ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

මේ බිහිසුනු සිර දඬුවමින් නිදහස්‌ නොවුනහොත්....

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ..
'සතර අපායෙන් මිදෙමු' - 53 කොටස



භික්‍ෂුව ඉදිරියට පැමිණි එක්‌ පිංවත් මහත්මයෙක්‌, තමා තුළ තෙරුවන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව ගැන විස්‌තරයක්‌ ඉදිරිපත් කළා. 'හාමුදුරුවනේ මා තුළ ඇති ශ්‍රද්ධාව නිසා අලියෙක්‌ ඉදිරියට වුණත් යන්න මට පුළුවන්' කියලා. තමා තුළ වඩවාගත් ශ්‍රද්ධාව මමත්වය, මාන්නය තුළින් මොනතරම් අපවිත්‍රභාවයට පත්කරගෙන තිබෙනවාද?

මෙය මෝහ මූලික ශ්‍රද්ධාවකි. ඔබ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගන්නේ අලි ඉදිරියට යැමට නොවේ. අලියා ඉදිරියට යන්නය කියලා අපව මෙහෙයවන සිත අනිත්‍ය වශයෙන් දැකීමට පුරුදුවීමටය. අලි ඉදිරියට යැමට නම් ඔබ කළ යුත්තේ සත්වෝද්‍යානයට ගොස්‌ ඇත්ගොව්වකු වීමට අදාළ පාඨමාලාවක්‌ හැදෑරීමය. තෙරුවන් සරණ යන්නේ ධර්ම මාර්ගයේ ඉදිරියට යැමටය. වීරයන් වීමට නොවේ. ඔබව වීරයෙක්‌ කිරීමට හදන්නේ මාරයාමය. වීරත්වය ඔබට ආරෝපනය කර සක්‌කාය දිට්‌ඨිය පෝෂණය කිරීම මාරධර්මයයි. භික්‍ෂුව එම පිංවත් මහත්මයාට කියා සිටියේ 'මහත්තයෝ, සිත නැවත ඔවැනි ප්‍රකාශයක්‌ ප්‍රකාශ කරන්න හදනකොට, තමා තමාටම ටොක්‌කක්‌ ඇනගන්න' කියායි. මෙය 'හරක්‌ සිතක්‌' යෑයි සිතන ලෙසයි. යම් හෙයකින් එම මහතා, ඔබ මෝහ මූලික ශ්‍රද්ධාව දරාගෙන වල් අලියෙක්‌ ඉදිරියට ගියානම් එය ඔහුගේ විනාශය වීමටද ඉඩ තිබිණි. දැඩි වීර්යයෙන් ධර්ම මාර්ගයේ ඉදිරියටම යැමට උත්සහ කරන පිංවතුන්ව, මාරයා එම ගමනින් ආපස්‌සට හරවන්නේ තන්හාව, මාන්නය, දිට්‌ඨ§ය කියන ධර්මතාවයන් හරහාමය. 

ඔබ මේ භව ගමනින් නිදහස්‌ වෙනවාට මාරයා අකමැතිය. මේ බව ඔබ හොඳින් තේරුම්ගෙන තන්හාව, මාන්නය, දිට්‌ඨ§ය කියන අසත්පුරුෂ ධර්මයන් පරාජයට පත්කළහොත්, ලෝකය නැමැති මාරයාගේ හිර ගෙදරින් නිදහස්‌ වීමට ඔබට හැකිය. ඔබ ලබන එම නිදහස, ජීවිතාන්තය දක්‌වා ලැබූ සිර දඬුවමකින් නිදහස්‌ වීමට වඩා ලක්‍ෂ වාරයක නිදහස්‌වීමකි. කල්ප සියක්‌ කෝටි, ප්‍රකෝටි ගණනක සිට අතීතයේදී ගෙවන ලද, අනාගතයේදී ගෙවාදැමීමට නියමිත අති බිහිසුනු සිර දඬුවමකින් නිදහස්‌වීමක්‌ය. 

විත්තිකරුවාත්, පැමිණිලිකරුවාත්, වැරදිකරුවාත්, විනිසුරුවරයාත්, විනිසුරුකරුවාත්, අළුගෝසුවාත්, ඔබම වූ ලොවක, නිදහස්‌වීම පසෙක තබා, බන්ධනාගාරගතව සිටීම සැපයක්‌කොට දකින, සිරකරුවකුගේ මනෝභාවයෙන් මිදීමට කාලයයි මේ. සම්මා සම්බුද්ධ මාර්ගයයි මේ. සිරකාර මනෝභාවය ඔබ තුළ ඇතිකරන්නේ තන්හාව, මාන්නය, දිට්‌ඨ§ය විසින්මය. මමත්වයේ දැඩිභාවය නිසාමය. ඔබට රිදුම්දෙන මේ භව තුවාලය, සුවපත් කරගැනීම සඳහා වෙහෙසෙන සෑම මොහොතකම, සුවපත්වෙමින් යන තුවාලය මත මාරයා විසින් තන්හාව, මාන්නය, දිට්‌ඨ§ය නැමැති ඉහත විෂබීජ තබයි. තුවාලයේ වේදනාව මතට , මාර දූවරුන්ගේ සියුමැලි ඇඟිලි තුඩු වලින් ලැබෙන පහස, සැපය නිසාම ඔබ ඒ විෂබීජයන්ට කැමතිය. ප්‍රියය. මේ පහස, සැපය අනිත්‍ය වශයෙන් දැකීමට අප ප්‍රමාදවෙන්නේ විඳීමට ඇති ජන්දරාගය නිසාමය. තුවලයත්, වේදනාවත් ඔබගේමය. ප්‍රශ්නය වන්නේ එය ඔඩුදුවවා ගන්නේ ඔබ විසින්ම වීමය. ඔඩුදිවීම යනු කුණුවීමයි. මේ කුණුවූ අධ්‍යාත්මය අයිති සතර අපායටය. 

භික්‍ෂුව ඉහත සටහන සටහන් කළේ අදක්‍ෂභාවය නිසා සතර අපායට වැටුණු මනුෂ්‍යයෙක්‌ පිළිබඳ කරුණු සඳහන් කරන්නටය. එක්‌තරා මහත්මයෙක්‌ සිටියා, ඔහු පදිංචිව සිටියේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙයි. ඔහු දක්‍ෂ පිහිනුම්කරුවෙක්‌. නිරතුරුවම ගැඹුරු දියේ පිහිනන්න දක්‍ෂයි. ඔහු ගැන දන්න කිසිවෙක්‌ සිතන්න නැතුව ඇති මොහු කවදාකවත් දියේ ගිලී මිය යයි කියලා. අපි නොසිතන දේවල්, හේතුඵල ධර්මයන් නිසාම සිදුවන ලෝකයේ මේ මහත්මයා මුහුදේ පිහිනීමට ගොස්‌ ජලයේ ගිලී මියයනවා. බලන්න ස්‌ථêර ශක්‌තිමත්භාවයෙන් ගන්නා වූ ලෝකය, 'මම' මොහොතින් බිඳී විසිර ගිය ස්‌වභාවය.

පිහිනුම් දක්‍ෂයෙක්‌ය කියන නොබිඳෙන විශ්වාසය, මොහොතකින් බිඳී ගියා. මොහුගේ කකුලේ කෙන්ඩ පෙරළීම හේතුවෙන්. මොහු ගොඩාක්‌ පිං දහම් කරගත්ත අයෙක්‌ නොවෙයි. විනෝදශීලීව ජීවත්වූ අයෙක්‌. මේ මරණය සිදුවෙලා මාස 4කට විතර පස්‌සේ මේ මියගිය මහත්මයා අරමුණුකොට සිටියදී භික්‍ෂුව ඉදිරියට පාවෙන ස්‌වභාවයේ මිනිස්‌ රුවක්‌ පැමිණියා. මේ සත්වයාට තිබුණේ බොහෝම සියුම් කයක්‌. පොළොවෙන් මීටර 3ක්‌ පමණ උසිනුයි භික්‍ෂුව ඔහුව දැක්‌කේ. පාවෙන ස්‌වභාවයේ සත්ත්වයෙක්‌. මිනිස්‌ රුවක්‌. හරියට භූත ස්‌වභාවයක්‌ වගේ. මේ මිනිස්‌ කයක්‌ සහිත සියුම් සත්ත්වයාගේ මුහුණේ ස්‌වභාවය ඔබට විස්‌තර කරනවා. ඔබ මෙහෙම සිතන්න. ඔබ යමෙකු=ගේ බෙල්ල මිරිකනවා. එතකොට ඔහුගේ මූනේ ස්‌වභාවය ඔබට මතකද? ඇස්‌ ලොකුවෙලා, උඩගිහිල්ලා, නළල රැළිවෙලා.... මරණබිය රැඳුණ මුහුණක්‌ නේද ඔබ දකින්නේ. මෙන්න මේ ස්‌වභාවයේ මරණභිය

රැඳුණු, ඇස්‌ ලොකුවී ගිය, නළල රැළිවැටුණු ස්‌වභාවයක්‌ තමයි මේ භූත සත්වයාට තිබුණේ . මොහු තුෂ්නිම්භූතව සිටියේ හරියට භිරාන්ත වෙලා වගේ. ඔබ එය මෙහෙම සිතන්නකෝ. මනුෂ්‍යයෙකුගේ හිසට පොල්ලකින් ගැසුවහොත් ඔහුට මොහොතක්‌ යනතුරු සිතාගන්න බැහැ නේද මොකක්‌ද වුණේ කියලා. මෙවැනි ස්‌වභාවයකුයි මේ භූත සත්ත්වයා තුළ දිස්‌වුණේ. විනාඩි 2කින් පමණ එම භූත සත්ත්වයා දර්ශනයෙන් නොපෙනී ගියා. 

භික්‍ෂුව සමාධියෙන් පසුවෙන විට දුටුව එම භූත සත්ත්වයා ගැන තැබෙන පහත සටහන අනුමාන වශයෙනුයි ගලපා සටහන් කරන්නේ. 

තමා තුළ තිබු පිහිනීමේ හැකියාව නිසා දියේ ගිලී මියයන මොහොතේ මොහුට හිතාගන්නවත් බැරිවෙලා තිබෙනවා තමාට මොකද වුණේ කියලා. තමාගේ හැකියාවන් ගැන නිත්‍යභාවයෙන්, ස්‌ථිරභාවයෙන් මමත්වයේ දැඩිභාවයෙන් ගන්න අයට එම හැකියාවන් වරදිනවිට පරදිනවිට විශාල තැතිගැනීමක්‌ හටගන්නවා. ජලය තුළ ජීවිතයත් මරණයත් අතර සටනක්‌ කරන විට ශක්‌තිමත් කුසල් හෝ අකුසල් සිතක්‌ පහල වන අවස්‌ථා අඩුයි. මොකද ෙච්තනාව සකස්‌ වෙන්නේ ජීවිතය බේරාගැනීමට අදාළව. මේ හේතුවෙන් මරණබිය තැතිගැන්ම සමගම අවසාන සිත සකස්‌ වෙලා ඊළඟ ප්‍රතිසන්ධිය අල්ලාගන්නවා. මෙහිදී ශක්‌තිමත් කුසල් අකුසල් සිතක්‌ සකස්‌ නොවුන නිසා සිදුවන්නේ බොහොම සියුම් ස්‌වභාවයේ උපතක්‌. මැරෙන වේලාවේ සකස්‌වූ තැතිගැන්මේ ස්‌වභාවයෙන්ම රුව ගුණ සහිත සිත් පරම්පරාවක්‌ තමයි ඉදිරියට සකස්‌ වෙන්නේ. මේ භූත සත්වයා හරියට හරියට තද නින්දේ සිට පිබිඳුණු කෙනෙක්‌ වගේ. තවම මොකුත් සිතාගන්න, අල්ලගන්න බෑ ශක්‌තිමත්ව. මනුෂ්‍ය ජීවිතයේදී ධර්ම මාර්ගයේ ගමන් නොකිරීම මෙයට එකම හේතුව වෙනවා. 

ඉන්ද්‍රජිත් සුබසිංහ
2013 අගෝස්‌තු 11 ඉරිදා දිවයින



මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....
'සතර අපායෙන් මිදෙමු' - 54 කොටස
වෙරළු ගසේ උපාදානය

මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට පිංවත් ඔබ ගැන අනුකම්පාවෙන් දම් දෙසුම් පවත්වන්නාහ. එදා උන්වහන්සේ මේ පිං බිමේ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටියදී අප ගැන අනුකම්පාවෙන් මේ සටහන් තැබූහ . මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක්‌ නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. එදා, තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ වනයේ නොපෙනෙන ඈතට වැඩියහ. ඉනික්‌බිති කිහිපවරක්‌ උන්වහන්සේ හමුවීමට මා භාග්‍යවන්ත විය. එහිදී නැවතත් සටහන් කිහිපයක්‌ මා අතට පත්විය. ඒ සියලු සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක්‌ වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කාලයා විසින් උන්වහන්සේව හෙළිකරනු ඇතත් ඒ මුල් පොරොන්දුව මම අදටද රකිමි. මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර පමණක්‌ ලිපි මාලාවක්‌ ලෙස ඔබ අතට ගනු මැනවි! 

(මෙම ලිපියේ පළමු කොටස ඉකුත් සතියේ පළවිය)

ජලයේ ගිලී මියගිය මහත්මයාගේ ඥාතීන් භික්‍ෂුවගෙන් විමසුවා කුමක්‌ද මේ සත්වයා ඉහත ස්‌වභාවයෙන් මුදවාගැනීමට කළයුත්තේ කියලා. අනුමාන වශයෙන් භික්‍ෂුව ප්‍රකාශ කළා මහා සංඝරත්නය උදෙසා දානයක්‌ දෙන්න, මරණයට කැපවු සතුන් නිදහස්‌ කරන්නය කියළා. දානය දෙන්න කීවේ ඒ සත්වයාට ආයුෂ, වර්ණය, සැපය, බලය ලබාදීමට. මරණයට කැපවු සතෙක්‌ නිදහස්‌ කරන්න කීවේ එම සත්වයා මරණබියෙන් තැතිගැනීමෙන් තවම ජීවත්වන නිසාය. සියක්‌ නමකට අධික මහාසංඝරත්නයට සාංඝික දානයක්‌ පුජාකරලා, මස්‌කඩයෙන් කුකුලෙක්‌ නිදහස්‌කරලා අරමුණ වශයෙන් ඒ අය මතක තබාගත්තේ තම ඥාතියා ඉහත භූත ස්‌වභාවයෙන් මිදී සුගතියක්‌ ලබාගනිත්වා කියලයි. මේ ආකාරයෙන් පිං අනුමෝදන් කළාට පසුව දිනක්‌ භික්‍ෂුව සමාධියෙන් පසුවෙන විට භික්‍ෂුවට දර්ශණය වූයේ හොඳින් අතුවලින් පිරුණු ගසකි. එම ගසේ අතු අතරින් භික්‍ෂුවට දර්ශණය නොවු අයෙක්‌ ප්‍රකාශ කළේ 'මම දැන් සිටින්නේ වෙරළු ගසේ' කියාය. දර්ශනය මෙතැනින් නිමාවිය. අදාළ ඥාතීන්ගෙන් භික්‍ෂුව විමසුවා තම මියගිය ඥාතියාගේ නිවසේ වෙරළු ගසක්‌ තිබෙනවාද කියලා. එවිට ඒ අය 'නැහැ' කියලා කිව්වා. එහෙමනම් ඔබලාගේ නිවසේ වෙරළු ගසක්‌ තිබෙනවාද ඇහුවා. ඒ අය කීවා ගෙදර දොරකඩම වෙරළු ගසක්‌ තිබෙනවාය කියලා.

බලන්න මේ සත්වයා උපාදානය කරපු හැටි. ඉහත සඳහන් කළ භූත සත්වයා වෙනුවෙන් සියක්‌ නමක්‌ වූ මහාසංඝරත්නයට දානයක්‌ පිලිගන්වලා, සතුන් නිදහස්‌ කරලා සියලුම පිංකම් සිදු කළේ ඔහුගේ වැඩිමහල් සහෝදරයා. මේ මියගිය මහත්මයාගේ දරුවාත් දැන් සිටින්නේ මේ වැඩිමහල් සහෝදරයාගේ නිවසේ. මේ සහෝදරයින් දෙදෙනා බොහෝම ලෙන්ගතුව ජීවත්වුණ දෙදෙනෙක්‌. වැඩිමහල් සහෝදරයා බොහෝම සද්Aධාවන්ත බෞද්ධයෙක්‌.

දියේ ගිලී මිය ගිය තම බාලසහෝදරයා මියගිය පසු මුලින්ම ලැබූ තැති ගත් ස්‌වභාවයේ සියුම් භූත ස්‌වභාවයක සිටියත්, තම වැඩිමහල් සහෝදරයා සහ ඥාතීන් කරපු ශක්‌තිමත් පින නිසා එම භූත ස්‌වභාවයෙන් මිදුනා. තැති ගැනීමෙන් මිදුනා. මරණ භිය පහව ගියා. එය හරියට තද නින්දෙන් අවදිවුන මනුෂ්‍යයෙක්‌ මුහුණට වතුර ඉසගන්න වගේ. ඔහුට දැනෙන්න, දකින්න ලැබුන තමාව අරමුණු කර අනුමෝදන් කළ පින. එහෙත් මේ අවාසනාවන්ත සත්වයා ක්‍ෂණිකව ඔහුගේ කැමත්ත ඡන්ද රාගයෙන් අල්ලා ගත්තා. ඒ කැමැත්ත තමයි තමාට පිං අනුමෝදන් කිරීම සිදුකළ කුඩාකාලයේ සිට සහෝදරත්වයෙන් බැදුණු මෙන්ම මියගිය ඔහුගේ දරුවාද ඒ මොහොතේ ජීවත්වූ තම වැඩිහිටි සහෝදරයාගේ නිවසේ ඉදිරිපිට දොරටුව යාබද වෙරළු ගස. අර ශක්‌තිමත් පින දැනෙද්දීම තෘෂ්නිම්භූත භූත ස්‌වභාවයෙන් මිදුනත්, ඔහු නැවත ප්‍රතිසන්ධියක්‌ ලැබුවේ වෙරළු ගසේ. වෙරළු ගසේ අතු අතරින් මේ සත්වයා කටහඬ පමණයි ඉදිරිපත් කළේ. ඔහුගේ කයේ ස්‌වභාවය භික්‍ෂුවට අරමුණු වුයේ නැහැ. ඔහු රුක්‌දෙවියෙක්‌ද එසේත් නොමැතිනම් පරදත්ත රූප ජීවී වැනි ප්‍රේත කොට්‌ඨාශයකට අයත් කෙනෙක්‌ද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ.

මෙතැනදී සිදුවු අවාසනාවන්ත සිදුවීම තමයි, මොහු පිං අනුමෝදන්ව සිටියදීත් ශක්‌තිමත් නොවු තැනක්‌ උපාදනයකර ගැනීම. ඊට එකම හේතුව ජීවත්ව සිටිය කාලය තුළදී දානය, ශීලය, තෙරුවන් කෙරෙහි සද්ධාව ජීවිතය තුළින් පුරුදු පුහුණු නොකිරීම. ඥාතීන් දරුවන් කෙරෙහි ඇතිකරගත් ඡන්දරාගය. මේ ඡන්ද රාගයද ඇතිවෙන්නේ දන් "මෙන් ජීවිතය තුළින් අතහැරීමේ ශක්‌තිය ඇති කරනොගැනීම නිසාය. මොහු මනුෂ්‍ය ජීවිතයේදී පුරුදු පුහුණු කරපු ශක්‌තිමත් ධර්මශක්‌තියක්‌ තිබුණා නම් භූත ස්‌වභාවයෙන් මිදෙන මොහොතේ එම අතීත ධර්ම ශක්‌තිය මතුවී ශක්‌තිමත් මනුෂ්‍ය දිව්‍ය ස්‌වභාවයක්‌ ලැබීමට ඉඩ තිබිණි යෑයි භික්‍ෂුව අනුමාන කරයි.

මේ මොහොතේ මොහු කොහේ සිටිනවා දැයි භික්‍ෂුව නොදනී. නමුත් අදාළ ඥාතීන් භික්‍ෂුවගෙන් විමසුවේ දැන් කුමක්‌ කළයුතු දැයි කියලාය. 'දැන් මොනවා කරන්නද? මොහු වෙරළු ගසේ රැදිලා සිටින්නේ යමක්‌ දැඩි ලෙස ඡන්ද රාගයෙන් අල්ලාගෙන. එම ඡන්ද රාගය තිබෙන තාක්‌කල් මොහු මෙතනින් ගලවා ගන්න බැහැ. මෙයා ගෙදර දොරටුව ඉදිරියෙම ගසට වෙලා තම සහෝදරයා, දරුවා, ඥාතීන් බලමින්, දකිමින්, සතුටුවෙමින් ඇති. ඔබ කළ යුත්තේ මේ වෙරළු ගස මුල ආසනයක්‌ හදලා, දිනපතා එම ආසනයමත ඉදගෙන මේ ඇස, කන, නාසය, දිව, මනස, කය අනිත්‍යයයි කියලා සඡ්ඡායනය කරන්න. නැවත නැවත මෙය ඇසෙන විට ඔහු සිතන්න ගනී මේ කියන්නේ මොකක්‌ද කියලා. අර්ථය, ශබ්දය, රසය ටික ටික දැනේවි. කුසල් සිතුවිලි මතුවේවී වෙනසක්‌ සිදුවෙන්න පුළුවන් ඔතනින් පමණයි. 'හැබැයි මොනම හේතුවක්‌ නිසාවත් තම ඥාතියා මෙවැනි ජීවිතයක්‌ ලබා වෙරළු ගසේ සිටිනවා යෑයි ගෙදර අනෙක්‌ අයට කියන්න එපා' යෑයි භික්‍ෂුව කිව්වා. එයට හේතුව ජීවත්ව සිටින අයට අමනුෂ්‍ය සංඥා වැඩෙන නිසාය. තම වැඩිහිටි සහෝදරයා තමාගේ අධ්‍යත්මික වර්ධනය උදෙසා වෙරළු ගස මුල දැනටත් අනිත්‍ය සඡ්ඡායනාව කරනවා ඇතැයි භික්‍ෂුව අනුමාන කරයි. එය මියගිය අයට සේම ජීවත්ව සිටින අයටද ආශිර්වාදයක්‌ මිස දුක පිණිස හේතුවන දෙයක්‌ නොවේ. ජීවත්ව සිටින තැනැත්තාටද එය සතර අපායෙන් මිදීම සඳහා හොඳ කමටහනකි. ඔබද මේ සටහන කියවා යම් කුසල් සිතක්‌ ඇතිවුනා නම් එම පින එම ඥාතියාට අනුමෝදන් වේවායි· සිතන්න. ඔහුට එය සුගතියක ඉපදීමට මහෝපකාරිවනු ඇත. මෙය කියවන නොකියවන පිංවත් ඔබද ධර්ම මාර්ගයේ ගමන් නොකිරීම නිසා මරණින් පසු අත්වන විපාක දැක නිරතුරුවම සතර අපායෙන් මිදීම අරමුණුකර තෙරුවන් කෙරෙහි අචල සද්ධාව, ශීලය, දානය ජීවිත තුළින් වඩන්න.

මගේ කර රැස්‌කරන්නාවු සෑම දෙයකම අනිත්‍යය බව දකින්න. ඔබ මෙසේ සතියෙන් සිහියෙන් යුතුව ජීවත්වන්නේ නම් එසේ ජීවත්වන මොහොතක්‌ පාසා විභවේ ආලෝකය ඔබ අත්විදිනු ඇත.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com




මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
ආරක්‌ෂාවීමේ අරුත...
'සතර අපායෙන් මිදෙමු' - 55 කොටස
ඔබ මොන තරාතිරමක කෙනෙක්‌ වුවත්, ඔබගේ ආරක්‍ෂාව උදෙසා ඔබ මොනතරම් උනන්දු වෙනවාද? අපිට මගතොට ගමන් කරන සමහරවිටක පෙනෙනවා වේගයෙන් ධාවනය වන අධිවේගී වාහන. සන්නද්ධ භටයන්, නවීන අවිආයුධ... මේසා විශාල ආරක්‍ෂක ක්‍රම උපයෝගී කරගෙන ආරක්‍ෂාව සොයන ස්‌වභාවය.

තම ආරක්‍ෂාව උදෙසා, දරුපවුලේ, ව්‍යාපාරයේ, තනතුරේ ආරක්‍ෂාව උදෙසා මනුෂ්‍යයා දෙවියන් සරණ යනවා. ග්‍රහ තාරකා, ජෝතිෂ්‍යය, මිථ්‍යාදෘෂ්ටික දේaශකයන් සරණයනවා. යමකින් පිහිටක්‌ ලැබෙයි කියලා විශ්වාසයක්‌ තිබෙනවා නම් මහා කලුගල් පර්වතයක්‌ යටින් කෝටු කැබැල්ලක්‌ ගහල හරි පිහිට බලාපොරොත්තු වෙනවා. මේ අංශයෙන් ඉතාමත් ප්‍රාථමික ඇදහිලි විශ්වාසයන් ඇතිව සමාජයේ සමහරු ක්‍රියාකරනවා. මේ ආරණ්‍යයේ පිහිටි කඳුගැටය මුදුනේ සිට ඈත පරිසරය දෙස රාත්‍රියේ බලනවිට සිය ගණනාවක්‌ විදුලි ආලෝක ඇසට පෙනෙනවා. ඈත කඳුගැට සිසාරා දැල්වෙන මේ සෑම ආලෝකයක්‌ම දැල්වූ මිනිසුන් සොයන්නේ ආරක්‍ෂාවයි. සත්වයා කාමයට ඇති කැමැත්ත නිසා එය අත්විඳීමට ජීවත්වීම සඳහායි ආරක්‍ෂාව සොයන්නේ. වැඩි කලක්‌ ජීවත්වෙන්න, වැඩිපුර ඇසට, කනට, නාසයට, දිවට, මනසට, කයට ආහාර- ආශ්වාදය අයිති කරදෙන්න.

මේ සැවොම ආරක්‍ෂා වෙන්නේ 'මම' පෝෂණය කිරීම සඳහාය. අනිත්‍යභාවයට පත්වෙන දෙයක්‌ ආරක්‍ෂා කිරීමට අපි ගන්නා වූ වෙහෙස නිසා කවදාහරි දිනක අප දුකට පත්වන්නේය. අප පාරක තොටක ගමන් කිරීමේදී පේනවා පිංවත් ඔබ යන වේගය. මේ වේගයේ තරමටම තමන්ගේ ජීවිතය තුළ බලපවත්වන තෘෂ්ණාව ද වේගවත්. ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට ආශ්වාදය අයිති කරගැනීමේ ස්‌වභාවය මනින මිනුම් දණ්‌ඩ තමයි මේ වේගය. ඒ නිසා ඔබ වේගවත් නම් ඔබට බොරු කරන්න බැහැ. ඔබ ගොඩාක්‌ දේවල් රැකගන්න, ලබාගන්න, අයිති කරගන්න යන කෙනෙක්‌මයි. මේ වේගය පිංවත් ඔබට පුදුම ආශ්වාදයක්‌ දනවනවා. 'අනික්‌ අයට වඩා මම ඉහළින් ' කියලා දැනෙනවා. මේ සැප තව තව විඳින්න, තව තව ඉහළට යන්න, තව තව ආරක්‍ෂා වෙන්න අවශ්‍යයි කියලා දැනෙනවා. මෙවැනි අදහස්‌වලින් ඔබ මත්වෙලයි ඉන්නේ. ආශ්වාදයේ සතුට මිස කාමයේ ආදීනවයන් හිතන්න ඔබලාට විවේකයක්‌ නැහැ. මෙය මනුෂ්‍ය ස්‌වභාවයයි. මෙම මනුෂ්‍ය ස්‌වභාවය තුන් කාලයටම පොදුයි. ඒ නිසා ඉහත ස්‌වභාවයන් වෙනස්‌ කරන්න සමතෙක්‌ නැහැ. ඔබ නායකයෙක්‌, පාලකයෙක්‌, විධායකයෙක්‌ වෙන්නේ, පෙර සංසාරිකව රැස්‌කළ පිං නිසාමයි. ඔබ පින නිසා ඔය තැනට පත්වුවත්, පිනෙන් ලැබූ ජීවිතය, එහි සශ්‍රිකභාවය ඔබව විනාශය කරා රැගෙන යන්න පුළුවන්. ඉන් මිදෙන්න නම් ධර්මානුකූල ජීවිතයකට ඔබ යොමුවෙන්න වෙනවා.

ධර්මානුකූල ජීවිතයක්‌ සඳහා පිංවත් ඔබ වගකීම්, ව්‍යාපාර, තනතුරු, අතහැරිය යුතු නැහැ. තමාට පැවරෙන වගකීම් නිවැරදිව ඉටුකරමින් තමා මෙලොව පරලොව දෙකෙහිදීම ආරක්‍ෂා වෙන්නේ කෙසේද කියලා සිතීම වැදගත් වෙනවා. එයට ඉතා ප්‍රත්‍යක්‍ෂ මාර්ගය ලොව්තුරා බුදුසමිඳුන් දේශනා කර තිබෙනවා. යමෙක්‌ තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ශීලය, දන්දීම, මෛත්‍රිය තම ජීවිතය තුළින් වැඩුවහොත් එයට වඩා ආරක්‍ෂාවක්‌ මෙලොව, පරලොව වශයෙන් නැහැය කියලා. ඔබ නිරතුරුවම පළවෙනියා වීමට අයුතු ආකාරයෙන් උත්සහ නොගන්න. නිරතුරුවම ජයග්‍රාහකයෙක්‌ වීමට උත්සහ ගන්න. එවිට ඔබ අතින් වන අකුසල් අඩුවෙනවා. ඔබ ධර්මය විශ්වාසකොට අවිචාරයෙන් පළවෙනියා වීමට උත්සහ නොකොට, ජයග්‍රාහකයෙක්‌ පමණක්‌ වීමට උත්සහ කළොත් කවදාහරි දවසක ධර්මය විසින් ඔබව පළවෙනි තැනට ඔසවා තබනවාමය. ඔබට ඒ තැන හිමි නම්, මේ ආකාරයෙන් ඔබ හික්‌මීමට නම්, අර්ථවත් ලෙස තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් යුක්‌ත විය යුතුය. ශීලය, දන්දීම, මෛත්‍රිය ඔබ ජීවිතය තුළින් වැඩිය යුතුය. එවිට ඔබට එම ධර්මතාවයන් ඔබේ ආරක්‍ෂාව පිණිස හොඳම සහකරුවා කරගැනීමට ඔබ දක්‍ෂවනු ඇත.

ඔබ කවුරුන් වුවද, යම් තැනකදී ඔබ ආරක්‍ෂා වූවා නම්, අනතුරකින් බේරුණා නම්, ඒ ඔබ ආරක්‍ෂා වූයේ ඔබ වැඩූ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දාන, ශීල, මෛත්‍රියේ ශක්‌තිය නිසාමය. නමුත් ඔබ සිතන්නේ ඔබ ආරක්‍ෂා වූයේ, අනතුරින් බේරුණේ තමාට යොදා සිටින ආරක්‍ෂක විධිවිධාන, එසේත් නැතිනම් වෙනත් බාහිර හේතුවක්‌ නිසාය කියලා, එය සත්‍යයක්‌ නොවේ. ඔබ දැකලා තිබෙනවා, අහලා තිබෙනවා විශාල ආරක්‍ෂක වළලු දමාගෙන සිටියත් එක මොහොතකින් බෝම්බකරුවෙක්‌ මේ සියල්ල විනාශ කරගෙන තමනුත් විනාශ වෙනවා. ඒ කියන්නේ මොන තරම් ආරක්‍ෂක පවුරු තිබුණද ප්‍රහාරකයා උපක්‍රමශීලී නම්, මරාගෙන මැරෙන අයෙක්‌ නම් ආරක්‍ෂක උපක්‍රම අසාර්ථක බවයි.

කෝටි ගණන් මුදල් වියදම් කර කරන ආරක්‍ෂක ක්‍රම අසාර්ථක නම් අපි බලමු ලොව සාර්ථකම ආරක්‍ෂාව ලබන්නේ කොහොමද කියලා. ඒ සඳහා ඔබ ඔබ තුළින් අවංකවම තෙරුවන් කෙරෙහි විශ්වාසය තබමින් දානය, ශීලය, මෛත්‍රිය ජීවිතයට පුරුදු කරගන්න වෙනවා. ඔබ නිරතුරුවම දන්දෙන කෙනෙක්‌ නම්, ශීලයක පිහිටා එම ශීලය ආරක්‍ෂා කරන අයෙක්‌ නම් සත්ත්වය කෙරෙහි මෙත් වඩන අයෙක්‌ නම් ඔබේ ආරක්‍ෂාව ගැන ඔබ බිය වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි ඉතින් සංසාරිකව යම් අකුසල කර්මයක්‌ විපාක දෙන්න තිබෙනවා නම් ඔබ එයට මුහුණදෙන්න වෙනවා. ඔබ දක්‍ෂ නම් එතැනදීත් ඔබට විපාකයන්ගේ ස්‌වභාවය හීන කිරීමට සමහරවිට ඔබට අවස්‌ථාව තිබෙනවා.

දැන් අපි බලමු දන්දීම, ශීලය, මෛත්‍රිය වඩන කෙනා ඒ තුළින් ආරක්‍ෂාව ලබන්නේ කොහොමද කියලා. ඔබ එය මේ විදිහට ගලපාගන්න අවශ්‍යයි. ඔබ දන්දෙනවා නම්, ශීලයක්‌ ආරක්‍ෂා කරගන්නවා නම්, මෛත්‍රිය වඩනවා නම් නිරතුරුවම ඔබ කරන මේ පිංකම් දෙස සම්‍යදෘෂ්ඨ§ක දෙවියන්, සම්‍යදෘෂ්ඨ§ක යක්‍ෂයන් බලාගෙන සිටිනවා. ඒ අය ඔබ කරන පිංකම් දැකලා සතුටුවෙනවා. එම පිං අනුමෝදන් වෙනවා. දිනපතා නැවත නැවත මෙය සිදුවනකොට ඉහත දිව්‍ය බලවේග, විශේෂයෙන්ම සම්‍යදෘෂ්ඨ§ක යක්‍ෂ බලවේග පිං අනුමෝදන්ව තම ශක්‌තිය ද වර්ධනය කරගන්නවා. සම්‍යදෘෂ් ඨ§ක යක්‍ෂ බලවේග යනු පෙර ජීවිතවල රට ජාතිය ආගම උපාදානය කරගෙන මියගොස්‌, රට ජාතිය ආගම රැකීමට උපකාරීවන මනෝභාවයන් දරාගත් බලවේගයක්‌ බඳු කොට්‌ඨාසයකි. මේ අය පෙර ජීවිතවලදී රට, ජාතිය, ආගම උදෙසා දිවි දෙවැනිකොට කැපවුණ, සටන් කළ ගිහි පැවිදි මනුෂ්‍යයන්ය. මේ අයද ඔබට ප්‍රිය වෙති. ඔවුන් ඔබට ප්‍රියවන්නේ ඔබ තෙරුවන් සරණ ගිය, දාන ශීල භාවනා මාර්ගය වඩන අයෙකු නිසාය. ඔබට නොපෙනුනාට දැන් මේ බලවේග නිරතුරුවම ඔබ පසුපසින් ගමන් කරයි. ඔබ නිවසේ සිටියද, කාර්යාලයේ සිටියද, වාහනයක ගමන් කළද, යුදබිමක සිටියද මේ බලවේග ඔබ වටා ඔබට නොපෙනෙන්නට සිටියි. ඔබත් සමග ගමන් කරයි. අවදානම් අවස්‌aථාවකදී මැදිහත්ව ඔබව අනතුරුවලින් ගලවාගනියි. මේ බලවේග, ඔබ වාහනයක ගමන් කරද්දී එම වාහනය තුළ ගමන් කරයි. බෝම්බකරුවෙක්‌ වාහනයට පැන්නහොත් ඔහුගේ ඉලක්‌කය වරද්දයි. ඉලක්‌කය වරදවන පරිදි ඔහුව ඉක්‌මන් කරවයි. එක්‌කෝ ප්‍රමාද කරවයි. ඔබ නොදන්නවාට මෙම බලවේග සතුරා ඉලක්‌කය වැරැද්දීමට ඔබගේ වාහනයේ ඇක්‌සලේටරයට බරදී වේගය වැඩිකරවයි. අනතුරින් ඔබ ගැලවෙයි. එහෙත් ආරක්‍ෂාවට සිටි අය, එසේත් නැතිනම් මහමග සිටි අය අනතුරට පත්වේ. සම්‍යදෘෂ්ඨ§ක දිව්‍ය යක්‍ෂ බලවේග මෙලෙස ඔබව ආරක්‍ෂා කරයි. මේ ආරක්‍ෂාව ඔබට ලැබුණේ ඔබ තෙරුවන් සරණගිය, දාන ශීල භාවනා මාර්ගය වඩන අයකු නිසාය. ඔබව ආරක්‍ෂා කළේ පිනට කැමති, පිං කරන අයට කැමැති රට, ජාතිය, ආගම උපාදානය කරගත් සම්‍යදෘෂ්ඨ§ක දිව්‍ය යක්‍ෂ බලවේගය. ඒ නිසා ඔබත් රට, ජාතිය, ආගම උදෙසා ජීවිතය කැපකරන කෙනෙක්‌ නම්, ලෝකයේ ඇති සැබෑම ආරක්‍ෂක ක්‍රමයෙන් ආරක්‍ෂා වෙන්න දක්‍ෂ වෙන්න. මේ ආරක්‍ෂක ක්‍රමයේ ඇති සුවිශේෂී ලක්‍ෂණය වන්නේ මින් ආරක්‍ෂාවන්නේ ඔබගේ මෙලොව ජීවිතය පමණක්‌ නොව පරලොව ජීවිතය ද ඉන් ආරක්‍ෂා වන නිසාය. මරණින් මතුව සතර අපාය නමැති අණක්‌ ගුණක්‌ නොමැති ත්‍රස්‌තවාදයෙන් ද ඔබව ආරක්‍ෂා කරගැනීමට ඉහත ප්‍රතිපදාව හේතුවනු ඇත.

ඒ නිසා රට ජාතිය ආගම නාමයෙන් ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට ආහාර හොයන පිංවත් ඔබ රට ජාතියේ නාමයෙන් සැබෑ ලෙසම ධර්මයේ හික්‌මෙන්න. ධර්මය ඔබේ සැබෑ ආරක්‍ෂකයා බව හොඳින් සිහියේ තබාගන්න. සැබැවින්ම ඔබ තෙරුවන් සරණ ගිය අයෙක්‌ නම්, රට ජාතිය සුරකින අයෙක්‌ නම් මෙලොව සේම පරලොව ද ජයගැනීම ඔබගේ අරමුණ විය යුතුය.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
උතුරේ ත්‍රස්‌තවාදයට වඩා
භයානක ත්‍රස්‌තවාදයක්‌ ඔබ ඉදිරියේ ඇත

'සතර අපායෙන් මිදෙමු' - 56 කොටස

තාවකාලිකව රට තුළ පැවති ත්‍රස්‌තවාදය පරාජය කිරීම හේතුවෙන් රට පුරා එල්ලා තිබූ බැනර්, තොරණ, පෝස්‌ටර්, දැන්වීම්, පිදූ ගෞරව සම්මාන, පැවත්වු ආචාර, ඇතිවු ඝෝෂාව, පුපුරාගිය රතිඤ්ඤා හඬ, දෙස බැලීමේදී වසර 30 ක්‌ තරම් කාලයක්‌ සමස්‌ත ජනතාව පීඩාවට පත්කළ ත්‍රස්‌තවාදය පරාජයට පත්කිරීම හේතුවෙන් ජනතාව මෙපමණ සතුටක්‌ ලැබුවානම්, ඔබට කල්ප ගණන් දුක, වේදනාව, ම්ලේච්ජත්වය, අවිචාරය, ගින්දර, යොධිය සමග දුක්‌විඳීමට සැලැස්‌වූ අතීතයේ ඔබ විඳි සතර අපායේ ත්‍රස්‌තවාදය ඔබ පරාජය කළහොත් මොනතරම් සතුටක්‌ ලබයිද?

වසර 35 ක පමණ කාලයක්‌ පමණක්‌ ඔබ විඳි මරණ බිය නැතිවීම හේතුවෙන් මේ තරම් සතුටුවෙනවා නම්, යුද්ධයේ දුක මේ තරම් කටුක ලෙස දැනී තිබුනා නම් ඒ සැබවින්ම ඔබ සතර අපායේ ඇති දුක ගැන නොදන්නා නිසාමයි.

උතුරේ යුද්ධයෙන් දිනන්න තරම්වත් උත්සාහයක්‌ සතර අපායෙන් මිදීම සඳහා නොගන්නේ රටත්, ජාතියත්, සම්බුද්ධ ශාසනයත් ඔබේ ග්‍රහණයේ තබාගත හැකි දෙයක්‌ බව නොදන්නා නිසාමයි. ඔබවවත් ඔබේ පාලනයේ තබාගත නොහැකිය. යුද්ධයක ජය පරාජය හැමදාම නිත්‍යභාවයේ තබාගත හැකි දෙයක්‌ද නොවේමය. මනුෂ්‍යයා තූළින්ම අවුළුවා ගන්නා යුද ගිනි මනුෂ්‍යයා විසින්ම නිවාදමයි. නිෂ්පාදකයාත් එම නිෂ්පාදනයෙන් දුකට පත්වන්නාත්, විනාශකරගන්නාත්, නිවා දමන්නාත් මනුෂ්‍යයාමය. මේවා උදෙසා ඔබලා රැස්‌කරගන්නා අකුසල් අපි පසුපසින් සෙවණැල්ලක්‌ සේ විපාකදෙමින් පැමිණෙනවාමය. යුදබිමකදී ඔබට යම් අනතුරක්‌ සිදුවුනොත් ඔබගේ උපකාරයට රජයක්‌ ඇත, වෛද්‍යසේවා ඇත, නොයෙක්‌ සමාජසේවා ආයතන ඇත. එහෙත් සතර අපායට වැටෙන සත්ත්වයාට ඒ දුක වේදනාව, කුසගින්න විඳීමට සිදුවන්නේ තනිවමය. කඳුළු පිසදැමීමට, ලේ පිසදැමීමට, බෙහෙත් දැමීමට, සුවදුක්‌ විචාරීමට සතර අපායේ සත්ත්වයාට කිසිවෙක්‌ නොමැත. හේ තනිවම අපාදුක්‌ විඳිය යුතුය.

මනුෂ්‍ය ලෝකයේ ත්‍රස්‌තවාදයට වඩා සතර අපායේ ත්‍රස්‌තවාදය අති බිහිසුණුය, තියුණුය, අතිදීර්ඝය. ඔබ සැබෑ ජයග්‍රාහකයෙක්‌ වන්නේ අනාගතයේ යම් දිනයක නැවත ඇතිවන යුද්ධයක්‌ ජයගැනීමෙන් නොව නිරතුරුවම ඔබට අත වනන සතර අපායේ යුද්ධයෙන් ඔබ ජයගතහොත් පමණක්‌මය.

මනුෂ්‍යයා යුද්ධය කරද්දී මාරයා සාමයට අත වනයි. මනුෂ්‍යයා සාමය උදාකරගනිද්දී මාරයා යුද්ධයට අත වනයි. යුද්ධයත් සාමයත් දෙකම මාරයාගේය. මේ දෙක අතර පරතරය මනුෂ්‍යයෙකුගේ සිතක්‌ අනිත්‍යභාවයට පත්වී තව සිතක්‌ හටගැනීමට ගන්නා කෙටි කාලයයි. ඒ කාලය තුළ ඔහු යුද ඇඳුම ගලවා සුදෝ සුදු ජාතික ඇඳුම ඇඟලාගනී. මේ ඇඳුම් දෙකම මාරයාගේමය. මාරයාගේ මේ විකට ඇඳුම් තරගවලින් මිදී සතර අපායේ ත්‍රස්‌ත්‍රවාදයෙන් මිදීමේ මග ලොව්තුරා බුදුසමිඳුන් බොහොම පැහැදිලිව දේශනා කර ඇත.

තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, තෙරුවන් ගුණ අර්ථ වශයෙන් දැනගෙන එම ගුණයන් කෙරෙහි ඇතිකරගන්නා විශ්වාසය 'ජීවිතයේ එකම සැනසීම ලොව්තුරා බුදුරජාණන් වහන්සේය' කියන විශ්වාසය. සසර දුකින් මිදීමේ එකම මාර්ගය ධර්මරත්නය කියන විශ්වාසය, සංඝරත්නයේ අනන්තවූ ගූණයන් පිළිබඳ විශ්වාසය, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තිබෙන කෙනා තමන්ගේ ජීවිතයට කුමන ප්‍රශ්නයක්‌ කරදරයක්‌ පැමිණියද තෙරුවන් කෙරෙහි විශ්වාසය පළුදුකරගන්නේ නැහැ. ඔබ සිතන්න ඔබේ රුපියල් දාහක්‌ නැතිවුණාය කියල. එවිට ඔබ සිතනවා නම් 'මගේ රුපියල් දාහක්‌ නැතිවුණේ මම තෙරුවන් සරණ ගොස්‌ ඇති නිසාමයි. නැතිනම් රුපියල් දහදාහක පාඩුවක්‌ වෙන්න තිබුණා' ය කියලා. 'මට තනතුර පමණක්‌ අහිමිවුණේ තෙරුවන් සරණ යන නිසාමයි. නැතිනම් මට ජීවිතයත් අහිමිවෙන්න තිබුණා' ය කියලා. මේ ආකාරයෙන් ඔබගේ ජීවිතයට කුමන අභියෝගයක්‌ පැමිණියද තෙරුවන් සරණ පිළිබද විශ්වාසය තමන්ගේ ජීවිතයේ එකම සරණ විශ්වාසය කරගන්න. ධර්මයේ සන්දිට්‌ඨික ගූණය පිළිබඳ නිරතුරුවම ඔබ විශ්වාසය තබන්න. ඊට එරෙහිව අදහස්‌ ප්‍රකාශ නොකරන්න. මේ ජීවිතයේදීම ධර්මය අවබෝධ කරගැනීමට, සතර අපායෙන් මිදීමට නොහැකිය කියන මිථ්‍යා මතවලින් මිදෙන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ 'ධර්මය සන්දිට්‌ඨකයි' වශයෙන් දේශණාකර ඇති නිසා එම සන්දිට්‌ඨක ගුණය කෙරෙහි අචල විශ්වාසය තබා ධර්ම මාර්ගයේ පෙරට යන්න. බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනා ඉක්‌මවා යැමට, සැකයන් ඇතිකිරීමට ඉවහල්වන මාරපාක්‍ෂික සිතුවිලිවලින් ඔබ මිදෙන්න. මහා සංඝරත්නය යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීම උදෙසා ගමන් කරනා පිරිසක්‌ බව දකින්න. මහාසංඝරත්නයට උපදෙස්‌ දීමට අවවාද අනුශාසනා කිරීමට පිංවත් ගිහි ඔබ උත්සාහ නොගන්න. නිරතුරුවම අතීතයේ වැඩසිටියාවු ගුණයෙන් ඥානයෙන් පරිපුර්ණවු මහා සංඝරත්නයේ එම ගුණයන් ඥානයන් දකිමින් සිහිකරමින් වර්තමාන මහාසංඝරත්නය කෙරෙහි විශ්වාසය ඇතිකරගන්න.

දෙවැනිව ඔබ ශීලය ආර්යකාන්ත ශීලයක්‌ ලෙස ආරක්‍ෂකරගන්න. තමා අතින් සිල්පදයක්‌ බිඳුනොත් ඒ මොහොතේම එම සිල්පදය නිවැරුදිකරගැනීම, ආර්යකාන්තශීලය ආරක්‍ෂා කරන පිංවතාගේ ලක්‍ෂණයක්‌. ඔහු තමා අතින් වූ වරද හෙළිකිරීමට මැළිවෙන්නේ නැහැ. ආර්යකාන්ත ශීලය රකින කෙනා තමාගේ ආත්ම ගරුත්වයට වඩා තමා සතර අපායෙන් මිදීමට කැමති වෙනවා. සිල්පදයක්‌ බිඳදමා ලබන තාවකාලික අසත්පුරුෂ ආශ්වාදයට වඩා සතර අපායට වැටුනොත් එහිදී ලබන දීර්ඝ විපාකයන් ගැන මෙනෙහි කරනවා. නිතරම ඔබේ ඇසට පෙනෙන තිරිසන් ලෝකයේ සතුන් විඳින දුක මට නම් එපා යයි සිතනවා.

තෙවනුව ඔබ තනතුරු, නායකත්වය මේ ආදී වශයෙන් රැස්‌කොටගෙන ඇති ''මගේ ගොඩ'' මේවා මගේ වසඟයේ තබාගත නොහැකි දේවල් බව සිතීමට පුරුදු විය යුතුයි. අතීතයේ මේ රටේ සිටි සෑම පාලකයෙක්‌ටම, නායකයෙක්‌ටම, විධායකයෙක්‌ටම එම තනතුරු අහිමි වු ආකාරය, ජනතා ප්‍රතිචාරයන් හීනවී ගිය ආකාරය, රෝගවීS දුක්‌ විඳ මියගිය ආකාරය සිහිකිරීමට පුරුදු විය යුතුය. මේවායේ අනිත්‍ය ස්‌වභාවය දැකීමට උත්සාහ කළ යුතුය. දැන් ඔබට ප්‍රශ්නයක්‌ මතුවනු ඇත 'හාමුදුරුවෝ කියන්නේ මේවා අතහරින්නද?' කියලා. නැත. සතර අපායේ ත්‍රස්‌තවාදයෙන් මිදීමට ඔබ කිසිවක්‌ අතහැරිය යුතු නැත. තනතුරු, බිරිඳ, දරුවන් දේපළ අතහැරිය යුතු නැත. ඔබ වෙනදාට වඩා තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් තම වගකීම් ඉටුකළ යුතුය. වෙනදාට වඩා වගකීම් යුතුකම් ඉටුකිරීමේදී ජවසම්පන්න විය යුතුය. ඔබ සමාජයේ ජීවත්වන උද්යෝගිමත්ම ජවසම්පන්නම පුද්ගලයා බවට පත්විය යුතුය. ඔබ තුළ ගොඩනැගෙන ආත්ම විශ්වාසය නිසා ඔබ ආත්මඅභිමානයකින් යුතුව කටයුතු කරනු ඇත. මෙය හුදෙක්‌ මාන්නය හෝ අහංකාරකමක්‌ නොවේ. එය ධර්ම මාර්ගය වැඩීමේදී ඇතිවන නිහතමානී ආත්ම ශක්‌තියකි. මේ නිහතමානී බව මමත්වයේ දැඩිභාවය නැමති මහා කළුගල සිදුරු වී නැගෙන සියුම් ජලධාරාවන්ය. මේ සියුම් දිය දහර මහා ජල ප්‍රවාහයක්‌ බවට ඔබට පත්කරගත හැක්‌කේ තමා, මගේ කරගෙන තිබෙන සියල්ල අනිත්‍ය බව දකිමින් ජීවත් වීමෙන්ය. දැන් ඔබට තේරෙනවා ඇති සතර අපායේ ත්‍රස්‌තවාදයෙන් මිදීමේ මාර්ගය, ඔය රටේ කරපු යුද්ධය ජයගැනීමට වඩා මොනතරම් පහසුද කියලා. මිනිස්‌සු මැරෙන්නෙ නැහැ. අංගවිකල වෙන්නේ නැහැ. කෝටි ප්‍රකෝටි ගණන් මුදල් අවි ආයුධ වැටුප්වලට වියදම් වෙන්නේ නැහැ. බංකර් තනන්න, වාහන පරීක්‍ෂා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෛරය ක්‍රෝධය ඇතිවෙන්නේ නැහැ. මේ සියල්ල නැතිවෙද්දී ඔබ තුළ ඇතිවෙන එක දෙයක්‌ තිබෙනවා. ඒ තමයි සතිය සහ සිහිය. සිහිබුද්ධියෙන් යුතුව ඔබ සැබෑ මග සැබෑ ජයග්‍රහණය තෝරාගන්න දක්‍ෂ වෙන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
සදහම් සඟරා - Online