ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

අතහැරීමක ආරම්භය සහ අල්ලාගැනීමක අවසානය

'සතර අපායෙන් මිදෙමු' - 50 කොටස
දඹරන් දෙවියා 1



භික්‍ෂුව බොහෝම කල්‍යාණ මිත්‍රභාවයෙන් ඇසුරු කරන ස්‌වාමීන්වහන්සේ නමකගේ සහෝදර ස්‌වාමීන්වහන්සේ නමක්‌ තරුණ වයසේ පැවිදිවෙලා ඉතා සිල්වත් පැවිදි ජීවිතයක්‌ ගතකරමින් වැඩ සිටියා. උන්වහන්සේ පසුගිය වසර හතරක පමණ කාලය තුළදී වැඩ සිටියේ දකුණු පළාතේ හුදකලාව කුඩා ආරණ්‍යයක. භික්‍ෂුවට කවදාකවත් උන්වහන්සේව මුණගැහිල නැහැ. උන්වහන්සේ තුන්සිව්රත් පාත්‍රයත් පමණක්‌මයි දැරුවේ. භික්‍ෂුවට වරක්‌ දැනගන්න ලැබුණා උන්වහන්සේ එක්‌ අඳනයක්‌ පමණයි පාවිච්චි කරන්නේ ඒ එකම අඳනය ඇඳගෙන පැන් පහසුවෙලා, ඒ අඳනය වේලාගෙන තමයි නැවත පරිහරණය කරන්නේ කියලා.

උන්වහන්සේ දෙවැනි අඳනයක්‌ හෝ නානකඩයක්‌ පාවිච්චි කරන්නේ නැහැ. මෙම පිංවත් ස්‌වාමීන්වහන්සේගේ අතහැරීම උන්වහන්සේ රකින ධුතාංගයක්‌ වශයෙනුයි උන්වහන්සේ අර්ථ දක්‌වන්නේ. මේ අතහැරීම භික්‍ෂුව විවේචනය කරන්නේ නැහැ. පසසන්නෙත් නැහැ. මොකද යම් ස්‌වාමීන්වහන්සේ නමක්‌ සීමාව ඉක්‌මවලා අත්‍යවශ්‍යම දෙය හිස්‌කරන්න, අතහරින්න යනවානම් එහෙම කළයුතුයි සිතනවා නම් ඒ ගැන දෙවරක්‌ සිතා බැලිය යුතුයි. එසේ නොමැති නම් ගුරුවරයෙකුගෙන් කල්‍යාණ මිත්‍රයෙකුගෙන් ගුරුහරුකම් ගත යුතුයි. ධුතාංගයක්‌ රැකීමේදී අපි දන්නවා එය ධුතාංගයක්‌ බවට පත්වෙන්නේ එහි ස්‌වභාවය තමා පමණක්‌ දැනගැනීමෙන් පමණය කියලා. භික්‍ෂුන් වහන්සේගේ තුන්සිවුරට නානකඩය අයිතිනොවුණත් පිංවත් ස්‌වාමීන්වහන්සේ නමකට නානකඩයත් අතහැරීමට සිතෙනවා නම් එය අතහැරීමට වඩා අල්ලා ගැනීමක්‌. කුමක්‌ අල්ලා ගැනීමක්‌ද? 'මම', 'මගේ ශීලය', 'මගේ අතහැරීම'....

ඉතා කුඩා නානකඩය අතහැරලා විශාල දෙයක්‌ අල්ලා ගන්නවා. මේවා තමන් යම් යම් තැන්වල නවාතැන් ගන්නා සියුම් කෙලෙස්‌ ධර්මයන්. මෙය සටහන් කරන භික්‍ෂුවද හැමදාමත් තුන් සිවුරට අමතරව නානකඩයක්‌ පාවිච්චි කරනවා. කුඩා දෙයක්‌ අතහැරීමේ වේශයෙන් එන මහාදෙයක්‌ අල්ලාගැනීමේ ස්‌වභාවය මෙම සිද්ධීන්ගෙන් අපි අවබෝධ කරගත යුතුයි.

ඉහතින් සඳහන් කළ භික්‍ෂුවගේ අදහසයි. නමුත් එම පිංවත් භික්‍ෂුවගේ අදහස මීට වඩා වෙනස්‌ වෙන්න පුලුවන්. උන්වහන්සේට ගෞරව කරමිනුයි පහත සටහන තබන්නේ.

මෙතැනදී භික්‍ෂුව කීමට උත්සාහ දරන්නේ නානකඩය අතහැරීම ගැන නොවේ. එවැනි අතහැරීමක්‌ කිරීමට ධෛර්යක්‌, වීර්යයක්‌, කැපකිරීමක්‌ කිරීමට හැකියාව ඇති, ඉතා හොඳින් ශීලය ආරක්‍ෂාකරගත් මේ පිංවත් තරුණ ස්‌වාමීන්වහන්සේ, ඔය අතහැරීමත්, රැකගත් ශීලයත් තණ්‌හාව, මාන්නය දෘෂ්ටීන්ට යටත්ව ක්‍රියාත්මක නොකළානම් එහි වටිනාකම ගැනයි. තමා තුළ අධිෂ්ඨානයෙන් ගොඩනගාගත් ශීලයේ ශක්‌තිය, දිරායන නානකඩය මෙන්ම ඒ නානකඩය දවටා ගන්නා ශරීරයේ අනිත්‍යභාවයත්, නානකඩයත් අතහරින්නයෑයි අණකරන සිතේ අනිත්‍යබවත් දුටුවානම් නැවත සසරේ නානකඩයක්‌ දවටාගැනීමට අවශ්‍ය නොවන ස්‌වභාවයකට යාමට පුළුවන්කම තිබුණා විය හැකියි.

මේ 'මම' කියන දෂ්ටිය නිසා හටගන්නා මාන්නයේ අහිංසක ස්‌වභාවයන්ය. බබාහිර කෙනකුට හඳුනාගැනීමට නොහැකි තරමට මේ ධර්මතාවයන් සියුම්ය. නිවීමේ අරමුණ ජයගැනීම උදෙසා ඔබ තුළ මෝදුවන තරුණ ජවය පිංවත් ඔබලාගේ සංසාරික පුරුදුය. මේ සුන්දර මනුෂ්‍ය ජීවිතය ලැබුවේ සම්මා සම්බුදු ශාසනය පිරිනීවීයාමට පෙරාතුව මේ ජීවිතයේදීම අවම වශයෙන් සතර අපායෙන් මිදී නිවන් මාර්ගයට අවතීර්ණවීම සඳහාමය. මෙය ඔබට ලැබෙන අවසාන අවස්‌ථාව වීමටද පුළුවන. එහෙයින් නිවීමේ මග උදෙසා ඔබේ තරුණ ජවය යෙදිය යුත්තේ මාර බලවේගයන්ගේ ග්‍රහණයෙන් මිදෙමින්ය. කළ්‍යාණමිත්‍ර ආශ්‍රය සමගින්මය.

මෙසේ හුදකලාව වැඩසිටි ස්‌වාමීන්වහන්සේ තම කුඩා ආරණ්‍යයේ වැඩසිටියදී දිනක්‌ රාත්‍රී සයනය කර සැතපී හිමිදිරියේ අවදිවන විට සයනයේ අතුරා තිබූ කොට්‌ටය යටට ධාතූන් වහන්සේලා කීපනමක්‌ වැඩම කර තිබුණි. මේ ධාතූන් වහන්සේලා වැඩම කිරීම නිසා මෙම ස්‌වාමීන් වහන්සේට තම කුඩා ආරණ්‍යයේ එම ධාතූන් වහන්සේලා නිධන් කර චෛත්‍යය රජායාණන් වහන්සේ නමක්‌ ඉදිකිරීමට සිත පහළවිය. දායක පිරිසද ඊට බොහෝම සද්ධාවෙන් ඉදිරිපත් විය. පිංවත් ස්‌වාමීන්වහන්සේගේ සැතපෙන කොට්‌ටය යටට ධාතූන් වහන්සේලා වැඩමකිරීම නිසා දායකයින් තුළ ස්‌වාමීන් වහන්සේට ගෞරවය වැඩිවිය. ආරණ්‍ය පිහිටි වන මැද ගල් කුළ මතට බොහෝම මහන්සියෙන් ගල්, වැලි ගෙනැවිත් ගොඩ ගසා තිබුණි. චෛත්‍යයේ වැඩකටයුතු පහසුකර ගැනීම පිණිස ස්‌වාමීන් වහන්සේව පහසුවෙන් සම්බන්ධ කර ගැනීම සඳහා සහ ඉදිකිරීම් කටයුතු සම්බන්ධීකරණය කර ගැනීම සඳහා දායක පිරිස විසින් සෙලියුලර් දුරකථනයක්‌ද පූජාකරන ලදි. නානකඩයත් අත්හැර දමා සිටි පිංවත් ස්‌වාමීන්වහන්සේ මේ සියල්ල අකමැත්තෙන් පිළිගත්හ. තරුණ ස්‌වාමීන්සේද ගල් වැලි කර මත අදිමින් බොහෝම වෙහෙස මහන්සියෙන් කටයුතු කළහ. හුදකලාව ප්‍රියකළ, ධුතාංග වැඩු ස්‌වාමීන් වහන්සේගේ මේ වෙනස අහම්බයක්‌ නොවේ. මන්දමාරයා අපිව එයාගේ දැලට හසුකරගැනීම සදහා එයාගේ නවාතැන්පලවල්වල ශීලය, සමාධිය වැනි ඔටුනු පළඳවාගෙන නවත්වාගෙන සිටින්නේ සුදුසු වේලාවේදී ගොදුරු කරගැනීමටය.

ගුරු ඇසුරකින් තොරව නිවන් මග වැඩීම මාරයාට කරන ආශිර්වාදයක්‌මය. අපි වෙර වැඩිය යුත්තේ නිරතුරුවම ශීලය, සමාධිය නවාතැන්පලවල නොනැවතී ඒවා නිසා දායක පිරිස්‌වලින් ලැබෙන ධනාත්මක ප්‍රතිචාර අතහරිමින් සියල්ලම කමටහනක්‌ කරගෙන ප්‍රඥාව දෙසට ගමනාන්තයට යාමටය.

චෛත්‍යයේ වැඩකටයුතුවලට පිංවත් ස්‌වාමීන්වහන්සේ දුරකථනය භාවිතාකිරීම නිසා එහි බැටරිය ආරෝපණය කරගැනීමට සිදුවිය. ආරණ්‍යයට විදුලි බලය නොතිබිණි. උන්වහන්සේ වැඩ සිටියේ ලන්තෑරුම් එළියෙනි. දුරකථනයේ බැටරි 'චාඡ්'කර ගැනීමට ආරණ්‍ය අසලම පිහිටි නිවසට සවසට වැඩම කිරීමට උන්වහන්සේට සිදුවිය. එක්‌තරා දිනයක අදාළ නිවසේ සිට බැටරිය ආරෝපණය කරගෙන තම කුටියට වඩින විට සවස 6ට පමණ කැලෑ මාර්ගයේ අතරමග ස්‌ථානයකදී උන්වහන්සේට වල් අලියෙක්‌ පහරදී තිබිණි. එය ඉතා දැඩි දරුණු පහරදීමකි. පහරදීමෙන් උන්වහන්සේ අපවත් වුණා. ඒ බව දායක පිරිස දැනගත්තේ පසුවදා උදෑසන 9.00 ට පමණය. ගම්මානයකට ඇතුළුවන්නට ගොස්‌ ගම්වැසියන්ගේ පීඩාවට ලක්‌ව පලායමින් සිටියදී ස්‌වාමීන්වහන්සේව මුණගැසුනු, වියරුවැටී සිටි අලියා විසින් එතෙක්‌ මුළු රැයක්‌ පුරාම දැඩිලෙස පහරදීමට ලක්‌කර තිබූ දේහය කැලයේ ගල් කුලක්‌ පාමුල තිබිණි. ඒ ශ්‍රී දේහය දැඩිලෙස කුඩුවී තැලී නරක්‌වී තිබිණි. දේහය එක්‌ දිනක්‌ හෝ තබාගැනීමට නොහැකි නිසා එදිනම සවස එම කුඩා ආරණ්‍යය භූමියේදීම අදාහනය කර තිබිණි.

උන්වහන්සේ අපවත්වීමට දින කිහිපයකට පෙර වෙහෙස මහන්සි වී චෛත්‍යය කර්මාන්තයට ඇද්ද වැලි, කලුගල් ඒ ඒ තැන්වල නිසොල්මන්ව තිබිණි. ශ්‍රී දේහය දැවී වා තලයට එකතු වු අළු, දුවිලි එම වැලි ගොඩටම නැවත එකතු විය. වල්අලි ප්‍රහාරයේදී උන්වහන්සේගේ ශරීරයෙන් ගලාගිය රුධිරය පසට එකතු වී පසේම කොටසක්‌ බවට පත්විය. සෙලියුලර් දුරකථනය අලිපාදයට පෑගී කුඩුපට්‌ටම් වී පසේම කොටසක්‌ බවට එකතු විය. ශ්‍රී දේහය දැවී ඉතිරි වූ භෂ්මාවශේෂ පාත්‍රයේ බහා මහ පොළවේ තැන්පත් විය. මේ සියල්ල දෙස සතියෙන්, සිහියෙන් බලන විට අපි දකින්නනේ රූපයේ අනිත්‍යභාවයයි. අනිත්‍යභාවයේ වේගයයි.

ඉහතින් භික්‍ෂුව සටහන් කළ තොරතුරු සියල්ලම භික්‍ෂුව දෑසින් නොදුටුණී නමුත් කළ්‍යණමිත්‍ර ස්‌වාමීන් වහන්සේ එම ආදාහනයට වැඩම කර පැමිණි පසු උන්වහන්සේගෙන් දැනගත් සිද්ධීන් සමග ගලපා කළ සටහනකි. මේ පිංවත් ස්‌වාමීන් වහන්සේ අපවත්වීමෙන් පසු උන්වහන්සේ අපවත් වු වේදනාත්මක ස්‌වභාවය සලකා නිතිපතා පිං අනුමෝදන් කිරීම් සිදුවිය. උන්වහන්සේ වෙනුවෙන් දාන මාන පිංකම් සිදුවිය.

අපවත්වීම සිදු වී හරියටම දින හතකින් රාත්‍රියේ භික්‍ෂුවක්‌ සමාධියෙන් පසුවෙන විට අඩි 10 පමණ උසැති මහා සද්ධන්ත ශරීරයක්‌ ඇති මිනිස්‌ රුවක්‌ දර්ශනය විය. මේ ප්‍රේත මිනිසාගේ ශරීරයේ උඩුකයට ඇඳුමක්‌ නොතිබිණි. මොහු ප්‍රේත ලෝකයේ උපත ලද ප්‍රේත ලෝකය අභිබවාගිය 'මහේශාක්‍ය' ප්‍රේත උපතකි. මේ මහේශාඛ්‍යබව නිසා මොහුට අනෙක්‌ ප්‍රේතයින් අභිබවා යන විශාල ශරීරයක්‌, පෞරුෂත්වයක්‌ ලැබී තිබිණි. මොහුට තිබුණේ කළු පැහැති ශරීරයකි. මේ අපූරු ප්‍රේත සද්ධන්තයාගේ දෑස්‌ දෙකින් සුදු පැහැති දීප්තිමත් ආලෝක දෙකක්‌ විහිදෙමින් තිබිණ. මොහු දර්ශනය වී විනාඩි දෙකකින් පමණ නොපෙනී ගියේය. ප්‍රේතයාගේ මහේශාඛ්‍ය සද්ධන්ත පෙනුමත්, දෑස්‌ වලින් ආලෝකය විහිදෙන ස්‌වභාවයත් නිසා භික්‍ෂුව තුළ, මේ අලියා පහරදීමෙන් අපවත්වූ ස්‌වාමීන්වහන්සේගේ නැවැත උපතදැයි සැකයක්‌ ඇතිවිය. එය සැක කිරීමක්‌ පමණි. ඉහත ස්‌වභාවය නිසා භික්‍ෂුව ද නැවත නැවත පිංදීම සිදුකළේය. අපවත් වී හරියටම දින 11කින් උදේ පාන්දර පහට පමණ භික්‍ෂුව සමාධියෙන් පසුවන විට එම ස්‌වාමීන්වහන්සේව අරමුණු කළේය. ඒ මොහොතේම දිව්‍ය තලයක වැඩසිටින අපූරු සුන්දර දෙවියෙක්‌ දර්ශනය විය. එම දෙවියා දිව්‍යභාවයෙන් සිටියේ එරමිනිය ගොතාගෙන සිටින ඉරියව්වෙනි. ඉතාමත් නිස්‌කලංකව වැඩ සිටියේය. ලස්‌සන හුරුබුහුටි නිකලැල් තරුණ පෙනුමක්‌ දිස්‌විය. පිරිවර දෙවියන් හෝ දිව්‍යාංගනාවන් කිසිවක්‌ නොදුටුවේය. එම දෙවියා දඹරන් පැහැති ඔටුන්නක්‌ පැළඳ සිටියේය. එම ඔටුන්නේ හිස්‌ආවරණයේ කන් පෙති දෙපස රවුම් ආකාරයට දඹ රන් පාටින් කැටයම් කළ රවුම් දෙකක්‌ ඔටුන්නට සම්බන්ධවී තිබිණි. එම දෙවියාගේ ශරීරයේ උඩු කොටස සම්පූර්ණයෙන්ම දඹරන් පැහැයෙන් යුත් ආභරණ වලින් සැදි ඇඳුමකින් සැරසී තිබිණි. මෙය වෙස්‌ නැට්‌ටුවන් උඩුකයට පළඳින ආභරණ සහිත සැට්‌ටය සේය. දෙවියාගේ ශරීරයේ වර්ණයද, පැළඳ සිටින ආභරණවල වර්ණයද දඹරන් පැහැතිය. ශරීරයත්, ආභරණත් වෙන් වශයෙන් ගත නොහැකිය. දඹරන් පැහැති ශරීරයේම ලියවන ලද ඇඳුම් ආභරණයන් සේය. දඹරන් පැහැය හැර වෙනත් පැහැයක්‌ දෙවියා තුළ නොවීය. මේ දෙවියාට නමක්‌ තබන්න යෑයි යමෙක්‌ භික්‍ෂුවට කීවොත් දෙවියාට නම තබන්නේ 'දඹරන් දෙවියා' කියාය. දඹරන් කුට්‌ටියකින් ලියවන ලද දෙවියෙක්‌ සේය.

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....
(ක්‍රෝධයේ කළු පැහැය සහ ශීලයේ රන්පැහැය)
'සතර අපායෙන් මිදෙමු' - 51 කොටස


භික්‍ෂුවට පළමු අවස්‌ථාවේදී "දර්ශනය වූ සද්ධන්ත ප්‍රේත ස්‌වභාවයත්, දෙවැනිව දර්ශනය වූ සශ්‍රීක දිව්‍ය ස්‌වභාවයත් කවුරුන්ද යන්න දැන් විමසා බලමු. භික්‍ෂුව මේ කරුණ පහත විග්‍රහ කරනු ලබන්නේ අනුමානයන් වශයෙනි. එය පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම ඔබට භාරය. අවශ්‍යවන්නේ ලෝකයේ ස්‌වභාවය ගැන ඔබ යමක්‌ ඉගෙනගැනීමය. 

අලි ප්‍රහාරයට ලක්‌ වූ ස්‌වාමීන්වහන්සේ එම ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ සවස 6 ට පමණය. ක්‍ෂණිකව ඇති වූ අලි ප්‍රහාරයේදී ස්‌වාමීන්වහන්සේ තුළ බිය, ක්‍රෝධය සහිත ගැටෙන සිතක්‌ අවසාන චුති සිත ලෙසින් සැකසෙන්නට ඇත. අලියා මෙම සිරුර පාපන්දුවකට ගසන්නාක්‌ මෙන් හොඬයෙන් සහ පාදවලින් ගසමින් යම් දුරක්‌ ගෙනගොස්‌ ඇත. උන්වහන්සේ පළමු පහරදීමේදීම ක්‍ෂණිකව අපවත් වී හෝ සිහි මුර්ජා වී නැත. පහරකමින් ක්‍රෝධය, බිය, වෛරය සිතෙන් අත්විඳිමින් සිට අපවත්වීම සිදුවී ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. මෙලෙස දීර්ඝ වේලාවක්‌ දුක දරමින් සිදුවන වේදනාත්මක, බියජනක අපවත්වීමකදී උන්වහන්සේට තමා වැඩූ ශීලය ගැන මෙනෙහි කිරීමට සුදුසු සිහියක්‌ වැඩී නොමැත. මේ හේතුවෙන් ගැටුණු සිතකින් අපවත් වූ උන්වහන්සේ ඉහත ප්‍රේත ලෝකය අභිබවා ගිය සද්ධන්ත ප්‍රේතයා ලෙස උපත ලබන්නට ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. සශ්‍රික දිව්‍ය ස්‌වභාවයක්‌ ලබාගැනීමට තරම් කුසල් ජීවිතය තුළ රැස්‌කොටගෙන තිබුණද, අවසන අනපේක්‍ෂිත කුරිරු ප්‍රහාරය නිසා එම කුසල් යටපත් වී අකුසල් සිතක්‌ම සකස්‌වීම අරුමයක්‌ නොවිය යුතුය. මේ අකුසල් සිතේ ස්‌වභාවයට ගැලපෙන ප්‍රේත ලෝකයේ උපතක්‌ ලැබුවද, පැවිදි ජීවිතයේදී කළ කුසල් නිසා, ඒවායේ ශක්‌තිය නිසා ඇස්‌ දෙකෙන් ආලෝකය විහිදෙන ස්‌වභාවයක්‌ සහිත සශ්‍රික ප්‍රේත ජීවිතයක්‌ ඇතිවිය. ප්‍රේතයාගේ ඇස්‌දෙකෙන් ආලෝකය විහිදෙන්නේ පෙර භික්‍ෂු ජීවිතයේ අනුනට දහම් දෙසීම, ප්‍රඥාව වඩවාගැනීමට උපකාර කිරීම වැනි ශක්‌තිමත් කුසල කර්මවල ආනිසංසයන් විපාක දීම හේතුවෙන් යෑයි භික්‍ෂුව විශ්වාස කරයි.

තමාට දුන් ශක්‌තිමත් පිං අනුමෝදන්වීම නිසා එම සශ්‍රීක ප්‍රේත ස්‌වභාවයෙන් මිදී, එම ස්‌වාමීන්වහන්සේ කුරිරු ලෙස අපවත්වන අවස්‌ථාවේදී යටපත් වී ගිය කුසල් විපාකයන්ට ගැලපෙන සශ්‍රික දිව්‍ය ස්‌වභාවයක්‌ ලබන්නට ඇත.

මෙම සශ්‍රික දිව්‍ය ස්‌වභාවය උන්වහන්සේ ලැබුවේ වැඩූ ශීලයේ ආනිසංස නිසාමය. මේ දඹරන් දෙවියා ශීලයේ උත්කෘෂ්ඨ ප්‍රතිඵලයකි. මේ සටහනේ මුලදී භික්‍ෂුව සඳහන් කළ අයුරින්, තුන් සිවුර හැර නානකඩයක්‌වත් උන්වහන්සේ පරිහරණය නොකළේ තමන්ගේ උත්කෘෂ්ඨ ශීලය ධූතාංගයක්‌ ලෙස ආරක්‍ෂා කර ගැනීමටය. මෙය සුන්දර දිව්‍ය ස්‌වභාවයක්‌ වුවද භවයේ නවාතැන්පලක්‌මය. ජාති, ජරා, ව්‍යාධි, මරණ වලට තෝතැන්නකි. එහෙත් ලොව්තුරා බුදුසමිඳුන් පිරිනිවීම සිදුවී වසර 2550 ක්‌ ඉකුත්ව ගිය මෙවැනි කාලවකවානුවක තම භික්‍ෂු ජීවිතය මෙවන් සශ්‍රික දිව්‍ය ස්‌වභාවයක්‌ කරා මෙහෙයවීමට හැකිවීම මහා ජයග්‍රහණයකි. විජයග්‍රහණයකි. ගිහි පැවිදි සැවොම ආදර්ශයට ගතයුත්තකි. සිව්පසය රැස්‌කිරීම, ගොඩගසාගැනීම, අතහැරගැනීමට නොහැකිවීම හේතුවෙන් ලාභ සත්කාරවලට ගිජුවීම හේතුවෙන්, අපවත්වීමෙන් පසු භික්‍ෂු ප්‍රේතයන් ලෙස ජීවත්වන පිරිස්‌ ආරණ්‍ය ආශ්‍රිතව භික්‍ෂුවට දර්ශනය වී ඇත. එහෙයින් ඉහත දඹරන් දෙවියා කාලයට අනුරූපීව ජයග්‍රාහී උපතකි. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ යම් හෙයකින් මුල් සද්දන්ත ප්‍රේත උපතින් මිදීමට නොහැකිවූවානම් සතර අපායේ දිගින් දිගටම රැඳී සිටීමට තරම් අවදානමක්‌ සහිත තැනකට පත්වීමය. එහෙත් අනුමෝදන් කරන ලද කුසල්වල ශක්‌තිය නිසා සතර අපායේ උපතින් මිදින. කල්‍යාණ මිත්‍ර ඇසුරකින්, ගුරුවර ඇසුරකින් තොරව තමා තුළ පවතිනවා යෑයි විශ්වාස කරන අධිඅවබෝධාත්මක තත්ත්වයන් ගැන වැරදි වැටහීම් ඇතිකරගැනීම නිසා මෙවැනි තත්ත්වයන්ට තමන් පත්වීම ස්‌වාභාවිකය. හුqදෙකලාව මෙන්ම, පැවිදි ජීවිතයේ ලැබෙන සැපත් දුකත් ඔබ ඇලීමට, ගැටීමට හෝ උපේක්‍ෂාවීමට යා යුතු නැත. ඔබ දැකිය යුත්තේ ඉහත ධර්මතාවල අස්‌ථිරභාවයයි. 

වනවාසී, එකලා, හුදෙකලා ප්‍රතිපදාවට ඔබ යොමුවීම ඔබ දැඩි ලෙස කම්පාවට පත්වන සිද්ධියක්‌. වියරු වැටෙන ස්‌වභාවයක්‌. රූපයට ඇති ඇලීමත්, ගැටීමත්, උපේක්‍ෂාවත් මාර ධර්මයේ ශබ්දකෝෂයයි. ඔබ මෙතෙක්‌ දේවභාෂිතයක්‌ ලෙස රැක්කේ මාර ශබ්දකෝෂයේ අර්ථයයි. වනවාසී, නිවීමේ ප්‍රතිපදාව යනු ඉහත අර්ථයේ විරුද්ධාර්ථයයි. පිංවත් ඔබ එම අර්ථයට විරුද්ධව යනවිට මාරයාගේ කිපීම සාධාරණය. එහෙත් මාරයා කිපෙන්නේ මනුෂ්‍යයා කිපෙන ආකාරයට නොවේ. උපක්‍රමශීලීවය. මාරයා වැඩිපුර සිනාසෙන්නේ වැඩිපුර කිපුන වෙලාවටය. මෙය හඳුනාගැනීමට දුෂ්කර, අතිභයානක චරිත ස්‌වභාවයකි. මෙහිදී ඔබ දුකද සැපද, තැනද නොතැනද, මෛත්‍රියද වෛරයද පටලවාගනී. අර්ථයන් වෙනස්‌ව දකියි. පිංවත් ස්‌වාමීන්වහන්සේ සැතපෙන කොට්‌ටය යටට වැඩිය ධාතූන්වහන්සේලාද, චෛත්‍ය කර්මාන්තයද, සෙලියුලර් දුරකථනයද හුදෙකලාව වැඩසිටි වනවාසී ස්‌වාමීන්වහන්සේට මාරයා ලබාදුන් භව තෑගිය. මෙම භවතෑගි පාර්සල් එපා නොකියා ලබාගැනීම මාර ධර්මයේ ස්‌වභාවයයි. එපා කීමට ඔබට සිත නොදෙන්නේ මේවා පාර්සල් කර ඇති විසිතුරු දවටනයන් නිසාමය. දවටනය නිර්මාණය කරන්නේ මාර දූවරුන්ය. තණ්‌හා, රතී, රඟා සුරුපී යුවතියන් තිදෙනාගේ ඇස්‌කොණින් ප්‍රකාශ වන කාමයේ, රූපයේ, ආශ්වාදයේ වින්දනයට ඔබ මුළාවනවා ඇත. මෙම තණ්‌හා, රතී, රඟා මාර දූවරුන් තිදෙනා වරෙක නිළියන් සේද, වරෙක නාටිකාංගනාවන් සේද, තවත් වරෙක රෝගියෙක්‌, මිනිස්‌ දුවක්‌ ලෙසද ඔබ ඉදිරියට එනු ඇත. මේ චරිතයන් එම දූවරුන්ගේ ලැඡ්ජා නැතිකමය. තණ්‌හාවට, රාගයට, රතියට ලැඡ්ජාවක්‌ නැති බව ඔබද හොඳින්ම දන්නා කරුණකි. ඔබ රූපය අවබෝධකරගන්නා තාක්‌ කල් මාරදූවරුන්ගේ ග්‍රහණයෙන් ඔබට මිදීමට නොහැකිය. යම් මොහොතක පිංවත් ඔබ රූපය අවබෝධකරගතහොත් මාර දූවරුන්ට වන්නේ ඔබ ඉදිරියෙන් පලා යැමට පමණක්‌මය. 

ඉහත අපවත් වූ පිංවත් ස්‌වාමීන්වහන්සේටද පසුකාලීනව සෙලියුලර් දුරකථනයක්‌ පරිහරණයට ගැනීමට තරම් පරිසරයක්‌ නිර්මාණය කළේ ඉහත මාර ධර්මයන්මය. එහෙත් උන්වහන්සේ තම ජීවිතය තුළින් ආරක්‍ෂාකරගත් ශීලයද තණ්‌හාව, මාන්නය විසින් ග්‍රහණයට ගන්නා ලද ස්‌වභාවයක්‌ දක්‌නට තිබිණි. එහෙත් උන්වහන්සේගේ පරලොව සැපය සඳහා එම ශීලය කල්‍යාණමිත්‍රයෙක්‌ සේ උපකාර කළේ යෑයි භික්‍ෂුව විශ්වාස කරයි. 

මේ කථා පුවත මෙහි සටහන් කළේ පිංවත් ගිහි පැවිදි ඔබට, ශීලයේ අගය, ශීලයේ සෘද්ධිමත්භාවය පැහැදිළිකර පෙන්වීමටය. ශීලය සෘද්ධියක්‌ වන්නේ එය ඔබව ලෞකික සැපයේ ඉහළටම ඔසවාතබන බැවිනි. ඔබත් සශ්‍රික දිව්‍යතලයක දඹරන් කැටයමින් කළ සුන්දර දෙවියෙක්‌ වීමට ජීවිතය තුළින් උතුම් ශීලයක්‌ ආරක්‍ෂා කරගන්න. ආර්යකාන්ත ශීලයක්‌ ලෙස එය ආරක්‍ෂාකරගන්න. සතර අපායෙන් මිදී ඔබ කැමති කාලයකදී නිවී සැනසී යන්න. 

මේ කථාවේ සඳහන් එම සද්දන්ත ප්‍රේතයාට තද කළු පැහැති ශරීර වර්ණයක්‌ ලැබී තිබුණේ කුරිරු අලි ප්‍රහාරයේදී ඇති වූ දැඩි ක්‍රෝධය නිසාම විය යුතුය. දිව්‍ය ස්‌වභාවයේදී එම දෙවියාට දඹරන් පැහැය ලැබුණේ යටපත්වී තිබූ ශීලයේ ආනිසංස නිසාම විය යුතුය. ක්‍රෝධයේ කළු පැහැයත්, ශීලයේ දඹරන් පැහැයත් පිංවත් ඔබට කියාදෙන පාඩම අතිවිශිෂ්ටය. 

මේ කථාපුවත කියවා ඔබද ඔබ කැමති වර්ණය තෝරාගන්න. ඊට අනුරූපීව ජීවිතය ක්‍රියාත්මක කරන්න. ඔබ තුළ නිරතුරුවම රාග, ද්වේෂ, මෝහ වැඩෙන්නේ නම් ඒ තුළින් වැඩෙන්නේ ප්‍රේතානුස්‌සතියයි. ඔබ තුළින් දානය, ශීලය, මෛත්‍රිය නිරතුරුවම වැඩෙන්නේ නම් ඒ තුළින් වැඩෙන්නේ දේවානුස්‌සතියයි. ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළ එම ධර්මය ඉහත ස්‌වාමීන්වහන්සේ අපවත්වීමෙන් පසු ලැබූ ජීවිත දෙකෙන් ඉතා නිවැරදිව අත්දැකීමට ඔබට හැකිය. එහෙයින් තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුතුව ලොව්තුරා බුදුසමිඳුන් දේශනා කර වදාළ සත්පුරුෂ ධර්මයන් ජීවිතය තුළින් වැඩීමට උත්සාහ ගන්න. වර්තමාන සමාජය තුළ පවතින දැඩි තරගකාරීත්වය, සංකීර්ණ බව නිසා අනපේක්‍ෂිත ආකාරයෙන් ඔබ මියගියද, ජීවිතය තුළදී ඔබ රැස්‌කරගත් දාන, ශීල, භාවනා වල ශක්‌තිය පින, කුසලය කුමන අභියෝගයක්‌ හමුවේ වුවද ඔබට සසර පිහිටට පැමිණෙන බව, ඔබව අතහැර නොයන බව මේ සිද්ධියෙන් පැහැදිළිවනු ඇත. භව ගමන නිමාකරගන්නාතුරු ඔබට සසර පිහිටට සිටින එකම කල්‍යාණ මිතුරා තෙරුවන් සරණ විනා අන් කුමන සරණක්‌ද? පිහිටක්‌ද?

තෙරුවන් සරණ නැමැති පුණ්‍ය කෙතේ ඔබ දානය, ශීලය, මෛත්‍රියේ බීජයන් අඩු වැඩි බවකින් තොරව වපුරාගතහොත් එහි නියත සශ්‍රික අස්‌වැන්න ආයුශ, වර්ණ, සැපය, බලය වනු ඇත. ඉහත කරුණු පැහැදිලිකරගෙන ඔබ ප්‍රඥාව වඩවාගත යුතුය. ලොව්තරු බුදුරජාණන්වහන්සේ තෙරුවන් කෙරෙහි සද්ධාව, දානය, ශීලය, මෛත්‍රිය නිරතුරුවම ජීවිතය තුළින් වඩන්න කියලයි දේශනා කර වදාළේ, ඉහත ධර්මතාවයන් ඔබට සතර අපායෙන් මිදීම සාක්‍ෂාත් කරදෙන ධර්මතාවයන් නිසාය. මුලින්ම ඔබ සතර අපායෙන් මිදෙන්න. ඒ සඳහා ඉහත ධර්මයන් ඔබේ ජීවිතයේ හවුල්කරුවා කරගන්න. කොටස්‌කරුවෙක්‌ කරගන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය, ශීලය, මෛත්‍රිය ජීවිතය තුළින් වඩන විට පිංවත් ගිහි පැවිදි ඔබ විශේෂයෙන් අවධානයෙන් ඉන්න ඕනේ. මාර ධර්මයන් පිළිබඳව තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය සෑම විටම ඔබේ මේ පිරිසිදු ක්‍රියාවන් අපවිත්‍ර කරනවා. ඒවායේ ශක්‌තිය හීනකරනවා. 

සක්‌කාය දිට්‌ඨිය නැමැති මමත්වයේ දැඩිභාවය මාර දූවරුන් ඔබට පලන්දන කටු ඔටුන්නක්‌. ඔබ මහත් උජාරුවෙන් එම කටු ඔටුන්න පළඳගෙන තමාවත් තමාටම අයිති නැති, නිරතුරුවම අනිත්‍යභාවයට ලෝකයක රජකම් කරනවා. ඉහත සඳහන් කළ අලි ප්‍රහාරයෙන් අපවත් වූ පිංවත් ස්‌වාමීන්වහන්සේ අපවත්වීමෙන් අනතුරුව සද්ධන්ත ප්‍රේත උපතකට වැටෙන්නේ උන්වහන්සේ සතර අපායෙන් නොමිදී සිටි නිසාය. දැඩි ලෙස ශීලයක්‌ ආරක්‍ෂාකරගෙන ජීවිත්වුවත් සතර අපායෙන් මිදීමේ මග හරස්‌කළේ තණ්‌හාව, මාන්නය, දිට්‌ඨිය නැමැති මාර සමීකරණයට උන්වහන්සේ නොදැනුවත්භාවයෙන් එකඟවී සිටි නිසාමයෑයි භික්‍ෂුව අනුමාන කරයි. එහෙත් පිංවත් ඔබ ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ඉදිරියට ගියද, දාන ශීල භාවනා මාර්ගයේ ඉදිරියට ගියද ඔබ වෙහෙසවී ලබාගන්නා එහි ප්‍රතිඵලයන් කිලිටි කරන, හීන කරන, තණ්‌හාව මාන්නය දිට්‌ඨියේ සතරඅපායගාමී දුකටම අයිති පාප මිතුරන් ඔබ ඔබේ කල්‍යාණ මිතුරන් කර නොගන්න. ඔබේ ජීවිතය තුළ ඔබ ඔවුනට අවස්‌ථාවක්‌ නොදෙන්න. එවැනි සිතක්‌ මතුවූ සැනින් එම සිත ඔබේ නොවේයෑයි අතහැර දමන්න. එම සිත දුකට අයිති බව සිතන්න. සතර අපායට අයිති බව සිතන්න. පාපමිතුරන්ට ඔබේ ගෘහයේ නවාතැන් නොදෙන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ

මහ රහතතුන් වැඩි මග ඔස්සේ
කළණ මිතුරුබවේ - අගය නිමක්‌ නොවේ
සතර අපායෙන් මිදෙමු - 52

මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුව වැඩ සිටින්නේ අගනුවරට ආසන්නව පිහිටි ආරණ්‍යයක. මේ ආරණ්‍ය බිමේ වඳුරන් 15 ක පමණ රංචුවක්‌ සිටිනවා. සවස ඇඳිරි වැටීගෙන එනවිට භික්‍ෂුව දුටුවා, මේ වඳුරු රැළ රාත්‍රිය ගතකිරීම සඳහා තෝරාගෙන තිබුණේ, භික්‍ෂුව වැඩ සිටින කුටියට ඉහළින් තිබෙන විශාල ගස්‌ කිහිපය. සවස ඇඳිරි වැටීගෙන එනවිටත්, මේ සතුන් කොළ කමින් හැසිරෙන ශබ්දය ඇසුණා. දැන් රාත්‍රී 8 පමණ වෙලා. පැය දෙකක පමණ කාලයක සිට මෙහෙට හොඳටම වහිනවා. තද සුළඟත් සමග විදුලි කොටනවා. අහස වේගයෙන් ගොරවනවා. මේ සියලු සිදුවීම් සිදුවුවත්, ගසේ වඳුරන් සිටින බවක්‌වත් ඇසෙන්නට නැහැ. ඒ තරමටම මේ සිදුවීම් හමුවේ වඳුරන් නිහඬයි. පුංචි පැටව් බඩේ එල්ලාගත් වඳුරු අම්මලා මේ රංචුවේ සිටියා. සීතල නිසා, ගෙරවිල්ල නිසා පුංචි පැටවෙක්‌වත් කෑගසන්නේ නැහැ. මේ සතුන් සතුටින් මේ දුක විඳිනවා වගෙයි. මනුෂ්‍ය දරුවෙක්‌, වැඩිහිටියෙක්‌ මේ වහින වැස්‌සට, සීතලට, විදුලි කෙටිල්ලට හසුවුනොත් මොනතරම් එයට එරෙහිව ප්‍රතික්‍රියා දක්‌වයිද? ඒත් ඒ සතුනට ඒ දුක ගැන කිසිම හැඟීමක්‌ නැහැ. ප්‍රතිචාරයක්‌ නැහැ.

ඒ තරමටම මේ තිරිසන් සතුන්ට දුක පත්තියන් වෙලා. 

දීර්ඝ කාලයක්‌ සතර අපායේ ඉඳලා, ඒ සතුන්ට දුක හුරුයි. දුක සැපෙන් භාරගන්නවා. මේ තරම් ගොරවමින්, විදුලි කොටමින්, සුළඟ හමමින් වැසි වසිනවිටත් දුකක්‌ නොදැනෙන මේ සතුනට සංසාරය කොතෙක්‌ දුර වෙයිද?

ඒ සතුන් දුක කියන වචනයේ සැබෑ අර්ථය දන්නේ නැහැ. ඒ නිසාම කල්ප ගණනාවක්‌ ගියද මේ සතුනට සුගතියේ සැප ඇති දිව්‍ය මනුෂ්‍ය උපතක්‌ සිදුවන්නේ නැහැ. නමුත් මනුෂ්‍ය දරුවෙක්‌ට මේ ස්‌වභාවය නැහැ. වැස්‌සකදී, ශීතලකදී ක්‍ෂණිකව ප්‍රතිචාර දක්‌වනවා. ඒ අයට දුක දැනෙනවා. එහෙම දැනෙන්නේ දුක පිළිබඳව හැඟීමක්‌ ඇති නිසා. මේ තිරිසන් සත්ත්ව ජීවිතත්, ඔබගේ උතුම් මනුෂ්‍ය ජීවිතයත් සංසන්දනය කරලා බලන්න. මනුෂ්‍යයා දුක හඳුනාගැනීමේ, අවබෝධකරගැනීමේ හැකියාව අතින් මොනතරම් ඉදිරියෙන්ද සිටින්නේ කියලා. සසර දුක ගැන වැටහීමක්‌ ඇතිකරගත් නිසාමයි ඔබට මේ පුණ්‍යවන්ත මනුෂ්‍ය ජීවිත ලැබිලා තිබෙන්නේ. නමුත් හැම මනුෂ්‍යයාටමත් මේ හැකියාව ලැබී නොමැති බව අපි අත්දැකීම් තුළින්ම තේරුම්ගන්න ඕනේ. දිනක්‌ භික්‍ෂුව හමුවට බොහොම සැපට හැදුණු, සුරතල් ලොකු තරුණ ඇල්සේෂන් බල්ලෙක්‌ සමග පැමිණි නෝනා කෙනෙක්‌ මෙහෙම ප්‍රශ්නයක්‌ ඇසුවා. 'හාමුදුරුවනේ මට ප්‍රශ්නයක්‌ තිබෙනවා. ඔබ වහන්සේගෙන් පිළිතුරක්‌ බලාපොරොත්තුවෙනවා' කියලා. භික්‍ෂුව සිතුවා ධර්මය ගැන ප්‍රශ්නයක්‌ වෙන්නඇතිය කියලා. 'හාමුදුරුවනේ මේ මගේ සුරතල් බල්ලා ඊළඟ ආත්මයේදී මගේ දරුවෙක්‌ කරගන්න මට ඕනේ. ඒක කරගන්නේ කොහොමද?' ප්‍රශ්නය ඇය ඇසුවේ කිසිම චකිතයකින් තොරවයි. ඇයට දියයුතු එකම පිළිතුර නම් 'ලබන ආත්මයේ මේ බල්ලා ඔබේ දරුවෙක්‌ කරගන්න ඉඩක්‌ නැහැ. හැබැයි ඊළඟ උපතේදී ඔබ සුනඛයකුගේ කුසේ බැල්ලි පැටවෙක්‌ව ඉපදෙන්න හොඳටම ඉඩ තිබෙනවා. මේ සුනඛ සංඥාව ඔබ සිතින් ඉවත් කර නොගත්තොත්.....' කියලා 

බලන්න මේ බුද්ධෝත්පාද කාලයකදී ලැබූ මනුෂ්‍ය ජීවිතයත්, තිරිසන් යෝනියේ උපත ලද සතෙකුත් අතර තිබෙන පරතරය දකින්න දක්‍ෂ නැහැ. ඇය සමාජයේ ඉහළ තලයේ වන සමාජ තත්ත්වයක්‌ හිමි කාන්තාවක්‌. තමා සසර කළ මහා පුණ්‍ය ශක්‌තියකින් ලබාගත් මේ මිනිසත්බව දක්‍ෂභාවයෙන් කළමනාකරණය කිරීමට ඇති නොහැකියාව නිසාමයි සත්ත්වයා සතර අපායට වැටෙන්නේ. මේ දක්‍ෂභාවය මතුකර දෙන්නේ කළ්‍යාණමිත්‍ර ආශ්‍රය මගින්මයි. වර්තමාන සමාජයේ අලුත්ම විලාසිතාව තමයි සමහර පිංවතුන් කළ්‍යාණමිත්‍රයින් ලෙස ඇසුරු කරන්නේ තිරිසන් සතුන් වීම. මනුෂ්‍යයන්ට වඩා තිරිසන් සතුන් හොඳ යෑයි කියා තිරිසන් යෝනියේ සතුන් කළ්‍යාණ මිත්‍රයන් ලෙස ඇසුරු කරයි. 

කළ්‍යාණ මිත්‍ර සතුන් ගැන කථා කිරීමේදී ගෙවල්වල ඇති කරන සුරතල් විසිතුරු මාළු ගැනද මතකය අවදි විය. ඔක්‌සිජන් නල ක්‍රියාත්මක වන මාළු ටැංකි නිවාස වලට විලාසිතාවක්‌ සේ එකතුවී තිබේ. සමහරවිට ගෙදර පිහිටි කෘත්‍රිම මැද මිදුලේ ඇති පොකුණේ මාළු ඇති කරයි. ගෙදර පිංවත් නෝනා මහත්මයා මාළු ටැංකිය ඉදිරිපිට හාන්සි පුටුව තබාගෙන විවේකය ගතකරන්නේ මාළුන්ගේ හැසිරීම්රටා දෙස බලමිනුයි. පිංවත් නෝනා මහත්වරු දවසේ වැඩි වේලාවක්‌ මාළු ටැංකියේ චමත්කාරය නරඹයි. මෙය සමාජයේ පැතීරීගෙන යන අලුත් 'භාවනාවකි'. මේ භාවනාවට අපි 'මාළු ටැංකි භාවනාව' යෑයි කියමු. මේ භාවනා කිරීම් නිසා අධික රුධිර පීඩනය, මානසික ව්‍යාධීන් අඩුවන බව වෛද්‍ය මතයක්‌ ලෙස ඔවුන් දක්‌වයි. එය ඔවුන් තරයේ විශ්වාස කරයි. ඒ නිසාම විවේක කාලයේ 'මාළු ටැංකි භාවනාව' කරයි. සැබැවින්ම මෙය භාවනාවකි. ඒ කියන්නේ වැඩීමකි. නමුත් වැඩෙන්නේ තිරිසන් සත්ත්ව සංඥාවයි. මාළුන් පිළිබඳ කැමැත්තයි. ඡන්ද රාගයයි. ඒ කියන්නේ ඔබ නොදැනුවත්භාවයෙන් වඩන්නේ සතර අපායයි. එහි මාළු බිත්තරයක ප්‍රතිසන්ධියයි. දහස්‌ ගණනින් වියදම් කරලා, විසිතුරු මාළු සුරතලයට හදලා, රුධිර පීඩනය, මානසික ව්‍යාධීන් අඩු කරගන්න ගිහිල්ලා ඔබ වැටෙන්නාවූ අගාධයක ගැඹුර කොපමණක්‌ද? මේ පිංවත් නෝනා මහත්වරුන්, තමන්ට නිරෝගීභාවයට පාර පෙන්වන, කළ්‍යාණමිත්‍රයින් වශයෙන් සලකන්නේ තිරිසන් යෝනියේ මාළුන්ය. එම කළ්‍යාණමිත්‍රයා තිරිසන් යෝනියට යැමට ඔබට පාර කියාදෙනු නියතය. 'කළ්‍යාණ මිත්‍රයා' යන්නෙහි අරුථ පවා අප නිවැරදිව හඳුනාගත යුතුව ඇත. කළ්‍යාණමිත්‍රයා යනු කල්ප සියගණනක්‌ ඔබට දුක්‌දෙන, සතර අපායෙන් ඔබව මුදාගැනීමට මාර්ගය පහදා දෙන උත්තමයාය. ඔහු අවිද්‍යාවේ අඳුරෙන් ඔබව දුරස්‌කොට, ප්‍රඥාවේ ආලෝකය දෙසට යොමුකරයි. මෙවැනි කළ්‍යාණමිත්‍රයෙක්‌ ඔබ සොයාගැනීමට නම්, මුළින්ම ඔබ ඔබට කළ්‍යාණමිත්‍රයෙක්‌ විය යුතුය. ඔබ ඔබට කළ්‍යාණමිත්‍රයෙකු වන්නේ බාහිර කළ්‍යාණමිත්‍රයකු ආශ්‍රය කිරීමට, සොයාගැනීමට පෙරාතුව එවැනි සත්පුරුෂ කළ්‍යාණමිත්‍රයෙකු ඇසුරු කිරීම වලක්‌වන ඔබ තුළ ඇති මාන්නය පරාජය කර නිහතමානීකම ඇතිකරගැනීම තුළින්ය. ඔබ තුළ ඇති අහංකාරකම, මාන්නය පරාජය නොකොට, ඔබ නිහතමානී නොවුනහොත් සත්පුරුෂ කළ්‍යාණමිත්‍රයින් සිය ගණනක්‌ ඔබට මුණගැසුනද, ඔබ ඔබගේ මතවාද, දෘෂ්ඨිවල පැටලී තව තව අකුසල් රැස්‌කර ගන්නවා විනා, යහපත කරා ධර්ම මාර්ගයේ ගමන් නොකරයි. 

සැබෑ කළ්‍යාණමිත්‍රයා මතවාදයක, දෘෂ්ඨියක එල්ලීගත් අයකු නොවේ. ඔහු සම්මා සම්බුද්ධ ඥාණයෙන් අවබෝධකර වදාළ ශ්‍රී සද්ධර්මය, එකම මාර්ගය කරගත්තෙකි. එය දෘෂ්ඨි මතවාද නැති විවෘත ධර්මයකි. භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතය තුළදී, මේ අහංකාරභාවය නිසා මොන තරම් ගිහි පැවිදි පිරිසක්‌ අකුසල් කරගන්නවා දැකලා තිබෙනවාද. වචනයෙන් කියන්නට අකමැති අකුසල් කරගෙන සිටිනවාද. භික්‍ෂුව මේ මොහොතේ යම් අවබෝධාත්මක ස්‌වභාවයක සිටිනවා නම් එහි මුල්ම ගෞරවය හිමිවන්නේ භික්‍ෂුව තුළ ගොඩනගාගත් නිහතමානීකමටමයි. එම නිහතමානීකම භික්‍ෂුව ඇතිකරගත්තේ සද්ධර්ම ශ්‍රවණය නිසාමයි. ඒ තුළින් වැඩුනු තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව නිසාමයි. සංසාරිකව වැඩූ පුරුදු නිසාමයි. ඒ නිහතමානීකම භික්‍ෂුවට නොතිබුණානම් භික්‍ෂුව තවම සතරඅපායෙන්වත් මිදී නොමැති අසරණම ගිහියෙක්‌.

මුළින්ම භික්‍ෂුව, භික්‍ෂුවට සත්පුරුෂයෙක්‌ වුණා. දෙවැනුව සත්පුරුෂ ආශ්‍රය සොයාගෙන ගියා. සාධු! සාධු! ඒ නිහතමානීභාවයට මාගේ නමස්‌කාරය වේවා!

තෙරුවන් නමස්‌කාරය කළාට අනතුරුව මා නමස්‌කාරය කරන්නේ ඒ නිහතමානීභාවයටමය. නමුත් ඔබ අදක්‍ෂනම් සංසාරික පුරුදු හිඟ නම් මේ ප්‍රතිපදාව තුළ වැඩෙන්නේ අහංකාරකමමය. මේ අවාසනාවන්තභාවයෙන් ඔබ වහ වහා මිදිය යුතුය.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
සදහම් සඟරා - Online