ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

මෛත්‍රිය අනුභවකර මස්‌ මාංශ නොකෑමෙන් පලක්‌ වේද?

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
(මස්‌ මාංශ අනුභවය 1)
'සතර අපායෙන් මිදෙමු' - 67 කොටස


එක්‌තරා ගිහි පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් ඇහුවා 'හාමුදුරුවෝ මස්‌ මාංශ අනුභවය ගැන ඔබ වහන්සේ දරන අදහස මොකක්‌ද?' කියලා. එම පිංවතාට භික්‍ෂුව දුන්න පිළිතුර මෙහි සඳහන් කරනවා. ඔබ ගිහි පිංවතෙක්‌ නිසයි භික්‍ෂුව මෙහෙම පිළිතුරක්‌ දෙන්නේ. හැබැයි මේ පිළිතුර සමාජයේ සැමටම එකඟ නැහැ. එම පුද්ගලයා ලබා ඇති ධර්මාවබෝධය මත, පිළිතුරේ ස්‌වභාවය වෙනස්‌ වෙනවා. භික්‍ෂුව ගිහි කාලයේදී පැවිදිවීමට පෙරාතුව වසර 5ක්‌ පමණ මස්‌ මාලු අනුභව කළේ නැහැ. ඒ කාලයේ මස්‌ මාලු අනුභව කරනකොට ඒ සතා මැවිලා පෙනෙනවා. උදාහරණයක්‌ කීවොත්, කුකුල් මස්‌ අනුභව කරනකොට කුකුලා මැවිලා පෙනෙනවා. ඒ නිසා මස්‌ මාලු අනුභවයෙන් වැළකී සිටියේ බොහොම කැමැත්තෙන්. හැබැයි මාංශ අනුභව කරන අය විවේචනය කරන්න ගියේ නැහැ. නිර්මාංශ බව ලෝකයට පෙන්වීමට ගියේ නැහැ. කෑමට ගත්ත ආහාර පිඟානේ මස්‌ මාලු බෙදලා තිබ්බොත්, එය පිඟානේ පැත්තකට කර ආහාර අනුභව කළා. ගිහි කාලයේදී, මහා සංඝරත්නය උදෙසා දන්දෙන අවස්‌ථාවලදී දානයට මස්‌ මාංශ පූජා කළා. නිර්මාංශ වුවද ඒ හේතුවෙන් දෘෂ්ටියක්‌ හෝ අන්‍යයන්ගේ කැමැත්ත හෙළා දැක්‌කේ නැහැ.

භික්‍ෂුව පැවිදිවීමෙන් යම් කලකට පසුව මේ තත්ත්වය වෙනස්‌ වුණා. මේ මොහොතේ මේ ප්‍රශ්නය අසන්නේ පිංවත් ගිහි මහත්තයෙක්‌. කවුරුන් හෝ ධර්ම මාර්ගයේ ගමන්කිරීමට අවතීර්ණ වනවිට මුලින්ම සිටින්නේ පෘතග්ජන ස්‌වභාවයේ. දෙවැනිව සෝවාන් මාර්ගය තුළ. මේ ප්‍රශ්න අහන පිංවතා ඉහත ස්‌වභාවය නියෝජනය කරන නිර්මාංශ පුද්ගලයෙක්‌. එහෙම ස්‌වභාවයේ අයෙකුට අපි අවවාද කළොත් 'ඔබ මස්‌ මාලු බිත්තර අනුභව කළ යුතුයි. ඒවා නොකෑම වැරදියි' කියලා , අපි එම පිංවතාට කරන්නේ ලොකු වරදක්‌. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් තොරවීමක්‌මයි. ඒ වගේම එම පිංවතා, තමා නිර්මාංශව ජීවත්වෙමින් , අනුනට ද ඒ ගැන දේශනා කිරීම, පෙළඹවීම වරදක්‌ නැහැ. මොකද තවම ඒ පිංවතුන්ගේ ස්‌වභාවය සෝවාන් මාර්ගයේ පෙරට යන ස්‌වභාවයයි. අනාගතයේ යම් දිනෙක මේ පිංවතුන් සෝවාන් ඵලය අවබෝධ කරගැනීමට නම් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්යකාන්ත ශීලය තම ජීවිතවලට ගලපාගැනීම අත්‍යවශ්‍ය සාධකයක්‌ වෙනවා. 

තමාට සිතෙනවා නම්, මස්‌ මාංශ අනුභව නොකිරීම නිසා තමා තුළ මෛත්‍රිය කරුණාව වර්ධනය වන බව, එම පිංවතා නිර්මාංශව සිටීම වරදක්‌ යෑයි භික්‍ෂුව මොනව හේතුවක්‌ නිසාවත් කියන්නේ නැහැ. හැබැයි මෙතැනදී නිර්මාංශභාවය රකින පිංවතුන් සමහරෙක්‌ගෙන් නොදැනුවත්භාවය නිසා ලොකු වරදක්‌ වෙනවා. තමාට නිර්මාංශ වීමට අවශ්‍යනම්, එය කළ යුත්තේ තමා තුළ මෛත්‍රිය කරුණාව වැනි ධර්මයන් තව තවත් ශක්‌තිමත් කරගැනීමටත්, ඒ තුළින් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලය ශක්‌තිමත් කරගැනීමේත් පරමාර්ථයෙන්මය. එසේ නොමැතිව, තමා වර්ණනා කරගැනීම උදෙසා අනුන්ව හෙළාදැකීමට නොවේ. මෙතැනදී ඔබ තුළ වැඩෙන්නේ මෛත්‍රිය කරුණාව නොවේ. තමා කෙරෙහි මාන්නය, තන්හාව, දිට්‌ඨ§යයි. මේ නිසා ඔබ විරුද්ධ මතය සමග ගැටෙනවා. එතකොට ඔබේ මෛත්‍රියට මොකද වෙන්නේ. සියලු සත්වයෝ සුවපත් වේවා කියන සම්බුදු වදනට මොකද වෙන්නේ. ඔබ තිරිසන් සතුන්ව සුවපත් කරගැනීමට ගිහින්, තිරිසන් ලෝකයෙන් මිදී, මේ බුද්ධොපාද කාලයේ උතුම් මිනිසත් බවක්‌ ලැබූ පිංවත් මනුෂ්‍යයන්ව, ගිහි පැවිදි උතුමන්ව විවේචනය කරනවා. ගැටෙනවා. තිරිසන් සතුන්ගේ නිදහස උදෙසා පෙනී සිටින ඔබ, උතුම් මනුෂ්‍යයාගේ නිදහස සීමා කරනවා. මෙවැනි තත්ත්වයක්‌ තුළ ඔබ මේ ධර්ම මාර්ගයේ කෙසේ නම් පෙරට යන්නද?

ඔබට ලෝකය හදන්න බැහැ. ලෝකයාව දුකෙන් මුදවන්නත් බැහැ. තිරිසන් ලෝකයේ සතෙකුව ඉපදීමට හේතුව, එම කර්මය කර්මඵලයන් විඳීම වළක්‌වන්න අපිට බැහැ. ඔබ නිර්මාංශව සිටිමින් ඉන් ලබන ශක්‌තිය, තන්හාව මාන්නය සහ දිට්‌ඨ§යට හීන කිරීමට ඉඩනොදී ධර්ම මාර්ගයේ පෙරට යන්න. මෙයින් අදහස්‌ වෙන්නේ නැහැ, මස්‌ මාංශ අනුභව කරන අයට ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න බැහැය කියලා. මස්‌ මාංශවලට ඇලුන කෙනෙකුට වඩා, වේගවත් ගමනක්‌ දෘෂ්ටිගත නොවූ නිර්මාංශ කෙනෙකුට ධර්ම මාර්ගයේ තිබෙනවා. ඒ වගේ ම දෘෂ්ටිගත නිර්මාංශ පුද්ගලයෙකුට වඩා, මස්‌ මාංශ අනුභව කරන මධ්‍යස්‌ථ පුද්ගලයෙකුගේ ධර්ම මාර්ගයේ ගමන වේගවත් වෙන්න පුළුවන්. මෙය බලපාන්නේ පුද්ගලයාගේ ඇලීමේ ගැටීමේ ස්‌වභාවය මතයි.

පිංවත් ඔබ වැරදි අර්ථකථන ගන්න එපා. මස්‌ මාංශ කෑමත්, නොකෑමත්, ධර්මාවබෝaධය ලැබීමත් අතර සම්බන්ධයක්‌ තිබෙනවා කියලා. භික්‍ෂුව මේ සටහන පුරාවට කියන්න උත්සහ කළේ, සෝවාන් මාර්ගය තුළ ගමන් කරන පිංවතුන් අහිංසක සතුන් කෙරෙහි මෙන්ම, මස්‌ මාංශ අනුභව කරන මනුෂ්‍යයන් කෙරෙහිත් මෛත්‍රිය කරුණාව පෙරදැරි කරගෙන කටයුතු කළහොත්, ඔබේ ධර්ම මාර්ගයේ ගමන ඉක්‌මන් වන බව පමණයි.

පිංවත් ඔබ මස්‌ මාංශ අතහැරීම තුළින්, ඊට වඩා ශක්‌තිමත් යමක්‌ අල්ලාගන්නේ නම්, මස්‌ මාංශ සම්බන්ධයෙන් කළ ඒ අතහැරීම දුක පිණිසම හේතුවන්නේය. භික්‍ෂුව මෙහිදී පැහැදිලි කරන්නේ මස්‌ මාංශ කැපද, අකැපද කියන කාරණය නොවේ. භික්‍ෂුවට මේ සම්බන්ධව මතයක්‌ නැහැ. මතයක්‌ කියන්නේ දෘෂ්ටියක්‌. සියල්ල අනිත්‍යවූ ලෝකයේ එක මතයක ඉන්න කාටවත්ම බැහැ. අපි යමක්‌ දැඩිව අල්ලාගත්තානම් එතැන තියෙන්නේ අවිද්‍යාවයි. 

භික්‍ෂුවගේ පාත්‍රයට කුමන තරාතිරමේ දායකයෙක්‌, ආහාරයක්‌ පූජා කළත් එය මස්‌, මාලු, එළවළු, බත් වශයෙන් භික්‍ෂුව වර්ග කරන්නෙ නැහැ. එය භික්‍ෂුවගේ කය පවත්වාගැනීමට ලැබුණු ආහාරයක්‌ වශයෙනුයි භික්‍ෂුව දකින්නේ. භික්‍ෂුව අවබෝධයෙන් දකිනවා කුමන ආහාරයක්‌ වුවත් අයිති වමනයට, රුධිරයට බව. ආහාරයත්, වමනයත්, රුධිරයත් අයිති සතර මහා ධාතූන්ට බව. ඕනෑම පිංවතෙක්‌ ධර්මාවබෝධයෙන් පෙරට යනකොට, ඔබ ලබන අවබෝධය තුළින්ම ඔබට මේ ස්‌වභාවයන් පසක්‌කොට දේවී. නිරවුල්කර දේවි. ධර්ම මාර්ගය උත්සහවන්තව වඩා, ඔබ සතර අපායෙන් මිදුන අවස්‌ථාවක, ඔබේ වැඩෙන ප්‍රඥාව විසින්ම මේ ප්‍රශ්නය ඔබට විසඳලා දේවි. ඒ පිළිබඳව අමුතුවෙන් ආයාසයක්‌ ගැනීමට, අනුන්ගේ උපදෙස්‌ ගැනීමට ඔබට අවශ්‍ය නැහැ. නමුත් ඉන් මෙහා මේ ප්‍රශ්නය ඇතිවීම සාධාරණයි. මන්ද මෙවැනි ප්‍රශ්න මෛත්‍රියේ, කරුණාවේ, ශීලයේ වේශයෙන් ඔබ ඉදිරියට එන, ඔබව සතර අපායෙන් මිදීම වලක්‌වන, පමාකරන මාර බලවේග හෙයිනි. ඔබගේ ජීවිතය මෛත්‍රිය කරුණාවෙන් ශිලයෙන් ශක්‌තිමත් නම් ඔබ නිර්මාංශවීම හේතුවෙන් ඔබගේ අදහසට විරුද්ධ අය සමග ගැටීමේ ස්‌වභාවයට ඔබ යන්නේ නැහැ. එහෙම කළොත් එතැන මෛත්‍රියක්‌ නැහැ. තිරිසන් යෝනියේ ඉපදෙන සතෙක්‌ ඔබ මරණයෙන් බේරුවා කියලා, එම සතාගේ කර්ම විපාකයන්ගෙන් බේරාගන්න ඔබට බැහැ. 

මෙසේ ඔබ ඔබේ අදහස දිනවීමට, සීමාව ඉක්‌මවා දෘෂ්ටිගත වුණොත්, ඔබ මස්‌ මාලු බිත්තර කෑමෙන් වැලකුණත්, ඵස්‌ස ආහාර, මනෝ සංෙච්තනා ආහාර, විඤ්ඤාණ ආහාර කියන තුන් ආකාරය ආහාර බුදින අයෙක්‌ බවට පත්වුවහොත්, ඔබට ලෙහෙසියෙන් පහසුවෙන් පෙරට යා හැකිව ඇති මේ ධර්ම මාර්ගයේ ඔබ ආපස්‌සටමයි ගමන් කරන්නේ. ඔබ කැමති මස්‌ මාංශ අනුභවයට ද, නිර්මාංශව සිටීමටද, ඔබ ඔබේ ස්‌වභාවයෙන් සිටින්න. ලද දෙයින් සතුටුවන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


මස්‌ මාළුවල නොවෙයි  කෙළෙස්‌වල පිළි ගඳෙන් මිදෙන්න...
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
(මස්‌ මාංශ අනුභවය - 2)

'සතර අපායෙන් මිදෙමු' - 68 කොටස

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලවකවානුවේදී මෙන්, සම්බුදු බණ පදයක්‌ අසා, ධර්මය දැකීමේ, අවබෝධකරගැනීමේ ස්‌වභාවයට පත්වීමට සමත්, පිනක්‌ සහිත පිංවතුන් වර්තමානයේ විරළය. එහෙයින් නිවීමේ මග පෙරට යා යුත්තේ මෛත්‍රිය, කරුණාව, ජීවිතය තුළ වඩවාගෙන, ඒ තුළින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය , ශීලය වඩමින් උත්සහයෙන්ම වීම ඒකාන්තය. 

ඒ වීර්යයයෙන් යන ගමනේ ඔබට යම් සන්ධිස්‌ථානයකදී මස්‌ මාංශද, නිර්මාංශද යන්න නොව ඉහත ස්‌වභාවයන් දෙකටම ඇලීමෙන්, ගැටීමෙන්, උපේක්‍ෂාවෙන් මිදී මස්‌මාංශ සහිත රූපයෙන් සදහටම මිදී, ඉපදීම නිරුද්ධ කරගැනීම එකම අරමුණ විය යුතු යෑයි ඔබ දකිනවා ඇත. එය කළ හැක්‌කේ ඉහත තුන් ආකාරයේ බැඳීම, මස්‌ මාළු කෙරෙහි නැතිකරගත්දාකමය. එතෙක්‌ කුකුලෙක්‌, හරකෙක්‌, ඌරෙක්‌, එළුවෙක්‌, මාළුවෙක්‌ වෙනුවෙන් සටන් කරන ඔබ, එම සතුන්ගේ නිදහස කැමති වුවද, ඔබ මරණින් පසු තිරිසන් යෝනියේ ඉපදීමේ ස්‌වභාවයෙන් තවම මිදී නොමැති බව මෙනෙහි කළ යුතුය.

තිරිසන් ලෝකයේ ඕනෑම සතෙකු එම ස්‌වභාවයේ උපතක්‌ ලබන්නේ, එම සතුන් පෙර මනුෂ්‍ය ආත්මභාවවල ඉපද කරගන්නා ලද අනන්ත අප්‍රමාණ සත්ව ඝාතන නිසාමය. මසට මැරෙන තිරිසන් සතෙක්‌ යනු පෙර භවයක පානාතිපාතා වේරමණී ශික්‍ෂාපදය දැඩි ලෙස කැඩූ මනුෂ්‍යයින්මය. මස්‌ මාංශයෙන් වැලකීම මගින් එවැනි කර්ම විපාකයනගෙන් එම සතුන්ව ගලවාගැනීමට ඔබට හැකියෑයි ඔබ සිතනවානම් එය මුලාවකි.

ගවයෙක්‌, එළදෙනක්‌ උදාහරණයකට ගන්න. පිංවත් ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් කරුණාවෙන් මස්‌ මඩුවට ගිහින්, එම සතා නිදහස්‌ කරගෙන ඇවිත් වත්තකට නැත්නම් ගව රැලකට දානවා. ඒ මොහොතේ පටන් ඒ සතා මොකද කරන්නේ. තම වර්ගයා බෝකරනවා. ඒ කියන්නේ මුලාවූ ලෝකයට දුක පැටව් ගසනවා. පිංවත් ඔබ ඔය නිදහස්‌ කළේ තව තව මරණයට පැටවු නිපදවන්නෙක්‌. ඔවුන් නිපදවයි. ඔබට තිබෙන්නේ නිදහස්‌ කිරීමය. මේ පරස්‌පරයට තමයි අපි මෝහය කියන්නේ. අපිම සංවර්ධනයට දායක වෙමින් අපම සීමාකරනවා. මෝහයෙන් මිදුනු දිනක තමයි ඔබට මේ ධර්මතාවය වැටහෙන්නේ. 

පිංවත් ඔබට, සතා නිදහස්‌ කළ පින ලැබෙනවා. ඔබ තුළ මෛත්‍රිය කරුණාව වැඩෙනවා. එය නැතෙයි කියලා භික්‍ෂුව කියන්නේ නැහැ. සමහරවිට ඔබ ඔබේ අපලයකටය කියලා වෙන්න පුළුවන් සතුන් නිදහස්‌ කරන්න ඇත්තේ. නමුත් තිරිසන් සතෙකුට, මනුෂ්‍යයෙකුව අපලයෙන් මුදවා දීර්ඝායුෂ දෙන්න බැහැ. මෙතැනදී ඔබව අපලයෙන් මුදවන්නේ තිරිසන් සතා නෙවෙයි. එම ක්‍රියාව නිසා ඔබ තුළ ඇතිකරගන්නා කුසල් සිතයි. එම ශක්‌තිමත් කුසල් සිත නිසා අකුසල් කර්මයන් යටපත් වෙනවා. බලන්න, පිංවත් ඔබ තුළින්ම එම කුසල් සිත මතුකර ගැනීමටත්, ඔබට තිරිසන් සත්ත්ව සංඥාවක්‌ ඊට හවුල්කරගන්න අවශ්‍ය වුණා. භික්‍ෂුව මේ කරුණු ඔබට දක්‌වන්නේ, පිංවත් ඔබට මේ තිරිසන් සත්ත්ව සංඥාවලින් ඉවත් වෙන්න කියලයි. සැබැවින්ම ඔබ විසින් වැඩිය යුත්තේ දිව්‍ය බ්‍රහ්ම සංඥායි.

පිංවත් ඔබ අහිංසක තිරිසන් සතුන් මරණින් මුදාගන්න. එවැනි පිංකම් වලින් වලකින්න කියා කියනවා නොවේ. නමුත් වඩා වැදගත් වෙන්නේ ලැබූ මේ බුද්ධෝත්පාද කාලයේ, තමා සිරගතව සිටියදී, අනුන්ව නිදහස්‌ කිරීමට යැම නොවේ. තමා සතර අපායෙන් නිදහස්‌ වීමට වෙරදැරීමයි. ඊට අවශ්‍ය ශක්‌තිය සැඟවී ඇත්තේ තිරිසන් සතා තුළ නොව, ඔබ තුළමය.

ප්‍රමාදීභාවයකට පත්වී අපි තිරිසන් යෝනියක, උපතකට වැටුනොත්, අපිව නිදහස්‌ කරගැනීමට කිසිවෙක්‌ නොමැත. ඒ දුක අපම විඳිය යුතුය. 

ඉහතින් සඳහන් කළේ හරක්‌ එළුවෝ ගැන. ඔබ මාළු ගැන සිතන්න. පිටකොටුව තොග මාළු වෙළඳපොලට යන්න. දස දහස්‌ ගණනින්, ලක්‍ෂ ගණනින් මියගිය මාළුවෝ ඔබට දකින්නට පුළුවන්. පොඩි මාළු අසුවෙන කාලවලදී, දැල් වලට දස දහස්‌ ගණනිනුයි මාළු අහුවෙලා මියයන්නේ. මේ වගේ මාළු තොග ප්‍රමාණයෙන් දකිනකොට මිනිස්‌සුන්ට සිතෙනවද 'මේ මොන අපරාධයක්‌ද?' කියලා. එහෙම සිතෙන්නේ නැහැ. 'මේ මාළුවාත් පෙර ආත්මයක මනුෂ්‍යයෙක්‌, දැන් මේ තිරිසන් යෝනියේ ඉපදිලා' කියලා හැඟීමක්‌ ඇතිවෙන්නේ නැහැ. ඒ මාළුවන්ගේ කර්ම විපාකයයි. ඔවුන් දස දහස්‌ ගණනින් මුහුද මතුපිටට මතුවී එන්නේ මැරෙන්නමය. ඔවුන්ගේ ආයුෂ එපමණය. මේ මාළු යෝනියේ මසුන් පෙර ජීවිතවල කළ කර්ම විපාකයන්ය. හේතුඵල ධර්මයන්ය. හාල්මැස්‌සාගේ පටන් සෑම මාළුවෙක්‌ම කුස පුරවාගන්නේ තමන්ට වඩා කුඩා මාළු සිය දහස්‌ගණනින් ගිල දමාය. ඔබ ඔය මරණයෙන් මුදවන්නට හදන මාළුවාද මාංශ භක්‍ෂකයෙකි. කිලෝ දහයක්‌ බරැති කෙලවල්ලෙක්‌ ඔය තැනට එන්න, කුඩා මාළු ලක්‍ෂ ගණනක්‌ ගිල දමන්න ඇත. ඒ කියන්නේ ප්‍රාණඝාත අකුසල් ලක්‍ෂ ගණනක්‌ ඒ සතා අතින් සිද්ධ වෙලා. අපි හිතමු ඉහත කෙළවල්ලා මුහුදෙන් අල්ලාගෙන පැමිණෙනකොටම නිර්මාංශ ඔබ එය දැකලා එම කෙළවල්ලා නැවත මුහුදට නිදහස්‌ කළා කියලා. ඒ නිදහස්‌ කළ මොහොතේ පටන්ම ඒ සතා කරන්නෙත් ප්‍රාණඝාතයමයි. කුඩා මාළුන් දහස්‌ ගණනින් ගිළ දමනවා. කුඩා මාළුන් එම කෙළවල්ලාගේ කුස තුළ මැරෙන්නේ ඒ ඔවුන්ගේ කර්ම විපාකය නිසයි. විපාක දීමට ඇති ස්‌වභාවය නිසා. මේකට තමයි ලෝකය කියන්නේ. ඉපදෙන, කැඩෙන බිඳෙන, විසිරෙන ස්‌වභාවය.... 

එක්‌ කෙළවල්ලෙකුගේ කුස තුළ දිනකට තවත් කුඩා මාළු ජීවිත දස දහස්‌ ගණනක්‌ කැඩිලා බිඳිලා විසිරිලා යන ප්‍රමාණයට වඩා, සිය ගුණයකින් එම කෙළවල්ලා නැවත නැවත බිත්තර මගින් පැටවු, වර්ගයා බෝකරනවා. මේ සතුන් සැබැවින්ම අකුසල් නිධි. දිනපතා ලියලන, දළුලන අකුසල් නිධි. මේ මරණ දුකට හේතුව තමාමය. ඒ දුක වෙනස්‌ කරන්න මනුෂ්‍ය අපට බැහැ. ලියලන අකුසල් නිධි නැමැති හේතුව තිබෙන තාක්‌කල්, මරණ දුක නැමැති ඵලය නියතය. අවිද්‍යාව විසින් අයෙක්‌ මාළු යෝනියට ඇද දමද්දී, අවිද්‍යාව විසින්ම තව අයෙක්‌ මාළුවා බේරාගැනීම උදෙසා මෙහෙයවයි. මේ දෙකටම හේතුව ඔබ අවිද්‍යාවෙන් නිදහස්‌ නොවීමයි. ඔබ කළ යුත්තේ සම්මා දිට්‌ටිය ඇතිකරගැනීම මිස, මාර ධර්මයන්ට රැවටී (සමාජයේ භාවිතා වන වචනයෙන්ම කියන්නේ නම්) මාරයාට 'කඩේ යැම' නොවේ. ඒ කියන්නේ ඔබට අයිති නොමැති සිතට රැවටී සතර අපායට නොයන්න කියලයි. 

ඔබට ඔබේ ස්‌වභාවයෙන් සිටීමට නොහැත. ඔබ සිටින්නේ අවිද්‍යාසහගත සිතේ ස්‌වභාවයටය. මන්ද සිත ඔබේ ක්‍රියාකරුවාය. ඔබ ඔබේ ස්‌වභාවයට සිටිනවා යනු, ඔබ අවිද්‍යාසහගත සිතේ ස්‌වභාවයේ සිටීමයි. ඔබ වීර්යය කළ යුත්තේ ධර්මයේ ස්‌වභාවයට පැමිණීමටය. එවිට සිතද ධර්මයේ ස්‌වභාවයට පැමිණෙනු ඇත. මේ තැනට පැමිණෙන තාක්‌ ඔබව ඔය අවිද්‍යාසහගත සිත නොයෙක්‌ ජනප්‍රිය දෘෂ්ඨීන් වල සිරකරුවෙක්‌ කරනු ඇත. එහෙයින් මස්‌, මාළු, බිත්තර, කරවල කැබැල්ලකට ඇලීමෙන්, ගැටීමෙන්, උපේක්‍ෂාවෙන් ඔබ රකින උතුම් ශීලය, සමාධිය, තන්හාවෙන් මාන්නයෙන් දිට්‌ටියෙන් කිළිටි කිරීමට මාරයාට ඉඩ නොදෙන්න.

භික්‍ෂුව ඉහත සටහන සවස්‌වරුවේ ලියන විට භික්‍ෂුවට පෙනෙනවා, කුටිය අසළින් රතු පැහැ එළදෙනක්‌ කැලය තුළට යනවා. ඇය යන්නෙ බොහොම අමාරුවෙන්. කකුලක්‌ කොරගසමින්. සමහරවිට වාහනයක ගැටිලා වෙන්න පුළුවන්. ඇය හොඳටම කෙට්‌ටු වෙලා. ආහාර නොලැබීමෙන් වෙන්න ඇති. ඇය පසුපසින් සති දෙකක්‌ පමණ වයසැති සුරුබුහුටි වසු පැටවෙක්‌ ගමන් කරනවා. ඒ ඇයගේ පැටවා. කොර ගසමින් යන මව් වැස්‌සිය පසුපසින් පැටවාද සතුටින් යනවා. මවගේ වේදනාව එයාට දැනෙන්නේ නැහැ. මව් වැස්‌සිය පැටවාත් අරගෙන මහා අවදානම් ගමනක්‌ යන්නේ. ඇයට තේරුමක්‌ නැහැ රාත්‍රී අඳුර වැටෙනවිට පැටවාත් සමග කැලයට යැම නුසුදුසුයි කියලා. නපුරු සතෙකුට ගොදුරුවෙන්න පුළුවන් කියලා. මව් වැස්‌සිය රෝගී තත්ත්වය වැඩිවී කැලයේ අතරමං වේවිය කියලා. මේවා ගැන කිසිම හැඟීමක්‌ මව් වැස්‌සියට නැහැ. පැටවා සමග කැලය තුළට ගියා. මව් වැස්‌සියගේ අනවබෝධය නිසා දෙදෙනාගේම විනාශය කැලය තුළදී සිද්ධවෙන්න පුළුවන්. පැටවාට කරන්න දෙයක්‌ නැහැ. එයා මව් උණුසුමට, මව් කිරට ඇති ජන්දරාගය නිසා, අවදනම කරා කැමැත්තෙන් ගමන් කරනවා. 

මේ සිද්ධිය අපටත් හොඳ පාඩමක්‌. අප හැම විටම අනුගමනය කළ යුත්තේ, ආදර්ශයට ගත යුත්තේ අපව සතර අපායේ අවදානම කරා රැගෙන යන පෙරගමන්කරුවෙක්‌ නොවේ. නිවැරදි මාර්ගයට අපව මෙහෙයවන කළ්‍යාණ මිත්‍රයෙක්‌මය. ඒ කළ්‍යාණ මිත්‍රයා අන් කව්රුවත් නොව ලොව්තුරා බුදුරජාණන් වහන්සේමය. උන්වහන්සේ අපට වදාළේ පිළී ගඳ ඇත්තේ මස්‌ මාංශ වල නොව, ශීලයක්‌ නොරකින, සමාධියක්‌ නොවඩන මනුෂ්‍යයා තුළ ඇති කෙළෙස්‌වල බවයි. ඔබ මස්‌ මාංශ අනුභව නොකොට සිටියද, ඔබේ සිත කෙළෙස්‌ වලින් බරිතනම්, සැබැවින්ම ඔබ තුළ පිළීගඳ ඇත. ඔබ මස්‌ මාංශ අනුභව කළද සිත කෙළෙස්‌ වලින් පිරිසිදු කිරීමට වෙහෙස වන්නේ නම් ඒ ඔබ වෙහෙසවන්නේ පිළී ගඳට එරෙහිවය. 

මාළු යනු මාළුය. මස්‌ යනු මස්‌ය. බිත්තර යනු බිත්තරය. මේවා රස අනුව, ගුණ අනුව, වර්ගය, හැඩරුව, ප්‍රමාණය, පිං පව් අනුව වර්ග කරන්නේ ඔබේ සිතමය. මේ විෂයන් පිළිබඳව ඔබව සංකීර්ණභාවයට පත්කරන්නේ ඔබගේ සිතය. මේ සංකීර්ණභාවය නිසාම, නොයෙක්‌ දෘෂ්ඨි මතවාදවල ඔබ සිරකරුවෙක්‌ වෙයි. ඉහත සිරකාර බවින් ඔබ නිදහස්‌වීමට නම් අවිද්‍යාසහගත සිත ඔබ අවබෝධ කරගත යුතුය. 

ඉන්ද්‍රජිත් සුබසිංහ

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
මස්‌ මාංශ අනුභව කරන කුස සුසානයක්‌ නම්....
(මස්‌ මාංශ අනුභවය - 3)
'සතර අපායෙන් මිදෙමු' - 69 කොටස


පිංවත් ඔබ මෙහෙම හිතන්න. මෙය සටහන් කරන භික්‍ෂුව දන් වළඳනවා. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙනවා පිසින ලද මාළු කැබැල්ලක්‌. දායක මහත්මයෙක්‌ මේ මාළු කෑල්ල දැක භික්‍ෂුවට කියනවා 'හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක්‌ නේද?' කියලා. මෙන්න මේ ගැටලුවට භික්‍ෂුව දකින පිළිතුර ධර්මයට අනුව මෙහි සඳහන් කරනවා.

භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන පිසින ලද මාළුවා, මේ මොහොතේ කොහේ හරි උපත ලබායි තිබෙන්නේ. සමහර විටෙක මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, එසේත් නැතිනම් නැවත මාළුවෙක්‌ වෙලාද ඉපදිලා ඉන්න පුළුවන්. එය ධර්මතාවයක්‌. භික්‍ෂුව දකින්නේ පාත්‍රය තුළ තිබෙන්නේ සතර මහා ධාතූන්ගෙන් සැදුන මාළු නැමැති සංයුතියෙන් හැඳින්වෙන රූපයක්‌ පමණයි. භික්‍ෂුව පරිප්පු, පොළොස්‌, මැල්ලුම් දකින්නේ යම්සේද මාළු කැබැල්ලත් භික්‍ෂුව දකින්නේ එම අර්ථයෙන්මය. 

පිංවත් ඔබ මාළු කැබැල්ල තුළ මාළුවෙක්‌ දකිනවා නම්, මස්‌ කැබැල්ල තුළ කුකුලෙක්‌ දකිනවා නම් එය දැඩි ආත්මීය දෘෂ්ඨියකි. අපි මේ ධර්ම මාර්ගයේ වීර්යයෙන් ගමන් කරන්නේ තමා තුළත් සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැහැය කියන කාරණය අවබෝධයෙන් හේතුඵල ධර්මයන්ට අනුව දැකීමටය.

එමනිසා භවයේ කොතැනක හෝ නැවත උපත ලබා ජීවත්වන සත්ත්වයකුගේ, අතීත රූපය මගේ කොටගෙන දෘෂ්ඨි කාන්තාරවල අතරමං වීම ඔබ නැවත නැවත උනන්දුවෙන් මෙනෙහි කළ යුතු කරුණකි. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන මාළුවා කව්රුන් හෝ ධීවර මහතෙක්‌ විසින් මරන ලද මාළුවෙකි. එම මාළුව මරපු අයට එම සත්ව ඝාතන, සත්ව හිංසා අකුසලය අනිවාර්යයෙන්ම විපාක දෙනු ඇත. ඔය ආකාරයට සත්තු මරන අයමයි නැවත එය මාළු වෙලා උපදින්නේ. පිංවත් ඔබ ඔය නොදැනුවත් කම නිසා පෙනී සිටින්නේ, පෙර ජීවිතයේ මාළු මරලා එහි කර්ම විපාකයෙන් මේ ජීවිතයේ මාළුවෙක්‌ව ඉපදුනු සතෙක්‌ වෙනුවෙන්. ඒ විදිහට මැරුම්කන්නයි ඒ සතා මාළුවෙක්‌ව ඉපදෙන්නේ. එම සතා දැළට හසු නොවුනා නම්, ලොකු මාළුවෙක්‌ට අසුවෙලා, ගොදුරුවෙලා ජීවිතය පූජා කරාවී. සත්ත්වයාගේ කුසල් පාලනය කරන්න ඔබට මට බැහැ. ඒවා ධර්මතාවයන්. හෙට පටන් රජය නීතියක්‌ පනවලා මුහුදු තීරයේ මාළු ඇල්ලීම තහනම් කළොත් මුහුදේ මාළු ගහනය ශීඝ්‍රයෙන් වැඩිවේවි. තෝරු, මෝරු, තල්මසුන් වැනි විශාල මාළු සුවසේ සැපසේ පහසුවෙන් එම මාළු ගොදුරු කරගනීවි. පිංවත් ඔබ මාළු නොඇල්ලුවත්, පෙර කර්මය නිසා ආයුෂ අහවර වුණු මාළුවා, තව සතෙක්‌ට ගොදුරු වී මියයාවී.

පිංවත් ඔබට ඉන් පසුව සිදුවන්නේ තෝරු,මෝරු, තල්මසුන්ට නිර්මාංශ වීමට කියා බලකිරීමටයි. එය කළ හැකිද නොහැකිද යන්න පිංවත් ඔබම තීරණය කරන්න. භික්‍ෂුව සමග විරසක වෙන්න එපා. මම අතීත අකුසල් සංස්‌කාර හේතුවෙන් තව මොහොතකින් මාවත් කව්රුහරි මරාදමන්න පුළුවන්. එම නිසා ඉහත අදහසට පිංවත් ඔබ එකඟ නැතිනම්, එම අදහස අත්හැර දමන්න.

පිංවත් ඔබට නැවතත් මතක්‌ කරමි. ඔබ කැමතිනම් නිර්මාංශව ජීවත් වෙන්න. කැමතිනම් මස්‌ මාංශ අනුභව කරන්න. ඔබේ කැමැත්තට පටහැනි අයව විවේචනය කරන්න යන්න එපා. එසේ කොට අකුසල් රැස්‌කරගන්න එපා. 

පිංවතුන්ලාගේ ඉන්ද්‍රීය ධර්මයන්ගේ වැඩීමේ ස්‌වභාවය විවිධයි. ඒ නිසා දෘෂ්ඨි, මතවාද, පරස්‌පර අදහස්‌ ඇතිවීම ධර්මතාවයක්‌. එහෙම නොවුනොත් තමයි පුදුමය. මතවාද දෘෂ්ඨි වලින් ගහන ලෝකයේ පිංවත් ඔබ ධර්මයේ විවෘත ස්‌වභාවයට එන්න. ආත්මීය ස්‌වභාවයෙන් බැහැරව පටිච්ඡ සමුප්පන්නව ලෝකය දකින්න. දැලට හසුවී මැරෙන මාළුවා මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌..... එසේත් නැතිනම් නැවත තිsරිසන් ලෝකයේම උපත ලබනවා. ඒ මාළුවාගේ අතීත රූපය බදාගෙන අපි සන්ඩුවෙනවා. 

ඊළඟ කාරණය තමයි, මස්‌ මාළු අනුභව කරන අයගේ කුස සුසාන භූමියක්‌ය කියලා නගන චෝදනවා. ඒ කියන්නේ පිංවතුනේ නිර්මාංශව ජීවත්වෙන පිංවතුන්ලාගේ කුස, සුවඳ දුම් සුගන්ධය වහනය වන රත්තරං ගුහාවක්‌ද? මස්‌ මාළු කෑවත් නොකෑවත් පිංවතුනේ මේ කුස සුසාන භූමියක්‌ම තමයි. නිර්මාංශ පිංවතාගේ කුසත් ලේ, සැරව, මේදය, වමනය, අසූචි, මුත්‍ර බොකු බඩවැල් වලින්මයි පිරිලා තිබෙන්නේ. නිර්මාංශ පිංවතුන් ඔබ සිතනවා නම් ඔබගේ කුස සුසාන භූමියක්‌ නොවේය, එය රත්තරං ගුහාවක්‌ය කියලා පිංවත් ඔබලාට කවදානම් සතර සතිපට්‌ඨාන ධර්මයක්‌, අසුභයක්‌ පිළිබඳ දැනීමක්‌ සකස්‌වෙන්නද? මන්ද ඔබ සුබ සංඥාවෙන්මයි මේ ජීවිතය දකින්නේ. මේ කය දකින්නේ. මගේ ශරීරය පිරිසිදුයි කියන නිත්‍ය සංඥාවමයි ඔබට වැඩෙන්නේ. අකුසල් සංස්‌කාර හේතුවෙන් මියයන සත්වයෙක්‌ නිසා, පිංවත් ඔබ අහිමි කරගන්නා වූ ශාසනයේ අර්ථය මොන තරම් විශාලද. 

ලොව්තුරා බුදු සමිඳුන් දේශනා කළ ධර්මය ඉක්‌මවා යන්න එපා. එසේ වුවහොත් නිර්මාංශ වුවද, මස්‌ මාළු වලට කෑදර වුවද එය ප්‍රමාදයක්‌මය. නිර්මාංශ වීම තුළත්, මස්‌ මාළු අනුභවය තුළත් නිත්‍ය සැප ආත්මීය වශයෙන් දෘෂ්ඨිගත වෙන්න එපා. 

කෙනෙක්‌ මාස්‌ මාළු කනවා ශරීරය නිරෝගී, ශක්‌තිමත් කරගන්න. තව කෙනෙක්‌ නිර්මාංශ වෙනවා ශරිරය නිරෝගී, ශක්‌තිමත් කරගන්න. මේ කාරණා දෙකේදීම ඔබ තුල වැඩෙන්නේ ආත්මීය දෘෂ්ඨියක්‌. මේ සා ශ්‍රේෂ්ඨ බුදුදහමක්‌ අභියස දෘෂ්ඨි කාන්තාරවල අතරමං වෙන්න එපා. පිංවත් ඔබ කල්ප සියක්‌කෝටි ගණනාවක සිට, මස්‌ මාංශ අනුභව කරලා ඇති. සිංහයෝ, කොටි, කිඹුල්ලු, මාළු වෙලා අනුන්ගේ මස්‌ අපි කොච්චර කන්න ඇතිද? ඔබේ මස්‌ අනුන් කොච්චර කන්න ඇතිද? මස්‌ මාංශ නිසා දෘෂ්ඨිගත වෙලා කොච්චර සතර අපායන්ට වැටෙන්න ඇතිද? බත්, පරිප්පු, පොළොස්‌, මැල්ලුම්, තණකොළ මොන තරම් කන්දරාවක්‌ අතීතයේ අපි කන්න ඇතිද?

ඒත් අපි දෙගොල්ලන්ටම තවම සුගතියක්‌ නම් වෙලා නැහැ. මැරෙන ලෙඩවෙන නැවත ඉපදෙන ස්‌වභාවයෙන්මයි සිටින්නේ. කෙනෙක්‌ මස්‌ මාංශ වලට කැමතියි. තව කෙනෙක්‌ මස්‌ මාංශ වලට අකමැතියි. කැමැත්තත් , අකමැත්තත් විඳීම කියන ධර්මතාවයේ කාසියේ දෙපැත්ත වගේ. මේ දෙපැත්ත තුළින්ම ඔබ අල්ලාගන්නේ සංස්‌කාරමයි. සංස්‌කාර ඔබව රැගෙන යන්නේ භවයටමයි. මාළු කැබැල්ලක්‌, පරිප්පු හොද්දක්‌ කරන විකාරයක හැටි බලන්නකෝ. මනුෂ්‍යයාව ඇද දමන මුලාව දෙස බලන්නකෝ. එමනිසා මින්පසු මාළු කැබැල්ල දෙස, පරිප්පු ව්‍යංජනය දෙස නොව, ඒවා කෙරෙහි ඔබ තුළ සකස්‌වෙන තෘෂ්ණාව දෙස බලන්න. තෘෂ්ණාවමයි දුක සකස්‌ කරන්නේ. මේ ලැබුණු උතුම් ජීවිතයේදී ධර්මාවබෝධය, සම්මාදිට්‌ඨිය උදෙසා ගමන් කිරීමට අවශ්‍ය ජවය ශක්‌තිය ශරීරයට ලබාගැනීම උදෙසාම ආහාර අනුභව කරන්න. මාළු කැබැල්ල තුළ මාළුවෙක්‌ නොව, පරිප්පු ව්‍යංජනය තුළ පරිප්පු නොව, ඒවා අසූචියක්‌, වමනයක්‌, මුත්‍රා කෝප්පයක්‌, රුධිරය කෝප්පයක්‌ වශයෙන් දකින්න. ආහාරය කුමක්‌ වුවද එහි ඵලය ආයුෂ, වර්ණය, සැපය, බලය, අනිත්‍ය බව සිතමින්ම, දකිමින්ම ඒවා ආහාරයට ගන්න. නිත්‍ය සංඥා, සැප සංඥා, ආත්මීය සංඥා මාළු නිසා ඇතිවුවද, පරිප්පු නිසා ඇතිවුවද ඒවා පිළීගඳ ඇති කෙළෙස්‌ම බව දකින්න.


ඉන්ද්‍රජිත් සුබසිංහ


සදහම් සඟරා - Online