‍යාව හා තණ්‌හාව බැහැරකිêම සම`ග විද්‍යාව හා පඤ්ඤා ආලෝකය ඇති වේ. අවබෝධය මඳ පමණකට වත් වැඩී නැති කෙනෙකුට මේවා හුදු වචන පමණකි. යම් පමණකට හෝ භාවනා අභ්‍යාස වඩා හුරු පුරුදුකම් ඇති අයෙකුටම මෙහි ඇති ගැඹුර මැනවින් වටහාගත හැකිය. මෙබඳු කරුණු කෙනෙකුට වටහා ගැනීමටද අසීරු තරමට විවිධ අය තුළ ඇති ආකල්ප හා අවබෝධයේ මට්‌ටම් වෙනස්‌ය. සියලු සත්වයෝ ධර්මාවබෝධය ලබා උතුම් වූ අකාලික නිවනින් නිවී සැනසේවා. 
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පරමාර්ථමය වශයෙන් රූපයෙහි ආස්වාදයක් තිබේද?

හෝමාගම මුල්ලේගම 
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි 
ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු බෝධිසත්ව අවධිය තුළ ඇතිවුණ මනෝභාවයන් පිළිබඳ විග්‍රහ කළ අවස්ථාවේ රූපයේ ආස්වාදය කුමක්ද? රූපයේ ආදීනව කෙසේද?නිස්සරණය කුමක්ද? රූප, ‍ෙවිදනා සංඥා සංස්කාර විඤ්ඤාණය යන පංචස්කන්ධය අප සියලු දෙනාටම තිබෙනවා.
බුදු දහම තුළ දුක පමණක් විග්‍රහ කර ඇති බවට ඇතැමුන් ප්‍රකාශ කරනු ලැබුවද, බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම සැප පිළිබඳවද විමර්ශනය කරමින් විග්‍රහ කර දේශනා කර තිබෙනවා රූපය ආස්වාදයක් බව දැනගත් පසු රූපයේ ආදීනවයන් කෙසේද? නිස්සරණය කෙසේද? යනුවෙන් විමර්ශනය කරමින් ලබාගත් නිවැරැදි අවබෝධය සියලු සත්වයාගේ හිත සුව පිණිස දේශනා කොට වදාරා ඇත. වේදනාවෙන් ලැබෙන ආස්වාදය කුමක්ද?ආදීනවය කුමක්ද?නිස්සරණය කුමක්ද? ෙමි ආදී වශයෙන් සංඥා , සංස්කාර, විඤ්ඤාණ ආදී වශයෙන් විමර්ශනය කරමින් බෝධිසත්ව අවධිය තුළම මෙම තත්වය විග්‍රහ කරගැනීම සඳහා කල්පනා කර තිබෙනවා.රූපය නිසා යමිකිසි සුවයක් සොම්නසක් උපදීද,එය රූපයාගේ ආස්වාදයයි.රූපයේ ආස්වාදයක් නැති බවට කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකියි. අප කැමැති රූපයක් දකින විට අප එය විඳිමින් යමිකිසි සුවයක් ලබනවා.රහත් නොවුන ඕනෑම පෘතග්ජන පුද්ගලයෙකු එය ආස්වාදය කරනවා.එය ස්වභාවික තත්වයක්. රූපය තුළින් ලැබුණ වින්ඳනය සුවයක් ලෙස සැලකිය හැකියි.අපගේ ගෙවල් දොරවල් පවා ලස්සනට පිළිවෙලට තබාගැනීම සඳහා අප වෙහෙසෙන්නේ එම වින්දනය නිසයි. කාමරය අලංකාරවත්ව තබාගෙන පොත් මේසය පිළිවෙලට තබානොගත හොත් ආස්වාදයක් ඇතිව පාඩමි කළ නොහැකියි. තමා වාඩි වී සිටින ස්ථානය තුළ තමන්ගේ සිතට සුවයක් සොම්නසක් තිබිය යුතුයි.ආස්වාදය ලැබීම සඳහා පණ ඇති රූප සහ පණ නැති රූප වශයෙන් බේදයක් නැහැ.

සම්මුතිය තුළ රූපයේ ආස්වාදයක් තිබුණද, පරමාර්ථමය වශයෙන් රූපයෙහි ආස්වාදයක් නැහැ.බෝධිසත්ව අවධිය තුළ රූපයේ ආස්වාදය පිළිබඳව විග්‍රහයක යෙදුනද,ලොවිතුරා බුදුබව ලබාගත් විට රූපයෙහි ආස්වාදයක් නැති බව දේශනා කරනු ලබයි. රූපය නිසා සතුට සොමිනස උපදින බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපට ආස්වාදයක් නොදැනෙන යම් දෙයක් වෙනත් පුද්ගලයකුට ආස්වාදයක් දැනිය හැකියි.පෘතග්ජන ඕනෑම පුද්ගලයකුට තමන් කැමැති රූපයක් දකින විට ආස්වාදයක් දැනෙනවා නම්,ආස්වාදය පැමිණෙන්නේ රූපයත් සමඟ නොවන බවත් එය මනසට දැනෙන සංඥාවක් බව අවබෝධ කරගත යුතුයි.
යම් රූපයක් අනිත්‍යද, දුක්ද, විපරිනාමයිද , සොම්නස උපදවන රූප අනිත්‍යයි. එම රූප සැම විටම වෙනස් වෙන සුළුයි. රූපයෙහි ආදීනවය එයයි. පවතින ඕනෑම රූපයක් පැවැති ආකාරයෙන්ම එම ආස්වාදය පවත්වාගෙන යාමට බැරි මට්මටමට වෙනස් වන විට මනසත් ඒ ආකාරයෙන් වෙනස් වෙයි. එය රූපයාගේ තිබෙන ආදීනවයයි. කවුරු හෝ පුද්ගලයකු රූපය පිළිබඳව තිබෙන්නාවූ ආසාව ප්‍රහීණ කළ විට ඔහු හෝ ඇය නිස්සරණයට පැමිණි බව කිව හැකියි. ඕනෑම රූපයක් තුළ ආස්වාදයක්ද, ආදිනවයක්ද නිස්සරණයක්ද තිබෙනවා.ජීවිතය තුළ මෙම කාරණාව වටහා ගැනීම අත්‍යවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ බුදුවීමට පෙර සිටම මෙනෙහි කළ ධර්මතාවයක්. මෙහි තිබෙන ආදීනව පමණක් කල්පනා කරන්නේ කුමටද? යනුවෙන් යමෙකුට සිතිය හැකියි.
රූපයත් සමඟ ඇතිවන වින්දනයත් සමඟ එම රූපය දකින විට අප තුළ සැමදාම සොම්නසක් ඇතිකර ගැනීමට කැමැති නිසාම එම රූපය මනස තුළ ස්ථාවර කරගනීයි..රූපය පිළිබඳව ස්ථාවර අදහසක් අප නොදැනීම තැන්පත් වෙයි. රූපයට අඛණ්ඩව පැවතීමේ හැකියාවක් නැති නිසාම රූපයත් සමඟ ඇතිවන වින්දනයත් මනස තුළ ස්ථාවරව පවතින්නේ නැහැ. රූප පිළිබඳව ස්ථාවර අදහසක් අප නොදැනීම .තැන්පත් කරගන්න නිසාම රූපයට අඛණ්ඩව පැවතීමේ හැකියාවක් නැතිකම එහි තිබෙන අර්බුදයයි.බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවධිය තුළ මෙම තත්වය අවබෝධ කරගනු ලැබුවා. රූපය තුළ තිබෙන අනිත්‍යතාව , නිසරු බව හිස් බව අසාරතාවය ස්ථිර නොමැති බව අපට අවශ්‍ය ආකාරයට පවත්වාගෙන යාමට නොහැකි බව අප නුවණින් බලා අවබෝධ කරගත හොත් රූප පිළිබඳව අප තුළ තිබෙන්නාවූ ඡන්ද රාග දුරුවෙලා යනවා. රූපය තුළ තිබෙන්නාවු ආදීනවයන් අවබෝධ කර නොගත හොත් ඡන්ද රාග ප්‍රහීණ කළ නොහැකි බව බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම දේශණා කළ ධර්මතාවයක්.

ෙවිදනාව හේතු කොටගෙන යමිකිසි සුවයක් දැනෙනවා නමි, එය ෙවිදනාව තුළ තිබෙන්නාවූු ආස්වාදයයි. මිහිරි ශබ්දයක ෙවිදනාව තුළ සොමිනසක් උපදවනවා. ඕනෑම වේදනාවක් ඇතුළත සුවයක් දැනෙනවා. රූපය පිළිබඳව ඇති වන සුවය සැමදාම එකම ආකාරයෙන් නොදැනීම ෙවිදනාව තුළ පවතින අර්බුදයයි. එක අවධියකදී සිතට දැනෙන සුවය තවත් අවධියකදී එම ආකාරයෙන්ම නොදැනී එය සාමාන්‍ය තත්වයකට පත්වෙයි. පුද්ගලයන්ට දැනෙන වින්දනය එකම ආකාරයට දැනෙන්නේ නැහැ. වේදනාව තුළ පවතින ආදීනවය නමි, වේදනාව තුළ පවතින අනිත්‍යය ස්වභාවයයි. මරණයට පත්වන තෙක් වින්දනය එකම ආකාරයෙන් පවත්වා ගැනීමට හැකි නම්, රූපයට ඇලුමි කළාට ගැටළුවක් නැහැ. රූපය නිත්‍ය නම්, අප ඇලුම් කළ දවස තුළ පැවතුන ආකාරයට එලෙසම පවතිනවා නම්,ඇලුනත් ප්‍රශ්නයක් නැහැ. රූපය වෙනස් වන බවත් , වේදනාව වෙනස් වන බවත් එම නිසා රූපය පිළිබඳව ඡන්ද රාග ඇතිකර ගැනීම පලක් නොවන බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. ඡන්ද රාගය හටගැනීම තුළ එම ඇලීම ඇතුළත ගැටීමකුත් නිර්මාණය වෙයි. ඇතැම් පුද්ගලයෙක් මිය ගිය පසු සිත හදාගැනීමට අපහසුවෙන් අවුරුදු දෙක තුන වේදනා විඳින පිරිස් නැතිවා නොවේ. එම වියෝගය ඉතාම තදින් දැනෙන්නේ ඔවුන් ඇලී තිබෙන ප්‍රමාණයට අනුවයි. මිනිස් ජීවිත තුළ පෘතග්ජන සත්වයාගේ ස්වභාවය එයයි. අප ගේ මනස යමිකිසි වින්දනයකට වසඟ වුවහොත් යමිකිසි අවස්ථාවක එම තත්වය හදිස්සියේ වෙනස්වීමකට භාජනය වුවහොත් එම වෙනස් වීම දරාගැනීම අපහසුවෙයි. එම යථාර්ථය පිළිගැනීමට ඔවුන් සූදානමි වන්නේ නැහැ. සම්බන්ධකම් පවත්වද්දීම එහි ආදීනවයන් පවතින බව දැනගෙන සිටිය යුතුයි. එම වෙනස්වීමේ ස්වභාවයට කවදා හෝ දවසක තමන් මුහුණ දිය යුතු බව අවබෝධයෙන් දැන සිටිය යුතුයි. එය කාලය හා අවකාශය අතර පවතින ප්‍රශ්නයක් පමණයි. කුමන මොහොතක හෝ එයට මුහුණ දීමට සිදුවෙන බව නිතර සිහිපත් කරගත යුතුයි.අපට අවශ්‍ය ආකාරයට ෙවිදනාව පවත්වාගෙන යාමට නොහැකි බවත් වේදනාව වෙනස් වන බවත්, ජරාජීර්ණතාවයට පත්වන බවත් එම නිසා එහි නිස්සරණයට යා යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ගිහි විය සයවරක්‌ සිවුරු හැර පසුව පැවිදිව ගෙව්වා දුක්‌ සසර


වෘක්‌ෂලතාදියෙන් ගහන වූ වන අඩවියට ආහාර සොයා ගෙනකෑමට හරක්‌ රංචුවක්‌ දැක්‌කූ ඉකුත් දින එක්‌තරා ගම්වැසි පුරුෂයෙක්‌ උන් සොයා පසුදින වන මුව දොරින් අභ්‍යන්තරයට ඇතුළුවූයේය. හරක්‌ රෑන සොයමින් ගණ වනය පීරමින් ඇවිදිනා වූ පුරුෂ තෙම මධ්‍යහ්න කාලය ගෙවී යන විට ක්‌ෂුධාගින්නෙන්ද දිය පිපාසාවෙන්ද පීඩිත ව දෙකොපුල නළල් තලය තෙමාගෙන ඩා බිඳු වැගිරෙන්නට වන. හරක්‌ කැළ සොයාගත නුහුණු පුරුෂයා තම ගෘහය බලා යන්නට ආපසු හැරුණේය. ඒ එන ගමනේදී සෙනසුනක්‌ හා වෙහෙරක්‌ දුටහ. මඳක්‌ ඉසිඹුලන්නට සිතා සෙනසුනෙහි පරක්‌කු වූයේය. එකල්හි එහි වැඩ වසන තරුණ භික්‌ෂුව ඔහු ගති ස්‌වභාව දැක, ''පුරුෂය, ඔබ බලවත් සේ බඩ සාදුකින් පෙළෙන සෙයක්‌ මට පෙනෙන්නේය. අපගේ දාන ශාලාවෙහි ඉතිරිව ගිය දන්බත් හා වෑංජන ඇත්තේය. කුස පුරා ඔබට ආහාර ගත හැකිය. වාඩිවෙන්න' යි ගොම මැටි ගෑ පිල්කඩක්‌ පෙන්වා අතින් සංකොට ආහාර පිඟානක්‌ බෙදාගෙනවිත් පිළිගැන්වීය. ඉතා ප්‍රීතියෙන් ඉන් සප්පායම් වුනු පුරුෂ තෙම ''අනේ භික්‌ෂුවගේ ජීවිතය මොන තරම් සැහැල්ලුද? පෙරවූ සිවුර ඉතා සරලය. භික්‌ෂුව වෙසෙන පරිසරය සෞම්‍යය වහනය කරයි. මෙම භික්‌ෂුව විවේකීව වෙහෙර හිඳිමින් දිනපතා මිහිරි බොජුන් වළඳන ස්‌වභාවයකි. අපමණ වෙහෙස දරා කර්මාන්ත කරන අපට මෙබඳු ආහාර වේලක්‌ කිසිදා නොලැබෙන්නේ'ය ඔහු නිවස බලා ගමන් කළේ මෙබඳුවූ සිතිවිලි ඇතිවය.

එකී පුරුෂයාගේ සිත මෙම සිද්ධියත් සමග ආකූල ව්‍යාකූල වී ගියේය. තමා ගතකරන ගෘහස්‌ත ජීවිතය අතිශය දුෂ්කර ය. එසේ ද සෙනසුන වසන භික්‌ෂුවගේ ජීවිතය? තමා අපමණ වෙහෙස දරා කෘෂි කර්මාන්ත කළත් දානය බඳු ආහාර වේලක්‌ සපයා ගන්නට කෙදිනකවත් දුෂ්කරය. කුඹුරේ සීසාන තමාට හිරුගේ චණ්‌ඩ රශ්මිය කොතරම් විපත් කරයිද? භික්‌ෂුවට එබන්දක්‌ නොවන්නේය. දින ගණනාවක්‌ මෙපරිද්දෙන් ගෘහස්‌ථ ජීවිතය පිළිබඳ සිතා ''තවත් නම් මෙහි රඳන්නට නොපිළිවන. කිසිම ඇල්මක්‌ නැත.මම පැවිදි වෙමි'. භාර්යාවට ඇසෙන ලෙසින් කිවුය. මෙබස ශ්‍රවණය කළ පුරුෂයාගේ කාලත්‍රයා (භාර්යාව) මියෙන් නොබැස නෑසුන කන්වැ හුන්නාය. 'ස්‌වාමීනි, මගෙන් ඔබට කිසියම් වරදක්‌ විණිද?'' ඇය කිසිවක්‌ නොදෙඩුවාය. ''මම වෙහෙරට ගොස්‌ කරුණාවන්ත භික්‌ෂුව වෙත පැවිදිවන්නෙමි' පුරුෂයා කීවේය. ''ඔබ නැතුව මා කෙසේ නම් දිවි ගෙවන්නේද?' යන එකුදු බසක්‌ නොකී ඕ තොමෝ පුරුෂයා ගෙයින් පිටත්ව යන අයුරු බලා සිටියාය.

එතැන් සිට චිත්ත භික්‌ෂුව නමින් පැවිදිව ඒ පුරුෂ තෙම පැවිදි කිස පසෙකලා දිවි ගෙවමින් වෙහෙරට ලැබෙන මිහිරි රස බොජුන් වළඳමින් ස්‌ථුල සුමට ශරීර ඇතුව වැඩෙන්නට විය. දැන් දැන් සිත කය සුඛ විහරණයට ඇදී යන බැවින් කල් යත්ම ගිහි ගෙය ගැන කල්පනා කරන්නට වූයේ බිරිඳ ස්‌වාමියකු නැතුව එබඳු අන් පුරුෂයකුගේ ඇසුර පතනවා විය හැකිය. ගිහි ගෙයට ඇල්ම බලවත්ව නැඟී සිටි බැවින් ඉන් මිදීමට අපොසොහත්ව සිත දුර්වලව සිවුරු හැර දමා බිරිඳ සොයා ආගමනය කළේය.

පංච කාමභෝගීව බිරිඳ සමග දවසරිද්දි බෙහෝ දිනක්‌ එලෙස දිවි ගෙවන්නට අපොහොසත්ව දුෂ්කරතා රාශියකට මැදි වූයේය. ඒ කවරේද යත් යළිත් කුඹුරට බැස හිරු අස්‌ථානගත වන තුරා කෘෂිකාර්මික කටයුතුවල නිමග්න වන්නට සිදු විය. කුදු මහත් අත්පා මෙහෙවර කටයුතු කර ඉවරයක්‌ නැති වි. පෙර තිබූ සිරුර අවපැහැගැන්ව කෘශ වන්නට විය. ගෘහස්‌ථ ගත දහසකුත් එකක්‌ ශාරීරික මානසික පීඩාවලින් මිදීමක්‌ නැති විය. අවසාන පැවිදි දිවිය මීට වඩා සැනසිලිදායක යෑයි සිත වද දෙන්නට වූයෙන් මින් ගැලවී යැම සඳහා බිරිඳටත් නොදන්වා ඒ පුරුෂයා විහාරයට වන්නේය.

විහාරවාසී භික්‌ෂුව ඔහුගේ දුර්වල චිත්ත ස්‌වභාවය හැඳිනගෙන නැවත වරක්‌ ප්‍රවෘජ්‍යා භූමියට පිවිසෙන්නට දොරටු හැර දුනි. චිත්ත සන්තුෂ්ටිය ඇතිව යළිත් සිවුරු පොරවාගෙන චිත්ත භික්‌ෂුව ධර්මයට ඇල්ම නැතත් නිදහසටත් දානයටත් ඇල්ම දක්‌වා කල් ගෙවන්නේ පුහුල් ගෙඩියක්‌ සේ පුෂ්ටිමත්ව මනස නැතත් සිරුර වැඩෙන්නට විය. එහෙත් දින ගණනාවක්‌ ගතවනවිට ධර්මයට බැසගන්න අසමර්ථ එම භික්‌ෂුව විහාර භූමියෙන් එපිට ලෝකයේ සෞන්දර්ය පිළිබඳ පුන පුනා හඟින්නට වූයේය. ගිහි කල භාර්යාවගේ අංගපුලාවන් මනසින් දකිත් දකිත්ම පංචකාමයේ චණ්‌ඩ වා සුළියට හසුව ඊට ගොදුරක්‌ බවට පත්විය.

තම කලත්‍රයා නැවත වාරයක්‌ තමා කරා පැමිණ මුත් බිරිඳ ස්‌නේහ සිතින් හිsතෛෂී භාවයක්‌ නොපෑවාය. පූර්ව වතාවල පරිද්දෙන් ගෘහස්‌ථ විහරණය ප්‍රතික්‌ෂේප කොට මුන් විහාරයට යාමට හිත්දෙන්නට පිළිවන. එබැවින් මේ තැනැත්තා 'ආලෙස සිටියදෙන්' යනාදී සිතිවිලි ඇතිව හඬ නොනඟා ඉවසා සිටියාය. මෙලෙස මෙම පුරුෂ තෙම සය මුරයක්‌ම ප්‍රවෘජ්‍යාව ලැබ සිවුර පසෙකලා කුටුම්භය වෙත යළි යළිදු ඇල්ම උපදවා ඒ වෙත රාග නිශ්ශ්‍රීතව බැඳුණේය.

මෙපරිද්දෙන් ගිහිගෙයි රඳද්දි බිරිඳ කුස තුළ දරු ගැබක්‌ අටගත්තේය. ඒ ලකුණෙන් පුරුෂයා ගෘහය වෙත උගුලක පැටළුණ සතෙකු මෙන් මිදෙන්නට නොහැකිව වඩාත් බිරිsඳ රැක බලා ගනිමින් මෙහෙ කිස සපුරා දෙමින් කාම රාග කෙලෙස්‌ බාහුල්‍යත්වයට පැමිණ 'නුඹ රක්‌නට සිටින්නේ මා පමණකැ'යි කියා අයට පිහිට කොට සිටියේය. 'මම් ඇයට පිළිසරණ වීම සඳහා සිටිමි. අපි අපට පිහිට කොට සිටිමු. හැර නොයම්හ' දෙදෙනා කතිකාකොට විහාරය ගැන ඇල්ම හැරදා ක්‍රියා කළේය.

මෙසේ කල් ගෙවනාතර එක්‌තරා දිනෙක පුරුෂයා කෘෂිකර්ම කටයුතු නිමවා සන්ධ්‍යා කාලය ලොවට පිවිසෙත්ම උදලු ආදිය ගෙන ගෘහය වෙත පැමිණෙන්නේ වෙනදා පියවර තබන හඬින් තම සමණන් බව දැන අංගනයේ රැඳෙන භාර්යා තොමෝ නොදැක ''මේ කුමක්‌ද? ඇය පෙනෙන්නට නැත' බියගෙන ගෙට ඇතුළුවත්ම මඳ අඳුර මැදින් කාමරයේ ඇඳ මත දිගාවී සිටි බිරිඳගේ ඉරියව් ස්‌වභාවය දෙස බලා සිsටියේ වික්‌ෂිප්ත භාවයෙනි. බිරිඳ ඇඳි වස්‌ත්‍ර විසිරී ගොසිනි ඉහළට නෙරා පිම්බුණු උදරයකි. දෙපා දෙපසට විහිදුවා ගෙන සිරුර නිසොල්මන්ය. අතපය මුහුණ කට තොල් ඉදිමී උද්ධුමාතක මළ මිනියක්‌ (දින තුනක්‌ ගතවූ මළ මිනියක්‌) සේය. සිහින් කෙඳිරිල්ලක්‌ තුළින් දෙනෙත් මඳක්‌ ඇර බැලුවාය. එකල්හි ඔහුට වැටහුණේ මේ කුණපය තමා මෙතෙක්‌ කල් ආශ්‍රයට ගෙන සිටියේය. තමාගේ ජීවිතය මහා පිළිකුල් සහගත ජරාවට ගොදුරුවන පංචස්‌කන්ධයකි. වහ වහා එහි නස්‌සාරභාවය වැටහෙන්නට විය. සත්‍ය දකින්නට ඇති ප්‍රඥ චක්‌ෂුසය වැසී ගොස්‌ ළා අඳුරේ ගමන්කොට ඇත. මහා මුළාවකට වැටී ඇත. පැවිදි දිවිය මේ සියල්ල ඉවත් කර මඟ පෙන්වා දෙයි. නිදහස ඇත්තේ ඒ සෙනසුනෙහිය. සිත මුරගා කියන්නට විය.

ඉනික්‌බිති පංච කාමය වනාහි මහා පිළිකුල් සහගත බවද හාත්පසින් ඇවිලගත් අග්නියක්‌ (ගින්නක්‌) සේ දවන බවද හඳුනාගන්නට අසමර්ථව සිටියේ ඇයිදැයි සිතා එහි ආදීනව ගැඹුරු ලෙසින් සිතන්නට වන. මහා කාරුණිකයාණන් වහන්සේ දේශනා කළ වදාළ අනිත්‍ය, දුඃඛ, අනාත්ම ත්‍රිලක්‌ෂණ ඔහුගේ සිතට පිවිසෙන්නට වන්නේය. මෙය සියලු හේතුවන්ටම පොදු ධර්මතාවකි. පුරුෂයා ගෘහයට තැබූ පියවර ආපසු ගනිත්ම පංච උපාදානයේ බැඳී සිsටි රැහැන් ඔහුගේ සිතින් එකින් එක ලිහිල්ව ගියේය. සත්‍යයේ ආලෝක ධාරාවෙන් ඔහුගේ චිත්ත ධාරාව ආලෝක වන්නට විය. එයින් ආශ්‍රවයන් දැවී සද්ධර්ම ඇස පහළ වන්නට විය.

එකී පුරුෂයා විහාරයට ගොස්‌ භික්‌ෂුව බැහැ දැක ''පින්වත් ස්‌වාමීනි, මා කෙරෙහි අනුකම්පාවෙන් සංසාර දුකින් අත්මිදීම සඳහා නිර්වාණාවබෝධය උදෙසා උතුම් පැවිද්ද මට ලබාදෙන සේක්‌වා' යි විහාරවාසී තෙරුන් වහන්සේa පාමුල වැඳ වැටී බැහෑපත් වූයේය. එතැන් සිට චිත්ත හත්ථ භික්‌ෂුව යෑයි නම් ඇතුව කමටහන් ලබාගෙන දැඩි ලෙස භාවනාව වෙත රැඳෙන්නට වන්නේය. ගිහි විය... 18 පිටුවෙන්... කෙලෙස්‌ මරු භික්‌ෂුවගේ ජීවිතයට ළංවන්නට නොහැකිව පළා ගියේය. භික්‌ෂුව සත්‍ය අවබෝධ කළ බව අඟවන්නේ බොරුවට යෑයි සද්ධි විහාරික භික්‌ෂුහූ සර්වඥයන් වහන්සේ කරා එළැඹ ප්‍රකාශ කළහ. චිත්තහත්ථ තෙරුන් වහන්සේ කෙලෙස්‌ ප්‍රහීන කොට උතුම් රහත් ඵලයට පත්ව සිsටින බව දුටු බුදුරජාණන් වහන්සේ,

'අනවස්‌ස්‍රක චිත්තස්‌ස අත්ථාහක ෙච්තසෝ 

පුඤ්ඤ පාප පහීනස්‌ස නත්ථි රාග රාතෝභය

''රාගයෙන් නොයෙක්‌ වූ සසර ඉපදීමට හේතුවන සියලු කුසල් අකුසල් දුරු කළා වූ රහතුන් වහන්සේට කෙළෙසුන් කෙරෙහි බියක්‌ ඇති නොවේ'' යනුවෙන් අර්ථාන්විතව දෙසා වදාළ ශ්‍රී සද්ධර්මය එහි සිටි බොහෝ දෙනාට ධර්මාවබෝධය පිණිස හේතු විය.
ශාස්‌ත්‍රපති මුතුමානි රාජහෙට්‌ටි

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ශාසනය පවත්නා කාලය

විනයපිටකයේ චූලවග්ගපාළියේ භික්‌ඛුනීඛන්ධකයේ හා අංගුත්තර නිකායේ ද දක්‌නා ලැබෙන පාඨයක්‌ දක්‌වමින් ඇතැම්හු මෙකල බුදු සස්‌නක්‌ නැත, භික්‌ෂුන් නැත, දැනට සිටින භික්‌ෂුහු භික්‌ෂු ප්‍රතිරූපකයන් මිස නියම භික්‌ෂුහු නො වෙති ය, දැන් නියම සංඝරත්නය නැතයි පවසති. ඔවුන් ගෙනහැර දක්‌වන පාඨය මෙසේය.
'සචෙ ආනන්ද නලභිස්‌සා මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්‌මා අනගාරියං පබ්බඡ්ජං, චිරට්‌ඨිතිකං ආනන්ද බ්‍රහ්මචරියං අහවිස්‌ස වස්‌සසහස්‌සං සද්ධම්මො තිට්‌ඨෙය්‍ය, යො පි ඛො ආනන්ද මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්‌මා අනගාරියං පබ්බතො න දානි ආනන්ද බ්‍රහ්මචරියං චිරට්‌ඨිතිකං භවිස්‌සති, පඤ්චෙවදානි ආනන්ද වස්‌සසතානි සද්ධම්මො ඨස්‌සති.
සෙය්‍යථාපි ආනන්ද - පෙ - සෙය්‍යථාපි ආනන්ද පුරිසො මහතො තලකස්‌ස පටිගච්ෙච්ව ආලිsං බන්ධෙය්‍ය යාවදෙව උදකස්‌ස අනතික්‌කමනාය. එවමෙව ඛො ආනන්ද මයා පටිගච්ෙච්ව භික්‌ඛුනීනං අට්‌ටගරුධම්මා පඤ්ඤත්තා යාවජීවං අනතික්‌කමනීයාති.''
මේ පාඨයේ කෙටි අදහස 'වර්ෂ දහසක්‌ පවත්නා සද්ධර්මය මාගමුන් බුදුසස්‌නෙහි පැවිදිවීම නිසා වර්ෂ පන්සියයක්‌ පමණක්‌ පවත්නක්‌ වන්නේය. එසේ නොවී සද්ධර්මය වර්ෂ දහසක්‌ ම පවතිනු පිණිස කලින් ම තථාගතයන් වහන්සේ විසින් භික්‌ෂුණීන්ට අෂ්ට ගරු ධර්මය පනවන ලද්දේය' යනුයි.
පර්යාප්ති සද්ධර්මය, ප්‍රතිපත්ති සද්ධර්මය, ප්‍රතිවේධ සද්ධර්මය යි සද්ධර්ම තුනක්‌ ඇත්තේ ය. ඉහත දැක්‌ වු සුත්‍රයෙහි වර්ෂ දහසක්‌ පවත්නේය යි වදාරා තිබෙන්නේ සද්ධර්ම තුනෙන් ප්‍රතිවේධ සද්ධර්මය යයි අටුවාවල කියා ඇත්තේ ය. 'වස්‌සසහස්‌සං සද්ධර්මො තිට්‌ඨෙය්‍ය' යන පාඨයෙහි දැක්‌වෙන්නේ වර්ෂ දහසක්‌ අංගසම්පූර්ණ ප්‍රතිවේධය පවත්නා බවත් ඉන් පසු ක්‍රමයෙන් පිරිහි යන බවත් මිස දැල්වෙමින් තිබෙන පහනක්‌ සැණෙකින් නිවී යන්නාක්‌ මෙන් වර්ෂ දහස පිරෙනු සමඟම ප්‍රතිවේධය සම්පුර්ණයෙන් අතුරුදහන් වීමක්‌ නො වන බව ය.
වස්‌සසහස්‌සන්ති වෙතං පටිසම්භිදාපභේදප්පත්ත ‚ණාසවානං වසෙනෙව වුත්තං, තතො පන උත්තරිම්පි සුක්‌ඛවිපස්‌සක ‚ණාසව වසෙන වස්‌සසහස්‌සං, අනාගාමිවසෙන වස්‌සසහස්‌සං, සකදාගාමීවසෙන වස්‌සසහස්‌සං, සොතාපන්න වසෙන වස්‌සසහස්‌සන්ති එවං පඤ්චවස්‌ස සහස්‌සානි පටිවේධ සද්ධම්මො ඨස්‌සති.
(මනෝරථපූරණී)
මේ මනෝරථපූරණී අටුවා පාඨයෙන් පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන් වර්ෂදහසක්‌ ද, ශුෂ්ක විදර්ෂක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්‌ ද, අනාගාමීන්ගේ වශයෙන් වර්ෂ දහසක්‌ ද, සකෘදාගාමීන්ගේ වශයෙන් වර්ෂ දහසක්‌ ද, සෝතාපන්නයන්ගේ වශයෙන් වර්ෂ දහසක්‌ ද මෙසේ පන්දහසක්‌ අවුරුදු ප්‍රතිවේධ ධර්මය පවත්නා බව දැක්‌වේ. පිළිසිඹියාපත් රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්‌ ද, ෂඬහිඥා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්‌ ද, ත්‍රිවිද්‍යා රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්‌ ද, ශුෂ්ක විදර්ෂක රහතුන්ගේ වශයෙන් වර්ෂ දහසක්‌ ද, පෘථග්ජන භික්‌ෂුන් වශයෙන් වර්ෂ දහසක්‌ ද, බුදු සසුන පවත්නා බව සම්පසාදනීය සුත්‍ර අටුවාවෙහි කියා තිබේ. දැනට පවත්නේ බුදු සසුනේ තුන්වන වර්ෂ දහසය. මේ කාලය මනෝරථපූරජියෙහි කියන අන්දමට අනාගාමීන් සිටිය හැකි කාලයයි. දීඝනිකායට්‌ඨ කථාවෙහි දැක්‌වෙන අන්දමට ත්‍රීවිද්‍යාව ඇති රහතුන් සිටිය හැකි කාලයයි.
පිටකත්‍රය සංඛ්‍යාත පර්යාප්ති සද්ධර්මය ලෙහෙසියෙන් සුළු කලකින් නැතිවිය හැකියක්‌ නොවේ. ටික තැනක ටික දෙනෙක්‌ අත පමණක්‌ පවත්නා දේවල් ලෙහෙසියෙන් නැති වී යා හැකිය. පර්යාප්ති සද්ධර්මය බොහෝ ගම්වල බොහෝ නගරවල බොහෝ පෙදෙස්‌වල බොහෝ රට වල බොහෝ භික්‌ෂුන් අතර පැතිර පවතින්නකි. එය එක විහාරයක නැති වුව ද තවත් දහස්‌ ගණනක්‌ විහාරවල පවති. එක ගමක එක රටක නැති වුව ද තවත් බොහෝ ගම් රටවල පවති. එබැවින් එය ලෙහෙසියෙන් නැති කළ නො හැකිය. එය කලින් කලට පැතිර පවත්නා ප්‍රදේශ අඩු වැඩි වෙමින්, දීර්ඝ කාලයක්‌ පවතිනු ඇත. වර්ෂ පන්දහසකින් තබා දසදහසකිනුදු එය නැතිවෙතැයි නො සිතිය හැකි ය.
සද්ධර්මයේ මූලය පර්යාප්තියයි. බෙහෙත් වට්‌ටෝරුව පවත්නා තුරු වුවමනා අයෙකුට බෙහෙත් සාදාගත හැකි බැවින් බෙහෙත් නැති වූයේ නොවේ. බෙහෙත් නැති වුයේය යි කිය යුත්තේ බෙහෙත් වට්‌ටෝරුව නැති වුව හොත්ය. එමෙන් ප්‍රතිපත්ති ප්‍රතිවේදයන් අති කර ගන්නා ක්‍රමය දක්‌වන පර්යාප්ති සද්ධර්මය පවත්නා තුරු ප්‍රතිපත්ති - ප්‍රතිවේධ දෙක අතුරුදහන් වී යයි නො කිය හැකිය. වුවමනා කෙනෙකුට පර්‍යාප්තිය අනුව ප්‍රතිපත්තිය හා ප්‍රතිවේධය ඇති කර ගත හැකිය. භික්‌ෂු පරම්පරාව සිඳි ගියහොත් මහණ කම හා උපසම්පදාව පමණක්‌ නැවත ඇති කළ නොහැකිය.
සංඝරත්නය නොයෙක්‌ රටවල පැතිර සිටින විශාල පිරිසකි. එක්‌ පෙදෙසක එක්‌ රටක භික්‌ෂුන් නැතිවී ගිය ද තවත් බොහෝ ප්‍රදේශ වල භික්‌ෂුහු වෙසෙති. එබැවින් බුදුරදුන් දිවමන් කල පටන් මේ වන තුරු භික්‌ෂු පරම්පරාව පැවත අවුත් තිබේ. බුදුරජාණන් වහන්සේගේ අදහස ලෝකයෙහි සද්ධර්මය හෙවත් ත්‍රිවිධ ශාසනය ඉදිරියට බොහෝ කලක්‌ පැවැත්වීමය. එබැවින් උන්වහන්සේ විසින් සද්ධර්මය ඉදිරියට පවත්වා ගැනීමට උපදෙස්‌ දීම් වශයෙන් සද්ධර්මයාගේ චිරස්‌ථිතියට හා පරිහානියට හේතු දක්‌වන සූත්‍ර බොහෝ ගණනක්‌ වදාරා ඇත්තේය. 
මාගේ මේ විනය ධර්මය මෙපමණ වර්ෂ ගණනකටය, ඉන් ඉදිරියට මේ ධර්මය හා විනය අවලංගුය කියා තථාගතයන් වහන්සේ විසින් ආඥාවන් පිහිටුවා නැත. භික්‌ෂුහු යම් තාක්‌ කල් තථාගතයන් වහන්සේගේ විනය අනුව කුලපුත්‍රයන් පැවිදි කෙරෙත් නම් උපසම්පදා කෙරෙත් නම් එතෙක්‌ සංඝරත්නය පවත්නේය. බුද්ධ කාලයේ පටන් අද දක්‌වා ම භික්‌ෂුන් විසින් එදා පැවති විනය අනුවම කුලපුත්‍රයන් පැවිදි උපසම්පදා කරගෙන අවුත් ඇති බැවින් අද වාසය කරන භික්‌ෂුන් නියම භික්‌ෂුන් නො වීමට, අද සංඝයා නියම සංඝයා නොවීමට කිසිදු හේතුවක්‌ නැත. එදා බුදුරදුන් හා විසූ සැරියුත් මුගලන් ආදි මහරහතන් වහන්සේ හා අද සිටින භික්‌ෂුන් වහන්සේ ද එක ම පිරිසකි. එදා විසු රහතන් වහන්සේලා හා අද සිටින පෘථග්ජන භික්‌ෂුන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ එක ම ශ්‍රාවක සංඝරත්නය ය.
බොහෝ දහම් පොත් දක්‌නට ඇති බැවින්, ධර්ර්මධරයන් දක්‌නට ඇති බැවින්, ධර්මදේශනා අසන්නට ඇති බැවින් මෙකල පර්‍යාප්ති සද්ධර්මය ඇති නැති බව ගැන සැක කරන්නට කරුණක්‌ නැත. ධර්මය අනුව පිළිවෙත් පුරන බොහෝ ගිහි පැවිද්දන් දක්‌නට ඇති බැවින් මෙකල ප්‍රතිපත්ති සද්ධර්මය ඇත ද? නැත ද? කියා සැක කරන්නට කරුණක්‌ නැ. ''ඉමෙ ච සුභද්ද භික්‌ඛූ සම්මා විහාරෙය්‍යුං න සුඤ්ඤා ලොකො අරහන්තෙහි අස්‌සයි'' - ''සුභද්දය, මේ භික්‌ෂුහු මැනවින් වෙසේ නම් ලෝකය රහතුන්ගෙන් හිස්‌ නොවන්නේයයි'' තථාගතයන් වහන්සේ විසින් වදාරා ඇති බැවින් පර්යාප්ති ප්‍රතිපත්ති ධර්ම දෙක පවත්නා කල්හි ප්‍රතිවේධය නැතයයි ද නො කිය හැකිය. ප්‍රතිවේධය නො පෙනෙන දෙයක්‌ බැවින් එහි ඇති නැති බව කවදාවත් තේරුම් ගැනීම අපහසුය. වර්ෂ දහසකින් ශාසනය කෙළවර වේ නම් තථාගතයන් වහන්සේට ''ඉමෙ ච සුභද්ද භික්‌ඛු සම්මා විහාරෙය්‍යුං න සුඤ්ඤා ලොකො අරහන්තෙහි අස්‌ස්‌' යනු වදාරන්නට කරුණක්‌ නැත.
රේරුකානේ චන්දවිමල මහාස්‌ථවිරයන් වහන්සේ විසින් ත්‍රිපිටකය, අටුවා සහ තවත් සැලකිය යුතු දහම් පොත් ඇසුරෙන් සම්පාදනය කරන ලද 'සූවිසි මහ ගුණය' නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන් මෙම ලිපිය සකස්‌ කරන ලදි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සදහම් සඟරා - Online