ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

මරණ බියෙන් තොර මරණයක්‌ උදෙසා

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
'සතර අපායෙන් මිදෙමු' - 29 කොටස


වර්තමානයේ කුමක්‌ද ලෝකය තුළ සිද්ධ වෙන්නේ? සිදුවෙමින් පවතින අපි අකමැති දේවල් නැවත්විය නොහැකිද? එසේත් නොමැතිනම් මේ ලෝකධර්මතාවයන්ද?

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කර ගන්න. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බැහැරවෙන්නෙ නැහැ. ඔබ ලෝකය දැකල කම්පාවෙන්නෙ නැහැ. ඉපදීම තිබුණ නම් දුක තිබෙනවා. ඒ දුක නේද අපි අත්විඳින්නේ. මනුෂ්‍යයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශීලයෙන් ඒවායේ අර්ථයෙන් ඈත්වෙනවිට ඒ හේතුවෙනුයි ආයුෂය පිරිහීමට පත්වෙන්නේ. එහෙමනම් අපි පිළිගන්න ඕනේ අපි තුළින් ඉහත අර්ථයන් අර්ථවත්ව ක්‍රියාත්මක නොවන බව. සමාජය තුළින් ඇසෙන්නාවූ ආදරයේ විරාහවේ හඬ, ළමා තරුණ පිරිස්‌ සීමාවන් ඉක්‌මවා චර්යාවන්ට යොමුවීමේ හඬ, වැඩිහිටියන් මෝස්‌තරකරණයන්ට යොමුවීමේ ප්‍රවනතාවය යනු ආයුෂ පිරිහීමත් සමග ලෝකය තුළ ඇති වන විකෘතීන්ය. මේවා හේතුඵල ධර්මයන්ය. හේතුව ලෝකයා ධර්මයෙන් ඈත්වීමයි. ශීලයට වටිනාකමක්‌ නොදෙන ජනතාවක්‌ බිහිවීමයි.

මෙය බෞද්ධ ජනතාවට පමණක්‌ වන අනතුරක්‌ නොවේ. දුෂ්ශීලභාවය නිසා මුළු ලෝකයාම මුහුණ දෙන අනතුරකි. දැන් අපිට මේ ධර්මතාවයන්

නිවැරැදිකරගන්න බැහැ. මිනිසා විසින් සිදුකරන අකුසල් බහුල බැවින් ඒවා විපාක දීමට සුදුසු ලෝකයක්‌ අපි ඉදිරිපිට ඇති වෙන්නේ. කිරිසප්පයාගේ පටන් මනුෂ්‍යයා කයින්, වචනයෙන්, මනසින් සිදුකරගන්නාවූ අකුසල් කන්දරාව කොතෙක්‌ද? දරුවෙක්‌ දරුගැබේ සිටියදීත්, දරුවා ළදරු පාසලට, පාසලට යැමේදීත්, දරුවා රැකියාවට, විවාහයට, විවාහයෙන් අනතුරුව දරුමුණුපුරන් බලාගැනීම දක්‌වා ලෝභ, ද්වේශ, මෝහ කියන අකුසලයන් කොතෙක්‌ ඔබ අතින් සිද්ධවෙනවාද? සමාජය තුළ තිබෙන තරගකාරීත්වය නිසාම දරුවෙක්‌ නිසා දෙමාපියන්ට, දෙමාපියන් නිසා දරුවෙක්‌ට සැනසෙන්න පුළුවන් ලෝකයක්‌ ඉදිරියේදී බිහිවෙයිද? මෙය අසුබවාදීව Rනාත්මකව ලෝකය දකිනවා නොවේ. මෝහයෙන් තොරව සතියෙන් සිහියෙන් ලෝකය දැකීමේ ක්‍රමයයි මෙහි සටහන් කරන්නේ.

සමහර පිංවතුන්ලා දුක විඳිනවා. ඒත් දුක හෙළිකරගන්න, විවෘතකර දකින්න කැමති නැහැ. ඊට එකම හේතුව අකුසල් විපාකවල බලවත් භාවයයි. අනතුරෙන් මිදෙන දිශාවට යන්න ඉඩදෙන්නෙ නැහැ. අනතුරුවලට කැමැත්තෙන් බැසගන්නවා. රටේ ලෝකයේ සිදුවෙන සිදුවීම් දැකලා බිය ඇතිකරගන්න. එතනදී තමයි ඔබ දුක දැක්‌කා, දුක හඳුනාගත්තා වෙන්නේ. දුක දුකක්‌ බව හඳුනා නොගෙන අපිට බැහැ දුකෙන් මිදෙන දිශාවට යන්න. එක තප්පරයක්‌වත් සතුටුවෙලා බලන්න පුළුවන් ලෝකයක්‌ නොවේ අපි ඉදිරිපිට තිබෙන්නේ. කෙටි ආශ්වාද සතුටු සිතින් පිළිගත්තොත් දීර්ඝවූ ආදීනවයන් පසුපසින් එන බව දකින්න. වර්තමානයට වඩා අනාගත ලෝකය විනාශකාරී ලෝකයක්‌ වෙනවා. මිනිසා ශීලයෙන් පිරිහෙන්න පිරිහෙන්න විවේකීව යමක්‌ සිතිමේ ශක්‌තිය මනුෂ්‍යයාට නැතිව යනවා. පිංවත් ඔබ කලබලනොවී විවේකයෙන් ලෝකය දකින්න. කලබලකාරී බව සහ ඉක්‌මන්කාරී බව ආශ්වාදයේම නිවුන් දරුවෝය. ඔවුන් හුරුබුහුටිය, දඟකාරය. එහෙත් ආදීනවය අපෙන් වසන්කර දුකෙන් අපිව මුලාවට පත්කරයි.

නිස්‌සරණය අතේ දුරින් තිබියදීම විවේකීව, සිහිබුද්ධියෙන්, ඉවසීමෙන් එම කෙටිදුර පියමං නොකොට කෙළෙස්‌ පිරිණු ලෝකයාගෙන්, මාරයාගෙන් ලකුණු ප්‍රසංශා බලාපොරොත්තුවෙන් අපි ගිහිජීවිතයේදීද, පැවිදිජීවිතයේදීද, පැවිදිවෙද්දීද ඉක්‌මන්කාරී වුනොත් ධර්මවිනය ඉක්‌මවා කටයුතු කළොත් එය කාමයන් උදෙසා ආශ්වාදයක්‌ වනවා විනා නිස්‌සරණය උදෙසා මාර්ගයක්‌ නම් නොවන්නේය. අපි වීරවරයන් වියයුත්තේ තරගය අවසානයේදීය. තරගය ආරම්භයේදීම වීරයන් වීමට ගියහොත් ඒ 'අධිබලාපොරොත්තු' සහ නොඉවසීම විසින්ම අපගේ ලැබියහැකි ජයග්‍රහණයන් සහ දක්‍ෂතාවයන් මරාදමනු ඇත.

සැබවින්ම ඔබලා දක්‍ෂයන්ය. අදක්‍ෂයන්ට එම දක්‍ෂභාවය විනාශකර දැමීමට ඉඩ නොදීමට පිංවත් ඔබතුමන්ලා වගබලා ගත යුතුය. අදක්‍ෂයාද දක්‍ෂයෙක්‌ බවට පත්කරගත හැක්‌කේ එවැනි ආදර්ශයන්ගෙන්ය. අපතුළ දක්‍ෂභාවය සැඟවී තිබුණිද අප සියල්ලෝම මුලාවූ සත්වයන්ය. අපි අතර ඇති එකම වෙනස මුලාවේ අඩු වැඩිභාවය පමණි. එහෙයින් කිසිවෙකුටවත් වරද පැටවීම නොකළ යුතුය. වැරදි කරන ලෝකය කැඩපතක්‌ කරගෙන ඔබ ඔබේ වැරදි හඳුනාගෙන නිවැරදි වියයුතුය. ලෝකය විවේකීව නිවැරදිව හඳුනාගතහොත් ඔබ ලෝකයට

රැවටෙන්නේ නැත. එතෙක්‌ ඔබ ලෝකය රවට්‌ටන්නේය. අවසානයේ අප සියල්ලෝම රුවටී ඇත්තෙමු.

ඔබ නිරතුරුවම සිතත් එක්‌ක කථාකරන්න. සිතත් එක්‌ක තර්ක කරන්නන. කුමක්‌ ගැනද කථාකරන්නේ දුක ගැන, දුකෙන් මිදීම ගැන.

සැපය ඔබෙන් දුරස්‌කරන සැබෑම සතුරා තෘෂ්ණාව හඳුනාගන්න. කාමයන්ට කැමති සිත ආශ්වාදයම සොයන සිත සතුරෙක්‌ ලෙස දකින්න. ඇසෙන් ලෝකය ඈත්කරන්න. කනෙන් ලෝකය ඈත්කරන්න. මනසින් සිතුවිලි ඈත්කරන්න. මේ ඔබෙන් ඈත් වූයේ තෘෂ්ණාවයි. ඔබව වීරයෙක්‌ කරන තෘෂ්ණාව ඈත්කරන්න. එවිට ඔබට පුළුවන් නිහතමානීත්වයේ පිහිටෙන් පීඩාවකින් තොරව ලෝකය ඉදිරියේ දෙකේ කොළයට වැටෙන්න. දැන් තමයි මොනම තරගයක්‌ වුව ඇරඹීමට හොඳම වෙලාව. හැබැයි මෙතනදී කතාකරන්නේ භවයෙන් එතෙරවීමේ තරගය ගැන. තෘෂ්ණාවෙන් බැඳීයන කල, ආශ්වාදය උදෙසාම ඇදීයන සිත හොඳින් හඳුනාගන්න. එවිට අපිට පුළුවන් වීරයෙක්‌ නොවී ජයග්‍රහකයෙක්‌ වෙන්න. එතෙක්‌ අපි ජයග්‍රහණයක්‌ නොලැබූ වීරයන් වනු ඇත.

ඉක්‌මන් නොවී පිංවත් ඔබ ළඟ දකින්න. ඉක්‌මන් තීරණ දුකෙන් දුකටමයි අපිව පත්කරන්නේ. රූපයන් කෙරෙහි ඇතිකරගන්නා තෘෂ්ණාවේ තරමට අවිවේකය වැඩිවෙනවා. මොහොතක්‌ විවේකීව සිතන්න ඔබ ඔබට අනුකම්පා කරගන්න. ඔබ මේ හම්බ කරන්නේ කාටද? ඔබ මේ වෙහෙසෙන්නේ කවුරුන් උදෙසාද? හෙට උදේට ඔබට කුමක්‌වෙයිද කියන සහතිකය තිබෙනවාද? සංස්‌කාර හේතුවෙන් සකස්‌වුණාවූ විඤ්ඤාණය නැමති 'කොක්‌කේ' එල්ලා ඇති රූපයක්‌ මේක. සංස්‌කාර හේතුවෙන්ම කොක්‌ක ප්‍රතික්‍රියා දැක්‌වුව තැනදී රූපය වැටෙන්නේ මහ පොළවට. ඊට වඩාදෙයක්‌ මෙතැන නැහැ. මෙහෙම සිතීම ජීවිතයෙන් පලායැමක්‌ නොවේ. පලායන ජීවිතය සැබෑම අරමුණක්‌ උදෙසා පෙලගැස්‌වීමකි. මේ ගැන සිතන්න විවේකී මනසක්‌ තිබෙන්න අවශ්‍යයි.

සිත විවේකයට කැමති නැහැ. අනිත්‍ය අරමුණක්‌, ධර්ම අරමුණක්‌ මෙනෙහිකරන්න සිත මැලිකරනවා. ඒ නිසයි ගිහිපැවිදි අපි ගොඩාක්‌ වගකීම් කරපින්නාගත්තේ. පන්සලකට ගියත් ආරණ්‍යයකට ගියත් සිල්සමාදන් වෙන්න ගියත් එතන යමක්‌ හදන්න යමක්‌ කරන්න තමයි වඩාත් කැමති. මේවා වැරදි කියලා කියනවා නොවේ. මීටත් වඩා නිවැරුදි දෙයක්‌ ධර්මය තුළ තිබෙනවාය කියන කාරණයයි මේ අවධාරණය කරන්නේ. සිත විවේකයට අකමැති වෙන්නේ පංචනීවරණයන්ට සිත කැමති නිසා. පංචනීවරණයන්මයි ලෝකයේ යථාර්තය ඔබෙන් වසන්කර තබන්නේ. මේ සතුරාගේ ස්‌වභාවය ඔබව මුලාවට පත්කිරීමයි. පෞරුෂත්වය හේතුවෙන්, විශේෂ කුසලතා හේතුවෙන් සමහරවිට මේ මොකුත්ම නොමැතිව තමා තුළ අධිවිශ්වාසයක්‌, මාන්නයක්‌ ගොඩනගාගන්නවා. කාමච්ඡන්දයන් අපිට උපකාරකරනවා අලුත් සැලසුම් ක්‍රමවේදයන් උපක්‍රම තුළින් ඔබව දැනුවත් කරන්න. මේවා ක්‍රියාත්මක භාවයට පත්කිරීමට යැමේදී ඇති වන ජය පරාජයන්හිදී තමයි ඔබ පීඩාවට පත්වෙන්නේ. දැන් ඔබ අවිවේකී මනුෂ්‍යයෙක්‌. ඒ අවදානම තුළ සිටිමින්ම ධර්ම දේශනා අහනවා. පිංකම්කරනවා. භාවනාකරනවා. නමුත් ඒවායේ ප්‍රතිඵල ධනාත්මක නැහැ. නමුත් ඔබ කැමති නැහැ පිළිගන්න ඔබ දුර්වලයි කියලා. ඔබ කැමති කාමච්ඡන්දයන් තුළින්ම තෘප්තිමත්වන පරාසයක්‌ තුළ ධර්මයන් ජීවිතයට එකතුකරගන්න. මෙතනදී අපි රැවටීමට ලක්‌වෙනවා. මොනදෙයක්‌ ගැන අතීතයේ වර්තමානයේ සිතුවද ඒ හැම සිතුවිල්ලක්‌ම හිස්‌දෙයක්‌ පමණක්‌මයි. සංස්‌කාරගොඩක්‌ තවත් සංස්‌කාර ගොඩවල් නිසා තව තවත් සංස්‌කාර රැස්‌කරගන්නවා. සෑම විතර්කයක්‌ම භවගමන දිග්කරගන්නවා.

අවිද්‍යාව විසින් ගොඩනගාදුන් සම්මුති ලෝකය ඇස, කන, නාසය, දිව, මනස, කය සමගයි බැඳී පවතින්නේ. ඇස, කන යනු හිස්‌දෙයක්‌ය යන්න අපි දකින්න දක්‍ෂ වුවහොත් ඇසෙන් දකින සම්මුති ලෝකය හිස්‌දෙයක්‌ය යන්න ඔබ අවබෝධකරගන්නවා. ඇසෙන් ලෝකය බැහැර කරමින් එතකොට ඇස ඇසේ ස්‌වභාවයෙන් පවතීවි. කනෙන් ලෝකය බැහැර කරන්න. එවිට කන කනේ ස්‌වභාවයෙන් පවතීවි. නාසය, දිව, මනස, කයෙන් ලෝකය බැහැර කරන්න. එවිට ඒවා ඒවායේ ස්‌වභාවයෙන් පවතීවි.දැන් ඔබ ලෝකයෙන් මිදුන මනුෂ්‍යයෙක්‌. මෙතන තමයි නිදහස්‌ම තැන. ලෝකයාට බැඳීයනවිටයි දුකට ඔබ බැඳීයන්නේ. මේතැන අවබෝධයෙන් දකින්නයි ඔබ අප්‍රමාණව වෙහෙසෙන්නේ. නමුත් මේ පුංචි දෙය මහමෙරක්‌වගේ දැනෙන්නේ තෘෂ්ණාව කියන එකම කාරණය නිසාමයි. මෙන්න මේ තෘෂ්ණාව නිසාමයි දරුවන් සිතන්නේ තමන් වැඩිහිටියන්ය කියලා. වැඩිහිටියන් සිතන්නේ තවම තමන් තරුණයි කියලා. රූපය කෙරෙහි ඡන්ද රාගය නිසාම ජීවිතවලට වැඩි වටිනාකමක්‌ අධිතක්‌සේරුවක්‌ දෙනවා. මේ අධිවටිනාකම ජීවිතයට ලබාදෙන කිසිවෙකුටත් සුවපහසු මරණයකටනම් යන්න බැහැ. මොකද ඔහු මේ ජීවිතය මැරෙනවාය කියල දකින්න සිතන්න කැමති නැහැ. මරණය කියන්නේ අපි කතාකරනවා, සිනාවෙනවා වගේ ලෙහෙසි පහසු දෙයක්‌, විනෝදකාමී දෙයක්‌ නොවෙයි. ශීලයෙන් අපි පරිපූර්ණ නැතිනම් මරණය කාටත් මරණ දන්ඩනයක්‌ බවට පත්වෙනවා. මරණය කියන්නේ තමන් මගේ කොට අල්ලාගත් සියල්ල අත්හැරදැමීමට සිදුවන අවස්‌ථාවක්‌. මාර සිත ඔබට භවයේ වැඩිදුකක්‌ කරා ඇදදැමීමට අකුසල් සිත් මතුකර දක්‌වනවිට ශීලයෙන් පරිපූර්ණ කෙනාමයි එම මාර අකුසල් සිත් යටපත්කර සුගතියට අවශ්‍ය කුසල් සිත් මතුකර ගැනීමට දක්‍ෂ වෙන්නේ.

මනුෂ්‍යයෙකුගේ අවසාන මොහොත බොහෝම සංකීර්ණ අවස්‌ථාවක්‌. මරණයට ඔබ සුදානම්වී නොසිටියොත් ඔබ අසරණ භාවයට පත්වෙනවා.

දායක මහත්මයෙක්‌ සුනාමි අවස්‌ථාවේදී මුහුණදුන් සිද්ධියක්‌ මෙහි සදහන් වෙනවා. මෙම දායක මහත්මයා වෙද මහත්මයෙක්‌. මොහු පන්සල් යන දානය පුජාකරන බෞද්ධ මහත්මයෙක්‌. වර්තමාන සමාජය 'බෞද්ධයා' කියල සඳහන් කරන තැන හිටපු මහත්මයෙක්‌. සුනාමි අවස්‌ථාවේදී සුනාමියට හසුවී විනාශ වු දුම්රියේ සිටි මගියෙක්‌. දුම්රිය මුහුදු වතුරෙන් පිරිලා මොහු වතුරේ ගිලුන වෙලාවේ මොහුට එකපාරටම සිතුවිලි සකස්‌වෙලා තිබෙන්නේ ධර්මය බොරුයි කියලා. බුදුරජාණන් වහන්සේගේ සරණක්‌ නැහැය කියලා. බලන්න මරණීය අභියෝගය ඉදිරියේදී ධර්මයත් ප්‍රතික්‍ෂේප කළා. මේකට තමයි අමූලිකා සද්ධාව කියන්නේ. ජීවිතය ඉදිරියේ අභියෝගයක සෙවනැල්ල, මරණයේ සෙවනැල්ල වැටෙනවිට ධර්මයත් බුදුරජාණන් වහන්සේවත් ප්‍රතික්‍ෂේප කරනවා. මෝහය මුසු ශ්‍රද්ධාව, මුල් ශක්‌තිමත් නොවු සද්aධාව අභියෝග ඉදිරියේ වෙනස්‌වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනාකරන්නේ ශ්‍රද්ධාව කියන කාරණය මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම ධනයයි කියලා. තෙරුවන් කෙරෙහි ගුණයන් දැන පැහැදෙන ආකාරවතී ශ්‍රද්ධාව කවදාකවත් ඔබව මුලාකරන්නේ නැහැ. ඔබ තුළින් වෙනස්‌ වෙන්නෙ නැහැ. එම පිංවත් වෙද මහත්මයා කියනවා දෙවැනි රළපහරට ඔහුව යටවුන වෙලාවේ අතීතයේ සිදුවු සුදුවීම් වේගයෙන් සිතට ගලාගෙන පැමිණියා කියලා. අතීතයේ තමා සමග රන්ඩුවුන මිනිස්‌සු තමා කරගත් ලොභ, ද්වේශ, මෝහ අකුසල් මැවී පෙනෙන්නට පටන් අරගෙන. බලන්න පළමුව මුහුදු රළට යටවුන වෙලාවේ එම අභියෝගය ඉදිරියේ ශ්‍රද්ධාව අහිමිකරගත්තා. දෙවැනි රළපහරෙදි ශ්‍රද්ධාව අහිමිකරගැනීම නිසාම සකස්‌වූ මිත්‍යදෘෂ්ඨිකභාවය නිසාම අකුසල් සිත්, ලෝභ, ද්වේශ, මෝහ සිත් සකස්‌වෙන්න පටන් ගත්තා. නමුත් මොකක්‌aදෝ වාසනාවකට එම වෙදමහත්මයා ජීවිතය බේරාගත්තා. ඔහුම කියනවා ඒ වෙලාවේ මගේ ජීවිතය නැතිවුනා නම් මහාදුකකටයි තමා ඇදවැටෙන්නෙ කියලා. වර්තමානයේ මේ වෙදමහත්මයා අමුලිකා සද්ධාවේත්, ආකාරවතී සද්ධාවේත් වෙනස හොඳින් හදුනාගත් මහත්මයෙක්‌. නමුත් අතීතයේ ඔහුට තිබී තිබුණේ තෙරුවන්ගේ ගුණයන් හොඳින් දැන ඇතිකරගත් ආකාරවතී සද්ධාවනොව අමුලිකාසද්ධාවයි. මේ ගැන පිංවත් ඔබ හොඳින් අවධානය යොමුකරන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුළ නොපිහිටියොත් මිත්‍යදෘෂ්ඨික භාවයමයි උරුමවෙන්නේ.

එම නිසා තමා තමාවම රවටාගැනීමේ සංසාරබිය දැකලා, ලෝකය පත්වීගෙන එන විකෘතිභාවය දැකලා එම ව්‍යසනයෙන් මිදීම උදෙසාම තෙරුවන්ගේ ගුණයන් ඥාණයන් හොඳින් දැන පැහැදීමෙන් ඇතිකරගන්නා සද්ධාවයි පිංවත් ඔබව සැපයට ඔසවා තබන්නේ. මහාවේගයකින් මනුෂ්‍ය ආයුෂ හීනභාවයට පත්වෙමින් විකෘතිභාවයෙන් යුත් පරිසරයක්‌ ලෝකය තුළ ගොඩනැගෙන මෙවන් මොහොතක තරුණ වැඩිහිටි සැවොම ශ්‍රද්ධර්මය තුළින්ම ජීවිතයට සැනසීම සොයන්න උනන්දු වූවොත් කෙටි ආශ්වාදයක්‌ උදෙසා අත්විඳින දීර්ඝ කාලීන ආදීනවයන් වෙනුවට කාමයන්ගේ නිස්‌සරණය දෙසටම පියවර තැබීමට ඔබට හැකිවනු ඇත. මරණ බියෙන් තොර මරණයක හිමිකරුවෙක්‌ වියහැකිය. එසේ නොවුනහොත් ඔබේ මරණයද මරණ දඩුවමක්‌ම වනු ඇත. රජයන්හි අවිහිංසක ප්‍රතිපත්තීන් නිසා මරණීය දණ්‌ඩනය රටේ නීති පද්ධතියෙන් ඉවත්කළද ඔබ වැරදිකරනවානම් ධර්මයේ නීතිය තුළින් මරණය දඩුවමක්‌ම වනු ඇත. මරණයට බිය ඇතිකරගන්න. බියෙන් තොර මරණයක්‌ උදෙසා සද්ධර්මය ජීවිතයකර ගන්න. වර්තමාන සමාජයේ මිනිසුන් මැරෙන මොහොතේ සමහරු අසිහියෙන් මැරෙන්නේ. තවත් සමහරු අකාරුණිකව මැරෙන්නේ. තවත් සමහරු කයිකව, මානසිකව මහා පීඩාවන්ට පත්වෙමින් මැරෙන්නේ. පිංවත් ඔබ මේවා කමටහනක්‌ කරගන්න. හඩමින් මෙලොවට බිහිවුන ඔබට පුළුවන්නම් සිනාසෙමින් සාදුකාරදෙමින් මියයන්න. හේතුඵලධර්මයන් නිසා ඔබ ඊළඟට ලබන ජීවිතය සතුටෙන්, සිනාසෙමින්මයි, සාදුකාරදෙමින්මයි උපත ලබන්නේ. මන්ද ඔබ මව්කුසකට බැසගැනීමෙන් තොරවම ඕපපාතිකව සශ්‍රික දෙවියන් අතර මාර්ගඵලලාභී දෙවියන් අතරම උපත ලබන හෙයින්. දණ්‌ඩනයෙන් තොර මරණයක්‌ උදෙසාත්, හැŽමෙන්තොර උපතක්‌ උදෙසාත් පිංවත් ඔබ වහා වහා සද්ධර්මය තුළට පෙලගැසෙන්න.


ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
2013 පෙබරවාරි 17 ඉරිදා දිවයින

ගුරුකමේ රඟ

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
'සතර අපායෙන් මිදෙමු' - 30 කොටස


කලෙක භික්‍ෂුව මනුෂ්‍ය වාසයෙන් මදක්‌ ඈතින් වැසි වනාන්තර ලක්‍ෂණ සහිත වූ කුඩා ආරණ්‍යයක වැඩ සිටියා. මෙම කුඩා ආරණ්‍යයේ මාස 15 කින් කිසිවෙක්‌ වැඩ ඉදල නැහැ. පාළුවට ගිහින් තිබුණ ස්‌ථානයක්‌. ඉහත කාලය තුළ එක ස්‌වාමීන්වහන්සේ නමක්‌ සති දෙකක්‌ පමණ වැඩ ඉඳලා ඉවත්ව ගිහින් තිබෙනවා. මීට මාස පහළවකට පෙරාතුව මෙහි තනිවම වැඩසිටි වයෝවෘද්ධ ස්‌වාමීන් වහන්සේ අපවත්වීම නිසයි මේ ආරණ්‍යය පාළුවට ගිහින් තිබෙන්නේ. අපවත්වීමට පෙර උන්වහන්සේ වසර දහනවයක්‌ හුදකලාව මෙහි වැඩ ඉදලා තිබෙනවා, නේවාසික කැපකරුවෙක්‌වත් නොමැතිව. කැලයේ සැබෑම ආරණ්‍යය ලක්‍ෂණ සහිත හුදකලාව රජයන, කූඩැල්ලන් ගහන පරිසරයක මෙම ආරණ්‍යය පිහිටියත් එහි දීර්ඝ කාලයක්‌ වැඩසිටිය ස්‌වාමීන් වහන්සේ ගුරුකම්, යන්ත්‍ර මන්ත්‍ර, තෙල් බෙහෙත් මේවා තමයි කරලා තිබෙන්නේ. භික්‍ෂුවකට අගෞරව කරනවා නොවේ. යම් පිංවතෙක්‌ එහෙම හිතනවානම් මට සමාව අවසර ලැබෙන්න ඕනේ. මෙවැනි ඔබට පාඩමකට ගත හැකි සිද්ධියක්‌ ඔබ හමුවේ තබන්නේ ඔබගේ යහපත පිණිසයි. ජීවතුන් අතර නොමැති කිසිවෙකුට අගෞරව කිරීමට නොවේ. මෙවැනි සිදුවීම් වසන් කළහොත් එය ජීවත්ව සිටින අයට කරන අගෞරවයක්‌ වනවා ඇත.

මෙම භික්‍ෂුවට මාසික සලාක දානය ගමේ දායක පවුල් උදේම ආරණ්‍යයට ගෙන ගිහින් පුජා කරලා තිබෙනවා. බොහෝම දුරබැහැරව සිට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සදහා ජනතාව මෙහි පැමිණ තිබෙනවා. වසර දහනවයක්‌ තුළ මේ භික්‍ෂුව මෙහි තනිවම වැඩ ඉදලා තිබෙන්නේ, කිසිවෙකුට මෙම භික්‍ෂුව සමග දීර්ඝව කටයුතු කිරීමට නොහැකි කේන්ති යන ස්‌වභාවයක්‌ තිබෙන නිසා. මේ හේතුවෙන් ශිෂ්‍යයෙක්‌ කැපකරුවෙක්‌ ඉදලා නැහැ. මෙහෙම කටයුතු කරලා තමයි අපවත්වෙලා තිබෙන්නේ. අපවත් වුණාට පස්‌සේ දායක පිරිස කුඩා කුටියේ අල්මාරිය විවෘත කරලා තිබෙනවා. එහි පාවිච්චි නොකළ සිවුරු 46 ක්‌ තිබිලා තිබෙනවා. කල් ඉකුත් වෙච්ච බිස්‌කට්‌ පැකට්‌, තේ කොළ පැකට්‌ තිබිල තිබෙනවා. ඉහත සියල්ලෙන් කියවෙන්නේ ක්‍රෝධය, වෛරය සහිත ලෝභී චරිතයක ස්‌වභාවය තිබුණ බවයි. දැන් ඉතින් ඔය කතාව ඔතනින් ඉවරයි. මේ කථාවේ දෙවැනි කොටස පටන් ගන්නේ එම භික්‍ෂුව අපවත්වී අවුරුද්දයි මාස තුනකට පසුව පාළුවට ගිය ආරණ්‍යයට භික්‍ෂුව වැඩම කළාට පසුවයි.

භික්‍ෂුව මේ ආරණ්‍යයට පැමිණ තුන්වන දිනයේදී රාත්‍රී 10.00 ට පමණ සමාධියෙන් පසුවෙනවිට භික්‍ෂුව ඉදිරියේ බියකරු උල් නිකටක්‌ සහිත විරූපී සිහින් දිග උල් දත් සහිත ප්‍රේතයෙක්‌ දිස්‌විය. මේ ප්‍රේතයා වියරුවෙන් දැඩි වේගයෙන් දත්මිටිකමින් රෞද්‍රලෙස බලමින් භික්‍ෂුව ඉදිරියේ සිටියේය. දත් මිටි කන ප්‍රේතයා දුටු විට "දරුවෝ ඔබ කරලා තිබෙන පව මදිවටද තවත් පව් කරගහන්නේ. යන්න පුතේ යන්න" කියලා භික්‍ෂුව ආමන්ත්‍රණය කළා. ප්‍රේතයා නොපෙනී ගියා. විනාඩි තුනක්‌ පමණ ප්‍රේතයා දත්මිටි කමින් සිටියා. මෙතනින් මේ සිද්ධිය ඉවරයි. තවත් සතියකින් පමණ රාත්‍රියක මේ ප්‍රේතයා නැවත දර්ශනය වුණා. හැබැයි පෙර දැක්‌මේදී තිබු රෞද්‍ර දත්මිටි කෑම, බියකරු පෙනුම නැතිව උල් දත් සහිත මුඛය අයාගෙන භික්‍ෂුව දෙස බලාසිට විනාඩි දෙකකින් පමණ නොපෙනී ගියා. පෙර සතියේ දැක්‌කට වඩා ප්‍රේaතයා සන්සුන් වී ඇති ස්‌වභාවයක්‌ දුටුවා. මේ සිද්ධියත් මෙතනින් ඉවරයි. 

තවත් දින කිහිපයක්‌ ගතවන විට රාත්‍රීයේ භික්‍ෂුව සමාධියෙන් පසුවන විට භික්‍ෂුව ඉදිරියට අඩි හයක්‌ පමණ උස හැඩි දැඩි කළුම කළු ප්‍රේතයෙක්‌ පෙනී සිටියා. මේ ප්‍රේතයා කර රවුම් දනහිස දක්‌වා දිග පැරණි ඉස්‌කෝල මහත්වරු අඳින ආර්යසිංහල ඇඳුමක්‌ සුදු සරමක්‌ සමග පැළඳගෙන සිටියේ. මොහු ප්‍රතාපවත් ප්‍රේතයෙක්‌. ස්‌වරූපයෙන් හරියට උස මහත, කළු පැරණි ගුරුමහත්මයෙක්‌ වගේමයි. ඇස්‌දෙක හරි ලොකුයි. ඇසිපිය ගහන්නේ නැහැ. මොහු ඇස්‌ ලොකු කරමින් උරහිස්‌ දෙක මාරුවෙන් මාරුවට උස්‌ පහත් කරමින් බෙල්ල දෙපැත්තට සොලවමින් නිතර ගැස්‌සෙන ස්‌වභාවයෙන් භික්‍ෂුව දෙස බලා සිටියා. මේ ප්‍රේතයාගේ ස්‌වභාවය අනුව මන්ද බුද්ධික ප්‍රේතයෙක්‌. ප්‍රේතයාගේ සෑම ඉරියව්වකම මන්දබුද්ධික ස්‌වභාවය තිබුණා. අසරණ බැගෑපත් ස්‌වභාවයක්‌ දැක්‌වුවා. භික්‍ෂුව මේ ප්‍රේතයාට පිං දුන්නා. විනාඩි තුනක්‌ පමණ දර්ශනය වී ප්‍රේතයා නොපෙනී ගියා. මේ සිද්ධියත් මෙතනින් ඉවරවුණා. 

දැන් භික්‍ෂුවට ප්‍රශ්නයක්‌, අවස්‌ථා තුනකදී දර්ශනය වූ මේ ප්‍රේතයන් දෙදෙනා කවුද කියන එක. මේ වනවිට භික්‍ෂුව දැනසිටියේ නැහැ, වසර 19ක්‌ මෙහි වැඩ සිට අපවත්වූ භික්‍ෂුව පිළිබඳව. එම භික්‍ෂුව කොහොම කෙනෙක්‌ද? ඇවතුම් පැවතුම් කෙසේද? කියලා. මොකද මේ ගමේ අය මේ ආරණ්‍යයට පැමිණියේ නැහැ. මිනිසුන් තුළ ද අමනුෂ්‍ය බියක්‌ තිබෙන බව භික්‍ෂුවට දැනුණා. මෙහෙම වැඩසිටිනකොට දිනක්‌ ගමේ තරුණයන් දෙදෙනෙක්‌ භික්‍ෂුව ගමට පිණ්‌ඩපාතය වැඩීමට පෙර හිමිදිරියේම දානය රැගෙන කුටියට පැමිණියා. එම තරුණයන් දෙදෙනා ප්‍රකාශ කළ, මෙම ආරණ්‍යයේ වසර 19ක්‌ වැඩසිට භික්‍ෂුවගේ තොරතුරු තමයි මේ කතාවේ මුලින්ම සටහන් කළේ. වසර 19 ක්‌, කේන්ති යන ස්‌වභාවයෙන් ගුරුකම්, වෙදකම් කළ, ලෝභී ස්‌වභාවයක්‌ තිබූ, අපවත්වූ භික්‍ෂුවගේ තොරතුරු එම තරුණයන් දෙදෙනා සඳහන් කරනවිට, භික්‍ෂුqව නිසැකයෙන්ම සිතුවා, ඉහත සටහන් කළ පරිදි දත්මිටි කමින්, රෞද්‍ර ලෙස දර්ශනය වූ ප්‍රේතයා වෙන කව්රුවත් නොව, ක්‍රෝධය වැඩූ, මෙම ස්‌ථානය තණ්‌හාවෙන් උපාදානය කරගත් ඒ අපවත්වූ භික්‍ෂුවම බව.

ගිහි පිංවතුන්ගේ උපස්‌ථාන ලබමින්, සිව්පසය ලබමින්, ගුරුකම් - වෙදකම් කරමින්, නිරතුරුවම කේන්තියන ස්‌වභාවයේ අයෙක්‌ වූ මේ භික්‍ෂුව මරණින් මතු, එහිම නැවත ප්‍රේතයෙක්‌ ලෙස උපත ලබා ඇතැයි භික්‍ෂුව අනුමාන කළා. මොහු වැනි වියරු ස්‌වභාවයේ ප්‍රේතයෙක්‌ මෙහි සිටින නිසාමයි, මේ ස්‌ථානය අවුරුද්දයි මාස 3ක්‌ පාළුවට ගොස්‌ තිබුණේ. මෙය සටහන් තබන භික්‍ෂුව ඉදිරියට ද, මේ ප්‍රේතයා රෞද්‍ර ස්‌වභාවයෙන් පැමිණියේ භික්‍ෂුව බියගැන්වීමට විය හැකිය. එය ප්‍රේතයාගේ උපාදානයේ බලවත්බවයි. අසරණකමයි. 

තමා වසර 19ක්‌ 'මගේ' කොටගෙන, ගහකොළ වවාගෙන, ඔසු උයන් තනාගෙන, තණ්‌හාවෙන් ද ක්‍රෝධය සහිතව ද ගත කළ ජීවිතය නිසා සහ ඒ සියල්ල කෙරෙහි පැවැති ජන්දරාගය නිසා ඉහත වියරු ප්‍රේත උපත සිදුවූවා විය හැකිය.

දෙවැනිව භික්‍ෂුව ඉදිරියට පැමිණි රෞද්‍ර භාවය අඩු දමනය වු ප්‍රේතයා මේ වියරු ස්‌වභාවයෙන් මිදුනේ වියරු ස්‌වභාවයෙන් යුත් ප්‍රථම දර්ශනයේ දුටු ප්‍රේතයාට සහ අපවත් වු භික්‍ෂුවට පිං නිරතුරුවම අනුමෝදන් කළ නිසා විය යුතුය. ඉහත වියරු ප්‍රේතයා දර්ශනය වුවාට පසුව භික්‍ෂුව එම ප්‍රේතයා කෙරෙහි අනුකම්පාවෙන් තම දුක්‌ත ප්‍රේත ආත්මයෙන් යම් සහනයක්‌ ලබාගැනීම සදහා, ප්‍රේත ජීවිතය ඉන් ඉහළ තැනකට ගෙන ඒම සදහා නිරතුරුවම පිං අනුමෝදන් කළේය. මෙම ආරණ්‍යය පිහිටි ගම්මානය තේ දළු නෙළන, වගා කරන ජනතාව බහුල ගමකි. කවදාකවත් දානයක්‌ දීමට අපහසු පිරිස්‌ මෙහි සිටියහ. මෙවැනි පිණ්‌ඩපාත ගමනකදී භික්‍ෂුව තුළ ඇතිවන මෛත්‍රීය ශක්‌තිය අති ප්‍රබලය. ගිහි පිංවතුන්ගේද සද්ධාව ද අධිකය. මේ දෙකම එකතුවීමෙන් රැස්‌වෙන පින කුටියට ගිය විගස අපවත්වු භික්‍ෂුව සහ වියරු ප්‍රේතයා අරමුණු කරගෙන අනුමෝදන් කළේය. අවුරුද්දයි මාස තුනක්‌ පාළුවට ගිය මෙම ආරණ්‍යයට අමනුෂ්‍ය පීඩාවක්‌ ඇතොත් එම අමනුෂ්‍යයින් සතුටු කර සංඝයාගේ පරිහරණයට සුදුසු ස්‌ථානයක්‌ බවට පත්වීමට භික්‍ෂුව මෙසේ ක්‍රියා කළේය. 'භික්‍ෂුව වඩන සැබෑ මධ්‍යම ප්‍රතිපදාව දෙස බලන්න. භික්‍ෂුවගේ අත්හැරීමේ ශක්‌තිය දෙස බලන්න. ඒවා දකිමින් ඔබද ඔය නපුරු රෞද්‍ර ගති අත්හරින්න. මේ පිං දැක සතුටු වෙන්න' මේ ප්‍රේතයා මනුෂ්‍ය ජීවිතයේදී පිං ගැන කුසල් ගැන දන්න අයෙක්‌. නමුත් ඒවා යටපත් වෙලා ක්‍රෝධය, වෛරය වගේම ස්‌ථානය පිළිබද තණ්‌හාව නිසාම. ගුරුකම් කිරීම නිසා ඇතිවන පළිගැනීමේ ස්‌වභාවය නිසාම මේ දරුණු ප්‍රේත තත්ත්වයට වැටෙන්න ඇත්තේ. නමුත් දිගටම භික්‍ෂුව එහි නේවාසිකව වැඩසිටිමින් භික්‍ෂුවගේ සරල මෛත්‍රී සහගත ඇවතුම් පැවතුම් දකින විට, පිං දෙන විට ප්‍රේතයාට තමා අතීතයේ වඩපු යහපත් දේවල් මතු වෙන්න ඇති. ඒ නිසාමයි ප්‍රේතයා අදියර දෙකකදී උසස්‌ භාවයන් ලබාගත්තේ. 

දැන් අපි බලමු තුන්වැනිව සුදු ආරියසිංහල ඇඳුමක්‌ ඇඳපු, කලු, උස මහත ප්‍රේතයා කවුද කියලා අනුමාන වශයෙන්. මුලින්ම දර්ශනයවු රෞද්‍ර ප්‍රේතයා දෙවැනි වර බොහෝම දමනය වු ස්‌වභාවයෙන් දර්ශනය වුණා. භික්‍ෂුව නැවත නැවත පිං දීම නිසා ප්‍රේත ස්‌වභාවය අදියරෙන් අදියර උසස්‌වී පිනෙන් ඉහළ ප්‍රේතයෙක්‌ ලෙස සශ්‍රීකභාවය ලැබුවා. මේ සශ්‍රීක බව ලැබුව ප්‍රේතයා තමයි තුන් වන වරට දර්ශනය වු ආරියසිංහල ඇඳුම දමාගත් දැන් අපි බලමු තුන් වැනිව සුදු ආරිය සිංහල ඇඳුමක්‌ ඇඳපු, කළු, උස මහත ප්‍රේතයා කවුද කියලා, අනුමාන වශයෙන්. මුලින්ම දර්ශනය වු රෞද්‍ර ප්‍රේතයා දෙවන වර බොහෝම දමනය වු ස්‌වභාවයෙන් දර්ශනය වුණා. භික්‍ෂුව නැවත නැවත පිංදීම නිසා ප්‍රේත ස්‌වභාවය අදියරෙන් අදියර උසස්‌ වී පිනෙන් ඉහළ ප්‍රේතයෙක්‌ ලෙස සශ්‍රීකභාවය ලැබුවා. මේ සශ්‍රික බව ලැබුව ප්‍රේතයා තමයි තුන්වන වරට දර්ශනය වු ආරිය සිංහල අඳුම දමාගත් මන්දබුද්ධික ප්‍රේතයා. මේ තුන් ආකාරයෙන් වරින් වර දර්ශනය වූයේ අන් කවුරුත් නොව වසර දහනවයක්‌ ආරණ්‍යයේ සිට අපවත් වු භික්‍ෂුව බවට අනුමාන කරනවා. 

ඉහත සිද්ධිය හරහා මතුවන මේ කථාව ඔබට ගොඩාක්‌ වටිනවා. ඇයි මේ ප්‍රේතයා පිංගැනීමෙන් පසුවත් මන්දබුද්ධික ප්‍රේතයෙක්‌ වුණේ කියලා. ඇයි මේ ප්‍රේතයා තද කළු පැහැති ශරීරයක්‌ ලැබුවේ කියලා. අපවත් වුණ භික්‍ෂුව නිතර ගුරුකම් කිරීම නිසාත් ස්‌වභාවයෙන් පිහිටි කේන්ති යන ස්‌වභාවය නිසාත් ඇති වුණ වෛරී බව, ක්‍රෝධය නිසාමයි. එහි අකුසල් විපාක නිසයි මේ කළු පැහැය ලැබෙන්නේ. මේ වඩපු ක්‍රෝධය නිසාමයි මුල් අවස්‌ථාවේදී කිසිදු බියකින්, චකිතයකින් තොරව භික්‍ෂුව ඉදිරියට දත්මිටි කමින් වියරුවෙන් පැමිණෙන්න ශක්‌තිය ලැබුණේ.

ප්‍රේතයා මන්දබුද්ධික ප්‍රේතයෙක්‌ වුණේ ඇයි? මේ කථාවේ ඔබට වැදගත්ම පාඩම ඇත්තේ මෙතනය. මේ ටික කියන්නයි මේ සටහන ඔබට ලිව්වේ. මියගිය භික්‍ෂුව වසර දහනවයක්‌ පුරාවට කළේ ගුරුකම්, යන්ත්‍ර මන්ත්‍ර, වෙදකම් වැනි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තිරශ්වීන (තිරිසන්) ධර්මයන් ලෙස ප්‍රතික්‌ෂේප කළ දේවල්මයි. මොහු මේවා කළේ උපසම්ප්‍රදා භික්‍ෂුවක්‌ ලෙස දායකයන් සද්ධාවෙන් දෙන සිව්පසය ලබමින්. මෙම අකුසල කර්මයේ විපාකය හැටියටයි මන්aදබුද්ධික ප්‍රේත ස්‌වභාවය ලබන්නේ. 

සමාජය දෙස හොඳින් දෑස්‌හැර බලන්න. මොනතරම් යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් ගිහි පැවිදි දෙපාර්ශ්වයම කරනවද? මිනිසුන් අතරට මේ බුදුරජාණන් වහන්සේ විසින් එපා කියන ලද තිරශ්වීන ධර්මයන් පතුරවා හරිනවාද? ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යමක්‌ එපා යයි දේශනා කළානම් ඒ දේශනා කළේ හේතුවක්‌ ඇතිවය. එයින් ඇතිවන ඵලය ගැන අවබෝධයෙන්ම දත් හෙයිනි. ප්‍රඥාවේ ආලෝකය වසා අවිද්‍යාවේ අඳුරෙන් ජනතාව අන්ධ කිරීම හේතුවෙන් මර්ණින් මතු ලැබෙන ඵලය නම් මනුෂ්‍ය, ප්‍රේත, තිරිසන් ජීවිතයක්‌ ලැබුවත් මන්දබුද්ධිකව ඉපදීමයි. 

ඉහත මන්දබුද්ධික ප්‍රේතයාද තම ප්‍රේත ජීවිතය උසස්‌ තත්ත්වයට පත්වුවද මන්දබුද්ධික ස්‌වභාවයක්‌ ලැබුවේ අතීතයේ කළ ගුරුකම් යන්ත්‍ර මන්ත්‍රවල කර්ම විපාකයක්‌ නිසා වීමට හොඳටම ඉඩකඩ ඇත. ප්‍රශ්නය ඇත්තේ මෙතැනය. මොහු තමා විසින් කළ අකුසල කර්මයන්ට දුක්‌ විඳීම සාධාරණය. මොහු නිසා තව කීදාහක්‌ මෙම තිරශ්වීන ධර්මයන් විශ්වාස කර ඒවා සරණගොස්‌ ඇතිද? තමා මරණින් මතු මන්දබුද්ධික ජීවිතයක්‌ ලබනවා සේම අනුනටද එම ස්‌වභාවය හිමිකර දීම අවාසනාවකි. වර්තමාන සමාජයේ වෛද්‍ය විද්‍යාව කොතෙක්‌ දියුණු වුවද මන්දබුද්ධික දරුඋපත් වැඩිය. මෙවැනි දරුවන් නිසා දෙමාපියන් විඳින වේදනාවන්, සමාජ පීඩනය අති විශාලය. 

ඉහත සටහන කියවන ඔබට එය විශ්වාස නම් ඔබ කෙරෙහි අනුන් කෙරෙහි අනුකම්පාවෙන් මෙම තිරශ්වීන ධර්මයන්ගෙන් ඈත්වෙන්න. ඒවා විශ්වාස නොකරන්න. එකම විශ්වාසය, සරණ, තෙරුවන් කෙරෙහි ඇතිකරගන්න. ඉන් තොර විශ්වාසයක්‌ ඇතැයි නොසිතන්න. අඳුනක, අංජනමක, ගුරුකමක, කොඩිවිනයක, ජීවංකළ තෙලක සරණයැම යනු මතුභවයක ඔබ කැමැත්තෙන්ම මන්දබුද්ධික ජීවිතයක්‌ ලැබීම බව හොඳින් වටහාගන්න. ඔබේම කැමැත්තෙන් ඔබ මන්ද බුද්ධිකයෙක්‌ නොවීමට ඉහත තිරශ්වීන ධර්මයන්ට ඔබම වැටබඳින්න. ඔබ ප්‍රශ්න පීඩා දුක්‌ කම්කටොලු වලින් දැවේනම් තෙරුවන් කෙරෙහි විශ්වාසය තබමින් නිරතුරුවම ශීලයක පිහිටා එය ආරක්‍ෂා කරමින් දන්දෙමින් ලෝකයට මෛත්‍රිය වඩන්න. ඔබේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු වැඩිවන්න වැඩිවන්න ඉහත ධර්ම ප්‍රතිප්‍රදාවේ වැඩි වැඩියෙන් යෙදෙන්න. අකුසලය පැරදවිය හැක්‌කේ කුසලයෙන්ම බව සිතන්න. කුසල්ගොඩ වැඩිකරගෙන අකුසල් බෙලහීන කරගන්න. තමා දුක්‌විඳින්නේ තමාම සංසාරයේ කරන ලද 'හපන්කම්' නිසා බව සිතන්න. ප්‍රතිඵලය දුක නම් දුකට අයිති දෙය නොකරන්න. 

සාස්‌තර කියනු ලැබේ, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, අංජනම්, කොඩිවින, වශීගුරුකම් බෝඩ්ගසාගෙන ඔබ එනතුරු ආදායම සොයාගැනීමට බලා සිටින ''මන්දබුද්ධිකයන් නිපදවන්නන්ට'' ඔබ නොරැවටෙන්න. යමෙක්‌ මේ වන විටත් තමාගේ පවුලේ අයෙක්‌ මන්දබුද්ධික ස්‌වභාවයෙන් පෙළේ නම් ඒ අයගේ සුවය පතා මේ තිරශ්වීන ධර්මයන් පසුපස නොයන්න. තමාට මෙවැනි මන්දබුද්ධික භාවයක්‌ ලැබුණේ පෙර භවවල මෙවැනි තිරශ්වීන ධර්මයන් පසුපස යැම නිසා බව සිතන්න. සුදුසුකම් ලත් වෛද්‍ය ප්‍රතිකාර සහ පිංදහම්වලම යෙදෙන්න. මෙසේ යෙදෙමින් තමා අතින් අතීත භවයන්හිදී කරන ලද ඉහත වැරදි ක්‍රියාවන්ට තමාම තමාගෙන් සමාව ගන්න. ඒවා කෙරෙහි ඇලීමට ගැටීමට නොයන්න. ඒවායේ ස්‌වභාවයෙන් ඒවාට ලෝකයේ පැවතීමට ඉඩහරින්න. ඔබ ඔබේ ස්‌වභාවයෙන් ජීවත් වෙන්න. ප්‍රඥාවේ ආලෝකය වාසා දමන අවිද්‍ය වේ සිතුවිලිවලින් මිදෙන්න. ප්‍රඥාවේ ආලෝකය ලැබෙන සම්බුදු වදන්ම ජීවිතයට ලංකරගන්න. ලෝකයට නොඇලී නොගැටී ලෝකයෙන් එතෙරවන්න. තණ්‌හාව, වෛරය, ක්‍රෝධය, ඔබ තුළින් වැඩෙන්නේ නම් මීළඟට ඔබ ලබන උපත ද තණ්‌හාවට, ක්‍රෝධයට, වෛරයටම අයිති උපතක්‌ බව හොඳින් මෙනෙහි කරන්න. ඉහත රෞද්‍ර ප්‍රේතයා ඔබ දේව දුතයෙක්‌ කරගන්න දක්‍ෂ වෙන්න.


ඉන්ද්‍රජිත් සුබසිංහ
2013 පෙබරවාරි 24 ඉරිදා දිවයින

ප්‍රේතානුස්‌සතියද? දේවතානුස්‌සතියද?

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
'සතර අපායෙන් මිදෙමු' - 31 කොටස


වර්තමානයේ මනුෂ්‍යයාගේ ආයුෂ ප්‍රමාණය අවුරුදු 75 පමණ වෙනවා. මේ කෙටි ආයුකාලය මනුෂ්‍යයෙක්‌ ගෙවන්නේ මුලින්ම තමන්ගේ දෙමාපියන්ගේ ගෙදර. ආවාහ විවාහ වුණාට පස්‌සේ තමන්ගේ ගෙදරක. වැඩිමහලු වියට පත්වුනාම තමන්ගේ දරුවන්ගේ ගෙදරක. සමහරු ජීවිත කාලයම අනුනට අයිති කුලී ගෙදරක ජීවත්වෙනවා. තවත් සමහරු මහලු නිවාසයක්‌, වැඩිහිටි නිවාසයක්‌ තම අවසාන කාලයේදී නිවස කර ගන්නවා. මේ කොතැනක ජීවත් වුවද පිංවතුනි ඔබ මනුෂ්‍ය ජීවිතය වසර 75ක්‌ වැනි කෙටි කාලයක්‌ තමයි ගත කරන්නේ. මේ කාලය කෙටිය කිව්වේ දිව්‍ය, බ්‍රහ්ම සතර අපාය සමග සසඳලා. ඉහත ලෝකවල ආයුෂ බලන විට මනුෂ්‍යයාගේ ආයුෂ හරිම අල්පයි. මේ මොහොතේ ලෝකයේ දියුණු අති නවීන විද්‍යාගාරවල විද්‍යාඥයින් බොහෝම වෙහෙසෙනවා මනුෂ්‍යයාගේ ආයු කාලය වැඩිකර ගැනීමට ක්‍රමවේදයක්‌ සොයාගැනීමට වැඩිපුර වසර පහක්‌ දහයක්‌ මනුෂ්‍ය ආයුෂ වැඩිකර දෙන්න. එහෙත් අවාසනාව කියන්නේ මේ විද්‍යාඥයින්ට සිතාගන්නවත් බැරි විදිහට ළමා, තරුණ, වැඩිහිටි මනුෂ්‍යයන් සිය ගණනින්, දසදහස්‌ ගණනින් මාරන්තික රෝග, ස්‌වාභාවික විපත් වරින් වර මතුවෙමින් අසරණ ලෙස මරාදමනවා. 

මේ වරින් වර මතුවෙන ස්‌වාභාවික විපත් වසංගත රෝග හමුවේ ඉහත විද්‍යාඥයින් හරිම අසරණයි. මේ අසරණභාවයට ඔවුන් පත්වෙන්නේ පතපොතේ දැනුමෙන් සියල්ල දැනගත්තත් ධර්මය නොදකින නිසාමය.මේ අයගේ ඇති අවිද්‍යාවේ පුළුල් දැනීම් සම්භාරය නිසා හිතනවා මනුෂ්‍යයෙක්‌ යනුá ජීවවිද්‍යාත්මකව ඇතිවුන සත්වයෙක්‌ පමණක්‌ය කියලා. ඉන් එහා කර්මයක්‌, කර්මඵලය ගැන, හේතුඵල ධර්මයක්‌ ගැන ඒ අයට දැනුමක්‌ නැහැ. ඒ නිසා මේ අය නිරතුරුවම උත්සාහගන්නවා තමා උපාදානය කරගත් තම දැනුම උපයෝගිකරගෙන ඇතිකරගත් මමත්වයේ දැඩිභාවය නිසාම මිනිහාගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ පාලනය කරන්න. මේ උත්සාහය නිරර්ථක උත්සාහයක්‌. 

හැබැයි මනුෂ්‍යයින් හැටියට අපිට සතුටුවෙන්න පුළුවන්. මන්ද, සතර අපායේ සත්වයා විඳින දුක, වේදනාව, කටුක බව සමග සස¹ බලන කොට මනුෂ්‍යයා යනු සැපවිඳින පිරිසක්‌මය. අනාථ කඳවුරක කැඳ උගුරක්‌ පමණක්‌ ලැබී ජීවත් වන මනුෂ්‍යයාද විඳින්නේ සැපයක්‌මය. අවිද්‍යාවේ ක්‍රමවේදයන් විසින් පුහුණුකරන ලද ඉහත විද්‍යාඥයින් ආචාර්ය, මහාචාර්ය මහත්වරුන් සත්වයා සතර අපායේ විඳින දුක්‌ වේදනා දකින්නේ නම්, අවිද්‍යාව නිසා සතර අපායේ තමා උපදින බව දන්නේ නම් ඔය පර්යේෂණ සියල්ල නවතා දමා සතර අපායෙන් මිදීමේ ආර්ය පර්යේෂණයේ යෙදෙනවා නියතය. 

භික්‍ෂුව ඉහත සටහන් කළේ පසුගිය වස්‌ කාලයේදී භික්‍ෂුව වැඩ සිටිය රුහුණු ප්‍රදේශයේ කැලෑබද ආරණ්‍යය භූමියේදී භික්‍ෂුවට දර්ශනය වූ ප්‍රේත සන්නිපාතයක්‌ ගැන ඔබව දැනුවත් කිරීමටය. භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේදීම වැඩිම ප්‍රේතයින් ප්‍රමාණයක්‌ දර්ශනය වුන කාලය මෙයයි. මෙය කෙටි මනුෂ්‍ය ජීවිතය තුළින් ලබන ප්‍රේත ජීවිතයේ දීර්ඝ බව කියන කථාවක්‌. භික්‍ෂුව සමාධියෙන් පසුවන විට ප්‍රේතයින් සියය, දෙසියය දර්ශනය වුනා. මේ සෑම ප්‍රේතයෙක්‌ම ඉතාමත් විකෘති ප්‍රේතයින්. එක්‌කෙනකුට එක්‌කෙනෙක්‌ විකෘතියි. විකෘති මුහුණු, විකෘති හිස්‌ ප්‍රේත ලෝකයේ අත්විඳින ආදීනවයන්ගේ විවිධත්වය හොඳින් දකින්න පුළුවන්. මේ හැම ප්‍රේතයෙක්‌ම උඩු කයට ඇඳුමක්‌ නැතිවයි සිටියේ. යටි කය වසාගෙන සිටියෙත් කෙටි සරොම් කැබැල්ලකින්. පිනක්‌ දහමක්‌. දැකල, ලැබිල, නැති එවැනි සංඥා නුහුරු ඒ නිසාම අනන්ත දුක්‌විඳින විකෘති, අවිචාරවත් ප්‍රේත සන්නිපාතයක්‌. මේ ප්‍රේතයන්ගේ පිං මද අසරණභාවය දැකලා මේ අය අරමුණු කරලා පිං අනුමෝදන් කළා. 

භික්‍ෂුව සොයා බැලුවා මේ තරම් අසරණ ප්‍රේත සන්නිපාතයක්‌ එම ප්‍රදේශයේ සිටින්නේ ඇයි කියලා. මේ අවස්‌ථාවේ කල්‍යණමිත්‍ර ස්‌වාමීන්වහන්සේ නමකගෙන් පහත තොරතුරු දැන ගන්නට ලැබුනා. මේ යාල වනෝද්‍යානය ආශ්‍රිත ප්‍රදේශ අතීතයේ සශ්‍රික ගොවිබිම් සහිත ජනාකීර්ණ ජනාවාස සහිත ප්‍රදේශයක්‌. බැමිනිතියාසාය පැමිණි වෙලාවේ මේවායේ ජීවත්වූ ජනතාව. ඒ දුෂ්ට බමුණා විසින් ඒ අයගේ ගොවිබිම් කුරිරු ලෙස විනාශ කරලා ජනතාව අමුqq අමුවේ ඝාතනයකර තිබෙනවා. ඉන්පසුව මෙම ප්‍රදේශ කැලයට ගිහිල්ලා. මේ අවාසනාවන්ත ලෙස මැරිච්ච මිනිස්‌සුන්ට පිනක්‌ අනුමෝදන් කරන්න කෙනෙක්‌ ඉතුරුවෙලා නැහැ. තමන්ගේ ගොවිබිම්, දුවා දරුවන් කෙරෙහි ඇතිකරගත් ඡන්දරාගය, ආක්‍රමණිකයන් කෙරෙහි ඇතිකරගත් වෛරය, කෝ‍රaධය සමග අවසන් හුස්‌ම හෙලා තිබෙනවා. ඔබම හිතන්නකෝ, තමන්ගේ නිජභූමියේ ගොවිතැන් කරගෙන ජීවත්වුන ගම්වැසියන් ආක්‍රමණිකයන් සියල්ල විනාශකරදමා ගිනිබත් කරනවිට හදවතේ ඇතිවන වෛරය, කෝ‍රaධය, තෘෂ්ණාවේ ගිනිදලු ගෙවල් දොරවල් භවබෝග ගිනිගෙන නැගෙන ගිනිදලුවලට වඩා ප්‍රබලයි නේද? ගම්බිම් කෙත්වතු දවා අළු කළ ගින්න මොහොතකින් නිවී ගියද ඒ අය මැරෙන මොහොතේ හදවතේ අවුළුවාගත් වෛරයේ, ක්‍රෝධයේ ගින්න තවමත් නොකඩවාම ඒ අයව පීඩාවට පත්කරනවා. නිවී යන ගින්නක්‌ උදෙසා බුර බුරා නැගෙන දුක්‌ගින්නක්‌ 'මගේ' කරගන්නවා. ඉහත අවාසනාවන්ත ප්‍රේතයින් ලෙස උපත ලබා තිබෙන්නේ අතීතයේ මේ ගම් බිම්වල ජීවත්වුන මිනිස්‌සු කියලා භික්‍ෂුව අනුමාන කරනවා. ආහාර, ඇඳුම් අහේනිය නිසා ඉණ දවටාගත් සරම් කැබැල්ල පිටින්ම ප්‍රේත ලෝකයේ උපදින්න ඇත්තේ ඒ නිසා විය යුතුය. කැලයේ දඩයමේ යන, මීවද, ඖෂධ සොයන්න කැලේට වදින මිනිස්‌සු නොයෙක්‌ හේතූන්ගෙන් මියයනවා. මෙවැනි මිනිස්‌සුද මැරෙන්නේ වෛරයෙන් බියෙන් නිසා විකෘති ස්‌වභාවයන් පිහිටන්න පුළුවන්. භික්‍ෂුවට දර්ශනය වූ ප්‍රේතලෝකයේ ප්‍රේතයින්ගෙන් ඉතාමත් අපුලම ප්‍රේතයින් මේ ප්‍රේත සන්නිපාතයතුළ සිටියා. එය විකෘතියේ ලෝකයක්‌. එක ප්‍රේතයෙක්‌ භික්‍ෂුව ඉදිරියේ වැඩි වේලාවක්‌ දර්ශනය වුණා. භික්‍ෂුව ඔහුගෙන් ඇසුවාම ඔබ කවුද කියලා මේ ප්‍රේතයා ගොතගසන ස්‌වභාවයෙන් වචන පිටකරන්න උත්සාහ කළා. භික්‍ෂුවට තේරුණේ 'කථාකරන්න බැහැ' කියනවා වගේ. එහෙම කියන විටම දැක්‌කේ එම ප්‍රේතයාගේ උඩුතොල සහ යටිතොල කට වටේම කුණුවෙලා හරියට හොරිදාල වගේ කට කුණුවෙච්ච ප්‍රේතයෙක්‌. මේ ප්‍රේතයාට කවුරුන් බෙහෙත් කරන්නද? කවුරුන් සුවදුක්‌ විචාරන්නද? කටකුණුවෙච්ච වේදනාව විඳිමින් කර්ම විපාක ගෙවනවා. 

වචනය සංවර කර නොගත් නිසා මුසාවාද, පිසුනාවාච, පරුෂවචන, සම්පප්‍රලාප භාවිතාකළ නිසා අනුනට දුන් දුක තමන් ප්‍රේත ලෝකයේ විඳිනවා. මේ කථාව කියවලා ඔබ දැන් හිතන්න ඕනේ මේ ප්‍රේතයා විඳින දුක ගැන නොවේ. ඒ ගැන හිතලා වැඩක්‌ නැහැ. ඔහුව ගොඩගන්න ඔබට බැහැ. තමා කැමැත්තෙන්ම සකස්‌ කරගත් හේතූන් නිසා ලැබුණු ඵලය තමා ප්‍රේතයා විඳින්නේ. මේ දුක අහල ඔබ කල්පනාකරන්න ඕනේ ඔබේ වචනයත් සංවරද කියලා. සමහර පිංවතුන්ගේ දිව හරියට දැලිපිහියක්‌ වගේ. සමාජයේ සෑම ක්‍ෂේත්‍රයකම තමාගේ පැවතීම, බලය, ආත්මගරුත්වය උදෙසා මේ දැලිපිහියෙන් මොනතරම් අහිංසක ජීවිත රිදවනවද? රැවටීමට ලක්‌කරනවාද? විශේෂයෙන් දේශපාලනයේදී එහෙම.....

සමහර දිනවල භික්‍ෂුව උදේට පිණ්‌ඩපාතේ වඩිනවිට ගෙවල්වල ක්‍රියාත්මක කර ඇති රේඩියොවේ බොහෝම වේගවත්ව අදහස්‌ ප්‍රකාශ කරනවා ඇසෙනවා. ඒ හඬවල්වල ඇති තියුණු, වේගවත්, ප්‍රහාරාත්මක බව ඇසෙනවිට එම හඬවල් අයිති අයිතිකරුවන් මොනතරම් දේවල් ඡන්දරාගයෙන් අයිතිකරගෙන තිබෙනවාද? තව අයිති කරගැනීමට බලාපොරොත්තු වෙනවාද? ඒවා රැකගැනීමට උත්සාහ ගන්නවාද කියල පෙනෙනවා. ඔබ අනුන්ව හදන්න යන්න එපා. මේ අවිචාරවත් දුක්‌දෙන ප්‍රේතලෝකය ගැන සිතලා බිය ඇතිකරගන්න. ඔබ තනි තනිවම නිවැරැදිවෙන්න. ඔබේ කටින් පිටවෙන වචනයකින් තව කෙනෙක්‌ව රිදවන්නේ, මුලාකරන්නේ නැහැය කියලා. එම විශ්වාසය තුළ ජීවත්වන්න. එවිට ඔබ ඔබටම ලියාගන්නා සහතිකයක්‌ ඔබ ළඟ තිබෙනවා. කට කුණුවෙච්ච ප්‍රේත උපතක්‌ ඔබ නොලබනවා කියලා. මේ ආරණ්‍යයේදී දර්ශනය වු ප්‍රේතයින් අතර තව විශේෂ ප්‍රේත පිරිසක්‌ සිටියා. ඒ භික්‍ෂු සහ භික්‍ෂුණී ස්‌වරූපයේ ප්‍රේතයන්. මේ අය අතර විදේශීය ජාතික භික්‍ෂු භික්‍ෂුණී ප්‍රේතයන් සිටියා. දර්ශනය වුන එක ප්‍රේත භික්‍ෂුණියක්‌ හිස සම්පූර්ණයෙන්ම මුඩුකර සිටියේ. නමුත් හරියට හිස මැද හිසකෙස්‌ රොදක්‌ ඉතිරිකර තිබෙනවා. එක අතකට මිට මොලවා ගන්න පුළුවන් ප්‍රමාණයේ එම කෙස්‌ රොද ගොතලා තිබෙන්නේ. සිව්රු කොටට පෙරවු ප්‍රේත භික්‍ෂුණින් විදේශීය අය බව හොඳින් හඳුනාගත්තා. මේ ප්‍රේත භික්‍ෂු භික්‍ෂුණීන් විකෘති දේහයන් සහිත අය නොවේ. මේ අයට විකෘති ශාරීරික ලක්‍ෂණ නොලැබුනේ යමක්‌ කෙරෙහි ඇති කරගත් ඡන්ද රාගය නිසා ප්‍රේත ලෝකයට බැසගත්තත් තමන් විසින් කරන ලද පුද පුජාවල කුසල් විපාකයන් ක්‍රියාත්මක වීම නිසා විකෘති ස්‌වභාවයෙන් තොර පේ්‍රත ස්‌වභාවයක්‌ ලැබෙන්න ඇතැයි භික්‍ෂුව අනුමාන කරනවා. මේ භික්‍ෂුණී ප්‍රේතයින් හරිම කඩිසරයි. ඒකෙන්ම පෙනෙනවා මොවුන් යමක්‌ නිත්‍යභාවයෙන් ගෙන එය අයිති කරගැනීමට අධික්‍රියාත්මක භාවයෙන් කටයුතු කර ඇති බව.

ඉහත ආරණ්‍ය පුරාවිද්‍යාත්මක සාධක අනුව ප්‍රකාශ වෙනවා අතීතයේ විදේශීය භික්‍ෂු භික්‍ෂුණීන්ගේ අධ්‍යාපනයට කැපවී තිබූ බව. ඔබට පේනවා නේද ගිහි පැවිදි භේදයකින් තොරව දේශීය විදේශීය භේදයකින් තොරව අපි ගිහින් පදිංචිවෙන ස්‌ථානයක්‌ තමයි කියලා ප්‍රේත ලෝකය. විදේශීය රටවලින් ඇවිල්ලත් මහණකම නොවේ කරල තිබෙන්නේ. බුද්ධානුස්‌සතිය, ධම්මානුස්‌සතිය, සංඝානුස්‌සතිය, නොවේ වඩල තිබෙන්නේ 'ප්‍රේතානුස්‌සතිය' යි. මොවුන් අතහැරීම නොවේ කරල තිබෙන්නේ. මොවුන් මේ අල්ලාගෙන ඉන්නේ කුමක්‌ද? ආරණ්‍යයද, පන්සලද, ඉඩකඩම්ද, සිව්පසයද, පූජාවස්‌තුද මේවා නොවේ. මේවාට වර්තමානයේ අයිතිකරුවන් සිටිනවා, බලධාරීන් සිටිනවා. එසේ නම් මොවුන් මේ වසර එක්‌දාහස්‌ තුන්සීයක්‌ වැනි අතීතයක සිට මගේ කර අල්ලාගෙන බොහෝම කඩිසරකමින් ප්‍රේත ලෝකයේ ජීවත්වන්නේ රූපය කෙරෙහි තමා තුළ ඇති වු ඡන්දරාගයයි. රූපය කෙරෙහි ඇති ඇල්මයි. රූපයට ඇති විඳීම ආත්මයක්‌ කරගෙන චීවරයක්‌ දරාගෙන ප්‍රේත ලෝකයේ ජීවත්වෙනවා. මේ අයට වෙහෙස බවක්‌ පෙනෙන්නේ නැහැ. මෙතැනින් මිදෙන්න අවශ්‍ය බවක්‌ පෙනෙන්නෙ නැහැ. ඒක හරියට මේ වගේ දෙයක්‌. පිටකොටුවේ යාචක අම්මා කෙනෙක්‌ ඉන්නවා. තම කුඩා දරුවත් සමග ජීවත්වන්නේ සිඟා කාලා. නිදාගන්නේ කඩ පිලක. ධනය තිබෙන මහත්මයෙක්‌ ඇවිල්ලා මේ යාචක අම්මාගෙන් දරුවා හදාගන්න ඉල්ලනවා. පාසල් යවල හොඳට උගන්වන්නම්, අනාගතය බාර ගන්නම් කියලා. ඒත් ඒ යාචක අම්මා දරුවා දෙන්නේ නැහැ. ඒ යාචක අම්මා දන්නේ නැහැ දරුවා දුක්‌ය විඳින්නේ කියලා. ඒ යාචක අම්මාගෙයි දරුවාගෙයි කර්ම ශක්‌තිය සැපය කර අල්ලාගත් උපාදනය. ප්‍රේත භික්‍ෂුණීන්ගේ ස්‌වභාවයත් එසේමයි. ප්‍රේත ලෝකයේ උපතක්‌ යනු කර්ම විපාකය නිසා සකස්‌වන ඔබගේ කැමැත්තයි. එය හරියට මත් වතුර පානය කර කාමයේ වරදවා හැසිරීම නිසා මාරාන්තික රෝගයන්ගෙන් විනාශවන ජීවිත වගේ ඔවුන් සැපයක්‌ කර අල්ලා ගන්නේ දුකක්‌ය. කෙටි ආශ්වාදයත් දීර්ඝ ආදීනවය යන දෙකම තමාම විඳිය යුතුය. කෙටි ආශ්වාදයට ඇති ඡන්දරාගයá ඔබට දීර්ඝ ආදීනවය වසන් කරයි. මත්වතුර කෙරෙහි තෘෂ්ණාව ඇතිකරගත හොත් ඔබේ විනාශයත්, ඹෘෂධිය පානයක්‌ කෙරෙහි ඔබ තෘෂ්ණාව ඇති කරගත හොත් ඔබේ සැපයත් ඇතිකරයි. විනාශයත් සැපයත් දෙකම ඇතිකර ඇත්තේ තෘෂ්ණාව විසින්මය. මේ හේතුඵල ධර්මයන් ඔබේ ජීවිතයට ගලපා ගැනීමට ඔබට හැකියාව ලැබෙන්නේ ධර්මයේ හැසිරීම තුළින්මය. ප්‍රේත ලෝකයේ විකෘති දුක්‌ බව, විවිධත්වය යෑයි කියන්නේ මනුෂ්‍යයා විසින් කරගන්නා කාය, වචී, මනෝ කර්මවල විවිධත්වයයි. එහි ඵලයයි. ප්‍රේත ලෝකයේ දුක යනු ඔබගේ අකුසල් කර්මයන්ගේ ප්‍රතිබිම්බයයි. එය හරියට කණ්‌නාඩිය ඉදිරියට ගොස්‌ ඔබ දකින ඔබගේම රූපය වගේය. ඔබ ඔබටම වගකිව යුතුය. ඔබ බියවිය යුත්තේ ප්‍රේත ලෝකයේ උපතකට නොවේ. ප්‍රේත ලෝකයේ උපතකට හේතුවන අකුසල කර්මයන් සිදුකිරීමටය. ඔබ අතින් එවැනි අකුසල කර්මයක්‌ සිදුනොවේ නම් ඔබ සතර අපායෙන්ම නිදහස්‌වීමේ සුදුසුකම ලබයි. එය ඔබට ලොව්තුරා බුදුසමිඳුන් ලබාදෙන සහතිකයයි. මනුෂ්‍යලෝකයේදී ඔබ කාමයන් තුළින් කෙටි ආශ්වාදයක්‌ හෝ ලබන නමුත් බහුතරයක්‌ ප්‍රේතයින්ට මේ කෙටි ආශ්වාදයද අහිමිය. යම් හෝ කෙටි ආශ්වාදයක්‌ ලැබුණද එය ඒඩ්ස්‌ රෝගියෙක්‌ සමග කාමයේ වරදවා හැසිරුණු අයෙක්‌ ලබන සැපය වගේය. ඒ කෙටි ආශ්වාදය උදෙසා මුළු ජීවිත කාලයත්, පරලොවත් එහි ආදීනවයන්ගෙන් වන්දි ලැබිය යුතුය. ආශ්වාදය ලැබුවේ විනාඩි 05 කාලයක්‌ වීමට පුළුවන. එහි ආදීනවය කල්ප ගණනාවක්‌ දීර්ඝවීමට පුළුවන. මේ කෙටි සැපය සහ දීර්ඝ ආදිනවය අවිද්‍යාව නිසාම ඔබ ස්‌වකැමැත්තෙන්ම තෝරාගත්තෙකි. 

ඔබම කල්පනාකර බලන්න ඉහත සිදුවීම් ඔස්‌සේ පසුගිය වසර 40ක පමණ කාලය තුළදී උතුරු නැගෙනහිර යුද කලාපවල ඝාතනය වන ලද සෑම ජාතියකම මිනිසුන් ප්‍රමාණය දෙස බලන විට මොන තරම් අසරණ ප්‍රේතයින්, ප්‍රේතියන්, යක්‍ෂයන් ඔය ප්‍රදේශවල දුක්‌විඳිනවා ඇතිද? සරණක්‌ පිහිටක්‌ නොමැතිව ද්වේෂය, වෛරය තව තවත් වඩමින්.... ජීවත්ව සිටින මනුෂ්‍යයින් ඉන්න වෛරය, ද්වේෂයට වඩා මියගිය නොපෙනෙන ලෝකයේ සත්වයින්ගේ වෛරය, ද්වේෂය අධිකය. මන්ද ඔවුන්ගේ වෛරය, ද්වේෂය ඇවිළෙනවා මිස නිවීමට අවශ්‍ය සාධක සතර අපායේ නොමැති නිසාය. ඔවුනගේ දහම අධර්මයයි. ඔවුන් දන්නා ගුණධර්මයක්‌ නැත. ජීවත්ව සිටින මිනිසුන් සුත මුදිත කරනවා වගේම නොපෙනෙන ලෝකයේ සිටින වෛරය, ද්වේෂය වඩන සත්වයින්ද සුවපත්කිරීම වැඩදායකය. හැබයි මේවා ඉවරයක්‌ කළ නොහැකි වැඩය. හොඳම දෙය හැකි උපරිම ශක්‌තිය යොදා ඔබ සතර අපායෙන් මිදීයාමය. එහෙත් සෑම විටම ඔබ තෝරාගන්නේ මෙහි කන පිටය. තමා තමාට මෛත්‍රිය කරගන්නේ නැතිව අනුනට මෛත්‍රිය කරගන්නට යාමය. ඔබගේ ඇස ප්‍රකෘති ස්‌වභාවයෙන් තිබුණත් ඇසේ සුද වර්ධනය වෙලා නම් ඇස පෙනෙන්නේ නැත. ධර්මය ලෝකයේ පැවතුන ද ඔබ ධර්මයේ සරණ නොයන්නේ නම් එයත් සුද වසාගත් ඔබේ ප්‍රකෘති ඇස්‌ දෙක වගේය. අපි එයට අවිද්‍යාවේ අන්ධභාවයයි කියමු. එහෙත් ඔබ ජාති අන්ධයෙක්‌ නොවන බව තරයේ සිහිතබා ගත යුතුය. සතිය නමැති සැත්කමේ කතුරින් අවිද්‍යාවේ සුද ඉවත් කර සද්ධාව නැමති කාචයක්‌ ඇසට පැලඳුවහොත් ඔබට නැවතත් විද්‍යාවේ ආලෝකය දෙසට ගමන් කිරීමට හැකිවනු ඇත. එහෙත් එයද නැවත මැරෙන ඇසක්‌ බව ඔබ දැනගත යුතුය. 

දැන් ඔබට වැටහෙනවා ඇති භික්‍ෂුව මේ සටහන මුලදී සඳහන් කළ අවුරුදු හැත්තෑපහක්‌ ජීවත්වන මනුෂ්‍යයාට වසර පහකින්, දහයකින් තම ආයුෂ දීර්ඝකරගැනීමට විද්‍යාඥයින් මොන පර්යේෂණ සිදු කළ ද ලෝකයා කළ යුතු වඩාත්ම වටිනාම පර්යේෂණය නම් සතර අපායෙන් මිදීමේ පර්යේaෂණය කියල. එසේ නොවුනහොත් මිනිසා වැඩිපුර ජීවත්වන සෑම තප්පරයකදීම ඔහු විසින් රැස්‌කරගන්නේ සතර අපායට යාමට අවශ්‍ය සාධකමයි. නවීන විද්‍යාවේ නාමයෙන් කෙරෙන අවිද්‍යාවේ ක්‍රමවේදයන් මනුෂ්‍යයා දුක දෙසටම ඇද දමනවා. සතර අපායටම ගාල් කරනවා. 

නවීන විද්‍යාව කියන්නේ, තාක්‍ෂණය කියන්නේ සතර අපායට පිරිස්‌ බලය සපයන නියෝජිතයෝ. ඒජන්තවරු. හැබැයි අවසානයේදී මේ නියෝජිතයෝත්, සේවාදායකයෝත් සතර අපායේම ගාල්වෙනවා. සේවාදායකයෝ ප්‍රේත ලෝකයේ සරොම් කැබැල්ලක්‌ හරි දවටගෙන ඉන්න විට ඒජන්තවරු නිර්වස්‌ත්‍රව ප්‍රේත ජීවිත ගතකරනවා. සේවාදායකයෝ තිරිසන් ලෝකයේ කිඹුලෙක්‌ව ඉපදෙනවිට ඒජන්තවරු කිඹුලා ජීවත්වන ජලාශයේම මාළු වෙලා ඉපදිලා කිඹුලාට ගොදුරු වෙනවා. මොකද කර්ම විපාක ඔය මනුෂ්‍යලෝකයේ වගේ සන්තෝෂමක්‌, අල්ලසක්‌ දීල වෙනස්‌කරගන්න බැරි නිසා. එහෙයින් කයින් ක්‍රියාවක්‌ කිරීමට පෙර, වචනයක්‌ ප්‍රකාශ කිරීමට පෙර, මනසින් සිතුවිල්ලක්‌ සිතීමට පෙර සතර අපායේ දුක ගැන මොහොතක්‌ මෙනෙහි කරන්න. එවිට එම ක්‍රියාව නිවරැදි කරගන්න ඔබට පුළුවන්.

නිවරැදිකරගන්නා සෑම ක්‍රියාවක්‌ පාසාම ඔබ පියවර තබන්නේ සතර අපායට විරුද්ධ දිශාවටය. ඒ දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම සුගතීන් දෙසටය. 

අපි හොඳින් කාලා, හොඳින් ඉගෙනගෙන, හොඳින් ජීවත්වෙලා හොඳින් මැරිල යමු. මෙය වර්තමාන සමාජයේ ජනප්‍රිය සුන්දර සටන් පාඨයක්‌. සටන් පාඨයක්‌ යනු මුළාවු සත්වයා තම මෝහයේ ස්‌වභාවය ලෝකයාට හඬගෑමය. සටන් පාඨය සුන්දර වුවද ධර්මයෙන් තොරව ජීවත්වන ඉහත පිරිස්‌ ඇත්තෙන්ම හොඳින් හම්බකරලා, හොඳින් කාලබීල, හොඳින් ජීවත් වුණත් ඔබ හොඳින් නිරීක්‍ෂණය කරලා බලන්න මේ කවුරුවත්ම හොඳින් මැරෙන්නෙනම් නැහැ. අනෙක්‌ සියල්ල අවංකවම හොඳින් කෙරිලා. හැබැයි ප්‍රශ්නය හොඳින් මැරෙන්නේ නම් නැහැ. අන්න දුකට බයට පත්වෙලා. ලෙඩ, රෝග, ව්‍යාධීන් හැදිලා. සිහි මුළා වෙලා. තමාට තමාව කරදරයක්‌ පීඩාවක්‌ බවට පත්වෙලා තමයි මේ අය මිය යන්නේ. මෙහෙම මැරිලා නැවත උපදින තැන ගැන මොනවා කථාකරන්නද? නමුත් ලොව්තුරා බුදුසමිඳුන් දේශනාකරනවා යමෙක්‌ ශීලයෙන් පරිපූර්ණ නම් එම පිංවතා සිහිමුළාවෙන් තොරවයි මිය යන්නේ කියල. එයා ජීවත්ව සිටියදීම තමා උපදින සුගතිභූමි දකිනවා. සතුටුවෙනවා. සාධුකාර දෙනවා. මේවා සටන් පාඨ නොවේ. හේතුඵල ධර්මයේ හේතුව ඵලය පැහැදිලියි විවෘතයි. ලෝකයා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන්, ශීලයෙන්, කර්මය කර්ම ඵල විශ්වාසයන්ගෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ලෝකයේ මිනිස්‌ ජනගහණය ශීඝ්‍රයෙන් වැඩිවෙනවා. මෙහි සුවිශේෂ්S ලක්‍ෂණය තමයි ලෝක ජනගහණය ඉහළ යන විට ථෙරවාදී බෞද්ධ ජනතාවගේ සංඛ්‍යව සීඝ්‍රයෙන් පහළ බසිනවා. ඒ කියන්නේ වැඩිවන හැම උපතක්‌ම සිදුවන්නේ හින්දු, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි, මහායාන ධර්මය අවිද්‍යාව ධර්මය කරගත්ත මව්කුසක්‌ තුළින්. මෙලෙස බිහිවන ලෝකයා නිරතුරුවම රාග, ද්වේෂ, මෝහයෙන් වෙලාගත් කායික, මානසික, ස්‌වාභාවික ව්‍යසනයන්ගෙන් පීඩාවිඳින, ඉන්ද්‍රියන් පිනවීමට වෙහෙසෙන ජනතාවක්‌ වෙනවා. ඒක ලෝක ධර්මතාවයක්‌. ලෝකය නිරතුරුවම සකස්‌වෙන්නේ දුක දෙසට. සත්වයා විසින් අවිද්‍යාව නිසා අකුසල් කිරීම වැඩි වන තරමට ඒවා විපාක දීමට සුදුසු ලෝකයක්‌ ඉදිරියේ බිහිවන්නේ. මේ ගමන අවබෝධ කර ගන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක්‌මයි. උන්වහන්සේ පිරිනිවී ශාසනය දුර්වලව යන විට මාරපාක්‍ෂික ධර්ම, ලෝකය ඩැහැගන්නවා. මේ මොහොතේ සිදුවෙමින් පවතින්නේ මේ ක්‍රියාදාමයයි. මේ මොහොතේ ක්‍රිස්‌තියානි, මුස්‌ලිම්, හින්දු, මහායාන ආගම්වල විශාල ප්‍රචාරාත්මක ගුණාත්මකභාවයක්‌ බාහිරින් පෙනෙන්නට තිබුණද එම ගුණාත්මකභාවය මායාවක්‌. ථෙරවාදී බුදුදහමට සහ එහි ඉගැන්වීම්වලට මුහුණ දීම සඳහා ඇතිකරගත් ආරක්‍ෂක ක්‍රමවේදයක්‌. අනාගතයේදී නිවන අරමුණුකරගත් සැබෑ ථෙරවාදී බුදු දහම ධර්ම විනය දෙක මාරපාක්‍ෂික ධර්මවලට යට වී යන විට ඉහත ආගම්වල ගුණාත්මක භාවයද පිරිහීයනවා. මොකද ඒ පිංවතුන්ට තරග කිරීමට, අභියෝගයක්‌ එල්ල වීමට නිවන අරමුණු කරගත් මනාව හේතුඵල ධර්මයන් අනුව දේශනා කර වදාළ ධර්මයක්‌ ලෝකයේ නොමැති නිසා. ථෙරවාදී බුදුදහම ලෝකයේ පවතින නිසයි අන්‍ය ආගම්වල ගුණාත්මකභාවයක්‌ සඳහා ඒ අය ක්‍රියාත්මක වෙන්නේ. ඉදිරි ලෝකයේ ස්‌වභාවය නුවනින් දැක ඔබද ලෝකයෙන් එතෙර වීමට අවශ්‍ය සාධක ජීවිතය තුළින් පරිපූර්ණ කරගන්න. තෙරුවන් කෙරෙහි සද්ධාව, ශීලය, දන්දීම ජීවිතයේ කොටසක්‌ කරගන්න. ඔබේ දුවා, පුතා, බිරිඳ, ගේදොර ඔබ ඔබේ ජීවිතයේ කොටසක්‌ කරගෙන ජීවත්වනවා වගේම ඒවායේ සුබසාධනය උදෙසා වෙහෙසෙනවා වගේම එම කටයුතුද අලස නොවී ඉටුකරමින් ඉහත තෙරුවන් කෙරෙහි සද්ධාව, ශීලය, දන්දීම ඔබේ ජීවිතයේ කොටසක්‌ කරගෙන ජීවත්වන්න. අතීතයේ කළ පිංකම් නිරතුරුවම සෑම රාත්‍රියකම මෙනෙහි කරන්න. එම පිංකම් ආරක්‍ෂා කරගත්තා වු ශීලයන් දුන්නාවු දානයන් පිළිබඳ මතකයන් නිරතුරුවම අලුත් කරගන්න. ඔබ සිදුකළ පිංකම් අමතකවයාමට ඉඩ නොදෙන්න. ජීවිතය තුළින් දේවානුස්‌සතිය වඩන්න. ඔබ මේ ගමන් කරන්නේ සතර අපායෙන් මිදෙන දිශාවට බව සිහි කරන්න. 


ඉන්ද්‍රජිත් සුබසිංහ
2013 මාර්තු  03 ඉරිදා දිවයින
සදහම් සඟරා - Online