ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

අයං වස්සාන කාලො මේ වස් කාලයයි

මීරිගම, මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන් 
විහාරාධිපති 
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ 
අධිකරණ නායක ධුරන්ධර ත්‍රිපිටක විශාරද 

ශාස්ත්‍රපති මකුලෑවේ විමල නා හිමි

ක්‍රි.පූ. හය වන සියවසේදී බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමය මුල් කරගෙන තමන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භ කළහ. ඒ සඳහා පළමු වරට රහතන් වහන්සේලා හැට නමක් සහභාගි වූහ. ඒ සැට නමක් වන රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණේ” චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය අත්ථාය හිතාය දේව මනුස්සානං” යන උපදේශයයි. ඒ අනුව දෙදෙනකු එක මඟ නොයා තනි තනිව ගමන් කරන ලෙස උපදෙස් දී තමන් වහන්සේද උරුවෙල් දනව්ව බලා පිටත් වූහ. සැට නමක් වන රහතන් වහන්සේලාද නිස්සරණාධ්‍යාසයෙන් ධර්මදූත කාර්යයෙහි නිරත වූහ.
ඒ මහ රහතන් වහන්සේලා දැක්මෙන් ප්‍රසාදයට පත් බොහෝ දෙනා තමන් ද පැවිදි කර ගන්නා ලෙස ඒ ඒ රහතන් වහන්සේලාගෙන් අයැද සිටියහ. උන්වහන්සේලාද ඒ පැවිදි වනු කැමති පිරිස බුදුරජුන් වෙත කැඳවා ගෙන අවුත් පැවිදි කරවූහ. කාලයාගේ අවෑමෙන් එසේ පැවිදි කිරීමේ බලය ඒ ඒ භික්ෂූන් වෙතම පැවරිණි, තවත් කල් යාමෙන් පැවිදි වන්නවුන්ගේ සංඛ්‍යාව වැඩි විය. ඔවුහු අව්වැසි නො බලා ධර්ම චාරිකාවේ යෙදුණහ. මේ තත්ත්වය සමාජ ගත ප්‍රශ්නයක් බවට පත්වූයේ වස්සාන ඍතුවේදීය.

වස්සාන ඍතුව

වස්සාන ඍතුව නමින් සැලකෙන්නේ ඇසළ (ජූලි මස) පුර පසළොස්වක ගිය අවපස පෑළවිය දිනයේ පටන් නොවැම්බර් මාසයට යෙදෙන බිනර පසළොස්වක පෝය දක්වා කාලයයි. වැසි සමය, වස්සාන කාලය, වස්සාන ඍතුව යන නම් ද මේ සඳහා යොදා ගැනේ. බුද්ධ ශ්‍රාවකයන් වැස්සේ තෙමි තෙමී චාරිකාවේ යෙදෙනු දුටු මිනිස්සු ඒ ගැන දෝෂාරෝපණය කරන්නට වූහ. අලුතින් හටගන්නා තණකොළ පෑගීමෙන් ඒකේන්ද්‍රීය ප්‍රාණීන් විනාශ වීම, හා ක්ෂුද්‍ර ප්‍රාණින් විනාශ වීම යන කරුණු ඔවුන්ගේ විවේචනවලට පදනම් වී ඇත. විශේෂයෙන් එම විවේචන එල්ල වූයේ, “අහිංසා පරමො ධර්මඞ” යන ස්ථාවරයෙහි පිහිටි ජෛනාගමිකයන්ගෙනි. සමාජයෙන් පැන නැගෙන ඒ විවේචනයන් ගැන බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කළහ. ඒ වන විට උන්වහන්සේ වැඩ සිටියේ රජගහනුවර කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයේ ය. ගහකොළ වලට ප්‍රාණයක් ඇතැයි යන විශ්වාසය එවක භාරතීය ජනතාව තුළ මුල් බැසගෙන පැවතියකි. එම විශ්වාසයේ සත්‍යාසත්‍යතාව කෙසේ වෙතත් සමාජ සම්මතයට ගරු කිරීමක් වශයෙන් “අනුජානාමි භික්ඛවේ වස්සං උපගන්තුං” යන විනය ප්‍රඥප්තිය පනවා වදාළහ.
එම විනය ප්‍රඥප්තිය පැනවීම නිසා ඒ සම්බන්ධයෙන් සංඝ සමාජය තුළ ද” අලුත් වෙනසක් ඇතිවන විට විරෝධතා ඇති වෙතැ’යි යන්නට නිදසුන් පහළ වන්නට විය. ඒ විරෝධතාව ඇරඹුණේ “වස් විසිය යුත්තේ කවදාද? යන ප්‍රශ්නයෙනි,” අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං “ (මහණෙනි වස්සාන ඍතුවෙහි වස් එළඹීමට අනු දනිමි) ඊළඟ ප්‍රශ්නය වූයේ වස් එළඹීම් කොපමණද? යන්නයි “ද්වේමා භික්ඛවේ, වස්සූපනායිකා, පූරිමිකාච, පච්ඡිමිකාව, අපරජ්ජුගතාය, ආසාළ්හිය, පුරිමිකා උපගන්තබ්බා, මාසගතාය ආසාළ්හියා පච්ඡිමිකා උපගන්තබ්බා, ඉමා ඛො භික්ඛවේ ද්වේ වස්සුපනායිකාඞ (මහාවග්ගය)” මහණෙනි, පෙරවස් එළඹීමය. පසුවස් එළඹීමයි. වස් එළඹීම් දෙකක් ඇත. ඇසළ මස අව පෑළවිය දින පෙරවස් සමාදන් විය යුතුයි. නිකිණි මස අවපෑළවිය දින පසුවස් සමාදන් විය යුතුයි. මේ ඒ වස් එළඹීම් දෙකයි.
ඒ වස් සමාදන් වීම් ගැන ඡබ්බග්ගිය භික්ෂූන් තුළ එතරම් කැමැත්තක් නොවීය. කෙසේ වෙතත් ඒ අනුව වස් සමාදන් වූ ඡබ්බග්ගිය භික්ෂූහු වස් සමාදන් වූ පසු පුරුදු පරිදි චාරිකාවෙහි යෙදෙන්නට වූහ. එයද සමාජයේ විවේචනයට භාජනය විය. එවිට බුදුරජාණන් වහන්සේ” මහණෙනි” වස් වැසීමෙන් පසු චාරිකාවෙහි නොයා යුතුය. එසේ යන්නාට දුක්කටාපත්ති වන්නේය” යන ශික්ෂාපදය පැනවූහ. එසේ දුක්කටාපත්ති ශික්ෂාපදයක් පැනවු විට ජබ්බග්ගිය භික්ෂූන්ගේ තීරණය වූයේ වස් වසන්නේ නැතිව සිටීමටය. ඒ බව දැන් ගත් බුදුරජාණන් වහන්සේ වස් එළඹෙන්නේ නැතිව සිටීමෙන් දුක්කටාපත්තියක් වෙතැ’යි ශික්ෂාපදයක් පැනවූහ. ඉන්පසු ඡබ්බග්ගිය භික්ෂූන් තීරණය කළේ” වස් එළඹෙන දිනයේ ආවාසයේ නො සිට බැහැර යාමටය. ඒ නිමිති කරගෙන ද දුක්කටාපත්ති ශික්ෂාපදය පැන වූහ. එයින් පසු භික්ෂූහු නිහඬ වූහ. ජබ්බග්ගිය භික්ෂූන්ගේ විරෝධතාවන්ගේ අවසාන ප්‍රතිඵලය වූයේ වස්සුපනායික ශික්ෂාපදසය භික්ෂූ විනයෙහි අනිවාර්ය අංගයක් බවට පත්වීමය. උපසම්පදා භික්ෂුව පෙරවස් හෝ පසුවස් සමාදන් විය යුතුමය. යන සම්මතය සමාජය තුළ ද දැඩිව කාවැදින. එහෙත් භික්ෂුවක් වස් සමාදන් වීම යනු ගිරවා කූඩුවක හිරකරගෙන සිටීම වැනි ක්‍රියාවලියක් නොවේ’. භික්ෂු, භික්ෂුණී , සික්ඛමානා, සාමණේර, සාමණේරි, උපාසක, උපාසිකා, මව, පියා වැනි පිරිසගේ අවශ්‍යතාවකදී මෙන්ම ශාසනික විනය කර්ම, පින්කම් වැනි කටයුතුවලදී ආරාධනා ලැබ සත්තාහකරණියෙන් ගොස් සම්බන්ධ වීමට විනය නීතියෙන් කිසිදු අවහිරයක් නැත. එපමණක් නොව, වස් විසු තැන සිවුපාවුන්ගෙන්, සර්පයන්ගෙන් සොර සතුරන්ගෙන්, පේ‍්‍රතයන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, ආහාරපාන, නොලැබීමෙන් පීඩාකාරී බවක් ඇත්නම් වස් වැසූ තැන අතහැර ගියත් ඇවැතක් සිදු නොවේ’. එසේම උපස්ථායකයකු නැත්නම්, තමාගේ බ්‍රහ්මචර්ය ජීවිතයට අනතුරු ලක්ෂණ පෙනේ නම් යම් යම් අයගේ ක්‍රියාකලාපයන් නිසා සංඝ භේදයක් ඇති විය හැකි පෙර ලකුණු පෙනේ නම්, වස් විසූ තැන අතහැර යාමේ කිසිදු බාධාවක් නැත. එසේ කිරීමෙන් ඇවැතක් සිදුවන්නේ ද නැත.

ලක්දිව පළමු වස් විසීම මිහින්තලේ

ක්‍රි.පූ. හය වන සියවසේ දී එවක භාරතයේ පැවති දේශගුණික ලක්ෂණවලට අනුව ආරම්භ කෙරුණු වස්සාන ඍතුවේදී උපසම්පදා භික්ෂූන් වස් විසීමේ චාරිත්‍රය අදත් භික්ෂු සමාජයේ නොකඩවා පැවැත්වෙයි. ක්‍රි.පූ. 3 වන ශත වර්ෂයේදී ධර්මාශෝක රජතුමා විසින් ආරම්භ කරන ලද විදේශ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළ අනුව සිරිලකට වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ නිසා එය මෙරටේ ද ව්‍යාප්ත විය. උන්වහන්සේ ඇතුළු ධර්මදූත පිරිස අනුරාධපුරයේ දී “දෙවනපෑතිස් රජතුමා ඇතුළු පිරිසට දහම් දෙසමින් සිට, මහමෙව්නාව ද පිළිගෙන, මිහින්තලාවට යළි වැඩම කළහ. එසේ වැඩම කළේ ආපසු දඹදිව බලා පිටත්ව යාමට දැයි සැක කළ දෙවනපෑතිස් රජතුමා සපිරිවරව හදිසියේ මිස්සක පව්වට පැමිණ මිහිඳු මාහිමියන් මුණගැසී තොරතුරු විචාළේය. ඒ පුවත විනයට්ඨ කථාවේ සඳහන් වෙයි. එහි දැක්වෙන පරිදි අරිට්ඨ ඇමැති ප්‍රමුඛ පිරිස පැවිදිව රහත් වූ පසු දෙවනපෑතිස් රජතුමා කණ්ටකසෑය වටා ලෙන් තනවා මිහිඳු හිමියන් ප්‍රමුඛ භික්ෂූන්ට වස් විසීමට අවශ්‍ය පහසුකම් සැලසූ බවත් සඳහන් වේ.
මෙසේ ප්‍රථමවරට මිහිඳු මාහිමියන් ප්‍රමුඛ රහතන් වහන්සේලා මිහින්තලේ කණ්ටක සෑය වටා ගල්ලෙන්වල පළමු කොට වස් වැසීමෙන් ක්‍රි.පූ. තුන්වන සියවසේ දී ශි‍්‍ර ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ වස් විසීම ආරම්භ විය. ඒ ඓතිහාසික සිද්ධියේ කැපකරු දායකයා වස් ආරාධකයා වූයේ දෙවනපෑතිස් රජතුමාය. රාජ්‍ය අනුග්‍රහයෙන් ආරම්භ කැරුණු ඒ උදාර වැඩ පිළිවෙළ පශ්චාත් කාලීන සිංහල බෞද්ධ රජවරුන් මහත් ශ්‍රද්ධාවෙන් අඛණ්ඩව ඉටු කළ බව වංශ කථාවන්හි දැක්වෙයි. එහෙත් ශ්‍රී ලංකාව විදේශ ආක්‍රමණිකයන්ගේ යටත් විජිතයක් වීමෙන් පසු රාජ්‍ය අනුග්‍රහය නැති විය. එසේ වුවත් ශ්‍රී ලාංකික භික්ෂූහු අනුන්ගේ සහායක් නොපතා වස් වැසීමේ චාරිත්‍රය රැකගත්හ. ඒ සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගෙන වස්සාවාසිකය සපයාගෙන වස්තුන් මාසය ගත කළහ. එබඳු භික්ෂූන්ට සැදැහැවත් උපාසක – උපාසිකාවෝ හැකි පමණින් සිව්පසය සපයා දුන්හ. එසේ කරන ලද්දේ වස් වසන භික්ෂුවකට සිවුපසය පිළිගැන්වීමෙන් තමන්ට පින් රැස්කර ගත හැකිවීමත්, උන් වහන්සේලා ඇසුරින් වස් කාලය තුළ ධර්ම ඥානය දියුණු කර ගත හැකි වීමත්, කඨින චීවර පූජාවෙන් ලැබෙන උදාර ආනිශංසත් සැලකිල්ලට ගැනීමෙනි.
දායකයන්ගේ යුතුකම්
1.වැසි සළු පිළිගැන්වීම 
2.භික්ෂූන්ට සිව්පසය සැපයීම 
3.සුදුසු ස්ථානයක් පිළියෙළ කර භාරදීම 
4. වස් කාලයෙහි වෙනදාට වඩා දායක පිරිස ද ප්‍රතිපත්තියට නැඹුරුවීම 
5. වස් පවාරණයෙන් පසු කඨින චීවර පූජාව සිදුකරගෙන අටමහ කුසල් වල පළමු පින්කම සිදුකර ගැනීමට උත්සාහවත් වීම.

භික්ෂූන්ගේ වගකීම
1.වස් විසීමට පෙරදින සීමාවකදී පොහෝ පැවැරුණූ විනය කර්මය සිදුකර ගැනීම
2. ඇසළ අව පෑලවිය දින වන විට සුදුසු ස්ථානයක් තෝරාගෙන, එම ආරාමය පිරිසුදු කරගෙන සන්ධ්‍යා භාගයේ මල් පහන් පූජා කර, පිරිත් දේශනා කර දෙවියන්ට පින් දී “ඉමස්මිං විහාරේ ඉමං තෙමාසං වස්සං උපෙමි – ඉධ වස්සං උපෙමි” තුන් වරක් කියා වස් සමාදන්වීම
3.වස්සික සාටකය (වැසි සළුව) අධිෂ්ඨාන කර ගැනීම
(ඉමං වස්සික සාටකං චතුමාසං අධිටඨාමි’ යි තෙවරක් කියා අධීෂ්ඨාන කිරීම)
4.වස්කාලයේදී අනෙක් කාලවලටත් වඩා සිහියෙන් යුතුව තමාගේ පැවිදි ජීවිතය නිකැලැල්ව ආරක්ෂා කර ගැනීම.
මෙසේ ගිහි පැවිදි දෙපාර්ශ්යම ඉතාම උනන්දුවෙන් වස් කාලය තුළ කටයුතු කිරීමෙන් ප්‍රතිවේධය සඳහා මගපාදාගත හැක. පැරණි භික්ෂූ භික්ෂුණී චරිත හා ගිහි උපාසක උපාසිකාවන්ගේ චරිත කථා කියවීමෙන් වස් කාලය තුළ විමුක්තිය සළසා ගත් ආකාරය මැනවින් වටහා ගත හැක.
සියලු දෙනාම වස් කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට උනන්දුවෙත්වා!

ජීවිතය අවබෝධකර ගනිමු

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 

ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

සම්මුති ලෝකය තුළ මොනතරම් 'මම' 'මගේ' කියා පැවැත්වූවත්, පරම සත්‍යයට අනුව මේ 'මම' කියන 'මගේ' කියන ශරීරයවත් මට අයිති නැති බව පැහැදිලිවන විට, මේ දඩබ්බර වූ අසංවර වූ සිත හික්මෙන්නට පටන් ගන්නවා. කිසිවක් මට අයිති නැති නම්, සදාකාලික නොවේ නම් මම කායික, වාචසික අසංවරයෙන් බැහැරව කායික වාචසික සංවරයෙන් යුක්තව දැඩි වූ ආශාවන්ගෙන් බැහැරව, ඒ වගේ ම දෝමනස්ස, තරහව, වෛරය, පළිගැනීම ආදී පටිඝයන්ගෙන් බැහැරව මේ ජීවිතය පැවැත්විය යුතුයි කියන තැනට සිත සංසුන්වෙන බව හික්මෙන බව ඉතාම පැහැදිලියි.
දඩබ්බර වූ දැඩි ආශාවන්ගෙන් හෝ අතෘප්තිකර ආශාවන්ගෙන් පිරිපුන් වූ එමෙන් ම ඉක්මනින් කේන්ති ගන්න, වෛරයෙන්, ක්‍රෝධයෙන් යුතු පුද්ගලයන්ගේ චරිත ගැන ඔබ නුවණින් විමසා බලන්න.ඔවුන්ගේ වදන් මේ වගෙයි, මෙය ධර්මානුකූලව තේරුම් ගැනීමට ඉදිරිපත් කරන අදහසක් පමණක්මයි. එනම් හොඳින් බැරිනම් නරකින්, ධර්මයෙන් බැරිනම් අධර්මයෙන් හරි මගේ කුස පිරේ නම්, මගේ ඉන්ද්‍රියන් සතුටු වේ නම් මම ඕනම දෙයක් කරන්න සූදානම් යැයි පවසන පිරිස් දුලබ නොවන බව ඔබටත් පැහැදිලි ඇති යැයි කල්පනා කරනවා.
ඉන් අදහස් කරන්නෙ, පරම සත්‍ය පිළිබඳව අවබෝධයක් නැති මේ අඥාන පුද්ගලයන් තමාටවත් අයිතියක්, පාලනයක් නැති ශරීරය ආත්ම දෘෂ්ටිය හෙවත් සක්කාය දෘෂ්ටියෙන් යුක්තව මමය, මාගේ ය, මම වෙමි යැයි සිතින් දැඩිව අල්ලාගෙන එනම් උපාධානය කරගෙන තමන්ටත් අනුන්ටත් දුක් විපත් ගෙන දෙමින් තමාගේ ම මෙලොවත් පරලොවත් පිරිහෙන ආකාරයට කටයුතු කරන බව නොවේ ද?
තමාගේ සීලය තමාගේ වයස, තමාගේ ස්වභාවය එනම් භික්ෂුවක්, විවාහක අයෙක්, දෙමාපියෝ, දරුවෝ, මෙවැනි තනතුරක් දරණ අයෙක් වශයෙක් නිතර සිහියේ පවත්වාගෙන කටයුතු කිරීම තුළ යම් අරමුණක් නිසා සිතට තද ඇලීමක්, ගැටීමක් පැමිනුණත් තමාගේ ස්වභාවය එනම් සප්පාය සම්පජඤ්ඤය නිසා එම බලවත් වූ ආශාව හෝ ගැටීම සංසිඳී සිතෙහි හික්මීමක් සංවර බවක් සමාධියක් සේ සංසුන් බවක් ඇතිවෙන්නට පුළුවනි.අප බොහෝ කෙනෙක් අපගේ ස්වභාවය තේරුම් අරගෙන ඇසට රුව, කණට ශබ්ද ආදී වශයෙන් බාහිරව හිතට එන ආරම්මනයන් පාලනය කරගෙන සංසිඳුවාගෙන කටයුතු කරනවා නොවේ දැයි ඔබම සිතා බලන්න. එම සිහිය, එනම් තමා කවුරුන් ද, තමාගේ ස්වභාවය කුමක් දැයි සිහිපත් කරන්නට නොහැකි ආතතිය පවතින හැම වෙලාවකම සිත අසංවර වීමෙන්, එම නිසා ම මුවෙන් පිටවෙන වචන හා කයින් සිදු කරන ක්‍රියාවන්ගෙන් තමා මොනතරම් විපත් තමාට ම කරගන්නවා දැයි ඉතාම පැහැදිලියි. වර්තමාන සමාජය දෙස බැලීමේදීත් ඔබට මේ බව ඉතාම පැහැදිලි වෙනවා නොවේ ද?
කුසලය, අකුසලය මැනවින් දැන කුසල් මාර්ගයට සිත, කය, වචනය යොමු කිරීම. සාර්ථක සම්පජඤ්ඤය නම් වේ. ගෝචර සම්පජඤ්ඤය නම් ඉදිරියට ගමන් කිරීම පිටුපසට ගමන් කිරීම ආදී සෑම ඉරියව්වක ම එමෙන් ම වැසිකිළිය, කැසිකිළිය පරිහරණය කිරීමේ දී පවා, ඇඳුම් පැළඳුම් පරිහරණයේ දී පවා මනාව සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීමයි. අවසානයේ සම්මුතිය පරමාර්ථය මැනවින් තේරුම් අරගෙන කටයුතු කිරීමයි. පැවැත්ම තුළ මම, මගේ යැයි පැවසුවත්, කටයුතු කළත් පරමාර්ථ වශයෙන් සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයට යටත් කොට දැකීමේ හැකියාවක් ඇති කර ගැනීමයි. අසංමූල්හ සම්පජඤ්ඤය නම් වේ.
තමාගේ ස්වභාවය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමත්, සම්මුතිය හා පරමාර්ථය පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමත්, හික්මීමට සීලයට සංවරයට, ශික්ෂණයට හේතුවන යහපත් වූ උපකාරක ධර්ම බවට පත්වෙනවා. මෙම හික්මීම සුපසන් ජීවිතයකට මොනතරම් වටිනවා දැයි දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති. දුර්ලභව ලැබූ මේ උතුම් මනුෂ්‍ය ජීවිතය මොනතරම් කල්පනාකාරීව හෙවත් සිහිය පවත්වාගෙන ගත කළ යුතු දැයි භාග්‍යවතුන් වහන්සේ නැවත නැවතත් අපට පෙන්වා වදාරනවා.
සංයුක්ත නිකායේ අනවතග්ග සංයුක්තයේ දී භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැහැදිලි කරනවා. ‘මහණෙනි, එනමුත් භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා නම් වූ සිවු පිරිසටමයි මේ ආරාධනා කරන්නේ, මේ සසර කෙළවරක් නැතිය. එනම් අනවරාග්‍රයයි. ආරම්භයක් හෙවත් පූර්වාන්තයක් නොපෙනේ. එවන් වූ සසර ගමනේ දී අවිද්‍යාවට හසු වී එනම් අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මය තේරුම් ගන්නට බැරිව, මමය, මාගේ ය, මගේ ආත්මය එනම් ස්ථිර යැයි සිතාගෙන කටයුතු කිරීම නිසා තෘෂ්ණාව උපදවාගෙන ප්‍රාණඝාත ආදී අකුසල් ධර්ම සිදු කරමින් සසරට බැඳී නුඹලා හඬාගෙන, දුවගෙන ගිය බව ගමන් කළ බව ද හැසිරුණ බව ද පැහැදිලියි. දීර්ඝ කාලයක් පුරා නුඹලා සෑම කෙනෙක් ම මේ සංසාර ගමනෙහි දුක්විඳ ඇත.’ අපි ලැබූ මනුෂ්‍ය ජීවිතය හික්මවා ගන්න, මොනතරම් යහපත් වූ ධර්ම අවවාදක් දැයි මෙතන පැහැදිලියි.
මේ කෙළවරක් දකින්නට නැති දීර්ඝ සංසාර ගමනෙහි අපි හැම කෙනෙක් ම හොඳ – නරක තේරුම් ගන්නට බැරි ව තමන්ගේ ශරීරයේ පටන් බාහිර වස්තු සෑම දෙයක් ම එනම්, ස්වාමියා බිරිඳ, දෙමාපියෝ, දරුවෝ, ගේ දොර, ධන ධාන්‍ය, වතු පිටි, සෑම දෙයක් ම හටගත්ත වගේ ම වෙනස්වෙලා නැතිවෙලා යනවා. මෙන්න මේ බව තේරුම් ගන්න බැරි වුණා ම ඒවා කෙරෙහි දැඩි ආශාවෙන් අපි බැඳෙනවා. බැඳුණු දේවල් ලබාගන්න බැරි වූ විට තරහ ගන්නවා. පස් පව් දස අකුසල් කරනවා.අපි බැඳුණු දේවල් ලබා ගත්ත නම් ඒ ලැබූ දේවල් වෙනස් වෙලා යන විට හඬනවා. වැළපෙනවා. තවත් විදිහකින් ලැබූ දේවල් අත්හැරෙයි ද? තවත් කෙනෙක් උදුරා ගනී ද කියල සැකයෙන්, බියෙන්, ත්‍රාසයෙන් යුක්තව කාලය ගත කරනවා. ඒ වගේ ම ලබාගත්ත දේවල් එහි ඇති අනිත්‍ය ස්වභාවය අනුව වෙනස්වෙලා දිරාගෙන යන විට හඬනවා, වැළපෙනවා. නැවතත් දුක්වෙනවා.
තවත් ආකාරයකින් බැලුවොත් ලබාගත්ත දේ කෙරෙහි මේ අතෘප්තිකර සිත තෘප්තියට පත් නොවී දැන් ඒක එපා ඒක ඇති මට අලුත් දෙයක් අවශ්‍යයයි. පවසමින් ලැබූ දේ පැත්තකට දමා හොඳ – නරක, පින – පව අමතක කොට අලුත් දේවල් ඇසෙන් දෙන්නත්, අලුත් හඬක් කණින් දෙන්නත්, අලුත් ආග්‍රහණ නාසයෙන් ලබන්නත්, අලුත් රසයන් දිවට දෙන්නත්, අලුත් ස්පර්ශයන් ශරීරයෙන් ලබන්නත්, අලුත් සිතිවිලි සිතන්නටත් පටන් ගන්නවා. අසංවර සිතක ආරම්භයත්, අසංවර චරිතයක වචන හා ඇවතුම් පැවතුම් සකස් වෙන්නෙත් මෙන්න මෙතැනයි.මෙලොව ජීවිතය අසංවර, නොහැදුණු සමාජයට අහිතවත් විනාශකාරී පුද්ගලයෙක් බිහිවෙනවා පමණක් නොවෙයි තවත් වචනයකින් සඳහන් කළොත් පව්කාරයෙක්, පව්කාරියක්, පාපී මනුෂ්‍යයෙක් සකස් වෙනවා. ඒ වගේ ම මේ පුද්ගලයා මරණින් මතුව දුගතියක ඉපදීමට අවස්ථාව සලසා ගන්නවා. මේ නිසයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ, අවිද්‍යාවට අසුවෙලා අනිත්‍ය, දුක්ඛ, අනත්ත ත්‍රිලක්ෂණ ධර්මය තේරුම් ගැනීමට නොහැකිව පස් පව් දස අකුසල් කරමින්, තෘෂ්ණාවෙන් සසරට බැඳී හඩාගෙන, දුවගෙන ගමන් කරමින් යන බව.
‘තිබ්බං පච්චනු භූතං’ තියුණු ලෙස සතර අපායේ ඉපදී දුක්වින්ද ‘ව්‍යසං පච්චනු භූතං’ මහත් සේ ව්‍යසනයන්ට හසු වී තිබෙනවා. සරල අදහසක් දැක්වුවොත් වර්තමානයට අනුව එළුවන්, ගවයන්, කුකුළන්, මාළුවන් වැනි සතුන් නිරන්තරයෙන් ම මනුෂ්‍යයන්ගේ ග්‍රහනයන්ට හසු වී මරණයට පත්වෙන බව පැහැදිලියි. ඒ වගේ ම කෘමිනාශක ද්‍රව්‍ය නිසා මැසි, මදුරු වැනි අප්‍රමාණ සත්ව කොට්ඨාස නිරතුරුව ම විනාශයට පත්වෙනවා. මේ සංසාර ගමනෙ අපි සෑම කෙනෙක් ම අවිද්‍යාවට හසු වී තෘෂ්ණාව නිසා සසර ගමනට බැඳී සතර අපායේ ඉපදී දුක්විඳි දුක් ප්‍රමාණයත් අන්න ඒ වගේ අප්‍රමාණයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, නුඹලා සෑම කෙනෙක් ම අතීත සංසාර ගමනෙ වැඩිපුරම ඉපදී තිබෙන්නේ සතර අපායේ බවයි. මේ දහම් පෙළ මෙනෙහි කරන්න පුළුවනි නම්, අපේ සිත තුළ ස්වභාවයෙන් හට ගන්නට පුළුවන් දැඩි වූ ආශාව, රාගය, රතිය, කාමය, ලෝභය, විෂම ලෝභය ආදී කෙලෙස් සංසිදුවාගෙන, පටිඝය නම් වූ දෝමනස්ස නම් වූ තරහව, උපක්ලේෂයන් නම් වූ වෛරය, කේන්තිය, පළිගැනීම, බද්ධ වෛරය, අනුන් පහත් කොට සැලකීම, අනුන්ගේ ඇති ගුණ වසා නැති ගුණ මතුකොට දැක්වීම ආදී මේ උපක්ලේෂයන් හැකිතාක්දුරට සංසිදුවාගෙන හික්මුණු යහපත් වූ සිතක් ඇති කර ගන්නට හැකියාවක් තිබෙනවා නොවේද? තමාට ම තමා සංසිඳුණු මනුෂ්‍යයෙක් කියා දැන්නේ එවිට නොවේ ද?

උපන් අකුසලය ප්‍රහාණය කළ යුත්තේ කෙසේද?

ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
කුකුල්පනේ සුදස්සී හිමි

බුදුදහමේදී අකුසල් ප්‍රහාණය සඳහා ක්‍රම දෙකක් දක්වනවා. එහිදී සතර සම්‍යක් ප්‍රධානයන්හි එක් කොටසක් ලෙසයි මේ උපන් අකුසල් ප්‍රහාණය දක්වා තිබෙන්නේ. මෙහිදී අකුසල් ප්‍රහාණය සඳහා බුදුරජාණන් වහන්සේ ක්‍රම දෙකක් අපට කියා දී තිබෙනවා. ඒ සමථය හා විදර්ශනා ක්‍රමයයි. භාවනාවේදීත් අපට කළයුතු ක්‍රම දෙකක් තිබෙනවා. ඒ අකුසල් දුරු කිරීම හා කුසල් වැඩීමයි. අකුසල් දුරු කිරීම හා කුසල් වැඩීමට මේ සමථ විදර්ශනා ක්‍රම දෙකම බුදුදහමේදී නිර්දේශ වෙනවා.
මෙහිදී අකුසල් ප්‍රහාණයට සමථ ක්‍රමය උදව් වෙන්නේ සමාධිය මුල්කරගෙන. යම්කිසි සමාධි භාවනාවක් තමන් ප්‍රගුණ කර තිබෙනවානම් ඒක උදව් කරගෙන අකුසලය ප්‍රහාණය කරන්න පුළුවන්. අප සිතමු තමන්ට යම් ද්වේශ සිතක් මතුවෙනවා. එසේ ද්වේෂශ ඇතිවෙලා ලෝභය මතුවෙලා තමන්ට යම් අවේගකාරි සිතක් මතුවෙලා එනවිට ඒ තැනැත්තාට පුළුවන්නම් කෝපය මතු වූ අරමුණ මෙනෙහි කරන්නේ නැතුව ඒ වෙනුවට මනැස සන්සුන් වන මෛත්‍රීයට හේතුවෙන යම් අරමුණක් මෙනෙහි කරන්න. එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඒ තැනැත්තා මෛත්‍රිය පුරුදු කර තිබුණොත් පමණයි. සමහර අය කෝපය ඇති වූ පුද්ගලයාටම මෛත්‍රී කරන්න උත්සාහ කරනවා. එහෙම උත්සාහ කිරීම එතරම් සාර්ථක නොවන්නේ කෝපය මතු වූ පුද්ගලයා පිළිබඳව මොන තත්ත්වයකින් මෛත්‍රිය වැඩුවත් ඒ පුද්ගලයා කෙරෙහි කෝපයම මතුවෙන්න පුළුවන් නිසා. මේවා කාලයක් තිස්සේ පුරුදු කළ විට තමයි එහි සාර්ථක ප්‍රථිඵල ලබාගත හැකි වෙන්නේ.
"ආඝාත පටිවිනය "සූත්‍රයේදී සැරියුත් මහරහතන් වහන්සේ වදාළා යම් කෙනෙක් කෙරෙහි කෝපයක් ඇතිවුනාම ඒ තැනැත්තාගේ ගුණයක් සිහි කරන්න කියලා. කෝපය කියන්නේ අප අකැමැති සිද්ධියක් හෝ පුද්ගලයෙක් පිළිබඳව අපේ සිතේ ගැටීමයි. ඒක ගැන මතක්වන වාරයක් පාසා අපේ මනැස ගැටෙනවා. ඒ පුද්ගලයා තුළම අප පි‍්‍රයකරන, අප අගේ කරන, අප හොඳයි කියා අනුමත කරන යම්කිසි ගුණ තිබෙනවානම් දුර්ගුණය හිතනවා වෙනුවට ඒ හොඳ ගුණය ගැන හිතන්න කියනවා. එහෙම හිතන්න පටන් ගත්තට පස්සේ අකුසලය දුරු කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඔබත් එය ප්‍රායෝගිකව කර බලන්න. ඒ ගුණය ගැන හිතා සිත පහදවා ගැනීමට අපට පුළුවන්නම් එය සාර්ථකයි. කෝපය මතුවූ විට මෙත්සිත ඉදිරියට ගන්න පුළුවන් වෙන්නේ කලින් මෙත්තා භාවනාව හුරු පුරුදු කළ අයෙකුට පමණයි. එයටයි සමථ ක්‍රමය කියන්නේ. හැබැයි එහෙම කරන විට ඒ පුද්ගලයාට සමාධිය තමා මූලික වශයෙන් ප්‍රධාන වෙන්නේ. භාවනාව තුළින් ඔහු ඇතිකරගෙන තිබෙන ඒකග්‍රතාවය තුළින් ඒ අකුසලය යට කරන්න උදව් වෙනවා. නමුත් මේ හැම දෙයකම මූලික වෙන්නේ සිහිය යි. තමාගේ සන්තානයේ අකුසල මූලයක් ඇතිවෙලා තිබෙනවා කියලා දැනෙන්නේ නැත්නම් වැටහෙන්නේ නැත්නම් ඔහුට එය කරන්න බැහැ. අප හිතමු අපි නිකං ඉන්න වෙලාවට හිතනවා මෙත් සිත වැඩීම හොඳයි එය ක්‍රෝධය දුරු කරන්න හේතුවෙනවා කියලා. හැබැයි කෝපය මතුවූ වෙලාවට එය ප්‍රහාණය කරන්න දන්නේ නැහැ. එහෙම වෙන්නේ සිහිය පුරුදු කරලා නැති නිසා.
බුදුරජාණන් වහන්සේ වදාළා සියලුම භාවනා වලට සතිපට්ඨානය මූලිකයි කියා. සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවා ගැනීමයි. සිහිය කියන්නේ අරමුණක් අල්ලා ගන්නේ නැතිව, කිඳා බසින්නේ නැතිව, ඒ අරමුණේ කොටස්කරුවෙකු වෙන්නේ නැතුව, ඒ අරමුණ බලන්න පුළුවන් හැකියාව තමයි සම්මා සතිය. අපේ මනෝභාවය දෙස පිටින් සිට බලන කෙනෙකුට වගේ බලන්න පුළුවන්නම් එහි කොටස්කාරයෙක් වෙන්නේ නැතුව එතැනයි සිහිය පිහිටන්නේ. මුලදී එය දුෂ්කර වුවත් ඒක පුහුණුකර ගත්තට පස්සේ අනෙකාගේ වුවත්, තමන්ගේ වුවත් එය සිහියෙන් දකින්නට පුළුවන්. අද අප කරන්නේ ඒකේ අනෙක් පැත්ත. කෙනෙකුට තුවාලයක් හැදිලා දුක් විඳිනවිට අපත් ඒ දුක අපේ කරගෙන භුක්ති විඳිනවා. ලේ දැක්කාම තමන් සිහිනැතිව වැටෙනවා. එහෙම වෙන්නේ අනෙකාගේ පීඩාව උපකල්පනය කරමින් තමන් භුක්ති විඳීමයි. එය ඉතා දුර්වල තත්ත්වයක්.
ඊළඟට මේ සිහිය ටිකක් කල් දියුණුකර ගන්නා විට අනෙකා දෙස සිහියෙන් බලන්න පුළුවන්. නමුත් තමන් දෙස සිහියෙන් බලන්න බැහැ. තව කාලයක් පුහුණු කරද්දී අනෙකා දෙසත් තමන් දෙසත් සිහියෙන් බලන්න පුළුවන් වෙනවා. එහෙම වෙන්නේ ඒ අරමුණුවල එල්බගන්නේ නැතුව, ගිලෙන්නේ නැතිව, කොටස්කරුවෙකු වෙන්නේ නැතුව අපට එළියේ සිට බලන්න පුළුවන් වීමයි. සමථ හෝ විදර්ශනා ලෙස අප දියුණු කලත් සමාධියෙන් හෝ ප්‍රඥාවෙන් අකුසල ධර්මයන් අප යටපත් කළත්, සිහිය මූලික වෙනවා. එහෙමනම් සියලුම අකුසල ක්‍රම උපායන් සතිය මුල්කොටගෙනයි පවතින්නේ. සියලුම කුසල් අරමුණක් සතිපට්ඨානය මුල්කරගෙනයි පවතින්නේ. ඒ නිසා සිය මූලික කොටගෙන යම් සමාධි භාවනාවක් පුහුණු කරලා තිබෙන කෙනෙකුට ආවේගය මතුවෙනවිට ඒක සමනය කරගන්න පුළුවන් වෙනවා. රාගය හෝ දැඩි තෘෂ්නාව ආදී මනෝභාවයක් මතුවෙන විට එය ප්‍රහාණය කරන්න කල්ඇතුව පුහුණු කරලා තිබෙනවානම් එය යොදාගන්න පුළුවන්. පුහුණු නොකරපු කෙනෙක් රාගය ප්‍රහාණය කරන්න පිළිකුල් සිහිකළොත් අසාර්ථක වෙන්න පුළුවන්. පංචස්කන්ධය මුල්කරගෙනම රාග සිත මතුවෙන්න පුළුවන්. කාලයක් තිස්සේ මනැස සන්සුන් වෙලාවක අසුභ භාවනාව කරලා පුරුදු කරලා තිබෙන කෙනා රාග සිත මතු වෙනවිට අසුභය සිහි කරලා සරාගි අරමුණ යටපත් කරගන්න පුළුවන්. රාග, ද්වේශ විතරක් නොවේ මෝහය පදනම් කරගෙනත් ඇතිවෙන විවිධ අකුසල ධර්මයන් ප්‍රහානය කරන්න අපට සමථ භාවනාව උදව් වෙනවා. රාග, ද්වේශ ගැන කථාකරනවිට අසුභය හා මෛත්‍රීය මූලික වෙනවා. බුද්ධානුස්සති, චාගානුස්සති, මූදිතාව, කරුණාව ආදි හැම භාවනාවක්ම උදව්කර කරගන්න පුළුවන්. අප මේ කථාකළේ සමථයක් ලෙස අකුසලය මැඩපවත්වන ආකාරය. ඔබ මතක තබාගත යුතුයි මෙහිදී අකුසලය අහෝසි වීමක් හෝ ප්‍රහාණය වීමක් නොවේ සිදුවෙන්නේ අකුසලය මතුනොවී තිබීම පමණයි.
යම්ිකිසි ආරම්මනයක් අල්ලාගෙනයි හොඳ නරක අප තුළින් ජනිත වෙන්නේ. යම් අරමුණක් පදනම් කරගෙන නැවත නැවත අකුසල් සිත හට ගන්නවානම් ඒ අරමුණ වෙනුවට වෙනත් අරමුණක් ගැන සිතන්න පටන් ගත්තට පස්සේ යහපත් අරමුණක් නිසා අකුසල් සිතිවිලි මතුවෙන්න පුළුවන්කමක් නැහැ. හොඳ සිතිවිලි මතුවෙලා උපන්නා වූ අකුසලය දුරුවෙනවා. නමුත් ඇත්තටම එහිදී සිදුවෙන්නේ සමනය කිරීමක් හෝ යටපත් කිරීමක් පමණයි. ඒ නිසයි එයට සමථය කියා කියන්නේ.
හේතුඵල වශයෙන් ලෝකය ගැන කථා කරනවිට බුදුරජාණන් වහන්සේ වදාළ කුසල් හෝ අකුසල් හේතු ප්‍රත්‍යයන්. හේතු ප්‍රත්‍යයන් දෙකක් තිබෙනවා. හේතු හා ප්‍රත්‍යය. හේතු කියන්නේ මූලකාය. ප්‍රත්‍ය කියන්නේ ඒකට උදව්වන කාරණය. දැන් මේ සමනය තුළින් අකුසල් දුරු කිරීමේදී අප භාවිතා කරන්නේ හේතුව වෙනස් කිරීමට නොවේ, ප්‍රත්‍ය වෙනස් කිරීමයි. ප්‍රත්‍ය වෙනස් කිරීම තුළින් හේතුව වෙනස් කරන්න යම් බලපෑමක් වෙනවා.
යම් කෙනෙක් වැරැද්දක් කළා. ඒ පුද්ගලයා ගැන හෝ ඒ වැරැද්ද ගැන අප හිත හිතා ඉන්නේ නැතුව ඒ පුද්ගලයාගේ හොඳ ගුණයක් සිහි කරනවා. නැත්නම් බුදුගුණයන්, දහම්- ගුණයන්,සඟ ගුණයක් සිහි කරනවා. දැන් අප කරලා තිබෙන්නේ අරමුණ වෙනස් කිරීමයි. හැබැයි හේතුව වෙන්නේ යම් කුසලයකට හෝ අකුසලයන්ට ප්‍රධාන වෙන්නේ තමාගේ මනෝභාවයයි.
අපේ මනෝභාවය පිරිසුදුනම් පමණයි හටගත් ක්ලේෂය දුරු කරන්නට පුළුවන් වෙන්නේ. අනෙකාගේ දුර්ගුණය හිතනකොට කෝපය මතුවෙනවා. යහපත හිතනකොට සිත සංසිදෙනවා. නමුත් නැවතත් දුර්ගුණය හිතනකොට සිත කෝපයට පත්වෙනවා. ඒ නිසා අරමුණ වෙනස් කිරීමෙන් අකුසල් වෙනස් කිරීම සමනය කිරීම බොහෝම තාවකාලිකයි. නැවත අර අකුසලය ජනිත කරන්න පුළුවන් මනෝභාවය මතුවුණොත් නැවත වතාවක් කෙලෙස් මතුවෙන්න පුළුවන්. මනෝභාවය වෙනස් කරන්නනම් තමාගේ සන්තානයෙහි ක්ලේශයන් යටපත් කරන්න ඕන. සතිය මුල්කරගෙන ප්‍රඥාව එතැන යෙදෙන්න ඕන. ප්‍රඥාව අවධිවෙන්නේ නිකම්ම නොවේ. එයටත් ක්‍රමයක් ඕන. ඒ තමා සතිපට්ඨාන සූත්‍රයේදී චිත්තානුපස්සනා සතිපට්ඨානයේදී කියාදෙන උපන් අකුසල් ප්‍රහාණය කරන ආකාරය.

කෙලෙස් පිරි සිත නුවණින් දැකීම

මනෝභාවය වෙනස් කරන්න නම් තමාගේ සන්තානයෙහි ක්ලේශයන් යටපත් කරන්න ඕන. සතිය මුල් කරගෙන ප්‍රඥාව එතැන යෙදෙන්න ඕන. ප්‍රඥාව අවධිවෙන්නේ නිකම්ම නොවේ. එයටත් ක්‍රමයක් තිබෙනවා. ඒ තමා සතිපට්ඨාන සූත්‍රයේදී චිත්තානුපස්සනාවේ කියාදෙන උපන් අකුසල් ප්‍රහාණය කරන ආකාරය.
රාග සිතක් ඇති වූ විට සෘජුවම ඒ තුළ සිහිය පිහිටුවා ගෙන ඉන්න කියනවා ‘මට රාග සිතක් ඇතිවුණා’ කියා. එසේ කරනවිට හේතුවටයි සිත යොමු කරන්නේ. අරමුණට නොවේ. රාගය ඇතිවුණේ කාන්තාවක් නිසාද? පුරුෂයෙක් නිසාද? වෙන දර්ශනයක් නිසාද? ශ්‍රවණයක් නිසාද? පි‍්‍රය ආරම්මනය දෙස නොවේ දැන් බලන්නේ. සෘජුවම මනෝභාවය දෙස අවධානය යොමු කරනවා. එසේ අවධානය යොමුකරන විට අපට තේරෙනවා මේ රාග සිත හටගන්නා හැටි වර්ධනය වන හැටි, මොන ආකාරයට හිතනකොටද එය වර්ධනය වෙන්නේ, මොන ආකාරයට හිතනවිටද එය යටපත් වෙන්නේ කියා පෙනෙනවා. ඒ ක්‍රමය හඳුනාගත් විට මේ මේ හේතු නිසා රාග සිත වැඩෙනවා. මේ හේතුª නිසා රාග සිත සමනය වෙනවා, මෙහෙම හිතුවාම රාගය අවම වෙනවා කියා තේරුම් ගත්විට ඒ අවම වෙන පැත්තට අවධානය යොමු කරන්න පුළුවන්. ඒ නිසා කාලයක් එය ප්‍රගුණ කරන විට අපට සරාගී අරමුණු අතරේ වුණත් රාගය ඇති නො කරගෙන ඉන්න පුළුවන්. ද්වේෂ ඇති කරගන්නා අරමුණු අතරේ ද්වේෂය ඇතිකර ගන්නේ නැතිව ඉන්න පුළුවනි. ඒක තමා විදර්ශනාව. ඒ විදර්ශනා ක්‍රමයෙන් තමා සම්පූර්ණ වෙන්නේ.

අපේ මනෝභාවය තමා කුසලයක් හට ගන්නවාද? අකුසලයක් හට ගන්නවාද කියා තීරණය කරන්නේ. සමථයකදී කරන්නේ අරමුණ වෙනස් කරලා මනැස සන්සුන් කරනවා. යම්කිසි කෙනෙක් පිළිබඳව රාගය ඇතිවනවිට ඒක වෙනස් කරලා බුදුරජාණන් වහන්සේ සිහි කරනවා. එවිට රාගය යටපත්වෙලා බුදුගුණ තුළින් සිත සැනසෙනවා.
නමුත් ප්‍රඥාව මුල්කොට විදර්ශනාව වඩන විට එසේ හානි නොවී රාගි අරමුණු යට කරගන්න පුළුවන්. එයින් හැඟවෙන්නේ නැහැ සමථ ක්‍රමය ඕන නැහැ කියලා. සමහර අවස්ථාවකදී සමථය උදව් කරගන්න ඕන විදර්ශනාවට යනතෙක්. නමුත් විදර්ශනා ක්‍රමය පුහුණු කරගත් පසු අනෙක් අයට රාගය ඇතිවෙන අවස්ථාවලත් රාග සිතක් නැතුව ඒ පිරිස මැදම ඉන්න පුළුවන්කම තිබෙනවා. ද්වේෂය ඇතිවෙන හේතු තිබෙන තැන්වල ද්වේෂය ඇති නොකරගෙන ඉන්න පුළුවන්.
දිනක් සිතුල්පව්වේ අට්ඨික සංඥාාව වැඩු එක් හිමිනමක් හිටියා. උන්වහන්සේ දීර්ඝ කාලයක් සමථයක් ලෙස අට්ඨික්ක සංඥා පුරුදු කළා. ඒ පුහුණුවත් සමඟ උන්වහන්සේ විදර්ශනාවද පුරුදුකර තිබුණා. දිනක් උන්වහන්සේ සිතුල්පව්වේ සිට අනුරාධපුරයට වැඩියා. තවත් කාන්තාවක් සැමියා සමඟ අමනාපවෙලා මාපියන්ගේ ගෙදර යනවා අනුරාධපුරයේ සිට සිතුල්පව්වට. මේ දෙදෙනා එක් හුදෙකලා මාර්ගයකදී මුණ ගැහෙනවා. මුණගැසුන විට මේ කාන්තාව බොහෝම සරාගි ලෙස දත් පෙන්වා අර හිමියන් සමඟ හිනාවුණා. ඒ හිනා හඬ ඇසී ඒ භික්ෂුව හිස ඔසවා අර කාන්තාව දෙස බැලුවා. එවිට උන්වහන්සේ දැක්කේ ඇයගේ දත් ටික. දීර්ඝ කාලයක් පුහුණු කළ අට්ඨික්ක සංඥාවත් සමඟ මනැස ඒකාග්‍රවුණා. ඒ තුළම උන්වහන්සේ විදර්ශනා වැඩුවා. විදර්ශනා තුළින් එතැනම අනාගාමි ඵලයට පත්වුණා. වෙන කෙනෙකුට නම් හුදකලා මාර්ගයක තරුණ කාන්තාවක් සරාගි ලෙස තමා දෙස බලා හිනාවුණාම රාගය ඇතිවෙන්න පුළුවන්. ඒ රාගය ඇතිවෙන්න පුළුවන් අවස්ථාවේ ඒ හිමියන්ට වීතරාගය ඇතිවුණා. කුමක් නිසාද? හරියටම මූලය හඳුනාගත්ත නිසා. යම් අකුසල ධර්මයක් තමාගේ මනසේ අවධිවන විට එය දකින්න පුළුවන්. මේ හිමියන්ද දීර්ඝ කාලයත් සමථය වඩා තිබුණා. ඒ ඔස්සේ තමා විදර්ශනාවට ගියේ.
ඒ වගේම සෘජුවම විදර්ශනා වැඩූ ස්වාමින් වහන්සේලාත් ඉන්නවා. දීර්ඝ කාලයක් මුළුල්ලේ එක් හිමිනමක් රාගයෙන් පීඩා විඳිනවා. උන්හන්සේ දීර්ඝ කාලයක්ම මනැස සන්සුන් කරන්නට උත්සාහ කළා. සිතේ කිසිම සන්සුන් බවක් ඇතිවුණේ නැහැ. එක් දිනක් උන්වහන්සේ කල්පනා කරනවා මෙහෙම මහණකම් කරලා මොකටද? රාග සිතකින් පීඩා විඳ විඳ මහණකම් කරන්නේ නැතුව එක්කෝ මම සිවුරු හැර යන්න ඕන. නැත්නම් ජීවිතය නැතිකර ගන්න ඕන. සිවුරු හැර යනවාට වඩා හොඳයි මහණ ජීවිතයේදීම ජීවිතය නැතිකර ගන්න එක. නමුත් ඉන් පස්සේත් නැවත ඉපදීමක් උරුමයි. නැවත සුගතියක උපදින්නනම් කුසල් අරමුණක් සිහිකර ගන්න ඕන. මට මොකක්ද සිහිකර ගන්න තිබෙන කුසලය කියලා තමාගේ ජීවිතය පිළිබඳව ආවර්ජනා කර බලද්දී දැනුනා මොනතරම් රාග සිතින් තමන් පීඩා වින්ඳත් තමා සමාදන් වූ සිල් බිඳී නැහැ. මනැස ව්‍යාකූලයි තමයි. නමුත් ශික්ෂාපද ආරක්ෂා වෙලා. කයින් වචනයෙන් ඒවා ක්‍රියාත්මක කරලා නැහැ. ඒ නිසා උන්වහන්සේට ලොකු සතුටක් දැනුනා තමාගේ සීලය ගැන. ඒ සීලය ගැන ඇති වූ සතුටත් එක්ක උන්වහන්සේ කල්පනා කරනවා එහෙනම් තව එක පාරක් මම උත්සාහ කර බලන්න ඕන මේ රාග සිත දුරු කරන්න කියලා උන්වහන්සේ සොහොන් පිටියකට ගිහිල්ලා හැබෑම මළකඳක් දෙස බලාගෙන අසුභ සංඥාව වඩන්න තීරණය කළා.
දිනක් මිනී අතහැර දැමු සොහොනකට ගියා. සොහොනේ තැන තැන මිනි දාලා සත්තු කාලා ඇටකටුද, මස් වැදිලිද, හිස් කබල්ද තැන තැන. වැස්ස වැහැලා ඒවා පොඟලා මුළු පරිසරයම දුඟදයි. මේ හිමියන් ඒ දුඟද පරිසරය දරාගෙන ටික ටික සොහොනේ මැදට ගියා. මැදට ගියාම උන්වහන්සේ දැක්කා එක මළකඳක් ඉදිමිලා කුණුවෙලා තනිකරම මළමිනිය වැහෙන්න පණුවෝ උතුරනවා. ස්ත්‍රියක්ද, පුරුෂයෙක්ද කියා සොයාගන්න බැරි තරමට වෙනස් වෙලා. උන්වහන්සේ කල්පනා කළා මෙම මළකඳ හොඳයි මට අසුභය වඩන්න කියා එතැනට වෙලා මේ කයත් මගේ කය වගේ තිබුණ එකක්. මේක අද කුණුවෙලා තිබෙන්නේ. මගේ කයත් යම් දිනෙක මේ ලෙසම කුණුවෙනවා නේද? කියා සංසන්දනය කරමින් අසුභ සංඥාව වඩමින් ඉන්නවිට එකපාරමට දැක්කා දිගැටි කෙස් රොදක් තිබෙනවා. දිගැටි කෙස් රොදක් තිබෙන්නේ ස්ත්‍රියකට. හඳුනාගත්තා මේ ස්ත්‍රියකගේ මළකඳක් කියලා. ස්ත්‍රිය කියන සංඥාව ඇතිවෙනවිටම උන්වහන්සේට රාග සිත මතුවුණා. දැන් ඔක්කාරයත් නැහැ. දුගඳත් නැහැ. පිළිකුලක් දැනෙන්නේ නැහැ. සුභ සංඥාව මතුවුණා. ඒ සමඟම උන්වහන්සේ වික්ෂිප්ත වුණා. ඒ වික්ෂිප්තභාවයක් සමඟම ළඟ තිබු ගහක් ළඟ වාඩි වුණා. වාඩිවෙලා අසුභය වඩන එක පැත්තකින් තියලා මට මේ මොකද වුණේ. මට කොහොමද රාග සිතක් ඇතිවුණේ. මේ ඉතාම දුර්ගන්ද පණුුවෝ රැඳුණු මේ මළකඳ ගැන සිහිබුද්ධිය තිබෙන කෙනෙකුට රාගය ඇතිවන්න පුළුවන්ද? මට කොහොමද රාගය මතුවුනේ කියලා සෙවුවා. මෙතෙක් කල් රාග සිත දුරු කරන්නට අසුභය වැඩූ එක. අද කළේ අසුභය වඩන්නේ නැතිව රාග සිත ඇතිවුණේ කොහොමද කියා සෙවීමයි. මළකඳ ගැන නොවේ රාග සිත ඇතිවුණේ. මළකඳේ දුටු කෙස් රොදෙන් ස්ත්‍රි සංඥාව එනකොටම මනසින් මැවුනා උන්වහන්සේ කැමැති ස්ත්‍රි සංඥාව. ඒ ස්ත්‍රි සංඥාව සමඟයි රාගය මතුවුණේ. ඒක නැවත නැවත ආස්වාදයන කරන විට රාගය උස්සන්න වෙනවා. මෙහෙම කල්පනා කරන විට දැනුනා මේ රාග සිත මොනතරම් අපිව මුලා කරනවාද කියලා. ඒ රාග සිත නැති දේ ඇතිකරලා පෙන්වනවා. ඇති දේ නැති කරනවා. මේ මළකඳ කුණුගඳ, අප්‍රසන්නභාවය සියල්ලම යට කළා. නැති ප්‍රසාදයක් සිතින් මතුකළා. මේ ආකාරයට නේද මනසේ ගොඩනැඟෙන යම්කිසි සංඥාවක්, විපල්ලාසයක්, චිත්ත විපල්යාසයක්, දිට්ඨි විපල්යාසයක් (විපල්යාසයක් කියන්නේ විකෘතිවීමක්) ඇති කරගන්නවා. ඒ විකෘති විපල්යාසයක් විසින් මවනවා යම්කිසි අවස්ථාවක්. එයින් මනෝභාවය ක්‍රියාත්මක වෙනවා. ඒ සමඟම වැටහෙන්න ගත්තා මේ සරාගි චින්තනය ගොඩ නැඟුනාට පස්සේ අපේ මනැස කොතරම් අඳුරු වෙනවාද? කෙතරම් මුලා වෙනවාද? අනන්ත සසරේත් මට වැරුදුනේ මෙතැන නේද? ලෝකයේ තිබෙන දේට නොවේ මගේ මනැස මවාදෙන දේටයි මම රැවටුනේ කියලා දකිනවිට රාගය ඇතිවෙන්නේ කොහොමද? රාගය දුරු වෙන්නේ කොහොමද? ඒකේ මූලය මොකක්ද? මේ හැම දෙයක්ම නිවැරැදිව දකිනවා. මේකට තමා පජානාති කියන්නේ. (පජානාති - හේතුව ඵලය වශයෙන් මූලය වශයෙන් ඇතිවීම නැතිවීම හරියටම දකීම) උන්වහන්සේ හරියටම රාගයේ ස්වභාවය දකිනවිටම සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත්වුණා. දැන් උන්වහන්සේ ඒ උපන් රාගය දුරුකළේ සමථය මුල්කොටගෙන නොවේ. මෙහිදී සෘජුවම තමන්ගේ සන්තානයේ ඇතිවෙන රාගය දෙස ප්‍රඥාවෙන් සිහිනුවණින් බලනවා. හරියටම එහි හේතුඵලය හඳුනා ගත්තා. සරාගි අරමුණු ගොන්නක් අතර වුවත් ක්ලේෂයන් යටපත් කරගෙන නැඟී සිටින්නට හැකියාව ලැබෙනවා.
මේ ආකාරයට තමා බුදුදහමේ ප්‍රධාන ලෙස උපන් අකුසල් ප්‍රහාණය කිරීමට සමථය හා විදර්ශනාව උපයෝගි කර ගන්නට කියා දෙන්නේ. සරලව කියනවා නම් ප්‍රත්‍යය වෙනස් කිරීමෙන් හා හේතුව වෙනස් කිරීමෙන් උපන් අකුසල් දුරු කරන්න පුළුවන්.

ඉඳුරන් දමනයෙන් තෘෂ්ණාව සිඳබිඳ දැමිය හැකියි

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
දෙවියන් විසින් අපගේ භාග්‍යවතුන් වහන්සේ වෙත යොමුකළ නොයෙකුත් විදිහේ ප්‍රශ්න ගැනත් ඒ සඳහා අසිරිමත් සම්බුදු නුවණින් වදාළ අරුත්බර පිළිතුරු ගැනත් මේ වනවිටත් අප බොහොමයක් ඉගෙන ගත්තා. අද දවසේ අප ඉගෙන ගන්නේ කාමද නම් වූ දිව්‍ය පුත්‍රයෙකු විසින් විමසූ ප්‍රශ්නවලට අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් පිළිතුරු ගැනයි.
සුගත නමින් අපි බුදුරජාණන් වහන්සේ හඳුන්වනු ලබනවා. ඒ ස්වයංභූ ඤාණයෙන් ම නිවන් මඟ අවබෝධ කරගෙන සුන්දර නිවන සාක්ෂාත් කොට වදාළ නිසයි. නිවන් මග සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේට තිබෙන්නේ විශාරද බවක්. ඒ නිසාම නිවන අවබෝධ කිරීම පිණිස අනුගමනය කළයුතු ප්‍රතිපදාව ගැන විමසන ඕනෑම ප්‍රශ්නයකට භාග්‍යවතුන් වහන්සේ විසින් ලබාදෙන සෘජු පිළිතුරු විශ්මයජනක යි. කාමද දිව්‍ය පුත්‍රයා විසිනුත් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටින්නේ නිවන් මඟ සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්න කිහිපයක්.
මේ කාමද දිව්‍ය පුත්‍රයා පෙර ජීවිතයේ මිනිස් ලොව ඉපිද සසුන් බඹසර හැසිරෙන්නට මහන්සි වූ කෙනෙක්. නමුත් ඔහු මාර්ගඵල නො ලබාම මියගොස් දෙවියන් අතර උපත ලැබුවා. ඒ දෙව් ලොවේදීත් ඔහු සීල, සමාධි, ප්‍රඥා වඩමින් ධර්මයේ හැසිරෙන්නට මහන්සි ගත්තා. ඉන් අපට ඉතා හොඳින් තේරුම් ගන්නට පුළුවන් දෙවියන් අතරත් ධර්මයේ හැසිරෙන්නට පුළුවන් බව. ඉතින් ඒ අතරතුර තමා මේ කාමද දිව්‍යපුත්‍රයා භා්‍යවතුන් වහන්සේ බැහැදැකීමට පැමිණියේ.
එදිනත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. මුළුමහත් ජේතවනයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණි කාමද දිව්‍ය පුත්‍රයා උන්වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිට ගත්තා. එකත්පස්ව සිටි කාමද දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
භාග්‍යවතුන් වහන්ස, මේ බ්‍රහ්මචාරී ජීවිතය දුෂ්කරයි. ගොඩක්ම දුෂ්කර එකක්මයි”
බුදුරජාණන් වහන්සේ විසින් ඒ දුෂ්කර බ්‍රහ්මචාරි ජීවිතය ගත කිරීමට සුදුස්සෙක් වෙනහැටි ඒ දිව්‍ය පුත්‍රයාට මහ කරුණාවෙන්ම පෙන්වාදී වදාළා
”කාමද දුෂ්කර දේ වුණත් කරනවා (සේඛා සීල සමාහිතා) නිවන් මඟට බැසගත්තු සිල්වත් වූ සමාහිත සිත් තිබෙන අය තමයි එහෙම කරන්නේ. ගිහි ගෙයින් වෙන්වෙලා දහම තුළ පිහිටි සිත් තිබෙන ඔවුන් සැපය ලබන සතුටින් තමයි ඉන්නේ.
මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවක පිරිස බුදුරජාණන් වහන්සේ විසින් මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා පෙන්වා දී වදාළා. ඒ තමයි සේඛ ශ්‍රාවකයා සහ අසේඛ ශ්‍රාවකයා. අසේඛ කියන්නේ ‘හික්මීම අවසන් කළ’ කියන අර්ථය යි. ඒ කියන්නේ රහතන් වහන්සේ.
’සේඛ’ කියන්නේ හික්මෙන කියන අර්ථය යි. නිවන් කරාගෙනයන ප්‍රතිපදාවේ හික්මෙන සියලු දෙනා සේඛ ශ්‍රාවක පිරිසටයි අයිති වෙන්නේ. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ මේ බඹසර ජීවිතයට නිවන් මඟට බැස ගැනීමට අවශ්‍ය බව පෙන්වා දුන්නේ. ඒ වගේම ඔහුට සිල්වත්බවත් අවශ්‍යයි. සීලය කියන්නේ උතුම් ගුණධර්ම වලට අම්මා කෙනෙක් වගේ කියලයි සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කළේ.
ඊළඟට සිතේ සමාහිත බවත් තිබිය යුතුයි. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වදාළා (සමාහිතස්සා යං ධම්මෝ තායං ධම්මෝ අසමාහිතස්ස) මේ ධර්මය තිබෙන්නේ සිත සමාහිත උදවියට යි. අසමාහිත සිත් ඇති අයට නොවේ කියලා. ඉතින් මේ ගුණධර්ම ඇති කරගෙන කම් සැපයේ නොඇලී ධර්මයේම හැසිරෙන්නට මහන්සි වෙන කෙනා දුෂ්කර වූවත් බඹසර ජීවිතය අනුගමනය කරන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී වදාළා. එබඳු උදවිය නිරාමිස සතුටක් තමයි ලබන්නේ. ඉතින් කාමද දෙවියා යළි මෙබඳු ප්‍රකාශයක් කළා.
”භාග්‍යවතුන් වහන්ස, ඔය සතුට කියන්නේ දුර්ලභ දෙයක්”
කාමද දුර්ලභ දේ වුණත් ලබනවා. සිත සංසිඳීමේ ඇලී ඉන්න කෙනා දිවා රාත්‍රී දෙකේම භාවනාවේ ඇලී ඉන්න කෙනා තමයි (චිත්තවූසමේ රතා, යේසං දිවා ච රත්තෝ ච භාවනාය රතෝ මනෝ) ඒ දුර්ලභ සතුට ලබන්නේ’.
එතකොට කාමද දිව්‍ය පුත්‍රයා ආයමෙත් මෙහෙම පැවසුවා.
”භාග්‍යවතුන් වහන්ස, මේ සිත කියන්නේ එකඟ කරගන්න ගොඩාත් දුෂ්කර එකක්”.
බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා
දුස්සමාදහං වාපි සමාදහන්ති
ඉන්ද්‍රියූපසමේ රතා
තේ ජෙත්වා මච්චුනෝ ජාලං
අරියා ගච්ඡන්ති කාමදාති

කාමද, එකඟ කර ගන්නට ගොඩාක් දුෂ්කර වුණත් එකඟ කර ගන්නවා. ඉඳුරන් දමනය කිරීමේ ඇලුණු අය ඉන්නවා. ඒ අය මාරයාගේ තෘෂ්ණා දැල සිඳගෙන පින්වත් කාමද, ඒ ආර්යයන් වහන්සේලා නිවනට ම යනවා.
සිත ගැන මනාව අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ හැර මෙබඳු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය හැකිවෙන කිසිවෙක් මේ ලෝකයේ නැහැ. උන්වහන්සේ වදාළේ වතුරෙන් ගොඩට ගත් මාළුවෙකු සේ මේ සිත අරමුණක් අරමුණක් පාසා සැලෙමින් තිබෙන බවයි. නමුත් එබඳු සිත නුවණැත්තන් විසින් දමනය කර ගන්නවා. සිත දමනය කරගැනීමෙන් සැපය ලැබෙන බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළේ.
සිත දමනය කරන්නට නම් ඒ කෙනා ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආයතන සංවර කර ගන්නට ඕන. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වලින් මේ ඉන්ද්‍රියයන් අසංවර වුණොත් සිත තුළ ඇලීම් ගැටීම් හට ගන්නවා. එය මනාකොට තේරුම් ගන්න නුවණැති කෙනා මේ ඉඳුරන් හොඳින් සංවර කර ගන්නවා.
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ හොඳින් ඉන්ද්‍රිය සංවර කරන කෙනා නිවනට ළංවෙන බවයි. කාමද දිව්‍ය පුත්‍රයා තමන්ගේ අනෙක් ප්‍රශ්නයත් භාග්‍යවතුන් වහන්සේ හමුවේ මෙසේ පැවසුවා.
”භාග්‍යවතුන් වහන්ස, විෂම මාර්ගයක් තිබෙන්නේ. ගමන දුෂ්කරයි”.
මෙතැනදී මාර්ගය කිව්වේ ප්‍රතිපදාවේ ගමන් කිරීම කියලා අදහස් කළේ අනුගමනය කිරීමයි. භාග්‍යවතුන් වහන්සේ එයට මෙසේ පිළිතුරු දී වදාළා
දුග්ගමේ විසමේ වාපි
රියා ගච්ඡන්ති කාමද,
අනරියා විසමේ මග්ගේ
පපතන්ති අවංසිරා
අරියානං සමෝ මග්ගෝ
අරියාහි විසමේ සමාති

කාමද මාර්ගය විෂම වුනත් මාර්ගය දුෂ්කර වුනත්, ආර්යයන් වහන්සේලා ඒ මඟ යනවා. නමුත් ආර්ය තත්ත්වයට පත් නොවිච්ච උදවිය විෂම මාර්ගයේ ගිහින් යටිකුරු වෙලා වැටෙනවා. ආර්යයන් වහන්සේලාගේ මාර්ගය සමයි. ආර්යයන් වහන්සේලා තමයි විෂම ලෝකයේ සමව සිටින්නේ.
ආර්යයන් වහන්සේලා කියන්නේ බුද්ධ ශාසනයට පැමිණි උතුමන්ටයි. මේ ලෝකයේ එබඳු ආර්ය උතුමන් අට දෙනෙක් ඉන්නවා. සෝවාන් මාර්ගයෙන් ගමන් කරන ශ්‍රාවකයා, සෝතාපන්න ශ්‍රාවකයා, සකදාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා, සකදාගාමි ශ්‍රාවකයා, අනාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා, අනාගාමි ශ්‍රාවකයා, අරහත් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයා සහ රහතන් වහන්සේ තමයි ඒ උතුම් වූ ආර්යයන් වහන්සේලා අටදෙනා වන්නේ.
ඒ උතුමන් අනුගමනය කරන වැඩපිළිවෙල නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. කෙතරම් දුෂ්කරව වුවත් සීල සමාධි ප්‍රඥා වඩන ඒ උතුමන් වහන්සේලා නිවනට ඇති එකම මාර්ගය වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් අමා නිවන කරා ගමන් කරනවා.
නමුත් බුදු සසුනෙන් බැහැර කිසිවෙක් ආර්ය බවට පත් වන්නේ නැහැ. ඔවුන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය නොකරන නිසා ආයේ ආයෙමත් ඒ දුක්ඛිත වූ සංසාරයටමයි වැටෙන්නේ.
’කාමද දෙවියන්ට භාග්‍යවතුන් වහන්සේ පැවසූ ධර්මය නිවන් මඟ හැසිරීමට කැමති සියලුදෙනාටම ඉතාම වැදගත්. මේ විෂම වු ලෝකයේ සමව සිටින්නට නම් අපත් ආර්ය පුද්ගලයන් බවට පත්විය යුතුයි. එය කළ හැක්කේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට බැස ගැනීමෙන්ම පමණයි. ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැනත්, සොඳුරු වූ අමා නිවන ගැනත් ලෝකයට පෙන්වා දී වදාළ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැනම අප තව තවත් සිත පහදවා ගනිමු.
නයනා නිල්මිණි

අරි අටගි මග

ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක 
මහා කම්මට්ඨානාචාර්ය මහෝපාධ්‍යාය 

නාඋයනේ අරියධම්ම අනු නා හිමි
“තං ඛොපන ධම්ම චක්කං අප්පති වත්තියං සමණෙන වා බ්‍රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ්මුණා වා කෙනෙචි වා ලොකස්මින්ති ධම්ම චක්කං”
මේ චතුරාර්ය සත්‍ය ධර්මය කිසිම දෙවි කෙනෙකුටවත් මාරයෙකුටවත් බ්‍රහ්මණයෙකුටවත් වෙන කිසිම ශ්‍රමණ බ්‍රාහ්ම ආදි කෙනෙකුටවත් පවත්වන්නට බැරි අති උත්තරීතර ධර්ම දේශනාවක් බැවින් මීට ධර්ම චක්‍රය කියනවා කියන අර්ථය පටිසම්භිදා මග්ග පාලියේ ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පහදා වදාළා.
සිද්ධාර්ථ ගෞතම නමින් ලොව පහළව 29 වන අවුරුද්දේදී අභිනිෂ්ක්‍රමණයකොට සාවුරුද්දක් දුෂ්කර ක්‍රියාකොට බෝධි මූලය අරා වැඩහිඳගෙන මධ්‍යම ප්‍රතිපදාව සොයාගෙන පරෝපදේශ රහිතව ස්වයං භුඥානයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීම වශයෙන් සතර මඟ සතර ඵලයට පත්වීමෙන් සිද්ධ කර ගත්තාවූ ධර්මාවබෝධයට ප්‍රතිවේධ ධම්ම චක්ක කියලා කියනවා. ඒ මාගේ සර්වඥයන් වහන්සේ ප්‍රතිවේධ ධර්ම චක්‍රයෙන් අග්‍රයි. ශ්‍රේෂ්ඨයි. උත්තමයි. උන්වහන්සේ අපට සරණයි. පිහිටයි. උන්වහන්සේගේ ප්‍රතිවේධ ධර්ම චක්‍රානුභාව බලයෙන් අපටත් ධර්මය ප්‍රතිවේධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
දේශනා ධර්ම චක්‍රය කියලා කියන්නේ තමන් වහන්සේ ප්‍රතිවේධ කර ගත්තාවූ උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මය බුදු බවට පත්වෙලා දෙමසක් පිරෙන ඇසළ පුණු පසළොස්වක පොහෝ දවසක අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ ප්‍රමුඛ පංච වර්ගීය ස්වාමීන් වහන්සේලා ඇතුළු දස දහසක් සක්වළ දෙවි බඹුන්ට ඇසෙන ලෙස එකවිටම දේශනා ධර්ම චක්‍රය කියලා එයිනුත් දේශනා ධර්ම චක්‍රය තමන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේට සෝවාන් මාර්ගය ලැබෙන්නට මත්තෙන් කළ දේශනාව ධර්ම චක්‍රය උපදවමින් දේශනා කළ අවස්ථාවක් සෝවාන් ඵලයට පත්වෙන කොට උන්වහන්සේ ධර්ම චක්‍රය අනුන්ගේ සිතේ උපදවා දේශනා නිමාවට පත්කළ අවස්ථාවක්.
මේ විදියට ප්‍රතිවේධ ධර්ම චක්‍රය දේශනා ධර්ම චක්‍රය කියන දෙයාකාරවම චතුරාර්ය සත්‍යයට කියනවා ධර්ම චක්‍රය කියලා. ඒ මේ ධර්ම චක්‍රය පවත්වන්නට කිසිම දෙවියෙකුට බ්‍රහ්මයෙකුට ශ්‍රමණ බ්‍රාහ්මණ ආදි කෙනෙකුටවත් නොහැකිවු තථාගත සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක්ම සාධාරණ වන්නාවූ අති උත්තරිතර දේශනාවක් බැවින් ඒකට අනුත්තර ධර්ම චක්‍රය කියලා කියනවා. ඒ මේ අනුත්තර ධර්ම චක්‍රය තමයි ඒ දම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වන්නේ.
ඒ සර්වඥයන් වහන්සේගේ සෑම පැවැත්මක්ම තමන් වහන්සේ අවබෝධ කර ගත්හ.චතුරාර්ය සත්‍යය අන්‍යයන්ට අවබෝධ කරවීම සඳහා පවත්වා වදාළ බැවින් ඒ සර්වඥයන් වහන්සේගේ ජීවිත සම්පත්තියම මුළු ලෝකයටම ධර්ම චක්‍රයක් වෙනවා. එසේම වේවා කියලා අප ප්‍රාර්ථනා කරනවා. ඊළඟට අපි සලකා බලන්ට ඕන මේ ධර්ම චක්‍රය අපේ ජීවිතයට අපි කොහොමද එකතු කරගන්නේ කියලා. දැන් මේ පින්වත් විශාල පිරිසක් අෂ්ඨාංග සීලයක පිහිටා මේ සීල භාවනා කරන්නේ ධර්ම චක්‍රයට එකතු වීමක්.
ඒ වගේම අපගේ සන්තානවල දැන් බුදුගුණ වලින් පිරි තියෙනවා. දහම් ගුණවලින්, සඟ ගුණවලින් අපේ සිත් පිරිලා තියෙනවා. මේ මොහොතේ අපි සැම දෙනාම කරුණාවෙන් පිරිලා ඉන්නවා. මෛත්‍රියෙන් පිරිලා ඉන්නවා. මුදිතාවෙන් උපේක්ෂාවෙන් පිරිලා ඉන්නවා. සොමනස්ස සහගත කුසල් සිතින් අපි පිරිලා. ඥානසම්ප්‍රයුක්ත අසංඛාරික කුසල් සිත්වලින් මේ පින්වතුන් සැම දෙනාම දැන් පිරිලා ඉතිරිලා බුද්ධාලම්බන පී‍්‍රතියෙන් මේ ඉන්නේ. මේ මොහොතේ සැමදෙනාගේම සිතේ පින්වතුනි ධර්ම චක්‍රය තියෙනවා. මොනවද මේ චක්‍රය කියලා අපි සලකා බලන්න ඕන. මේ වෙලාව අපේ සෑම දෙනාගේම සිතේ සම්මා දිට්ඨිය තිබෙනවා, අපි සෑම දෙනාගේම සිත යොමුවී තියෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්ට ලැබේවා කියන උතුම් ඤාණ මනසිකාරයෙන්.
මේ වෙලාවෙ අපේ සන්තානයේ සම්මා සංකල්පය තියෙනවා.අපි සැම දෙනාම පතන්නේ දෙව්ලොව මිනිස්ලොව බඹලොව සතර අපාය තුන් ලෝකය ඉක්මවලා අපට ශාන්ත නිවන් ලැබේවා කියන නෙක්ඛම්ම ප්‍රාර්ථනාවෙන්. ඒ වගේම අපි නිරන්තරයෙන් දැන් සැපදායක ඉරියව්වක් මේ පවත්වනවා සේම මුළු ලෝක ධාතුවේ සියලු සත්වයන්ටම මේ ධර්ම සැපය ලැබේවා කියන මෛත්‍රී මනසිකාරයෙන් අපි ඉන්නේ. ඒ වගේම අපි සැම දෙනාම දන්නවා අපේ මේ පිළිවෙත් පිරීමෙන් ජරා, මරණ, දුකින් මිදෙනවා මිදෙනවාමයි.අනික් තුන්ලෝක වාසින්ටත් එසේ මේ ජරා මරණ දුකින් මිදීමට ලැබේවායි යන කාරුණික ප්‍රාර්ථනාවෙන් දැන් අපි ගත කරන බැවින් මේ මොහොතේ අප සැම දෙනාම සම්මා සංකල්පනාවෙන් පිරිලා පවතිනවා.
ඒ වගේම අපි දැන් සම්මා වාචා ගුණාංගයෙන් පිහිටලා ඉන්නේ මේ මොහොතේ අපි මුසාවාදයෙන් පිසුනාවාචයෙන් පරුසාවාචයෙන් සම්පප්‍රලාපයෙන් සර්වප්‍රකාරයෙන්ම වැළකිලා පමණක් නෙමෙයි, අපි බුදුගුණ ගායනා කරනවා, පිරිත් සජ්ඣායනා කරනවා. පින්කම් සංවිධානය කරනවා, මේ හැම මොහොතකම අපේ සන්තානයේ පහළ වන චේතනා සම්මා වාචා, මේ සම්මා වාචා ගුණයෙන් අපි දැන් පිරිලා ඉතිරිලා ඉන්නේ.
ඒ වගේම අපි සම්මා කම්මන්තයෙන් දැන් පරිපූර්ණ වෙලා ඉන්නවා. අපි පාණාතිපාතා, අදින්නාදාන, අබ්‍රහ්මචරියා කියන මේ කායික දුසිරිතයෙන් වැළකිලා මේ මොහොතේ ගත කරනවා. මේ මොහොතේ අපි බුද්ධ වන්දනා කරනවා. අපේ දෑත ඔසවලා වන්දනා කරනවා. දණ නමා නමස්කාර කොට වන්දනා කරනවා. මල් පූජා කරනවා. පහන් පූජා කරනවා. ක්ෂීර පායාස බුද්ධ පූජා කරනවා. බෝධි පූජා කරනවා. වත් පිළිවෙත් කරනවා. මේ හැම කටයුත්තක්ම සඳහා අපි කය වෙහෙසවනවා. ඒ චේතනා සම්මා කම්මන්තය මේ කියන විරති සම්මා කම්මන්ත චේතනා සම්මා කම්මන්ත කියන මේ දෙකෙන්ම අප දැන් පිරිලා ඉතිරිලා ඉන්නවා.
ඒ වගේම දැන් අපේ සන්තානවල සම්මා ආජීවය කියන්නේ මේ මොහොතේ අපේ සිතේ උතුම් ප්‍රසන්න ගතියක් තියෙනවා. මේ කයට කියනවා වෝදාන අපේ සිත ප්‍රසන්නයි. දැන් මේ වෝදාන ගුණයෙන් යුක්ත නිසා අපි දැහැමෙන් ජීවත් වෙනවා. මේ සම්මා ආජීවය ඒ වගේම අපේ සිත්වල මේ මොහොතේ සතර ආකාර වීය¸ සම්පත්තියක් පිහිටලා තියෙනවා. නූපන් අකුසල් නූපදිවා යන විරිය සම්පත්තියෙන් පිහිට ලබා තියෙනවා. ඒ වගේම උපන් අකුසල් ගෙවාලීමේ වීය¸ක් තියෙනවා. නූපන් කුසල් උපදවා ගැනීමේ වීය¸ තියෙනවා. උපන්න කුසල් වැඩි දියුණු කර ගැනීමේ වීය¸ තියෙනවා. සතර ආකාර සම්පත් වීය¸යකින් ගත කරන මේ මොහොතේ අපි සම්මා වායාම මාර්ග අංගයෙහි පිහිටා ජීවත් වෙනවා.
මේ මොහොතේ අපි කය සිහියෙන් හසුරුවනවා. වචනය සිහියෙන් හසුරුවනවා. සිත සිහියෙන් හසුරුවනවා. මේ මොහොතේ අපි සිහියෙන් ධර්මය සැපයක් වින්දනය කරනවා. මේ මොහොතේ අපේ ශ්‍රද්ධාව අපේ කරුණාව අපේ මෛත්‍රියත් අපේ ඥාන මනසිකාරයත් අපට පෙනෙනවා. මේ නිසා අපි මේ මොහොතේ සම්මා සති කියන මාර්ග අංගයෙන් පිරිලා ඉන්නවා. ඒ වගේම අපේ සිතේ මේ මොහොතේ කාමච්ඡන්දයක් නැහැ. ව්‍යාපාදයක් නැහැ. ථීනමිද්ධයක් නැහැ. උද්ධච්ච කුක්කුච්චයක් නැහැ. විචිකිච්චාවක් නැහැ. උප ක්ලේශයක් නැහැ. මේ මොහොතේ අපේ සිත අලෝභ,අදෝෂ. අමෝහ කුසල මූලයන්ගෙන් පිරිලා
අපේ සිත නිසොල්මනේ තැනක දැල්වූ පහන් දැල්ලක් වගේ බොහෝම ශාන්තව දැන් තියෙනවා. මේ මොහොතේ තිබෙන සිතේ තිබෙන තැන්පත් කමට කියනවා සම්මා සමාධි .මේ මාර්ග අංග 8 න් වැඩෙන පිළිවෙතකට යෙදී සිටින මේ මොහොතේ පින්වතුනි! අපි මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට කැප වෙච්ච වෙලාවක්. යොමුකළ වෙලාවක් ගතකරන බැවින් අපි මේ මොහොතේ ගත කරන්නේ ධම්ම චක්‍රයක් ඇතුළේ කියලා අප සන්තෝෂ වෙන්න ඕන.
ඊළඟට විශේෂ වශයෙන්ම අපි මෙම චක්‍රය ඇතුළත ගමන් කරන මොහොතක් පාසාම අපට ඇතිවන්නේ සෝවාන් සකෘදාගාමී අනාගාමි අර්හත් කියන මාර්ගඵල ප්‍රතිවේදයට ආසන්න වීමයි. පින්වතුනි, මේ සතර මග සතර ඵලයට ආසන්නවීමෙන් අපි ගතකරන මේ මොහොතේ පමණක් නොවෙයි අපේ ජීවිත මුළුල්ලේම චතුරාර්ය සත්‍යය අවබෝධය සඳහාම ගතකරන්නට අපි මේ දම්සක් පැවතුම් සූත්‍රය උපයෝගි කර ගන්නට ඕන. මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් දැන් අපට පැහැදිලිවම පෙනෙන කාරණයක් ජාති කියන එක දුකක් නේද? ජරාව කියන එක දුකක් නේද? ව්‍යාධිය, මරණය ඒ වගේම ව්‍යාධියට සම්බන්ධ සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස මේවා දුක්ඛ ධර්ම නේද? ඒ වාගේම අපි‍්‍රය සම්ප්‍රයෝග, පි‍්‍රය විප්‍රයෝග ,ඉච්ඡා විඝාත දුක ස්කන්ධ, පරිහරණ දුක මේ කියන සියල්ලම දුක්ඛ සත්‍ය නේද? කියලා අපට දැන් හොඳටම වැටහෙනවා. මේවා අපි එකින් එක මෙනෙහි කර කර නැවත කවදාවත් අමතක නොවන හැටියට මේ දුක්ඛ සත්‍යය වටහා ගන්නට ඕන. සිතේ පිහිටුවා ගන්නට ඕන.
ජාතිය දුකක්. මම ජාතිය ස්වභාවකොට ඇති කෙනෙක්, මම ජාතිය නොඉක්මවූ කෙනෙක්. ඒ නිසා මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ජාතිය ඉක්මවා මට අජාති නිර්වාණ ධාතුව ලබන්නට වාසනා වේවා ! ජරාව දුකක් මම ජරාවට පත්වන කෙනෙක්. මම ජරාව නොඉක්මවූ කෙනෙක්. මේ අනිත්‍ය වූ අනාත්ම වූ දුක්ඛ සත්‍යය වූ ජරාව ඉක්මවල අජර සංඛ්‍යාත නිවන් සුවය ලබන්නට මට ශක්තිය ලැබේවා! නිතර අධිෂ්ඨාන කරන්ට ව්‍යාධිය දුකක් .ව්‍යාධිය නිරන්තරයෙන් මා වෙත පැමිණෙනවා. මම ව්‍යාධිය නොඉක්මවූ කෙනෙක්. ඒ නිසා මම ලෝකයේ ව්‍යාධිය ඉක්මවා ලබන අව්‍යාධි සංඛ්‍යාත නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කරන්නට මට ශක්තිය ලැබේවා කියලා අධිෂ්ඨාන කරන්නට ඕන.
මරණය දුකක් .මරණය මට එනවා මා මරණය නොඉක්මවූ කෙනෙක්. මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දුකටම හේතුවන්නාවූ මරණය නැති අමරණීය නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්නට මට ශක්තිය ලැබේවා!
අධිෂ්ඨාන කර ගන්ට ඕන. අපි‍්‍රයයන්හා එක්වීම දුකක්.අපි‍්‍රයයන් සමඟ මට එක්වෙන්න සිද්ධ වෙනවා. අපි‍්‍රයයන් හා එක්වීම මා ඉක්මවාද නැහැ. ඒ නිසා මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අපි‍්‍රය සම්ප්‍රයෝග සංඛ්‍යාත දුක නැති සදාකාලීන වූ සියල්ලෙන් වෙන්වූ නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ කර ගන්න මට ලැබේවායි අධිෂ්ඨාන කරගන්ට ඕන, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකක්. මට පි‍්‍රයයන්ගෙන් වෙන් වෙන්න සිදුවෙනවා.
පි‍්‍රයයන්ගෙන් වෙන්වීම මම නොඉක්මවූ කෙනෙක්. ඒ නිසා මම පි‍්‍රය විප්‍රයෝග දුක්ඛයන් නැත්තාවූ නිර්වාණ ධාතුවට මට අද අදම පැමිණෙන්ට ලැබේවායි කියලා අධිෂ්ඨාන කරන්නට ඕන. ඉච්ඡා විඝාතය දුකක්. මට ඉච්ඡා විඝාතයට පත්වෙන්න තිබෙනවා.මට ඉච්ඡා විඝාතය දුක නොඉක්මවූ කෙනෙක්. ඒ නිසා මම පි‍්‍රය විප්‍රයෝග දුක්ඛයන් නැත්තාවූ නිර්වාණ ධාතුවට වහාම පැමිණෙන්ට ලැබේවායි කියලා අධිෂ්ඨාන කරන්ට ඕන. පංච උපාදානස්කන්ධයම දුකක්. මා පංච උපාදානස්කන්ධ දුක නොඉක්මවූ කෙනෙක්. මේ පංච උපාදානස්කන්ධ දුක නැති අජරාමර නිර්වාණ ධාතුව මට අද අදම ලැබෙන්ට වාසනා වේවායි අධිෂ්ඨාන කරන්ට ඕන. මේ ජාති ජරා ව්‍යාධි මරණ පංච උපාදානස්කන්ධ දුක්ඛ ධර්මයන් ගෙන දෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, මේ ත්‍රිවිධ වූම තෘෂ්ණාව දුක් උපදවන මූල හේතුව බැවින් නිදාගෙන සිටිද්දිත්, අවදියෙන් සිටිද්දිත්, වාඩිවී සිටිත්දිත්, ඇවිදිමින් සිටිත්දිත් කථාකරමින් සිටිත්දිත් හැම ඉරියව්වකදීම මට මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා සංඛ්‍යාත සමුදය සත්‍ය ප්‍රහාණය කිරීමේ ශක්තිය ලැබේවායි කියා අධිෂ්ඨාන කරන්ට ඕන. ඒ වගේම මේ දුක්ඛය සමුදය කියන මේ දෙකම ලෞකිකයි. මේ ලෞකික ලෝක ධාතුවෙන් තියෙන්නේ දුක්ඛයත් සමුදයත් කියන ආර්ය සත්‍ය දෙකයි. මේ ආර්ය සත්‍ය දෙකෙන් තොරවුනාවූ නිරෝධ සත්‍ය සංඛ්‍යාත නිර්වාණ ධාතුව මේ කියන ජාතියක් නැති බැවින් ශාන්තයි. ජරාවක් නැති බැවින් නිර්වාණය ශාන්තයි. ව්‍යාධියක් නැති බැවින් නිවන ශාන්තයි. මරණයක් නැති බැවින් නිවන ශාන්තයි. ශෝකයක්, පරිදේවයක්, දුක්ඛයක්, දොමනස්සයක්, උපායාසයක් නැති බැවින් නිවන ශාන්තය. අපි‍්‍රය සම්ප්‍රයෝගයක්, පි‍්‍රය විප්‍රයෝගයක්, ඉච්ඡා විඝාත දුකක් නැති බැවින් පංච උපාදානස්කන්ධ දුක්ඛ බින්දු මාත්‍රයක්වත් නැති බැවින් නිර්වාණ ධාතුව ශාන්තයි. ප්‍රණීතයි. ඒ ශාන්ත වූ ප්‍රණීත වූ අජරාමර වු නිර්වාණ ධාතුව මට අද අදම ප්‍රත්‍යක්ෂ කර ගන්ට මෙහි ආර්ය අෂ්ඨාංගික මාර්ගය හේතු වේවායි කියා අපි අධිෂ්ඨාන කරන්ට ඕන.
ඒ වගේම සැම කල්හිම අප අඳින ඇඳුමෙන් වෙන් නොවී සිටිනවා. ඒ වගේම අපි සැම කල්හිම අවදියෙන් සිටින අවස්ථාවේදි සිහි නුවණින් යුක්ත වෙනවා. ඒ වගේම අපට නිරන්තරයෙන්ම මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට අතිශයින් උපකාරි වන්නා වු සම්මා දිට්ටිය අපේ සිතින් ඉවත් නොවේවා. සම්මා සංකල්පය. සම්මා වාචා සම්මා කම්මන්ත, සම්මා අජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ මාර්ග අංග ධර්ම සැම කල්හිම අපේ සිතේ පහළ වේවා. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ග ගුණයන්ගෙන් අපේ සිත පිරේවා ඉතිරේවා මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේම දවස්පතා අපට ගමන් කරන්නට වාසනාව වේවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන්කොට රහත් බව, පසේ බුදු බව ලොව්තුරා බුදු බව ලබාගත් නික්ලේශි උතුමාණන් වහන්සේලාගේ ධර්මානුභාව බලයෙන් සැම කල්හිම අපට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේම ගමන් කරන්න ලැබේවා කියල නිතර ප්‍රාර්ථනා කරන්ට ඕන. මේ චතුරාර්ය සත්‍ය අරමුණු කරගෙන යම් කෙනෙක් නිතර වාසය කරනවා නම් මහා සතිපට්ඨාන සූත්‍රයෙහි වදාළ ධම්මානුපස්සනා භාවනා පහෙන් ආර්ය සත්‍ය විදර්ශනාවට වැටෙනවා . මෙය ආර්ය සත්‍ය විදර්ශනාව. යම් කෙනෙක් සුළු මොහොතක් හරි සිදු කළා නම් එතුමාට ඒකාන්තයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වාසනාව සැලසෙනවා. ඒ නිසා මේ උතුම් දම්සක් පැවතුම් සූත්‍රය මෙනෙහි කරන්නා සේම අපේ ජීවිතාන්තය දක්වා සසර වසනතුරු දම්සක් පැවතුම් සූත්‍රයට අනුව චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නට අපට සැම කල්හිම මේ කුසලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
විශේෂ වශයෙන් මේ දම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වන්නා වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවිතා කළ යුතු ධර්මයක්. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ අවබෝධ කටයුතු දෙයක්. අතට ගත්ත නෙල්ලි ගෙඩියක් පෙරළ පෙරළා බලන්නාක් මෙන් අතේ තිබෙන රේඛා පේළිය මනාව බලන්නාක් මෙන් අතට ගත්ත වීදුරු බෝලයක් හරව හරවා බලන්නාක් මෙන් මේ දුක්ඛ ආර්ය සත්‍ය නිතර නිතර පෙරළ පෙරළා බලන්න ඕන. කනගාටු වෙන්ට නෙමේ. ශෝක වෙන්ට නෙමේ.
තැති ගන්ට නෙමේ, බිය ගන්ට නෙමේ, සත්‍ය අවබෝධ කර ගන්නට, ඒ නිසා අපි නියම සත්‍ය අවබෝධ කර ගන්නට නම් මේ කියන චතුරාර්ය සත්‍ය අතුරෙන් දුක්ඛ ආර්ය සත්‍ය නැවත නැවත පිරිසිඳ අවබෝධ කර ගන්නට ඕන. ඒක පරිඤ්ඤාභිමය.
ඒ වගේම සමුදය ආර්ය සත්‍යය කියන්නේ මේ ප්‍රහාණය කරන්නට ඇති ධර්මයක්. අපේ ඇසින් ,අපේ කනින්, අපේ නහයෙන්, දිවෙන් ,කයින් ,සිතින් ගන්න මේ අරමුණු එකක් එකක් පාසා අපට තෘෂ්ණාව පහළ වෙන්න පුළුවන්. අපි නිරන්තරයෙන් එළඹී සිටි සිහියෙන් ඉන්නව නම් ඒ තෘෂ්ණාවට ඉඩ ලැබෙන්නේ නැත. ඒ නිසා සතිපට්ඨාන භාවනානුයෝගිව මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන උපාය මාර්ගය අනුගමනය කරමින් තෘෂ්ණා සංඛ්‍යාත සමුදය ආර්ය සත්‍යය ප්‍රහාණය කරන්නට නිරන්තරයෙන් අපි උනන්දු වෙන්ට ඕන.
ඒ වගේම නිර්වාණ ධාතුව අපට ත්‍රිලක්ෂණ විදර්ශනා කරන්ට නැහැ. නිර්වාණ ධාතුවේ ඉෂ්ඨකාන්ත මනාප තත්වය නිතර මෙනෙහි කරමින් නිර්වාණය අවබෝධය සඳහා අපේ ධර්ම ඡන්දය පහළ කර ගත යුතු වෙනවා. එක නිර්වාණ ධාතු සංඛ්‍යාත නිරෝධ සත්‍යය, සච්ඡිකිරියා හාසමයෙන් අවබෝධ කටයුතු ධර්මයක්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට හෙවත් දුඛ්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදා ආර්ය සත්‍යය භාවෙතව්‍ය ධර්මයයි. අපි නිරන්තරයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් ඉවත් නොවී නිවන් මග ගමන් කරන බැවින් අපට පියවරෙන් පියවර දුක්ඛය අවබෝධ වෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා. නිරෝධ සත්‍ය සංඛ්‍යාත උත්තරීතර නිර්වාණ ධාතුව අවබෝධ වීමට වාසනාව සැලසෙනවා. මුළු තුන් ලෝක ධාතුවම එකම දහම් සුවඳින් සුවඳවත් කොට වදාළ අසංඛෙය්‍ය සත්වයන් නිවන්පුර පිහිටුවා වදාළ දහ අට කෝටියක් බ්‍රහ්මයන් අර්හත්වයේ පිහිටුවා වදාළ ධර්ම චක්‍රවර්තිවූ සර්වඥ සම්මා සම්බුදු රාජණන් වහන්සේගේ බුද්ධ ගුණානුභාවයෙන් සැම කල්හිම අපට මේ ධර්ම චක්‍රයෙන් ඉවත්වෙන්ට නොවී ආර්ය අෂ්ඨාංගික මාර්ගයේම ගමන් කරමින් ඒ බුදු පසේබුදු මහ රහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩ වදාළ සතර මඟ ඵල පිළිවෙලින් සිද්ධවන අජරාමර ශාන්ත අමා මහ නිවන් සුව ඒකාන්තයෙන් අත්වේවායි කියා අපි ප්‍රාර්ථනා කරමු.

සක්‌දෙවිඳුත් වඳින උපාසක වත මෙන්න

ශක්‍රදේවේන්ද්‍රයා දිනක්‌ තම රථාචාර්යයා වු මාතලී අමතා වැදගත් ගමනක්‌ යාම සඳහා සිය නිල වාහනය සූදානම් කරන ලෙසට උපදෙස්‌ දුන්නේය. ශක්‍ර දේවේන්ද්‍රයා තම පෞද්ගලික ගමන් සඳහාත් උයන්කෙළියට යාම සඳහාත් දේව සභාවට යාම සඳහාත් එපමණක්‌ නොව රාජකාරී ගමන් සඳහා මනුෂ්‍ය ලෝකයට එ්ම සඳහාත් යූද්ධ සඳහා යාම සඳහාත් භාවිත කරන්නේ මෙම වෛජයන්ත රථයයි. මාතලී වහාම අජානේය අශ්වයන් 1000 ක්‌ යොදා ඇති වෛජයන්ත රථය සූදානම් කළේය. වාහනයට නැගීමට පැමිණි ශක්‍රදේවේන්ද්‍රයා වාහනය බැලීමට පෙර මනුලොව දෙස බලා තුන් වරක්‌ නමස්‌කාර කළේය. මාතලී පුදුමයට පත්විය. දිව්‍යලෝක දෙකකටම අධිපති මහා බලසම්පන්න තම ස්‌වාමියාත් යම් පුද්ගලයකුට වැඳ නමස්‌කාර කරන්නේ නම් ඔහු එසේ මෙසේ පුද්ගලයෙක්‌ විය නොහැකිය. එතරම් බලසම්පන්න එම පුද්ගලයා කවරෙක්‌දැයි දැනගන්නා තෙක්‌ ඹහුට ඉවසුම් නැතිවිය. වාහනයේ අසුන්ගත් ශක්‍රදේවේන්ද්‍රයාගෙන් වැඳනමස්‌කාර කිරීමට තරම් බලසම්පන්න ඒ පුද්ගලයා කවරෙක්‌දැයි විමසීය. තමා වැඳ නමස්‌කාර කළේ අන් කවරකුටවත් නොව මනුලොව සිටින උපාසක, උපාසිකාවන්ට බව ශක්‍රදේවේන්ද්‍රයා කීවේය. ශක්‍ර දේවේන්ද්‍රයා පවා වන්දනා කරන මේ උපාසකයා කවරෙක්‌දැයි ද ඔහු මෙතරම් වන්දනා මාන කිරීමට සුදුසු වන්නේ ඇයිදැයි විමසා බලමු.

අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ මහානාම සූත්‍රයේ උපාසක කෙනෙක්‌ යනු කවරෙක්‌ දැයි බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇත. උන්වහන්සේ කිඹුල්වත් නුවර නීග්‍රෝධාරාමයේ වැඩවාසය කරන සමයේ මහානාම ශාක්‍ය පුත්‍රයා පැමිණ ස්‌වාමීනී කොපමණකින් උපාසක වෙයි දැයි විමසීය. එවිට බුදුරජාණන් වහන්සේ කරුණු අටක්‌ සඳහන් කරමින් උපාසකයෙකුට තිබිය යුතු ගුණාංග විස්‌තර කළ සේක.

ඉන් පළමුවැන්න නම් බුදුන් දහම් සඝූන් යන තෙරුවන් සරණ යාමයි මේ අනුව තෙරුවන් සරණ ගිය පළමුවන උපාසකයන් වූයේ යසකුල පුත්‍රයාගේ පියා සහ මෑණියෝය.

දෙවැන්න සිල්වත්භාවයයි. සිල්වත්භාවය යනු යහපත් හැසිරීමය. තැන්පත් කමය හැදිච්චකමය හික්‌මීමය. එය කයේත් වචනයේත් සිතේත් සංවර භාවයය. සම්බුද්ධ ශාසනය නමැති ගසේ මුල සීලයයි. කඳ සමාධියයි. මල්ඵල සීලයේ ප්‍රඥාවයි. මිනිසාට තම ජීවිතයට හිස කෙතරම් අවශ්‍යද? එසේම සීලයද ජීවිතයට අවශ්‍යය. සසර දුකින් එතෙරවීමට සීලය ප්‍රධානම බලවේගයක්‌ වේ. ජාතියද වර්ණයද හිස්‌ය, සීලයම උතුම්ය. සීලයෙන් තොරවූ උගත්කමින් වැඩක්‌ නැත. මිනිසෙක්‌ යටත් පිරිසෙන් පන්සිල්වත් රැකිය යුතුය. යන්න එහි අදහසය. එමනිසා උපාසක යනුවෙන් හැඳින්වෙන්නේ අඩුම වශයෙන් පංච සීලයවත් රකින්නාය. 

තුන් වැන්න ශ්‍රද්ධා සම්පන්න භාවයයි 

බුදුරජාණන්වහන්සේaත් උන්වහන්සේගේ ධර්මයත් කෙරෙහි ඇති භක්‌තිය හා විශ්වාසය ශ්‍රද්ධාව ලෙස හැඳින්වේ. අභිධර්මයේ ශ්‍රද්ධාව හඳුන්වන්නේ සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදෝ සන්දින්ද්‍රියන් සද්ධා බලං යනුවෙනි. එනම් ශ්‍රද්ධා නම් විශ්වාස කිරීමය. ඇදහීමය. පැහැදීමයයි යනුවෙනි. ශ්‍රද්ධාව විමුක්‌තිය ලබා ගැනීමට හේතුවන ආකාරය කීටාගිරි සූත්‍රයේ බුදුන් දක්‌වා ඇත්තේ මෙසේය. මහණෙනි, ශ්‍රද්ධාව ඇතිවීමෙන් ශාස්‌තෘවරයා වෙත යයි. ආශ්‍රය කරයි. කන් යොමයි. ධර්මය අසයි. හිතට ගනී. අර්ථය විමසා බලයි. පිළිගනියි. පිළිපැදීමට කැමතිවෙයි. උත්සාහයෙන් සත්‍යය අවබෝධ කරගනී යනුවෙනි. ඒ අනුව උපාසකයකු තුළ මේ සියලු\ ගුණාංග තිබිය යුතුය. ශ්‍රද්ධාව සක්‌දෙව් රජ සතුව ඇති උදකප්‍රසාදක මැණික අපිරිසිදු ජලය පිරිසිඳු කරන්නාසේ සිතේ ඇති පංච නීවරන යටපත් කරන බව සඳහන්වේ.

සතරවන කාරණය ත්‍යාගසම්පන්න භාවයයි 

ත්‍යාගසම්පන්නකම යනු උපාසකයා තුළ තිබෙන නිර්ලෝභිතාවයයි. කෙටියෙන් කිවහොත් දන්දීමයි. බුදුරජාණන් 

වහන්සේගේ පහත සඳහන් ගාථාවෙන් ඒ බව සනාතවෙයි.

ආදිත්තසිම්ං අගාරසිම්ං යනිනිහරති භාජනං තං තස්‌ස හෝති අත්ථාය නො ච යං තත්ථ ඩයිහති 

එවමාදිපිතො ලොකො ජරාය මරණෙන ච නිහරෙතෙව දානෙන දින්නං හෝති සුනිහතං 

ගෙයක්‌ ගිනි ඇවිල ගත් විට ඒ ගෙයි තිබුණු රෙදි පිළි ඇඳ ඇතිරිලි කොට්‌ට මෙට්‌ට ආදී දෑ ගිනිගත් හෙයින් ඉවතට ඇදගත් භාණ්‌ඩ පමණක්‌ මතු ප්‍රයෝජනය පිණිස පවතී. අනෙක්‌වා සියල්ල දැවී අලුවී යයි. එසේම ජරා මරණ දෙකින් දැවෙන අප ජීවිතයේ අපට ඉතිරි වන්නේ දන් දීම පමණයි. උපාසකයා මෙය පසක්‌කරගෙන අකුසල මූලයක්‌වූ ලෝභය දුරුකරගනී.

පස්‌වැන්න භික්‌ෂුන් වහන්සේලා දකිනු කැමති වීමයි 

උපාසකයෝ නිතර භික්‌ෂුන් වහනසේලා දැකීමට යති මුණ ගැසෙති. වැඳුම් පිදුම් කරති. සිව්පසයෙන් උපස්‌ථාන කරති. එසේම ගිහියන්ට සමාජ ජීවිතයේ ප්‍රශ්නයක්‌ පැනනැගුන විට නිසි උපදෙස්‌ ලබාගත හැක්‌කේ ගෞරවනීය භික්‌ෂුන් වහන්සේලාගෙන් පමණි. එම නිසා භික්‌ෂුන් වහන්සේලා නිතර නිතර හමුවීම උපාසකයකුට තිබිය යුතු ඉහළම ගුණාංගයක්‌වේ.

සයවැන්න ධර්මය අසනු කැමතිවීමයි

විහාය වික්‌ඛෙපමේලං 

අට්‌ඨි කත්වාන සාදුකං 

සද්ධම්ම සවණං 

ඵත්ථ සවණත්ති පවුච්චති 

යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇත. සිතෙහි පවතින වික්‌ෂිප්තාදෝෂය දුරුකර පදයක්‌ පදයක්‌ පාසා අර්ථයන් මෙනෙහි කරමින් ධර්මාරම්මණය කෙරෙහිම යොමුවූ සිතින් ධර්මය ශ්‍රවණය කළ යුතුය යන්න එහි අදහසය. ධම්මං විනා නත්ථි පිතාච මාතා තමේච තාණං සරණං පතිට්‌ඨා තස්‌මාහි භෝ කිචිචමඤ්ඤප්පහාය 

ධර්මය හැර මවෙක්‌ හෝ පියෙක්‌ මේ ලෝකයේ සත්වයන්ට නැත. සත්වයන්ට ඇති එකම පිළිසරණ එයයි. එකම රැකවරණය එයයි. එමනිසා බාහිර කටයුතු නවතා ධර්මයම අසව්ෘ එහිම හැසිරෙව්ෘ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. වරක්‌ බුදුරජාණන්a වහන්සේ ධර්මදේශනාවක්‌ කරමින් සිටිසේක. එම දේශනාව ඇසීමට කොසොල් රජුගේ බිරිඳවූ මල්ලිකා දේවියත් බුදුරජාණන් වහන්සේගේ ඥාතිවරයකු වූ වාසඛක්‌ඛත්තියාද පැමිණ සිටියෝය. මල්ලිකා දේවිය ඉතා ඕනෑකමින් සාවධානව බණ ඇසූ අතර වාසඛක්‌ඛත්තියා එසේ නොමැතිව අහන්නන් වාලේ නොසලකා හරිමින් බණ ඇසුවාය. ආනන්ද හාමුදුරුවන් මේ බව බුදුරජාණන් වහන්සේට දැන්වූවිට උන්වහන්සේ මෙසේ කීහ. ආනන්දය මා දෙසූ ධර්මය ඕනෑකමින් ඇසීම, ඉගෙනීම පාඩම් කිරීම, පිළිපැදීම නොකරන තැතැත්තාට පල නැත. කෙසේද යත් පැහැය ඇතත් සුවඳ නැති මල් කෙතරම් පැළඳුවත් සුවඳ නැත්තාසේය. 

සත්වැන්න ඇසු දහම්හි අර්ථය පිරික්‌සීමයි. සුනාත ධාරේථ චරාථ ධම්මං යනුවෙන් ධර්මය අසා එහි අර්ථය පිරික්‌සා ඒ අනුව හැසිරිය යුතුය. අටවැන්න ධර්මානුධර ප්‍රතිපත්තියක ජීවත්වීමයි. මීට දශක කිහිපයකට පෙර කාලය හා මෙකල සංසන්ධනාත්මකව සලකා බලනවිට අද බුදුදහම කෙරෙහි යොමුවෙන හා ධර්ම දේශනා ආදී ආගමික කටයුතු සඳහා යොමුවන පිරිස ඉහළ ගොස්‌ ඇතිබව අවිවාදාත්මකය. එහෙත් එම බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ කීයෙන් කීදෙනෙක්‌ ද යන්න විමසා බැලිsය යුතුය. ඉතා සුළු පිරිසක්‌ හැර අන් සියල්aලම ධර්මානුධර ප්‍රතිපත්ති පිළිනොපදින බව අපගේ අදහසය. එහෙත් උපාසකයින් නම් ධර්මානුධර ප්‍රතිපත්තියකම ජීවත්විය යුතු බව මහානාම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලදී. ධර්මානුධර ප්‍රතිපත්තියෙහි ජීවත්වීම යනුවෙන් අදහස්‌ කරන්නේ දිනපතා තිසරණ සහිත පන්සිල් සමාදන්වීමත් මසකට වරක්‌ හෝ අටසිල් සමාදන් වීමත්, සුවඳ පුජා මල් පූජා කිරීමත්, දන් දීමත්, මවට පියාට හික්‌ෂුන් වහන්සේලාට ඇප උපස්‌ථාන කිරීමත් ආදිය හෝ අඩුම තරමින්වත් කිරීමය. උපාසකයින්ට සක්‌දෙවිඳු වැඳුම් පිදුම් කරන්නේ මේ ගුණාංග ඔවුන් සතුව තිබෙන නිසාය.

මීට අමතරව තවත් දස ගුණයක්‌ උපාසකයකු තුළ ඇති බව පුරාණ ධර්ම පුස්‌තකවල සඳහන්ව ඇත. ඒවා මෙසේය.

1. සංඝයා වහන්සේ සමාන සුව දුක්‌ කැමත්තෙක්‌ වීම 2. දසකුසල ධර්මය අධිsපතිකොට ඇත්තෙක්‌ වීම 3. හැකි උපරිම ශක්‌තියෙන් පූජා විභාගයෙහි ඇලී වාසය කිරීම 4. ශාසනයෙහි පිරිහීම් දැක එහි අභිවෘද්ධිය තකා වීර්යයෙන් කටයුතු කිරීම 5. සම්‍යක්‌ දෘෂ්ටියෙන් යුක්‌තවීම 6. දිවිහිමියෙන් අන්‍ය ශාස්‌තෘත්වය පිළිනොගැනීම 7. කායිකය වාචිකය රක්‌ෂා කිරීම 8. සමගියෙන් ජීවත් වීම 9. ඊර්ෂ්‍යා නොකිරීම සහ 10. වංචා වශයෙන් ශාසනයෙහි කටයුතු නොකිරීමය. 

සෑම උපාසකයෙක්‌ම මහත්තයෙක්‌ වන්නේ නැත. උපාසක මහත්තයෙක්‌ වන්නේ උපාසකට මහෝත්තමකමක්‌ ඇත්නම් පමණි. එසේම උපාසක රාළ කෙනෙක්‌ වන්නේ උපාසකයා උපාසක ගුණත් සමග උසස්‌ කුලයයි සම්මත කුලයක ඉපදී ඇත්නම් පමණි. උපාසක රාළහාමි කෙනෙක්‌ වීමට නම් උපාසකරාළ පරහට පිහිටවූ ස්‌වාමි බවකුත් ඇත්නම් පමණි. ගිහියකුට ලැබියහැකි ඉහලම නම්බුනාමය උපාසක රාලහාමිය.

මෙසේ උපාසකයෙක්‌ යනු කවරෙක්‌දැයි දේශණාකරන බුදුරජාණන් වහන්සේ දූෂිත නැතහොත් චණ්‌ඩාල උපාසකයිsන් යනු කවුරුන්දැයිද අංගුත්තර නිකායේ පංචක නිපාතයේ උපාසක චණ්‌ඩාල සූත්‍රයේ දේශනාකර ඇත. යමෙක්‌ තුළ ශ්‍රද්ධාව නොමැතිද, දුශ්ශීලයෙක්‌ වෙත්ද, සුබනිමිති බලන්නෙක්‌ වන්නේද, කර්මය නොව මංගල්‍යම සලකන්නේද, මේ ශාසනයෙන් බැහැර වෙනත් ආගම් අදහන්නෙක්‌ද හේ චණ්‌ඩාල උපාසකයෙක්‌ වේ. 

මෙම කරුණු පහේ ප්‍රතිවිරුද්ද ගුණාංගයන් ඇති උපාසකවරුන් උසස්‌ උපාසකවරුන් හෙවත් උපාසක පුණ්‌ඩරීක වන බව බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇත. 

ඕනෑම දෙයක්‌ ඕනෑම කෙනෙක්‌ පරිහානියටද පත්වීම ධර්මතාවයක්‌ වන්නා සේ උපාසකයින්ද පරිහානියට පත්වන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ඒ සඳහා කරුණු හතක්‌ බලපාන බව උපාසක පරිහානීය සූත්‍රයේ සඳහන් වේ. උපාසකවරු පරිහානියට පත්වන පළමුවැනි කරුණ සංඝයා වහන්සේලා දැකීමට අකමැති වීමය. සංඝයා හමුවීමට නොයැමය. මෙය අද සාකච්ඡාවට භාජනය වියයුතු කාරණයක්‌ බව අපගේ හැඟීමය. අද බහුතරයක්‌ භික්‌ෂුන් වහන්සේලා ඇසුරුකරන්නේ උන්වහන්සේලා පාංශුකූලයට වැඩමවා ගැනීමට අවශ්‍යය නිසාය. දානයට සහ පිරිතට වැඩමවා ගැනීමට අවශ්‍ය නිසාය. විහාරස්‌ථානයට යන්නේ ලෞකික අවශ්‍යතාවයන් සඳහා බෝධි පුජාවක්‌ තැබීමටය. මෙවැනි පටු පරමාර්ථ ඇති උපාසකයින් පරිහානියට පත්වේ. දෙවැන්න සද්ධර්ම ශ්‍රවනයට ඇති පමාවය. නොකැමැත්තය. බොහෝ උපාසකවරුන් කුසල් ලෙස සලකන්නේ ආමිස පුජාවය. ඔවුන්ගේ පරමාර්ථය සුගතිගාමී වීම මිස නිබ්බානගාමී වීම නොවේ. විහාරයට සම්බන්ධ බොහෝ දෙනා ආගමික කටයුතුවල යෙදෙන්නේ තමා ජීවත්වන ග්‍රාමය තුළ ප්‍රතිරූපයක්‌ ගොඩනගාගැනීම සඳහාය. බණක්‌ දහමක්‌ ඉගෙනීමට ඔවුන්ට වුවමනාවක්‌ නැත. මෙයද උපාසක පරිහානියට හේතුවේ. උපාසක පරිහානියට හේතුවන තුන්වැනි කාරණය වන්නේ අධීසීලයෙහි නොහික්‌මීමය. 

සීලය යනු තැන්පත්කමය. සංවර භවය. හික්‌මීමය. අධිසීලය යනු උසස්‌ම ශීලයෙහි හික්‌මීමය. පැවිදි භවතුන් සම්බන්ධයෙන් නම් අධිශීලය යනු උපසම්පදා සීලයයි. එහෙත් ගිහියන්ගේ අධිශීලය වන්නේ නොකඩවා රකින පංච සීsලය හා එයට අමතරව අෂ්ඨාංග සීලය රැකීමය. එසේ අධිසීලය නොරකින උපාසකද පරිහානියට පත්වේ. සතරවැන්න භික්‌ෂුන් කෙරෙහි අප්‍රසාදය පළකිරීමය. පස්‌වැන්න දොස්‌ දකින සිතින් බණ ඇසීමය. අංගුත්තර නිකායේ පංචක වග්ගයේ බණ ඇසීම ගැන මෙසේ සඳහන් වේ. පහත සඳහන් ආකාරයට දහම් ඇසුවොත් ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට නොහැකිය. ඒ අංග 5 මෙස්‌ය 

1. ගුණමකු කම ඇතිව දහම් ඇසීම 2. දොස්‌ නගන සිත් ඇතිව දොස්‌ සොයමින් දහම් ඇසීම 3. නුවණ නැති මුවින් කෙළ ගලන මෝඩයෙක්‌ සේ දහම් ඇසීම 4. දේශකයා හා ගැටුණු තද සිත් ඇතිව දහම් ඇසීම 5. නොදත් දෙය දනිමියි සිතා දහම් නොඇසීමය. ඒ අනුව උපාසකවරුන් දේශකයාගේ දොස්‌ දකික රිසින් අඩුපාඩු සොයන රිසින් බණ නොඇසිය යුතුය.

උපාසක පරිහානියේ සයවැන්න භික්‌ෂුන් කෙරෙහි අප්‍රසාදය පළ කිරීමය. සත්වැන්න මේ සම්බුද්ධ ශාසනයෙන් බැහැරව වෙන විමුක්‌ති සොයා යාමය. මේ සියල්aල උපාසකයකු පරිහානියට පත්වීමට හේතු කාරණා වේ. 

මේ සමාජයේ පුද්ගලයකුට විවිධ තනතුරු විවිධ නම්බු නාම ලැබිය හැක. එහෙත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අදහස අනුව ගිහියකුට ලැබිය හැකි ඉහළම නම්බුනාමය උපාසක මහත්මයා යන්නය. ශක්‍රදේවේන්ද්‍රයා රජවරුන්ට වඳින්නේ නැත. දේශපාලකයන්ට වඳින්නේ නැත. මහා ව්‍යාපාරිකයන්ට වඳින්නේ නැත. ලොකු ලොකු තනතුරු දරන්නන්ට වඳින්නේ නැත. වැඳුම් පිදුම් ලබන එකම ගිහියා උපාසකයාය. ( උපාසිකාවද අයත් වේ.)



වෛද්‍ය ප්‍රියන්ත හේවගේ 

විශ්‍රාමලත් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ
සදහම් සඟරා - Online