ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

මරණාසන්න මොහොත උපන් මොහොතට වඩා වැදගත්

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

මරණ මංචකයට කවදා හරි වැටෙන අපට සිහිබුද්ධියෙන් මේ මොන බැඳීමක්වත් නැතිව දෑස් පියාගන්නට තිබෙනවා නම් බුදුදහම අනුව අප ප්‍රාර්ථනා කළ යුත්තේ එහෙම මරණයක්.
අපි කවුරුත් මරණයට තැති ගන්නා පිරිසක් ලෝකයේ ජීවත්වන සැම ජීවියෙක්ම හැම මොහොතකම මරණ භයින් තැති ගෙන ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම අදහන පිරිසක් හැටියට බෞද්ධයන් වන අප පමණක් නොව ලෝකයේ ජීවත්වන වෙනත් සෑම ආගමික භක්තිකයන් විතරක් නොවෙයි. කිසිදු ආගමක් අදහන්නේ නැති නිදහස් මත දරන වෙනත් ජන කොටස් පවා මරණය අත්දැකීමෙන් දැන හඳුනාගෙන ඒ කවුරුත් මරණයට භයෙන් ජීවත්වෙනවා. ඒනිසාම බුදුරජාණන් වහන්සේත් පැහැදිලිව දේශනා කරලා තිබෙනවා සියලු සත්වයෝ මරණයට භය වීම සාධාරණ දහමක් බව (සබ්බේ තසන්ති දණ්ඩස්ස) සබ්බේ භායන්ති මච්චුනො–) අප සමාජයේ ජීවත්වන බොහෝ දෙනා මරණය පිළිබඳ නිරන්තරයෙන් තැති ගෙන ජීවත්වෙනවා කියන මේ දහම පුහුදුන් අප සැම දෙනාටම රහසකුත් නොවේ.

සිතිවිලිවලින් පෙළෙමින්

ඒ විතරකුත් නොවෙයි. මරණයට දැන් අප කිට්ටු වෙනවා. දැන් අප ලෙඩ රෝගවලින් පෙළෙනවා. වයසටත් දැන් ගිහිල්ලා කියා සිතන බොහෝ දෙනෙක් අපේක්ෂාවන් හෙවත් අසහනකාරි සිතිවිලිවලින් පෙළෙමින් දුක් විඳිනවා. මානසික වශයෙන් අසහනයට පත්වෙනවා. තමන්ගේ සිත්වල බලපවත්නා රාගාදි අකුසලයන් බහුල වශයෙන් ක්‍රියාත්මකවීම මෙයට හේතුවයි. ඉතාමත් බරපතළ ලෙස සමීපව ආදරයෙන් වෙළිලා අඹුසැමි ජීවිත ගත කරන අය තුළ මෙය වඩාත් දැඩි වෙන අවස්ථා තිබෙන්නට පුළුවනි. ධනවත්ව විශාල මිල මුදල්, රන් රිදී, මුතු මැණික් වැනි වස්තූන් ගොඩගසාගෙන ඒවාට ඇලුම්කරන අයටත් මෙය දැඩි ලෙස බලපානවා. කුමක්ද? කියනවා නම් මම මැරුණාට පස්සේ මේ ධනයට කුමක් වෙයිද, මේ මගේ ව්‍යාපාරයට මොනවා වෙයිද? මගේ ආදරබර භාර්යාව වෙනත් පුරුෂයෙකු හා හාද වී කම්සැප විඳියිද? මගේ දරුවන් මගේ ව්‍යාපාර කටයුතු කාබාසිනියා කර ගනිවීද? මේ වාගේ විවිධ විපරීත අදහස් ඇතිවන්නේ අප යම් යම් දේ පිළිබඳ දැඩි බලාපොරොත්තු ඇති කරගෙන ජීවත්වීම නිසයි. මෙය මානසික වෛද්‍යවරයෙකුගේ පැත්තෙන් බැලුවොත් මානසික රෝගී තත්වයක්. බුදුදහමේ එන කරුණු අනුව බැලුවොත් අප තවදුරටත් යම් යම් දේ පිළිබඳ දැඩි ලෙස අල්ලා ගැනීමක්. සසර දිග් වීමට හේතුවක්. ඇත්තෙන්ම මරණ මංචකයට කවදා හරි වැටෙන අපට සිහිබුද්ධියෙන් මේ මොන බැඳීමක්වත් නැතිව දෑස් පියාගන්නට තිබෙනවා නම් බුදුදහම අනුව අප ප්‍රාර්ථනා කළ යුත්තේ එහෙම මරණයක්. ඒ වුණත් එම අදහස සිහිනයක් පමණක් වන්නේ අප ජීවත් වෙන හැම විටම ඇති කරගෙන තිබෙන බලාපොරොත්තු අපේක්ෂාවන් අප තුළ ගොඩක් තහවුරු වෙලා තිබෙන නිසයි.

නකුල පිතා

මේ සම්බන්ධයෙන් අපේ බුදුරජාණන් වහන්සේ දවස සිදුවීමක් දැන් මතකයට නඟා ගනිමු. මෙයින් කියැවෙන්නේ නකුල පියා ගැනයි. නකුල පිතූ කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රයකුත් දේශනා කරලා තිබෙනවා. එමෙන්ම මේ නකුල පියා බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වන දිනයේදී ම නකුල මාතාවත් සමඟ එනම් තමන්ගේ ආදරණීය භාර්යාවත් සමඟම සෝවාන් ඵලයට පත් ධාර්මික උවසුවෙක්. මේ දෙපළම ඉතා හොඳ ධාර්මික අඹුසැමි ජීවිතයක් ගත කළ දෙදෙනෙක්. ඒ විතරක් නොවෙයි. බුදුරජාණන් වහන්සේ විශ්වාස කර ඇදහිය යුතු උපාසකයන් අතර නකුල පියා ශ්‍රේෂ්ඨතමයා බවට පත් කළ කෙනෙක්. පසු දිනක නකුලපියාගේ නිවසෙහි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට මහා දානයක් පිළිගන්වා අනතුරුව එකත් පසෙකට වූ මේ උපාසකතුමන් නකුල උපාසිකාවන් දෙස යොමු වී බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. “ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස,මේ කියන නකුල උපාසිකාව මගේ පි‍්‍රයභාර්යාව මා හා සරණ පාවාගත් දින සිට මේ භද්‍රයෞවනයෙහි සිටි මා මේ වනතුරු මනසින්වත් වෙනත් කාන්තාවක් පිළිබඳ කිසිදු හැඟීමක් ඇති වූයේ නැහැ. අප ඉදිරි භවයේදීත් ඔවුනොවුන් දැකීමට කැමැත්තෙන් ජීවත්වෙන්නෙ” මෙසේ තම භාර්යාව පිළිබඳ ආදරබර සබැඳියාව බුදුරජාණන් වහන්සේට මේ උපාසකතුමා පෙන්වා දුන්නා. නකුල මාතාවත් සෝවාන් ඵලයට පත් උපාසිකාවක් වුවත් නකුල පියාට ඒ කී ආකාරයෙන්ම මහත් වූ බැඳීමකින් තමයි විවාහ දිවිය ගෙව්වේ. එමෙන්ම මේ දෙපළම බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහත් වූ භක්තියකින් වගේම වරක් භේසකලා වනයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේට පළමු වරට දුටු අවස්ථාවේ සිට ම බුදුරජාණන් වහන්සේගේ දෙපා මතවැටී ඇඬු කඳුළින් වැඳ වැටුණේ තම දෙපළගේ දරුවෙකු යන හැඟීමෙන් බුදුරජාණන් වහන්සේට මහත් දරු සෙනෙහසක් පාමිනුයි. මේ අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ මේ දෙපළගේ අතීත භවයන් මෙනෙහි කරන්නට වුණාම උන්වහන්සේට පෙනී ගියේ පෙරභවයන් ගණනාවක ම මේ දෙපළ තමන් වහන්සේට මව හෝ පියා වෙලාත් තවත් බාප්පා හෝ පුංචි අම්මා , මහප්පලා හෝ මහම්මා වෙලා සසර ඉපදී ඇති බවයි. මේ ආකාරයෙන් මේ සසර දීර්ඝ කාලයක් තුළ පැවැති මේ සෙනෙහස මේ භවයෙහිද තිබෙන ආකාරයයි. මේ නිසා මේ ශාසන ඉතිහාසයෙහි නකුල මවත් නකුල පියාත් සුවිශේෂ බෞද්ධ චරිත දෙකක් බවට පත්වෙනවා.

නකුල මවගේ කලණමිතු ඔවදන්

ඒක එහෙම වුණත් සෝවාන් ඵලයට පත්ව සිටි මේ නකුල පියා මරණ මංචකයට වැටුණ අවස්ථාව උදා වුණා. අන්න ඒ අවස්ථාවේ බුද්ධිමත් වූ සැදැහැති සෝවාන් ඵලයෙහි ද පිහිටා සිටිය නකුල මාතාව තම ස්වාමිපුරුෂයාට කරන අවවාදය කොතරම් බුද්ධිමත් ලක්ෂණවලින් යුක්ත ද යන්න අපට පැහැදිලි වෙනවා.මේ අවවාද වලින් කියැවෙන අර්ථය අද දවසේ දහසකුත් බලාපොරෙත්තු ප්‍රාර්ථනා ඇති කරගෙන සසර කල් යවන අපට හුඟක් වැදගත් වෙනවා. දැඩිව රෝගීව මරණමංචකයට පත්ව සිටින තම ස්වාමිපුුරුෂයා ළඟට ඇය ගියේ තවත් ඇය ගැන වෙනත් රාගාශි‍්‍රත හැඟීමක්වත් තම පුරුෂයාට ඇති වුවහොත් එයද ඔහුගේ සසර දුක විඳීමට හේතුවන බව තේරුම් ගෙන බව අපට පේනවා.ඇය තම ස්වාමිපුරුෂයාට කියනවා පින්වත් ස්වාමීනි , නුඹ දැන් බොහොම අසාධ්‍ය තත්වයෙන් තමා පසුවන්නේ, අප හැම දෙනා වගේ නුඹත් මෙලොව අත්හැරදාලා පරලොව යනවා. ඒක කාටවත් වළක්වාලන්නටත් බැහැ. හැබැයි අප මිය යන අවස්ථාව වෙනකොට අප තවදුරටත් අපේක්ෂාවන් ඇති කරගෙන තෘෂ්ණාවෙන් හෝ වෙනත් අකුසල සිතිවිලිවලින් පෙළෙමින් කලුරිය කිරීම සසර දුක් ඇතිවීමට හේතු වෙනවා. ඒ නිසා මොන විදියකින්වත් දැන් මේ භවයෙහිදී ඇලීම් බැඳීම් හා බලාපොරොත්තු ඇති කර ගන්න එක කොහොමත් සුදුසු දෙයක් නොවෙයි. මෙවැනි අවස්ථාවක නුඹට විවිධ සිතිවිලි ඇතිවෙන්නට පුළුවනි. නුඹට එන්නට ඉඩ තිබෙන සිතිවිලි මෙන්න මේ වගෙයි . ‘මම මියගියාට පස්සේ මගේ මේ භාර්යාව නකුල මාතාවට මේ දරුවන් ටික රැක බලාගෙන ඉදිරි කාලය ගත කරන්නට හැකියාවක් නැති වේවි. මට වගේ කපු කටින්නට එළුලොම් සපයා ගෙන ඒවායින් පලස් ආදිය කරලා ඒවා මිල කරලා යමක් උපයා ගන්නටත් නකුල මාතාවට නො හැකි වුණොත් අනේ,ඇය කොහොමද, මේ දරුවන් ටික රැකබලාගෙන ඇති දැඩි කරන්නේ කියා සිතේවි. කවදත් මගේ මේ භාර්යාව මා මිය ගියාට පස්සේ මෙච්චර කාලයක් එකට ආදරයෙන් බ්‍රහ්මචර්යාවද රකිමින් ජීවත් වූ වත් මා නැති නිසා මා වෙනත් පුරුෂයන් සොයා ගොස් සතුටු වේවි” කියා සිතලා ඒ ගැන කුකුසක් ඇති කරගන්නටත් එපා. එයත් සසරට මහ දුකක්. මා මේ වර්ෂ දාසයක සිට රැක්ක බ්‍රහ්මචරියාවේ කිසිදු වෙනසක් මොන විදියකින්වත් ඇතිවන්නේ නැහැ. තවත් නුඹට සිතෙයි. “මා මළපසු මේ නකුල මාතාව බුදුරජාණන් වහන්සේ දකින්නට නො යාවි, භික්ෂූන් වහන්සේලා දකින්නට විහාරයට නො යාවි” මෙහෙම සිතන්නටත් එපා. මම එතකොට වැඩියෙන් මත් විහාරස්ථානයට ගිහින් බුදුන් දකිනවා. මහා සංඝයා වහන්සේ දකිනවා. තවත් නුඹට සිතන්නට පුළුවනි. “මා මැරුණාට පස්සේ මේ මගේ නකුල මාතාව ශීලය මනාව නො රකියිද? එහෙම හිතන්නටත් එපා. මම මේ සුදුවත් දරමින් සිල් පුරන අනික් උපාසක උපාසිකාවන් වගේ නෙවෙයි. ඊට වඩා තරමක් වෙනස්ව මහත් සැලකිල්ලකින් සිල් ආරක්ෂා කරන තැනැත්තියක්. එහෙම නුඹට සැකයක් තිබෙනවා නම් අපි මේ ළඟ සුසුංමාරගිිරියෙහි භේසකලා වනයෙහි වැඩ සිටින බුදුරජාණන් වහන්සේගෙන් විමසලා දැනගනිමු. තවත් හිතෙන්නට පුළුවනි.”මේ මගේ නකුල මාතාව මා මළ පසු සිතේ සමාධියක් ඇති කරගන්නට නො හැකිව දැන් මේ වෙනකොටත් තිබෙන චිත්ත සමථය පලුදු කර ගනීවි.ආධ්‍යාත්මය බිඳ වැටේවි” කියලා එහෙම හිතන්නට එපා. මමත් සේ සුදුවත් හැඳගෙන සිල් සමාදන් වෙලා චිත්ත සමථය ඇති කරගන්නට භාවනාවෙහි යෙදෙන අනිත් සිල් පූරණ භාවනා කරන උපාසක උපාසිකාවෝ වගේ නෙමෙයි. ඒ ගණයට දාලා හිතන්නට එපා. ඊට වඩා වෙනස් ආධ්‍යාත්මයක් තිබෙන කෙනෙක්. තවත් නුඹට සිතෙන්නට පුළුවනි. “මේ නකුල මාතාව ‘දැනටමත් ඇගේ දියුණු වී පවතින ධර්මවිනය පිහිට කොට මමය මාගේය කියන මේ දැකීමෙන් මිදිලා බුද්ධාදී උතුමන් ගැන නොබිඳෙන සැදැහැ ඇතිව ඒ කරුණු ගැන සැක හැරලා, වෙනත් පිහිටක්, වෙනත් දහමක් වැරදි ලෙස අදහන තත්වයකටවත් පත් වෙයිද?”කියා සිතාගන්නටත් පුළුවනි”.මේ විදියට ඔබ හිතලා සසර දුකක් කර ගන්න එපා. මම මේ දක්වා වැඩූ ආර්ය ගුණබලයෙන් ඔබට රෝගී තත්වය තරමක් යටපත් කරගෙන නැඟිට සිටින මට්ටමට සත්‍යක්‍රියා කරනවා කියා ඇය අධිෂ්ඨාන කළා. ඒ අවස්ථාවේ ඇයගේ ඒ සත්‍යක්‍රියාවෙන් නකුල පියා සයනයෙන් නැඟී සිටියා.

බුදුරදුන් හමුවීම

මෙතෙක් ඇති වූ මේ සැක දුරු කර ගැනුමට බුදුරජාණන් වහන්සේ දකින්නට කතිකා කර ගෙන භේසකලා වනයට ගියේ බුදුරජාණන් වහන්සේ හමුවන්නටය, මෙසේ ගිය මේ දෙදෙනා මේ ගැටලුව උන්වහන්සේට ඉදිරිපත් කළ විට බුදුරජාණන් වහන්සේ වදාරනවා “නකුල පියාණෙනි,මේ නකුල මාතාව නුඹට ලැබුණේ නුඹේ මහත් වාසනා ගුණයක් නිසයි. නුඹට අනුකම්පාවෙන් ඔය ලබා දුන් අවවාද අදහා ගන්න. ඇය වෙනත් සුදුවත් හැඳගෙන සිල් පුරණ අය හා සමකරලා සිතන්න එපා. ඇය සුවිශේෂ උපාසිකාවක් කියලා. ඒ නිසයි නුඹට ලැබුණ මහත් ලාභයක් මේ නකුල මාතාව කියලා මම කියන්නේ.”
දැන් මේ කියපු නකුල මාතාව මිය යන්නට සූදානම් වන ස්වාමි පුරුෂයාට මොන තරම් කල්‍යාණ මිත්‍ර ගුණ ඇති තැනැත්තියක් වූවා දැයි සිතා බැලීමයි අපට වැදගත් වන්නේ. ඇය උතුම් භාර්යා ගුණ ඇති පුුරුෂයාට මාතුසම. එහෙම නැත්නම් මවක් වගේ, සඛීසම මිතුරියක් වගේ. දාසිසම, දාසියක් වගේ, භගිනිසම, සහෝදරියක් වගේ උතුම් ගුණ ඇති භාර්යාවක් නොවේද? මරණාසන්න අයෙකුට පහළ විය හැකි ඔවැනි සිතිවිලි අප ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම ඇති වෙලා අපේ සසර ගමනත් දිගුවන්නට පුළුවන් නිසා අප කවුරුත් බොහොම සීරුමාරුවෙන් පරිස්සමෙන් මෙම භවයෙහි සුවිශේෂ කල්‍යාණ මිත්‍ර භජනයට යොමුවීමේ වැදගත්කම මෙයින් හොඳට ම අපට පැහැදිලි වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බුද්ධපූජාවේ යථාර්ථය

බුද්ධපූජාවේ යථාර්ථයත්, ආමිස පූජාවේ සහ ප්‍රතිපත්ති පූජාවේ සැබෑ අරුතත්, ඒවා නිවැරදි ව අර්ථවත් ව සිදු කරන ආකාරයත් පැහැදිලි කිරීමකි.

බුදු රජාණන් වහන්සේ පිළිබඳ ව සිහි කළ සැණින් අපේ මතකයට නැගෙන්නේ උන් වහන්සේගේ රූපකාය පිළිබඳ සටහනකි. එය වරදක් නො වේ. එහෙත් අප බුදු රජාණන් වහන්සේ හැටියට සලකා වැඳුම්-පිදුම් කරන්නේ එම රූපකායට නො ව, උන් වහන්සේ තුළ පැවති අනන්ත ගුණයට යි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ පැවති දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූ අනව්‍යඤ්ජන ලක්ෂණාදි බොහෝ ආශ්චර්ය ගති-ලක්‍ෂණ බුදු වීමට පෙර, සිද්ධාර්ථ කුමරු අවදියේ දී ම පැවතුණි. එහෙත් අප එම ගති-ලක්‍ෂණවලින් යුක්ත සිද්ධාර්ථ කුමරුට ‘බුද්ධ’ යන නම භාවිත කරන්නේ නැත. ‘බුද්ධ’ යන නාමය ලැබුවේ බෝමැඬ දී සර්වඥතා ඥානය ප්‍රමුඛ කොට ඇති අනන්ත ගුණ සමුදාය උන් වහන්සේගේ මනස තුළ පහළ කරගත්තාට පසු ව යි. එසේ නම් ‘බුද්ධ’ යනුවෙන් අදහස් කරන්නේ, මූලික වශයෙන් එම සර්වඥතා ඥානය ප්‍රමුඛ ගුණ සමූහය යි. එම ගුණ සමුදායෙන් යුක්ත වූ මනස ද, ඒ ඇසුරු කොටගත් ශරීරය ද ඒකාන්තයෙන් පූජනීය වේ. එහෙයින් එම ගුණවලින් යුක්ත වූ මනසත්, එම රූපකායත් සියල්ල එක් ව ගෙන ‘බුදු රජාණන් වහන්සේ’ යනුවෙන් හඳුන්වනු ලැබේ.
ඒ තථාගතයන් වහන්සේගේ රූපකාය මීට වසර දෙදහස් පන්සිය ගණනකට පෙර අභාවයට පත් වූ නිසා ආදාහනයෙන් පසු ශාරීරික ධාතූන් වහන්සේලා පමණක් අද අපට වැඳුම්-පිදුම් කිරීමට ශේෂ ව ඇත. සියලු කෙලෙසුන් නැසූ බැවින් මතු භවයක් ගැන තෘෂ්ණාවක් නැති නිසා පරිනිර්වාණයෙන්, එය කය ඇසුරු කොටගත් අනන්ත ගුණයෙන් යුත් මනසත් පහන් සිලක් මෙන් නිවී ගියේ ය. කිසිවක් ඉතිරි නැත. පහන් සිළ නිවී ගියත් එම ආලෝකයේ වටිනාකම දත් අය එම පහන් සිළුවේ ආලෝකය සියලු කල්හි ම සිහි කරති; පහන දැල්වෙන්නට උපකාර වූ පහන් තැටිය පවා ගෞරවයෙන් සුරකිති. මෙසේ ආලෝකයට ගරු කරන්නා වූ, ආලෝකය කැමති වන්නා වූ මිනිසුන්ට කෙදිනක හෝ ආලෝකය සොයාගන්නට, දැකගන්නට, ආලෝකය දල්වාගන්නට එම ප්‍රයත්නය මහෝපකාරී වේ.
තථාගතයන් වහන්සේ පිරිනිවී පහන් සිළක් සේ සියල්ල නිවී ගියත්, එම ගුණයට ආධාර වූ රූපකායෙන් ශේෂ වූ සර්වඥ ධාතූන් වහන්සේලා සහ ඒ කය ඇසුරු කළ වෙනත් බොහෝ දෑ ගෞරවයෙන් ආරක්‍ෂා කරමින් උන් වහන්සේ තුළ පැවති මහා ප්‍රඥාවේ ආලෝකයත් අනන්ත ගුණයත් ගෞරවයෙන් සිහි කරන්නා වූ මිනිසුන්ට කෙදිනක හෝ ප්‍රඥා ආලෝකය ලබන්නට, ගුණ වඩන්නට එම ප්‍රයත්නය ම මහෝපකාරී වේ. ‘බුද්ධ පූජාව’ යි අප නම් කරන්නේ මෙම ගෞරව සම්ප්‍රයුක්ත වූ ක්‍රියා පිළිවෙතට යි. සිතින්, ගතින් හෝ වචනයෙන් යමෙක් තම ගෞරවය එම තථාගතයන් වහන්සේ වෙත පුද කරන්නේ නම්, එය බුද්ධ පූජාව යි. එම ගරු කිරීම සිදු කරන්නේ චෛත්‍යය අබියස වුවත්, බෝමැඬ අබියස වුවත්, පිළිමයක් අබියස වුවත්, මේ කිසිවක් නැති අන්‍ය තැනක දී වුවත්, එය බුද්ධ පූජාව ම ය. බුදු ගුණ සිහි කරමින්, මල් පහන්, සුවඳ වර්ග, ආහාර, බෙහෙත්, සිවුරු පිරිකර, තූර්ය නාද, ධජ-පතාකාදියෙන් (පසිඳුරන්ගෙන් ගත හැකි දෙයකින්) පිදීම ‘ආමිස පූජාව’ ලෙසත්, බුදු ගුණ හඳුනාගනිමින්, තම මනස තුළ ප්‍රඥාව ආදි ගුණ දියුණු කිරීම ‘ප්‍රතිපත්ති පූජාව’ ලෙසත් හැඳින්වේ.
තථාගතයන් වහන්සේ වෙනුවෙන් ආහාර-පාන මල් පහන් ආදි ආමිසයෙන් පිදීම අර්ථ ශූන්‍ය හිස් ක්‍රියාවක් ය යි සමහර කෙනෙක් එය පහත් කොට කථා කරති. තථාගතයන් වහන්සේ දැනට ජීවමාන ව නැති බැවින් එය වඩාත් නිෂ්ඵල ය යි ද, එය දුගියකුගේ කුසගිනි නිවන්නට දීම ඊට වඩා ඵලදායකය යි ද, ඔවුහු තර්ක-විතර්ක කරති. පූජා කිරීමට මල් කැඩීමෙන් පරිසරය විනාශ වේ ය යි ද, පහන් දැල්වීමෙන් පළඟැටියන් මැරේ ය යි ද ඇතැමකු තර්ක කරන අතර, ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස් ය යි කියමින්, දෙකින් එකක් වත් නැති ව උදාසීන ව කල් ගෙවන අය ද බහුල ය. මෙබඳු බොහෝ මතවාදවලින් මනස නිදහස් කරගෙන උසස් බුද්ධ පූජාවක් සිදු කරන්නට නම්, බුද්ධ පූජාවේ යථාර්ථයත්, ආමිස පූජාවේ හා ප්‍රතිපත්ති පූජාවේ සැබෑ අරුතත්, ඒවා නිවැරදි ව අර්ථවත් ව අන් අයට හානි නොවී සිදු කරන ආකාරයත්, මැනවින් හඳුනාගත යුතු යි. එම අවශ්‍යතාව සපුරාලීම මෙම ලිපියෙහි මූලික අරමුණ යි.
තථාගතයන් වහන්සේ සියලු බුද්ධ කෘත්‍යයන් නිමවා පිරිනිවන් පෑම පිණිස මල්ල රජ දරුවන්ගේ උපවත්තන සල් උයනේ පිරිනිවන් මඤ්චකයෙහි සැතපී සිටිය දී, දසදහසක් සක්වළ දෙවි-බඹුන් අතුරු-සිදුරු නැති ව පැමිණ අවසන් වරට තථාගතයන් වහන්සේට මල්, සුවඳ, තූර්ය නාද ආදි බොහෝ දිව්‍යමය පූජා පවත්වන්නට විය. මෙම කරුණ මුල් කරගෙන තථාගතයන් වහන්සේ ආනන්ද තෙරණුවන් අමතා මෙසේ වදාළහ: “ආනන්දයෙනි, මෙ පමණකින් (මල්, සුගන්ධය, තූර්ය නාද, ආදියෙන්) තථාගතයන් වහන්සේට සත්කාර කළේ හෝ ගරු කළේ හෝ පූජා කළේ හෝ නො වෙයි. යම් භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපාසක-උපාසිකාවක් හෝ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි, සම්‍යක් ප්‍රතිපත්තියෙහි හැසිරෙයි ද, එය ම තථාගතයන් වහන්සේට කරන උසස් ම සත්කාරයත්, ගරු කිරීමත්, පූජා කිරීමත් වෙයි.” (දීඝ නිකාය – මහා පරිනිබ්බාන සූත්‍රය).
මෙම ප්‍රකාශනය උපුටා දක්වන බොහෝ දෙනා පවසන්නේ තථාගතයන් වහන්සේ ආමිස පූජාව ප්‍රතික්‍ෂේප කර ඇති බව යි. එහෙත් ඉහත දේ්ශනාවට පසු ව පිරිනිවන් මඤ්චකයෙහි ම වැඩ හිඳිමින් දේශනා කළ තවත් කරුණක් පිළිබඳ ව ඒ සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු ය.
තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු ආදාහන කෘත්‍යය සිදු කරන්නේ කෙසේ දැ යි ආනන්ද තෙරණුවන් විමසූ විට, චක්‍රවර්ති රජ කෙනකුගේ ශරීරය ආදාහනය කරන අයුරින් එය සිදු කළ යුතුª බව වදාරා, අනතුරු ව මෙසේ දෙසූ හ: “ආනන්දයෙනි, ස්තූප තනා වැඳුම්-පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෝ සතර දෙනෙකි. එනම්: සම්මා සම්බුදු රජාණන් වහන්සේ, පසේ බුදු රජාණන් වහන්සේ, තථාගත ශ්‍රාවක වූ ආර්යයන් වහන්සේ, සක්විති රජු යන මේ සතර දෙනා ය. ආනන්දයෙනිි, කවර කරුණක් නිසා තථාගතයන් වහන්සේ වෙනුවෙන් ස්තූප තනා වැඳුම්-පිදුම් කිරීම සුදුසු වන්නේ ද? ආනන්දයෙනි, මේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ස්තූපය යි, සිත පහදාගෙන බොහෝ දෙනා මරණින් මතු සුගතිගාමී වන හෙයිනි.” (දීඝ නිකාය – මහා පරිනිබ්බාන සූත්‍රය).
ආමිස පූජාව උසස් නොවන බව දේශනා කළ තථාගතයන් වහන්සේ, චෛත්‍ය ඉදි කොට සර්වඥ ධාතූන් වහන්සේලාට පවා වැඳුම්-පිදුම් කිරීම අනුමත කළේ කුමක් නිසා දැ යි විමසා බැලිය යුතු ය. ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස් බව දෙසුවේ, ප්‍රතිපත්තියට මිනිසුන් නැඹුරු කිරීම පිණිස ම ය. නැවත වැඳුම්-පිදුම් කිරීම අනුමත කළේත්, ඒ ඇසුරෙන් මිනිසුන් ප්‍රතිපත්තියට නැඹුරු කිරීමට මග පාදා දීම පිණිස ම ය. මෙහි දී ප්‍රතිපත්තියේ ඇති වටිනාකම මතු කළා මිස, ආමිස පූජාව ප්‍රතික්ෂේප කර නැති බව අවධාරණය කළ යුතු ය.
අද ලෝකයේ තථාගතයන් වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන බොහෝ පූජා ප්‍රතිපත්තියට අනුබල නොදෙන භක්ති මාත්‍ර ආමිස පූජා පමණක් බවට පත් ව තිබෙන්නේ මේ අවබෝධය මිනිසුන්ගෙන් ඈත් වී ඇති නිසා ය.
අපල දුරු කරගැනීම සඳහා, පින් සිදු කරගැනීම සඳහා, තමනුත් බෞද්ධයන් වන නිසා, තථාගතයන් වහන්සේ අපගේ ශාස්තෲන් වහන්සේ නිසා, මව්පිය පරම්පරාවෙන් කරගෙන එන හොඳ වැඩක් නිසා හෝ සංස්කෘතික අංගයක් වශයෙන් හෝ පුද-පූජා පැවැත්වීමට අද සමාජයේ බොහෝ දෙනා පෙලඹී සිටින්නේ එහෙයිනි. ඒ එක ම පරමාර්ථයක් හෝ හාස්‍යයෙන් බැහැර කිරීමට ද පුළුවන්කමක් නැත. ඒ සියලු අදහස් ඒ ඒ අයගේ තරාතිරම මත නිවැරදි ය. එහෙත් අප තථාගතයන් වහන්සේට පූජා පැවැත්වීමේ මූලික පරමාර්ථ මේ සියල්ලට වඩා ගැඹුරු ය.
අපි සියලු දෙන මනුෂ්‍යයෝ ය. ‘මනුෂ්‍යත්වය’ යනු උසස් මනසක් ඇති බව යි. මනස උසස් වන්නේ අන් කිසිවකින් නො ව, ප්‍රඥාව මත යි. ප්‍රඥාව සියලු ගුණ ධර්මයන්ගේ මිනුම් දණ්ඩ වන නිසා, ඕනෑ ම කෙනකු තුළ පවතින ගුණවත් භාවය තීරණය වන්නේ ඒ තැනැත්තාගේ ප්‍රඥාව මත යි. තිරිසනුන් හා අවශේෂ සත්ත්වයන්ගෙන් මිනිසා වෙන් වන්නේ, මෙම ප්‍රඥාව හා ගුණවත් භාවය නමැති කඩඉම නිසා ය. එම කඩඉම පරයා ගිය විට මිනිසුන් හා තිරිසනුන් අතර වෙනසක් නැත. මිනිසා එම මනුෂ්‍යත්වයේ කඩඉමෙන් පහළට නොවැටී රැකෙන්නට නම් ප්‍රඥාව හා ගුණවත් භාවය රැකගත යුතුª ය. එය රකින්නට නම්, වඩන්නට නම්, මුලින් ම හඳුගානැනීමත්, අගය කිරීමත් (ගරු කිරීමත්) අවශ්‍ය ය. මනුෂ්‍යකම රැකෙනුයෙත් වැඩෙනුයෙත් එපමණට ය.
එසේ යමක් හඳුනාගනිද්දී ඒ පිළිබඳ පූර්වාදර්ශය අපට ඉතා වැදගත් වේ. මනස වඩවා මනුෂ්‍යත්වයේ ඇති උත්තරීතර භාවය පිළිබඳ ව මුළු විශ්වයට ම පූර්වාදර්ශය ලබා දුන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි. එහෙයින් බෞද්ධ අබෞද්ධ භේදයකින් තොර ව මනුෂ්‍යත්වය අගයන, මනුෂ්‍යත්වය සුරකින, මනුෂ්‍යත්වය වඩවන සියලු මිනිසුන්ගේ ගෞරවාදරය හා ප්‍රණාමය සියලු කල්හි ම ලබන්නට සුදුසු වන්නේ තථාගතයන් වහන්සේ ම ය.
එහෙයින් බුද්ධ පූජාවක දී අන්‍ය බොහෝ අරමුණු අප තුළ පැවතියත්, පරමාර්ථය විය යුත්තේ මනුෂ්‍යත්වයේ අග්‍ර ඵලයට ගරු කිරීම යි. එය මනුෂ්‍යත්වය රැකගැනීමටත්, උත්තරීතර මනුෂ්‍ය ධර්ම වඩාගැනීමටත් උපකාරී වන ප්‍රධාන මාවත යි.
ආමිසයට වඩා ප්‍රතිපත්තිය උසස් යැ යි සියලු දෙනා පැවසුවත්, ප්‍රතිපත්තිය කුමක් ද, එය වැඩෙන මග කුමක් ද යන්න පිළිබඳ ව නිවැරදි වැටහීමක් බොහෝ දෙනා තුළ නොතිබීම අභාග්‍යයකි. ‘ප්‍රතිපත්තිය’ යනු යම් වැඩ පිළිවෙළකට අනුගත ව ඒ තුළ පැවතීම යි. එය ‘සම්‍යක් ප්‍රතිපත්තිය යි, මිථ්‍යා ප්‍රතිපත්තිය’ යි දෙයාකාර වේ. මෙහි දී අදහස් කරන්නේ සම්‍යක් ප්‍රතිපත්තිය යි. යම් කුසල ධර්මයක පිහිටීම, එය දියුණු කිරීම මෙයින් අදහස් කැරේ. සියලු කුසල ධර්මයන් නව ලෝකෝත්තර ධර්මයට (නිවනට) පැමිණීමේ පූර්ව භාග ප්‍රතිපදාවට අන්තර්ගත වන නිසා, එය ‘නිර්වාණ ගාමිණී ප්‍රතිපදාව’ ලෙස ද හැඳින්වේ. යහපත් ප්‍රතිපදාව තුළින් යහගුණ දියුණු වේ.
මේ ලෝකයේ බොහෝ දෙනා තුළ අඩු-වැඩි පමණින් යම් යම් යහගුණ පවතී. ලෝකයේ පවතින තාක් සියලු දෙනාගේ ඒ සියලු ගුණ අග්‍රය දක්වා ම දියුණු කළ කෙනෙක් ලෝකයේ පහළ වේ නම්, ඒ ‘සම්මා සම්බුදුවරයෙකි.’ උන් වහන්සේ තුළ පවතින එම උත්තරීතර ගුණයන් ඇගයීමෙන් යුතුªව මෙනෙහි කිරීම, ‘බුද්ධානුස්සති භාවනාව’ යනුවෙන් හැඳින්වේ. එසේ බුදුගුණ හෝ අනෙකකු තුළ පවතින යහගුණයක් හෝ ඇගයීමෙන්, ගරු කිරීමෙන් තම මනස තුළ එම ගුණ රෝපණය වීමට පසුබිම සැකසේ. ‘බුදුගුණ අපේ මනස තුළ වඩන්නේ කෙසේ දැ’ යි මෙහි දී විමතියක් ඇති නොකරගත යුතු ය. කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව ආදි ගුණයන් කාගේ මනසේ වැඩුවත් ගුණයන් ම ය. ඒවා අග්‍ර ලෙස තථාගතයන් වහන්සේ තුළ පවතින සිසා ‘බුද්ධ ගුණ’ ලෙස විශේෂයෙන් හඳුන්වනු ලැබේ. එම ගුණයන් අපේ මනස තුළ වැඩෙන්නේ අපට සරිලන පමණට ය.
ගුණවතුන්ගේ ගුණයට ගරු කිරීමේ කාර්යය තුළ අවංක ව කලක් නිරත වෙද්දී, එපමණක් ම නැතත් සුළු වශයෙන් හෝ එම ගුණ තම මනස තුළ වැඩෙන අයුරු දැකගත හැකි ය. මෙසේ ගුණ හඳුනාගැනීම හා ඒවා මනස තුළ වඩවාගැනීම ප්‍රතිපත්තිය ලෙස හදුන්වන අතර, එය සියලු ගුණවතුන්ටත් ඒ අතර අග්‍ර වූ තථාගයත් වහන්සේටත්, ගරු කිරීමක් – උපකාරයක් වන නිසා ‘ප්‍රතිපත්ති පූජාව’ ලෙස ද හැඳින්වේ. ප්‍රතිපත්තිය යනු ද, ප්‍රතිපත්ති පූජාව යනුද, ගුණය මත පිහිටා සිටිමින් ගුණ වැඩි-දියුණු කරන ක්‍රියා පිළිවෙත ම ය.
හොඳ හෝ නරක හෝ තමන්ගේ මනස විසින් යමක් අගය කරයි ද, ගරු කරයි ද, එය මනස තුළ වැඩෙන්නට පටන් ගනී. මෙය මනස පිළිබඳ එක් නියාමයකි. අන් අය තුළ, විශේෂයෙන් තම මිතුරන් තුළ පවතින දුර්ගුණ සැබැවින් ම අගය කරන විට තමන්ට නොදැනීම තම මනස තුළත් එම දුර්ගුණ වැඩෙන බව සියලු දෙනා අත්දැක තිබේ. යහගුණත් එලෙස ම ය. කවුරුන් තුළ හෝ පවතින සද්ගුණයක් අවංක සිතින් අගය කරන විට, ගරු කරන විට එම ගුණය ක්‍රමයෙන් තම මනස තුළත් වැඩෙන්නට පටන් ගනී. එසේ ගුණ වැඩෙන්නට ඇති එක ම ක්‍රමය, පළමු ව ඒ ගුණය හොඳ බව - වටිනා බව - උසස් බව හඟින්නට පුහුණු වීම යි. එය ‘ගුණ ගරුක බව’ යි.
තමන් ගරු කරන ගුණය ඇගයීම සිතින්, වචනයෙන් හෝ කයින් ද කළ හැකි ය. සිතින් කරන ගුණ ඇගයීම ‘අනුස්සති භාවනා’ (බුද්ධානුස්සති, ධම්මානුස්සති ආදි) නමින් හැඳින්වේ. වචනයෙන් කෙරෙන ගුණ ඇගයීම ‘ස්තුති පූජා’ නමින් හැඳින්වේ. ‘වන්දනාව ය, පූජාව ය’ ආදි නොයෙක් නම්වලින් හැඳින්වෙන්නේ කයින් කරන ගුණ ඇගයීම යි.
පෙර එක් තවුසෙක් සුමේධ නම් තථාගතයන් වහන්සේගේ මහා ප්‍රඥාව වර්ණනා කරමින් ස්තුති පූජාවක් කළ බවත්, එම කුසලයෙන් කල්ප හැත්තෑහතක් දෙව් සැප වින්ද බවත්, දහස් වරක් සක්දෙව් රජ වූ බවත්, වාර සිය ගණනක් සක්විති රජ වූ බවත්, අපමණ වාරවල දී රජ වූ බවත්, කල්ප තිස් දහසක් සුගතියේ ම උපන් බවත්, ඒ සියලු තැන තියුණු නුවණ ඇති ව උපන් බවත්, ගෞතම බුද්ධ ශාසනයේ හත් අවුරුදු වියේ දී ම අර්හත්වයට පත් වූ බවත් අපදාන පාළියේ ‘ඤාණථවික ථේර’ අපදානයේ සඳහන් වේ.
මෙය ඇසූ සැණින්, ප්‍රඥාව ලබන්නට නම් බුදු රජාණන් වහන්සේගේ ප්‍රඥා ගුණයට පූජා පැවැත්වීම හොඳ යැ යි කවරකුට වුවත් වැටහේ. එහෙයින් ම තෙසැත්තෑ ඥාන පූජා, පට්ඨාන පූජා වැනි පූජා ක්‍රම පවා නිර්මාණය වී තිබුණත්, ඒවා ද තවත් එක් පූජා ක්‍රමයක් පමණක් බවට පත් ව තිබීම අභාග්‍යයකි.
එදා එම තවුසා බුදුරදුන්ගේ ප්‍රඥාවට ස්තුති කළේ තමන්ට කිසිවක් බලාපොරොත්තුවෙන් නො වේ. හුදෙක් බුද්ධ ගුණයේ ඇති අගය තමන්ට වැටහුණු නිසා, ඔහු එය අව්‍යාජ ව ප්‍රකාශ කළේ ය. එහෙයින් එහි දී ප්‍රබල කුසල් සිත් හටගත්තා මෙන් ම ප්‍රඥාව වැඩෙන්නට සුදුසු ඉඩ-කඩ තම මනස තුළ ද විවර විය. එහෙත් අද බොහෝ දෙනා කරන්නේ ප්‍රඥාව හෝ අන් කිසිවක් ලබාගැනීමේ තෘෂ්ණාව නිසා ම අනෙකකු විසින් කරන ලද බුද්ධ ගුණ වර්ණනාවක් තමනුත් කියවමින් යමක් පූජා කිරීම ය. එහි දී බුද්ධ ඥානයේ වටිනාකම පිළිබඳ අල්ප මාත්‍ර හැඟීමක් හෝ තම සිත තුළින් අවංක ව මතු නොවන නිසාත්, තෘෂ්ණාවෙන් මනස කිලිටි වී ඇති නිසාත්, ප්‍රඥාව වැඩීමට කිසිදු ඉඩ-කඩක් මනස තුළ ඇති නො වේ. අනුන් විසින් කරන ලද බුදු ගුණ වර්ණනාව හෝ තමනුත් මැනවින් වටහාගෙන අවංක ව අගය කරමින් වැඳුම්-පිදුම් කළ හැකි නම්, එම තවුසාට පමණක් නො ව අපට ද ප්‍රඥාව අවදි කොට ප්‍රතිපත්ති මගට පිවිසීමට ඒ ඔස්සේ මග පාදාගත හැකි ය.
එමෙන් ම මලක්, ඉතා සුළු ආහාරයක්, පැන් පොදක් වැනි දේ පූජා කළ අයත් ඒ මඟින් සසර බොහෝ සැප ලබා ප්‍රතිපත්ති මග වඩා සසර ගමන කෙළවර කළ කථා ප්‍රවෘත්ති රැසක් අපදාන පාළි, විමානවත්ථු ආදි ග්‍රන්ථවල දැක්වේ. මේ තරම් බොහෝ දේ, ප්‍රණීතවත් දේ උත්සවශ්‍රීයෙන් පුදන අද සමාජයේ කිසිවෙක් නොලබන මහත් ප්‍රතිඵල, පෙර සිටි අය සුළු දෙයක් පිදීමෙන් පවා ලැබුවේ කෙසේ දැ යි විමසා බැලිය යුතු ය. එදා බුදුරදුන්ට, භික්‍ෂුවකට හෝ තවුසකුට යමක් පුදද්දී, උන් වහන්සේලාට ගුණ වඩන්නට අනුග්‍රහ කිරීමක් වශයෙන් සලකාගෙන හෝ ගුණයට ගරු කිරීමක් වශයෙන් හෝ අවංක ව ම පිදූ හ. එහෙත් අද ඕනෑ ම පූජාවක් කිරීමේ දී මුලින් ම සිතන්නේ එයින් තමන්ට ලැබෙන ඵලය ගැන ය. එයින් තෘෂ්ණාව තව-තවත් වඩාගනිමින් සසර ගමන දිගු කරගන්නට විනා, ප්‍රතිපත්ති මාර්ගයට පිවිසීමට අනුබලයක් නොලැබෙන තැනට කටයුතු යෙදී ඇත. එය ආමිස පූජාවේ වරදක් නො ව, පුදන්නවුන්ගේ ම වරද බව කිව යුතු ය.
තෘෂ්ණාවෙන් හෝ අන් කිසිවකින් හෝ මනස කිලිටි වන්නේ නම් එය හඳුන්වන්නේ ‘අකුසලය – පාපය’ නමිනි. කොතරම් අවශ්‍යතා තිබුණත් ඒවා සපල වන්නට නම් සුදුසු හේතුවක් ගොඩනැගිය යුතු ය. “ඉජ්ඣති භික්ඛවේ පුඤ්ඤවන්තානං චේතෝපණීධි – මහණෙනි, පින් ඇති අයගේ සිතුම්-පැතුම් ඉටු වන්නේ යැ” යි තථාගතයන් වහන්සේ දෙසූ හ. එහෙයින් තම පැතුම් ඉටු කරගැනීමට අවශ්‍ය කෙනා විසින් අවශ්‍යතාව ගැන සිත-සිතා තෘෂ්්ණාවෙන් හරිත වීම වෙනුවට කුසල් සිතක් උපදවාගන්නට උත්සාහවත් විය යුතු ය.
කුසල යනු ශ්‍රද්ධාව, වීර්යය, එකඟ බව, ප්‍රඥාව ආදි මනස පැහැපත් කරන යම් ගුණයකි. බුදුගුණ සිහි කිරීම, එසේ මනස පැහැපත් කරගැනීමට ඇති ඉතා පහසු මෙන් ම ඉතා නිවැරදි මගකි. එහෙයින් කවර ප්‍රාර්ථනාවක් මුල් කරගෙන පූජා පවත්වන්නට යොමු වුණත්, පූජාව කරන මොහොතේ හෝ බුදු ගුණ සිහි කොට කුසල් සිත් උපදවා, එම කුසල බලයෙන් තම පැතුම් ඉටු වන්නට අධිෂ්ඨාන කරගැනීම වඩාත් උචිත ය. එහි දී පැතුම ඉටු වීමට අවශ්‍ය හේතුව (කුසලය) ගොඩනැගූ නිසා, එම කුසලයේ ප්‍රමාණයට ප්‍රාර්ථනාව ඉටු වේ.
මෙසේ බුදුගුණ සිහි කොට ගරු සත්කාර කරන්නවුන්ගේ යහපත් පැතුම් ඉටු වන නිසා, තථාගතයන් වහන්සේ සියලු දෙවි-මිනිසුන්ගේ පූජාවන් ලබන්නට සුදුසු වන සේක. එහෙයින් බුද්ධ පූජාවක දී මල් පහන් ආදි ද්‍රව්‍ය පිදීම මෙන් ම බුදු ගුණ සිහි කිරීම
ද හැකි පමණින් හෝ කළ යුතු ය. බුදු ගුණ සිහි කොට ගරු කළ හැකි නම්, ද්‍රව්‍ය නැතත් මනසින් තථාගතයන් වහන්සේ පිදිය හැකි බව මුලින් සඳහන් කරන ලදි. එසේ නම් ද්‍රව්‍ය නැති ව ම පූජාවක් කළ හැකි යැ යි කෛරාටිකයන් හා ඇතැම් අලස පුද්ගලයන් ද මේ සඳහා පෙලඹෙන්නට ඉඩ ඇතත්, කපටිකම හෝ අලසකම අවංක ශ්‍රද්ධාව හෝ ප්‍රඥාව හෝ නොවන බව අවබෝධ කරගත යුතු ය. මනසින් බුදුගුණ සිහි කොට වැඳුම්-පිදුම් කළ හැක්කේ ඒ තරමට ම ශ්‍රද්ධාව හා ප්‍රඥාව වඩවාගත් අවස්ථාවන්හි දී පමණි. ගිහි පැවිදි ඕනෑ ම තරාතිරමක අයකුට ශ්‍රද්ධාව හා ප්‍රඥාව වඩාගන්නට මල් පහන් ආදි ද්‍රව්‍ය ද එක්තරා ප්‍රමාණයකින් උපකාරී වේ. ඒහෙයින් තථාගතයන් වහන්සේ ජීවමාන ව නැතත් ජීවමාන ව ඇතුවා සේ සලකාගෙන විවිධ ද්‍රව්‍ය රාශි කොට පූජා කිරීමෙන් ද, බොහෝ ප්‍රතිඵල ලබාගත හැකි ය.
ඇතැම් කෙනකුට ඉතා ක්‍රමවත් ව හා අලංකාර ලෙස පූජා ද්‍රව්‍ය සකසාගෙන පිදීමේදීත්, මිහිරි හඬින් බුදුගුණ ගායනා ඇසීමේදීත්, උතුරා යන සතුටක් සොම්නසක් ඇති විය හැකි ය. එහෙත් එය බුදුගුණ අරමුණු කොටගත් හැබෑ ශ්‍රද්ධාවක් ද, නැත හොත් පි‍්‍රයමනාප දේ දැකීමෙන් හා ඇසීමෙන් ඇති වූ තෘෂ්ණා මූලික හැඟීමක් ද යන්න විමසා බැලිය යුතු කරුණකි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මෙතෙරින් එතෙරට

වතුරුගම කන්නිමහර ආර්ය නිකේතනයේ 
මැල්සිරිපුර ධම්මකුසල හිමි

බුදුපියාණන් වහන්සේ “මෙතෙර නමැති ලෝකය” හැර දමා “එතෙර නමැති ලෝකෝත්තර නිර්වාණය” සඳහා ගමන් කරන ආකාරය සංයුත්ත නිකායේ සළායතන වග්ගයේ වේදනා සංයුත්තයේ ඇති “ආසිවිසෝපම සූත්‍රය” තුළින් පෙන්වා දුන් සේක.
පෙර භවයේදී අවසාන සිත හෙවත් චුති සිතට අරමුණු වුන පුඤ්ඤාභි සංඛාරයක් හෙවත් පිනක් නිසා අප සුගති භූමියක උප්පත්තියක් ලබා ඇත. නමුත් චුති සිතට අරමුණු වූයේ අපුඤ්ඤාභී සංඛාරයක් නම්,අප සතර අපායේ ඉපදීමට තිබිණි. එමෙන්ම අරූපාවචර ධ්‍යාන චිත්තයක් හෙවත් ආනෙඤජාභි සංඛාරයක් අවසන් සිත අරමුණු වූවා නම්,අප අරූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි උප්පත්තිය ලබයි. දුක අවබෝධකරගෙන නොමැති නිසා හෙවත් අවිද්‍යාව නමැති මෝඩකම නිසාත්, තෘෂ්ණාව නමැති ඇලීම නිසාත් අප නැවත උප්පත්තියක් ලබයි.
සංසාර ගමනේ මගේ නොවන සතර මහ භූතයන් සොරකම් කරගෙන යන සත්වයාට කර්මය නමැති රජතුමා විසින් උපතේ සිට මරණය දක්වා විෂඝෝර සර්පයන් හතර දෙනෙක් වැනි පඨවි,ආපෝ, තේජෝ , වායො යන ධාතු වලින් සෑදුන ශරීරයක් ලබාදී ලෝකය තුළ සිරගත කරනු ලබයි. මෙම මෝඩ සත්ත්වයා එම විෂ සර්පයන් හතර දෙනා දෑත් වලත්, හිසෙත්, උදරයෙත් වෙළාගෙන තමන්ට ආභරණ ලැබී ඇතැයි උදම් අනමින් ජීවත්වේ. තමන්ට අලංකාර, ජවසම්පන්න, බලසම්පන්න ශරීරයක් ලැබී ඇතැයි, සිතිමින් කටයුතු කරනුයේ මෙම නිසාවෙනි. අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වී “පින්වත් පුරුෂය,නුඹ කවා පොවා සතපවා නඩත්තු කරන ඔය විෂකුරු සර්පයන්ගෙන් අත මිදෙන්න, ඔවුන් ඔබට දෂ්ඨ කිරීමෙන් මරණය හෝ මරණය හා සමාන දුකකට පැමිණෙන්නේය”යි අවිද්‍යා අඳුර දුරලමින් සත්‍යදේශනා කරයි. එවිට ප්‍රඥාවන්තයා, ධාතු සතරක් තමන්ගේ කරගෙන විඳින දුක් අවබෝධ කරගෙන, විෂකුරු සර්පයන් අතහැර පලා යයි. වා , පිත්, සෙම් කිපී අප ලෙඩකරන්නේ, මරණයට පත් කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායො ධාතු කිපීමෙනි. භාග්‍යවතුන් වහන්සේ ධාතු මනසිකාර කමටහන දී ඇත්තේ මෙම විසඝෝර සර්පයන්ගෙන් මිදීමටය.
මෙසේ සර්පයන් හතර දෙනාගෙන් මිදී පලා යන පුරුෂයා නැවත සිරකිරීමට කර්මය නමැති රජතුමා විසින් වධකයන් පස්දෙනෙක් පිටත් කර යවයි. මේ වධකයන් පස්දෙනා නම් පංච උපාදානස්කන්ධයයි. නමුත් එම පුරුෂයා රූපය පෙණ ගොඩක් වැනි හර ශූන්‍ය දෙයක් බවත්, වේදනාව දියබුබුලක් වැනි ඇතිවන තැනම නැතිවන දෙයක් බවත්, සංඥාව මිරිගුවක් වැනි ඈතට තිබෙන බව පෙනුනත් කොතරම් ලඟට ගියත් අල්ලා ගත නොහැකි මුසාවක් බවත්, සංඛාර කෙසෙල් කඳක් මෙන් එකිනෙකට එතී පවතින අරටුවක් නොමැති දෙයක් බවත්, විඤ්ඤාණය මායාවක් මෙන් සත්‍ය වශයෙන්ම නොපවතින දෙයක් පවතින බව අඟවමින් මුලාකරන්නක් බව අවබෝධයෙන් එම වධකයන් පස්දෙනාටත් හසුනොවී පලායයි.
කර්මය නමැති රජතුමා විසින් වධකයන් පස්දෙනා ගෙනුත් මිදී පලායන පුරුෂයා අල්ලා ගැනීමට වැලිකෙලියේ පටන් එකට සිටි එම පුරුෂයාගේ හොඳම මිතුරෙක් හයවෙනි (සවන) වධකයා ලෙස පිටත්කර යවයි. මෙම මිතුරු වේශයෙන් එන සවන වධකයා වනුයේ නන්දි රාගයයි. කුඩා කල සිට එකටම මිත්‍රව කටයුතු කරන නන්දි රාගය පලායන පුරුෂයාගේ මනාප අමනාපකම්, ඇලීම් ස්වභාවයන් සියල්ල දනී. යමකට කැමතිනම්, එයට ඇලෙන්නේ නන්දි රාගය නිසාය. මෙම වධකයාගෙන් මිදීම අපහසුය.නමුත් යමකට ඇලීමෙන් තමන් දුකට පත්වන බව අවබෝධ කරගෙන, මෙම පුරුෂයා සවන වධකයාටත් හසු නොවී පලායයි.
මෙසේ පලායන පුරුෂයාට හිස් ගමක් මුණ ගැසෙයි. මෙහි ඇති ගෙවල් හිස්ය. කෑමට බීමට යමක් සෙව්වත්, එහි ඒවා ඇත්තේ නැත. මෙම හිස් ගෙවල් යනු ආධ්‍යාත්මික ආයතන හෙවත් ඇස, කන, නාසය, දිව, කය, මන වේ. මේවා හිස් ගෙවල් වන්නේ එහි ආහාර නොමැති නිසාය. ඇසට ආහාර ලෙස වර්ණ රූප ලැබේ. කනට ආහාර ලෙස ශබ්ද රූප ලැබේ. නාසයට ආහාර ලෙස ගන්ධ රූප ලැබේ. දිවට ආහාර ලෙස රස රූප ලැබේ. කයට ආහාර ලෙස ඵොට්ඨබ්බ රූප ලැබේ. මනසට ආහාර ලෙස ධම්ම රූප ලැබේ. මෙසේ ආධ්‍යාත්මික රූප නැවත නැවත සාදන්නේ ඒවාට අරමුණු ලැබෙනවා නම් පමණි. එසේ අරමුණු නොමැති වුවහොත් ඒවා හිස් ගෙවල් බඳුය.අන්ධයාගේ ඇස හිස් ගෙයකි. මන්ද? ඊට අරමුණු ගැනීමට නොහැකි නිසාවෙනි.
මේ යථාර්ථය දැකගත් පුරුෂයා හිස් ගෙවල් වලින් ඉවත්ව ගසක් මුල වැතිරෙයි. එවිට සද්ධර්මය නමැති කල්‍යාණ මිත්‍රයා “පින්වත් පුරුෂය, මෙම ගමට ගම් පහරණ සොරු හයදෙනෙක් පැමිණෙන්නේය. වස්තුවක් නැති තොප සොරකමෙහි යොදවා හෝ වහල් හිමියෙකු විකුණා හෝ ඔවුන්ගේ අරමුණු ඉටුකර ගනීවි. වහාම මෙතනින් පිටව යන්න” යි ප්‍රකාශ කරයි. ඔහු එබස් අසා සොරු හය දෙනාගෙන් මිදී පලායන්නේය. මෙම සොරු හයදෙනා යනු බාහිර රූපයි. එනම් වර්ණ රූප,ශබ්ද රූප,ගන්ධ, රස රූප, ඵොට්ඨබ්බප රූප සහ ධම්ම රූපයි. වර්ණරූපය ඇස පැහැරගනී. ඇස විවිධ රූප වලට යොමුකරමින් ඇස සොරකමේ යොදවයි. එමෙන්ම ශබ්ද රූප කන පැහැර ගනී. ඒ තුළින් කන විවිධ ශබ්ලවල යොමුකරමින් කන සොරකමේ යොදවයි. මෙලෙස මගේ නොවන දෙයක් මගේ කරගැනීමට මෙම බාහිර රූප පොලඹවන නිසා ඒවා සොරුන් ලෙස හැඳින්වේ.
ගම් පහරණ සොරුන්ගෙන් මිදී පලායන පුරුෂයාට ගව් සතරක් පළල ගව් සතරක් ගැඹුරු ගංගාවක් මුණගැසෙයි. මෙම ගංගාවෙන් කෙසේ හෝ එගොඩ වන ලෙස සද්ධර්මය නමැති කළණ මිතුරා උපදෙස් දෙයි. මෙම ගංගාව නම් සතර ඕඝයෝය. එනම් කාමය, ඕඝය නමැති සැඩපහරින්ද , භව ඕඝ නමැති සැඩ පහරින්ද, දිට්ඨි ඕඝ නමැති සැඩ පහරින්ද, අවිජ්ජා ඕඝ නමැති සැඩ පහරින්ද මිදී මෙතෙරින් එතෙරට යා යුතුය.
මෙම පුරුෂයාට ගංගාව තරණය කිරීමට කිසිදු ඒදණ්ඩක්, පාලමක් හෝ ඔරුවක් නොමැත. තමන්ගේ මහන්සියෙන්ම නොකැඩෙන පවුරක් සාදාගත යුතුය. මෙම පවුර වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති සහ සම්මා සමාධි යන අංග අටෙන් යුත් මාර්ගයයි.
දැන් එම පුරුෂයා සාදාගත් පවුරෙන් එගොඩවීමට අතපය වෙහෙසා ගංගාව තරණය කරයි. මෙසේ අතපය වෙහෙසීම වීර්ය ලෙස හැඳින්වේ. එනම් සතර සම්‍යක් ප්‍රධාන විර්ය වඩා අකුසලයන් මර්දනය කරමින්, කුසලයන් වර්ධනය කරමින් ඉදිරියට යයි. එම පුරුෂයා මෙසේ ගංගාවේ ගව්වක් තරණය කළ තැන සෝතාපන්න වේ. ගව් දෙකක් තරණය කළ තැන සකදාගාමී වේ. ගව් තුනක් ගිය තැන අනාගාමී වේ. ගව් හතරම තරණය කර ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති පවුරද අතහැර දමා එතෙර ඇති අභයභූමියට පැමිණ බ්‍රාහ්මණයෙක් වශයෙන් සිට ගනිමින් ඒ උතුම් පුරුෂයා අරහත්වයට පත්වේ.
මෙතෙර ලෙස හඳුන්වනු ලබන ලෝකය තුළ ඇත්තේ දුකකි. ලෝකය ලෙස හඳුන්වන්නේ බඹයක් පමණ උසට ඇති මනස සහිත කය නමැති අපගේ ජීවන පැවැත්මයි. පුද්ගලයාගේ ජීවන පැවැත්ම තුළ ජාති, ජරා, ව්‍යාධි, මරණ යනාදි දුක් ඇත. නැවත නැවත ඉපදීමේ මෙම දුකින් මිදිය නොහැක. දුකින් මිදිය හැක්කේ ජාතිය ක්ෂය කිරීමෙනි. ජාති, ජරා, ව්‍යාධි, මරණ යනාදි දුක් සියල්ලම සැකවින්ම පංච උපාදානස්කන්ධය ලෙස හඳුන්වයි. සක්කාය දිට්ඨිය ලෙස හඳුන්වන්නේ පංච උපාදානස්කන්ධය නිත්‍ය, සුඛ,ආත්ම ලෙස ගැනීමයි. බුදුපියාණන් වහන්සේ පුරුෂයා ලෝකය හෙවත් මෙතෙර තුළ බැඳ තබන බන්ධනයන් මෙසේ උපමා උපමේය ඇසුරින් දේශනා කරයි.
රජතුමා – පුරුෂයා සසරේ ගෙනියන කර්මයයි
විෂ ඝෝර නාගයන් සතර දෙනා – සතර මහා භූතයන්ය (එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ)
වධකයන් පස්දෙනා – පංච උපාදානස්කන්ධයයි
සවන වධකයා – නන්දිරාගයයි
හිස් ගෙවල් සහිත ගම – ආධ්‍යාත්මික රූප හයයි. එනම් ඇස, කන, නාසය, දිව, කය, මන)
ගම්පහරණ සොරුන් හය දෙනා –බාහිර රූපයි, (එනම් වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධරූප ,රස රූප, ඵොට්ඨබ්බ රූප සහ ධම්ම රූප)
තරණය කළ යුතු ගංගාව – සතර ඕඝයෝය. (කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ)
පවුර –ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
අතින් පයින් වෑයම් කිරීම, උට්ඨාන වීර්යයයි
ලෝකයෙන් එගොඩ වීමට උපකාර කළ යුත්තේ ලෝකය තුළම ඇති දෙයකි. එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. නමුත් එතෙර වූවාට පසු මෙතෙර ඇති දේ වලින් ඵලක් නැත. එබැවින් ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති පවුරත් අතහැරිය යුතුය. දැන් එම පුරුෂයා කිසිදු බැඳීමක් නැති, බියක් සැකක් නැති එතෙර නමැති අභයපුරයට ගොඩබැස, එහි උතුම් අරහත්වයට පත්වන්නේය.
අපත් අධිෂ්ඨානයෙන් සහ උත්සාහයෙන් වීර්යයෙන් යුතුව ලෝකයෙන් අතමිදී ලෝකෝත්තර නිර්වාණයට ගමන් කිරීමට සද්ධර්මය පවතින මෙම කාලය තුළම කටයුතු කළ යුතුය. අති දුර්ලභව ලැබෙන සද්ධර්මයෙන් ප්‍රයෝජන ගෙන දුක් ඇති මෙතෙරින් දුක නැති එතෙරට ගමන් කරමු.

සැනසීම උදාකර ගත හැකි සරල ජීවිතය

හලා/ ආනන්ද ජාතික පාසලේ ධර්මාචාර්ය බංගදෙනිය 
රතන සෙවණ බෞද්ධ මධ්‍යස්ථාන වාසී 
එළුවාපිටියේ මහින්ද හිමි

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය තුළ අන්තර්ගත වී ඇත්තේ පුද්ගල ජීවිතයක් තුළ සැනසිල්ලක් විඳීමට නම් අල්පේච්ඡතාවයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි. අල්පේච්ඡතාවය යනු බලාපොරොත්තු, අරමුණු ආශාවන් අඩු බවයි. බොහෝ දේ පිළිබඳ අපේක්ෂාවක් නොමැතිබවයි. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා සමාජයක ප්‍රගතියට ඉවහල් වන්නේ අල්පේච්ඡතාවයෙන් යුතුව කටයුතු කරන්නේ නම් දෙලොව සාර්ථක කරගත හැකි බවයි.
භෞතික සැප සම්පත් කෙරෙහි ඇති කරන්නාවූ ගිජුකම නිසා එය පරිහානියට හේතුවක් වෙයි. තමන්ගේ ජීවිතයට අදාළව ආදායමට සරිලන ආකාරයට වියදම් කළ යුතු ය. එහිදි අල්පේච්ඡතාවය ඉතා වැදගත් වේ. අසහනයෙන්, මානුෂික ගැටුම්වලින් තොරව ක්‍රියා කළ හැකිය. ගැටලු, ප්‍රශ්න බහුල වීම පුද්ගලයකුගේ මෙලොව පරලොව දෙලොව පිරිහීමකට හේතුවක් වන්නේ ය. ධම්මපදයේ එන මෙම ගාථාවට අනුව
“තණ්හාය ජායති ශෝකෝ 
තණ්හාය ජායති භයං 
තණ්හාය විප්ප මුත්තස්ස 
නත්ථි සෝකෝ තුජේ භයං”

තණ්හාව නිසා සෝකය හටගනී. තණ්හාව නිසා බිය හටගනී. තණ්හාවෙන් වෙන් වුණ තැනැත්තාට ශෝකයක් නැත. බියක් නැත. මෙලොව ජීවිත්වන පුද්ගලයා බියෙන්, ශෝකයෙන් තොරව ජීවත් වන්නේ නම් යහපත් සුවදායි ජීවිතයක් ගතකළ හැකිය. වර්තමානය දෙස බලන විට පුද්ගල ජීවිතය මහත් වූ ව්‍යසනයකට, අගාදයකට පත්ව ඇත්තේ මේ නිසා ය. එනිසා ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ උත්තරීතර සුවදායි මානසික සුවය විඳින්නට නම් මෙම කරුණ අවධාරණය කරගෙන ජීවිතය ගොඩනඟා ගත යුතු ය.
බුදුරජාණන් වහන්සේ භික්ෂූන් උදෙසා අට පිරිකර තුළින් ජීවිතය ගොඩනඟා ගත හැකි බවත්, බහුභාණ්ඩික වීම ජීවිතය ගැටලු රැසකට හේතුවන බවත්, අවධාරණය කර ඇත. එහිදී සිවුපසය වැළඳිය යුතු ආකාරයත් අවධාරණය කරමින් අල්පේච්ඡව තම අරමුණ මුදුන් පමුණුවා ගැනීමට හේතුවන බව වදාළ සේක.
දේපොළ, ධන සම්පත්, වස්තු සම්භාර රැස් කරන්නට රැස් කරන්නට දුක වේදනාව, අසහනය, සොර සතුරු බිය උග්‍ර වෙයි. භෞතික සම්පත් රැස් කිරීම අල්පේච්ඡතාවය ගිලිහී ගොස් මහේච්ඡතාවය වැඩිවීමට හේතුවක් වෙයි. සමාජයේ පවතින තරඟකාරීත්වය තුළ ඇත්තේ මෙවැනි අසහනකාරී ස්වභාවයකි. මිනිසා තුළ මිනිස් ගුණාංග පහවගොස් තිරිසන් ගති මතුවන්නේ මේ නිසා ය.
“න කහාපණ වස්සේන 
තිත්ථි කාමේසු විජ්ජති 
අප්පස්සාදා දුක්ඛා කාමා 
ඉති විඤ්ඤාය පණ්ඩිතෝ”

මිනිසාට කහවණු වැස්සකිනුත් වස්තුකාම, ක්ලේශ කාමයන්හි තෘප්තියක් ඇති නොවේ. මේ නිසා කාමයෝ සිහිනයෙන් පානය කළ පැනක් මෙන් මඳ ආශ්වාද ඇතියෝය. බොහෝ දුක් ඇතියෝ ය. එසේ සිතා පණ්ඩිතයෝ එය නුවණින් දැනගත යුතු ය. “කිච්ඡෝ මනුස්ස පටිලාභෝ - කිච්ඡං මච්චාන ජීවිතං” මිනිසත් බව ලැබීම දුර්ලභ බවත්, මිනිසුන්ගේ දිවි පැවැත්ම අපහසු බවත් මෙම ගාථා පාඨයෙන් ස්ඵුට වේ. ඒ අනුව ලබාගත් මනුෂ්‍ය ජීවිතය ආශා තෘෂ්ණාදියෙන් පොදිබැඳ නොගෙන සරල චාම් ජීවිතයක් හුරු කර ගැනීම සසර දිවිමාවත දිනන්නට හේතුවක් වෙයි.
පරාභව සූත්‍රයේ දැක්වෙන ආකාරයට සුරාව, සූදුව, මස් මාංශ ආදියෙහි ලොල් වූ ස්ත්‍රියක හෝ පුරුෂයකු තම වස්තු පරිපාලනයෙහි යොදවයි නම් එය පිරිහීමට හේතුවක් වෙයි. එසේම යම් මිනිසෙක් නිතර නිදන සුළු වේද? පිරිස් සමඟ එකට සිටීමට කැමතිවෙයිද? උට්ඨාන වීර්යයෙන් තොරවෙයිද? අලස් වෙයිද, නිතර කිපෙන සුළු වේද? එය පුද්ගලයාගේ පිරිහිමට හේතුවක් වෙයි. මෙම කරුණු අවධාරණයට ගෙන ක්‍රියා කරන්නෝ දියුණුවට පත්වෙයි. දියුණුව හෝ පරිහානිය පුද්ගලයා සතුව පවතින්නක් මිස වෙනත් අයකුට කෙසේවත් වෙනස් කළ නොහැකිය. එනිසා ජීවිතයට අවැසි, සමබරතාවය පවත්වා ගැනීමට මෙම කරුණු මනාලෙස ඉවහල් වෙයි. අනෙක් අතට අල්පේච්ඡ බවෙන් තොර වූයේ නම් පුද්ගල විනාශය ඉක්මන්වේ.
“අලසෝ ගිහි කාමභෝගි නසාධු - අසඤ්ඤතො සබ්බජිතාන සාදු 
රාජාන සාදු අභිසම්මකාරි - යො පණ්ඩිතො කෝධනොතංහසාධු”

ජාතක පාලියේ රට්ලට්ඨ ජාතකයේ සඳහන් වන මෙම ගාථාවට අනුව නොමනා පුද්ගලයෝ සතර දෙනෙක් ඇත. අලස වූ ගිහියා යහපත් නොවේ. අසංවර වූ පැවිද්දා යහපත් නොවේ. විමසා බලා කටයුතු නොකරන පාලකයා යහපත් නොවේ. යම් පණ්ඩිතයෙක් ක්‍රෝධ කෙරේද ඔහුගේ ක්‍රෝධය, කිපෙන සුළු බව යහපත් නොවේ. මේ සියලු කාරණා පුද්ගලයාගේ පිරිහීමට හේතුවක් වෙයි. එම නිසා ජීවිතයක තිබිය යුතු ලක්ෂණ අවබෝධ කරගත යුතු ය. පියුම හට ගන්නේ ගොහුරු මඩෙහිය. නමුත් පියුම සුන්දරය, පිවිතුරුය, සුවදායි වීමේම එම පද්මාකාර ලක්ෂණය හඳුනාගෙන පුද්ගලයා සමාජය තුළ ක්‍රියා කළ යුතු ය. එහිදී ප්‍රධාන වශයෙන් බලපාන සාධක වන්නේ අල්පේච්ඡතාවයෙන් යුතුව කටයුතු කරන්නා හට මේ සියල්ල දෙස මැදිහත් ස්වභාවයෙන් බලා කටයුතු කළ හැකි බවකි.
අප නිතර නිතර භාවිතා කරන “කරණීය මෙත්ත සූත්‍රයේ” දැක්වෙන “අප්පකිච්චෝච සල්ලහුක වුත්ති” පාඨයෙන් දැක්වෙන්නේ කටයුතු බහුල නොවීම, සරල ගතිපැවැතුම් ඇති බවයි. අල්ප කෘත්‍ය තාවයෙන් හා සැහැල්ලු දිවිපැවැත්මෙන් කටයුතු කිරීම පුද්ගල ජීවිතය යහපත් වීමට හේතු සාධක වෙයි. සමස්ත කරුණු දෙස අවධාරණය කරද්දී, කරණීය මෙත්ත සූත්‍රයේ කරුණු කෙතරම් දුරට ජීවිතයට සම්බන්ධ වනවාද යන්න සරල අර්ථය මෙනෙහි කිරීමෙන් පැහැදිලි වේ. එම නිසා කටයුතු බහුල නොවන සමාජයක හිතකර ආකල්ප වර්ධනය කර ගත හැකිය.
සිදුහත් බෝසතාණන් වහන්සේ වසර හයක් අත්ථකිලමතානු යෝගය, කාම සුඛල්ලිකානු යෝගය, යන අන්ත දෙක අනුගමනය කොට එහි නිස්සාරත්වය අවබෝධ කරගෙන මැදුම් පිළිවෙත තුළින් සම්මා සම්බුදු බව අවබෝධ කර ගත්හ. ඒ තුළින් ලෝකය දක්නා මාර්ගය සලසා ගත්හ. එම නිසා බුදුවරු අවබෝධිත දහම තුළ කටයුතු කළ පුද්ගලයා විමුක්ති කාමියකු වෙයි. පෘථග්ජනයා පංචකාම වස්තු පිනවීමට උත්සාහ දරනඅතර ඒ තුළ ඇලී ගැලී කටයුතු කරයි. සැපයි, මිහිරිය කියා ගන්නා දේ සංසාර දිගු පැවැත්මට මාවතක්, මෙවලමක් කර ගනී. එනිසා සියල්ල දෙස මොහොතින් වෙනස්වන මොහොතින් නැති වී විනාශ වී යන ස්වභාවය අවබෝධ කර ගත යුතු ය. ගිහියා සැමවිටම “සුඛ කාමරාගි භුතානි” සියලු දෙනා සැප විඳීමට කැමතිය. ‘දුක්ඛ පටික්කුලා’ දුක් පිළිකුල් කරති, දුක් විඳීමට අකැමැතිය. නමුත් සසර ගමනේ දී, සියල්ල එක හා සමානව සිදු නොවේ. දුක් විඳීමට පවා සිදුවේ. ඒ යථාර්ථය අවබෝධ කර ගත් උත්තමයෝ සසර සැනසීම උදාකර ගනිති. “සංයුක්ත නිකායේ මේඝතරණ සූත්‍රයේ” පුද්ගලයෙක් සැඩ පහරට හසුව දැඩි පරිශ්‍රමයකින් යුතුව එගොඩට පීනා යයිද, එහෙම සැඩ පහරට හසුව පහළට ගසාගෙන යයිද ඔහු විනාශයට පත්වේ. එසේම ජීවිතයේ ස්වභාවය හඳුනාගෙන ක්‍රියා කරන්නා සැඩ පහරින් ගසා නොගොස් ජීවිතය ජය ගන්නා සේ ක්‍රියාකළ යුතු ය.
එනිසා ලබාගත් මනුෂ්‍ය, ජීවිතය දෙස මොහොතක් බලා විමසීමෙන් කටයුතු කරන්නාට එය සුවදායී කරගත හැකිය. ඒ සඳහා ඉවහල් වන මුලික ධර්ම කාරණයක් ලෙස අල්පේච්චතාවය හැඳින්විය හැකිය. ඇල්පේච්ඡතාවයෙන් තොර වූ විට ජීවිතයේ විනාශය ඇතිවේ. එනිසා මෙම කරුණු පිළිබඳ අවබෝධ කරගෙන ඒ අනුව ජීවිතය සැපවත් කර ගැනීමට උත්සුක විය යුතුය. ඒ සඳහා වහා ධර්ම ඥානය පහළ වේවා. තෙරුවන් සරණයි.

හොඳ අයගේ ඇසුර සැපතකි

කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවේණාධිපති, 
මාස්පොත ශ්‍රී ගංගාරාම වාසි, 
ගලගෙදර රතනවංශ හිමි

ජීවිතයක් සාර්ථක වීම උදෙසා ආශ්‍රය සෘජුවම බලපානු ඇත. අප විවිධ විෂම සමාජයක ජීවත් වන්නෙමු. එබැවින් පුද්ගල ඇසුර ඉතා වැදගත් වේ. එහිදී හොඳ, සත් පුරුෂ, කල්‍යාණ මිත්‍ර ඇසුරක් ජීවිතයක් යහපත් වීමට යොදා ගැනීම ඉතා වැදගත් වේ. එහිදී අපට බුදුහිමිගේ මඟ පෙන්වීම ඉතා, වැදගත් වේ. විවිධ සූත්‍රාශ්‍රයෙන් බුදුහිමි ඒ පිළිබඳ කියා දුන් කරුණු කාරණා දැන ඉගෙන ගෙන ඒවා අනුගමනය කිරීමට උත්සාහවන්ත වන්නේ නම් කාගෙ කාගේත් ජීවිත සාර්ථක වනවාට කිසිදු සැකයක් නැත.
ඇසුර පිළිබඳව කතා කිරීමේ දී එහි දෙපැත්තක් තිබෙන බව බුදුරදුන් දේශනා කළහ. එනම් හොඳ ඇසුර හා නරක ඇසුර යන්නයි. එහිදී අප ඇසුරට පත් කර ගත යුත්තේ හොඳ ඇසුරයි. නරක ඇසුර නිරන්තරයෙන්ම ජීවිතයක විනාශය, අසාර්ථකත්වය, අවැඩ පිණිස පවතී. නරක ඇසුර තමන්ටත්, අනුන්ටත්, මෙලොවටත්, පරලොවටත් අයහපතක්ම සිදු කරනු ඇත. එබැවින් අපි නරක අය හඳුනාගෙන ඔවුන්ගෙන් මිදී හොඳ ඇසුරක් ලබා ජීවිතය යහපත් කර ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු. ඒ සම්බන්ධව බුදු හිමි දේශනා කළ කරුණු කාරණා ස්වල්පයක් විමසා බලා ඒ තුළින් ජීවිතය සාර්ථක කර ගැනීමට සිතට ගනිමු.
හොඳ අය නම් සත්පුරුෂයින් කල්‍යාණ මිත්‍රයින්, සිල්වත් ගුණවත් යනාදී පිරිස් ය. ඔවුන් පිළිබඳ හැදෑරීමේ දී අපට වැදගත් සූත්‍රයක් ලෙස මංගල සූත්‍රය ගැනීමට පුළුවන. එහි සඳහන් මංගල කරුණු තිස් අට අතර “පණ්ඩිතා නඤ්ච සේවනා” යනුවෙන් (පණ්ඩිතයන් සේවනය කිරීම) යන මංගල කරුණ වැදගත් වේ. එයට හේතුව වන්නේ පණ්ඩිතයන් නිරන්තරයෙන් හොඳ දේකටම මඟ පෙන්වන බැවිනි. ඔවුන් බහුශ්‍රැත තැනැත්තෝය. සිල්වත් හා ගුණවත්කමින් අනූනය. ඔවුන් ඇසුරු කරන්නන් හට සදා යහපතක් මිස අයහපතක් සිදු නොවේ.
දී. නි ට අයත් සිඟාලෝවාද සූත්‍රය දෙස විමසා බැලීමෙන් එහි කල්‍යාණ මිත්‍රයින් හතර දෙනෙක් දක්වා ඇත. එනම්,
01. උපකාරක (ප්‍රමාදව හෝ සිහි මුලාවෙන් සිටින කල රැකීම) 
02. සමාන සුඛ දුක්ඛ (තම රහස් මිතුරාට පවසන හා මිතුරාගේ රහස් රකින අය.) 
03. අත්ථඛායි (පවින් වළක්වා යහපතෙහි යොදවා නිවන් මඟ පහදා දීම) 
04. අනුකම්පක (දුකේ දී දුක්වීම හා සැපේ දී සතුටුවීම)

ඉහතින් සඳහන් කළ මිතුරන් හොඳ කල්‍යාණ මිතුරන්ය. ඔවුන් ඇසුරු කිරීම කෙනෙකුගේ තම ජීවිතයක්, පවුලේ අන් අයගේ ජීවිතත්, දේපළත් ආරක්ෂාවීමට හේතුවෙනවා සේම, ගුණ ධර්ම අතින් දියුණුවීමට හේතුවක් ද වේ. මෙලොව පමණක් නොව පරලොව ජීවිතය ද යහපත් වීමට හේතු වේ. නිවන් මඟ පාදා ගැනීමටද කල්‍යාණ මිත්‍රාශය බලපානු ඇත. එබැවින් එවැනි මිතුරන් ද ඇසුරු කොට ජීවිතය යහපත් කර ගැනීම ඉතා වැදගත් වේ.
අංගුත්තර නිකායට අයත් ව්‍යග්ග පජ්ජ සූත්‍රය තුළ කල්‍යාණ මිත්‍රයා යනු කවරෙක්ද? යන්න පිළිබඳ දීර්ඝ විස්තරයක් කොට ඇත. එනම්,
ව්‍යග්ගපජ්ජය කල්‍යාණ මිත්‍රත්වය යනු කවරේද? ව්‍යග්ගපජ්ජය මේ ලෝකයෙහි කුලපුත්‍රයෙක් යම් ගමක හෝ නියම් ගමක හෝ එහි ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ තරුණ වූ හෝ මහලු වූ හෝ ශ්‍රද්ධා සම්පන්න, ශීල සම්පන්න, ත්‍යාග සම්පන්න, ප්‍රඥා සම්පන්න අය සමඟ එක්ව සිටී. කතා කරයි. සාකච්ඡා කරයි. ශ්‍රද්ධා සම්පන්නයන් අනුව ශ්‍රද්ධා සම්පත්තිය අනුව හික්මෙයි. ශීල සම්පන්නයන් අනුව ශීල සම්පත්තිය අනුව හික්මෙයි. ත්‍යාග සම්පන්නයන් අනුව ත්‍යාග සම්පත්තිය අනුව හික්මෙයි. ප්‍රඥාසම්පන්නයන් අනුව ප්‍රඥාසම්පත්තිය අනුව හික්මෙයි. මෙය කල්‍යාණ මිත්‍රත්වය යයි කියනු ලැබේ. එම සූත්‍රයට අනුව ශ්‍රද්ධා ශීල, ත්‍යාග, ප්‍රඥා යන ගුණයන්ගෙන් හෙබි ඒ අනුව ඇසුරු විසුරු කරන කටයුතු කරන පිරිස හොඳ මිතුරන් සේම ඔවුන් ඇසුරු කිරීම යහපත කැඳවන්නක් බව සඳහන් වේ. එක් අවස්ථාවක ආනන්ද හාමුදුරුවන් වහන්සේ, බුදු හිමියන්ගෙන් මෙම බුද්ධ ශාසනයේ හරි අඩක්ම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය නිසා නේද? කියා ඇසූ ප්‍රශ්නයකට බුදුරදුන් දේශනා කරන්නේ “මා හේවං අනන්ද, මා හේවං ආනන්ද සකල මෙව හිදං ආනන්ද බ්‍රහ්මචරියං යද්දිං කල්‍යාණ මිත්තතා” යනුවෙනි එනම් ආනන්දය, හරි අඩක් නොව මේ බුද්ධ ශාසනයම පවතින්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මත බව දේශනා කළහ.
සමාජයේ ජීවත් වීමේ දී කල්‍යාණ ඇසුරක්ම ලැබිය යුතු ය. හොඳ කෙනෙකුගේ ඇසුරක් නැත්නම් කෙනෙකුට ජීවිතය ගොඩනඟා ගැනීමට අපහසුය. ධම්ම පදය තුළ ඒ පිළිබඳ දේශනා කොට ඇත්තේ මෙලෙසිනි.
කල්‍යාණ මිත්‍රයකු සොයන්නාහට තමාට වඩා ගුණයෙන් උසස් අයකු හෝ සමාන අයෙකු හෝ නොලැබේ නම් තනිව විසීමේ අදහස දැඩි කර ගත යුතු ය. ගුණවන්තයෙකුගෙන් ලැබෙන සහායකත්වය බාලයකුගෙන් නොලැබේ.
බුදුරදුන් වරක් බාලයින්ගේ ඇසුරට වඩා හුදකලාව විසීම සැපයයි සිතා පාරිලෙය්‍ය වනයට වැඩම කළ ආකාරය ද ඉතා වැදගත් ය. සැරියුත් මුගලන් චරිත කතා තුළින් වුවද කල්‍යාණ මිත්‍රත්වය පිළිබඳ බොහෝ දේ ඉගෙන ගැනීමට පුළුවන. අද යුගයට බුදුසිරිතෙන් හා ශ්‍රාවක චරිත තුළින් ගත යුතු කරුණු බොහෝ ය. ඒවා සිතට ගෙන හොඳ ඇසුරක් ලබා ජීවිතය සාර්ථක කර ගැනීමට පසුබට නොවිය යුතු ය.
සැළලිහිණි සන්දේශය තුළ සඳහන් වන එක් පද්‍ය පන්තියක් විමසීමේ දී ද හොඳ මිත්‍රයකුගේ ලක්ෂණ පැහැදිලි වේ.
මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී 
බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාවිතී

හොඳ මිතුරා දුකත් සැපත් දෙකේදීම මධ්‍යස්ථව ළඟ හිඳී. හරියට සිතුවම් රූප පිටු නොපාන්නක් මෙනි. ඒ අනුව යහපත් ජීවිතයක්, නිරවුල් ජීවිතයක් ගත කිරීමට නම් හොඳ ආශ්‍රයක් තිබිය යුතු බව ඉහත කරුණු තුළින් පැහැදිලි වේ. අපට හොඳ ආශ්‍රයක් තුළින් බොහෝ දේ ලබා ගත හැකිය. අංගුලිමාල, ආලවක, නාලාගිරි, ආදී මිනිස් තිරිසන් බොහෝමයක් බුදුහිමිගේ ඇසුර හා අවවාද අනුශාසනා මත සුමඟට පත් වූ ආකාරය ඉතා පැහැදිලිය. ජාතක පොත් වහන්සේ තුළ බැලුව ද විවිධ ජාතක කතා තුළින් ජීවිත සාර්ථක කරගත් ආකාරය ඉතා ප්‍රකටය.
අප නොයෙක් පින්කම් කොට අවසානයේ කරන ප්‍රාර්ථනා ගාථාව තුළ ද අන්තර්ගතය වන්නේ හොඳ ඇසුරක් ලැබීමයි. එනම්,
ඉමිනා පුඤ්ඤ කමෙමන 
මාමේ බාලසමාගමෝ 
සතං සමාගමෝ හෝතු 
යාව නිබ්බාන පත්තියා 
(මේ පින්කමේ බලයෙන් මා හට අසත්පුරුෂ ආශ්‍රයක් නොවේවා, නිවන් දකිනා තුරා සත්පුරුෂයන්ගේම ආශ්‍රය ලැබේවා)

මේ ආදි විවිධ තැන්වල හොඳ ආශ්‍රයක ඇති වැදගත්කම පැහැදිලි කොට ඇත. ත්‍රිපිටකය හා බුද්ධ චරිතය ඇසුරු කොට ගෙන අපට හොඳ ආශ්‍රයක් ලබා ගැනීම අපහසු කාර්යයක් නොවේ. හොඳ අය ඇසුරු කිරීමෙන් මෙලොව ජීවිතය ප්‍රශ්න ගැටලු පැන නොනැගෙන ආකාරයෙන් සකස් කර ගැනීමට පුළුවන. මව්පිය, දූදරු, ගුරු සිසු, ස්වාමි භාර්යා, ස්වාමි සේවක, ගිහි පැවිදි යන සමාජයේ සියලු කොටස් තුළ හොඳ ආශ්‍රය පැවතිය යුතු ය. එවිට මුළු මහත් සමාජයම යහපත් වනු නිසැක ය. ඒ අනුව අප සෑම කෙනෙක්ම හොඳ ඇසුරක් ලබා මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමටත් පරලොව දුක් නැති කර ගැනීමටත් උතුම් නිවනින් සැනසීමටත් අධිෂ්ඨානය කර ගත යුතු ය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online