ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

නිවැරැදි සරණාගමනය

අප ඉතා සත්‍යවාදී ව ධර්මානුකූල ව, අප දෙස විමර්ශනශීලී ව විමසා බැලිය යුතුව ඇත. එසේ සත්‍යවාදීව තමන් දෙස විමසා බලා සිත, කය, වචනය නිවැරදි කර ගැනීම ප්‍රත්‍යවේක්ෂාව ලෙස හැඳීන්වේ.

නිවැරදි සරණාගමනය ඇති කරගත් උපාසක ඇත්තකු තුළ තිබිය යුතු ලක්ෂණයක් පිළිබඳ ව පසුගිය දිනයේ දී අප විමසා බලන ලදී. එසේ සරණාගමණය ඇති කරගත්තකු පිළිවෙත් මාර්ගය ආරම්භ කළ යුතුව ඇත. පිළිවෙත් මාර්ගය ආරම්භ වන්නේ පංචසීලයෙනි . පන්සිල් සමාදන් වීම උපාසක ඇත්තකු තුළ තිබිය යුතු පළවෙනි ලක්ෂණයයි. බොහෝ බෞද්ධයන් පන්සිල් සමාදන් වන බව නො පෙනේ. සැබැවින් ම සිතා බැලුවහොත් බොහෝ දෙනකු පන්සිල් පද කියවනවා විනා සමාදන් වීම සිදු නොකරයි. මන්ද යත් බොහෝ දෙනකු සිල්පද කියවන්නේ එම වැරදිවලින් වළකින බවට කිසිදු චේතනාවක් සිතේ ඇතිකර නොගනිමින් ය. චේතනාවක් නොමැති තැන කර්මයක් සිදු නොවන බව පැහැදිලි කාරණාවකි. එබැවින් අපව මූලිකව ම ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කාරණාවක් වන්නේ සැබෑවට සිල් සමාදන් වන්නේ ද යන්නයි. සැබෑවට සිල් සමාදන් වන්නේ නම් ඒ සෑම සිල් පදයක දී ම මම දිවි හිමියෙන් මෙය ආරක්ෂා කරන බවට චේතනාවක් තමන් තුළ ජනිත විය යුතුව ඇත. එසේ චේතනාවක් ඇති නොවන්නේ නම් එවැනි චේතනාවක් ඇතිකර ගනිමින් සිල් සමාදන් වීමට වග බලා ගත යුතු ය. එසේ චේතනාව නිවැරදි කර ගනිමින් සමාදන් වන අයට සීලය සමාදන් වීමෙන් ලැබෙන්නා වූ ආනිසංස වාරයන් වේ.

කූටදත්ත සූත්‍රයට අනුව පංච සීලය අරක්ෂා කිරීමෙන්, සංඝා වාසයක් සකස් කර සංඝික කර පූජා කරනවාට වඩා ආනිසංස ලැබෙන බව, බොහෝ පින් රැස්වෙන බව පැහැදිලිවෙන කාරණාවකි.

සේ බොහෝ පින් රැස්කර ගත් තැනැත්තකුට දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීමෙන් දේව පිහිට ආරක්ෂාව ලබා ගත හැකි බවත්, තම එකම දරුවා රකින මව එම දරුවා ආරක්ෂා කර ගන්නා සේ දෙවියන්ට පින් දෙන පින්වන්ත අය ආරක්ෂා කර ගන්නා බව ද මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ. එබැවින් දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ලබා ගැනීම සඳහා පලතුරු වට්ටි ඔසවාගෙන, පඬුරු තබමින්, බාරහාර වෙමින්, බිම පෙරළෙමින්, පොල් ගසමින් කටයුතු කිරීමට අවශ්‍යතාවක් නැත. සිදු කළ යුතු වෙන්නේ පන්සිල් ආදිය රකිමින් බොහෝ පින් රැස් කරගෙන එම පින් දෙවියන්ට අනුමෝදන් කිරීම පමණි.

අන්ධ භක්තියෙන් සිද්ධ කරන අන්‍ය වූ ක්‍රියාවන් බෞද්ධ ධර්මයට පටහැනි බැවින් එය බෞද්ධකමට නිගාවකි. දෙවියන්ගේ පිහිට, ආරක්ෂාව ලබන්නටත් බොහෝ පින් රැස් කර ගන්නටත් පංච සීලය ආරක්ෂා කරගන්න පුද්ගලයාට හැකි වේ. පින්වන්ත පුද්ගලයකු ආසන්නයට අමනුස්සයන්ට ළං වන්නට නොහැකි බව ධර්මයේ සඳහන් වන කාරණාවකි.

යම්කිසි නිවසකට හෝ පුද්ගලයින්ට අමනුෂ්‍ය බලපෑම් ඇත්තේ නම් පන්සිල් ආරක්ෂා කිරීමෙන් බොහෝ පින් රැස් වන බැවින් අමනුෂ්‍ය බලපෑම් නිවසින් ඉවත් කර ගැනීමට හැකියාවක් ඇත.පන්සිල් රකින පුද්ගලයකුට අමනුෂ්‍යයන්ගෙන් වන බලපෑම්, කරදරකාරී තත්ත්වයන් සිදු නොවන බව පැහැදිලි වේ.

එමෙන්ම අපල උපද්‍රව ලෙස අප සලකන යම් උවදුරු තත්වයක් වෙයි නම්, එය අන් කවරක් හෝ නොව කර්මය ම විය යුතු ය.අතීත කර්මය නැති කර ගැනීම සඳහා කළ යුතු දේ පිළිබඳ ව ධර්මයේ සඳහන් වන්නේ භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා යන ක්‍රමවේද භාවිත කිරීමයි. අඛණ්ඩ ව උත්සාහ කරමින් පන්සිල් ආරක්ෂා කරන කෙනකුට මෙම ක්‍රමවේද සම්පූර්ණ වීමට හේතුවන සමාධිය, ප්‍රඥාව ආදිය ඇති කර ගැනීමට හැකිවන බැවිනි. තමන්ගේ කර්මය ක්ෂය කර ගැනීමට එය ප්‍රධාන හේතුවක් වේ. එසේ නොමැතිව ග්‍රහ පූජා තැබීම් නවග්‍රහ මුදු පැළඳ වීම්, නොයෙකුත් යන්ත්‍ර ආදිය පැළඳවීම වැනි මිථ්‍යා විශ්වාසයන්වලට එල්බගෙන කටයුතු කිරීමෙන් කර්මයට බලපෑමක් කළ නොහැක. එබැවින් පන්සිල් රැකීම තමන්ගේ කර්මයන් ක්ෂය කර ගැනීමට හේතුවක් වන බව ද අප දැනගත යුතු කාරණාවකි.

කුසලයක් සිදු කරන කල්හි එය ඥාන සම්ප්‍රයුක්ත වන්නේ නම් වැඩි ආනිශංස වාරයක් තිබෙන බව අපි දනිමු. එබැවින් පන්සිල් රැකීමෙන් මානසික ශක්තිය වර්ධනය වීම සිදුවන්නේ කෙසේදැයි දැනගෙන, එම දැනුමෙන් යුක්තව පංචශීලය ආරක්ෂා කිරීම ඉතාම විශාල ආනිසංසයක් ලැබීමට හේතු වේ. සාමාන්‍ය පෘථග්ජන ස්වභාවයක් ඇති සන්තානයක බොහෝ කෙලෙස් උපදවන ස්වභාවය ඇත. එබැවින් සිහිය, නුවණ ,වීර්යය, ඉවසීම, අධිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව වැනි උසස් ගුණාංගයන් වලින් ඒ සිත් බොහෝ විට දුර්වල තත්වයකට පත් වී තිබේ. සිහිය වර්ධනය කිරීමට නම් සිහියෙන් සිටීම පුරුදු විය යුතුව ඇත. ඉවසීම ද වර්ධනය කළ යුත්තේ ඉවසීමෙන් සිටීමෙනි. අධිෂ්ඨානයෙන් වැඩ කටයුතු කරන පුද්ගලයා තුළ දිනෙන් දින අධිෂ්ඨාන ශක්තිය වර්ධනය වේ. සෑම ගුණාංගයක් ම එම ගුණාංගයෙහි යෙදීමෙන් ම වර්ධනය වෙන බව අපි හොඳීන් දනිමු. යම්කිසි කෙනෙක් අධිෂ්ඨානයෙන් පංච සීලය සමාදන් වුවහොත් කැඩෙන හැම වාරයක දී ම නැවත නැවත සමාදන් වෙමින් කටයුතු කළහොත් සිල් රකින හැම වාරයක ම එම පුද්ගලයාට සිහියෙන් සිටිය යුතු වේ, වීර්යයෙන් සිටිය යුතුවේ, අධිෂ්ඨානයෙන් සිටිය යුතුවේ, ඉවසීමෙන් සිටිය යුතු වේ. එසේ සිටින හැම වාරයක ම එම උසස් ගුණාංගයන් එම සන්තානය තුළ වැඩෙන බව නොරහසකි.

සාමාන්‍ය ජීවිතයේ ඕනෑම කටයුත්තක් සාර්ථක ව සිදු කිරීමට නම් එය පිළිබඳව කැමැත්තක් ඇති කර ගැනීම සිදු කරගත යුතු ම වේ. අඛණ්ඩ ව පංචශීලය ආරක්ෂා කරන්නට සූදානම් වන පුද්ගලයකු ඒ සඳහා කැමැත්තක් ඇති කර ගැනීම සඳහා මෙසේ පංච ශීලයෙන් ලැබෙන ආනිසංස වාරයන් වගේ ම සීලය කැඩීමෙන් ලැබෙන ආදීනවයන් ද හොඳීන් මෙනෙහි කළ යුතුව ඇත. විපාක ද මෙනෙහි කළ යුතුව ඇත.

පංච සීලය කැඩීමෙන් ඇතිවෙන විපාකයන් පිළිබඳ ව ඉදිරියේදී දස අකුසල් පිළිබඳ ව ඉදිරිපත් කෙරෙන ලිපිවලදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර මෙම කරුණු පොත්පත්වලින් ද පහසුවෙන් සොයා ගත හැක. එසේ ආනිසංශ සහ ආදීනවයන් හොඳීන් දැනගෙන එම දැනගත් කරුණු නැවත නැවත මෙනෙහි කළ යුතුව ඇත. එසේ නැවත නැවත මෙනෙහි කිරීමෙන් පාණාතිපාතා වේරමණී,අදින්නාදානා වේරමණී,කාමේසු මිච්ඡාචාරා වේරමණී, මුසාවාදා වේරමණී,සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී යන විරති චෛතසිකයන් අපේ සන්තානය තුළ පැන නඟින්නට හේතු සකස් වේ. 'ප්‍රාණඝාතය සිදු කිරීම' අප සිතේ නැගෙන අකුසලයක් නිසාවෙන් සිදුවන්නකි.ඉන් වැළකීම සඳහා ප්‍රාණඝාතයෙන් වැළකීම යන සිතුවිල්ල සකස් වී එය බලවත් විය යුතු ය. එසේ නොමැතිව ප්‍රාණඝාතයෙන් වැළකීම යන සිද්ධිය අප අතින් සිද්ධ නොවේ ම ය.සෑම සිල් පදයක් ම රැකෙන්නේ එම සිල් පදය කැඩීම වැළැක්වීම සඳහා අපේ සිතෙන් ම පැන නගින සිතුවිල්ල එම සිල් පදය කැඩීම සඳහා අපේ සිතේ නැගෙන සිතුවිල්ලට වඩා ප්‍රබල වූ විට ය. එසේනම් සීලය කැඩෙන්නට අපේ සිතේ ඇතිවන සිතිවිලි දුබල කරමින්, සීලය කැඩීම වැළැක්වීම සඳහා අපේ සිතේ නැගෙන්නා වූ සිතුවිලි ප්‍රබල කිරීමට කටයුතු කළ යුතුව ඇත. ඒ සඳහා ආදීනව සහ ආනිසංස මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය කාරණාවකි. දිනෙන් දින තමන් අතින් සීලය කැඩෙන්නේ නම් තමන්ම මේ පිළිබඳව විනිශ්චය කර ගනිමින් නැවත නැවත ආනිසංශ සහ ආදීනවයන් මෙනෙහි කරමින් සීලය කැඩීම් වළක්වන සිතුවිල්ල කෙසේ හෝ ප්‍රබල කර ගත යුතුව ඇත. එසේ සිල් රැකෙන තත්ත්වයට අපේ මානසිකත්වය සකස් කරගැනීමේ වගකීම අප සතු ය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මයට අනුව, ලෝකයේ ඇත්තේ හේතුඵල ධර්මතාවයකි. එබැවින් හේතු නොමැතිව ලෝකයේ කිසිවක් ම සිදු වන්නේ නැති බව වටහා ගත යුතු ය. එ නිසාවෙන් ම සිල් කැඩෙන්නේ ද හේතු සහිතව බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම හේතූන් ඉවත් කළහොත් සීලය කැඩෙන්නට අවකාශයක් ද නැත.එසේ සියලු දේට හේතුව දේශනා කර ඇති උතුම් ධර්මයෙන් අප ප්‍රයෝජන ගන්නේ ද යන්න ප්‍රත්‍යවේක්ෂා කළ යුතු කාරණාවකි. මන්ද යත් තමන් අතින් සිල් කැඩෙන්නේ කුමන කරුණක් නිසාද යන්නවත් අඩුම තරමින් සොයා බලන්නට අපේ මානසික්ත්වය යොමු නොවුණේ නම් හේතුඵල දහම පිළිබඳව අපට අදහසක් ඇති වී නොමැති බව ද තේරුම් ගත යුතු ය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ගිහි පැවිදි සම්බන්ධය වරදවා ගැනීම අපාගාමී පාපයකි

 චන්දෝපම ප්‍රතිපදාව හඳුනාගන්න

මහා කරුණාව බඳු මහා ප්‍රඥාවක් ඇති බුදුරජාණන් වහන්සේ සියලු සත්ත්වයන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. මිනිස් නොමිනිස් කා හට වුවද ජාති, මරණ දුකේ දී පිහිට වන්නේ බුදුරජුන් පමණි. ඒ බුදුරදුන් තම ගුරුවරයා ලෙස පිළිගන්නෝ බෞද්ධයෝ වෙති. ඔවුහු සසර දුක නිමා කිරීම පිණිස බුදුසරණ ලැබූවෝ ය. බුදු බණට අවනත වූවෝ ය. සඟ අණට මෙල්ල වූවෝ ය.

එකී තුන් සරණ ලැබූ පිරිස ගිහි - පැවිදි වශයෙන් කොටස් දෙකකි. ගිහියා පැවිද්දාට සිව්පසයෙන් උපකාර කරයි. පැවිද්දා ඔවුනට බුදු බණ කියා දෙයි. මෙලෙසින් දෙපිරිස ම බුදු මග ගමන් කරයි. එහෙත් ගිහි – පැවිදි සම්බන්ධය වරදවා ගැනීම අපාගාමී පාපයක් විය හැකි ය. ඒ බව දුටු බුදුරජාණන් වහන්සේ පැවිද්දා ගිහියන් හා පවත්වන ඇසුර කෙසේ විය යුතු දැයි උපමාවක් ඇසුරින් වදාළහ. එය ‘චන්දෝපමාව යි. එය මෙසේය. “චන්දුපමා භික්ඛවෙ කුලානි උපසංකමථ අපකස්සෙව කායං අපකස්සෙව චිත්තං නිච්චනවකා කුලේසු අප්පගබ්භා (කස්සප සංයුත්ත) “මහණෙනි නුඹලා ගිහියන් කෙරෙන් කය ද සිත ද ඉවත් කරගෙන සැම කල්හි ආගන්තුක ව චන්ද්‍රයා මෙන් ගිහියන් වෙත එළඹෙව්”

මේ ප්‍රකාශය ගිහි – පැවිදි දෙපිරිසට ම එකසේ වැදගත් වේ. දිනක් පාසා වෙනස් වන නිසා චන්ද්‍රයා සැමවිට ම ලෝකයට අලුත් ය. කිසිවකු හා අමුතු හාදකමක් ඇල්මක් නැති නිසා සියල්ලන්ට සාධාරණ ව අහස් කුස ගමන් කරයි. භික්ෂුව ද චන්ද්‍රයා සදිසි ව කිසිදු ගිහියෙකු සමඟ අනවශ්‍ය හිතවත්කමක් , මිතුරුකමක් නොමැති ව සැමට සාධාරණ ව හැසිරිය යුතු ය. අවුරුදු ගණනාවක් පුරා හඳුනන ගිහියන් සමඟ වුව ද ආගන්තුකයන් ලෙසින් පිළිපැදිය යුතුය. ගිහියන්ගේ කටයුතු කර දෙන්නකු නොවිය යුතු ය.

ගැඹුරු ළිඳකින් වතුර ගන්නා පුද්ගලයා තම කය හා සිත ළිඳට බර නො කර නිතර ම පිටුපසට ඇදගෙන ළිඳේ නො වැටී පැන් ගන්නාක් මෙන් භික්ෂුව විසින් ගිහියන් හා මුසු නොවී සිත, කය දෙකම ඔවුන් කෙරෙන් ඉවතට ඇදගෙනම ගිහියන් අතර හැසිරිය යුතු ය. ඔවුන් පුදන සිව්පසය පිළිගත යුතු ය. එලෙසින් කටයුතු කරන පැවිද්දාගේ එම ප්‍රතිපදාව බුදුරදුන් වදාළ චන්දෝපම ප්‍රතිපදාව යි.

පැවිද්දාගේ සහයෝගය නැතිව ගිහියාට ධර්ම මාර්ගයේ ගමන් කළ නො හැක. පැවිද්දාට ද ගිහියාගේ උපාකරයෙන් තොරව ජීවත් විය නො හැක. එහෙත් දෙපිරිස ම තම තම යුතුකම් මනාව හඳුනාගත යුතු ය. චීවරාදී සිව්පසය කැපසරුප් ලෙස සුදුසු කල්හි පූජා කිරීම හා සැපදුක් විමසා බලා පැවිද්දන්ට උපාකර කිරීම ගිහියන්ගේ යුතුකමකි. ගිහි ඇත්තන්ට පිරිසුදු ලෙස බුදු බණ ඉගැන්වීම හා ඔවුනට සසරදුක පෙන්වා දීම ද, චතුරාර්ය සත්‍යය ගැන කියවා දීම ද පැවිද්දාගේ යුතුකමකි. බුදුරදුන් බහුකාරක සූත්‍රයේ දී පෙන්වා ඇති පරිදි ගිහි ජීවිත ගත කරමින් ධනය ද, ශීලාදි ගුණ ධර්මයන් ද සම්පාදනය කරන්නාවූ ගිහියෝ සිල්වත් හා ගුණවත් පැවිදි ශ්‍රාවකයන් නිසා ඔවුන්ගේ වචන විශ්වාස කරමින් ගුණධර්ම පුරා මරණින් මතු දෙව්ලොව උපදිති. එහෙත් ඇතැම් පැවිද්දන් ඇසුරු කරන ගිහියෝ නො දැනුවත්ව ම බොහෝ පව් රැස් කොට අපාගත වෙති. එහිලා ගිහි උදවියට දෝෂාරෝපණය කිරීම ද සුදුසු නොවේ. පැවිද්දා තමනුත් අපා දුකින් බේරී , ගිහියන් ද අපා දුකින් බේරා ගැනීමට කටයුතු ළ යුතු ය.

ගිහියන් අපට සැලකිය යුතු යැයි සිතීම මෝඩ අදහසක් වේ. ඒ අදහස ඇති තාක් පැවිද්දාට පැවිද්ද තුළ තෘප්තියක් ලද නො හැක. එමගින් නිතර නිරත සිත් රිදවා ගැනීම් ඇතිකර ගන්නා පැවිද්දා ගිහියන්ට නින්දා කර ඔවුන්ගේ ඇති පැහැදීම ද නැතිකර දමයි. සිව්පසය පූජා කිරීම සඳහා ගිහියන්ට සිත් පහළ වන පරිදි භික්ෂූන් හැසිරේ නම්, ගිහියෝ කිසි විටෙකත් භික්ෂූන් කුසගින්නේ නො තබති.

පැවිද්දන්ට සැලකීම සඳහා ගිහියන් පොරොන්දු ලබා දී නැත. තමාගේ කැමැත්තෙන් පැවිදි වූ භික්ෂූහු ලැබෙන ඕනෑම චීවරයකින්, ආහාරයකින්, සෙනසුනකින්, බෙහෙතකින් යැපිය යුත්තාහුය. සතුටු විය යුත්තාහු ය. පැවිද්දාගේ ජීවිතය සරසන ආභරණ අතර අප්ජිච්ඡතා , සන්තුට්ඨිතා යන ගුණ දෙක ඉතා වැදගත් වේ. බොහෝ දේ වැඩි වැඩියෙන් බලාපොරොත්තු නො වන බව අප්පිච්ඡතාව යි. ලද දෙයින් සතුටු වීම සන්තුට්ඨිතාව යි.

කස්සප සංයුත්තයේ දැක්වෙන පරිදි භික්ෂුවක් ‘ගිහියන් මට ඇති පමණ දෙන්නට ඕනෑ ය. ප්‍රණීතව ඉක්මනින් දෙන්නට ඕනෑ ය. සැලකිල්ලෙන් හා ගෞරවයෙන් දෙන්නට ඕනෑ ය’ කියා සිතයි නම් ඔහු ගිහියන් කරා සිව්පසය සඳහා යාමට නුසුදුසු ය. දන් දෙනු කැමැත්තෝ දෙත්වා. ‘ නො දෙනු කැමැත්තෝ නො දෙත්ව‘ වැඳුම් පිදුම් කරනු කැමැත්තෝ කරත්වා. නො කරනු කැමැත්තෝ නො කරත්වා 'යි යම් භික්ෂුවක් ගිහි ගෙවලට එලැඹේ නම් උන් වහන්සේ ඒ සඳහා සුදුසු ය.

මහණකම යනු ගිහියන්ගේ වුවමනාවට සිදුකරනු ලබන්නක් නො විය යුතු ය. මේ අපගේ දායකයන්ය කියා ගිහියන් අයිතිකර ගැනීම ද ලාමක ක්‍රියාවකි. මේ අපගේ භික්ෂූන් ය. මේ අපගේ භික්ෂූන් නො වේ යැයි ගිහියන් විසින් භික්ෂූන් වර්ග කර අයිතිකර ගැනීම ද ලාමක ය. කිසි ගිහියෙකු සමඟ විශේෂ බැඳීමක් නො මැති පැවිද්දන්ට කිසි පැවිද්දකු සමඟ විශේෂ බැඳීමක් නැති ගිහියන් විසින් දෙනු ලබන සිව්පසය හේතුවෙන් සසුන් පිළිවෙත චිරස්ථායි වේ. එහෙත් යම් භික්ෂුවකගේ සීලාදී ගුණධර්මයන් කෙරෙහි යම් ගිහියකුගේ සිත තුළ අතිරේක වූ පැහැදීමක් ඇතිවේ නම් , එහි ද වරදක් නැත.

පැවිද්දා අල්පේච්ඡ විය යුතු යැයි කියමින් භික්ෂුවගේ දොස් උලුප්පමින් නින්දා කරන ගිහියා උපාසක චණ්ඩාලයෙකු යැයි වදාරා ඇති බැවින් මොනම හේතුවකින් හෝ හෝ ද්වේෂ පරවශව පැවිද්දන්ට බණ වැදීමේ අයිතියක් ගිහියන්ට නැත. පැවිද්දා ගිහියන්ට වගකිව යුත්තේ නො වේ. ඔහු වගකිව යුත්තේ බුදුරදුන් ය. ධර්මයට හා සංඝරත්නයට පමණි.

අස්ථානයෙහි පහදින ගිහියා ද ශාසනයට වින කරන්නෙකි. තමා වෙත පැහැදී පින් රැස්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ගිහියෙකු යමක් පූජා කරන විට එය පිළිගැනීමේ නිදහස ඕනෑම පැවිද්දකුට තිබේ. එහිලා කිසිදු පැවිද්දකුට බලපෑම් කළ නො හැකි ය. අපගේ දායකයන් දෙන දේ නුඹ නො ගත යුතු යැයි කීමේ අයිතියක් කිසිදු භික්ෂුවකට නැත.

අප පිදූ දන් වැළඳූ භික්ෂූන් අපගේ මරණයට, බණට පිරිතට ආවේ නැතැයි කියමින් යම් ගිහියෙක් සිතයි නම් එය ද වරදවා ගත් අදහසකි. දන් පිදිය යුත්තේ සුගිත හා නිවන් සම්පත් බලාපොරොත්තුවෙන් මිස වෙන යම් අදහසකින් නො වේ. එහෙත් භික්ෂුව තමාට සිව්පසයෙන් උපකාර කරන ගිහියන්ගේ කරුණාබර ගුණය අමතක නො කළ යුතුය.

කළගුණ සැලකීම උසස් ගුණයක් ලෙස බුදුහු වදාරති. එක් වයස්ගත බ්‍රාහ්මණයකු පැවිද්ද ඉල්ලූ විට ඔහු වයස්ගත බැවින් භික්ෂූහු එය ප්‍රතික්ෂේප කළහ.

එවිට බුදුරදුන් භික්ෂුන්ගෙන් විමසුයේ මෙම බමුණාගෙන් යම් කුඩා උපාකරයක් හෝ ලද භික්ෂුවක් නුඹලා අතර නැති ද කියායි. එය ඇසූ සාරිපුත්ත මහා ස්වාමීහු එම බමුණා දිනෙක තමාට එකම බත් හැන්දක් බෙදූ බව සිහිකොට ඔහු පැවිදි කළහ. එබැවින් පැවිද්දා සුදුසු කරුණුවලදී පමණක් ගිහියන්ට පිහිට විය යුතුය. එහෙත් ඔවුනට සඟසතු දෑ දීම්, ඔවුන්ගේ පණිවිඩ හුවමාරු කිරීම, වෙදකම් වැනි දේ කිරීම කිසිසේත් සුදුසු නො වේ. අවවාද, අනුශාසනා, බණ, පිරිත් ආදියෙන් ගිහියන්ට සැලකීම යෝග්‍ය වේ.

චන්දූපමාව උල්ලංගනය කොට සබඳතා පවත්වන පැවිද්දා ද, ශ්‍රද්ධාදී උපාසක ගුණවලින් තොරව පැවිද්දන් ඇසුරු කරන ගිහියන් ද නිසා සසුන් පිළිවෙත අතුරුදන් වී යනු ඇත. දෙපිරිසගේ ම සිත්වල තණ්හා, මාන, දිට්ඨි ආදි පාපී සිතිවිලි බලවත්වීම ඊට හේතුව යි. පාපී සිතකින් කරනු ලබන කිසිවක් යහපත පිණිස නො පවතී. චන්දෝපම පටිපදාවෙන් අගතැන්පත් මහා කාශ්‍යප රහතන් වහන්සේ දෙවි බඹුන්ගේ පවා ප්‍රසාදයට ලක් වූ සැටි ආශ්චර්යමත් ය. ඒ පිළිබඳ වැඩි විස්තර කස්සප සංයුත්තයෙන් හා එම අටුවාවෙන් බලා ගත යුතු ය. ගිහි පැවිදි දෙපිරිස ම තම වගකීම හා යුතුකම ද ප්‍රතිපදාව හඳුනා අත්‍යාදර ගෞරවයෙන් යුතුව පිළිපැදීම තුළින් ගෞතම බුදුසසුන බොහෝ කලකට ආයු ශී‍්‍ර ලබනු ඇත. එය අප විසින් සමස්ත සත්ත්ව වර්ගයාට ම දෙනු ලබන අමා ශාන්තියක් වනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සදහම් සඟරා - Online