ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

ආශ්වාදයේ ආදීනවය සොයා තුච්ඡ සංසාර දුකින් මිදෙන්න

සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරාව ඉතා දුක්‌බර සසරින් මිදියැමේ සුන්දර හා ශෝභමාන මාවත කවරයකුගේ වුව සිත් තුළ විවෘතව ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරන මේ ශීලෝපශෝභිත මහයතිවරයන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහන වන අරණයකදීය. නම් ගොත් හෝ රුව පවා හෙළි කිරීමට අකමැතිවූ උන්වහන්සේගේ මුවමඬලින් ගලා ගිය අමා සදහම් දියෙන් බිඳක්‌ අපි ඔබ සිත් අභිමුව තබමු.

සංවාද සටහන - සුගත් වීරසූරිය

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කොතරම් නම් අසිරිමත් වූවක්‌ද? සියල්ලම සදාතනිකව අතහැර දැමීමෙන් ලත් අනන්ත ප්‍රඥව, අනන්ත කරුණාව, අනත්ත මෛත්‍රිය ආදී අහස පොළොව පවා නුහුලන ඒ මහා ගුණ කඳින්ම ඒ අමාමෑණියන් වහන්සේගේ ජීවන අසිරිය සැදුම් ලැබීය. අනවරාග්‍ර නැතහොත් අගක්‌ මුලක්‌ සෙවිය නොහැකි සාංසාරික ජීවිතයේ ඇති අති මහත්වූ භයංකාරත්වය පිළිබඳව උන්වහන්සේ සත්ව ජීවනය අවදි කළේද එම අසිරිමත් ගුණ සයුර නිසාමය.

එය මනරම් සැඳෑ කාලයක්‌ ව තිබුණේය. සැඳෑ වලා කඩක්‌ සේ රත් පැහැ සිවුරු හැඳ පොරවා ගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එම මොහොතේද වඩිමින් සිටියේ සදහම් චාරිකාවකය. සංයත නිහඬ ගමනින් යුතුවූ ශීලෝපශෝභිත සඟ මුනිවරුන් සිටියේ උන්වහන්සේට පසුපසින් පෙළගැසීය. බුදුන් වැඩි එමඟ එක්‌ තැනෙක වූයේ අතිශය භයංකර වූ මහා ප්‍රපාතයකි. පෘථග්ජන භික්‌ෂුහු නම් ඒ ප්‍රපාතය දුටු සැණින්ම මහත් සේ බියට පත්වූහ. තැතිගත්හ. ස්‌වකීය හදවත්ව වූ සැලුම් වෙව්ලුම් කෑ එම ස්‌වරයෙන්ම උන්වහන්සේලාට බුදුරදුන් ඇමතුණේ ඉබේටමය. 

පින්වත් හිමියනි, භාග්‍යවත් බුදුපියාණෙනි, මෙතරම් බියකරු වූ ප්‍රපාතයක්‌ අප නම් කිසිදාක දැක නැත. ඉදින් හිමියනි, මහා කරුණාවෙන් පවසන්න අපට, මේ මහා බියකරු ප්‍රපාතය හැර තවත් ප්‍රපාත මේ අනන්ත ජීවන ලෝකයේ තවත් තිබේද?' පුහුදුන් ඒ භික්‌ෂුහු විමසූහ.

'පින්වත් මහණෙනි, පින්වත් මහණෙනි මෙහි ඇත්තේ කවර නම් බියකරු බවක්‌ද? මීටත් වඩා අනන්ත වූත් අප්‍රමාණ වූත් භයංකර ප්‍රපාත ගණනාවක්‌ම මේ ලෝකය තුළ තිබෙනවා.

සවන් ගුල් තුළට අමෘතය ඉසින්නාක්‌ බඳුවූ මහා කරුණාවෙන් පිරීගිය බුදුපියාණන් වහන්සේගේ ඒ මුදු සුමුදු ස්‌වර ඇසෙත්ම භික්‌ෂුන්ගේ සිත් නිවිණි. ඒ සුමධුර දම් දෙසුම සංසාර දුක්‌ ගිනි නිවමින් බුදු මුවින් වැගිර ගලා ගියේය. 

'ඉඳින් මහණෙනි, මේ සාංසාරික සත්වයා කෙළවරක්‌ දකින්නෙ නැතිව ජාති දුකට ගොදුරු වෙනව. ජරා දුකටත් ගොදුරු වෙනව. ව්‍යාධි දුකටත් පත්වෙනව. මරණ දුකටත් පත්වෙනව මහණෙනි. සත්ත්වයා මුහුණ දෙන මේ සාංසාරික දුක්‌ අර ඈතින් පෙනෙන ප්‍රපාතයට වඩා අප්‍රමාණ බිය ඇති ප්‍රපාත වෙනවා. එය එසේමැයි මහණෙනි, එය එසේමැයි.

සංසාර දුක අවබෝධ කරගත නොහැකි වී නිමක්‌ නැති දුක්‌ පිරිපතම අනුභව කරන පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ සදහම් දෙසුම සදාතනික වූ අකාලික වූ යථාර්ථයෙන් කෙතරම් පිරී තිබේද? බුදුරදුන් ජාතිය ලෙස දේශනා කොට වදාළේ ඉපදීමය. බුදුපියාණන් වහන්සේ තවදුරටත් වදාළේ මේ ඉපදීම තරම් භයංකර ප්‍රපාතයක්‌ මේ විශ්වය තුළ නැති බවයි. සැබැවින්ම මේ ඉපදීම මෙතරම්ම බියකරු ප්‍රපාතයක්‌ වන්නේ කෙසේදැයි ඔබ මොහොතකට කල්පනා කළාද? 

සොබා සොඳුරෙන් පිරී ගිය ලෝකයේ සොබාදම විසින්ම නිමවනු ලැබූ ප්‍රපාතයකට ඔබ වැටුණොත් වැටෙන්නේ එකවරක්‌ පමණකි. ඒත් ඔබ මේ අතිදීර්ඝ සංසාරය තුළ ජාතිය නැතහොත් ඉපදීම නම් ප්‍රපාතයට කොතෙක්‌ නම් වර වැටෙනවාද? ඔබ එලෙස වැටෙන්නේ වරක්‌ දෙවරක්‌ නොවේ. ඒ වාර ගණන අනන්තය. බුදු නුවණකින් පවා බැලුවත් ඒ වාර ගණන මෙතරම් යෑයි කියන්නට බැරි තරම්මය. අනෙක්‌ පසින් මෙම ජාති ප්‍රපාතය තුළ භවයෙන් භවය ඔබ වැටෙන්නේ ඒකාකාර ජීවිතයකින් නොවේ. නොයෙක්‌ වූ සත්ව වෙස්‌ ගෙන එහි වැටෙන ඔබ වරෙක ලෝකය තුළ අංග විකලයකු, කෙළතොලුවකු, දුගියකු, මගියකු මෙන්ම යාචකයකු, කොරකු හෝ අන්ධයකුදු වන්නට බොහෝ සෙයින්ම ඉඩ තිබෙන්නේමය. මේ හැම සංසාරික තිළිණයක්‌ම ඔබට ලැබෙන්නේ සාංසාරය තුළ සැරි සරමින් ඔබ වැපිරූ බීජවලට අනුවය. එනම් ඔබම රැස්‌ කළ කර්මයන්ගේ අස්‌වැන්න ඔබ ලබන හැම උපතකදීම ඔබට නිසැකවම ලැබේ. ස්‌වාභාවික පරිසරයේ ඇති මහා ප්‍රපාතයකට ඇදවැටීමෙන් සත්ත්වයකු සුළු කාලයක්‌ තුළ මහත්වූ දුකක්‌ විඳ හෝ මියයයි. ඒත් මේ ජාති දුඃඛය නමැති හෙළට වැටෙන සත්වයන් කොතෙක්‌ නම් කටුක දුක්‌ අත් විඳිනවාද? එහිදී ඔවුනට ලැබෙන කර්ම නීතියේ දඬුවමම කොතෙක්‌ නම් තියුණද? උපත නමැති බියකරු හෙළෙහි වැටී ජීවත්වන කාලය තුළදී එයින් බේරී පලා යැමට කිසිවෙකුටත් නොහැකිය. අනෙක්‌ අතින් ඒ ඒ කර්මය විසින් සත්වයාට ලබාදෙන දඬුවම්ද පුදුමය. අනේකකාර භයංකාරත්වයන්ගෙන් යුතු ය. ඇඟ ලොමුඩැහැගන්වනු සමත්ය. 

මේ කතා පුවත මඳක්‌ කියවා බලන්න. මෙය කෝනාගම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදුවූ ප්‍රවෘත්තියකි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයද එදා බොදු සිව් පිරිසෙන් සමන්විත වී තිබිණි. ඒ අතර වූ එක්‌ භික්‌ෂුණියක අර්හත් බව ලබා සංසාර දුකින් සදහටම අතමිදී සිටියහ. දිනක්‌ උන්වහන්සේ තවත් භික්‌ෂුණියක සමග බෝමළුවක්‌ හරහා ගමන් වඩිමින් සිටියහ. පසුපසින් ගමන් කළ ඒ භික්‌ෂුණිය තවමත් සිටියේ පුහුදුන් තත්ත්වයේය. අර්හත් භික්‌ෂුණින් වහන්සේගෙන් එක්‌වරම ගිලිහුණේ කිවිසුමකි. එයින් කෙළ බිඳිත්තක්‌ ගිලිහී බෝමළුවට වැටුණේය. ඒ දුටු පුහුදුන් භික්‌ෂුණියගේ කෝපය ඇවිස්‌සිණ. ඈ එතැනින් නතර වූයේ නැත. බෝමළුවෙහි කෙළ ගැසූ මේ ගණිකාව කවුරුන්දැයි ඈ ගුගුලාය. 

රහත් භික්‌ෂුණියට එය ඇසුණත් ඒ අනන්ත උතුම් රහත් බව නිසාම උන්වහන්සේ එය නෑසුණු තරම් වී. කාලය හෙමි හෙමින් ගලා ගියේය. අර්හත් මෙහෙණින් වහන්සේ පිරිනිවන් පා වදාළහ. පුහුදුන් භික්‌ෂුණිය මරණයට පත්වී කෙළින්ම ගියේ නිරයටය. එහි පමණ කළ නොහැකි කාලයක්‌ නිරාදුක්‌ විඳ ඇය අවසන මිනිස්‌ ලොව උපත ලද්දාය. ඇය එලෙසින් මිනිස්‌ ලොව උපන්නේද සාමාන්‍ය තත්ත්වයකින් නොවේ. උසස්‌ම පවුලක උපත ලද ඈට අතිශය සොඳුරු රූ සපුවක්‌ද ලැබී තිබිණ. එහෙත් ඇයට කවරදාකවත් විවාහ ජීවිතයකට පිවිසී සොම්නසින් ජීවත්වන්නට ලැබුණේම නැත. කර්මයක මහත නම් ඇයට සිතුණේම ගණිකාවක සේ වරදෙහි බැඳෙමින් ජීවත්වන්නටමය. එතැන් පටන් ඇය ලැබූ මිනිස්‌ ජීවිත බොහොමයකදී ඇයට උරුම වූ ඉරණම වූයේ එයයි. බලන්න 'මේ ගණිකාව' මෙය එක්‌ වචනයක්‌ පමණි. එයින් ලැබුණු දුක කොතරම් ඇය සොය සොයා භවයෙන් භවය ලුහුබැඳ ගියාද? 

ජාතිය නමැති භයංකර ප්‍රපාතයට වැටී සිටින ඔබ අතින්ද මෙබඳු අකුසල් සිදුවී නැතැයි කියන්නට බැරිය. එසේ සිදුවී නැත්නම් ඔබට නිරාමිස සතුටක්‌ ලැබිය හැකිය. එමෙන්ම ඔබේ සංසාර ගමන කෙටි වන්නේද එවන් තත්ත්වයක ඔබ සිටින්නේ නම් පමණකි.

ජාතිය නමැති ප්‍රපාතයට ඇදවැටීමෙන් මේ ඔබ මුහුණදෙන සාංසාරික භයංකාරත්වයේ එක්‌ පැත්තක්‌ පමණකි. තවත් කොතෙක්‌ නම් එබඳු වූ පැතිකඩ තිබේද? ඒ ජාත්‍යාදී දුකින් ගහන ප්‍රපාතයට නිබඳ ඇදවැටෙන ඔබට ලෝකය තුළ ඇති ඔබ කැමැති ඕනෑම දෙයක්‌ ඔබට ලබාගත හැකිද? ඔබ ප්‍රිය උපදවන කෙතරම් නම් දැ මේ විසිතුරු මායාවන්ගෙන් පිරී ගිය ලොව තුළ තිබේද? බොහෝවිට ලොව උපදින ඔබ රූපරාගයෙක්‌ මත්වී ජීවත්වෙයි. ඒ අනුව ඔබ ඒ ඒ රූප ලබා ගන්නට කොතෙක්‌ නම් වෙර දරනවාද? 

එතෙකුදු වුවත් එයින් පරාජයට පත්ව ඔබ ශෝකයෙන් උමතු බවට පත්වෙයි. නිරන්තරයෙන් දැවෙන්නට පටන් ගනී. බුදුපියාණන් වහන්සේ පරිදාහ දුක නමින් සදෙසා වදාළේ මේ දුකමය. සාංසාරික අනාථ බව නිසා ජාතිය නමැති ප්‍රපාතයට ඇදවැටෙන ඔබ සොයා භවයෙන් භවය පැමිණෙන මේ දුක ඇත්තටම ඇවිලෙන මහා ගිනි කඳකට වඩා දැඩි නොවේද? එනම් එබඳු ගිනි කඳකට හසුවුවහොත් ඒ තෙම දැවී යන්නේ එක්‌ වරක්‌ පමණක්‌ය. එතෙකුදු වුවත් මේ පරිදාහ දුකින් ඔබේ මුළු ජීවනයම දහස්‌ සහස්‌ සුවහස්‌ වර දැවී නොයන්නේද?

එහෙයින් බුදුපියාණන් වහන්සේ වදාළේ සත්ත්වයා නිරන්තරයෙන් ඇදවැටෙන ජාතිය නැතහොත් ඉපදීම නමැති භයංකාර ප්‍රපාතය තරම් තවත් ප්‍රපාතයක්‌ මේ විශ්ව ධාතුවෙහිම නැති බවයි. මෙබැවින් ඔබලාට මේ මහා සංසාර අගාධයෙන් ගොඩනැඟී ගත හැක්‌කේ එහි ඇති බිය හා දුකම ගවේෂණය කිරීමෙනි. ඒ උදෙසා ඔබ කළ යුත්තේ සංසාර ජීවිතය තුළින් ආශ්වාදය සෙවීම නොවේ. ඒ ආශ්වාදය තුළ වන ආදීනවය සෙවීමයි. එහිලා ඔබගේ මසැස පමණක්‌ නොව සිතද තියුණුව මෙහෙයවන්න. එසේ වන්නේ නම් භයතු පට්‌ඨාන ඥනය ලැබීම ඔස්‌සේ මේ හිස්‌ම හිස්‌ තුච්ඡ සංසාර දුකින් ඔබට ඉක්‌මනින්ම අතමිදෙන්නට හැකිවනවා ඇත.

දුර්ලභ මිනිස්‌ භවයෙන් අනුන්ට කඹුරනවාද?

පූජ්‍ය ආචාර්ය 
බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි

මෙම උතුම් මිනිස්‌ භවය මෙලොව වසන අප වැඩි දෙනෙක්‌ ගෙවන්නේ ඉතා දුකසේය. එසේම බලවත් දුක්‌ඛ සන්තාපයකින්ය. ඒ පිළිබඳව සිතන විට පෙනී යන්නේ පරණ ණයක්‌ වැල් පොලියක්‌ සමග ගෙවන ආකාරයෙන් අප මෙම භවයේත් කළ අතීත අකුසල් ගෙවා දමන බවය. එක්‌තරා මහා විද්‍යාලයක දේශනයකදී පාසල් දරුවන්ගෙන් මා ඇසූ ප්‍රශ්නයක්‌ නම් දරුවනේ ඔබලා වැඩි දිනක්‌ ගතකරන්නේ සතුටින්ද? දුකින්ද? කියායි. එම අවස්‌ථාවේ සියලුදෙනාම කෑගසා කීවේ අසතුටින් සිටිනා බවයි. ඇත්තෙන්ම එය තමා සත්‍යය. ඒත් පුදුමයට පත්වූ මා පෙන්වාදුන්නේ මාගේ ජීවිතයේ සතුටුම කාලය පාසල් කාලය බවය. මෙම අසරණ දරුවන් පාසල් දිවිය අවසන්ව වැඩිහිටියන් වූ විට මුහුණ පෑමට සිදුවන දුක්‌ඛ දෝමනස්‌සයන් නිසා ඔවුනට සිතේවි තම පාසල් දිවිය තමයි සාපේක්‌ෂව හොඳම සතුටු කාලය බව.

කෙසේ වුවද බුදුරජාණන් වහන්සේ පහදාදුන් දුක්‌ඛ සත්‍යය එයයි. මත්වතුර, මත්ද්‍රව්‍ය ගන්නා අය සමග පැවැත්වූ සමීක්‌ෂණවලදී පෙනී ගියේ එම අය තාවකාලික සතුටු විනෝදාස්‌වාදයක්‌ ලැබීමට පියවි මිනිස්‌ ලොවේ දුක්‌ඛ වේදනාව අමතක කිරීමට එසේ ඇබ්බැහිවූ බවයි. එහෙත් එම හුදු තාවකාලික සතුට සදාකාලික විනාශයක්‌ බව ඔවුන් තේරුම් නොගන්නා බවයි අපහට හැඟීගියේ. මේ මිනිස්‌ ලොවේ පෙර කළ පව් කෙලවරක්‌ නොමැතිව ගෙවමින් යන බව සිතාගැනුම යහපති. එම නිසා සෝද සෝදා යළි මඩේ දමන්නාක්‌ මෙන් අවම වශයෙන් කළ පව් (අතීතය) ගෙවන ගමන් අලුතින් පව් (ණය) රැස්‌කර නොගෙන ජීවත්වීමට අප කවුරුත් වගබලා ගත යුතුයි.

මාංශ අනුභවයෙන්, සතුන් මැරීමට අනුබලදීමේ ප්‍රතිවිපාක ඔබ මරණයට පත්වන අවස්‌ථාවේ තනිව හුදකලාව මරණ රකුසා සමග පරදින සටනක්‌ කරන විට ඔබට යස රඟේට තේරුම් යාවි. එහෙත් එය මොනතරම් දුක්‌කන්දරාවක්‌ද? යනු අන්‍යයන්ට තේරුම්කරදීමට ඔබට හෝ මාහට කිසිදා අවස්‌ථාවක්‌ නොලැබෙනු ඇත.

මුළු සෞරග්‍රහ මණ්‌ඩලයම එකම ගොඩකට ගෙන මුංපියලි තරමට වෙන්කර ගණනය කළත් මෙම අග මුල මැද නොමැති අනන්ත සංසාරයේ අතීතයේ ඔබ අප මියගිය වාර ගණන එම සංඛ්‍යාවටත් වඩා වැඩි බව ශ්‍රී මුඛ දේශනාවල සඳහන්ය.

බුද්ධෝත්පාද කාලයක ඉපදී, අතිදුර්ලභ මිනිසත් බවක්‌ ලැබී සද්ධර්ම ශ්‍රවණයට ඇති සියලුම බාධක දුරලා ප්‍රත්‍යන්ත නොවන පතිරූප දේශයක ඉපදී අවුරුදු හැටහැත්තෑවක්‌ වැනි කෙටි ජීවිත කාල පරාසයක අප සියලු දෙනා මේ ගෙවන්නේ අතීත භව වල අප විසින්ම කරන ලද අපරාපරීය, උප්පඡ්ජවේදනීය වශයෙන් ධර්මයේ හැඳින්වෙන අකුසල කර්මවල ශේෂ වූ ඵල විපාකයි.

මේ භවයේ ගෙවා නිමකරලීමට නොහැකි වුවහොත් ඒවා අනාගත භව වලදී නොයෙක්‌ වේෂයෙන් තමන් කරා ඒම අනිවාර්ය වේ. සමාජ උදාහරණයක්‌ වශයෙන් ගතහොත් සමාන කළ හැක්‌කේ පරණ ණය පොලිය සමග ගෙවීමට සිදුවීමයි. ඉදින් සැදැහැවතුනි, ඒ අතරතුර මේ භවයේදීත් තෘෂ්ණාව හේතුකොට ගෙන අප වැඩිපුර කරගන්නේත් ඉදිරි භවවලදී යහපත්සේ ගෙවීමට හැකිවන කුසල නොව තව තවත් වේදනාකාරී අකුසලකර්ම රැස්‌ කිරීමයි.

අද කෙරෙන්නේ අකුසලයන්මය. මුදල් යොදවා කරගන්නා අකුසලයන්මය. උදාහරණ වශයෙන් සම්බුදුපියාණන් අනුමත නොකළ එහෙත් වර්තමානයේ ගජරාමෙට සිදුකරන සතුන්ගේ මරණවලට දායකවෙමින් මාංශ පූජා කරමින්, නැටුම්, ගැයුම්, වැයුම් (බෙර) පෙරහැර පවත්වමින් කරන අකුසල් මූලික පිං නොව පව්කන්දරාවන්ය. අනුවණ බොළඳ පුද්ගලයන් සිතන්නේ වැය කරන මුදල් වැඩිවන්න වැඩිවන්න මීළඟ භවයේදී තව තව ධනය සහිත සිටුවරුන් වී ඉපදෙන බවයි. බණ දේශනාවලදීත් කියවෙන්නේ එයය. එය තෘෂ්ණාව වැඩීමක්‌ බව කියන සහ අසන දෙපාර්ශ්වයම නොදනී. ඇත්තවශයෙන්ම එය කාම තණ්‌හා, භව තණ්‌හා, විභව තණ්‌හාවලින් එක්‌ තණ්‌හාවක්‌ වන භව තණ්‌හාව වැඩීමය.

මේ අනුව මුදල් නොමැති අයට නිවනද නොමැත. කඨින පිංකම්ද නොමැත. දෙව්, බඹලොවද නොමැත. මෙයද අප සම්බුදුපියාණන් දෙසූ අල්පේච්ඡ දහම.

මෙවන් මෝහාන්ධකාරයක්‌ තවත් කොහිද? හැඳ පැළඳ සිටින සිල් වස්‌ත්‍රයකින් හෝ සිවුරු කඩකින් අකුසල කර්ම ඵලදීම වලකාගත හැකි නොවේ. විපාකයෙන් සැඟවී සිටිය හැකි ස්‌ථානයක්‌ද මුළු විශ්වයේම නැත. එය දහමේ සඳහන්ය.

සුපිංවතුනි, ශ්‍රී මුඛ බුදුදහම යනු ඉතා අල්පේච්ඡ ජීවිත ගත කරමින් සසර කතරින් බේරීමට ඇති ඒකායන මාර්ගය මිස සෝබනව හැසිරිය යුතු දහමක්‌ නොවේ. අඳුරින් මිදෙමින් කුසල් රැස්‌කර ගැනුමට සිත නොනැමෙන්නේ නම් අඩු වශයෙන් අකුසල් රැස්‌කර ගැනුමෙන් හෝ මිදෙන්න, ප්‍රඥවන්තවන්න. අවම වශයෙන් පරණ අකුසල් හෙවත් පොලිය සහිත පරණ ණය ගෙවීමට හෙවත් ගොනාපසුපස එන කරත්තයේ වියගහ ගලවා දැමීමටවත් දුක සේ ලැබූ මේ මිනිස්‌ භවයේදී වාසනාවන්ත වන්න. නුවණ මෙහෙයවන්න. 

තෙරුවන් සරණයි

උපෝසථ අෂ්ටාංගික ශීලය සමාදන් විය යුත්තේ ය

ලොව්තුරා තථාගතයන් වහන්සේ සත්වයා දුකින් දුකට පත්වන ආකාරය සහ දුකට පත්වන සත්වයා දුකින් මුදාලීමට අවශ්‍ය කාරනා දේශනා කොට වදාරන ලද්දේ තමන් වහන්සේ බුදු නුවණින් සත්‍ය වශයෙන්ම දැන ගැනීමෙන් අනතුරුවය. ලෙඩදුක් වීමෙන්, මරණයට පත්වීමෙන් අවශ්‍ය ප්‍රමාණයට ධනය නොලැබීමෙන්, වාසය කිරීමට සුදුසු නිවහනක් නොලැබීමෙන්, ඉෂ්ටවේ යයි සිතා සිටින දෑ ඉෂ්ඨ නොවීමෙන් මනුෂ්‍යයන් දුකට පත්ව සිටින අතර, මේ ආකාර දුකින් මිදීමට නොයෙකුත් ආකාරයේ පුද පූජා, කන්නලව් ආදියට බෞද්ධයන් යොමුවීම මේ වකවානුවේ දී සුලභව අසන්නට, දකින්නට ලැබෙන කරුණුය.
පංචසීලය ආරක්ෂා කිරීමෙන්, සිල් ආරක්ෂා කරන්නා හට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ධන ධාන්‍ය ලැබෙන බවත්, කීර්තිමත් පුද්ගලයෙක් වන බවත් නොපැකිලිව ඕනෑම සභාවක ඉදිරියේ දී තම අදහස් නිර්භයව ප්‍රකාශ කිරීමට අවශ්‍ය අධිෂ්ඨාන ශක්තියක් ඇති පුද්ගලයෙක් වන බවත්, මරණාසන්නයේ දී සිහිමුලා නොවී මරණයට පත්වන බවත්, මරණින් මතු සුගති ලෝකවල උපදින බවත්, මහා පරිනිර්වාණ සූත්‍රයේ දී බුදු හිමියන් විසින් මනාව පැහැදිලි කොට දී ඇත. මේ අනුව මෙලොව සැප විපාක ලබාදෙන කුසලයන් පන්සිල් රැකීමෙන් ලබාගත හකි බව ඥානවන්ත බෞද්ධයෙකුට තේරුම් ගත හැක.
නිවන් මග සතර මග, සතර ඵල, පිළිවෙලින් අවබෝධ කරගත යුතු ය. බෞද්ධයන් වශයෙන් මෙලොව සැප විපාක ලබාගනිමින් කොතෙක් මෙලොව සැප වින්දත්, අවසානයේ දී මිය පරලොව ගොස් නැවත නැවත ඉපදීමේ දුක්වලින් මිදීමට පන්සිල් ආරක්ෂා කිරීම ප්‍රමාණවත් නොවන බව දැන ගත යුතු ය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නම් මෙම නැවත ඉපදීම නැති කළයුතු ආකාරයේ පින්කම් කිරීමට බෞද්ධයන් අධිෂ්ඨාන කරගත යුතු බවයි. මේ අනුව නැවත ඉපදීම නැතිකළ මහරහත් වහන්සේලා විසින් ජීවිතාන්තය දක්වා ආරක්ෂා කළ “ආර්ය කාන්ත සීලය” සමාදන් විය යුතුමය. මෙම සිල්පද ආරක්ෂා කිරීම නිසා ලැබෙන ආනිශංස දැනගෙන ඒ අනුව බෞද්ධයෙක් වශයෙන් ලබා ගත යුතු ඒ නැවත ඉපදීම නැති කිරීමට අවශ්‍ය මූලික කරුණු, අප සම්පාදනය කර ගත යුතු ය.
උපෝසථ අෂ්ටාංග සීලය, බොහෝ බෞද්ධයන් දින භාගයකට සීමා කරගෙන ඇති අතර මෙයින් ශීලය සම්පූර්ණ නොවන බව එම බෞද්ධයන් නොදන්නා කරුණකි. මෙය සිදුව ඇත්තේ සිල් පද වල ඇති කරුණු, පාලි භාෂාවෙන් පමණක් කියවීම නිසා බව පැහැදිලිය. මේ නිසා උපෝසථ අෂ්ඨාංග ශීලය සමාදන් වීමේ දී සිල්පද වල සඳහන් කරුණු සිංහල භාෂාවෙන් කියවීමෙන් තමන්ගේ ශීලය පිළිබඳ දැනුම දියුණුකරගෙන බෞද්ධයන් බලාපොරොත්තු වන අඩුම තරමින් නැවත ඉපදීම භව හතකටවත් සීමා කිරීම කර ගැනීම වන සෝවාන් තත්ත්වයට පත්වීමට අවශ්‍ය කරුණු මෙම සිල් ආරක්ෂා කිරීමෙන් ලබා ගැනීමට උත්සාහවන්ත විය යුතු යි. උපෝසථ අෂ්ටාංග සීලය සිංහල භාෂාවෙන් සමාදන් වීමේ දී පහත ඇති වෙන ආකාරයට එය ප්‍රකාශ කිරීමෙන් සිල් පදවල අඩංගු කරුණු තේරුම් ගැනීමට, හා ඒවා ආරක්ෂා කිරීමට අප පෙළෙඹෙනු ඇත.
බුදුරජාණන් වහන්සේගේ සිතෙහි ආශාව, තරහ සහ මෝහ සිතිවිලි නොඉපදෙන හෙයින් ද, නැවත විපාක දෙන කම් රැස් නොකරන හෙයින් ද, රහසින්වත් පව් නොකරන හෙයින් ද සියලු දෙවියන්ගේ සහ මනුෂ්‍යයන්ගේ පූජා සත්කාරවලට සුදුසු වන හෙයින් ද, දුක්ඛ, සමුදය, නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍යයන් තමන් වහන්සේ විසින් අවබෝධ කළාවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
දෙවනුව ද මාගේ නමස්කාරය වේවා. 
තෙවනුවද මාගේ නමස්කාරය වේවා.
නැවත හටගැනීම් නැතිකර ගැනීමට පිළිපැදිය යුතු කරුණු ඇතුළත් ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළ බුදුරජාණන් වහන්සේ සරණ යමි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැවත ඉපදීම නැති කිරීමට පිළිපැදිය යුතු මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ග සරණ යමි. එම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් ධර්ම කරුණු පිළිපැදීමෙන් නැවත ඉපදීම නැතිකළ මහා සංඝරත්නය සරණ යමි. දෙවනුවද? බුදුරජාණන් වහන්සේ සරණ යමි, ධර්මය සරණ යමි, සංඝරත්නය සරණ යමි, තෙවනුවද මම සරණ යමි.
1. මහ රහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, සතුන්ට හිංසා කිරීමෙන් සහ සත්ව ඝාතනයෙන් වැළක්කාහ. මම ද මේ පැය විසි හතර තුළ දී, මහරහතන් වහන්සේලා අනුව හැසිරෙමි. මහ රහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.
2. මහ රහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, නොදුන්දෙය ගැනීමෙන් වැළැක්කාහ. මම ද මේ පැය විසිහතර තුළ දී, මහ රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. මහරහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.
3. මහරහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, ස්ත්‍රී, පුරුෂයන්ගේ ලාමක හැසිරීම්වලින් වෙන්ව වාසය කළහ. මම ද මේ පැය විසිහතර තුළ දී මහරහතන් වහන්සේලා අනුව හැසිරෙමි. මහරහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.
4. මහරහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, බොරු කීමෙන්, කේලාම් කීමෙන් පරුෂ වචන කීමෙන්, හිස් වචන කීමෙන් වැළැක්කාහ. මම ද මේ පැය විසි හතර තුළ දී මහ රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. මහරහතන් වහන්සේලා කරන දෙයම කරමි.
5. මහරහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, මනස විකෘති කරන්නාවූ මත් ද්‍රව්‍ය පානයෙන් හා පරිහරණයෙන් වැළැක්කාහ. මම ද මේ පැය විසිහතර තුළ දී ද, මහරහතන් වහන්සේලා අනුව හැසිරෙමි. මහරහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.
6. මහ රහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, ඉර අවරට යාමේ මොහොතේ සිට නැවත ඉර නැගීම දක්වා කාලය තුළ ආහාර ගැනීමෙන් වැළැක්කාහ. මම ද මේ පැය විසි හතර තුළ දී, මහරහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.
7. මහරහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, අකුශල පක්ෂයට නැඹුරුවන, නැටීම්, ගැයීම්, වැයීම් කිරීමෙන්ද, කරවීමෙන්ද, බැලීමෙන්ද, ඇසීමෙන් ද, මල්, සුවඳ විලවුන් ආදියෙන් ශරීරය සුවඳ කිරීමෙන්ද, වර්ණවත් කිරීමෙන් ද, ශරීරයෙහි හා ඇඳුම්වල අඩුතැන් පුරවා සැරසීමෙන්ද වැළැක්කාහ. මම ද මේ පැය විසි හතර තුළ දී, මහරහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.
8. මහරහතන් වහන්සේලා ජීවිතාන්තය දක්වා, රියන් එකහමාරට වැඩිවූ උස්, අසුන් සහ සම්මත මහා ආසන පරිභෝජනයෙන් වැළැක්කාහ. මම ද මේ පැය විසිහතර තුළ දී, මහ රහතන් වහන්සේලා කරන ලද දෙයම කරමි.
මේ සමඟ මේ සිල් ආරක්ෂා කරන පැය විසිහතර තුළ දී නොකළ යුතු දෙතිස් කථාවක් ද දක්වා ඇත.
ඉර අවරට ගොස් නැවත ඉර නැගීම අතර කාලය තුළ දී පහත සඳහන් පානයන් පමණක් ගැනීම සිල්පද ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ආහාරයක් වේ.
අනුමත අෂ්ඨ පානයන්
1. අඹ යුෂ පානය 
2. ජම්බු යුෂ පානය 
3. ඇට කෙසෙල් යුෂ පානය 
4. වෙනත් කෙසෙල් යුෂ පානය 
5. අමු මිදි යුෂ පානය 
6. වියළි මිදි යුෂ පානය 
7. හෝලු ගෙඩි යුෂ පානය 
8. මසන් ගෙඩි යුෂ පානය

මේ අනුව මසකට, සතර පොහොය දිනවලදී මේ ආකාරයෙන් ඉහත ශීලය සම්පූර්ණ කරන බෞද්ධයාට අනිවාර්යයෙන්ම මෙම ගෞතම බුද්ධ ශාසනයෙන් ලබාගත හැකි ඉහළම ලාභය ලබාගැනීමට හැකිවේවා.
තෙරුවන් සරණයි!
එල්.ආර්. ආරියනන්ද

භාවනාව යනු කුමක්ද?

බුදු දහමේ ප්‍රායෝගික හරය ගැබ්වී ඇත්තේ භාවනාවෙහිය. භාවනාව යන වචනයේ මූලික අර්ථය වැඩීම යන්නයි. එනම් සිතේ වැඩීමයි. සිත යම් අරමුණක පිහිටුවා සංවර්ධනය කිරීම මෙහි කාර්යයි.
වැඩීම යනු “භාවනා” යන පාලි වචනයේ අදහසයි. සිතේ සමාධිය හෙවත් එකඟ බව වැඩීම වේ. එය සමථ සහ විපස්සනා වශයෙන් දෙවැදෑරුම්වේ. “භාවේතිති භාවනා භාවේති ඒතායාති භාවනා” හිත හදා ගැනීම හිත වර්ධනය කර ගැනීම භාවනාව යනුවෙන්ද හඳුන්වනු ලැබේ.
සමථ භාවනාව බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වන්නට බොහෝ පෙරදි භාරතය හෙවත් ඉන්දියාවේත් යවන ලෝකය හෙවත් ගී‍්‍රසියේත්, චීනයේත්, ඇතැම් බටහිර රටවලත් පැවතින. ථෙරවාද ධර්මයේ දැක්වෙන පරිදි සියලු භාවනා ක්‍රම සමථ සහ විදර්ශනා වශයෙන් කොටස් දෙකකට බෙදේ. සමථ භාවනා මගින් කෙලෙස් යටපත් වන අතර, ධ්‍යාන නමින් හැඳින්වෙන තහවුරු වූ සිත එකඟ බව ලබයි. කුසල සිතේ එකඟ බව මෙහි සමාධිය වේ. නමුත් විදර්ශනා භාවනාවෙන් කෙලෙසුන් යටපත්වීමද ස¼ිදීම ද එයින් නිර්වාණය අවබෝධ කිරීමද සිදුවේ. ඇතැමෙකුට භාවනා කිරීම දුෂ්කර දෙයක් වනු ඇත්තේ ඔවුන් භාවනාවේ දී අත්හැරීම සිදු කරන ආකාරය ඉගෙන නොමැති බැවිනි.
“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයං” සීලයෙහි පිහිටා සිතත් ප්‍රඥාවත් වැඩිය යුතුය යන දේශනාව අනුව භාවනාවේ අඩිතාලම සීලයයි. භාවනාවෙන් කෙරෙනුයේ සිත හා ප්‍රඥාව දියුණු කිරීමයි.
සීලය වැඩි දියුණු කර ගත යුතුය. සීලයෙන් භාවනාව ද භාවනාවෙන් ප්‍රඥාවද, ප්‍රඥාවෙන් සීලයද දියුණුවේ. භාවනාව මානසික වශයෙන් පමණක් නොව, මානසික හේතුන් මත ඇතිවන කායික අපහසුතාවයන් සම්බන්ධයෙන්ද සහනයක් ලබා ගත හැකි ක්‍රමයක් ලෙස අනුගමනය කළ හැකිය. තමන් කරන භාවනාව අන් හැම දෙයකටම වඩා උසස් දෙය හැටියට සලකා ගෙන ඉතා ගෞරවයෙන්, ඉතා ආදරයෙන් ඕනෑකමින් එය කළ යුතු ය. අත්හදා බැලීමට කියා හෝ පින් සිදු කර ගැනීමට කියා හෝ සසරට පුරුදුවීමටය කියා හෝ නොව අද අදම නිවන් දකින්නට භාවනා කරමිය යන අදහසින් ම භාවනා කිරීම උතුම් දෙයකි.
භාවනාමය කුසලය වනාහී කුසලයන් අතුරෙන් අග්‍ර වූ කුසලයයි.දාන සීල දෙකින් ලැබෙන අනුසස් සියල්ල හා ඉන් නොලැබීය හැකි රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සම්පත් ද භාවනාවෙන් ලැබිය හැකිය. පව් නැති කිරීමේ ශුද්ධියට පැමිණීමේ ප්‍රධාන මාර්ගයද භාවනාවමය. “චිත්තං සමෙතිති සමථො” සිත සන්සුන් කරන්නේ භාවනාවයි. සමථ භාවනාවට යොදා ගත හැකි අරමුණු හතළිහක් දක්වා තිබේ. එය කර්මස්ථාන හෙවත් කමහටන් යැයි කියනු ලැබේ. ඒවා නම්, දස කසින (10), දස අසුභ (10), දස අනුස්සති (10), බ්‍රහ්ම විහාර, (4), චතුරාරුප්ප (4), ආහරේ පටිකුල සඤ්ඤාව, සහ චතුධාතුවවත්තානය, යන අරමුණු හතළිස කර්මස්ථාන ලෙස හැඳින්වේ.
විදර්ශනා භාවනා ක්‍රමය තුළ සප්ත විශුද්ධියක් දක්වා ඇත. 1. ශීලය විශුද්ධිය, 2. චිත්ත විශුද්ධිය, 3. දෘෂ්ඨි විශුද්ධිය, 4. කාංක්ෂා විතරණ විශුද්ධිය, 5. මග්ගාමග්ග ඥාන දර්ශන විශුද්ධිය, 6. ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය සහ 7. ඥාන දර්ශන විශුද්ධිය යනුවෙනි.
මෑත භාගයේ ඉන්දියාවේ ජීවත් වූ දාර්ශනිකයෙකු වන ජේ. ක්‍රිෂ්ණ මූර්ති තුමා භාවනාව ගැන මෙසේ කියයි. “භාවනාව මෙලොවින් පැන යාමක් නොවේ. එය හුදෙකලා වී සැඟවී තමාම මැදි කරගෙන කරන ක්‍රියාවක් නොව ලෝකය හා එහි ධර්මතා ගැන තේරුම් ගැනීමකි. යනුවෙනි.
බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන් භාවනා ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යයත්, සාමයත්, ශාන්තියත් ලබා දෙන්නකි. තවද සතිපට්ඨාන සූත්‍රය භාවනාව සම්බන්ධව ඉතා වැදගත් සූත්‍රයකි. එහි භාවනා ක්‍රමය ජීවිතයට සම්බන්ධය. අප දිනපතා කරන පොදු වැඩ වලටත්, සතුටුවීම් හා අසහන වලටත්, කතා වලටත්, සිතිවිලි වලටත්, බුද්ධිමය කාර්ය වලටත් එය සම්බන්ධය.
බුදුදහමට අනුව භාවනා යන වචනයේ නියම තේරුම නම් සිත වැඩීම, නැත්නම් සිත දියුණු කිරීමයි. නිවැරදි ශ්‍රද්ධාව තුළින්, සිත කිලිටි කරන කෙලෙස් ධර්ම වලින් සිත මුදාගෙන පිරිසුදු කර, චිත්ත ඒකාග්‍රතාව ඇති කරගෙන හොඳ අධිෂ්ඨානයකින් යුතුව වීර්ය වඩා ප්‍රඥාව ඇති කර ගැනීම තුළින් ධර්මාවබෝධයට පත්වීම බුදුදහමේ පෙන්වා දෙන භාවනාව වේ.
එච්.එෆ්.එම්. කපිල ෆොන්සේකා

බුදුන්වහන්සේ වදාළ දහම් මඟ

හෝමාගම පුරාණ විහාරාධිකාරී, මාදෝවිට වජිර බුද්ධි හිමි

ක්‍රි.පූ. සවැනි සියවසේ ලොව පහළවූ අසම සම ශාස්‌තෘවරයා ශ්‍රී සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ බව අවිවාදිතය. 

ආමිස පූජාවෙන් මෙන්ම ප්‍රතිපත්ති පූජාවෙන්ද තිලොවග බුදුපියාණන් සැමරීම අප බුදුරදුන්ගේ 'අහරං' ගුණයට කරනු ලබන කදිම පූජෝපහාරයකි. මඡ්ධිම නිකායේ අරිය පරියේෂණ සූත්‍රය වාර්තා කරන අන්දමට එකල සිටි ජනතාව ගමන් කළ යුතු, ගමන් කරන මාවත බුදුරදුන් පළමුව අවබෝධ කරගත් සේක.. පංචකාම සම්පත් වින්දනය කරමින් අධික සැප සම්පත් විහරණය කරමින් කාමසුඛල්ලිකානුයෝගය බහුල වශයෙන් බොහෝ දෙනෙක්‌ අනුගමනය කළහ. විමුක්‌තිය සොයමින් ක්‍රියා කළ තවත් පිරිසක්‌ එකල විසූ කීර්තිමත් නිගන්ඨ, තාපස, පරිබ්‍රාජක ආදී පිරිසගේ මෙහෙයවීමෙන් ගතට සිතට අධික කටුක දුක්‌ ගෙන දෙන විවිධ ව්‍රතවල, චර්යාවල නිරතවූ අතර, එය මූලික බුදුදහමේ 'අත්තකිලමථානුයෝගය' ලෙස අර්ථ දක්‌වා ඇත. මේවා සියල්ලම අන්තවාදී නිෂ්ඵල මාවත් ලෙස කල්පනා කළ ගෞතම බුදුරදුන් අන්තවලින් බැහැර මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කළ යුතු බව දේශනා කළහ. විවිධ දෘෂ්ටිවලින් බැහැරව දාර්ශනික සිද්ධාන්ත ප්‍රත්‍යක්‍ෂ වන ලෙස කටයුතු කිරීම බුදුදහම අනුමත කර ඇත. (දිට්‌ඨිංච අනුපගම්ම සීලවා දස්‌සනේන සම්පන්නෝ) යන බුදුවදනින් එය ප්‍රත්‍යක්‍ෂ වේ. සීල, සමාධි, ප්‍රඥ යන ත්‍රිශික්‌ෂා කේන්ද්‍ර කරගත් බුදුදහම සීලයෙන් සමාධියටද, ඒ දෙකෙන්ම ප්‍ර්‍රඥවට අනුගත වෙමින් ආර්ය මාවතට ප්‍රවිෂ්ට විය යුතු අතර, සත්‍යය ඒ අයුරින් වටහා ගැනීම බෙහෙවින් අගය කළ සේක.

ගෞතම බුදුරදුන් අනුගමනය කර වදාළ ආර්ය දර්ශනයට පදනම් වූ පර්යේෂණ ක්‍රම දෙකක්‌ පිළිබඳව අරියපරියේසන සූත්‍රයේ සඳහන් වේ.

1. අරිය පරියේෂණ 2. අනරිය පරියේෂණ

මෙම ක්‍රම දෙක අත්හදාළ නිසා තමන් අවබෝධ කරගෙන ප්‍රඥ ඇසින් ලොවට අනුගත විය යුතු දහම් මාවත කුමක්‌දැයි උන්වහන්සේ අවබෝධ කර ගත්හ. ත්‍රිපිටක සාහිත්‍ය පුරාම විද්‍යමාන වන්නේ බුදුරදුන් අනුමත කර වදාළ පර්යේෂණ ක්‍රම දෙකක්‌ විශිෂ්ට ප්‍රතිඵල බව අමතක නොකළ යුතුය.

බොහෝ පිරිසක්‌ අනරිය පර්යේෂණයේ නිරත වූහ. ගෘහස්‌ථ ජනයා පමණක්‌ නොව එකල විසූ විවිධ ආගමික මුනිවරුද, විවිධ තපස්‌ චරියා ඔස්‌සේ යොමුවී තිබුණේ ආරිය පරියේෂණය සඳහා බව සිහිපත් කළ යුතුය. ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්‌ දොම්නස්‌වලට ගොදුරු වූ මිනිසා තවදුරටත් ඒවායේම ඇලෙමින් ගැලෙමින් ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචඉන්ද්‍රියන් පිනවමින් පංච කාම සම්පත්වලටම ගිජුවී ඒවායේම නිරතව ක්‍රියාකිරීම, සෙවීම, ඒ තුළින්ම විමුක්‌තිය සෙවීම අනරිය පර්යේෂණයයි. එය ආර්ය උතුමන්ට සත්‍ය ගවේෂකයන්ට නුසුදුසු පිළිවෙත බව අප බුදුරදුන් කීපවරක්‌ දේශනාකොට වදාළ සේක. එසේ නම් මෙහිදී ආර්ය මාවත සොයන පින්වත් ගිහි-පැවිදි ජනතාවට වඩා වැදගත් වන්නේ අනරිය පර්යේෂණය නොව ආර්ය පර්යේෂණය බව ප්‍රත්‍යක්‍ෂ විය යුතුය.

පංචඉන්ද්‍රියන් පිනවීමේ ආදීනව දැක ඒවායෙන් මිදීම හෙවත් නිස්‌සරණය සෙවීමටත් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවවලට නිරතුරුව ගොදුරුවන හේතුවන සාධක සොයා ඒවායෙන් වැලැක්‌වීමේ, බැහැරවීමේ ක්‍රමවේදය සොයා බැලීම සසර දුකින් නිදහස්‌ වන ආකාරය ගවේෂණය කිරීමත් සසර දුක අවබෝධ පිණිස ඉවහල්වන ක්‍රමවේද සොයා බැලීමත් ආර්ය පරියේෂණය නම් වේ. බුදු, පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධිය, බෝධි ඥනය අවබෝධ කර ගත් උත්තම පිරිස ආර්ය පරියේෂණයේ නිරතවූවෝ වෙති. ශ්‍රී සිද්ධාර්ථ කුමාරයන් පවා මුල් කාලයේ ආර්ය පරියේෂණය සොයමින් එකල ප්‍රසිද්ධ ධ්‍යානලාභී මුනිවරුන් ලෙස ප්‍රසිද්ධව සිටි ආලාරකාලාම, උද්දකාරාම පුත්‍ර වැනි පිරිස්‌ සොයා ඔවුන්ගේ දහම් මාවත ප්‍රත්‍යක්‍ෂ කරන ලද්දේ ආර්ය - අනාර්ය දෙක සොයා බැලීම සොයා ගැනීම ඉතාම බැරෑරුම් දුෂ්කර කාර්යයක්‌ බව සිහිපත් කරමිනි.

තමන් ඉතා අමාරුවෙන් සොයාගත් අවබෝධ කරගත් ධර්මය ආර්ය පරියේෂණය ඉතාම සියුම් බවත්, අවබෝධ කරගැනීම අමාරු දුෂ්කර කාර්යයක්‌ බවත් තර්කයට විෂය නොවන බවත් බුද්ධියට ගෝචර බවත්, ප්‍රඥවන්තයන්ගේ ප්‍රඥ නෙතට පෙනෙන බවත්, විෂය වන බවත් මඡ්ධිම නිකායේ අරිය පරියේෂණ සූත්‍රය සහිත තවත් සූත්‍ර ගණනාවක සඳහන් වේ. ගෞතම බුදුරදුන්ගේ ධර්මය හෙවත් සම්බුදු දහම තාම නිර්මලය ලොව ඇති තතු මැනවින් ප්‍රත්‍යක්‍ෂ, ඒ අනුව වදාළ පිලිවෙතක්‌ බුදුදහම තුළ අන්තර්ගත වේ. දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් අභිවර්ධනය වන සේ මෙම දහම් මාවත පනවා ඇත. දහම් දෙසීමේදී පවා දාන, කථා, සීල කථා, ස්‌වර්ග කථා, කාම වස්‌තුන්ගේ ආදීනවය, පංච ඉන්ද්‍රියන් පිනවීමෙන් වැළකීම, නික්‌මීමේ ආනිසංස ක්‍රමානුකූව දේශනා කරමින් නිවැරැදි ක්‍රම ඔස්‌සේ මනා ලෙස මෙම දහම් මාවත දේශනා කොට ඇත. 'ස්‌වාක්‌ඛාත' යන දහම් ගුණ අර්ථය ප්‍රකට වන ලෙසම සම්බුදු දහම දේශනාකොට ඇත.

ත්‍රිපිටකාගත බොහෝ සූත්‍රවල සඳහන් වන්නේ සම්බුදු දහම 'ආදී කල්‍යාණං, මඡ්ජිධ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං' ආදී වශයෙනි. මුල, මැද, අග යහපත් මෙම දහම් මාවතේ ගමන් කිරීම බ්‍රහ්මචරියාවේ නිරතවීමකි. විමුක්‌ති සාධනයට මාවත විවර කර ගැනීමකි. එකම දුක වූ සසර දුකද එකම බර වූ සසර බරද නිදහස්‌ කර ගැනීමකි. බ්‍රහ්මචරියාව යනු ශේ්‍රෂ්ඨ හැසිරීම වේ. ශ්‍රේෂ්ඨ චරියාව වේ. සීල, සමාධි, ප්‍රඥ යන ත්‍රිශික්‌ෂා පූර්ණය වන මනා ක්‍රමවේදය වේ.

සම්බුදු දහම ගැන සඳහන් ගුණ සය අතර 'ඒහි පස්‌සික' ගුණය ඉතා වැදගත් වේ. 'එන්න බලන්න' දකිනන් මෙම ශ්‍රේෂ්ඨ ධර්මය වළාකුළුවලින් නික්‌මුණු පූර්ණ චන්ද්‍ර මණ්‌ඩලය මෙන්' යෑයි එය අටුවාචාරීහු අර්ථ විවරණය කර ඇත. (විගත වලාහකේ අකාසේ පුණ්‌ණ චන්ද මණ්‌ඩලෝ විය) යනුවෙන් එය සඳහන් වේ. සම්බුදු දහම ප්‍රඥවන්තයන් සඳහා දේශිත ධර්මයකි. ප්‍රඥවටම විෂය වූවකි. රාග, දෝෂ, මෝහාදී අකුසල මූලධර්මවලට ඇලෙමින් කම්රසයම පුබුදු කරවන මනසට මෙම ශේ්‍ෂ්ඨ දහම රුචි නොවේ. විරාගී චරණය සහ විරාගී දර්ශනය පදනම් කරගත් සම්බුදු දහම තුළ කුසල මූලධර්ම ඉස්‌මතු වන සාධකවලට වැඩි තැනක්‌ හිමිවේ. අකුසල මූලධර්ම නිසා පුද්ගල මනස පිරිහේ. කුසල මූලධර්ම නිසා පුද්ගල චර්යාව සංවර්ධනය වේ. මේ නිසා අලෝභ, අදෝස, අමෝහ යන කුසල මූලධර්ම ගැන බුදුදහමේ විශේෂ තැනක්‌ හිමිවේ.

කුසල මූලධර්ම නිසා සම්මා දිට්‌ඨිය උදාවේ. නිවැරැදි දැකීම නිවැරැදි දර්ශනය පිණිස උපකාරී වේ. බුද්ධ කාලීන සමාජයේ බොහෝ පිරිස්‌ මිච්ඡා දෘෂ්ටිය හෙවත් වැරැදි දැකීමට අනුකූලව ජීවත්වූ නිසා ගෞතම බුදුරදුන්ට පළමු ආර්ය මාවත ලෙස සම්මා දිට්‌ඨිය ගැන පහදාදීමට සිදුවිය. වැරැදි දැකීම නිසා වැරැදි සිතුම් පැතුම් නිසා අනාර්ය පර්යේෂණයම මූලික කරගෙන ජිවත්වූ පිරිස නිවැරැදි දැක්‌ම ඔස්‌සේ ආර්ය පර්යේෂණය පිළිබඳ ග්‍රහණය කරවීමට හැකි විය. සම්මා දිට්‌ඨිය ත්‍රිශික්‌ෂාවේ මූලික පදනම වූ ප්‍රඥවේ සුවිශේෂී අංගය විය. ප්‍රඥා දර්ශනය කරා ගමන් කරවීම ආර්ය පර්යේෂණය පදනම වේ. බුද්ධිය විකසිත කිරීම හා බුද්ධියේ අග්‍රඵලය සම්මා සම්බුද්ධත්වයට පත්වීම බව අමතක නොකළ යුතුය. මෙම මනුෂ්‍ය ඉතිහාසයේ උත්තරීතර ප්‍රඥ දර්ශකය සම්බුදු රදුන් ලබා ගත් අවබෝධකරගත් සම්මා සම්බුද්ධත්වය බව ලෝවැසි බුද්ධිමත් ප්‍රජාව අද පිළිගෙන ඇත.

බුදුන් වදාළ දහම් මාවත නෛර්යාණික වේ. එය වරින් වර කලින් කල වෙනස්‌ නොවේ. ත්‍රිලක්‌ෂණ ධර්මය මුළු ලොවටම උරුමය සජීව, අජීව සියල්ල වෙනස්‌ වේ. අනිත්‍ය වේ. දුක ඒවා තුළ අන්තර්ගත වේ. සදාකාලික වශයෙන් ගත හැකි නොවේ. ඒ නිසා අනාත්ම වේ. මෙම ත්‍රිලක්‌ෂණ ධර්මය පදනම් කරගත් සම්බුදු දහම තුළ දේශනා කර ඇත්තේ ලොව පවතින ස්‌වභාවික තත්ත්වයයි. එය පරමාර්ථය සත්‍යයට විෂය වූවකි. ධර්මය කියවා, ශ්‍රවනය කරවා, සාකච්ඡා කරවා යළි යළිත් ධර්මය ප්‍රගුණ කර අවබෝධ කර ගත යුතුය. එක දිනකින් මාසයකින්, වර්ෂයකින් සම්බුදු දහම වටහාගත නොහැකිය. ආර්ය මාවත ගැඹුරුය. එහි හරය අප වටහාගත යුතුය. ශ්‍රද්ධාව උපදවා ගත යුතුය. එය ප්‍රඥව සමග බද්ධවන ආකාරවතී ශ්‍රද්ධාව කරා ගමන් කරවිය යුතුය. වහාම ධර්මය අවබෝධ කරගත හැකි උද්ඝටිතඥ පිරිස්‌ මේ කාලයේ දුර්ලභය. සම්බුදු දහම් මඟකට, ජීවිතයට අත්වැලක්‌ කරගත් තරමට දිනෙන් දින ධර්ම ඥනය සංවර්ධනය කර ගත හැකිය.

චතුරාර්ය සත්‍යය සම්බුදු දහමේ පදනම වේ. දුක, දුකට හේතුව වූ තෘෂ්ණාව, දුකින් මිදීම නම් වූ නිවන සඳහා පිළිවෙත් පිරිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය එහි අන්තර්ගත වේ. සීල, සමාධි, ප්‍රඥ යන ත්‍රිශික්‌ෂාව අරිඅටඟිමගේ පදනමයි. ඒ තුළ සංසාර හා නිර්වාණය පිළිබඳ වූ ආර්ය පර්යේෂණ මාවත විවර කර ඇත. පංචසීල ප්‍රතිපදාව දියුණු කර ගනිමින් අල්පේච්ඡ සුභර සැහැල්ලු ජීවිත මාවතකට අප නිරතුරු ප්‍රවිෂ්ට වීමෙන් සම්බුදුරදුන් වදාළ දහම් මඟ හෙළි කරගත හැකිය.

අනාගාමී උතුමා හා පංච ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක

අනාගාමී පුද්ගලයා පිළිබඳව බුදු දහම උගත් අය අතර නානා විධ මත පවතියි. අනාගාමී වීම යනුවෙන් හැඳින්වෙන්නේ ඕරම්භාගීය සංයෝජන ධර්ම පහ ප්‍රහාණය වීමයි. මෙම ඕරම්භාගීය සංයෝජන ධර්ම පහෙන් සක්‌කාය දිට්‌ඨි, සීලබ්බත පරමාස හා විචිකිච්ඡා යන සංයෝජන ධර්ම තුන සෝවාන් වීමේ දී දුරු වී යයි. ඉතිරි දෙක වන කාමරාග හා පටිඝ යන සංයෝජන ධර්ම දෙක සකෘදාගාමී වීමේ දී හරි අඩක්‌ පමණ දුරු වී යන අතර මුලුමනින්ම ප්‍රහාණය වනුයේ අනාගාමී මාර්ගඵල මට්‌ටමේදී බව ධර්මයේ සඳහන් වේ. සෝවාන් හා සකෘදාගාමී යන මාර්ගඵල මට්‌ටම් උපදවා ගත් අයට සාමාන්තර ලෞකික ජීවිතයේ දී පුහුදුන් පුද්ගලයා හා සමානවම වෙනසක්‌ නොමැතිව කටයුතු කළ හැකි වේ. එනමුදු ආර්ය පුද්ගලයෝ ලෙස හැඳින්වෙන සෝවාන් හා සකෘදාගාමී උතුමෝ පුහුදුන් පුද්ගලයකුට වඩා ගතිගුණ සිතුම් පැතුම් හා ආකල්පවලින් උසස්‌ මට්‌ටමක වෙසෙති.

අනාගාමී පුද්ගලයාහට තවත් දුරු කිරීමට ඉතිරිව ඇත්තේ පංච උද්ධම්භාගීය සංයෝජන ධර්ම පමණකි. එනම් රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච හා අවිඡ්ජා යන සංයෝජන ධර්ම පහයි. මෙම සංයෝජන ධර්ම පහ ඉතාම සියුම්ය. අණු සහගතව පමණක්‌ කෙලෙසුන් අනාගාමී පුද්ගලයා තුළ ඉතිරි වේ. යම් හෙයකින් අනාගාමී පුද්ගලයා අෂ්ට සමාපත්තිලාභියෙකු නම් එතුමා හට අර්හත්ඵලයට පත්ව සිටින අෂ්ට සමාපත්තිලාභී උතුමන්ට පමණක්‌ සමවැදිය හැකි ලෞකික ධ්‍යාන සමාපත්ති අතර උසස්‌ම ධ්‍යාන සමාපත්තිය ලෙස ධර්මයෙහි විග්‍රහ වන සංඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි බව දක්‌වා තිබේ. මේ හැඳින්වීම තුළ අනාගාමී මාර්ග ඵලලාභී ආර්ය උතුමා බොහෝ සිතේ දියුණුවක්‌ ලද උතුමකු බවට නිගමනය කළ හැකිය. 

මෙහි වැදගත්ම ලක්‌ෂණය නම් කාමරාග හා පටිඝ සංයෝජන ද්වය අතරින් කාමරාග යන්න පවුල් සංස්‌ථාව හා සම්බන්ධව තිබීමයි. යහපත් දූ දරුවන් ලබා යහපත් විවාහ ජීවිතයක්‌ ගත කිරීම ගිහි බවේ සාමාන්‍ය ලක්‌ෂණයයි. නමුත් කාමරාග ප්‍රහීණ බැවින් අනාගාමී උතුමා එක්‌තරා ආකාරයට ඒ සඳහා අභ්‍යව්‍ය පුද්ගලයෙකු වේ. ස්‌ත්‍රියකු පුරුෂයකු පිළිබඳව හා පුරුෂයකු ස්‌ත්‍රියක පිළිබඳව ඇති කර ගන්නා තෘෂ්ණාව කාමරාග නම් වේ. අද වන විට මේ තත්ත්වය කිනම් හෝ පුද්ගලයකු කිනම් හෝ පුද්ගලයකු අරබයා ඇති කරන්නා කායිකව ලිංගිකව එකතු වීමේ කැමැත්ත කාමරාග යන්න වන මට්‌ටමට මේ හැඟීම වර්තමාන ගිහි සමාජය තුළ ඉතාමත් අන්ත තිරශ්චාන ආකාරයට පිරිහී ගොස්‌ තිබේ. පෙර ද්විවිධ ලිංගිත්වයක්‌ තිබූ ගිහි සමාජය තුළ මේ වන විට තෙවන ආදී විකාර රූපී ලිංගික ප්‍රභේදයන් ද පහළව තිබේ. ස්‌ත්‍රිය පුරුෂයන් තුළ කාමරාගී හැඟීම් අධිකව උත්සන්න වීම මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුව වශයෙන් පෙන්වාදිය හැකිය. මේ තත්ත්වය සමාජය තවදුරටත් විකාශය වීමේ දී සමාජ සංකීර්ණත්වයට සාපේක්‌ෂකව අධික වනවා මිසක අඩුවක්‌ නොවේ. සමාජය දියුණු වීම දැනට අර්ථකථනය කර ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතය හැකිතාක්‌ භෞතික ද්‍රව්‍යවලින් පුරවා ගැනීමයි. නමුදු නූතන සමාජය පුරාණ සමාජයට වඩා ආකල්ප වලින් ආපස්‌සට යැමක්‌ ඉතා පැහැදිලිව දක්‌නට ඇත.

කාමරාග සංයෝජන ධර්මය ප්‍රහීණ කර අනාගාමී වීමේ දී ඒ අනාගාමී උතුමා ස්‌ත්‍රිය හෝ පුරුෂ ලිංගික තෘෂ්ණාව නැති අලිංගික ආකල්ප ඇත්තකු බවට පත් වේ. ඒ අලිංගික තත්ත්වය ඉතාමත් සැහැල්ලු නිරාමිස ප්‍රීතිමත් සුවදායි නමුදු නොවිඳින ඉහළම අති ප්‍රනීත අවේදයිත සුවයකින් සමන්විත වේ. මේ තත්ත්වය ස්‌ත්‍රී හෝ පුරුෂ යන ද්විවිධ රූපාන්තරණයකට කොටු වී සීමා වූ මානසික රාමුවක සිට කාමරාග තෘෂ්ණාවෙන් බැඳී අහෝ සැප යෑයි දුකම විඳින සාමාන්‍ය පුහුදුන් ගිහියකුට වටහාගත නොහැකිය. ඒ එබඳු පුද්ගලයා කාමරාගය උසස්‌ දෙයකැයි වරදවා වටහාගෙන එය තණ්‌හා මාන උපාදාන වශයෙන් දැඩිව ග්‍රහණය කරගෙන ඇති බැවිනි. අඩුම තරමින් යම් තරමින් හෝ විදර්ශනා භාවනා වඩා සිත යම් මට්‌ටමකට හෝ දියුණු කර ඇති අයෙකුට නම් මේ තත්ත්වය යම් තරමකින් හෝ වටහාගත හැකිය. ඒ මට්‌ටමකට සිත දියුණු කරගැනීමේ වුවමනාව නූතන දැඩි තරඟකාරී වටාපිටාවක දිවි ගෙවන සාමාන්‍ය ගිහියකුට ඇති වේදැයි ගැටළුවකි. එලෙස යමෙකු කටයුතු කරතත් සමාජයේ එබඳු අයකු අනෙකුත් අයගේ අවඥාවට, නින්දාවට ගැරහීමට ලක්‌වීමේ අවදානමක්‌ ඇත. පවතින මේ ඉවසිලි නොමැති අධි තරඟකාරී ආත්මාර්ථකාමී සමාජයේ බොහෝ දෙනෙකුට වුවමනා කෙටිකාලීන ක්‌ෂණික මාර්ගඵල හෝ වෙනත් අමුතු තාලයේ කියුම් කෙරුම්ය. තොරම්බල් සරුව පිත්තල විඡ්ජාය. නිවැරදි පාලි ත්‍රිපිටක දහම විවේක බුද්ධියෙන් යුතුව අධ්‍යයනය කිරීමට නොවේ. පිරිසිදු බුදුදහම වෙනුවට ගිහි හෝ පැවිදි අයකු කියන අමුතු විකාරරූපි අදහස්‌ වහා ක්‌ෂණිකව සමාජගත වී වේගවත් අයුරින් ව්‍යාප්ත වන්නේ මිනිසුන්ගේ පවතින මේ ආකල්පවල සාවද්‍ය ස්‌වභාවය නිසාය. ඒවා නිවැරදි කළ නොහැකි මට්‌ටමට ආකූල ව්‍යාකූල වැරදි අදහස්‌ ආකල්ප මතවාද වලින් ඔද්දල්ව දූෂිත වී තිබේ. 

ගිහි හෝ පැවිදි බවේ වෙනසක්‌ නොමැතිව යම් කෙනෙකුට විදර්ශනා භාවනා වඩා හෝ බණ අසා හෝ ධර්මයෙහි සඳහන් ලෙස ඊට අවශ්‍ය පිළිවෙත් පුරා අර්හත්වයට පත් විය හැකි බව ධර්මයේ සඳහන්ය. පැවිදි උතුමෙකුහට අර්හත්වයට පත් වූ පසුව ඒ පැවිද්ද තුළ සුවසේ විසිය හැකිය. පැවිදි භූමිය අර්හත් ඵල ලාභයට ගැළපෙන ලෙස බුදුරජාණන්වහන්සේ විසින් අනුදැන වදාරා ඇති බැවිනි. නමුදු අර්හත්ඵලයට පත් වූ ගිහියකුට සත් දිනකට වඩා ගිහි බවේ සිටිය නොහැකිය. එක්‌කෝ සත් දිනක්‌ ඇතුළත ඒ ගිහි උතුමා පැවිදි බවට පත් විය යුතුය. එසේ පැවිදි බව ලැබිය නොහැකි නම් අර්හත්ඵලයට පත් වූ ගිහි උතුමා සත් දින ඇවෑමෙන් පරිනිර්වාණයට පත් විය යුතුය. අර්හත්වයට පත් වූ ගිහියකුට අනිවාර්යෙන්ම පැවිදි බවට පත්වීම අත්‍යවශ්‍ය වන්නේ අර්හත්වය වැනි අති ශ්‍රේෂ්ඨ තත්aත්වයක්‌ දැරීමට ගිහි බව කිසිසේත්ම සුදුසු නොවන බැවිනි. නමුත් ඒ අවශ්‍යතාව අනාගාමී මාර්ගඵලලාභී ගිහියෙකුට නැත. අනාගාමී මාර්ගඵල ලාභී ගිහියෙකුට පැවිදි වී හෝ ගිහියෙකු ලෙසම ආයුෂ ඇති තාක්‌ කල් ගිහියෙකුව විසිය හැකිය. 

අවිහය, අතප්පය, සුදස්‌සය, සුදස්‌සිය, අකනිට්‌ඨ යෑයි ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහක්‌ තිබේ. මේවාට පංච ශුද්ධාවාස යෑයි ව්‍යවහාර වේ. ශුද්ධ නම් කාමරාග හා පටිඝ දෙකින්ම පිරිසිදු වූ බවයි. අනාගාමී උතුමෝ මේ ශුද්ධාවාස භූමිවල උපදිති. මේ ශුද්ධාවාස බ්‍රහ්ම තලවල ආයුෂ ඉතා විශාල වේ. යමෙකු අනාගාමී බවට පත්ව කළුරිය කෙරේද ඔහු තම අවසන් භවය ගතකිරීමට ඉපදෙන්නේ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහෙන් එකක ය. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට පිවිසෙන පුද්ගලයා ඉන් පිරිනිවන්පාන්නේ අරහත් පුද්ගලයෙකු ලෙස ය. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක තවත් අංශ කීපයකින්ම සුවිශේෂී වේ. යම් කලෙක බුදු කෙනෙකු පහළ වීමට නියමිත බව කලින් ම දැනගන්නේත්, බ්‍රාහ්මණ වේශයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ මනුෂ්‍ය ලෝකයේ පාලක පිරිස ඇතුඵ ජනතාවට, බුදුන් වහන්සේ හඳුනාගත හැකි ලකුණු කියාදෙන්නේත් මෙම ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකවලට අයත් බ්‍රහ්මයන් විසිනි. එසේම ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වී සිටින විට ලෝකයට සත්‍ය කියාදෙන ලෙස ඉල්ලා සිටි සහම්පති බ්‍රහ්ම දිව්‍ය රාජයාත් මෙම ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකවලට අයත් අකනිට්‌ඨා බ්‍රහ්ම ලෝක වාසී බ්‍රහ්මයෙකි. 

මෙම පංච ශුද්ධාවාසයන්ගේ ඉහළම ලෝකය වන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකයයි. මෙහි ආයු කාලය කල්ප 16 000ක්‌ වේ. ඊ ළඟ ශුද්ධාවාස තලය නම් සුදස්‌සිය. එහි ආයුෂ කල්ප 8 000 කි. තෙවන ශුද්ධාවාස තලය සුදස්‌සය. එහි ආයුෂ කල්ප 4 000 කි. අතප්ප බ්‍රහ්ම ලොව ආයුෂ කල්ප 2 000 කි. අවීහ බ්‍රහ්ම ලොව ආයුෂ කල්ප 1 000 කි. අවීහ යන්නෙහි තේරුම 'නැවත පහළට ඇද නොවැටෙන' යන්නයි. එම නිසා යම් ලෝකයකින් පැමිණෙන අනාගාමී පුද්ගලයෙක්‌ මෙම ලොවින් පහළට වැටෙන්නේ නැත. එසේම ඇතැම් අනාගාමී පුද්ගලයෝ මෙම ලෝකයෙන් ද වඩා ඉහළ ගමන් කරති. ඔවුන් හැඳින්වෙන්නේ 'උද්ධම්සෝත' යන නමිනි. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම සූත්‍ර දේශනාවල කල්ප සියයක්‌ තුළ ලොව පහළ වූ සත් බුදුරජාණන් වහන්සේලා පිලිබඳව සඳහන් වේ. විපස්‌සී, සි‚, වෙස්‌සභූ, කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සත් බුදුරජාණන් වහන්සේලාම දුටු දෙවිවරු හා බ්‍රහ්මරාජයෝ දීර්ඝ ආයුෂ තියෙන දිව්‍ය බ්‍රහ්ම ලෝකවල තවමත් වැඩ සිටිති. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකවලට බුදුරජාණන් වහන්සේ වැඩම කළ අවස්‌ථාවක මීට කලින් පහළ වූ කකුසඳ කෝණාගම ආදී බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කොට ධර්මාවබෝධය ලබා ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල සිටි ආදී බ්‍රහ්මයන් විසින් ඒ ඒ බුදුවරුන්ගේ විස්‌තර ප්‍රකාශ කළ අවස්‌ථාවක්‌ සූත්‍ර පිටකයේ සඳහන් වේ. 

දීඝනිකායේ මහාපදාන සූත්‍රය තුළ පවා මීට පෙර වැඩ සිටි බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ විස්‌තර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබේ. සංයුක්‌ත නිකායේ පවා විපස්‌සී බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය නුවණින් විමසූ ආකාරය දක්‌වා ඇත. ඊට අමතරව සි‚ වෙස්‌සභූ කකුසඳ, කෝණාගම කාශ්‍යප ගෞතම යන පෙර බුදුරජාණන් වහන්සේලා සියලු දෙනම පටිච්ච සමුප්පාදය ධර්මය මෙනෙහි කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූ ආකාරය සඳහන් වේ. සාමාන්‍ය මනුෂ්‍ය ලෝකයෙහි වැසියකුගේ ආයු කාලය ඉතා සුලු නිසා මේ විස්‌තර පත පොත ඇසුරෙන් දැනගත යුතු නමුදු මේ සියලු දේවල් ශුද්ධාවාස බ්‍රහ්මයන් දැක නරඹා තිබේ. ඒ නිසා ශුද්ධාවාසී අනාගාමී හා අර්හත් බ්‍රහ්ම රාජයන් නිවැරදි පිරිසිදු බුදු දහම දැන් මනුෂ්‍ය ලෝකයෙහි පවතිනවාට වඩා ඉතා පිරිසිදු අයුරින් දන්නා බවට සැකයක්‌ නැත. දැනට මෙරට පිරරිසිදු ථේරවාදී බුදු දහම පවතින්නේ යෑයි පිළිගැනීමක්‌ ඇත. නමුත් දළ වශයෙන් දැනට වසර 2600 කට පමණ ඉහත දී බිහි ව ලෝකය වෙත ධර්මය දේශනා කළ බුදුරදුන්ගේ ඒ දහම් පණිවිඩය ඒ ආකාරයෙන්ම තවමත් සුපිරිසිදුව සුපැහැදිලිව එක අකුරක හෝ දශමයකුදු වෙනසක්‌ නැතුව ඒ වූ ආකාරයෙන්ම බුදු මුවින් ප්‍රකාශ වූ ආකාරයෙන්ම පවතින්නේ යෑයි අපට යථාර්ථවාදී නිගමනයකට පැමිණීම අපහසුය. නමුත් අපට දැනට රැකගත හැකිව හා එසේ බලවත් පරිශ්‍රමයක්‌ දරා ජීවිත පූජාවෙන් 

රැකගෙන පැමිණි ධර්මය දැනට අපට මනුෂ්‍ය ලෝකයෙහි දී දැකගත හැකිය. ඒවා පිළිපැදිය හැකිය. 

නමුත් දැන් මේ මොහොතේ දී බුදු හිමියන් විසින් දේශනා කළ ආකාරයට ම ඒවා නැවුම්ව එලෙසම පවතින්නේ යෑයි පිලිගැනීම අසීරුය. එයට හේතුව දේශ දේශාන්තරගතව විටින් විට භාෂා කීපයකට යළි යළි පරිවර්තිතව පැවත පැමිණීමයි. එසේම මුඛ පරම්පරාගතව දීර්ඝ කාලයක්‌ පැවතීම හේතුවෙන් යම් පමණකට ඒවාට විවිධ ශ්‍රාවක අදහස්‌ මිශ්‍ර වන්නට ඉඩකඩ තිබීමේ අවදානමද මෙහිදී නොසලකා සිටිය නොහැකි තරම් බව අමතක නොකළ යුතුය.
කථිකාචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 

රසය දැනෙන්නේ දිවට ද? සිතටද?

ආචාර්ය පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි

දිව උපකාරී වන්නේ රසය ලබාගැනුමටය. එයද එකිනෙකාගේ පරස්‌පර රුචිකත්වය අනුවය. සත්‍ය වශයෙන් බැලුවොත් දිව අනුසාරයෙන් රසය දැනෙන්නේ සිතටය. තෘප්තිමත් කරගන්නේ දිව නොව සිතය. ඇතැමකුට බලුමස්‌ ඉතා රසැති ආහාරයකි. ඇතැමකුට ඉතා පිළිකුල්ය. එම සිද්ධාන්තයෙන්ම සිතේ ස්‌වභාවය විග්‍රහ කරගත හැකිය. කෙනකු සිහි නැතිව සිටින විටද දිවට රස නොදැනේ. එසේ නම් පාලනය කරගත යුත්තේ සිතය. මෛත්‍රිය, කරුණාව වැඩිය යුත්තේ සිතෙන්ම පමණි. නිවන කරා ඇදෙන්නේ සිත හෙවත් නාමයයි. දැනුවත් වීම වටී.

වර්තමාන ලෝකයේ සිල්පද සහ මෛත්‍රිය සීමා වී ඇත්තේ හුදු වචන මාලාවකට පමණි. කෙතෙක්‌ තේරුම් කර දුන්නද තේරුම් යන්නේ නැත.

පංචශීලය ප්‍රතිපදාවකි. අඬි හත්දෙනා කැඳ ඉව්වත් සැලිය රවට්‌ටන්න හැකි sවූයේ නැත. තමන්ව තමන්ම රවටා නොගැනීම යහපති. නිදහසට කරුණු විශ්වයට අදාළ නැත. මියගිය පසු ක්‌ෂණයක්‌ පාසා කුණුවී යන සියලු මෘත ශරීරවලින් පිටවන්නේ එකම ගන්ධයයි.එම කුණුප කොටස්‌ සැම අවසානයේ පස්‌වන්නේ පොලවටය. ඔබ ගිල දමන සත්ව අෙ¹aනාවටද වන්නේ එයමය.

රාග වෛරසයෙන් පිරි සියලු සතුන්ගේ මාංශද පිරී පවතිනුයේ කාම රාග වෛරසයයි. ඒවා භක්‌ෂය කරන්නවුන්ගේ ශරීර පිරී ඉතිරී යනුයේ රාග, ද්වේශ, මෝහ වෛරසයයි. ගැලවීමක්‌ පෙනෙන තෙක්‌ මානයක නැත. රාග වෛරස රසයෙන් ලබන නිවනක්‌ නොමැත. උතුම් බඹසර රැකීමට රාග කාමය වඩවන ආහාර හලාහළ විෂකි. බවුන් වැඩීම තාරාවා පිටටදමන වතුර මෙන් ක්‌ෂණිකව විසිවේ.ස්‌වශරීරය තුළින්ම එය පිට කෙරේ. එම පිට කිරීමද තෘෂ්ණාභරිතවම සිදුවේ. එයට සත්ව මිනිස්‌ ප්‍රභේදයක්‌ නොමැත. 

සිත සැමවිටම ශරීරය සමග පංචඉන්ද්‍රියයන් පිනවීමට තැත්කරන අතර ඇතැම් අවස්‌ථාවලදී ශරීරය විසින් සිත මෙහෙයවන බවද සිතට ගන්න. නොනිමි තෘෂ්ණාව දරුණු තත්ත්වයට පත්වන්නේ එවිටය. සරල ආහාර ගැනුමෙන් සහ සරල දිවි පැවැත්මෙන් ශරීරය පාලනය කරගත යුත්තේ එනිසාය.

ආගම යනු ආත්මය ගලවා ගැනීමේ මගය. මෙලොව සියල්ල අනිත්‍ය වූ විට ගලවා ගැනුමට ආත්මයක්‌ මිනිසාට නොමැත. සියලු සතුන් සුත මුදිත වියයුත්තේ උදර කුහරයේද නැතිනම් නිවන් මගේහිද? වෛරයෙන්, ක්‍රෝධයෙන aමියයන සතාගේ චුතිය යෑවෙන්නේ සුගතියටද නැතිනම් සතර අගතියටද?

සතර අපා ගත වන සතුන් තව තවත් පව්කාර අඳුරේ ගිල්වීමට අනුබල දෙන්නේ තෘෂ්ණාභරිත වූ මනස උසස්‌ යෑයි කියාගන්නා මිනිසුන් නොවේද? මෙවන් අය කෙළවරක්‌ නැති අනවශ්‍ය අකුසල් කන්දරාවකට කරගසන්නේ යෑයි කෙලෙස සිතන්නද?

මවු කුසින් බිහිවූ කිසිවකු තවත් මවු කුසකින් දුකින් බිහිවූවකු ආහාරයට ගත නොයුත්තේය. එවිටය, 'නහි ජාතු ගබ්බ සෙය්‍යං පුනරේතීතී' වනුයේ. කරණීය මෙත්ත සූත්‍රයේ අවසන් පදය එයයි.

තිරිසන් අපායේ ඉපදී කළ පව් නොනිමිව ගෙවීමට සිදුවන තිරිසනුන්ගේ පව් ගෙවීමට අපද පවින් දායක වී අහක යන පව් අපත් කරගසා ගත යුතුද? ඇතැමුන් දුක්‌ඛ සත්‍යය ප්‍රඥවෙන් තේරුම් ගැනීමට යන්ත දරන්නේ දුක්‌ සාගරයක්‌ ගිලිමින්ය. ලොව ඇති ලොකුම විහිළුව එයයි. සියලු සතුන්ගේ ඉපදීම, පැවැත්ම, මරණය දුක්‌ඛ සත්‍යයෙන් ප්‍රථමය වේ. වානයෙන් තොරව නිර්+වාණය ළඟාකර ගැනුමට කෙටි මාර්ග නොමැත. සියලු දැ අනිත්‍ය හා නැවත නොඑන අතීතයට ඇදීයන බැවින් සියලු ආශාවන් දුරස්‌ථ කිරීමට අධිෂ්ඨානශීලීව පියවරෙන් පියවර ඉදිරියට යා යුතුය.

මනුෂ්‍යයන්ගේ සහ තිරිසනුන්ගේ භක්‌ෂණ ක්‍රියාවලියේ වෙනස නම් රස විඳිමින් මිනිසා ආහාර අනුභව කරයි. තිරිසනුන් ආහාර ගන්නේ හුදෙක්‌ ජීවත්වීමටය.

තිරිසන් අපායේ පව් ගෙවන තිරිසන් සතුන්ද පස්‌කම් සුව මනාව වින්දනය කරති. ගහනය බෝ කරති. කන කස්‌බෑවා විය සිදුරෙන් අහස බලනවාක්‌ වැනි දුර්ලභ මිනිසත් බව ලැබූ මනස උසස්‌ කවදා හෝ මියයන මිනිසුන්ද එසේම කළ යුතුද? ප්‍රඥවන්තයනි. මෙම පරම සත්‍යය නොපමාව වටහාගන්න. බොහෝ විට මෙය ඔබගේ අවසාන අවස්‌ථාව විය හැක.

සත්ව ගහනය සහ මිනිස්‌ ගහනය කෙතෙක්‌ද යන්න සම්බුදුරදුන් විග්‍රහ කළේ මාපට ඇඟිල්ල උඩ තබාගත් පස්‌ සහ මහ පොළොවේ පස්‌ සංසන්දනය කිරීමෙනි. එසේ නම් අපගේ මනසට නැඟෙන්නේ තිරිසන් භවවල උපදින්නේ සියතින් පව් කළ අය පමණක්‌ නොව පව්කම් අනුමත කළ, අනුබල දුන් අයද තිරිසන් භවවල උපදින බව ගම්‍යමාන වේ.

නිවනට අවතීර්ණවීමේ මූලික පියවර සමථ භාවනා වැඩීමය. උපමාවකට ගතහොත් දිවීමේ තරගයකදී සැරසෙන්, එල්ලවෙන් යන නියෝග ක්‍රියාත්මක කිරීමක්‌ වැනිය. මීළඟට සිදු වන්නේ දුවන්ෘ යන නියෝගය ක්‍රියාත්මක වීමය. උපමාවකට ගතහොත් එය අපට දැකිය හැක්‌කේ විදසුන් වැඩීමය. විදසුන් වඩා අවසාන ඉලක්‌කය කරා ළඟාවීම නිවන හෙවත් නිර්වාණය වේ. මගදී ඇද වැටුණොත් නිවන නැත. තරගයකට සහභාගි වූවා පමණි. ඔබ සැමට තෙරුවන් සරණයි.

තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් පතාගෙන යන ගමන

මහාචාර්ය 
පාතේගම ඤාණිස්සර හිමි

පොසොන් පුර පසොළොස්වක පොහොය සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට අනභිභවනීය දිනයක් බවට පත්වන්නේ මෙවන් පොසොන් පොහොය දවසක මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමයි. ශ්‍රී ලංකාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ එවකට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ත්‍රන්තය බාරව සිටි දේවානම්පියතිස්ස රජු සමඟ ආගමික වශයෙන් සිංහල සමාජයට ඉමහත් පෙරළියක් සිදුකළ නිසාම මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩියාද? නැද්ද? කියන කාරණාව අද පවා කතාබහට ලක්ව තිබේ. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළේ අහසින්ද ? දියෙන්ද ? වෙනත් ක්‍රමයකින් ද? යන කාරණාවත් බොහෝ අවස්ථාවල සාකච්ඡාවට බඳුන් වී තිබේ.
මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීමට පෙර ශ්‍රී ලංකාව තුළ පැවති ආගමික ඇදහිලි හා විශ්වාස අතර මළවුන් ඇදහීම, මළවුන් පිළිබඳ විශ්වාසය බරපතළ වශයෙන් මේ සමාජය තුළ පැවතුණ නිසාත් ඔවුන් කරනු ලැබුවේ කිසියම් කෙනකු මරණයට පත්වුවාට පසුව ඒ පුද්ගලයා දේවාත්මයකට හෝ යක්ෂ ආත්මයකට නැතහොත් වෙනත් ආකාරයකට පත්කරගෙන සැලකීම් කරනු ලැබුවේ ය. මරණයට පත්වන අය අදහමින් මළවුන් ඇදහීමක් සිදුකරනු ලැබුවේය. මහාවංශයට අනුව කාලවේල, චිත්‍රරාජ පිළිබඳව, වලවාමුකී යක්ෂණිය පිළිබඳව, ව්‍යාජ දෙවියෙක් පිළිබඳව මළවුන් ඇදහිළි පිළිබඳ විශ්වාසය තහවුරු කරගැනීමට ඇතුළත් කරගත හැකි කරුණු.
මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළාට පසුව ශ්‍රී ලංකා ජනතාව තුළ පැවැති මළවුන් ඇදහීමේ අදහස හොඳින් අධ්‍යනය කර තිබේ’. මිහිඳු මහරහතන් වහන්සේගේ දේශනාවලට අමතරව වැඩිපුරම ධර්මදේශනා කරනු ලැබුවේ පේතවත්ථු නමැති කෘතිය ඇසුරෙනි. පේතවත්ථුවේ බණ කතා පිළිබඳව විස්තර කිරීම ධර්ම දේශනා ලෙස උන්වහන්සේ දේශනා කරුනු ලැබූහ. මිහිඳු මහ රහතන් වහන්සේ මෙවැනි ධර්ම දේශනා කරන අතර තුර මළවුන් අදහන අපේ සිංහල ගෝත්‍රික ජනතාවට කරණු කාරණා පැහැදිලි කරමින් බුද්ධාගම තුළත් මේ වගේ සංකල්පයක් තිබෙනවාය කියන කාරණාව පෙන්වා දුන්හ.
බුද්ධාගම තුළ තිබෙන මේ වගේ සංකල්පය කුමක්ද ? කෙනකු මරණයට පත්වුවාට පසුව ඒ මරණයට පත්වූ පුද්ගලයා තැනැත්තා හෝ තැනැත්තිය සිහිකරමින් පින්කම් කිරීම බුද්ධාගම තුළ තිබෙන කාරණාවක්. සිත, කය, වචනය යන තුන් දොරින් මළගිය ප්‍රාණ කාරයා අරමුණු කරගෙන පින්කම් සිදුකිරීම, එම කළ පින්කම්වල පුණ්‍ය මහිමයත් මියගිය ඥාතිවරයාට අනුමෝදන් කිරීම මළවුන් ඇදහීම වැනි එකක් කියලා කිව්වේ එම කාරණාවයි. මළවුන් ඇදහීම නොවුණත් ඒ වගේ වෙනත් ක්‍රමවේදයක්. මෙම කාරණාව පිළිබඳව කරුණු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකික ජනතාවට පැහැදිලි කළාට පසුව ශ්‍රී ලාංකේය ජනතාව මෙම කාරණාව ඉතා හොඳින් පිළිගත්තේය. ඊට පසුව ඔවුන් මළවුන් ඇදහීම කියන කාරණාවත්, මියගිය ඥාතින්ට පින්පෙත් අනුමෝදන් කිරීම යන කාරණාවත් යන කරුණු දෙකම ඔවුන් අනුගමනය කළේය.ඇතැම් පිරිස් මෙම කාරණා දෙක දෙකක් වශයෙක් නොව එකක් ලෙස සිතා සිටී. කලින් පැවතුණ ක්‍රමවේදයන් මිහිඳු මාහිමි දේශනා සමඟම පත් ව ගිය බවට ඇතැම් පිරිස් තුළ විශ්වාසයක් පවතී. ඒ සියල්ලම වැරැදි අදහස් වේ. මිහිඳු මාහිමියන්ගේ දේශනා තුළින් පසුවත් පැරැණි ක්‍රමය පැරැණි ක්‍රම හැටියට අනුගමනය කළේය.නව ක්‍රමවේදය නව ක්‍රමයක් ලෙස අනුගමනය කළේය.
මේ ක්‍රම දෙකම අනුගමනය කරන්නට පටන් ගත්තේය. ඒ අනුව අද වර්තමාන සමාජය තුළත් මළවුන් ඇදහීම කියන සංකල්පය තිබේ’. මිය පරලොව ගිය ඥාතින්ට පින්දීම කියන අදහසක් තිබේ. මෙම ක්‍රමවේද දෙකම වර්තමානය තුළ පවතී. මළවුන් ඇදහීම යනු, මෙලොව ජීවත්වූ අයෙකු මරණයට පත්වුවාට පසුව එම පුද්ගලයා දේවාත්මයෙන් යක්ෂාත්මයක් ආදී වශයෙන් වෙනම තත්වයක් ආරෝපණය කර එම පුද්ගලයා වෙනුවෙන් පුද පිළිවෙත් කිරීම, වර්තමානය තුළත් එම ක්‍රමය පවතී. රට ජාතිය වෙනුවෙන් දිවි පුදපු රණවිරුවෙකුගේ පින්තූරය අඹමින් එසේ නැතහොත් මංමාවත් ඒ නමින් ලකුණු කර ඔවුන්ට ගරු සැළකිලි කරනු ලැබේ’. රට ජාතිය වෙනුවෙන් සේවය කරපු ශ්‍රේෂ්ඨ නායකයකු මිය යාමෙන් පසුව ඔහුගේ ප්‍රතිමාවක් හදාගෙන එයට මල් පහන් පූජා කරගෙන ඒ පුද්ගලයාට ගරු සම්මාන දක්වනු ලැබේ. මළවුන් ඇදහීම අම්මා තාත්තා මිය පරලොව යාමෙන් පසුව ප්‍රතිමා ස්මාරක සොහොන් කොත් හදාගෙන ඒවා සඳහා මල් පහන් පත්තුකරමින් මළවුන් අදහනු ලැබේ. මළවුන් ඇදහීම තුළ අයහපත් දෙයක් නොපැවතුණත් එහි අර්ථවත් අරුතක් ගැබ්ව නැහැ. මළවුන් ඇදහීම මළවුන්ට වැඩක් නැති වුවත් ජීවත් වන්නන්ට යහපතක් තිබේ. එනම් මෙවැනි අභිමානවත් විරෝධාර අය මෙවැනි ශ්‍රේෂ්ඨ විශිෂ්ට පුද්ගලයන් මෙම භූමිය තුළ ජීවත් වූවාය යැයි උදම් අනන්නට අභිමානයක් ඇතිකරගන්නට අපට ඇතිවන හැකියාව.
මළවුන් ඇදහීම බුදුරජාණන් වහන්සේ දේශනා කරණු ලැබූ දෙයක් නොවුණත් ඒ තුළ වරදක් නොමැති නිසා මිහිඳු හාමුදුරුවන් එය ප්‍රතික්ෂේප කළේ නැහැ. මිය පරලොව ගිය ඥාතින්ට පින් පෙත් අනුමෝදන් කරනවාය කියලා කියන්නේ බුද්ධාගමේ උගන්වන විශේෂිත ක්‍රියාදාමයක්. එය මළවුන් සමඟ සම්බන්ධතාවයක් නැහැ.
හතර වර්ගයක ඥාතීන් පිරිසක් පුද්ගලයකුට ඉන්නවා. එම හතර වර්ගයේ නෑදෑයෝ අපට ලැබෙන්නේ පෙර සංසාරයේ පින්පව් අනුව. එම ඥාතීන් ලේ ඥාතීන් ලෙස අප සළකනු ලැබේ’. ලේ ඥාතීන් ජීවත්වෙලා සිටින කාලය තුළ අපේම පිරිසක්. ශරීර ස්වභාවය බැලුවත් ලේ ඥාතින් එක වගේයි. ජාන වශයෙන් ඇතිවන රෝග දෙස බැලුවත් එක වගේ රෝග පවතී. මෙම පිරිස පාරම්පරිකව පරම්පරානුගතව කර්මය සම්බන්ධ කරගෙන එන පිරිසක්. ඇතැම් වෙලාවට කර්ම රෝග වශයෙන් හඳුන්වනු ලබන්නේද මෙම පාරම්පරිකව එන රෝගවලට. මිය පරලොව ගිය ඥාතින් කියන්නේ තමන්ගේම පිරිසට. අපේම අය අපේම ලේ අපේ ලේ ඥාතීන් මිය ගියාට පසුව ජීවත්ව ඉන්න ඥාති පිරිසගේ යුතුකම වන්නේ ඒ අය මියපරලොව ගිය තමන්ගේ ඥාතියාට ලේ ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමය. එය මළවුන් ඇදහීමත් සමඟ සම්බන්ධයක් නොමැත. සහෝදරත්වය, සමීප බව ,ඥාතීත්වය, ආරක්ෂා කිරීම වෙනුවෙන් බුද්ධාගම තුළින් සිංහල සංස්කෘතියට උගන්වපු කාරණාවකි.
මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට මිනිසුන් කැමැතියි. තමන් ජීවත්වන ගේ ඇතුලෙ සිට මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඇතැම් අය බයයි. මේවා පිළිබඳව නිවැරැදි අවබෝධයක් නොමැති බොහෝ අය දැනුම නැතිකම නිසාම මනසෙහි බයක් ඇතිකර ගනී. දැණුම නැති හැමදේම මනසට බයක් ඇතිකර ගෙන එනු ලැබේ. දැනුම ඇතිකරගත්තාට පසුව බය නැතිවෙනවා. නිවස තුළ සිට මිය පරලොව ගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කළාට පසුව ඒ ඥාතිවරු පින්ගන්න නැවත නැවත ගෙට එන්නේ නැහැ. ඒ අය ඒ අයගේ නිවස සමීපයට වෙලා පින් ඉල්ලාගෙන ඉන්නේ නැහැ. අනුමෝදන් කළ පින්ටික අනුමෝදන් වෙලා සුවපත් ආත්මභාව ලබා ගැනීමට පෙළඹේ. පින් අනුමෝදන් කර නැත්නම් ප්‍රශ්නය ඇතිවනවා සේම පින් අනුමෝදන් කරනවා නම් ප්‍රශ්නයක් මතුවන්නේ නැහැ. මිය ගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම ලස්සන ජීවිතයක් ගතකරන්න බලාපොරොත්තු වන ප්‍රභාමත් ජීවිතයක් ගතකරන්න බලාපොරොත්තු වන කොයි කවුරුන් විසිනුත් ඉෂ්ට සිද්ධ කළ යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. “පුබ්බ පේත බලි” නමින් බණ පොතේ එය සඳහන්ව ඇත. තමන්ගේ නමින් නැසී මිය පරලොව ගිය ඥාතීහු සිහිකරමින් මතක් කරමින් ඒ අයට පින්පෙත් අනුමෝදන් කිරීම ඉතාම වැදගත් කාරණාවක් ලෙස බුද්ධාගම සලකනු ලැබේ. මිය පරාලොව ගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම කියන කාරණාව ලෝකයේ වෙනත් ආගම් තුළ දකින්න ලැබෙන්නේ නැහැ. බුද්ධාගම තුළ පමණක් එය පැවතීමට එක හේතුවක් තිබේ. බොහෝ නිර්මාණවාදී ආගම් පටන් ගන්නේ දරුවා මවුකුසේ පටන් එළියට පැමිණුන අවස්ථාවේ සිට මිනීවල දක්වා පමණයි. දරුවා මව් කුසට ඒම දක්වා අපට නොපෙනෙන සියලු සිද්ධිත් බුදුදහමේ කර්ම සංකල්පය යටතේ විග්‍රහ කරනු ලැබේ. මරණයට පත්වුණාට පසුව ඔහුට හෝ ඇයට කුමක්ද? වන්නේ කියන කාරණාව බුදුදහමේ කර්ම සංකල්පය යටතේ විග්‍රහ කරනු ලැබේ. මිය පරලොව ගිය ඤාතින්ට පින් අපි අනුමෝදන් කරන්නේ මතුදා සංසාරයේ කවදා හෝ දවසක ඒ අය අපට හමුවන නිසා. නිවන් දකින්නට පෙර වෙනත් කිසියම් ආත්මයක මේඅය අපට එකට හමුවන නිසා. මේක සංසාරයේ ඉපදෙමින් මැරෙමින් නැවත ඉපදෙමින් සංසාරය පුරා අප යන ගමනක්. ඒ යන ගමන තුන්තරා බෝධියකින් එක්තරා බෝධියක් පතාගෙන යන ගමනක්. ඒ බෝධියකින් එක බෝධියක් ලබාගත්ත දාට අපගේ මේ සංසාර ගමන නතර වන්නේ. එහෙම නතර වනතුරු අප සංසාරයේ ඇවිද යනවා. ඇවිද යන්නේ හුදකලාව නොවේ. මහා විශාල නෑදැ පිරිවරක් සමඟය.
හතර වර්ගයක නෑදෑයන් කියන්නේ ඒ පිරිසට යි. මිය පරලොව ගිය ඥාතීන්ට අපි පින් පෙත් අනුමෝදන් කරන්නේ එක අයුරකින් යුතුකමක් ලෙසය. අනෙක් කාරණාව ලෙස මෙම පිරිස මතුදා සංසාරයේ කිසියම් දවසක හමුවූ විට මනසේ වෛරයක්, ක්‍රෝධයක්, නැතිව සුහදව, ලෙන්ගතුව හමුවීමට අවශ්‍ය වන නිසාය.

ආගමික පරිසරය සකසා ගන්න

අම්බලන්ගොඩ කහව ගල්දුව 
ශී‍්‍ර ගුණවර්ධන යෝගාශ්‍රමයේ 
කහගොල්ලේ සෝමවංස හිමි

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දහමට අනුව කුඩා, වැඩිහිටි කොයිකාට වුණත් යහපත් ජීවනෝපායක් ගොඩනඟා ගැනීමට බුදු දහමෙන් ලැබෙන පිටිවහල වැදගත්. යහපත් ගුණ දහමින් දිවි මඟ ඉදිරියට ගෙන යාමට, රැකියාවක් කිරීමට, දු දරුවන්ගේ අධ්‍යාපනය ඵලදායි කරගැනීමට බුදු දහම උපයෝගි වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ ශාසනය තරම් වටිනා දහමක් ලොවේ කොහේවත් නෑ. ශීල, සමාධී, ප්‍රඥා ගුණ දියුණූ කරපු වටිනා දහමක්. කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වාම හැමෝටම නීති පහක් තිබෙනවා. 1.සතුන් මැරීමෙන් වැළකීම 2.සොරකමෙන් වැළකීම 3.කාම මිථ්‍යාචාරයෙන් වැළකීම 4.බොරු කීමෙන් වැළකීම 5. මත්පැනින් වැළකීම මේ නීති පහ සෑම දෙනාම ආරක්ෂා කළ යුතුයි. එසේ නොකරන්නා ‘පාපතර පුද්ගලයෙක්’ ලෙස හඳුන්වනවා. යම් කිසි පුද්ගලයෙක් මේ ශීලය රකිනවා නම් කුසලවන්තයෙක්. නැණවන්තයෙක්, ගුණවන්තයෙක් නමින් ගුණ වර්ණනාවක් කෙරෙනවා. පවට ගිජු වූ තැනැත්තා මිය ගියොත් “අපෝ! ඒ මනුස්සයා මැරුණ එක බොහොම හොඳයි. කියනවා. ගුණ වන්තයා මිය ගියොත් ‘අපරාදේ! ඒ මනුස්සයා මැරුණෙ කියලා ගුණ කථනයක් දැක්වෙනවා.
එහෙමනම් පින්වතුනි, අප මේ කථා ප්‍රවෘත්ති දෙකම එකට අරගෙන පවින් වැළකිය යුතුයි. යහපත් ගුණ දහම් දියුණු කිරීමට අවශ්‍යයයි. තුනුරුවන් වැඳීමට පිදීමට පුරුදු පුහුණු වෙන්න. මවට, පියාට, ගුරුවරයාට උපස්ථාන කිරීම උතුම් ගුණාංගයක්. ඒ තැනැත්තා ‘ගුණවන්තයා’ නමින් හඳුන්වනවා. ගුණ දහමින් වළකින පාපකාරි පුද්ගලයාට ‘දේවදත්ත හාමුදුුරුවො වගේ ‘ කියලා උපමාවකුත් දැක්වෙනවා. එහෙනම් , බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය ලබා ගත්ත අපි “ශීල, සමාධි, ප්‍රඥා ධර්මතා දියුණු කළ යුතුයි. වැඩිහිටියන් නැමදීම, දහම් පාසල් අධ්‍යාපනය ලැබීම, ගමේ ආගමික ජාතික වැඩසටහන්වලට සහභාගි වීම අවශ්‍යයි. එහෙම වුණොත් ඒ ළමයාගේ විනය බොහොම පි‍්‍රයජනක වේවි. ඇතැම් දරුවො මව්පිය උපස්ථානයෙන් වළකිනවා. මව්පියන් මහලු මඩම්වලට යවනවා. සමහර දරුවන් කෑකෝ ගසමින් මවට පියාට කරදර කරනවා.
නිග්‍රහ කරනවා. ඒ දරුවන්ට ගෙවන්න වෙන පව නියතයි. සිල්වත්, ගුණවත් උතුමන්ට, මවට පියාට, ගුරුවරුන්ට අපහාස කරන අයට ලැබෙන විපාක අපමණයි. ඔවුන් සංසාරයේ දද, වන, කුෂ්ඨ, පිළිකාවන්ගෙන් පීඩා විඳිනවා. සමාජයේ මුළු ගැන්වෙනවා. සංසාරයෙන් එතෙර වීම් ලේසි නෑ. ‘අමාරුයි’ එහෙමනම් තවත් පව් රැස්කරගන්න හොඳ නැහැ. අනුරුද්ධ තෙරුණුවන්ට නැගණියක් හිටියා. ඇය කුෂ්ඨ රෝගියෙක්. ඒ තැනැත්තියට මේ තත්ත්වය ලැබුණේ සිල්වත්, ගුණවත් උතුමන්ට අපහාස කළ නිසයි. ‘සුප්‍රබුද්ධ නමින් කුෂ්ඨ රෝගියෙක් හිටියා. ඔහු නිසා පළාතම දුගඳ හමනවා. හරිම පිළිකුල් සහගතයි. ඒක තමයි සිල්වතුන්ට, ගුණවතුන්ට නිග්‍රහ කරන අයට සිදුවන විපාකය. පසුගියදා එක්තරා පුද්ගලයෙක් භික්ෂූන් වහන්සේට නිබඳවම බනිනවා. ඔහු මිය යන්න කලින් සම්පූර්ණයෙන්ම සිරුර වණ වුණා. තුනුරුවන්ට නිගරු කරන අයට ලැබෙන විපාකය අපට ඇස් පනාපිටම දැකගන්න පුළුවන්. මව්පියන්ට අපහාස කරන අයටත් ලැබෙන විපාකය දරුණුයි. ඔවුන් හදවතින් නිරතුරුවම දැවෙනවා. තැවෙනවා , පිළිස්සෙනවා. පසුගියදා මව ඝාතනය කරපු ළමයා,අනේ! මගේ පපුව පිච්චෙනවා කියමින් දුක් අඳෙීනා නගනවා. අන්න බලන්න. කොහොමද විපාකයෙ තරම? මරණය ලඟ වෙන්න ළඟ වෙන්න ඒ ළමයා ආහාර ගැනීමෙන් වළකිනවා. ඒ නිසා පපුව දැවෙනවා වගේ දැනෙනවා. ගිනිදැල් මැවි මැවී පේනවා. මිය ගියොත් අවීචියේ දුක් කරදර විඳවනවා. මේ පාපයෙන් වැළකින්න කාටවත් බෑ. පාපයෙන් වැළකීමට තරම් කුසලයක් ලොවේ කොහේවත් නෑ. අජාසත්ත රජතුමාට සෝවාන් වීමට පින තිබුණත් කරපු අපරාධය බලවත් වුණා. ඔහු පියා මැරීමේ විපාකයෙන් අවීචියේ දැවෙමින්, තැවෙමින් දුක් විඳිනවා.
මෙවැනි කරුණු සිතෙහි දරාගෙන කුඩා දරුවන් මව්පියන්ට උපස්ථාන කරන්න, වැඩිහිටියන්ට නමඳින්න. මව්පියන්ට කිසිවිටකත් අපහාස කරන්නට එපා. එහෙම කීකරු ගුණවත් දූ දරුවන්ට ලැබෙන දියුණුවත් රැකවරණයත් අපමණයි.
එහෙම වුණොත් අපේ ජීවිත ගොඩක් අගෙයි. දරුණු ආබාධයන්ගෙන් පෙළෙන ඇත්තන් තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කළ යුතුයි. බොජ්ඣංග සූත්‍රය, ධජග්ග සූත්‍රය, රතන සූත්‍රය, සජ්ඣායනා කළ යුතුයි. පිරිතේ බලය දරුණු ආබාධයන්ට සුවයක්. එහෙමනම් , පිරිතට අපේ ගරු බුහුමන් පුද කළ යුතුයි. අසාධ්‍ය රෝගීන් පවා සුවපත් කරන්න තරම් මේ ධර්මය බලවත්. ඒ වගේම තුනුරුවන්ගේ බලයෙන් අපට නැගෙන අපල, මාරක, බාධක සුවපත් කරන්න පුළුවන්. කුඩා, තරුණ, වැඩිහිටි සැවොම තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරන වරක් පාසා සිදුවන පින අපමණයි. අපි හිතමු, කේන්දර කොපියේ සටහනක් තිබුණා ‘අත, පය කැඩෙනවාම කියලා. තුනුරුවන් ගෙ ගුණ මෙනෙහි කළොත් මේ අපලය දුරුකර ගන්න පුළුවන්. .තුනුරුවන්ගේ බලය අත්හදා බලන්න. අනන්ත බුද්ධ ආදි උතුමන්ගේ ගුණ බලයෙන් අපේ ජීවිත සවිමත් කර ගන්න. පෝයට සිල් සමාදන් වීම කොයි කාට වුණත් වැදගත්. දිනපතා පන්සිල් සුරකින්න. මවයි, පියයි වාසය කළ යුත්තේ වාද භේද නැතිවයි.
ඒ මඟ යන දරුවොනුත් මවට, පියාට යටහත්ව කීකරුව සිටියොත් ඒ පවුල බොහොම ලස්සනයි. බැබළිීමක් තිබෙනවා. හැම ගෙදරක්ම මෙහෙම වුණොත් මේ ලෝකය කොපමණ අගේ ඇතිද? එහෙමනම් සෑමදෙනාම සම්බුදු සසුන වැළඳගෙන සිල්වත්, ගුණවත් ගුණාංගයන් දියුණුූ කරගනිමින් මෙලොව ජීවිත සරු සාර කරගන්න. තෙරුවන් නමඳිමින් පින වැඩි කරගෙන ආගමික පරිසරය සකසා ගන්න. ඔහොම වුණොත් දරුවොත් බොහොම හොඳයි. තරුණ වයසෙ ළමයිනුත් බොහොම හොඳයි. වියපත් වුණු අයත් හොඳයි. කරුණාව, මෛත්‍රිය. දයාව අනුකම්පාව දියුණු කරගත යුතුයි. ඇයි හොඳයිකම් හොඳට පවත්වා ගනිමින් සමඟියෙන් සමාදානයෙන් කටයුතු කළ යුතුයි. ඉවසීම පුරුදු පුහුණු කර ගැනීම ජීවිතයකට අනිවාර්යයි. සෑම යහපතකටම දක්ෂයෙක් වී කටයුතු කළොත් අපේ ජීවිත සවියෙන් බලවත් වේවි. මෙවැනි ගුණාංගයන් සිතෙහි දරාගනිමින් යහපත උදාකරගෙන නිවන් මඟ පසක් කර ගනිමු.
සදහම් සඟරා - Online