ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

අපායේ නොවැටෙන්න උපාය දැන ගන්න

 

දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී

රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි

සිතුල්පව්ව විහාරයේ වැඩසිටියා සාමණේර හා උපසම්පදා භික්ෂූන් වහන්සේ බොහෝ පිරිසක්. කලක් මේ විහාරය තෙරුන් වහන්සේ දොළොස් දහසකින් පිරී පැවතියා. සාමණේර පැවිද්ද ලැබූ තරුණයෙක් මහ තෙරවරුන්ගෙන් කමටහන් ඉල්ලාගෙන භාවනා කළා. තරුණයාගේ පැවිද්දෙන් පසු ඔහුට ‘තිස්ස’ යන නම ලැබුණා. අලුතින් පැවිදි වුණු නිසා උපසම්පදාව ලබා ගත්තේ නෑ.

ටික කලක් වත් පිළිවෙත් පුහුණු වෙන්න අවස්ථාව ලබා දුන්නා. ගෙදරින් වෙන්වෙලා ඉන්න මේ තරුණ භික්ෂූන් වහන්සේට නිතර නිතර නිවැසියන් මතක් වෙන්නත්, සිවුර අත්හැර යන්නත් හිතෙන්න පටන් ගත්තා. ඒත් නැවතත් ගෙදර යන්න ඔහුට බය හිතෙනවා. දවසක් හිත දැඩි කරගෙන මෙහෙම හිතුවා.

‘මම හිස රැවුල් කපන්නේ නැති නිසා, ඒ වගේම සිවුරු පිරිකර අපිළිවෙළකට තියන නිසා, මට එහෙම හිතෙනවා වෙන්න පුළුවන්. හෙට මගේ හිස රැවුල් කපනවා. පාත්‍රය සිවුරු පිළිවෙළකට තබනවා’යි හිතලා පසුදා උදෙන් ම අවදි වුණා. රාති‍්‍රයේ හිතපු විදිහට ම සිවුරු සෝදා වැලට දැම්මා. පාත්‍රය පිරිසුදු කර පිළිවෙළකට තැබුවා. කුටිය ලස්සනට පිළිවෙළකට සකසා ගත්තා.

හිත සංවර කර ගන්න මේ භික්ෂුවට ලොකු වුවමනාවක් තියනවා. එය යටපත් කරමින් සිවුරු හැර යන්නටත් සිතිවිලි පහළ වෙනවා. කටයුතු අවසන් කර උපාධ්‍යායන් වහන්සේ වෙත ගිහින් තෙරුන් වහන්සේට වන්දනා කළා. ඔහුගේ මුහුණේ පෙර තිබුණු ශාන්ත බව, සසුනට ඇති කැමැත්ත ආදිය නැතිවෙලා ගිහින්. බොහෝ දුකට පත් ස්වභාවයක් තමයි දැක ගන්න පුළුවන් වුණේ.

ගුරුවරයා ඔහු දුටු විගස එය දැනගෙන ‘තිස්ස, ඔබ කළකිරීමට පත්වෙලා වගේ පේනවා”යි ප්‍රශ්න කළා.

එවිට තිස්ස තෙරණුවෝ ගුරුවරයා අමතමින් ‘එසේ ය, ගුරුදේවයන් වහන්ස, මම මේ ශාසනයේ කළකිරිලා ඉන්නේ. මට නිතරම ගෙදර මතක් වෙනවා. එය යටපත් කර ගන්න උත්සාහ ගත්තත් එය කර ගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ”යි පිළිතුරු දුන්නා. ඒ කතාව අහගෙන හිටිය ගුරුවරයා ‘හොඳයි, ඔබට ශාසනයේ පිළිවෙත් පුරන්නට අපහසු බවක් දැනෙනවා නම්, ඔබ පැවිද්දෙන් ඉවත් වෙලා යන්න. ඒත් යන්න ඉස්සෙල්ලා මට පොඩි උදව්වක් කරලා යන්න.

මං දැන් ගොඩාක් වයසයි. ඉස්සරහට මම ලෙඩ ඇඳටයි වැටෙන්නේ. ආරාමයේ එකම කුටියක්වත් නෑ පහසුකම් තියන. ඔබට පුළුවන් නම් මට හොඳ කුටියක් හදල දීලා යන්න’යි පවසා සිටියා.

තරුණ භික්ෂුන් වහන්සේට දැන් බොහොම සතුටුයි. ‘ගුරු දේවයන් වහන්සේ මට යන්න දුන්නා. උන්වහන්සේගේ ඉල්ලීම මම නොපමාව ඉටු කර දෙන්න ඕන’යි හිතලා

‘ස්වාමිනි, ගුරුදේවයන් වහන්ස, මම ඉතා කැමැත්තෙන් ම ඒ කටයුත්ත බාර ගන්නවා. ඉක්මනින්ම මම කුටියක් හදලා පූජා කරලා යන්නම්’ යි පිළිතුරු දුන්නා.

තරුණ තෙරුන් වහන්සේගේ පිළිතුර අසා සිටි ගුරු තෙරුන් වහන්සේ නැවතත් මෙහෙම කිව්වා. ‘මට බොහොම සතුටුයි, ඔබ වහන්සේ එම කාර්ය කර දෙන්න බාර ගත්ත එක ගැන. කුටියේ වැඩ ඉවර වුණහම ගෙදර යන්න තීරණය කළානේ. ගෙදර ගියහම බණ දහම් අධ්‍යයනය කරන්න ලැබෙන එකක් නෑ.

ඒ නිසා කුටියේ වැඩ කරන ගමන් පුළුවන් හැම වෙලාවක ම ධර්මය අධ්‍යයනය කරන්න. ඒක අත්හැර දාන්න එපා. ආහ්, තව දෙයක් කියන්න තියනවා. කමටහන් ගන්න එකත් අත්හරින්න එපා. ආරාමයේ ඉන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මොහොතක් හරි හිත සංවර කර ගත්තොත් ඒක වටිනවා. ඒවා මතක තියාගෙන කුටියේ වැඩ ටික කරල දෙන්න’යි උපදෙස් දුන්නා.

දැන් තරුණ භික්ෂුන් වහන්සේට තවත් සතුටුයි. ලොකු පී‍්‍රතියක් දැනෙන්න පටන් ගත්තා. ගුරු හිමියන්ගේ ඉල්ලීම ඉක්මනින්ම ඉටු කර දෙන්න තීරණය කළා. එදාම සිතුල්පව්ව කන්දට ගොඩවුණා. ලෙන් ගණනාවක් ම පරීක්ෂා කර බැලුවා. වයසට ගිය කෙනකුට වැඩ සිටීමට හැකි ලෙනක් තෝරා ගත්තා. එය වවුලන්ගෙන් හා වෙනත් සතුන්ගේ වාසයෙන් අපිරිසුදු වෙලා. කැලෑවට ගිහින් දර මිටි බැඳගෙනවිත් ලෙනට දමා ගිනි දැල්ලුවා. පසුව අළු සෝදා හැරියා. ගඩොල් ගෙනාවා. ගල්ලෙන වටේටම ගඩොල් අල්ලා බිත්ති බැන්දා. දොර, ජනෙල් තැබුවා. හුණු පිරියම් කළා. කුටිය සමීපයෙන් සක්මන් මළුවක් ද නිර්මාණය කළා. කුටියට අවශ්‍ය කරන ඇඳ, පුටු, මේස ආදියත් ගෙනත් තැබුවා. දැන් අංග සම්පූර්ණ කුටියක්. එය දකින කොට තරුණ භික්ෂුවට ලොකු සතුටක් දැනෙන්න පටන් ගත්තා. තමන් කරපු කාර්ය ගුරුහිමියන්ට කියනතෙක් හා පෙන්වනතෙක් ඉවසුමක් නෑ. වැඩ අවසන් වූ දිනම ගුරුහිමියන් හමුවට ගිහින්.

‘ස්වාමිනි, ඔබ වහන්සේට වැඩ සිටින්න ලස්සන කුටියක් මම සැකසුවා. එහි වැඩම කර වැඩ සිටින්න”යි ආරාධනා කළා.

ඒ අවස්ථාවේ ගුරු හිමියෝ ‘ආයුෂ්මත් තිස්ස, මම බොහොම සතුටුයි ඔබගේ අපමණ කැප කිරීම්වලට. මම ඒ කුටිය බාර ගන්නවා. එහි වැඩ සිටිමින් මගේ භාවනා කටයුතු ආදියත් මම කරනවා. මට ඔබ ගැන දැනෙන්නේ ලොකු සතුටක්. ඒ සතුට තවත් වැඩි වෙනවා මා මේ කියන කටයුත්ත ඔබ විසින් කරතොත්’යි පවසලා මෙහෙම කිව්වා.

“ආයුෂ්මත් තිස්ස, ඔබ දුක සේ තමයි මේ කුටිය කළේ. මම එය මගේ ඇස්වලින් ම දැක්කා. මම කැමතියි ඔබ එක දවසක් අලුත් කුටියේ වැඩ සිටිනවා දකින්න’යි පැවසුවා.

තිස්ස තෙරුන් වහන්සේට ගුරු හිමියන්ගේ ඉල්ලීම ඉවත දාන්න ක්‍රමයක් නැතිව ගියා.

“එසේ ය ස්වාමිනි, මම දවසක් එහි වැඩ වසන්නෙමි”යි පවසා පළමු රාති‍්‍රය ගත කරන්න ගියා.

කුටියේ වැඩ සිටින තිස්ස තෙරුන්ට පුදුම සතුටක් දැනෙන්න පටන් ගත්තා. ‘මම හදපු කුටිය හරිම ලස්සනයි. එහි පළමු රාති‍්‍රය ගත කරන්න ගුරුහිමියෝ අවසරත් ලබා දුන්නා. උන්වහන්සේගේ ගුණ පුදුමයි.’

යනාදි වශයෙන් කල්පනා කරමින් සතුටට පත් වෙන්න පටන් ගත්තා. තමාට ලැබෙන මේ සතුට කාම ලෝකයේ සතුට බවත්, නිවසට ගියත් මෙවැනි ම සතුටක් මිස නිරාමිස සතුටක් නො පැමිණෙන බවත් කල්පනා කර විදසුන් වඩන්න පටන් ගත්තා.

එදින පහන් වන විට තෙරුන් වහන්සේ අර්හත්භාවය ලබා ගැනීමට තරම් වීර්යවන්ත වුණා. ගුරුවරයාගේ සියුම් උපක්‍රම නිසා තරුණ භික්ෂුවක් සංසාර චක්‍රයෙන් ගලවා ගැනීමට සමත් වුණා.

සිත කළකිරීමට පත්වන පුද්ගලයින්ට නැවතත් නිවැරැදි මාර්ගය පෙන්වා දෙන්න නම් උපායශීලි ව බුද්ධිමත් විය යුතු බව මේ කතා පුවතින් අපට පෙන්වා දෙනවා. මේ කතා පුවත සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය අට්ඨ කතාවේ ඒකක නිපාතයේ දෙවැනි වර්ගයේ යි.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සදහම් සඟරා - Online