ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

වෙසක් දිනය එක්සත් ජාතින්ගේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම

බුදු දහමින් ‍ලොව පුබුදු කළ කුරුණෑගොඩ පියතිස්ස නා හිමි

ඇමෙරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරය කේන්ද්‍ර කරගෙන අද්විතීය ලෝක ශාසනික සේවාවක් සිදු කළ කුරුණෑගොඩ පියතිස්ස නා හිමි වර්ෂ 1928 දෙසැම්බර් 29 වැනිදා ජන්මලාභය ලැබීය. උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් වූයේ වර්ෂ 1941 නොවැම්බර් 06 වැනිදා ය. පියතිස්ස නා හිමියන්ට විදේශ ධර්ම දූත සේවාව වෙනුවෙන් ආරාධනා ලැබෙන්නේ වර්ෂ 1970 දී එවකට ලන්ඩන් බෞද්ධ විහාරාධිපති හා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායකව වැඩසිටි මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නා හිමියන් වෙතිනි. ඒ අනුව පියතිස්ස නා හිමි එතෙක් වසර 21 ක් පුරාවට ලංකාවේ කරගෙන ආ අධ්‍යාපනික සේවාවට සමු දී ලන්ඩනයේ ඔක්ස්ෆර්ඩ් හි ඔකන්හෝල්ට් බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රථම ථෙරවාදී බෞද්ධ භික්ෂුව ලෙස ධර්ම දූත සේවාවට එක් විය. එහි ආරම්භ කළ ධර්ම දේශනා, සම්මන්ත්‍රණ හා භාවනා වැඩසටහන් ආදියට දිනෙන් දින ඉංග්‍රීසි ජාතිකයෝ ඇදී එන්නට වූ හ. ඒ නිසාම බෞද්ධ මධ්‍යස්ථානය ද අනුක්‍රමයෙන් දියුණු වන්නට විය.

කුරුණෑගොඩ පියතිස්ස නා හිමියන්ට මහාචාර්ය හම්මලව සද්ධාතිස්ස නා හිමි හා ආචාර්ය මැදගම වජිරඤාණ නා හිමි යන කීර්තිධර ධර්ම දූතයන් වහන්සේලා සමග එක්ව විශිෂ්ට ධර්ම දූත සේවාවක නිරතවීමට අවස්ථාව උදාවන්නේ උන්වහන්සේ දෙවැනි වරට ලන්ඩන් ධර්ම දූත සේවාව සඳහා වැඩම කළ අවස්ථාවේ පටන් ම ය. එසේ වර්ෂ 1974 සිට 1981 දක්වා වූ සත් වසරක් මුලුල්ලේ මහා බ්‍රිතාන්‍යයේ ඉතා විශිෂ්ට ධර්ම දූත සේවාවක නිරතව සිටි පියතිස්ස නා හිමියෝ ඇමෙරිකානු බෞද්ධ ජනතාව ගේ ආරාධනය පරිදි වර්ෂ 1981 දී නිව්යෝර්ක් නුවරට වැඩම කළ හ. මෑන්හැටන් (Manhattan) නගරයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ආර්ට් ගැලරි හි සිදු කළ භාවනා වැඩසටහන උන්වහන්සේ ගේ ප්‍රථම ඇමෙරිකානු ධර්ම ප්‍රචාරක කාර්යය යි. එයින් පසු දිගින් දිගට ම එවන් වැඩසටහන් වෙනුවෙන් ආරාධනා ලැබෙන්නට විය.

‍මේ අතර පියතිස්ස නා හිමියන් ගේ පුරෝගාමී නායකත්වයෙන් ෆ්ලසින් නගරයේ ඉතා කුඩා ස්ථානයක ඇරඹුනු නිව්යෝර්ක් බෞද්ධ විහාරය පසුව කිව්ගාඩ්න් ප්‍රදේශයටත්, එතැනින් ක්වීන්ස් විලේජ් (Queens Village) ප්‍රදේශයටත් ගෙනයමින් අනුක්‍රමයෙන් සංවර්ධිත තත්ත්වයකට පත් කෙරිණි. ශ්‍රී ලංකාවෙන් පිටත ලාංකීය ගෘහ නිර්මාණ ශිල්පයේ අභිමානවත් බව මේ යැයි, කියාපාමින් ඉදි කළ මුල් ම ශ්‍රී ලාංකික බෞද්ධ විහාරය මෙම නිව්යෝර්ක් බෞද්ධ විහාර මන්දිරය යි. මෙ‍ම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් බුදු දහම ඇමෙරිකාවට හඳුන්වාදීම සඳහා පියතිස්ස නා හිමි සිදු කළ ඉතා කාලීන වූ ද සාර්ථක වූ ද යුග මෙහෙවර ඇමෙරිකානු බෞද්ධ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත.

ව්‍යක්ත ලේඛකයෙකු ලෙස ද පියතිස්ස නා හිමි සුවිශාල ශාස්ත්‍රීය කටයුතු කිහිපයකට ම දායකත්වය ලබා දී තිබේ. ඒවා ගැඹුරු ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ, ජාතික උන්නතියට අදාළ වන ග්‍රන්ථ, සාමාන්‍ය බෞද්ධ ජනතාවට ධර්මය සරලව තේරුම් කරදෙන ග්‍රන්ථ, ඇමෙරිකාවේ ජීවත්වන දරුවන්ට ඉංග්‍රීසියෙන් ලියූ බුද්ධ ධර්ම පොත් හා විවිධ මාතෘකා ඔස්සේ ලියූ කුඩා දහම් පොත් වශයෙන් විවිධාකාර ස්වරූපයක් ගනියි. එසේම ආරම්භයේ පටන් වසර 35 කටත් වැඩි කාලයක් පුරාවට ම “බුදුසරණ” පුවත්පතට ධර්ම ශාස්ත්‍රීය ලිපි ලියූ උන්වහන්සේ ඊට අමතරව වෙනත් ජාතික පුවත්පත්වලට ද ලිපි සැපයූ හ. තව ද ඇමෙරිකාවේ සහ වෙනත් රටවල පළ කෙරෙන ප්‍රකාශනවලට ද ඉංග්‍රීසි බසින් සැපයූ ලිපි විශාල සංඛ්‍යාවකි.

පියතිස්ස නා හිමි කාලාන්තරයක් තිස්සේ ඇමෙරිකාවේ සිදු කරන ධර්ම දූත සේවාව වෙනුවෙන් එවකට එරට ජනාධිපතිවරයා වූ බිල් ක්ලින්ටන් මහතා උන්වහන්සේ ධවල මන්දිරයට වැඩම කරවාගෙන විශේෂ උපහාරයක් දැක්විය. නිව්යෝර්ක් නගරාධිපතිවරයා උපහාර පිදූ අවස්ථා කිහිපයක් ම පවතියි. වර්ෂ 1999 දී පියතිස්ස නාහිමියෝ නිව්යෝර්ක් බෞද්ධ සභාවේ සමාරම්භක සභාපතිවරයා ලෙස පත් වූ හ. එසේ පත්වීම් ලබා වෙසක් පොහොය දිනය ලෝක බෞද්ධ නිවාඩු දිනයක් ලෙස සම්මත කළ යුතු බවට Buddhist Council of NewYork රැස්වීමේ දී පියතිස්ස නා හිමි ගෙන ආ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට මහලේකම්බෲටෝස් බෲටෝස් ගාලි මහතා වෙත යොමු යොමු කෙරිණි. ඒ සමගම එම යෝජනාව එවක ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා වෙත ද නිව්යෝර්ක් ආණ්ඩුකාරතුමන් වෙත ද යොමු කෙරිණි. ඒ සමගම එක්සත් ජාතීන් ගේ සංවිධානයේ බෞද්ධ නියෝජිතයින් ද මේ ගැන දැනුවත් කෙරිණි. එමතු නොව ශ්‍රී ලංකා රජය විසින් ද මෙම යෝජනාව එක්සත් ජාතීන්ට ඉදිරිපත් කළ යුතු බව පියතිස්ස නා හිමි දැන්වීමත් සමග ම නොබෝ කලෙකින් උන්වහන්සේ හා එවකට බුද්ධශාසන ඇමැතිව සිටි ලක්ෂ්මන් ජයකොඩි මැතිතුමා අතර විශේෂ සාකච්ඡාවක් ද කොළඹ දී පැවැත්වුණි.

එවකට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාව සිටි ලක්ෂ්මන් කදීර්ගාමර් මැතිතුමා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතන ඊළඟ වාරයේ දී පියතිස්ස නා හිමි ගේ ඉල්ලීම වූ වෙසක් දින යෝජනාව ගැන සිය දේශනයේ දී සඳහන් කළේ ය. එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයා වූ ජෝන් ද සේරම් මහතා විසින් එම යෝජනාව එනම් “වෙසක් දිනය එක්සත් ජාතින්ගේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ යුතු ය” යන්න එක්සත් ජාතින්ගේ සංවිධානයට ඉදිරිපත් කළේ ය. රටවල් 34 ක අනුග්‍රහය ඇති ව එම යෝජනාව එක්සත් ජාතීහු ඒකච්ඡන්දයෙන් සම්මත කළ හ. මෙම සම්මතයත් සමග බුදු දහම සහ බෞද්ධ වත් පිළිවෙත් වෙත ලෝක අවධානය යොමු වුණි. එතැන් පටන් වාර්ෂිකව එක්සත් ජාතින්ගේ සංවිධානය එහි මූලස්ථානයේ දී වෙසක් උත්සව පවත්වයි. කුරුණෑගොඩ පියතිස්ස නා හිමියන් ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස වෙසක් උත්සවය එක්සත් ජාතීන් ගේ සංවිධානයේ නිල උත්සවයක් බවට පත්වීම ලෝක බෞද්ධ ඉතිහාසයට එක්වන විශිෂ්ට ජයග්‍රහණයකි.

කුරුණෑගොඩ පියතිස්ස නා හිමි නිව්යෝර්ක් බෞද්ධ විහාරයට අමතරව ඇමෙරිකාවේ ආරම්භ කළ තවත් විහාරස්ථාන සතරක් පවතියි. ඒවා නම්, ස්ටැටන් අයිලන්ඩ් බෞද්ධ විහාරය, නිව්ජර්සි බෞද්ධ විහාරය, නිව් ඉන්ග්ලන්ඩ් බෞද්ධ විහාරය සහ ලෝන්ග් අයිලන්ඩ් බෞද්ධ විහාරය යි. පියතිස්ස නා හිමියන් ගේ සෑම කාර්යයකට ම නිව්යෝර්ක් බෞද්ධ විහාරවාසී අලුත්ගම ධම්මජෝති හිමි, අක්මීමන නාගිත හිමි, කුරුණෑගොඩ ධම්මාලෝක හිමි, පාරඹේ සිරිනිවාස හිමි, ඈරගම සිරිසුමන හිමි, වෑකඳවල තුසිත හිමි සහ බඹරැන්දේ සුමේධ හිමියන්ගෙන් ලැබුණු සහයෝගය ඉතා ඉහළ මට්ටමක පවතියි.

ඇමෙරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති, රාජකීය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ 2019 ඔක්. 11 වැනිදා අමෙරිකානු වේලාවෙන් පෙ.ව. 10.10 ට නිව්යෝර්ක් නුවර දී අපවත් වී වදාළහ. ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඔක්. 17 වැනිදා අමෙරිකානු වේලාවෙන් පෙ.ව. 10.30 ට නිව්යෝර්ක් හි ඇස්ටෝරියා බුවවාඩ් ඕසෝල් ආදාහනාගාරයේ දී පැවැත්වුණි.

අග්‍රගණ්‍ය ධර්ම දූතයන් වහන්සේ නමක් ලෙස බුදු දහමින් ලොව පුබුදු කළ අතිපූජ්‍ය කුරුණෑගොඩ පියතිස්ස නා හිමියන්ට උතුම් වූ නිවන් සුව ලැබේවා!

දෙහිවල නව පොළොන්නරු
ගල්විහාරාධිපති
හැව්ඕවිට ගුණානන්ද හිමි

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

උතුම් සිල්පද රකිමු අදිටනින් නිරතුරු

සම්බුද්ධ දේශනාවේ සඳහන් ලෙස යමෙක් දරුණු වචන නැවත නැවත කීමෙන් මරණින් මතු නිරයේ උපදිනවා. තිරිසන් අපායේ, ප්‍රේත ලෝකයේ යනවා. අඩුම විපාකය ලෙස මනුස්ස ලෝකයට ආ විට කනට අසන්න ලැබෙන්නේ ම අසතුටු වචනයි

සම්බුදු සසුනක සිසිල විඳීන්නට ඉඩ නැති කාලයේදීත් මිනිසුන් සිල්පද රැක්කා. ඒ සීලයේ අනුසස් වින්දා. එහෙත් බුද්ධ ශාසනයක් පවතින කාලයක රකින සීලයක් තුළින් පමණයි නිවන්මඟට මාවත සැකසෙන්නේ.

අද අප සමාජයේ බොහෝ දෙනා සිතනවා සමාදන් වූ සීලය ටිකක් කැඩුණාට පවක් නැහැ, පුංචි පුංචි සතුන් මැරුවාට, විහිලුවට ඉඳහිට ‍‍බොරුවක් කිව්වාට පවක් නැහැ. බොරුවක් කියලා තව කෙනෙක් සතුටු කරන එකත් පිනක්. සාදයක දී මත්වතුර පාවිච්චි කළාට අවැඩක් නැහැ කියා කියනවා. එහෙත් සීලය පිළිබඳ අපගේ ශාස්තෘන් වහන්සේ වඩාත් ගැඹුරෙන් විවිධ ආකාරයෙන් වර්ණනා කොට තිබෙනවා.

උන්වහන්සේ විටෙක වදාළා කිරල කිරිල්ලියක් බිත්තර රකිනවා වගේ සිල්පද රකින්න කියලා. ඒ කිරිල්ලිය බිත්තර උඩට ගිහින් පාද උඩට තබාගෙන කෑ ගසමින් සිටින්නේ. ඇයි ඒ? ඇය බයයි අහස කඩා වැටිලා බිත්තර විනාශ වෙයි කියලා. එතරම්ම පරිස්සමට බිත්තර රකිනවා. බුදුරජාණන් වහන්සේ වදාළා කිරලි දෙන බිජු රකිනවා වගේ සිල්පද රකින්න කියලා.

ඒ වගේම සෙමෙර මුවාගේ වටිනාම අංගය ඒ සතාගේ වලිගයයි. සෙමෙර මුවා වලිගය රැක ගන්නේ කෙසේද? ඒ ආකාරයට තමා සමාදන් වූ සිල්පද රකින්න කියලා.

යම් මවකට සිටින්නේ එකම දරුවා නම් ඒ අම්මාගේ මුළු ජීවිතය ම ඒ දරුවා යි. එක් දරුවෙක් ඉන්න අම්මා ‍කෙනෙක් ඒ දරුවා රකිනවා වගේ සමාදන් වූ සිල්පද රකින්න ඕනේ.

එක ඇසක් ඇති මිනිසෙක් ඒ ඇස පරිස්සම් කර ගන්නවා වගේ සිල්පද පරිස්සමට රැක ගන්න ඕනේ. එහෙම නම් ටිකක් මත්වතුර ගත්තාට කමක් නැද්ද? පොඩි බොරුවක් කීවාට කමක් නැද්ද? කියන දේ අපි ම තීරණය කරන්න ඕන දෙයක්.

එක දරුවෙක් සිටින අම්මා කෙනෙක් ඒ දරුවා ටිකක් එහා මෙහා වෙනවාට කැමැති වෙන්නේ නැහැ. ඒ අම්මා හිතන්නේ මගේ දරුවාට හානියක් වෙන්න එපා කියල යි. ඒ වගේ සීලය සමාදන් වූ ඔබත් සිහිකළ යුත්තේ කුඩාවට හෝ මගේ සීලයට හානියක් වෙන්න එපා කියල යි.

අපට පුලුවන් නම් මේ ආකාරයට සිල් රැක ගන්න අපගේ මරණාසන්න ‍මොහොත කෙතරම් නම් ආරක්ෂා සහිත ද? සිල්පද රැකීම තුළ තිබෙන පුණ්‍ය විපාකය අතිශයින්ම බලවත් එකක්. එසේ නම් ‍මේ සිල්පද කැඩීමෙන් අත්වන විපාකය ද ඉතා බරපතළ බවයි ධර්මයේ සඳහන්ව තිබෙන්නේ.

සුචිලෝම කියන ප්‍රේතයාගේ නළලින් ඉදිකටු දහක් ඇතුළට යනවා. කටින් එළියට එනවා. ඔබට එක ඉදිකටුවක් ඇනුණා කියා හිතන්න. වේදනාව කෙතරම් ද? ඒ ප්‍රේතයා කෑ ගසමින් විලාප තියනවා. ඒ ඉදිකටු දහස නැවත බෙල්ලෙන් ඇතුළට යනවා. නැවත පපුවෙන් එළියට එනවා. නැවත බඩෙන් ඇතුළට යනවා. කලවයෙන් එළියට එනවා. ඉන්පසු ඒ ඉදිකටු කොන්දෙන් ඇතුළට යනවා. යටිපතුලෙන් එළියට එනවා. ‍මේ ආකාරයට අනෙක් පැත්තට සිදුවෙනවා. ඒ ප්‍රේතයාගේ ආයුෂය ගනින්න බැරිතරම්. මහත් වූ වේදනාවක් නො නවත්වා ම විඳීනවා. එක ඉදිකටුවක් තත්ත්පරයක් මේ දේ කළා නම් වේදනාව හිතන්න.

දිනක් ඒ ප්‍රේතයා තෙරුන් වහන්සේ නමකට මුණ ගැසුණා. උන්වහන්සේට මහත් අනුකම්පාවක් හටගත්තා ප්‍රේතයා දුටුවිට. උන්වහන්සේ අසනවා ඇයි මේ වගේ දුකක්? කියා.

ස්වාමිනි, මම සසරේ බොහෝ සේ කේලාම් කිව්වා. එහි විපාකයයි ‍ මේ. මම කේලාම් කියලා සමගි අය අසමගි කළා. ඒවා බලලා මම සතුටු වුණත් අද විඳීන මේ විපාකය ඉතාමත් කටුක යි‍. දුකයි. ‍මේ දේ අපගේ පියවි ඇසට පෙනෙන්නේ නැහැ. නමුත් ඇත්ත එයයි.

කුඩා සතුටකට දෙදෙනකු බිඳවා මහා විශාල දුකක් හදාගන්නේ ඇයි? අනවශ්‍ය දුකකට පැටලෙන්නේ ඇයි? ඒ නිසා අපි වචනය සංවර කර ගත්තොත්, නිහඬ කර ගත්තොත් සිල්පද ආරක්ෂා කර ගන්න ගොඩාක් පහසුයි.

ඒ වගේම දේශනාවේ සඳහන් වෙනවා යමෙක් දරුණු වචන කීමෙන් නැවත නැවත කීමෙන් මරණින් මතු නිරයේ උපදිනවා. තිරිසන් අපායේ, ප්‍රේත ලෝකයේ යනවා. අඩුම විපාකය ලෙස මනුස්ස ලෝකයට ආ විට කනට අසන්න ලැබෙන්නේ ම අසතුටු වචන. තමන් අකැමැති, හිත රිදෙන, අප්‍රසන්න වචන. එනිසා තමන්ගේ දේපළ රැකගන්න ඕනෑ නම්, දේපළ විනාශ වෙනවට අකැමැති නම්, සොරකම් නොකර සිටින්නට ඕනෑ. හතුරන් ඇතිවෙනාවට අකමැති නම් වැරැදිකාම සේවනය නොකර සිටින්න ඕනෑ. කරුණු රහිතව නින්දා අපහාස අසන්නට කැමැති නැත්නම් බොරු නොකියා ඉන්න ඕනෑ. කවුරුහරි කෙනෙක් තමන්ගේ යහලුවන් බිඳෙනවාට අකැමැති නම් කේලම් නොකියා ඉන්න ඕනෑ.

තමන් සතුටු වචන ම අසන්න ආශානම් කිසිවකුට දරුණු වචන නොකියා සිටින්න ඕනෑ. තමන්ගේ වචන අනෙක් අය විශ්වාස කරනවාට කැමැති නම් බොරු නොකියා ඉන්න ඕනෑ. තමන් උමතු වෙනවාට අකැමැති නම් සුරාපානයෙන් වැළකෙන්න ඕනෑ කියලයි.

එනිසා අල්ප මාත්‍රයක්වත් සිල්පදවලට හානි කර ගන්න එපා. ඉතාමත් පිරිසුදුව රකින්න ඕනේ. කිසිදු කිලුටක් නැතිව තමන් සමාදන් වූ සිල්පද රැකගෙන තමන්ට මේ ලෝකයෙන් මිය යන්න තිබෙනවා නම් එය කෙතරම් යහපතක් ද?

එනිසා ඔබ සමාදන් වූ සිල්පද මේ වන විට කැඩුණා නම්, ඒ පාපයෙන් ගැලවෙන්න කැමැති නම් ළඟම තිබෙන සෑයක්, බෝධින් වහන්සේ නමක් අසලට හෝ නිවෙසේ පිළිම වහන්සේ අසලට හෝ ගොස් බොහෝම ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගොස් සිල්පද සමාදන්ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ බිඳුණු සිල්පද සමාදන් වෙන්න. එය අවංකවම කළයුතු දෙයක්.

ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, අද පටන් මම තෙරුවන් සරණ ගොස් සිල්පද රකිනවා, මම මගේ වරද වරදක් ලෙස දැක්කා. ඒ වරදින් අත මිදෙනවා කියා පොරොන්දු වෙන්න.

වරදින් මිදෙන්න තදබල අධිෂ්ඨානයක් ඇතිකර ගන්න. ඉන්පසු දිවි හිමියෙන් ඒ සිල්පද රකින්න. තම පණට වඩා සමාදන් වූ සිල්පදයට ආදරය කරන්න. එතැන් පටන් ඔබ සිල්වත්. තමන් අතින් සිදු වූ වැරැදි අමතක කොට ආයති සංවරයට පත් වූ තැන සිට ඔබ සිල්වත් වෙනවා. එවිට පැරැණි වරදට සිත දොස් කියන්නේ නැහැ. වරදින් නැඟී සිට සිල්වත් ජීවිතයක් ගත කරනවා.

ඉන්පසු ඒ සීලය පිළිබඳ සෑම දිනක ම නින්දට පෙර ආවර්ජනයක් කරන්න. අද දවස පුරාවට ම මම සතෙක් මැරුවේ නැහැ. සොරකම් කළේ නැහැ. වැරැදිකාම සේවනය කළේ නැහැ. බොරු කිව්වේ නැහැ. මත්වෙන දෙයක් පාවිච්චි කළේ නැහැ. මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක්, ශ්‍රාවිකාවක් කියලා දිනපතා සතුටු වෙනවා. රකින සීලය සිහි කර කර සතුටු වෙනවා. මේ දුක්ඛිත සසරින් එතෙර වීමට කැමැති බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා ගමන් කළයුත එකම මාවත ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියලයි අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ. එනිසා අපිත් උතුම් තිසරණය ආරක්ෂා කරමින් සමාදන් වූ සිල්පද රකිමින් මේ දුක්ඛිත සසරින් එතෙර වීමට වහ වහා උත්සාහ කරමු.

සම්බුදු දහම විමසා බලන්න පිළිවෙත් මඟට එකතු වන්න


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම

සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි

ධර්මය හෝ දහම නම් වූ වචනය ඕනෑම ඉගැන්වීමක් වෙනුවෙන් යොදාගත හැකි වචනයකි.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලට අප විසින් දහම නම් වූ පරියාය වචනය භාවිත කරන්නේ කුමන අදහසින් ද? මිනිස් සන්තානයේ සකස් වෙන්නා වූ ලෝභ, දෝෂ, මෝහ නම් ප්‍රධාන වූ, මෙලොව, පරලොව අනර්ථකාරී බව නිර්මාණය වන කෙලෙස් බැහැර කරවන, පාරිශුද්ධ වූ චිත්ත සන්තානයක සන්සිඳීමක් හෙවත් සමාධියක් ඇතිකරවන නම් වූ අදහසිනි.

මෙම දහම, ධර්ම පරියායක් ලෙස සීල, සමාධි, ප්‍රඥා නම් වූ ත්‍රිශික්ෂාව ඔස්සේ ක්‍රියාවට නැංවෙයි. දර්ශනයක් යනු යම් සිද්ධාන්තයක් ඔස්සේ චින්තන මාර්ගයක් ඉදිරිපත් කිරීමයි. එය පූර්ව නිගමනවලින් බැහැරව සහ ඉන්ද්‍රිය ගෝචර නොවන විශ්වාසවලින් සහ සංකල්පවලින් තොර වූවකි.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වල, ශාස්තෘවරයෙක් ලෙස මඟ පෙන්වීම සිදු කෙරේ. එනමුත් එය දේව විශ්වාසයක මෙන් මිනිස් සිතට බලපැවැත්මක් නොකෙරේ. ලෝභ, දෝෂ, මෝහයන්ගෙන් බැහැරව සිතීමේ සහ විමසීමේ නිදහසක් කැමත්තෙන් අනුගමනය කරන්නන්ට ලබා දෙයි. මේ බව කාලාම සූත්‍ර දේශනාවෙන් ප්‍රකට කෙරේ.

එමඟින් තමාගේ ම අත්දැකීම්වලින් මෙන්ම බාහිර ලෝකය ද ඇසුරු කරගෙන දැක්ම හෙවත් දර්ශනය සකස් විය යුත්තේ ය. මේ අනුව බෞද්ධ ඉගැන්වීම් වඩාත්ම දර්ශනයක් ලෙස ද සැලකිය හැක්කේ ය. කෙසේ වෙතත් බෞද්ධ ඉගැන්වීම් යථාභූත ඥාන දර්ශනයකි. එය අසවල් කොටසට පමණක් අයත් ය යනුවෙන් අවසාන නිගමනයකට පැමිණිය නොහැක්කේ ය.

වර්තමානයේ යම් පිරිස් පවසන පරිදි බුදුදහම ද ආගමකට සීමා කොට, බෞද්ධ ඉගැන්වීම්වලින් ද බැහැරව නිදහස්ව සිතන්නට, කියන්නට, ක්‍රියා කරන්නට සුදුසු ය යන්න ය. එසේ පවසන පිරිස් අඩුම තරමේ තථාගතයාණන් වහන්සේ ලොවට වදාළ “මෙත්තා” නම් මෛත්‍රිය පිළිබඳවත් සිත සිහිය යොමු කළ යුතු වන්නේ ය. ලෝකයේ “යහපත් ය” නම් වූ බොහෝ පිරිස් මනුෂ්‍යයන් පමණක් ගැන සිතද්දී බුදුදහම මනුෂ්‍යයන් ද ඇතුළුව සියලු සත්ත්වයන් කෙරේම හිතවන්ත බව පුරුදු කිරීමට ඉගැන්වීය. මානව අයිතිවාසිකම් පමණක් නොව සියලු සත්වයින්ට ම ජීවත්වීමේ අයිතිය තහවුරු කළේ ය. තමා තමාට දක්වන හිතවන්ත බව මෙන්ම සියලු සත්ත්වයෝම ඔවුන්ට හිතවන්ත බව උපමාකොට ගෙන කිසිදු මනුෂ්‍යයකුට හෝ වේවා සත්ත්වයකුට හිංසා නොකළ යුතු බව සහ ජීවිත හානි නොකළ යුතු බව අවධාරණය කළේ ය. දැඩි වූ තෘෂ්ණාවෙන් ඔවුනොවුන් මරණයට පත් කරන්නට අවි ආයුධ නිෂ්පාදනය කරමින්, භෞතික ලෝකයේ වස්තූන් වෙනුවෙන් දැඩි තරගයක නිරතව සිටින ලෝකයාට සියලු සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක වස්තුන්ගේ ඇති අස්ථිර බව පෙන්වාදී මනුෂ්‍ය ජීවිතයේ වටිනාකමද, මිනිස් සංහතියේ යහපත වෙනුවෙන් ක්‍රියා කළ යුතු ආකාරය ද පෙන්වා දුන්හ. මෙය මූලික පියවරේ දී දානාදී පාරමී ධර්ම සම්පූර්ණ කිරීමක් ලෙස ඉගැන්වෙයි. අනිච්ච, දුක්ඛ, අනන්ත නම් වූ තිලක්ඛණය ඉදිරිපත් කළේ ලෞකික ජීවිත, සාමාන්‍ය ලෝකයා සිතන පරිදි දුකට හෝ අකර්මණ්‍යය කරන්නට හෝ මෙලොව දියුණුව නැති කරන්නට නොව, මනුෂ්‍යත්වයේ හැබෑ තේරුම, උතුම් සැනසිල්ල තමා වෙතින් ම අවබෝධයෙන් යුතුව මතු කර ගන්නට ය.

බුදුදහම මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා නම් වූ සතර ආකාරයක උතුම් වූ හැසිරීම් නම් වූ සතර බ්‍රහ්ම විහරණ ඔස්සේ සියලු දෙනාම සමගියට පරෝපකාරයට සමීප කරයි. සියලු දෙනාටම සාමානාත්මතාවයෙන් යුතුව දිළිඳු අයට පරිත්‍යාග කරමින්, වචනයෙන් පමණක් නොව පිරිසුදු සිතින් ම මවුපිය, දූ, දරු, සොහොයුරු, සොහොයුරියන් සේ ගරු කරන්නට උගන්වන ප්‍රතිපදා මාර්ගයක බුදුදහම පිළිපදින බොහෝ පිරිසක් සාමාන්‍ය ජන ජීවිතයේ සතුට සහ යහපත ද දියුණුව සහ ස්වයං සන්තුෂ්ඨිය පිණිස ද උගන්වන මංගල, සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ, වසල පරාභව වැනි සූත්‍ර පිළිබඳ දැනුම්වත් වී ඇත.

මේ මඟින් මිනිස් සිතේ අති කරගත යුතු ගුණාංගත්, මනුෂ්‍ය ප්‍රජාවට විපත් ගෙන දෙන කායික, මානසික සහ වාචසික ක්‍රියාදාමයන් බැහැර කරගත යුතු ආකාරයත් මැනවින් පෙන්වා දෙයි.

පඤ්ච සීලයෙන් මූලිකව මනුෂ්‍යත්වය පිරිසුදු කොට, සතර සතිපට්ඨානයෙන් දුක් දොම්නස් බැහැර කොට සියලු දුකින් නිදහස් වන සදාකාලික විමුක්තියට කැඳවාගෙන යන අසිරිමත් වූ ද, සුන්දර වූ ද මානුෂීය ප්‍රතිපදා මාර්ගයකි. බිය ගන්වා බලයෙන් ඇදහීමට හෝ විශ්වාස කිරීමට යොමුකරන මඟක් ද නොවේ.

භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍යයෙකි. එනමුත් සාමාන්‍ය පෘථග්ජන මනුෂ්‍යයන් කෙරේ පවත්නා වූ රාග, දෝෂ, මෝහ මුළුමනින් ම බැහැර කළ ආශ්චර්යවත් වූ, උතුම් වූ මනුෂ්‍ය රත්නයකි. එය සංකේතවත් කළේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය නම් වූ “බුද්ධ” නම් වූ වචනයෙනි.

එය ද දක්වන්නේ ඇවිත් නුවණින් යුතුව පරීක්ෂා කොට බලන්නට මිස අන්ධ භක්තියෙන් යුතුව අදහන්නට නොවේ. භාග්‍යවතුන් වහන්සේට හැබෑවටම ගරු කරන්නා නම් මේ ප්‍රතිපදා මාර්ගය අවබෝධයෙන් යුතුව අනුගමනය කොට ඵල ලබන්නා මිස අනවබෝධයෙන් වැඳුම් පිඳුම් හෝ පුද පූජාවල නිරත වෙන්නා නොවේ. සතිපට්ඨානයේ උගන්වන “සති - සම්පඡඤ්ඤය” අවබෝධයෙන් යුතුව මේ මොහොතෙහි සිත සිහිය පිහිටුවා ගැනීම, අධ්‍යාපනික, ආර්ථික, සාමාජික සහ පවුල් පාරිසරික ආදී කුමන රටාවකට ද යොමු කර ගැනීමෙන් එහි නැණවත්, සත්පුරුෂයන් බලාපොරොත්තු වන සාර්ථකත්වයක් ඇති කරගත හැකි ය. වර්තමානයේ බොහෝ සමාජ කණ්ඩායම් අතර පවත්නා ආතතිය (Stress) දොම්නස (Depression) දුරු කර ගැනීමට කදිම මානසික ඖෂධයකි. මෙය නොදත් හෝ නොසලකා හරින්නෝ දුර්ලභ වූ ලැබූ මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් නොදෙති.

බෞද්ධ නමින් පෙනී සිටින යම් අයෙක් ප්‍රතිපදාව අනුගමනය නොකොට ලාභ, අලාභ ආදී අෂ්ඨ ලෝක ධර්මයට ජීවිතාබෝධයෙන් යුතුව මුහුණ දී ගත නොහැකිව දහමින් ඉවත්වෙනවා යැයි පැවසීම හෝ දහමට ගැරහීම නියමාකාර පිළිතුර දැයි විමසිය යුතු වන්නේ ය.

ශ්‍රී ලාංකික පරිසරයේද මව්පිය, දූ දරු, ස්වාමි භාර්යා, ගිහි පැවිදි මනා වූ සම්බන්ධයක් ගොඩනඟා මනුෂ්‍යත්වයේ හැබෑ අරුත කියා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලිනි.

මෙය මනා ලෙස අවබෝධ නොකර ගන්නා වූ පුද්ගලයෝ සර්පයාගේ වලිගයෙන් අල්ලා ගත්තාක් මෙන් චාරිත්‍ර වාරිත්‍රවල පමණක් මූලික තැනක් දී ක්‍රියා කොට ගැටුම් ඇතිකර ගනිති. කලින් කල සිදුවන සාමාජික හෝ ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමේ දී දහම වරදවා පලිහක් කර ගැනීමට උත්සාහ ගනිති. තම පුද්ගලික අභිමතාර්ථ ඉටු නොවන අවස්ථාවේ දී දහමෙහි වරදක් බව සිතති. වර්තමානයේ ලෙඩ සනීප කරනවා ය නම් වූ ඇදහිලි සංකල්පය ද එවැන්නකි. පරමාර්ථ ධර්මයම ප්‍රධාන කොට බුදුදහම විමසා බලන්නට පිළිවෙත් මඟට එකතු වන්නට ද ආරාධනා කරමි.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සදහම් සඟරා - Online