ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

මරණය දුකක් නොවන්නට

දිනක් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අවසන් කරත් ම මෘතශරීරාගාර සේවක මහතෙක් තවත් මෘත දේහයක් එහි මේසය මත හොවා එය ඊළඟ පරීක්ෂණයට අදාළ මෘත දේහය බව අපට කීය. ඇසිල්ලකින් ඒ වෙත යොමු වුණ අප නෙත ගැටුණේ බොහෝ සුපුරුදු මුහුණකි. පශ්චාත් මරණ පරීක්ෂණය ආරම්භ කෙරිණි. තවමත් උණුසුම නොසුන් දේහය විච්ඡේදනය කරන විට,මීට දශක දෙකකට පෙරාතු ව වූ සිදුවීමක් අප මතකයට නැඟිණි. පූජ්‍ය මාවතගම පේමානන්ද හිමියන් කැටපිටිය පුරාණ විහාරයේ දී පළමු වරට හමු වූ දිනයේ දී, අපගේ දිවා ආහාරය සඳහා වූ බත් පිඟාන සිනාමුසු මුහුණින් යුතු ව අප වෙත රැගෙන පැමිණියේ අද ජීවය සුන් කයක් පමණක් ඇති මේ පුද්ගලයා යි. එදා පටන් සුපුරුදු සිනහවෙන් යුතු ව හෙතෙම බොහෝ වාර ගණනක් අප හමු විය. මීට පැය කිහිපයකට පෙර ද හෙතෙම තම බන්ධූන් සමඟ එකී සුපුරුදු සිනහවෙන් යුතු ව ජීවත් වූහ. ඒ ජීවත් ව සිටියේ විඤ්ඤාණය සහිත වූ, එහෙයින්, සජීවී පුද්ගලයෙකි. මේ මෘත ශරීරාගාරයේ දැන් හොවන්නේ විඤ්ඤාණය රහිත වූ, එහෙයින්, අජීවී මළ සිරුරකි.
විඤ්ඤාණය සහ ශරීරය අතර ඇති අන්‍යොන්‍ය සම්බන්ධය කුමක් ද? මිනිස් ශරීරයකට (කළලයකට) විඤ්ඤාණයක් ඇතුළු වීම, එහි පැවැතීම සහ එය ඉන් බැහැර වීම යනු සෛලයකට හෝ සෛල සමූහයකට ජීවය ලැබීම, ජීවයේ පැවැත්ම සහ ජීවියකුගේ මරණය ලෙස ගත හැකි ද? නොඑසේ නම් ඒවා සපුරා එකිනෙකට වෙනස් සිද්ධි ද? නැතහොත් ඒවා එකිනෙකට සමාන හා අසමාන සිද්ධි ද?
අප කලණ මිත් පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමියන් සමඟ වරෙක අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමියෝ මෙසේ පවසති.
‘අප පුදුමයට පත්විය යුත්තේ කෙනකුගේ මරණය ගැන නොව මරණයට මේ තරම් හේතු තිබිය දී පුද්ගලයකු මෙලොව ජීවත් වීම පිළිබඳ ව යි.’
තත් ප්‍රකාශය මත පදනම් ව විමසුවහොත් යමකු මිහිමතට සජීවී ව පැමිණි දා සිට, කායික ව අජීවී ව නික්ම යන තෙක් ඔහු විසින් කායිකව, මානසික ව හෝ එකී ද්විධ ව හෝ මුහුණ දෙනු ලබන ලෙඩ - රෝග, ව්‍යාධි,උපද්‍රව,දුබලවීම්, අනපේක්ෂිත සිදුවීම නම් කෙතරම් ද? එසේ, ඒවාට බඳුන් වෙමින් ජීවය පවත්වාගෙන යෑම ඉතා වෙහෙසකර කාර්යයක් වුව කිසිදු වෙහෙසකින් තොර ව මරණය අප වෙත නිහඬව ම සැණෙකින් පැමිණෙයි.
ඇතැම් ලෙඩ රෝග, ව්‍යාධි තමාට, නොදන්වා ම අවුත් නොදන්වා ම වැළඳී, නොදන්වා ම ආපසු ගොස් ඇති බව ඇතැමෙක් නොදනිති.
ඇතැම් පශ්චාත් මරණ පරීක්ෂණවල දී මීට පෙර වැළඳුණු හෘදයාබාධයක සලකුණු මියගිය අයගේ හෘද කුටීරවල බිත්ති නිරීක්ෂණයේ දී හෙළිදරව් වෙයි. එහෙත් එවැන්නක රෝග ලක්ෂණයක් හෝ එකී පුද්ගලයා ජීවත් ව සිටිය දී තම නිවැසියනට ප්‍රකාශ කර නැත. නිවැසියන් විසින් එවැන්නක් පිළිබඳව දැනගනු ලබන්නේ ද මිය ගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණයෙනි. ඇතැම් විට එකී හෘදයාබාධය මීට අවුරුදු කිහිපයකට හෝ මාස කිහිපයකට පෙර හෝ රාත්‍රි නින්දේ දී ඔහු වෙත පැමිණෙන්නට ඇත. පසු දින අවදි වූ විට ඔහුට පපුවේ වේදනාවක් තිබුණා විය හැක. එහෙත් ඔහුගේ කාර්යය බහුලත්වය, ඒ ගැන ඔහු නොතැකීම, එකී වේදනාව පිළිබඳව ඇහුම්කන් දෙන්නකු නොසිටීම වැනි කවර හේතුවකින් හෝ ඊට ප්‍රතිකාරයක් නොලද ඔහුට ඔහුගේ මරණය තව තවත් බොහෝ ඉක්මනින් පැමිණ තිබේ.
උපදින විට ම යමකුට සියල්ල හිමි නොවෙයි. ජීවිතය විසින් පසු ව ඇතැම් දේ හිමිකොට ගනු ලැබෙයි. එහෙත් යමකු උපදින විට ම සිය අතපත් වන අත්‍යන්ත දේ නම් තම මරණය යි. යමකුගේ මරණය කිසිදු අවකාශයක්,සුළු ඉඩක්, නැවැතීමක්, විරාමයක් හෝ ඇසිල්ලක් හෝ නොතබා අන් කිසිවකුට පෙර යමකුගේ උපත සමඟ උපදියි, උපත අසල ම රැඳෙයි, ඔහුගේ ජීවිතය සමඟ ගමන් කරයි.
එනමුදු යමකු ම උපන් දිනය සමරන, සිහිපත් කරන, ප්‍රීති ප්‍රමෝදයට පත්වන, තවත් අයකුගේ උපන් දිනයට සුබපතන දිනක,ඇසිල්ලකට හෝ නොසිතන කාරණය වන්නේ එකී උපතේ දී ඔහුගේ මරණය ද ඉපදුණු බවයි. මරණය අනවරතයෙන් ම ජීවිතය සමඟ එළැඹ ඇති බව යි.
උපන් දින දා එය සමරන හෝ සිහිපත් කරන හෝ කිසිවකු විසින් තම මරණය ගැන සිහිපත් කරනු ලැබිය යුත්තේ මන්ද? එම මරණය තමන් වෙත දැනටමත් අත්පත් වී ඇති බැව් සිහිකරන සැමවිට ම, ඔහු වෙත එළැඹෙන ඊළඟ මොහොතේ සිට හැකිතාක් තමාටත් ලෝකයටත් අර්ථයක් ඇති කාර්යයන් පිළිබඳව සිතීමටත් සැලසුම් කිරීමටත් ඒවා ක්‍රියාවෙහි යෙදවීමටත් හැකි බැවිනි. එමෙන් ම තමා දැනටමත් කරන අර්ථවත් කාර්යයන් වඩා වර්ධනය කිරීමටත් අනර්ථ ක්‍රියා නතර කොට ගැනීමටත් අදිටන් කරගත හැකි බැවිනි.
බෞද්ධයන්ට උපත සේ ම මරණය ද සුවිශේෂී නොවේ. මෙලොව මිනිස් උපතක් යනු සංසාරගත පුද්ගලයෙක් මිනිස් භවයකට පැමිණීම යි. මරණය යනු එකී මිනිස් භවයෙන් නික්මීම යි. බෞද්ධයන්ට වැදගත් වන්නේ ඒ අතර ඇති තාවකාලික නවාතැන වන ‘මිනිස් ජීවිතය’ යි. මන්ද තම සසර කෙටිකරගත හැක්කේ එකී තාවකාලික නවාතැනෙහි තම ක්‍රියාකාරිත්වයෙන් පමණක් වන බැවිනි.
අට්ඨකතාචාර්ය බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරනු ලැබූ විශුද්ධි මාර්ගයෙහි මරණය පිළිබඳව සිහි කළ යුතු අට ආකාරයක් වෙයි. එහි අටවැනි ආකාරය, ‘ඛණපරිත්තය’ යි. එනම් ජීවිතය පවත්නේ ක්ෂණයකි; ක්ෂණය නිරුද්ධ වන කල්හි ජීවියා මරණයට පත්වන්නේ ය; එනම්, යමකුගේ අවසන් කාය මරණය මතු නොව, ඔහු ජීවත්වීම යනු ද ක්ෂණයක් පාසා මරණයට පත් වීමකි. එහෙයින් මරණය යනු ජීවිතයේ අග එළැඹෙන්නක් නොව, ජීවිතයේ නිරන්තරයෙන් එළැඹෙන්නකි. බුදුදහමට අනුව යමකු විසින් මරණය පිළිබඳව නිතර සිහිකරනු ලැබිය යුතු ය. ඒ මන්ද, ඉන් සිත එකඟ කිරීම සඳහා ය. ඉන් සතිය, සංවේගය, ඥානය උපදවා ගැනීම සඳහා ය; එය නිවනට මඟක් වන නිසා ය. යමෙක් මරණය නිසි අයුරින් දකින්නේ නම් ඉන් තමාටත් ලෝකයටත් මහත් අර්ථයක් කරගනියි. කරයි.
වරෙක තම වෛද්‍යවරයා ඇමැතූ රෝගියෙක් තම රෝගයෙන් තමා නිසැකව ම මියයන්නේ දැ යි නිශ්චිතව ම නොසඟවා තමාට පවසන මෙන් ඉල්ලීමක් කළේ ය. රෝගියා මේ ගතකරමින් සිටින්නේ ඔහුගේ අවසන් පැය කිහිපය බව කී වෛද්‍යවරයා, මෙම රෝගයෙන් ඔහු මිය යන බව මීට මාස කිහිපයකට පෙර, රෝගය නිර්ණය කරගත් විට දැන සිටි බවත් එහෙත් එය රෝගියාට නොකී බවත් ප්‍රකාශ කළේ ය.
“මා මේ රෝගයෙන් මාස කිහිපයක් ඇතුළත මිය යන බව ඔබ මට ඒ දිනවල ම පැවැසුවා නම්, මට මගේ මරණය සඳහා මේ මාස කිහිපයේ මීට වඩා සූදානම් වන්නට තිබුණා. ලෝකය වෙනුවෙන් මා හට කරන්නට තිබුණ වැඩ තව ඉක්මනින් කරන්නට තිබුණා.” ඒ. එයට රෝගියා දුන් පිළිතුර යි.
සුප්‍රසිද්ධ මහා ව්‍යාපාරික වොරන් බෆට් (එචපපඥද ඕභටටඥබබ) ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට ද වරෙක පත්වුණ අයෙකි. ඔහුට ඔහුගේ ව්‍යාපාරයේ සියල්ල වරෙක අහිමි වුව ද නැවත ඔහු සිටි ස්ථානයටත් වඩා ඉහළ තැනකට වන්නට ඔහු සමත් විය. නොපසුබස්නා උත්සාහය, වීර්යය, ශූර ව්‍යාපාරික ඥානය, කැපවීම සහ තවත් එක් හේතුවක් ඒ සඳහා ඔහුට බලපා තිබිණි.
වරෙක පුවත්පත් කලාවේදියකු විසින් ඔහුගේ සුවිශේෂී දියුණුවේ රහස කුමක්දැයි වොරන් බෆට්ගෙන් විමසනු ලැබිණි.
‘එයට හේතුව තමයි, මම සෑම දිනක ම හිතනවා. මම හෙට මරණයට පත්වෙයි කියා. එවිට ඒ වෙනුවෙන් මම අද වැඩ කරනවා.’ ඒ ඔහුගේ පිළිතුර යි. වොරන් බෆට්ට බුදුදහමේ ආභාසය ලැබී තිබුණ බව කියැවෙයි.
අප විසින් පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කරමින් ඉහත කී මෘත දේහයේ ආමාශය විවෘත කරනු ලැබූ විට එහි සුදු පැහැති බත් ද ඒ අතර තද දුඹුරු පැහැති ඝන කැබැලි සහිත ආහාරයක් ද විය. ඒ මේ පුද්ගලයා මියයන්නට වහා ම පෙර අනුභව කළ ආහාරය යි. ඒ පිළිබඳව ඔහුගේ බිරිඳගෙන් විමසූ විට ඇය කියා සිටියේ එදින ඔහුගේ උපන් දිනය බවත් වෙනත් වසරවල ඔහුගේ උපන් දිනය හෝ සිහිපත් නොකරන හෙතෙම මෙම උපන් දිනයට කැවුම් – කිරිබත් අවශ්‍ය බව පවසා උදෑසන ම අලුත් ඇඳුමකින් සැරසී කැවුම් – කිරිබත් අනුභව කළ බවත් ය. එලෙස තම උපන් දිනය සමරමින් කැවුම් –කිරිබත් කෑ ඔහුට තම උපතේ දී ම අත්පත් මරණය ද ඒ සැණින් පිළිගන්නට සිදු විය.
යමකුගේ මරණය ලෝකයට දුකක්. අහිමි වීමක්. සතුටක් වන්නට හෝ නොවන්නට හෝ හැක. එහෙත් තමන් මිය යතැයි යන අදහසින් ජීවත්වෙමින්, තමා සතු පෞද්ගලික හා පොදු කාර්යයන් හැකි පමණ හැකි අයුරින් කරන අයකුට තම මරණය යනු දුකට, බියට හෝ සතුටට හෝ කාරණයක් නොවන්නේ එය තම ජීවිතයේ එළැඹෙන අනිවාර්ය තවත් එක් සිදුවීමක් පමණක් වන හෙයිනි.

භික්‌ෂුත්වයට බලපාන සතර පාරාජිකා

බටුගොඩ ශ්‍රී ජයසුන්දාරාරාම මහා විහාරාධිපති, 
ධර්මවේදී නාලන්දේ විමලවංශ හිමි

බුදුහිමියන් විසින් පනවන ලද විනය නීති ප්‍රාතිමෝක්‌ෂය වශයෙන් හඳුන්වනු ලබයි. සාමණේරයන් වහන්සේලා විසින් රැකිය යුතු සීලය 'සාමණේර ප්‍රාතිමෝක්‌ෂ සංවර සීලය' නමිනුත් උපසම්පදා භික්‌ෂුන් විසින් රැකිය යුතු සීලය භික්‌ෂු ප්‍රාතිමෝක්‌ෂ සංවර සීලය වශයෙනුත්, භික්‌ෂුණීන් විසින් රැකිය යුතු සීලය භික්‌ෂුණි ප්‍රාතිමෝක්‌ෂ සීලය වශයෙනුත් හඳුන්වනු ලබයි. චක්‌ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය, මන යනුවෙන් රූප, ශබ්ද ආදී අරමුණු ගන්නා ඉන්ද්‍රියයන් සයක්‌ ඇති බව දන්නෙමු. මෙම ඉන්ද්‍රියයන් අරමුණු කරගනු ලබන රූප, ශබ්ද ආදිය පිළිබඳ තෘෂ්ණා, ද්වේෂයන් මුල් කරගෙන පවතින අකුසල් සිදුනොවන පරිදි සිහියෙන් කටයුතු කිරීම ඉන්ද්‍රිය සංවර සීලය යනුවෙන් හඳුන්වයි. ගිහියන් සතුටු කරගෙන ඔවුන්ගෙන් සිව්පසය උදෙසා බුද්ධාදී ආර්යයන් වහන්සේලා විසින් පිළිකුල් කරන ලද නොගැළපෙන කටයුතුවලින් වැළකීම ආජීව පාරිශුද්ධ ශීලය වශයෙන් හඳුන්වයි. ඇතැම් භික්‌ෂුන් ගිහියන් සතුටු කරනු වස්‌ යම් යම් දෙය දීම, වෙදකම් කිරීම, කේන්ද්‍ර බලා පලාපල කීම ගිහියන් එන විට පෙර මගට ගොස්‌ පිළිගැනීම, පසු ගමන් කිරීම, හුනස්‌නෙන් නැගිටීම, බොරු වර්ණනා කිරීම ආදිය කරති. මේවා මගින් ප්‍රත්‍ය සහ වෙනත් වරදාන වරප්‍රසාද ලබාගැනීමට යත්න දරයි. මෙය මිත්‍යාජීවය වශයෙන් සැලකේ.

දැහැමින් ලද සිව්පසය, ප්‍රයෝජන වශයෙන්, ධාතු වශයෙන්, ප්‍රතික්‌කූල වශයෙන් ප්‍රත්‍යවේක්‍ෂා කොට පරිභෝග කිරීම 'ප්‍රත්‍යය සන්නිශ්‍රීත සීලය' වශයෙන් හැඳින්වෙයි. සියල්ල අත්හැර සසරින් එතෙරවීම පරමාර්ථ කොටගත් පැවිද්දා විසින් ඉහත සඳහන් සතර සංවර සීලය මැනවින් සුරැකිය යුතු වෙයි. ජීවිත පරිත්‍යාගයෙන් බිජුවට රක්‌නා කිරල් දෙන මෙන්, ජීවිත පරිත්‍යාගයෙන් වලිගය රකිනා සෙමර මුවා මෙන්, එකම පුතෙකු සිටින මවක්‌ එම පුතු රකිනා සෙයින්, එක්‌ ඇසක්‌ ඇති අයෙක්‌ එම ඇස රකිනා සෙයින් සිල් රැකිය යුතු බව බුදුහිමියෝ පෙන්වා වදාළහ.

උපසම්පදා භික්‌ෂුවක්‌ යනු අධි සීලයට පත් උතුමෙකි. අනේක විධ ශික්‌ෂා පද ඇති aඋපසම්පදාව බොහෝ ආනිසංස ලැබෙන සීලයක්‌ වශයෙන් ද සැලකිය හැකිය. සීලය පිළිබඳ නොදන්නා උපසම්පදා භික්‌ෂුව තමන් රැකිය යුතු උපසම්පදාව රැකීමට අසමත් වෙයි. ඒ නිසාම හෙතෙම සීලයෙන් පිරිහෙයි. ඇතැම් විට පරාජිකාපත්තියට පැමිණීමෙන් යළි යථා තත්ත්වයට පත් නොකළ හැකි අයුරෙන් පිරිහී යන්නේය. උපසම්පදාවේ ජීවය නොහොත් හරය වන්නේ පාරාජිකාවන්ගෙන් වැලකී විසීමයි.

විනය නොදත් භික්‌ෂුව ශික්‌ෂා පද ගැන සැලකිලිමත් නොමැතිකමෙන් පාරාජිකාපත්තියට පැමිණිය හැකිය. යම් හෙයකින් නොදැනීමෙන් හෝ පාරාජිකාපත්තියට පත් වුවහොත් එම භික්‌ෂුවගේ උපසම්පදාව අහෝසි වෙයි. නොදැන සිදුවුවද පාරාජිකාව පාරාජිකාවක්‌මය. එයට කිසිදු ප්‍රතිකර්මයක්‌ නැත. යම් හෙයකින් පාරාජිකාපත්තියට පත් වුවහොත් නැවත ඔහුට උපසම්පදාව ලැබිය නොහැක. ඔහුට ඉතිරිවන්නේ ශ්‍රමණ වේශය පමණි. ඔහුට සාමණේරයකු වශයෙන් සිටිය හැක. එසේ නොමැති නම් උපැවිදි විය හැක. පාරාජිකා බවට පත්වීමෙන් පසු ඒ බව සඟවාගෙන, උපසම්පදා භික්‌ෂුවක්‌ වශයෙන් සංඝයා අතර සිටිමින්, විනය කර්මවලට සහභාගිවීම, සඟ සතු පන්සල් සෙනසුන් පරිභෝග කිරීම, සඟසතු භාණ්‌ඩ පරිහරණය කිරීම, සාංඝිකව ලැබෙන කොටස්‌ භුක්‌ති විඳීම බරපතළ වරදකි. තමන්ට අයිති නැති දෙය පරිභෝග කිරීම නිසා හෙතෙම සොරකු බවට පත්වෙයි.

උපසම්පදා භික්‌ෂුන් වහන්සේට බලපාන පාරාජිකා සතරක්‌ ඇත. සාමණේරයන් වහන්සේලාට පාරාජිකා දහයක්‌ ඇත. ප්‍රාණ ඝාතය, අදත්තාදානය, මෛථුන සේවනය, බොරු කීම, මද්‍ය පානය, බුදුන්, දහම්, සඟුන්ගේ අගුණ කීම, මිසදිටු බව, භික්‌ෂුණියන් දූෂණය කිරීම යන කරුණු දහය එම පාරාජිකාවෝ වෙති. මෙම ශික්‌ෂා පද කඩාගන්නා සාමණේරයාගේ සරණාගමනය පටන් සියලු ශික්‌ෂා පද බිඳී යයි. ඔහුට ඉතිරිවන්නේ ශ්‍රමණ රූපය පමණකි. ඔහු වැරැදි පිළිගෙන නැවත පැවිද්ද ඉල්ලන්නේ නැවත පැවිදි කළ යුතුය. ඔහු යළි යළිත් වැරැදි කරන්නේ නම් සංඝයාගේ කැමැත්ත පරිදි නැවතත් පැවිදි බව ලබා දිය හැකිය. මිසදිටු අදහස්‌ ඇත්නම් එසේ නොකරන ලෙස අවවාද කළ යුතුය. එම අදහස්‌ අත් නොහරින්නේ නම් සිවුරු හරවා බැහැර කළ යුතුය. භික්‌ෂුණි දූෂණය බරපතළ වරදකි. එය කළ සාමණේරයාට නැවත පැවිද්ද හෝ උපසම්පදාව නොලැබිය හැකිය. පාරාජිකා වීම යනු පැවිද්දෙක්‌ පහ කළ යුතු තත්ත්වයට පත්වීමයි.

උපසම්පදා භික්‌ෂුවකට කෝටියන් සංවර සීලය ඇතත්, ඒ සියල්ල අතරෙන් සතර පාරාජිකා වනාහී ශීර්ෂය සමාන වෙයි. සත්ත්වයකුගේ හිස කඳින් වෙන් වුවහොත් එයින් මරණයට පත්වී ජීවිතය අවසන් වෙයි. එමෙන්ම යම් උපසම්පදා භික්‌ෂුවක්‌ පාරාජිකාවට පත්වෙයි නම් ඔහුගේ උපසම්පදාව නිමාවට පත්වෙයි. හිස සුන් අයකුට නැවත ජීවිතය නොදිය හැකි මෙන් පාරාජිකා වූවකුට නැවත උපසම්පදාවිය නොහැක. පාරාජිකා හැර අනෙකුත් ඇවැත්වලට පත් වුවද උපසම්පදාව අහෝසි නොවෙයි. ඔහුට විනය කර්මවලට සහභාගිවීමේ අයිතිය මෙන්ම සඟ සතු දේපළ පරිහරණය කිරීමේ අයිතියද, සංඝ ලාභ භුක්‌ති විඳීමේ අයිතියද අහිමි නොවේ. අනෙක්‌ ඇවැත් සිදුවුවහොත් ඇවැත් දෙසීම් ආදී විනය කර්ම මගින් පිරිසිදු විය හැකි වුවත්. පාරාජිකා වීමකදී කිසිදු ප්‍රතිකර්මක්‌ නැත.මෙහි ඇති බරපතළ බව නිසාම භික්‌ෂුවක්‌ උපසම්පදා වන අවස්‌ථාවේම සතර පාරාජිකාව පිsළිබඳ කියාදීමට විනය නීතියක්‌ පනවා තිබෙන බව 'මහාවග්ග පාලියෙහි' සඳහන් වෙයි.

ප්‍රථම පාරාජිකාව පිළිබඳ දිගු විස්‌තරයක්‌ කිරීම අපහසු වන්නේ එය ඇතැමකුට පිළිකුලක්‌ මෙන්ම, ඇතැමකුට කාමය ඇවිස්‌සීමක්‌, සිදුවන අසභ්‍ය කරුණු ඇතුළත් විය හැකි නිසාය. එබැවින් ඉතා කෙටියෙන් සඳහන් කරන්නේ නම් යම් භික්‌ෂුවක්‌ විනයානුකූලව උපසම්පදාව ප්‍රතික්‌ෂේප නොකර, උපසම්පන්නයකු වශයෙන් සිටිමින් යටත් පිරිසෙයින් තිරිසන්ගත මාගමක්‌ වුවද මෛථුන සේවනයෙහි යෙදෙයි නම්, ඔහු පාරාජිකා බවට පත්වෙයි. ඔහු සිල්වත් භික්‌ෂුන් සමග සමාන වාසයට සුදුසු නැත. (දුබ්බල්‍යං අනාවිකත්වා මෛථුනං ධම්මං පතිසේවය්‍ය අන්තමසො තිරච්ඡානගතායපි පාරාජිකෝ හොති අසංවාසො - (පාරාජිකා පාලි) පාරිජිකා නැවත 'සංඝාදිසේස ආපත්ති' දහ තුනකට බෙදා දක්‌වයි. එම සංඝාදිසේස මගින් කාන්තාවන් ඇසුරු කිරීමේදී සිල්පද බිඳී යන අයුරු මැනවින් පෙන්වා දෙයි.

යම් භික්‌ෂුවක්‌ අයිතිකරුවන් විසින් නොදුන් වස්‌තුවක්‌ සොර සිතින් ගනියි නම්, එවැනි සොරකමක්‌ නිසා රජයෙන් දඬුවම් ලබයි නම්, නුඹ සොරෙක්‌ය, මෝඩයෙක්‌ය, අන් සතු දෙය සඟවා ගන්නෙක්‌ය යනුවෙන් නින්දාවට පත් වන්නෙක්‌ නම් එබඳු සොරකම් කරන භික්‌ෂුව පාරාජිකා බවට පත්වෙයි. භික්‌ෂුන් සමග සංවාසයට සුදුස්‌සෙක්‌ නොවේ. මෛථුන සේවනය ගිහියන්ට තහනම් නැත. එහෙත් සොරකම ගිහි පැවිදි දෙපිසිරිසටම තහනම් වෙයි. සොර සිතින් තණපතක්‌ වුවද නොගත යුතුය. සොරකම සිදුවන ආකාර විසි පහක්‌ ඇත. එබැවින් මේවා පිළිබඳ සියුම් ලෙස දැනගෙන සිටීම පාරාජිකා නොවීමට හේතු කාරක වෙයි. නානාභණ්‌ඩ පංචකය, ඒකභණ්‌ඩ පංචකය, සාහත්ථික පංචකය, පුබ්බපයෝග පංචකය, ථේ‍ය්‍යාවහාර පංචකය යනුවෙන් වර්ග පහකටත්, ඒවා නැවත සාහත්ථිකාවහාරය, ආණත්තිකාවහාරය, නිස්‌සග්ගියාවහාරය, අත්ථසාධකාවහාරය, ධුරනික්‌ඛෙපවහාරය වශයෙන් කොටස්‌වලටත් බෙදා දක්‌වා ඇත.

තුන්වැනි පාරාජිකාව වශයෙන් දක්‌වා ඇත්තේ කිසියම් භික්‌ෂුවක්‌ මෙම මනුෂ්‍යයා මරමි යන අදහසින් මිනිසකු ඝාතනය කරයි නම්. මෙම ආයුධයෙන් ජීවිතය නසා ගනිත්වා යන අදහසින් ආයුධ තබයි නම්, මරණයෙහි ගුණ වර්ණනා කරයි නම්, මැරෙන ක්‍රම සහ විධි කියාදෙයි නම්, මරණය උතුම් දෙයකි ආදී වශයෙන් මරණයේ වටිනාකම පවසයි නම්. දිවි තොර කර ගැනීමේ වැදගත්කම පවසයි නම්, හෙතෙම පාරාජිකා බවට පත්වෙයි. මව් කුස හටගන්නා කලල රූපයක්‌ වුවද විනාශ කිරීමෙන් මෙම පාරාජිකාව සිදුවෙයි. ප්‍රාණඝාතය සිදුකරන ක්‍රම විනය පිටකයෙහි දක්‌වා ඇත. ඒ අනුව සාහත්ථිකපයෝග, ආණත්තිකපයෝගය, නිස්‌සග්ගියපයෝගය, ථාවරපයෝගය, විඡ්ජාමයපයෝගය, ඉද්ධිමයපයෝගය වශයෙන් ප්‍රයෝග හයක්‌ ඇත. ඒ අනුව තම අතින් හෝ අවි ආයුධවලින් පහරදී මරණයට පත්කිරීම, ගසා, කපා කොටා, මරණ ලෙස වෙනත් අයෙක්‌ යෙදවීම, දුර සිටින අයකු මැරීමට ගල්, වෙඩි උණ්‌ඩ, බෝම්බ වැනි දෙය මුදාහැරීම, මැරීමට බොරු වළවල් කැණීම, උගුල් ඇටවීම, හදි හූනියම් ආදී ගුරුකම් කිරීම, තමන් සතු සෘදි බලය මිනිසුන් ඝාතනයට යෙදවීම යන කරුණුවලින් කුමන අයුරින් ඝාතනයක්‌ සිදුකළ ද හෙතෙම පාරාජිකා බවට පත් වෙයි. ඇතැම් භික්‌ෂුන් මිනී මැරීමට අලුඝෝසුවන් වීමට පවා උත්සාහ කරන බව අසන්නට ලැබෙයි. මෙවැනි ප්‍රකාශ උපසම්පදා භික්‌ෂුවකට කෙතෙක්‌ දුරට සුදුසුද යන්න විමසා බැලිය යුතුය.

සතර වැනි පාරාජිකාව වශයෙන් සැලකෙන්නේ යම්කිසි භික්‌ෂුවක්‌ කෙලෙස්‌ නැතිකරන, පිරිසිදු ඥනය ඇති බුදුපසේ බුදු , මහ රහත් කියන ආර්ය උතුමන් ලබා ඇති එම මග ඵල තමන් නොලබා, ඒවා තමන් තුළ ඇතැයි ලාභ ප්‍රයෝජන ලැබීමේ අදහසින් ප්‍රකාශ කරයි නම්, එබඳු භික්‌ෂුව පාරාජිකාපත්තියට පත්වෙයි. රූපාවචර ධ්‍යාන පහ, අරූපාවචර ධ්‍යාන හතර, ලෝකෝත්තර මාර්ග හතර, ලෝකෝත්තර ඵල හතර, ත්‍රිවිද්‍යා, අෂ්ට විද්‍යා, නීවරණ නැති බව යන මේවා 'උත්තරිමනුස්‌සධම්ම' වශයෙන් සැලකෙයි. ඇතැම් භිකෂුහු මේවා තමන්ට ඇතැයි පවසති. ඒවා තමන් තුළ ඇත්නම් එසේ පැවැසීමෙහි වරදක්‌ නැත. එහෙත් ඒවා තමන් තුළ නැතිව, මිනිසුන් රැවටීමේ අදහසින් පවසයි නම් එකෙනෙහිම හෙතෙම පාරාජිකා බවට පත්වෙයි. ඔහු සමාන වාසයට සුදුසු පුද්ගලයකු නොවේ. මේ සතර පාරාජිකා පිළිබඳ කෙටි හැඳින්වීමකි. මේවා ඉතා සියුම්ව විග්‍රහ කළ යුතු කරුණු වෙයි. හොඳින් සීලය රැකීමට අදහස්‌ කරන, සිල්වත් ගුණවත් භික්‌ෂු ජීවිතයක්‌ ගත කිරීමට අදහස්‌ කරන, සියල් සසර දුක්‌ දුරු කර නිවන ලැබීමට අදහස්‌ කරන සියලු භික්‌ෂුන් විසින් සතර පාරාජිකා පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ යුතු වෙති.

නිවන් මඟට පිවිසෙමු

පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි
අප තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ආයතන පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබාදී මේ දුක් විඳින සත්ත්වයන් සසර කතරින් එතෙර කරවීමට මොන තරම් කරුණාවකින් ක්‍රියා කළාද? ඇස, කන, නාසය, දිව, කය හා මනස පිළිබඳව මේ තරම් විවරණාත්මක ලෙස ලෝකයේ කිසිදු ධර්මයකින් අපිට ඉගෙන ගන්නට ලැබෙන්නෙ නෑ. කිසිදු ධර්මයක මේ ඉගැන්වීම දකින්නට ලැබෙන්නෙ නෑ. එදිනෙදා ජීවිතයේදී අපි මේ අභ්‍යන්තර ආයතන ඉතාමත් සුන්දර වටිනා දේවල් හැටියට තමයි පිළිගන්නෙ. මේ වායේ යථා ස්වභාවය අපිට මේ ධර්මය නොතිබුණා නම් හිතාගන්නවත් බෑ. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ,අරමුණු ආදී බාහිර ආයතන පිළිබඳවත් අපිට මේ තරම් නිරවුල් විදියට යථාර්ථවාදී විදියට ඉගෙන ගන්න ලැබුණේ. ඒ තථාගත අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නිසා පසුගිය ලිපි වලින් කරුණු කාරණා ගණනාවක්ම අපිට ඉගෙන ගන්න පුළුවන් උනා.
ජාති ධම්ම සූත්‍රයේදී අපිට ඉපදීම ස්වභාව කොට ඇති දේ පිළිබඳව ඉගෙන ගන්න ලැබුණා. ඒ කියන්නෙ ඇස, ඇසට පෙනෙන රූප, ඇසේ විඤ්ඤාණය, ඇසේ ස්පර්ශය ඒ නිසා උපදින සැප, දුක්, උපේක්ෂා ආදිය ඉපදීම ස්වභාව කොට තිබෙන බව අපිට ඉගෙන ගන්න ලැබුණා. මේ විදියටම අනිකුත් ආයතන වලට සම්බන්ධ කරල අපට දැනගන්න ලැබුණා. ජරා ධම්ම සූත්‍රයේදී වයසට යාම නැත්නම් ජරාවට පත්වීම ස්වභාව කොට ඇති දේවල් ගැන අපිට ඉගෙන ගන්න ලැබුණා. ව්‍යාධිධම්ම සූත්‍රයේදී රෝදුක් වැළඳීම ස්වභාව කොට ඇති දේ ගැන ඉගෙන ගන්නට ලැබුණා. මරණ ධම්ම සූත්‍රයේදී අපි ඉගෙන ගත්තෙ මරණය ස්වභාවකොට තිබෙන දේවල් ගැන, ඊළඟට සෝකධම්ම සූත්‍රයේදී ශෝකවීම ස්වභාවකොට ඇති දේ ගැන ඉගෙන ගන්නට ලැබුණා. සංකිලේස ධම්ම සූත්‍රයේදී කෙලෙස් වලින් කිලිටිවීම ස්වභාවකොට ඇති දේ පිළිබඳව ඉගෙන ගන්නට අපිට පුළුවන් උනා.
ඒ වගේම පින්වතුනි, ඛය ධම්ම සූත්‍රයේදී ක්ෂ වීම, නැත්නම් නැතිවීම ස්වභාවකොට ඇති දේ පිළිබඳව අපිට ඉගෙන ගන්නට ලැබෙනවා. ඒ වගේම වයධම්ම සූත්‍රයේදි වැනසීම ස්වභාවය කොට ඇති දේ පිළිබඳව ඉගෙන ගන්නට පුළුවන්. සමුදයධම්ම සූත්‍රයේදී හටගැනීම ස්වභාව කොට ඇති දේ ගැන ඉගෙන ගන්නට ලැබෙනව. නිරෝධ ධම්ම සූත්‍රයේදී නිරුද්ධවීම ස්වභාවකොට ඇති දේ ගැන අපිට ඉගෙන ගන්නට පුළුවන්.
මේ ආයතන හැම එකක් තුළම ඒ මුලින් කියපු ස්වභාවයන් තියෙනව. ඒ වගේම ඒ ආයතනත් එක්ක බද්ධ වූ දේවල් වලත් ඒ ස්වභාවය තිබෙනවා. ඒ කියන්නෙ පින්වතුනි ඇස. කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතනවල මේ ස්වභාවය තියෙනව. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කියන මේ බාහිර ආයතන වලත් මේ ස්වරූපයත් තියෙනවා. ඒ වගේම ඇසේ විඤ්ඤාණය, කනේ විඤ්ඥාණය, නාසයේ විඤ්ඤාණය, දිවේ විඤ්ඤාණය, කයේ විඤ්ඤාණය, මනසේ විඤ්ඤාණය කියන මේ විඤ්ඤාණ වලත් ඒ සියලුම ස්වරූපයන් තියෙනවා. ඒ වගේම ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය කියන මේ ස්පර්ශ තුළත් ඒ සියලු ස්වරූපයන් ඒ කියන්නෙ ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, සංකිලේස, ඛය, වය, සමුදය, නිරෝධ කියන ස්වරූපයන් තියෙනව. ඒ වගේම ඒ ස්පර්ශයන් නිසා උපදින සැප, දුක්, දුක් සැප රහිත විඳීම් වලත් මේ සියලුම ස්වභාවය දකින්නට ලැබෙනව.
ඉතිං පින්වතුනි, මේ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා මේ ආයතන පිළිබඳව සැබෑ ලෙසම තේරුම් ගන්නකොට මේවාට ඇලෙන ස්වභාවය නැති වෙලා යනවා. මේවට තියෙන ඇල්ම දුරු කර ගන්නට ලැබෙනව. අපි මේ සසර පුරාවට කල්ප කෝටි ගණනක් විවිධ උප්පත්ති වලදී විවිධ වර්ගයේ ඇස්, කන්, නාස්, දිව, කය, මන් ආදිය ලබමින් ඒවාට ගොදුරු වෙලා පැමිණියා. අපි නිරතුරුවම ඒවායේ ආශ්වාදයට අහුවුණා. ඒවායේ ආදීනව දකින්න අපිට බොහෝදුරට නොහැකි උනා. ඒ හින්ද නැවත නැවතත් පටිච්ච සමුප්පාද ක්‍රියාවලියට අහුවුණා. කෝටි ප්‍රකෝටි වාර ගණන් ඇස් -ඉපදුනා. කන් ඉපදුනා. නාස් ඉපදුනා. දිව ඉපදුනා කය ඉපදුනා. මනස් ඉපදුනා. ඒවා වයසට පත් උනා. ලෙඩ උනා, මරණයට පත් උනා. සෝකයට පත් උනා. කෙලෙස්වලින් කිලිටි උනා. ඒවා ක්ෂය වෙලා ගියා. වැනසිලා ගියා ඒවා නැවත හටගැනීමේ ස්වභාවයට පත් උනා. නමුත් ඒවා නිරුද්ධ කර ගන්න තාම අපිට බැරි උනා.
ඉතිං ඒ නිසා අපි මේ ජීවිතයේදී ඒ සඳහා උත්සාහ කරන්න ඕන. ඒ සඳහා යථාර්ථය දැනගෙන මේ ආයතන ගැන අපි සැබෑ ලෙසම කලකිරෙන්න ඕන. එහෙනම් ඇසේ ඇත්තම ස්වභාවය තේරුම් අරගෙන ඇස ගැනත්, රූප ගැනත්, ඇසේ විඤ්ඤාණ ගැනත්, ඇසේ ස්පර්ශය ගැනත්, එනිසා හට ගන්නා බිඳීම් ගැනත් සැබෑ ලෙසම කලකිරෙන්න ඕන. ඒ වගේම කන, නාසය, දිව, කය, මනස ගැන සැබෑ ලෙස තේරුම් අරගෙන කලකිරෙන්න ඕන. ඉතිං ආර්ය ශ්‍රාවකයෙකු ලෙස අපි ඒ සැබෑම කලකිරීම ඇති කර ගත්තට පස්සෙ අපිට ඒ ආයතනවලට තියෙන ඇල්ම දුරු කර ගන්න පුළුවන්. එතකොට ආපසු ඉපදීමක් වෙන්නෙ නෑ. එතකොට බඹසර වාසය නිමා වෙනව. නිවන් මග වෙනුවෙන් කළ යුතු දෙය කළ කෙනෙක් බවට පත් වෙනව. ආපසු ඉපදීමක් වන්නෙ නෑ. ඉතිං අප සියලු දෙනා ඒ උතුම් තත්ත්වයට පත්වීමට අධිෂ්ඨාන කර ගනිමු.

පිශුනාවාචයෙන් වැළකෙමු


කය වචනය සංවර කර ගැනීම බෞද්ධ අපගේ සීලයයි. මෙහි දී වචනය සංවර කර ගැනීම උදෙසා සිව් ආකාරයක සංවරයකින් වචනය හැසිරවීම කළ යුතු ය. එනම්,


1. බොරු නොකීම.

2. කේලාම් නොකීම.

3. පරුෂ වචන නොකීම.

4. හිස්‌ වචන නොකීම.

මෙහි කේලාම් නොකීම පිළිබ`ද වැඩි අවධානයක්‌ යොමු කරවීම මෙම ලිපියේ අරමුණයි. කේළාම් හෙවත් පිශුනාවාචය ලෙස හඳුන්වන්නේ සමගියෙන් සිටින දෙදෙනෙකු බිඳවීමේ අරමුණින් පවසන වදන් ය. බුදුසමයේ එන දස අකුසල්වලින් එකක්‌ වන කේලාම් කීමෙන් පුද්ගල පරිහානිය, පවුල් පරිහානිය, ආයතන පරිහානිය, සමාජ පරිහානිය, රාජ්‍ය පරිහානිය ආදී වශයෙන් මානව සමාජයේ සෑම ක්‍ෂේත්‍රයක්‌ම පරිහානියට හේතුවන්නා වූ ගැටුම් නිර්මාණය වන බව බුදුසමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

කේලාම් කීම අකුසලයක්‌ වන්නේ ඒ හා සම්බන්ධ අංග සතරක්‌ සම්පූර්ණ වීමෙනි. ඒවා මෙසේ ය.

1. භේද කළ යුතු අනෙකෙකු ඇතිවීම.

2. කෙනෙකු හා කෙනෙකු බි`දවීමේ අදහස ඇතිබව.

3. බි`දවනු පිණිස යම් කිසිවක්‌ පැවසීම.

4. ඇසූ තැනැත්තා විසින් එය වටහා ගැනීම.

මෙහි දී සත්‍යය කරුණක්‌ වුවද අනුන් බිඳවීමේ අදහසින් පවසන්නේ නම් එය කේලාම් කීමේ අකුසලයට වැටේ. එසේ යම් කරුණක්‌ අනුන් බිඳවීමේ අදහසින් තොරව කෙනෙකුට විය හැකි අනතුරකින් ගලවා ගැනීමේ අරමුණින් පවසා දෙදෙනෙකු අතර බිඳීමක්‌ ඇති වුවද එයින් කේලාම් කීමේ අකුසලය සිදු නොවේ. කේලමක්‌ කී කල්හී දෙදෙනෙකු අතර භේදයක්‌ නොවේ නම් එය සාමාන්‍ය කර්මයක්‌ වේ. භේදයක්‌ සිදු වුවහොත් කර්ම ඵලයක්‌ වේ.

කේලාම් කීමේ අකුසල විපාක සසර පුරා විéන්නට සිදුවේ. එහි දී නින්දා අපහාස විදීම්, දඩුවම් වි`දීම්, ප්‍රඥාවෙන් හීන වීම්, දුප්පත් වීම්, ගොත වීම්, ගොළු වීම්, කට ගඳ ඇත්තන් වීම්, අශෝභන දත් ඇත්තන් වීම්, කල් නොපවත්නා දත් ඇත්තන් වීම්, මුඛ රෝගයෙන් පෙළෙන්නන් වීම්, විරූපී වීම්, අවිශ්වාස කරනු ලබන්නෙක්‌ වීම්, අමිහිරි කටහඩක්‌ ඇත්තෙක්‌ වීම්, අඹු දරුවන් පවා ඔවුන්ගේ කීම පිළි නොගැනීම්, දරුවන් නූපදීම්, උපදිනා දරුවන් පවා අකීකරු වීම් ආදී විපාකයන් සසර පුරා විඳින්නට සිදුවන බව බෞද්ධ සාහිත්‍යයේ කියවේ. 

මරණින් මතු පමණක්‌ නොව මෙම ජීවිතය තුළ ද කේලාම් කියන්නෝ විපාකයන්ට ගොදුරු වේ. සමාජයේ නින්දාවට භාජනය වේ. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබයි. ඇතැම් විට දඬුවම් ලබයි. මෙසේ මෙලොව පරලොව වශයෙන් කේලාම් කීමේ අකුසල විපාක ලැබීමට අමතරව කේලාම් කීම සමාජ සංස්‌ථාවන්හි විවිධ ගැටලු ඇති වීමට ද හේතු වෙයි. 

වත්මන් සමාජය දෙස බැලීමේදී දරුවන් දෙමාපියන් බිදවනු පිණිස කේලාම් කියනු දක්‌නට ලැබේ. මෙහි දී බොහෝවිට පවුලේම අයකු විසින් කියනු ලබන කේලාම් නිසා පවුල තුළ ගැටුම් ඇතිවනු දක්‌නට ලැබේ. එසේම බාහිර පුද්ගලයන්, අසල්වැසියන්, මිත්‍රයන් විසින් කියනු ලබන කේලාම් නිසා සැමියා සහ බිරිඳ අතර ගැටුම් ඇතිවනු දැකිය හැකි ය. මිතුරන් අතරේ පවා කේලාම් නිසා ඇතිවන බහින් බස්‌ වීම් මෙන්ම ගැටුම් ද දක්‌නට ලැබේ. කේලාම් නිසා අසල්වැසියන් අතර ඇතිවන ගැටුම් ද අප සමාජයේ නිරතුරුව අසන්නට ලැබේ. කේලාම් බස්‌ නිසා ආයතන ප්‍රධානීන් හා සේවකයන් අතර මෙන්ම සේවකයන් අතර පවා ගැටුම් ඇතිවීම් සුලභ සිදුවීමකි. රාජ්‍ය නායකයන් පවා කේලාම් ඇසීම නිසා රාජ්‍ය පාලනය තුළ ගැටුම් ඇති වේ. මේ ආකාරයට සමාජයේ විවිධ ස්‌ථරයන් හි ගැටලූ නිර්මාණය වීමෙහිලා කේලාම් කීම හේතුවන අන්දම දැකිය හැකි ය.

කේලාම් කීමෙන් ඇතිවන ගැටලු මනාව පිළිබිඹු කරන ජාතක කථා පුවතක්‌ පන්සිය පනස්‌ ජාතකයේ ඇතුළත් වෙයි. සන්ධිභේද ජාතකය එම ජාතක කථා පුවතයි. මෙම කථා පුවත අතීත බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන්ගේ පාලන සමයේ කථා පුවතකි. එකල්හි හිමාල අඩවියේ අතරමං වූ ගැබ්ගත් එළදෙනක්‌ එහි විසූ ගැබ්ගත් සිංහ ෙනුවක්‌ හා හිත මිත්‍රව ඉතා ලෙන්ගතුව එක්‌ව වාසය කරයි. එකම වකවානුවක මේ දෙදෙනාම පැටවුන් වැදූහ. එම පැටවුන් ද ස්‌වකීය මව්වරුන් දෙදෙනා මෙන්ම ඉතා හිතමිත්‍රව එකට කා බී වාසය කරයි. තරුණ වියට පත් මොවුන් දෙදෙනා හා එක්‌වන හිවලකු ඉතා කෙටි කලකින් කේලාම් කියා මේ දෙදෙන භේද කොට ඔවුනොවුන් අතර ගැටුම් අවුළුවා දෙදෙනා මරණයට පත් කොට හිවලාගේ ආහාරය පිණිස ගත්තේ ය. ජාතක කථා පුවත ඉතා කෙටියෙන් මෙහි දැක්‌වූයේ කේලාම් බස්‌ නිසා ජීවිත පවා විනාශ වන අන්දම පෙන්වා දීමට ය. වර්තමානයේ බොහෝ විට මෙම ජාතක කථාවේ එන හිවලා මෙන් පෞද්ගලික වාසි බලාපොරොත්තුවෙන් කේලාම් කියා අන් අය බි`දවන්නේ බහුලව සිටිති.

කේලාම් බස්‌ අසා විපතට පත් වූ සිංහයා හා ගවයා පිළිබඳ වූ සන්ධිභේද ජාතකය අපට සිතන්නට යමක්‌ මතු කරයි. එනම් කේලාම් බස්‌ ඇසීමේ දී අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්නයි. ඊට උපකාර වන තවත් ජාතක කථා පුවතක්‌ ජාතක පොතෙන් අපට හමුවේ. එනම් වණ්‌ණරෝහ ජාතකයයි. එය කෙටියෙන් මෙසේ ය. අග්‍රශ්‍රාවක සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලා එක්‌ පිටිසර ගමකට ගොස්‌ වාසය කරන කල්හි එහි එක්‌ පුරුෂයෙක්‌ මේ දෙදෙනා භේද කරවන අදහසින් ඔවුනොවුන් කරා වෙන් වෙන්ව ගොස්‌ කේලාම් කියන්නට විය. ඒ බස්‌ ඇසූ දෑ සව් දෙනම ඔවුනොවුන් හමුවී පෙර කී පුරුෂයා කී වදන් පිළිබ`ද විමසා එබස්‌ කේලාම් බව දැන එම පුරුෂයාගේ ආශ්‍රයෙන් මිදුනාහ. මෙම වත්මන් කථාව බුදුරදුන්ට දැන්වූ පසු එහි අතීත කථාව ද බුදුරදුන් ගෙන හැර දැක්‌වූහ.

උක්‌ත වණ්‌ණරෝහ ජාතක කථා පුවතට අනුව කේලාම් බස්‌ ඇසීමේ දී ක්‍රියා කළ යුතු අන්දම පිළිබ`ද උපදේශයක්‌ අපට ලැබේ. එනම් කේලාම් බස්‌ අසා ඒවා එකවර නොපිළිගෙන අදාළ පුද්ගලයා සමඟ සෘජුවම සාකච්ඡා කොට තීරණයකට එළඹීම සුදුසු බවයි. එසේම එම විමසීමේ දී එය සුහදව සිදු කිරීමත් හැකිනම් කේලාම් බස්‌ කියූ තැනැත්තා අභිමුඛයෙහි තබා සාකච්ඡා කිරීමත් සුදුසු ය. මෙම උපදේශය වත්මන් සමාජයට අත්‍යවශ්‍ය වන්නකි. ඊට හේතුව බොහෝ දෙනා බොහෝ දෙනා කේලාම් බස්‌ එකහෙළා පිළිගෙන ක්‍රියා කිරීම හේතුවෙන් බොහෝ ගැටලු නිර්මාණය කර ගැනීමයි. මෙම උපදේශය අනුව කේලාම් බස්‌ විමසීමේ දී කේලාම් කියූ තැනැත්තා ද සමීපයේ තබාගෙන විමසීමෙන් එකී පුද්ගලයා නැවත කේලාම් කීමෙහි බිය වෙයි. එසේම මෙසේ ක්‍රියා කිරීමෙන් වැරදි අවබෝධයන් දුරු වී යන්නා සේම අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු වී සමාජය යහපත් තැනක්‌ බවට පත්වෙයි.

මෙසේ කේලාම් කීමේ අකුසලයත් එහි විපාකයත් එම`ගින් සමාජයේ ඇතිවන ගැටලු මෙන්ම ඊට විසදුමත් සැකවින් දැක්‌විය හැකි ය. මේ සම්බන්ධයෙන් පවත්නා තවත් ධර්ම කරුණක්‌ සිහිපත් කිරීම අගනේ යෑයි සිතමි. එනම් ඇතැම් පුද්ගලයන් කේලාම් කීමේ අකුසලයට වැටෙතැයි සිතා යමෙකුට විපතක්‌ වනු දැක දැකම තුෂ්නිම්භූතව සිටීම ආත්ම වංචාවක්‌ බවයි. තවකෙකුට විපතක්‌ වන බව දැන ඉන් මුදවා ගැනීමේ සත් ෙච්තනාවෙන් කියනු ලබන කරුණු කේලාම් නොවන බව මුලින් දැක්‌වූ පිසුණාවාචයේ අවශ්‍යතා සතර අනුව ද පැහැදිලි වේ. එහෙයින් එවන් අවස්‌ථාවන්හි යහපත් චේතනාවෙන් කරුණු දැක්‌වීම සිදු කළ යුතු ය. 

වචනයෙන් සංවර වීම යනු අංග සතරක්‌ ඔස්‌සේ සිදුවන වැරදි වචන භාවිතයෙන් වැළකීම බවත්, පිසුණාවාචය හෙවත් කේලාම් කීමෙන් නොවැළකීම නිසා මානව සමාජය තුළ විවිධ ගැටලු ඇති කරමින් මෙලොවදීම විපාක ලබාදෙන අතර පරලොව වශයෙන් ද කර්ම විපාක ලෙසින් සසර පුරාවට විපාක ලබාදෙන බවත් ඉහත දැක්‌වූ කරුණු අනුව පැහැදිලි වෙයි. එහෙයින් වචන භාවිතයේ දී අනුන් බිඳවනු පිණිස කේලාම් නොකීමට වගබලා ගැනීම සියලු දෙනාගේ වගකීමක්‌ හා යුතුකමක්‌ සේම මිනිසත්කමේ අවශ්‍යතාවයක්‌ ද වන්නේ ය. එසේම කෙනෙකුට විපතක්‌ වනු දැක ඉන් මුදවා ගැනීමේ අදහසින් කරුණු කීම අකුසලයක්‌ නොවන බවත් එවැනි විටක නිහඬව සිටීම ආත්ම වඤ්චාවක්‌ ලෙසත් බුදුසමය ගෙනහැර දක්‌වයි. මේ සියලු කරුණු නිවැරදිව තේරුම් ගෙන වචනය සංවරයේ පිශුනාවාචයෙන් වැළකීමට නොවළහා අදිටන් කර ගනිමු.

රංග බුද්ධික කංකානන්ගේ
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය 

ඵල නෙළිය යුතු මිනිසත් බව

කථිකාචාර්ය, දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි
බොහෝ දුර්ලභව අප ලබාගත් මේ මනුස්ස ජීවිතය කෙතරම් වටිනවාද? අපි මේ දුක්බර සංසාරයේ විවිධ ආත්මාභාවයන් ලබනවා. ඒ අතරට මිනිසත් බව ලැබීම බොහෝම දුර්ලභයි. ඒ දුර්ලභ වූ අවස්ථාව දැන් ලැබී තිබෙනවා. එසේනම් මෙවැනි මනුස්ස ජීවිතයක් ලැබුණු අවස්ථාවේ දී අප බොහොම ප්‍රඥාවෙන් යුතුව මේ කාලය ප්‍රයෝජනයට ගත යුතුමයි.
මනුස්ස ජීවිතය කියන්නේ මහ බලගතු නැවක් වගේ. බලගතු නැවකට, ශක්තිසම්පන්න නැවකට මහා සයුර තරණය කරන්නට පුළුවන්. මේ මනුස්ස ජීවිතය නමැති නැව තිබෙන වෙලාවේ සයුර තරණය කරන්නට හොඳම අවස්ථාව උදා වී තිබෙනවා. ඒ සඳහා ධර්මයටම යොමුවිය යුතුයි. ධර්මය විමංසනය කළ යුතුයි. ධර්මයේ පටිපදාවට නැමිය යුතු බව අපට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා.
දවසක් බුදුරජාණන් වහන්සේ හමුවන්නට එක් තරුණ ස්වාමීන්වහන්සේ නමක් පැමිණියා. බුදුරජාණන් වහන්සේගෙන් සිත එක්තැන් කිරීමට අවශ්‍ය භාවනා උපදෙස් ලබා ගත්තා. ඉන්පසු ඈත වනයකට වැඩියා. නමුත් සිත එකඟ වන්නේ නැහැ. නැවත ගමට එන්න පිටත් වුණා. මේ වනයේ මැදින් එනවිට අධික පිපාසයි. වතුර ටිකක් බීමට තැනක් සොයනවිට පාරේ වතුර වලක් තිබෙන ආකාරය දුටුවා. නමුත් ළඟට ඇවිත් බලනවිට වතුර නැහැ. නැවත ඈතින් පෙනෙනවා වතුර තිබෙන බවට. උන්වහන්සේ මේ මිරිඟුවයි දකින්නේ. මේ ස්වාමීන් වහන්සේගේ සිත භාවනාවට හුරු කළ සිතක් නිසා උන්වහන්සේට කරුණක් අවබෝධ වෙනවා.
මේ ලෝකය සංකීර්ණ නැහැ. අපිත් දැන් කියනවා ලෝකය සංකීර්ණයි. හැම දෙයම වැඩි වෙනවා කියා. උන්වහන්සේට තේරෙනවා මේ ලෝකය සංකීර්ණ වගේ පේනවා මිස ඇත්තටම සංකීර්ණ නැහැ. මේ ලෝකයේ තිබෙන්නේ නිවන දක්වාම තිබෙන මුළුමහත් පැවැත්මට භාණ්ඩ 5ක් පමණයි. මේ පුංචි බඹයක් පමණ ශරීරයෙන් අපට පුළුවන් මුළු විශ්වයම විඳගන්න. මේ භාණ්ඩ අල්ලා ගන්න. ඇසෙන් අල්ලා ගන්නේ රූප නමැති භාණ්ඩයි. ඇහෙන් අල්ලා ගන්න බැරි කොටස මේ විශ්වයේ අපි කනින් අල්ලා ගන්නවා. ඒවා ශබ්ද භාණ්ඩයි. ඇහැට බැරි කනට බැරි කොටස නාසයෙන් අල්ලා ගන්නවා. ඒවා ගන්ධ භාණ්ඩ. ඒ තුනටම බැරි කොටස දිවෙන් අල්ලා ගන්නවා. ඒවාට රස භාණ්ඩ කියනවා. ඒ ඉන්ද්‍රිය හතරටම බැරි කොටස කයෙන් අල්ලා ගන්නවා. ඒවාට ස්පර්ෂ භාණ්ඩ කියනවා. මේ කාරණය එදත් එහෙමයි. අදත් එහෙමයි. ඔබ සිතන්න මේ භාණ්ඩ වර්ග පහෙන් තොරව භෞතික ලෝකයේ ඉදිකටුවක් තරම් දෙයක්වත් ඔබට සිතාගන්නට පුළුවන්ද? එහෙනම් එදා තිබුණු භාණ්ඩ වර්ග පහම නම් අදත් තිබෙන්නේ ලෝකය සංකීර්ණයි කියා කීවාට එය සිතේ මවා ගත් සංකීර්ණ බවක්. මේ ස්වාමීන්වහන්සේට මිරිඟුව දැකලා මේ කරුණ අවබෝධ වුණා. මේ ස්වාමීන් වහන්සේට හරි සතුටුයි. භාවනාවට යොමු වූ සිතක් තිබුණු නිසා මිරිඟුව අරමුණු කමටහනක් බවට පත්කරගෙන අධ්‍යාත්මිකව බලවත් භාවයට පත්වුණා. උන්වහන්සේ තවදුරටත් ගමන් කළා. උන්වහන්සේට ලස්සන ගංඟාවක් හමුවුණා. භාවනාවට යොමු වූ මනසින් උන්වහන්සේ ගඟ ළඟ නැවතුණා. ගඟෙන් සිවුර දෝවනය කරලා ළඟ තිබූ ගල් තලාවේ වනලා, සිවුර වේලෙනතුරු ගඟ දෙසම බලාගෙන හිටියා. හරිම අසිරිමත්. ගඟේ ජලය පහළට කඩාගෙන වැටෙනවා. ඒ ජලය කඩා වැටෙන විට ජලයෙන් පෙන බුබුළු ඇති වෙනවා. එවෙලෙහි උන්වහන්සේට කල්පනා වුණා මේ වගේමයි මගේ ජීවිතයත්. මේ පෙනවලට සමානයි. එහෙම කල්පනා කළේ කොහොම ද? ජලයේ ඇතිවන ජලජ පෙන මොහොතින් මොහොත ඇතිවෙනවා. ඇති වූ සැනින්ම මේවා කැඩී බිඳී ආයෙත්ම අලුතින් ඇතිවෙනවා. ආයෙමත් කැඩෙනවා අපේ ශරීරයත් එසේම යි. මොහොතින් මොහොත ක්ෂණිකව මැරෙනවා. නැවත අලුතින් සෛල ඇතිවෙනවා. මොහොතක් පාසා මේ ශරීරය වෙනස් වෙනවා. මේ කාරණයත් දැකලා මේ ස්වාමීන් වහන්සේට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන කරුණු බොහෝ තදින් සිතට කා වැදුනා. උන්වහන්සේගේ සිත ටික ටික එකඟ වුණා.
දිනක් බුදුුරජාණන් වහන්සේ බැලුවා භාවනාවට ගිය මේ තරුණ ස්වාමීන් වහන්සේ කොහේද? උන්වහන්සේගේ සිතේ ස්වභාවය අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ සෘර්ධියෙන් එතැනට වැඩම කර බුද්ධ රශ්මින් විහිදවමින් ආකාසයේ සිටම පැහැදිලි කරනවා පින්වත් මහණ, යම්කිසි කෙනෙක් මේ ශරීරය, මේ ජීවිතය පෙන පිඬකට උපමා කරලා දකිනවා නම්, මිරිඟුවට හා සමාන කරලා මේ ජීවිතය පැවැත්ම දකිනවා නම්, ඒක හොඳයි. ඔහුගේ ප්‍රඥාව දියුණුවට යනවා. එවිට දියුණු කරගත් ප්‍රඥව නමැති ආයුධය භාවිත කර මාරයාට පහර දී මාරයාට නො පෙනෙන තැනකට ගමන් කරන්න පුළුවන් කියා වදාළා. ඒ බුද්ධ අවවාදයටත් අර ස්වාමීන් වහන්සේ සවනත යොමු කළා. සව් කෙලෙසුන් නසාගෙන උන්වහන්සේ මේ සසර ගමන අවසන් කළ බව ධම්මපදට්ඨාන කතාවෙන් අපට පැහැදිලි කර දෙනවා.
එනිසා අපට පැහැදිලියි අපේ සිත නිවැරැදි වෙලාවේ නිවැරැදි තැන කමටහනේ පිහිටවන්නට පුළුවන් නම් අපටත් මේ ආලෝක මාවත උදා වෙනවාම යි. ඒ වගේම නුවණැති කෙනා මේ සිත හදන්නේ බොහොම සෙමින් පියවරෙන් පියවර. ටිකෙන් ටික. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකින් පැහැදිලි කරනවා රන් මාලයක්, මුද්දක් ගැන හිතන්න. මේවා එක පාරටම ඇතිවුණා නොවේ. රන්කරුවා මේවා රත් කර ඒවායේ තිබෙන කුණූ මලකඩ ඉවත් කර ටිකක් රත් කරනවා. නැවත පදම් කරනවා. නැවත රත් කරනවා. නැවත පදම් කරනවා. මෙහෙමයි මේ ලස්සන ස්වර්ණාභරණයක් නිර්මාණය වෙන්නේ. ඒ වගේමයි එක පාරටම අපේ සිත හදන්න බැහැ. පුංචි පුංචි දෙයින් තමයි අපේ සිත බලවත් දේ කරා යන්නේ.
කෝටු සියයකින් යුක්ත දර මිටියක් ඔබට කෙනෙක් දුන්නොත් මේක එක පාරට දෙකට මැදින් කඩන්න කියලා ඔබට කඩන්න අමාරුයි. සෑහෙන වෙලාවක් උත්සාහ කළත් එය අපහසු වෙනවා. හැබැයි නුවණැත්තා මේක කඩන්නේ කොහොමද? ඔහු එකින් එක එකින් එක කඩනවා. ඉතාමත්ම ඉක්මණින් ලෙහෙසියෙන් අර කෝටු ටික දෙකට වෙන් කරන්න පුළුවන් වෙනවා. මේවගේ දර මිටිය කඩන ආකාරයට බුද්ධිමත්ව මේ සිත ප්‍රබල බවට ගෙන යන්නට ධර්මයෙන් බලවත් කර ගන්නට බුදුරජාණන් වහන්සේ තවත් ලස්සන උපමාවකින් වදාළා. බොහොම ලස්සනට ගලන ගඟක් තිබෙනවා. මේ ගඟේ ජල පහර බොහෝම සැරයි. යම්කිසි කෙනෙකුට ගඟ හරහා එගොඩ වෙන්න ඕන. නුවණැති කෙනෙක් කොහොමද ගඟෙන් එගොඩට යන්නේ? ඔහු ගඟ හරහා කෙළින්ම පීනන්නට ගියොත් වෙහෙසට විඩාවට පත්වෙන්න පුළුවන්. නැත්නම් ගිලෙන්නත් පුළුවන්. නමුත් නුවණැති කෙනා එකපාරටම පීනන්නට උත්සාහ නොකර ඔහු ගලන ගඟේ පහළට ජල පහර ගසාගෙන යන පැත්තට පීනනවා. එහෙම පහළට පිහිනන ගමන් ජලයේ ආධාරයෙන් අනෙක් පැත්තට සේන්දු වෙනවා. ලෙහෙසියෙන්ම උපායශීලීව ඔහුට ගඟ තරණය කළ හැකි වෙනවා. ‘උපාය දන්නෝ අපායෙන්ද බේරෙන්නෝය’ කියලා කියමනකුත් තිබෙන්නේ ඒ නිසයි. එනිසා ඔබත් සිතන්න මේ ගමන් කරන ජීවිතයේ දී ඔබත් මුදල් හදල් හම්බ කළයුතුමයි. දරුවන්, ගේ දොර හැදිය යුතුමයි. යාන වාහන ගත යුතුයි. ඒ හැම දෙයක්ම කරන ගමන්ම ධර්මය වෙනත් සිත යොමු කළයුතු වෙනවා. සමහර අය සිතනවා ඉගෙන ගෙන, රැකියාවක් සොයාගෙන ඒ රැකියාවත් අවසන් වුණාට පස්සේ මම ධර්මය මාර්ගයට යොමු වෙනවා කියලා. නමුත් අපට එක පාරටම එය කරන්න බැහැ. අප සසරේ සිත පුරුදු කරලා තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. මේ හැම දේම මොහොතින් නැසෙන සුළුයි. හිතන දේ මේ ලෝකයේ වෙන්නේ නැහැ. වෙන දේ අපට හරියට හිතා ගන්නවත් බැහැ. අස්ථීර ලෝකයක ජීවත්වෙන අප හැම දෙයක්ම ස්ථිර කරගෙන ජීවත්වෙන එක ඉතාම භයානකයි.
අද අද එයි මරු පින් කර ගන්නේ කියන දේයි බුද්ධ දේශනාව. ඒ සියලු දෙයටම වඩා හිත හදාගෙන කුසලය වැඩි කරගෙන ප්‍රඥාව මෝදු කරගෙන ධර්ම මාර්ගයට යොමු වෙලා සුවපත් භාවය ලබන්නට අපි උත්සාහ කළ යුතුමයි. ඒ නිසා අපි අධිෂ්ඨානයක් ඇතිකර ගනිමු මේ ඝෝර සසරින් එතෙර වීමට. ඒ සඳහා අපට භාග්‍යය උදාවේවා. බුද්ධ, ධම්ම, සංඝ ආශිර්වාදයෙන් අප හැම දෙනාම සුවපත් වේවා.
නයනා නිල්මිණි

වස් සමාදානය භික්ෂුවගේ කාර්යය

සෑම වර්ෂයක ම ඇසළ පසළොස්වක දවසට පසුව දා වස් එළඹිය යුතුය. මාස හතරකින් යුක්තවන වස්සාන සෘතුවේ පළමු තුන්මාසය එක් තැනකට වී මහණදම් රැකීම වස් එළඹීම වශයෙන් නියමනය වේ. වස් එළඹෙන්නහු විසින් වහළක් ඇති, අරින්න වහන්න පුළුවන් දොරක් ඇති සෙනසුනකම වස් එළඹිය යුතුය. සෙනසුනක් නැතැයි වස් නොඑළඹ සිටිනු අයුතුය. සෙනසුනක් නැත්නම් අත් උදව්කාරයකු සොයා දායකයකු සොයා ගෙන සෙනසුනක් තනවා ගත යුතුය. අත් උදව්කාරයකු නැතිනම් තමන් විසින් හෝ සෙනසුනක් තනා ගත යුතු බව විනයාලංකාර ටීකාවේ උගන්වා ඇත.
වසරකට වරක් වස් සමාදන් වීම උපසපන් භික්ෂූන්ගේ කාර්යයකි. එයට දායකයන්ගේ ආරාධනාවක් අනවශ්‍යය. දායකයන්ගේ ආරාධනාවක් ඇතත් නැතත් උපසම්පදා භික්ෂුව වස් සමාදන්වීම කළ යුතුය. වස් වසනවා යනු තුන්මාසයක් එක තැනක වසන්නෙමි. යන අදහසයි. වස් වැසීමත් මහජන හඬට කන් දීමක් වශයෙන් බුදු හාමුදුරුවන් විසින් පනවන ලද ශික්ෂා පදයකි.
ලංකාවේ මෙන් නොව ඉන්දියාවේ ඇසළ මාසයෙන් පසුව ඇති වන වර්ෂා කාලය ඉතා බැරෑරුම් පීඩාදායකය. ඒ අනෝරා වැස්සේත් බුදු සසුනේ භික්ෂූහූ ආදියේ ගමන් බිමන් ගියහ. පිණ්ඩපාතයේ ගියහ. මේ පිළිවෙතට මිනිස්සු විරෝධය පළ කළහ. ශ්‍රමණ සම්ප්‍රදායට අයත් අනෙක් තීර්ථක වැනි කොටස් වස්සාන කාලයේ එක් තැනකට වී සිටීමේ ආදර්ශය දුන්හ. මේ ආදර්ශයත් මහජන විරෝධතාවයක් භික්ෂූන්ටත් වස් විසීමට පෙළඹ වූ බව පෙනෙයි. සෑම වර්ෂයකට ම ඇසළ පසළොස්වක දවසට පසුව දා වස් එළඹිය යුතුය. මාස හතරකින් යුක්තවන වස්සාන සෘතුවේ පළමු තුන්මාසය එක් තැනකට වී මහණදම් රැකීම වස් එළඹීම වශයෙන් නියමනය වේ.
වස් එළඹෙන්නහු විසින් වහළක් ඇති, අරින්න වහන්න පුළුවන් දොරක් ඇති සෙනසුනකම වස් එළඹිය යුතුය. සෙනසුනක් නැතැයි වස් නොඑළඹ සිටිනු අයුතුය. සෙනසුනක් නැත්නම් අත් උදව්කාරයකු සොයා දායකයකු සොයා ගෙන සෙනසුනක් තනවා ගත යුතුය. අත් උදව්කාරයකු නැතිනම් තමන් විසින් හෝ සෙනසුනක් තනා ගත යුතු බව විනයාලංකාර ටීකාවේ උගන්වා ඇත.
වස් විසීම් දෙකකි. පෙර වස් හා පසු වස් යනුවෙනි. පෙර වස් යනු ඇසළ පොහොය දවසට පසුවදා වස් එළඹීමයි. පෙර වස් වැසීමට නොහැකි වූ භික්ෂුවක් ඇසළ මාසය ගත වූ පසුව අනතුරුව එන චන්ද්‍ර මාසයේ පළමුවන දා වස් විසිය යුතුය. ඒ පසුවස් විසීමයයි. පෙර වස් එළඹ තුන් මාසයක් වස් රැක ගතහොත් ඒ භික්ෂුවට කඨි්න චීවරයක් ලැබීමේ අයිතිය හිමිවේ. මෙසේ වස් එළඹෙන භික්ෂූව සතිකරණයෙන් යුක්ත විය යුතුය. සිහියේ තබා ගැනීම "මේ වස් කාලයයි. මම වස් එළඹ ඇත්තෙමි" යයි නිතර සිහිකට යුතු ය.
වස් කාලය තුළ වෙනදා මෙන් ගමන් බිමන් නොකළ යුතුය. තම මව පියා සහෝදරයා සහෝදරිය අසනීපයෙන් වෙසෙන්නේ යයි දැනගතහොත් ඒ අය බලන්නට යා හැකිය. තමන්ගේ ගුරුවරයා, උපාධ්‍යායන් වහන්සේ බැලීමට යා හැකිය. වත් මානත් දීමාදී විනය කර්මයක් කිරීම ඇත්නම් එයට යා හැකිය. එසේ යා යුත්තේ ද සතියක් ඇතුළත තමන් වස් එළඹි ස්ථානයට පැමිණෙන්නෙමි යන සතිකරණයෙන් යුතුවය. සත්වන දින අරුණ නැගෙන්ට පෙර තමන් වස් එළඹි ස්ථානයට පැමිණිය යුතුය. සමීපයේ ඇති ආරාමයකට ගොසින් තමන් වස් එළඹි ස්ථානයට අරුණ නැගීමට පළමු පැමිණෙන අදහසින් පිටත් වී එන අතර මග දී අරුණ නැගුණහොත් වසට උපද්‍රවයක් නැත. ආරාධනාවකින් යුතුව ගමනක් වඩින භික්ෂුවක් සත්වන දවසේ අරුණ නැගීමට පෙර වස් එළඹි ස්ථානයට පැමිණිය යුතුමය. එසේ නොපැමිණිය හොත් වස් එළඹිම පලුදු වේ. යම් කිසි භික්ෂූවක් දෙපළක වස් විසුවොත් මෙහි දෙවැන්නෙහි වාසය කරන්නෙමි යි ළග සීමාවෙන් නික්ම යන කල්හිම පළමුවන සෙනසුන ගැනීම යටපත් වේ. ඒ නිසා එක භික්ෂුවකට එක වසරක දී එකම තැනක මිස දෙපළක වස් එළඹිය නොහැක කෙනෙක් ආරාමයක වස් විසූවායින් පසුව වෙනත් භික්ෂුවක් පසු වී අවුත් වස් වසන්නට ඉල්ලුවොත් මෙහි කලින් භික්ෂුවක් වස් එළඹ සිටීයයි ද වෙන තැනක් සොයා ගන්නැයි ද කිව යුතුය.
අද වස් එළඹීම කරන්නේ රාත්‍රි කාලයේමය. ඒ දායකයන් පැමිණ වස් ආරාධනා කිරීම අද සිරිතක් බැවිනි. ඇසළ පසළොස්වක ගෙවී අරුණ නැංග පසුව උදේ හෝ දවල් හෝ වස් එළඹීමට පුළුවන. ආරාමයක වස් එළඹෙන්නේ නම් ඉමස්මිං විහාරෙ වස්සං උපෙමි යනුවෙන් ද නැවක ආදී තැනක වස් එළඹෙන්නේ නම් ඉධ වස්සං උපෙමි යනුවෙන් ද අධිෂ්ඨානයෙන් යුතුව වස් සමාදන් විය යුතුය.
බුද්ධ කාලයේ භික්ෂූන්ගේ වස් එළඹීමට පෙර බුදුරදුන් සමු වී තමන්ගේ චරිතානුකූලව කමටහන් ලබා ගෙන නගරයෙන් ඈත පිටිසර පළාතකට ගොස් වස් එළඹ ඒ තෙමස තුළ කමටහන් වඩා සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණෙති. පැමිණ වස් හමාර වීමෙන් පසුව නැවත බුදුරදුන් සමු වී තමන්ගේ තොරතුරු කියති. සමහර විට මෙසේ කමටහන් ලබාගෙන යන භික්ෂූන්ට සැපපහසු සේනාසනයක් නොලදහොත් කමටහන් වඩන්නට නොහැකිව හිස් අතින් ආපසු එති. මෙසේ භික්ෂූන් වහන්සේලා කමටහන් ගෙන ගම්බද පළාත්වලට යාම නිසා සැදැහවත් බෞද්ධයෝ උන්වහන්සේලාට සිව්පසයෙන් පූජා කර පින් ලබා ගනිති. ඒ පිළිබඳ විවිධ කතාන්දර ත්‍රිපිටකයේ සඳහන් වේ. එදා බොහෝ භික්ෂූන් වස් කාලයේ නගරයෙන් ඈත් වූහ. ඒ තමන්ගේ සසර විමුක්තිය සඳහාය. වස් කාලය තුළ පන්සල්වල නිතිපතා පිරිත් බණ සජ්ඣායනා කරමින් දායකයන් යහමගට ගන්නා උත්සාහයක් අද පවතී.
වස්කාලය තුළ සිව්පසයෙන් උපස්ථාන කොට කුසල් සිදුකර ගැනීමට දායකයන්ට අවස්ථාව තිබේ.
විජිතනන්ද සරත්චන්ද්‍ර

සම්බුදුගුණ මනාව හඳුනාගත් අනාථ පිණ්ඩික දිව්‍යපුත්‍රයා






පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි


ඒ උතුම් සම්බුදුගුණ හඳුනා නො ගෙන අප්‍රසාදයෙන් පසු වූ දෙවිවරු පිරිසක් හේතුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ සොඳුරු ධර්ම කරුණු කිහිපයක් අප ගියවර ඉගෙන ගත්තා. අද අප ඉගෙන ගන්නේ ඒ උතුම් සම්බුදුගුණ මනාකොට හඳුනාගෙන අචලප්‍රසාදයට පත්ව සිටි දිව්‍ය පුත්‍රයෙකු හේතු කොටගෙන ඇති වූ සිදුවීමක්.
අපගේ ගෞතම බුදුජාණන් වහන්සේ වරක් දේශනා කළා
යේ කේචි බුද්ධං සරණං ගතාසේ 
න තේ ගමිස්සන්ති අපායං
පහාය මනුසං දේහං 
දේවකායා පරිපූරෙස්සන්ති
යම්කිසි කෙනෙක් බුදු සමිඳුන් සරණ ගියානම් ඒ උදවිය අපායට යන්නේ නැහැ. මිනිස් සිරුර අත්හැරියට පස්සේ ඒ උදවියගෙන් දෙව්ලොව පිරෙනවා. මනුලොව උපන් මිනිසුන් අතරේ ඉතාමත් අතලොස්සකට ඒ දුර්ලභ අවස්ථාව උදාකර ගන්නට හැකිවුණා. ඒ සියලුදෙනා ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් බවට පත් වූ අයයි. ගෞතම බුද්ධ ශාසනයේ උපාසකයන් කියු විට නිරායාසයෙන්ම සිහිපත් වන කෙනෙක් තමා අණේපිඬු සිටුතුමා. එතුමාගේ සැබෑ නම තමා සුදත්ත. ඔහුට අපගේ බුදුරජාණන් වහන්සේ හමු වූ අයුරු විශ්මිතයි.
ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර සීත වනයේ. එදා "සුදත්ත" ගෘහපතියාද යම්කිසි කටයුත්තකට රජගහ නුවරට ඇවිත් හිටියා. ඉතිං සුදත්ත ගෘහපතියාට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වුනා කියලා අහන්න ලැබුණා. ඒ ඇසීමත් සමඟම භාග්‍යවතුන් වහන්සේ ළඟට යන්න ඔහු තුළ ලොකු ආශාවක් ඇතිවුණා. එතකොට සුදත්ත ගෘහපතියාට සිතුනා අද භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට යන්න ඕන කියලා. බුදු සමිඳුන් ගැනම හිත හිතා ඔහු නිදා ගත්තා. අළුයම කියලා හිතාගෙන රෑ තුන් වරක් ම නැගිට්ටා. බුදු සමිඳුන් ගැන අසන්නට ලැබුණ ගුණම සිහිපත් කරමින් සිටි නිසා ඔහුට නො දනීම සිත සමාධිමත් වෙලා ආලෝකයක් පහළවුණා. අළුයම උදා වුනා කියා සිතු ඔහු පිටත් වුණා. අන්තිමේදී සුදත්ත ගෘහපතියා නගරයේ සොහොන් පිට්ටනියේ දොර ළඟටත් ආවා. ඔහුගේ තිබූ පුණ්‍යානුභාවයට අමනුස්සයෝ දොර ඇර දුන්නා.
එවිට සුදත්ත ගෘහපතියා නගරයෙන් නික්මෙද්දී සොහොන දැක භයක් හටගත්තා. එළිය අතුරුදහන් වුනා. කළුවර වෙලා ගියා. භයත්, තැති ගැනීමත්, ලොමු දහගැනීමත් ඇතිවුණා. ආපසු හැරිල යන්නට හිතුනා. ඒ මොහොතේ "සීවක" නම් යක්ෂයෙක් නොපෙනී සිට හඬනඟා මෙම ගාථාව කිව්වා.
සතං හත්ථි සතං අස්සා 
සතං අස්සතරී රථා
සතං ඤඤ්ඤාසහස්සානී ආමුත්තමණිකුණ්ඩලා
ඒකස්ස පදවිතිහාරස්ස 
කළං නාග්ඝන්ති සෝළසින්ති
ඇත්තු ලක්ෂයක් ලැබුණත්, අශ්වයන් ලක්ෂයක් ලැබුණත්, වෙළඹුන් ලක්ෂයක් ලැබුණත්, අශ්ව රිය ලක්ෂයක් ලැබුණත්, මුතු මැණික් ආභරණවලින් සැරසුන කන්‍යාවන් ලක්ෂයක් ලැබුණත් ඒවා බුදු සමිඳුන් බැහැ දකින්න තබන එක පියවරකින් සොළොස් කලාවෙන් කලාවක් තරම්වත් වටින්නේ නැහැ. පින්වත් ගෘහපතිය, ඉස්සරහට යන්න. පින්වත් ගෘහපතිය, ඉස්සරහට යන්න, ඉස්සරහට යන එකමයි ඔබට උතුම්. ආපසු හැරිලා යන්න ඕන නැහැ.
එවිට සුදත්ත ගෘහපතියාට කලුවර ගතිය නැතිවුණා. ආලෝකය ඇතිවුණා. කලින් තිබුණ භය, තැති ගැනීම, ලොමු දහගැනීම සංසිඳුනා. ඉතින් සුදත්ත ගෘහපතියා සීත වනයට ආවා. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ රාත්‍රී හිමිදිරියේ අවදිවෙලා එළිමහනේ සක්මන් කරමින් හිටියේ. භාග්‍යවතුන් වහන්සේ දුරින්ම පැමිණෙන සුදත්ත ගෘහපතියා දැක්කා. සක්මනින් ඉවත්වෙලා පැන වූ ආසනේ වැඩසිටියා. වැඩ හිඳගත් භාග්‍යවතුන් වහන්සේ සුදත්ත ගෘහපතියාට මෙහෙම වදාළා.
“පින්වත් සුදත්ත, මෙහෙ එන්න”
එතකොට සුදත්ත ගෘහපතියා ‘භාග්‍යවතුන් වහන්සේ මගේ නමින්ම කථාකොට වදාළා කියා එතැනම භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් අභියස වැඳ වැටුනා. සුදත්ත අසනවා, භාග්‍යවතුන් වහන්ස, සුවසේ සැතපුණ සේක්ද? කියා. එවිට උන්වහන්සේ ඒ මොහොතේ ඔහුට මෙබඳු ධර්මයක් දේශනා කොට වදාළා.
‘යම් කෙනෙක් කාමයන්ට ඇලෙන්නේ නැත්නම්, සිහිල් වෙලා නම්, කෙලෙස් රහිත නම් පිරිනිවිලා නම්, ඒ බ්‍රාහ්මණයා හැමදාම ඒකානත්යෙන්ම සුවසේ සැතපෙනවා. සියලු තණ්හාව නැතිකරලා හදවතේ පීඩාව දුරු කරලා, සිතේ සංසිඳීමට පැමිණි උපශාන්ත පුද්ගලයා සුවසේ සැතපෙනවා.
සසරේ කරන ලද පින්වල බලෙයන් මහා නුවණැත්තෙක් වූ සුදත්ත ගෘහපතියා එම ධර්මය ශ්‍රවණය කරන විටම සෝවාන් ඵලයට පත්වුණා. ඉන්පසු ඔහු ආරාම පූජාවන්, මහා දානමය පින්කම් සිදුකළා. ඔහුට පරපුරෙන් ලැබුණ ධනය අවසන් වන තරමටම දන් දුන්නා. එනිසාම ඔහු අනාථපිණ්ඩික නමින් ප්‍රසිද්ධ වුණා. ගෞතම බුදු සසුනේ උපාසකයන් අතර අග්‍රදායකයා බවට පත්වීමට ඔහු භාග්‍යවන්ත වුණා. නිතර නිතර භික්ෂුන් බැහැදැකීම සිටුතුමාගේ සිරිතක්. ඒ සඟ පිරිස අතරේ ඔහු ගොඩක්ම පි‍්‍රයකළේ සාරිපුත්ත මහ රහතන් වහන්සේටයි.
මෙසේ කලක් ගතවෙද්දී සිටුතුමා හොඳටම අසනීප වුණා. ඒ හේතුවෙන්ම ටික දිනකින් කලුරිය කළා. රැස්කළ පින් බලයෙන් දෙවියන් අතර ඉපදුනා. ඉතින් අනේපිඬු සිටුතුමා විසින්ම කර වූ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ සමීපයට මේ දිව්‍යපුත්‍රයා පැමිණුනා. ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර පැත්තකින් හිට ගත්තා. එකත්පසක සිටි අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සමීපයේ මේ ගාථාවන් පැවසුවා.
මේ ජේතවන අසපුවේ ඉසිවරයන් වහන්සේලා පිරී ඉතිරි වැඩ ඉන්නවා දැක්කහාම ධර්මරාජයන් වහන්සේත් වැඩ ඉන්නවා දැක්කාහම මා තුළ පුදුම පී‍්‍රතියක් ඇතිවෙනවා. ක්‍රියාකලාපයත්, අවබෝධ ඤාණයත්, ධර්මයත්, උතුම් සිල්වත් ජීවිතයත් කියන මෙයින් තමයි සත්ත්වයන් පිරිසුදු වෙන්නේ. උපන් කුසලයෙන්වත්, ධනයෙන්වත්, සත්ත්වයන් පිරිසුදු වෙන්නේ නැහැ. ඒ නිසා නුවණැති පුද්ගලයා තමන්ගේ යහපත කැමැතිනම් නුවණින් යුක්තව ශ්‍රී සද්ධර්මය විමසා බලන්න ඕන. එවිටයි කෙනෙක් පිරිසුදු වෙන්නේ. ප්‍රඥාවෙනුත්, සීලයෙනුත්, සංසිඳීමෙනුත්, උතුම් වන්නේ මේ සැරියුත් තෙරුන් වහන්සේම යි. සසරෙන් එතෙරට වැඩි යම් භික්ෂුවක් වේනම් උන්වහන්සේලා අතුරින් සාරිපුත්තයන් වහන්සේම ශ්‍රේෂ්ඨයි.
අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා මෙසේ පැවසුවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ප්‍රදක්ෂිණා කළා. එතැනම නොපෙනී ගියා. ඒ රාත්‍රිය ගෙවුනට පස්සේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතුවා.
පින්වත් මහණෙනි, මේ රාත්‍රියේ සුන්දර පෙනුම තිබෙන එක්තරා දෙවියෙක් රැය පහන්වෙන වෙලාවේ මුළු ජේතවනයම බබුළුවාගෙන මම ළඟට ආවා. ඇවිදින් මට වන්දනා කරලා පැත්තකින් හිටගත්තා. පින්වත් මහණෙනි, පැත්තකින් හිටගත්තු ඒ දිව්‍ය පුත්‍රයා මා අසලදී මේ ගාථාවන් පැවසුවා කියලා ඒ ගාථාවන් එලෙසින්ම භික්ෂූන්ටත් පවසා වදාළා. එතකොට උන්වහන්සේ අසලම සිටි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා.
ස්වාමිිනි, ඔය දෙවියා නම් අනාථපිණ්ඩිත දිව්‍යපුත්‍රයාම වෙන්න ඕන. අනාථපිණ්ඩිත දිව්‍යපුත්‍රයා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ගැන ගොඩක් පැහැදිමකින් හිටියේ.
භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට මෙසේ පැවසුවා. “සාධු සාධු පින්වත් ආනන්ද, යම්තාක් තර්කයෙන් දැනගත යුතු නම්, ඔබ ඒ තාක් දැනගත්තා නේද? පින්වත් ආනන්ද, ඔහු අනාථපිණ්ඩික දිව්‍යපුත්‍රයාම තමයි”.
අපට මේකෙන් ඉතාම හොඳට තේරුම් ගන්න පුළුවන් පිනේ වටිනාකම. පින්කරන කෙනා ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ මෙහෙමයි. හොඳට පින් දහම් කරගත්ත කෙනා තමයි මෙලොවදී සතුටු වෙන්නේ. පරලොවදී සතුටු වෙන්නෙත් ඔහුම යි. දෙලොවදීම ඔහු සතුටු වෙනවා. මම පින් කරගත්තා කියා සතුටු වෙනවා. සුගතියේ ඉපදුනාට පස්සේ ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඒ නිසා අපත් මේ ලද දුර්ලභ මනුස්ස ජීවිතය හැකිතාක් පිනෙන් පුරවා ගන්නට මහන්සි ගනිමු.
නයනා නිල්මිණි
සදහම් සඟරා - Online