ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

පිරිහීමේ දොරටු වසමු!

උභය ලෝක පරිහාණියට කාරක වන දුර්ගුණයන් කිහිපයක් කෙරෙහි මේ ලිපිය අපගේ අවධානයට හරවයි.
මෙලොව පරලොව දෙකෙහි පිරිහීමට හේතු වන්නා වූද, අභිවෘද්ධිකාරක සම්‍යක් ප්‍රතිපදාව සපුරා ආවරණය කරන්නා වූද, වැරදි ක්‍රියා සියල්ල පරාභව ක්‍රියා ලෙස හඳුන්වා තිබේ. ඒවායේ නිරත වීමෙන් පුද්ගලයා නිරයගාමී වෙයි. පුද්ගලයාගේ ස්වර්ග මෝක්ෂය සපුරා වසාලයි. ඒ අනුව බුදු දහමේ දේශිත, සත්ත්වයාගේ අනර්ථය පිණිස හේතු වන කරුණු 21ක් පරාභව සූත්‍රයේ අන්තර්ගත වෙයි. එනම්:
1. ධර්මය අප්‍රිය කිරීම
2. අසාධූන්ට (අදැහැමි) පුද්ගලයන්ට ප්‍රිය කිරීම
3. අසත්පුරුෂයන් ප්‍රිය කිරීම
4. සත්පුරුෂයන් අප්‍රිය කිරීම
5. නින්දට ප්‍රිය බව
6. දොඩමලු බව
7. වීර්යයෙන් තොර වීම
8. අලස බව
9. ක්‍රෝධ බහුල බව
10. මහලු වියට පත් මවුපියන්ට නොසැලකීම
11. බොරුවෙන් මහණ-බමුණන් රැවටීම
12. සැප සම්පත් තනිව භුක්ති විඳීම
13. ජාතිය, ධනය, ගෝත්‍රය යන මේවායින් උඩඟුව, අන්‍යයන් පහත් කොට සැලකීම
14. ස්ත්‍රීන් කෙරෙහි ලොල් වීම
15. සුරාවෙහි ලොල් වීම
16. දූකෙළියෙහි ලොල් වීම
17. වෙසඟනන් පතා යෑම
18. පරඹුවන් පතා යෑම
19. මහලු වී තරුණියක සරණපාවාගැනීම
20. ආහාර-පාන ආදියෙහි ගිජු වූ, අරපිරිමැස්මෙන් තොර ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ ප්‍රධානත්වයේ තැබීම
21. ක්ෂත්‍රිය කුලයෙහි උපත ලබා ඇතත් රාජ්‍යයට නුසුදුසු, දුප්පත්, තෘෂ්ණාධික අයකු බලයට පත් වීම,
යන මේවා ය. ධර්මයට සතුරු වීම, ප්‍රතිපක්ෂ වීම පිරිහීමට හේතු වෙයි. ප්‍රාණඝාතාදි දස විධ අකුසල කර්මයන්ගෙන් වැළකී, දස කුසල කර්ම පථ සපුරාලීම ධර්මකාමී වෙයි. දාන, ශීල, භාවනාදි කුසල කර්මවල නිරත වීම පුද්ගලයාගේ දියුණුව ඇති කරයි. පිරිහෙන පුද්ගලයා දානාදි පින්කම්වලට කැමැති නැත.
කය, වචනය සහ මනස සංවර නොවූවෝ අශාන්තයෝ වෙති. ඔවුන්ට රුචි වූවෝ දෙලොවින්ම පිරිහීමට පත් වෙති. බුදු, පසේබුදු, මහරහත් ආදි උත්තමයෝ ශාන්ත වූවෝ වෙති. යමෙක් එකී උත්තමයන්ට හෝ ඔවුන්ගේ සම්‍යයක් මාර්ගයට හෝ ප්‍රිය නොකරයිද; හෙතෙම දෙලොවින්ම පිරිහෙයි. සද්ධර්මය නම් දෙලොව දියුණුව නසා ලන, නිර්වාණ මාර්ගයට බාධා පමුණුවන ධර්මයයි. දෙසැටක් වූ මිථ්‍යා දෘෂ්ටීන් හා දස වස්තුක මිථ්‍යා දෘෂ්ටියත් අසද්ධර්ම සංඛ්‍යාවට ඇතුළත් වෙයි. ඒවාට ප්‍රිය බවක් දක්වන්නා දෙලොවින්ම පිරිහෙයි.
පුද්ගලයාගේ වීර්යය පදනම් වී දියුණුව සැලසෙයි. දියුණු වීමට නම් ජීවගුණයෙන් පිරිපුන් ක්‍රියාශීලි පුද්ගලයකු විය යුතුය. නිදනසුලු ඇවතුම් පැවතුම් ඇති පුද්ගලයා කෙරෙන් දියුණුව අපේක්ෂා කළ නොහැකිය. තොරතෝංචියක් නොමැතිව කියවන්නා කෙරෙහිද ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකිය. දහසක් කටයුතු ඇතත් කතාවට වැටුණු කල ඒ සියල්ල අමතක වෙයි. ඔහුගේ කටයුතු නිමාවක් නොදකිමින් දිග්ගැස්සෙයි. පුද්ගලයාගේත්, සමාජයේත් ප්‍රගමනය සිදු වන්නේ පුද්ගල වීර්යය නිසාය; බල පරාක්‍රමය නිසාය. ලොව නව නිර්මාණ බිහි වන්නේ පුද්ගල වීර්යය නිසාය. ‘උට්ඨාන සම්පදා’ යනුවෙන් බුදුදහම මෙය සුවිශේෂ කොට දක්වයි. සමාජ ප්‍රගමනය සිදුව ඇත්තේ ප්‍රජාවගේ අනල්ප උත්සාහය නිසා බැවින් දියුණුව සලසාගනු රිසි සැවොම නොනිමි වීර්යයකින් ක්‍රියාත්මක විය යුතුය.
සිය බිරියගෙන් තෘප්තිමත් නොවී වෙසඟනන් කරා යෑම අධම ක්‍රියාවකි. එය ශිෂ්ට ලෝකයාගේ නින්දාවට හා පිළිකුලට භාජනය වෙයි. සමහරු අනුන්ගේ භාර්යාවන් කරා ඇදෙති. මෙය සම්මත විවාහ සංස්ථාවට පටහැණිය. එමගින් විවිධ සමාජ ගැටලු ඇති කැරේ; ඔවුනොවුන් තුළ අවිශ්වාසය හා භේදය ඇති වීමට මුල් වෙයි. වෙසඟනන් කරා යෑමද, පරඹුවන් කරා යෑමද එකී සම්මත සමාජ විවාහ සංස්ථාව දෙදරීමට හේතුවකි. අතෘප්තිකර සේ දැඩිව ලිංගික තෘප්තිය පැතීමට යෑම පුද්ගලයාද නසා සමාජයද නසයි. මෙය සමාජරෝග රැසක් ව්‍යාප්ත වීමටද බලපායි. බුදු සමය මේ ලෙස සමාජ චරියා සිඳ-බිඳ නසා ලන, සීමාව ඉක්මවා ගිය ලිංගික චර්යාවන්ට අනුබල නොදෙයි.
වර්තමානයේ වුවද මත්වතුර පානය හේතුවෙන් විනාශ වන ජීවිත හා දේපළ හානි පිළිබඳ ප්‍රවෘත්තීන් නිරන්තරයෙන් අසන්නට ලැබෙයි. මත් වතුර පානයෙහි ලොල් වූ ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ ඒ සඳහා සිය ධනය නිකරුණේ විනාශ කරයි. එහෙයින් අධිපතීත්වයට පැමිණ වැඩි කල් නොයවා ඔහු හෝ ඇය පිරිහී යයි. මෙය වර්තමාන සමාජයේ වුවද දක්නට ලැබේ.
සුළු සම්පත් ඇති තැනැත්තා වස්තු තණ්හාවෙන් අන්ධව රජකම ප්‍රාර්ථනා කළද භවභෝග නොමැතිකම නිසා එය නොලැබී යන්නේය. ක්ෂත්‍රිය වංශයේ උපත ලැබුවද දිළිඳුකම නිසා රජකම ඔහුට අහිමිය. තමාට අහිමි දෑ අධික තෘෂ්ණාවෙන් යුතුව ප්‍රාර්ථනා කරන්නා පිරිහීමට පත් වෙයි.
බුදු රජාණන් වහන්සේ මෙනයින් පුද්ගලයාගේ පිරිහීමට හේතු වන කරුණු 21ක් පරාභව සූත්‍රයෙහිලා දේශනා කළ සේක. මේ එක් එක් කරුණ වෙන වෙනම ගෙන සියුම්ව පරීක්ෂා කරන කල එය පුද්ගලයාගේද, සමාජයේද පිරිහීමට ප්‍රබල ලෙස බලපාන බව පෙන්වා දිය හැකිය.
නිසල් පණ්ඩුක

හිතේ දෝෂයෙන් සසර ගමන දිගු කරයි

වෛරය, ක්‍රෝධය, තරහ, ප්‍රතිඝය,ද්වේෂය ආදි සමාන අර්ථ දෙන වචන රැසක් අප කථා කරන බස් වහරේදී අපට දකින්නට පුළුවනි. මේ කුමන නමකින් හැඳින් වූවත් එකම අරුතක් ප්‍රකාශ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා “කොධන” නමින් සූත්‍රයක්, එහි කියවෙන්නේ ක්‍රෝධයෙන් ,වෛරයෙන් අප සමාජයේ එකිනෙකාට ගරහන විට, වෛර කරන විට එය තමා කරා ආපසු ගමන් කරන ආකාරයයි.මෙය තවත් විධියකින් කියනවා නම් දිට්ඨධම්මවේදනීය වශයෙන් මෙම අකුසල සිතිවිල්ල තුළින් ඒ සිතිවිල්ලෙන් ක්‍රියා කරන පුරුෂයා හෝ කාන්තාව ලබන අත්විඳින ප්‍රතිඵලයක් යන අදහසයි.

වෛරී සිතක හැටි

නිරන්තයෙන් තමන් තවත් අයෙකුට ද්වේෂයෙන්, තරහෙන්, වෙරයෙන් ජීවත් වෙනවා නම් ඒ තමන්ගේ වෛරයට ලක්වන පුද්ගලයාට කිසිදු ආකාරයකින් සැපතක් හෝ යහපතක් සිදු වෙනවාට කැමැති නැහැ. මෙහිදී තමාගේ යම්කිසි සතුරෙක් ශරීර වර්ණයෙන් පැහැපත්ව ශෝභාවත් ව සිටිනු දැකීම තමන්ට පි‍්‍රය නොවෙනවා. තමන් හැම විටම සිතන්නේ “අපොයි මේ මගේ හතුරා විරූපී දුර්වර්ණ අයෙකු වෙනවා නම් කොච්චර හොඳද?” කියායි. ඔහු ඒ විදියටම ප්‍රාර්ථනාත් කරනවා. ඒ විතරක් නොවේ තමන්ගේ හතුරා කියන අය හොඳට සුවසේ ජීවත් වෙනවාට කැමැති නැහැ. ලස්සනට ඇඳලා පැළඳලා සමාජයේ ජීවත් වෙනවාට කැමතිත් නැහැ. හොඳට ගෙයක් දොරක් හදාගෙන ජීවත් වනවාට කැමැතිත් නැහැ. මේක තමා , සතුරු, වෛරී සිතිවිල්ලේ හැටි. ඒ වුණත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙසේ සතුරු විදියට යම් අයෙකු තමාගේ සතුරාට වෛරයෙන්, ද්වේෂයෙන් ශාප කරමින් ක්‍රියා කරන විට එහි විපාකය තමන් කරාම ආපසු එනවා කියන එකයි. සතුරා අවලස්සන වනු කැමැති නම් තමා මයි අවලස්සන වන්නේ. එමෙන්ම සතුරා හොඳට සුවපහසුව කාලා බීලා ඇඳලා පැළඳලා ජීවත්වනවාට ශාප කරනවා නම් එයත් තමන්ටම කැරකැවී අවුත් තමන් දුකට, කෑම බීම ආදියෙන් අගහිඟකම්වලට ලක්වෙලා දුකසේ ජීවත් වන්නට වෙනවා. මේ තත්වය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයට ම එකම ආකාරයෙන් ආපසු විපාක දෙනවා කියන එකයි මේ පළමු කාරණයෙන් පැහැදිලි කරන්නේ.
දෙවනුව තවත් සතුරු වෛරක්කාර ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මෙහෙම හිතන්නටත් තමන්ගේ සතුරා ලෙස සලකන පුද්ගලයාට ශාප කරමින් ජීවත් වන්නට පුළුවනි. එනම් මගේ හතුරා දුකසේ නිදියනවා. නම් කොච්චර හොඳද? යම් ආකාරයකින් තම සතුරා කුමන හෝ ලාභයක් ලැබිලා හොඳට ඇඳ පුටු ඇතිව ගේ දොර ඇතිව ඒවා හදා ගෙන සතුටින් ජීවත් වනවාට කැමැත්තක් තමන්ට ඇති වන්නේ නැහැ. එයින් එසේ වෛර කරන පුද්ගලයාට ලැබෙන නරක විපාකය ම බලවත් බව බුදුරජාණන් වහන්සේ පහදා දෙනවා. එනම් තමනට කාගෙන් හෝ දරුවෙකුගෙන් හරි තමන් දුක් මහන්සියෙන් උපයා ගත් දෙයකින් හරි හොඳට සුවසේ නිදන්ට ජීවත් වන්නට කියා මොනතරම් උඩුවියන්, පාවාඩ අතුරා සුවපහසු ඇඳ ඇතිරිලි දමා සකස් කළ ඇඳ පුටු පලස්, බුමුතුරුණු ඇතිව ගෙවල් දොරවල් හදාගත්තත් ඒවායෙහි සුවපහසු යහන්, තබා සුවසේ නිදා ගන්නට සැලසුම් කළත් ක්‍රෝධයෙන්, වෛරයෙන් තවත් අයෙකු පිළිබඳ ක්‍රියා කිරීම නිසාම ඇතිවන දැවිල්ල මුළු ශරීරය පුරාම ක්‍රියාත්මකව දුකසේම නිදා ගන්නවා. සුව නින්දක් සැනසීමක් ලබා ගැනීම දුෂ්කර වෙනවා.
තෙවනුව තමන් සතුරාට ධනය එකතු වෙනවාට රුචි කරන්නේ නැහැ. එවැනි ධනයක් තම සතුරාගේ පාර්ශ්වයට ලැබෙන විට තමන්ට ඇති වන්නේ මහත් තරහක් වෛරයක් , ක්‍රෝධයක්. මෙසේ ක්‍රියා කිරීම නිසා තමන්ට යම් ආකාරයකින් හෝ ධනයක් වස්තුවක් ලැබුණත් එය තම සතුටට හේතු කර ගන්නේ නැතිව හැම විටම දුකින් තැවෙනවා. මෙය සතුරු වෙසින් ක්‍රියා කරන ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයටම එකම ආකාරයෙන් බලපවත්වන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම සතුරා භවභෝග සම්පත් වැඩි දියුණු වෙනවාටත් තමන් කැමැති නො වන බව සතුරා පිළිබඳව නිරන්තර වෛරයෙන් ක්‍රියා කරන අයට දැඩිව බලපවත්වන තවත් කරුණක් ලෙස සිව්වෙනි කරුණ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එමෙන්ම උන්වහන්සේ තවදුරටත් පෙන්වා දෙන්නේ සතුරා කියා හිතාගෙන සිටින අයගේ මේ සම්පත්වලට රුචි නොවන වෛරී තැනැත්තා හෝ තැනැත්තී වුවත් වෙහෙස මහන්සි වෙලා දහඩිය වගුරවලා හරිහම්බ කර ගන්නා ධාන්‍ය අස්වැන්නත් වෙනත් සැප සම්පත් තමන්ට ලැබුණත් ඒවා තමන්ට නොලබුණා සේ වෛරී බව නිසා හැඟෙනවා. එය රජ හෝ සොර සතුරන් විසින් පවරා ගැනීමටත් ඉඩ තිබෙනවා. තමන්ට සතුටින් භුක්ති විඳීමේ අවස්ථාව ඇහිරී යනවා.
පස් වෙනි කරුණ ලෙස ධර්මයෙහි පෙන්වා දී ඇත්තේ සතුරාට යම් ආකාරයකින් හිමිවන යසස හෝ කීර්තිය වෛරි තමන් රුචි වෙන්නේ නැහැ. මේ නිසා තමන්ට බොහොම වෙහෙස මහන්සි වෙලා උත්සාහයෙන් රැස්කරගත් කීර්තියක් යසසක් වේ නම් එයින්ද තමන් පිරිහීමට පත්වෙනවා.
මේ නිසා දිවා රෑ දෙකේම තැවි තැවි සිටීමට ත් වෛරී තැනැත්තාට සිදු වෙනවා පමණක් නොව. නොයෙක් මානසික හා ශාරිරික රෝග පීඩා ආදියටද ඔහු ගොදුරු වෙනවා.
හත්වැනි කරුණ ලෙස වෛරක්කාර පුද්ගලයා අත්විඳින තවත් විපාකයන් පෙන්වා දී තිබෙනවා. මේ කරුණ ඉතා වැදගත් දෙයක්. එනම් වෛරී පුද්ගලයා අනිවාර්යයෙන්ම මරණින් මතු දුගතියෙහි උපදිනවා. ඊට හේතුවන්නේ තම වෛරී ජීවිත කාලය තුළ මේ පුද්ගලයා මේ භයානක සිතිවිලි නිසාම තම කයෙන් වචනයෙන් මෙන්ම සිතින් බොහෝ අකුසල ක්‍රියාවන් රැස්කර ගන්නවා.

වෛරී සිතිවිලි කෙරෙන් මිදීමට නම්

මෙතෙක් වේලා කරුණු හතක් යටතේ අප විස්තර වශයෙන් වෛරී උදවිය ලබන අයහපත් අත්දැකීම් පියවරෙන් පියවර විස්තර වශයෙන් විමසුමට ලක් කළා. ක්‍රෝධය නැතිනම් ද්වේෂය කියා කියන්නෙ ප්‍රධාන අකුසල මූලයන්ගෙන් එකක් පමණයි. එහෙත් මේ එකම අකුසල සිතිවිල්ල වුවත් පුද්ගලයා අතිශයින් සසර දුකට පත් කිරීමට නිරයේ නැවත නැවත ඉපදීමට හේතු වන තත්ත්වයට පත් කෙරෙනවා. මේ සියල්ලම අපේ මේ හිතේ දෝෂයයි.
මෙපමණක් නොව අපේ සමාජයේ යම් යම් අය නිරුතුරුව කිපී, තරහ සිතින් ක්‍රියා කිරීම නිසා ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මෙලොව දී ම මුහුණ පාන බව බුදුරජාණන් වහන්සේ මෙම කෝධන සූත්‍රයේදි පැහැදිලි කර දී තිබෙනවා. කිපෙන වෛරී පුද්ගලයා ශරීර ශෝභාවෙන් ගිලිහෙනවා. දුර්වර්ණ වෙනවා. සමාජයට අප්‍රසන්න පෙනුමක් පෙන්නුම් කරනවා. එමෙන්ම විවිධ මට්ටමේ කිපෙන අයගේ වචනයේ පරුෂ බව, විවිධ නොසන්සුන් , කුරිරු ක්‍රියාවන් හේතුවෙන් තම ධනය විනාශ කර ගන්නවා. තමන්ගේ දරු පවුලටවත් සමාජයේ තැනක් නැතිව කොන් වෙනවා. ඥාති මිත්‍ර සමූහයෙන් ඉබේටම ඈත් වෙනවා. ඒ අය කුරිරු වෛරී පුද්ගලයා මොන මට්ටමක තත්ව තනතුරු දැරුවත් ඔවුන්ගේ ඥාති සමාගමෙන් බැහැර කරනවා. නින්දා අපහාසවලට ලක් වෙනවා. සිත නිතරම දූෂ්‍ය කරගෙන ක්‍රියා කිරීම නිසා සිත එකඟ කරගෙන තමන්ගේ සංසාර විමුක්තිය සඳහා අවශ්‍ය පිළිවෙත් පිරීමෙන් බැහැර වීමටත් සිදු වෙනවා. වෛරයෙන් තමන් කරන සෑම ක්‍රියාවක්ම සිදු කර අවසානයේදී තමන්ටම ඒ ගැන පසු තැවීමට සිදු වෙනවා. වෛරී උදවියට හදිසියේ ඇති වන වෛරී සිතිවිලි නිසා ඇතැම් මිනීමැරුම් වැනි දරුණු අපරාධ කරන අය වශයෙන් පසුව තැවෙන්නට සිදුවන අයුරු සමාජයෙන්ම අපට පැහැදලි වෙනවා.
සමාජයේ ඇතැම් වෛරී සිතිවිලිවලින්, තෙරපුණු අය ලැජ්ජා බිය, නොමැතිව කරන ඇතැම් සාහසික ක්‍රියා නිසා සමාජයේ සාරධර්ම සම්පූර්ණයෙන් වැළලී යනවා. ඇතැම් අවස්ථාවල පුතා විසින් අම්මා, තාත්තා ඝාතනය කෙරෙනවා. අම්මා දරුවා මරණවා ,ගඟට දමා තමනුත් ඊටම පැන දිවි තොර කර ගන්නවා. හේතුව තම ස්වාමිපුරුෂයා කෙරෙහි කිපීමෙනුයි. ඒ කාන්තාව එසේ කර ඇත්තේ මේ ආකාරයෙන් බලන විට වෛරී සිතිවිලිවලින් තමා වසඟයට පත් වීම හේතුවෙනුයි ක්‍රෝධයෙන් පෙළුණු අයට සත්‍යය,ඇත්ත යුත්ත පැහැදිලි කර දීම අමාරුයි. එය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, “කුද්ධෝ අත්ථං න ජානාති” “කුද්ධෝ අත්ථං න පස්සති” යන මේ සූත්‍රයෙහි ම එන ගාථා පාඨයෙන් වෛරී පුද්ගලයාට අර්ථය අනර්ථය පිළිබඳ වැටහීමක් නැහැ.
එසේ නම් මේ ක්‍රෝධය අපේ බලවත් අකුසල චෛතසිකයක්, එය මැඬ පවත්වා ගන්නේ ආත්ම දමනයක් ඇති කර ගැනීමෙන්, මෛත්‍රි සහගත සිතිවිලිවලට යොමුවීමෙන්, නුවණ මෙහෙයවා සිතට වහලෙකු බවට පත් නොවී ක්‍රියා කිරීමෙන්, ඒ පමණකුත් නොව මහත් වූ වීර්යයෙන් විදර්ශනා ප්‍රඥාවට හේතු වන භාවනාවෙන් සිත මාර්ග සම්‍යක් දෘෂ්ටියට යොමුවීමෙන් පමණයි. ඒ අවස්ථාව දක්වා මෙම ක්‍රෝධය, වෛරය, කිපෙනසුළු බව සිතින් ඈත් කර ගත නොහී සත්වයා සසර ඇද බැඳ තබනවා . සත්වයාගේ සසර දිගු වෙනවා.

සිදු වූ වරදට පසුනොතැවී ප්‍රබල කුසල් කරමු

අපේ ලෝකයේ මිනිසුන් සිතින්, කයින්, වචනයෙන් කියන තුනෙන් වැඩිපුර කරන්නේ සිතින් කරන වැරැදියි. එයිනුත් ලෝකයේ මිනිසුන් වැඩිපුරම අකුසල් කරන්නේ කයින්, වචනයෙන් නොවේ සිතින්. යම් දෙයක් ගැන රාග, ද්වේෂ, මෝහ ඇවිස්සෙන ආකාරයට සිත සිතා ඉන්නවා නම් එය අකුසලයක්.
බුදුරජාණන් වහන්සේ වදාළ බෞද්ධයෙක් ලෙස කළයුත්තේ මොකක් ද? රහත් නොවූ අපටත් නොයෙක් අඩුපාඩු වෙන්න පුළුවන්. සෝවාන්ඵලයට පත් නොවූ කෙනාට පන්සිල් පද කැඩෙන්නට තිබෙන ඉඩකඩ වැඩියි. මේ පන්සිල් පද පහ කැඩුනා කියා අබෞද්ධ වෙන්නේ නැහැ. තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් සිටින අයෙකුගේ ආවේගශලීබව නිසා හෝ මිත්‍යා දෘෂ්ඨිකයෙකුගේ මෙහෙයවීමට හෝ පාප මිතුරෙකුගේ බලකිරීමට වැරැද්දක් සිදුවෙන්න පුළුවන්. එහෙම වරදක් වුවොත් ශ්‍රාවකයෙක් ලෙස අනුගමනය කළ පුතිපදාව බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ තමයි කවුරු හරි අතින් වරදක් වුවොත් එය නිවැරැදි කර ගැනීමට කළයුතු පළමු කරුණ වන්නේ තමා අතින් වුණේ වරදක් යැයි අවංකවම විශ්වාස කිරීම. අනෙකා පෙන්වා දෙන නිසා විශ්වාස කිරීම නොවේ. තමා තේරැම් ගෙන අවංකව විශ්වාස කිරීම. ලෝකයේ සිටින හැමෝම අපි වටේ රොක්වෙලා ඔබ මේ කළ දේ වැරැදියි කියා කිවුවත් වැඩක් නැහැ අපේ වැරැද්ද අපි පිළිගන්න සූදානම් නැත්නම්. අපට නිවැරැදි වෙන්නනම් මගේ අතින් වැරැද්දක් වෙන්න ඇති. මගේ වැරැද්ද මොකක්ද? කියා නුවණින් විමසා බැලිය යුතුයි. එයට කියනවා ප්‍රත්‍යවේක්ෂණය කියලා.
හොඳට තමන් ගැන කල්පනා කරලා බලන්න. ඒ වෙලාවේ ඒක වැරැද්දක් ලෙස තේරුනේ නැහැ. පස්සේ කල්පනා කරනකොට තේරෙනවා මම ඒ වෙලාවේ හැසිරුණ ආකාරය වැරැදියි. මට මීට වඩා සංවර වෙන්න තිබුණා කියා තමාට අවංකවම සිහි වෙනවානම් තමාගේ දුර්වලකම් තේරෙනවානම් තමන්ගේ වරද නිවැරැදි කරගන්න ලෙහෙසියි. ඒ නිසා වරදක් කළ කෙනෙක් නිවැරැදි වෙන්න කළයුතු පළමු කාරණාය තමා වරද වරද ලෙස දකින්න පුරුදුවීම.
දෙවැනි කාරණය ආයති සංවරයේ පිහිටීම යි. ආයතී සංවරයේ පිහිටනවා කියන්නේ මෙවන් වරදක් මම කරන්නේ නැහැ කියා අධිෂ්ඨාන කර ගන්නවා. ඒකත් අනිවාර්යෙන් කළයුතු දෙයක්.
තුන්වැන්න තමා කළ වැරැද්ද ගැන සිතලා පසුනොතැවී සිටිනවා. කළ වැරැදි ගැන සිතමින් පසුතැවෙන පුද්්ගලයා ජීවත් වෙන්නේ අතීතයේ. මේ පසුතැවීමට ධර්මයේ දීලා තිබෙන වචනය තමා උද්දච්චකුක්කුච්චය. මිනිසුන් පසුතැවෙන අවස්ථා දෙකක් තිබෙනවා. ඒ තමා කළ වැරැදි ගැන සිතා පසුතැවෙනවා. අනෙක් නොකළ හොඳ ගැන සිතා පසුතැවෙනවා. ඒ දෙකම කළයුතු නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ පුද්ගලයා ජීවත්වෙන්නේ එක්කෝ අතීතයේ. නැත්නම් අනාගතයේ. කළ වැරැදි ගැන සිතනකොට ඒක අතීතයේ. එතකොට අතීතය ගැන සිත සිතා සිටින්නේ. අතීතය ඉක්මී ගිහින් ඉවරයි. ඒක නැවත නිවැරැදි කරන්න බැහැ. අතීතයේදී අපේ අතින් සතෙක් මැරුණානම් ඒ මැරෙන වෙලාවේදී පහළ වූ සංස්කාර සියල්ලම පහළ වෙලා ඉවරයි. ඒ ගැන සිත සිතා දැන් පසුතැවුනාට ඒ සකස් වූ සිතිවිලි නිවැරැදි වෙන්නේ නැහැ. එවිට ඒ අකුසලය නැවත පෝෂණය වෙනවා. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා.
ඒ වගේම තමා නොකළ හොඳ දේ සිහි කිරීමත් හොඳ දෙයක් නොවේ. මට මේ හොඳ දේ කරන්න බැරිවුණා. තවත් වයසට ගියාම මෙහෙමත් කරන්න බැහැනේ කියලා අනාගතය ගැන උපකල්පනය කරනවා. අනාගතය කියන්නේ අපට පාලනය කරන්න පුළුවන් දෙයක් නොවේ. අපට පාලනය කරන්න පුළුවන් අවස්ථාව තමා මේ මොහොත වන වර්තමානය. එනිසා අතීතයේ පසුතැවිලි නොවි එයින් පාඩම් ඉගෙනගෙන වර්තමානය තුළදී නිවැරැදි වීම තමා වැරැදි නිවැරැදි කර ගැනීමට හොඳම දේ. බොහෝ දෙනා අද අපේ සමාජයේ අතීතයත් සමඟ සිත සිතා පසුතැවෙනවා. එහෙම සිතනවා කියන්නේ මනසින් කර්ම රැස් කිරීමකුත් වෙනවා. කයින් හෝ වචනයෙන් සිදුකළ දුරාචාරයට සහයෝගය දැක්වීමක් තමා මනසින් එය සිතනවා කියන්නේ. ඒ නිසා ඒක වරදක් ලෙස දැක නැවත කරන්නේ නැහැ කියලා අධිෂ්ඨාන කරලා එතැනින් එහා එය නවතා දමන්න ඕන. ඒක අල්ලාගෙන ඉන්න හොඳ නැහැ. එහෙම අල්ලාගෙන සිටියොත් වෙන්නේ කළ කර්මය තවත් ප්‍රබල කර ගැනීමයි. එය තමා දන්නේම නැතුව දුගතියට යන්න පාර කපා ගැනීම.
ඒ නිසා වරද වරද ලෙස දැක ආයති සංවරයේ පිහිටලා ඒ සිතට වද දෙන දේ තිබෙනවානම් ඒවා අත හරිනවා. එය එක්තරා පරිත්‍යාගයක්. අපට පරිත්‍යාග කියලා ඇහුන ගමන් මතක් වෙන්නේ සිව්පසය අත හැරීමයි. නමුත් පරිත්‍යාගය කියන වචනයේ ගැඹුරු අරුත පෙර කී දේයි. සිතට කෙලෙස් උපදවන සිත කිලිටි කරන යම් අරමුණු එනවානම් එය අරමුණ අත හැරීම තමා පරිත්‍යාගය. සමහර වෙලාවට සිව්පසය අත හැරියාට සිතින් අල්ලාගෙන ඉන්න පුළුවන්. ඒක පරිත්‍යාගයක් නොවේ. ඒක දානය යි. හුදුු අතහැරීමක් පමණයි. පරිත්‍යාග කරනවිට අභයන්තරයේ තබාගෙන අතහරින්නේ නැහැ. ඒ නිසා සිත පීඩාවට පත්වෙන සිතට දුක සිතෙන කම්පාවෙන දේවල් අතහැරිය යුතුයි. ඒක තමා කළයුතු දේ. අතහරින්න එක සැරයක් ආදීනව දැක්කාම ඇති. “අනේ මම මේ දේ හිතන්න හිතන්න මට පාඩුවක් විතරමයි. දැන් කරන්න දෙයක් නැහැ. ඒකට කර්මය සැකසිලා අවසානයි” කියා හිතා ඒ දේ ආවර්ජනය කිරීම නවතා දමන්න ඕන.
නමුත් එතැනින් නවතින්න බැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, අතීතයේ වරදක් කළා. ඒ වැරැද්ද දැක්කා. ඊටපස්සේ ආයති සංවරයේ පිහිටියා. ඒ ගැන සිත සිතා ඉන්නේ නැහැ. ඒ කළ වරදට සමාන හොඳ දේ කළයුතු වෙනවා. ඒ වරද අමතක වෙන්නත් එක්ක පුළුවන් තරම් කුසලයට නැඹුරු වෙනවා. එහෙම කුසල් කරනවිට අර රැස් කරගත් අකුසල් ශක්තිය දුරු වෙනවා. වතුර ටිකකට ලුණු කැටයක් දැම්මොත් ඒ ලුණු ටිකේ රස වතුරට දැනෙනවා. නමුත් ලොකු වතුරකට ඒ ලුණු ප්‍රමාණයම දැම්මොත් එහි ලුණු රසයක් දැනෙන්නේ නැහැ. ඒ වගේම අප පුන්‍ය ශක්තිය වැඩිකර ගන්න ගන්න අප තුළ පාප ක්‍රියාවේ අකුසලය අඩු වී යනවා. මොකවත් නොකර නිකම් සිටියොත් වෙන්නේ ඒ අකුසලය ප්‍රබල වීමයි. ඒ නිසා අප අතින් අතීතයේ යම්කිසි පවක් වූවානම් ඒ පව වූ කර්මය නවතා ගත යුතුයි. නැත්නම් අඩුකර ගත යුතුයි.
ඒ නිසා පුළුවන් තරම් හොඳ දේ කළයුතු වෙනවා. ඒ හොඳ දේ කරනවාත් සමඟ බුදුරජාණන් වහන්සේ වදාළා බෞද්ධයෙක් විසින් පුරුදු කළයුතු අනිවාර්ය වටිනා භාවනා තිබෙනවා. ඒ තමා සතර බ්‍රහ්ම විවරණ. මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ නිතරම පුරුදු කරනවා. ඒ කියන්නේ භාවනාවක් පුරුදු කරනවා. මෛත්‍රී සිතිවිලි කරුණා සිතිවිලි, මුදිතා සිතිවිලි, උපේක්ඛා සිතිවිලි සිතන්න සිතන්න ඒ සිතේ දියුණු වෙන්නේ කුසලය යි. එහෙම හොඳ සිතිවිලි දියුණු වෙලාවක ඔහුට හදිසියේ මැරෙන්න වුණොත් අපායේ යන්නේ නැහැ. මැරෙන වෙලාවේ ඔහු සිත පිරිසුදු කරගෙන ඉන්නේ. සමහරවිට අවුරුදු දහසකට කලින් ඔහු අපායේ යන කර්මක් කළ කෙනෙක් වෙන්න ඇති. නමුත් ඒක වැරැද්දක් ලෙස දැනගෙන අවබෝධ කරගෙන ඒ වරද අතහැරලා ඒ වෙනුවෙන් පසුතැවෙන්නේ නැතුව කුසල් කරමින් පින්දහම් කරමින් කර්ම ශක්තිය හොඳ පැත්තකට යොමු කරමින් සිත රැකගෙන වර්තමානයේ හොඳ සිතිවිල්ලක සිත පවත්වනවානම්, ඔහු මරණින් මතු ජීවිතය ඒකාන්ත වශයෙන්ම සුගතිගාමි වෙනවා. අපායේ යන්නේ නැහැ කියා භාග්‍යවතුන් වහන්සේ වදාළා.
එහෙනම් මිනිසුන් ලෙස බෞද්ධ වුවත් අබෞද්ධ වුවත් වැරැදි සිදුවෙන එක ස්වභාවික යි. හැම දෙනා අතින්ම කායිකව, වාචසිකව අඩුපාඩු සිදුවෙන්න පුළුවන්. උසස් මනසක් තිබෙන කෙනා වරද වරද ලෙස දැකලා කුසල අරමුණක් සිත පිහිටනවා. සතෙකු වරදක් කළොත් ඒ සතාට වරද වරද ලෙස දකින්න බැහැ. ඔහුට උපන් බුද්ධි මට්ටමත් නැහැ. ඒ නිසා ඒ වරද නැවත නැවත කරනවා. මනසින් උසස් ප්‍රයෝජන ගැනීම පුළුවන් අප අතින් සංසාරයේ පුරුදු ලෙස හෝ යම් යම් අඩුපාඩු සිදුවුවොත් ඒ වූයේ වරදක් ලෙස දැකලා එය තේරුම් අරගෙන ඒ ගැන පසුතැවෙන්නේ නැතුව පුළුවන් තරම් හොඳ දේ කළයුතු වෙනවා.සතුන් මැරුවානම් සතුනට අභය දානය දෙනවා. කරුණාව දයාව පතුරනවා. සොරකම් කළ කෙනෙක් නම් පුළුවන් තරම් වචනයෙන් පරිස්සම් වෙනවා. ඒ වගේ දේ කරන විට ස්වභාවයෙන්ම ඔහු සිල්වත් වෙනවා. ඒ සිල්වත් වීමෙන් පමණක් සෑහීමකට පත් නොවී මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ෂා ආදී භාවනා කරන විට ඔහුගේ ජීවිතය බොහෝම සැනසිලිදායක වෙනවා. පසු නොතැවී ජීවත් වෙනවා. ඒ නිසා පෘතග්ජන ගතියට කිසියම් වරදක් වූවානම් ඒ මත්තේම නැසී ඉන්නේ නැතුව නැගී සිටින්න ඕන. ඒකට අදාල මඟ පෙන්වීම බුදුරජාණන් වහ්නසේ ලබාදී තිබෙනවා. ඒ සහනය සහජීවනය ලබාදී තිබෙනවා. ඒ තත්ත්වය තමා තුළින් උදාකර ගැනීම තමාගේ වගකීමක්.

අතීත ධර්ම දේශනා ක්‍රම

දේශනාවක ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ යහපත් ගුණධර්ම දියුණු කර ගැනීම මඟින් ආධ්‍යාත්මික සංවර්ධනය කරා ළඟාවීමයි. ධර්මය නුවණැත්තන් සඳහාම දේශනා කර ඇතත්, දියුණු නොවූ මනසකින් යුතු පුද්ගලයන්ට ද එයින් ලෞකික සතුටක් වුව ද ලබා ගැම උගහට නොවේ. එහෙයින් අතීත මෙරට ජනතාව ධර්ම දේශනා, පින්කම් සංවිධානය කිරීම අලංකාරවත්ව, උත්සවාකාරයෙන් සංවිධානය කිරීමට වග බලා ගත්හ. අතීත ලංකාවේ ධර්ම දේශනා ක්‍රම පිළිබඳ සිත් සතන් යොමා බැලූ විට ඒ බැව් මැනවින් පසක් වෙයි.
පැරැණි ලක්දිව ධර්ම දේශනා පැවැත්වීම උත්සවාකාරයෙන් කරන ලද්දේ රටෙහි සාමය සහ සමෘද්ධිය පැවති වකවානු වල බව ඉතිහාසය පිරික්සීමේ දී පෙනෙයි. එකල බණ ඇසීමට භික්ෂූන් වහන්සේලා මෙන්ම, ගිහි ජනතාව ද සිව් දිගින් පැමිණෙති. සවස් භාගයේ රැස්වෙන ජනතාව උදෑසන වන තෙක් ධර්ම ශ්‍රවණය කරති. එහිදී ඒකාකාරී බවෙන් මිදෙනු වස්, විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. දිවාකථික, පද භාණක, ධම්මකථික යනුවෙන් තුන් නමක් සහභාගි වූහ. ඒ අතරතුර හේවිසි ශබ්ද පූජා, මඟුල් බෙර වාදන, ජාම කාසි එකතු කිරීම වැනි කටයුතු ප්‍රධාන තැනක් ගනියි. දිවා කථීක හිමියන් ජනතාව රැස්වන තුරු පොදු අනුශාසනාවන් පවත්වයි. පදභාණක හිමියෝ මාතෘකා සූත්‍ර කිහිපයක් කටපාඩමින් දේශනා කරති. වඩාත් උගත් ධම්මකථික හිමියෝ එම සූත්‍රවල අර්ථ විග්‍රහ කරමින් ධර්ම දේශනා කරති.
ධර්ම දේශනා සඳහා ජනපි‍්‍රය සූත්‍ර ගණනාවක් තිබුණු. මහාවංසය වැනි වංස කතාවල සඳහන් පරිදි, දක්ඛිණවිභංග සූත්‍රය, දේවදූත සූත්‍රය, ගිලාන සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය, අරියවංස සූත්‍රය වැනි සූත්‍ර දේශනා සහ ජාකත කතා දේශනාවන් ප්‍රධාන තැනක් ගන්නා ලදී. මෙම දේශනා උත්සව සඳහා රාජ්‍ය අනුග්‍රහ නොමදව ලැබුණි. වෝහාරතිස්ස, රජතුමා අරියවංස දේශනා උත්සවය සඳහා දානය පිරිනැමීම සම්පූර්ණයෙන් භාර ගන්නා ලදී. තෝනිගල සෙල් ලිපියට අනුව ‘දේව නමැත්තෙක් කාලසුමනක නම් බැංකුවෙහි වී, උඳු, මුං වැනි ධාන්‍ය තැන්පත් කොට එහි පොලියෙන් ‘යහිසපවිය’ විහාරයෙහි අරියවංස සූත්‍ර දේශනාවට ආධාර කරයි.
ලබුඇටබැඳිගල සෙල් ලිපියට අනුව පුද්ගලයන් දෙදෙනෙක් කහවණු සියයක්ද විස්සක් ද, තැන්පත් කර, එම පොලියෙන් දේවගිරි විහාරයෙහි අරියවංස සූත්‍ර දේශනා පින්කමට ආධාර කරයි. පසු කාලෙයහි අතීත ධර්ම දේශනා ක්‍රම වෙනස් වී නව මුහුණුවරකින් එළි දකින්නට විය. ඒ අනුව ‘ආසන ධර්ම දේශනා, යුගාසන ධර්ම දේශනා, ජාතක ධර්ම දේශනා, සඟි ධර්ම දේශනා, අභිධර්ම දේශනා, රත්නාවලී ධර්ම දේශනා, වැනි ක්‍රම ප්‍රධාන තැනක් ගනියි.මෙම ධර්ම දේශනා ක්‍රම ද අභාවයට ගොස්, නාට්‍යානුසාරයෙන් රඟ දක්වන ධර්ම දේශනා ක්‍රම ආරම්භ විය. ඒවා අතරින් ‘සච්චක දමනය, ආලවක දමනය, යමරජුගේ නඩු තීන්දුව, සඳකිඳුරු ජාතකය, වෙස්සන්තර ජාතකය, යන මේවා ප්‍රධාන තැනක් ගනියි.
මෙම ධර්ම දේශනා ක්‍රම පිළිබඳ දැනුමක් තිබෙන දේශකයන් වහන්සේලා ද සොයා ගැනීම අපහසුය. එහෙත් ඇතැම් පිටිසර බද ප්‍රදේශවල අදද මෙම දේශනා ක්‍රම නොනැසී පැවතීම වාසනාවකි.
හුදෙක් ධර්මාවබෝධය ලබා ගැනීම පමණක් මේවා මඟින් අපේක්ෂා නොකළ අතර, දැයෙහි සමගිය, සමාදානය, සහජීවනය වැනි මානුෂික ගුණදම් පෝෂණය වීමද බලාපොරොත්තු වූ බවත් එම චාරිත්‍ර පිළිබඳ විමසීමේ දී පෙනෙයි.
මෙම ධර්ම දේශනා ක්‍රම ජනතාව අතර ජනපි‍්‍රය වන්නටත්, ජනතාව මේවා නොකඩවා ග්‍රහණය කර ගන්නටත් මේවා ඉදිරිපත් කළ දේශකයන් වහන්සේලා අනුගමනය කළ ක්‍රියාමාර්ගයන් බෙහෙවින් බලපා ඇත. වත්මන් ධර්ම දේශනාවක් පැයකට පමණ සීමා වන බව කව්රුත් දනිති. එහෙත් ඉහත සඳහන් ධර්ම දේශනා රැයක් පුරාවට පැවත්වුණි. ගොවිතැන් කර, අස්වනු කපා, අටුකොටු පුරවා ගත් සරු සාර කාලයෙහි ගැමියාගේ සිත්සතන් ප්‍රබෝධයට පත් වෙයි. නිදහසේ මෙවැනි පින්කම්වලට සහභාගි වීමට හැකියාව ලැබුණි. එයින් ඔවුහු අසීමිත ආශ්වාදයක් ලැබූහ. ධර්ම දේශනාවක් පැවැත්වීමට පෙර ඒ ගැන ප්‍රදේශය පුරා ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කරයි. ආලවක දමනය, සච්චක දමනය වැනි නාට්‍යානුසාරයෙන් රඟ දක්වන ධර්ම දේශනා ඇසීමට ද නැරඹීමට ද ජනතාව බෙහෙවින් කැමති විය. එවැනි දේශනාවක් පැවැත්වෙන බව ප්‍රදේශය පුරා කටින් කට පැතිරෙයි. දැන්වීම් පත්‍රිකා මගින් ද ප්‍රචාරය කරයි. මුද්‍රණ කටයුතු පහසුවෙන් කර ගත නොහැකි එදා, අත් අකුරන් ලියන ලද දැන්වීම් මඟින් ද ප්‍රචාරය කරයි.
“සම්බුදු පියා දෙසූ බණ ටික අහගන් න 
බිහිසුණු අලව් යකු දමනය කරලන් න 
දහ අට වන දිනය අමතක නොකරන් න 
පිළිහුඩුගොල්ලෙ පන්සල වෙත පැමිණෙන් න
මෙය අදට වසර හැටකට පමණ පෙර ප්‍රචාරය කරන ලද දැන්වීම් පත්‍රිකාවකින් උපුටා ගත් කවියකි. ධර්ම දේශනාවක් පැවැත්වෙන දින ගෘහණියෝ වේලාසනින් ආහාර පිළියෙළ කරති. අඳුර වැටෙත්ම පන්දම්, හුළු එළි දල්වාගෙන කව්රුත් පන්සලට පැමිණෙති. පන්සලට උචිත ඇඳුමින් සැරසීමට කව්රුත් වග බලා ගත්හ. නොගැළපෙන ඇඳුමෙන් පැමිණීම අන්‍යයන්ගේ විවේචනයට ලක්වීමේ හේතුවක් විය. ධර්ම දේශනාව ආරම්භ වීමට පෙර මූලික කටයුතු රැසක් සිදු විය. බුදුන් උදෙසා මල් පහන් ගිලන්පස පිදීම විශේෂ විය. පංච තූර්ය වාදනය මැද්දේ එම කටයුතු සිදු විය. අනතුරුව මල් බඳුන් වෙන්දේසි ආරම්භ වෙයි.මෙවැනි ක්‍රියා මගින් ගැමියෝ අහිංසක විනෝදාශ්වාදයක් ලැබූහ. මල් බඳුන් අලෙවියෙන් පසු සල්පිල් භාණ්ඩ අලෙවිය සිදු වෙයි. මේ සියල්ල සිදු කරන්නේ විහාරස්ථානයේ දියුණුව වෙනුවෙනි. මේවා අතරට පන්තේරු නැටුමක් වැනි නැටුමක් ඉදිරිපත් කරන්නේ විවිධත්වය අරමුණු කරගෙනය. ඒ සඳහා සුදුසු ශිල්පීන් ගමෙන්ම සොයා ගත හැකි විය. මෙම මූලික කටයුතු වලින් පසුව දේශකයන් වහන්සේ වැඩමවන්නේ හේවිසි හඬ මධ්‍යයේ අත් පුටුවෙන් ය. අත් පුටුව යනු ශක්තිමත් දායකයන් දෙදෙනකු හෝ සිව් දෙනකු ඔවුනොවුන්ගේ බාහු වලින් අල්ලා ගෙන පුටුවක් මෙන් සකස් කර ගත් එම අත් මත දේශකයන් වහන්සේ වාඩි කරවා ගෙන ඔසවාගෙන ධර්මාසනය මතට වැඩම වීමයි. මෙසේ දේශකයන් වහන්සේ ආසනය මත වැඩ හිඳීමෙන් පසු, මංගල හේරි නාදය පවත්වයි. රැස්ව සිටින සියලු දෙනා එකවර සාධු නාද පවත්වයි. අනතුරුව පන්සිල් සමාදන් වීමට සූදානම් වෙති. නිකම්ම පන්සිල් දෙන්නේ නැත. පන්සිල් ඉල්ලිය යුතු ය. පන්සිල් ඉල්ලීමට හැකියාව ඇති හඬ නඟා මිහිරිසරෙන් ගායනා කළ හැකි බොහෝ දෙනකු ගම්මානයේ සිටියද, එක් අයකු දේශකයන් වහන්සේ ඉදිරියෙහි දොහොත් මුදුන් තබාගෙන,
බුද්ධමානි චිත්‍යපාද පුම්බුපේත රෝරුගම් 
නිත්‍ය සත්‍ය සාගරන්තු දේව බ්‍රහ්ම වන්දිතම් 
කාමනාථ සග්ග පාද නිබ්බුතේන අන්ත්‍යගම් 
නිත්‍ය සත්‍ය සාගරේන පංචශීල දේථමං”
මෙවැනි ගාථා සහ කවි කියමින් පන්සිල් ආයාචනා කරයි. පන්සිල් ඉල්ලීමෙන් පසු නමස්කාරය කීමට අවසර ඉල්ලන්නේ මෙසේ ය.
‘පවර විසිතුරු සත්ජනන්ගෙන් සැදුම් ලත් මෙම මන්දි රේ 
එවෙනි සව්සත දහම් අසමින් නිවන් පුරයට සන්තො සේ 
දිව පුරට ගොස් ඉසුරු විඳිනට සැම සතුන්ටම සිද්ධ වේ 
මෙ අපි සැමටම නමස්කාරය කියන්නට දැන් අවස රේ’
මෙලෙස නමස්කාරය කීමට අවසර ඉල්ලා නමස්කාරය කියති. අනතුරුව පන්සිල් දෙති. පන්සිල් සමාදන් වීමෙන් පසුව දහම් දෙසන මෙන් ආරාධනා කරයි. ඒ සඳහා කවි ගාථා රැසක්ම ඇත. මේ එවැනි කවියකි. මෙලෙස ආරාධනා කිරීමෙන් පසු දේශකයන් වහන්සේ ‘සග්ගේ කාමේච රූපෙආදී වශයෙන් වර්තමානයේ ද භාවිතා වන ගාථා කිහිපය දේශනා කිරීමෙන් දේවාරාධනය කරති. අනතුරුව පැරණි තාල අනුව නමස්කාර ගාථා කියයි. එනම්,
“ගගන තල මැද දිලෙන පුන් සඳ ලෙසට බැඳි සොඳ උඩු විය න් 
අවට වට තරු විලස බබළන අඳුර දුරු කරලා පහ න් 
රුවට වගුරැළ පෙළට මලලොඹු දොරටු වල සැදි පුන් කළ ස් 
එමැද වැඩ උන් බණ අසුන් පිට යතිඳු පාවැඳලා කිය ම්
‘සංපීන ලක්ඛණ විරාජිත රූප සාරං 
සාරං විචිත්ත නයධාරිත ධම්ම දේහං 
දේහං වරක්ිත භවන්තය ඤෙය්‍ය ලෝකං 
ලෝකඤ්ඤුතං ජිනවරං සිරසා නමාමී
සන්තින්ද්‍රියං විත පාපමලං විසුද්ධං 
සම්බුද්ධ සාසන නහේ විය පුණ්ණ චන්දං 
යං අග්ග පුග්ගල පවග්ග මහග්ඝ දානං 
ජිනේන්ද්‍ර සංඝ පවරං සිරසා නමාමී’
අනතුරුව දීර්ඝ ‘චූර්ණිකාව‘ කියයි. මෙය අනුප්‍රාස සමාස වලින් සපිරි කියමනක් නිසා උවසු උවැසියෝ සැදැහැයෙන් යුතුව අසාගෙන සිටිති. මෙලෙස චූර්ණිකාව දේශනා කිරීමෙන් පසු ත්‍රිවිධ රත්නයේ ගුණ ඇතුළත් ‘සංග්‍රහවක්’ කියයි. එය දීර්ඝ පාඨයන්ගෙන් සමන්විතය. ‘මෙසේ පූර්ව කටයුතු රැසක් සිදු කිරීමෙන් පසු, මාතෘකා පාඨයක් හෝ සූත්‍රයක් කියයි. ධර්ම අවවාද කරයි. මාතෘකාව ඇසුරෙන් ධර්ම දේශනා කරයි.
‘ආලවක දමනය’ වැනි නාට්‍යානුසාරයෙන් පැවැත්වෙන ධර්ම දේශනා වලදී, බුදු හිමියන් සහ අලව් යකු අතර ඇතිවන සංවාදය මඟින් දහම් කරුණු ලිහිල්ව ඉදිරිපත් කරයි. අකුරු ශාස්ත්‍රය නොදත් බොහෝ දෙනකුට මෙම දේශනා පහසුවෙන් වටහා ගත හැකිය. දහස් ගණන් සෙනඟ රැස්වී පාන්දර ජාමයේ අලව් යකු පැමිණෙන තුරු බලා සිටිති. ඝෝරබිරං හඬ නංවමින් අලව් යකු පැමිණෙන විට නින්දට වැටී සිටි ළමා ළපටියන් බියට පත් වී හඬ නගති. එය ඉතා උණුසුම් අවස්ථාවකි. කෙසේ වෙතත් දේශනාව නිමාවත් සමඟ අලව් යකු දමනයට පත් වෙයි. සුරතල් බිලිඳු අලව් කුමරු අලව් යක්ෂයාට බිලි පිණිස පිළිගැන්වීමත්, යකු විසින් කුමරු බුදු හිමියන්ට පූජා කිරීමත් දකින සංවේදී කාන්තාවන්ගේ දෑසින් කඳුළු කඩා වැටීම අනුවේදනීය දර්ශනයකි.
සියල්ල අවසන් වීමෙන් පසු, ‘මෛත්‍රී වර්ණනාවෙන්’ ධර්ම දේශනාව නිමාවට පත් වෙයි. මෛත්‍රී වර්ණනාව මගින් පැවසෙන්නේ මෛත්‍රී බුදුන් දකින සහ නොදකින අය පිළිබඳවයි. පුණ්‍යානුමෝදනාව කිරීමෙන් පසු, හේවිසි මධ්‍යයේ දේශකයන් වහන්සේ පෙර පරිදිම අත් පුටුවෙහි තබාගෙන පන්සල තුළට වැඩමවනු ලබති. මේ පුරාණ ධර්ම දේශනා ක්‍රම සකස්වී තිබූ ක්‍රමයන්ය. මෙවැනි සද් කාර්යයන්ගෙන් එදා ජනතාව මෙන්ම මහා සංඝරත්නයද බලාපොරොත්තු වුණේ දැයේ සමගිය, සමාදානය, සෞභාග්‍යය වැනි කරුණු මිස යම් යම් ලාභ ප්‍රයෝජන අත්කර ගැනීම නොවන බව පැහැදිලිය.
සදහම් සඟරා - Online