ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

පසු තැවීමෙන් තොර ජීවිතයකට මඟ

පානදුර දිබ්බැද්ද අමරමුණි විහාරවාසී 
රාජකීය පණ්ඩිත
ශාස්ත්‍රපති 
අයගම සුසීල හිමි

"අප ගෙවූ ජීවිතයේ බොහෝ වැරදීම් නිසා ඇතැම් විට අපට පාඩුවක් විඳීමට සිදුවුවත් එම වැරදුණු තැනින් ගොඩයාමට සහ නැවත එවැනි දේවල් සිදු නොවීමට එය අත් දැකීමක් බවට පත්කරගත හැකිය. ඒ සඳහා ස්ථානෝචිත ප්‍රඥාව , කාර්යක්ෂමභාවය සහ අත්හදාබැලීමේ අවශ්‍යතාව පෙරටත් වඩා සිත් තුළ ගොඩනඟා ගත යුතුය. එයින් අපට මහත් ලාභයක්ම අත්කර ගත හැකිවේ. එසේම සිතට බරක් වන දේවල් සිහිපත් කිරීමෙන් හා ප්‍රයෝජනයක් නොමැති අතීත අමිහිරි මතකයන් සිත් තුළ ඉස්මතුවීමේ ස්වභාවයද මහත් වීර්යයෙන් යටපත් කිරීමට උත්සාහ කළ යුතුය."
අප ලැබූ මිනිස් ජීවිතය සතුටින් සහ විනෝදයෙන් ගත කිරීමට අප තුළ ඇත්තේ මහත් ආශාවකි. එනිසා ගෙවී යන හැම මොහොතකම අපගේ සිත් තුළින් සතුට ගිලිහී නොයා රැක ගැනීමට වග බලා ගත යුතු වෙමු.
සතුට සහ පී‍්‍රතිය මිනිස් සිත් තුළ ඇතිවන්නේ එහි රඳා පවතින ප්‍රසන්න සිතිවිලි බලයෙනි. එනිසා සතුට රඳා පවත්වා ගැනීමට හැකිවන පරිදි සිත් තුළ ප්‍රසන්න සිතිවිලි තැන්පත් කරගත යුතුය. එසේ නොමැති වුවහොත් වින්දනීය ජීවිතය අපට අහිමි වනු ඇත. මිනිස් ජීවිතයක් ලැබු අප සැමගේ මානසික සුවදායි බව ගිලිහී යාමට ඉවහල් වන දුර්වල සිතිවිලිවලින් සිත නිදහස් කර ගැනීම සඳහාද අපි උත්සාහ කළ යුතු වෙමු. එසේ අපි අපේක්ෂා කරන සතුට සහ පී‍්‍රතිය ගිලිහී යාමට ඉවහල් වන මානසික තත්ත්වයන් අතරෙහි පසුතැවීම නම් චෛතසිකය කෙනෙකු බලගතු දුකකට ඇද දමන මානසික තත්වයක් බව හඳුනාගත හැකිය. අප විසින් අතීතයේදී වැරදී ගිය දේවල් සහ බලාපොරොත්තු කඩවීම් හා අනුන්ගෙන් සිදුවුණු අයුතු අසාධාරණකම් ගැනත් නිතර සිහිපත් කරමින් පසුතැවීමට පත්වීම එහි ස්වභාවයයි. තමාගෙන් ඉක්මගිය කාලයෙන් ගත යුතුව තිබූ ප්‍රයෝජනය සහ කළ යුතුව තිබූ බොහෝ දේවල්ද අත්හළ යුතු වැරදි පුරුදු සහ නොකළ යුතුව තිබූ දේවල්ද මනාව වටහා නොගැනීම හේතුවෙන් බොහෝ දෙනෙක් පසුතැවීමට ලක්වෙති. මෙනිසා පසුතැවිල්ලේ වියරුවෙන් මිදී සතුට සහනය ඇති සුවදායි මනසකින් ජීවිතය ඉදිරියට දියත් කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය කුමක්දැයි විධිමත්ව අවබෝධ කර ගැනීම ඉන් මිදීමට ඇති හොඳම මාර්ගයයි.
ඒ සඳහා පසුගිය වැරදි නැවත සිදු නොවන අයුරින් ක්‍රියා කිරීමත් සිදු වූ වැරදිවලින් පාඩම් ඉගෙන ඒවායෙහි ආදිනවය නුවණින් දැකීමත් මෙහිලා අත්‍යවශ්‍යය. වැරදුණු තැන් පිළිබඳව කල්පනා කරමින් පසුතැවීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. වැරදි සිදුවීම මිනිස් ජීවිතයක ස්වභාවයකි. පරිපූර්ණ කිසිවෙක් අප ජීවත්වන පෘථග්ජන ලෝකය තුළ දැකගත නොහැකිය. එනිසා වැරැද්ද වැරැද්ද ලෙසත් නිවැරැද්ද නිවැරැද්ද ලෙසත් හඳුනාගත යුතුය.
අප ගෙවූ ජීවිතයේ බොහෝ වැරදීම් නිසා ඇතැම් විට අපට පාඩුවක් විඳීමට සිදුවුවත් එම වැරදුණු තැනින් ගොඩයාමට සහ නැවත එවැනි දේවල් සිදු නොවීමට එය අත් දැකීමක් බවට පත්කරගත හැකිය. ඒ සඳහා ස්ථානෝචිත ප්‍රඥාව , කාර්යක්ෂමභාවය සහ අත්හදාබැලීමේ අවශ්‍යතාව පෙරටත් වඩා සිත් තුළ ගොඩනඟා ගත යුතුය. එයින් පිට මහත් ලාභයක්ම අත්කර ගත හැකිවේ. එසේම සිතට බරක් වන දේවල් සිහිපත් කිරීමෙන් හා ප්‍රයෝජනයක් නොමැති අතීත අමිහිරි මතකයන් සිත් තුළ ඉස්මතුවීමේ ස්වභාවයද මහත් වීර්යයෙන් යටපත් කිරීමට උත්සාහ කළ යුතුය.
අනවශ්‍ය වූ දේ පිළිබඳව සිත යොමු කිරීම හා ඒවා පිළිබඳව පසුතැවිලි සහගත සිතින් කටයුතු කිරීමෙන් අපට කිසිදු ලාභයක් නොලැබෙනු ඇත. සිත කරදරයට සහ අසහනයට ලක් කරන සිතිවිලි මොනවාදැයි පරීක්ෂාකර බලා ඒවායින් ඉවත්වීමට කටයුතු කිරීම සැනසිලිදායක ජීවිතයකට උපස්ථම්භක වේ. ධම්මපදයේ යමක වර්ගයට අයත් මුල් ගාථා යුගලයෙන් සිතේ සතුට, සහනය සහ කායික මානසික සුවදායිභාවය රැක ගැනීමට දේශිත වටිනා ඉගැන්වීම් දෙකක් හමුවේ. ඒ අනුව ප්‍රසන්න මනසකින් යුතුව යමෙක් ජීවිතය විඳින්නට අපේක්ෂා කරන්නේ නම් ඔහු හෝ ඇය සිතන සිතිවිලි කියන වදන් සහ ක්‍රියාවන් ප්‍රසන්නව පවත්වා ගැනීමට කටයුතු කළ යුතුය. එවිට ඔවුනට සැප සතුට සහ සහනය ළඟා කරගත හැකිය.
“මනසා චෙ පසන්නේන භාසතී වා කරෝතීවා 
තතො නං සුඛ මන් වේති”

එම ගාථා යුගලයෙහි දෙවන ගාථාවෙන් දූෂිත සිතිවිලි සහ වචන මෙන්ම ක්‍රියාවන්ද ඇති තැනැත්තා අසහනයෙන් සහ තැවීමෙන් දුකට පත් වන බව ද දක්වා ඇත. එබැවින් සතුට නම් වූ සුවදායි මානසිකත්වය යහපත් සිතිවිලි මත ගොඩනැඟී ඇති බව වටහාගත හැකිය. අප ගෙවමින් සිටින මේ මොහොතෙහිදී අප සිතන කියන හා කරන කටයුතුවලින් අපගේ අනාගත සුවදායිභාවය ගොඩනැඟෙන බව මැනවින් වටහාගත යුතුය.මේ මොහොතේදි අපගේ සිත් තුළ සතුට තෘප්තිය වෙනුවට ඇත්තේ පසුතැවීම් හා කනගාටුවීම් නම් අනාගත උරුමය ද එයම වනු නොඅනුමානය.
පන්සිය පනස් ජාතක පොතෙහි සඳහන් මහා ජන සන්ධ ජාතකයෙහිදී පුද්ගලයෙකුගේ ජීවිතය පසුතැවීමට ලක් කෙරෙන ධර්මෝපදේශ දහයක් දැක්වේ. ජනසන්ධානුශාසනය නම් වු එම කරුණු දහය මෙහිලා සාකච්ඡා කිරීම යෝග්‍ය බැවින් ඒ පිළිබඳව අප අවධානය යොමු කෙරේ.
1.කෙනෙකු තම තරුණ කාලයෙහි විවිධ වෙළෙදාම් සහ සේවා කටයුතුවල නිරතව තම තමන්ගේ දෛනික අවශ්‍යතා සඳහා ධනය උපයාගත යුතුය. එසේම උපයාගත් ධනයෙන් කොටසක් මහලු වී ගිය කාලයෙහි ප්‍රයෝජනය ගැනීම පිණිස ද ආරක්ෂා කර තබාගත යුතුය. ඒ අයුරින් යමෙක් ස්වකීය තරුණ කාලය ධනෝපාදන කි‍්‍රයාවලියකට යොමුනොකොට අලසව සිටියේ නම් සම්පත් සොයාගෙන එයින් සැපවත්ව ජීවත්වන්නවුන් දැක මහත් දුකකට සහ පසුතැවීමකට පත්වේ.
2.යම් කෙනෙක් බාල කාලයෙහි උගතයුතු ශිල්ප ශාස්ත්‍රාදියක් මැනවින් හදරා එයින් සැපසේ ජීවත් වේ නම් ශාස්ත්‍රානුගත්තා වූ අලස තැනැත්තා එසේ සැපවත්ව ජීවත්වන්නවුන් දෙස බලා අපිත් මැනවින් ශිල්ප ශාස්ත්‍රාදියක් පුරුදු පුහුණු කළේ නම් මොවුන් සේම සැපවත්ව ජීවත් විය හැකිවී තිබිණැයි මහත් පසුතැවීමකට පත්වන්නේය.
3.යම් කෙනෙක් තමාට බලය හැකියාව තිබියදී බොරුවෙන් හා කේලාම් කීමෙන් අනුන් රවටන්නේද උපායශීලිව අනුන් භේද කරන්නේද එසේම අල්ලස් ගැනීම් ආදියෙන් සෙසු ජනයා පීඩාවට පත් කරන්නේද එබඳු තද පරුෂ අයුරින් කටයුතු කළ අයද තමා කළ කී දෑ පිළිබඳව පසු තැවෙන්නේය.
4.යමෙක් සතුන් දඩයම් කිරීමෙන් සතුන් මස් පිණිස විකිණීමෙන් හා ඔවුන් අල්ලා ගැනීමට තුවක්කු බැඳීම් මළපුඩු යෙදීම් ආදිය කරන්නේද සතුන්ට වධ හිංසා පමුණුවා ඔවුන්ව ඝාතනය කරන්නේද එසේම තමාට අයිති නැති වස්තු සම්පත් පැහැර ගැනීම සඳහා ගෙවල් බිඳීම් මංපැහැරීම්වල යෙදෙන්නේද එබඳු අයද මහත් දුකකට පත්ව පසුතැවිලි වන්නේය.
5.යමෙක් ස්වකීය ස්ත්‍රිය සිටියදි පර අඹුවන් කරා යන්නේද එසේම තම බිරිඳට හා දරුවන්ට දිය යුතු සම්පත් හා ආදරය සෙනෙහස පරඹුවන් හා ඔවුන්ගේ දරුවන්ට ලබා දෙන්නේද එබඳු අයටද පසුතැවිලිවන්නට සිදුවේ.
6.යමෙක් තමාට ධනය හා හැකියාව තිබියදී මෙලොව හා පරලොව හිතසුව පිණිස ආගම ධර්මානුකූලව පිළිවෙත්හි නොයෙදී දන් පින් නොකොට ජීවත් වන්නේද එබඳු අයටද මහත් පසුතැවීමක් ඇතිවේ.
7. තවද යම් දරුවෙක් තමා හැදූ වැඩු මව සහ පියා ජීවත්ව සිටියදී කළ යුතු සත්කාර සම්මාන නොකොට එම යුතුකම පැහැර හරින්නේද එබඳු අයටද පසුතැවෙන්නට සිදුවේ.
8.එසේම යමෙකුට පූර්ව ආචාර්යවරයෙකු බඳු අනුශාසකයෙකු බඳු සියලු සම්පත් දී පෝෂණය කළ මවගේ හෝ පියාගේ වචනයට පිටු පා අන් අයගේ බස් අසා අකීකරු ගති පැවතුම් ඇතිව දෙමව්පියන්ට එරෙහි වූයේ නම් එයින්ද ඔවුනට පසු තැවෙන්නට සිදුවේ.
9. යම් කෙනෙක් උගත් සිල්වත් පැවිදි උතුමන් ගුරුවරුන් හෝ තමාට වඩා ගුණ යහපත්කම්වලින් හෙබි කවරෙකු හෝ ආශ්‍රය නොකොට නිර්දය ලෙස ඔවුන්ට බැණ වදින්නේ නම් එසේම නිසි ගරු බුහුමන් නොපවත්වන්නේ නම් ඔවුන්ට ද පසුතැවෙන්නට සිදුවේ.
10. එසේම යමෙක් සිල්වත් ගුණවත් අය වෙත ගොස් තම තමන්ගේ කටයුතු සඳහා නිසි උපදෙස් අනුශාසනා නොලබන්නේද අවවාද පිළිගැනීමට මැළිවන්නේද එබඳු අයද මෙලොවදීම පිරිහීමට පත්ව වන අතර මතු මහත් පසුතැවීම් වලින් දිවි කෙළවර කරන්නේය.
ඉහත සාකච්ඡා කරන ලද පුද්ගලයෙකුගේ මතු පසුතැවීම පිණිස හේතුවන දසවිධ ධර්මෝපදේශ හඳුනාගෙන කටයුතු කිරීම අභිවෘද්ධිය අපේක්ෂා කරන සෑම අයෙකුගේම වගකීමක් බව සිහිපත් කළ යුතුව ඇත. සතුටින් සහ සාමයෙන් ජීවත්වීමට බලාපොරොත්තු වන හැම දෙනෙක්ම අපගේ ජීවිතවලට පසුතැවීම් ගෙන දෙන අමිහිරි හා අනර්ථකාරි සිතුම් පැතුම් සහ චර්යාවන්ගෙන් ඉවත්විය යුතුමය. අප සියලු දෙන ලබාගෙන ඇති ජීවිතය නම් වු මෙම නෞකාව තැවීම් පෙළීම්වලින් මිදුණු සතුට හා පී‍්‍රතිය රැඳුණු ක්ෂේම භූමියක් වෙත දියත් කිරීමට මෙම ඉගැන්වීම් මහෝපකාරි වනු නොඅනුමානය. එබැවින් මෙම ක්‍රමවේදය අනුගමනය කොට අප ලබාගත් දුර්ලබ මිනිස් ජීවිතයට ආධ්‍යාත්මික වටිනාකමක් ලබාදීම සඳහා කටයුතු කිරීම බෞද්ධ ශ්‍රාවකයන් වූ අප සැමගේ යුතුකම හා වගකීම බව අවධාරණයෙන් සිහිපත් කළ යුතු වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මෙත් වැඩුමට පසුබිම

කර්මස්ථාන අතුරෙන් මෛත්‍රිය පොදු කමටහනක් ලෙස සඳහන් වුවද ප්‍රතිඵල ලැබුම අතින් එය මාර්ගඵල අවබෝධයට ද උපකාර කරගත හැකි භාවනාවකි. බොහෝ දෙනා වටහාගෙන ඇත්තේ සුපුරුදු වාග් මාලාව සිතින් කියවීමෙන් මෛත්‍රි කමටහන සපිරෙන බවකි. එහෙත් කරණීය මෙත්ත සූත්‍රයෙහි සඳහන් අන්දමට මෙත් වඩන්නා සපිරිය යුතු පිළිවෙත් සමූහයකි. නැතහොත් වැඩි දියුණු කරගතයුතු ගුණාංග රැසකි.
අටුවාවෙනුදු බැහැරව ධර්මධර වියතුන්ගේ අරුත් ගැන්වීම්ද මත සලකා තම හිතු මතේට පෙළ දහමට ඇතැම්හු අරුත් ගන්වති. මෙය නොවිය යුත්තකි. එහෙයින් අටුවාවත් වියත් වහරක් බැහැර නොකොට කරණීය මෙත්ත සූත්‍රයේ ප්‍රායෝගික වැදගත්කම ගැන යමක් දැන ගතිමු.
මෙත් සිත සුහද සිතකි. වෛරය , ක්‍රෝධය, ඉක්මන් කෝපය වැනි ගැටෙන සුළු සිතිවිලිවලට එහි ඉඩක් නොමැත. එහෙත් සමාජ ජීවිතයෙදි කෙනෙකුට සිත හදාගෙන මෙත් සිත දියුණු කර ගැනීම ලෙහෙසි කටයුත්තක් නොවේ. එවැනි වැරැදි සිදු වී තම සිත සන්සුන්බව දුරස්ථ වූ විට සිල්ගත්තට භාවනා කළාට හැමදේම ඉවසන්න පුළුවන්දැයි අසන්නේ ගැටුම්වලට සාහසිකව මුහුණදීමට අසමත් වූ විටයි. ගැටලු උග්‍රවීමට මූලිකම හේතුව දෙදෙනා අතර ගැටලු පිළිබඳ තත් වූ පරිදි වැටහීම නොමැතිකමයි. දෙදෙනාම තරගකාරිත්වයෙන් අගතිගාමිත්වයෙන් ගැටලුවට මුහුණදීමට යෑමෙන් ගැටලු උග්‍රවෙයි. සන්සුන් මනසින් සමාජ ගැටලුවලට මුහුණදීමට පුහුණුවත් කරණීය මෙත්ත සූත්‍රයේ පූර්වභාග ප්‍රතිපදාවෙන් කෙනෙකුට ලැබිය හැකිය.

මුලටම සඳහන් වන්නේ දක්ෂවීම ගැනයි. ලෝකෝත්තර සැපයට අවශ්‍ය පිළිවෙත් සපුරා ගැනීමට මෙන්ම ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය රැකියා වෘත්තීන්හි මෙන්ම සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමෙද දක්ෂයෙකු විය යුතුයි. මේ දෙවදෑරුම් ජීවිතයෙහි අදක්ෂයකු වීම මෙත් වැඩීමට බාධාවකි. බවුන් වඩන ඇතැම් යෝගීන්ගේ ආධ්‍යාත්මික ජීවිතය යම් තරමකට සාර්ථකවීමකට පුළුවන. එහෙත් සමාජ ජීවිතයේ සිදුවන දුබලතා හමුවේ දියුණු කරගත් මෛත්‍රිය වැඩි කලක් නොපවතිනු ඇත. එහෙයින් මේ අංශ දෙකම සමබරව දියුණු විය යුතුය.
සිත් අමනාපවීම, කළ කිරීම්, මෙන්ම සමාජමය වශයෙන් කොන්වීමට ද සිදු වනුයේ සෘජු ප්‍රතිපත්ති නොමැති වීමයි. කියන දෙය නොකරන වෙලාවට වැඩ නැති ස්ථීර වචන නැති අය නිසා සමාජයේ මොනතරම් ගැටුම් නිර්මාණය වේද, දවස පුරා මෙත් වඩා රැකියාව කරන තැනට හෝ නෑ හිතවතුන් අතරට යන කෙනෙකුට හමුවන්නේ මෛත්‍රිය ඉවසීම පුරුදු කරන අයම නොවේ. ඔවුන් බලාපොරොත්තු වන්නේ තම තමාගේ කටයුතු කරගැනීමේදීත් සමාජ සම්බන්ධතා පවත්වාගෙන යෑමේදීත් අවංක කාර්යශූර කියන දෙය කරන කරන දෙය කියන අයෙකි. නොඑසේ නම් නිර්මාණය වන්නේ ගැටුම්ය. ප්‍රතිඵලය ද කුමක්ද? මෛත්‍රිය යට වී සමාජය ගැන කළකිරීමයි. කරණීය මෙත්ත සූත්‍රයේ අනෙකුත් ගුණාංග ගැන විමසන විට ඒ තුළින් සුහද සමාජ පසුබිමක් නිර්මාණය වන අන්දම දැකිය හැකිය.
සක්කාය දිට්ඨියේදි දෘෂ්ටිමය වශයෙන් තුනීවන මමත්වය සපුරා නැති වන්නේ රහත් වීමෙනි. මමත්වයෙන් පිරි මානසිකත්වය රහත් වන තුරු අඩු වැඩි වශයෙන් අප කා තුළත් පවතියි.
ඔබේ යම් දුබලතාවයක් පෙන්වා දුන්විට එය පිළිගැනීමේ හැකියාව ඔබට තිබේද? එවන් වෙලාවක ඔබේ සිත තුළ පහළ වූ සිතිවිලි දෙස බලන්න, අවංකව එහි ස්වභාවය තෙරුම් ගන්න. බොහෝ විට ඒ සිතිවිලි ඔබගේ වරද පෙන්වූ පුද්ගලයා පිළිබ ඳ අමනාපයට තුඩුදුන් සිතිවිලි විය හැක.
ඔබේ දුබලතා පෙන්වා දුන්විට” බොහෝම පින් මගෙ වරද පෙන්වා දුන්නාට මං මීට පස්සෙ එවැනි දෙයින් වළකිනව“ යයි කීමට එඩිතරවන අය වෙතොත් කලාතුරකිනි. මතුපිටින් එවැනි යහපත් හැසිරීම් රටාවක් පෙන්වුවත් ඇතැම්විට ඇතුළතින් ගැටෙන සිතිවිලිවලට ඉඩදීමක් සිදුවිය හැක. එහෙයින් වරද අඩුපාඩුව පෙන්වා දුන් තැනැත්තා කුමන අදහසින් එය කළද ඔබ ඔහුගේ සිතද සතුටුවන සේ ක්‍රියාකරයි නම් ඔබ සිත දියුණු කළ අයෙකි. එහෙයින් නීතිගරුක සමාජයකට අවශ්‍යම ගුණාංගය සුවච බව මෙත් වඩන්නෙකු තුළ තිබිය යුතුමය.
ජනපි‍්‍රයත්වයට වචනය බෙහෙවින් බලපායි. අසන අයත් සතුටුවන කියන ඔබටත් සතුටුවිය හැකි වාග් මාලාව ඔබේ සන්සුන් සිත රැකගැනීමට මහත් උපකාරයකි. මහරතුන්ට පවා ඇතැම්විට සසර පුරුදු ඇබ්බැහිකම්වලින් මිදීමට නොහැකිව අනුන් සිත් පෙළමින් කථාබස් කළ අන්දම පිලින්දවච්ඡ මහ රහතන් වහන්සේගේ කථා පුවතින් හෙළිවේ. මෛත්‍රිය වඩන ඔබට වචන භාවිතය මෘදු අන්දමින් කළ හැකිවීම මහත් ලාභයකි. මෘදු වදනින් මුදු ක්‍රියාවෙන් මුදු සිතිවිල්ලෙන් යුතු ඔබට කොතැනත් විසිය හැක. කවුරුත් ඇසුරු කළ හැක. ඔබේ මෙත් සිතට පරිසරයෙන් වන හානියක් නැත.
ධනය, බලය, නිරෝගිබව, කුලය යන මේ කිනම් හේතුවක් නිසා වත් සෙසු අයගෙන් තුමු කැපී පෙන්නීමට ඉහළින් සිටීමට නොසිතිය යුතුයි. හෘදයාංගම ගෞරවය සැලකිල්ල කෙනෙකුට සමාජයෙන් ලැබිය හැකිනම් එය මතුපිටින් ලබන ගෞරව සැලකිල්ලට වඩා වටියි. දෝෂ දර්ශනයටත් පිළිකුලටත් යමෙක් සමාජය තුළින් භාජනය වුවහොත් ඔහුට සතුටින් පී‍්‍රතියෙන් තවදුරටත් ඒ සමාජය තුළ රැඳීමට ඉඩක් නොලැබේ.
මෛත්‍රිය මොනතරම් ඉහළින් ප්‍රගුණ කළත් සමාජයේ ගෞරවය සැලකිල්ල නොමැති වීමෙන් ඔහු තුළ සුව සහනය සපිරි මානසිකත්වයක් කෙසේනම් නිර්මාණයවේද, නිහතමානි ගුණෙන් පිරි අයෙකු තමා එක්ව ජීවිතය ගෙන යන අය අතරත් විශේෂිත පිරිස් හමුවේත් ලබන මානසික අස්වැසිල්ල මෙන් සිතට මොනතරම් පිටිවහලක්ද
සිත ඉල්ලන හැම දෙයම නොදිය හැකි වුවත් ඒ ගැන නොසිතීම සාමාන්‍ය සිතක ස්වභාවයයි. ඉල්ලූ දෙය පැතු පැතුම්, කැමැති දෙය නොලබන හැම තැන ඉතිරි වන්නේ අසහනයයි. අතෘප්තියයි. වෙහෙසයි. ගිලගන්නා බවයි. එහෙයින් “මේත් මට ඇතියි” හිතන හිතක් ඔබට ඇත්නම් ඔබ තුළ පී‍්‍රතියත්, සතුටත් ,සැපයත් රැඳෙනු ඇත. එයම සුවසේ නිදන සුවසේ පිබිදෙන සිතකට මහත් බලයක් වනු ඇත. පරම ධනය සතුට වුණත් එහෙම හිතන අය විරල සමාජයක මෙත් සිත් වැඩුමට සැරසෙන ඔබට ලැබෙන තරමින් සතුටුවිය හැකිනම් මොනතරම් වටිනවද?
භාවනා වඩන්නෙකුගෙ නිවහන, ගල්ලෙනයි, ආහාරය පාත්‍රයට ලද බත් පිඬයි. සයනය ගල්තලාව හෝ රුක්මුලයි. ඇඳුම වුණත් මූලික අපේක්ෂාව සපුරාලීමට මිස අලංකාරයට නොවේ. මෙසේ හදාගත් සිත කෑමට ලුණු ඇඹුල් නැතැයි කියමින් දෙස් දෙවොල් නොකියයි. නිදන තැන මාරුවුණ නිසා රෑ නින්දක් නැතැයි මැසිවිලි නොනගයි. සාප්පු සවාරියේ ඇඳුම් පැළඳුම් තෝරමින් හරියට ඇඳුමක් නැතැයි කියමින් බලාපොරොත්තු සුන්කර නොගනියි. දීල පුදල පිරිමහන්න බැරි තැන දෙන්නා තුළ මෙන්ම ලබන්නා තුළද සතුටක්, සොම්නසක් ඇති නොවේ. මෙත් සිතකට මෙහෙම සිතකින් සිදුවන පාඩුව මොනතරම්ද?
සිතක අසහනය ඇතිවීමට හේතුවන කරුණු අතර ප්‍රබල සාධකයක් ලෙස අවිවේකී බව සඳහන් කළ හැකිය. විවේකය අඩුවන්නේද වැඩකටයුතු බහුලවීමෙනි. රටේ ම තියෙන වැඩ කටයුතු ගොඩගහගෙන එයින් එකකුදු නිසි පරිදි ඉටු කර ගැනීමට නොහැකිව අවුල් හදාගන්නේ මානසික සංයමයක් නැති අයෙකි. තව විදිහයකින් කියතොත් දහම නිසි පරිදි නොදත් අයෙකි. වැඩ ගොඩගසාගෙන ප්‍රමාණය ඉක්වූ වෑයමක, උත්සාහයක යෙදෙන්නාගේ සිත තුළ නොසන්සුන්කමද(උද්ධච්චය) වැඩ අඩුකරගෙන අත්හැරීමෙන් සැලසීම ලැබෙතැයි තමාගේම කුසීත සිත රවටා ගැනීමෙන් කය සිත ගිලන් ප්‍රබෝධයෙන් තොර (ථීනමිද්ධ) තත්වයට පත් කර ගැනීමත් මනස හික්මවන අයෙකුට මහත් බාධාවකි. එහෙයින් තමාගේ හැකියාවට ගැළපෙන ලෙස කටයුතු කිරීමෙන් මනස නිරවුල්ව තබා ගත හැකිය.
අධික වියදම් සාඨෝප සාඩම්බර පැවැත්ම ඔවුනොවුන් අනුකරණයට යෑමෙන් හිතේ ඇති කරගත් පුහු සංකල්පනා, මේ සියල්ලේම ප්‍රතිඵලය ඔබේ ජීවිතය ඔබටම ලොකු බරක් කර ගැනීමයි. ආදායමට සම නොවන වියදමක් සකස් කරගෙන රටටද ණය වූවෙකුට ඉන් මිදීමට දැඟලීම මිස කළ හැකි මෛත්‍රී භාවනාවක් නැත. එහෙයින් පැවැත්ම සැහැල්ලු වු පමණට සිත , කය, දෙකේහිම සැහැල්ලු බව ඇති වේ. සැහැල්ලු සිතින් ඔබට සියලු දෙනාගෙ යහපතට කැමති විය හැක.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

උපාසකයෙකු සතු ලක්ෂණ

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් 
රාජමහා විහාරාධිපති 
මහාචාර්ය 
තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි

බෞද්ධයන් වශයෙන් අපේ භාවිතයේ දී නිතර යොදා ගන්නා වචනයක් වන්නේ උපාසක උපාසිකා යන්නයි. ගමේ පළාතේ වයසක කවුරු හෝ මිය ගිය විට පන්සලේ හාමුදුරුවොත් ගමේ රටේ කොයිකවුරුත් කියනවා අහවල් උපාසක මහත්මයා මිය ගියා.
අහවල් උපාසිකාව මිය ගියා ආදී වශයෙන් වයසක කෙනෙක් මැරුණවිට කියනවා. මෙම “උපාසක” යන වචනය ඒ තරම්ම සුලභ, කාට වුවත් යොදා ගත හැකි වචනයක් බවට පත් වෙලා තිබෙනවා. සමහර විට ධනවත්, බලවත් උදවිය පිළිබඳව නම් උපාසක යන වචනය ඒ අය හඳුන්වන්නට යෙදීම එතරම් ප්‍රමාණවත් උසස් වැදගත් භාවිතයක් ලෙස සැලකෙන්නේත් නැහැ. එතන දී ‘මැතිතුමා’, ‘මැතිනිය’ යනුවෙන් භාවිත කරනවා. එතනදී උපාසක උපාසිකා යෙදුම උසස් භාවිතයක් වන්නේ නැහැ. එය එහෙම වුණත් අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ‘උපාසක’ යන වචනයට හිමි වන්නේ ඉතා වැදගත් තැනක්. මෙම සම්බුදු සසුනේ බුද්ධ ශ්‍රාවක ගණයට වැටෙන කොටස් හතරක් ඉන්නවා. භික්ෂු, භික්ෂුණී, උපාසක හා උපාසිකා යන්න ඒ හතරයි. එය එහෙම වුණත් මෙයින් අදහස් වන්නේ ගැඹුරු අරුත් හතරක් බව මෙහි දී අප සිහියට නගා ගත යුතු වෙනවා. බුද්ධ ශ්‍රාවක යන්න කියන කොට ම එයින් අදහස් වන්නේ බුදුරජාණන් වහන්සේගේ දහම් මඟ අවබෝධ කර ගෙන ඒ අනුව ක්‍රියා කරන පුද්ගලයා යන්නයි. ඉතින් මේ අපි කොයි කවුරුත් විමසා බැලිය යුතු වෙනවා. විශේෂයෙන් ගිහි ජීවිත ගත කරන අය හැටියට බුද්ධශ්‍රාවක ගණයට වැටෙන ‘උපාසක’ බව ලබන්නේ කෙසේද? කියලා. එය එපමණට ම අතිශයින් ගැඹුරු දුෂ්කර කටයුත්තක් වෙනවා.

බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි මහානාම නම් ශාක්‍ය රාජකුමාරයෙක් හිටියා. මේ ශාක්‍ය රජදරුවා දවසක් බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් විමසා සිටියා. ‘උපාසකයෙකු’ බවට පත්වන්නේ කෙසේද? කියලා. ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ එයට පිළිතුරු දෙමින් ‘මහානාම’ යනුවෙන් සූත්‍රයක්ම දේශනා කරලා තියෙනවා.

තෙරුවන් සරණ යාම

පළමුවෙන්ම උපාසකවරයා විසින් බුදුන්, දහම් හා සඟුන් යන තෙරුවන සරණ යාම මූලික ම අවශ්‍යතාව වෙනවා. මේ තෙරුවන සරණ යනවා කියන කරුණ පමණක් ගත්විට එයින් මහා බරපතළ අදහසක් ප්‍රකාශ වෙනවා. හැබෑ උපාසක වරයෙක් නම් ඔහු මොනව හේතුවක් නිසා වත් වෙනත් පිහිටක්, සරණක් පිටුපස යන්නේ නැතිව තමන්ගේ විපතේ දී හෝ සැපතේ දී තමන් මේ තෙරුවන ම පිහිට කර ගෙනමයි ජීවත් වන්නේ එයින් අදහස් කරන්නේ වෙනත්, දෙවියන්, බ්‍රහ්මයන් වෙනත් යකැඳුරන්ගේ පිටුපස යාම ආදී නොයෙක් මිථ්‍යා විශ්වාස මත පදනම් වූ අදෘශ්‍යමාන ශක්ති, බල, මිථ්‍යා විශ්වාසවලින් හා තොරව සම්‍යක් පිළිවෙතෙහි පිහිටා බුද්ධාදී රත්නත්‍රයෙහි ගුණ පිහිට කොට ජීවත් වෙනවා කියන මේ අදහසයි.

පන්සිල් සුරැකීම

එමෙන්ම මේ උපාසකවරයා ශීලාදී ගුණයෙන් යුක්ත විය යුතු කෙනෙක් වෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ බුදුදහමේ උගන්වන ප්‍රාථමික ශීල ප්‍රතිපදාවයි. එනම් පංචශීලයයි. මෙම පංචශීලය අපට බොහොම හුරු පුරුදුයි. නිතරම අප භාවිත කරනවා. මෙයින් සරලව කියන අදහස වන්නේ පරපණ හිංසනයෙන් වැළකීම, අන්සතු දෙය සොරසිතින් ගැනීමෙන් වැළකීම, වැරැදි කාමභෝගී පැවැත්මෙන් වැළකීම. බොරුවෙන් හෙවත් වංචනික, ව්‍යාජ, සටකපට බවෙන් වැළකීම හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමයි. මේ හැසිරීම රටා පහ ම ගත් විට මේ හැම එකකින්ම ප්‍රකාශ කරන්නේ යහපත් සමාජ වටපිටාවක් ඇති කිරීමට අවශ්‍ය ගුණ ධර්ම හුරු පුරුදු කිරීමකි.
තවදුරටත් විස්තර කරනවා නම් සමාජයේ හැම කෙනෙකුට ම සැකෙන් බියෙන් තොරව ජීවත් වීමේ පරිසරයක් පන්සිල් රකින සමාජයක ඇති වෙනවා. මෙම පංචශීලයෙහි එන සියලුම සත්ව හිංසනයෙන් වැළකීමත්. වැරැදි කාමභෝගි ජීවිතයෙන් වැළකීමත්, මත්ද්‍රව්‍යයෙත් වැළකීමත් යන හැසිරීම් තුන ගත්විට මෙයින් මූලික, වශයෙන් සියලුම ජීවිතවලට විපතක් ඇති වීමට ඇති ඉඩප්‍රස්ථා නැතිව බිය පහවෙනවා. අන්සතු දේ ගැනීමෙන් හා වංචාව හෙවත් බොරුව සමාජයේ ඉවත් වූ විට දේපොළ පිළිබඳ ආරක්ෂාවත් තහවුරු වෙනවා. එයින් සිදු වන්නේ සමාජයේ සන්සුන් සාමකාමි බවක් ඇති වී හැම කෙනෙක්ම සැකෙන් බියෙන් තොරව ජීවත් වන වටපිටාවක් ගොඩ නැඟීමයි.
බුදුරජාණන් වහන්සේ පෙන්වාදෙන තවත් කරුණක් වන්නේ උපාසක බවට පත්වන තැනැත්තා සමාජයේ ජීවත් වන විට තමන්ටත් අනුන්ටත් යහපත් වැඩක් ප්‍රයෝජනයක් වන ආකාරයෙන් ජීවිතය පවත්වාගෙන යනවා කියන එකයි. මේ කරුණ බුදුරජාණන් වහන්සේ මැනවින් විස්තර වශයෙන් මහානාම රජදරුවා අරමුණුකොට දේශනා කර තිබෙනවා.
මේ අනුව පැහැදිලි කරන්නේ උපාසක බවට පත්වන පුද්ගලයා ශීලමය වශයෙන් උසස් ම ප්‍රතිපදාවක පිහිටනවා. ඒ විතරක් නොවේ එම උපාසකවරුන්ගෙන් සමන්විත වන සමාජයේ හැම කෙනෙක් ම සැක බිය හැර ජීවත් වෙනවා. ඒ මොකද? ඒ අයට තමන්ගේ ජීවිත ගැනවත් දේපොළ ගැනවත් ඒවාට විපතක් කරදරයක් වෙයි යන බියක් ඇති වන්නේ නැහැ. මේ තත්ත්ව යටතේ සමාජය සාමකාමී වෙනවා. හොඳ හිත දියුණු වෙනවා. එවැනි අයගේ දරු මුනුපුරන් පවා යහපතට යොමු වෙනවා.

තම හිත පිණිස ක්‍රියාකිරීම

එමෙන්ම මහානාම සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ තවත් පැහැදිලි කරන කරුණක් වන්නේ සීලවන්ත බවට පත් වූ උපාසකයා පළමුවෙන් ම තමන්ගේ මෙලොව පරලොව යහපත උදා කර ගැනීමට සමත් වෙනවා. එනම් තම ශ්‍රද්ධාව ඇති අයෙකු බවට පත් වෙනවා. මේ ශ්‍රද්ධාව යන කුසල සිතිවිල්ල අපේ යහපත් ජීවිත පැවැත්මේ සෑම ක්‍රියාවකට ම මුල් වෙනවා. මනා සේ වැඩෙන නිරෝගීමත් වෘක්ෂයකට මුල් වන්නේ පුංචි නිරෝගිමත් බීජයක් ‘සද්ධා බීජං’ යනුවෙන් ධර්මයෙහි සඳහන් වන්නේ ඒ කාරණයයි. ඒ නිසා කෙනෙක් යහපත් පැවැත්මකින් යුක්ත වන්නේ නම් ඔහු ශ්‍රද්ධාසම්පන්න වූ අයෙක් මයි. ඒ වගේ ම ඒ තැනැත්තා සිල්වත් බවට පත් අයෙක්. සමාජයේ ජීවත්වන හැම අයෙකුට ම පි‍්‍රය මනාප බවට පත් වූ අයෙක්. තමන්ට වත් අනෙකෙකුට වත් සිල්වත් වූ අයගෙන් කිසි විට විපතක් සිදු වන්නේ නැහැ. එමෙන්ම පරිත්‍යාගයට යොමු වී ජීවත් වෙන අයෙක්. තමන්ට ලැබෙන යමක් වෙයි නම් එයින් කිසියම් ප්‍රමාණයක් අනිකුත් අයටත් බෙදා දෙයි. තනිව ම යමක් භුක්ති විඳීමට යොමු වන්නේ නැහැ. ඒ වගේ ම සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ සොයා ගෙන ගොස් උන්වහන්සේලා එහෙම නැතිනම් කල්‍යාණමිත්‍රයන් ඇසුරු නිසුරු කරමින් ලබාගත යුතු අවවාද අනුශාසනා නිරන්තරයෙන් ලබා ගන්නවා. හැම විට ම ඒ තුළින් අපේක්ෂා කරන්නේ තමන්ටත් අනුන්ටත් කරදරයක් විපතක් නැති උදාර ජීවිතයක් ගත කරන්නටයි.
එමෙන්ම මෙවැනි උපාසකවරු නිරන්තරයෙන් ධර්මශ්‍රවණයට යොමු වෙනවා. දහම් පොත පත කියවනවා. ධර්මය පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති දැන උගත් භික්ෂූන් වහන්සේ හෝ ගිහි වෙනත් කලණ ගති ඇති අය හමු වී දහම් ගැටලු ප්‍රශ්න නිරාකණය කර ගන්නවා. ඒ හැම දෙයකින් අපේක්ෂා කරන්නේ තමන් ධර්මධරයෙකු ලෙස වැජඹීමට නොව දැන ගත් දහම නිවැරදිව සැක හැර දැන තමන්ගේ දැහැමි ජීවන පැවැත්ම තුළින් කිසිවෙකුට විපතක් නොවී ජීවත් වීමේ ඉඩප්‍රස්ථා උදා කර ගැනීමමයි. ඒ වගේම තමන් ධර්මය අසා දැනගෙන ඒවා මොහොතකින් සිතින් බැහැර කරන්නේ නැහැ. ඒ දහම් මැනවින් ධාරණය කර ගන්නවා. මතකයෙහි රඳවා ගන්නවා. මේ නිසා අනවශ්‍ය සිතිවිලි සිතට නැගෙන්නේ නැහැ. එ පමණකුත් නොවේ ඒ අයුරින් සිතේ ධාරණය කර ගත් දහම් සිතිවිලිවල අර්ථය කුමක් දැයි නිරතුරුව ම විමසිල්ලෙන් කාලය ගත කරනවා. ඒ වගේම ඒ ආකාරයෙන් ධර්මය දැනගෙන ඒ අනුව ක්‍රියා කරන්නෙකු හෙවත් ජීවත් වන්නෙකු බවට පත් වෙනවා. මේ ආකාරයෙන් උපාසක බවට පත්වන අය තමන්ගේ දෛනික ජීවිතය තමන්ට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් පවත්වාගෙන යාමට පුරුදු වෙනවා. මෙම උපාසකවරයා සමාජයේ සැබෑ කල්‍යාණ මිත්‍රයෙකු වශයෙනුත් සැලකෙනවා. ඒ අන් කවර කරුණක් නිසා නොවෙයි. ඔහුගේ පරාර්ථ චර්යාව හේතුවෙන්.

පරහිත පිණිස ක්‍රියාකිරීම

මෙහිදී උපාසකවරයාගේ පරාර්ථ පැවැත්ම යනුවෙන් අදහස් කරන්නේ තමන්ගේ පැත්තෙන් හැම අතින්ම නිවැරැදි වූ යහපත් ගති ඇති මෙම උපාසකවරයා අන් අයටත් ඒ තමාගේ ගති ලක්ෂණ හුරු කරවන අයෙකු බවටත් ක්‍රියා කරනවා. බුදුරජාණන් වහන්සේ එය කල්‍යාණ මිත්‍ර ලක්ෂණයක් ලෙසයි පෙන්වා දෙන්නේ. එනම් උපාසකවරයා තෙරුවන් සරණ යනවා පමණක් නොව සමාජයේ තෙරුවන් සරණ නොගිය වෙනත් අය තෙරුවන් ගුණ පහදවා තෙරුවන් සරණ යන අය බවට පත් කරනවා. එමෙන්ම පන්සිල් ආරක්ෂා නොකරන වැරැදි අධාර්මිකව ජීවිත ගෙවන අය පන්සිල් ආරක්ෂා කරන යහපත් පැවතුම් ඇති අය බවට පත් කරනවා.
ඊළඟ පියවරේදී අශ්‍රද්ධාවන්ත හෙවත් බුද්ධාදී උතුමන් පිළිබඳ ඇදහීමක් සැදැහැති බවක් නොමැති අය ශ්‍රද්ධාවන්තයින් බවට පත් කිරීමට තමන් කල්‍යාණ මිත්‍රත්වයෙන් ක්‍රියා කරනවා. අන් අය ශිලාදී ගුණ ධර්මයන්හි පිහිටුවනවා. කල්‍යාණ මිත්‍රයන්ගේ, දැන උගත් බහුශ්‍රැත භික්ෂූන් වහන්සේගේ ඇසුර ලබා දෙනවා. ත්‍යාගවන්ත බවට හෙවත් පරිත්‍යාගයට යොමු කරනවා. ධර්මය ඇසීමට හුරුපුරුදු කරවනවා. ඒ අයට ධර්මය පිළිබඳ ගැටලු සහිත තැන් ඇති විට ධර්මය පිළිබඳ විමසමින් ධර්ම සාකච්ඡාවන්ට යොමු කරවනවා. ඒ තුළින් ඒ අයත් ධර්මානුකූලව ජීවත් වන අය බවට පත් කිරීමට ගතහැකි සෑම උත්සාහයක්ම දරනවා.
බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍ය කුමාරයාට මේ ආකාරයෙන් පෙන්වාදෙන තමන්ගේත් අනුන්ගේත් මෙලොව හා පරලොව හිතසුව පිණිස ක්‍රියා කරන මෙම උපාසක ලක්ෂණ ඇති අය වර්තමාන සමාජයේ වුව ද අපට දැක ගන්නට පුළුවන්කම තිබෙනවා. නිරන්තරයෙන්ම දහමට යොමු වී තමන් මෙන්ම බොහෝ අදැහැමි අය පවා ක්‍රමයෙන් දැහැමි වූවන් බවට පත් කර මෙලොව පරලොව වැඩ සාදා ලන්නා වූ සත්පුරුෂයෝ උපාසකවරයෝ අපේ සමාජයේ සිටිනවා. ඒ අය නිසා මෙම සමාජයට මහඟු අර්ථයක් සැලසෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සතර බඹ විහරණ


මානවයාගේ ආරම්භයේ සිට ම මිනිසා අන්‍යොන්‍ය සබඳතා ඔස්සේ තම ජීවන රටාව පැවැත්වී ය. මෙසේ ගත කරන ජීවිතය අර්ථවත් කරගැනීම සඳහා බුදු රජාණන් වහන්සේ කරුණු සතරක් දේශනා කළහ. එනම් චතුර්විධ බ්‍රහ්ම විහරණ යි. සිව් බඹ විහරණ ලෙසින් වහරෙහි එන මෙම කරුණු හතර මෙලෙස පෙළගැස්විය හැකි ය:

1. මෙත්තාව හෙවත් මෛත්‍රිය යි.
2. කරුණාව හෙවත් දුකේදී ඇති වන අනුකම්පාව යි.
3. මුදිතාව හෙවත් මෘදු බව යි.
4. උපේක්ෂාව හෙවත් නොසැලෙන මැදහත් බව යි.

මේවා මහා බ්‍රහ්මයා තුළ ඇතැ යි ජන විඥානගත ව පැවැති ගුණ වෙයි. මින් ධ්වනිතාර්ථවත් වන්නේ මේ ගුණ යම්කිසිවකු කෙරෙහි පවතී ද හෙතෙම මහා බ්‍රහ්ම ගුණයෙන් යුතු අයකු වන බව යි. “කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණා” යමකු බමුණකු වන්නේත් වසලයකු වන්නෙත් ක්‍රියාවෙන් ම යැ යි පැවසීමෙන් ද ගම්‍යමාන වන්නේ මේ කරුණ ය. මේ බව ප්‍රත්‍යක්ෂයෙන් ම දැනගත හැකි පදවි දෙකක් නම් මාතෘත්වය හා පිතෘත්වය යි.

----------------------------------
මෙත්තා

මෙත්තා නම් හිතවත් භාවයයි. යමක් හෝ යමෙකු තමාටම අයත්කරගැනීමට ඇති ආශාව නිසා ස්නේහයක් ඇතිවිය හැකිය. එය මෛත්‍රීය නොවේ. එබඳු ගිජු කමකින් තොරව සියල්ලන් කෙරෙහිම දක්වන හිතවත් භාවය මෛත්‍රියයි. අවංක මිතුරෙක් කිසිවිටෙක තම මිතුරාට විපතක් කරදරයක් වේවායි නොපතයි. 

ඔහු හැම විටෙකම ප්‍රාර්ථනා කරන්නේ තම මිතුරාට යහපතක්ම වේවායි කියලයි. ඒ මිතුරා පිළිබඳ ව ඇති ප්‍රාර්ථනාව තමා සමඟ අමනාප අය ඇතුළු සියල්ලන් පිළිබඳවම ඇතිකර ගැනීමට තරම් සමත් වන හිතවත් භාවය මෛත්‍රීයයි. එය බ්‍රහ්ම විහරණයක් වන්නේ කිසිදු ආයාසයකින් තොරව ඉබේම මෙන් ඕනෑම කෙනෙකු පිළිබඳ බැලීමට තරම් පුරුදු වී ඇත්නම්ය.

මෛතී‍්‍ර වඩන පුද්ගලයා තුල තිබිය යුතු චරිත ලක්‍ෂණ හා ඔහු හැසිරිය යුතු ආකාරය කරණීය මෙත්ත සූත්‍රයෙහි ආරම්භයෙහි දීම විස්තර කෙරේ. තමන් බලාපොරොත්තු වන ආගමික පරමාර්ථය සාර්ථක කර ගනු කැමැති කෙනෙකු තුල පහත සඳහන් චරිත ලක්‍ෂණ තිබිය යුතුය.

සක්කො = කිසියම් ක්‍රියාවක් කිරීමේ ශක්තියෙන් යුක්තවීම
උජු = අවංක වීම
සුජු = අතිශයින් අවංකවීම
සුවච = පහසුවෙන් යමක් කියා ඒත්තු ගැන්විය හැකි
මුදු = මෘදු හැසිරීම
අනතිමානි = ආඩම්බරයෙන් තොරවීම
සන්තුස්සකො = ලද දෙයින් සතුටුවීම
සුභරො = පහසුවෙන් පෝෂණය කළහැකිවීම
අප්ප කිච්ච = කටයුතු බහුල නොවීම
සල්ලහුක වුත්ති = සරල ගති පැවතුම් ඇතිබව
සන්තිÁද්‍රියෝ = සංසුන් ඉදුරන් ඇති බව
නිපකො = නුවණැති වීම
අප්පගබ්භෝ = ගොරොසු හැසිරීමෙන් තොරවීම
කුසලෙසු අනනුගිද්ධෝ = පවුල් කෙරෙහි නො ඇලීම
නච ඛුද්දං සමාචරේ කිංචියේන විඤ්ඤූ පරේ උපවදෙයියුං = නුවනැත්තන්ගෙන් දොස් ඇසීමට හේතුවන කුඩා වූ ද වරදක් නොකරන බව

මෙහි සඳහන් ලක්‍ෂණ විමසා බලන විට පෙනී යන්නේ ඒවා පැවිදි ජීවිතය සඳහා වඩාත් අදාළ වන ලෙසට දක්වා ඇති බවයි. පහසුවෙන් පෝෂණය කළ හැකිවීම පවුල් කෙරෙහි නොඇලීම යන කරුණු පැවිදි ජීවිතයට අදාළ වේ.

එහෙත් සඳහන් කරුණු සමස්තයක් වශයෙන් ගත් විට ඒවායෙන් නිරූපනය වනුයේ දක්‍ෂ අවංක මෘදු, ප්‍රසන්න, පි‍්‍රයශීලි තෘප්තිමත් පුද්ගලයෙකු ගේ පෞරුෂයයි. එබඳු පෞරුෂයකින් යුතුවීම පිළිබඳ ගිහි - පැවිදි වෙනසක් තිබිය නොහැකිය.

ජන සමාජයෙහි නුවණැති පුද්ගලයන්ගේ දෝෂාරෝපනයට පාත්‍ර වීමට සිදුවන කිසිදු වරදක් නොකරන ලෙස කරණීය මෙත්ත සූත්‍රයෙන් අපට උපදෙස් ලැබෙයි. මෙයින් කියවෙන අගනා කරුණ නම් අප සමාජයක ජීවත් වන විට හුදෙක් අපගේ මතයට පමණක් නොව එම සමාජයෙහි උගත් බුද්ධිමත්, වැඩිහිටි, පිරිස ගේ අදහස් වලටද ගරු කළ යුතු බවයි. 

තමන් හරියැයි සිතන දේ පමණක් කිරීම ඕනෑවට වඩා ආත්ම විශ්වාසය ඇතිකර ගැනීමකි. එසේම අනිත් අය සැහැල්ලුවටද පත්් කිරීමකි. ආත්ම විශ්වාසය ඉතා හොඳ වුවත් ප්‍රමාණය ඉක්මවූ ආත්ම විශ්වාසය විනාශයට හේතුවක් විය හැකිය. සමාජයෙහි ජීවත් වන උගත් බුද්ධිමත් අයගේ අදහස් වලට අප ගරු කළ යුතුයි.

සබ්බේ සත්තා භවන්තුසුඛිතත්තා - වෙත්වා සියලු සත්හුම – සුවපත්වූ සිතැත්තො - යනුවෙන් සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රීය වැඩිය යුතු යැයි උපදෙස් දෙන කරණීය මෙත්ත සූත්‍රයෙහි සියලු සත්ත්වයන් යනු කවුරුන්දැයි දක්වා ඇත.

ඒ අනුව
I සැලෙන සත්වයන් හා නොසැලෙන සත්වයන් කෙලෙස් හේතු කොට ගෙන සැලෙන පුහුදුන් පුද්ගලයන් හා කෙලෙස් නැති බැවින් නොසැලෙස රහතන් වහන්සේලා
II දිග ශරීර හා විශාල ශරීර මධ්‍යම ප්‍රමාණ ශරීර හා කෙටි ශරීර හා කුඩා ශරීර හා මහත ශරීර
IIIසට පෙනෙන සත්වයන් හා නොපෙනෙන සත්වයන්
IV ළඟ වෙසෙන හා දුර වෙසෙන සත්වයන්
V ඉපදුණු සත්වයන් හා ඉපදීමට සිටින සත්වයන්

මෙම විවිධාකාර වර්ගීකරණ මගින් සමස්ත විශ්වයෙහිම සිටින සියලු සත්වයන් කිසිවෙකු අත්නොහැර ඇතුළත් කොට ඇත.

මෛත්‍රිය ඇත්තවශයෙන්ම වැඩීම කෙසේ කළ යුතුද යන්න අනතුරුව විස්තර කරනු ලැබේ.

නපරෝ පරං නිකුබ්බේථ
නාතිමඤ්ඥේථ කත්‍ථචිනං කඤ්චි
බ්‍යාරෝසනා පටිඝ සඤ්ඤා

නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ජෙය්‍ය කිසිවෙකු තවත් කෙනෙකු නොරැවටිය යුතුය. කොහි හෝ කිසිවෙක් අනෙකෙකු පහත නොහෙළිය යුතුය. ද්වේෂයෙන් හා ගැටීිම් සහගත හැඟීමෙන් යුතුව කෙනෙක් තව කෙනෙකුගේ දුක ප්‍රාර්ථනා නොකළ යුතුය.

මාතා යථා නියං පුත්තං
ආයුසා ඒකපුත්ත මනුරක්ඛෙ
ඒවම්පි සබ්බභූතේසු
මාන සංභාවයේ අපරිමානං

මවක් තම එකම පුතු දිවි පුදා ආරක්ෂා කරන්නා ක් මෙන් සියලු සත්ත්වයන් කෙරෙහි අපරිමානව (අසීමිතව ) මෛත්‍රී මනස වැඩිය යුතුය.
මෙම පැහැදිලි කිරීමෙහි ඇති අගය නම් මෛත්‍රීය යනු හුදෙක් “සියලු සත්වයො සුවපත් වෙත්වා” යැයි කීම පමණක් නොව අවමන් නොකිරීම ද්වේෂ නොකිරීම හා කිසිම සත්වයෙකු සමග නොගැටීම ද බව පෙන්වාදීමයි. නියම මෛත්‍රීය යනු කායික, වාචික හා මානසික චර්යාවකි. එය හුදෙක් සිතින් සිතන සිතුවිල්ලක් හෝ වචනයෙන් කියැවෙන ප්‍රකාශයක් පමණක් නොවේ. උසස්ම අවස්ථාවේදී එය මවක් තම එකම පුතු හට දක්වන දයාව ට සමාන වේ. 
අපරිමාන මනස විශ්වයේ උඩ යට හා තිරස් වට රවුම යන සමස්තය තුළ කිසිදු දේශ සීමා බාධකයකින් තොරව තරහ කාරයන් හා සතුරන් යන භේද වලින් තොරව සියලු සත්වයන් කෙරෙහි වැඩිය යුතුය. එසේ මෛතශ්‍රී වැඩීම හුදෙක් ඒ සඳහා වෙනම සූදානම් වී වෙනම වාඩිවී පමණක් නො කොට, සිටීම, හිඳීම ඇවිදීම හා දිගාවී සිටීම සහ සියලු ඉරියව්වල දී කළ යුතුය.
මෙත් වැඩීමේ අනුසස් දක්වා ඇති සූත්‍ර දේශණාවකි මෙත්තානි සංඝ සූත්‍ර දේශනාව. මෛත්‍රිය වඩන පුද්ගලයා තුල තිබියයුතු ආනිසංස එකොළහක් පිළිබඳ එහි සඳහන් වෙනවා. 
එබැවින් අප නිතර මෙත් වැඩීම පුරුදු පුහුණු කළ යුතුයි. එම ආනිසංස මෙසේද දක්වන්න පුලුවන්.

1. සැපයේ නිදයි
2. සැපසේ පුබුදියි
3. නපුර සිහිනයක් නොදකියි
4. මිනිසුනට පි‍්‍රය වෙයි
5. අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙයි
6. දෙවියෝ රකිති
7. ශරීරය ගින්නෙන් හෝ විසෙන් සිදුවන අනතුරු වලින් වලකියි
8. වහාම සිත එකඟ වෙයි
9. මුහුණ පැහැපත් වෙයි
10. මුලා නොවී කලුරිය කරයි
11. මෛත්‍රී සමවතින් මතු රහත්වන්නට නොහැකිවී නම් මරණින් මතු බඹ ලොව උපදියි

එබැවින් නිරන්තරයෙන් අප මෙත් සිත පැතිරවීමට උත්සාහ දැරිය යුතුය. සමස්ත විශ්වයෙහි සතුරු - මිතුරු සියලු සත්වයන් වෙත දෛනික ජීවිතයෙහි සෑම ඉරියවුවක දීම මෛත්‍රී වැඩිය යුතුය. 
එසේ කාලය ගත කිරීම බ්‍රහ්මවිහාර හෙවත් ශ්‍රේෂ්ඨ (බ්‍රහ්මයෙකුට සමාන) ආකාරයෙන් විසීමක් වේ.

------------------------------------------------

කරුණා

බුදුරජාණන් වහන්සේ තුළ පැවැති මහා කරුණාව හා සමාන කරුණා ගුණයක් බුදුවරයෙකුට මිස වෙන කිසිවකුට නැත. ‘බහුකෙහි ආකාරෙහි පසන්තානන් බුද්ධානං සන්තේසු මහා කරුණා ඤාණං ඔක්කමති” (පටිසම්හිදා වග්ග 236 පිට ජ.මු.) උන්වහන්සේ සැමදාම අලුයම නැගිට මහා කරුණා සමාපත්තියට සම වැද ලෝක සත්ත්වයා දෙස බලති. 

බුදුවරයකු වශයෙන් අද මගෙන් සිදුවිය යුතු සේවය කුමක්ද? අද මම දුකෙන් සිටින්නෙකු කෙසේ නිදුක් කරන්නෙම්ද? විපතේ වැටී සිටින්නකු කෙසේ ගලවා ගන්නෙම්ද? වැරදි වැඩ කරන්නෙකු එයින් මුදා හොඳ වැඩෙහි යොදවන්නෙම්ද? කෙලෙස් වලින් භරිත වූවකු කෙසේ නික්ලේසියකු කරන්නෙමි දැයි සිතමින් මහ මග හිඟා කන දුගියාගේ සිට මහා මාලිගාවල රජ සැප විඳින රජුන් දක්වා කිසි විශේෂත්වයක් නැතුව බුදු ඇසින් පරීක්ෂා කර බලා ස්වකීය කරුණා සේවය අවශ්‍ය වූ තැනැත්තා කරා පා ගමනින් හෝ සෘද්ධියෙන් වැඩම කොට ධර්ම දේශනා කිරීම බුදුන්ගේ දින චරියාවෙහි එක් අංගයක් විය.

ලෝකයෙහි ජීවත්වෙන සත්ව සමූහයා රාග, ද්වේෂ, මෝහ, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේව ආදී එකොළොස් ගිනිවලින් දිවා රාත්‍රී දෙකෙහිම දැවෙන බව බුදු ඇසට පෙනෙනවා. කන්දක් උඩින් වේගයෙන් ගලා බසින දිය දහරක් සේ මේ සත්වයා ප්‍රතිසන්ධි අවස්ථාවෙහි පටන් මරණය තෙක් අනන්ත වූ දුක් විඳින බව බුදුරදුන්ගේ බුද්ධ ඤාණයට හසුවෙනවා. 

සත්ත්වයා සියල්ල අතහැර මරණය කරා යා යුතුය. එයින් ඔහුව බේරා ගැනීමට කිසිවකුත් නැත. දුකින් පෙළෙන සත්වයාගේ දුක පිළිබඳ නොයෙක් අයුරින් බලා ධර්ම දේශනා පැවැත්වීම මෙන්ම ඒ දුකින් නිදහස් කොට සැනසීම සලසා දීමට ගත යුතු හැම පියවරක්ම ගන්නවා. සත්වයාගේ දුක පිළිබඳ අවබෝධයක් සේම දුකින් නිදහස් කරනු නැමැති කරුණාව නොවඩුවම බුදුරජාණන් වහන්සේ තුළ තිබුණා. “කරුණා සීතල භදයං” යන පදවලින් අවබෝධ වෙන්නේද නිරතුරුව බුදුරජාණන් වහන්සේගේ හදවත කරුණාවෙන් සිසිල් වී තිබුණ බවයි.

දුඞඛිත සත්වයන් ගැන ඇතිවන කම්පාව ඔවුන්ගේ දුක් නොඉවසන ස්වභාවය වගේම දුඞඛිතයන් දුකෙන් මිදවීමේ කැමැත්ත කරුණාව නම් වේ. අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ කරුණාව අතිමහත්ය. එබැවින් එයට මහා කරුණාව අන් ශාස්තෲන්ගෙන් මෙන්ම සත්වයින්ගෙන් වෙන් වෙන්නේ කෙසේද? යනු මෙහිලා දතයුතු ප්‍රධාන කරුණුය. අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ කරුණාවෙහි උත්තරීතරත්වය මෙන්ම කරුණාව සත්වයන් කෙරෙහි පහලවන ස්භාවයද මෙසේ සඳහන් වේ.

“උද්ධකො ලොකො අවුපසන්නොති පසංතානං බුද්ධානං භගවන්තානං සත්තේසු මහා කරුණා ඤාණං ඔක්කමති” (පටිසම්හිදා වග්ග 236 පිට ජ.මු.) ලෝකයෙහි ජීවත්වන සත්වයා නොසන්සුන් වන්නේ යයිද රාග ද්වේෂ මෝහ යන මදමානයන්ට හසුවී ජීවත්වන සත්වයාගේ ඒ රාගාදී හුල් ගලවාලන්ට මහා කරුණාව පහළ වනු ලැබේ.

කරුණාව සැමදෙනා තුළම ඒ ඒ ප්‍රමාණයෙන් ඇතිවන චෛතසික ධර්මයකි. එනම් ලෞකික ලෝකයෙහි ජීවත්වන සත්ත්වයන් අතරින් මව හා පියා යන දෙදෙනා කරුණාවෙන් යුක්ත වූවන් බව සමාජගතව ඇත. එම කරුණාව තමන් ගේ දරුවන්ට පමණක් සීමාවූවකි. තමන් ගේ දරුවනට දක්වන කරුණාව සුළු දෙයකි. නමුත් තථාගතයන් වහන්සේගේ කරුණාව සකල සත්ත්වයන් ගැනමය. 

ලෝකයෙහි අනන්තවත් සත්ත්වයන් ජීවත්වෙති. එම අනන්ත වූ සත්වයන් කෙරෙහි දක්වන තථාගතයන් වහන්සේගේ කරුණාව හා මව් කෙනෙකුගේ කරුණාව හා පිය කෙනෙකුගේ කරුණාව සංසන්දනය කරන්නට උපමාවකුදු නැති තරම් ය. තථාගතයන් වහන්සේ සතුරු මිතුරු දෙපක්ෂයටම එක හා සමාන කරුණාව පැතිර වූ බව ත්‍රිපිටකාගත කරුණු තුළින් මනාව පැහැදිලි වේ. සරලව ගතහොත් අප තථාගතයන් වහන්සේට නොයෙක් අයුරින් නින්දා අපහාස කරන ලද දෙව්දත් විෂයෙහි දැක් වූ කරුණාවත් තමන්ගේම පුත් රාහුල කුමරු හට දැක්වූ කරුණාවත් එක සමාන විය. 

පෘතග්ජන පුද්ගලයා තුළ කරුණාව යම්තාක් දුරට තිබුණත් මවුපියන් කෙරෙහි දරුවන් කෙරෙහි පවතින කරුණාවද යම් යම් අවස්ථාවලද අකරුණාවද බවට පත්වන අවස්ථා දක්නට ලැබේ. එනම් තථාගතයන් වහන්සේගේ කරුණාවත් පුහුදුන් පුද්ගලයාගේ කරුණාවත් අතර විශාල වෙනසක් තිබෙන බව පැහැදිලිය. 

තථාගතයන් වහන්සේගේ කරුණාව සාගර ජලයටත් පුහුදුන් පුද්ගලයාගේ කරුණාව එක දිය බිඳක් උපමා කළද උපමාව යහපත් නොවේ. තථාගතයන් වහන්සේගේ කරුණාව මහ පොළවටද පුහුදුන් පුද්ගලයාගේ කරුණාව වැලි කැටයකට උපමා කලත් සුදුසු නැත. එයට හේතුව නම් සාගර ජලයෙහිත් පොළොවෙහිත් ප්‍රමාණයක් දැක්විය හැකි නමුත් තථාගතයන් වහන්සේගේ අනන්ත කරුණාව ඒවාට උපමා කිරීම ඒ කරුණාව සුළුකොට දැක්වීමකි.

එක් එක් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇත්තා වූ කරුණාවෙහි කුඩා මහත් බව ප්‍රමාණ කළ යුත්තේ කරුණාවට ලක්වන පුද්ගලයා සුවපත් කිරීම සඳහා කළ හැකි පරිත්‍යාගයන් අනුවය. මැරෙන්නට යන දරුවකු බේරා ගැනීම සඳහා මව්කෙනෙකු විසින් තමාට ඇතිතාක් ධනය වූවද පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වනු ඇත. 

එහෙත් තමා වාසය කරන ගෙය හා ඉඩකඩම් ඒ සඳහා පරිත්‍යාග කරන්නට කියවු හොත් දරුවා මැරෙන්නට හරිනවා මිස එය කිරීමට ඉදිරිපත් නොවනු ඇත. නමුත් තථාගතයන් වහන්සේ සත්ත්ව කරුණාව නිසා නොකළ යුතු පරිත්‍යාගයන් නැත. ලොව්තුරු බුදු බව ලැබ අසරණ සත්වයන්ට පිහිටවනු සඳහා බෝසත් කාලයේදී උන්වහන්සේ විසින් කරන ලද පරිත්‍යාගයන් උදාහරණ ලෙස මෙසේ සඳහන් කළ හැකිය.

“සො සාගරෙ ජලයිකං රුධිරං අදාසි
භූමිං පරාජිය සමාස මදාසි දානං
මෙරුප්පමාණ මඨිකඤාච සමොලි සීසං
චේ කාරකාධිකනරං නයතන් අදාසි”

අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ අසරණ සත්වයන්ට පිහිට වනු පිණිස මහා කරුණාවෙන් යුක්තව සාගර ජලය පරදවා තමන්ගේ සිරුරෙන් ලේ දන් දුන් බවද මහා පොළව පරදවා ඇට මස් දන් දුන් බවද මහ මෙර පරදවා ඔටුණු පලන් හිස් දන් දුන් බවද අහසේ තරු පරදවා නෙත් දන් දුන් බවද බෞද්ධ දර්ශනය තුළ අන්තර්ගතව ඇත. එනම් අප බුදුරජාණන් වහන්සේව මෙබදු මහා පරිත්‍යාගයන් කළ හැකි වූයේ කරුණාවෙහි මහත්වය නිසාය.

එනම් බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයෙහි ප්‍රමාණිකත්වය වටහා ගෙන උන්වහන්සේගේ කරුණාව හා සමාන කරුණාවක් පෘතග්ජනයා තුළ නොමැති වූවත් අප උත්සාහ කළ යුත්තේ තම මිතුරාට දක්වන කරුණාව තමන්ට සතුරුකම් කරන පුද්ගලයාට දැක්වීමටය. එසේ වුවහොත් සමාජගතව පවතින ප්‍රශ්න, ගැටලුවලට යම්තාක් දුරට පිළිතුරු ලැබෙනු ඇත. සියලු දෙනා සියලු සත්වයන් කෙරෙහි කරුණාව පතුරවනු ලැබෙත්වා.

----------------------------------------

මුදිතා

මුදිතාව නම් අනුන්ගේ සතුටෙහිදී එය තමන්ට ලැබුණු සතුටක් සේ සලකා ප්‍රීතියට පත්වන ස්වභාවයයි. අනුන්ගේ දුකේදී අනුකම්පාව දැක්වීම තරම් අනුන්ගේ සැපතේදී සතුටුවීම පහසු නැත. එම අපහසු තත්ත්වය යමකු තුළ ඇති වන්නේ නම් එය උසස් ගුණයකි. සැපතට පත් තැනැත්තා තමාගේ ඤාතියකු හෝ හිතවතකු වන නිසා තමා ද සතුටුවීම මුදිතා බ්‍රහ්ම විහාරය නොවේ.

කිසිදු භේදයකින් තොරව ඕනෑම අයකු සැපවත් වනු දැක අවංකව සතුටුවන ගතිය මුදිතා බ්‍රහ්ම විහාරයයි.

සොරකම් අල්ලස් ගැනීම් ආදී දුසිරිත් වලින් ධනවත් වී ප්‍රිති වන්නෙකු පිළිබඳව ඇති කර ගත යුතු වන්නේ මුදිතාව නොව කරුණාවයි.

දැනට තාවකාලිකව සතුටක් ඔහු ලැබූවත් දුසිරිත් නිසාම අනාගත දුකට භාජනය වන බව දැකීමෙන් ඇති වන්නේ අනුකම්පාවකි. 

මොන ක්‍රමයකින් හෝ ඔහු එම දුසිරිත්වලින් මුදා ගැනීමට ක්‍රියා කරන්නේ කරුණාව ඇති වුවහොත් පමණි. කරුණාව ඇති නොවුවහොත් ඇති වන්නේ මුදිතාව නොව ද්වේශයයි.

සැප සම්පත් වලින් ආඩ්‍යව එහෙත් පරිත්‍යාග නොකර කා බී විනෝදයෙන් ගත කරන අයට බුදුරජාණන් වහන්සේ දහම් දෙසා පරිත්‍යාගයට නැඹුරු කර වූයේ කරුණාව නිසාය.

ආත්මාර්ථ කාමී ව සැපවත් ජීවිතයක් ගත කරන්නන් කෙරෙහි කරුණාව දැක්විය යුත්තේ ඔවුන් අධ්‍යාත්මිකව අසරණ තත්වයේ පසුවන බැවිනි ඔවුන් පිළිබඳව මුදිතාව ඇති කර ගත නොහැකිය. ඒ නිසා මුදිතාව නම් දැහැමිව ප්‍රීති වන්නන්ට ඊර්ෂ්‍යා නොකර ඔවුන් සතුටින් විසීම ගැන සතුටට පත්වන ගතියයි. අද සමාජයේ ජීවත් වන බොහෝ දෙනෙකුට අනුන්ගේ සැපතේදී සතුටු විය නොහැකිය. 

මක්නිසාද යත් ඔවුන් නිරන්තරයෙන්ම වෛරයෙන් ක්‍රෝධයෙන් යුක්තව සිටින බැවිනි.

බෞද්ධයන් වන අප නිතර මෙත්සිත පෙර දැරිව කටයුතු කරන්නේ නම් කොතරම් අගනේද. එවිට සමාජයේ පවතින බොහෝ අකටයුතුකම් දුරලිය හැක. එපමණක්ද නොව සමාජය යහපත් කරලීම සඳහාද එය අනුබලයකි.

වත්මන් සමාජය තුළ සිව් බඹ විහරණයන් ප්‍රගුණ කොට හැම හදවත් තුළම මුදිතාව වර්ධනය කිරීමට අප උත්සාහ ගත යුතුය. විශේෂයෙන් සිවු බඹ විහරණයන් තම ජීවිත වල ප්‍රගුණ කර ගැනීම පුරුදු පුහුණු කර ගත යුතුය. එය පවුල් සංස්ථාව තුළ ප්‍රගුණ කරන්නේ නම් ඉබේටම සමාජානුයෝජනය හරහා එය සමාජගත කළ හැක.

අපට මුළුමහත් රටක් සැකසිය නොහැකි වුවත් අපගේ පවුල් සංස්ථාව තුළ එය අපට ක්‍රියාත්මක කරගත හැක. එවිට මුළු සමාජයම මුදිතාවෙන් යුතු එකක් වනු ඇත.

--------------------------------------------

උපේක්‍ෂා

යමෙක් පිළිබඳව හෝ යමක් පිළිබඳව ගැටීමකින් තොරව කා කෙරෙහිත් සම සිත පතුරුවාලීම උපේක්‍ෂාවයි. තමන්ට ස්තූ®ති ප්‍රශංසා කරන විට, ගරු බුහුමන් දක්වන විට, උපකාර කරන විට, ලැදිකමින් ඇසුරු කරද්දී ඒ අය කෙරෙහි බලවත් ඇල්මක් ඇතිකර ගැනීමක් ද නොමැතිව, තමන්ට කවුරු හෝ අවමන් කරන, හිංසා පීඩා කරන අවස්ථාවලදී විරුද්ධවාදිකම් කරද්දීත් කලකිරීමක් හෝ අසතුටු බවකුත් නැතිව මේ අවස්ථා දෙකේදීම තම සිත සමසේ පවත්වා ගැනීමට පුරුදු වීම උපේක්‍ෂාවයි. තාදී ගුණය යනු උපේක්‍ෂාවටම භාවිතා කරන ධර්මයෙහි එන තවත් වචනයෙකි.

උපේක්‍ෂා පාරමිතාව ද බෝසතුන් වඩන ධර්මයකි. එහෙත් එය උපේක්‍ෂා බ්‍රහ්මවිහරය ද නොවේ. උපේක්‍ෂා පාරමිතා - උපේක්‍ෂා බ්‍රහ්මවිහාර දෙකෙහි වෙනස මෙසේය. 

මෙත් වැඩීම් වශයෙන් සත්වයන්ව සුවපත් කිරීමේ උත්සාහය හා සත්වයන් ගැන මධ්‍යස්ථ වීම උපේක්‍ෂා බ්‍රහ්මවිහාරය ය. හිත හිතා සත්වයන් සංස්කාරයන් කෙරෙහි ඇලීම්, විරුද්ධවීම් දෙක හැර මධ්‍යස්ථ වන ස්වභාවය උපේක්‍ෂා පාරමිතාව ය.

සෑම කල්හිම එක් තත්ත්වයකින් සිටින්ට නොලැබේ. ලාභ අලාභ ආදී සියල්ලම වරින් වර සැමටම පැමිණේ. පැවිද්දා හට එයට මුහුණ දීමට සමත් මානසික බලයක් තිබිය යුතුය. ලෝක ධර්මයක් නිසා වෙනසකට නොපැමිණ සිටිය හැකි ලෙසට සිත වැඩීම “උපේක්‍ෂා ගුණය” යි කියනු ලැබේ. එය උසස් ආර්ය ගුණයකි. 

එය සම්පූර්ණයෙන් ඇත්තේ බුදුවරුන් හා රහතන්වරුන් කෙරෙහිය. සාමාන්‍යයෙන් සියලු දෙනාම එක්තරා ප්‍රමාණයකින්වත් ඒ උපේක්‍ෂා ගුණය පතුරුවාලීම පුරුදු කර ගත යුතු වේ.

ලාභෝ අලාභෝ අයසෝ යසෝච
නින්දා පසංසාච සුඛංච දුක්ඛං
එතෙ අනිච්චා මනුපේසු ධම්මා
අසස්සතා විපරිනාම ධම්මා
(අංගුත්තර අට්ඨක නිපාත)

අෂ්ටලෝක ධර්මයන් වශයෙන් දැක්වෙන ලාභ, අලාභ, නින්දා, ප්‍රසංසා, යස, අයස, සැප, දුක යන මේ ස්වභාව ධර්ම අටට බුදු, පසේ බුදු, මහරහතුන්ගේ පටන් කවර කෙනෙකුට වුවද මුහුණදීමට සිදුවන්නේ ම ය. මේ ලෝකයෙහි වෙසෙන අපි සැම දෙනාටම යමක් ලැබෙන අවස්ථාවක් තිබේ. 

ගොවිතැන, වෙළඳාම, රැකී රක්ෂාවකින් හෝ ධනවතුන්ගේ උපකාරයෙන් යම්කිසි දෙයක් ලැබෙන කාලවකවානු තිබේ. එසේම යම් යම් කරදර යෙදී තිබෙන දේත් නැතිවී විනාශ වී යන වකවානු ද ඇත. මේ ලාභ අලාභ දෙකද සමාජයෙන් අපමණ නින්දා අපහාස ලැබෙන අවස්ථාවන් ද ඇත.

මේ අයුරින් ගරු බුහුමන් කරන, උපකාර කරන අවස්ථාවලදී අනුන්ට ගරු බුහුමන් කිරීම, උපකාර කිරීම සත්වයන්ගේ එක්තරා ස්වභාවක යැයි සිතා ඒ අය ගැන මධ්‍යස්ථ විය යුතුය. අනුන්ට අවමන් කරන, කරදර කරන, දුක් දෙන අවස්ථාවලදී ද අනුන්ට කරදර කිරීමත් සත්වයන්ගේ එක් ස්වභාවයක් යැයි සළකා ඔවුන් ගැන මධ්‍යස්ථ විය යුතුය.

ආහාරයෙහි රසය ගැන අපේක්‍ෂා නොකොට එහි ප්‍රයෝජනය පමණක් සළකා බැලිය යුතුය. වස්ත්‍ර හා වාසස්ථාන පිළිබඳව ද එසේම පිළිපැදිය යුතුය. වස්තූන් ලැබෙන කල්හි ද ලැබීමත් එක්තරා ලෝක ස්වභාවයකැයි එයින් උඩඟු නොවී ඒවාට ඇලුම් නොකර ලාභය ගැන මධ්‍යස්ථ විය යුතුය. 

ඥාති මිත්‍රාදීන් තමා හා එක්වන කල්හි ලෝක ස්වභාවයකැයි සළකා ඒ ගැන අහංකාර නොවී මධ්‍යස්ථ විය යුතුය. තමාට කව්රුවත් නැති වී තනි වූ කල්හි ද සියල්ලෙන් වෙන්වීමත් ලෝක ස්වභාවයක් යැයි සිතා දොම්නසට නොපැමිණ මධ්‍යස්ථ විය යුතුය.

නින්දා ලැබෙන කල්හි නින්දා ලැබීමත් එක් ලෝක ස්වභාවයක් යැයි සලකා ඒ ගැන දොම්නසට නොපැමිණ මධ්‍යස්ථ විය යුතුයි. ප්‍රශංසා ලැබෙන කල්හිද ඒ ගැන සොම්නසට නොපැමිණ එයත් එක්ලෝක ස්වභාවක් යැයි සලකා මධ්‍යස්ථ විය යුතුය. රාගයට හේතුවන ස්ත්‍රී රූපාදිය දක්නා කල්හි ඒවායේ අනිත්‍යතාව හා අසුභභාවය මෙනෙහි කොට ඒවා ගැන මධ්‍යස්ථ විය යුතුමය. 

ජරාපත් වූවද භයානක රෝගයන්ගෙන් පෙළෙන්නා වූ ද, පිළිකුල් කළ යුතු පුද්ගලයන් දක්නා කල්හි ද, ලෝක ස්වභාවය මෙනෙහි කොට ඔවුන් පිළිකුල් නොකොට මධ්‍යස්ථ විය යුතුය.

අගනා දුහුල් පිළියෙන් නිමවූ සිවුරු වලින් මෙන්ම අමු සොහොනේ මළසිරුරු ඔතා දැමූ පාංශුකූලික වස්ත්‍රයෙන් පිළියෙළ වූ සිවුරු වලින් ද බුදුරජාණන් වහන්සේ සිය සිරුර වසා ගත්හ. බුදුරජාණන් වහන්සේට පවා ජීවිතයේ දී විවිධ අවස්ථාවන්ට මුහුණදීමට සිදුවූහ. එහෙත් උන්වහන්සේ එහි සුබ පක්‍ෂය මෙන්ම අසුබ පක්‍ෂය ද පිළිගත්තේ ඒකාන්තරවයි. 

බිම්සාර රජ, කොසොල් රජ, අනේපිඬු සිටු, විශාඛා සිටු දුව වැනි උසස් පෙළේ භක්තිමත් දායක දායිකාවන්ගෙන් ලද අගනා සිවුපස ලාභයෙන් උන්වහන්සේ කිසි දිනක උදම් නොවූහ. එසේම පිඬු පිණිස හැසිර දුගී දුප්පතුන්ගෙන් ලද කටුක ආහාරයෙන් ද කම්පා නොවූහ. දොළොස් වන වස්සාන සමයේ වේරංජා නුවර වැඩ වසද්දී බලවත් ආහාරපාන හිඟයකට ද මැදිහත් සිතින් මුහුණ දුන්හ.

ජේතවනාරාමය, පූර්වාරාමය (මිගාර මාතු ප්‍රාසාදය) වැනි සුව පහසු ඇති ආරාම මෙන්ම රුක්මුල් සෙනසුන් ද උන්වහන්සේ ඒකාකාරව පිළිගත්හ. දසවන වස්සාන සමයේ පාරිලෙය්‍ය වනයේ රුක්මුල් සෙනසුන් කොට සුව පහසුවක් නොමැතිව විසූහ. නව අරහාදී බුදු ගුණයන්, කරුණා, මෛත්‍රී ආදී අනන්ත ගුණ සමුදායන් පිළිබඳ කීර්තිය (යසස), ගම්, නියම් ගම්, නගරයන් හි පැතිර යද්දී තීර්ථකාදී මිසදිටුවන්ගේ උපාය මාර්ග නිසා උන්වහන්සේ වෙත අපකීර්තිය ද නොපැමිණියේ නොවෙයි. 

මිනිස් සමාජයේ බොහෝ උගතුන්, නැණවතුන්, ගුණවතුන් මෙන්ම දෙව් බඹුන් ද නන් අයුරින් උන්වහන්සේට ප්‍රශංසා කරද්දී මාගන්දියා, චිංචි මානවිකා, අක්කෝසක බමුණා ආදීහු නින්දා අපහාස කළහ.

කායික සුව පහසුව මෙන්ම රෝග පීඩා දී දුක් ද උන්වහන්සේ සම සිතින් ඉවසූහ. පන්සාලිස් වසක බුද්ධ ජීවිතය ගැන නුවණින් සළකන විට පැහැදිලිව පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සුඛ, දුක්ඛ යන අටලෝ දහමින් කම්පා නොවී ඒ හැම මැදහත්ව ඒකාකාරව ඉවසූ බවයි. 

අටලෝ දහම ඉදිරියේ සමාන පැවතුම් ඇතිව සිටීමේ විශිෂ්ට ලක්‍ෂණය උපේක්‍ෂා බඹ විහරණ ලක්‍ෂණය විදහා පාන්නේය.

බුදුරජාණන් වහන්සේ මෙතෙක් ලොව පහළ වූ මහා කාරුණිකයෝ ය. උන්වහන්සේ කරුණා සාගරයකි. 

උන්වහන්සේගේ හදවත පිරුණේ කරුණාව, දයාව, අනුකම්පාව, මෛත්‍රිය, පරාර්ථ සේවාව, නිහතමානී බව, ඉවසීම, කළගුණ සැළකීම, පොදු බව, සමානාත්මතාව යන ගුණයන්ගෙන් පිරී පවතින ඒ උතුම් ගුණයන්ගෙන් යුතු උතුමෝ උපේක්‍ෂා ගුණයෙන් ලෝකය දෙස බැලුවේය.

තමා සතුව පැවති සියලු සම්පත් දරුවනට දීමෙන් පසු කරුණා. දයානුකම්පා මිනිස් ගුණ ඔවුන් තුළින් පහවෙද්දී මහමඟ සිඟමනට වන් අසරණ පියාට සැනසුම් සුවය ලැබුණේත්, මානුෂික ගුණ සාගරයක් බඳු මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් මානව දයාවෙහි හා සත්වානුකම්පාවෙහි ද බලයෙනි.

සසරෙහි පටන් වෙර බැඳ අවුත් ලොව්තුරු බුදු වූ ජාතියෙහි ද උන්වහන්සේ නසමියි සිතා හිස මත ගල් හෙළූ ඥාති සොයුරු දෙව්දතුන්ටත්, රා බී වියරු වැටී දැන් දැන් සුණු විසුණු කෙරෙවියි ගිණි ගුලියක් සෙයින් කෝපයෙන් උන්වහන්සේ ඉදිරියට දිව ආ නාලාගිරි ඇතුටත්, ගුරු සිසු දෙපස විසින් නොමඟ යැවීමෙන් නමින් අහිංසක වූවද එබඳු ගතිගුණ හැරදා මහා මිනීමරුවකුව දහස් වන ඇඟිල්ල සපුරා ගැනීමට සිටුව මහණැයි, තර්ජනය කරමින් බුදුරදුන් පසුපස එලවූ අංගුලිමාලටත්, සිදුහත් බෝසත් ලෙයින් උපන් බුදුරජාණන් වහන්සේගේ හද තුළ පැවතියේ නොඅඩු, නොවැඩි මිතුරු බවකි.

විවාහ යෝජනාව ප්‍රතික්‍ෂේප කිරීම නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛර බැඳ ගත් මාගන්දියා, උදේනි රජුගේ අග මෙහෙසිය වීමෙන් පසු අවිනීත තරුණයන්ට අල්ලස් දී උන්වහන්සේට නන් අයුරින් නින්දා කරවූවාය. 

සිව්වණක් පිරිස මැද චිංචිමානවිකාව කළ නින්දා අපහාසත්, අක්කෝසක බමුණා බුදුරජාණන් වහන්සේ සිය නිවසට ගෙන්වා ගෙන කළ අක්‍රොශ පරිභවත්, සුන්දරි පරිබ්‍රාජිකාවගේ මරණය හේතුකොට ගෙන තීර්ථකයන් පැවසූ නින්දා වචනත් බුදුරජාණන් වහන්සේ ඉවසූ සේක.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සෝතාපන්න වීමේ වැදගත්කම

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා !
5.3
සුප්පබුද්ධකුට්ඨි සූත්‍රය 
~~~~~~~~~~~~~~~
සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා වදාළ උදානය

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි . ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර ලෙහෙනුන්ගේ අභයභූමිය වූ වේළුවනාරාමයේ .
ඒ දිනවල රජගහ නුවර සුප්‍රබුද්ධ කියලා කුෂ්ඨ රෝගියෙක් හිටියා . ඔහු මිනිසුන් අතර ගොඩාක් දුප්පත් . මිනිසුන් අතර ගොඩාක් අවාසනාවන්තයි. මිනිසුන් අතර දීන කෙනෙක්.
එදා භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේව පිරිවරා ගත් විශාල පිරිසකට දහම් දෙසමින් වැඩසිටියේ .සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාත් සෙනඟ රැස් වෙලා ඉන්න හැටිදුර දීම දැක්කා .දැකලා ඔහුට මෙහෙම හිතුනා .
"නොවැරදීම මෙතැන නම් මොනවාහරි කන බොන දෙයක් බෙදන තැනක් වගෙයි . මමත් ටිකක් ඒ පිරිස ළඟට කිට්ටු කරන්න ඕන. එතකොට ඔය කන බොන දේවල් මොනවා හරි මටත් ලැබෙන්නෙ නැතැයි " කියලා .
ඉතින් සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා ඒ රැස් වුන සෙනඟ ළඟට කිට්ටු වුනා. එතකොට එහි සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාට දකින්නට ලැබනේ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේව පිරිවරා ගත් විශාල පිරිසකට දහම් දෙසමින් වැඩ ඉන්න ආකාරයයි . දැකලා ඔහුට මෙහෙම හිතුනා . 'ආ! මෙතන කන බොන දේවල් බෙදන තැනක් නොවෙයි . මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ පිරිසකට දහම් දෙසනවා නෙ .මමත් එහෙනම් , බණ ටිකක් අහන්න ඕන .' ඔහුත් පැත්තකින් වාඩි වුනේ 'මමත් බණ අහනවා , මමත් ධර්මයට සවන් දෙනවා ' කියලයි .
එතකොට භාග්‍යවතුන් වහන්සේ එතැන උන් පිරිසේ සෑම දෙනාගේම සිත් තම සිතින් විමසා බලා වදාළා . 'මෙතැන ධර්මය අවබෝධ කරන්නේ කවුද? ' කියලා . ඒ පිරිස අතර වාඩි වෙලා සිටිය සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාව භාග්‍යවතුන් වහන්සේ දැක වදාළා . දැකලා මෙහෙම හිතුවා. 'මෙතැන ධර්මය අවබෝධ කරන්න සුදුසු කෙනා මෙයා තමයි ' කියලා .
ඉතින් කුෂ්ඨ රෝගී සුප්‍රබුද්ධ අරභයා අනුපිළිවෙළින් කථාව වදාළා . ඒ කියන්නේ දන් දීමේ අනුසස් ගැන කථාව , සිල් රැකීමේ අනුසස් ගැන කථාව , සුගතියේ ඉපදීම ගැන කථාව , කාමයන් නිසා විඳින දුක් ගැන කථාව , කෙලෙස් නිසා සිත පිරිහීම ගැන කථාව , කෙලෙසුන්ගෙන් නිදහස් වීමේ අනුසස් වදාළා . එතකොට සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාගේ සිත හොඳට සකස් වෙලා , මෘදු වෙලා නීවරණ පහවෙලා , ඔද වැඩී ගිය ප්‍රසන්න සිතකින් යුක්ත වෙලා සිටින මොහොත භාග්‍යවතුන් වහන්සේ දැක වදාළා. එතකොට බුදුවරයන් වහන්සේලාගේ සාමුක්කංසික ධර්ම දේශනාව වන 'දුක, සමුදය , නිරෝධ, මාර්ග' යන චතුරාර්ය සත්‍ය වදාළා . කළු පැල්ලම් නැති පිරිසිදු වස්ත්‍රයකට සායම් පොවන කොට , ඉතා හොඳින් ඒ සායම් උරාගන්නවා වගේ , කුෂ්ඨ රෝගියාටත් තමන් සිටි තැනදීම 'හේතුන්ගෙන් සකස් වූ යම් දෙයක් ඇත්නම්, ඒ හැම දෙයක්ම නැතිවීමෙන් නැතිවෙලා යන ස්වාභාවයෙන් යුක්තයි' කියන කෙලෙස් රහිත, අවිද්‍යා මළකඩ රහිත දහම් ඇස පහළ වුනා .
ඉතින් ධර්මය දැකපු , ධර්මයට පැමිණුන, ධර්මය දැනගත් , ධරමයේ බැසගත්, සැකයෙන් එතෙර වුන, අවිශ්වාසයෙන් බැහැර වුන, ධර්මය තුළ විශාරද බවට පැමිණුන , ශාස්තෘ සාසනය තුළ ස්වාධීනත්වයට පත් වුන, ඒ සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිදින් ආදරයෙන් වන්දනා කළා. පැත්තකින් වාඩි වුන සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා .
"ස්වාමීනී , ඉතාම සුන්දරයි! ස්වාමීනී , ඉතාම සුන්දරයි! යටිකුරු වෙච්ච දෙයක් උඩුකුරු කළා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි . මංමුළා වූ කෙනෙකුට නොවරදින මග කිව්වා වගෙයි . ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරේ තෙල් පහන් දැරුවා වගෙයි . ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා . ස්වාමීනී , ඒ මම භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා . ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා . භික්ෂු සංඝයාත් සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අද පටන් මාව දිවි ඇති තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හැටියට පිළිගන්නා සේක්වා !"
එතකොට භාග්‍යවතුන් වහන්සේ දහම් කථාවෙන් සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාට කරුණු දැක්වූවා. සමාදන් කෙරෙව්වා . උත්සාහවත් කෙරෙව්වා . සතුටු කෙරෙව්වා . ඔහු භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙය සතුටින් පිළිඅරගෙන අනුමෝදන් වුනා . සිටි තැනින් නැගිට්ටා . භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා . ප්‍රදක්ෂිණා කළා . ඉතින් සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියාට වැඩි දුරක් යන්න ලැබුනේ නෑ . අලුත වැදූ වහුපැටියෙක් ඇති ගව දෙනක් අඟින් ඇනලා ඔහුව මරලා දැම්මා .
ඉතින් බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා . ගිහින් ආදරයෙන් වන්දනා කරලා , පැත්තකින් වාඩි වුනා . පැත්තකින් වාඩි වුන ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා .
"ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් දහම් කරුණු කියා දීපූ, සමාදන් කරවපු , උනන්දු කරවපු , සතුටු කරවපු අර සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා මරණයට පත් වුනා . එයා ඉපදුනේ කොහෙද ? එයාගේ පරලොව මොකක්ද ?"
"පින්වත් මහණෙනි , ඔය සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා හරිම බුද්ධිමත් . ධර්මානුධර්ම ප්‍රතිපදාවට බැසගත්තා. ධර්ම කරුණු මුල් කර ගෙන මාව මහන්සි කළේ නෑ . පින්වත් මහණෙනි , සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා සංයෝජන තුනක් ප්‍රහාණය කරලා සෝතාපන්න වුනා . කවදාවත් ආයෙ අපායෙ වැටෙන්නේ නෑ .නියත වශයෙන්ම නිවන අවබෝධ කරගන්නවා ."
මෙහෙම වදාළ විට , එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙහෙම ඇහුවා .
"ස්වාමීනී, ඔය සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා අන්ත දිළිඳු මනුස්සයෙක් . අන්ත අසරණ මනුස්සයෙක් . අන්ත දීන මනුස්සයෙක්. ඒකට හේතුව මොකක්ද ?"
"පින්වත් මහණෙනි , ඕක ගොඩාක් ඉස්සර සිදු වෙච්ච දෙයක් . ඒ කාලෙ ඔය සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා මේ රජගහ නුවර සිටු පුත්‍රයෙක්. දවසක් එයා උයන් බිමට යද්දී , නගරයට පිඬුසිඟා වැඩලා හිටිය 'තගරසිඛී' කියන පසේ බුදුරජාණන් වහන්සේව දැක්කා .දැකලා මෙහෙම හිතුවා . 'ම්...! සිවුරකින් ඇඟ වහගෙන ඉන්න මේ කුෂ්ඨයා කවුද ? ' මෙහෙම හිතලා නින්දා අපහාස කරලා එතැනින් ගියා . ඒ කර්ම විපාක නිසා බොහෝ වර්ෂ ගණනක් , බොහෝ වර්ෂ සිය ගණනක් , බොහෝ වර්ෂ දහස් ගණනක් , බොහෝ අවුරුදු ලක්ෂ ගණනක් ඔහු නිරයේ පැහුනා. ඒ කර්මයේ ඉතිරි විපාකයෙන් තමයි මේ රජගහ නුවරම එයා අන්ත දිළිඳු වෙලා , අන්ත අසරණ වෙලා , අන්ත දීන වෙලා ඉපදුනේ . දැන් ඔහු තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනයට පැමිණිලා , ශ්‍රද්ධාව ඇති කරගත්තා . සිල්වත් වුනා . ධර්ම ඥානය ඇති කරගත්තා . ත්‍යාග ගුණය ඇති කරගත්තා . ප්‍රඥාවන්ත වුනා . ඔහු තථාගතයන් වහන්සේ වදාළ ධර්ම විනයට පැමිණිලා , ශ්‍රද්ධාව ඇතිකරගෙන , සීලය ඇති කරගෙන , ශැතවත් බව ඇති කරගෙන , ත්‍යාග ගුණ ඇති කරගෙන , ප්‍රඥාව ඇති කරගෙන , කය බිඳිලා මැරුණට පස්සේ සුගතිය නම් දෙව්ලොව උපන්නා. තව්තිසා දෙවියන් අතර උපන්නා . ඔහු ඒ දෙව්ලොවදී අනිත් සියලු දෙවියන් අභිබවා, රූපයෙනුත්, කීර්තියෙනුත් බබලනවා."
ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැනගෙන , ඒ වෙලාවේ මේ උදානය වදාළා .
"ඇස් පෙනෙන කෙනා අනතුර හඳුනාගෙන විසම මාර්ගය බැහැර කරලා දානවා වගෙයි,බුද්ධිමත් කෙනා ඇඟේ පතේ වීරිය තියෙන කාලෙ , මේ ලෝකෙ තියෙන පව් බැහැර කරන්න ඕන."
සාදූ ! සාදු !! සාදූ !!!
ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාදන කාලය තුළ කුසල් දහම්හි නිරත වී සසරෙන් එතෙරව ලබන සදාකාලික නිවන් සුව ලබාගැනීමට මේ උතුම් ධර්ම දානය හේතුවාසනා වේවා!
සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය . මෙම සදහම් පණිවිඩය සියලු දෙනා අතර බෙදාහැර (share) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.
තෙරුවන් සරණයි!
( සූත්‍ර පිටකයට අයත් බුද්ධක නිකායේ උදාන පාළි 5, සෝණ වර්ගය )
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

භයානක සසර ජය ගැනීම

දිනක් භාග්‍යවතුන් වහන්සේ අසලට ආ දේවතා පිරිසක් අසනවා ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, රාත්‍රිය උදාවෙනවා. රාත්‍රිය ගෙවී යනවා. දවල් උදාවෙනවා. දවල් ගෙවී යනවා. රාත්‍රිය දවල් ගෙවන එක නොවේ ප්‍රශ්නය. ස්වාමිනි, රාත්‍රී දවල් දෙකේදීම ගෙවෙන්නේ ආයුෂ නේද මනුස්සයාට තිබෙන්නේ බොහෝම අල්ප ආයුෂයි. දෙවියන්ට වගේ ගොඩක් සැපයකුත් නැහැ. භූත, පේ‍්‍රතයන්ට වගේ ගොඩාක් දුකකුත් නැහැ. මේ පුංචි ආයුෂ ගෙවීයන්නේ පුංචි දිය කාණුවක් දවල් සූර්යයා පෑයු ගමන් වතුර ටික සිඳී වේලී යන්නා සේ මේ ජීවිත ආයුෂ ඉවර වීමෙන් මරණ ස්වභාවයට පත්වෙනවා
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ඇසීමෙන් නිවැරැදි අවබෝධයකට යන්න මාර්ගය සැකසෙනවා. මැනවින් මේ ජීවිතය නමැති ලෝකය අවබෝධ කරගත් උන්වහන්සේ අපටත් අසිරිමත් අවබෝධයක් කරා ගමන් කරන්නට අසිරිමත් ධර්මයක් වදාළා.
ශික්ෂණයට දාන්තභාවයකට පත් ආර්යයන් වහන්සේ මේ අසිරිමත් දාන්තභාවය අපටත් ලබන්නට හැකි ධර්මයක්මයි දේශනා කොට වදාළේ. අසිරිමත් ශාන්තියක් ලබාගත් බුදුරජාණන් වහන්සේ ඒ අසිරිමත් ශාන්තිය ළඟා කරගත හැකි ධර්මයක්මක් වදාළේ. භයානක ඝෝර, මර, සසර, තරණය කළ බුදුරජාණන් වහන්සේ අපටත් ඒ භයානක සසර ජය ගන්නට, දිනන්නට, එතෙර වන්නට හැකි ධර්මයක්මයි වදාළේ. එසේ වදාළ ඒ ධර්මය තුළින් අපේ ජීවිතයට අවශ්‍ය ධර්ම කරුණක් අදත් සාකච්ඡා කරමු.
මරණය අර්ථ දක්වන්නේ කෙසේද
“මරණම්පි දුක්ඛං” කියමින් භාග්‍යවතුන් වහන්සේ වදාළේ මරණය අප මුහුණ දෙන භයානකම දුකක් ලෙසයි. ජීවත්වෙලා සිටින අප මරණය ගැන නො සිතුවත්, එසේ සිතන්නට භය වුවත් උන්වහන්සේ වදාළා දිනපතාම මරණානුස්සතිය කමටහනක් ලෙස වැඩිය යුතු බවයි.
මරනවා සහ මැරෙනවා කියන දේ අද සමාජයේ සුලභව පවතින දෙයක්. නැති කරනවා, විනාශ කරනවා, කපනවා, කොටනවා මේ සියලුම දෙයින් සිදුවෙන්නේ මරණයට පත්වීමයි. මරණය හැම මොහොතකම මෙනෙහි කළ යුතු ධර්මතාවයක්. මේ කයට විශාල ආයුෂ ප්‍රමාණයක් නැහැ. ටික කලයි තිබෙන්නේ. මේ ශරීරය මහා පොළොවට ටික දිනකින් කඩාගෙන වැටෙනවා. සයනය කරනවා. එයට උපමාවක් කියන්නම්. ගසක් තිබෙනවා.කාලයකට පසු ඒ ගස දිරා කුඩු හැලී කොයි මොහොතක හරි ඇද වැටෙනවා. ඒ වගේ මේ කයත් විඤ්ඤාණය බැහැර වීමත් සමඟ පොලොවට කඩා වැටෙනවා. දිනක් භාග්‍යවතුන් වහන්සේ අසලට ආ දේවතා පිරිසක් අසනවා ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, රාත්‍රිය උදාවෙනවා. රාත්‍රිය ගෙවී යනවා. දවල් උදාවෙනවා. දවල් ගෙවී යනවා. රාත්‍රිය දවල් ගෙවන එක නොවේ ප්‍රශ්නය. ස්වාමිනි රාත්‍රී දවල් දෙකේදීම ගෙවෙන්නේ ආයුෂ නේද මනුස්සයාට තිබෙන්නේ බොහෝම අල්ප ආයුෂයි. දෙවියන්ට වගේ ගොඩක් සැපයකුත් නැහැ. භූත, පේ‍්‍රතයන්ට වගේ ගොඩාක් දුකකුත් නැහැ. මේ පුංචි ආයුෂ ගෙවීයන්නේ පුංචි දිය කාණුවක් දවල් සූර්යයා පෑයු ගමන් වතුර ටික සිඳී වේලී යන්නා සේ මේ ජීවිත ආයුෂ ඉවර වීමෙන් මරණ ස්වභාවයට පත්වෙනවා යැයි කියා සිටියා. තථාගතයන් වහන්සේ එය අනුමත කර වදාළා. එනිසා මේ මරණය කියන එක බොහෝම භයානකයි. මරණයට වෙලාවක් නැහැ. දරුවා පුංචියි කියා මරයා අතහරින්නේ නැහැ. මහළුයි කියා වැඩිහිටියා කියා අත හැරීමත් නැහැ. කුසලය, අකුසල දන්නේ නැති අයත් මරණවා. දන්න අයත් මරණවා. ඉරහඳ තරණය කළ ගුවන්යානා නිපදවමින් විශ්මකර්ම වැඩ කළ සියලු දෙනාත් මරණවා. මරණය ඉදිරියේ සමානත්වතාවයකුයි තිබෙන්නේ. ඒ නිසා මරණයෙන් බේරීමට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නේ.
කර්ම නිමිත්ත සහ ගති නිමිත්ත කුමක්ද
මරණය සහ මරණාසන්න මොහොත අප සැමදෙනාටම වැදගත් වෙනවා. පෙර පිනකට කලාතුරකින් ලැබෙන මනුස්ස ජීවිතයක් ලැබුණා. ධර්මය විවෘතව තිබෙන කාලයක ඉපදුනා. අංගවිකල නොවී ඉපදුනා. ධර්මයත් ඇසුවා. මේ සියලු දේ ලැබුණත් මරණ මොහොතේදී සිත වරද්දවා ගතහොත් ඇත්තටම එයින් ලැබෙන ප්‍රතිඵලය භයානක යි. ඒනිසා මරණාසන්න අවස්ථාවකදී අපට කර්ම නිමිත්ත සහ ගති නිමිත්ත ඇතිවෙනවා. ධර්මයට අනුව අප කළ කී දේත් අප යන ගමනේ පෙර නිමිති පහළ වෙනවා.
ජීවිතයේ තිබෙනවා අනිත්‍යය ධර්ම. මේ ජීවිතය කෙසේ ගතවේද කියා කල් තියා කියන්න බැහැ. ලෙඩරෝග වැළඳීම, මරණයට පත්වෙන වෙලාව කියන්න බැහැ. මෘත ශරීරය ගඟක පාවේද ගොඩබිමක පස්වේද කියා කල් තබා කීමට අපහසුයි. ඒ වගේම දැන් මනුස්ස ජීවිතයක් ලැබුවාට රස ආහාර අනුභව කළාට මරණයෙන් පස්සේ කෙසේ වේද කියා කියන්න බැහැ. පේ‍්‍රත, භූත ආත්මවලට ගියොත් වතුර උගුරක්වත් ලැබේද කියා බොහෝම සැක සහිතයි. නමුත් ධර්මය අසන, ධර්මය සාකච්ඡා කරන ධර්මය අනුව හැසිරෙන යහපත් මිනිසුන් මරණයට කිසි බියක් නැහැ. සමහර අයට මරණ මංචකයේදී විවිධ නිමිති පහළ වෙනවා. උදාහරණයක් කියන්නම්. ඔබ අසා තිබෙනවා ධම්මික උපාසක ගැන. මරණාසන්න අවස්ථාවක ස්වාමින්වහන්සේ පිරිසක් වැඩ පිරිත් දේශනා කරමින් සිටිද්දී ඔහුට පෙනුනා ආකාසයේ දෙවියන් පිරී ඉතිරි තමන් දෙස බලා සිටින අයුරු. දිව්‍ය ලෝක හයෙන්ම එතැනට ඇවිත් සිටියා. ඒ හැම දෙවිවරුන්ම ධම්මික උපාසකට ඒ ඒ දෙව් ලොවට යන්නට කථා කරනවා. ඔහු අතින් සංඥා කළා ඔහොම ඉන්න කියා. නමුත් ස්වාමින් වහන්සේ සිතුවේ පිරිත නවත්වන ලෙස ඔහු කියනවා කියායි. උන්වහන්සේ පිරිත නවතා විහාරයට වැඩියා. ධම්මික උපාසක මියගොස් දිව්‍ය ලෝකයේ ඉපදුනා. දරුවන් හඬා වැටුනා අපේ තාත්තා අවසාන මොහොතේදී සිහිය විකල්ව මියගියා කියා. බුදුරජාණන් වහන්සේ වදාළා දරුවෙනි තාත්තා එපා කිව්වේ පිරිත නොවේ. අහසේ කලබල කරමින් සිටින දෙවියන්ට කලබල කරන්න එපා යැයි කිව්වේ යැයි වදාළා.
ඒ වගේම සමහර අයට මරණාසන්න මොහොතේ ගස්කොලං පේනවා. ඔහු අසනවා ඇයි මාව කැළයකට ගෙනත් දැම්මේ කියා. එතැන නිමිත්තක් පහළ වෙනවා. තව සමහර අයට තමන්ගේ වස්ත්‍ර සියල්ලම පෙනෙන්නේ රතුපාටට. එයත් ගති නිමිත්තක්. තව අයෙකුට අන්ධකාරයක් පෙනෙනවා. එසේ එකිනෙකාට වෙනස් වෙනස් නිමිති මරණාසන්න මොහොතේදී පෙන්නුම් කරනවා. ඒනිසා අප තේරුම් ගන්න ඕන භයානකම දුක මරණය යි. ඒ දුක ජය ගන්නයි තථාගතයන් වහන්සේ වදාළේ. එනිසා අප තේරුම් ගත යුතුයි මේ ලෝකය දුකයි. ඒ නිසාම ලෝකයෙන් එතෙර විය යුතු බව.
අප හැම දෙනාටම පොදු වූ දෙය මරණයයි. මේ මරණයේ ප්‍රභේද තිබෙනවා ද
බුදුරජාණන් වහන්සේ වදාළා මිනිසුන් මියයන ප්‍රධාන ක්‍රම හතරක් තිබෙනබව වදාළා. ආයුෂ අවසන් වීමෙන් මරණයට පත්වෙනවා. ආයුෂ තිබෙනවා නමුත් කර්මඵලය මුල් වීමෙන් මරණයට පත්වෙනවා. ඒ වගේම ආයුෂ තිබෙනවා. නමුත් මනුස්ස ලෝකයේ ජීවත්වීමට පින මදි. එහිදීත් මැරෙනවා. පිනත් ආයුෂත් දෙකම අවසන් වෙලා මිය යනවා, එය හදිස්සි මරණයක් විය හැකියි. දැල්වූ පහන තෙල් අවසන්ව, පහන් තිරය අවසන්ව හෝ ඒ දෙකම අවසන්ව හෝ ඒ සියල්ලම තිබියදීත් පහන පෙරලීමෙන්, සුළඟක් ඇවිත් පහන නිවෙන්න පුළුවන්.
ඒ වගේම 0 සිට 8 දක්වා මියයන්නන් බාලයන්ගේ මරණ ලෙසත් 8 සිට 32 දක්වා මියයන්නන් අඩු ආයුෂ මරණ ලෙසත්, 32 සිට 60 දක්වා මියයන්නන් මද ආයුෂ ගෙවූ අය ලෙසත් 60 සිට ඉදිරිය ආයුෂ මියයන්නන් පූර්ණායුෂ මරණ ලෙසත් දන්වා තිබෙනවා.
නැවත භවයක ඉපදීමට අපට අවශ්‍ය සාධක මොනවාද
කර්ම බීජ, ක්ලේෂ බීජ, ස්මෘත බීජ, තිබෙනවා නම් නැවතත් උපතක් හට ගන්නවාම යි. බීජ යනු පැළවෙන දෙයක්. එහිදී භවයකට අප ඇදෙනවා. තථාගතයන් වහන්සේ තව උපතකට යාමට අවශ්‍ය කරුණු 3 වදාළා. ඒ දරු උපතකට සුදුසු මවක් සිටිය යුතුයි, ස්ත්‍රි පුරුෂයන්ගේ එකතුවීමක් අවශ්‍යයි වගේම ගන්ධබ්බයෙක් සිටිය යුතු වෙනවා. එවිට මිනිස් හෝ තිරිසන් මව්කුසක උප්පත්තිය ලබනවා.
සදහම් සඟරා - Online