ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමය

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

වාසෙට්ඨයෙනි, ඇතැම් සත්ත්ව කෙනෙක් අතර, මේ සිදු වූ දේ ගැන එනම් බොරු කියන්න, සොරකම් කරන්න, ගැරහුම් කරන්නා වූ ලාමක අකුසල් ධර්ම සිත්වල හට ගැනීම නිසා, මහත් කලකිරීමකට හේතු වූවා. අපගේ සිත්වල හටගත් මේ ලාමක අකුසල ධර්මයෝ බැහැරලීම කරන්නෝ නම් හොඳ යැයි සිතන්නට පටන් ගත්තා. මෙම සත්ත්වයෝ, සිත්වල හටගත් ලාමක පාපී අකුසල් බැහැර කිරීමේ අරමුණින් ගම අත්හැර වන ප්‍රදේශවල කුටි තනාගෙන තනිව භාවනා කරමින් ධ්‍යාන වඩමින් ජීවත්වන්නට වුණා.
වන ගත වූ මේ සත්ත්වයන්ට උයා පිහා ආහාරයට ගත යුතුදෙයක් නොමැති හෙයින් උදේ බොජුන් පිණිස උදයේ ද හවස බොජුන් පිණිස හවස ද මේ අය ගම්, නියම් ගම් රජ දහන්වලට පැමිණ පිණ්ඩපාතයේ ගොස් ආහාර සොයාගෙන නැවතත් වන ප්‍රදේශවල කුටිවලට ගොස් ධ්‍යාන වඩන්නට වූවා. මෙම සත්ත්වයනට අකුසල් බැහැර කරනවා යන අර්ථයෙන් බ්‍රාහ්මණ කියා නමක් පටබැඳුනා.

පාපකේ අකුසලේ ධම්මේ
බාහෙන්තීනි ඛෝ වාසෙට්ඨා
බ්‍රාහ්මණ, බ්‍රහ්මණා තේථව පඨමං
අක්ඛරං උපනිබ්බත්තං 

යනුවෙන්, එනම් පාපී අකුසල් බැහැර කරනවා යන අර්ථයෙන් බ්‍රාහ්මණ යන්නෙන් මේ සත්වයන්ට පළමු නාම ව්‍යවහාරය පහළ වුණා.

වාසෙට්ඨයෙනි, මේ වන ගත අය භාවනා කරනවා එනම් ධ්‍යාන වඩනවා යන අර්ථයෙන් ‘ඣායකා’ කියා බ්‍රාහ්මණයන්ට දෙවැනි නාම ව්‍යවහාරයත් ඇති වුණා. වාසෙට්ඨයෙනි, එම සත්වයන් අතුරින් ඇතැම් කෙනෙක් වන ප්‍රදේශයන් හි ධ්‍යාන වැඩීම අපහසු වන්නා වූ බැවින් ගම් නියම්ගම් අසළට පැමිණිලා ග්‍රන්ථකරමින් එනම් ඉගැනීම්, ඉගැන්වීම් කටයුතු සිදු කළා. වාසෙට්ඨයෙනි, දැන් මොවුන් ධ්‍යාන නොකෙරෙත්, එනම් ධ්‍යාන නොකරන්නෝ යැයි අදහසින් ‘අජ්ඣායකයෝ’ යැයි තෙවැනි නාමයත් ව්‍යවහාර කිරීමක් ඇතිවුණා. මේ ආකාරයටයි බ්‍රාහ්මණ සමාජය ගොඩනැඟුණේ. බුදුරජාණන් වහන්සේ වදාළා වාසෙට්ඨයෙනි, ඔය බ්‍රාහ්මණ සමාජය ආරම්භය මෙන්න මේ ආකාරයට ධර්මයට අනුකූලවමයි. එසේ නොමැතිව දෙවියෝ මවලා නොවෙයි. ඒ නිසා මෙලොවත්, පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨම වන්නේ ධර්මයමයි කියා.
වාසෙට්ඨයෙනි, මේ සතුන් අතෙරේ ඇතැම් කෙනෙක් මෛථුන ධර්ම සේවනය කොට එනම් කාම සේවනය කොට කාමභෝගී ජීවිත ගත කරමින්, එනම් කුඹුරු, වතුපිටි හදාගෙන හරකාබාන ඇති කරගෙන බඩු මුට්ටු විකුණමින් වෙළෙඳාම් කරන්නට පටන් ගත්තා. මේ ආකාරයෙන් එම අවස්ථාවේ නැඟුණු හෝ ප්‍රකට වූ කර්මාන්ත කරනවා යැයි කියන අදහසින් ‘වෛශ්‍ය’ යෝ යැයි නම ඇති වුණා.
වාසෙට්ඨයෙනි, ධර්මයම මේ ජනයා කෙරෙහි මෙලොවදී ද පරලොවදී ද ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ මහා බ්‍රාහ්මයාගේ මුඛයෙන්, බාහුවෙන්, කලවයෙන් හෝ යටිපතුලෙන් සත්වයා නැත්නම් මනුෂ්‍යයන් ඉපදුනා යැයි කියන බ්‍රාහ්මණ කතාව නොව ලෝක ස්වභාවය අනුව පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් අනුව ඔවුන්ට නම් හෝ ව්‍යවහාර ඇති වූ බව පෙන්වාදීමටයි. එලෙසම මෙහි පෙන්වා දෙන කරුණක් තියෙනවා. ඒ තමයි එකම සමාන සත්වයන්, අතර නාම ව්‍යවහාරයක් පමණක් සිද්ධ වන නිසා උස් පහත් භේදයක් ඇති විය නොහැකි බව මෙහි දී ප්‍රකටයි. මෙය ධර්මයෙන් මිස අධර්මයෙන් සිදු නොවේ. එම නිසා මෙලොවත් පරලොවත් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි.

සත්වයන් එක සමානයි

වාසෙට්ඨයෙනි, ඒ සත්වයන් අතුරෙන් යම් කෙනෙක් රෞද්‍ර හැසිරීම් ඉතාම පහත් හැසිරීම් ඇත්තෝ වූවෝ ද මොවුන් පහත් හැසිරීම් ඇත්තෝය. ඉතාම ලාමක හැසිරීම් ඇත්තෝය කියා ඔවුන් නම් කළාය ඔවුන් ශුද්‍රයෝය. ශුද්‍රයෝ යැයි නාම ව්‍යවහාරය පටන් ගත්තා. මේ නාමයත් හටගත්තේ එකහා සමාන සත්වයන් අතරෙන්මයි. එලෙසම ධර්මයෙන්මයි, අධර්මයෙන් නොවේ. එහෙයින් මෙලොවද, පරලොවද ධර්මයම මේ ජනයා කෙරෙහි ශ්‍රේෂ්ඨයි.
වාසෙට්ඨයෙනි, යම් හෙයකින් ක්ෂත්‍රීයයා සිය දහමට ගරහනුයේ මහණ වන්නෙමියි ගිහිගෙයින් නික්ම පැවිදි භූමියට පත්වෙනවාද? බ්‍රාහ්මණයා ද, වෛශ්‍යයා ද, ශුද්‍රයා ද සිය දහමට ගරහමින් මහණ වන්නෙමියි ගිහි ගෙයින් නික්ම පැවිදි ජීවිතයට පත්වෙනවා ද අන්න එවැනි කාලයක් ඇතිවෙනවා. මෙන්න මේ සතර මණ්ඩලයන්ගෙන් ම ශ්‍රමණ මණ්ඩලයාගේ ආරම්භය සිද්ධ වුණා. එනම් ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර කියන නම් ව්‍යවහාරයේ පැවතුණ කොටස් අතරෙන්මයි මේ පැවිදි මණ්ඩලය, එනම් පැවිදි පිරිස සකස්වෙන්නේ. ඒ ශ්‍රමණ මණඩලයාගේ ආරම්භය කියා කියන්නේ අන්න එයයි. එයත් එම සමාන සත්වයන් පිළිබඳවයි. අන් සත්වයන් පිළිබඳව නොවේ. එනම් ධර්මයෙන්මයි, අධර්මයෙන් නොවේ. වාසෙට්ඨයෙනි, මෙලොවත් පරලොවත් ධර්මය ම ජනයා කෙරෙහි ඉතාම ශ්‍රේෂ්ඨයි.
බුදුරජාණන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරනවා. වාසෙට්ඨයෙනි, ක්ෂත්‍රියයා හෝ වේවා බ්‍රාහ්මණ හෝ වේවා, වෛශ්‍ය හෝ වේවා, ශුද්‍ර හෝ වේවා ශ්‍රමණයා හෝ වේවා මේ කවුරුන් වූවත් කයෙන්, වචනයෙන්, මනසින් දුසිරිත් කරලා මිථ්‍යාදෘෂ්ටිකව මිථ්‍යාදෘෂ්ටික කටයුතුවල යෙදීම හේතුවෙන්, එනම් ඒවා අනුගමනය කිරීම හේතුවෙන් මේ කය බිඳී ගොස්, එනම් විසිරී ගොස් යම් දවසක මරණයෙන් මතු සැප නැති, දුකකට ම හේතු වූ අප්‍රමාණ දුක් දෙන නිරයට පැමිණෙනවා.

බලවත් කුසලයකින් මිනිස් ලොවට

ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා වාසෙට්ඨයෙනි, ක්ෂත්‍රීය හෝ වේවා බ්‍රාහ්මණ හෝ වේවා, වෛශ්‍ය හෝ වේවා, ශුද්‍ර හෝ වේවා, ශ්‍රමණ හෝ වේවා මේ කවුරුන් වූවත් කයෙන්, වචනයෙන්, මනසින් යහපත් වූ සිරිත් ගුණ ධර්ම පුරා සම්මා දිට්ඨියෙන් යුතුව, සම්මා දිට්ඨිය සමාදානයෙන් යුක්ත වීම මේ කය විසිරීමෙන් එනම් මරණයෙන් මතු මනා සැප ඇති සුගති ලෝකයට පැමිණෙනවා. මෙලෙස උප්පත්තියක් ලබන්න කුලය හෝ ජාතිය බලපාන්නේ ද නැහැ.
ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා වාසෙට්ඨයෙනි, ක්ෂත්‍රීය හෝ වේවා, බ්‍රාහ්මණ හෝ වේවා, වෛශ්‍ය හෝ වේවා, ශුද්‍ර හෝ වේවා, ශ්‍රමණ හෝ වේවා. මේ කවුරුන් වූවත් කයෙන්, වචනයෙන්, මනසින් දුසිරිතෙහිත් යෙදෙනවා එලෙසම සුචරිතයේත් යෙදෙනවා. සම්මා දිට්ඨියෙන් මෙන් ම මිථ්‍යාදෘෂ්ටියෙන් සිටිනවා ද? සමාදන්ව සිටිනවාද අන්න ඒ හේතුවෙන් මරණයෙන් මතු සැපත් – දුකත් දෙකම මිශ්‍රව විපාක ලැබෙන්න පුළුවනි කියන අදහසයි.
මේ අනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන ලෝකෝප්පත්ති කතාවේ ආරම්භයත් එහි විකාශනයත්, පුද්ගලයන්ගේ ජීවිත පැවැත්ම ගත කොට ඉන් අනතුරුව සුගතිය හා දුගතිය හිමිවන ආකාරය අපට ඉතාම පැහැදිලියි. බලවත් ලෙස කුසල කර්ම කරන අය සුගතියටත්, බලවත් ලෙස අකුසල කර්ම කරන අය දුගතියටත් යන බව පැහැදිලියි.
කුසල් අකුසල් මිශ්‍රව සිදු කරන අයට සැපදුක් දෙකම මධ්‍යස්ථව විඳින්නට සිදු වෙනවා. ඒ අපට මේ මනුෂ්‍ය ලෝකයේ ම දැක ගන්නට පුළුවනි. බලවත් ලෙස කුසල් කරපු අය සුගතියට යනවා. බලවත් ලෙස අකුසල් කරපු අය නිරයට යනවා. මනුෂ්‍ය ලෝකයේ උපත ලබන්නේ බලවත් වූ කුසල කර්මයකින් බව සැබෑවකි. එහෙත් අකුසල කර්මත් ඔවුන්ගේ ජීවිතවල තිබෙන නිසා ‘කම්මං සත්තේ විභජතී හීනප්පණීතතාය’ යනුවෙන් සඳහන් කළ අයුරින් කර්මයට සත්‍ය හීන, ප්‍රහීන හෙවත් උස් පහත් භේදයට පත් කරන්නේ ය යන අදහසට අනුව මනුෂ්‍යයෝ සැප මෙන් ම දුක් ද දුක් මෙන් ම සැප ද මිශ්‍රව විටින් විට ලබන බව පැහැදිලියි.

දුක සැප මිශ්‍රයි

නැවතත් බුදුරජාණන් වහන්සේ වදාළා, ක්ෂත්‍රීය හෝ වේවා, බ්‍රාහ්මණ හෝ වේවා, වෛශ්‍ය හෝ වේවා, ශුද්‍ර හෝ වේවා මේ කවුරුන් වූවත්, කයෙන්, වචනයෙන්, මනසින් සංවර වූයේ නම් මෙහි දී ධර්ම මාර්ගය තේරුම් කර ගන්නා වූ පිරිස ඒ ධර්ම මාර්ගය මනාකොට අනුගමනය කිරීමෙන් පාපී අකුසල ධර්ම මුළුමනින් ම ක්ෂය කිරීම හෙවත් නැති කිරීම පිරිනිවන්පෑම බව සඳහන් කරනවා. එනම් කෙලෙස් පරිනිර්වාණය ලෙස සඳහන් කරනවා. ධර්ම කතාවේ මෙය අනුගමනය කළ යුතු ධර්ම මාර්ගය හඳුන්වන්නේ බෝධිපාක්ෂික ධර්ම හැටියටයි. එනම් සත් තිස් බෝධිපාක්ෂික ධර්මයන්ය. තිස් හතක් වූ බෝධිපාක්ෂික ධර්මයෝ ය.
සත් තිස් බෝධිපාක්ෂික ධර්ම නම් බුදුරජාණන් වහන්සේ දවස මනාකොට දේශනා කළ ඒ උතුම් ධර්මයයි. එනම් සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය යම් කෙනෙක් මේ බෝධිපාක්ෂික ධර්ම තිස් හත දියුණු කරගන්නවා නම් ඉතාම ශ්‍රේෂ්ඨයි එනම් එතැන ශ්‍රේෂ්ඨවන්නේ ධර්මයමයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සද්පුරුෂයාගේ ලක්ෂණ හඳුනා ගැනීම

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් 
රාජමහා විහාරාධිපති 
තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි

අප ජීවත්වන ලෝකයේ නිතර නිතර කථාකරන වදන් කීපයක් අද අපේ අවධානයට මුලින්ම ලක් කරන්නට කැමැතියි. ඒ තමා “හොඳ හා නරක” යන මේ වචන දෙක. මේවාට උගතුන් විසින් දෙන එක පොදු නමක් තිබෙනවා. ඒකට කියනවා”ආචාර විද්‍යාත්මක ප්‍රස්තුත” කියලා. මේ ගැන බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වන්නටත් පෙර සිට විවිධ උගතුන් බුද්ධිමතුන් සාකච්ඡා කර තිබෙනවා.
මොකක්ද, මේ “හොඳ – නරක” කියලා කියන්නේ? ලෝකයේ හැම කෙනෙක්ම පිළිගන්න විශ්ව සම්මත ලෙස හොඳ හෝ නරක මේවයි කියලා එක්වරම පොදුවේ කියන්නට පුළුවන් දෙයක් නැහැ. මොකද? නිදසුනක් ගත්තොත් යම් ආගමික ඉගැන්වීමක් අනුව “හොඳයි” කියන දේ තවත් ආගමික ඉගැන්වීමක් අනුව “ නරක” වෙන්න පුළුවනි. මේ විදියට ගත්තහම රටින් රට, පළාතෙන් පළාතට , ආගමෙන් ආගමට මේ හොඳ, නරක දෙකට දෙන අර්ථය වෙනස් වෙනවා. මේ වාගේම තවත් ආචාර විද්‍යාත්මක වශයෙන් වැදගත් වන ප්‍රස්තුත එසේත් නැතිනම් අරුත් බර වචන රාශියක් අප එදිනෙදා භාවිත කරනවා. ඒවා නම් “යහපත් අයහපත්, ශිෂ්ඨ – අශිෂ්ඨ, හරි – වැරැදි, සද්පුරුෂ – අසද්පුරුෂ, පින් – පව් , කුසල – අකුසල , දැහැමි – නොදැහැමි යන මේවා එයින් කීපයක් ලෙස පෙන්වා දෙන්නට පුළුවන්. අද අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව සද්පුරුෂයා යන්නෙන් උන්වහන්සේ පෙන්වා දෙන්නේ කුමන ගතිගුණවලින් හෙබි අ යද? යන්න විසැඳුමක් සොයා ගන්නට බලමු. සද්පුරුෂයාගේ ගති ලක්ෂණ යමක් පෙන්වා දෙනවා නම් ඒ ගති ලක්ෂණ නැති තැනැත්තා අසද්පුරුෂයා බවට පත් වෙන බවත් අප තේරුම් ගත යුතු වෙනවා.
බුදුරජාණන් වහන්සේ අපට “සප්පුරිස සුත්ත” නමින් දේශනාවක් කර තිබෙනවා. මෙයින් තේරුම් කරදීමට උත්සාහ කර තිබෙන්නේ අපේ වචන භාවිතයේ ඇති මේ කියන සද්පුරුෂයාගේ ගති ලක්ෂණ මොනවාද? කියා පැහැදිලි කර දීමටයි. බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී “සද්පුරුෂයා” හඳුන්වා දී ඇත්තේ මහා වර්ෂාවකට උපමා කරලයි. මහා වැස්සක් ඇති වෙන කොට මේ වැස්ස හැම තැනටම එක විදියට ම වහිනවා. අප සිතුවොත් මහා වැස්සක් කොළඹ අගනගරයට අයත් ප්‍රදේශයට පමණක් වාගේ සීමා වෙන විදියට වහිනවා කියලා. එහිදී ඒ වැස්ස නගරයේ හැම තැනටම එකවිදිහටම වහිනවා. එහිදී වැස්සට දුප්පත් – පොහොසත් භේදයක් නැහැ. නගරයේ වැස්ස අවශ්‍ය තණපිටි ආදියට මෙන්ම වැස්ස අවශ්‍ය නැති මහා මාර්ග කර්මාන්ත ශාලා, ගංගා, මහසයුර, රාජ්‍ය ආයතන ආදි හැම තැනටම එක ආකාරයෙන් වහිනවා. එහි භේදයක් නැහැ. අන්න ඒ වගේම සද්පුරුෂයා තමා වටා සිටින හැම අයකුටම සුදුසු සුදුසු ආකාරයෙන් උපකාරීව සහයෝගයෙන් කල්‍යාණ මිත්‍රත්වයෙන් යහපතක් වන ආකාරයෙන් ක්‍රියා කරනවා. සද්පුරුෂයාගේ බලපෑම කාටත් එකයි.

එහි දී බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම පෙන්වා දෙන්නේ ඕනෑම පුද්ගලයකු ජීවත්වන මූලිකම සමාජය ගැනයි. ඒ තමන්ගේ දෙමාපියන් සමග ගත කරන දිවි පෙවෙතයි. සද්පුරුෂ දරුවෙක් නම් ඒ දරුවා තමන්ගේ දෙමාපියනට මහත් අස්වැසිල්ලක් වන ආකාරයෙන් පළමුවෙන්ම තම ජීවිතය පවත්වා ගෙන යාමට හුරු වෙනවා. එම සද්පුරුෂ දරුවා නිසා කවදාවත් දෙමව්පියන්ට අසහනයක් ඇතිවන්නේ නැහැ. මේ කාරණය ගත්තහම අද අප ජීවත්වන සමාජයේ කීයෙන් කීදෙනාද? දෙමාපියන් දරුවන් නිසා සැනසිල්ලක් ලබන්නේ කියන මේ කාරණය සිතා බැලීම වැදගත් වෙනවා. එසේ බලන විිට මේ සද්පුරුෂ ලක්ෂණය අපේ සමාජයේ බොහෝ දරුවන්ගෙන් දුරස්ථව පවතිනවා. අද බොහෝ දෙමාපියෝ ඇඬූ කඳුළින් පසුවෙනවා. සද්පුරුෂ දරුවා නිසා දෙමාපියන් සදාකල් සැනසිල්ලක් ලබනවා. මේ විදියෙන් බලන විට සද්පුරුෂයාගෙන් තම දෙමාපියන්ට කිසිදු අවස්ථාවක අවැඩක් හෝ සිත් රිදීමක් ඇති වන්නේ නැහැ.
ඒ වගේම තමා එවැනි සද්පුරුෂයා යම් ආකාරයකින් විවාහ පත් වෙලා දූදරුවන් ඇති කරලා ජීවත් වුණා නම් එවැනි අයගේ භාර්යාවට හා දරුවන් හට කිසිම අවස්ථාවක පීඩාවක්, අවනම්බුවක්, අසතුටක් ඇති වන ආකාරයෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙය අද අප ජීවත්වන සමාජය දෙස බලනකොට වඩාත් යහපත් අත්දැකීමක් බවට පත් කරගැනීම වැදගත් වෙනවා. මොකද? අද සමාජයේ ජීවත්වන ඇතැම් දූ දරුවන් අසද්පුරුෂ ගති ඇති තාත්තලාගෙන් පමණක් නොව අයහපත් හැසිරීම් ඇති මව්වරුන් නිසා සමාජයේ මහත් නින්දාවට, ගරහාවට, ලජ්ජාවට පත්වන අවස්ථා කොපමණවත් තිබෙනවා. සමහර දූදරුවන්, භාර්යාවන් තම තාත්තා හෝ තම ස්වාමිපුරුෂයා නිසා කිසිම තැනක හඳුන්වා දෙන්නටවත් අකැමැති තත්වයට පත්ව ඇති අසද්පුරුෂ ජන කොටස් සමාජයේ ජීවත් වෙනවා. එහෙත් මේ කියන සද්පුරුෂ ගති ඇති තැනැත්තා ඊට හාත්පසින් වෙනස් තත්වයකින් සමාජයේ ජීවත්වන තම අඹුදරුවන්ට මහත් අස්වැසිල්ලක්. ආශිර්වාදයක් වන ආකාරයෙන් ජීවත් වෙනවා.
ඊළඟ ලක්ෂණය ලෙස පෙන්වාදී ඇත්තේ සද්පුරුෂ ගති පැවැතුම් ඇති අයගේ ගේ දොර හෝ ආයතන ආදියෙහි සේවය කරන දැසිදස්සන්, කම්කරු ආදි පිරිස්වලට ද මහත් අස්වැසිල්ලක් වන ආකාරයෙන් මෙලොව පමණක් නොව පරලොවට පවා වැඩක්, අර්ථයක් සිදුවන ආකාරයේ ස්වාමියෙකු වශයෙන් ඔවුන් ක්‍රියා කරනවා. මෙය ඉතා වැදගත් යහපත් සමාජ සම්බන්ධතාවකි. මොකද? අද හාම්පුතුන් හා සේවක කොටස් අතර ඇත්තේ යහපත් සබඳතාවක් නොවේ. සේවක පිරිස් නොසතුටින් , අඩු වැටුප් ලබමින් , කර්මාන්ත ආයතන ආදියෙහි සේවය කරනවිට එම ආයතනවල පැවැත්ම තහවුරු වන්නේ නැහැ. එම කාර්ය මණ්ඩලය අසතුටින්, ද්වේෂයෙන් ක්‍රියා කිරීම තුළ තම ආයතනයේ දියුණුව ප්‍රාර්ථනා නොකර කටයුතු කරනවා. ඒ වෙන කොට එම ආයතන වැඩි කල් පවතින්නේ නැහැ. බංකොළොත් බවට පත් වෙනවා. එහෙම වුණත් හාම්පුතා සේවක හා කම්කරු පිරිස්වලට මැනවින් ප්‍රිය මනාපව, ශ්‍රමය සූරා නොකා සරිලන වැටුප් දෙවමින් සුහදව ක්‍රියා කිරීම තුළ එම ආයතන, කර්මාන්ත පමණක් නොව ඒ අය ජීවත්වන ගේදොරවල පවා ප්‍රබෝධයක්, ශීඝ්‍ර ප්‍රගතියක් ඇති වෙනවා. සමාජයේ හොඳ ප්‍රසාදයක් ඇති වෙනවා.
අප සමාජයේ ජීවත් වෙනකොට සාමූහිකවයි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. ඉතින්, එවැනි සමාජයක යහළු මිත්‍රයන් ජීවත් වෙනවා. සද්පුරුෂයා මේ යහළු මිත්‍රයන් සමඟ ජීවත් වෙනකොට ඒ අයට යහපතක් වන ආකාරයට ක්‍රියා කරනවා. සද්පුරුෂයා නිසා ඔහු ජීවත්වන එම සමාජයේ අනිකුත් අයට පවා අර්ථයක් ප්‍රයෝජනයක් ඇති වෙනවා. හොඳ ගුරුහරුකම් ලබා ගන්නවා. විපතට පත් වෙන්නට තිබෙන අවස්ථා මග හරවාලීමට සද්පුරුෂ ආශ්‍රය හේතු වෙනවා. සද්පුරුෂයා ජීවත්වන සමාජයේ අනිකුත් අය අයහපතට යොමු වීමක් පෙනීයනවා නම් එයින් ඒ අය අත්මුදා ගැනීමට සද්පුරුෂයා ක්‍රියා කරනවා. මේ නිසා එම ආශ්‍රය කරන යහළු, මිත්‍රයන් යහපතෙහි පිහිටුවමින් වඩාත් ඉදිරියට සාර්ථකව ගමන් කරනවා. කාගේත් ප්‍රසාදයට භාජනය වෙනවා.
අප අද ජීවත්වන මේ වර්තමානය ගැන අප පැහැදිලි ලෙසම කල්පනා කරලා බලන්නටම අවශ්‍යයි. ඒ මොකද? සසර සැරිසරන සත්වයන් හැටියට අප හැම කෙනෙක්ම මේ ගත කරන්නේ අගක් මුලක් නැති මේ සංසාර ගමනේ ඉතාමත්ම කෙටි කලකට සීමා වූ නිමේශයක්, නැත්නම් කාලයක්, නවාතැන්පොළක දිවි පැවැත්මක්, ඉතින්, මේ අගක් මුලක් නැති මේ සසර ගමනේදී තම තමන්ටම මවු වූ , පියවූ , සහෝදර, සහෝදරී වූ ආච්චී, සීයලා වූ, ඥාති ලෙස විවිධාකාරයෙන් ඉපදුණු සංඛ්‍යාව කොපමණද? කියලා කීමට සමත් කෙනෙක් නැහැ. ඒකයි බුදු බණ. ඉතින් එවැනි දිගු සසර ගමනක යෙදී ජීවත්වන අපේ මළගිය ඥාතීන් අප පින්දහම් කරන විට ඒ දිහා බලා ගෙන “අනේ අපටත් පින් ටිකක් දේවි” කියා බලා ඉන්නවා වෙන්නට හොඳටම ඉඩ තිබෙනවා. ඉතින් සද්පුරුෂයා මේ කරුණ හොඳින් තේරුම්ගෙන හොඳ පින්දහම් කරලා ඒ අයත් සිහිපත් කරමින් මළගිය ඥාතීන්ට පින් දෙනවා. මේකත් තවත් සද්පුරුෂ ලක්ෂණයක් විදියටයි බුදුහාමුදුරුවෝ පෙන්වා දී තිබෙන්නේ. ඒ නිසායි සද්පුරුෂයා මළගිය ඥාතීන්ටත් සිත සුව පිණිස ක්‍රියා කරනවා කියා කියන්නේ.
ඒ වගේම තමා තමන් ජීවත්වන රාජ්‍යයේ රජුට හෙවත් රජයට නියමිත අයබදු ගෙවමින්, ජනතාවගේ සිත සුව පිණිස රජය අනුගමනය කරන පිළිවෙත්වලට එකග වෙමින් පොදු ජනහිත සුව පිණිස ක්‍රියා කිරීමත් තවත් සද්පුරුෂ ලක්ෂණයක් ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මේ නිසා ඔහුට කිසිවිටෙක රාජභයක් ඇති වන්නේ නැහැ. රජයේ නීති රීති අණපනත් රෙගුලාසි අනුගමනය නොකෙරුවා කියා චෝදනාවක් නැහැ. ඒවාට පිටුපෑමක් නැති නිසාත් තමන් නිදහසේ සතුටින් ජීවත් වෙනවා.
සද්පුරුෂයාට දෙවියොත් ප්‍රිය කරනවා. මොකද? හැම විටම තමන් නිවැරැදිව ජීවත් වෙමින් ලද සැනින් දෙවියන්ටත් පින් පෙත් අනුමෝදන් වන දෙවියෝ එවැනි සද්පුරුෂයන්ට නිරන්තරයෙන් පිහිට ආරක්ෂාව සලසා දෙමින් එම සද්පුරුෂයන් විපතෙන් ආරක්ෂා කරනවා.
අවසාන හෙවත් අටවැනි කාරණය ලෙස දක්වා තිබෙන්නේ සද්පුරුෂයා මහණ බමුණන්ටත් සිත සුව පිණිස ක්‍රියා කරනවා. මෙයින් අදහස් කරන්නේ වර්තමානයේ නම් භික්ෂු මහා සංඝයා වහන්සේ ළඟින් ඇසුරු නිසුරු කරමින් උන්වහන්සේලාගේ සුවදුක් සොයා බලමින් තම යහපැවැත්මට අවශ්‍ය ගුරුහරුකම් ලබමින් තමන්ගෙන් සැදැහැති බෞද්ධයකු වශයෙන් ඉටු විය යුතු යුතුකම් අවබෝධ කරගෙන ඒවා ඉටු කරමින් මැනවින් දන්පැන් දෙමින් ධාර්මිකව ජීවත් වෙනවා යන්නයි. මේ නිසා වෙහෙර විහාරස්ථාන දියුණු වී භික්ෂු මහාසංඝයා වහන්සේ ද ස්වකීය දායක පක්ෂය වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ඔවුන්ගේ මොලොව පරලොව විමුක්තිය පිණිස ක්‍රියා කරනවා කියන මේ කරුණයි. මේ අටවැනි කරුණ අවසාන වශයෙන් සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන් සද්පුරුෂයා තම ගුණ, දහම් ප්‍රගුණ කරමින්, දන් පැන් දෙමින් මසුරු මල තලමින් ක්‍රියා කිරීම තුළ ඔහුගේ සිතේ රාග, ද්වේෂ, මෝහාදී කෙලෙස් මල දුරු කර නිවන් මග අත් කර ගැනීම දක්වා ක්‍රියා කරනවා කියන මේ කාරණය යි. ඒකයි සද්පුරුෂයාගේ අවසාන ඉලක්කය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිතෙහි ස්‌වභාවය පිළිබඳ බෞද්ධ විග්‍රහය

බිබිල, යල්කුඹුර, මො / ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනේ ආචාර්ය 
පදියතලාවේ ඤාණවිමල හිමි

බුදුදහමේ දී සිතට ලබා දී ඇත්තේ ප්‍රමුඛස්‌ථානයකි. එයට හේතුව නම් සත්ත්වයාගේ සසර ගමන දීර්ඝ වන්නේ ද යම් භවයක උපත ලද විටෙක එහි පැවැත්ම තහවුරු වන්නේ රඳා පවතින්නේ සිතේ ක්‍රියාකාරිත්වය මත නිසාය. සසරෙහි දිගුව උදෙසා කර්ම රැස්‌ කරන්නේ ද සසර කෙටි කිරීමට ප්‍රමුඛ වන්නේ ද සිත යි. බුදු දහමේ හඳුන්වා දෙන්නේ සිත පියවි ඇසට විද්‍යමාන නොවන සිරුරක්‌ නොමැති හදවත ඇසුරෙහි පවත්නා සජීවි වස්‌තුවක්‌ ලෙසය. සිත යනු මෙලොව පවතින අසහායතම වස්‌තුව යෑයි හැඳිනීම සාවද්‍ය නොවේ. සිත පිළිබඳ පරිපූර්ණ විමර්ශනයක්‌ මුලින්ම සිදුකරන ලද්දේ සිදුහත් බෝසතාණන් වහන්සේ විසිනි. බුද්ධත්වයට පත්වීමෙන් පසු වුව උන්වහන්සේ දේශනා කළේ සිතට සම කළ හැකි අන් එක ද වස්‌තුවක්‌ හෝ ලොව නැති බවයි (නාහං භික්‌ඛවේ අඤ්ඤං ඒකධම්මම්පි 
සමනුපස්‌සාමි යථයිදං චිත්තං). මුළු සංසාරයම පවත්නේ සිත නිසා බැව් මෙහි දී ප්‍රකාශිත ය. විටෙක සිත ප්‍රභාස්‌වර වන බවත් (පභස්‌සරමිදං භික්‌ඛවේ චිත්තං) තවත් විටෙක ආගන්තුකව පැමිණෙන උපක්‌කිලේස නිසා කිළුටට පත් වන බවත් (තඤ්ච ඛෝ අගන්තුකේහි උපක්‌කිලේසේහි උපක්‌කිලිට්‌ඨන්ති) වැඩි දුරටත් පෙන්වා දී ඇත.
සිත පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ සිත වහා පෙරළෙන සුළු ලක්‌ෂණයෙන් යුක්‌ත බව (ලහුපරිවත්තං චිත්තංති) පෙන්වා දී ඇත. අන් සියලු වස්‌තු පිළිබඳ උපමා ප්‍රකාශ කළ ද සිත පිළිබඳ එසේ නිශ්චිත උපමාවක්‌ ප්‍රකාශ කළ නොහැකි බව (උපමාපි නසුකරා) බුදුහිමියන් දේශනා කළ සේක. මේ පිළිබඳ වැදගත් ම නිදසුන් සපයන්නේ ධම්මපදයේ චිත්ත වර්ගයේ ඇති පහත ගාථාවයි.
''දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්‌සන්ති මොක්‌ඛන්ති මාර බන්ධනා'' 

මේ ගාථාවෙන් පෙන්වා දී ඇත්තේ ද සිතෙහි ඇති ස්‌වභාවය පිළිබඳවය. සිතට රූපයක්‌ නොමැති බවත් ඉතා සියුම් බවත් ඉන් ප්‍රකාශිත අදහසයි. සිත කෙතරම් වටනේ දැයි සඳහන් කරන්නේ නම් අප ඇසුරු කරන ශරීරයේ පැවැත්ම රඳා පවතින්නේ සිත එහි ඇති තාක්‌ පමණි. ශරීරයෙන් සිත ඉවත් වූ විගස සිරුර වහා විනාශ වී පොළොවෙහි පස්‌ වේ. යම් හෙයකින් සිත ගෝපනය නොකරන ලද්දාහු නම් එය පුද්ගලයාගේ අනර්ථය පිණිස පවතින බව අංගුත්තර නිකායේ අදාන්ත වර්ගයේ (යං ඒවං අදන්තං අගුත්තං අරක්‌තං අසංවුතං මහතෝ අනත්ථාය සංවත්තති) සඳහන් වේ. මේ නිසා සිත දමනය කර ගැනීමේ වැදගත්කම ඉහත ගාථා පාඨයෙන් පෙන්වා දෙන අතර ම එසේ නොකර ගන්නේ නම් එයින් සිදුවන විපත/පරිහානිය පිළිබඳව ද කදිම නිදසුන් බුද්ධ සමාජය ඇසුරින් ම ප්‍රකට වේ. සිත නපුරට පෙළඹවීමෙන් ඇති කර ගන්නා වූ විනාශය පිළිබඳව පැහැදිලි කරන බුදුහිමියෝ සිත තරම්ම තමන්ට වෙනත් සතුරෙකු නැතැයි ව¹ළ සේක. සිත දමනය කිරීමට කෙතෙක්‌ උත්සාහ කළ ද එය දියෙන් ගොඩ දැමූ මත්සයෙකු දියට නැවත පැනීමට දඟලන්නාක්‌ මෙන් සිතට තමන් ප්‍රිය කරන අරමුණු ඔස්‌සේ දිවයැමට, ඇසුරු කිරීමට දඟලන බව පෙන්වා දී ඇත. එහි දී නුවණැත්තා ක්‍රියා කළ යුතු වන්නේ ඉතා සූක්‍ෂම අයුරින් බව පෙන්වා දෙන බුදුහිමියෝ හීවඩුවා හීයෙහි ඇද හැර Rජු තත්ත්වයට පත්කිරීමට වෙහෙසෙන්නේ යම් සේ ද ඒ ආකාරයට වෙහෙසිය යුතු බව දේශනා කරති. 
යම් හෙයකින් ඉහත සඳහන් කළ පරිද්දෙන් තම සිත මනාලෙස පිහිටුවා ගැනීමට හැකි වන්නේ නම්, සමත් වන්නේ නම් තමා උසස්‌ බවට පමුණුවන බව පෙන්වා දුන් සේක. එම උත්තරීතර ස්‌වභාවය තමන්ගේ දෙමාපියන්ට හෝ ඤාතීන්ට හෝ අසල්වාසීන්ට ලබා දිය හැකි උසස්‌ තත්ත්වයක්‌ නොව තමන් විසින්ම උපදවා ගත යුත්තකි. නුවණැති තැනැත්තා සිත මනාව සංවර කරගන්නා අතර එහි ප්‍රතිඵල ලෙස සැප විපාක වින්දනය කරයි. බුදුසසුන තුළ අර්හත් මාර්ගඵල ලැබූ භික්‌ෂූන් වහන්සේලා හා භික්‌ෂුණීන් වහන්සේලා බොහෝ විට එම උසස්‌ තත්ත්වයන්ට පත්ව ඇත්තේ තත් ස්‌වභාවික පරිසරයෙන් ලබාගත් උපමාවන් ආශ්‍රය කරගෙන ධෛර්ය සම්ප්‍රයුක්‌තව වීර්යය වැඩීමෙනි. විජිතසේන හිමියන් පිළිබඳව සඳහන් කිරීමේ දී උන්වහන්සේ දක්‌ෂ ඇතරුවෙක්‌ අලුත අල්වාගත් නොදැමුණු ඇතෙක්‌ දමනය කරන්නට සමත් වන්නේ ද එපරිද්දෙනි. මීට අමතරව පටාචාරා භික්‌ෂුණිය ද අර්හත් භාවයට පත්වන්නේ එවන් වූ ම සිතුවිල්ලක්‌ පහළ කරගැනීමෙනි. ඇය දක්‌ෂ අස්‌ගොව්වෙක්‌ අජානීය අශ්වයෙකු දමනය කිරීමට සමත් වන්නේ යම් සේ ද මිනිසාට ද තමන්ගේ සිත එපරිද්දෙන් දමනය කර ගැනීමට හැකි බව ප්‍රකට කරමින් අර්හත්වයට පත්වූවාය. ඇය ධෛර්යය වඩා පහන අතින්ගෙන සයනයෙහි හිඳ විදසුන් වඩා පහන්සිළ නිවෙනවාත් සම`ගම අර්හත්වයට පත් වූ බව සඳහන් සාසන ඉතිහාසයේ වේ. 
වේදේහිකාගේ කතාපුවතින් පෙන්වා දෙන්නේ ද සිත දමනය කර නොගැනීම නිසා ඇති වූ විපතක්‌ පිළිබඳව ය. වේදේහිකාව සමාජයේ ප්‍රකටව සිටියේ මෛත්‍රී සහගත සිතිවිල්ලෙන් යුක්‌ත උත්තරීතර තැනැත්තියක ලෙස ය. නමුදු ඇගේ සේවිකාව ඇගේ මේ මෛත්‍රී සහගත සිතුවිල්ල අභියෝගයට ලක්‌ කරමින් එය සත්‍යය වූ මෛත්‍රියක්‌ දැයි පරීක්‌ෂා කිරීමට කටයුතු කළාය. එහි දී ඇගේ එම පරික්‌ෂාවේ ප්‍රතිඵලයක වූයේ වේදේහිකාවගේ මෛත්‍රී සිතිවිලි ක්‌ෂණිකව වෙනස්‌ වන්නක්‌ වන බවයි. ඇගේ කීර්ති රාවය වෙනුවට ඉන් පසු සමාජයේ ව්‍යාප්ත වූයේ ඇගේ නපුරු සහගත ක්‍රියාකාරකම් පිළිබඳව ය.
මිනිස්‌ සිතෙහි ක්‍රියාකාරිතාව ප්‍රකට කෙරෙන ජාතක කතා රාශියක්‌ ද හමු වේ. පුරුෂයින්ගේ සිතිවිලි දිගහැරෙන අන්දම හා කාන්තාවන්ගේ සිතෙහි ස්‌වභාවයන් පිළිබඳවත් සමාජයේ නොයෙකුත් පුද්ගලයින්ගේ සිතිවිලි ක්‍රියාත්මක වන අන්දමත් පිළිබඳව සියලූම ජාතකකතාවන් ආශ්‍රය කර ගැනීමෙන් අවබෝධ කරගත හැකිවන්නේය. එහි සමහර කතාපුවත් මගින් සිත මනාව සංවර කරගැනීමෙන් ලබාගත් ජීවිත සාර්ථකත්වය පිළිබඳ විස්‌තර කර ඇති අතර ඇතැම් ජාතකකතාවලින් පෙන්වා දෙන්නේ සිත හික්‌මවා නොගැනීම හේතුවෙන් ජීවිත විනාශයට පමුණුවා ගත් ආකාරය පිළිබඳව ය. 
අක්‌කෝසක භාරද්වාජ බුදුන් සරණ යැමට පළමුව බමුණුමත ගරු කළ අයෙකි. එසේම බුදුන් කෙරෙහි දැඩි කිපුනු බවින් ක්‍රියා කළ අයෙකි. බුදුරදුන් කෙරෙහි ශ්‍රද්ධා සම්පන්න කාන්තාවක වූ ඔහුගේ භාර්යාවගේ ක්‍රියාකලාපය ගැන කිපුනු ඔහු බුදුන් හමුවට ගොස්‌ කිසිදු ගරු සරු බවක්‌ නොපෙන්වා දිගින් දිගටම දෝෂාරෝපණය කළේය. බැනීමෙන් වෙහෙසට පත් ඔහු බුදුරදුන් ඔහුගේ දෝෂාරෝපණය ගැන කම්පා නොවී සිටීමෙන් මහත් පුදුමයට පත්විය. එහි දී බුදුන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයට පත් ඔහු බුදුන් දේශනා කළ උපදේශය ඇසීමෙන් තවත් චිත්ත ප්‍රසාදයට පත්විය. එහි දී බුදුන් වහන්සේ ඔහුට පෙන්වා දුන්නේ ඔහුගේ දෝෂාරෝපණයන් තමන් භාර නොගත් බවත් යම් සේ නිවසට ආගන්තුක පිරිසක්‌ පැමිණි විටෙක හෝ ඤාතීන් පිරිසක්‌ පැමිණි විට ඔවුන් උදෙසා පිරිනමක භෝජනයක්‌ යම් සේ ඔවුන් සුහදව ප්‍රතික්‌ෂේප කරන්නේ ද ඔවුන් නිවසින් ගිය විට තමන් එය අනුභව කරන්නේ කෙසේ ද එසේම භාරද්වාජගේ දෝෂාරෝපණයන් තමන් සුහදව ප්‍රතික්‌ෂේප කළ බවත් එය නැවත ඔහුටම පිරිනැමූ බවයි. උන්වහන්සේගේ ශාන්ත ස්‌වරූපයෙන් භාරද්වාජ වඩාත් ප්‍රසාදයට පත්විය. අවසානයේ දී සසුනේ පැවිදිව අර්හත්වයට ද පත්විය.
තමන්ගේ නැතිවුණු ගවයෙක්‌ සොයා වනයේ සැරිසැරූ එක්‌ බමුණෙක්‌ ගසක්‌ මුල ශාන්ත ලීලාවෙන් වැඩ සිටි බුදුන් වෙත පැමිණ තමාගේ දුක්‌ ගැනවිල්ල ප්‍රකාශ කළේය. ඒ දෙස සාවදානව අසාසිටි උන්වහන්සේ නිසා ගිනිගෙන දැවෙනා වනයක්‌ ක්‍රමයෙන් නිවී යන්නාක්‌ මෙන් ඔහුගේ ඇවිලෙමින් තිබූ ශෝකය සහ දුක බුදුරදුන් ඉදිරියේ කියා පෑම නිසා මහත් සැනසිල්ලක්‌ ලැබුවේ ය. දැවෙන මිනිස්‌ සිත නිවා ගැනීම උදෙසා බුදුරදුන් දේශනා කර ඇති දේශනාවන් ඇසුරු කිරීමෙන් ශාන්තිය උදා කර ගත හැකි අන්දම මේ කතා පුවත් තුළින් මනාව ප්‍රකට වේ. බුදුරදුන් ඒ සඳහා අනුගමනය උපාය මාර්ගයන් අති ශ්‍රේෂ්ඨ ය. අනෙක්‌ ආගමික නායකයින්ට වඩා උන්වහන්සේ සුවිශේෂ වීමට ප්‍රබල සාධකයක්‌ වූයේ අන්‍යයන් කෙරෙහි උන්වහන්සේ සතුව පැවති මහාකරුණාවයි. එය සම කිරීමට හැකි තැනැත්තෙක්‌ මේ පොළෝ තලයේ නොසිටියේ ය. 
මිනිසාගේ සිත දමනය කර ගැනීමට වෙහෙසීමෙන් පවිත්‍රත්වයට පත්විය හැකි අතර ම සමාධිය කරා යොමුවීමේ දී ද වැදගත් වේ. කෙළෙස්‌වලින් සංසිඳීමට යමෙක්‌ සිත දමනය කිරීම උදෙසා වෙහෙස වේ ද අධිෂ්ඨානශීලීව කටයුතු කරයි ද ඒ මිනිස්‌ සිතෙහි සුන්දරත්වය ස්‌වභාව සුන්දරත්වය අභිබවා සිටීමට සමත් ය. සිත විමුක්‌තිය කෙරෙහි මෙහෙය වූ භික්‌ෂූන් වහන්සේලා අර්හත්වයට පත්වීමේ අනතුරුව ලොව ස්‌වභාව සුන්දරත්වය දෙස බලා ඇත්තේ නිරාමිෂ ප්‍රීතියෙනි. උතුම් අර්හත්වයට පත්වීමෙන් අනතුරුව උන්වහන්සේලා දේශනා කළ උදානයන් ආශ්‍රයෙන් ද ඒ බව මනාව ප්‍රකට වේ. ඛුද්දක නිකායේ ථේරගාථා හා ථේරිගාථා ආශ්‍රයෙන් මේ බව තවදුරටත් අවබෝධ කරගත හැකිය. මොහොතින් මොහොත වෙනස්‌ වන සිත නිසා ඇති වන බොහෝ විනාශයන් වළක්‌වා ගැනීමේ නිවැරදි මාර්ගය වන්නේ මිනිස්‌ සිත පිවිතුරු කර ගැනීමයි. පිරිසිදු සිතකින් අනර්ථයක්‌ කිසිලෙසකින් හෝ තමන්ටත් අනුන්ටත් සිදු නොවන බව බුදුහිමියන් දේශනා කර ඇත. මිනිස්‌ සිත සොඳුරු පරිසරය හා බද්ධ වීමෙන් පරිසරයේ ද සොඳුරු බව ඇති කරන නිසා බෞද්ධ ප්‍රතිපත්තීන්හි නියුක්‌ත අප ද සොදුරු සිතක්‌ ඇති කර ගැනීම උදෙසා අධිෂ්ඨානශීලී විය යුතුම ය. 

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නිවැරැදි විය යුතු පසුතැවීම

හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවතආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි 
ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි

ගෞරවනීය ස්වාමීන් වහන්ස, පසුතැවීම හෙවත් පශ්චාත්තාපවීම යන වචනය නිතර අප භාවිතා කරනු ලබන වචනයක්. එම මනෝභාවය තේරුම් ගැනීමත් එම මනෝභාවය කුමන ආකාරයෙන් අපට ප්‍රයෝජවත් වන්නේද? නොවන්නේද? යන කාරණාව පසුතැවීම යන කරුණට අදාලව ධර්මානුකූලව කෙසේ වටහාගත යුතු ද?
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව යමි පුද්ගලයකුට යමිකිසි ක්‍රියාවක් කළ විට එහි ප්‍රතිඵල බුක්තිවිඳින්නට වන්නේ කදුළු පිරි මුහුණින් නම්,එම පසුතැවීම සාධනීය පසුතැවීමක් නොවෙයි. කඳුළු පිරි මුහුණින් එහි විපාක විඳිනවා කියන්නේම දුක යන හැඟීමට පමණක් යටත්වීමෙන් අවබෝධය කරා යාමට තිබෙන අවස්ථාව නැතිකර ගැනීමය. සමහර කාරණා ක්‍රියාත්මක කළ විට එහි ප්‍රතිපල අපට බුක්ති විදින්නට ලැබෙන්නේ සිනහමුසු මුහුණින් වුවද, සමහර අවස්ථාවලදී කඳුළු සලමින් එහි ප්‍රතිඵලය බුක්ති විඳීමට සිදුවෙයි. ප්‍රතිඵලය පිළිබඳව කල්පනා කරමින් සිටින විට, යමිකිසි ආකාරයකට දුකක් වේදනාවක් දැනුනත්, අප නිවැරැදි වනවා නමි, ගැටළුවක් වන්නේ නැහැ. එම දුක සහ එම ෙවිදනාව ඔස්සේ අප නිවැරැදි වනවා නමි,එම පසුතැවිල්ල යහපත් පසුතැවිල්ලක් ෙවිවි.

අප කළ වැරැද්ද සම්බන්ධව දුක උරුම කළ කාරණාව පිළිබඳව වටහා ගැනීමකින් තොරව වෙන කාරණා සිතාගෙන අඬනවා නමි අපගේ පසුතැවිල්ලෙන් අප නිවැරැදි වන්නේ නැහැ. ,පසුතැවිල්ල තුළ සාධනීය පැත්තක් වගේම නිශේධනීය පැත්තකුත් තිබෙන බව අප දැනගත යුතුයි. පසුතැවී පසුතැවී සිටින්නේ කුමටද? කියලා යමි පුද්ගලයෙක් ප්‍රශ්න කළ හැකියි. පසුතැවීම තුළ සිදුවන්නේ ,මම කළ අයහපත් ක්‍රියාව පිළිබඳව පසුතැවෙනවා නමි,එම පසුතැවීම සාධනීයයි. නමුත් පසුතැවීම තුළ තවදුරටත් මම මනසිනුත් කඩාවැටීම නමි,නිවැරැදි වීමක් නොවෙයි නමි,එම පශ්චාත්තාපය හෙවත් ක්‍රියාකාරකමට පසුව ඇතිකරගන්නාවූ තැවීම දැවීම යහපත් නොවන නිශේධනීය කාරණාවක් වෙයි.
බෞද්ධයන් ලෙස අපගේ ජීවිත තුළ පසුතැවීම යන මනෝභාවය රහත් වන තුරුම වරින් වර පැමිණෙන අතර එය නැවැත්වීය නොහැකියි. සෑම විට අප උත්සාහ කළ යූත්තේ පසුතැවීම තුළ නිවැරැදි වීමටයි. පසුතැවීම වැසීමට අප වෙනත් දේ කළාට කවදාවත් නිවැරැදි වන්නේ නැහැ. එක ස්වාමිදියණියක් තම ජීවිත කාලය පුරාම බොහොම රළු ආකාරයට තම ස්වාමිපුරුෂයාට නපුරුකමි කළා. දැඩිලෙස ඔහුට පිඩාදෙමින් ඔහුට දුක උරුම කරමින් දරුවන් ඉදිරියේ ඔහු හෑල්ලුවට ලක්කරමින් කටයුතු කළා. ටික කලක් ගත වන විට ඔහු අධික ලෙස කායිකව රෝගාතුර වූවිට එම කාන්තාව තම ස්වාමිපුරුෂයාගේ කායිකව ඇතිවුණ රෝගවලට ඇප උපස්ථාන කළා. කාලය ගත වීමත් සමඟ ඔහු මිය ගියා. ඔහු මිය ගියාට පසු ්එම කාන්තාව විවිධ පන්සල් තෝරාගෙන විවිධ පිළිම තබමින් විිවිධ බෝධිප්‍රකාර බඳිමින් කටයුතු කරනු ලැබුවත් ඇයට එයින් ගැලවීමක් නැහැ.මගේ ස්වාමිපුරුෂයා රෝගී විමට ප්‍රධාන හේතුව වූයේ මම විසින් ඇතිකළ පීඩාව තුළ ඔහු පළමුවෙන්ම මනසින් ගිලන් වීම නිසයි. මනසින් ගිලන් වූ විට කයෙන් ගිලන් වීමට පටන් ගන්නවා. කය ලෙඩ වුණාට පසුව කරන සැලකිලි උපස්ථාන සියල්ලම තමාගේ සාවද්‍ය මනසින් නිදහස් වීමට කරන වැඩ. දැන් ඇය බෝධිඝර, පන්සල්වල තාප්ප අෂ්ටපරිස්කාර පුජාවන් ආදී පින්කමි රාශියක් කරනු ලබයි. තවම ඇයගේ සාවද්‍ය මනසින් ඇයට නිදහස් වීමට බැරිවුණා.
ඇය තම ජීවිත කාලය පුරාවටම තම ස්වාමිපුරුෂයාට සතුටක් අත්වන ආකාරයට ජීවත් නොවුන බව ඇය දන්නවා.අප කරනු ලබනදේ පිළිබ ඳව පසුතැවීම කියන කාරණාවෙදි එවැනි දේ තුළින් වසාදැමීමට දැඟලුවත් එය කවදාවත් වසන්න බැහැ. අපගේ රෙටි බොහෝ මිනිසුනට සිදුව ඇත්තේ තමාගේ වෘත්තීයමය තත්වය අදාළ ආයතනය තුළදී පමණක් භාවිත කිරීමට නොතේරෙන කමයි. තමන්ගේ වෘත්තීමය තත්වය තමන්ගේ ආයතන තුළ පමණක් පාවිචිචි කරලා ඒ අය ගෙදරට පැමිණෙන විට ගෘහයට අදාළ වන තත්වයේ සිටිනවා නමි, මිනිසුන්ට හිංසා කරනු ලබන්නේ නැහැ. කාන්තාවන් පිරිමින්ටවත් , පිරිමි කාන්තාවන්ටවත් මානසික හිංසා කරන්නේ නැහැ.
එම කාන්තාවට සිදුවුණ දෙය සත්‍ය වශයෙන්ම ඛෙදවාචකයක්. කළු ලෑල්ලයි ෙවිවැලයි පාසලේ තබා ගෙදර පැමිණීමට එතුමියට බැරිවුණා. එතුමිය ගෙදරට පැමිණිලත් තමන්ගේ ස්වාමිපුරුෂයා ශිෂ්‍යයකු ආකාරයට දකින්න ගත්තා. තමන්ගේ දරුවන් දරුවන් ආකාරයට නොදැක ඔවුන් පන්ති කාමරයේ සිටින ශිෂ්‍යයන් ආකාරයට දකින්න උත්සාහ කළා. ඇය කළ ක්‍රියාකාරකම් අවසානයේදී ඇය විඳවන්න වෙන තැන කරා රැගෙන ගියා. ඇයගේ විශ්‍රාම දිවියේ සම්පූර්ණ විශ්‍රාම වැටුප සම්පූර්ණයෙන්ම පින්දහමි සඳහා වියදමි කරනවා. එහෙත් ඇය සුවපත් නොවී සැම විටම මානසික පීඩාවෙන් ජීවත් වෙනවා. තමන් තම ස්වාමි පුරුෂයාට ක්‍රියාකළ ආකාරය නිවැරැදිද? මිනිසුන් මරුණාට පසුව පැමිණෙන සාවද්‍ය හැඟීම දරාගැනීම හරිම අපහසුයි. පින්දහමි නොකළානමි , එතුමිය ෙමිවනවිටත් මානසික රෝහලේ රෝගියකු විය හැකියි. අපගේ වාසනාවකට වගේ සත් දවසේ පින්කමි තුන්මාසයේ පින්කමි,අවුරුද්දේ පින්කමි ආදී පින්කමි තුළින් පින්දීල මානසික පීඩාවන්ගෙන් නිදහස් වීමට යමි යමි පින්කමි කොටසක් තිබෙනවා. එසේ නොවුණා නමි, තමන් කළ ක්‍රියාකාරකම පිළිබඳව පැමිණෙන සාවද්‍ය හැඟීමෙන් කෙසේ නිදහස් විය හැකිද? ඔබගේ ජීවිතයට එවැනි පසුතැවිලි ඇතිවන ආකාරයෙන් අනෙකුත් අයට කටයුතු කරන්න යන්න එපා.ඔබ සැම විටම උත්සාහ කළ යුත්තේ තමන් කරන දේ පිළිබඳව අනෙකුත් පුද්ගලයාට දැනෙන්නේ කොහොමද? කියන කාරණාව පිළිබඳව සිතල කටයුතු කිරීම වැදගත් වෙයි.
ඔබගේ හැම හැසීරීමක්ම අනෙකුත් පුද්ගලයාට කායිකව අපහසුවක් නොවුණත් දිවිනසා ගැනීමට සිතෙන තරමි මානසික අපහසුතා ඇතිකරනවා විය හැකියි.ඔබ ප්‍රකාශ කරන වාක්‍ය ඔබ අනෙකා දෙස බලන ආකාරය ඔබ අනෙකුත් පුද්ගලයාට ආහාර පාන දෙන ආකාරය , ඔබ ගෙදරට පැමිණුනාට පසුව අනෙකුත් පුද්ගලයාට පෙනෙන්න බෑගය සෙරෙප්පු තබන ආකාරය යන සෑම ක්‍රියාකාරකමක් තවත් අයෙකු මානසිකව හොඳටම තුවාල කළ හැකියි. පසුවදී හෝ තමන් අයෙකුට තුවාල කළබව දැනගතහොත් එයාගේ ඉතිරි ජීිවිත කාලයම හරියට විඳවල මැරෙන්න සිදුවෙයි. පින්කමි කෙතරමි කරනු ලැබුවත් ඇතිවීමක් නැත්තේ සහ මම අසවලා වෙනුවෙන් පින්කමි කළා තව මදිද ? යනුවෙන් තව අයගෙන් විමසනු ලබන්නේත් තමා තුළ පවතින සාවද්‍ය චේතනාවමයි.
ඇතැමි අවස්ථාවලදී මරණයකට පසුව අපට ඇඬෙන්නේ අහිංසකව නොවෙයි. මරණයකට පසුව ඇඬෙන විට සමහර විට අපට එවැනි ප්‍රශ්න තිබිය හැකියි. මම ඔහුට හෝ ඇයට සැලකුවා ඇතිද? කාගේ හෝ මරණයකට පසුව බොහොම තදින් පැමිණෙන හැඟීමක් . මම සලකපු ආකාරය හරිද? එවැනි ආකාරයට ඔබගෙන් මඟහැරී ගිය පිරිස් ඇති වුණත් ඉතිරි අය සම්බන්ධව එසේ වෙන්න එපා. යමි පුද්ගලයන් පිළිබ ඳව ඔවුන් වෙනුවෙන් ඔබගේ යුතුකමි කොටස ඉෂ්ට නොකළා විය හැකියි. එය අප පීඩාවට පත්වන ආකාරය තැනැත්තෙක් හෝ තැනැත්තියක් සමඟ මෙතෙක් කාලයක් ඔබට ජීවත් වීමට නොහැකි වුණා විය හැකි වුණත් ඉදිරියට හෝ ඔබ බාහිර පුද්ගලයන් සමඟ සැමියා බිරිඳ දරුවන් දෙමවුපියන් ඥාතීන් සමඟ හෝ නොනෑයන් සමඟ වැඩකටයුතු කරද්දී සැම විටම මම මේ කරගෙන යනු ලබන වැඩ කලාව අනුව පසුව පසුතැවිලි නොවී සිටීමට මට හැකිවෙයිද? පසුතැවිලි නොවී සිටීමට හැකිදේ පමණක් ඔබ කරන්න.
පසුතැවිලි නොවී සිටීමට නමි, කෙතරම් ද්වේෂ සහගත වුවත් එවැනි දේවල් කරන්න එපා. පසුකාලීනව නිවැරැදි කීරීම සදහා කෙතරම් දේවල් කරනු ලැබුවත් එය හරියන්නේ නැහැ. ඇතැමි පිරිස් කිසිදුි කලබලයකින් තොරව සැමදාම පින්දහමි කරගෙන ගිය ආකාරයට පින්දහම් කරගෙන යනවා. අවුරුදු පනහක් හැටක් යනකම්, කිසිදු පිනක් දහමක් නොකර ඉඳල එකසැරයටම භාවනා කරමින් පින්කමි කරමින්,ඉඩකඩමි පූජාකරකමින් විශාල ගොඩනැගිලි හදමින් බොහෝ දේ කරනු ලබන්නේ සාවද්‍ය මනසින් නිදහස් වීමටයි. එම කරන දේ තුළින් ඔහුට පින්රැස් වුවත් කුසලයක් වැඩෙන එකක් නැහැ. ඔහු කරනු ලබන්නේ සාවද්‍ය මනස මඟහැරීම නිසයි.
තමන් ගත කරනු ලැබූ වැරැදි ජීවිතය මතක් වෙන එක නවත්වාගැනීම සඳහා වෙන ක්‍රියාකාරකම් කරනු ලබනවා. එම වැඩ ඇතුලෙ අප ඔවුන් ප්‍රශංසාවට ලක්කරනු ලබනවා. අප එම පිරිස් උස් ස්ථානවලට ඔසවාගෙන යනවා. එවැනි ආකාරයට දැවැන්ත ලෙස වියපැහැදමි කරන පුද්ගලයකු දුටුවිට අප ඔහු සමාජය ඇතුළත ප්‍රබලයකු ආකාරයට පත්කරනු ලබනවා. තමන් මෙම දේ කරනු ලබන්නේ ඇයිද? කියන කාරණාව එම පුද්ගලයා වටහාගනු ලබන්නේ නැහැ. ඔහු කරන ක්‍රියාකාරකම් පිළිබදව අවසානයේදී ඔහුම රැවටීමට පටන් ගන්නවා .මෙම කාරණා හොඳින් වටහා ගත යුතුයි.
ඔහු හෝ ඇය විසින් කරන්නාවූ වැඩ වලට වසඟවීම නිසා ඔහු හෝ ඇය රැවටීමට භාජනය වීමට පටන් ගනී. සෑම ස්ථනයකින්ම ප්‍රශංසා ලැබෙන විට, මම මෙම කාර්යයට අතගසන්නේ සාවද්‍ය මනසින් නිදහස් වීමට බව ඔහුටම අමතක වී යයි. තමා විසින් කරනු ලැබූ වැරැදි කාර්යයකට සමාව ගැනීමක් කරන බව ඔහුටම අමතක වෙයි. ඔහු හෝ ඇය ඊළඟ භවය කරා ගමන් කරනු ලබන්නේත් තමන් කළ වැරැදි නිවැරැදි කරගෙන නොවේ. එය අවබෝධ කරගත යුතුයි. මෙවැනි දුර්වල කාරණාවන් හදා ගැනීමකින් තොරව යහපත් ප්‍රතිඵල ලබාගත නොහැකියි. මිනිසුන් තමන්ගේ බුද්ධිය වර්ධනය කර ගත යුතුයි. තමන්ගේ ජීවිතය සමිබන්ධව නැවත නැවතත් මිනිසුන් කල්පනා කළ යුතුයි. දුර්වලතා තේරුම් ගෙන හැකි තරම් නිවැරැදි විය යුතුයි. කෙලෙස් විසින් අප නැවතද නැවතද පහළටම ඇද දමන නිසා එය එතරමි පහසු කාර්යයක් නොවිය හැකියි. නැවත වටහාගනු ලැබුවහොත් නැවත වතාවක් නැගී සිටිය හැකියි. අප පින් කරන බව සත්‍යයක් වුවද, මෙලොව තුළ අපට විශාල සතුටක් දැනෙනවා. පින්කමි කළාට පසුවත් විශාල සතුටක් ලැබෙනවා. පින් කළ අය මෙලොවත් පරලොවත් සතුටට පත්වෙනවා. යහපත් ස්ථානවල උප්පත්තිය ලැබුණ විට මම කළ පින් නිසා මෙම දේවල් ලැබුණ බව ප්‍රකාශ කරමින් සිතමින් සතුටට පත්වෙනවා. දුර්ගුණ එකක්වත් අඩුවීමකින් තොරව පින් පවි පලදීමට පටන් ගනියි. අප සසර භවවලදී දන් දීල තිබෙන නිසා අපට ලැබෙන බවත් එනිසාම අප වර්තමානයේදීත් දීම පුරුදු පුහුණු කරන බව ඇතැමුන් සතුටින් යුතුව ප්‍රකාශ කරනු ලබයි. පින්වලට වසඟ වීමෙන් පින් බුක්ති විඳිමින් ගියාට නැවත නැවත පින් වැඩ කළාට පින්වල ඇතුළත දුර්ගුණ යහගුණ වන්නේ නැහැ. නිවැරැදිව බුද්ධිමත්ව තේරුම් නොගෙන මෙය පටලවා ගනු ලැබුව හොත් සසර පුරාම සංසාර ගමනෙහි නිමාවක් දකින්නට ලැබෙන එකක් නැහැ.අකුසල් ඛන්ඩනය කරමින් කුසල් නොවැඩුවහොත් නිවන් දැකීමට නොහැකි වෙයි. කරන ලද පින්වලට අනුව සසර පුරා සැප විඳිමින් සංසාර ගමන යාහැකියි. සසර පුරා සැපලැබෙයි. පින් කිරීම අවශ්‍ය කාරණාවක් වුවත්, නිවන් දකින්නට ලැබෙන්නේ කුසල් වැඩුණහොත් පමණයි. කුසල් වැඩෙන්න වැඩෙන්න අපගේ අකුසල් දුරුවී යයි. අපගේ අවසාන විමුක්තිය වන නිර්වාණය සාක්ෂාත් කරගන්නට අපට අවකාශයක් උදාවන්නේම කෙතරම් දුරකට කුසල් සිත වැඩෙනවාද? යන කාරණාව තුළයි.
ඔබගේ මනසෙහි ඇතිවන තැවීම වසාගැනීමට යමි යමි දේ කරන්න යන්න එපා සසර පුරා සැප ලැබීමට පින් කළාට වරදක් නැහැ. ඔබ යමිකිසි දුර්ගුණයක් සහිතව ජීවත් වුවා නමි,එම දුර්ගුණය වටහාගත යුතුයි. කවුරුන් හෝ මියගියාට පසුව හෝ එය නිවැරැදිව වටහා නොගත හොත් නැවතත් එය සසර ගමනට රැගෙන යයි. දුර්ගුණය වටහාගනු ලැබුව හොත් කවදාවත් ්එම දුරුගුණය සහිතව තවකෙනකුට එවැනි ආකාරයෙන් කටයුතු කරන්නේ නැහැ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, පසුතැවීම තුළ පුද්ගලයා ධාර්මිකව නිවැරැදි වන්නේ කෙසේද?
මම ප්‍රාණඝාත කිරීම පිළිබඳව මම පසුතැවෙනවා යනු මම නැවත ප්‍රාණඝාත කරන්නේ නැහැ යන අර්ථයයි. තමා සුරාව පානය කළ පුද්ගලයකුවීම පිළිබඳව තමා විසින් පසුතැවෙනවා යනු තමා සම්පූර්ණයෙන්ම සුරාපානයෙන් ඉවත්වෙනවා යන අර්ථයයි. එය නිවැරැදි වූත් සාධනීයවූ ත් පසුතැවීමක් වෙයි. සාධනීය පසුතැවීමක් තුළ පුද්ගලයකු සමිපූර්ණයෙන්ම වෙනස් වෙයි. අප තුළ සාධනීය පසුතැවීම නොමැතිකම අපට තිබෙන ගැටළුවයි. එම අවස්ථාව තුළ හඬමින් ලතෝනි දීම පමණක් කරනවා හැර එය පිළිබ ඳව කල්පනා කරනු ලබන්නේ නැහැ. කෘතීම ලතෝනි දීමි, කෘතීම හඬා වැළපීම්, සමඟ මරණ ගෙවල් තුළ හඬමින් කරනුලබන ප්‍රකාශ කිසිවක් තුළ ඔවුන් නිවැරැදි වීම ට කරනු ලබන්නාවූ ප්‍රකාශ නොවෙයි. හුදෙක් එම අවස්ථාවන් තුළ ඔවුන්ගේ මානසික ලිහිල් බවට කරනු ලබන ප්‍රකාශ වෙයි. අප කරනු ලබන්නාවූ අයහපත් ක්‍රියාවන් තුළින් මානසිකව ලිහිල් වූවාට පමණක් ප්‍රමාණවත් නැහැ. අප කරන ක්‍රියා අයහපත් බව වටහා ගත යුතුයි. අහපත් ක්‍රියා අයහපත් බව වටහාගත් විට ඇතැමි විට ඇසට කදුළු නැගෙයි. ඇතැමි විට කෑ ගැසෙයි. වැදගත් වන්නේ එය ක්‍රියාත්මක වන ආකාරයට වඩා එය නිවැරැදිව වටහාගෙන එම අයහපත තුළින් ඉවත්වීමයි. ඉතාම හදිස්සියෙන් එම අවස්ථාව තුළ අප යමි යමි දේ කරනු ලබන්නේ අපගේ සාවද්‍ය මනස මඟ හැර යාමට පමණයි. එම නිසා පශ්චාත්තාපය පිළිබ ඳව පළමුවෙන්ම වටහාගත යුතුයි. යමිකිසි පුද්ගලයකු මුලින් වැරැදි කරනු ලැබුවත් පසුකාලීනව තමන් කරනු ලැබූ ක්‍රියාවන් පිළිබඳව ඉතාම අවබෝධයෙන් යුක්තව පසුතැවීමක් පැමිණුනහොත් පමණයි.
අංඟුලිමාල ස්වාමින් වහන්සේ ගිහියකු ලෙස සිටි අවදිය තුළ ඉතාම අයහපත් ක්‍රියා පිළිවෙතක නියැලුණා. බුදුරජාණන් වහන්සේ සමඟ කරනු ලැබූ සංවාදයෙන් පසුව තමන් කරන ලද කාර්යයෙහි තිබෙන්නාවූ වැරැදි සහගත බව පිළිබඳව ඔහුට විශාල පසුතැවිල්ලක් ඇතිවුණා. එම පශ්චාත් තාපය අංඟුලිමාල රහතන් වහන්සේ දක්වා ගමන් කිරීමේ මාවත විවර කර දුන්නා. උන්වහන්සේ කළ අයහපත් ක්‍රියා තුළ පැවැති වැරැදි සහගත බව තුළ ඇති වුණ පශ්චාත්තාපය හෙවත් පසුතැවිල්ල උන්වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පරිවර්තනය කරන විශාල බලයක් වුණා. ආර්ය ජාතියේ ඉපදුණ දා පටන් මම කිසිම ජීවියකුගේ ප්‍රාණය නිරුද්ධ කළේ නැහැ. යනුවෙන් එම පසුතැවිම නව උපතකට මඟ පාදා දෙනු ලැබුවා. උන්වහන්සේ කළ ඝාතනයන් පිළිබඳව බුදුපියාණන් වහන්සේ සමඟ කළ ගැඹුරු සංවාදයකින් කරුණු කාරණා වටහාගැනීමෙන් පසුව එයින් සමිපූර්ණයෙන්ම ඉවත් වුණා. එය තුළ ගොඩනැගුණ බලශක්තිය රහත් බව දක්වා ගමන් කළා පමණක් නොවෙයි, තවත් බොහෝ දෙනකුට ආශිර්වාදයක් කිරීමට තරමි බලයක් ගැබිවුණා. දරුවකු ලැබීමට සිටින මවකට සෙත් පතමින් ප්‍රකාශ කරන්නේ නිවැරැදි පසුතැවීමක් නිසා ශ්‍රේෂ්ඨත්වයට පත්වුණ අංඟුලිමාල තෙරුන් පිළිබඳවයි. පසුතැවීම නිශේධනීය කාරණාවක් නොවන බව එතුළින් වටහාගත හැකියි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස,පසුතැවීම යන මනෝභාවය කෙලෙස් නසන තෙක් පවතී . එසේ වුවත් ඇතැමුන් එකම කාරණාවන් උදෙසා සැම විටම නිතර නිතර පසුතැවෙන්නේ කුමන හේතුවක් නිසාද?
තමා තුළ පවතින අනවබෝධය නිසාම නිතරම පසුතැවෙන තැනට කටයුතු සම්පාදනය කරගනී. ඔබ කළ වැරැදි සඳහා නිවැරැදි ආකාරයට පසුතැවෙනවා යනු ඔබ නිවැරැදි වීමයි. අප කළ වැරැදි අඛණ්ඩව කරනු ලබන්නේ අප තුළ නිවැරැදි පසුතැවීමක් නොමැති නිසයි. අප තුළ සාධනීය පසුතැවීමක් නොවන නිසා අප එම අවස්ථාව තුළදී බොරුවට හඬමින් වැළපෙමින් දිවුරමින් නැවතත් එයම කරනු ලබයි. මිනිසුන් නවසිය අනූනවයක් මරණයට පත්කළ අංඟුලිමාලට අංඟුලිමාල තෙරුන් ලෙස රහත්වීමට හැකිවුණා නමි, අප එතරමි භයානක අකුසල් කර නැති නිසාම අපට තව දුරටත් ඒ සඳහා අවස්ථාව තිබෙනවා. ඔබ ආනන්තරීය පාපකර්ම කරල නැහැ. ඔබ විසින් කළ එක් එක් අකුසලයට අදාළව තමන් තුළ විවරණයක් කරගනිමින් යමිකිසි ආකාරයකට අවබෝධයක් කරා ගමන් කරනු ලැබුවහොත් එම පසුතැවීම ඔබට ඉතාම යහපත් පසුතැවීමක් වෙයි. බෞද්ධයකු බොරු කියන්නේ බොරුකීම අයහපත් බව දැනගෙනයි. එම අවස්ථාව තුළ සිටම ඔහුගේ පසුතැවීම පටන්ගන්නවා. මත්පැන් පානය කරමින් තමන්ගේ බිරිිඳට තළාපෙළා හිරිහැර කරන සියලු ස්වාමිපුරුෂවරු තමන් තුළ පවතින දුර්ගුණ නිසා තමන් කරන්නේ අහපයත් ක්‍රියාවක් බව දන්නවා.
බෞද්ධයෙකුට ගැලවීමට අපහසු වන්නේ නීතිය හෝ පොලිසිය තුළින් පමණක් නොවෙයි. සාවද්‍ය හෘදය සාක්ෂියෙන් බව අවබෝධ කරගත යුතුයි. වැරැදි මනස බෞද්ධයන් නිතරම පීඩාවට පත්කරනු ලබයි.
බුදුපියාණන් වහන්සේ දේශනා කරනු ලැබූ සැනසිල්ල උදාකර ගැනීමට නමි, සැම විටම අප උත්සාහ කළ යුත්තේ නිවැරැදි පසුතැවිලක් කරා ගමන් කිරීමටයි. කාලිංග සටනේදී ලක්ෂ ගණනක් සමූල ඝාතනය කළ අශෝක රජතුමා පසුකාලීනව නැවැරැදි වුයේ එතුමා තුළ පැවති නිවැරැදි පසුතැවීම විය හැකියි. එතුමා නිවැරැදිව පසුතැවුණ නිසාම කෙතරම් ලාබදායි වුවත් දිග්විජය අතහැර ධර්ම විජය පිළිගනු ලැබුවා.අශෝක රජතුමා ධර්මාශෝක නමින් විශාල පරිවර්තනයකට භාජනය වුණා.
සෑම පුද්ගලයකුම අකුසලයෙන් නිදහස්ව කුසලයක් කරා ගමන කිරීමට සාධනීය පසුතැවිල්ලක් කරා ගමන් කිරීම අතවශ්‍ය කාරණාවක් වෙයි. හෘදය සාක්ෂියට එකගව නිවැරැදිව පසුතැවීම ඔබව වෙනස් පුද්ගලයකු බවට පත්කරයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සසල සිත නිසල කරවන දහම

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කථිකාචාර්ය, දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

බු දුරජාණන් වහන්සේ විසින් මංමුලා වූ සත්වයාට භයානක සසරින් එතෙරවිය හැකි ආශ්චර්යවත් ධර්මයක් වදාළ සේක. උන් වහන්සේ විසින් දෙසා වදාළ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ නම් ඒ සියලු දෙනාම දුකෙන් නිදහස් වෙයි.
ඒ වගේම නිතර නිතර සද්ධර්මය ශ්‍රවණය කරන පුද්ගලයාගේ සිත පාරිශුද්ධභාවයට පත්වෙනවා. සිත නිවැරැදි වෙනවා. සිත නිවැරැදි වනවිට මෙලොව ජීවිතය නිවැරැදි වීමට පටන් ගන්නවා. ජීවිතය නිවැරැදි වීම නිසාත්, කුසලයට නැඹුරුව ගමන් කිරීම නිසාත් සසර මඟ වරදින්නේ නැතිව නිසි පාර සොයාගෙන සුවපත්වීම කරා ගමන් කිරීමට භාග්‍යය උදාවෙනවා. ඒ නිසා මේ දහම සම්මා සතිය උපදවාගෙන, සතිය බලවත් කරගෙන සීලයෙන්, ප්‍රඥානුසාරීව විමසා බලන්නේ නම්, මහත් ආලෝකයක්, ආශිර්වාදයක්, ශාන්තියක් ලබා ගන්නට පුළුවනි.

ක්ෂණ සම්පත්තිය ලැබුණ විට

මෙගොඩින් එගොඩටඅප මේ ගත කරන ජීවිතය වටිනා ජීවිතයක්. ඒ මනුස්ස ජීවිතය බුද්ධෝප්පත්ති කාලයක ලැබීම තවත් වටිනවා. බුදු බණට නැමුණ සිතක් උරුමවීම ඊටත් වඩා වටිනවා. ඒ සියල්ලට වඩා ඇස්, කන්, හොඳින් පිහිටා අංගවිකල නොවී ත්‍රිහේතුක උපතක් ලැබීමත් වටිනවා. ඉහත කරුණු හතර ඔබට ලැබුණා නම්, ඒ අවස්ථාව දුර්ලභයි. ඒ ක්ෂණ සම්පත්තිය ලැබුවා වෙනවා. ක්ෂණ කියන්නේ මොහොත. නමුත් මේ සම්පත්ති ලැබුණ අවස්ථාව වටිනා ගමනක් යන්න ශ්‍රද්ධානුසාරි, ධම්මානුසාරි පුද්ගලයෙක් වෙන්න සෝතාපන්න භාවය, සකදාගාමි, අනාගාමි, අරිහත්භාවය කරා ගමන් කරන්නට පුදුමාකාර ශක්තියක් ලබා ගන්නට පුළුවන්. ඒ නිසා තථාගතයන් වහන්සේ වදාළේ “අප්පමාදේනසම්පාදේථ” මෙතරම් වටිනා අවස්ථාවක් ලැබුණ විට පමානොවී ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙසයි.
දිනක් බුදුරජාණන් වහන්සේ ගංගාවක් අසලට වැඩියා. ගඟ දෙස බලා සිටියා. සමහර අය ගංගාවෙන් ශරීරය පිරිසුදු කර ගන්නවා. තවත් පිරිසක් මෙගොඩ සිට එගොඩට පීනන්න උත්සාහ කරනවා. සමහර අය ගඟ මැද දක්ෂ ලෙස එකම ඉරියව්වෙන් ඉන්නවා. කිහිප දෙනෙක් ගඟ තරණය කර එගොඩට පිහිනා යනවා. මේ කාරණය උපයෝගි කොටගෙන බුදුරජාණන් වහන්සේ මේ සසර නමැති මහා ගඟ තරණය කිරීම හා ඒ ගමන අනුව පුද්ගලයන් හතර දෙනෙකු වෙන්කොට පෙන්වා වදාළා.
අනුසෝතගාමි පුද්ගලයා - අනුසෝතගාමි කියන්නේ සැඬ පහරට හසුවී සැඬ පහර යන පැත්තට තල්ලු වීමයි. සංසාරය නිතරම අප තල්ලු කරන්නේ නරකට, නපුරට, ප්‍රපාතයකට,හෝ හෙළටයි. එවිට මනුස්ස ජීවිතයෙන් අප ප්‍රයෝජන ගත් අය නොවේ. වැරැදි කරන සමාජයේ වැරැදි කරමින් පංච දුෂ්චරිතයේ යෙදෙන සමාජයේ ඒ ආකාරයට යෙදමින් සිටින පිරිස අනුසෝතගාමි පිරිසයි.
පටිසෝතගාමි - මේ අය ගංගාවේ ඉහළට පිහිනාගත් අයයි. සැඬ පහරට විරුද්ධව ඉහළට ගිය අය. මේ ජීවිතය පාපයෙන් මුදවා පිනට හරවා ගන්නටත් ඒ පින කුසලයක් බවට පත්කර ගන්නටත් උත්සාහ කරනවා. ධර්ම ගංගාව සමඟ එකතුව උඬුගං බලා පිහිනීමක්. එය පටිසෝතගාමියි. පටිසෝතගාමි තලයෙන් උපරිමභාවයට පත් වූ උතුමන් වහන්සේ අපේ ශාන්ති නායකයාණන් වහන්සේ යි. අල්ලාගෙන, බැඳීගෙන ජීවත්වන සමාජයක අතහැරීම නො බැඳීම නො රැඳීම, නො ගැටීම පුරුදු කිරීමෙන් ජීවිතය සුවපත් කරන ලෙසයි උන්වහන්සේ වදාළේ. ඒ පටිසෝතගාමියි ජීවිතය යි.
ඨිතත්තතෝ - ගඟ මැද දක්ෂ ලෙස සිටින පිරිස වගේ. පහළට යන්නෙත් නැහැ ඉහළට යන්නෙත් නැහැ එක ඉරියව්වෙන් ගඟ මැද බොහෝ වෙලාවක් සිටිනවා. මේ ධර්මය හරහා සිත සමාධිගත කර ඒ අය බ්‍රහ්ම ලෝකවලට ගමන් කරනවා. නමුත් එතැනින් එහාට යන්නට උත්සාහයක් නැහැ. සමාධිය සුවයක් කරගෙන ජීවත් වෙනවා.
තින්නෝ පාරම්ගතෝ - මේ පුද්ගලයා ගඟට බැස ගඟ මැදට ගිහින් එගොඩ බලා පිහිනනවා. එහෙම අය අද සමාජයේ අඩුයි. ගඟ පැත්තට හැමෝම දිව්වාට නැවත ආ පස්සට හැරෙනවා. මේ ආකාරයට ගඟ තරණය කරන පුද්ගලයා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්දච්ච, අවිජ්ඡා කියන සසරට අප බැඳ තබන සංයෝජන ධර්ම දහයම කඩා බිඳගෙන ගමන යන පුද්ගලයා යි. ඔහු නැවත සසරට වැටීමක් නැහැ.

විලයි - සිතයි

ඒ වගේ තථාගතයන් වහන්සේ මේ සිත ගැඹුරු නිහඬ විලකට උපමා කොට වදාළා. විලේ කෙතරම් මල් පිපිලා තිබුණත් කෙතරම් විශාල වුවත් විල කැලඹිලානම් ඒ විලේ තිබෙන මල්වල සුවඳ පැතිරෙන්නේ නැහැ. සුවඳට වඩා විල යට කැළඹුණ මඩවල දුගඳ විල පුරා පමණක් නොවේ පරිසරය පුරාද විහිදී යනවා. ඒ විලේ මාළු සිටියත්, විල පිරෙන්න වතුර තිබුණත් වැඩක් නැහැ ඒ විල කැළඹිලානම්, බොර වෙලානම්. ඒ වගේ අපට තිබෙන සිතත් විල වගේ. විලේ වතුර අපවිත්‍ර නොවී කැළඹෙන්නේ නැතිව නිසොල්මනේ තිබෙනවිට වචනයෙන් කියන්න බැරි ලස්සනක් තිබෙනවා. ඒ විලේ ඉන්න ලස්සන ලස්සන මාළු පවා පෙනෙනවා. මල්වල සුවඳ පැතිරෙනවා. ඒ පිරිසුදු වතුරෙන් විඩාවට පත් කෙනෙකුට සිහිල් වන්නට වුවත් පුළුවන්. කැළඹුණ විලේ වටිනාකමක් නැහැ. නො කැළඹීව පවතිනවිට ඒ විලේ වටිනාකමක් ලස්සනක් තිබෙනවා.
මනුස්ස සිතත් කැළඹෙනවා. ඇස හරවා රූප නමැති සුළඟ කන හරහා ශබ්දය නමැති සුළඟ, නාසය හරහා සුවඳ නමැති සුළඟ, දිව හරහා රස නමැති සුළඟ, කය හරහා ස්පර්ෂය නැමති සුළං වලින් සිත කැළඹෙනවා. මේ ආකාරයට දොරටු පහෙන් හමන විට අපේ සිත නමැති ලස්සන සිත කැළඹෙනවා. අරමුණු සිත තුළ විශාල ලෙස ගොඩ ගැසෙනවා. කැළඹුණ සිත විඩාවට, මහන්සියට, තෙහෙට්ටුව පත්වෙනවා. කැළඹුණ විල තුළ මඩ ගඳ හැම තැනම හමනවා වගේ කැළඹුණ සිතත් අපේ සිතේ සුවපත්භාවය නැති කරනවා. අරමුණු විසුරුණ විට ජීවිතය විඳවන්නට සිදුවෙනවා.

අන්තයට යාම අගතියයි

අද අප සාකච්ඡා කරන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන “අගතිගමන” සූත්‍රයයි. අගතිය කියන්නේ පහළට වැටීමයි. එහෙම නැත්නම් යම් දෙයක කොනක් අල්ලාගෙන ඒ පිළිබඳවම සොයමින් සිටීමයි. එවිට අගතිගාමි වෙන්න එපා යැයි අප කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළා අගතිගාමි වීමත් සමඟම දෘෂ්ඨිගාමි වෙන බව. යම් දිට්ඨියකට අප හසුවෙනවා. බුුුද්ධ කාලයේදී දෘෂ්ඨි කාන්තාරයක් තිබුණේ. මිනිසුන් එයට ග්‍රහණය වෙලා සිටියා. ඒ වගේම විකාර ලෙස දෘෂ්ඨින්ගෙන් ආකූල වෙලා සිටියා. වැරැදි දර්ශන ඔස්සේම ගමන වරදවා ගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ හොඳ අවදිමත් කෙනෙක් වන්න. ආලෝකමත් කෙනෙක් වන්න. සසර ගමන හඳුනාගන්න. ඒ සඳහා අගතිගාමි නොවී සිටින්න. මහණෙනි, මේ අගතිගාමි නොවී සිටීමේ ක්‍රම හතරයි. කැමැත්ත, ද්වේශය, මුලාව හෝ මෝහය, භය නිසාත් අගතියට පත්වෙනවා.
අටුවාවේදී අගතිය කියන දේ මෙසේ විස්තර කරයි. යම් අන්තයකට කොණකට යාම අගතියයි. නො කටයුත්ත කරයි. සතර අගතියට ඇලුනාම අප කරන්නේ පාපකර්මයි. අකුසල මාර්ගයේ ගමන් කරනවා. ඒ නිසා අටමහා නිරයට ඇද දමන කරුණු කාරණා හඳුනාගන්න කියා අගතිගාමි සූත්‍රයේ සඳහන්.
ඡන්දය (කැමැත්ත)අගතියට යෑමේදී යම් දෙයක් පිළිබඳව කැමැත්තක් ඇතිවුණාම ඒ කැමැත්ත නිසාම අප වැරැදි සිදු කරනවා. මේ කැමැත්ත නිසා සුදුස්සා නුසුදුස්සා වෙනවා. නුසුදුස්සා සුදුස්සා වෙනවා.
ද්වේශයෙන් අගතියට යාමත් අප ධර්ම මාර්ගය ප්‍රමාද කරනවා. නිතරම ද්වේශයෙන් ජීවත්වෙනවිට ලේ ධාතුව නරක් වීම නිසා ලෙඩවීමත් වැඩියි. නිරෝගිව සිටින්නටනම් සිත සුවපත්ව තිබෙන්න ඕන.
ඒ වගේම මෝහයත් අප විපතට පත් කරනවා. ඔහු ධර්මය ශ්‍රවණය කරන්නේ නැහැ. ශ්‍රවණය කළත් ධර්මය වැටහෙන්නේ නැහැ. ගුරු උපදේශයක් නැහැ. මේ සඳහා ධර්ම සාකච්ඡා කිරීම, ගැටළු තැන් ගුරුවරයෙකුගෙන් අසා දැනගැනීම ආදිය සිදුකිරීමෙන් මෝහය දුරුකරගත හැකියි. මෝහයෙන් මුලා වූ විටත් අගතියට වැටෙනවා.
සමහර අය භය වූ විටත් ඕනෑම වැරැද්දකට පෙළෙඹෙන්න පුළුවන්. භයෙන් අගතියට යනවා. එයින් සසරට වැටෙනවා.
මේ කරුණු හතරට කෙනෙක් යොමු වුණොත් ඔහුට සසරේ ගමන් කිරීමටත්, අට මහ නිරයට වැටෙන්නටත් සිදුවෙනවා. ඒ නිසා මේ කරුණු හතර අවබෝධ කොට එයින් වැළකිය හැකිනම් සසර සුවපත් කරගත හැකි බව බුද්ධ දේශනාවයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පිරිසක් නිදන විට නිදිවරමින් සිටින පිරිස කවුරුන්ද?

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති 
කථිකාචාර්ය, දර්ශනපති රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

අප සිදුකරන සෑම කටයුත්තකම වටිනාකමක් නැහැ. වටිනා කටයුත්තක් වන්නේ සද්ධර්ම ශ්‍රවණය යි. ඒ වගේම මේ ධර්ම මාර්ගය ගමන් කරන විට අපේ සිත සුවපත් වෙනවා. භයානක සසරින් මිදෙන්නටත්, මඟඵල ලබන්නටත්, ධර්මය ඉගෙනීම හේතුවෙනවා. ඔබ දන්නවා ඒ මඟඵල ලබන චතුශ්චක ධර්ම මොනවාද? කියා. සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, කල්‍යාණ මිත්‍ර ඇසුර, ධම්මානුධම්ම පටිපදාව කියන මේ කරුණු හතර නිසා අපේ ජීවිතය සුවපත් කරගෙන භයානක සසරින් මිදී උතුම් ශාන්ත නිර්වාණය සාක්ෂාත් කිරීමට හේතු වෙනවා. ඒ නිසා බුදුබණ ශ්‍රවණය තුළින් මෙලොව වගේම පරලොවත් සුවපත් වෙනවා. පහනක්, එළියක් තිබෙන තැන අඳුරක් නැතුවාක් මෙන් ධර්මයක් දියුණු කරන සිතක, ඇඬීම, වැළපීම, පශ්චාත් වීම, පෙළීම ද නැත.
දිනක් බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ මිනිසුන් අඹ වර්ග හතරකට උපමා කොට වදාළා. 1). සමහර අඹ ගසේ තිබෙන විට අමුයි. නමුත් පෙනෙන්නේ ඉදී ඇති බවයි. 2). සමහර අඹ ඇතුළතින් හොඳින්ම පැහිලා. නමුත් බාහිරට පෙනෙන්නේ එය අමු බවයි. 3). සමහර අඹ ඇතුළතින් අමුයි. බාහිරට පෙනෙන්නේත් ලා බව, නො පැසුනු බවයි. 4). සමහර අඹ ඇතුළතින් හොඳින් මෝරලා. ඒ බව බාහිරටත් හොඳින් පෙනෙනවා. සුවඳත් දැනෙනවා. මේ වගේ මේ සමාජයේ ජීවත්වන අයගේ ක්‍රියාත්මක වීම මේ අඹ ගෙඩි හතර වගේ. සමහර අයගේ කිසිදු ධර්ම කරුණක් නැහැ. පුණ්‍යමය සිතිවිල්ලක්වත් නැහැ. නමුත් පිටතට පෙන්වන්නේ සිල් රකින, ගුණ ගරුක බවයි. ඒ අයගේ ඇතුළත නොපැසුණු, නොඉදිණු නමුත් පිටතට පැසුණා වගේ පෙනෙන පළමු අඹ ගෙඩිය වගේ.
දෙවන පිරිසගේ ඇතුළත බොහෝම හොඳයි. වැඩූ සිතක් තිබෙනවා. ධර්ම කරුණු දන්නවා. නමුත් බාහිරට ඒ බව පෙන්වන්නේ නැහැ. නිෂ්ශබ්දව අධ්‍යාත්මික ගමන යන පිරිසක්.
තුන්වන අඹට ගෙඩියට සමාන වන්නේ ඇතුළත කිසිදු පාරිශුද්ධබවක් නැහැ. ගුණයක් නැහැ, ධර්මයක් නැහැ, සීලයක් නැහැ. කර්මය පමණයි. බාහිරටත් ධර්මය නැති බව, ශ්‍රද්ධාව නැති බව සිත නො වැඩූ බව ප්‍රදර්ශනය කරනවා.
හතර වන අඹ ගෙඩිය ඇතුළත බොහෝම හොඳයි. ධර්මය දන්නවා, ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා තිබෙනවා. ඒ බව එළියෙන් පෙනෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒ තැනැත්තා ඇතුළතින් ඉදුනු මිහිරි රසයක් ඇති බාහිරටත් ලස්සනට පෙනෙන අඹ ගෙඩියක් වගේ කියා “අම්බ” සූත්‍රයේදී අඹ ගෙඩිය උපමා කොට වදාළා. මේ කියු අඹගෙඩි අතරින් මම අයිති කිනම් අඹ වර්ගයටද කියා ඔබ තේරුම් ගන්න.

ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ ජීවත් වන මිනිසුන්ට බල වර්ග පහක් තිබෙන බව වදාළා. ඒ බල වර්ග ඔබටත් තිබෙනවාද කියා සිතා බලන්න.
1). බාහු බල -දෑතේ දෙපයේ තිබෙන ශක්තියයි. මේ ශක්තිය විවිධ වැඩ කරන්න අවශ්‍ය වෙනවා. 2). භෝග බල - සම්පත්තියන් උරුමවීම. ඒ ඉඩකඩම්, ගෙවල් දොරවල්, දූ දරුවන්, රන්, රිදී, මුතු, මැණික් වෙන්න පුළුවන්. ඒ වගේම ශාස්ත්‍රය, ශිල්පය හෝ ධර්ම ඤාණය වෙන්නත් පුළුවන්. 3). අමච්ඡ බලය - මේ පිරිස් බලය ලැබීමයි. යහළුවන් වෙන්න පුළුවන්. වැඩපළට උදව් කරන අය වෙන්න පුළුවන් මේ බලයට අයත්, 4).ජාති බල – හොඳ සිරිත් විරිත් පුරුදු පුහුණු වීම, හොඳ නිවාස යාන වාහන ඇතිව ඉපදීම මේ බලයට අයත්. 5) ප්‍රඥා බල – මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ මේ ප්‍රඥා බලයයි. ප්‍රඥා ආලෝකය තරම් වෙනත් ආලෝකයක් නැහැ. මේ ප්‍රඥා ලෝකය හිරු, සඳු ආලෝකයට වඩා බලවත්. සියලුම ආලෝක ධාරාවන් පරයා සිටින ප්‍රඥා බලය මුළු සංසාරයටම ආලෝකය සපයා දෙනවා. ඒ බලය ලැබෙන්නේ ධර්මය ශ්‍රවණය කිරීමෙන්. ධර්මය කියවීමෙන්. ධර්මයට සමීප වීමෙන්.
සංයුක්ත නිකායේ දේවතා සංයුත්තයේ තිබෙනවා “ජාගර සූත්‍රය” නමින් සූත්‍රයක්. දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී එක්තරා දෙවිවරු පිරිසක් ඇවිදින් අසනවා ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, පිරිසක් නිදන විට කවුද අවදියෙන් සිටින්නේ? ඒ පිරිස අවදිවන විට වහා නින්දට යන පිරිස කවුරුන්ද?
බුදුරජාණන් වහන්සේ වදාළා දෙවිය, නිදිවරන පස් දෙනෙක් සිටිනවා. ඒ පස් දෙනා නිදාගත්විට අවදියෙන් සිටින පස් දෙනෙක්ද සිටිනවා. කවුද මේ නිදා ගන්න පස්දෙනා. ශ්‍රද්ධා, (තුණුරුවන් කෙරෙහි ඇති පැහැදීම) විරිය (අකුසලයට යන සිත කුසලයට ගන්න කරන උත්සාහය) සති (යහපත් සිහිය), සමාධි (විසුරුණු සිත එක්තැන් කිරීම), ප්‍රඥාව (ඤාණය උසස් කර ගැනීම) මේ පස් දෙනා යම් කෙනෙකුගේ සිතක නිදාගෙන නම් වහා අවදිවන පස්දෙනා වන්නේ කාමච්ඡන්දය (පස්කම්සුවය පසුපස හඹා යෑම), ව්‍යාපාදය (අනුන් නසන්න ඝාතනය කරන්න ඇතිවන ක්‍රෝධය), ථීනමිද්ධය (සිතෙයි සහ කයෙහි සිතිවිලිවල ඇතිවන බොහෝම අලස ගතිය),උද්දච්ච කුක්කුච්ච ( විසුරුණ ගතිය පසුතැවීම), විචිකිච්ඡා (තුණුරුවන් කෙරෙහි ඇතිවන සැකය, අතීත භවයක් තිබුණාද? අනාගත භවයක් තිබේද? ආදියයි). මේ පහ වහා අවදි වෙනවා ශ්‍රද්ධා, සීල, සති, සමාධි, ප්‍රඥා නිදාගෙන සිටිනවානම් හැදිය යුතු දේ අතරට වැඩිය යුතු දේ අතරට වටිනාම දේ වන්නේ සිත හදා ගැනීමයි. චිත්ත අභ්‍යාස පුහුණුවයි. එසේනම් පහක් නිදන විට පහක් ඇස අරිනවා. ඒ පහ නිදන විට අනෙක් පහ ඇස අරිනවා.
මේ සඳහා ඔබට උපමාවක් කියන්නම්. දිනක් එක් ගොවියෙක් දවස පුරාම වැඩකරලා පන්සලක් අසළින් ගමන් කරනවා. මහන්සියට ගොවියා පන්සලට ගොඩවුණා. එක් හිමිනමක් ඒ ගොවියාට කෑම ටිකක් දුන්නා. කුසගින්න නිවාගත් ගොවියා විවේකීව සිටිමින් කල්පනා කරන්නේ මේක කෙතරම් පහසු වැඩක්ද? සිවුරක් පොරවා ගත්තානම්, ගාථාවක් ඉගෙන ගත්තානම් පන්සලකට වෙලා අව්වෙන්, වැස්සෙන් පීඩාවක් නොමැතිව ජීවත්වෙන්න තිබුණා යැයි සිතුවා. ඔහුගේ සිතේ පංචනීවරණ ටික ටික අවදිවුණා. ඒ නිසාම මොහු පැවිදි වුණා. ඔහුගේ සිත ශ්‍රද්ධා, සීල, සති, සමාධි, ප්‍රඥා නිදා ගත්තා. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්දච්ච කුක්කුච්ඡ, විචිකිච්ඡා ඇහැරුණු. මෙයාට සිහිපත් වෙනවා මගේ බිරිඳ දැන් මොනවා කරනවා ඇද්ද? මම අතඇරීයේ ආදරණීය වදන් කියන සුන්දර හඬක් තිබෙන කාන්තාවක්. ඇය නොමැතිව සිටින්නේ කෙසේද? කියා සිවුරු හැර නිවසට ගියා. ටික කාලයකදී මේ කාන්තාවගේ නපුරු, අමිහිරි වචන ඇසෙන විට නැවත පන්සලට ඇවිත් පැවිදි වුණා. ටික කාලයක් යන විට නැවතත් බිරිඳ සිහිපත් වුණා. ඇගේ සිරුර කෙතරම් ලස්සනද? ලස්සන කටහඬ සිහිවුණා. දෙවැනි වතාවටත් නිවසට ගියා. දිනක් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇතිවුණා. එදා බොහෝ සේ කලකිරුණා. පන්සලේ සිටියානම් කිසිම කෙනෙකුගෙන් බැනුම් අසන්න සිදුවන්නේ නැහැ සිතා නැවතත් පන්සලට ගොස් පැවිදි වුණා. පංචනීරවණ නිසා නැවතත් බිරිඳ සිහිපත් වෙනවා. ඇය මොනවා කරනවා ඇද්ද? ඇය නැටුම දක්ෂ කෙනෙක් නොවැ. කියා සිහිපත් වුණා. නැවතත් සිවුරු හැර නිවසට ගියා. නැවතත් දෙදෙනා අතර වූ ආරවුල නිසා පන්සලට ගියා. මේ ආකාරයට හය පාරක් ගියා. ආවා. හත්වැනි වතාවේදී නිවසට ගියා. ටික කාලයක් ජීවත් වුණා. දිනක් දුටුවා ඇගේ ඇස්වලින් කබ පෙරෙනවා. මුඛයෙන් දුගඳ හමනවා. ශරීරයේ පිළිකුල් ස්වභාවය දුටුවා. පංචනීවරණයට යට වූ නිසා මේ අරහත් ධජය කී සැරයක් අත හැරියාද? කියා සිහිපත් වුණා. මින් පස්සේ පංච නීවරණයන්ට අවදිවීමට ඉඩ නොදී පංච බල ධර්මයන් වර්ධනය කර ගන්නවා කියා සිතුවා. අරහත් ධජයට ගෞරව කරමින් කාලය ගත කළා. පසුව නිර්වාණබෝධය ලබා ගත්තා.
ඒ නිසා ඔබත් කල්පනා කරන්න අප සෑම දෙනා තුළම විශාල චිත්ත බලයක් තිබෙනවා. ඒ බලයෙන් උපරිම ඵල නෙලා ගන්න මහන්සි ගත යුතුයි කියා. ඔබගේ සිත කිලුටුවට යනවා නම්, වහා පිරිසුදු කර ගන්න අවශ්‍ය වටිනා බලය වන්නේ ප්‍රඥා බලයයි. එය ලබා ගන්න චිත්ත පාරිශුද්ධභාවය අවශ්‍ය වෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සදහම් සඟරා - Online