ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

අවබෝධයෙන් රකින පඤ්ච සීලය නිර්වාණාවබෝධයට

ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත 
තලල්ලේ චන්දකිත්ති හිමි

තථාගතයන් වහන්සේ නිවන් මාර්ගය තුළ ශික්ෂණයට පත්වන ශ්‍රාවකයා තුළ තිබිය යුතු අනිවාර්ය ශික්ෂණ ක්‍රමයක් ලෙස සීල ප්‍රතිපදාව හඳුන්වා ඇති අතර, නිවන් මඟ සීලයෙහි පිහිටා ආරම්භ කළ යුත්තක් බව දක්වා ඇත.
පඤ්ච සීල ප්‍රතිපදාවෙන් ඉගැන්වෙන වැළැක්වීම්වලට හා සමාන වැළැකීම් ක්‍රමයක් අන් ආගම්වලද ඉගැන්වෙන බව සමකාලීන ආගම් දෙස තුලනාත්මකව බලනවිට වටහා ගත හැකිය. ඒ අනුව පැහැදිලි වනුයේ පඤ්ච සීලය තුළ තිබෙන වැළැකිය යුතු කාරණා සමාජයට දායාද කළේ කිසියම් නිශ්චිත ආගමකින් නොවන බවයි. සෑම ආගමක් ම ඒ කාරණය සමාජය තුළින් දැන හැඳිනගෙන තමන්ගේ ඉගැන්වීම් ද ඇතුළත් කොට සමාජගත කර ඇති ආකාරය වටහා ගත හැකියි. බුදුරජාණන් වහන්සේ සිදු කළේ ද එයමැයි. උන්වහන්සේට පෙර ලෝකයේ පඤ්ච සීලයෙන් ඉගැන්වෙන වැළැකීම් ක්‍රමය අනුගමනය කළ විවිධ ආගමික නායකයන් සිටි බවට සාධක තිබේ. නුවණැති පුරුෂයා විසින් සීලයක පිහිටා සමථ, විදර්ශනා භාවනා ක්‍රම දියුණු කිරීම තුළින් අධ්‍යාත්මික හා බාහිරව ඇතිකරගෙන තිබෙන සියලු පැටලැවිලි ලිහා දමන බවද තථාගතයන් වහන්සේ වදාළ සේක. බුදු දහමෙහි ඉගැන්වෙන සීල ප්‍රතිපදාව තුළදී පඤ්ච සීලයට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. ගිහියන්ගේ නිත්‍ය ශීලය පඤ්ච සීලය ලෙසින් හඳුන්වා ඇත.
මිනිසා විසින් ඔවුනොවුන්ගේ ජීවත්වීමට ඇති අයිතිය සුරැකිය යුතුය යන සමාජ සම්මතය ඇතිකර ගන්නවාත් සමඟම ලෝකයේ ප්‍රථම වතාවට මූලික මිනිස් අයිතිවාසිකම හෙවත් සැමට ජීවත්වීමට ඇති අයිතිය සුරක්ෂිත විය. ලොව ජීවත්වෙන සෑම දෙනා ම තම ජීවිතයට කැමැතිය. මරණයට අකැමැතිය. එම පිළිගැනීම තුළ ප්‍රාණඝාතය තුළින් වැළැකී සිටීමේ වැදගත්කම එදා සමාජය විසින් හඳුනා ගන්නා ලදී.
මිනිසාට වැදගත් වන දෙවැනි කරුණ වූයේ මිනිසාට අයත් දේපළය. කෘෂි හා එඩේර යුගයන්හිදී මිනිසාගේ පුද්ගලික දේපළ පිළිබඳ උනන්දුව වැඩි දියුණුය විය. තමාගේ ජීවිතයට පමණක් නොව තමා අයත් දේපළවලටත් නිශ්චිත රක්ෂණාවරණයක් අවශ්‍ය බව එදා මිනිසාට වැටහී ගියේය. තමා විසින් සොයා ගත් දෙය තව අයෙකු විසින් පැහැර ගන්නවාට මිනිසා අකැමැති විය. ඒ අනුව සොරකම වරදක් වශයෙන් සමාජ සම්මත විය. එය සමාජය පිළිගත් අතර, එතැන් පටන් සොරකම අපරාධයක් ලෙසින් සහ දඬුවම් කළයුතු වරදක් ලෙස සමාජය විසින් සම්මත විය.

සංක්‍රමණශීලි ජීවිතයකට හුරුව සිටි එදා යුගයේ මිනිසා එම ජීවන ක්‍රමය අවසන් කොට තැන් තැන්වල ස්ථිර පදිංචිය ආරම්භ කළ අතර, මෙහිදී සමාජ ඒකකය හෙවත් පවුල පිළිබඳ අදහස සමාජගත විය. එක් එක් සමාජ ඒකකවල සිටින ස්ත්‍රින්ට වෙනත් සමාජ ඒකකවල සිටින පිරිමින්ගේ කරදර හිරිහැර ඇතිවීම තුළ පවුල් සහජීවනය සේ ම ස්ත්‍රියගේ ආරක්ෂාවද නැතිව ගියේය. එනිසා ස්ත්‍රියගේ ආරක්ෂාවට සමාජය තුළින්ම ක්‍රමවේදයක් සකසාගෙන තිබුණි. පරදාර සේවනය වරදක් ලෙසින් සමාජ සම්මතයක් ඇති වන්නේ මේ පසුබිම යටතේය.
මේ අනුව අපට වටහා ගත හැක්කේ සමාජය විසින් සමාජයේ ඕනෑකමට සම්මත කරගත් ක්‍රියාවලියක් අද අප පඤ්ච සීලය නමින් හඳුන්වන කරුණුවලින් නිරූපණය වන බවයි. එදා සමාජයේ පහළ වූ සියලු ආගමික නායකයන් මේ කරුණ සමාජයට කෙතරම් අවශ්‍ය වන්නේ දැයි මනා ලෙස දැන සිටි නිසා, ඔවුහු තමන්ගේ ආගමික ඉගැන්වීම් තුළට මේ පඤ්චසීල ප්‍රතිපදාවෙහි සඳහන් කරුණුු ඇතුළත් කර ගැනීමට උත්සුක විය. බුදුරජාණන් වහන්සේ ද සිදුකොට ඇත්තේ සමාජ සම්මතයේ තිබූ මේ පඤ්ච සීල ප්‍රතිපදාවේ සඳහන් කාරණාවන්ට තමන් වහන්සේගේ අර්ථ නිරූපණයන් ගෙනහැර දැක්වීමයි. ඒ අනුව පඤ්ච සීල ප්‍රතිපදාවේ සඳහන් වන නොකළ යුතු කාරණා නොකර සිටීමෙන් සහ කළයුතු කාරණා කිරීමෙන් පුද්ගලයාට මෙලොව වශයෙන් ද, පරලොව වශයෙන්ද, ලෝකෝත්තර වශයෙන්ද ළඟාකර ගතහැකි ප්‍රතිඵල කුමක්දැයි බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇත.
පඤ්ච සීලය ගැන විමසන විට සිහියට නැඟෙන අනෙක් කාරණය වන්නේ පඤ්ච දුශ්චරිතය යි. පඤ්ච දුෂ්චරිතයෙන් වැළැකී සිටීම පඤ්ච සීලය යි. තථාගතයන් වහන්සේගේ ඉගැන්වීමට අනුව පඤ්ච සීල ප්‍රතිපදාව තුළ සඳහන් වෙන ප්‍රධාන කාරණා දෙකකි. ඒ සමාදානය හා විරමණය යි. සමාදානය යනු කැමැත්තෙන් සමාදන් වීමයි. විරමණය යනු වැළැකී සිටීමයි. වැළැකී සිටින්නේ නරක දේ කිරීමෙනි. සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, කාමය වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන්, රහමෙර පානයෙන් වැළැකී සිටීම පඤ්චසීල ප්‍රතිපදාවේ එන විරමණය යි. වැළකී සිටින්නේ නරක දේ කරන්නට ඇති ආශාව දුරුකර ගැනීමටයි. යමෙක් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, වැරැදිකාම සේවනයේ හැසිරෙන්නේ, බොරු කියන්නේ, රහමෙර පානය කරන්නේ ඇයි? මේ සඳහා කෙනෙකුට විවිධ හේතු කිව හැකිය. තරහව, ලෝභය ආදි වශයෙන් විවිධ හේතු කියතත් අප වටහා ගත යුතු ප්‍රධානම හේතුව වන්නේ එම වරද කරන්නට ඇති කැමැත්තයි. කෙනෙක් සතුන් මරනවා නම් එය කරන්නේ ඒ දේ කරන්නට ඇති කැමැත්ත නිසාය. ඒ කැමැත්ත අතහැරීම “විරමණය” නම් වේ. ඒ අතහැරීම ද පන්සිල් සමාදන් වනවිට සිදු කරනු ලබන ප්‍රධානම ක්‍රියාවකි.
”සමාදානය” යනු කැමැත්තෙන් වැළඳ ගැනීමයි. කැමැත්තෙන් වැළඳ ගන්නේ කුමක්ද? සියලු සතුන්ට ජීවත්වීමට ඇති අයිතියයි. අන් සතු දෙය නො ගෙන සිටිීමයි. බ්‍රහ්මචාරීව වාසය කිරීමයි. සත්‍යවාදී වීමයි. සිහිනුවණින් යුතුව කායික හා මානසික පසුබෑමකින් තොරව කටයුතු කිරීමයි. මේ කරුණු සිදුකිරීම සඳහා පංචසීල ප්‍රතිපදාව සමාදන් විය යුතුය. එසේ කටයුතු කරන තැනැත්තා පරිපූර්ණ පුද්ගලයෙකු බවට පත්වේ.
ඇතැමෙක් පංචසීල ප්‍රතිපදාවේ විරමණය හොඳින් ආරක්ෂා කළද සමාදන් පැත්ත ආරක්ෂා කරන්නේ නැත. එම නිසා ඔවුන් තුළ පරිපූර්ණ ශීලයක් ආරක්ෂා වන්නේ නැත. ඒ අනුව පන්සිල් රකිනවා යනු නරක දේ නොකර සිටීම ම පමණක් නොව හොඳ දේ පුරුදු පුහුණු කිරීමක් බව ටවහා ගත යුතුය.
පස්පවින් වැළැකීමට නම් පංච දුශ්චරිතයන්ගේ ආදීනව දැනගත යුතුය. පන්සිල් සුරැකීමට නම් එහි ආනිසංසද දැනගත යුතුය. පන්සිල් රැකීමේ විවිධ ආනිශංස තිබුණත් ධර්මය ගැන මනා දැනීමක් ඇති ශ්‍රාවකයා පන්සිල් රකිනුයේ එය නිවනට උපාකරි වන ප්‍රධාන අංගයක් වන බැවිනි. විශේෂයෙන් ම සීලය සමාධියට උපකාරි වෙයි. සමාධිය ප්‍රඥාවට උපකාරී වෙයි. ප්‍රඥාව උපදවා ගන්නා තැනැත්තා මනා ලෙස කෙලෙසුන්ගෙන් මිදීමේ වැඩපිළිවෙල දැන අනුගමනය කොට නිවන්සුව සලසා ගන්නා තැනැත්තෙක් වෙයි. එනිසා සීලය නිර්වාණගාමි ප්‍රතිපදාවේ ප්‍රධාන අංගයක් ලෙස දක්වා ඇත.
යමෙක් පංච සීලය තුළ ක්‍රියාත්මක වන කර්ම සැකැසීම මනා සේ දැන ගැනීම, ඒ තුළ සත්ත්වයාගේ සංසාර ගමන සකස් වන ආකාරය මනා ලෙස දැන ගනීම, සසර පැවැත්ම සකස් වීම නිසා දුක ඇතිවන බව මනාලෙස දැන ගනීද, දුකත් දුකට හේතුවත් දුක නැති කිරීමත්, දුක නැති කිරීමේ මඟත් පන්සිල් පදනම් කරගෙන මනාලෙස දැන ගනීද, එය ඒ තැනැත්තාට පන්සිල් පදනම් කරගෙන ඇතිවන සම්මා දිට්ඨියයි. පන්සිල්වල සඳහන් වන විරමණය පුරුදු පුහුණු කිරීමට හෙවත් අතහැරීම පුරුදු පුහුණු කිරීමට කල්පනා කරයිද, එය පන්සිල් සම්බන්ධයෙන් ඒ තැනැත්තා වැඩිදියුණු කරන සම්මා සංකප්පය යි. එසේම පන්සිල්වලින් කියැවෙන පරිදි නරක දේ නොකර නරක වචන නොකියා සිටීමද පඤ්ච සීල ප්‍රතිපදාවට අනුව තම ජීවන පැවැත්ම සකසා ගනීද එය ඒ තැනැත්තාගේ සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීවය යි. එසේම දුක නැති කිරීමේ උත්සාහයෙන් ඒ තැනැත්තා කටයුතු කරන්නේ නම් එය සම්මා වායාමයයි. පන්සිල් රැකෙන සහ කැඩෙන ආකාරය මනා ලෙස දැන සිහි නුවණින් කටයුතු කරන්නේ නම් සම්මා සතියයි. පන්සිල් මුල්කර ගෙනම සිත තුළ පඤ්ච නීවරණයන්ගේ සංසිදීමක් වේනම් ඒ තුළ කිසියම් ඒකාග්‍රතාවයක් ඇති වන්නේ නම්, එය සම්මා සමාධිය යි.
මෙලෙසින් බලන විට පන්සිල් රකින තැනැත්තා විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කළා වේ. පන්සිල් රැකීම නිවනට හේතු වන්නේ එය මාර්ග අංග දියුණු වන ලෙස පුරුදු කළ විටය.එනිසා බෞද්ධ අපට හැමවිටම පන්සිල් පද පහ ගැන මනා අවබෝධයක් තිබිය යුතුය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සම්බුදු නුවණින් දුටු අනාගත ලෝකය

පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

අප පසු කරමින් සිටින්නේ ව්‍යවහාර වර්ෂ 2017 වර්ෂයයි. මිනිසා 20 වන ශත වර්ෂයට පා තබලා. පැරැණ්නන්ට වඩා අද ජීවත්වන සමාජය බොහෝ දියුණුයි කියා කියනවා. ඉදිරියේ ඉක්මන් දියුණුවට විද්වතුන් විශාල ලෙස පර්යේෂණ පවත්වනවා. තාක්ෂණික මෙවලම්, සොයාගැනීම් වැඩි දියුණු වෙනවා. සෑම පැත්තකින්ම අහන්න ලැබෙන්නේ අලුතින් සොයා ගත්තා. දියුණුවුනා කියන දේයි.
ඇත්තෙන්ම අප ආදරයෙන් සරණ ගිය, දෙව් මිනිසුන්ගේ අසහාය ශාස්තෘන් වහන්සේ, සුගත තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකය ගැන වදාළේ මීට වඩා වෙනස් දෙයක්. උන්වහන්සේ මනු ලොවෙහි අනාගතය ගැන වදාළේ දියුණු වන ලොවක් ලෙස නොව දිනෙන් දින පිරිහෙන ලොවක් ලෙසයි. කෙනෙකුට මනුස්ස ලෝකය පිරිහෙනවා කීවාම සැකයක් හිතෙන්නත් පුළුවනි. මොකද හැම තැනම කථා කරන්නේ දියුණුව ගැන නිසා. අදින් අවුරුදු 2560 කටත් වඩා කලින් බුදුරජාණන් වහන්සේ මිනිසාගේ පිරිහීම ගැන දේශනා කළේ තමන් වහන්සේගේම සම්බුදු නුවණින් අනාගත ලෝකයේ ඇත්ත ස්වභාවය දැනගෙන සහ දැකගෙන යි. උන්වහන්සේ මහා සීහනාද සූත්‍රයේ දී වදාළා. “පින්වත් සාරිපුත්ත, තථාගතයන් වහන්සේ සිදු වියහැකි දේ සිදුවිය හැකි දේ ලෙසත්, සිදු නොවන දේ සිදු නොවන දේ ලෙසත් ඒ ආකාරයෙන්ම යථාර්ථයක් ලෙස ම අවබෝධ කරලයි ඉන්නේ. ඒ නුවණ තථාගත බලයක්” යැයි වදාළා. මෙවන් සම්බුදු නුවණකින්, සම්බුදු බලයකින් යුතු වු අපගේ ශාස්තෘන්වහන්සේ වදාළා වූ කරුණක් කෙසේ නම් වෙනස් වන්නද? ඒ වගේම ඔබ තේරුම් ගත යුතු අනෙක් කරුණ නම් බුදුරජාණන් වහන්සේ වදාළ නිසා මනුස්ස වර්ගයා පිරිහෙනවා නොව ධර්මතාවයක් ලෙස එය සිදුවන බව භාග්‍යවතුන් වහන්සේ බුදු නුවණින් දැක වදාළ බවයි.
සැබවින්ම මනුස්ස ලෝකය දෙස බැලූවිට දියුණුවක් පෙනෙනවා තමයි. යාන වාහන, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ , සන්නිවේදනය, වෛද්‍ය විද්‍යාව, යුද්ධෝපකරණ ආදි නොයෙක් අංශවල දියුණුවක් තිබෙනවා. නමුත් ඒ ඊනියා විද්‍යාත්මක දියුණුවට වඩා වේගයෙන් මිනිසා අධ්‍යාත්මික ගුණ වගාවෙන් පිරිහෙන අන්දම බොහෝ දෙනෙකුට පෙනෙන්නේ නැහැ. මිනිසාගේ අධ්‍යාත්මික ජීවිතය වේගයෙන් පිරිහෙන නිසා කොයිතරම් භෞතික දියුණුවක් ලැබුවද, එම භෞතික දියුණුවෙන් තම ජීවිත සුවපත් කර ගැනීමට මිනිසාට වාසනාව උදාවන්නේ නැහැ.
භාග්‍යවතුන් වහන්සේ චක්කවත්තී සීහනාද සූත්‍රයේ දී මනුස්ස වර්ගයාට අනාගතයේදී සිදුවන මේ ව්‍යවසනය මෙසේ පෙන්වා වදාළා. “මහණෙනි, ධනය නැති උදවියට ධනය ලැබෙන පිළිවෙලක් නැති කල්හි දිළිඳු බව බොහෝ සේ පැතිරී ගියේය. දිළිඳු බව බොහෝ පැතිරී ගිය කල්හි අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගියේය. අන්සතු දේ පැහැර ගැනීම බොහෝ පැතිරී ගිය කල්හි අවි ආයුධ ගැනීම බොහෝ පැතිරී ගියේය. අවි ආයුධ බොහෝ පැතිරී ගිය කල්හී මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩි වී ගියේය. මනුෂ්‍ය ඝාතන බොහෝ වැඩිවී ගිය කල්හි, බොරුකීම බොහෝ පැතිරී ගියේය. බොරු කීම බොහෝ පැතිරී ගිය කල්හි, කේළාම් කීම බොහෝ පැතිරී ගියේය. කේළාම් කීම බොහෝ පැතිරී ගිය කල්හි, වැරැදිකාම සේවනය බොහෝ පැතිරී ගියේය. වැරැදි කාම සේවනය බොහෝ පැතිරී ගිය කල්හි, දරුණු වචනයෙන් බැණ වැදීමත්, හිස්වචන කතා කිරීමත් යන මේ කරුණු දෙක බොහෝ පැතිරී ගියේය. මේ කරුණු දෙක බොහෝ පැතිරි ගිය කල්හි, අන්සතු දෙය තමා සතු කරගැනීමේ ආශාවත්, ද්වේෂයත් බොහෝ පැතිරී ගියේය. අන්සතු දෙය තමා සතු කරගැනීමේ ආශාවත්, ද්වේෂයත් බොහෝ පැතිරී ගිය කල්හි මිථ්‍යා දෘෂ්ටිය බොහෝ පැතිරී ගියේය. මිථ්‍යා දෘෂ්ටිය බොහෝ පැතිරී ගිය කල්හි අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යා ධර්මය යන කරුණු තුන බොහෝ පැතිරී ගියේය. මේ කුරුණු තුන බොහෝ පැතිරී ගිය කල්හි මවට නොසැලකීම ,පියාට නොසැළකීම , ශ්‍රමණයන්ට ගරු නොකිරීම, බ්‍රාහ්මණයන්ට ගරු නොකිරීම, ගුරුවරු කුල දෙටුවන්ට ගරු නොකිරීම යන මේ කරුණු බොහෝ පැතිරී ගියේය. මේ කරුණු බොහෝ පැතිරී ගිය කල්හි ඒ සත්වයන්ගේ ආයුෂත් පිරීහී ගියේය. පැහැයත් පිරිහී ගියේය. ඔවුන්ගේ ආයුෂත්, පැහැයත් පිරිහී යන විට දෙසිය පනහක් අවුරුදු ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවෝ සියයක් අවුරුදු ආයුෂ ඇත්තෝ වූහ.”
දැන් අප පසුකරමින් සිටින්නේ මිනිසාගේ පරම ආයුෂ අවුරුදු සියයටත් අඩු වූ යුගයක නොවේද? මෙසේ මිනිසාගේ ආයුෂත්, පැහැයත් පිරිහෙන්නට හේතු වූයේ මනුස්ස වර්ගයාගේ අධ්‍යාත්මික ගුණ ධර්මයන්ගේ පිරිහීමයි.
එහිදී භාග්‍යවතුන් වහන්සේ තවදුරටත් වදාළේ, “මේ මිනිසුන්ගේ දරුවෝ දස වසරක ආයුෂ ඇත්තෝ වන්නාහුද? එබඳු කාලයක් එන්නේය. මහණෙනි, දස වසරක් ආයුෂ ඇති මිනිසුන් අතර, පස් හැවිරිදි දැරියෝ පතිකුලයට යෑමට සුදුසු වන්නෝය. මහණෙනි, දස වසක් ආයු ඇති මිනිසුන් අතර, මේ රසයෝ අතුරුදහන් වන්නාහුය. එනම්, ගිතෙල්, වෙඬරු, තලතෙල්, මීපැණි, පැණි, ලුණු රසයන් ය.” ඔබ දන්නවා දැනටමත් ගිතෙල්, වෙඬරු, තලතෙල්, පාවිච්චිය මිනිසුන් ප්‍රතික්ෂේප කරලා. ලුණු පරිභෝජනය අඩුවෙලා. එසේනම් මීට අවුරුදු 2560ට කලින් බුදුරජාණන් වහන්සේ අනාගත ලෝකය ගැන වදාළේ කෙතරම් සත්‍යයක් ද?
“මහණෙනි, දස වසක් ආයු ඇති මිනිසුන් අතර දස කුසල් සහමුලින්ම අතුරුදහන් වන්නේය. දස අකුසල් අතිශයින්ම ඉස්මතුව එන්නේය. මහණෙනි, දස වසක් ආයු ඇති මිනිසුන් අතර කුසලය වන නමවත් අසන්නට නො ලැබෙන්නේය. කුසල් කරන්නෙක් කෙසේනම් සොයන්නද? අවුරුදු දහයට ආයු අඩු වූ යුගයේ “හොඳ නරක” කියන දේ කණපිට පෙරලෙයි. මහණෙනි, මෙකල යම් කෙනෙක් මවුට සලකත් නම් පියාට සලකත් නම්, ශ්‍රමණයින්ට ගරුකරත් නම්, බ්‍රාහ්මණයින්ට ගරුකරත් නම්, කුල දෙටුවන්ට අවනත වෙත්නම්, ඔවුහු යම් සේ පුද ලබත්ද, ප්‍රශංසා ලබත්ද, එහෙයින්ම මහණෙනි, දසවස් ආයු ඇති අනාගත ලෝකයේ මිනිසුන් අතර යම් කෙනෙක් මවට නො සලකත්ද, පියාට නො සලකත්ද, ශ්‍රමණයින්ට ගරු නොකරත්ද, බ්‍රාහ්මණයින්ට ගරු නොකරත්ද, කුල දෙටුවන්ට අවනත නොවෙත්ද, ඔවුහු පිදුම් ද ලබන්නාහ. ප්‍රශංසා ද ලබන්නාහ.”
“මහණෙනි, දස වස් ආයු ඇති මිනිසුන් අතර ‘මේ මවුතුමිය, මෑණියන්ගේ සොහොයුරියෝ ය, නැන්දණියෝ ය. ආචාර්යවරුන්ගේ බිරින්දෑවරු ය, ගරුකළ යුත්තන්ගේ බිරින්දෑවරුන් ය වශයෙන් ගරුසරු හැඟීම් නැති වන්නේය. එළු, බැටළුවෝ, කුකුළෝ ,ඌරෝ, බලු, සියල්ලු යම් සේ හැසිරෙත් ද, එසෙයින් ම ලෝක සත්වයෝ යහපත් කුලාචාර ධර්ම නොතකා, සිඳ බිඳ දමා හිතුමනාපයේ හැසිරෙන්නාහ.”
මෙසේ ආචාර ධර්ම නොතකා අධම රාගයට, විෂම ලෝභයට පත්ව සංවාසයේ යෙදෙන ලෝකයක් දැන් පහළ වී නැතිද? ආචාර ධර්ම බිඳ හෙළා විෂම රාගය සමාජගත කිරීම පිණිස නීතිරීති පවා සම්පාදනය කිරීමට මිනිසා මේ වන විට පෙරමුණ ගෙන ඇත. “මහණෙනි, මිනිසුන්ගේ ආයුෂ දස වසක්ව ඇති කල්හී මිනිසුන් අතර එකිනෙකා කෙරෙහි දරුණු වෛරයක් පිහිටන්නේ ය. යම් සේ මුවන් මරන්නෙකුට මුවෙකු දැක්ක විට දරුණු වෛරයක පිහිටීමක් වෙයිද? දරුණු ද්වේෂයක, දරුණු මානසික ආවේගයක, දරුණු වධක චිත්තයක, පිහිටීමක් වෙයි ද? එසෙයින්ම මහණෙනි, දරුණු ද්වේෂයක් දරුණු මානසික ආවේගයක්, දරුණු වධක චිත්තයක් පුතු කෙරෙහි මව තුළත්, මව කෙරෙහි පුතු තුළත්, පුතු කෙරෙහි පියා තුළත්, පියා කෙරෙහි පුතු තුළත්, සොහොයුරා කෙරෙහි සොහොයුරිය තුළත්, සොහොයුරිය කෙරෙහි සොහොයුරා තුළත්, දරුණු වෛරයක් පිහිටන්නේ ය. දරුණු ද්වේෂයක්, දරුණු මානසික ආවේගයක්, දරුණු වධක චිත්තයක් පිහිටන්නේ ය.”
මහණෙනි, දස වස් ආයු ඇති මිනිසුන් අතර සත් දිනක ආයුධ “අන්තඞකල්පය” වන්නේය. ඔවුහු ඔවුනොවුන් කෙරෙහි මෘග හැඟීමෙන් ලබන්නේය. ඔවුන්ගේ අත්වල තියුණු ආයුධ පහළ වන්නේය. ඔවුහු ඒ තියුණු ආයුධයෙන් ‘මූ මුර්ගයෙක්, මූ මුර්ගයෙක්,’ යනුවෙන් ඔවුනොවුන් මරා ගන්නාහුය. මේ ආකාරයට සත් දිනක් ඇතුළත දී මිනිසා විසින් දකින දකින සෑම මිනිසාම මරා දමන්නාහ. ඉතාමත් සුළු පිරිසක් මේ මිනිස් සංහාරයෙන් දිවි ගලවා ගන්නා අතර, ඔවුන් විසින් අප විනාශ වූයේ අපගේම අධ්‍යාත්මික ගුණධර්ම පිරිහීමෙන් බව තේරුම් ගෙන නැවත අධ්‍යාත්මික ගුණයෙන් වැඩෙන්නට වූ කළ මනුස්ස ලෝකය සැබෑ ලෙසම දියුණුවන බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
දියුණුව යැයි කියමින් අප මේ යන ගමන වැටී ඇත්තේ විනාශය වෙත බව ඔබ නුවණින් තේරුම් ගෙන ගෞතම ශාසනයේ පිළිසරණ ලබමින් සැබෑම දියුණුවක් ඇතිකර ගනිමින් සසර දුකින් අත මිදෙන්නට නුවණැතියන් ලෙස අප අදිටන් කරගත යුත්තේ එහෙයිනි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නොසන්සුන් සිත අකුසල සම්පන්නයි

කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ 
මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ජීවිතයේ සැඳෑ සමයට එළඹුන පිරිසක් සිටිනවා වගේම සැඳෑ සමයට නොඑළඹුණ බොහෝ පිරිසක් ද සිටිනවා. එම සියලු දෙනාටම ච්ත්ත විෙවිකය අවශ්‍යයි. ච්ත්ත විෙවිකය සොයාගෙන සිත සන්සුන් කරගෙන ජීවත් වෙන්නේ කොහොමද?සැම මොහොතකම මිනිසුන්ගේ ඹළුව ගිනි අරගෙන . අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා ඇතුළතත් ගැට පිටතත් ගැට .සාමාන්‍ය ගිහි ජීවිතයෙහිද ,ඇතැමි විට පැවිදි ජීවිතයෙහිද,ගැට ස්වභාවය ගැටලු ස්වභාවයට පත්වෙලා තිබෙනවා.
ගැට සාමාන්‍යයෙන් ලෙහෙනවා හැර ගැට වැසිය නොහැකියි. ඇද දිග හරිනවා මිස ගැට දිග හැරිිය නොහැකියි. එම නිසා ගැටලුවක් නම්, ලෙහන්නම වෙනවා. ප්‍රශ්න නම්, උත්තර සෙවිය යුතුමයි.සාමාන්‍ය ජීවිතයෙහි මුහුණ දෙන ගැටලු විශාල වශයෙන් අප පීඩාවට පත්කරනවා. ඇතැම් අවස්ථාවල දරුවන්ගෙන් උදවු වෙනුවට ගැටලු ඇතිවෙයි. සහෝදර සහෝදරියන්ගෙන් උදවු වෙනුවට ගැටලු ඇතිවෙයි. භාර්යාවගෙන් ගැටලු , ස්වාමිපුරුෂයාගෙන් ගැටලු ,අසල්වාසියාගෙන් ගැටලු ආදී වශයෙන් අප සමහර වෙලාවට ගැටලුවල අත්දැකීම් ලබනවා.තවත් සමහර වෙලාවට ගැටලුවක් ඇත්තේම නැහැ.ඒ වගේ වෙලාවට අපිම ගැටලු හදාගන්නවා. නැන්දාට අවශ්‍යම නම් ලේලි සමඟ ගැටලුවක් හදාගත හැකියි. ලේලි ට අවශ්‍යම නම්, නැන්දා සමඟ ගැටලුවක් හදාගත හැකියි. ලේලිය වැඩි වශයෙන් ආගමට දහමට ලැදි නම්, නැන්දා ඒ තුළින්ද ගැටලුවක් ගොඩ නඟයි. ගැටලුවක් නොතිබුණත් නිර්මාණය කරගත්ත ගැටලුවක් හදාගත හැකියි. දරුවන්ට දෙමව්පියන් සමඟත් දෙමව්පියන්ට දරුවන් සමඟත් ගැටලු හදාගත හැකියි. අප විසින් තනාගන්නාවූ ගැටලු තිබුණ ගැටලු නොවෙන බව අප විසින් සොයා බැලිය යුතුයි.
සුළඟ නිසා ගස් කඩා වැටී ගැටලුවක් ඇති වුණා විය හැකියි. එය ගැටලුවක් බවට පත් වුණත් එය ඇතිකර ගත්ත ගැටලුවක් නොවෙයි. ඇති වුණ ගැටලුවක්. වැස්ස, අව්ව, සුළඟ, වැස්ස නිසා ඇති වන ගැටලු තමන් විසින් කරගත්ත ගැටලු නොවෙයි. අප හොඳට සොයා කල්පනා කර බලන විට ඇති වුණ ගැටලුවලට අමතරව අපටම කියා ඇති කරගත්ත ගැටලු කෙතරම් ප්‍රමාණයක් තිබෙනවාද?කියලා මේ කුමන ආකාරයේ ගැටලුවකින් වුවත් අප පීඩාවිඳීයි. එම පීඩාව ජීවිත කාලය පුරාවටම ඇතැම් අයෙකු විඳිනවා විය හැකියි. ආර්ථිකය වේවා ,සමාජය ෙවිවා,දේශපාලනය ෙවිවා,වෙනත් කවර ආකාරයක වේවා සිත ඇතුළට යොදාගත්ත යම් කිසි ගැටලු කාරී ස්වභාවය ක් නිසා සිත ගිනිගන්නවා.පවුල් අර්බුද නොරුස්නාකම්,නොසන්ඩාල නොහොබිනාකම්,හේතු කොටගෙන ඔළුව ගිනි ගන්නවා. වස්තුව හා වස්තුව බෙදා හදා ගැනීම සම්බන්ධව ඕනෑ තරම් ගැටලු ඇතිවෙනවා.විවාහය සහ විවාහ ආශ්‍රිතව ඕනෑ තරම් ගැටලු ඇතිවෙනවා. සිත ගිනි ගන්නවා. ආශ්‍රය කරන්නාවූ දරු මුණුඹුරන් ආදී කලත්‍ර ඥාතීන් නිසා ගැලපීම් හා නොගැලපීම් නිසා සිත ගිනිගන්නවා. මේවා විඳ දරාගෙන මිනිසුන් ජීවත් වෙනවා. ගැටලු ගොඩක් ඇතිවුණ විට සාංකාව ඇතිවෙනවා.සැකය ඇතිවෙනවා. මානසික ආතතිය ඇතිවෙනවා. ක්‍රෝධය, ද්ෙවිෂය වෛරය ඇතිවෙනවා. ඒ අවස්ථාවල සිත නොසන්සුන් වෙනවා. නොසන්සුන් සිත අකුසල සම්පන්නයි. කුමන ආකාරයකින් හෝ සිත නොසන්සුන් වීම යනු අකුසල කරගැනීමයි. හෙවත් අකුසල සිදුවීමට ඉඩකඩ සැලසීමයි.
සිත හරිම ප්‍රබුද්ධයි. සිත හරිම ප්‍රබෝධ සම්පන්නයි. සිත හරිම පියකරුයි. සිත හරියට මඩ සහිත ජලාශයක් සන්සුන්ව පවතිනවා වගෙයි. ලස්සන ජලාශයක් හරිම පියකරු බොහොම මනස්කාන්ත ලෙස පිපී වැනී ගිය නෙළුම් මල්ද ,ඇතැම් විට සැරිසරණා මත්ත්සයන්ද,බොහොම සන්සුන්ව රළ නොගසන්නාවූ පුංචි පොකුණක් සිහියට නඟාගත හොත් අතට අරගත්ත දිය දෝත බොන්න පුළුවන් තරම් පිරිසුදුයි. යමෙක් මේ සිත වාගේ තිබෙන මේ පොකුණ බොර කළහොත් ,පිටතින් පැමිණි බොරයක්ද,යමෙක් දාපු බොරද,එහෙමත් නැත්නම්,බොරවෙලා ද, කොහේ තිබුණ බොරද?පොකුණ තුළ තිබුණ බොරම අවිස්සිලා. ඒක නිසාම කාගෙ කාගෙත් සිත් පොකුණ වගෙයි. එහි තැන්පත් වෙලා තිබෙන බොර යට පතුලට මිදිල මඩ තැන්පත් වෙලා තිබෙනවා. ඇවුස්සුණොත් සමස්ත ජලාශයම බොර වී යන්නා සේ සමස්ත පියකරු සිතම අපවිත්‍රව බොර වී යන්නට පුළුවන්. සන්සුන් වූ එම ජලාශයම නැවත වතාවක් තැන්පත්ව බොර මඩ පතුල මත මිදී තැන්පත් කරගැනීමට හැකි වීම අකුසලයෙන් මිදුණා වගෙයි.
බුදුරජාණන් වහන්සේගේ දේශනාවකට අනුව ශරීරය පෙණ පිඬක් වගෙයි. සිත නගරයක් වෙගෙයි. සිත ශරීරය වගේ නොවෙයි. පෙණ පිඬ සිත වගේ නොවෙයි. පෙණ පිඬ ඕනෑම ෙවිලාවක බිඳිය හැකියි. කොතන පාවෙලා ගිය වෙලාවක මේ පෙණ පිඬ බිඳෙයිද දන්නේ නැහැ. දිය බුබුළ හරිම ලස්සනට වටකුරුයි. අංශක තුන්සිය හැටකටම රවුමක් සේ මනස්කාන්ත දිය බුබුළ හරිම සුන්දරයි. නිවැරැදිවම රවුම වතුර බුබුළයි.රවුම් ගහන්න යන බොහෝ දෙනෙක් රවුම් ගහල එන කොට රවුම බොහෝදුරට ඇදයි. දිය බුබුළ හරියටම වටකුරු ලස්සන රවුමක්. එසේ වුණත් එම දියබුබුළ කුමන ෙවිලාවක නැතිවෙයිද? කිව නොහැකියි.කොතැනක පුපුරයිද? කියන්න දන්නේ නැහැ. පුපුරන ස්ථානය පැහැදිලි නැහැ. පුපුරන ක්‍රමය පැහැදිලි නැහැ. කුමක් පැහැදිලි නැතත් ස්ථිර වශයෙන්ම දිය බුබුළ පුපුරන බව පැහැදිලියි.ශරීරයට උපමාව දිය බුබුළයි. නැතිවෙන තැන පැහැදිලියි නැහැ. ෙවිලාව දිනය පැහැදිලි නැහැ. නැතිවෙන බව පැහැදිලි.
සිත නගරයක් වගෙයි. හොඳටම කලබලකාරි නගරයක ස්වභාවය කෙබඳුද?එහාට මෙහාට වාහන ගමන්කරමින් වෙළෙන්දන් කෑ කෝ ගසමින් අපවිත්‍රතාවෙන් පිරීගිය කැළිකසළ අර්්බුද ,කලකෝලාහල සහිත නගරය සන්සුන් නිදිගත් නගරයක් වගේ නොවෙයි. තිබෙන නගරය කලබලයි. නොසන්සුන් සිත එබන්දක් වගෙයි. නොසන්සුන් කලබලකාරී ඒකාග්‍රනොවූ සිත කිසියම් දූශිත භාවයකට පත් වී ඇත්නම්,සිතෙන් ප්‍රයෝජනය ගත නොහැකියි. එය හරියටම කුලු එළදෙනකුසේ. කුළු එළදෙනක් කිරි දෙවීම සඳහා පාවිච්චි කළ හැකියි. කුමන කාර්යයක් කිරීමට පෙර කුළු හරකා බැඳගත යුතුයි. කිරි ගැනීමට පෙර මේ එළදෙන බැඳ තැබීම පළමුවෙන්ම කළ යුතුයි. එම නිසා ඒ වගේ සිතෙන් වැඩක් ගැනීමට නම් සිත සන්සුන්ව තබාගත යුතුයි. සිත සන්සුන්ව තබාගත යුත්තේ කෙසේද?පළමු කාරණාව ලෙස සිත ගිනිනොගෙන තියා ගැනීමට නම්, සිතට තුවාල කරන යමක් ෙවිද එය සිතින් ඉවත් කළ යුතුයි. අප කෙතරම් ප්‍රමාණයක් සිත තුළ දමා ගන්නවාද?සිතට බොහෝ දේවල් එක්කාසු කරගැනීමට හැකි වුණත් සිතට අවශ්‍ය දේ අනවශ්‍ය දේත් තෝරාෙබිරා ගැනීමට නොහැකි තරමට පැටලිලා. බොහෝ දේවල් මනසට දමාගෙන තිබෙනවා.
සියල්ලක්ම ඔළුව තුළ තබාගෙන අහක තිබෙන ප්‍රශ්නවලට සිතින් දුක් විඳිනවා. අප ඥාතීත්වය දරන්නාවූ හෝ අප සමඟ සබඳකම් පවත්වන්නාවූ හෝ කිසියම් අයෙක් කාමයෙහි වරදවා හැසිරෙන්නේ නම්,හෝ එම තැනැත්තා අදින්නාදාන කරන්නේ නම්, හෝ එම පුද්ගලයා නිසා වෙනත් අයෙක් මහා ච්ත්ත පීඩාවෙන් සිටිනවා නම්, කෙතරම් අසාධාරණයිද?බී නම් වූ තැනැත්තා හෝ තැනැත්තිය වැරැදි කාර චරිතයක් ගත කරන හෙයින් ඒ නම් තැනැත්තා හෝ තැනැත්තිය ච්ත්ත පීඩා විිඳියි. එහි සාධාරණ බව කුමක්ද?බී නම් වූ තැනැත්තා හෝ තැනැත්තිය වැරැදි කරනා හෙයින් ඒ නම් වූ තැනැත්තා හෝ තැනැත්තිය සිතින් දුක් විඳී. එය කවර තර්කයකට එකඟද?අනුන්ගේ පවි කරගහගන්නවා යනුවෙන් සිංහලයෙන් කියන්නේත් ෙමි ක්‍රියාවටමයි. අනුන්ගේ කුණු අල ගෝනිවලට කරගහන්න වුවමනාවක් නැහැ.
කිසියම් ප්‍රශ්නයකට මැදිහත් නොවි වගකීමෙන් නිදහස් විය යුතු බව එයින් ප්‍රකාශ කරන්නේ නැහැ. වගකීම් සියල්ල කළ යුත්තේ කුණු ගෝනියකට කරනොගහායි. සිතෙන් දුක් නොවිඳිය යුතුයි. සිදුහත් කුමරු වගකීම් පැහැර හැර රජකම් කරන්න බැරිකම නිසා රජකම් කිරීමට ශක්තියක් නැති දුර්වල අයෙක් නිසා රජ මාලිගාව දමා පැනල ගියා නොවෙයි. වගකීම් පැහැර හැරියා නොවෙයි. උන්වහන්සේට රාජ්‍යත්වය සිතට ප්‍රශ්නයක් වුණේ නහැ.
සුද්ධෝ්දන රජතුමාගේ රජ පදවිය පිළිබඳව අනාගතය පිළිබඳව උන්වහන්සේට ප්‍රශ්නයක් වුණේ නැහැ. උන්වහන්සේ එය ප්‍රශ්නයක් කරගත්තා නම්,හා යශෝධරා දේවීන් වහන්සේගේ අනාගතය ඉතාමත්ම දැවැන්ත වගකීමක්ම ලෙස සිතට අරගත්තා නම්,ඉතාම සාර්ථක රාජ කුමාරයෙක් සහ ඉතාම සාර්ථක ස්වාමිපුරුෂයෙකු සේ ජීවිතය නිමා කරන්නට තිබුණා. එසේ වූවා නම්, අපට බුදුරජාණන් වහන්සේ නමක් නැහැ. විය යුත්තේ සාර්ථක ස්වාමිපුරුෂයෙකු සේ අභාවප්‍රාප්ත වීමද?බුදුරජාණන් වහන්සේ නමක සේ පිරිණිවන් පෑමද?වගකීම් පැහැරහැරීම නොවෙයි. ජීවිතය තුළ යම් යම් වගකීම් අපටත් තිබෙනවා. ඒ වගකීම්වලින් මිදී පැහැර හැරිය යුතු බව මෙයින් ප්‍රකාශ කරන්නේ නැහැ. එම වගකීම් සියල්ල කළ යුතුයි. ඒත් අනවශ්‍ය තරම් සිත කළබල කර නොගත යුතුයි.

සන්සුන් සිතින් විඳිය යුතු සුන්දරත්වය

ආදරණීය දුවගෙ,පුතාගෙ ප්‍රශ්නයට විසඳුමක් අපට සොයන්න වෙනවා. අප එම ප්‍රශ්නය විසඳිය යුතු වුවත්, එය මනසට වද දෙමින් තබාගත යුතු ප්‍රශ්නයක් නොවෙයි. සිතින් දුක් විඳින්න අවශ්‍ය නම්, කොතරම් දේවල් ප්‍රමාණයක් ගෙදර අවට තිබෙනවාද? වද විඳින්න ඕනෑම නම්, කුස්සියෙහි කෙතරම් ප්‍රශ්න තිබෙනවාද? එම නිසා සිත නරක් කරගත්තාට තමාට වාසියක් සිදුවන්නේ නැහැ.
සිත හදාගන්න, සිත සන්සුන් කරගන්න, සිත යමිකිසි ආකාරයක සන්සුන් ස්ථානයකට රැගෙන එන්න කෙතරම් දේ අප සතුව පවතිනවාද? රසයක් විඳිනවා නම්,සැම දෙයකම විඳිය හැකි රසයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වනාන්තරයට වැඩම කළා. රමණීයානි අරඤ්ඤානි. වනාන්තරය කෙතරම් ලස්සනද?කවුරුන් හෝ අයෙකු මෙම වනාන්තරයෙහි රස විඳගන්නේ නැත්නම්,අපරාධයක් .වීතරාගා රමෙස්සන්ති .රාගය නැති මිනිස්සු මේ වනාන්තරයට ඇලෙයි.ඒ තුළින් කාමය සොයන්නේ නැහැ. ලස්සන දෙයක් ලස්සනයි කියා විඳගැනීමට තරම් මිනිස්සුන්ගේ සිත පියකරු නම්,සමනලුන් දෙස බැලිය හැකි නම්, සමනලුන් කෙතරම් ලස්සනද?වනාන්තරයෙහි බවුන් වඩන්න ගිය යෝගාවචරයන් එම ගුණ රුව වින්ඳා. එම අසිරිය අත්දැකීමක් ලෙස විඳගනු ලැබුවා. නිවන් දැකීමට එම පරිසරය බොහෝ සේ පාදක වුණා. වනාන්තරයට ගිය ඇතැම් තෙරණින් වහන්සේලා, තෙරුන් වහන්සේලා වනාන්තරයෙහි තිබූ බොහෝ දේ දෙස ඉතාම ලස්සනට බලාගෙන සිටියා. ගසක් සුළගේ වැනී පැද්දෙන විට හරිම ලස්සනයි. හමාගෙන එන සුළඟට ගැලවුණ මලක් සුළඟින් කැරකිලා උඩට යන ආකාරය බලාගෙන සිටින්න ලස්සනයි. ලස්සන අත්විඳිනවා නම්,ලස්සන අත්විඳින්න සූදානම් නම්,වැස්ස කෙතරම් ලස්සනද?වයස අවුරුදු හතර පහ තරම් පුංචි කාලයට ගමන් කරනවා නම්,වැස්ස වෙලාවට ගෙදර පිල්කඩ ළඟට ඇවිත් වතුර වැටෙනවා බලාගෙන සිටියා මතකද?චොර චොර ශබ්ද නඟිමින් වතුර බිංඳු බිමට වැටෙනවා. වැටෙන වැටෙන වතුර බිංඳුවෙන් දිය බුබුලු හැදෙනවා. එම දිය බුබුලු ලස්සනට ගලාගෙන යන ආකාරය දෙස අපි බලාගෙන සිටියා මතකද?කඩදාසි කොළ ඔරුවක් හදා අපි එම වතුරෙහි පා කළ හැරියා මතකද? එම කාලය තුළ සිතට කුමන බරක් දැනුණාද?එම කඩදාසි ඔරුව පාවෙලා පාවෙලා යන ආකාරය ආසාවෙන් බලාගෙන සිටියා. එම ඔරුව පෙරලෙන ආකාරයත් ඔරුව ගසාගෙන යන ආකාරයත් අප විසින් අත්දකිනු ලැබුවා. අයියයි නංගියි තරඟෙට ඔරු හැදුවා. එම මනස කෙතරම් පියකරුද? මහා ඝන රාත්‍රියට ගුලිවෙලා නිදාගත්ත දවසක් මතකද?හෙණ ගහන කොට, හෙණ හඬ වදිමින් පුපුරා යන කොට , අම්මට තුරුළු වෙමින් බයෙන් නිදාගත් දවසක් මතකද?ඒ ගිනි ගහන විදුලියේ විද්යුත් ලතාව දකින්නත් අපි එළියට එනවා. එය මුළක් වගේ ආකාශයේ පුපුරා යන හඬ හරිම භයංකාරයි. ඒත් එය දෙස බලාගෙන රස වින්ඳ අය සිටිනවා. අපිත් එම රසය වින්ඳා. හැන්දෑවට ආකාශය දෙස බලාගෙන ඉර බහින ආකාරය පෙන්වපු තාත්තලාගේ අම්මලා ගේ තුරුල්ලටවෙලා අපි ඉර මහා විශාල රත්තරන් තැටියක් වගේ ආකාශයෙන් ටික ටික බැහැගෙන යන ආකාරය බලාගෙන රස වින්ඳා. උදේ නැගිටින විට ඒ තැටියම අනෙක් පැත්තෙන් උඩට නැග එන අයුරු බලා රසවින්ඳා. ආකාශයේ කොක් රෑනක් පියාඹන ආකාරයත් එම කොක් රෑන ලස්සන පේළියකට පියාඹන්නේ කොහොමඳ කියලා අපි ප්‍රශ්න කළා. එම ආකාශයෙහි කිසිවක් නැති අවස්ථාවක තද නිල් පාටට තිබෙද්දී අහස ඒතරම් නිල් ඇයි කියලා අපි බැලුවා.ටික වෙලාවක් යන විට සුදු පාට පුළුන් වගේ වළාකුළු එනකොට එම වළාකුළු ඝනීභවනය වන බවවත් ඒවා ජලය වන බවවත්,එය මහා මේඝය බවවත්,එය කලු වන්නේ ජලාශ්‍රිත ඝනත්වය නිසාවත් එය මහා ඝන වැස්සක් සේ නැවත වසින බවවත්, කියන ජලචක්‍රයේ පාඩම පාඩමක් වශයෙන් ඉගෙන නොගත් කාලයේදීත් එම රසය අත්වින්ඳා. ගලවා ගත් පැළයක මුල් අතු දිහා බලාගෙන සිටි අපි පැළයක රසය වින්ඳ ආකාරය මතකද?
ගෙදර බිත්තියක චුටි සිදුරකින් එන කූඹි රෑන එකා පිටුපස එකා හාල් ඇටයක් රැගෙන පේළියට යන ආකාරය අපි බාලාගෙන සිටියා. පෙරහැරක් වගේ නේද? අයියේ කියමින් අයියාට කිවුවා. අයියා එම පෙරහර කඩන්න හදනකොට පව් අයියේ කියලා අපි කිව්වා. එම සැම දෙයකම කිසියම් රසයක් අපි අත්වින්ඳා. චුටි කාලයේ දොර පලුවට හරි මේසයට හරි අතින් ඩෝල ගහල ඒකෙනුත් ගීතයක් ගායනා කරමින් රස වින්ඳා.සමහර අවස්ථාවල කෑම කාපු පිඟාන සෝදල රැගෙන එන ටික වෙලාවට එම පිඟානෙන් ඩෝල ගසමින් සිංදු කියන විට අම්මාගෙන් තාත්තාගෙන් බැණුම් ඇහුවා.පිවිතුරු මනසකට ආස්වාදය විඳින්න හැම දෙයක්ම ප්‍රමාණවත්. මල් වට්ටියක් දෙස බලාගෙන එහි රසය කෙතරම් වෙලාවක් විඳගත හැකිද? අපේ ලෝකස්වාමී බුදුපියාණන් වහන්සේගේ ලීයෙන් නෙළු පිළිමය, අවුකන බුදුපිළිම ආකෘතිය , අවුකන බුදුපිළිම ආකෘතියෙහි තිබෙන සිවුරු රළ දිහා බලාගෙන එම රැළිවල හැඩය සමානුපාත බව ගණිතමය ස්වභාවය දෙස කෙතරම් වෙලාවක් බලාගෙන සිටිය හැකිද?නිවන් දැක්ක බොහෝ දෙනෙක් නදියක් ගඟක් ඇළක් දොළක් ළඟට ගිහිල්ලා ගලාගෙන යන දිය පහර දෙස බලාගෙන ඉඳලා එම දිය දහර කෙතරම් ලස්සනට කෙතරම් විනීතව ගලාගෙන යනවාද ? සර සර හඬින් හැඩවෙනවාද?පෙණ බුබුලු දමනවාද?සුළිය ඇතිවන්නේ කෙසේද?යනුවෙන් ඒ දෙස බලාගෙන මහා ආස්වාදයක් වින්ඳා. සිත ගිනිගත් වෙලාවට කරනවා නම්, කරන්න කෙතරම් වැඩ තිබෙනවාද?
පුතාගෙ දුවගේ වචනයකට සිත රිදුන අවස්ථාවක ආකාශය දිහා බලාගෙන සිට සිත හදාගන්න පුළුවන්නෙ.හමාගෙන යන සුළං පොදක් ද එම සුළඟට ගසාගෙන යන රොඩු කන්දරාවත්, ගහකින් ගිලිහිලා සුළගට ගසාගෙන යන කොළයකුත් දෙස බලාගෙන මගේ සිතට දුව හෝ පුතා නිසා පැමිණුන මේ නරක සිතිවිල්ල ඒ ආකාරයට ගසාගෙන යන්න බැරිද? යනුවෙන් සිතන්න බැරිද? සිත ගිනි ගත් වෙලාවට සිතෙහි සන්සුන් බව ඇතිකර ගැනීමට වතුර බිඳත් ප්‍රමාණවත් වෙයි. එම නිසා ජීවිතය නිවී සැනසෙන්න පුළුවන්. නිවී සැනසෙන්න බොහෝ තැන්වලට නොගියත් අපට පෙනෙන්න තිබෙන හැම දෙයකම ලස්සනක් තිබෙනවා. තමා ළඟ තිබෙන මේසය ලස්සනට පිළිවෙලට තබාගෙන රස විඳිින්න බැරිද? කනගාටු වෙනවා නම් , කෙස් රොදක් දෙස බලාගෙන මේ කෙස් රොද කලුවට තිබුණාට සුදු වෙලා කියා කනගාටු විය හැකියි. සතුටු වෙන්න ඕනම නම්, මේ කලුවට තිබුණ කෙස් රොද දැන් සුදුයි කියා සතුටු වෙන්න බැරිද?කවුරුන් හෝ කලුවට වඩා සුදු හොඳා කියා හෝ සුදුවට වඩා කලු හොඳා කියු නිසා මිසක්,ඇත්ත ඇති සිටියෙන් ඒ දෙස බැලු විට පුංචි හැඩයක් ඒ තුළින් මවාගන්න බැරි කමක් නැහැ. එම නිසා ආලෝකයේ සුන්දරත්වය අත්විඳින ගමන් කරුවලේ සුන්දරත්වයත් අත්විඳින්න පුළුවන්.
මලක් අරගෙන එය කඩමින් එම මල හැදී තිබෙන රටාව,මලේ පෙති පිහිටා ඇති රටාවත්, පෙති නටුවට එක් තැන් වී ඇති රටාවත් කිසියම් ආකාරයක රටාවන් වෙයි. මිදුල අතුගෑමට පෙර මිදුල පුරා කොළ වැටී තිබෙන රටාව දෙස බලන්න. අතුගා අවසන් වු පසු මිදුලෙහි රටාව දෙස බලන්න. වැස්ස ඉවර වූණාට පසුව පරඬැල් කොළ ගසාගෙන ගොස් රැඳී තිබෙන රටාව බලන්න. මොකක්දෝ ලස්සන රටාවකට ඒවා ගලාගෙන ගොස් තිබෙන බව පෙනේවි. වීතරාගීන් හැම දෙයකින්ම කිසිවෙකුට නොපැමිණි ප්‍රසන්නතාවක් සිතෙහි ඇති කරගනී. ලස්සන දෙයක් ලස්සනයි කීමත් එම ලස්සන දෙයකට ඇලීමත්, දෙකක් මිස එකක් නොවෙයි. අහන සිංදුව හරිම ලස්සන විය හැකියි. එයට ඇලි ගැලී ආදරය කිරීම නිවනට අදාළ නැහැ. එම සිංදුව මිහිරී බව දැකිය හැකිිය. යමක් දැක එය සතුටුයි හොඳයි කියා සිතීමත් එයට ඕනෑවට වඩා ප්‍රමාණයකින් බැඳිමත් කාරණා දෙකක් වෙයි. අලි බලන වෙලාවට අලි හරිම ලස්සන බව පෙනුනත් හෙණ්ඩුව අරගෙන ගිහිල්ලා අලියා පාලනය කිරීමට අපට සිතෙයිද?අලි බලන්නේ අතට අරගෙන නොවෙයි. සමනල්ලු බලන්නේ අතට අල්ලාගෙන නොවෙයි. සමනලයා බැලු පමණට අතට ගන්න අවශ්‍ය නැහැ. අලියා බැලු පමණට හෙණ්ඩුව ගැනීමට අවශ්‍ය නැහැ. එම නිසා පාරේ යන විට නෙක විසිතුරු සොඳුරු දසුන් දැක මනා වූ සිතක් ඇතිකර ගත්තාට කමක් නැහැ . පස්සෙන් යෑම පලක් නැහැ.
එම නිසා හැම දෙයකම සුන්දරත්වය සුන්දරත්වයසේ අත්දකින්න පුළුවන්. ආකාශය වහින්න ආසන්නයේ කලුවර කරමින් සිටින වෙලාවෙදී කොක්කු රෑනක් යන දෙස බලාගෙන සිටි තෙරණින් වහන්සේලා එහි ලස්සන දිහා බලාගෙන කවි කිව්වා. ඒවා ථේර ගාථා ලෙස හැඳින්වුවා. ධනියගෝපාල කන්ද උඩට නැගලා හෙණ ගහන වැස්සේ මහා පුදුමාකාර බියකරු විදුලි හඬත් මැද හොඳට වැහැපන් පි‍්‍රයංබිකාව ගෙදර . ගෙදර කෑම උයල හරක් ගාල් කරල තිබෙන්නේ . යනුවෙන් කඳු මුදුනට ගොස් කියාපු කියවිල්ල ධනේශ්වර සිතිවිල්ලක් නොවෙයි. ආත්මතෘප්තිය උදෙසා කියවන ලද කියවිල්ලක්. භාව ගීතයක් .එම නිසා සිත අර්බුද,ගැටලු, ප්‍රශ්න වලින් වෙළිලා වෙළිලා ඕනෑම නම්,දුක්ම විඳලා විඳලා ප්‍රශ්න හොයලා හොයලා අර්බුද ඇතිකරලා පුළුවන් තරම් ගැට ගහලා ගහලා ප්‍රශ්න ඇති කරලා ප්‍රශ්න මවලා මියැදෙන්න පුළුවන්. එහෙම නැත්නම්, මේ සියල්ලෙහිම ආස්වාදය විඳලා විඳලා සතුටින් හුස්ම පිටකරන්න පුළුවන්. නිදහසේ දෑස් පියාගන්න පුළුවන්. අප කළ යුත්තේ කුමක්ද ? කියා තෝරාගන්න පුළුවන්. එම නිසා සන්සුන් මනස හරිම වැදගත්. පියකරු සිත හරිම වැදගත් . මනස්කාන්ත අත්දැකීම් හරිම වැදගත්. ඒ සියල්ල දෙස ආස්වාදයෙන් දැකිය හැකි නම්, සන්සුන් සිතින් සහ පින්බර මුහුණකින් සැමදාම සිටිය හැකියි. නිවන් දකින්න පුළුවන්.
සදහම් සඟරා - Online