ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

පෙර දුන් දෙයම සසර දී ලැබෙයි

මහාචාර්ය 
පාතේගම ඤාණිස්සර හිමි

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සමයෙහි “සන්තකාය” නමින් භික්ෂූන් වහන්සේ නමක් වැඩ වාසය කළා. “සන්තකාය තෙරුණ් වහන්සේ” එම ප්‍රදේශය තුළ ප්‍රසිද්ධව වැඩ සිටි හිමි නමකි. උන්වහන්සේගේ නම කියූ පමණින් ඒ තරමටම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් බවට පත්වූයේ උන්වහන්සේට තිබූ නමෙහි අර්ථයෙන්ම කටයුතු කළ නිසයි. සන්සුන් වූ සංවර වූ, තැන්පත් සිරුරක් උන්වහන්සේට හිමිව තිබුණ නිසාම කායික ක්‍රියාවන්වල යෙදෙන විටත්,සැතපෙන වේලාවන් තුළත්, වැඩ සිටින අවස්ථාවලදීත් ගමන් බිමන්, වැඩම කරන අවස්ථාවන්වලදීත් කායික වශයෙන් හරිම තැන්පත් ස්වභාවයකින් යුක්තව වැඩ වාසය කළා. දානය වැළදීමේදීත් ඉතාම තැන්පත් වු උන්වහන්සේ කායික වශයෙන් පමණක් නොවෙයි, උන්වහන්සේගේ සිතත් හරි සන්සුන් තැන්පත් සිතක් පැවතුණා. සන්තකාය ස්වාමීන් වහන්සේ හැම වේලාවකදීම සියලු සත්ත්වයා පිළිබඳව කරුණා සහගත සිතිවිලි වලින් කටයුතු කළ ස්වාමින් වහන්සේ නමක්. ඒ වගේම උන්වහන්සේ වචනයෙනුත් තැන්පත් වුණා. පුද්ගලයෙකු සමඟ කතාබහ කරන අවස්ථාවලදී එම කතා කරන කාරණය වගේම, කතාකරන ආකාරයත් හරිම තැන්පත් විලාසයක් පැවතුණා.

වාසියට පිළිතුරු

වර්තමාන සමාජය තුළ බොහෝ පුද්ගලයන් කතාකරන විට අනෙක් පුද්ගලයා නපුරු ආකාරයෙන් කතා කරනු ලැබුවහොත්, පෙරළා එම පුද්ගලයාට නපුරු ආකාරයෙන් කතා කරනු ලබනවා. නපුරු ආකාරයෙන් කතා කරනු ලැබුවේ කුමක් නිසාදැයි? විමසූ විට තමන්ට වාසි වන ආකාරයට පිළිතුරකුක් ගොඩනගා ගන්නවා. මාගෙ වචන නපුරු නැහැ. මමත් නපුරු නැහැ. එම පුද්ගලයා නපුරු ආකාරයට මට කතා කරපු නිසයි මම ඒ ආකාරයෙන් කතා කරනු ලැබුවේ යනුවෙන් ඔහු තමාගේ වාසියට කරුණු කාරණා වශයෙන් තර්ක ගොඩනගා ගන්නවා.
සන්තකාය තෙරුන් වහන්සේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයකින් යුක්ත වුණා. උන්වහන්සේගේ සිත තැන්පත් කරගන්න තරම් හැකියාවක් හා ශක්තියක් උන්වහන්සේට තිබුණා. උන්වහන්සේගේ කට සන්සුන් ආකාරයෙන් භාවිත කිරීමට හැකි තැන්පත් බවක් උන්වහන්සේට තිබුණා. උන්වහන්සේගේ වචනයත් ඒ ආකාරයෙන් තැන්පත් වුණා. මෙම ස්වාමීන් වහන්සේ විශේෂිත චරිතයක් ලෙස සමාජය තුළ කතාබහ කරන්නට පටන් ගත්තෙත් මෙම තිදොරෙහි පැවති තැන්පත්කම නිසාමයි. සාමාන්‍ය පුද්ගලයකුට වඩා උන්වහන්සේ තුළ තිබූ තැන්පත් බව විශේෂිතව පෙනුණා.

අසිරිමත් සංයමය

දිනක් බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීමට පැමිණි භික්ෂූන් වහන්සේලා පිරිසකටත් “සන්තකාය” හාමුදුරුවන්ගේ මෙම කාය, වාග් මානසික හැසිරීම් විලාසයට මේ තරම් අපූරු අසිරිමත් ආකාරයට සකස්කර ගනු ලැබුවේ කෙසේද? යන කාරණාව ප්‍රශ්නයක් වුණා. එම නිසාම එම හාමුදුරුවන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනු ලැබුවේ බුදුහාමුදුරුවනේ, “සන්තකාය” හාමුදුරුවන් හරිම තැන්පත් උන්වහන්සේගේ කය තැන්පත් උන්වහන්සේ ගේ වචනය තැන්පත්. ඒ වගේම වචනය හරිම මිහිරියි. මනස තැන්පත් වන නිසාම තැන්පත් මනසින් කතා කරන වචන මිහිරියි. සිත සන්සුන් නිසාම කායික වශයෙන් කරනු ලබන ක්‍රියාවන් වුණත් කලබල නැති තැන්පත් ස්වභාවයක් ගනී. උන්වහන්සේ හිස සෙලවීම අත්පා සෙලවීමකුදු, නැහැ. ඉතාම තැන්පත් බුදුහාමුදුරුවනේ, මේ ආකාරයට උන්වහන්සේ තමන් වහන්සේගේ තුන්දොර සංවර කරගනු ලබන්නේ කෙසේද? යනුවෙන් බුදුරජාණන් වහන්සේගෙන් මෙම ප්‍රශ්නය විමසනු ලැබුවා. එම අවස්ථාතුළදී බුදුරජාණන් වහන්සේ අනෙකුත් භික්ෂූන් වහන්සේලාට වදාළා මහණෙනි, මහණුන් විසින් එම ආකාරයටම පිළිපැදිය යුතුය යන්නයි. සන්තකාය තෙරුන් මෙන් හැමතැනම හැම පුද්ගලයාම කටයුතු කළ යුතුයි. භික්ෂූන් වහන්සේ නමක් පමණක් නොවෙයි,

තැන්පත් බව මදිකමක්ද?

සමාජයේ ජීවත්වන ගිහි පුද්ගලයකු වුවත් මේ ආකාරයේ තැන්පත් බවක් තිබීම අවශ්‍යයයි. අපේ සමාජය තුළ අතැම් අය සිතනවා, තැන්පත්ව ජීවත් වුවොත් ඒ ආකාරයට තැන්පත්ව ජීවත්වීම තමන්ට මදිකමක් ලෙස සමහරු සිතනවා. තමාගේ තත්ත්වයට එය මදිකමක් යනුවෙන්. ඇතැම් අය සිතනවා මම බුද්ධාගමේ නිසාම තැන්පත් වෙලා ජීවත්වන එක එතරම් හොඳ මදි. ඒ නිසා සමාජය තුළ සැඩ පරුෂ ආකාරයෙන් ජීවත් විය යුතුය කියලා. එහෙම සැඩ පරුෂ වචන ප්‍රකාශ කරන විට සැඩ පරුෂ ආකාරයට හැසිරෙන විට මමත් ලොකු අයෙක් යැයි කියලා සමහරු පිළිගනීවි කියලා හිතන අයත් සමාජය තුළ ජීවත්වනවා. සැඩ පරුෂ ආකාරයට සිතීම ලොක්කෙකුගේ ස්වභාවය යැයි සිතන පුද්ගලයන් මෙම සමාජය තුළත් සිටියි. කවුරු හෝ පුද්ගලයකු එසේ සිතනවා නම් ඒ ඔහුගේ මානසික සිතිවිල්ලක් පමණයි. එහි නිවැරැදි බවක් නැහැ. සැඩපරුෂ ආකාරයෙන් හැසිරුණු පුද්ගලයා ලොකු අයෙක් ලෙසට සලකන්නේ නොදන්න පුද්ගලයන් පමණයි. තමන්ගේ කට සමාජයට,අර්ථවත් , යහපත් ආකාරයට හසුරුවන්න බැරි පුද්ගලයා සැර පරුෂ ආකාරයට කට හසුරුවන විට, තමන්ගේ කය සමාජයේ ජීවත්වන අනෙකුත් පුද්ගලයන්ගේ යහපත පිණිස යොදවන්න බැරි, පුද්ගලයා සමාජයේ සැඩපරුෂ ලෙස හැසිරෙමින් තමන්ගේ සිත පාලනය කරගෙන තමන්ගේ මනස පාලනය කරගෙන සන්සුන්ව ජීවත්වන්න නොදන්න පුද්ගලයා නොයෙක් විකාර අවුල් තැවුල් සහිත අනවශ්‍ය ලෝකවල මනස අතරමං කරනු ලබනවා. සැඩ පරුෂ ලෙස ජීවත්වන පුද්ගලයා සමාජයේ ලොකු අයෙක් ලෙසට සමාජයේ උතුමකු ලෙසට අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ සලකන්නේ නැහැ. ඒ වගේම තැන්පත් ආකාරයට යහපත් ලෙස ජීවත්වන පුද්ගලයා නිවටයකු ලෙස අපේ සමාජය තුළ සලකන්නේ නැහැ.ඒ ආකරයට සලකනවාය කියලා කවුරු හෝ පුද්ගලයකු සිතනවානම්, එය ඔහුගේ මානසික අවුල් සහගත බවක් පමණයි.

සසර පුරා යහපත්

බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව පැහැදිළි කරනු ලබන්නේ පුද්ගලයකුට හොඳ සිතිවිලි සිතන්නට නිරෝගී මනසක් ලැබුණේ ඒ පුද්ගලයා පෙර සංසාරයේ බොහෝ යහපත් සිතිවිලි සමාජයට දායාද කිරීම නිසයි. පුද්ගලයකුට හොඳට කතා කිරීමට හොඳ හඬක් සහිත කටක්, ස්වරාලයක් ලැබෙන්නේ එම පුද්ගලයා පෙර සංසාරයේ සමාජය තුළ මිහිරි වූත්,අර්ථවත් වූත් දේ ලබාදුන් නිසා බව බුදුදහම සඳහන් කරනු ලබයි. පුද්ගලයකුට අබල දුබල නොමැති අඟපසඟ සහිත ශරීරයක් ලැබෙන්නේ එම පුද්ගලයා දාන මාන ආදී පින්කම් පෙර සංසාරය තුළ වැඩිපුර කළ නිසා බව බණ පොතේ සඳහන් වෙයි. දුන් දෙයමයි පෙරළා තමාට ලැබෙන්නේ. ඔබ පෙර දුන් දෙයයි ඔබට වර්තමානය තුළ ලැබී තිබෙන්නේ. ඔබ අද යහපත් දේ දුන්නොත් ඒ යහපත් දේ. ඔබට හෙට ලැබෙනවා. ඔබ අද අයහපත් දේ ලබාදුනහොත් ඔබට හෙට අයහපත් දෙයම පෙරළා ලැබෙනවා. පරිසරය ගත්විට පරිසරය තුළ පොළොව තුළ තණකොළ වැවෙනවා. ඒ අතර මුකුණුවැන්න ආදි පෝෂ්‍යදායක, ගුණදායක අස්වැන්න සහිත පැළෑටිත් තිබෙනවා. පැලෑටි ලෙස මෙම වර්ග දෙක එකක් වුවත් පෝෂ්‍යදායි ගුණය අනුව එහි බොහෝ වෙනස්බවක් තිබෙනවා. එකම පොළොවෙහි, එකම සරු පසෙහි අප භාවිතයට නොගන්න වල්පැළෑටි වැඩෙනවා මෙන්ම අපට අවශ්‍ය ගුණදායක පෝෂ්‍ය පදාර්ථ යහපත් දේවල්ද, වල් පැළද හැදෙනවා.
මෙම සමාජයත් ඒ ආකාරයයි. යහපත් දෙය ලබාදෙන, යහපත් දේ කියන, යහපත් දේ සිතන එය සමාජයට ලබාදෙන උතුම් මිනිස්සු මේ පොළොව තුළ ජීවත්වනවා.අයහපතම ලබාදෙන,අයහපතම සිතන අයහපතම කියන සිත, කය, වචය යන තුන්දොරින්ම සමාජයට අයහපතම ලබාදෙන පුද්ගලයන්ද සමාජය තුළ ජීවත්වනවා. එය මහ පොළොවෙහි පවතින වරදක්ම නොවෙයි. පරිසරයෙහි පවතින වරදක්ද නොවේ. මිනිසුන්ගේ පින පව අනුව ඔවුන්ගේ මනස හසුරුවන ආකාරයේ ගැටලුවක්.
සන්තකාය හාමුදුරුවන්ගේ චරිත කථාව අධ්‍යයනය කරන විට බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේ පිළිබඳව දක්වන අදහසුත් සැළකිල්ලට ගත් විට අපට පෙනෙන, පැහැදිළි වන වන කාරණය මනසට යහපත් දේවල් සිතෙන්නෙත්, මනසින් යහපත් දේ කරන්නෙත්, යහපත් වචන කියන්නෙත් පෙර සංසාරයේ පින් පෙත් අනුවයි.අයහපත් දේ ප්‍රකාශ කරන්නෙත්, සිතන්නෙත්, කරන්නෙත් පෙර සංසාරයේ අකුසල කර්ම අනුවයි.
හේමමාලා රන්දුනු
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මෙත් බෝසත් විවරණය

ඌරුගමුවේ අස්සජි හිමි
ඉල් පුර පසළොස්වක පොහොය දිනය වස්සාන ඍතුවේ අවසාන දිනයයි. සම්බුද්ධ ශාසන ඉතිහාසය දෙස විමසා බැලීමේදී ඓතිහාසික ශාසනික සිදුවීම් කිහිපයකට මුල් වූ දිනයක් ලෙස ඉල්පොහොය දිනය හඳුන්වා දිය හැකිය.
ඒ අතර මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට අයත් වු මහරහතන් වහන්සේලා සැට නම ධර්ම ප්‍රචාරයෙහි යෙදවීම, තුන් බෑ ජටිල පිරිස දමනය කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනයවීම, චීවර මාසයේ අවසන් පොහොය දිනයවීම නොහොත් කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කළ හැකි අවසාන දිනයවීම සහ අගසව් සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන්පෑම යන කරුණු නිසා ඉල් පොහොයට ශාසන ඉතිහාසය තුළ වඩාත් වැදගත් තැනක් හිමි වෙයි.
වප් පොහොය දිනෙක මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ දහසක් පිරිවර සමඟ අප ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ පැවිදි වූහ. ඔවුන් එසේ පැමිණියේ දේවාවරෝහණ මහා පූජෝත්සවය දැකීම හා බුදුරදුන් හා සැරියුත් හිමියන් අතර වු ප්‍රශ්න විසර්ජන සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් පසුවයි. වස්සාන සමයේ අවසාන භාගයෙහි මෛත්‍රෙය බෝධි සත්ත්වයන්වහන්සේ තමාට වස්සාවාසික චීවර ලෙස ලැබුණූ අගනා වස්ත්‍ර යුගලය බුදුරදුන් වෙත පුදා එකත්පසෙක වැඩ සිටියහ. ඒ ඉල් පොහොය දිනෙකය. එම වස්ත්‍ර යුගලයෙන් එකක් ගෙන බුදුරදුන් වැඩ සිටි ගඳකිලියෙහි වියනක් කොට පිදු අතර අනෙක් තීරු වශයෙන් ඉරා මහ වියන් කෙළවර එල්ලා බැඳ පිදූහ. පසුව බුදුරජාණන් වහන්සේ මෙම මෛත්‍රෙය බෝධිසත්ත්ව භික්ෂූන් වහන්සේ අමතා “ඔබ වනාහි මේ මහා භද්‍ර කල්පයෙහිම මෛත්‍රෙය නමින් සම්‍යක් සම්බුද්ධ වන්නෙහි යැ”යි නියත විවරණ දුන් සේක. නියත විවරණ ලැබීම යනු බුදුවීම සඳහා පෙරුම් පුරන බෝසත්වරයෙකු තමා අනාගතයෙහි බුදුවන බවට බුදුරජාණන් වහන්සේ නමක් හමුවෙහිදි ලබාගන්නා ස්ථිර ප්‍රකාශයයි.
මේ අනුව බුදුරජාණන් වහන්සේලා පස් නමක ගෙන් සමන්විත මෙම මහා භද්‍ර කල්පයෙහි අවසන් වරට බුද්ධත්වය ලබනුයේ මෛත්‍රෙය බෝධි සත්ත්වයන් වහන්සේය. චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි කියවෙන පරිදි එතුමන් උපදින්නේ බරණැස් නුවර කේතුමතී නම් රාජධානියෙහි”කේතුමතී’ නම් නගරයෙහිය. මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ පිළිබඳ සෑහෙන ප්‍රමාණයක් විස්තර ඇතුළත් වන්නේ “අනාගත වංස” සහ “බුද්ධවංස” යන පාලි භාෂාවෙන් රචිත පොත්වලය. ඒ හා බොහෝ සෙයින් ගැලපෙන කරුණු පූජාවලිය, සද්ධර්මරත්නාවලිය යනාදි ග්‍රන්ථවල ඇතුළත් වී තිබේ. පුරාතන මෛත්‍රය වර්ණනාව තුළ කියවෙනුයේ මෙම මෛත්‍රෙය බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණිය හැකිවන්නේ කෙබඳු අයටද, පැමිණීමට නොලැබෙන්නේ කෙබඳු අයට ද යන කරුණුය. පංචානන්තරිය අකුසල කර්ම කළ තැනැත්තන් ඇතුලු බරපතළ අකුසල කර්ම කළ අයට උන්වහන්සේ දක්නට නොලැබෙයි.
බුද්ධ ශාසනය තුළ පස් නමකගෙන් ඇරැඹි භික්ෂූ සමාජය කෙමෙන් කෙමෙන් වර්ධනය වී රහතන් වහන්සේ සැට නමක් බවට පත් විණ. බරණැස ඉසිපතනයෙහි වස් කාලය ගත කළ බුදුරජාණන් වහන්සේ වස් කාලය නිමවීමෙන් පසුව ඉල් පොහොය දිනෙක එකී රහතන් වහන්සේලා සැට නම හෙවත් ප්‍රථම ධර්ම දූත පිරිස අමතා මෙසේ වදාළහ.
චරථ භික්ඛවෙ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං , මා එතෙන ද්වෙ අගමිත්ථ දෙසෙථ භික්ඛවෙ ධම්මං ආදි කල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්ථං සබ්‍යඤ්නං කෙවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්ම චරියං පකාසෙථ
මහණෙනි, ලොවට අනුකම්පා පිණිස,දෙවි මිනිසුන් ගේ හිත පිණිස සුව පිණිස දියුණුව පිණිස චාරිකාවේ හැසිරෙන්න. දෙදෙනෙකු එක මගින් නොයන්න. මෙම දහම මුල මැද අග යහපත් වූවකි.අර්ථ සහිතවු හාත්පසින් සම්පූර්ණ වු පිරිසුදු වු සසුන් බඹසර ලොවට ප්‍රකාශ කරන්න.
මෙසේ මුල් පොහොය දිනෙක ප්‍රථම රහතන් වහන්සේලා සැට නම ධර්ම දූත චාරිකාවේ පිටත්කොට බුදුරජාණන් වහන්සේ උරුවේලාවට වැඩම කළහ.
එකල උරුවෙල් දනව්වේ ජටිල සොහොයුරෝ තිදෙනෙක් වූහ. මේ අතරෙන් පන්සියයක් පිරිවර සමඟ උරුවේල කාශ්‍යපද තුන්සියයක් පිරිවර සමඟ නදී කාශ්‍යපද දෙසීයක පිරිවර සමග ගයා කාශ්‍යපද වාසය කළහ.උරුවේලාවේ නේරංජනා නදිය සමීපයේ ආරාමයකින් ඉදිකරවාගෙන විසු ඔවුහු මානයෙන් උදම්ව සිටියහ. බුදුරජාණන් වහන්සේ උරුවේල කාශ්‍යපගේ ආරාමයට වැඩමකොට එහි රැය පහන් කිරීමට නවාතැනක් ඉල්ලා සිටියහ. එහෙත් එහි නවාතැන් දීමට අකැමැතිබව උරුවේල කාශ්‍යප බුදුරදුන්ට ප්‍රකාශ කළේ ඊට හේතුද දක්වමිනි. එනම් ඉඩකඩ ඇති එකම ස්ථානය ගිනිහල්ගෙය පමණක් වීමත්, එහි දරුණුූ නාගයෙකු වාසය කිරිමත්ය. නාගයෙකු සිටීම තමන් වහන්සේට ගැටලුවක් නොවන බව බුදුරදුන් සඳහන් කළ විට එසේ නම් නවාතැන් ගැනීම කෙරෙහි තමාගේ බාධාවක් නොමැතිබව උරුවේල කාශ්‍යප ප්‍රකාශ කළේය.
ඉක්බිතිව බුදුරජාණන් වහන්සේ ගිනිහල් ගෙට වැඩමකොට එහි තණ ඇතිරියක හුන්සේක. නාගරාජයා බුදුරදුන් දැක කිපී විෂ දුම් පිට කළේය. බුදුරජාණන් වහන්සේ ඍද්ධි බලයෙන් පෙරලා දුම් විහිද වූහ. නාගරාජයා ක්‍රෝධ ගින්නෙන් වෙලී දිලිසුණු අතර බුදුරදුන් ඍද්ධිමය ගින්නෙන් බැබලුණි. මුලු ගිනිහල් ගෙයම ගින්නෙන් වැසී ගත්තාක් මෙන් දිස් වුණි. ජටිල පිරිස එය දැක මහා ශ්‍රමණයන් වහන්සේට නාගයා බෙහෙවින් පීඩා පමුණුවා ඇතැයි, සිතූහ. රැය පහන් වු පසු බුදුරජාණන් වහන්සේ ඔද සිඳීගිය නාගරාජයා ස්වකීය පාත්‍රයෙහි දමා උරුවේල කාශ්‍යප වෙත පෙන්වූහ. හෙතෙම එය දැක ප්‍රකාශ කෙළේ “ මහා ශ්‍රමණයන් වහන්ස, ඔබ නාගයින් දමනයෙහි දක්ෂය. එහෙත් මා සේ රහත් බවට පත්ව නැතැ”යි යනුවෙනි. මෙකී තුන්බෑ ජටිල පිරිසම තමන් රහත්. , යන මානයෙන් මුලා වී සිටි අතර එම වැරැදි මානය දුරු කොට නිවන් මගට ඔවුන් යොමු කරවීම බුදුරදුන්ගේ එකම අපේක්ෂාව විය. එබැවින් බුදුරදුන් ඔවුනගේ මානය දුරු කිරීමට තුන් දහස් පන්සිය දහසක් ප්‍රාතිහාර්ය පා වදාළ බව සඳහන්ය. ඒ දැක උරුවේල කාශ්‍යප බුදුරදුන් කෙරෙහි බෙහෙවින් ප්‍රසාදයට පත්ව පන්සියයක් වු ස්වකීය අතවැසි පිරිසද සමඟ පැවිදිවූහ. පැවිදි වු ඔවුහු පසුව ජටා මඩුලු හා තවුස් පිරිකර නේරංජනා නදියෙහි පාකර යැවූහ. ගඟෙහි පාවි යන තවුස් පිරිකර දැක නදී කාශ්‍යප තවුසා වහා කලබලයට පත්ව ස්වකීය වැඩිමහලු සොහොයුරා ප්‍රමුඛ අතවැසි පිරිසට අනතුරක් සිදුවී දැයි, සොයා බලනු පිණිස වහ වහා තම පිරිවරද කැටිව පැමිණියහ. එහිදී ඔවුන් පැවිදි වී සිටිනු දැක තමාද කරුණුූ විමසා ස්වකීය පිරිවර සමඟ බුදුරදුන් වෙතින් ධර්මය අසා පැහැදි පැවිදි වූහ. ගඟෙහි පාවීයන තවුස් පිරිකර දුටු ගයා කාශ්‍යප ප්‍රමුඛ පිරිසද නදි කාශ්‍යප සේම කලබලයට පත්ව දිව අවුත් තත්ත්වය වටහාගෙන බණ අසා පැවිදි වූහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ මෙකී දහසක් පමණ වු ජටිල භික්ෂූන් වහන්සේලාද පිරිවරාගෙන ගයා පෙදෙසට වැඩම කළහ. එහිදි බුදුරදුන් දේශනා කළ ආදිත්ත පරියාය සූත්‍රය අසා සියල්ලෝම රහත්භාවයට පත්වූහ. බුද්ධ චරිතයේ මෙම අසිරිමත් සිදුවීම වූයේද ඉල් පොහොය දිනෙකය.
පෙරවස් පවාරණය සහ පසුවස් පවාරණය යනුවෙන් පවාරණය කොටස් දෙකකින් යුක්තය. ඇසළ පුර පසළොස්වක පොහොදා පොහොය විනය කර්මය කොට අවපෑළවියදා පෙරවස් සමාදන් වි වස් ආරක්ෂාකර වප් පසළොස්වක පොහෝදා මහා පවාරණයෙන් වස් පවාරණය කිරීම පෙරවස් පවාරණයයි. නිකිණි පොහොදා පොහොය විනය කර්මය කොට අවපෑළවියදා පසුවස් සමාදන්වී ඉල්පුර පසළොස්වක පොහෝදා වස් පවාරණය කිරීම පසුවස් පවාරණයයි. එය ඉල් පොහොයදා සිදුකෙරෙන තවත් වැදගත් ශාසනික කාර්යයකි. මේ අනුව වස්සාන සමයේ අවසාන පොහොය දිනය වු ඉල් පොහොය මෙකී ඓතිහාසික වූත්, ශාසනික වූත්. සිදුවීම් කිහිපයක් මුල් කරගත් වැදගත් පොහොය දිනයක් බව වටහාගත යුතුය. 


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

තම සිතින්ම සෙවිය යුතු සැනසීම

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති 
“බෞද්ධයා” මාධ්‍ය ජාලයේ සභාපති ගෞරව ශාස්ත්‍රවේදී 
දරණාගම කුසලධම්ම හිමි

දිය බිඳුවකින් පටන් ගන්නා ගංගාවක ආරම්භය පිවිතුරුය. ගඟ කෙමෙන් කෙමෙන් පහළට ගලා යත්ම විවිධ වූ අපවිත්‍ර දේ එක්වීමෙන් බොහෝ සෙයින් අපවිත්‍ර වේ. මිනිස් මනසේ ස්වභාවය ද මීට සමාන කළ හැකි වේ.
ළපටි අවධියේ ප්‍රභාෂ්වරව තිබෙන මනස වයසින් වැඩීමත් සමඟ විවිධ වූ අරමුණු හා හැඟීම් ඔස්සේ දිවීම නිසා කිළිටි වේ. එහෙත් පෙර භවයෙන් ගෙනා දේ හිතේ තැන්පත්ව නිසොල්මන්ව තිබෙන බව ද අමතක නොකරන්න. සංඛාර පච්චයා විඤ්ඤාණං සකස් වන කුසල අකුසල සියල්ල විඤ්ඤාණ ගතවේ. විඤ්ඤාණ පච්චයං නාම රූපං, ඒ විඤ්ඤාණය කිසියම් මව්කුසක පිළිසිඳ ගනී. ඒ නාම රූපයයි. ආයතන පහකුත් එකතු කරගෙන මව් කුස තුළින් ළදරුවෙකු හැටියට බිහි වන්නේ මේ පටිච්ච සමුප්පන්න ධර්මතාව තථාගතයන් වහන්සේ ලොවට හෙළි කළ සේක.
ධර්මය හැදෑරීම එක දෙයකි. අත්දැකීම, අනෙකකි. හුදු ඉගෙනීමෙන් ඔබ්බට ගිය ධර්ම ගවේෂණය ප්‍රතිඵලදායක වන්නේ අපේ ජීවිතවල පවතින අතෘප්තකරතාවන් බැහැර කිරීමටත් අප අවට සිටින්නන්ගේ සතුට හා සැනසිල්ල සඳහාත්ය. දුක, දොම්නස උපදින හැටි හා එහි රඳා පැවැත්ම තේරුම් ගත හැක්කේ විසිරුණු මනසකට නොවේ. නිසසල මනසකට ය. සසලතාවයට පත් මනස දුක මෙන්ම සතුට උපදින සිතිවිලි බිහි වී නොසන්සුන්ව තිබෙන නිසා දුක හට ගැනීම හා දුක පවතින හැටි තේරුම් ගත හැක්කේ මනස සංසිඳුණු විටයි.
එසේම මනසෙහි සසල බව, හිස් බව, නොසෑහීමට පත් ස්වභාවය දැනගත හැකි වන්නේ මනස දෙස තැන්පත්ව බැලීමෙන් ය. හේතුන් නිසා හටගත් නිර්මාණ රාශියක් චේතනා හා සංස්කාර නමින් ඇත. සංස්කාර යනු චේතනාවලට තව නමකි. මේවා උපදින්නේ ඇත්ත ඒ වූ ආකාරයෙන්ම නොදන්නාකම නිසා ය. අවිද්‍යාව කියන්නේ ඒ නොදන්නා කමයි. ලෝකයේ යම්තාක් දුක් දොම්නස් තිබේ නම් ඒවා හට ගන්නේ තණ්හා උපාදාන භව ජාති යන පටිච්ච සමුප්පාද ධර්මතාව නිසාය. අවිද්‍යාව තිබුණොත් කර්ම වෙනවාමයි. කර්ම සකස් වීම් හෙවත් සංස්කාර වුණොත් විඤ්ඤාණය පිහිටනවාමයි. විඤ්ඤාණය පිහිටියොත් මව් කුසකට බැසගන්නවාමයි. එවිට ජරා, ව්‍යාධි, මරණ ඇති වෙනවාමයි. ඉපදීම යම් තැනක නොතිබේද, ජරා මරණ නැත.
අත හැරීම බුදු දහමේ මූලික උපදේශයයි. දුක මෙන්ම මායාකාරී සැපය ද අයත් වන ලෝකයෙන් මිදීමට පදනම් වන්නේ අතහැරීමයි. භාවනාවේ ප්‍රධාන අරමුණ ද අතහැරීමයි. භාවනා අරමුණ ගැන පමණක් ම නොසිතා සිතට එන අරමුණු කපා හරිමින්, සිතිවිලිවලින් මිදෙමින් දොඩමලු කල්පනා භරිත මනස ඒ වල්පල්වලින් මුදා ගත යුතු ය. එවිට ගැඹුරු අවබෝධය කරා ඔබව ගෙන යනවා ඇත.
මමය, මගේය, කියන හැම දෙයක්ම අත හැරිය යුතු බව බුදුදහම අපට උපදෙස් දෙති. මනස පුහුණු කළ යුත්තේ මේ බව අවබෝධයට ගැනීමටයි. සියලු සිතිවිලි නම් වූ සංස්කාරවලින් නිදහස් විය හැක්කේ මේ මනස පුහුණු කිරීමෙනි. මනස පිරික්සන විට අපට දැනගත හැකි වන්නේ ඒවා මානසික මූලධාතු කැටියක් වශයෙන් විනා මම යයි ගත හැකි දෙයක් නොවන බවයි. හැම දෙයක්ම කරන්නේ මමය. පෘථග්ජන පුද්ගලයා මම නැතිවනවාට බිය වේ. හැම දෙයක් ම මගේ කර ගන්නේ මම හිස් වනවාට බියෙනි. ‘මම’ අත හැරීම මහා බරකින් නිදහස් වීමක් වන බව තථාගතයන් වහන්සේ දේශනා කළහ. ශ්‍රද්ධා වීර්යය, සති, සමාධි, ප්‍රඥා යන මේවා ඉන්ද්‍රිය ධර්ම වේ. මුල් ධර්මතා සතර වැඩෙන්නේ ප්‍රඥාව සමඟය. ප්‍රඥාවකින් තොරව ශ්‍රද්ධාව වැඩීමට ඉඩක් නැත. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්නේ අප අත් දකින අවබෝධය නිවැරදි නම් පමණි. එය ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ඉදිරියට ගමන් කිරීමක් ය.
සමාධි වූ හිත ශාන්ත බවට පත් වීම ස්වභාවයයි. ඒ ශාන්ත බවට ඇලුණොත් සමාධිය බිඳේ. හෙළි පෙහෙළි කළ බිමක් වල් බිහි වීමට ඉඩ හළ හැකිය. නැතහොත් එළවළු වගා කළ හැකිය. සමාධි වූ සිතට ඇලීම වල් බිහි වන්නට ඉඩ හැරීමක් වැන්න. ඒ තව දුරටත් භවයෙහිම රැඳී සිටීමකි. ඒ නිසා සමාධියේ ශාන්තභාවය මගේ කර ගත යුතු නොවේ. ඒ පඤ්චුපාදානස්කන්ධයට ඇලීමකි. මම යනු රැවටිලි කාරයෙකි. මම නැති තැන පූර්ණ නිදහසකි. කුසල් අකුසල් හෝ බිය සැක තොර බැඳීම් නැති පූර්ණ සංසිඳීමක්ය. හරියටම අප මම කෙනෙකු මවාගෙන තිබෙන්නේ මවගේ තුරුලෙහි සැඟ වී බිය ජනක තැනකට යන දරුවෙකු මෙන්ය. සිතින් කය බදාගෙන සිටින්නේ, මේ සිතත්, කයත් වෙන් වූ ධර්මතා දෙකක් බව නොදැනයි. හිත සහ කය එකක් නම් මරණින් පසු එක්වම යා යුතු ය.
සැප දුක යන දෙකම අප හට හිමි කර දෙන්නේ සිතය. ලෝකයේ හඳුනා ගැනීමට බැරිම හිතය. භාවනාවෙන් පවිත්‍ර වන මනස අරමුණු වල හොඳ නරක හඳුනා ගනී. හිත දූෂ්‍ය වන්නේ අරමුණුවල පැටලීමෙනි. හිත පූර්ණ ලෙස නිවහල් බවට පත් කිරීම බුදු නුවණින් සිද්ධ කළා වූ මහා ප්‍රාතිහාර්යයයි. මෙසේ පත් කළ සමාහිත සිතින් ලොව හැම දෙයක් ම හේතුන් නිසා හට ගන්වන ආකාරය පෙන්නුම් කෙරෙන පටිච්ච සමුප්පාද ධර්මතාව බුදු නුවණින් ප්‍රත්‍යක්ෂ කරගත් සත්‍යය බෝධි සූත්‍රය ඇසුරින් ගාථා ධර්ම තුනකින් දේශනා කර වදාළහ. වීර්යයෙන් ධ්‍යාන වඩන බ්‍රාහ්මණයා හට ධර්මයන් පිළිබඳ අත්දැකීම් පහළ වේ. ඒ ධර්මයන් හා බැඳී ඇති හේතු ප්‍රත්‍යයන් අවබෝධ වීම හා සමඟ ඒවා පිළිබඳ සියලු සැක සංඛා දුරුවී යයි. මේ අන් කිසිවක් නොව සංස්කාර ධර්මයන් නොදන්නාකමින් ගොඩ නඟා ගෙන තිබෙන පෘථග්ජනභාවය නිසා මිනිසා දුකට පත් වී ඇති ආකාරයයි.
වීර්යයෙන් ධ්‍යාන වඩන බ්‍රාහ්මණයා හට ධර්මයන් පිළිබඳ අත්දැකීම් පහළ වේ. ඒ ධර්මයන් හා බැඳී ඇති හේතු ප්‍රත්‍යයන් නැතිකර දැමීම ප්‍රත්‍යක්ෂ වන කල්හි ඒවා පිළිබඳ සියලු සැක සංඛා දුරු වී යයි. මෙසේ දෙවැන්නෙන් දේශනා කළේ එම සංස්කාර ප්‍රහීණ කිරීමෙන් සියලු දුකින් නිදහස් ආර්යභාවයට පත්විය හැකි බවයි.
වීර්යයෙන් ධ්‍යාන වඩන බ්‍රාහ්මණයාට ධර්මයන් පිළිබඳ අත්දැකීම් පහළ වේ. ඒවා කැටුව එන මාර සේනාව විධ්වංශනය කොට අහස් කුස බබළන සූර්යයා මෙන් නැගී සිටියි. මෙසේ තුන් වැන්නෙන් හෙළි කළේ අනුලෝම වශයෙන් ප්‍රත්‍යයන් විසින් නිර්මාණය කරනු ලබන සංස්කාර දුක ද, ප්‍රතිලෝම වශයෙන් සංස්කාර දුක නැතිකර දැමීමේ හැකියාව ද එකිනෙක ගලපා අවබෝධ කිරීමෙන් සියලු කෙලෙස්වලින් මිදී නිවන් අවබෝධ කළ හැකි බවයි.
සිදුහත් බෝසතුන් නිසැකවම සියල්ල දක්නා (සර්වඥ) අයෙකු බවට පත්වූහ. වෙනස් වන ස්වභාවයන්ට අනුව යමින් දුකට, හෝ සතුටට පත් නොවී සිටියහ. ඉපදීමෙන්, ලෙඩ දුකින් වයස් ගත වීමෙන්, මරණයෙන් ද මිදී හේතුඵල හෝ සංස්කාරයන්ගෙන් තොර දුක සැප හා යහපතින් අයහපතින් ඈත් වී පවත්නා මේ තත්ත්වය සැබෑම නිවීම වන්නේ ය.
බුදු දහම ඉගෙනීමෙන් පමණක් සසර ගමන නැවැත්විය නොහැක්කේ ය. හොඳ නරක දුක සැප ආදී සියලු තත්ත්වයන් තුළ ඒවාට අනුව හිත වෙනස් වේ නම් තවමත් ඉපදීමෙන් හා මරණයෙන් මිදී නැත. හිතේ පහළවන හැම දෙයකම ප්‍රකෘර්ති ස්වභාව මතුකර ගනිමින් ඇලීමේ හා ගැටීමේ ප්‍රශ්නය නිරාකරණය කර ගත හැක්කේ මනසේ සැබෑ තතු මතු කර ගැනීමෙන් ය.
කෙලෙස්වලට සුපුරුදු පෝෂණය ලබා නොදී ඒවාට විරුද්ධව සටන් කරන විට භාවනාව වැඩේ. අප ක්‍රියාත්මක විය යුත්තේ ගැටලුවක් හා ගැටීමක් ඇති වන තැනින් ය. සැනසිල්ල ඇත්තේ කඳු ගංගා තැනිතලා, දිය ඇලි යන කිසි තැනක නොවේ. සැනසීම ඇත්තේ තමාගේ සිත තුළමයි. කැළඹීම හා දුක ඇති වන තැනින් ම සැනසීම සොයා ගත හැකිවේ. සියලුම දුක් කරදර වලින් මිදීමට නම් අප අපගේ ම සිත්වල පාලකයන් වීමට උත්සාහ ගත යුතු ය.
භාවනාවේ දී මුලදීම නොවැළැක්විය හැකි පරිදි හිත විසිර යයි. මේ කෙලෙස්වල බල පෑමෙනි. ඇතුළත තුවාලයකට කරන බාහිර පිළියම් නිසා තුවාලය සුව නොවන්නා සේ ක්ලේශයන් තෘප්තිමත් කිරීමෙන් පලක් නැත. මේ කෙලෙස් වලටයි බෙහෙත් දිය යුත්තේ. සිතිවිලි මාධ්‍යය කරගෙන එන කෙලෙස් හඳුනාගෙන ඒවා හාමත් කර ප්‍රාණය නසාලිය යුතු ය. අපේ හිත මෙල්ල කළ යුත්තේ මී හරකෙකු මෙල්ල කරන පරිද්දෙනි. හිත නම් වූ මී ගවයා, සිතිවිලි නම් වූ කෙලෙස් ගොයම දෙසට ඇදේ. ප්‍රඥාව නම් වූ ගව පල්ලා සිතිවිලි නම් වූ ගොයම දෙසට ගවයාගේ යාම වැළකිය යුතු ය. අපේ හිත් තුළ ද ප්‍රඥාවේ මෝදු වීම මෙලෙස විය යුතු ය. මම හැඟීමේ මූල බීජයක් එහි අවසානයත්, සියලු දොම්නස්වල කෙළවරත්, මේ අනුසාරයෙන් දැන ගත හැකි වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මේ ජීවිතයට මඟ කියන සංසාර පුරුදු

කථිකාචාර්ය, දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි
ත ථාගතයන් වහන්සේ ලොවට පහළ වී දුක් වි ඳින අපට ඒ දුකෙන් නිදහස් වන මාර්ගය දේශනා කොට වදාළා. මුල, මැද, අග පිරිසුදු ඒ දහම් මඟේ යන පුද්ගලයාට අවසානයේ පෙනෙන නිජබිම මුණගැසෙන බව උන්වහන්සේ වදාළා.
ඔබට ඒ සඳහා පුංචි බණ කථාවක් කියා දීමට අදහස් කළා. දවසක් එක්තරා දායකයෙක් තථාගතයන් වහන්සේට දානයට ආරාධනා කළා. උන්වහන්සේ වදාළා පින්වත, එදින මම වෙන දානයක් භාරගෙන තිබෙනවා. ඔබට ඕන පිනක් කරන්න නේ. මම එයට සුදුසු ස්වාමින් වහන්සේ නමක් ලබා දෙන්නම් කියා. දායකයා කැමැති වුණා. නිසි දින දානමය පුණ්‍ය ක්‍රියාව සඳහා දායකයා අර ස්වාමින් වහන්සේ වඩම්මවාගෙන ගම් ප්‍රදේශයට ගමන් කරනවා. ඒ යන ගමනේ ගස්, ගල් පර්වත, ඇළ දොළ ගංඟා පසු කරගෙනයි මේ ගමන යන්න තිබුණේ. ස්වාමින් වහන්සේ බොහෝම සංසුන් ගමනින් වඩිනවා.
දායකයා පිටුපසින් ගමන් කරනවා. මෙසේ යනවිට මේ ස්වාමින් වහන්සේට හමුවුණා මහා යෝධ ගංඟාවක්. මේ හිමියන් මොහොතක් ගඟ ලෙස බලාගෙන හිටියා. ගඟේ වතුර වැඩියි. පෙරදා හොඳට වැහැල ගගේ වතුර වැඩිවෙලා. ඒදණ්ඩ යට වෙලා.
ගඟ පිරිලා. උන්වහන්සේ මෙතෙක් වෙලා බිම බලාගෙන ශාන්ත ගමනින් ආ ඒ හිමියන් හොඳ ගැම්මක් අරගෙන කිසිදු සංවරකමක් නැතිව ගඟෙන් එහා පැත්තට පැන්නා. “අනේ ඇයි මේ හිමියන් සංවරයක් නැතිව මෙසේ පැන්නේ” කියා මේ දායකයාගේ සිත බිඳ වැටුණා. ස්වාමින් වහන්සේ ගඟේ එහා කෙළවරේ ඉඳන් නැවත ශාන්තව ගමන් කරනවා. දායකයා කල්පනා කරනවා කිසිම සංවරයක් නැතිව ගඟෙන් පැන්නා. දැන් නැවත සංවරව ගමන් කරනවා.
දායකයා ඒදණ්ඩෙන් අමාරුවෙන් එහා පැත්තට ගිහින් උන්වහන්සේ පසු පස්සේ ගමන් කරනවා. යන ගමන් විවිධ විතර්ක සිතිවිලි වලින් සිත පිරිලා. මේ හිමියන්ගේ කිසිදු සංවරකමක් නැහැනේ. මම දන් දෙනවාද? නැද්ද? මේ දන් දෙන එකෙන් මට පිනක් රැස්වෙයිද? අවසානයේ තීරණය කළා ගෙදර හොඳට පිළිවෙල කළ දානය සියල්ල පූජා කරනවා. නමුත් මම පිරිකර පූජා කරන්නේ නැහැ කියා සිතුවා.
තව ටිකක් දුර වඩින විට පුංචි දිය පහරක් හමුවුණා. දායකයා නැවත විමසිලිමත් වුණා. ගඟෙන් පැනපු කෙනෙකුට මේ දොළ පහර මොකක්ද? මෙයිනුත් පනියි සිතමින් දායකයා සිතෙන් ලත වෙනවා. ස්වාමින් වහන්සේ ඒ පාර කලබල නැහැ. හෙමින් දොළ කඩිත්තට බැහැලා පා දෙක දෝවනය කරගෙන සංවරය දොළෙන් එතෙර වුණා. දායකයා පුදුම වුණා. ඔහුගේ සිතේ ප්‍රශ්න ගොඩයි. පනින්න බැරි මහා ගඟෙන් අසංවරව පැන්නා. දැන් පනින්න පුළුවන් දොළෙන් දොළ කඩිත්තෙන් පැන්නේ නැහැ. ගැටළු ගොඩක් හිතේ තෙරපුණා. දායකයා කියනවා ස්වාමිනි, මට ගැටලුවක් තිබෙනවා දැනගන්න. ඔබවහන්සේ දානයට වඩිද්දී අර මහ ගඟෙන් කිසිම සංවරයක් නැතිව පැන්නා. නමුත් මේ දොළ කාණුව බොහෝම පුංචියි. ඒකෙනුත් පනින්න තිබුණානේ. ඇයි පැන්නේ නැත්තේ? කියා ඇසුවා. ස්වාමින් වහන්සේ වදාළා පින්වත එකකින් පැනලා පූජා කරන්න සිටි පිරිකර ටික නැතිකර ගත්තා.
මේකෙනුත් පැන්නානම් අද දානයත් නැති වෙනවා. ඒකයි පැන්නේ නැත්තේ කිව්වා. දායකයා පුදුම වුණා. මගේ සිත ස්වාමින් වහන්සේ දැනගෙන නේ. මගේ සිත කියවලානේ කියා ඔහු කලබල වුණා. මේ දානයට වඩින ස්වාමින් වහන්සේ තුළ බලගතු ඤාණයක් වන අනුන්ගේ සිත් දකින ඤාණයක් තිබුණා. මුන් වහන්සේ රහතන් වහන්සේ නමක්නේ යැයි සිතමින් සිදු වූ දෙයට ලතවෙමින් දෙදෙනා ගමන් කළා.
දායකයා ගෙදර ගිහින් ස්වාමින් වහන්සේට ගෞරවයෙන් දානයත් පිරිකර සියල්ල පූජා කළා. නැවත වඩම්මවාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණා. සිදු වූ සියල්ල විස්තර කළා. දායකයා අසනවා ස්වාමිනි, ඒත් උන්වහන්සේ ඇයි අර ගඟෙන් අසංවරව පැන්නේ? බුදු නුවණින් අර හිමිගේ සංසාර ගමන ගැන බැලුවා.
පින්වත, ඒ ස්වාමින් වහන්සේ මේ දීර්ඝ ගමනක් ආ සංසාරේදී භව ආත්ම පන්සියයක්ම වඳුරු ආත්ම භාවයන් ලබාගෙන තිබුණේ. ඒ නිසා යි එහෙම කළේ. ගහෙන් ගහට පැනපු ආකාරය ජන්ම පුරුද්දක් ලෙස සිතට ආවා. නමුත් ඔබේ සිත කැළඹුන බව දැක්කා. ඒකයි දොළ පාරේදී පැන්නේ නැත්තේ කියා වදාළා.
එහෙනම් තේරුම් ගන්න පෙර පුරුදු රහත් වූ භවයට පවා මනස හරහා ගමන් කරනවා. එකම ගෙදර ඉන්න දරුවෝ දෙදෙනෙක් ගැන හිතන්න. නිවසේ සියලු දේ දෙදෙනාට සමාන වුවත් කෙනෙක් ධර්මයට කැමැතියි. හරිම ගුණවන්තයි. සීලවන්තයි. ප්‍රඥාවන්තයි. අනෙක් දරුවා එහෙම නැහැ. සැරපරුෂයි.
සංවර නැහැ. ධර්මයට කැමැති නැහැ. හේතුව දැන් එක ගෙදරක ඉපදුනාට සංසාරික වශයෙන් මේ දෙන්නාගේ මනස අහසයි පොළොව වගේ. දීර්ඝ සසර පුරා අප කරගසාගෙන යන කර්ම කිහිපයක් තිබෙනවා. ඒ කර්ම බීජ, ක්ලේශ බීජ, ස්මෘති බීජ (පෙර සසරේ මතක සටහන්) මේවා කර ගසාගෙන යන බැරි බරක්.
තථාගතයන් වහන්සේ වදාළා මේ සසර බර පැත්තකින් තැබුවානම් ( සෝවාන් වුණානම්) ඔහු බිම තැබු බර හිමාල පර්වතයට සමානයි කියනවා. තව ඉදිරියට ගෙනයන්න තිබෙන බර සමානයි හරියට අබ ඇට හතක් වගේ කියාත් වදාළා තිබෙනවා.
සමාජයේ සිටින පිරිසෙන් කෙනෙක් ධර්මයට කැමැතියි, කෙනෙක් අකැමැතියි, කෙනෙක් ගුණයෙන් පිරිපුන්. අනෙකා එහෙම නැහැ. එහෙමම වෙන්නේ සංසාරේ පෙර පුරුදු නිසා. යක්ෂ, පේ‍්‍රත, භූත ආදියේ ඉපදුන අයට ධර්මය හුරු නැහැ. හොඳ වචන හුරු නැහැ. ඒ වගේම ගුණවත්කම හුරු නැහැ. නමුත් සංසාරේ මනස හොඳ දෙයට හුරු කළ කෙනාට අමුතුවෙන් හොඳ දේ කියා දෙන්න ඕන නැහැ. තමා අඳින ඇඳුම කිලුටු වුණාම එය ඉවත් කර වෙන එකක් අඳිනවා වගෙයි හරියට මියයනවා කියන එකත්. ඇඳුම වෙනස් කළාට පුද්ගලයා එකයි. ඒ වගේ අප මේ ජීවිතයේදී මරණයට පත්වුණාට අපේ කර්මය වෙනස් වන්නේ නැහැ.
සමහර දරුවන් ඉන්නවා දෙයක් කියනකොටම අවබෝධ වෙනවා. මේවා සංසාරයේ අපගේ මනස යම් තැනක තැබුවාද ඒ තැනින් තමා නැවත පටන් අරගෙන තිබෙන්නේ. සංසාරයේ මනස පහළට දැමුවානම් අප බාලයන් වගේ කටයුතු කරන්නේ. අපට පුළුවන්නම් අපේ නොදන්නාකම, තේරුම්ගන්න එයින් පණ්ඩිතබව ස්පර්ශ කරන්න පුළුවන්.
ධර්මය අසන්න අසන්න අපේ ජීවිතය උත්තමභාවය කරා යනවා. තථාගතයන් වහන්සේ මේ ජීවිතය උත්තමභාවයට යන්න ඕන කරුණු කිහිපයක් පෙන්වා වදාළා. අපේ ඇස, කන, නාසය, දිව, කය, හරහා විවිධ අරමුණු එනවා. ඒ අරමුණු වලින් කුසල අරමුණු පමණක් ඉතිරිකරගෙන අකුසල අරමුණු ප්‍රහාණය කරන්න ඒක වටිනවා.
ධර්මයේ කියා දෙනවා අරමුණු ගැන හොඳින් දකින්න. ඒවා කුසලද? අකුසලද? කියා. ඒ වගේම අකුසල සිතිවිලි විතර්ක අයින් කරන්න, වැඩිය යුතු මනස හොඳින් වඩන්න, ඒ තුළින්මයි අපේ මේ නිස්සාර ගමන සරුසාර ගමනක් කරගෙන නිවන පසක් කරන්න පුළුවන් වෙන්නේ.
මේ නිසා ඔබත් ඉතා දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතය අර්ථවත් ලෙස සරුසාර කරගෙන සසර ගමනින් නිදහස් වීමට අධිෂ්ඨානයක් ඇතිකර ගන්න.
නයනා නිල්මිණි
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

වර්තමානයේ දී මාර්ගඵල ලැබිය නොහැකිද?

මෛත්‍රී බුදුන් දැක නිවන් පැතීම වරදක් නොවන අතර හුදෙක් එය අතෙහි සිටින කුරුල්ලා අතහැර අත්තේ සිටින කුරුල්ලන් පැතීම වැනි ක්‍රියාදාමයකි. මන්ද? බුදුවරයන් වහන්සේ නමක් පහළ වීමට ඉතා දිගු කාල පරාසයක් ගත වේ. එය විටෙක කල්ප ගණනකින් මත්තෙහි සිදුවෙන ක්‍රියාවලියකි. කල්පයක් යනු ඉතා දීර්ඝ කාලයකි.
වර්තමානයේ බොහෝ දෙනෙකු නගන පැනයක් වනුයේ ශාසන බ්‍රහ්මචරියාව පිරීම තුළින් පෙර මෙන් මගඵල ලැබිය හැකි ද? යන්නයි. ඇතැමුන් ඉක්මන්ව සිතනුයේ මෙකල කොතෙක් භාවනා කළද එහි ප්‍රතිඵලයක් නොමැති බවයි. ඇතැමෙක් ඉනුදු නොනැවතී ගෞතම බුදුරදුන්ගේ බුදු සසුන අතහැර මෛත්‍රී බුදුරදුන්ගේ සසුනෙහි දී නිවනද පතති.
මෛත්‍රී බුදුන් දැක නිවන් පැතීම වරදක් නොවන අතර හුදෙක් එය අතෙහි සිටින කුරුල්ලා අතහැර අත්තේ සිටින කුරුල්ලන් පැතීම වැනි ක්‍රියාදාමයකි. මන්ද? බුදුවරයන් වහන්සේ නමක් පහළ වීමට ඉතා දිගු කාල පරාසයක් ගත වේ. එය විටෙක කල්ප ගණනකින් මත්තෙහි සිදුවෙන ක්‍රියාවලියකි. කල්පයක් යනු ඉතා දීර්ඝ කාලයකි.
මේ මහා භද්‍ර කල්පයෙහි බුදුවරු පස්නමක් පහළ වන අතර ඉන් හතර නමක් මේ වන විට පහළ වී අවසන්ය. කකුසඳ, කෝණාගම, කස්සප හා ගෞතම යන සම්බුදුවරුන් පහළ වුණ අතර මේ පවතිනුයේ ගෞතම සම්බුදුන්ගේ ශාසනයයි. එය ජීවමාන පවත්නා සමයේ දී එයින් ඵල නෙළාගත නොහැකි යැයි අත් හැරීම අඥානකමකි. සසර පිළිබඳ කිසිඳු විශ්වාසයක් ඇති කරගත නොහැකිය. මන්ද? අද මිනිසා ඊළඟ උපතේ දී උකුනෙකු හෝ මකුනෙකු විය හැකි බැවිනි. ඉහළ සැප විඳි බ්‍රහ්මයන් හා දෙවිවරුන් විවිධ සත්ව ලෝකයන්හි වී ඉපදුණු අයුරු ද ධර්මය තුළින් පෙන්වා දිය හැකි ය. එහෙයින් ලත් ඵලය අතහැර කල්ප ගණනකින් ඔබ්බෙහි සිදුවන මෛත්‍රී බුදු සසුනෙහි නිවන් පැතීම මේ සසුනෙහි කළ යුතු දෑ නොකොට අලසව පසෙක දැමීමකි. මෛත්‍රී බුදු සමය වන විට අද සිටින අප අපායගාමි වන්නට ද බැරි නැත. ප්‍රේත ලෝකයේ ප්‍රේතයෙක් හෝ පාංශු පිසාචයෙක් වීමටද බැරි නැත. තිරිසන් සතෙකු හෝ මිථ්‍යා දෘෂ්ටිකයෙකු වී නම් මතු බුදු බව ලබන මෙතේ බුදු සසුනෙන් ද ඵල නෙළාගත නොහැකි වනු ඇත.
සංසාරය නමැති අවුල් වූ නූල් බෝලය අල්ලාගෙන සිටින සත්වයා සසර තුළ නැවැත නැවැතත් උපදී. මරණයට ද ඒ හා සමානව මුහුණ පායි. ඉපදීම දුකකි. මන්ද උපත ලද සත්වයා ජරාවට, ව්‍යාධියට හා ඉන් නොනැවතී මරණයට ද පත්වන බැවිනි. උපතේ සිට විපත තෙක් පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, අපි‍්‍රයයන් හා මුහු වීම, කැමැති දෑ නොලැබිම ආදී දහසකුත් දුක්ඛ දෝමනස්සයන් හට මුහුණ දීමට සිදුවේ. මේ සංසාරයෙහි සුපුරුදු විලාශයයි. මේ තත්ත්වය අවබෝධ කොටගෙන සසරින් එතෙරවීම සිතන්නෝ අල්ප වෙති. එහෙයින් පරක් තෙරක් නොපෙනෙන සංසාර සාගරයෙහි අනවරාග්‍ර කාලයක් අතරමංව ඇවිදිනු ලබයි. ආශාව, තෘෂ්ණාව පවතින තුරු සත්වයා භවය තුළ රැඳී සිටියි. සසරින් එතෙර වීමට නම් භව තෘෂ්ණාව සිඳලිය යුතුවේ. එය පහසු කටයුත්තක් නොවන අතර දීර්ඝ කාල පරාසයක් අප්‍රතිහත ධෛර්යයෙන් හා නොපසුබට උත්සාහයෙන් සිදුකළයුතු කාර්යයකි.
පුහුදුන් සත්වයා නිබඳව පඤ්ච ඉන්ද්‍රියන් පිනවීමට තත්පරව කටයුතු කරයි. ඇස, කන, නාසය, දිව හා ශරීරය යන පඤ්ච ඉන්ද්‍රියන් කොතෙක් පිනවනු ලැබුවද එහි තෘප්තිමත් වීමක් නොමැත. එය පුහුදුන් සත්වයාගේ ස්වභාවයයි. මෙහි තතු කියාපෑමට ලොව්තුරා බුදුවරු පහළ වී මඟ නොමඟ පෙන්වති. මඟ යන්නෝ නිවෙති. නොමඟ යන්නෝ දැවෙති. එසේ බුදුරදුන් දිවමන් සමයෙහි ද පිරිනිවීමෙන් අනතුරුව ද නිවනට පත්වූවෝ අති මහත් ය. බුදුරදුන් අභිමුඛයේ දී මෙන්ම තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අනතුරුව ද වැඩ සිටි ප්‍රකට රහතන් වහන්සේලා පිළිබඳ අටුවා තුළ ඇතුළත් ව ඇත. ඒ අනුව මගඵල ලැබීමට බුදුරදුන් ජීවමාන නොවීම ගැටලුවක් නොවන බව ඉන් පැහැදිලි වේ.
බුදුන් වහන්සේගේ ධර්මය අකාලිකය. එය කලක් ප්‍රතිඵල සහිත වී කලක දී ප්‍රතිඵල රහිත වීමට ඉඩක් නොමැත. මෙකල මගඵලයන් හට පත්විය නොහැකි යන්න සිතීමට පෙර පිරිනිවන අභිමුඛයෙහි වැඩහුන් බුදුරදුන් සුභද්‍ර පිරිවැජි හට පවසන දේශනාව සිහිකළ මැනැවි. එහිදී බුදුරදුන් පෙන්වා දෙනුයේ යම් ශාසනික ආර්ය අෂ්ටාංගික මාර්ගය නොමැති නම් එහි පළමු වන ශ්‍රමණයා ද, දෙවැනි ශ්‍රමණයාද, තුන්වැනි හතරවැනි ශ්‍රමණයන් ද නොමැති බවයි. මෙහි පළමු ශ්‍රමණයා යනු රහතන් වහන්සේ ය. දෙවැනි ශ්‍රමණයා යනු අනාගාමි ආර්යයන් වහන්සේ ය. තුන්වැනි හතරවෙනි ශ්‍රමණයන් යනු සකෘදාගාමි හා සෝවාන් ආර්ය ශ්‍රමණයන්ය. බුදු සසුන තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති හෙයින් මෙහි ශ්‍රමණයන් හතර දෙනාම වෙති. එහිදී පෙන්වා දෙනුයේ “ඉමේච සුභද්ද භික්ඛු සම්මා විහරෙයියුං න සුඤ්ඤො ලෝකො අරහත්තේහි අස්ස” භික්ෂූන් මනාකොට වාසය කරයි නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන වගයි. මේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ පිළිවෙත් සපුරනවා නම් රහත් බව ලැබීමට කාල නිර්ණයක් නොමැති වගයි. එසේ එක කාලයකදී පමණක් මගඵල ලැබිය හැකි නම් බුදුරජාණන් වහන්සේ එසේ දේශනා නොකරනු ඇත. බුදුරදුන් ජීවමානව නොසිටිය ද ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් සත්තිස් බෝධිපාක්ෂික ධර්මය පවතින හෙයින් මෙකල ද ඒ ප්‍රතිපත්ති ක්‍රම සාධනයෙන් මඟ ඵල ලැබිය හැකිය. එසේ හෙයින් මෙකල මඟඵල ලැබිය නොහැකි යයි කීම අපරාධයකි. මඟඵල ලබන පිරිසක කලින් කලට අඩු වැඩි වෙන බව නම් කිව හැකිය. බුදුන් දිවමන් අවධියේදීම ශාසන ආරම්භයේත් මුල් විසි වසින් පසු මඟ පළ ලබන පිරිස අඩු වූ බව පෙළෙහි සඳහන් වේ. එසේ වීමට බලපානු ලැබුයේ විවිධාකාර අදහසින් සසුන්ගත වුවත් ධර්ම මාර්ගයෙන් බැහැර වීම බව සඳහන් වේ. ඒ අනුව මඟඵල ලබන අය කාලයකට අඩු හෝ වැඩි වනුයේ ධර්මයේ අවලංගු වීමකින් නොව ධර්මය නිවැරදිව පිළිපදින පුද්ගලයන් නොමැතිවීමෙනි.
අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ අටුවාව අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදීම අඩු වන විට මගඵල ලැබීම පහළ වැටෙන අයුරු මෙසේ පෙන්වා දී ඇත.
“වස්ස සහස්සන්ති චෙතං පටිසම්භිදා පහෙදපත්ත 
ඛීණාසවානං වසෙන වුත්තං තතො පන උත්තරිම්පි 
ඛීණාසව වසෙන වස්සසහස්සං, අනාගමි වසෙන 
වස්සසහස්සං, සකදාගාමී වසෙන වස්සසහස්සං 
සොතා පත්ත වසෙන වස්ස සහස්සන්ති එවං පඤ්ච 
වස්ස සහස්සානි පටිවේධ සද්ධම්මො ඨස්සති”

අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ අටුවාව අනුව සිව් පිළිසිඹියාපත් රහතන්වහන්සේලා පළමු වර්ෂ දහසද, සාමාන්‍ය රහතන් වහන්සේලා දෙවැනි වර්ෂ දහසද, තෙවැනි දහසෙහි අනාගාමින්ද, සිව්වැනි දහසෙහි සකෘදාගාමින්ද අනතුරු දහස තුළ සෝවාන් ආර්යයන් වහන්සේලාගේ කාලය යනුවෙන් පෙන්වා දී ඇත. මෙයට අනුව මේ ගත වනුයේ තුන්වැනි අනාගාමීන්ගේ කාල පරිච්ඡේදයයි. අටුවා මත අනුව බලනු ලැබුවත් තවම මඟඵල ලැබිය හැකි බව ඉන් සනාථ වේ. එහෙයින් මෙකල මඟඵල ලැබිය නොහැකි යැයි සිතීම බැහැර කළ යුතු ය.
මඟඵල ලැබීමට නම් ධර්මය අකාලික වුවද, මාර්ගය වඩනා පුද්ගලයා පූර්ව පාරමිතාවන් සපුරා ඇති අයෙකු මෙන්ම අන්තරායන් ධර්ම පසෙන් මුක්ත වූවෙකු විය යුතු ය. අන්තරායික ධර්ම සහිත පුද්ගලයෙකුට කොතෙක් වෙර වැඩුව ද මේ ජීවිතයේ දී මඟඵල නොලැබේ.
අන්තරායික ධර්ම පහකි
1. කර්මාන්තරාය 
2. ක්ලේශාන්තරාය 
3. විපාකන්තරාය 
4. ආර්යයෝපවාදන්තරාය 
5. ආඤව්‍යතික්‍රමණත්තරාය වශයෙනි.

“කර්මාන්තරාය” යනු ආනන්තරීය පාපයන් සිදුකොට තිබීමයි. එනම් මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම බුදුන්ගේ ලේ සෙලවීම හෝ සංඝභේදය සිදු කිරීමයි. මේ කර්මයන්ගේ විපාකයන් නියතවම දෙවැනි ජාතියෙහි විපාක දෙනු ලැබේ. එහෙයින් මින් එකක් හෝ සිදු කළ අයකුට මෙම දිවියේදී කොතෙක් පින් සිදුකළ ද කොතෙක් වෙර වැඩුවද මඟඵල ලැබිය නොහැකිය.
“ක්ලේශාන්තරාය” යනු තද මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත වීමයි. පින් පව් නොපිළිගැනීම හා මරණින් මතු ඉපදීමක් නැත යන අහේතුක අකිරිය, නාස්තික යන මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත තැනැත්තන් හටද එම මිථ්‍යා මතයන් අත්හරිනා තුරු මඟඵල නොලැබේ. මිථ්‍යා දෘෂ්ටිය මහා සාවද්‍ය අකුසලයක් ලෙස පෙන්වා දී ඇත. නමුදු මිථ්‍යා මතය අත්හළහොත් මඟඵල සාදාගත හැකිය.
“විපාකන්තරාය” යනු අහේතුක ද්විහේතුක ප්‍රතිසන්ධියෙන් උපත ලැබීමය. අහේතුක ද්විහේතුක ප්‍රතිසන්ධි ඇති පුද්ගලයා හට ද මඟඵල ලැබිය නොහැකිය. මඟඵල ලැබීමට නම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකින් ජනිත විය යුතු ය.
“ආයෙ¸ාපවාද අන්තරාය” යනු ආර්යභාවය දැන හෝ නොදැන ආර්යන්වහන්සේ නමකට අපහාස කිරීම හා චෝදනා කිරීමය. සිතින් හෝ එකී අකුශලය සිදුකළහොත් එය මඟඵල සාධනයට බාධාවිය හැකිය. වරද කළ ආර්යයන් වහන්සේ කමා කරවා ගැනීමෙන් එයින් නිදහස් විය හැකි ය.
“ආඤව්‍යතික්‍රමණාන්තරාය” යනු බුදුන් වහන්සේ විසින් පනවා ඇති විනය නීති සිතා මතා කඩ කිරීමයි. එසේ සිදු කිරීමෙන් ද මඟඵල ලැබිය නොහැකිය. ඇවැත්දෙසීම ආදියෙන් ශීලය පිරිසුදු කරගැනීමෙන් එයින් මිදිය හැකිය. පූර්වෝක්ත අත්තරායික ධර්මයන්ගෙන් විනිර්මුක්ත අයෙකු නියම ධර්ම මාර්ගයට අනුව වෙර වඩයි ද හෙතෙම පූර්ව පාරමිතාවන් ද සපුරා ඇතොත් මඟඵල මෙකල වුවද ලැබිය හැකිය. බුදුවරුන්ගේ පාරමිතාවන් කොපමණ කලක් සපුරාලිය යුතුදැයි ආනන්ද තෙරුන් විමසූ විට,
“බුද්ධානං ආනන්ද, හෙට්ඨිම පරිච්ඡේදන චත්තාරි අසංඛෙයියානි කප්පසතසහස්සඤ්ච උපරිම පරිච්ඡේදන අට්ඨ අසංඛෙයියානි කප්පසතසහස්සඤ්ච උපරිම පරිච්ඡේදන සොළස අසංඛෙයියානි කප්පසතසහස්සඤ්ච ද්වින්නං අග්ගසාවකානං එකං අසංඛෙයියං කප්පසත සහස්සඤ්ච, ද්වින්නං අග්ගසාවකානං එකං අසංඛෙයියං කප්පසත සහස්සඤ්ච, අසිති මහා සාවකානං කප්ප සතසහස්සං තථා බුද්ධස්ස මාතාපිතුන්නං උපට්ඨකස්ස”
ආනන්දය, බුදුවරුන් හට අවම වශයෙන් චතුර සංඛ්‍යා කල්ප ලක්ෂයක් ද, මධ්‍යම වශයෙන් අෂ්ට සංඛ්‍ය කල්ප ලක්ෂයක් ද, උපරිම වශයෙන් ෂෝඩාශා සංඛ්‍යා කල්ප ලක්ෂයක්ද පසේ බුදුවරුන් හට ද්වාසංඛ්‍යා කල්ප ලක්ෂයක් ද අග්‍රශ්‍රාවකයන් දෙනමට එකා සංඛ්‍යා කල්ප ලක්ෂයකුත් බුදුන් වහන්සේගේ මවුපියන් සහ පුත්‍රයා හා උපස්ථායකයා හටත් එපමණ කාලයක් ගතවෙන බව මින් කියවේ. සාමාන්‍ය ශ්‍රාවකයන්ගේ මඟඵල ලැබීමට පිරිය යුතු කාල සීමාවක් පෙන්වා නැත. එහෙයින් සාමාන්‍ය අයට මඟඵල සාධනයට පෙරුම් පිරීමේ නිශ්චිත කාල පරිච්ඡේදයක් පෙන්වා නොමැති බව කිව යුතු ය.
පෙර එකල ගාථාවක් ඇසීමෙන් හෝ ධර්ම දේශනයකට කන් යොමු කිරීමෙන් පහසුවෙන් මඟඵල ලැබුවන් මෙන්ම පැවිදි වීමේ දී කෙස් රොදක් කපා අතට දී තචපංචකය මෙනෙහි කිරීම තුළින් හිස කෙස් කපා අවසන් කිරීමට පෙර මඟඵල ලත් අයුරු සඳහන් වන කථා මෙන්ම සමහර තෙරුන් වහන්සේලා ඉතා දුක සේ වීර්ය කොට මඟඵලයන් හට පත් වූ අතර සමහරුන් කොතෙක් වීර්ය කලද මඟඵල නොලැබු බව බෞද්ධ සාහිත්‍යයේ දක්නට ඇත. එසේ පහසුවෙන් මඟඵල ලත් පිරිස අතීත පාරමිතාවන් සපුරා තිබූ අය ලෙසත්, තරමකට හෝ පාරමිතාවත් පුරණය, කළ පිරිස අමාරුවෙන් මඟඵල ලත් අය ලෙසත්, උත්සාහ කොට මඟඵල නොලැබූ පිරිස අතීත පාරමිතාවත් සපුරා නොතිබූ අය ලෙසත් පෙන්වා දිය හැකි ය.
එසේ හෙයින් කලකට මඟඵල ලැබීම සක්‍රිය වී කාලයකට අක්‍රිය වෙන බවක්, ධර්මයේ සඳහන් වී නොමැත. නූතනයේ මඟඵලලාභීන් අඩුවන්නට හේතුවක් වනුයේ ධර්මයේ දෝෂයක් නොව එය පිළිපදින පිරිස අඩුවීම බව පෙන්වා දිය යුතු වේ. එහෙයින් සද්පුරුෂයන් කුසිත නොවී තමන් ලත් මහාර්ඝ වූ මේ බුදු සසුන තුළම වෙර වඩා උතුම් මඟඵලයන්ට පත්වන්නට වෙර වඩත්වා.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මල් පූජාවේ සැබෑ ආනිසංස ලබන්නේ කෙසේද?

කොලොන්නාව පුරාණ විහාරවාසී 
කොළඹ මහානාම විද්‍යාලයේ ආචාර්ය 
සියඹලාගොඩ ධම්මින්ද හිමි

පෞද්ගලික වශයෙන් ලබාදෙන උතුම්ම පූජාව බුද්ධ පූජාවයි. බුදුරදුන් උදෙසා බොහෝ පිරිස් විවිධ පූජාවන් සිදු කරනු ලබයි. බුදුරදුන් ජීවමාන කාලයේදී මෙන්ම උන්වහන්සේගේ පිරිනීවීමෙන් පසුවද මෙම පූජාවන්හි අඩුවක් නැත. එම පූජාවන් අතර සුවිශේෂී පූජාව මල් පූජාවයි. එනම් එය එදත් අදත් පැවත එන ඕනෑම කෙනෙකුට පහසුවෙන් කළ හැකි පූජාවකි. කුමන මල් කුමනාකාරයකින් පූජා කළ ද එය ප්‍රශ්නයක් නොවේ. බෞද්ධයා නිරන්තරවම මල් පූජාවේදී වඩා අර්ථවත්ව මෙම පූජාවන් සිදු කළ යුතු අතර එසේ වන්නේ නම් දෙලොව සැප විපාක ලැබිය හැකිය.
මල් පූජාවේ ආනිසංස සිහිපත් කිරීමේ දී බෞද්ධ සාහිත්‍යයේ බොහෝ අවස්ථා ඇත. මෙයින් බොහෝ දෙනාගේම අවධානය යොමුවන අවස්ථාවක් ධම්මපදට්ඨකතා අටුවාවේ ඇතුළත් ය. සැබෑ අනුසස් ලැබෙන ලෙස මල් පූජා කිරීමත්, පූජාව කෙසේවිය යුතුද? යන්නත් මෙයින් මනාව හඳුනාගත හැකිය. මෙය අරභයාම බුදුරදුන් බාල වග්ගයේදී ගාථා ධර්මයක්ද දේශනා කර ඇත. එහි නිධාන කථාව මෙසේ ය.

‘මල් විකිණීම තම රැකියාව කරගත් "සුමන" නම් මල්කරුවෙකු සෑම දිනකම බිම්බිසාර රජුට මල් ගෙන යයි. දෑසමන් මල් නැලි අටක් ගෙන යන මොහුට කහවණු අටක් ලැබෙන අතර එයින් තම ජීවිතය පවත්වාගෙන යයි. එක් දිනක් බුදුරදුන් වඩිනු දුටු මොහු තමා රජුට ගෙනයන මල් ජීවිත පරිත්‍යාගයෙන් බුදුරදුන්ට පිදූහ. එම සියලුම මල් බුදුරදුන්ට වියනක් මෙන් උන්වහන්සේ වඩින පසුපස ගමන් කළහ. මෙය දුටු සුමනමාලාකරුට මහා සතුටක් ඇතිව තම නිවසට ගිය මුත් බිරිඳ එයින් අමනාපව රජු කරා ගොස් සමාව අයදීය. රජුට ගෙනයන මල් බුදුරදුන්ට පිදීම ගැන ඇය රජු ඉදිරිපිට තම සැමියාට දොස් කියූ නමුත් රජු ඇයගේ ශ්‍රද්ධාව ගැන අනුකම්පාකොට බුදුරදුන් ප්‍රමුඛ භික්ෂූන්ට රජ මිදුල තුළ දානය පිළිගැන්වීය. මල් තිරයෙන් ආවරණ වූ බුද්ධ රූපය දුටු රජු ඇතුළු පිරිස මහත් ප්‍රමෝදයට පත්වූහ. දන් වැළඳීමෙන් පසු බුදුරදුන් සුමනමාලාකරුගේ මල් පිදීමේ පින්කම පිළිබඳ ඇගයීම් වශයෙන් මෙසේ ධර්ම දේශනා සිදු කළහ.
තං ච කම්මං කතං සාධු 
යං කත්වා නානුතප්පති 
යස්ස පතීතෝ සුමනෝ 
විපාකං පටිසේවතී

ධර්ම දේශනාව අවසානයේදී රජු මහත් සෙයින් ප්‍රසාදයට පත්ව සෑම වස්තුවකින්ම අටබැගින් මහත් පරිත්‍යාගයක් සුමනමාලාකරුට සිදුකළහ. එම පරිත්‍යාගය අටුවාව දක්වනුයේ ‘සබ්බට්ඨක’ පරිත්‍යාගය වශයෙනි. මෙම ගාථාවේ ඇතුළත් විවරණය කරගත යුතු ප්‍රධාන වචන හතරක් ඇත. එය මනාව තේරුම්ගන්නා කෙනෙකුට මෙම ගාථාවෙන් කියවෙන සොම්නස ඇතිවන ක්‍රියා නැවත නැවත සිදු කිරීම යහපත් වන අයුරු අවබෝධ කරගත හැකිය. ඒ වචන හතර මෙසේ ය.
1. කම්මං, 
2. න අනුතප්පති , 
3. පතීතෝ 
4. සුමනෝ

සාමාන්‍ය ජීවිතයේදී සිදුකරන සෑම ක්‍රියාවක්ම පොදුවේ සලකනුයේ කර්ම ලෙසය. හොඳ කර්ම කුසල හෙවත් යහපත් ලෙසත් නරක කර්ම අකුසල හෙවත් අයහපත් ලෙසත් විස්තර වේ. කුසල නම් එය විඳීමට හැකි අතර අකුසල නම් විඳ විය හැක. සුමන මාලාකරුගේ ක්‍රියාව කුසල වූ අතර එය මෙලොව බොහෝ සැප සම්පත් ලැබීමට හේතුවූවා පමණක් නොව ආනන්ද හිමියන් අමතා බුදුරදුන් දේශනා කරනුයේ යම්දින සුමන මාලාකරු සුමන නමින් පසේ බුද්ධත්වයට පත්වන බවයි. එය එසේ වනුයේ රජුගෙන් දඬුවම් ලැබේ යැයි දැන දැනම රජු විෂයෙහි දිය යුතු මල් බුදුරදුන්ට පිදීමයි. එසේ සිදු කළේ ජීවිත පරිත්‍යාගයෙනි. එය දානයෙහි පරමත්ථ ගණයට වැටෙන්නකි. තාවකාලික භෞතික අවාසි නොසලකා දීර්ඝ කාලීන ආනිසංස ගැන කල්පනා කරමින් යහපත් ක්‍රියා සිදු කිරීම කෙතරම්ම යහපත් දැයි සුමන මාලාකරුගේ මල් පූජාවෙන් තේරුම් ගැනීම පහසුය. එය සසර විඳින්න තරම් පිනකි. එය එසේ යැයි සඳහන් කළ හැක්කේ ඔහු තුළ පැවති චේතනාව මතය. බොහෝ මල් වර්ග බොහෝ සෙයින් පිදුවද ඇතැම්විට බලාපොරොත්තු අනුසස් නොලැබෙනුයේ චේතනාව අපිරිසුදු බැවිනි. අනුන් පැරදවීම, ඊර්ෂ්‍යාව, ලෝභය සහිතව මල් පිදීම යහපත් කර්මයක් නොවේ. එසේම අතු බිඳ, මල් පොහොට්ටු විනාශ කරමින්, අන්‍ය වතු වලින් හොරාට නම් මල් නෙළන්නේ එය යහපත් නොවේ.
මල් පිදීමේ දී එය පිනක්, කුසල කර්මයක් වනුයේ තමන් සතු දෙයක්ම පිදිය යුතු ය. එම චේතනාව ධර්මයෙහි විස්තර කරනුයේ ‘අත්තූපකරණ පරිච්චාග චේතනාව‘ වශයෙනි. නාගවිමාන වස්තුවෙන් පවා පැහැදිලි වන්නේ එම තත්ත්වයයි. මුගලන් හිමියන් දිව්‍ය ලෝකයේදී දකින දෙවියන් මහේශාක්‍ය වීමට හේතුව වූයේ මල් කරුවාගෙන් මිලදී මල්ගෙන පිදීමයි. පෙර භවයක ඔහු විසින් පිදුවේ මල් අටකි. එහෙත් අනුසස් මහත්ය. හේතුව චේතනාව පිරිසුදු ය. නෙළුම්මල්, පිච්චමල් කූඩගණන් පිදුව ද සිත අපිරිසුදු නම් වංචනික, වංක නම් එය යහපත් කර්මයක් කුසල කර්මයක් නොවේ.
පසු තැවිලි නොවීම හෙවත් පශ්චාත් තාප නොවීම, ‘න අනුතප්පති’ ලෙස මෙහිදී විස්තර වේ. සිදුකළ ක්‍රියා මෙනෙහිවීමේ දී සොම්නසක් ඇතිවිය යුතු ය. එය පිනකි. කුසලයකි. එසේ නොවන්නේ නම් එය පවකි. අකුසලයකි. පින තුළින් භව සමූහයද කුසලය තුළින් නිරෝධයද ඇතිවේ. එහෙයින් සුමන මෙන් ආත්ම තෘප්තිය ඇතිවන ක්‍රියා සිදු කළ යුතු ය. දෙව්දත් තෙර අපාගත වන්නේත් මුගලන් හිමි කළුපාට වන්නේත් කුස රජුගෙ මූණ කැවුමක ස්වරූපය ගනු ලබන්නේ ද පසු තැවිලි වන ක්‍රියා සිදුකිරීම තුළිනි. මිනිසා තිරිසනාගෙන් වෙන් වන්නේ ද සිතාමතා නරකින්, හොඳ වෙන් කරගෙන කටයුතු කිරීම නිසාවෙනි. එය එසේ නොවන්නේ නම් මිනිසත්කම ගැටලු සහගතය.
යසස, කීර්තිය පැතිරීම මෙහිදී පතීතෝ ලෙස විස්තර වේ. සුමන මාලාකරුගේ ක්‍රියා නිසා එතුමාගේ යසස පැතිරෙන අයුරින් බුදුරදුන් කටයුතු කළහ. පිණ්ඩපාතය සඳහා මහමඟ වැඩීම මෙන්ම රාජ මාලිගාව තුළට නොවැඩ මාලිග මිදුලෙහි වැඩ සිටියේද ඒ නිසාය. යම් හෙයකින් උන්වහන්සේ මාලිගාව තුළට වැඩියේ නම් සාමාන්‍ය ජනයාට මෙම ඓශ්චර්ය දැකිය නොහැකිය. කෙනෙකුගේ යසස වැඩීම ඔහුගේ ජීවිත කාලය තුළ කෙරෙන ක්‍රියාකාරකම් යහපත් විය යුතු ය. උපතේ දී හා විපතේ දී සෑම විටම එක පිරිසක් දුකට වේදනාවට පත්වේ. මිනිසත්කමේ උතුම්බව රඳා පවතින්නේ ජීවිත කාලය තුළ සෑම පාර්ශ්වයක්ම සතුටු වන ආකාරයෙන් තම ජීවිත පවත්වාගත හැකිනම් පමණි. සුමන මාලාකරු, අනේපිඬු සිටු, විශාඛා, බන්ධු මල්ලිකා, කෝසල මල්ලිකාව පිළිබඳව එදා මෙන්ම අදද ප්‍රශංසා මුඛයෙන් සිහිපත් කරනුයේ ඒ නිසා ය.
සොම්නස පී‍්‍රතිය හෙවත් පිනායාම මෙහිදී සුමනෝ යන්නෙන් අදහස් කෙරේ. පින යනු ද සතුටයි. ධර්මය තුළ පිනායාම පින ලෙස අර්ථවත් වේ. හදවත සිත සතුටුවේ නම් එය පිනකි. කෙටිකාලීනව මෙන්ම දීර්ඝකාලීනව සතුට ඇතිවන ක්‍රියා සිදුකිරීමට සෑමවිටම බුද්ධිමතා කටයුතු කරයි. සුමන මාලාකරුට බොහෝ සම්පත් ලැබෙනුයේ මේ පින තුළිනි. බුදුරදුන්ට මල් පිදීම නිසා සතුටු වනුයේ උන්වහන්සේ නොව, පුදන ඇත්තන්ය. එහෙයින් සතුට සොම්නස පවතිනුයේ මල් තුළ නොව සිත් තුළය. කුමන ඉන්ද්‍රිය වෙහෙසවා ක්‍රියා කළද සතුට දැනෙනුයේ සිතටය. පින්කමක් සිදුකිරීමෙන් පසු, එසේ සොම්නසට පත්නොවන්නේ නම් මල් හෝ වෙනත් පූජාවකින් ඵලයක් නැත.
මල් පූජාවක සැබෑ ආනිසංස ලැබීමට නම් සුමන මාලාකරු මෙන්ද නාගවිමාන වස්තුවේ දෙවියන් මෙන් කටයුතු කළ යුතු ය. එසේ ම ලංකාවේ සිටි සුළුගුළු උපාසක මෙන් දිව්‍ය ලෝකයේ දී දකින ලද රක්තවර්ණ දිව්‍ය රාජයා මෙන් මල් පිදීම කළ යුතුමය. එවිට යසස පැතිරේ. සතුට ඇතිවේ. එමෙන්ම දෙලොව ජයගත හැකිය. ඒ සඳහා සැවොම වීර්ය වඩත්වා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ගෞතම බුදු සසුනෙන් පසු ව බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් දස නම

ගෞතම බුදු සසුනෙන් පසු ව බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් දස නමකගේ විස්තර ඇතුළත් ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ නම් කෘතිය සම්බන්ධයෙන් මෙම ලිපිය සකස් කැරිණි. එම කෘතිය ආචාර්ය පූජ්‍ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ සංස්කරණයෙන් යුක්ත ව දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.
මෙම ලිපිය මගින් ඉදිරිපත් කැරෙන මතු බුදු වන දස බෝසත්වරුන් පිළිබඳ පුවත අප බෞද්ධ සමාජයේ එතරම් ප්‍රචලිත නොවූ, බොහෝ දෙනා නොදන්නා කථාවකි. ථේරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ අප ගෞතම බුදුරදුන්ගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වෙතැ යි සැලැකෙන්නාහු මෙත්තෙය්‍ය (මෛත්‍රේය) බෝසත්හු ය. උන් වහන්සේගෙන් පසු ව සම්මාසම්බුද්ධත්වයට පත් වන බෝසත්වරුන් පිළිබඳ ව සඳහන් වන, දැනට හමු වී ඇති එක ම ථේරවාදී කෘතිය ‘දසබෝධිසත්තුප්පත්තිකථා හෙවත් දස බෝසත් කථා පුවත’ යි. ඒ අනුව මෙහි මෛත්‍රේය බෝසතුන් ඇතුළු ව මතු බුදු වන බෝසත්වරුන් දස දෙනකු පිළිබඳ ව සඳහන් වේ.

සංස්කාරක හිමියන් සඳහන් කරන ආකාරයට මෙම කෘතිය 1926 දී ඩී. ආර්. පෙරේරා විසින් අඹතැන්න විද්‍යාලතා මුද්‍රණාලයේ මුද්‍රණය කරවා තිබේ. ඒ පාලි පෙළ හා ශාස්ත්‍රීය නොවන පරිවර්තනයක් ද සමගිනි. එම කෘතිය සංස්කාරක හිමියන් අතට පත් වන්නේ වේයන්ගොඩ යටගම ශ්‍රී නාගවනාරාම පුස්තකාලයෙනි. තව ද මෙම කෘතිය මීට පෙර ආචාර්ය හම්මලව සද්ධාතිස්ස හිමියන් විසින් රෝමානු අකුරින් ඉංගී‍්‍රසි පරිවර්තනයක් ද සමගින් 1975 දී එංගලන්තයේ පාලි පොත් සමාගම මගින් මුද්‍රණය කරවා ඇත. එම කෘතිය අප අතට ද පත් විය. ආචාර්ය විජිතධම්ම හිමියන්ගේ පාලි - සිංහල දසබෝධිසත්තුප්පත්තිකථා සංස්කරණයට මූලික පදනම වන්නේ යථෝක්ත සංස්කරණ දෙක ය.

දසබෝධිසත්තුප්පත්තිකථාවේ සඳහන් බෝස-ත්වරුන් දස දෙනා නිරූපණය කැරෙන පැරැණි සිතුවම් දෙකක් දැනට හමු වී ඇත. ඒ මහනුවර මල්වතු මහා විහාරීය උපෝසථාගාර සිවිලිමෙන් හා රංගිරි දඹුලු රජමහා විහාරයේ ප්‍රධාන ලෙන් විහාරයෙන් ය. එයින් පැහැදිලි වන්නේ මහනුවර යුගයේ දී මෙම දසබෝසත්වරු පිළිබඳ කථාව ජනපි‍්‍රය ව පැවැති බව යි. පාලි බුද්ධ දේශනා සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් වන මෙය සම්පූර්ණයෙන් ම ගද්‍ය කෘතියකි. ග්‍රන්ථය අවසානයේ පමණක් පද්‍ය හෙවත් ගාථා දෙකක් දක්නට ලැබේ. 

දසබෝධිසත්තුප්පත්තිකථාවේ උද්දේස හෙවත් පරිච්ඡේද දහයකි. ඒවා ඒ ඒ බුදුවරුන්ගේ නම්වලින් ම හඳුන්වා ඇත. ඒ මෙසේ ය:

01. මෛත්‍රේය සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
02. රාම සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
03. ධම්මරාජ සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
04. ධම්මස්සාමි සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
05. නාරද සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
06. රංසිමුනි සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
07. දේවදේව සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
08. නරසීහ සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
09. තිස්ස සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
10. සුමඞ්ගල සම්මා සම්බුදු රදුන් පිළිබඳ පරිච්ඡේදය
මෙම බෝසත්වරුන් ගෞතම බුද්ධ සමයෙහි හැඳින්වූ නම් සහ බුදු වන විට ලබන නම් මෙසේ ය: (මෙහි 01 සිට 10 දක්වා පිළිවෙළ දඹුලු විහාර රූපයේ දකුණේ සිට වමට පිළිවෙළින් අදාළ වේ):
01. අජිත තෙරුන් - මෛත්‍රේය සම්මා සම්බුදු රදුන්
02. රාම රජු - රාම සම්මා සම්බුදු රදුන්
03. පසේනදි කොසොල් රජු - ධම්මරාජ සම්මා සම්බුදු රදුන්
04. අභිභූ දෙව්රජු - ධම්මස්සාමි සම්මා සම්බුදු රදුන්
05. දීඝසෝණ රාහු අසුරින්ද – නාරද සම්මා සම්බුදු රදුන්
06. චඞ්කී බාහ්මණයා - රංසිමුනි සම්මා සම්බුදු රදුන්
07. සුභ බ්‍රාහ්මණයා - දේවදේව සම්මා සම්බුදු රදුන්
08. තෝදෙය්‍ය බ්‍රාහ්මණයා - නරසීහ සම්මා සම්බුදු රදුන්
09. ධනපාලක ඇතා - තිස්ස සම්මා සම්බුදු රදුන්
10. පාරිලෙය්‍යක ඇතා - සුමඞ්ගල සම්මා සම්බුදු රදුන්

අප ගෞතම බුදු රජාණන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ සිටි සමයක සැරියුත් තෙරණුවෝ උන් වහන්සේ වෙත පැමිණ වන්දනා කොට මෙසේ විමසූ සේක:

“ස්වාමීනි, අජිත තෙරුන් අනාගත කාලයෙහි මෙම මහා භද්‍රකල්පයෙහි ම මෛත්‍රේය නම් බුදු රදුන් වන බව වදාරන සේක. ස්වාමීනි, අනාගත කල්පයන්හි වෙනත් බොහෝ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා (ලොව) පහළ වන්නාහු නො වෙත් ද?” යනුවෙනි. ගෞතම බුද්ධ සමයේ අජිත තෙරුන් නම් මතු බුදු වන මෙත්තෙය්‍ය හෙවත් මෛත්‍රේය බෝසත්හු ය. තව ද මෙම මෛත්‍රේය බෝසතුන්ගේ පහළ වීම පිළිබඳ ව ගෞතම බුදු රජාණන් වහන්සේ වදාළ බව පාළි ත්‍රිපිටකයේ ද සඳහන් වේ. දීඝනිකායේ චක්කවත්ති සූත්‍රයෙහි ද මෛත්‍රේය බෝසතුන්ගේ අනාගත පහළ වීම පිළිබඳ ව කරුණු සඳහන් වේ. කෙසේ වෙතත් මෙහි දී සැරියුත් තෙරුන් නැගූ පැනයට බුදු රදුන්ගේ පිළිතුර මෙය විය:
“සාරිපුත්තය, සියලු සත්පුරුෂයෝ ලොවෙහි ඉපිද පිළිවෙළින් පාරමිතා පුරා බුදු බවට පත් ව ආයු අවසන බුදු කිස නිමවා පිරිනිවන් පෑවාහු, අනන්ත අප්‍රමාණ වූවාහු නො වෙත් ද? අනාගත කාලයෙහි ද ධෛර්ය සම්පන්න, දැඩි වීර්යය ඇති තවත් සත්ත්වයෝ පිළිවෙළින් පාරමිතා පුරා කාම භවයන්හි සේ ම බ්‍රහ්ම ලෝකයන්හි ද සම්පත් අනුභව කොට ඉන් පසු ව ම බුදු බවට පත් ව බුදු කිස නිමවා පිරිනිවන් පාන්නාහු, අනන්ත අප්‍රමාණ වන්නා හ. සාරිපුත්තය, අනාගතයෙහිත් පහළ වන බුදුවරුන් ගණනින් ප්‍රමාණ නො කරමි. එහෙත් සාරිපුත්තය, අර්හත් වූ සම්මා සම්බුදුවරු දස නමක් පිළිවෙළින් ලොව පහළ වන්නාහු ය” යනුවෙනි.
මෙසේ වදාළ බුදු රජාණන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක. අනතුරු ව සැරියුත් තෙරණුවෝ හුනස්සෙන් නැඟී සිට භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ මතු බුදු වන දස බුදුවරුන් පිළිබඳ ධර්ම දේශනාව වදාරන මෙන් ඉල්ලා සිටියහ. සැරියුත් තෙරුන්ගේ ආරාධනාව පිළිගත් බුදු රජාණන් වහන්සේ දසබෝධිසත්තුප්පත්තිකථාව ගෙන හැර වදාළ සේක. මෙම කථාවේ පළමු උද්දේසය වෙන් වන්නේ ගෞතම බුදු රදුන්ගෙන් පසු ව පළමු ව බුද්ධත්වයට පත් වන මෙත්තෙය්‍ය බෝසතුන් වෙනුවෙනි.
මෙහි දී පළමුවෙන් සඳහන් කළ යුතු විශේෂ කරුණක් ඇත. එනම්: ලංකාවේ බොහෝ දෙනා සිතා සිටින අන්දමට ‘මෛත්‍රේය බෝසතුන් හා නාථ දෙවි යන දෙදෙන එක් අයෙකි’ යන කාරණාව පිළිබඳ ව ය. එසේ හඳුනාගන්නා බොහෝ ලාංකික බෞද්ධයෝ මෙත් බෝසතුන් යැ යි නාථ දෙවියන්ට පුද-පූජා පවත්වති. එහෙත් මොරටුවේ සාසනරතන හිමියන් කරුණු දක්වන හැටියට මේ දෙදෙන එක් අයෙක් නො ව, දෙදෙනෙකි. උන් වහන්සේට අනුව නාථ දෙවි යනු අවලෝකිතේශ්වර ය. ලංකාතිලක ලිපිය, අස්ගිරි විහාර ලිපිය, පැපිළියානේ ලිපිය හා ගඩලාදෙණි ලිපිය ද මේ දෙදෙනා දෙදෙනකු බව දක්වයි. තොටගමු විහාරය නාථ දෙවියන් ඇදහීම පිළිබඳ ව ප්‍රසිද්ධ තැනකි. (ලක්දිව මහායාන අදහස්, 387-388 පිටු).
මෛත්‍රේය බෝසතුන්ගේ අනාගත පහළ වීම පිළිබඳ ගෞතම බුදු රජාණන් වහන්සේගේ දේශනාව වරදවා තේරුම් ගත් බොහෝ බෞද්ධයෝ ගෞතම බුදු සසුනේ දී නිවන් පසක් කිරීම පසෙක ලා අවිචාරවත් ලෙස මෛත්‍රේය බුදු රදුන්ගේ සසුන පතති. මෙය කලෙක පටන් සිදු වන්නකි. ගෞතම බුදු රදුන් මෙවැනි දේශනාවක් කළේ ශ්‍රාවකයන් අප්‍රමාදී ව තම-තමන් ම පිහිට කොට තම-තමන් ම සරණ කොට ධර්මය සරණ කොට හික්මවනු සඳහා ය. ඒ බව චක්කවත්ති සූත්‍රයෙහි මෛත්‍රේය බෝසතුන්ගේ පහළ වීම දක්වන තැන විස්තරයෙන් ම පැහැදිලි වේ. ගෞතම බුදු සසුන මගහැරුණු සත්ත්වයන්ට තවත් බොහෝ කාලයක් බුදු සසුනක පහළ වීම වෙනුවෙන් ගත කළ යුතු බව ඉන් අවධාරණය වෙයි.
ගෞතම බුදු රදුන්ගෙන් පසු ව පළමු ව බුද්ධත්වයට පත් වන මෛත්‍රේය බෝසතුන් ද ලොව පහළ වනුයේ ගෞතම බුදු රදුන් ලොව පහළ වූ මේ මහා භද්‍ර කල්පයෙහි ම ය. ඒ අනුව මේ මහා භද්‍ර කල්පය බුදු වරයන් වහන්සේලා පස් නමකගෙන් සමන්විත වූවකි. එනම් කකුසන්ධ, කෝණාගමන, කස්සප, ගෞතම හා මෛත්‍රේය යන බුදුවරු පස් නම ය. දීඝනිකායේ චක්කවත්ති සූත්‍රයට අනුව මෛත්‍රේය බෝසතුන් ලොව පහළ වීමේ විස්තරය මෙසේ ය:
මිනිසුන්ගේ මේ පවත්නා ආයුෂ කෙමෙන් අවුරුදු දහය දක්වා පිරිහී යයි. නැවතත් මිනිසුන්ගේ ආයුෂ කෙමෙන් කෙමෙන් වර්ධනය වී වසර අසූ දහසකට වැඩි වෙයි. මේ කාලය වන විට දඹදිව බෙහෙවින් සමෘද්ධිමත් ය. කුක්කුටසම්පාතිකා තත්ත්වයක් හෙවත් ගම් නියම්ගම් ජනපද රාජධානිවල වහල මත්තෙන් ගමෙකින් ගමකට කුකුළකුට නොබැස යා හැකි තරම් ඒකාබද්ධ ව පිහිටි නිවෙස්වලින් ගැවසී ගත් තත්ත්වයක් ඇති වන්නේ ය. දඹදිව මිනිසුන්ගෙන් අතුරු-සිදුරු නැති ව පිරී යන්නේ ය. දැන් පවත්නා බරණැස් නුවර ඒ වන විට කේතුමතී නම් රාජධානියක් වන්නේ ය. මුළු දඹදිව ඇති අසූහාර දහසක් නගරයන්ට මේ කේතුමතී රාජධානිය ම ප්‍රධාන වන්නේ ය. මේ කාලය වන විට ශංඛ නම් ධාර්මික සක්විති රජෙක් මේ කේතුමතී රාජධානියෙහි රජකම් කරන්නේ ය. මේ මහ පොළොවේ අවියෙන්, දඬුවමින් තොර ව පාලනය කරන්නා වූ ඒ ශංඛ සක්විති රජුට පරසේනා මර්දනය කිරීමට සමත් පුත්තු දහසකට වැඩි වන්නාහු ය. මෛත්‍රේය බුදු රදුන් ලොව පහළ වනුයේ මේ කාල සීමාවෙහි දී ය.
බෝධිසත්තුප්පත්තිකථාවට අනුව මෛත්‍රේය බෝසතුනට ආයුෂ වසර අසූ දෙදහසකි. උන් වහන්සේගේ උස අසූ අට රියනකි. විසි පස් රියනක් පෘථුල වන අතර පළල ද එපමණ වන්නේ ය. මෛත්‍රේය බුදු රදුන්ගේ සිරුරෙන් නිරතුරු ව නික්මෙන ශරීර ප්‍රභාව කොතරම් ද යත්: එය සඳ හිරු ප්‍රභාව ද අභිභවනය කොට සිටින්නේ ය. මේ නිසා මිනිසුන්ට රාත්‍රී දහවල් දෙක පවා වෙන් වෙන් ව හඳුනාගත නොහැකි වන්නේ ය. ඔවුන් නිරතුරු බුද්ධාලෝකයෙන් ආලෝකවත් ව සිටින්නා හ. සියොතුන්ගේ හඬින් ද පියුම් උපුල් කුසුම් පත් හැකිළීමෙන් සේ ම නැවත විකසිත වීමෙන් ද මිනිස්සු මේ සවස ය මේ උදෑසන ය යනුවෙන් වෙන් වෙන් කොට හඳුනාගන්නා හ. මේ කාලයේ වසන්නා වූ මිනිස්සු ගොවිතැන්, වෙළෙඳාම් නො කරන්නා හ. බුද්ධ නම් වූ අරමුණ සිහි කරන්නා වූ මේ අය නීරෝගී ය. බුද්ධානුභාවයෙන් උපන් ඇල් හාලේ භෝජනය ආහාර වශයෙන් අනුභව කරන්නා වූ මේ ජනතාව බොහෝ සතුටින් ජීවත් වන්නා හ.
මේ ආකාරයට මතු බුදු වන මෛත්‍රේය බුදු රදුන්ගේ නොයෙකුත් විස්තර දේශනා කරන්නා වූ ගෞතම බුදු රජාණන් වහන්සේ මෙත්තෙය්‍ය බෝසතුන්ගේ එක් විශේෂ පාරමිතාවක් පිළිබඳ ව ද වදාළ සේක. බුද්ධත්වය පිණිස දහම් පුරන මෙත් බෝසත් තෙම එක් කලෙක කුරු රටෙහි ඉන්දපත්ත නම් නගරයෙහි ශංඛ නම් සක්විති රජු වූයේ ය. එකල්හි සිරිමත නම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ සිරිමත සම්මා සම්බුදු රදුන් භික්ෂු සඞ්ඝයා සමඟ අනුපිළිවෙළින් චාරිකාවේ වැඩම කරන අතර ශංඛ සක්විති රජුගේ රාජධානියට ද වැඩම කොට, ඉන්දපත්ත නගරයෙන් සොළොස් යොදුනක් පමණ දුර එක්තරා තැනෙක වැඩ හුන් සේක. ශංඛ සක්විති රජු ද එක් සාමණේර හිමි නමකගේ මාර්ගයෙන් සිරිමත බුදු රදුන් ලොව පහළ වූ බව දැන තමා සතු සක්විති සම්පත් එහිමියන්ට දී හුදෙකලා ව ම බුදු රදුන් දැකීමට පිටත් විය.
පයින් ම බුදු රදුන් දැකීමට යන රජුගේ පා සියුමැලි බැවින් බිඳී ලේ ගලන්නට විය. පයින් යාගත නොහැකි හෙතෙම අනතුරු ව දෙදණින් හා දෙඅත්තලින් ගමන් කරන්නට විය. දෙදණින් හා අත්තලවලින් ද ලේ වැගිරෙන්නට වූ කල උරයෙන් ගමන් කරන්නට විය. සිතේ ඇති මහත් වූ බුද්ධ ගෞරවය නිසා බොහෝ දුක් වේදනා සතුටින් ම ඉවසන්නට විය. සිරිමත සම්බුදු රජාණන් වහන්සේ මතු බුදු වන මේ බුද්ධාංකුර තෙම දැක මාණවක වේශයක් මවාගෙන ශංඛ රජු සිටි තැනට වැඩම කොට ඔහු පූර්වාරාමය නම් තමන් වහන්සේ වැඩ සිටිනා වෙහෙරට රැගෙන වැඩි සේක. අනතුරු ව මාණවක වේශය අත්හළ ඒ භාග්‍යවතුන් වහන්සේ බුද්ධශ්‍රීයෙන් වැඩ හිඳ රජුට දම් දෙසූ සේක. තවත් දහම් දෙසුව හොත් තමාට භාග්‍යවතුන් වහන්සේට පූජා කිරීමට යමක් නැති බැවින් රජු ධර්ම දේ්ශනාව නවත්වන මෙන් බුදු රදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. නිවන ප්‍රාර්ථනා කරමින් ඒ ශංඛ රජ තෙමේ නියෙන් බෙල්ල කපාගෙන සිය හිස පූජා කළේ ය. මෙය වනාහි මෛත්‍රේය බෝසතුන්ගේ පරමත්ථ පාරමිතාවක් විය. ඒ ශංඛ සක්විති රජු ජීවිත පරිත්‍යාගයෙන් අනතුරු ව තුසිත දෙව් ලොව ශංඛ නම් දිව්‍ය පුත්‍රයා ලෙස උපත ලැබුවේ ය.
මේ ආදි වශයෙන් දස බෝධිසත්තුප්පත්තිකථාවේ මෛත්‍රේය බෝසතුන් පිළිබඳ ව වන පළමු උද්දේසය අවසන් වේ. දස බෝධිසත්තුප්පත්තිකථාවෙහි දැක්වෙන මේ කථා පුවතට අමතර ව මෛත්‍රේය බෝසතුන් පිළිබඳ කථා පාලි හා සිංහල සාහිත්‍යයන්හි දැකිය හැකි ය. මෙම ලිපිය දිගු වන බැවින් මින් ඉදිරියට අනෙකුත් බෝසත්වරුන් නව දෙනා පිළිබඳ කථා අතිසංක්ෂිප්ත ව දැක්වේ.
මෛත්‍රේය බුද්ධ ශාසනය ඉක්ම ගොස් අතිදීර්ඝ කාලයක් ඇවෑමෙන් බොහෝ කලකට පසු ව මේ මහ පොළොව කල්ප විනාශ ගින්නෙන් දැවෙන්නේ ය. මේ මහා භද්‍ර කල්පය අවසන් වූ පසු එක් අසඞ්ඛෙය්‍යක් බුද්ධ ශූන්‍ය වන්නේ ය. අසඞ්ඛෙය්‍ය යනු අංක 141කින් ලිවිය යුතු තරමේ අතිවිශාල සංඛ්‍යාවකි. මෙතරම් අතිදීර්ඝ කාල සීමාවක් බුදු වරයන් වහන්සේලා පහළ නො වන්නා හ. මේ කාල සීමාව තුළ දෙව්-මිනිසුන්ට බුද්ධ කියා හෝ ධම්ම කියා හෝ සඞ්ඝ කියා හෝ කිසි දෙයක් නො වන්නේ ය.
එම බුද්ධ ශූන්‍ය එක් අසඞ්ඛෙය්‍ය ඉක්මවා ගිය කල්හි බුදුවරයන් වහන්සේලා දෙනමක් පහළ වන මණ්ඩ කල්පයක් වන්නේ ය (මණ්ඩ කල්පය යනු කුමක් දැ යි නිශ්චිත ව පැවසිය නොහැකි අතර, අපගේ වැටහීමේ හැටියට නම් මණ්ඩ කල්පය යනු බුදු වරයන් වහන්සේලා දෙ නමක් පහළ වන කල්පය යි. එහෙත් මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ ශබ්දකෝෂයෙහි එයට අරුත් දක්වා ඇත්තේ සුන්දර කල්පය හා බුදුවරයන් පහළ වන කල්පය යනුවෙනි). මේ මණ්ඩ කල්පයෙහි රාම හා ධර්මරාජ යනුවෙන් සම්මා සම්බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. එහි ද මිනිසුන්ට අසඞ්ඛෙය්‍යයක් ආයු පිරිහී ගොස් මිනිස් ආයුෂ වසර මිලියන දහයක් වූ කල රාම බෝසතාණන් වහන්සේ දෙව්බඹුන්ගේ ආයාචනය පරිදි තුසිත භවනයෙන් චුත ව මිනිස් ලොව උපදින්නා හ. උන් වහන්සේගේ ආයු ප්‍රමාණය වසර මිලියන දහයකි. ගිහි ගෙයි වසර නවදහසක් කල් වැස අභිනිෂ්ක්‍රමණය කරන්නා වූ ඒ බෝසත් තෙම චන්දනසාර හෙවත් සඳුන්සාර වෘක්ෂය බෝධිය කොට ගෙන බුද්ධත්වයට පත් වන්නා හ. අසූ රියනක් උස් වන්නා වූ මේ බුදු රදුන්ගේ බුදු රැස් අහස පුරා නිතර විහිදී පවතින්නේ ය. තව ද උන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් සියලු අලංකාරයන්ගෙන් පිරිපුන් එක් දිව්‍ය කල්ප වෘක්ෂයක් පහළ වන අතර, සියලු ජනයා එය පරිභෝග කරමින් සුව සේ ජීවත් වන්නා හ.
මේ රාම සම්මා සම්බුදු රදුන්ගේ දස පාරමිතාවන් අතුරින් බොහෝ සෙයින් ප්‍රකට වූ එක් පාරමිතාවක් ඇත. එය මෙසේ ය: රාම බෝසත් තෙම කාශ්‍යප බුදු රදුන් සමයෙහි නාරද නම් මාණවකයකු වී කාශ්‍යප සම්බුදු රදුන් දැක බොහෝ සෙයින් පැහැදුණු සිත් ඇත්තේ බුදු බව පතා තම සිරුර කාශ්‍යප බුදු රදුන්ට පූජා කිරීමට ඉටාගත්තේ ය. ඒ අනුව වස්ත්‍ර දෙකක් ගෙන සුවඳ තෙලින් තෙමා පා තලයේ සිට හිස දක්වා වෙළා ගිනි දඬු පහනින් තම සිරුර දවා බුදු රදුන්ට පූජා කරමි යනුවෙන් සිතී ය. කාශ්‍යප බුදු රජාණන් වහන්සේ පිරිස මැද හුන් නාරද මාණවකයා අමතා මෙපමණ මෙපමණ කල් ඇවෑමෙන් ඔබ මතු බුදු වන්නේ යැ යි විවරණ දුන් සේක. අනතුරු ව ඒ නාරද මාණවකයා එක් රැයක දී තන් සිතාගත් පරිදි සිය සිරුර සුවඳ තෙලින් තෙමූ වස්ත්‍රවලින් වෙළා ගිනි දල්වාගෙන එයින් බුදු රදුන් පුදා මිය ගොස් වෙනස් නො වූ සිතින් යුතු ව තුසිත දෙව් ලොව උපන්නේ ය.
නාරද මාණවකයා දිවි පිදූ තැන පියුම් ගැබක් පහළ වූ අතර මිනිස්සු එය දැක පුදුමයට පත් ව ඒ කෙරෙහි පැහැදී මහා පූජාවක් කළහ. මෙලෙස එම බෝසත් තෙම විසින් කළ ජීවිත පූජාවෙන් රාම බුදු රදුන් වන කල උන් වහන්සේ අසූ රියන් උස් වන අතර, දිවා රාත්‍රී දෙක්හි පැතිරුණු ආලෝකය ඇත්තාහු වන්නා හ. බුද්්ධාලෝකය හේතුවෙන් හිරු සඳු ද මඳ ආලෝක බවට පත් වන්නේ ය. තව ද උන් වහන්සේට වසර මිලියන දහයක් ආයු වන්නේ ය.
රාම සම්මා සම්බුදු රදුන්ගේ සාසනය අවසන් වූ පසු මිනිසුන්ගේ ආයුෂ පිරිහී ගොස් නැවත වැඩී නැවතත් පිරිහී මිනිසුන්ගේ ආයුෂ වසර පනස් දහසක් වන කල පසේනදි කොසොල් රජු පුරන ලද පාරමී ඇති ව ධම්මරාජ නම් සම්මා සම්බුදු රදුන් වන්නේ ය. උන් වහන්සේ දිගින් රියන් හැටක් වන අතර නාග වෘක්ෂය බෝධිය වන්නේ ය. ගෞතම බුද්ධ ශාසනයෙහි පසේනදි කොසොල් රජු නමින් හැඳින්වුණු ධම්මරාජ බෝසත් තෙම කෝණාගමන සම්මා සම්බුදු රදුන්ගේ සසුනෙහි සුද්ධ නම් මාණවකයා විය. මේ සුද්ධ මාණවකයා එක් පියුම් විලක් රකිමින් ජීවත් වූ අතර දවසින් දවස පියුම් දෙක බැගින් විකුණා එයින් ලැබූ මුදලින් සහල් නැළි හතක් ලබා ජීවත් විය.
දිනක් පියුම් දෙකක් ගෙන විකිණීමට යන සුද්ධ මාණවකයාට කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ දක්නට ලැබිණි. කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයාට “ඔබ මතු බුදු වන්නේ යැ” යි වදාරා ඒ පිළිබඳ විස්තර වදාළ සේක. බුද්ධ වචනය අසා සිත පැහැදුණු සුද්ධ මාණවකයා තමා අත තිබූ පියුම් දෙක භාග්‍යවතුන් වහන්සේට පිදුවේ ය. පියුම් ලැබූ බුදු රජාණන් වහන්සේ ඒ පියුම් මත්තෙහි වැඩ හුන් සේක. තව ද සුද්ධ මාණවකයා බුදු රදුන්ට සූර්ය තාපය නොවැදීම පිණිස දඬු සතරක් ගෙන සිවු දිශාවන්හි ඔසවා වස්ත්‍ර දෙකක් ගෙන දඬුවලින් වට කොට වසා ඒ සියලු දානයන්ගේ ඵලයෙන් උතුම් බුද්ධත්වය ම පැතුවේ ය. මේ ආදි වශයෙන් කෝණාගමන බුද්ධ ශාසනයෙහි නොයෙක් පින්කම් කළ හෙතෙම ගෞතම බුද්ධ ශාසනයෙහි ද කොසොල් මහ රජු වී නොයෙක් පින්කම් කළේ ය. මෙලෙස අතීතයේ පටන් අනාගතය දක්වා පිරූ සහ පුරන්නා වූ පාරමිතාවන්ගේ බලයෙන් ධම්මරාජා බෝසත් තෙම මතු මණ්ඩ කල්පයෙහි සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය.
රාම හා ධම්මරාජා සම්බුදුවරුන් වැඩ සිටින්නා වූ මණ්ඩ කල්පය ගින්නෙන් දැවී අවසන් වී සාර කල්පයක් ඇති වන්නේ ය. අභිභූ නම් දෙව්රජු එම කල්පයෙහි ධම්මස්සාමි නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. වසර දහසක් ආයු ඇති උන් වහන්සේ අසූ රියන් උස් වන්නා හ. සල් වෘක්ෂය බෝධිය වන්නා වූ එම බුදු රදුන්ගේ බුද්ධානුභාවයෙන් නිධානයක් පහළ වන අතර, සියලු මිනිස්සු එය නිසා සැප සේ ජීවත් වන්නා හ. මෙම ධම්මස්සාමි බුදු රදුන්ගේ ද එක් පාරමිතාවක් ප්‍රකට ය. එම බෝසත් තෙම කාශ්‍යප බුද්ධ සමයෙහි බෝධි නම් ඇමැතියා විය.
වරෙක කාශ්‍යප බුදුන් වහන්සේ ඵලසමවතින් නැගී සිට ජේතවන ආරාමයේ වැඩ සිටි සේක. එකල කිකී නම් මහ රජු ඵලසමවතින් නැගී සිටි අයකුට දෙන දානයේ විපාක දැන බුදු රදුන්ට දානයක් දීමට සිතා “කිසිවකු බුදු රදුන්ට පළමු ව දන් නො දිය යුතු ය. එසේ දුන හොත් ඔහුට දඬුවම් වන්නේයැ” යි පවසා බෙර හැසිරවී ය. එහෙත් ශ්‍රද්්ධාවෙන් ම ඔද වැඩුණු බෝධි ඇමැතියා රජ අණ නොතකා බුදු රදුන්ට දන් දීමට සූදානම් වී වෙහෙර වෙත ගියේ ය. අතරමග දී රාජ පුරුෂයන් අතට පත් වුණු ඇමැතියාට රජ අණ කඩ කිරීම නිසා මරණ දඬුවම හිමි විය. ඔහුගේ මරණයට සුළු මොහොතකට පෙර කාශ්‍යප බුදු රජාණන් වහන්සේ වධක ස්ථානයට වැඩම කළ සේක. ඇමැතියාගේ මරණයට මොහොතකට පෙර බුදු රදුන්ට දන් දීමට අවස්ථාව උදා විය. බුද්්ධානුභාවයෙන් පහළ වූ දානය හෙතෙම බුදු රදුන්ට ම දුන්නේ ය. බුදු රජාණන් වහන්සේ ඔහුට මතු බුදු වන බව දක්වා විවරණ දුන් සේක. බුදුන් වහන්සේ නික්ම වැඩම කළ සේක. ඇමැතියා දන් දෙන්නට ගොස් රජ අණ කඩ කිරීම හේතුවෙන් මරණය උරුම කරගති. මරණින් පසු ඔහු තුසිත පුරයෙහි උපන්නේ ය. මෙය වූකලි මතු බුදු වන ධම්මස්සාමි බුදු රදුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව යි.
ධම්මස්සාමි බුද්ධ ශාසනය ඉක්ම ගිය කල්හි බුද්ධ ශූන්‍ය වූ එක් ලක්‍ඛණ කල්පයක් වන්නේ ය. ඉන් පසු උදා වන බුදු වරයන් දෙනමකගෙන් සමන්විත මණ්ඩ කල්පයෙහි නාරද හා රංසිමුනි නමින් බුදු වරයන් වහන්සේලා දෙනමක් ලොව පහළ වන්නා හ. නාරද නමින් බුද්ධත්වයට පත්වන්නේ දීඝසෝණ නමින් ප්‍රකට රාහු අසුරින්දයා ය. මෙහි රාහු අසුරින්දයා විශාලතම ශරීර ඇති අය අතර අග්‍රස්ථානයට ම වැටෙන්නෙකි (ඒතදග්ගං භික්ඛවේ අත්තභාවීනං යදිදං රාහු අසුරින්දෝ). රංසිමුනි නමින් සම්බුද්ධත්වයට පත් වන්නේ මේ බුදු සසුනේ චඞ්කී නම් බ්‍රාහ්මණයා ය.
රංසිමුනි බුදු රදුන් වැඩ සිටි මණ්ඩ කල්පය ඉක්ම ගිය කල්හි තවත් එක් මණ්ඩ කල්පයක් වන්නේ ය. එම මණ්ඩ කල්පයෙහි දේවදේව හා නරසීහ යනුවෙන් සම්බුදුවරු දෙනමක් පහළ වන්නා හ. මේ කල්පයෙහි පළමුවෙන් ම බුද්ධත්වයට පත් වන දේවදේව බුද්ධ තෙම නම් සුභ බ්‍රාහ්මණයා ය. එහෙත් සුභ නම් මාණවකයකු පිළිබඳ ව මිස සුභ නම් බ්‍රාහ්මණයකු පිළිබඳ කරුණු ත්‍රිපිටකයෙන් සොයාගැනීමට නොහැකි තරම් ය. එය කෙසේ වෙතත් මේ තෙම කෝණාගම බුද්ධ සමයෙහි ඡද්දන්ත නාග රාජයකු වී උපන්නේ ය. සර්වඥතා ඥානය ම කැමැති වන ඒ බෝසත් නාග රාජ තෙම පිරිනිවන් පෑ කොණ්ඩඤ්ඤ නම් රහතන් වහන්සේ නමකගේ දේහයට කළ යුතු අවසන් කටයුතු මහත් ගෞරවයෙන් ම සිදු කළේ ය. මෙය වනාහි එම දේවදේව බෝසතුන්ගේ ප්‍රකට වූ එක් පාරමිතාව ය.
දේවදේව සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි එම කල්පයෙහි ම ගෞතම බුදු සසුනෙහි තෝදෙය්‍ය නමින් ප්‍රකට ව සිටි බමුණා නරසීහ නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ තෝදෙය්‍ය බමුණා කාශ්‍යප සම්බුදු සසුන පිරිහී ගෞතම සම්බුදු සසුන පහළ වන්නට පෙර කල්හි නන්ද නම් මාණවකයෙක් විය. පිඬු සිඟා වඩින එක් පසේබුදු වරයන් වහන්සේ නමක් දුටු හෙතෙම පැහැදුණු සිතින් දන් පූජා කොට සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කළේ ය.
නරසීහ සම්බුදු සසුන පිරිහී එම කල්පය ද ඉක්ම ගිය කල්හි බුදු වරයන් පහළ නොවන එක්බුද්ධ ශූන්‍ය කල්පයක් වන්නේ ය. එම බුද්ධ ශූන්‍ය කල්පය ද ඉක්ම ගිය කල්හි තවත් බුදු වරයන් වහන්සේලා දෙනමකගෙන් ප්‍රතිමණ්ඩිත මණ්ඩ කල්පයක් වන්නේ ය. එහි පළමුවෙන් ම තිස්ස නම් සම්මා සම්බුදුවරයා වන්නේ ය. උන් වහන්සේ දිගින් අසූ රියන් උස් වන්නා හ. නුග රුක බෝධිය කොටගන්නා උන් වහන්සේට වසර අසූ දහසක් ආයු වන්නේ ය. උන් වහන්සේ විසින් පෙර කරන ලද පින් බලයෙන් එම සසුනෙහි ද නොයෙක් අසිරි වන්නේ ය.
තිස්ස සම්බුදු රදුන්ගේ සසුන පිරිහී ගිය කල්හි පාරිලෙය්‍යක නමින් ප්‍රකට ඇත් රජු සුමඞ්ගල නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ ය. මේ පාරිලෙය්‍යක ඇත් තෙමේ පෙර කකුසන්ධ බුද්ධ සමයෙහි මහාපනාද නම් සක්විති රජ වී ධර්මය වෙනුවෙන් දිවි පිදුවේ ය. ඔහු එම ජීවිත දාන ඵලයෙන් මතු වසර දහසක් ආයු ඇති සුමඞ්ගල නම් බුදුවරයා වන්නේ ය.
මේ ආදි වශයෙන් දසබෝධිසත්තුප්පත්ති-කථාවෙහි මතු බුදු වන බුදුවරයන් වහන්සේලා දස නමකගේ තොරතුරු අන්තර්ගත වේ. අර්ථීහු එය කියවා වැඩි දුර විස්තර දැනගනිත්වා! ථේරවාද බුදු සමයෙහි කුමන දේශනාවක වුව මුඛ්‍ය අරමුණ වනුයේ පුද්ගලයා නිවනට අප්‍රමාද කරවීම ය. ඒ අනුව දසබෝධිසත්තුප්පත්තිකථාවෙහි එන මේ බුද්ධෝත්පාදයන්ගේ දුර්ලභ බව දැන වහ-වහා මේ බුදු සසුනෙහි කළ යුතු දෑ වෙනුවෙන් වීර්ය කට යුතු ය. ඒ අප මාරයා සමඟ ඇති කරගත් ගිවිසුමක් නැති බැව් ද සිහියේ තබාගෙන ම ය. ද

(බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවට අයත් දීඝනිකාය 03, අඞ්ගුත්තරනිකාය 02 යන ත්‍රිපිටක ග්‍රන්ථ, මොරටුවේ සාසනරතන හිමියන්ගේ ‘ලක්දිව මහායාන අදහස්’ කෘතිය හා මඩිතියවෙල සිරි සුමඞ්ගල හිමියන්ගේ පාලි සිංහල ශබ්දකෝෂය ද ඇසුරු කරණි).

හසන්ත වාසනා සමරසිංහ.
Meth maga - මෙත් මග
 ¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නැවත මිනිසත් බව ලැබිය හැක්‌කේ කෙසේද ?


බෞද්ධයන් කුසල් හෝ පින් කරනා හේතු තුනක්‌ තිබේ. ඒ මෙලොව ජීවිතය සැපවත් කරගැනීම, පරලොව ජීවිතය සුගතිගාමී කර ගැනීම හා නිවන් දැකීම සඳහාය. සුගතිගාමී වීම යනුවෙන් අදහස්‌ කරන්නේ මීළඟ ජීවිතය නැතහොත් භවය මිනිසකු සේ මෙලොව එළිය දැකීම හෝ දෙව්ලොව හෝ බඹලොව ඉපදීමය. පින් කිරීමෙන් අනතුරුව දෙව් මිනිස්‌ සැප කෙළවර අමා මහ නිවන් සැප ලැබේවාෘ යි ප්‍රාර්ථනා කරන්නේ එම නිසාය. මෙයින් බඹලොව ඉපදීමට නම් අඩුම වශයෙන් භාවනාකොට ප්‍රථම ධ්‍යානය හෝ ලබා සිටිය යුතුය. එය බොහෝ විට දැනට සිදු නොවන්නක්‌ බව ප්‍රායෝගිකව පෙනීයයි. එමනිසා බොහෝ දෙනාගේ පැතුම මිනිසකු වීම හෝ දෙවියකු වීම විය යුතුය. මෙයිනුත් වැඩිදෙනකුගේ අභිප්‍රාය මිනිසත් බව ලැබීම බව පෙනීයයි. එයට හේතු දෙකක්‌ ඇත පළමුවැන්න දෙවියකු වීම වඩාත් අපහසු කාරණයක්‌ වීමය. දෙවැන්න දෙවියකු වීමට ඇති අකැමැත්ත හෝ මිනිසත් බව ලැබීම වඩාත් උචිත බව සිතීම හෝ තේරුම් ගැනීමය. මෙහි දෙවැන්න විග්‍රහ කර බැලීම වඩාත් වැදගත් යෑයි සලකමි. 

යම්කිසි පුද්ගලයකුගෙන් ඔබ දෙව්ලොව ඉපදීමට කැමැති මන්දයි විමසුවහොත් ඊට ලැබෙන පිළිතුර සැපවිඳීමට යෑයි කියනු නොඅනුමානය. පිනක්‌ දහමක්‌ කර දෙව් මිනිස්‌ සැප කෙළවර අමාමහ නිර්වාණ සම්පත්තිය පතන්නේ එම නිසාය. දෙව් ලොව සැප නොවිඳ නිවන් සුව පතන්නෝ ඉතාමත් විරලය. ඒ අනුව දෙව්ලොව ඉපදීමේ එ්කායන බලාපොරොත්තුව සැප විඳීමය. එමනිසා දෙව්ලොව ඇති සැප කුමක්‌දැයි සොයා බැලිය යුතුව ඇත. දිව්‍ය ලෝකයේ උපත ලබන්නේ ඕපපාතිකවය ළමා කාලයක්‌ නැත. එම නිසා ඉගෙනීමට වෙහෙස මහන්සියක්‌ උවමනා නැත. වාසය කිරීමට ගව්ගණන් උස සියලු සැප සම්පතින් අනූන මාලිගා උත්පත්තියත් සමඟම පහළ වේ. නිවාස සෑදීමට දුක්‌ විඳීමට වුවමනා නැත. පරිවාර ජනයා එමටය. අතිශය රූපසම්පත්තියෙන් හෙබි දිව්‍යාංගනාවන් අසීමිතව සිටින බැවින් ස්‌ත්‍රී සැපසම්පත් පිළිබඳවද ප්‍රශ්නයක්‌ නැත. දූ දරුවන් විවාහ කරදීමේ ගැටලු නැත. සුවඳ ආඝ්‍රාණයෙන් ඉතා සියුම් ආහාර ගන්නා බැවින් ආහාර සපයා ගැනීමේ හෝ ඉවුම් පිහුම් ප්‍රශ්න නැත. අහසින් යන එන බැවින් ගමනා ගමන ප්‍රශ්න නැත. ලෙඩ දුක්‌ ප්‍රශ්න නැත. මුළු කාලයම ක්‍රීඩාවෙන් හා කම් සැපය විඳිමින් සිටින බැවින් මානසික ප්‍රශ්නද නැත. මේ ඉතාමත් කෙටියෙන් දිව්‍යලෝක සැප සම්පත්ය.

මේ සියල්ල සත්‍යවශයෙන්ම සැපසම්පත් දැයි වීමසා බැලිය යුතුය. මිනිසාට පමණක්‌ නොව සතා සිව්sපාවාටද ඇති උදාර සම්පතක්‌ සතුටක්‌ වන්නේ දරු සම්පතය. කුඩා දරුවකුගේ දරු සුරතල් මොනතරම් ආශ්චර්යජනකද? දරුවන් ඇතියවුන් පමණක්‌ නොව නැති අයද මේ ගැන හොඳාකාර දන්නේය. ඒ සැපය දෙව්ලොව තිබේද? සෘතු දෙකකින් හටගත් දේව ශරීරය සියුම් නිසාත් කර්මය බලවත් නිසාත් එක ආහාර වේලවක්‌වත් නොමැතිව දෙවියකුට ජීවත්විය නොහැකිය. ආහාර ගන්නා වේලාව මොහොතක්‌වත් පමා කළොත් රත්වූ ගලකට හෙලූ ගිතෙල් මෙන් ශරීරය දියවේ. එමනිසා ආහාර වේලක්‌ හෝ නොගතහොත් වන්නේ නිරපරාදේ චුතවීමටය. ගව් ගණන් විශාල කාමර දස දහස්‌ ගණනක්‌ ඇති වීමානයක ඇති සැපය කුමක්‌ද? පොත පතෙහි සඳහන් වන පරිදි දෙව්ලොව මෛථුනය පහත දැක්‌වේ. චාතූර්මහාරාජිකයේ ලිංගික ක්‍රියාවලියක්‌ ඇත. තාවතිංසයෙහි ඇත්තේ වැළඳ ගැනීම පමණය. තුසිතයෙහි අතින් ඇල්ලීම පමණි. නිම්මානරතියෙහි සිනාසීම පමණී. පරනිම්මිතයෙහි දර්ශනය පමණි. දෙව් ලොව ශුක්‍රාණු මෝචනයක්‌ නොමැත. වායුවක්‌ පමණක්‌ නික්‌මේ. මෛථුනයෙන් බලාපොරොත්තු වන්නේ මෙවැන්නක්‌ද?

සැපයක්‌ යෑයි සැලකුවද දෙව්ලොව ඇති වඩාත්ම අවාසිය වන්නේ කුසල් කිරීමට අවස්‌ථාවක්‌ නෙෙලැබීමය. දන්දීමට අවස්‌ථාවක්‌ නැත. ධර්ම දේශනාවකට සවන් දීමට අවස්‌ථාවක්‌ නැත. භාවනාවක්‌ නැත. කඨින පිංකම් නැත. සිව්පසය පූජා කිරීමට කෙනෙක්‌ නැත. වෙහෙර විහාර ළිං පොකුණු සාදාදී පිං කිරීමට අවස්‌ථාවක්‌ නැත. දස කුසල් දස පුණ්‍යක්‍රියා කිරීමට අවස්‌ථාවක්‌ නැත. ධර්මය ඉගෙන ගැනීමේ අවස්‌ථාවක්‌ නැත. භික්‌ෂුන් වහන්සේලා ඇසුරු කිරීමක්‌ නැත. සිදුවන එකම දෙය වන්නේ සැප විඳීම සඳහා පින ඉවර වීමය. සරල උදාහරණයක්‌ වන්නේ රැකියාවක්‌ නොකර ආදායම් මාර්ගයන් නොමැතිව බැංකු ගිණුමෙන් මුදල් ගෙන ජීවත්වී බැංකු ගිණුම ඉවරවී හිඟමනට වැටීම හා සමාන වීමය.

දෙව්ලොව ඉපදී ආයුෂ ගෙවීමෙන් චුතවී යන දෙවිවරුන්ගෙන් නැවත සුගතියක ඉපදෙන්නේ ඉතාම අල්ප ප්‍රමාණයක්‌ බවත් නිරයේ සහ තිරිසන් ආත්මයේ ඉපදෙන ප්‍රමාණය බහුල බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ එම නිසාය. මෙය පැහැදිලි කිරීම සඳහා බුදුරජානන් වහන්සේ ආනන්ද තෙරුන්ගෙන් මෙසේ වීමසීය. සිය මහපටැඟිල්ලේ නියපොත්තට පස්‌ බිඳක්‌ ගත් බුදුරජාණන් වහන්සේ ආනන්දය මගේ නියපොත්තේ ඇති පස්‌ ප්‍රමාණයද මහ පොළොවෙහි ඇති පස්‌ ප්‍රමාණයද වැඩියෑයි ඇසීය. භාග්‍යවතුන් වහන්ස මහපොළොවෙහි ඇති පස්‌ ප්‍රමාණය අතිමහත් යෑයි ආනන්ද තෙරුන් පැවසීය. ආනන්දය එසේම දෙව්ලොව ඉපදී චුතව සුගතියක නැවත උපදින ප්‍රමාණය මාගේ ඇඟිල්ලෙහි ඇති පස්‌ පිඬමෙන් ඉතාම අල්පයයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මේ සියල්ල සලකා බලනවිට අප දෙව්ලොව ඉපදීමට වඩා පැතිය යුත්තේ නැවත මිනිසකු වී ඉපදීමටය.

අප එසේ නැවත මිනිසකු වී ඉපදිය යුත්තේ සියලුම සත්ත්වයනට වඩා මිනිසත් බව උතුම් නිසාය. තුන් ලෝකයේම ඇති ඉතාම උසස්‌ම උපත හා පදවිය බුද්ධත්වයයි. ඒ අවස්‌ථාව ලබාගත හැක්‌කේ මිනිසකුට පමණි. උසස්‌ම ගිහි පදවිය වන්නේ සක්‌විති රජකමය. ඒ රජකම ලැබිය හැක්‌කේ මිනිසකුට පමණි. රහත්භාවය ලබා සසර කෙටිකර ගත හැක්‌කේ මිනිසුන්ටය. (ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ උපදින අනාගාමිකයින්ද එහිදී රහත්භාවය ලැබිය හැකි බව පොත පතෙහි සඳහන් වේ.) පින් කළ හැක්‌කේ මිනිසුනට පමණි. තමන්ගේ උත්සාහයෙන් දියුණු විය හැක්‌කේ මිනිසුනට පමණි. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවල නරකයන්හි ප්‍රේත අසුර නිකායන්හි උපත ලැබූවිට ඒවායේ ආයුෂ අවුරුදු ලක්‌ෂ ගණන් බැවින් ඒවායින් මිදීමට ගත වන කාලය අතිමහත්ය. බුදුන් දැකීමට ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ලැබෙන අවස්‌ථාව ඉතාමත් විරලය. එ් අනුව වටිනාම උත්පත්තිය මිනිසකු ලෙස උපත ලැබීමය. 

එහෙත් මිනිසකු ලෙස උපත ලැබීම ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවේ. එය එතරම්ම දුර්ලභය. අපහසුය. බුදුරජාණන් වහන්සේ මෙලොවදී ලබා ගැනීමට ඇති දුර්ලභම කාරණා පහක්‌ වදාරන ලදී. 'දුල්ලභංච මනුස්‌සත්ත' යනුවෙන් දේශනා කරන ලද්දේ මිනිසත් බව ලැබීම අතිශය දුර්ලභ කාරණාවක්‌ බවය. එය සනාථ කිරීමට මිනිසත් බව ලැබීම අප කවුරුත් දන්නා කණ කැස්‌බා විය සිදුරෙන් අහස බැලීමේ උපමාව දේශනා කරන ලද්දේ සම්මා සම්බුදු රජාණන් වහන්සේය. මෙම උපමාවම මිනිසත් බව ලැබීම කෙතරම් දුලබද යන්න වටහා ගැනීමට ප්‍රමාණවත්ය. විය ගහ යනු ගොනුන් බානක්‌ සීසෑම සඳහා උපයෝගී කර ගැනීමට භාවිත කරන නගුලට එකට බැඳ ගැනීමට හෝ බර තරත්තයක එකට බැඳ ගැනීමට කරට බැඳීමට යොදා ගන්නා ලීයකි. මෙහි ගොනුන් බැඳීමට උපයෝගී කරගන්නා ලණුව ඇතුළු කිරීමට සිදුරක්‌ ඇති අතර විය සිදුර යනුවෙන් හඳුන්වන්නේ එයයි. මෙම විය ගහ ඉතාම තද දැව වර්ගයකින් සාදන බැවින් කාලාන්තරයක්‌ පාවිච්චි කළ හැකි වන අතර පහසුවෙන් දිරාපත් නොවේ. තවදුරටත් භාවිත කිරීමට නොහැකි වූ විට කැලයට විසිකිරීම ගොවියාගේ සිරිතය. තද ලීයක්‌ බැවින් එය පහසුවෙන් දිරාපත් නොවේ. තවත් කාලාන්තරයක්‌ අව්වට, වැස්‌සට දිරාපත් නොවී කැලයේ තිබී වර්ෂාපතනයන්හිදී දිය පහරකට හසුවී ගසාගෙන ගොස්‌ ඇළ දොළ තරණය කොට ගංගාවකට වැටිය හැක. එයද නැවත ගොඩබිමකට නොවැටුණහොත් ගංගාව දිගේ මුහුදට වැටිය හැක. එය මුහුදේදී රළ පහරට අසුවෙමින් නිරන්තරව ඉහළ පහළ යමින් සෙලවෙමින් පවතී. මෙවන් අවස්‌ථාවක මුහුදේ පීනනා කැස්‌බෑවකු එම විය ගසේ විය සිදුරෙන් හිස දමා අහස බැලීම කිසිදාක සිදුවිය නොහැකි තරම් අතිශය විරල සිදුවීමකි. ඒ රළ පහරට නිරන්තරවම ඉහළ පහළ යන නිසා හිස දමන විට ඉවත්වන නිසාය. මිනිසත් බව ලැබීමත් එවන් අසීරුම දුර්ලභම කාර්යයකි.

එවන් අතිශය දුර්ලභ මිනිස්‌ ජීවිතයක්‌ අප සියලු දෙනාම දැනට ලබාගෙන ඇත. එම අවස්‌ථාව නැවත ලබාගත හැක්‌කේ කෙසේද ? ඒ සඳහා අප කළ යුත්තේ කුමක්‌ද ? ඒ සඳහා කාමාවචර ලෝකයක ජීවත්වන සත්ත්වයින් වශයෙන් අප කාමාවචර කුසල් කළ යුතුය. කාමාවචර කුසල් යනු කාමාවචර කුසල් සිත් ඇතිවන පුණ්‍ය කර්මයෝය. බුදුදහම අනුව අපට සිත් 89 ක්‌ ඇතිවන බව අභිධර්මයෙහි දැක්‌වේ. මෙයින් සිත් 54 ක්‌ කාමාවචර ලෝකයට අයත්වන අතර එයිනුත් මනුෂ්‍ය ආත්මයක්‌ ලැබීමට උපකාරි වන සිත් ඇත්තේ 24 කි. මෙම සිත් 24 අටමහා කුසල් සිත් 8ක්‌ ද විපාක සිත් 8 ක්‌ ද ක්‍රියා සිත් 8 ක්‌ ද ලෙස වර්ගීකරණය කර ඇති අතර කුසලයක්‌ කිරීමේදී ඇතිවන්නේ මහා කුසල් සිත් 8 ය. අප මේ අට මහා කුසල් සිත් ඇතිවන අයුරින් පුණ්‍ය කර්මයන් කළ යුතුය.

දස පුණ්‍යක්‍රියා කරන විට කුසල් සිත් ඇතිවේ. දානය, ශීලය, භාවනාව, අපචායන (ගරුකළ යුත්තන්ට ගරුකිරීම), වෙය්‍යාවච්ච (වතාවත් කිරීම), පත්තිදානය (පින්දීම), පත්තානුමෝදනාව (පින් අනුමෝදන් වීම), ධර්මශ්‍රවණය, ධර්ම දේශණා කිරීම හා දිට්‌ඨි-ජුකම්මය හෙවත් දෘෂ්ටිය පිරිසිsදු කිරීම දස පුණ්‍ය ක්‍රියා ලෙස හැඳින්වේ. මෙම කුසල් කිරීමේදී උත්කෘෂ්ඨ කුසලයන් වීමට වග බලා ගතයුතුය. නැතහොත් මිනිසත් බව ලබාගත නොහැක. කුසලයක්‌ කිරීමේදී එහි විපාකයන් කොටස්‌ 3 කට වෙන් කර දැක්‌විය හැක. ඒ ප්‍රනීත නැතහොත් උත්කෘෂ්ට මධ්‍යම හා හීන වශයෙනි. උත්කෘෂ්ට කුසලයක්‌ වන්නේ අලෝභ, ආදෝස හා අමෝහ යන කුසල මූල තුනෙන්ම කරන කුසලයන්ය. ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක්‌ ලැබෙන්නේ එවිටය. අමෝහ මූලය නොමැතිව කුසලය සිදු කළහොත් ලැබෙන්නේ ද්විහේතුක ප්‍රතිසන්ධියකි. එනම් මිනිසත් බව ලැබුවත් බුද්ධිමත්, ප්‍රඥාවන්ත පුද්ගලයෙක්‌ නොවේ. එම නිසා කුසල් කරන සෑම විටකම කුසලයේ ආනිශංස දැන ඤාණසම්ප්‍රයුක්‌තව කිරීමට වගබලාගත යුතුය. කුසලය අහේතුක වූ විට මිනිසත් බව ලැබිය හැකි වුවත් ඔවුන් අංගවිකල අඳ ගොළු බිහිරි කෙළතොලු, පන්ඩුක, නපුංසක ආදීන් විය හැකිය. මෙවන් අඩු ලුහුඬු සහිත මිනිසුන් වශයෙන් උපත ලබන්නේ අකුසල විපාකවලින් බව බොහෝ දෙනාගේ මතයයි. එහෙත් එය නිවැරදි නොවේ. මිනිසත් බවක්‌ ලබන්නේ කුසල විපාකයකින් පමණමය. වෙනසට හේතුව කුසලය අසම්පූර්ණ වීමය. එමනිසා අප කරන සෑම කුසලයක්‌ම ත්‍රිහේතුක කුසලයක්‌ කර ගැනීමට වග බලා ගත යුතුය. 

අනෙක්‌ වැදගත් කාරණය වන්නේ කුසල් නම් අප සැමදාම කළ යුතු බවය. බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පහත සඳහන් ගාථාවෙන් එ් බව ස්‌ථුට වේ.

පුඤ්ඤං චෙ පුරිසෝ කයිරා කයිරා තේථං පුනප්පුනං

තුම්හි චන්ද කයිරාථ සුකෝ පුඤ්ඤස්‌ස උච්චයෝ 

යමෙක්‌ පින් කරන්නේ නම් සැමදා කළ යුතුය. එසේ කිරීමට අවකාශ නැත්තම් එහි ආශාව වත් තබාගත යුතුය. මන්ද එය පින් රැස්‌කිරීමට හේතු වන නිසාය.

මෙම පින්දහම්වලට අමතරව අප ලෞකික ජීවිතයේ අනුගමනය කළයුතු රැකිය යුතු ගුණාංග රාශියක්‌ද තිබේ. මහා මංගල සූත්‍රයේ සඳහන් මංගල කරුණු 38 ද, සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් යුතුකම් 61 ද, සතර සංග්‍රහ වස්‌තූන්ද අප රැකිය යුතුය මිනිසත්බව නැවත ලැබීමට ඒවාද අපට මහෝපකාරී වේ.
වෛද්‍ය ප්‍රියන්ත හේවගේ
විශ්‍රාමලත් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online