ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

භාවනාව යනු කුමක්ද...?

භාවනාවන් ප්‍රධාන වශයෙන් සමථ විදර්ශනා යනුවෙන් දෙවැදුරැම් වේ. විදර්ශනාව වැඩීම පිණිස නම් කවර භාවනාවක් තුළින් හෝ මුලින් සමාධිය පිහිටුවා ගත යුතුය. මේ නිසා ආනාපාන සතිය ඇතුළුව සතලිස් වැදෑරැම් භාවනාවන්ගෙන් කවරකින් හෝ සමථය වඩා සමාධිය පිහිටුවාගෙන විදර්ශනාව වැඩිය යුතුවේ. ඉතා කලාතුරකින් අවස්ථාවක සමථය නොවඩා කෙලින්ම ශුෂ්ක විදර්ශනා භාවනාවේ යෙදෙන යෝගීහු ද වෙත්. එය දුෂ්කර තත්ත්වකි. බොහෝසෙයින් භාවනාව පුරැදු පුහුණු කරන පින්වතුන් සමථය වඩා විදර්ශනා මාර්ගයේ ගමන් කරති. මෙසේ මුලින් සමථය වඩා සමාධිය පිහිටුවා ගැනීම මඟින් අපේක්ෂා කරනුයේ ප්‍රඥාව ඇති කර ගැනීමයි. 

ප්‍රඥාව යනු කවරක්ද...? ප්‍රඥාවේ ප්‍රයෝජනය කවරක්ද...?
බොහෝ දෙනෙක් ප්‍රඥාව යනු උගත්කම නුවණ බුද්ධිය යැයි වරදවා වටහාගෙන ඇත. සැබවින්ම ප්‍රඥාව යනු පෙර සඳහන් කළ කිසිවක් නොව අවිද්‍යාව දුරැකොට විද්‍යාව අවබෝධ කරගැනීමේ හැකියාවයි. එය පරම සත්‍යය විශ්ව යතාර්ථය ස්වභාවික යතාර්ථය අවබෝධ කරගැනීමේ නුවණ යනාදී නම් වලින් වුව හැදින්විය හැක. සම්මුති ලෝකයේ අප ව්‍යවහාර කරන උගත්කම නුවණ බුද්ධිය ආදියට අවිද්‍යාව දුරැකොට විද්‍යාව අවබෝධ කරගැනීමේ හැකියාවක් නැත. මේ නිසා ප්‍රඥාව ඇතිකර ගැනීම සඳහා සමථය වැඩීමෙන් සමාධිය පිහිටුවා ගත යුතුවේ. සිතක සමාධිය ඇතිවීම නිසා සිත ප්‍රභාශ්වරවේ. එසේ සුපිරිසිදු වූ සිතට යතාර්ථය අවබෝධ කර ගැනීමේ හැකියාව නැතහොත් ප්‍රඥාව පහල වේ. එවන් සිතකට විදර්ශනාව තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්මක යන ත්‍රිලක්ෂණය අවබෝධයෙන් විමසීමේ හැකියාව ලැබේ. යමෙක් භාවනාවෙන් සමාධිය ලබන්නට පෙර සිටම සිතට දැනෙන සුවය නිසා හදසන්තානය පුරා ප්‍රීතිය පස්සද්ධිය හටගනී. මේ නිසා යමක් පහසුවෙන් වටහා ගැනීමේ සිහිය ද දියුණුවේ. සමාධිය ලැබීමෙන් පසු මේ තත්ත්වය වඩ වඩාත් දියුණු තියුණු වේ.

පෙර බුදුවරැන් පහළවීමට පෙර පවා ඉන්දියාවේ සමථ භාවනා පුරැදු පුහුණු කල ද විදර්ශනාව වැඩීමක් ගැන ඔවුන් දැන සිටියේ නැත. මේ නිසා සමථයෙන් ධ්‍යාන උපදවා බඹලොව යන්නට උත්සාහ කලා මිස සසර සැරිසැරීම නතරකර නිර්වානවබෝධය ලැබීමට තරම් භාග්‍යවන්තයෝ නොවුනි. භාග්‍යවතුන්වහන්සේගේ ධර්මය ශ්‍රවනය කිරීමෙන් දහම් පොත්පත් කියවීමෙන් ඇතිකරගන්නා ශ්‍රද්ධාව නිසා සිල් රැකීමට නැඹුරැ වීමට පහසුවේ. සීලය වැඩි වැඩියෙන් ආරක්ෂා කිරීමට අත්සාහවත් වීමෙන් සමාධිය වැඩේ. එබැවින් සීලය සමාධියට මාර්ගය සෑදේ. සමාධිය ප්‍රඥාවටත් ප්‍රඥාව නිර්වානයටත් මඟ පාදයි.

මේ නිසා අප්‍රමාදීව ධෛර්යෙන් භාවනාව සඳහා උත්සාහවත් වීමෙන් කාලයත් සමඟ අවිද්‍යාව දුරැකොට විද්‍යාව අවබෝධ කරගැනීමේ අවකාශ ඔබටත් සැලසේ.
by Daham Vila
සදහම් සඟරා - Online