ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

භාවනාව යනු කුමක්ද...?

භාවනාවන් ප්‍රධාන වශයෙන් සමථ විදර්ශනා යනුවෙන් දෙවැදුරැම් වේ. විදර්ශනාව වැඩීම පිණිස නම් කවර භාවනාවක් තුළින් හෝ මුලින් සමාධිය පිහිටුවා ගත යුතුය. මේ නිසා ආනාපාන සතිය ඇතුළුව සතලිස් වැදෑරැම් භාවනාවන්ගෙන් කවරකින් හෝ සමථය වඩා සමාධිය පිහිටුවාගෙන විදර්ශනාව වැඩිය යුතුවේ. ඉතා කලාතුරකින් අවස්ථාවක සමථය නොවඩා කෙලින්ම ශුෂ්ක විදර්ශනා භාවනාවේ යෙදෙන යෝගීහු ද වෙත්. එය දුෂ්කර තත්ත්වකි. බොහෝසෙයින් භාවනාව පුරැදු පුහුණු කරන පින්වතුන් සමථය වඩා විදර්ශනා මාර්ගයේ ගමන් කරති. මෙසේ මුලින් සමථය වඩා සමාධිය පිහිටුවා ගැනීම මඟින් අපේක්ෂා කරනුයේ ප්‍රඥාව ඇති කර ගැනීමයි. 

ප්‍රඥාව යනු කවරක්ද...? ප්‍රඥාවේ ප්‍රයෝජනය කවරක්ද...?
බොහෝ දෙනෙක් ප්‍රඥාව යනු උගත්කම නුවණ බුද්ධිය යැයි වරදවා වටහාගෙන ඇත. සැබවින්ම ප්‍රඥාව යනු පෙර සඳහන් කළ කිසිවක් නොව අවිද්‍යාව දුරැකොට විද්‍යාව අවබෝධ කරගැනීමේ හැකියාවයි. එය පරම සත්‍යය විශ්ව යතාර්ථය ස්වභාවික යතාර්ථය අවබෝධ කරගැනීමේ නුවණ යනාදී නම් වලින් වුව හැදින්විය හැක. සම්මුති ලෝකයේ අප ව්‍යවහාර කරන උගත්කම නුවණ බුද්ධිය ආදියට අවිද්‍යාව දුරැකොට විද්‍යාව අවබෝධ කරගැනීමේ හැකියාවක් නැත. මේ නිසා ප්‍රඥාව ඇතිකර ගැනීම සඳහා සමථය වැඩීමෙන් සමාධිය පිහිටුවා ගත යුතුවේ. සිතක සමාධිය ඇතිවීම නිසා සිත ප්‍රභාශ්වරවේ. එසේ සුපිරිසිදු වූ සිතට යතාර්ථය අවබෝධ කර ගැනීමේ හැකියාව නැතහොත් ප්‍රඥාව පහල වේ. එවන් සිතකට විදර්ශනාව තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්මක යන ත්‍රිලක්ෂණය අවබෝධයෙන් විමසීමේ හැකියාව ලැබේ. යමෙක් භාවනාවෙන් සමාධිය ලබන්නට පෙර සිටම සිතට දැනෙන සුවය නිසා හදසන්තානය පුරා ප්‍රීතිය පස්සද්ධිය හටගනී. මේ නිසා යමක් පහසුවෙන් වටහා ගැනීමේ සිහිය ද දියුණුවේ. සමාධිය ලැබීමෙන් පසු මේ තත්ත්වය වඩ වඩාත් දියුණු තියුණු වේ.

පෙර බුදුවරැන් පහළවීමට පෙර පවා ඉන්දියාවේ සමථ භාවනා පුරැදු පුහුණු කල ද විදර්ශනාව වැඩීමක් ගැන ඔවුන් දැන සිටියේ නැත. මේ නිසා සමථයෙන් ධ්‍යාන උපදවා බඹලොව යන්නට උත්සාහ කලා මිස සසර සැරිසැරීම නතරකර නිර්වානවබෝධය ලැබීමට තරම් භාග්‍යවන්තයෝ නොවුනි. භාග්‍යවතුන්වහන්සේගේ ධර්මය ශ්‍රවනය කිරීමෙන් දහම් පොත්පත් කියවීමෙන් ඇතිකරගන්නා ශ්‍රද්ධාව නිසා සිල් රැකීමට නැඹුරැ වීමට පහසුවේ. සීලය වැඩි වැඩියෙන් ආරක්ෂා කිරීමට අත්සාහවත් වීමෙන් සමාධිය වැඩේ. එබැවින් සීලය සමාධියට මාර්ගය සෑදේ. සමාධිය ප්‍රඥාවටත් ප්‍රඥාව නිර්වානයටත් මඟ පාදයි.

මේ නිසා අප්‍රමාදීව ධෛර්යෙන් භාවනාව සඳහා උත්සාහවත් වීමෙන් කාලයත් සමඟ අවිද්‍යාව දුරැකොට විද්‍යාව අවබෝධ කරගැනීමේ අවකාශ ඔබටත් සැලසේ.
by Daham Vila

දුකේ මුල සැපයයි


අපට මොනතරම් සැපයක් කයට දැනුනත් එය යම් කිසි ස්වල්ප කාලයකට පමණක් බව ඔබ මොහොතකටවත් සිතුවාද...? ඔබට ඒ සැපය නිරන්තරයෙන් ම පවත්වා ගත නොහැකි බවත් සැපයක් කයට දැනුන පසු එය අවසන් වී දුකක් බවට පත් වේන බවත් ඔබ දැක තිබේද...? ඒ කෙසේද....? ඔබ පුටුවක සුව පහසු පරිදි වාඩිවී යම් වෙලාවකදී ඔබ සිටින ඉරියව්ව වෙනස්කර සුවපහසු වෙනත් ඉරියව්වකට මාරැවන අවස්ථාවක් හිතන්න.... එසේ වෙනස් කරන ලද ඉරියව්වද තවත් ස්වල්ප වෙලාවකින් නැවත වෙනස් කරන්නට සිදු වේ. මුලින් දැනුන සැපය යම් අවස්ථාවක ඇති වුනාද ඒ මොහොතේ පටන් ටිකෙන් ටික ඒ සැපය අඩුවෙමින් දුක වැඩිවෙන බව හොඳින් නිරික්ෂණය කළහොත් දැන ගැනීමට හැකිවේ. මේ ආකාරයෙන් නිදාගන්නා විටදි ඉරියව් මාරැකරන අවස්ථා, හිටගෙන සිටින විටදි දෙපා රිදෙන විට වාඩිවන අවස්ථාවක්, මෙසේ වාඩිවී සිටින විටකදි, ඇවිදින විටකදි .... වැනි විවිධ අවස්ථා වලදි සැප දුක වෙනස් වෙන බව ඔබට පැහැදිළි වෙනු ඇත. යම් ලෙසකින් ඒ සැපයක් ඇති නොවුනා නම් දුකක්ද ඇති  නොවේ..... සැපයැයි අප ග්‍රහණය කරගන්නා සියල්ලේම කෙලවර කාලයත් සමඟ දුකක් ඇතිවන බව ඔබටම වැටහේවි. මේ ආකාරයෙන් ම අටලෝදහමින් දක්වන්නා වූ කීර්ති - ප්‍රසංසා, යස - අයස, ලාභ - අලාභ ආදියේ පවා මේ ලක්ෂණයන් දකින්න උත්සාහ කරන්න.
by Daham Vila

අනිත්‍ය

ඇතැම් දෙනෙක්ට බුදුදහමෙන් පෙන්වාදෙන අනිත්‍ය පැහැදිළිව තේරැම් ගැනීමට නොහැකි වී ඇත්තේ ණුවනින් ඒ ගැන විමසා බලන්නට උත්සාහ නොකරන බැවිනි. නැතහොත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය තමා තුළින් හෝ අවට ලෝකය තුළින් විමසා නොබලන නිසාය. 
ඔබ ඔබේ කුඩා කාලයත් වර්තමානයත් අතර සිදුවී ඇති ඔබේ කායික වෙනස්කම දෙස බලන්න. කාලයත් සමඟ සිදුවී ඇති සියළු වෙනස්කම් එම කාලයෙන් බෙදන්නට හැකිනම් වසරකට මෙන්න මේ තරමේ වෙනසක් සිදුවී ඇතැයි දළ අදහසක් ගන්නට පුළුවනි. වසරකට ලැබුන අගය මාස, දින, පැය, විනාඩි ආදී වශයෙන් තව තවත් බෙදනවිට ඔබටම වැටහේවි ගෙවෙන සෑම තත්පරයකදීම පමණක් නොව තත්පරයකින් ඉතා සූක්ෂම අවස්ථාවකදී පවා අප වෙනසකට භාජනය වන බව. යම් වෙනසක් ඇති වෙයිද ඒ සැනින් එය වෙනස් වී වෙනෙකක් බවට පත් වේ. එසේ නම් ඔබ අප සියළු දෙනා නිරන්තරයෙන්ම ඇතිවී ඒ ක්ෂණයෙන් නැතිවී යන ස්වභාවයෙන් යුක්ත බව වැටහෙනු ඇත....
මේ ශරීරයත් අවට ලෝකයේ සියල්ලත් මේ ආකාරයෙන් ම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් යමින් පවතී. මේ නිසා ලෝකයේ කිසිවක් ස්ථිර නොවන බවත් යමක් වෙනස් නොවී පවතින්නේ යැයි අපට පෙණෙන දේ සැබෑවක් නොවන මායාවක් බවත් ඉතා සියුම් ලෙස සිදුවන්නා වූ වෙනස්කම් දැක ගන්නට තරම් ඇසට හැකියාවක් නැති නිසා අනිත්‍ය ස්වභාවය නොවැටහෙන බවත් මැනවින් විද්‍යමාන වේ.
මේ නිසා කිසිවක් ස්ථිර නොවන නිසා අනිත්‍යයැයි ද එසේ වෙනස් වීම දුඛයැයි ද තමන්ට එය වෙනස් කළ නොහැකි නිසා එනම් තමා වසගයේ නොපවතින නිසා අනාත්මයැයි ද කියයි. ණුවනින් විමසා බලන්න.... දැන් ඔබට තේරෙනවාද මමය මාය මගේය කියා කිසිවක් නැති බව.....?
ධර්ම දේශනය
by Daham Vila

ධර්මයෙන් තොර විසඳුමක් නැත

අතීතයේ කලා වූ පවෙන් මිදී සුගතියේ ඉපිද සසරෙන් මිදෙන්න ඇති අවස්ථාව වටහා ගැනීමට මෙය හොඳම අවස්ථාවයි. දුගතියෙන් මිදී සුගතියට යෑම පිණිස ඔබ උත්සාහවන්ත වීමට නිවැරදි මාර්ගය ධර්මයේ හැසිරීමෙන් පාදා ගන්න. ඒ සඳහා අවසන් මොහොත තෙක් කුසලයේ යෙදීමෙන් පෙර කලා වූ කුසලයන්ද සමඟ සුගතියේ ඉපදීමට හේතු ලෙස විපාක දේ. එබැවින් ඔබට සුගතියේ ඉපදීමට ධර්මයෙන් තොර විසඳුමක් නැත. පව් කලා වූ පුද්ගයා ඒ ගැන සිතමින් කල් ගෙවනවා වෙනුවට එයින් මිදී සුගතියට යෑම පිණිස අකුසලයෙන් ඈත්ව කුසලයේ යෙදෙන්න. කුසලයේ යෙදී තිබියදීත් දුගතියේ ඉපදීමෙන්  වැලකීමට අවසන් මොහොත තෙක් කුසල් සිතින් පසුවන්න.  දුගතියේ නූපදීම පිණිස නුවනින් කටයුතු කරන්න.
by Daham Vila
සදහම් සඟරා - Online