ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

සසර සැඩපහර තරණය කිරීම

රත්මලානේ ශ්‍රී රත්නාරාමය
බොරලැස්ගමුවේ සිරි සෝනුත්තර විහාරය යන 
උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත 
කොළඹ නව තොටමුණේ 
ප්‍රධාන අධිකරණ සංඝ නායක
සූරියගොඩ සිරිධම්ම නා හිමි

දේවතා සංයුත්තය පුරාවටම අප්‍රකට දෙවිවරුන් පිළිබඳව සඳහන් වෙයි. ඔවුන් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ නොයෙක් ප්‍රශ්න අසන අයුරුත්, ඒ ප්‍රශ්නවලට බුදු සමිඳුන් වදාරණ පිළිතුරුත් එහි ඇතුළත්. ඇතැම් දෙවිවරුන්ගේ ගාථාවන් අපගේ ශාස්තෘන් වහන්සේ විසින් අනුමත කළ අවස්ථාවන්ද දක්නට ලැබෙනවා. සමහර දෙවිවරුන්ගේත්, මිනිසුන්ගේත් අදහස් අතර විශාල වෙනසක් නැති බව මේ දේවතා සංයුත්තය පරිහරණය කරන විට පෙනෙයි. මෙහි සූත්‍ර අසු එකක් සඳහන්ව තිබෙන අතර බුදුරජාණන් වහන්සේගේ තෙවලා දහම තුළ අන්තර්ගත වන “සගාථ වර්ගයේ” දේවතා සංයුත්තය දෙස අපගේ අවධානය යොමු කරමු.
එහි “නළ වර්ගය” නමින් කොටසක් සඳහන් වෙයි. එහි පළමු සූත්‍රය “ඕඝ තරණ” සූත්‍රය යි. ඕඝ යනුවෙන් අදහස් කරනුයේ සැඩ පහරයි. ඒ සැඩ පහරවල් තරණය කිරීම සම්බන්ධයෙන් කරුණු කාරණා මෙම සූත්‍රයේ ඇතුළත් වෙයි. මේ සූත්‍රය මා විසින් මෙසේ අසන ලදැයි ආනන්ද තෙරුන් විසින් දක්වා තිබෙනවා.

එක් අවදියක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටාණන් කළ ජේතවනාරාමයේ වැඩ විසුවා. එහි දී එක් දේවතාවෙක් මධ්‍යම රාත්‍රියේ මුළු දෙව්රම් වෙහෙරම බබුළුවා ගෙන එතැනට පැමිණියා. එසේ පැමිණ උන්වහන්සේට වන්දනා කර එකත් පසෙක සිටියා. බුදුරජාණන් වහන්සේ මුණ ගැසීමට එන භික්ෂු භික්ෂූන්, දෙවි දේවතාවන් , සිටුවරු, රජවරු, ඇමැතිවරු, උපාසක, උපාසිකාවන් විවිධාකාරයෙනුයි බුදුරජාණන් වහන්සේ අසල අසුන් ගෙන තිබෙන්නේ. ඇතැම් අය වැඳ එකත් පසෙක වාඩිවුණා. ඇතැම් අය තමන් හඳුන්වා දී වන්දනා කොට වාඩිවුණා. තව කොටසක් බුදුරජාණන් වහන්සේ සමඟ සාකච්ඡා කොට සංවාදයක් කර වන්දනා කොට වාඩි වුණා. ඇතැම් අය නිශ්ශබ්දව වාඩි වුණා. මෙහිදී මේ දේවතාවා බුදුරජාණන් වහන්සේට වන්දනා කොට එකත්පසෙක වාඩි වී මෙසේ අසා සිටියා.
නිදුකාණන් වහන්ස, ඔබ වහන්සේ ඕඝය (සැඩ පහර) තරණය කළේ කෙසේද?
1. කාම නමැති සැඩ පහර
2. භවය නමැති සැඩ පහර
3. දැක්ම නමැති සැඩ පහර
4. අවිජ්ඡාව (නොදැනීම) නමැති සැඩ පහර ලෙස සැඩ පහර හතරක් ධර්මයේ සඳහන් වෙනවා.

කාමය නමැති සැඩපහර

මේ සැඩ පහර හතරෙන් ඔබ වහන්සේ එතෙර වූයේ කෙසේද? නිදුකාණන් වහන්ස, මේ කාමය කියන සැඩ පහරට හසු වූ බොහෝ අය එයින් ගොඩ ඒම බැරිවයි සිටින්නේ. මේ ලෝකයේ විවිධ අය කාම වස්තුන් වලට හසුවෙලා කාම වස්තුන් පරිභෝග කරමින් ඒවාට ඇලිලා, ගැටිලා ජීවත්වෙනවා මිස එයින් ගොඩ ඒමක් පිළිබඳව කල්පනා කරන්නේ නැහැ. එසේ කාමයන්ට ඇලුණු ඇතැම් කෙනෙක් ඒ තුළම තමන්ගේ ජීවිතය විනාශ කර ගන්නවා. ඔබවහන්සේ, මේ කාමය නමැති සැඩ පහර තරණය කළේ කෙසේද? කියා මේ දෙවියා අසා සිටියා.

භවය නමැති සැඩපහර

දෙවනුව අසන්නේ භවය නමැති සැඩ පහර පිළිබඳවයි. භවය යනු සංසාරය යි. මේ සංසාරයේ විවිධ භව තිබෙනවා. කාම ලෝක තිබෙනවා. ඒ කාම ලෝකයට දිව්‍ය ලෝක හය, මනුස්ස ලෝකය සහ සතර අපාය අයිතියි. සත්ත්වයා මේ භවයන්වල සැරිසරනවා. එයට සත්ත්වයාගේ කැමැත්තක්ද තිබෙනවා. මනුස්ස ආත්මය ලබා සිටින ඇතැම් අය දිව්‍ය ආත්ම ලබන්න කැමැතියි. ඇතැම් අය බ්‍රහ්ම ලෝකයේ උපතට කැමැතියි. කාන්තාවක් පිරිමියෙක් ලෙස ඉපදෙන්නට කැමැතියි. සමහර පිරිමින් කාන්තාවන් ලෙස ඉපදෙන්නට කැමැතියි. මේ ලෙස භවයේ සැරිසරන්නට අපේ සිතේ කැමැත්තක්, ආශාවක් තිබෙනවා. ඒ නිසා මේ භවය කියන තත්ත්වයෙන් එතෙර වූ බුදුරජාණන් වහන්සේගෙන් දෙවියා ඒ ආකාරයට ප්‍රශ්නය අසන්නේ.

දැක්ම නමැති සැඩපහර

ඊඟට දෙවියාගේ ප්‍රශ්නය දිට්ඨිය (දැක්ම) පිළිබඳවයි. මේ දැකීමේ දෙපැත්තක් තිබෙනවා. එකක් අපේ පියෙවි ඇසින් දැකීම. අනෙක ප්‍රඥාවෙන් දැකීම. පියෙවි ඇසින් දකින හැම දෙයක්ම ඇත්ත නොවේ. පියෙවි ඇසට පෙනෙන බොහෝ දේ අසත්‍ය වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. ප්‍රඥාවෙන් දකින දේ සත්‍යයක්. ඒ ප්‍රඥාවෙන් දකින දෙයයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේට ඇති උතුම්ම රත්නය ලෙස. ඒ නිසා දැක්ම අපට තිබෙන්න ඕන. ඒ දැකීම් අතර සමහර අය මිථ්‍යා දෘෂ්ඨිය කර පින්නාගෙන සිටිනවා. මිථ්‍යා දෘෂ්ඨිය හසුවූ විට මේ සසරින් එතෙර වෙන්න බැහැ. එයට නිදසුනක් කියන්නම්. සමහර අය කියනවා කෙනෙක් මිය ගියපසු පාංශුකූල වස්ත්‍රය සඳහා මීටර හතරක් අවශ්‍යයි කියා. නමුත් රෙදි මීටර් හතර එදා ඉන්දියාවේ ගත්තේ මියගිය තැනැත්තා ඔතන්නයි. එයට කීවේ පාංශුකූල වස්ත්‍රයයි කියායි. නමුත් කෙනෙක් මියගිය පසු දෙන වස්ත්‍රය මතක වස්ත්‍රය යි. මතක වස්ත්‍රය දෙන්නේ මිය ගිය තැනැත්තාට පින් පිණිසයි. ඒ පින් පිණිස දෙන වස්ත්‍රය මීටර් හතර නොවේ. තමාට පුළුවන් ආකාරයට මීටරයත් ඇති. එහෙම නැත්නම් මීටර් දහයක් හෝ පූජා කළ හැකියි. ඒ නිසා මිය ගිය කෙනාට පින් පිණිස දෙන දේ ප්‍රමාණයක් කොතැනකවත් මෙපමණයි කියා සඳහන් වී නැහැ. ඒ වගේ වැරැදි දැකීම් අප දුරු කරන්න ඕන.

නොදැනීම නමැති සැඩපහර

අනෙක් කාරණය වන්නේ අවිජ්ඡාව. (හැම දෙයක්ම නොදැනීම). නො දැනීම තිබෙන තුරු අපට සත්‍ය දකින්නට ලැබෙන්නේ නැහැ. මෙහිදී නො දැනීම ලෙස හඳුන්වා ඇත්තේ චතුරාර්ය සත්‍ය ධර්මය නො දැනීමයි. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිනි පටිපදා ආර්ය සත්‍ය නො දැනීම අවිජ්ඡාවයි. මේ කියන ඕඝ සැඩ පහර හතර බුදුරජාණන් වහන්සේ තරණය කළේ කෙසේද? කියායි මේ දෙවියා අසන්නේ.

ඕඝ තරණය

මෙහිදී බුදුරජාණන් වහන්සේ වදාළා දෙවිය, මම පිහිටා සිටින්නේත් නැතිව, (කාමසුඛල්ලිකානු යෝගයේ පිහිටා නොසිට) වෑයම් (උත්සාහ) කරන්නේත් නැතිව (අත්තකිලමථානු යෝගය අත්හැරීම ) මේ ඕඝය තරණය කළෙමි. මෙහිදී දෙවියා අසනවා ස්වාමිනි, පිහිටා සිටින්නේත් නැතිව වෑයම් කරන්නේත් නැතිව ඕඝ තරණය කළේ කෙසේද? දේවතාවය පිහිටා සිටියොත් ගිලෙනවා. වෑයම් කළොත් පාවෙනවා. එනිසා මම පිහිටා සිටින්නේත් නැතිව වෑයම් කරන්නේත් නැතිව ඕඝ තරණය කළා.
පිහිටා සිටින්නේත් නැතිව, වෑයම් කරන්නේත් නැතිව මේ ලෝක තෘෂ්ණාවෙන් එතෙර වුන නිවී සැනසුන බ්‍රාහ්මණයෙකු කලෙකින් හමුවුණා කියා දේවතාවා පී‍්‍රති ඝෝෂා කළා. මෙහිදී දේවතා “බ්‍රාහ්මණ” කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කොට තිබෙනවා. තථාගතයන් වහන්සේ විවිධ නම්ගොත් වලින් හඳුන්වා දී තිබෙන බව, ආමන්ත්‍රණය කර ඇති බව මෙහිදී පැහැදිලි වෙනවා.
මේ දේවතාවා ඇසූ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ අනුමත කොට වදාළා. එයටද දෙවියා පී‍්‍රතියට පත් වූණා. මෙහිදීත් අපට පැහැදිලි කර ගන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ සමඟ සාකච්ඡාවක් කොට තමන් බලාපොරොත්තු වුණාට වැඩිය උසස් පිළිතුරක් ලැබුණ විට උන්වහන්සේට වන්දනා කොට පැදකුණු කොට අතුරුදහන් වූ බව.
මෙහිදී අපට තවත් පාඩමක් උගන්වනවා තමන්ට නිවැරැදිව දෙයක් කියා දුන්න කල්‍යාණ මිත්‍රයාට, දේශකයන් වහන්සේට ගෞරව කර එතැනින් නික්මයාම පිළිබඳව සාරධර්මයක් ලෙස කෙළෙහිගුණ සැලකීමේ පාඩම දෙවි දේවතාවන් විසින් අපට උගන්වා තිබෙනවා.
එනිසා මේ සංයුත්ත නිකායේ එන දේවතා සංයුත්තය හැදෑරීමෙන් අපට බෙහෝ කරුණු අපේ ජීවිතයට ඉගෙන ගැනීමට හැකියාව තිබෙනවා. දෙවිවරුන් ඉතාමත් බුද්ධිමත් ලෙස භාග්‍යවතුන් වහන්සේගෙන් කරුණු විමසා තමන්ගේ ගැටලු නිරාකරණය කර ගත් අයුරු ඉදිරි ලිපිවලදී පැහැදිලි කරමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සාහසික ලෙස මුදල් හම්බ කරනවාද?

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සරූ හිමි

මනුෂ්‍ය ආත්මය ලබාගෙන මනුෂ්‍යයෙකු ලෙස ජීවත්ව සිට මිය පරලොව ගිය පසු අපාගත වන මනුෂ්‍යයන් පිළිබඳව අප දැනුවත්ව සිටිය යුතුයි. මෙලොව ජීවත් වන කාලය තුළ උට්ඨාන වීර්යය හරි වැරැද්ද නිවැරැදිව තේරුම් ගැනීමේ නොහැකියාව නිසා මනුෂ්‍ය ලෝකය තුළම අපාදුක් විඳින මනුෂ්‍යයන් පිළිබඳව බුදුරාණන් වහන්සේ දේශනා කොට ඇත.
මනුෂ්‍යයෙකු ලෙස උප්පත්තිය ලබා මනුෂ්‍යයෙකු ආකාරයෙන් ජීවත්වන විට ජීවත් වන පුද්ගලයාට ඒ ඒ වයස් සීමාවන් කාල වකවානු අනුව ඒ ඒ චරිතවලට අනුගත වීමට සිදුවෙයි. කුඩා දරුවෙකු ලෙස ජීවත් වන අවධිය තුළ අධ්‍යාපන කටයුතු කෙරෙහි නිරතවීම අත්‍යවශ්‍යය වෙයි. තරුණ වියට පැමිණීමත් සමඟ රැකියාවක් කිරීම අත්‍යවශ්‍ය වෙයි. රැකියාව කරන සේවා ස්ථානය රැකියාවේ ස්වභාවය තමන් කරන රැකියාවට ආදරය කරමින් ආසාවෙන් එම කටයුතු ඉටුකිරීම එම පුද්ගලයාට පැවරෙන වගකීමක් වෙයි. තරුණ පුද්ගලයෙකු තරුණ වියත් සමඟම විවාහයට පත්වූවාට පසු විවාහ ජීවිතයක් හා විවාහ ජීවිතය හා බැඳුනු යුතුකම් තමන්ගෙන් සමාජයට ඉටුවිය යුතු යුතුකම්, ආගම දහමට තමන්ගෙන් ඉටුවිය යුතුකම් ආදී වශයෙන් විවාහ ජීවිතය ගතකරන අතරතුර වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවෙයි.

නිවැරැදි අවබෝධය

මේ ආකාරයට අනුව ඒ ඒ වයස් සීමාවන්ට අනුකූලව ඒ ඒ කාලවල ඒ ඒ අංශ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. එසේ අවධානයක් යොමුකරන විට මූලික වශයෙන්ම එම පුද්ගලයා සතු අවබෝධය වැදගත් වෙයි. දැනුම , අවබෝධය, උවමනාව හා මානසික වශයෙන් ලබාතිබෙන අවබෝධය නිවැරැදිව ලබා නොගත් පුද්ගලයෙකුට තමන්ට අවශ්‍ය තමන්ට අදාල වන කාර්යභාරය කුමක්ද? යන කාරණාව නිවැරැදිව තේරුම් ගැනීමට නොහැකි වෙයි. නිවැරැදි අවබෝධයකින් තොර වූ පුද්ගලයෙකුට තමන්ගේ විවාහ ජීවිතය පිළිබඳව නිවැරැදි වැටහීමකින් යුතුව එය කළ නොහැකිය. බෞද්ධ ආගමික පුද්ගලයෙකු ලෙස බෞද්ධ දිවිපැවැත්ම අනුව තමන්ගේ ජීවිතය සකස්කර ගන්නා විට එම තැනැත්තාට හෝ එම තැනැත්තියට ආගම දහම සහ තමන් ආගම දහමෙන් බලාපොරොත්තු වන කාර්යයන් පිළිබඳ යහපත් ලෙස නිවැරැදි අවබෝධයක් නොතිබුණහොත් ඔහුට එම ආගමික ජීවිතය සාර්ථකව ඉෂ්ටකරගෙන යාමට අපොහොසත් වෙයි. අධ්‍යාපනය ලබන වියේ සිටින දරුවෙකු පිළිබඳව වුවද, එම දරුවා විසින් කළ යතු කාර්යයන් කුමක්ද? යන වගකීමත් අධ්‍යාපනය ලැබිය යුත්තේ කුමන ආකාරයටද? තමන් අධ්‍යාපනය ලැබිය යුත්තේ කුමක් සඳහාද? ආදී වශයෙන් එම කරුණු පිළිබඳව අවබෝධයක් නොතිබුණහොත් එම පුද්ගලයාට තමන්ගේ අධ්‍යාපන කටයුතු නිවැරැදිව කරගෙන යාමට නොහැකිවෙයි. වර්තමාන සමාජය තුළ සෑම අවස්ථාවකම ගත කරනු ලබන පුද්ගලයන්ගේ ජීවිතවලට එබිකම් කර බැලුවහොත් වැඩි වශයෙන් ඔවුන් තමන්ගේ ජීවිත අවුල් කරගන්නා ස්වභාවයක් දක්නට ලැබෙයි. එසේ වීමට හේතුව කුමක්ද? යන වග සොයා බලන විට ඒ පිළිබඳව ඔවුන්ට නිවැරැදි අවබෝධයක් නොමැතිකමයි. මීටර් සියය තරඟය දුවන ක්‍රීඩකයා ආරම්භයේ සිට අවසානය සඳහා හැකි තරම් වේගයෙන් තමා දිවිය යුතුය යන අධිෂ්ඨානය තිබුණ හොත් පමණක් ඔහු ක්‍රියාත්මක වෙනු ඇත. එසේ නොවුණ හොත් ඔහු නොකරන්නේත් එම ක්‍රියාවමයි. තමන් විසින් කරනු ලබන වැඩ කටයුතු පිළිබඳව අවබෝධයක් වැටහීමක් තිබිය යුතුය.

විවාහ ජීවිතය

වර්තමාන සමාජය තුළ විවාහ ජීවිතය ගත කරන පුද්ගලයන් පිළිබඳව සළකා බලන විට ඔවුන් වැඩි වශයෙන්ම විවාහ ජීවිතය ගත නොකරයි. විවාහය යනු කුමක්ද? විවාහ ජීවිතය යනු කුමක්ද? තමන් විවාහය තුළින් දැනගත යුතු කරුණු මොනවාද? යන කාරණා පිළිබඳව අවබෝධය අඩුකමක් දක්නට ලැබෙයි. වර්තමාන සමාජය තුළ එම අවබෝධය අඩුකම නිසාම, බොහෝ අවස්ථාවල මරණයට පත්වීමට පෙර ජීවත්වන කාලය තුළ අපාදුක් විඳින පුද්ගලයන් දැකිය හැකිය. අවබෝධය නොමනැතිකම එයට හේතුවක් වෙයි. අනවබෝධය බුදුදහම තුළ ලොකුම කරුමය ලෙස හඳුන්වා ඇත. ප්‍රකාශ කරන කරුණු වටහා නොගැනීමත්, සිතා යමක් කිරීමේ හැකියාවක් නොමැතිකමත් තරම් කරුමයක් වෙනත් නැහැ. මිල මුදල්, ගෙවල් දොරවල්, යාන වාහන හෝ කුමන ආකාරයේ ඉසුරු සම්පත් ලැබුණත් අවබෝධය නොමැති නම්, එම පුද්ගලයාට විශාල කරුමයක් වෙයි. ජීවිතය ලස්සන වෙන්නේ නැහැ. ජීවිතය රසවත් වන්නේ නැහැ. ජීවිතය සැහැල්ලු වන්නේ නැහැ. සෑම අවස්ථාවකම ජීවිතය පැටලීම් සහිත බරක් දැනෙයි.ජීවිතය පිළිබඳව සැක සංකා පවතී. නිවැරැදි අවබෝධය නොමැති පුද්ගලයාට කිසිම දෙයක් කළ නොහැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එම පුද්ගලයන් මිථ්‍යා දෘෂ්ටියෙහි වෙලී ජීවත් වන පිරිසක් වෙයි. සමාජයේ ජීවත්වන පුද්ගලයෙකු ලෙස සමාජයට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් පිළිබඳව තමන්ගේ මානසිකත්වය පාලනය කරගෙන ජීවත් වීම නිවැරැදි දැකීමයි. තමන්ගේ මනස, සිත , පාලනය කරගැනීම,තමන්ගේ ජීවිතය පිළිබඳව සැහැල්ලුව ඇතිකරගැනීම තමන් කරන ක්‍රියාවන් පිළිබඳව අවබෝධයෙන් නිිරත වීම සම්මා දිට්ඨිය වෙයි. වර්තමාන සමාජය තුළ බොහෝ අවස්ථාවල අපට දක්නට ලැබෙන්නේ තමන් පාලනය නොවී වෙනත් පුද්ගලයන් පාලනය කිරීමට උත්සාහ කරන පුද්ගලයන්ය. තමන් තුළ හැදියාව නිවැරැදිකම නොමැතිව සෙසු පිරිස තුළ හැදියාව ඇතිකර වීමට උත්සාහ ගන්නා පුද්ගලයන් හමුවෙයි. ඇතැම් විට තමා තුළ නොමැති ශික්ෂණය, අනෙක් අය තුළ සොයන පුද්ගලයන්ද, තමන්ට හැදීමට වුවමනාවක් නොමැතිව අනුන් නිවැරැදි කිරීමට උත්සාහ කරන ආකාරයේ පුද්ගලයන් ද දැකිය හැකිය.

වගකීම

මව දියණිවරුන් නිවැරැදිව හැදීම සඳහා උත්සාහයක යෙදෙයි. සැමියා බිරිඳ නිවැරැදි කිරීමටද,බිරිඳ සැමියා නිවැරැදි කිරීමටද, උත්සාහ දරයි. දායකයා ස්වාමීන් වහන්සේලාත් ස්වාමීන් වහන්සේලා දායකයාත් නිවැරැදි කිරීමට උත්සාහ කරයි. තමන්ගේ අඩුව කුමක්ද? තමන්ට තමන් වසඟ නැත්තේ කුමන හේතුවකින්ද? තමන් තමන්ගේ ජීවිතය පිළිබඳව තෘප්තියකින් පසුවනවාද? යන කාරණා පිළිබඳව සොයා බැලීම අපට තිබෙන විශාලම වගකීමයි. විමසිලිමත් වන පුද්ගලයෙකු විමසිලිමත් විය යුත්තේ එයයි. වර්තමාන සමාජය තුළ බොහෝ පිරිස් එම විමසිලිමත් බව නොමැතිකම නිසාත් වෙනත් කාරණාවන් පිළිබඳව සොයාගෙන යාම නිසාත් ජීවිතය අවුල් කරගෙන ඇත.

තරුණ වයස ගතකරන බොහෝ පිරිස් තමන්ගේ ජීවිතය සරුසාර කරගන්නට තමා තුළ ඇතිකර ගත යුතු ශක්තිය කුමක්ද? යන්න සිතනවාට වඩා තමන්ගේ ජීවිතය තුළ තිබෙන අඩුපාඩු සකස්කරගෙන තමන්ගේ ජීවිතයේ දියුණුව සකස් කරගන්නවා වෙනුවට ඇතැම් ජනමාධ්‍ය තුළ පෙන්වනු ලබන සිහින ලෝක තුළ සුරංගනා ලෝක තුළ අතරමං වෙයි. එම අතරමං වන පිරිසට තමාගේ අම්මා මතක නැහැ. සැමියාට තමන්ගේ බිරිඳද බිරිඳට තමන්ගේ සැමියාද මතක නැහැ. තමාට පැවරී තිබෙන වගකීම් කොටස මතක නැහැ. සමාජයේ උප්පත්තිය ලබන පුද්ගලයෙකු විසින් සමාජයට රටට ආගමට ජාතියට ඉටු කළ යුතු යුතුකම් කොටසක් ඇත. තමා විසින් කළ යුතු අර්ථවත් කාර්යයන් කොටසක් පවතී. තමන්ට ලැබිය යුතු දේ පමණක් සිතිය යුතුද? තමන් ලබාගත යුතු දිනුම් පමණක් සිතිය යුතුද? එම යුතුකම් කොටස සීමා මායිම් නැද්ද,එම යුතුකම් කොටස යුතුකමක් ලෙස සිතා ඉටු නොකරන ස්වභාවයක් දක්නට ලැබෙයි. ඒවා ගනුදෙනුවක ස්වභාවයකින් කරනු ලබන අතර ඇතැම් අවස්ථාවලදී තමන් විසින් එම කාර්යයන් ඉටුකර දී තිබෙන නිසා තමන්ට ද මෙම කාර්යයන් ඉටුවිය යුතු බවට ප්‍රකාශ කරනුයේ ගනුදෙනුවක ස්වභාවය තුළයි.
තමන් ආයතනය වෙනුවෙන් කළ යුතු වැඩ කොටසක් කර තිබෙන නිසා එම ආයතනය විසින් තමන්ට මේ ආකාරයට සැළිකිය යුතු බවට සිතයි. තමන්ගේ යුතුකම වෙනත් කාරණාවක් වන අතර තමන්ගේ ඉල්ලීම් යනු වෙනත් කාරණාවක් වෙයි. තමන්ට ජීවත් වීම සඳහා මාසික වැටුපක් ලැබෙන අතර තමන් රැකියාව කරන ආයතනයට තමන් අවංකව සේවය කිරීමේ යුතුකමක් එම සේවකයාට නැද්්ද? එම යුතුකම වෙනුවෙන් ඔවුන් වැටුපක් ලබයි.
තමන්ගේ සේවය වෙනුවෙන් ලබන වැටුපත් තමන්ගේ යුතුකම් කොටසත් අමතක කරනු ලබන්නේ ඇයි අප රට තුළ තිබෙන ඇතැමි රාජ්‍ය ආයතන බංකොළොත් බවට ප්‍රකාශ කරයි. සමහර රාජ්‍ය ආයතන තුළ වැටුප සියල්ලම අවසන් වන තෙක් සේවකයා ණය ලබාගෙන අවසානයි. එදා ෙවිල හෝ දවසේ වියදම පගාවෙන් ගෙවන් කිරීමට ඇතැමුන් පුරුදු වී ඇත.
සාහසික මුදල්
මෙම තත්ත්වය කවුරුත් දන්නා ඇතැම් විට ප්‍රසිද්ධ රහසක් වෙයි.තමන් විසින් පගාව ලෙස අනුන්ගෙන් අයථා ආකාරයෙන් ලබාගන්නා මුදලින් තමන්ගේ දරුවන්ට කන්න බොන්න දෙනවා නේදතමන්ගේ දරුවන්ට පන්ති ගාස්තු සඳහා වියදම් කරනු ලබන්නේද එම වැරැදි ආකාරයට ගනු ලබන මුදලද තමාගේ බිරිඳට ස්වාමිපුරුෂයාට කන්න බොන්න දෙන්නේ එම අයථා මුදලෙන්ද බුදුරජාණන් වහන්සේ මුදල් හම්බකළ යුතු බව දේශනා කරුනු ලැබුවේද ධාර්මික ලෙස අසාහසික ආකාරයකටයි. තමාගේ යුතුකම් කොටස ලෙස වියදම් කරනු ලබන්නේද, එම සාහසික ආකාරයෙන් උපයන මුදල නේදඑම මුදල් පරිහරණය කිරීමෙන් ඔබට යහපතක් වෙනවාදතමන් කළ වරද දරුවන්ගේ පැත්තෙන් හෝ ලෙඩ රෝග සැදීමෙන් හෝ විනාශ වෙයි. අයහපත් ආකාරයට සාහසික ලෙස හම්බකළ මුදල් යා දීමක් වන්නේ නැහැ. වර්තමාන සමාජය තුළ සිටින ඇතැම් සල්ලිකාරයන් පිළිබඳව අධ්‍යයනය කර බලන විට ඔවුන්ට මානසික සැනසිල්ල නැහැ. මුදල් සොයනු ලැබුෙවි මානසික සැනසිල්ල සඳහා වුවද,ඔවුන්ට මුදල් තිබුණාට මුදල් ඉපයූ ආකාරය වැරැදි සහගත බැවින් එම මානසික සුවය ද ගිලිහී ඇත. එනිසාම බොහෝ දුක්ඛ දායක ලෙස ජීවිතය අවසන් කරීමට සිදුවෙයි. ඔවුන්ට මානසික අවබෝධය නොමැතිකම ප්‍රධානම හේතුවයි. අවබෝධයෙන් යුක්තව වැඩ කටයුතු කළ පුද්ගලයාට මනස සැහැල්ලු කරගැනීමේ අවස්ථාව ලැබෙයි.තමන්ගේ සිත සැහැල්ලු කර ගත හැකී. ඔවුන් සැම අවස්ථාවකම ජීවිතය තුළ නොමනාපෙන් කාලය ගත නොකරයි.

විශ්‍රාම සුවය
අවුරුදු 50 වයස් සීමාව පසු කළ ඇතැම් පුද්ගලයන්ට බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවී ඇත. විශ්‍රාම ගිය විට නිදහසේ විශ්‍රාම සුවයෙන් සිටිය යුතු වුවද, ප්‍රශ්න බොහොමයක ජීවත් වෙයි. ඇතැමි ප්‍රශ්න තමා විසින්ම හදාගනු ලබයි. තමාගේ ප්‍රශ්න නොවන බවත් අනෙක් පුද්ගලයන් විසින් තමාට දමන ප්‍රශ්න බව ඔවුන් ප්‍රකාශ කරයි. තමාගේ මනස පාලනය කරමින් තමන් ගතකරන තමන්ගේ ජීවිතය සැහැල්ලුවෙන් ගත කිරීමට යුතුකමක් නැද්දතමන්ගේ සිත සැහැල්ලු කරගැනීමට තමාට යුතුකමක් නැතිදසැම අවස්ථාවකම සිත තුළ සතුට සැහැල්ලුව නැතිව ජීවත් වෙයි.යමෙකු උපදින විටම පෙර සංසාරයෙන් කර්මශක්තියද රැගෙන එයි. කර්මය කොටස් දෙකක් වශයෙන් සැලකිය හැකිය. පුණ්‍ය කම්ම හෙවත් පිනද, පාප කම්ම හෙවත් පවද වෙයි. කිසියම් පුද්ගලයෙකු කිසිවක් රැගෙන අප සමාජයට පැමිණෙන්නේ නැත.සමාජයට පැමිණි පසුව ඔහු හෝ ඇය විසින් සියලු හරිහම්බ කිරීම් කරනු ලබයි. එම හරිහම්බ කළ දේ සහ තමාගේ මනස සන්සුන්ව, තැන්පත්ව, අවුල් සහගත ලෙස අපිළිවෙළ කරනොගෙන ජීවත් විය යුතු වුවද, වර්තමානය තුළ අපට දක්නට ලැබෙනුයේ තමන්ගේ යුතුකම්වත් ඉෂ්ට නොකරන බොහෝ පිරිස් තමනුත් අවුල් වෙමින් සෙසු සමාජයත් අවුල් කරන ආකාරයයි. එය බරපතළ පාපකර්මයක් වෙයි. උදාහරණයක් ලෙස කිසියම් පුද්ගලයෙකුට කේන්තියක් ගිය විට ඔහුගේ සිත පාලනය කරගැනීමට ඔහුට යුතුකමක් ඇත.
මානසික අවුල
තමාගේ කේන්තිය නිවා ගැනීම තමාගේ යුතුකමයි. එම ශක්තිය තමාට තිබිය යුතුය.එම ශක්තිය තමා තුළ නොමැතිව එම ආෙවිගයෙන් ගෙදර තුළ කෑ ගසනවා නම්, ගෙදර සිටින අනෙක් සියලු දෙනාගේම මනස අවුල් වෙයි. එම පුද්ගලයා තමා විසින් මනස අවුල් කරගත්තා සේ අනෙක් පුද්ගලයන්ගේ මනස අවුල් කරගැනීම සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍යයද සපයනු ලබයි. තමා විසින් දෙනු ලබන දෙය තමාට ලැබෙයි. තමා කරනු ලැබුෙවි අනෙක් පුද්ගලයන්ගේ මනස අවුල් කිරීම නම්, තමාට ලැබෙනුයේද එම දෙයමයි. තමාගේ මනස සන්සුන් කරගැනීම සඳහා මෙවැනි ප්‍රකාශ කරන බවට ඇතැමුන් පවසන අවස්ථා නැතිවා නොවෙයි. එම ප්‍රකාශ අසා අනෙක් පුද්ගලයන්ගේ මනස අවුල් වන විට නැවත යහපත් තත්ත්වයක් ලැබෙන්නේ කෙසේදඇතැම් පුද්ගලයන්ට නොකිය යුතු යැයි ප්‍රකාශ කරනු ලබන සමහර කාරණා සංස්කෘතිය විසින් අපගේ සමාජය තුළට ලබා දී තිබෙන අතර එම ප්‍රකාශ කර එය මනස තුළ තබාගැනීමෙන් මනසද අවුල් වි යයි. එවැනි අවස්ථාවල මනස තුළ තිබෙන ගැටලු ගසකට කිව යුතු බවට ප්‍රකාශ වෙයි. ඇතැමි පළාත් තුළ කිරි ගසකට කිව යුතු බව ට ප්‍රකාශ කරනු ලබයි.
සංස්කෘතිය
ඇතැම් පළාත් තුළ කටුගසකට කිව යුතු බව ප්‍රකාශ කරයි. ගලාගෙන යන වතුරට ප්‍රකාශ කළ යුතු බවටද මතයක් පවති.එවැනි ආකාරයෙන් මනස නිදහස් කරගන්නා ක්‍රම ඇත. මනස නිදහස් කරගැනීමට බව ප්‍රකාශ කරමින් තව කෙනෙකුගේ මනස අවුල් කිරීම සුදුසු ක්‍රියාවක් නොවෙයි. එම නිවස තුළම ඇතැමි විට එම ගම තුළ අවුල වැඩි වන අතර ඇතැම් විට රටම අවුල් වන අවස්ථා නැතිවා නොවෙයි. ඇතැම් මාධ්‍ය තුළ ප්‍රකාශ වන ඕප දූප අසන විට අවශ්‍ය කාරණා සහ අනවශ්‍ය කාරණා අවබෝධ නොකරගෙන සියලුම දේ තමාට අදාළ කරගැනීමට උත්සාහ කරයි.තමාට අදාළ ද නැතිද යන වග තෝරා ෙබිරානොගෙන විග්‍රහ කිරීමට යාම තුළ ගෙදර සියලු දෙනාම අවුලකට පැටළෙයි. ඇතැම් අවස්ථාවල ප්‍රවෘත්ති සඳහා ඉදිරිපත් කරනු ලැබූ වැදගත් නොවන දෙයක් ගෙදර තුළ විග්‍රහ කිරීමට යාමෙන් ගෙදර අවුල් විය හැකිය.අනවශ්‍ය කාරණා ප්‍රකාශ කිරීමට යාම තුළ අම්මාගේ තාත්තාගේ ආධිපත්‍ය ගිලිහී යයි. ආධිපත්‍ය රැකගැනීමේ එක උපාය මාර්ගයක් ලෙස නිතර කතාබහ කිරීම දැකිය හැකිය. තමා කතා කරනු ලබන කාරණා අදාළ නොවන අනවශ්‍ය කාරණාවක් නමි, ආධිපත්‍ය ගිලිහීයාමටත් එම කතාවම බලපානු ලබයි. අපගේ අදහස නිවැරැදිව සමාජයට දීමට අප අනුගමනය කරනු ලබන්නේ කතාව සේම ඇතැම් විට පුද්ගලයන්ට අප එපාවනුයේද එම කතාවම විය හැකිය.

එනිසා බුදුරජාණන් වහන්සේ අවබෝධය වැදගත් වන බව දේශනා කර ඇත.කුමන දෙයටත් වඩා අවබෝධය වැදගත් වෙයි. අවබෝධය යනු තැනට ගැලපෙන ආකාරයට ජිවත් වීමයි. මවක් නම් මාතෘත්වය රැකගත යුතුය. අපගේ සංස්කෘතිය තුළ අමුතුවෙන් සිතමින් වැඩකටයුතු කිරීමට අවශ්‍ය වන්නේ නැත. සංස්කෘතියක් තිබෙන රටක එම සංස්කෘතිය විසින් එම සංස්කෘති තුළ ජීවත් වන පුද්ගලයන්ට කළ යුතු නොකළ යුතු කාර්යයන් පිළිබඳව ප්‍රකාශ කර ඇත. එම පුද්ගලයන්ට අමුතුවෙන් සිතමින් වැඩකිරීමට නොව සංස්කෘතිය විසින් ප්‍රකාශ කර ඇති පරිදි කටයුතු කළ හැකිය.
සංස්කෘතියක් නොමැති මිනිසුන්ට තමන්ට සිතෙන සිතෙන ආකාරයට කටයුතු කළ හැකි වුවද, සංස්කෘතියක් තිබෙන මිනිසුන්ට එවැනි ආකාරයෙන් කටයුතු කළ නොහැකිය. සිංහල සංස්කෘතිය තුළ මවක විසින් කළ යතු කාර්යයන් මෙන්ම නොකළ යුතු කාර්යයන් කොටසක්ද ඇත. දරුවෙකු විසින් ළමා විය තුළ කළ යුතු සහ නොකළ යුතු වැඩ කොටස පිළිබඳව සංස්කෘතිය විසින් ප්‍රකාශ කර ඇත. ස්වාමීන් වහන්සේලා විසින් කළ යුතු නොකළ යුතු වැඩ කොටසක් සංස්කෘතිය විසින් දක්වා ඇත. කළ යුතු වැඩ කොටස පමණක් ඔවුන් කරනවා නම් සංස්කෘතිය විසින් ඔවුන්ට ආශිර්වාද කරනු ලබයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පෘතග්ජන භූමිය ඉක්මවා යෑම

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

"සෝවාන්ඵලයට පත්වීමට කැමැති පුද්ගලයා විසින් පළමුව කළ යුතු වන්නේ කල්‍යාණ මිත්‍ර සේවනය තුළින් පිරිසුදු නිර්මල බුදුදහම ශ්‍රවණය කොට හෝ කියවා හෝ ඒ ගැන දැනුවත්වීමයි. ඉන්පසු එම ධර්මය තුළින් සෝවහන්ඵලය සාක්ෂාත් කළ හැකිදැයි නුවණින් විමසා බැලීම කළ යුතු වන අතර, එසේ කළ හැකිබව වටහා ගැනීමෙන් පසු ආර්ය සීලයෙන් සිල්වත් විය යුතු වෙනවා."
සම්මා දිට්ඨි සූත්‍රය ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද සූත්‍රයකි. දිනක් භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ
වැඩ වසන සමයේ සැරියුත් හිමියෝ තමන් සමඟින් සිටි ස්වාමින් වහන්සේගෙන් මෙසේ විමසීමක් කළහ.
ඇවැත්නි සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨිය යනුවෙන් පවසනවා. කොපමණකින් නම් සම්මා දිට්ඨිකයෙක් වෙනවාද? ඔහුගේ ධර්මය පිළිබඳ දෘෂ්ඨිය සෘජු වූයේවේද, ධර්මයෙහි කරුණු දැන පැහැදුණේ වේද, මේ නිර්වාණගාමි මාර්ගයට පිවිස වාසය කළේ වේද, නැත්නම් සම්මාදිට්ඨිකයෙක් වන්නේ කිනම් ලක්ෂණයන්ගෙන් යුක්ත වූ කෙනෙක්දැයි විමසීමක් කළේය. එවිට ස්වාමින් වහන්සේ “සාරිපුත්තයන් වහන්ස, මෙහි නිසි අදහස අපි දන්නේ නැහැ. ඔබ වහන්සේ මෙහි අදහස පවසන්නේ නම් කොතරම් දුරක සිට වුව අවුත් මෙය දැන ගැනීමට අප සූදානම්ය. ස්වාමිනි, අපට මෙය පහදා දෙන්න” යැයි වදාළහ.

ආර්ය පුද්ගලයා සතු ලක්ෂණ

සාරිපුත්තයන් වහන්සේ වදාළා ආයුෂ්මතුනි, ක්‍රම දහසයකින් සම්මාදිට්ඨිය ඇතිකරගත හැකියි. මෙහිදී සඳහන් කරන ලද ලක්ෂණ සියල්ල සෝතාපන්න වූ ආර්ය පුද්ගලයෙකු තුළ තිබෙන ලක්ෂණ බව අප පළමුවෙන් ම සිහිතබා ගත යුතු වෙනවා. ධර්මය පිළිබඳ සෘජු වූ දෘෂ්ටියක් ඇති වන්නේද, ධර්මය දැන පැහැදීමක් ඇතිව කටයුතු කරන්නේ ද, පෘථග්ජන භූමිය ඉක්මවා ලෝකෝත්තර භූමිය වෙත සමීප කරවන මඟට පිවිස වාසය කරන්නේද සෝවන් ඵලයට පත් වූ තැනැත්තා බව මෙහිදී පළමුවෙන් ම අපගේ අවධානයට ගතයුතු වෙනවා. සෝවාන් වූ පුද්ගලයෙකුගේ දැනුමේ ස්වභාවයයි මෙම සූත්‍ර දේශනාව තුළින් සාරිපුත්තයන් වහන්සේ අපට අවධාරණය කරන්නේ.

සෝතාපත්ති අංග

සෝතාපන්න ඵලයට පත්වීම සඳහා අවශ්‍ය කරන්නා වූ අංග හතරක් ධර්මයෙහි සඳහන් වෙයි. එනම්, 1. කල්‍යාණමිත්‍ර සේවනය, 2. සද්ධර්ම ශ්‍රවණය, 3. යෝනිසෝමනසිකාරය, 4. ධම්මානුධම්මපටිපන්න වීමයි.
සෝවාන්ඵලයට පත්වීමට කැමැති පුද්ගලයා විසින් පළමුව කළ යුතු වන්නේ කල්‍යාණ මිත්‍ර සේවනය තුළින් පිරිසුදු නිර්මල බුදුදහම ශ්‍රවණය කොට හෝ කියවා හෝ ඒ ගැන දැනුවත්වීමයි. ඉන්පසු එම ධර්මය තුළින් සෝවාන්ඵලය සාක්ෂාත් කළ හැකිදැයි නුවණින් විමසා බැලීම කළ යුතු වන අතර, එසේ කළ හැකිබව වටහා ගැනීමෙන් පසු ආර්ය සීලයෙන් සිල්වත් විය යුතු වෙනවා. මේ කාරණා හතර පුරුදු කරන තැනත්තා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මදිට්ඨි, සම්මා සංකල්ප, සම්මාවාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ග අංග පහ වැඩූ කෙනෙක් ද වන්නා සේම, ත්‍රිශික්ෂාවෙහි ප්‍රඥා සහ සීල යන ශික්ෂණ ක්‍රම දෙක ද පුරුදු කළ කෙනෙක් බවට පත් වෙනවා.
කල්‍යාණ මිත්‍ර සේවනය සහ සෝවන් ඵලයට පත්වීමේ පසුබිම සැකැසෙන අතර සද්ධර්ම ශ්‍රවණය නිසා සම්මා දිට්ඨිය ඇතිකරගත හැකියි. ඒ තුළ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ හැකි වෙනවා. යෝනිසෝමනසිකාරය තුළින් සම්මා සංකප්ප දියුණු කරගත හැකි වන අතර, එය පදනම් කොට විචිකිච්ඡාව ප්‍රහාණය කළ හැකි වෙනවා. ධම්මානුධම්මපටිපන්න වීම තුළ සම්මාදිට්ඨි, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංග වැඩෙන අතර, එමඟින් සීලබ්බතපරාමාස නම් වූ සංයෝජන ධර්මය ප්‍රහාණය කර ගත හැකි වෙනවා. මේ අනුව සංයෝජන තුන ප්‍රහාණය කිරීම තුළින් ඒ තැනැත්තා සෝතාපන්න ඵලයට පත් වෙනවා. මෙම සෝතාපත්ති අංග හතර දියුණු කරන තැනැත්තාට මාර්ගාංග වැඩෙන අතර, මාර්ගාංග වඩන පුද්ගලයා සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජන ධර්ම ප්‍රහාණය කළ පුද්ගලයෙක් බවට පත්වෙනවා. සෝවාන්ඵලයට පත් වූ පුද්ගලයෙකු වෙනවා. එවිට ඒ ආර්ය ශ්‍රාවකයා තුළ ධර්මය පිළිබඳව ඇත්තේ සෘජු වූ දෘෂ්ටියක්. තමන් දැනගත් ධර්මය කෙරෙහි ඇත්තේ බලවත් වූ පැහැදීමක්. ඔහු මේ නිවන් මඟට බැසගත් ධර්මයට පැමිණ වාසය කරන කෙනෙක් වෙනවා.
සෝතාපන්න ඵලයට පත්වීමට තිබිය යුතු ප්‍රධානතම අංගයක් වන්නේ සද්ධර්ම ශ්‍රවණයයි. සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් සිදුවන්නේ දැනුම ඇතිවීමයි. දැනුම දර්ශනයට උපකාරී වෙනවා. දර්ශනය උපකාරි වන්නේ දහම දැකීමටයි. දහම දැකීම අවශ්‍ය ඇස වෙනත් දහම් ඇස පහළවීම සෝවාන් ඵලයට පත්වීමයි. දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාවේ තිබෙන්නේ ධම්මචක්ඛුං උදපාදි යනුවෙනි. දහම් ඇස පහළ වූවා යනු ධර්මය දකින්නට හැකියාව ලැබුණා කියන එකයි. ධර්මය දකිනවා යනු දර්ශන සම්පත්තිය ඇති වූවා කියන එකයි. සෝවාන් ඵලයට පත් වූ තැනැත්තා දර්ශන සම්පත්තියෙන් යුක්ත කෙනෙක් වශයෙන් දක්වා ඇත්තේ ඒ නිසයි. දර්ශන සම්පත්තියෙන් යුක්ත වූ කෙනෙක් දහම දකින පිළිවෙලයි සැරියුත් මහ රහතන් වහන්සේ මෙම සම්මා දිට්ඨි සූත්‍ර දේශනාවෙන් අවධාරණය කර ඇත්තේ.
මේ අනුව සම්මාදිට්ඨිය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි
1. ලෞකික සම්මාදිට්ඨිය
2. ලෝකෝත්තර සම්මාදිට්ඨිය
1. කෙලෙස් සහිත, පින් උපදවා ගැනීම පිණිස පවතින බැඳුම් සහිත විපාක පිණිස හේතුවන සම්මා දිට්ඨිය
2. ආර්ය වූ කෙලෙස් රහිත වූ ලෞකිකත්වයෙන් තොර වූ මාර්ගාංගයක් ලෙස වැඩෙන සම්මා දිට්ඨිය
පින් උදවා ගැනීම පිණිස පවතින, මෙලොව පරලොව විපාක දෙන කෙලෙස් සහිතව පවතින සම්මා දිට්ඨිය “ලෞකික සම්මා දිට්ඨියයි.” එය ධර්මයේ මෙසේ විස්තර වෙයි.
ලෞකික සම්මා දිට්ඨිය
1. දුන් දේ විපාක ඇත, 2). දන් ලෙසින් පිදු දේ විපාක ඇත, 3). යාගහෝම පුදපූජා ආදියෙහි විපාක ඇත, 4). හොඳ නරක කර්මවල විපාක ඇත, 5). මෙලොවක් ඇත, 6). පරලොවක් ඇත, 7). මව් කියා විශේෂ කෙනෙක් ඇත, 8). පියා කියා විශේෂ කෙනෙක් ඇත, 9). ඕපපාතිකව පහළ වන (දෙවියන්, බඹුන්, පේ‍්‍රතයන්) සත්ත්වයන් ඇත, 10). යම් කෙනෙක් මෙලොවත්, පරලොවත් තමන් විසින් විශිෂ්ඨ ඤාණයෙන් අවබෝධ කොට ප්‍රකාශ කරයිද, එබඳු වූ සම්‍යග්ගත, මනාව පිළිපන්නා වූ බමුණන් ලෝකයේ ඇත.

ලෝකෝත්තර සම්මා දිට්ඨිය

ඒ වගේම ආර්ය වූ කෙලෙස් රහිත වූ ලෞකිකත්වය ඉක්මවා ගිය මාර්ගාංගයක් ලෙස පවතින සම්මා දිට්ඨියක් ඇත. ආර්යයන් වහන්සේගේ සිත තුළ පහළ වන්නා වූ කෙලෙස් රහිත වූවන්ගේ සිත තුළත්, ආර්ය මාර්ගයෙන් සමන්විත තැනැත්තා තුළත්, පහළ වන්නා වූ ආර්ය මාර්ගය වඩන්නාට ලැබෙන ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය, ධම්මවිචය සම්බොජ්ඣංගය, මාර්ගාංගයක් ලෙස වැඩෙන්නේ සම්මා දිට්ඨියේයි. එය සම්මා දිට්ඨි මාර්ගාංගයයි. මේ වනාහි ආර්ය වූ කෙලෙසුන්ගෙන් තොර ලෞකිකත්වය ඉක්මවා ගිය මාර්ගයක් ලෙස පහළ වෙයි. එය “ලෝකෝත්තර සම්මා දිට්ඨිය” යි.
සූත්‍ර අටුවාවට අනුව ලෝකයේ ජීවත්වෙන පුද්ගලයින් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදිය හැකියි. ඒ 1) පෘතග්ජන, 2). සේඛ, 3) අසේඛ වශයෙනි.
පෘථග්ජන පුද්ගලයා - බාහිරක සහ ශාසනික වශයෙන් යළිත් කොටස් දෙකකි. ඇතැම් බාහිරක පෘථග්ජන පුද්ගලයන් හෙවත් වෙනත් ආගම්වලට අයත් කෙලෙස් සහිත පුද්ගලයන් කර්මඵල විශ්වාසයෙන් කටයුතු කරනවා. කර්මවාදීව කටයුතු කරනවා. ඒ අනුව ඔවුනටද සම්මාදිට්ඨිය හෙවත් ලෞකික සම්මා දිට්ඨිය තිබෙනවා. ශාසනික පෘථග්ජන පුද්ගලයාට ද තිබෙන්නේ මේ ලෞකික සම්මා දිට්ඨිය මයි. නමුත් ශාසනික පෘථග්ජන පුද්ගලයාට චතුරාර්ය සත්‍යය පිළිබඳ යම්කිසි දැනීමක් තිබෙනවා. මේ කියන ශාසනික හා බාහිර පෘථග්ජනයන්ට තිබෙන්නා වූ ලෞකික සම්මා දිට්ඨිය හෝ නැති අය නියත මිථ්‍යාදෘෂ්ටිකයන් ලෙස හඳුන්වයි.
සේඛ පුද්ගලයා යනු - සෝවාන් මාර්ගයේ සිට අරහත් මාර්ගය දක්වා නිවන් මඟෙහි හික්මෙන පුද්ගලයා යි.
අසේක පුද්ගලයා යනු - රහතන් වහන්සේයි. සෝවාන් මාර්ගයේ ගමන් කිරීමෙන් සෝවාන් ඵලාවබෝධයට පත් වූ තැනැත්තා තුළ පවත්නා වූ සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨියයි.
නිවනට හේතුවන මාර්ගාංගයක් බවට පත්වන සම්මා දිට්ඨිය වන්නේ මෙම ලෝකෝත්තර සම්මා දිට්ඨිය යි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සදහම් සඟරා - Online