ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

සසර ගමන නවතාලන ශක්තිමත් සිත

කථිකාචාර්ය, දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

හරි ගිය හැම කෙනෙකුටම හරිගියේ සිත හොඳින් හදාගත් නිසායි. වැරැදුන හැම කෙනෙකුටම වැරැදුනේ සිත හදා නොගත් නිසායි. බුදුබණ ඇසීම හරහා නිවැරැදි වන්නේ සිතයි. සිත නිවැරැදි වීම තුළින් මේ ජීවිතය වගේම සසරත් නිවැරැදි වෙනවා. අස්ථිර ලෝකයේ ස්ථිර පැතුමන් ගොන්නක් ගොඩ ගහගෙන බර දරාගෙන මේ ගමන යන්නට බැහැ. මේ ලෝකයේ අපට ඕනෑම දෙයක් කරන්න බැහැ. අවශ්‍ය දේ පමණයි කරන්න පුළුවන්.
අප කවුරුත් ලබා ඇති මනුස්ස ජීවිතය ඉතාමත් දුර්ලභ එකක්. ඒ මනුස්ස ජීවිතය නිවැරැදිව ධර්මානුකූලව පවත්වාගෙන යෑමත් ඉතාම දුර්ලභ දෙයක්. ඒ වගේම හිත නිවෙන ධර්මය, සසර නිවෙන ධර්මය, ප්‍රඥාව ඇතිකරන ධර්මය වූ ආර්ය ධර්මය ඇසීමත් ඉතාම දුර්ලභයි. ඒ වගේම මේ මහා සසුන් කෙත ආර්ය ධර්මය ලෝකයට මුලින්ම හෙළිපෙහෙළි කරන බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමත් ඉතාමත් දුර්ලභයි.

අප ලැබූ මනුස්ස ජීවිතය කෙතරම් දුර්ලභද? කියා ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. දිනක් ආනන්ද ස්වාමින්වහන්සේ පිණ්ඩපාත චාරිකාවක වඩිනවා. එවලෙහි උන්වහන්සේ දුටුවා එක් පුද්ගලයෙක් අශ්ව රෝම කූපයක් ඉතාමත් ඈතින් තබා ඒ රෝම කූපය දෙබෑ වෙන්න ඊතලයකින් විඳිනවා. මේ දුටු ආනන්ද හිමියන් පුදුමයට පත්වෙලා සවස දහම්සභා මණ්ඩපයේදී මේ බව කියා සිටියා. එවෙලෙහි තථාගතයන් වහන්සේ වදාළා ආනන්ද, එය පුදුම වියයුත්තක් තමා. ඒ වගේම ආනන්ද, තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු රාත්‍රියේදී අශ්ව රෝම කූපයක් අරගෙන එය දහසයකට ඉරා ඒ දහසයෙන් එක් පංගුවක් ඝන අන්ධකාරයේ දී දුරස්ව තබා විදිනවා. ඔහුගේ උදව්වට පවතින්නේ අහසේ කොටන විදුලි අකුණ පමණයි. ඉතින් ආනන්ද විදුලි ආලෝකයෙන් අශ්ව රෝම කූපයෙන් දහසයෙන් පංගුවකට විදින එකද? නැත්නම් ඔබ දුටු දේද අමාරු. ස්වාමිනි, ඔබවහන්සේ වදාළ දේ ඉතාමත් අමාරුයි. ආනන්ද, මේ මනුස්ස ජීවිතයක් ලබන එක තද ඝනඳුරේ දහසයෙන් එක් පංගුවක් වූ අශ්ව රෝම කූපයට විඳිනවටත් වඩා අමාරුයි. දුර්ලභයි. එවැනි දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතය පහළට වැටෙන්න නොදී ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒ වගේම උන්වහන්සේ වදාළා සමහර අය මරණයෙන් පසු මවු කුසකට ඇදෙන්න වාසනාව ලබා ගන්නවා. පවු කළ අය සතර අපායට වැටෙනවා. පින, කුසලය දියුණුකළ අය දිව්‍යලෝක කරා ඇදෙනවා. හිතේ කෙලෙස් නිකෙලෙස් කරගත් අය පරිනිර්වාණය කරා ගමන් කරනවා කියා.
බුදුරජාණන් වහන්සේ වදාළා බුද්ධ දේශනා ඇසීමෙන් නිවැරැදි අවබෝධයකට යෑමට අපට මාර්ගය සැකසෙනවා. මේ ජීවිත නමැති ලෝකය මැනවින් අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ අපටත් අසිරිමත් ගමනක් යාමට හේතුවන අසිරිමත් ධර්මයක්ම දේශනාකොට වදාළා. තථාගත ධර්මය ශ්‍රවණය කිරීමට මෙහෙමයි කියා වෙලාවක් අවශ්‍ය නොවුණත් ලැබෙන වෙලාවේ ධර්ම කරුණක් සිතට ගතහොත් එය ජීවිතය වටින භාවයකට, ශ්‍රේෂ්ඨ භාවයකට, සිත නිවැරුදි භාවයට, අවබෝධයකට, ශාන්තියකට ගෙනයාමට හේතුවෙනවාම යි. හරි ගිය හැම කෙනෙකුටම හරිගියේ සිත හොඳින් හදාගත් නිසායි. වැරැදුන හැම කෙනෙකුටම වැරැදුනේ සිත හදා නොගත් නිසායි. බුදුබණ ඇසීම හරහා නිවැරැදි වන්නේ සිතයි. සිත නිවැරැදි වීම තුළින් මේ ජීවිතය වගේම සසරත් නිවැරැදි වෙනවා. අස්ථිර ලෝකයේ ස්ථිර පැතුමන් ගොන්නක් ගොඩ ගහගෙන බර දරාගෙන මේ ගමන යන්නට බැහැ. මේ ලෝකයේ අපට ඕනෑම දෙයක් කරන්න බැහැ. අවශ්‍ය දේ පමණයි කරන්න පුළුවන්. රැයත්, දවාලත් ගෙවෙනවා. මේ ගෙවෙන්නේ තමාගේ ආයුෂයි. මිනිසුන්ගේ ආයුෂ හරියට පුංචි දිය කඩිත්තක් වගේ. පුංචි දොළ පාරක් වගේ. සැඩ සූර්යා දින දෙක තුනක් පෑයූ ගමන් පුංචි දියකඩිත්ත සිඳී යනවා. අපේ ආයුෂත් ඒ වගේමයි. ඕනෑම මොහොතක මරණ ස්වභාවය අප කරා එන්න පුළුවන්.
මේ ජීවිතයේ දී කෙතරම් පැතුමන් සහිතව ජීවත් වුවත් කිනම් මොහොතක හෝ අප ඇද වැටෙන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මාරයා මොහු පුංචියි, මොහු උගත්, මොහු වගකීම් සහිතයි, මොහු වැඩිහිටියි ආදී කියා කිසිදු වටිනාකමක් නොදී අවස්ථාව ආ ගමන් මරා දමනවා. කුසල් කරන අයත් මරනවා, කුසලය හඳුනන්නේ නැති බාල අයත් මරා දමනවා. හැමෝම මරණයට, මාරයාට හසු වෙනවා. මාරයා ආකාර පහකින් ක්‍රියාත්මකයි. කේශ මාර, ස්කන්ධ මාර, අභිසංස්කාර මාර, මාර මාර, දේවපුත්ත මාර. අපේ හැම මොහොතකම ඇස, කන, නාසය, දිව, කය, ශරීරය හරහා එකවර නොවේ නැවත නැවත අප මරා දැමීමට මාරයා උගුල් අටවනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ෂය මාරයාගේ උගුල්. මේවාට ඇලීම හෝ ගැටීම ඇතිවිට මේ හරහා කර්ම රැස්වෙනවා. කර්ම රැස් වෙන්න වෙන්න අලුත් භවයන්ට අප ඇදී යනවා. කර්ම ඇති කළ අලුත් භවයන් ලැබෙනවා. කර්මයන් නැතිකළ අලුත් භවයන් නැහැ. ඒ නිසා මේ මාරයාගේ ක්‍රියාත්මක වීමත් ධර්මානුකූලව වටහා ගන්න පුද්ගලයා මාරයාගේ උගුල්වලට හසුවන්නේ නැතිව ජීවිතය තුළ ධර්මය දරාගෙන ධර්මකාමී ගමනක් යනවා.
ඒ නිසා ධර්මයට කැමැති පුද්ගලයා ධර්මානුකූලව ගමන යන පුද්ගලයා ඉදිරියට යනවා. ධර්මයට ද්වේෂ කරන පුද්ගලයා අධර්මය පිළිගන්න පුද්ගලයා භෞතික සැප සම්පත් ඔස්සේ හඹායන පුද්ගලයා පරාජිත බවට පිරිහෙන බවට පත්වෙන බව තථාගත ධර්මය තුළින් කියා දී තිබෙනවා.
අටුවා කතාවක මෙසේ සඳහන් වෙනවා. අටමහා නරකයට වැටී බොහෝ දුක් විඳින නිරි සතුන් දෙදෙනෙක් ගෙනවිත් යමරජු කියනවා, ඔබලා බොහෝ කල් දුක් වින්ඳා. ඒ නිසා ඔබලා නිදහස් කරන්න මම කැමැතියි. ඊට පෙර මම, ඔබ දෙදෙනාට වර දෙකක් දෙනවා. එක් අයෙකුට පුළුවන් මිනිසුන්ට සේවය කරන්න, දානය පුරුදු කරන්න, කුසල් වඩන්න. අනෙකාට පුළුවන් ලබන කෙනෙක් වෙන්න. දැන් එක් අයෙකුට ලබන්නත්, අනෙකාට දෙන්නත් පුළුවන්. එක් අයෙක් මුලින්ම ඉදිරිපත් වෙලා ලබන කෙනා වීමට කැමැත්ත පළ කළා. අනෙකාට ඉතුරු වුණේ දෙන කෙනා වෙන්න. යම රජු කියනවා ඔබලා මිනිස් ලොවට යන්න. ඔබේ ලෝභී සිත නිසා හිඟන්නෙක් ලෙස ලබන කෙනා වෙන වරය ඔබට දෙනවා. දෙන කෙනාගේ වරය ලැබූ කෙනා බොහොම පොහොසත් සිටුවරයෙක් වගේ ජීවත් වුණා. ලබන්න කැමැති වූ කෙනා බොහොම දුප්පත්ව අන් අයගෙන් හිඟා කමින් ජීවත් වුණා.
මෙයින් පැහැදිලියි, අපේ ජීවිත විවිධාකාර ලෙස පහළට වැටෙන ආකාරය. යම්කිසි විදිහකින් ඔබ සතු භාජනයක් ඕනෑම මොහොතක කැඩී බිඳී විනාශවෙන්න පුළුවන්. මේ වගේ අපේ ශරීරය හටගත් පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ ධාතු විනාශවෙන්න පුළුවන්. කැඩෙන, බිඳෙන, විනාශවන නිසා මේ ශරීරයට ලෝකය කියනවා. අපේ ජීවිතය මේ සත්ත්ව ශරීරය ලෝකයක්. ඕනෑම මොහොතක සත්ත්ව ශරීරය කැඩී බිඳෙන ස්වභාවයට පත්වෙන්න පුළුවන්. නමුත් මේ ශරීරය කැඩී බිඳී ගියත්, අපේ සිත අපට තැන්පත් කර ගන්න පුළුවන්නම්, ධර්මකාමීව අරමුණු සමඟ එකතු කරන්න පුළුවන්නම් තාවකාලිකව ලැබූ ශරීරයට වඩා එය බොහෝ ලෙස වටිනවා.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින සමඟ එක්වන කර්ම ව්පාක

මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී ඒ ශ්‍රාවකයාට හොඳින් කල්පනා කරන්නට පුළුවන් හැකියාවක් තිබිය යුතුයි. ඒ හැකියාව විශ්මිත දෙයක්. ඒ විශ්මිත දේ තුළිනුයි ඔහුට මේ ධර්මයේ තිබෙන නිවැරැදි දේ හමු වෙන්නේ. ඒ තුළින් ඔහුට මේ ධර්මයෙන් උපරිම දේ ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා.තමන්ගේ ජීවිතයේ කල්පනා කරන ශක්තිය තම තමාගේ ජීවිතයේ සාර්ථකත්වය කරා ගෙනයන ආකාරයට හදා ගන්න ඕන.
අප දන්නවා බොහෝ දෙනා කුසල් වඩනවාටත් වඩා පිනට මිනිසුන් කැමැතියි. මේ ලෝකයේ තිබෙන බලවත්ම කුසල් තමා සතර සතිපට්ඨානය වැඩීම, සිහිය ඉහළට දියුණු කිරීම, විදර්ශනා සමථය වැඩීම. නමුත් අද සමාජයේ ඒ බලවත් කුසල් වෙනුවට පළමුතැන දෙන්නේ පිනට. “පින” කියන්නේ අප මහත්ඵල මහානිසංස ලෙස දන් දෙනවා. පුදපූජා කරනවා, ධාතුන් වහන්සේ වඳිනවා, නොයෙක් ලෙස බුදුරජාණන් වහන්සේට උපහාර පූජා, මල් පූජා පවත්වනවා. ධර්මය පතුරුවන්නට උදව් වෙනවා. මේ සියලු පින් අප කරන්නේ කුසල උපදවා ගන්නවාට වඩා පින් රැස්කර ගැනීමට යි. මෙහෙම පින් කරනවා කියන මිනිසුන්ගේ ජීවිතේ ඔවුන්ටත් නො දැනීම ගොඩනැඟෙන කර්ම ශක්තියක් තිබෙනවා. එය අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා පින් කරන්නට ගිහින් පවු ගොඩක් ජීවිතවලට එකතු වෙනවා. ඒක මේ වගේ දෙයක්.
මීට කලින් බුද්ධ ශාසනයක රහතන් වහන්සේ කිහිප නමක් පිඬු පිණිස නිවසකට වඩිනවා. උන්වහන්සේලා මේ නිවසේ සිටි තරුණ යුවලක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් මුන්වහන්සේලාට දානය පූජා කළා. ඉතාමත් සංවර ඉරියව් තිබෙන උන්වහන්සේ දෙස බලලා සතුටු වුණා. මුනිවරු මෙතරම් ශාන්ත වුණේ යම් ධර්මයක් අවබෝධ කරලද? ඒ පරම ශාන්ත වූ අමා නිවන අපටත් අවබෝධ කරගන්න පුළුවන්නම් කියන අදහස තරුණ යුවලගේ සිතේ බලවත්ව පිහිටියා. මේ දෙදෙනා ඒ සිතිවිල්ලෙන්ම දන් පූජා කළා. දානය වැළඳු රහතන් වහන්සේ පිටත් වුණා. මොනම හරි හේතුවකට මුලින් සිටි හිමියන් පිටුපස හැරී පසුපස සිටි හිමියන් සමඟ සිනා වුණා. ඒ හිනාව දුටු කාන්තාව සැමියාට කියනවා හරියට “සර්කස් කාරයෙක්” වගේ නේද? කියා. ස්වාමියා හිස වනා එය ස්ථිර කළා.
ඒ අය මනුස්ස ලෝකයේ සැපවත්ව ගෙවා මරණින් මතු සුගතියේ උපන්නා. කර්ම විපාකය සඳහා ගෞතම බුද්ධ ශාසනයේදී අර කාන්තාව ඉපදුනා සර්කස් පවුලක. පිරිමියා උපන්නා ඒ ගමේම සිටු පවුලක. දැන් ඒ ගෑණු ළමයා ගමින් ගමට සර්කස් පෙන්වමින් යනවා. දිනක් මේ සිටුකුමාරයටත් මේ සර්කස් බලන්න ලැබුණා. සසරේ බැඳීම යළි මතු වුණා. දුටු සැණින් හිත ගියා. ඔහු තීරණය කළා මේ තරුණිය විවාහ කරන්න. කලින් ජීවිතයයි, කර්ම ශක්තිය එකට එකතු වුණා. මාපියන්ගේ විරුද්ධතා මැද අර තරුණිය විවාහ කරගත්තා. දැන් මේ කුමාරයාගේ රැකියාව සර්කර් පෙන්වන තැන්වලට බඩු ඇඳීමයි. දිනක් මේ තරුණයා මමත් සර්කස් ඉගෙනගන්න ඕන කියා සිතා සර්කස් ඉගෙන ගත්තා. කෙතරම් දක්ෂද කියනවානම් රියන් අසූවක් උස උණ ගසක් උඩකට නඟිනවා. කය සැහැල්ලු කරගෙන සමබර කරගෙන මොහොතකින් ආකාසයට පැන නැඟ ආකාසයේ කරනම් දාහතර ක් ගසා නැවත අර අසූ රියන් උස උණ ගසේ මුදුනේම සිට ගන්නවා. මිනිසුන් බොහෝ දෙනා එනවා මේ සර්කස් එක බලන්න.
දිනක් තථාගතයන් වහන්සේ ලෝකයාගේ හිතසුව පිණිස කරුණාවෙන් ලොව දෙස බැලුවා. උන්වහන්සේ පින තිබෙන කෙනා කෙතරම් ඈතක සිටියත් හොඳින් හඳුනනවා. හරියට මහමේරු පර්වතය වගේ. පින් නැති කෙනා ළඟ සිටියත් උන්වහන්සේට පෙනෙන්නේ නැහැ. හරියට රෑ කාලයේ ළඟට වැටුන ඉදිකටුවක් වගේ. බුදුරජාණන් වහන්සේ එදා සඟ පිරිසත් සමඟ සර්කස් පිට්ටනියට වඩිනවා. දැන් මිනිසුන් බුදුරජාණන් වහන්සේ දෙස බලනවා. අර පුද්ගලයා උණ ගහේ උඩ ඉන්නවා. ඔහු සිතනවා මම දැන් සර්කස් පෙන්වන්නට හදන්නේ. මේ ශ්‍රමණ පිරිසක් ඇයි මෙතැනට වැඩියේ? කියලා සිත වික්ෂිප්ත වුණා. බුදුන් වහන්සේ වදාළා පින්වත අපටත් පෙන්වන්න ඔබගේ සර්කස්. දැන් ඔහුට හරි සතුටුයි. උණ ගස මුදුනේ සිට සර්කස් වලට සූදානම්ව සිත එකඟ කරගත්තා. උණ ගසෙන් උඩට එසවුණා. බුදුරජාණන් වහන්සේ ඔහුට ඇසෙන සේ වදාළා “පින්වත, අතීතය අත්හරින්න. අනාගතය සිතින් පතන්නට එපා. වර්තමානයේ ස්වභාවය දකින්න. මේ පංච උපාධානස්කන්ධයට මුලාවෙන්න එපා” කියා. ඔහු ආකාසයේ සිටම ධර්මය අවබෝධ කරගෙන නැවත උණ ගස උඩ සිට ගත්තේ රහතන් වහන්සේ නමක් ලෙස. මේ නිසා කටින් පිටවන වචනය ගැන සැලකිලිමත්වීම වැදගත් වෙනවා.
ඔබට තව උදාහරණයක් කියන්නම්. එක සිටු නිවසකට පසේ බුදුරජාණන් වහන්සේ පිරිසක් දානයට වැඩියා. පාත්‍රා උණු වතුරෙන් සෝදන විට රස්නය නිසා උන්වහන්සේ ඒ පාත්‍රා බිම තිබ්බා. බිමතබා සෝදනවිට ඒ පාත්‍ර සෙලවෙනවා. එක් කුමාරිකාවක් මේක දැක තමාගේ අතේ තිබුණු ඇත් දළයෙන් කළ වළලු අට අර පාත්‍රා නොසෙල්වීමට ‘දරුණු’ ලෙස තිබ්බා. දැන් දානය පුජාකරගෙන සතුටු වුණා. ඒ පසේබුදුරජාණන් වහන්සේ අතර එක් නමක් සිටියා කුදුවෙලා යන. අර වළලු දුන් බිසව අනෙක් බිසෝවරුන්ට කියනවා අර අර බලන්න අර භික්ෂුව යන හැටි. අනෙක් අය අහනවා ඇයි මොකද? යන විදිහ. එවිට අරයා රඟපා පෙන්නුවා මෙහෙමයි ගියේ කියා. උපනුපන් ආත්මවල කුදුවෙලා ඉපදුණා. මේ බුද්ධ ශාසනයේ “කුජ්ජුත්තරා” ඇයයි. අර පාත්‍රාවලට දරුණු පූජාකළ පිනට වහා ධර්මය අවබෝධ වුණා. පසේබුදු කෙනෙකුට නින්දා කළ නිසා කුදු වුණා. එනිසා අපේ සසරේ සැරිසරන නජීවිත සකස් වෙලා තිබෙන විදිහ රෝම කූපයක, ඇහි බැමක, බලන බැල්මක, කථා කරන වචනයක, යම් ඉරියව්වක කර්මය සකස්වෙලා තිබෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කය කියන්නේ සසරේ කරන ලද පැරැණි කර්මයක් ලෙස. ඒවා මේ ජීවිතයේදී ලැබෙනවා. අප මුහුණේ එක එක ඉරියව් වෙනස් කළොත් අපේ මුහුණ එක එක ආකාරයට පෙනෙනවා. මේ ආකාරයට අපට කයක් හදලා දුන්නේ කර්මය විසින්. තවත් කෙනෙකුට හදාදුන් ශරීරයට හිනාවෙලා අපත් කර්ම රැස්කර ගන්නවා.
එහෙමනම් අප නොදැනීම පිනත් සමඟ කර්මය මිශ්‍ර වෙනවා. කෙනෙක් උඩුඟු සිතින් දන්පැන් දුන්නානම් ඒ දානය උඩුඟු සිත සමඟ එකතු වෙනවා. සමහර අය දන් දෙනවා. නමුත් කායික ජීවිතය සංවර නැහැ. දන් දෙන සමහරු හරි පරුෂයි. ඒ අය දානය නිසා බලවත් වෙනවා. නමුත් සැර පරුෂ යක්ෂයන් වෙනවා. තමන්ගේ ඊළඟ ජීවිතය දැන් ගතකරන ජීවිතය අනුවයි සකස් වෙන්නේ. තමන් දන්පැන් දෙනවිට, සිනාසෙනවිට, කථාකරනවිට එයින් කර්මයක් සකස් වෙනවා. බොහෝ දෙනා දන් දෙනවා. නමුත් අත් හැර දන් නොදුන්නේ නිසා දුන් දේ පමණක් ලැබෙනවා. තමන්ගේ දේ භුක්ති විඳින්න හිත නැමෙන්නේ නැහැ. තමන් කරන කියන දේ තමන්ගේ පිටු පස්සෙන් එනවා. එනිසා නිතරම අප දන් දීලා හිත පහදවා ගන්නට ඕන.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්මය මුල්කරගෙන විහිළු කළොත් එය විශාල පාපයක් වෙනවා. උප උපන් ආත්මවල විහිළුවට කිවුවත් එය අපට ගෙවන්නට සිදුවෙනවා. මිනිසුන් මේ සියලුම පාපයන් කර ගන්නේ ධර්මය නො දන්නාකම නිසයි. සමහර අය බුදුරජාණන් වහන්සේ විවිධ කුසලතාවලට විවිධ විශේෂ දක්ෂතාවලට නින්දා අපහාස කරනවා. ගරහනවා. එහෙම වෙන්න පුළුවන්ද කියා අහනවා. නමුත් ඒ අය දන්නේ නැහැ උන්වහන්සේගේ අසීමිත ප්‍රඥා ගුණය ගැන. ඒ නිසාම ශ්‍රද්ධාවක් නැති අය වචනය නිසා බොහෝ පවුකර ගන්නවා. බුදුරජාණන් වහන්සේ, ධර්මය, සංඝයා මුල්කරගෙන කියන කරන දේ පිළිබඳව අප විශේෂයෙන් පරිස්සම් විය යුතුයි . තමන්ගේ සිත, කය, වචනය හික්මීමෙන් ඔබටමයි යහපත සැලසෙන්නේ. ඔබ යමක් දෙන ආකාරයටයි නැවත ලැබෙන්නේ. තමන් ඉතුරු කරගෙන ඉතුරු කරගෙන නම් දන් දෙන්නේ සසරෙදී තමන්ට ලැබෙන විටත් ටික ටික තමා ලැබෙන්නේ. ඒ නිසා තමාට කර්මය ගැන හැඟීමක් තිබෙන්න ඕන. බුදුරජාණන් වහන්සෙගේ ශාසනයේ සිතින්, කයින්, වචනයෙන් මොනවාහරි දෙයක් කළොත් ලැබෙන්නේ ඒ ආකාරයට ය. ශාසනය කියන්නේ සරුසාර කුඹුරක්. ඒ කුඹුරේ මොන දේ වැපුරවත් එහි බීජ හට ගන්නවා. කොහොඹ වැපුරුවොත් කොහොඹ හට ගන්නවා. වී වැපුරුවොත් වී හට ගන්නවා. බුද්ධ ශාසනය ගැන අප සතුටින් නම් කථා කරන්නේ පුණ්‍ය සංස්කාර හට ගන්නවා. බුද්ධ ශාසනය ගැන අපැහැදීමෙන් නම් කටයුතු කරන්නේ පාපි කර්ම සකස් වෙනවා. ඒ නිසා අද කාලයේ මැරෙන බොහෝ දෙනා දුගති ලෝකවල යනවා.
සීලය ගැන, දානය ගැන, භාවනාව ගැන තේරුමක් නැහැ. ඒ නිසාම භාවනා කරන අයට ගරහනවා. භාවනාවක් කරන කෙනායි දන්නේ භාවනා කරන එක කෙතරම් අමාරුද කියා. භාවනා කරන අයට අප ගැරහුම් කළොත් එහි විපාක ලැබෙන්නේ අප භාවනාට වාඩිවුණාට පස්සේයි. සිල් රකින කෙනාට අපෙන් වරදක් වුණොත් යම් දවසක අප සිල් රකින්න උත්සාහ කරද්දී එහි විපාක අපට ලැබෙනවා. ඒනිසා තේරුම්ගන්න සිතින්, කයෙන්, වචනයෙන් නිරන්තරයෙන් කර්ම සකස් වෙනවා. පිනක් හෝ පවක් අපේ අතින් සිදුවෙනවිට තමන්ගේ හැසිරීම් රටාව, සිතේ ස්වභාවය කර්මයත් සමඟ එකතු වෙනවා. විපාක දෙනකොට ඒ සියලුම දේ එකතුවෙලා විපාක දෙනවා.
ඒ නිසා අප ඒ ගැන සිහියෙන්, බුද්ධියෙන්, විමසීමෙන් මේ ධර්ම මාර්ගයේ ගමන්කිරීම වැදගත් වෙනවා.
තෙරුවන් සරණයි!
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පන්සිල් සුරැකීමේ ආනිශංස

සත්ව ඝාතනයෙන් වැලකී සිටීමෙන් ලැබෙන ආනිශංස
ආරෝහ පිරිනාහ සම්පත්තියෙන් යුක්ත වීම
ජව සම්පත්තියෙන් යුක්ත වීම
මනාව පිහිටන පියවර ඇත්තෙකු වීම
රන්වන්පාට සිරුරක් ඇත්තෙකු වීම
මුදු මොළොක් සිරුරක් ලැබීම
පිරිසිදු පැවතුම් ඇති ඇත්තෙකු වීම
සූර වීර ගති ඇත්තෙකු වීම
මහා බලවන්තයෙකු වීම
නොපැකිල කිවහැකි වචන ඇත්තෙකු වීම
කාටත් ප්‍රිය මනාප පුද්ගලයෙකු වීම
පහ කළ දොස් ඇත්තෙකු වීම
කෙනෙකුට බිදවිය නොහැකි පරිවාර සම්පත්තියක් ලැබීම
තැති නොගත් කෙනෙකු වීම
විනාශ නොකළ හැකි උතුමෙකු වීම
පර උපක්‍රමවලින් අකල් මරණයට පත් නොවීම
අනන්ත වූ පරිවාර සම්පත් ඇති බව
සුරූපී පුද්ගලයෙකු වීම
මනා සටහන් ඇත්තෙකු වීම
අල්ප ආබාධ ඇත්තෙකු වීම
‍ශෝක නොකරන්නෙකු වීම
ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම
දීර්ඝායුෂ ලැබීම
මනාව පිහිටි අග පසග ඇත්තෙකු වීම
අදත්තාදානයෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස
මහා ධනවතෙකු වීම
බොහෝ ධන ධාන්‍ය ලබන්නෙකු වීම
අනන්ත භෝග සම්පත් ඇත්තෙකු වීම
නූපන් වස්තු උපදවීමට පුණ්‍ය ශක්තිය ඇත්තෙකු වීම
ඇත්තා වූ භෝග රැකගැනීමේ වාසනාව
කැමති වස්තූන් වහා ලබන්නෙකු වීම
රාජ,සොර,ගිනි,ජල ආදියෙන් විනාශ කල නොහැකි වස්තුව ඇති වීම
සාධාරණ ධන වාසනා ඇත්තෙකු වීම
ලෝකයේ උත්තමයෙකු බවට පත්වීම
නැත යන වචනය දන්නෙකුවත් නොවීම
සැප විහරණ ඇත්තෙකු වීම
කාමයෙහි වරදවා නොහැසිරීමෙන් ලැබෙන ආනිශංස
සතුරන් නැත්තෙකු වීම
සියලු ජනතාවටම ප්‍රිය කරන්නෙකු වීම
ආහාර පානාදී සියල්ල අඩුවක් නැතිව ලැබීමේ භාග්‍ය ඇත්තෙකු වීම
සැපසේ නින්ද යාම
සැපසේ පිබිදීම
අපාය භය නැත්තෙකු වීම
නපුංසක,උභතෝ,ඛ්‍යඤ්ජනක තත්ව වලට පත් නොවීම
ක්‍රෝධය අඩු පුද්ගලයෙකු වීම
ඒ ඒ දෙය පරික්ෂෘ කොට කරන්නෙකු වීම
කර නොබාගත් කෙනෙකු වීම (කුදු නොවීම)
සැක බිය නිසා බිම බලාගෙන නොසිටින්නෙකු වීම
ඔවුනොවුන්ට ප්‍රිය මනාප අඹුසැමියන් ලැබීම
පිරිපුන් ඉදුරන් ඇති බව
පිරිපුන් ලක්ෂණ ඇති බව
සැක නැති පුද්ගලයෙකු වීම
මහන්සි නොවී ධනය ලැබීමේ භාග්‍ය ඇතිවීම
සැප විහරණ ඇත්තෙකු වීම
කිසි තැනක කුමකටවත් බිය නොවන්නෙකු වීම
ප්‍රියයන්ගෙන් වෙන් නොවන්නෙකු වීම
මුසා බස් නොපැවසීමේ ආනිශංස
අතිශයින් ප්‍රසන්න ඉදුරන් ඇත්තෙකු වීම
මනා මිහිරි කටහඩක් ඇත්තෙකු වීම
සමානව පිහිටි සුදු දත් දෙපලක් ඇත්තෙකු වීම
අශෝභන වූ මහත් ශරීර නොලබන්නෙකු වීම
අශෝභන වූ මිටි ශරීර නොලබන්නෙකු වීම
අශෝභන වූ උස ශරීර නොලබන්නෙකු වීම
සැප ස්පර්ශ ඇත්තෙකු වීම
දුගද නැති මල් සුවදැති මුඛයක් ඇත්තෙකු වීම
සුවච කීකරු පරිවාර ජනයා ඇති බව
විශ්වාස කළයුතු වචන ඇත්තෙකු වීම
නෙඵම් පෙත්තක් බුදු වූ මෘදු වූ රත්පැහැ දිවක් ලබන්නෙකු වීම
උඩගු නොවන බව
චපල අදහස්,ක්‍රියා නැත්තෙකු වීම
මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකීමෙන් ලැබෙන ආනිශංස
ත=න් කල්හි කරන යම් කටයුත්තක් වේද එය වහා වැටහෙන බව
සෑම කල්හිම එලඹ සිටි සිහි ඇත්තෙකු වීම
උම්මත්තක නොවී ඉපදීම
ඥානවන්තයෙකු වීම
අලස නොවීම
නොහික්මුණු ක්‍රියා නොකිරීම
කෙළතොලු නොවීම
තරුණ මදයෙන් ආදී මත්වුණු ස්වභාවයක් නැති බව
අප්‍රමාදී විහරණ ඇත්තෙකු වීම
මෝහයෙන් මුලාවී කටයුතු කරන්නෙකු නොවීම
තැති ගැනීම් නැත්තෙකු වීම
එකට එක නොකිරීම
ඊර්ෂියා නොකරන බව
සත්‍ය වචන කතාකරන්නෙකු වීම
කේළාම්,පරුෂ,හිස්, වචන කථාකරන්නෙකු නොවීම
අලස බවින් තොරව කටයුතු කරන්නෙකු වීම
කළගුණ දන්නෙකු වීම
කළ උපකාරයට ප්‍රති උපකාර දක්වන්නෙකු වීම
මසුරු මල ධර්ම නැත්තෙකු වීම
ත්‍යාගවන්තයෙකු වීම
මහා සිල්වතෙකු වීම
ඍජු ගති පැවතුම් ඇත්තෙකු වීම
ක්‍රෝධ නොකරන සත්පුරුෂයෙකු වීම
පව් කිරීමට ලැජ්ජා ඇති ගුණවත් අයෙකු වීම
පව් කිරීමට බිය ඇත්තෙකු වීම
ඍජු අදහස් ඇත්තෙකු වීම
මහා ප්‍රඥාවන්තයෙකු වීම
මහා චිත්ත ශක්තියක් ඇති නුවණැත්තෙකු වීම
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කුසල් වැඩිකර ගත හැක්‌කේ කෙසේද ?

මහා මංගල සූත්‍රය නොදන්නා නොඇසු බෞද්ධයෙකු මෙලක සිටිතැයි සිතිය නොහැක. මංගල කරුණු 38 කින් සමන්විත මෙම සූත්‍රයේ පළමුවැනි මංගල කාරණය 'අසේවනාච බාලානං' යනුවෙන් හැඳින්වේ. එනම් බාලයන් ඇසුරු නොකළ යුතුය යන්නය. බාලයන් යනුවෙන් හැඳින්වෙන්නේ වයසින් බාලවුවන් නොවේ. ගුණධර්ම හා සිල්වත් භාවයක්‌ නොමැති පුද්ගලයන් යන්නය. මුළු ජීවිතයම විනාශවන්නේ අනර්ථකාරී වන්නේ නොමඟට යන්නේ දියුණුවක්‌ නැති වන්නේ පරිහානියට පත්වන්නේ හා අවසානයේ ජීවිතය පවා නැතිවන්නේ බාලයින් ඇසුරු කිරීම නිසාය මෙතරම්ම ජීවිත හානියට බලපාන වෙනත් පුද්ගලයෙක්‌ නොමැති තරම්ය. බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ මෙම කාරණය පළමුවැනි කාරණය ලෙස යොදාගෙන ඇත්තේ මේ නිසාය. 
බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ දෙවැනි කරුණ ලෙස සඳහන් කරන්නේ පණ්‌ඩිතානංච සේවනාය. එනම් පණ්‌ඩිතයන් ඇසුරු කිරීමය. පණ්‌ඩිතයන් යනු ගුණධර්ම හා සිල්වත්භාවයෙන් පරිපූර්ණ පුද්ගලයින්ය. මෙම ලිපියේ අරමුණ මහා මංගල සූත්‍රය ගැන අදහස්‌ දැක්‌වීම නොවේ. අප යහම
ගට යොමු කරන මග පෙන්වන මෙම ගුණධර්ම සහිත පුද්ගලයන් කවුරුන්දැයි හඳුනා ගැනීටමය. මන්ද කුසල් වර්ධනය කර සුගතිගාමී වීමට නැතහොත් නිබ්බානගාමී වීමට, ගුණධර්ම සහිත පුද්ගලයින් ඇසුරු කළ යුතු නිසාය. අපට සතර සම්‍යක්‌ ප්‍රධාන ඇති කරගත හැක්‌කේ එවිටය. සතර සම්‍යක්‌ ප්‍රධාන යනු ලෝකොත්තර මාර්ග ඥානයට උපකාරීවන ධර්ම හතෙන් එකකි. එම සතර නම් උපන් අකුසල් ප්‍රාහානය කිරීම පිණිස කරන ව්‍යායාමය නූපන් අකුසල් නූපදීම පිණිස කරන ව්‍යායාමය, නූපන් කුසලයන් ඉපදීම පිණිස කරන ව්‍යයාමය හා උපන් කුසලයන් වැඩි දියුණු කිරීම පිණිස කරන ව්‍යායාමයන්ය. එසේ නම් කුසල් වැඩිදියුණු කරගත හැක්‌කේ කිනම් පුද්ගලයින් ඇසුරු කිරීමෙන් දැයි විමසා බලමු.
 දිනක්‌ සැරියුත් මහරහතන් වහන්සේ ව්වේකීව සිටින අවස්‌ථාවක අකුසල් ඉවත්කර කුසල් වැඩිකර ගන්නේ කෙසේදැයි කල්පනා කළේය. උන්වහන්සේට අවබෝධවූ දෑ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරණ ලදී. බුදුරජාණන් වහන්සේ සාදු නාදයක්‌දී ඒ සියල්ල අනුමත කළේය. ශාස්‌තෘ ගෞරවයෙන් යුක්‌තව බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ඇසුරු කිරීමෙන් කුසල් වැඩි දියුණුකර ගතහැකි බව උන්වහන්සේගේ සිතට නැගී කරුණු විය. 
 සම්බුද්ධ පර්නිර්වානයෙන් වසර දෙදහස්‌ හයසිය ගණනක්‌ දැනට ගෙවී ඇති බැවින් අපට ඇසුරු කිරීමට බණ පදයක්‌ ඇසීමට ජීවමාන බුද්ධ රත්නයක්‌ නැත. ඇත්තේ උන්වහන්සේගේ ශාරීරික පාරිභෝගික හා උද්දේශික වස්‌තූන් පමණි. එ් වස්‌තූන් වැඳපුදා ගැනීමෙන් අප කුසල් අත්කර ගනිමු අපට ඇසුරු කිරීමට ඇත්තේ උන්වහන්සේ දේශනා කරණ ලද සද්ධර්මයයි. ඒ සද්ධර්මය අඩංගු පොතපත හැදෑරීමත් ධර්ම දේශනාවලට සවන්දීමෙනුත් කුසල් අත්කර හැක. මෙම කුසල් අත්කරගැනීමට මගපාදාගත හැක්‌කේ එම මාර්ගයට යොමුවිය හැක්‌කේ ගෞරවණීය මහා සංඝයා වහන්සේලා ඇසුරු කිරීමෙන් හා සිල්වතුන් හා සත්පුරුෂයින් ඇසුරු කිරීමෙන් පමණි. 
 දිනක්‌ බුදුරජානන් වහන්සේ වෙත පැමිණි ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඇසීය.
 'ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ නිවන් මාර්ගයෙ හරි අඩක්‌ම තියෙන්නේ කල්‍යාණ මිත්‍රතාවය මතය කියා මට සිතේ.' බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන්සේක. 'ආනන්ද ඔබ වැරදිය. හරි අඩක්‌ නොව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්‍යාන මිත්‍රතාවය මතය'. ඒ අනුව කුසල් වැඩි කරගැනීමට වඩාත්ම උපකාරී වන්නේ කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමය. සංයුක්‌ත නිකායේ ඇති මිත්ත නම් සූත්‍රයේ ද බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍යවන බාහිර අංගයක්‌ ලෙස සඳහන් කර ඇත්තේ කල්‍යාන මිත්තතාවයය. බෝධිසත්ව කාලය ගැන සඳහන් වන පන්සිය පනස්‌ ජාතකය හා බුද්ධ චරිතය හදාරන විට මෙහි සත්‍යතාවය මනාව පැහැදිලි වේ. මෙයට හොඳම උදාහරණයක්‌ වන්නේ ජෝතිපාල නමින් අප මහබෝසතාණෝ ඉපදී සිටි අවස්‌ථාවයි. බෝධසත්වයන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙත රැගෙන යන්නේ සිය කල්‍යාණ මිත්‍රයා විසින්ය. 
 බුදුදහමේ කල්‍යාණ මිත්‍රයා නමින් හඳුන්වන්නේ අප බොහෝ විට හඳුන්වන යමෙක්‌ තමාට වඩාත් හිතවත් ළඟම අඹ යාළුවා නොවන බව සඳහන් කළ යුතුය. අඹ යාළුවා යනු තමා ළඟින්ම ඇසුර කරන තමාගේ හොඳම මිත්‍රයාය. ඔහු යහපත් පුද්ගලයෙක්‌ මෙන්ම අපහපත් පුද්ගලයෙක්‌ද විය හැකිය. පාතාලයේ මැරයකුට මං පහරන්නෙකුට ස්‌ත්‍රී දුෂකයකුටද තමාට උපදෙස්‌ දෙන තමාගේ වැඩවලට හවුල්වන උදව් උපකාරී වන අඹ යාළුවකු සිටිය හැක. එහෙත් ඔහු කිසිවිටෙක කල්‍යාන මිත්‍රයකු නොවේ. කල්‍යාන මිත්‍රයා යනු තමන්ට සසර දුකින් එතෙරවීමට උදව් කරන පුද්ගලයා බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. මෙලොව බිහිවූ හොඳම කල්‍යාණ මිත්‍රයා තමා බව බුදුරජානන් වහන්සේම උන්වහන්සේ දේශනාකර ඇති සාරිපුත්ත දේශනයේ සඳහන්කර ඇත. ඒ අනුව දැනට ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක්‌ අපට නොමැති නිසා අපට සිටින ඇසුරු කිරීමට ඇති හොඳම කල්‍යාණ මිතුරා උන්වහන්සේ දේශනා කළ සද්ධර්මය හා ගෞරවණීය මහා සංඝයා වහන්සේලාය. 
 අද බොහෝ බෞද්ධයින් සංඝයා වහන්සේලා ඇසුරුකරන්නේත් විහාරස්‌ථානයට යන්නේත් තමන්ගේ ආගමික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහාය. පාංශකූලයට වඩම්මා ගැනීමට දානය හෝ පිරිතට වඩම්මා ගැනීමට බෝධි පූජාවක්‌ පවත්වා ගැනීමට ආදී අවශ්‍යතාවන් සපුරා ගැනීමටය. ඒ අතින් අපි අන්‍ය ආගමිකයන්ට වඩා බොහෝ පහළින් සිටින බව කණගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. පිංකම් කිරීමට විහාරස්‌ථානයටම යායුතු දැයි පන්සල් රැක්‌කාම මදිදැයි අසන්නෝද සිටිති. එසේම අද බොහෝ පිංවතුන් අස්‌ඨාංග ශීලය සමාදන්වීම සඳහාද විහාරස්‌ථානයට නොගොස්‌ නිවසේම රූපවාහිණිය ඉදිරිය් සිල් සමාදන් වීමට පුරුදුවී සිsටිති. සාමාන්‍ය ජනතාව සමඟ එකට සිටීමට ඇති අකමැත්ත දානය ගැනීමට ඇති අකැමැත්ත ආදී මහන්තත්වකම හේතුවක්‌ කරගෙන එසේ අෂ්ඨාංග ශීලය සමාදන්වීම අනුමත කළ නොහැක. අනික තුනුරුවන්ම නිවසේ නොසිටින බව ඔවුන් අවබෝධ කරගත යුතුය. කල්‍යාන මිත්‍රයා සේම අනෙක්‌ වැදගත් පුද්ගලයා වන්නේ සත්පුරුෂයින්ය. 
 බෝධිසත්ව චරිතය, මහා ශ්‍රාවක චරිත වෙනත් භික්‌ෂු භික්‌ෂුණීන් හා උපාසක උපාසිකා සිව්වනක්‌ පිරිස ගැන සලකා බලන විට ඔවුන්ට එම තත්ත්වයට ළඟාවීමට හැකිව ඇත්තේ සත්පුරුෂ ආශ්‍රය නිසා බවය. සත්පුරුෂයින් යනු කවුද? හඳුනාගන්නේ කෙසේද? ඇසුරුකළ යුත්තේ කෙසේද? යන්න ගැන බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා කිහිපමයක්‌ දේශනා කර ඇත. ඒ බව අංගුත්තර නිකායේ පස්‌වන මහාසන්නායකයේ සප්පුරිස වග්ගයේ සඳහන් වේ. යම්කිසි පුද්ගලයෙක්‌ තෙමේත් ප්‍රාණඝාතය නොකරයිද, අනුනුත් ප්‍රාණඝාතය වැළක්‌වීම සඳහා සමාදන් කරයිද හෙතෙම සත්පුරුෂයෙකි. යම්කිසි පුද්ගලයෙක්‌ තෙමේත් අදත්තාදානය නොකරයිද, අනුනුත් අදත්තාදානය වළක්‌වා ගැනීම කෙරෙහි සමාදන් කරයිද හෙතෙම සත්පුරුෂයෙකි. යම්කිසි පුද්ගලයෙක්‌ තෙමේත් කාමමිච්ජාචාරය නොකරයිද, අනුනුත් කාමමිච්ඡාරයෙහි යෙදීමෙන් වළක්‌වා ගැනීම කෙරෙහි සමාදන් කරයිද හෙතෙම සත්පුරුෂයෙකි. යම්කිසි පුද්ගලයෙක්‌ තෙමේත් මුසාවාදයෙන් වැළකී සිටීද අනුනුත් මුසාවාදයන් වළක්‌වා ගනීද හෙතෙම සත්පුරුෂයෙකි. යම්කිසි පුද්ගලයෙක්‌ තෙමේත් රහමෙර පානය නොකරයිද අනුනුත් සුරාපානය වළක්‌වා ගනීද හෙතෙම සත්පුරුෂයෙකියි යනුවෙන් සත්පුරුෂයින් යනු කවුරුන්දැයි දේශනා කළේය. 
 මීට අමතරව කුසල් වර්ධනය කරගතහැකි ගුණාංග සහිත පුණ්‍යවන්තයින් සතු ගුණාංග හතක්‌ සහිත සත්ත වෘත පද හතක්‌ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේත් ධම්ම පදට්‌ඨ කථාවේත් අඩංගුය. බුදුරජාණන් වහන්සේ මහාවිs නම් ලිච්චවී රජුගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මෙම කරුණු හත දේශනා කරන ලදී. ශක්‍ර සම්පත්තිය ලැබීමට පවා මෙම කරුණු හේතුවේ. මඝ නම් මානවකයා සක්‌දෙව් රජ වූයේ මේ ගුණාංග හත අනුව ක්‍රියා කළ නිසා බවද බුදුන් වදාළේය එම කරුණු හත නම්, 1. මව්පියන් පෝෂණය කරන 2. කුල දෙටුවන් පුදන 3. මෘදු වචන කථාකරන 4. කේලාම් නොකියන පුද්ගලයින්ය 5. මසුරු මල දුරුකරන 6. සත්‍ය වචන කියන 7. ක්‍රෝධ නොකරන පුද්ගලයා කල්‍යාණ මිතුරන් හා සත්පුරුෂයින් ඇසුරු කිරීමෙන් අප සන්තානයේ ඇති බොහෝ කෙලෙස්‌ මගහරවා ගෙන යහපත් මාර්ගයට යොමුවීමට ඔවුන් උපකාරී වනු ඇත. කුසල් කිරීමට වැඩිදියුණු කිරීමට ඔවුන් උපකාරී වන්නේ ඒ අයුරින්ය. ඔවුන් ඔබව යහමඟට ගනු ඇත. 
 ඉහත සඳහන් ගුණාංග වළින් පරිපූර්ණ කල්‍යාන මිතුරන් ඇසුරු කිරීමෙන් අපට කුසල් වැඩිකර පින් සිදුකර ගැනීමෙන් සුගතිගාමී විය හැකිය.

වෛද්‍ය ප්‍රියන්ත හේවගේ 
විශ්‍රාම ළත් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ලොව්තුරු බුදුවරු

අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදුවීම ට ප්‍රථම ව නියත විවරණ ලද දීපංකර බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශයේ සිට අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශය දක්වා වන බුදුවරු විසිපස්නම පිළිබඳ තොරතුරු මේ අනුව සකස් කර ඇත. මේ ලිපිය ඒ පිළිබඳ පුර්විකාවකි.
තුන්ලොව ට ම අතිශ්‍රේෂ්ඨ, අතිදුර්ලබ, උත්තරීතර පදවිය ලෙස ලොවුතුරු සම්මා සම්බුද්ධත්වය හැඳින්විය හැකි ය. බුදුවරයකු ගේ ශ්‍රේෂ්ඨත්වය නිවැරදි ව දේශනා කළ හැක්කේ තව ත් බුදුවරයකු ට ම පමණකි. බුදුගුණ අනන්ත ය. බුදු කෙනෙකුන් කල්පයක් තිස්සේ වෙනත් කිසි ම දෙයක් දේශනා නො කර බුදුගුණ පමණක් දේශනා කළ ත්, කල්පය නිමාවට පත් වනවා මිසක බුදුගුණ නිමාවට පත් නො වේ. එ මෙන් ම බුදුරජාණන් වහන්සේලා දෙනමක් අතර කාල පරතරය අවුරුදුවලින් මෙ පමණකැ යි දැක්විය නො හැකි තරම් ඉතා දීර්ඝ ය. සමහර කල්පවල බුදුවරු පහළ වන්නේ සිව් නමකි. එය “ සාරමණ්ඩ කල්පය" නමින් හඳුන්වනු ලැබේ. “වර” නමින් හඳුන්වන කල්පයෙහි බුදුවරු තුන් නමක් පහළ වෙති. “මණ්ඩ “කල්පයෙහි පහළ වන්නේ බුදුවරු දෙනමකි. එක බුදුකෙනෙක් පහළ වන කල්පය “සාර” නමින් හඳුන්වනු ලැබේ. තව ද, බොහෝ කල්පයන් බුදුවරු පහල නො වන "ශුන්‍ය කල්ප" බව ත්, බුදුවරු උපරිම ව පහල වන මහභාද්‍රකල්පයේ වුව ද, චතුරාර්ය සත්‍ය කතා කෙරෙන කාලය ඉතා අල්ප බව ත් දැක් වේ. මේ කරුණු කිහිපය සැලකිල්ල ට ගත කල ලොව උතුම් ම සේ ම දුර්ලබ ම පදවිය ලෙස ලොවුතුරු සම්මා සම්බුද්ධත්වය හැඳින්විය හැකි ය.

සම්මා සම්බුද්ධත්වය පතා පෙරුම් පුරන මේ සෑම බෝසත්වරයකු ම බුදු බව ලැබීමට නම් බුදුරජාණන් වහන්සේ ගෙන් නියත විවරණ ලැබිය යුතු ය. නියත විවරණය ලබාගැනීම ට පෙර සෑම බෝසත්වරයෙක් ම මනෝ ප්‍රණිධානය හා වාග් ප්‍රණිධානය සම්පූර්ණ කොට තිබිය යුතු ය. මනෝ ප්‍රණිධානය යනු පුණ්‍ය කර්ම කොට මේ පිනින් මට බුදුබව ලැබේ වා යි සිතින් සිතීම යි. මේ මනෝ ප්‍රණිධානය බෝසත්වරයකු විසින් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු වේ. මෙ සේ මනෝ ප්‍රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා ඊළඟ ට වාග් ප්‍රණිධානය පුරන්න ට පටන් ගනියි. වාග් ප්‍රණිධානය යනු පින්කම් සිදුකොට “ මට මේ පිනෙන් බුදුබව ලැබේ වා! යැ යි වචනයෙන් ම ප්‍රකාශ කිරීම යි. මෙ සේ වාග් ප්‍රණිධානය නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු ය.
එක් කලෙක දී බ්‍රහ්ම ලෝකය හිස් ව යන්නට විය. සිටින බ්‍රහ්මයන් ගේ ආයුෂ ගෙවී බඹ ලොවින් චුතවෙයි. නැවත බඹ ලොව උපදින බ්‍රහ්මයෙක් ද නැත. එක්තරා බ්‍රහ්මයෙක් මෙය ට හේතුව කුමක් දැ යි විමසා බලන විට බුද්ධ ශූන්‍ය කල්ප බොහෝ ගණනක් ගත වී ඇති බව පෙනුණි. බුදු බව පතන බෝසත්වරයෙක් නැති දැ යි බැලී ය. අනන්ත අප්‍රමාණ සිටින බව ත් උන්වහන්සේලා තව ම පෙරුම් දම් සපුරන බව ත් දුටුවේ ය. එ සේ නමුත් තමා ත් කිසියම් පුද්ගලයෙක් බුදු බව පැතීමට යොමු කළ යුතු යැයි කල්පනා කළ බ්‍රහ්මයා ඒ සඳහා සුදුසු පුද්ගලයකු සෙවී ය.
එ විට ගමන් කළ නැව කැඩී මුහුදු බත් ව මවත් කරපින්නාගෙන සත් දිනක් පිහිනන ගුණවත් වීර්යවන්ත පුරුෂයා දුටුවේ ය. මෙබඳු ශ්‍රේෂ්ඨ පුරුෂයකු ට යි බුදු බව ප්‍රාර්ථනා කරවිය යුත්තේ යැ යි සිතූ බ්‍රහ්මයා ඔවුන් ගොඩ බිම ට සේන්දු කොට මව ට ආරූඪ වී “ පුතේ නුඹ මතු දිනක බුදුවෙයන්” යි කියවීය . අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු බව පැතීමේ ආරම්භය එය යි.
එ දින සිට මනෝප්‍රණිධානය සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කොට පුරාණ ගෞතම බුදුරදුන්ගෙන් අනියත විවරණය ලැබ වාග් ප්‍රණිධානය පිරීම ඇරඹී ය. අනියත විවරණය යනු බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කළ හොත් බුදු බව ලබාගත හැකි යැ යි බුදුරජාණන් වහන්සේ නමක් අනියමාර්ථයෙන් ප්‍රකාශ කිරීමයි.
මෙ සේ මනෝ ප්‍රණිධානය හා වාග් ප්‍රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා නියත විවරණය ලබා ගැනීමට සුදුසුකම් ලබයි. නියත විවරණය ලබා ගැනීම ට බුදුරජාණන් වහන්සේ නමක් වෙතට එළඹෙන බෝසත්වරයා කරුණු අටකින් සමන්විත විය යුතු ය.
මනුස්සත්තං ලිංග සම්පත්ති
හේතු සත්ථාර දස්සනං
පබ්බජ්ජා ගුණ සම්පත්ති
අධිකාරෝ ච ඡන්දතා
අට්ඨ ධම්ම සමෝධානා
අභිනීහාරෝ සමිජ්ඣති
යනුවෙන් දක්වා ඇත්තේ එ ම කරුණූ අටයි. මනුෂ්‍යත්වය යනු මිනිසකු වී සිටීම යි. පළමු වන නියත විවරණයෙන් පසු ලබන නියත විවරණවල ට මේ අවශ්‍යතාව නැත. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සිව් වැනි වරට සුමන බුදුරදුන්ගෙන් විවරණ ලබා ගන්නේ අතුල නම් නාරජෙක් ව සිටියදී ය. සත් වෙනුව විවරණය ලබාගත්තේ අනොමදස්සී බුදුරදුන්ගෙනි. ඒ යක්ෂ සේනාධිපතියෙක් ව සිටිය දී ය. අට වන වර පදුම බුදුරදුන්ගෙන් විවරණ ලබාගන්නේ සිංහරාජයකුව සිටිය දී ය.
ලිංග සම්පත්තිය යන්නෙන් ගණන් ගැනෙනුයේ පුරුෂයකු වීම යි. හේතු යනු නියත විවරණය ලබන ආත්මභාවයේම රහත් වී නිවන් දැකීමට හේතු සම්පත් තිබීමයි. අපේක්ෂාව පැතුම් බුද්ධත්වය බැවින් හේතු සම්පත් ඇතත් රහත් භාවයට පත් නොවේ. සත්ථාර දස්සනය නම් සම්බුදුවරයන් වහන්සේ නමක් දැකීම යි. ප්‍රථම නියත විවරණය චෛත්‍යයක් බෝධියක් ඉදිරියේ දී ලබාගත නොහැක. බුදුරදුන් පිරිනිවි කල්හි ශ්‍රාවකයකුගෙන් ද ලබාගත නො හැක. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරිපිට දීම ලබාගත යුතු ය. පබ්බජ්ජා වශයෙන් හඳුන්වන්නේ පැවිදි වී සිටිය යුතු බවයි. නියත විවරණය පළමුවෙන්ම ලබාගන්නා තැනැත්තා බුද්ධශාසනයෙහි හෝ කර්ම, කර්මඵල පිළිගන්නා තාපස කොටසක හෝ පැවිදි වී සිටිය යුතු ය. ගුණසම්පත්ති නම් පැවිදිව ධ්‍යානාදී ගුණයන් ලබා තිබීමයි. පැවිදිව සිටිය ද පඤ්ච අභිඥා අෂ්ට සමාපත්ති නොලබා සිටින කෙනකුට පළමු වැනි නියත විවරණය ලබා ගත නොහැක. අධිකාරය නම් ජීවිත පරිත්‍යාගය යි. එ දා අප ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසයන්ව දීපංකර බුදුරදුන්ගෙන් ප්‍රථම නියත විවරණය ලබන විට බුදුරදුන්ට සහ විසි දහසක් මහා සංඝරත්නයට තම පිට ඒදණ්ඩක් කොට මඩෙහි දිගා වි සිටියේ ජීවිත පරිත්‍යාගයෙනි. ඡන්දතා යනු බුදුවීම සඳහා ඇති බලවත් කැමැත්ත ය. බුදුවීම සඳහා ඕනෑ ම කැපවීමක් කිරීමට හැකියාවක් ඇති තැනැත්තාට ම නියත විවරණය ලැබේ.
ගෞතම බෝසතාණන් වහන්සේට එදා දීපංකර පාදමූලයේ දී මෙ කී කරුණු සම්පූර්ණ වී තිබුණු හෙයින් ප්‍රථම නියත විවරණය ලබාගැනීමට හැකි විය.
පෙරුම් පිරීමේ අනුහස් නියත විවරණ ලත් බෝසත්හු, සසර සරන කල් හි, අවීචියෙ හි නො උපදිත්. ලෝකාන්තරික නිරයෙ හි නො උපදිත්. ප්‍රේත ව නො උපදිත්. පරෝපකාර පිණිස සිය කැමත්තෙන් ද තිරිසන් ව උපදිත හැකි වෙතත් ඇතකු ට වඩා ලොකු හෝ වටුවකු ට වඩා කුඩා සතෙක් ව නො උපදී. මිනිස් ව උපදනා කල ස්ත්‍රී ව, පණ්ඩක ව, නපුංසක ව උභතෝඛ්‍යංජනක ව, නො උපදිත්. අනාන්තරිය පව් නො කරත්, නියත මිසදිටු නො ගනිත්, අසංඥතලයෙ හි හෝ ශුද්ධාවාසයෙ හි නො උපදිත්. අන්තිම අත්බව් හි තුසිත දෙව් ලොවින් චුත ව මව් කුස පිළිසිඳ ගනු ලබයි. සිහි නුවණින් යුතු ව ම පිලිසිඳ ගනිත්. සිහිනුවණින් යෙදී ම මව් කුස වසත්. බිහි වනුවෝ ද සිහි නුවණින් යෙදී ම බිහි වෙත්. මේ ආදී අනුසස් රැසෙක් වෙති. ඒ හැම , පාරමී ධර්ම පිරීමෙන් ඇති වන අනුසස් ය. සමතිස් පාරමිතා පිරීමේ අග්‍රඵලය නම් උතුම් ලොව්තුරු බුදුබව යි.
පෙරුම් පුරන කාලය
රහත්බව ලබන්නට අඩු ම ගණනේ කල්ප ලක්ෂයක් ද, පසේ බුදු බව සඳහා අසංඛ්‍ය දෙකකුත් මහා කල්ප ලක්ෂයක් ද, පෙරුම් පිරිය යුතු. ය ලොව්තුරා බුදු බව ලබන්න ට ප්‍රඥාධික බෝධිසත්ත්වයන් විසින් සතර අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතු ය. ශ්‍රද්ධාධික බෝසතුන් විසින් අට අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් ද වීර්යාධිකයන් විසින් සොළොස් අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් ද පෙරුම් පිරිය යුතු ය.
මෙතෙක් පහල වූ බුදුවරු.
සම්මා සම්බුදුරාජණන් වහන්සේ හැර ලෝකයෙහි පහළ වූ කිසි ම ශාස්තෘවරයෙක් තමන් ගේ තත්ත්වය ට ශ්‍රාවකයන් ට ත් පත්විය හැකි යැ යි දේශනා කොට නැත. බුදුරජාණන් වහන්සේ බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරන ඕනෑ ම කෙනකු ට බුද්ධත්වය ලබාගත හැකි බව දේශනා කළ සේක. එහෙත් බුද්ධත්වය ලබා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා කාලාන්තරයක් නො පසුබට උත්සාහයෙන්, ධෛර්යයෙන් පාරමිතා උපපාරමිතා , පරමත්ථ පාරමිතා වශයෙන් දස පාරමිතාවන් සම්පූර්ණ කළ යුතු ය. එසේ පාරමිතාවන් සම්පූර්ණ කොට බුද්ධත්වය පත්වූවෝ ද අනන්ත අප්‍රමාණ බව (අප්පමාණෝ බුද්ධෝ ) ඛන්ද පරිත්තයෙහි සඳහන් වේ. මේ සඳහා අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බෝධිසත්ව කාලසීමාවන් අධ්‍යනය වැදගත් ය යි සිතේ. බෝධිසත්ව අවධියේ දී උන්වහන්සේ ට හමු වී ඇති අතීත බුදුවරු ගණන පමණක් පන්ලක්ෂ දොළොස්දහස් විසිහතක් (512,027)බව දේශනා කර ඇත. මනෝ ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු එක්ලක්ෂ විසිපන්දහසක් (125,000) ද, වාක්‍ ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු තුන්ලක්ෂ අසූහත්දහසකුත් (387,000) කය වාක්‍ ප්‍රනිදානය තුළ දී හමු වූ සම්මා සම්බුදුවරු ගණන ව්සිහතකුත් (27) වශයෙනි.
ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ට පත්වන්න ට පෙර පාරමිතා පිරු කාලය තුළ පමණක් බුදුවරු මෙ පමණ සංඛ්‍යාවක් පහල වී ඇතිනම් මෙ ලොව පහල වූ අතීත බුදුවරු ගණන මෙ පමණකැ යි කියා කිසිසේත් කිව නො හැකි ය. අසංඛ්‍ය ගණනක් බුදුවරු පහල වී ඇති බව බුද්ධවංශයන් හි දැක් වේ. ප්‍රඥාධික , ශ්‍රද්ධාධික, වීර්යාධික බුදුවරු. ප්‍රඥාධික , ශ්‍රද්ධාධික ආදි බුදුවරුන් ලබන බුද්ධත්වයෙහි හා දේශනා කරන ධර්මයෙ හි කිසිදු වෙනසක් නැත. සමස්තයක් වශයෙන් ගතහොත් සෑම බුදුවරයෙක් ම දේශනා කරනුයේ අකුරු අටෙකි. වචන තුනෙකි. එ නම් අනිච්ච දුක්ඛ අනත්ත යන මේ අකුරු අට හා පද තුන යි. ශාරීරික වශයෙන් උස මහතින් වෙනස් වුණත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූ අනුවඤ්ජන එක සේ ම පවතී. ඓශ්චර්යයෙන් හා පුණ්‍ය මහිමයෙන් ද ප්‍රඥාධික බුදුරදුන් ට වඩා ශ්‍රද්ධාධික බුදුරදුන් වැඩිය. ශ්‍රද්ධාධික බුදුරදුන් ට වඩා විර්යාධික බුදුරදුන් වැඩි ය. හේතුව පෙරුම් දම් පුරණ කාලය දීර්ඝ බැවිනි.
දීර්ඝායුෂ සහිත බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු වැඩි කාලයක් නො පවතී. උන්වහන්සේ අනුශාසනා ප්‍රාතිමෝක්ෂය පමණක් දේශනා කරන හෙයිනි. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ අනුශාසනා ප්‍රාතිමෝක්ෂයත්, ආණා ප්‍රාතිමෝක්ෂයත් දේශනා කරන හෙයින් දීර්ඝ කාලයක් පවතී.
බුදුවරු කරුණු අටකින් අසමාන වෙති
සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කරුණු අටකින් අසමාන වෙති. ආයුෂය, ශරීරප්‍රමාණය, කුලය, ප්‍රධන්වීර්යය කරන කාලපරිච්ඡේදය, බුද්ධ රශ්මිය, අභිනිෂ්ක්‍රමණය කරන යානය, බෝධි වෘක්ෂය සහ පර්යංක ප්‍රමාණය යන කරුණු අටෙන් බුදුවරු අසමාන වෙති.
බුදුවරු කරුණු සතරකින් සමාන වෙති
බුදුවරු පිළිබඳ කරුණු සතරක් නො වෙනස් ව පවතී. සියලු බුදුවරුන් ගේ බෝධි පර්යංකය එක ම තැන වෙයි. දම්සක් පැවැත්ම ඉසිපතන මිගදායේ සිදු වේ. දෙවාරෝහනය සංකස්ස නගරද්වාරයෙ හි ද, ගන්ධකුටිය ජේතවනයෙ හි ද, වේ. මේ කරුණු සතරින් බුදුවරු සමාන වෙති.
බුදුවරුන් ට සාධාරණ ධර්මතා සමතිසකි
01. පශ්චිමභවික බෝධිසත්වයන් සිහිනුවණින් යුතු ව මවුකුසින් බිහි වීම.
02. මවුකුස පලක් බැඳ බලාසිටීම.
03. බෝසත් මවු සිටිපියෙ හි සිට බෝසතුන් බිහි කිරීම.
04. අරණෙ හි දී මවුකුසින් බිහි වීම.
05. උපන් කෙනෙහි උතුරු දිග ට සත් පියවරක් ගොස් සීහනාද කිරීම.
06. සතරපෙරනිමිති දැක පුත් කුමරු උපන් දා මහාභිනිෂ්ක්‍රමණය කිරීම.
07. පැවිදි ව සත්දිනක් හෝ ප්‍රධන් වීර්යය කිරීම.
08. බුදුවන දවස කිරිපිඬු වැළඳීම.
09. තණ ඇතිරියෙ හි වැඩසිට සර්වඥතාඥානය ලැබීම.
10. බුද්ධත්වය සඳහා ආනාපානසති කමටහන් වැඩීම.
11. මාර පරාජය සිදු කිරීම.
12. බෝධිපර්යංකයෙ හි ම ත්‍රිවිද්‍යාව ලැබීම.
13. සත්සතිය ගතකිරීම.
14. මහාබ්‍රහ්මයා ගේ අයැදීමෙන් දහම් දෙසීම.
15. ඉසිපතන මිගදායෙ හි ම දම්සක් පැවැත්වීම.
16. ප්‍රථම ප්‍රාතිමෝක්ෂ දේශනාව නවම් පුරපසළොස්වක් පොහෝ දිනයේ දී පැවැත්වීම.
17. දෙව්රම් වෙහෙර තැන් හි ම නිබද්ධවාසය.
18. සැවැත්පුරදොර යමාමහ පෙළහර දැක්වීම.
19. තව්තිසාවේ අභිධර්ම දේශනාව.
20. සංකස්සපුර ද්වාරයෙන් දෙව්ලොවින් බැසීම.
21. නිරතුරු ඵලසමාපත්තිය ට සමවැදීම.
22. ධ්‍යාන දෙක් හි වෛනෙයජනයා බැලීම.
23. කරුණක් නැඟීකල් හි ම ශික්ෂා පැනවිම.
24. අර්ථොත්පත්ති නිමිති කොට ජාතක දේශනාව.
25. ඥාතිසමාගමයෙ හි බුද්ධ වංශ දේශනාව.
26. ආගන්තුක භික්ෂුන් සමග පිළිසඳර කිරීම.
27. ආරාධනයෙන් වස් එළඹ දායකයන් ට නො දන්වා නො යාම.
28. දිනපතා පංචබුද්ධකෘත්‍යය නො කඩ කොට සිදු කිරීම.
29. පරිනිර්වාණය ට පෙර සූකර මද්දවය වැළඳීම.
30. සූවිසි කෙළසුවහස් සමවත් සමවැදී පිරිනිවීම.

මෙ ම ලිපි පෙළ බුද්ධ වංශ පාළිය මූලික කරගනිමින් සම්පාදනය වන බව පෙර ද, සඳහන් කරන්නට යෙදුනි. මෙ ම බුදුවරු විසිපස්නම ට පෙර පහල වූ තව ත් බුදුවරු තුන්නමක් පිළිබඳ සඳහන් වේ. බුද්ධ වංශයෙන් පැහැදිලි වන්නේ දීපංකර බුදුරදුන් ගේ සිට ය. නමුත් ඒ හැර දීපංකර බුදුන් ගේ සාර මණ්ඩ කල්පයේ පෙර පහල වූ බුදුවරු පිළිබඳ එ හි සඳහනක් නැත. තණ්හංකර, මහාවීර, මේධංකර යන බුදුවරු එ ම කල්පයේ පෙර පහල විය. ඒ පිළිබඳ විස්තරයක් පූජාවලියේ දෙවන පරිච්චේදයේ දක්නට ඇත.
තණ්හංකර බුදුරජාණන් වහන්සේ "සුනන්ද" පිය රජු හා "මනෝනඤ" මව් දේවිය මවු පදවිය ලබා උපන් අතර තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්‍රියා කොට "රුක්අත්තන" ගසක මුල බුදුබව ට පත්විය.
මේධංකර බුදුරජාණන් වහන්සේ "සුදේව" රජු හා "යසෝධරා" දේවියට මවුපියන් වු අතර මේධංකර බුදුන් සති දෙකක් දුෂ්කර ක්‍රියා කොට "කෑල" නැමති බෝධි මුලයේ දී බුදුබව ට පත් විය.
සරණංකර බුදුරජාණන් වහන්සේ "සුමංගල" රජු හා "යසවතී" දේවිය ට මවුපියන් වු අතර සරණංකර බුදුරජාණන් වහන්සේ "පුලිලබෝධි" මුලයේ දී මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කොට බුදුබව ට පත්විය.
බුද්ධ වංශ පිළිබඳ හොඳින් විමසා බැලූවිට පෙනෙන කරුණක් වන්නේ බුදුවරු පහල වන කල්ප ප්‍රමාණය ට වඩා බුදුවරු පහල නො වන කල්ප ප්‍රමාණය ඉතා විශාල බව යි. තව ත් කරුණක් වන්නේ බුදුවරු දෙනමක් අතර කාලසීමාව මෙතෙකැ යි ගණනින් දැක්විය නො හැකි තරම් ඉතා දීර්ඝ කාලයක් වීම යි. අතිශය දුර්ලභ බුද්ධොත්පාද කාලයක් අපි ලබා ඇත්තෙමු. එ සේ ම උතුම් මනුෂ්‍ය ආත්මයක් ද ලැබී ඇත. ක්ෂණ සම්පත්තිය නිසි ආකාරයෙන් පිහිටා ඇත. එයින් නිසි ප්‍රයෝජනය ලබාගැනීමට නම් බුදුන් දෙසු මග ඔස්සේ ගමන් කොට නිර්වාණ සම්පත්තිය ලබාගත යුතු ය. ඒ සඳහා සීල, සමාධි, ප්‍රඥා වැඩීම පිණිස අධිෂ්ඨාන කරගනිමු. තෙරුවන් සරණ යි!
මුදුන
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

"දුෂ්කර අවස්ථාවෙත් පින් කිරීම උතුම්" මෙණ්ඩක සිටුතුමාගේ කථා වස්තුව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ කාලයේ බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ භද්දිය නගරයෙහි ජාතියා වනයේ.භික්ෂු සංඝයා පිරිවරාගත් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිමින් පිළිවෙලින් අංගුත්තරාප ජනපදය තෙක් වැඩියා.
ඒ ජනපදයෙහි භද්දිය නගරයෙහි මෙණ්ඩක නම් සිටුවරයෙක් වාසය කළා.එතුමාගේ බිරිඳ චන්දපදුමා නමින් ප්‍රසිද්ධව සිටියා.ධනංජය සිටුතුමා යනු එතුමාගේ පුතයි.සුමනා දේවිය යනු ලේළියයි.විශාඛා නමින් මිණිබිරියක් සිටියා.පුණ්ණ නමින් දාසයෙක් සිටියා.
බුදුරජාණන් වහන්සේ මේ සියලුදෙනාම සෝවාන් වීමට පින් ඇති අය බව බුදු ඇසින් දැක්කා.ඒ නිසයි භද්දිය නගරයට වැඩම කළේ.
මේ සිටුවරයාට මෙණ්ඩක යන නම ලැබුණේ හරි පුදුම විදිහටයි.අමුණු තිස් දෙකක පමණ බිම් පෙදෙසක අලියෙකුගේ, අශ්වයෙකුගේ, ගොනෙකුගේ උස ප්‍රමාණයෙන් යුතු රන් බැටළුවෝ පොළොව පලාගෙන මතු වුණා.පිටෙන් පිට පහර දෙමින් මතු වුණා.ඒ රන් බැටළුවන්ගේ මුඛයෙහි පස් පැහැයෙන් යුතු නූලෙන් ගෙතූ පන්දු තිබුණා.ගිතෙල්, මී පැණි ආදිය වේවා, ඇඳුම් පැළඳුම් වේවා, රන් රිදී ආභරණ වේවා, ඕනෑම දෙයක් අවශ්‍ය වූ විට කරන්නට තියෙන්නේ ඒ බැටළුවන්ගේ මුවෙහි ඇති පන්දුව අයින් කරන එකයි.එතකොට දඹදිව වැසියන්ට ඇති තරම් වුවමනා දේවල් ඒ බැටළුවන්ගේ මුවින් ගලනවා.ඒ නිසයි සිටුතුමාට මෙණ්ඩක සිටු යන නම ලැබුණේ.මෙණ්ඩක කියන්නේ බැටළුවාටයි.
මේ සිටුතුමාට මෙතරම් වස්තුව පොළොවෙන් පහළ වුණේ පෙර සසරේ කරපු පිනක් නිසයි.විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ මොහුගේ නම අවරෝජ.මොහුගේ බිරිඳගේ පියාගේ නමත් අවරෝජ.
දිනක් මොහුගේ මාමා විපස්සී බුදුරජුන්ට ගන්ධ කුටියක් කරන්නට පටන් ගත්තා.
"අනේ මාමේ....මමත් මේකේ හවුල්කාරයෙක් වෙන්නද...?"
"නෑ...නෑ...කවුරුවත් හවුල් වෙන්නට ඕනෑ නෑ...මං මේක කරන්නේ කාටවත් කරන්න බැරි විදිහටයි.ඒ නිසා තනියම කරන්නම්...."
'මේ ගන්ධ කුටිය කළාට පස්සේ මෙතැනම කුඤ්ජර නමින් ශාලාවක් කරන්නට ඕන...' කියලා වනයට ගියා.ලී දඬු සකසාගෙන ආවා.ඒ සෑම ලී කණුවක්ම කැටයම් කළා.ඇතැම් කණු රිදියෙන් කැටයම් කළා.ඇතැම් කණු මැණිකෙන් කැටයම් කළා.ඇතැම් කණු සප්ත රත්නයෙන් ඔබ්බවා කැටයම් කළා.මේ විදිහට දොරපලු, ජනේල, උළුවහු, වහල ආදිය හැමතැනම රන් කැටයම් ඔබ්බවා සැරසුවා.ගන්ධ කුටියට ඉදිරියෙන් තථාගතයන් වහන්සේ උදෙසා සප්ත රත්නයෙන් කුඤ්ජර ශාලාව කෙරෙව්වා.ඒ ශාලාව මැද රත්න මණ්ඩපයක් කෙරෙව්වා.ධර්මාසනයක් කෙරෙව්වා.ඒ ආසනයේ පාද ඝන රනින් කෙරෙව්වා.විට්ටම ඝණ රනින් කෙරෙව්වා.සතර පැත්තෙන් රන් බැටළුවෝ කෙරෙව්වා.ආසනයේ පාදවල යටින් තැබ්බෙව්වා.රන් බැටළුවෝ දෙන්නෙක් කරවලා පා පුටුවේ තැබ්බෙව්වා.රන් බැටළුවෝ කරවලා මණ්ඩපය වටේට තිබ්බා.ඒ ධර්මාසනය රන්මුතු වැල්වලින් සැරසුවා.හේත්තු වන ලෑල්ල සඳුන් වලින් කෙරෙව්වා.කුඤ්ජර ශාලාව කරවලා එක්ලක්ෂ හැට අට දහසක් ප්‍රමුඛ විපස්සී බුදුරජුන් වඩම්මවා හාර මාසයක් තුන් සිවුර සහිතව දන් දුන්නා.
විපස්සී බුදුරජුන්ගේ කාලයෙහි ඔය අයුරින් පින්කම් කළා.එයින් චුත වෙලා දෙව්ලොව - මිනිස් ලොව ඉපිද ඉපිද ආවා.මේ භද්‍ර කල්පයේ බරණැස් නුවර උපන්නා.බරණැස් සිටු යන නම ලැබුණා.ඔහු එක දවසක් රාජ උපස්ථානයට යමින් සිටියා.පුරෝහිතයා දැකලා මෙහෙම ඇහුවා.
"ඇදුරුතුමනි...නැකැත් මුහුර්තිවල විශේෂ යමක් තිබෙනවාද ?"
"එසේය...විශේෂ යමක් දකිමි."
"ඇදුරුතුමනි...ඒ විශේෂ දෙය ජනපද චාරිත්‍රයක්ද ?"
"නෑ සිටුතුමනි...එක්තරා භයක්....!"
"ඇදුරුතුමනි...ඒ භය කුමක්ද ?"
"සිටුතුමනි...එය දුර්භීක්ෂ භයක්....!"
"ඇදුරුතුමනි....කොයි කාලෙද ඔය භය ඇතිවෙන්නේ...?"
"තව තුන් අවුරුද්දකින් දුර්භීක්ෂ බය එනවා..."
එතකොට සිටුතුමා බොහෝ කුඹුරු කෙරෙව්වා.ගෙදර තිබෙන සියලු ධනයෙන් ධාන්‍යම රැස් කළා.එක්දහස් දෙසිය පනහක් වී අටු කෙරෙව්වා.අටුකොටු පිරෙව්වා.හැලි වළං වලත් වී පුරවලා බිම සාරවා නිධන් කළා.ඉතුරු වී මැටි සමග මිශ්‍ර කොට අනා බිත්තිවල ආලේප කෙරෙව්වා.
තුන් අවුරුද්ද ගෙවෙද්දී දුර්භීක්ෂ භය ඇති වුණා.සිටුතුමා අටුකොටුවල තිබෙන ධාන්‍යයෙන් ජනයා පෝෂණය කළා.ධාන්‍ය අවසන් වුණා.
"දරුවෙනි...දැන් ඈත කඳුකරයට පලා යන්න....දුර්භීක්ෂය නැතිවන කලට කැමති නම් එන්න.අකමැති නම් එහිම ඉන්න."
තම පරිවාර ජනයා හඬමින් සිටුතුමා වැඳ පිටත්ව ගියා.පුණ්ණ නම් දාසයා පමණක් නොගිහින් නැවතුණා.දැන් ඉතුරු වුණේ පස්දෙනයි.සිටුතුමයි, බිරිඳයි, පුතයි, ලේළියි, දාසයයි, බිම සඟවා තිබූ භාජනවලිනුත් වී ගත්තා.ඒවාත් ඉවර වුණා.බිත්තිවල ආලේප කරවපු මැටි පතුරු ගැලෙව්වා.වතුරෙන් තෙම තෙමා වී ටිකක් ගත්තා.එය කොටා හාල් නැලියක් ගත්තා.එයත් බිම සාරා සඟවා තිබ්බා.එදා සිටුතුමා රාජ උපස්ථානයට ගිහින් ආවා.
"සොඳුරියේ...ඉතාම බඩගිනියි.මොකවත් නැද්ද ?"
"හිමියනි....එක් සහල් නැලියක් තියෙනවා...."
"කොහෙද තියෙන්නේ....?"
"හිමියනි...සොරුන් ගනීවි යන බයෙන් මං එය බිම සාරවලා සඟවලා තියෙන්නේ....හිමියනි...එයින් කැඳක් හැදුවොත් අපට වාර දෙකක් අනුභව කරන්නට පුළුවනි....බතක් හැදුවොත් එක වාරයයි...."
"සොඳුරිය....අපට ජීවත් වෙන්නට වෙන දෙයක් නැහැ නොවැ....බත් කාලා මැරෙමු....බතක්ම හදන්න..."
සිටු බිරිඳ බතක් පිස කොටස් පහකට බෙදුවා.සිටුතුමාගේ කොටස තැටියෙහි වඩාත් ඉදිරියෙන් තැබුවා.
ඒ වෙලාවෙහි ගන්ධමාන පර්වතයෙහි පසේබුදුරජාණන් වහන්සේ නමක් සමාධියෙන් නැගිට්ටා.සත් දවසක්ම භාවනාවෙන් සිටිය නිසා නැගිට්ට විට බලවත් කුසගින්නක් එනවා.එතකොට උන්වහන්සේ දන් පැන් ලබා ගැනීමට සුදුසුකම් ඇති අය දෙස බලනවා.පසේබුදු කෙනෙකුට එබඳු අවස්ථාවක දෙන දානය මහත්ඵල මහානිශංස නිසා දුකට පත් වුණ අය දෙස විශේෂයෙන් බලනවා.එහෙම බලද්දී පසේ බුදුරජුන්ට මෙය පෙනුණා.
'මුළු දඹදිවම දුර්භීක්ෂ භයක් හටගෙන තියෙනවා.සිටු ගෙදර පස් දෙනෙකුට බතක් පිස තිබෙනවා.මේ ඇත්තන්ට ශ්‍රද්ධාවත් තියෙනවා.මට සංග්‍රහ කරන්න පුළුවන්කමක් තියෙනවා.'
මෙසේ කල්පනා කළ පසේබුදුරජුන් සෘද්ධියෙන් මහා සිටුවරයාගේ නිවස ඉදිරියට වැඩියා.සිටුවරයා ඉතා සතුටට පත් වුණා.මෙහෙම කල්පනා කළා.
'මං ඉස්සර දන් නොදුන්න නිසයි මෙබඳු වූ දුර්භීක්ෂයකට මුහුණ දුන්නේ.මං මේ බත කෑවොත් එක දවසක් ජීවත් වේවි.ආර්යයන් වහන්සේට පූජා කරගත්තොත් නොයෙක් කල්ප කෝටි ගණන් පිහිට ලැබේවි.' කියලා තමන්ගේ බත් තලිය ගෙන පසෙකින් තිබ්බා.පසේබුදුරජුන්ට වන්දනා කළා.ආසනයක් පැණෙව්වා.පසේබුදුරජුන්ගේ පා දෝවනය කළා.ආසනයෙහි වඩාහිඳෙව්වා.තම බත් තලිය පසේබුදුරජුන්ගේ පාත්‍රයට අඩක් දමද්දී පසේබුදුරජුන් අත වැසුවා.
"අනේ ස්වාමීනි...එක් සහල් නැලියක් පස් දෙනෙකුට පිසපු බතක් තියෙන්නේ...මේ එක් කොටසක්...මේක දෙකොටසක් කරන්නට බැහැ...මට මෙලොවින් සංග්‍රහ කරන්නට එපා...! මං සියල්ල දෙන්න කැමතියි..." කියලා සියලු බත් පූජා කළා.මෙහෙම පැතුමකුත් කළා.
"ස්වාමීනි....උපනූපන් ආත්මයෙහි මෙබඳු වූ දුර්භීක්ෂයක් දකින්නට නොලැබේවා ! මෙතැන් පටන් සියලු දඹදිව වාසීන්ට බිත්තර වී, බත් ආදිය දෙන්නට සමර්ථ වෙම්වා ! සිය අතින් වැඩකොට ජීවත් වෙන්නට නොලැබේවා ! එක් දහස් දෙසිය පනහක් අටුකොටු සෝදා, වතුර නා, ඒ අටුකොටු පෙරටුව සිට උඩ බැලූ විට රත් ඇල් සහල් අහසින් වැටී සියලු අටුකොටු පිරෙත්වා ! උපනූපන් තැන මැය මාගේ බිරිඳ වේවා ! මොහු මාගේ පුතා වේවා ! මැය මාගේ ලෙහෙලිය වේවා ! මොහු මාගේ දාසයා වේවා !" එතකොට සිටු බිරිඳත් මෙහෙම කල්පනා කළා.
'මගේ ස්වාමිය බඩගින්නේ සිටිද්දී මං කොහොමද අනුභව කරන්නේ...? මමත් පසේබුදුරජුන්ට මගේ කොටස පූජා කරනවා...' කියලා ඇයත් තම බත් කොටස පූජා කළා.මෙහෙම ප්‍රාර්ථනා කළා.
"ස්වාමීනි....උපනූපන ආත්මයක මෙවැනි දුර්භීක්ෂ භයක් නම් දකින්නට නොලැබේවා ! බත් හැළියක් ඉදිරියේ තබාගෙන සියලු දඹදිව වාසීන්ට බත් බෙදද්දී යම්තාක් මම එතැනින් නැගිටින්නේ නැද්ද, ඒ තාක් බත් ගත් තැනින් නැවත පිරේවා ! ඒ වගේම ස්වාමීනි...මොහුම මාගේ සැමියා වේවා ! මොහුම මාගේ පුතා වේවා ! මැයම ලෙහෙලිය වේවා ! මොහුම දාසයා වේවා !"
එතකොට පුතාත් තමන්ගේ බත් කොටස පසේ බුදුරජුන්ට පූජා කළා.මෙබඳු ප්‍රාර්ථනාවකුත් කළා.
"ස්වාමීනි...මෙතැන් පටන් කිසිදා මෙබඳු දුර්භීක්ෂ භයක් දකින්නට නොලැබේවා ! කහවණු දහසක් ඇති පසුම්බියක් ගෙන මුළු දඹදිව වැසියන්ට කහවණු බෙදුවත් ඒ කහවණු පසුම්බිය හිස් නොවේවා ! මාගේ මා පියවරුන් මේ දෙදෙනාම වෙත්වා ! මැය මාගේ බිරිඳ වෙත්වා ! මොහු දාසයා වේවා !"
ලෙහෙලියත් තමන්ගේ බත් කොටස පසේබුදුරජුන්ට පූජා කළා.මෙබඳු පැතුමකුත් කළා.
"ස්වාමීනි...මෙතැන් පටන් කිසිදා මෙබඳු වූ දුර්භීක්ෂ භයක් දකින්නට නොලැබේවා ! එකම කුල්ලකට පුරවාගත් බිත්තර වී සියළු දඹදිව වාසීන්ට දුන්නත් එය අවසන් නොවේවා ! උපනූපන් තැන මේ දෙදෙනාම මාගේ මාමණ්ඩියත්, නැන්දණියත් වෙත්වා ! මොහුම මාගේ සැමියා වේවා ! මොහුම දාසයා වේවා !"
දාසයාත් තමන්ගේ කොටස පසේබුදුරජුන්ට පූජා කළා.එදා සෙන්පතිබව පැතුවත් ලැබෙන බව දන්නවා.නමුත් ස්වාමිවරුන් කෙරෙහි ඇති ආදරය නිසා මේ විදිහට ප්‍රාර්ථනා කළා.
"ස්වාමීනි...මෙතැන් පටන් කිසිදාක දුර්භීක්ෂ භයක් දකින්නට නොලැබේවා ! මේ සියලුදෙනා මාගේ ස්වාමිවරු වේත්වා ! මා නඟුලෙන් සී සාද්දී එක්වරම මැදින් පස් පිඬැල්ලකුත්, දෙපැත්තෙන් පස් පිඬැලි තුන බැගිනුත් බිඳී යන ලෙසින් නඟුල් පහර සත බැගින් වැදී යත්වා !"
පසේ බුදුරජුන් සෙත් ගාථා ප්‍රාර්ථනා කළා.මොවුන්ගේ චිත්ත්ප්‍රසාදය පිණිස ගන්ධමාන පර්වතය තෙක් පෙනෙන්නටත් අධිෂ්ඨාන කළා.ඔවුන් බලා සිටියදීම අහසට පැන නැග ගන්ධමාන පර්වතයට වැඩියා.පන්සියයක් පසේබුදුවරුන්ට ඒ දානය බෙදුවා.ඒ සියල්ල ඉතා සතුටින් මේ උදවිය බලා සිටියා.
දහවල් කාලය ගෙවී ගියා.සිටු බිරිඳ හැළි වළං සෝදා නවා තිබ්බා.සිටුවරයා ඉවසිය නොහැකි බඩගින්න නිසා ඇඳේ වැටී නිදා ගත්තා.සවස් වරුවෙහි අවදි වුණා.
"සොඳුරියේ...බඩගින්න නම් ඉවසන්නට බැහැ....ඔය හැළියක දන්කුඩ ටිකක්වත් නැද්ද ?"
එතකොට සිටු බිරිඳ හැළිව්ළං සේදූ බව කිව්වේ නෑ.හැළියේ පියන ඇරලාම කියන්නට ඕන කියලා එතැනට ගියා.ගිහින් පියන ඇරියා.හරිම පුදුමයි...! අදහා ගන්නට බැහැ...ලොකු සමන් කැකුළු වගේ හැඩයෙන් යුතු ඇල් හාලේ අත් හැළිය පුරා පිරී තිබෙනවා....සිටු බිරිඳට ප්‍රීතිය වැඩිකමට කෑ ගැසුණා....
"හිමියනි...හිමියනි...නැගිටින්න...හරි පුදුම දෙයක් වෙලා...මං මේ හැළි වළං සෝදලා වසා තිබ්බා....හිමියනි....මෙහෙ එන්න...මේ බලන්න....ඇල් හාල් බත් සමන් කැකුළු වගේ ලස්සනට තියෙන අපූරුව....පින් නම් කළ යුතු දෙයක්මයි...දානය නම් දිය යුතු දෙයක්මයි...හිමියනි...මෙහි එන්න....හැකිතාක් වළඳන්න...."
හැමෝම ඉතා සතුටින් අනුභව කළා.ඒ පස් දෙනාටම සතුටුයි.හැන්දෙන් බත් ගත් තැනින් අඩු වුණේ නෑ.ආයෙමත් බත් පිරුණා ! අටුකොටු බලද්දී වී පිරී ඉතිරී ගිහින් ! සිටුතුමා හැම තැනම ප්‍රසිද්ධ කෙරෙව්වා.
"කවුරුත් භය වෙන්නට එපා ! ඕනෑ තරම් කෑම තියෙනවා..."
සිටු ගෙදරින් දිගටම ආහාර පාන බෙදුවා.ටිකෙන් ටික දුර්භීක්ෂය අවසන් වුණා.දඹදිව වාසීන්ට ජීවිතය රැක ගන්නට ඒ සිටුතුමා කළ උපකාරය හේතු වුණා.
ඔවුන් කාලානුරූපීව මිය ගියා.දෙව් මිනිස් ලොවෙහි සැරිසරා යද්දී අපේ බුදුරජුන් කල සිටුතුමා භද්දිය නගරයෙහි සිටු කුලයෙහි උපන්නා.සිටු දේවිය මහා සම්පත් ඇති කුලයක ඉපදී මේ සිටුතුමාගේම බිරිඳ වෙලා ආවා.ඒ පුතාමයි ඔවුන්ට පුතා වුණේ.ලේලියම ලේලිය වුණා.දාසයාම දාසයා වුණා.ඒ පෙර පින් නිසයි පොළොව පළාගෙන රන් බැටළුවෝ මතු වුණේ.දවසක් සිටුතුමා තමාගේ පින විමසන්නට හිතුවා.එක්දහස් දෙසිය පනහක් අටුකොට සේදුවා.වතුර නෑවා.ඒ අටුකොටු ඉදිරියට ගොස් අහස බැළුවා.හරි පුදුමයි ! රත් ඇල් සහල්වලින් අටුකොටු පිරී ගියා.
තමන්ගේ පින විමසන්න කියලා බිරිඳටත් කිව්වා.සිටු බිරිඳත් සියලු ආභරණවලින් සැරසිලා මහජනයා බලා සිටිද්දී සහල් මැනලා ගත්තා.බතක් පිසුවා.ගේ දොරකඩ ආසනයක් පනවාගෙන රන් හැන්දක් අතට ගෙන බත් අරගෙන යන්නට මිනිසුන් කැඳෙව්වා.දවස පුරාම දුන්නා.බත් අවසන් වුණේ නෑ ! ඒ සිටු බිරිඳ සසරේ පාත්‍ර පුරවා දන් දුන් බැවින් වම් අතේ නෙළුම් මලේ ලකුණ තිබුණා.දකුණු අතේ පුන් සඳේ ලකුණ තිබුණා.සසරේ භික්ෂු සංඝයාට දන් දෙද්දී පැන් කෙණ්ඬිය අරගෙන දාන ශාලාව පුරා ඇවිදපු නිසා දකුණු පාද තලයේ සඳ ලකුණ තිබ්බා.වම් පාද තලයේ පියුම් ලකුණ තිබ්බ.ඒ නිසයි ඇයට චන්දපදුමා යන නම ලැබුණේ.
පුත්‍රයාත් තමාගේ පින විමසුවා.හොඳට වතුර නෑවා.පසුම්බියට කහවණු දැම්මා.ඒ පසුම්බිය ගෙන ජනයාට කහවණු බෙදන්නට පටන් ගත්තා.කහවණු අවසන් වුණේ නෑ !
ලේලිය තමන්ගේ පින විමසුවා.සියලු ආභරණයෙන් සැරසිලා වී පුරෝපු කුල්ල අතට ගත්තා.එළිමහනකට ආවා.බිත්තර වී බෙදන්නට පටන් ගත්තා.වී අවසන් වුණේ නෑ !
දාසයාත් තමන්ගේ පින විමසුවා.සියලු ආභරණයෙන් සැරසිලා, සරසවපු ගොන්නු වියගසේ බැඳලා රැහැන් පට අතට ගෙන රන් නඟුල ගෙන කුඹුර සාන්නට පටන් ගත්තා.දෙපැත්තෙන් පස් පිඬැලි තුන බැගින් පෙරළුණා.මැද්දෙන් පස් පිඬැල්ල බැගින් පෙරළුණා.නඟුල පහර සත බැගින් පෙරළී ගියා !
මෙසේ මේ පස් දෙනා මහා පිනකින් යුක්ත වුණා.
භද්දිය නගරයට බුදුරජුන් වැඩි වග සිටුතුමාට සැලවුණා.සිටුතුමාට හරි සතුටුයි.සිටුතුමා 'අනේ අපගේ ශාස්තෘන් වහන්සේව පිළිගැනීමට පෙරගමන් යන්නට ඕන...' කියලා පිටත් වුණා.සිටුතුමාගෙන් ලාභ ප්‍රයෝජන ගත් අන්‍ය තීර්ථකයන් කලබල වුණා.ඔවුන් වහ වහා රැස් වුණා.සිටුතුමා මුණගැසෙන්නට පාරට දිව්වා.
"හා...හා...සිටුතුමනි...ශ්‍රමණ ගෞතමයන් බැහැදකින්නට ඔතරම් හදිස්සියක් මොකද ? ඔබ කර්ම - කර්මඵල විශ්වාස කරන කෙනෙක් නොවැ...ශ්‍රමණ ගෞතමයන් එහෙම කෙනෙක්යැ...ආත්මයක් විශ්වාස කරන්නේ නැහැනේ...අකිරියවාදියෙක් නොවැ..."
සිටුතුමා හිනැහුණා මිස විරුද්ධව මොකුත් කිව්වේ නෑ.ඔවුන්ගේ වචන ගණන් ගත්තේ නෑ.භාග්‍යවතුන් වහන්සේව පිළිගැනීමට ගියා.භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා.එකත්පස්ව හිඳගත්තා.බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ධර්මය දේශනා කළා.ඒ දේශනාව අවසාඅනෙයි ඔහු සෝවාන් ඵලයට පත් වුණා.සිටුතුමා අන්‍ය තීර්ථකයන් තමන්ව වැලැක්වූ අයුරු බුදුරජාණන් වහන්සේට පැවසුවා.
"සිටුතුමනි...මේ සත්වයන් තමන්ගේ විශාල දෝෂය දකින්නේ නෑ.අනුන්ගේ නොතිබෙන්නා වූ දෝෂය තිබෙන්නා වූ දෝෂය බවට පත් කරනවා.ඒ ඒ තැන බොල් පළනවා වගේ ගරහනවා."
මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මධුර මනෝහර ස්වරයෙන් මේ ගාථා රත්නය වදාළා.
252.18.
සුදස්සං වජ්ජමඤ්ඤේසං - අත්තනෝ පන දුද්දසං
පරේසං හි සෝ වජ්ජානි - ඕපුණාති යථා භුසං
අත්තනෝ පන ඡාදේති - කාලිං'ච කිතවා සඨෝ

අනුන්ගේ වරද දැකුම නම් - බොහෝ අයට ඉතා පහසුය
තමන්ගේ වරද දැකුම නම් - ඔවුන් හට ඉතා අපහසුය
බොල් වී පෙළන ලෙස - අනුන්ගේ වැරදිම සොයයි
තම වැරදි සඟවා ගනියි - කුරුලු වැද්දා සැඟවෙමින්
කුරුල්ලන් මරනා ලෙසින්

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ තරම් අකුසලයත්, අකුසල විපාකත්, කුසලයත් කුසල විපාකත් පැහැදිළිව තෝරා දීපු කෙනෙක් වෙන කොයින්ද ? උන්වහන්සේ තරම් ක්‍රියාවේ වගකීම පෙන්වා දුන් වෙන කෙනෙක් කොයින්ද ? නමුත් අන්‍ය තීර්ථකයන් උන්වහන්සේට නිතර නින්දා කළේ ක්‍රියාව නොපිළිගන්නා කෙනෙක් ලෙසයි.උන්වහන්සේ නොතිබූ දෝෂයකින් තමයි ඒ කවුරුත් බැන්නේ.ඒ අයටමයි ඒකෙන් පාඩු වුණේ.මහා කාරුණික, මහා සත්පුරුෂ, මහා කල්‍යාණ මිත්‍රයා හඳුනා ගැනීමේ අවස්ථාව ඔවුන්ට නැති වුණා.නමුත් මෙණ්ඩක සිටුවරයා බඳු නුවණැතියන්ට ඒක බාධාවක් වුණේ නෑ.ඒ අය ධර්මය කරාම ගියා.
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 18 ( මල වර්ගය )
~ අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ~

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...
සියලු දාන අතර උසස්ම දානය ධර්ම දානයයි ඔබත් ධර්ම දානයට සහභාගිවි බොහෝ කල් යහපත පිනිස පින් රැස් කරගන්න.
තෙරුවන් සරණයි…!!!!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නොකඩවා ආ ගමන...

සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරාව ඉරා, දුක්‌බර සසරින් මිදීයැමේ සුන්දර හා ශෝභමාන මාවත කවරකුගේ වුව සිත් තුළ විවෘතව ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරාණ මේ ශීලෝපශෝභිත මහයතිවරයන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහන වන අරණකදීය. නම් ගොත් හෝ රුව පවා හෙළි කිරීමට අකමැතිවූ උන්වහන්සේගේ මුවමඬලින් ගලා ගිය අමා සදහම් දියෙන් බිඳක්‌ අපි ඔබ සිත් අභිමුව තබමු.

සංවාද සටහන - සුගත් වීරසූරිය

ජීවිත කාලය තුළදී ඔබ කොතෙක්‌ නම් ගමන් බිමන් යනවාද? ඒ හැම ගමනක්‌ ගොස්‌ නිමා කළ ඉක්‌බිතිව ඔබ අන්තිමට එන්නේ කොතැනකටද? සැබවින්ම ඔබ හැම කෙනෙක්‌ම අන්තිමට එන්නේ ගෙදරටය. එනේම කාරුණික පින්වතුනි, මේ ලෝකය දෙස මඳක්‌ බලන්න. ඒ තුළ කොතෙක්‌ නම් ආකාරවූ මිනිසුන් සිටිනවාද? කොතෙක්‌ ආකාරවූ ගැහැනුන් සිටිනවාද? මේ අප්‍රමාණ වූ සත්ත්ව ලෝක විෂයය ගෙන බැලුවද දක්‌නට ලැබෙන්නේත් මේ ටිකමය. රූපයෙන් ඉහළ මිනිස්‌සු ජීවත්වෙති. රූපයෙන් පහළ මිනිස්‌සු ජීවත්වෙති. ගැහැනුන් ගැනද මේ ටිකම කිව හැකිය. සත්ත්ව ලෝකයේද මේ ටික දක්‌නට තිබේ. ඔවුනොවුන්ගේ හැකිකම් හා නොහැකිකම්ද අනුව ඔවුනොවුන් ජීවත්වෙන්නටද නොයෙක්‌ දේ කරති. කියති. 

මේ මහා ලෞකික ජීවිත සටන ජයගැන්මට මෙන්ම එහි ඇති අනෙකුත් අනේකවිධ වූ ජීවන අරමුණුද ජයගන්නට ලෝකයා කටයුතු කරති. ඇතැම් විට ඔවුන්ට රැය හා උදය, දවාල ගෙවී යනවාද දැනෙන්නේ තේරුම් යන්නේ නැත. ජීවිතය ගෙවී අවසන් වෙන්නට ඔන්aන මෙන්න තිබියදී ඒ බවවත් නොවැටහී තවත් තණ්‌හා කළල් ගොහුරේම කර වටක්‌ එරී ගත් මිනිසුන් ඔබ අප අතරේ කොතෙක්‌ නම් සිටිත්ද? මොවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ජීවිතයේ අන්තිමටම එන තැන් කිහිපයක්‌ම තිබේ. කොයි යම් පාරකින් ගියත් මේ තැන් නම් ඔවුන්ට මඟහැර යන්නටම බැරිය. ඒ එක්‌ තැනක්‌ තමා ජරාව, අනෙක්‌ තැන ව්‍යාධිය. අනෙක්‌ තැන මරණයයි. ජීවිතයක්‌ ලබා සාංසාරික ගමන් මගට වැටුණු කවරකුට වුවත් මේ අනිවාර්ය නවාතැන්වලට විත් වැටෙන්නට සිදුවෙනවාමය. 

ළදරුවන් ලෙස දවසකට ලෝකය තුළ කොතෙක්‌ නම් මිනිස්‌ උපත් සිදුවනවාද? අනෙකුත් සත්ත්ව ලෝකවලටද මේ නිය දහම පොදුය. මේ ලෙස උපත ලබන සෑම සත්ත්වයකුම ඒ උපන් මොහොතේ පටන්ම පෙරකී ජීවන නවාතැන්පලවලට එන්නට සූදානම් වන්නෝය. හුදෙක්‌ම ඒ සනාතන අනිත්‍යතාවට නිරන්තරයෙන්ම ඔවුන් ගොදුරු වීම තුළින් ඔවුන්ට මෙයට මුහුණ දෙන්නට සිදුවේ. ගලා යන දිය දහරක්‌ වෙත වරක්‌ බසින්නකුට යළිත් ඒ දිය දහරටම බහින්නට බැරිය. එනම් ඊළඟ මොහොතේ එහි ඇත්තේ අලුත් දිය දහරකි. සත්ත්ව ජීවිතයේ තත්ත්වයද මෙයමය. එනම ඊළඟ මොහොතේ දක්‌නට ලැබෙන්නේ කලින් සිටි සත්ත්වයා නොවේ. ඒ වන විට ඒ සත්ත්වයාගේ ශරීරය තුළ වූ මෙන්ම මුළු මහත් ජීවිතයේම වූ සෑම සියලු දෙයක්‌ම මහා වෙනසකට විපර්යාසයකට, විපරීතයකට පෙරළී ඇති හෙයිනි. නාම කය යනුවෙන් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සත්ත්වයාගේ චිත්ත චෛතසික ධාරාවයි. එනම් නොනැවතී පවතින සිතිවිලි වැලයි. රූප කය ලෙස උන්වහන්සේ දේශනාකොට වදාළේ මේ සත්ත්ව ශරීරයයි. නාම කය ක්‌ෂණයක්‌ පාසා වෙනස්‌වීමට ලක්‌වන්නකි. රූප කායද නිරන්තරයෙන් මේ විපරීත වීමට, වෙනස්‌ වීමට ලක්‌වෙයි. එහෙත් පුහුදුන් සත්වයිනට මේ විපරිණාම දුක්‌ඛය එක්‌වරම මැනවින් පෙනෙන්නේ හෝ දැනෙන්නේ නැත. එතෙකුදු වුවත් තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ සර්වඥතා ඥානයට එය මැනවින් පෙනෙන්නේය.

නොබෝ දිනයක වයස්‌ගතවී, බොහෝකොට ජරාජීර්ණවී මියෑදුණු ඔබේ අසල්වැසියකු නැත්නම් නැදැයකු ගැන ඔබට සිහිපත් කළ හැකිද? මියයන්නට ආසන්නයේ ඔහු ඈ සිටියේ වක්‌වුණු කුදු ගැහුණු කොන්ද සහිතවය. රැළි වැටුණු හම හා යටගිලී ගිය දැස්‌ සහිතවය. අතපය වැල්කෝටුවලට සමාන වූවාට සැක නැත. ඔහු ඈ උපන් දවසේ යෞවන වියට පත්වුණු කාලයේ මේ ජීවිත විකෘතීන් කවදාවත් දක්‌නට නොලැබුණේය. ඔහු ඈ නිරන්තරයෙන් වැඩකරන අවස්‌ථාවල කිසියම් වැඩක යෙදී සිටියේය. අහර අනුභව කරනවිට අහර අනුභව කළේය. දිය නාන විට දිය නෑවේය. ගමන් බිමන් යන විට ගමන් බිමන් ගියේය. නිදාගන්නා විට නිදාගත්තේය. ජීවිතයේ කුදු මහත් සකලවිධ වූ කටයුතු පුළුවන් තරම් කළේය. දරු මුණුබුරන් තනා හදා වා ඔවුන්ද දීගතලග දී ඔවුන්ගේ දරුවන්ද නැළෙව්වේය. 

රැක්‌කේය. එහෙත් අර පෙර කී අනිවාර්ය ජීවිත තවාතැන්පලවලට ඔබ දක්‌කාගෙන එන ඒකාන්ත ජීවන ගමන හැම මොහොතකම එකම වේගයකින් නොනැවතී ඔබ හා අත්වැල් බැඳගනිමින් ඉදිරියටම ගලාගෙන ගියේය. මහලු බවට, ජරාවාස වීමට මාරාන්තික ලෙඩ දුක්‌වලට පැමිණි මේ ගමන ඇතැම් විට ඔබට සිහිනයක්‌ මෙන්ද විය හැකිය. විටෙක එය තෝරා බේරා ගැන්මට තරම් ශක්‌තියක්‌. ප්‍රඤාවක්‌ නැති ඔබට මේ ගමන ආවේ කවදාද, කොහොමද යෑයි කල්පනා කරන්නටද පිළිවන. කෙසේ වතුදු ඒ කොහොම සිතුවත් ඔබ හැම නොකඩවා ආ ගමන නම් මෙයයි.

සැබැවින්ම ඔබ කවුරුත් ජීවිතය තුළ නොනැවතී එන මේ ගමන දෙස ගැඹුරු නුවණින් බැලිය යුතුය. මේ ආදී වශයෙන් බලන කල විශේෂයෙන් ඔබ අවධානයට ලක්‌කළ යුතු කාරණයක්‌ තිබේ. එනම් ඔබට මේ ජීවන ගමනෙහිදී සදාතනිකවම එකතැන නතර කර තබා ගැනීමට හැකිවූයේ කුමක්‌ද? ඔබ සිතූ සිතිවිලි නැත්නම් නාම කොතෙක්‌දැයි ඔබට ගණන් කිරීමට පිළිවන්ද? එය කවදාවත් කරන්නට බැරිය. ඔබ තුළ ළදරු කාලයේ තිබූ නාමයන් දැන් මුළුමනින්ම අතුරුදන්වී ගොසිනි. ළමා කාලයේ තිබූ නාමවලට සිදුවූයේ කුමක්‌ද? තරුණ කාලයේ නාමවලට සිදුවූ දෙයද එයමය. ඒ සියල්ල ගෙවී, ඉවරවී නැතිවී ගොසින්ය. මේ හා සමගාමීවම රූප කායයන්ගේද ගෙවීම්, ඉවරවීම් හා නැතිවීම් අනන්තව සිදුවිණි.

මෙහිදී තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ සදෙසා වදාළ මහා සුදස්‌සන සූත්‍රය මට සිහිපත් වේ. භික්‌ෂුන් වහන්සේලාද පිරිවරා ගත් උන්වහන්සේ දිනක්‌ අතීතයේ මහා සුදස්‌සන නම් සක්‌විති රජු රාජ්‍යය කළ රාජධානිය පිහිටි බිම් පෙදෙස වෙතින් වැඩම කරමින් සිටියහ. ඒ වන විට ඒ රාජධානියේ තිබුණේ අතීතයේ මතක නටබුන් ටිකක්‌ පමණකි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහිදී භික්‌ෂුන් වහන්සේලා අමතා වදාළ සේක. 

'මහණෙනි, පින්වත් මහණෙනි, බලන්න එදා ඒ මහා සුදස්‌සන රජතුමාට කොතෙක්‌ නම් ඇත්, අශ් රිය, පාබල සේනා, ස්‌ත්‍රීන් ආදීන් සිටියාද? එහෙත් අද ඒ කිසිවකුත්, කිසිවෙකුත් ඉතිරි වී නෑ. බලන්න, මහණෙනි, ඒ සංස්‌කාරවලට සිදුවූ දේ. ඒ සියල්ලම ගෙවී ගියා, නැතිවී අතුරුදන් වී ගියා. ඉදින් මහණෙනි, මේ සංස්‌කාර අනිත්‍යමයි. සංස්‌කාර කෙරෙහි කිසිදු විශ්වාසයක්‌ තැබිය නොහැකිමය. ඒවායින් අතමිදීමම සාංසාරික විමුක්‌තිය පිණිස හේතු වෙයි. එහිදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සේක.


සංස්‌කාර නම් හේතූන් නිසා හටගත් දේයි. සැබැවින්ම පවසතොත් ලෝකයට අයත් සියලුම දේයි. ලෝකය නම් නිර්වාණ සම්පත්තියෙන් මෙතෙර දේයි. සත්ත්වයාගේ දුඃත සංසාර ප්‍රවෘත්තිය යනුද මෙයමය. දිරායැම, ගෙවී යැම, විකෘති වීම, නැතිවීම, විනාශයට පත්වීම මේ සියලු සංස්‌කාරයන්ගේ ඒකාන්ත ස්‌වභාවයමය. මෙය වළක්‌වන්නට කිසිදු දෙවියකුට බැරිය. කිසිදු බඹෙකුට ද බැරිය. කිසිම මනුෂ්‍යයකුට හෝ යක්‌ෂයකුටත් නොහැකිය. සියලු කෙළෙසුන් නසා සම්මා සම්බෝධියට පත්වී වදාළ සම්බුදුරජාණන් වහන්සේලාටත් එය වළක්‌වන්නට නොහැකි වූයේ උන්වහන්සේලාගේ ජීවිත පහන් ද මරු සුළඟින් නිවී ගියේය. වැදගත්වූයේ උන්වහන්සේලා දුඃත වූ ඒ සංසාර ඉරණමට යළිදු නොවැටෙන්නට කටයුතු කරගෙන තිබීමයි. මාරයා පරාජයට පත්කර තිබීමයි.

උන්වහන්සේ සම්මා සම්බෝධිය ලබන්නට පෙරාතුව එනම් ඊට අවශ්‍ය බෝධි සම්භාර ධර්ම පිරූ කාලය සාරාසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ පමණ බව ධර්මයෙහි සඳහන් වේ. ඒ කාලය තුළ උන්වහන්සේ උපත ලැබූ ආත්මභාව සංඛ්‍යාව කිසිවකුටත් ගණන් කිරීමට පවා නොහැකි තරම්ය. ඒ සෑම ආත්මභාවයකදීම උන්වහන්සේද ජරාවට පත්වූ සේක. ව්‍යාධි දුඃඛයට පැමිණ වදාළ සේක. එමෙන්ම අවසානයේදී මරණයටද පත්වූහ. මේ ලෙසින් බලන කල ඒ කාලය තුළ උන්වහන්සේ මරණයට පත්වූ වාර අනන්තය. එහෙත් උන්වහන්සේ එලෙසින් කොතෙක්‌ වාරයක්‌ මරණයට පත්වූවත් උන්වහන්සේ තුළ වූ සම්මා සම්බෝධිය ලබාගැනීමේ උදාර අරමුණට කිසිදු හානියක්‌ සිදු වූයේ නැත. තවදුරටත් පැවසුවහොත් ඒ උතුම් අරමුණ ඉෂ්ට සිද්ධ වන තෙක්‌ සංසාරයේ ඉදිරියටම ගමන්ගත් සේක.

එය එසේ වුවත් ඔබ යන ගමන ගැන ඔබට නිශ්චිත නිර්ණයක්‌ තිබේද? ජීවිතයේදී නිරන්තරයෙන් ලබා ඇතිවාටත් වඩා විසිතුරු ලබන්නට ප්‍රාර්ථනා කරන ඔබේ සෑම අරමුණක්‌ම තෘෂ්ණාවෙන්ම තෙත්වී තිබේ. දූෂිත වී තිබේ. එහෙයින් ඔබ යන ගමනේදී ඔබට වැඩිපුරම හමුවන්නට ඉඩ ඇත්තේ සතර අපාය භූමීන් බවට නම් කිසිදු සැකයක්‌ නැත. ඒ ඔබේ අරමුණ හුදෙක්‌ම සංසාරයේ විසිතුරු ප්‍රාර්ථනා කරමින් එහි ඈතටම ගමන් කිරීම වන නිසාය. මෙහිදී ජාතියට, ජරාවට, ව්‍යාධියට හා මරණයට හැමදාමත් පැමිණෙන ඔබේ සංසාර ජීවිත ගමනෙහි කෙළවර කොතැන දැයි සිතා ගැනීමටවත් බැරි තරම්ය.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online