ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

භාවනා


අමෙරිකාවේ විශ්වවිද්‍යාල කීපයක බුද්ධ ධර්මය ඉගැන්වීමේ යෙදුණු පූජ්‍ය හේනේපොළ ගුණරතන හිමිපාණෝ ‘භාවනාව’ පිළිබඳ ඉහළ අත්දැකීම් ඇති කම්මට්ඨානාචාර්යයන් වහන්සේ නමකි. උන් වහන්සේ නිසා අමෙරිකානුවෝ විශාල පිරිසක් පැවිදි වී බුදු සසුනට ඇතුළු වූ හ. අදින් ඇරැඹෙන්නේ භාවනාව පිළිබඳ ව උන් වහන්සේගේ අත්දැකීම් සහිත ලිපි පෙළකි. මෙය අප පළ කරනුයේ අමෙරිකාවේ වර්ජිනියාහි ලලිතා අමරසිංහ මහත්මියගේ අනුග්‍රහයෙනි.
කුමන භාවනාවක් කළත් සිල් පිරිසිදු කරගත් විට ඒ භාවනාව සාර්ථක කරගත හැකි වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දක්වා ඇති ආජීව අට්ඨමක සීලය රැකීම ඉතා උතුම් ප්‍රතිපත්තියකි. මේ උතුම් ප්‍රතිපත්ති අටෙන් කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම හා සම්ඵප්‍රලාප දෙඩීමෙන් වැළකීම යන ප්‍රතිපත්ති තුන අඩු කර උපුටාගත් ඉතිරි ප්‍රතිපත්ති පහ දැන් පන්සිල් වශයෙන් ගෙන බොහෝ බෞද්ධයෝ පන්සිල් ගන්නවා කියා මේ පහ හැමදාම හැම තැනම කියති.
ඒත් ඒ පන්සිල් රැකීම වුව ද එතරම් පහසු නැත. පන්සිල් රකිනවායයි කියන්නේ පාණාතිපාතා ආදි සිල් පද පහ මන්ත්‍රයක් ලෙස සියදහස් වරක් කීම නොවේ. බොහෝ බෞද්ධයෝ මේ පහ හැමදාම, හැම තැනකම කියති; ඒවා උදේ සවස, පෝදාට, රේඩියෝවල, රූපවාහිනීවල, පත්‍රවල, සඟරාවල, දේශපාලන රැස්වීම්වල ආදි කී-නොකී දහක් තැන්වල කියති. සමහරවිට සමහරු මෙසේ මන්ත්‍රයක් ලෙස පන්සිල් කීමෙන් සිල් රැකෙනවා කියා හෝ නැත් නම් එයින් පින් සිදු වෙනවා කියා හෝ හිතනවා විය හැකිය. ගිරවුන් මල්කවුඩන් සේ පන්සිල් කීමෙන් කිසිම වැඩක් නැත. පන්සිල් කෝටිප්‍රකෝටි වරක් කීවත් පන්සිල් රැකෙන්නේ හෝ එයින් පින් සිදු වන්නේ හෝ නැත. ඉන් වැඩක් වන්නේ ඒ පහම තදින් හිතට ගෙන ඒවා හිත, කය, වචන යන ද්වාර ත්‍රයෙන් ක්‍රියාවට නැංවුවොත් පමණි.
මේ සිල් පද පහ කිය-කියා සතුන් මරනවා නම්, හොරකම් කරනවා නම්, කාමයන්හි වැරැදි ලෙස හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, මත් ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් පන්සිල් රකිනවායයි කියා ඒ සිල්පද පහ මැතිරීමෙන් කිසිම වැඩක් නොවේ. මෙකී පංචසීලය හා මුලින් සඳහන් කළ ආජීවඅට්ඨමක සීලයද යන ප්‍රතිපත්තිවලින් එකක් වත් ඉබේම රැකෙන්නේ නැත. ඉතා ශ්‍රද්ධාවෙන් හා ලොකු චිත්ත ධෛර්යයකින් යුතුව හිතට එකඟවම සිල් රැකීමට අධිෂ්ඨාන කරගෙනම භාවනාවට පසුබිම සකස් කරගත යුතුය. මේ පහ හොඳින් ආරක්ෂා කරගෙන ඉන්නා කෙනෙකුට කේළාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම හා සම්ඵප්‍රලාප දෙඩීමෙන් වැළකීම යන ප්‍රතිපත්ති තුනද රැකීමට ඉබේම හිතක් පහළ වේ. එවිට මුළු ආජීව අට්ඨමක සීලයම රැකීමේ ශක්තිය ඔහුට ලැබේ. අපේ බෞද්ධ පින්වතුන්ට මේ ගැන අවංකවම හිතන්ට හැකියාවක් ලැබේවායි පළමුවෙන්ම ප්‍රාර්ථනා කරමු.
බුදු රජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ එක් මිනිසෙක් උන්නේය. ඔහු මේ සිල් පද පහම රැකීම අපහසුයයි සිතා සතුන් මැරීමෙන් පමණක් වැළකී සිටීමට අධිෂ්ඨාන කරගෙන, කුරා-කුහුඹියෙක් වත් මැස්සෙක් වත් මදුරුවෙක් වත් නොමරන්නට
තීරණය කරගත්තේය. ටික කලක් ඔහු මෙසේ කල් ගත කරන විට ඔහුගේ අදහස්වලට සමාන තව මිනිසෙක්ද ඔහු අනුගමනය කරන්නට පටන් ගත්තේය. ටික කලක් යන විට තව කෙනෙක්ද තව ටික කලක් යන විට තව කෙනෙක්දැයි මේ පිරිස එකමුතුව පළමුවැනි සිල්පදය රකිමින් සිටියෝ ය. මොවුන් මෙසේ පළමුවැනි ශික්ෂාපදය රකිමින් ඉන්නා විට තව මිනිසෙක් කල්පනා කළා සතුන් නොමරා ඉඳීම එතරම් අමාරු දෙයක් නොවේ. හොරකම් නොකර සිටීමයි බොහොම අමාරු කාර්යය කියා. “මිනිසුන් අඩු ගණනේ අනුන්ගේ අදහසක් හෝ හොරකම් කරනවා. මම එහෙම අනුන්ගේ අදහසක් වත් ආදායම් බදුවලින් වත් හොරකම් නොකර, ඉතාම අවංකවම ජීවත් වෙන්නට ඕනෑ” කියා. එසේ කල්පනා කර ඔහු හොරකම් කිරීමෙන් වැළකී සම්පූර්ණ අවංක ජිවිතයක් ගත කරමින් ජීවත් වෙන විට අර සතුන් නොමරන්නාට මෙන්ම මොහුටත් පිරිසක් එක් වූහ.
මොවුන් මෙසේ සිල්පද දෙකක් රකින කණ්ඩායම් දෙකක් වූ පසු තුන් වැන්නෙක් කල්පනා කළා “මොවුන් රකින සිල්පද දෙක රැකීම බොහොම පහසුයි. තුන් වැනි සිල්පදය රැකීම තමා ඉතාම අමාරු. මම ඒක රකින්නට ඉටාගන්ට ඕනෑ” කියා. ඔහු එතැන් පටන් කාමයන්හි වැරැදි ලෙස හැසිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී ජීවත් වෙන්ට පටන් ගත්තේ ය. ඔහු මෙසේ කාමයන්හි වැරැදි ලෙස හැසිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී ජීවත් වෙන විට මොහුටත් පිරිසක් එක් වූහ. මෙසේ ඔවුහුත් කණ්ඩායමක් ලෙස තුන් වැනි සිල්පදය පමණක් රකිමින් ජීවත් වූහ.
හතරවැන්නෙක් බොරු නොකියා ජීවත් වීම අනිත් හැමදේටම වඩා අපහසුයයි සිතා ඔහු කල්පනා කළා සත්‍යයම කථා කරන්නට. ඔහු කවටකමට වත් බොරුවක් නොකියන්නට තීරණය කරගත්තේය. කල් යෑමේදී ඔහුටත් එකා දෙන්නා එකතු වී එම අයගෙන් සමාගමක් ආරම්භ කෙළේය.
මොවුන් මෙසේ කල් ගත කරමින් සිටින විට එක්තරා මිනිසෙකුට කල්පනා වුණා, “මේ සිව් දෙනා රකින සිල්වලට වඩා රැකීමට බෙහෙවින් අපහසු සීලය තමා මත් පැනින් වැළකී ජීවත්වීම. මම මත්පැනින් වැළකී ජීවත්වෙන්නට ඕනෑ” කියා එතැන් පටන් ඔහු මත්පැන් පාවිච්චියෙන් තොරව ජීවත් වෙන්නට පටන් ගත්තේය. කල් යෑමේදී ඔහුටත් ක්‍රමයෙන් අර මුල් හතර දෙනාට මෙන්ම පිරිසක් එකතු විය.
මේ පිරිස් පහ මෙසේ කල් ගත කරන විට වරින් වර මේ පිරිස් පහෙන් දෙදෙනෙක්, තුන් දෙනෙක් හෝ හතරපස් දෙනෙක් එක් වූ හැම තැනකම “අප රකින සීලය ඔබ රකින සීලයට වඩා රැකීමට බොහොම අමාරු එකකි. ඔබ රකින සීලය නම් ඕනෑ කෙනෙකුට රැකිය හැකිය. අප රකින සීලය කිසිකෙනෙකුට රකින්නට බැහැ. හැකි නම් අප රකින සීලය රැක බලන්නැ” යි ඔවුනොවුන් අන්න්‍යෝන්‍යන්ට අභියෝග කරන්නට පටන් ගත්හ. මේ නිසා ඔවුනොවුන් බහින්බස් වෙන්නට ද පටන්ගත්තේය.
මෙසේ කාලයක් ගත වන විට මේ අය අතර කලකෝලාහල, දික්වෙමින් පවතින විට ඉන් කෙනෙක් යෝජනා කළා, “සහෝදරවරුනි, අප ඉතාම උතුම් සීලයක් රැකීමට අධිෂ්ඨාන කරගෙන ක්‍රියා කරන ගමන් අප දැන් කලක සිට අපේ උතුම් ඉලක්කය අමතක කර අපි නිතර කලකෝලාහල කරගනිමු. හොඳ සීලයක් රැකීමට අධිෂ්ඨාන කරගෙන දැන් අපි ඉතාම පහත් ලෙස කලකෝලාහල කරමින් සිටීම අපට කිසිසේත් නොගැළපෙන ක්‍රියාවකි. මෙය අප වැන්නන්ට සුදුසු නැත. අපි මේ ගැන අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගෙන් උපදේශයක් ලබා ගනිමු” යි කියා.
ඊට හැමෝම එකඟ වී බුදු රජාණන් වහන්සේ ළඟට ගොස් උන් වහන්සේට වැඳ නමස්කාර කර මේ කරුණ ඉදිරිපත් කළහ. උන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව ඔවුන්ට සවන් දී අවසානයේ මෙසේ දේශනා කර වදාළහ:
“ඔබ හැම දෙනාම ඉතා උතුම් සීලයක් රැකීමට අධිෂ්ඨාන කරගැනීම ඉතාම යහපත්. ඒ එක සිල්පදයක් හෝ අවංකවම නොකඩවා රැකීම ඉතාම උතුම් දෙයකි. නමුත් එසේ උතුම් ක්‍රියාවක් කිරීමට ආරම්භ කළ ඔබ මෙසේ කලකෝලාහල කරගැනීම මෝඩකමකි. ඒ නිසා ඔබ හැම දෙනාම දැන් රකින සීලයට අතිරේකව තව සීලයක් රැකීමට අධිෂ්ඨාන කරගන්න.”
“භාග්‍යවතුන් වහන්ස, මේ දැන් රකින සීලයද අප රකින්නේ ඉතාමත් අමාරුවෙනි. ඔබ වහන්සේ දේශනා කර වදාරන පරිදි තව එකක් ඊට එක් කරගත්තොත් මේ දැන් රකින සීලයවත් රැකීම අපට අපහසු වෙන්නට බැරි නැද්ද?” බොහොම යටහත් පහත්ව ඔවුහු බුදු රජාණන් වහන්සේගෙන් ඇසූහ. “නැහැ, නැහැ, මා ඔබහැමදෙනාටම රකින්නට යයි කියන සිල්පදය රැකීමෙන් ඔබ දැන් රකින සිල්පදය පමණක් නොවේ ඉතිරි සිල්පදත් රැකීමට ඉතාමත් බලවත් ශක්තියක් ධෛර්යයක් වෙනවා. ඒ නිසා ඔබ හැමදෙනාම ඒ සිල් පදය රකින්නටත් අධිෂ්ඨාන කරගන්න.” “ඒ මොන සිල්පදයද, භාග්‍යවතුන් වහන්ස?“
“ඒකට තමා ‘සතිය’ කියන්නේ. ඔබ සතියෙන් යුතුව සිල් රකිනවා නම් ඔබට එක සිල්පදයක් පමණක් නොවේ, සිල්පද පහ පමණක් නොව ඊට වඩා වැඩි ප්‍රමාණයක් වුවද රැකිය හැකි යි” යනුවෙන් දේශනා කර වදාරා සතියෙන් යුතුව සිල් රැකීමෙන් හැම සීලයක්ම රැකිය හැකි බව බුදු රජාණන් වහන්සේ දේශනා කර වදාරා තිබේ. මේ නිසා සතිය හැම උතුම් ක්‍රියාවකටම මුල් වන බව බුදු රජාණන් වහන්සේගේ මෙම දේශනයෙන් අපට පැහැදිලි වේ.
‘සති’ යනු පාලි වචනයකි. ඒ වචනයකි. ඒ වචනයේ අදහස කුමක්දැයි ඔබට හිතෙන්ට පුළුවන. ‘සති’ යන්නට ‘ය’ එක් කර ‘සතිය’ කියා සිංහලෙන් ව්‍යවහාර කරති. අපි ව්‍යවහාරික සිංහල භාෂාවෙන් ‘සතිය’ යන්නට ‘සිහිය’ කියා භාවිතා කිරීමට පුරුදු වී සිටිමු. ‘සිහිය’ කී විට අපේ හිතට ඉබේම එන්නේ ‘මතක’ යන්නය. ‘මතක’ කී විට කුමක් මතකයේ තබාගත යුතුදැයි කියා ප්‍රශ්නයක් මතු විය හැකියි. භාවනා ගැන කරන සාකච්ඡාවකදී ‘සති’ හෝ ‘සතිය’ කියා කියන්නේ අප එදිනෙදා ජීවිතයේ දේවල් මතක තබාගැනීමකට නොවේ. ඊට වඩා උසස් හා ගැඹුරු තේරුමකටය. ‘මතක’ යනු සිල් රැකීමට පමණක් යොදාගන්නා සිහියක් නොව, භාවනාවේ මුල සිට අවසානය තෙක් දියුණු කරගත යුතු ප්‍රධානම මනෝමය ක්‍රියාවකි.
භාවනා ගැන කථා කරන විට ‘සති’ නැත් නම් ‘මතක’ යන්නෙහි අංශ රැසක් තිබෙන බව මතක තබාගත යුතුය. එයින් ප්‍රධාන පහ මෙහි සඳහන් කරමු.
1. ‘පන්සිල් රකිමි’ යන අධිෂ්ඨානය හිතේ තබාගෙන ඒ අනුවම දිනපතා ජීවිතය ගත කිරීම.
2. පක්ෂග්‍රාහී නොවී අපේ රූප වේදනා, සඤ්ඤා, සංඛාර හා විඤ්ඤාණ යන පංචස්ඛන්ධයේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්මතා දැකීම
3. එම අත්දැකීමෙන් ලැබෙන මතකය හිතේ තබාගෙන ඒ අනුව හැම දේම අවබෝධ කරගැනීමට හිත පුරුදු කරගැනීම.
4. ඒ අනිත්‍ය වූ කිසිවක් රාග වශයෙන් හිතින් අල්ලාගැනීමක් හෝ ද්වේෂ වශයෙන් පිටුදැකීමක් හෝ නොකර, හිත මධ්‍යස්ථව තබාගැනීමට පුරුදු කරගැනීම.
5. එසේ කිරීමෙන් පංචස්ඛන්ධයේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්මතාවන් සුලුවශයෙන් හෝ හිතට පෙනුණාම එය මතක තබාගැනීම.
මෙයින් අපේ හිත ක්‍රමක්‍රමයෙන් දියුණු වී අපේම පංචස්ඛන්ධය තුළින්ම නිවන් අවබෝධ කරගත හැකි වේ. මේ බව දැකීමට නම් අපේම සිරුරට සම්බන්ධ යම්කිසි දෙයකට නිතර හිත යෙදවිය යුතුයි. මේ සඳහා අප යොදාගන්නේ අපේම ආශ්වාස ප්‍රශ්වාස වායුවමයි. එහි වෙනස්වීම අපට ඉතාම හොඳින් වැටහෙන නිසයි එය අපේ භාවනාවේ අරමුණ කරගන්නේ.
ඊළඟට සම්පජඤ්ඤය. ඒ කියන්නේ, ඒ ඇති කරගන්නා දැනුම වඩවඩාත් ගැඹුරු ලෙස දියුණු කරගෙන පංචස්ඛන්ධයේ අනිත්‍ය, දුක්ඛ හා අනාත්මතාවන් තව තවත් ගැඹුරින් දැකීමයි. ඒ නිසා සතියත් සම්පජඤ්ඤයත් යන දෙක එකටම යන දෙකකි. සම්පජඤ්ඤය කොටස් හතරකට බෙදා අටුවාචාරීන් වහන්සේලා පෙන්වා දී ඇත. ඒ සාත්ථක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ හා අසම්මෝහ සම්පජඤ්ඤ වශයෙනි.
සාත්ථක සම්පඤ්ඤ කියන්නේ තමන්ගේ ඉලක්කය ඉතා හොඳින් අවබෝධ කරගැනීමය. භාවනානුයෝගියාගේ ඉලක්කය වන්නේ සිත පිරිසිදු කරගැනීමත්, ශෝකපරිද්දවයන් නැති කරගැනීමත්, දුක් දොම්නස් නැති කරගැනීමත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීමත් හා නිවන් අවබෝධ කරගැනීමත් යන ඉලක්ක පහය.
භාවනා කරන හැම මොහොතකම එක්තරා ප්‍රමාණයකට රාග, ද්වේෂ හා මෝහ යන අකුසල්වලින් සුළු ප්‍රමාණයක් හෝ තාවකාලික වශයෙන් නැති වී, අපගේ හිත පිරිසිදු බවට පත් වේ.
අනිත්‍යය හොඳින් හිතට පෙනෙන විට ඒ අනිත්‍ය වූ දේ පිළිබඳව ඇති කරගෙන තිබුණු බැඳීම ක්‍රමක්‍රමයෙන් අඩු වී ගොස් ඒ අනිත්‍ය දේ නොලැබීමෙන් හෝ, ලැබූ අනිත්‍ය දේ නැති වීමෙන් හෝ ඇති වන ශෝක කිරීම, ඇඬීම, වැලපීම තුනී වී නැති වි හෙවත් අහෝසි වී යයි.
අනිත්‍ය වූ මේ සිරුරට ඇති වන නොයෙකුත් ලෙඩ රෝගාදිය නිසාත්, අපි‍්‍රයයන් සමඟ ජීවත්වීම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම ආදිය නිසාත් ඇති වන දුක් දොම්නස් නැති කරගත හැකි වේ.
අනිත්‍ය, දුක්ඛ, අනන්ත යන ත්‍රිලක්ෂණය දැකීමත්, ඒ අනිත්‍ය දේ හිතින් තදින් අල්ලාගෙන සිටීමත් නිසා දුක ඇති වන බව දැකීමයි යථාර්ථය දකිනවා යයි කියන්නේ. ඊටම තමා සත්‍ය දැකීම හෝ ඇත්ත දැකීම හෝ ඇති දෙය ඒ හැටියෙන් දැකීම හෝ හරි දැකුම හෝ කියන්නේ. මේ දැකීම, දැනීම, අවබෝධය, නුවණ ඇති වීම තමා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් පියවර.
ඉන් පසු අනිත්‍ය වූ දෙයට ඇලීම බැඳීම හිතින් අතහැරීම නම් වූ කෙනක්ඛම්ම සංකප්පයත්, මෛත්‍රී කිරීම නම් වූ අව්‍යාපාද සංකප්පයත්, කරුණාව දියුණු කිරීම නම් වූ අහිංසා සංකප්පයත් දියුණු වේ. මේ හිතුවිලි තුන එක් කරගත් විට ඊට සම්මා සංකප්පයයි කියති. මෙලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සියලු අග සම්පූර්ණ වීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීම සිදු වේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ විදිහටම අනුගමනය කරගෙන යන විට තමා නිවන් අවබෝධ වන්නේ.
සප්පාය සම්පජඤ්ඤයැයි කියන්නේ භාවනා කිරීමෙන් අප බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබාගැනීමට යොදාගන්නා කර්මස්ථානය ඒ බලාපොරොත්තු වන අරමුණ කරා ගමන් කිරීමට සුදුසුදැයි පරීක්ෂා කර නුවණින් දැනගැනීමය. භාවනා කරන විට තමන් කරන භාවනාවෙන් ඒ අපේක්ෂාවන් කරා හිත නොයෙදනවා නම් ඒ බව දුටු වහාම හිත ඒ සඳහා යොමු කළ යුතුයි. මේ තත්ත්වය හොඳින් දැනගැනීමයි සප්පාය සම්පජඤ්ඤයයි කියන්නේ. සුදුසු කර්මස්ථානය බලාපොරොත්තු වන අරමුණු කරා ගෙන යා හැකි බව හොඳින් අවබෝධ කරගැනීමය.
ගෝචර සම්පජඤ්ඤ කියන්නේ තමන්ගේ හිත යොදවන්නේ කුමන අරමුණකටදැයි හොඳින් අවබෝධ කරගැනීමය. අපේ භාවනා අරමුණ වන්නේ අපේම පංචස්කන්ධයයි. අප ඒ පංචස්කන්ධයන්ටම හිත යොමු කළ යුතුයි. එවිට ඒ පිළිබඳ නියම අවබෝධය ඇති වේ. ‘ගෝචර’ කියා පාලියෙන් කියන්නේ ගවයන් කෑම කමින් හැසිරෙන ස්ථානයටය. ඒ අර්ථය ආරූඪ වශයෙන් ගෙන භාවනානුයෝගීයාගේ හිත භාවනා අරමුණෙහි හැසිරෙන තැන යන අදහසින් ‘ගෝචර’ කියා ව්‍යවහාර කෙරේ.
අසම්මෝහ සම්පජඤ්ඤ කියන්නේ කරන භාවනාවන් ඒ සඳහා උපයෝගී කරගන්නා කර්මස්ථානයත් ගැන පැහැදිලි දැනීමක් තිබීමය. ඒ පිළිබඳව කිසිම ආකුල-ව්‍යාකුල තත්ත්වයක් හිතේ නොතිබීම අසම්මෝහ සම්පජඤ්ඤයයි. භාවනා කරමින් ඉන්නා විට හිතේ එක්තරා සන්සුන්කමක් ඇති වී හිත ස්වල්ප මොහොතකට හෝ එකඟ වුණොත් ‘ඔන්න දැන් මට සමාධියක් ලැබුණා’ කියා හෝ ‘දැන් මට අහසින් යා හැකැ’යි කියා හෝ දැන් මට අනුන්ගේ හිත් කියවිය හැකැ’යි කියා හෝ දැන් ‘මම සෝවාන් වුණා’ යි කියා හෝ ඔබට හැඟුණොත් ඒ තමා මුළාව. මේ මුළාවට හසු නොවී භාවනානුයෝගියා මේ ගැන හොඳින් තේරුම් ගැනීමයි අසම්මෝහ සම්පජඤ්ඤ කියා කියන්නේ.
ඒනිසා භාවනා කරන හැම මොහොතකම නොහොත් අවදි වී ඉන්නා හැම මොහොතකම ඔහු සිතිය යුත්තේ මේ ඉලක්ක ලබාගන්නා ක්‍රමය පිළිවෙළ ගැනමයි. ගමන් කරන විටත්, වාඩි වන විටත්, ඇවිදින විටත්, කථා කරන විටත්, කථානොකර නිශ්ශබ්දව ඉන්නා විටත්, ආදි වශයෙන් තමන් කරන හැම ක්‍රියාවක් ගැනම හැම මොහොතේම ඒ ඒ ක්‍රියාවලත්, ඒ ඒ ක්‍රියා කරන විට තමන්ගේ හිතේ ඇති වන සිතුවිලි, දැනෙන දැනීම් ආදියෙහිත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම දකිමින් සිහිය යොදවාගෙනම ඒ ක්‍රියා කළ යුතුයි.
ඒ සමඟම අල්පේච්ඡභාවය දියුණු කළ යුතුයි. තණ්හාව වැඩෙන අයුරු ක්‍රියා කිරීමෙන් වැළකිය යුතුයි. මෙකී කරැණු නිතර නිතර දිනපතාම කරන විට, නිදාගන්ට ගියත් අවදි වී සිටියත්, නිතර හිතෙන්නේ සිල් රැකීමටත්, සතිසම්පජඤ්ඤය දියුණු කිරීමටත්ය. මෙසේ හිත පුරුදු-පුහුණු වන විට නොයෙකුත් දේ එකතු කිරීමට අල්ලාගැනීමට රැස් කිරීමට ආශාව කැමැත්ත ඇති වන්නේ නැහැ. එවිට අල්පේච්ඡතාව වැඩීමට හිත පුරුදු වෙනවා. මෙසේ උතුම් අදහස් නිතර නිතර හිතට නංවාගෙන ඒවාම සිහි කරන විට ඒවාම දියුණු වෙනවා. මෙහෙම හිත සැනසෙන, හිතට සුව ගෙනදෙන, මනසෙහි තැන්පත් භාවය දියුණු කරන, හිතේ නිවැරැදි එකඟතාව ඇති කරගන්නා ලෙස හිත පුරුදු කිරීමටයි භාවනා කරනවා කියන්නේ.
* * *
සමාධිය හා ප්‍රඥාව යන දෙකම ලබන භාවනා පහක් අංගුත්තර නිකායේ දක්වා ඇත. ඒ පහ මෙසේය: 1. බුදු රජාණන් වහන්සේ හෝ ශ්‍රාවක නමක් හෝ ධර්ම දේශනා කරන විට ඒ කෙරෙහි ඉතා බලවත් ශ්‍රද්ධාවකින් යුතුව හොඳින් කන් යොමා ඒ දෙසන ධර්මයට ඇහුම් කන්දීම, 2. ඉතා බලවත් ශ්‍රද්ධාවකින් යුතුව ධර්මය ඉගෙනගෙන ධර්ම ගෞරවය ඇතිව ධර්ම දේශනා කිරීම, 3. ඉතා ගැඹුරු සූත්‍රයක් ගෙන එහි ගැඹුරු තේරුම හොඳින් පරීක්ෂා කර බැලීම, 4. යම්කිසි සූත්‍රයක් ගෙන එහි සැඟවී ඇති ගැඹුර දකිමින් ඉතා බලවත් ශ්‍රද්ධාකින් යුතුව එය සජ්ඣායනා කිරීම හා 5. තමන්ට සුදුසු මාතෘකාවක් ගෙන දැන් ප්‍රචලිතව තිබෙන අයුරු භාවනා කිරීම යනු ඒ පහය.
මෙයින් කොයි ක්‍රමය උපයෝගී කරගෙන භාවනා කළත් ලැබෙන්නේ සමාධිය හා ප්‍රඥාවයි බණ අසන ගමන්, බණ දෙසන ගමන්, ධර්මයේ ගැඹුර බලන ගමන් හා සජ්ඣායනා කරන ගමන් හිත එකඟ කරගන්නේ කෙසේදැයි ඔබට ප්‍රශ්න කළ හැකියි. වාඩි වී භාවනා කළත් අනිත් ක්‍රම හතරෙන් එකක් ගෙන භාවනා කළත් ධර්මයේ නියම ගැඹුර ඔබේම ප්‍රත්‍යක්ෂයෙන් දකින විට වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි ඉතා බලවත් ශාන්ත බවක් ඔබට ඔබේ හිතේ ඇති වේ. මේ ශාන්ත බව තව–තවත් දියුණු-තියුණු වී, ඔබේ හිතේ පී‍්‍රතියක් හටගැනේ. ඒ පී‍්‍රතිය තව–තවත් දියුණු–තියුණු වී වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි සතුටක් ඇති වේ. මේ සතුටින් පිරුණු හිත සමාධිගත වේ. මේ එකඟ වූ සිතට යමක යථා තත්ත්වය අවබෝධ වන බව බුදු රජාණන් වහන්සේ සිය ගණන් සූත්‍රවල දේශනා කර තිබේ.

නිවනට පිවිසෙන දොරටුව

මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී 
කොබෙයිගනේ පුබ්බිලිය 
ශී‍්‍ර සාරානන්ද පිරිවෙනේ ආචාර්ය 
ගලගෙදර රතනවංස හිමි
නිවන යනු සියලු කෙලෙසුන් අවසන් වන අවස්ථාවයි. එය ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ ගමන් කොට පියවරෙන් පියවර සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් වශයෙන් ලැබිය යුත්තකි. තම ප්‍රඥාවෙන් ලැබිය යුතු එම නිවන් මඟ අවබෝධ කර ගැනීමට වීර්යයෙන් යුක්තව කටයුතු කළ යුතුව ඇත. බුදුදහම වනාහි ප්‍රඥාවන්තයින් උදෙසා දේශනා කළ එකකි. එයට හේතුව එය අවබෝධ කර ගැනීම එතරම්ම ගැඹුරු වූවක් බැවිනි. බුදුරජාණන් වහන්සේ මුලින්ම ලෝකයාට ධර්මය නොදෙසීමට තීරණය කළේද, එහි ගැඹුරු බව ද හේතුවෙනි.
බුදු,පසේ බුදු, මහරහත් යන උතුමන් හැරුණු කොට සියල්ලෝම වැරදි අඩු පාඩුවලින් අනූනය. සියල්ලෝම කාම ලෝකයේ නොයෙක් විලසින් එක එක අරමුණු ප්‍රාර්ථනා පොදි බැඳගෙන ඉච්ඡාභංගත්වයෙන් ජීවත් වෙති. එවැනි ලෝකයකට ගැඹුරු දහමක් දේශනා කිරීමෙන් ඇති ඵලක් නැත. නමුදු බුදු කෙනෙක් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ සංසාර චක්‍රයට හසුවී සිටින අපමණ දුක් විඳින සත්වයා ඉන් මුදා ලීමටය. ඒ සඳහා එකම විසඳුම නිවන අවබෝධ කරවීමයි. එය ඍජුව කර දීමට අපහසු බැවින් පළමුව පුද්ගලයා ඒ සඳහා නැඹුරු වීමේ ආකල්පය ඇති කිරීම අනිවාර්ය වේ. ඒ සඳහා ඇති එකම විකල්පය වන්නේ ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීමයි.
බුදු දහම වනාහි ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් අවසන් වන්නකි. බුදු දහම කිසිම අවස්ථාවක භක්ති මාර්ගය අගයන්නේ නැත. බුදුන් ලොව පහළ වන යුගය තුළ පැවතියේ භක්ති මාර්ගයයි. සර්ව බලධාරි දෙවි කෙනෙකු අරභයා පුද පූජා, යාග හෝම පැවැත්වීම එහි කාර්යයි. අදෘෂ්‍යමාන වස්තුන් මූලිකකොට ගෙන නිවන සෙවූ යුගයක බුදු හිමි ඤාණ මාර්ගය පෙන්වා දී පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මාර්ගය පාදා දුන් ආකාරය ඉතා පැහැදිලිය.
ම.නි. කීටාගිරි සූත්‍රයට අනුව ශ්‍රද්ධාව හා එහි ප්‍රභේද පිළිබඳව දක්වා ඇත. ඉහතින් මතක් කළ ආකාරයට සියල්ලෝම ප්‍රඥාවන්තයින් නොවන බැවින් ශ්‍රද්ධාව මුල් කොට ගෙන බුදු දහම වැළඳ ගැනීම හා නිවනට යන මාර්ගය පාදා ගැනීමට සිදුවේ. ඒ අනුව ශ්‍රද්ධාව ඉතා වැදගත් වේ. ශ්‍රද්ධාව එහි මූල බීජයයි. සැදැහැයෙන් පෙළෙඹෙන පුද්ගලයා සම්‍යයක් දෘෂ්ටිය ප්‍රකාශ වන තැනට එළඹෙයි. පැමිණ සමීපයෙහි හිද ගනියි. හිද සවන් යොමු කරයි. යොමු කළ සවනින් දහම් අසයි. ඇසූ ධර්මය දරයි. දැරූ ධර්මය අර්ථ පරික්ෂා කරයි. අර්ථ පරික්ෂා කිරීමෙන් ධර්මය වැටහෙන්නට පටන් ගනියි.
එකල්හි ශාසන කාර්යයෙහි කැමැත්ත ඇති වෙයි. එබැවින් උත්සාහ කරයි. උත්සාහය නිසා ත්‍රිලක්ෂණය මනසිකාරයට පෙළඹෙයි. එය පධන් වීර්යයට පුද්ගලයා මෙහෙයවයි. පධන් වීර්යය නිසා නාම කයින් පරම සත්‍යය සාක්ෂාත් කරයි. ප්‍රඥාවෙන් එය ප්‍රතිවේධ කොට දකියි.
මේ ආදි වශයෙන් ප්‍රඥාව අඩු වුවත් ශ්‍රද්ධාව ඇත්නම් ක්‍රම ක්‍රමයෙන් නිවන කරා ගමන් කරනා අයුරු එම සූත්‍රය අනුව විග්‍රහ වේ. මෙහිදී අප අවබෝධ කර ගත යුතු කරුණක් වන්නේ ශ්‍රද්ධාවේ කොටස් දෙකක් ඇති බවත් එයින් ආකාරවතී ශ්‍රද්ධාවම අනුගමනය කළ යුතු බවත්ය.
අමූලික ශ්‍රද්ධාව තුළින් සිදුවන්නේ නොවිමසා අවිචාරශීලිව අනවබෝධයෙන් පිළිගැනීමයි. කටයුතු කිරීමයි. නමුත් ආකාරවති ශ්‍රද්ධාව එසේ නොව එතුළින් විචාරශීලිව සොයා බලා විමසා තර්කානුකූලව බුද්ධිමත්ව ක්‍රියා කිරීමත් ප්‍රසාදයට පත්වීමත් සිදුවේ.
බුදුරදුන් ජීවමාන කල්හිද සමහර දෙනෙකුට අමූලික ශ්‍රද්ධාව තිබූ බැවින් නිවන පවා අවබෝධ කර ගැනීමට අපහසු විය. සැරියුත් හිමි ප්‍රඥාවන්තයින් අතර අග තනතුර ලැබීම ප්‍රශංසා කොට ඇති මුත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූ වක්කලී හිමියන්ගේ ශ්‍රද්ධාව ගැන ප්‍රසංසා කොට නොමැත. එයට හේතුව අධික ශ්‍රද්ධාව නිවනට පවා බාධා වන බැවිනි. ආනන්ද, වක්කලී, මේඝිය වැනි හාමුදුරුවරුනට නිවන් ලබා ගැනීම ප්‍රමාද වී ඇත්තේද අධික ශ්‍රද්ධාව තිබූ බැවින් බව පැහැදිලි වේ.
ම.නි. කීටාගිරි සූත්‍රය තුළම ශ්‍රද්ධාව පිළිබඳ තවත් විධිමත් විස්තරයක් සිදු කොට ඇත. එම සූත්‍රයට අනුව ශ්‍රද්ධාව විවිධ අංශයන් ඔස්සේ විකාශනය වන අයුරු පැහැදිළි වේ. නිර්වාණාවබෝධය උදෙසා වැඩෙන සද්ධා, සීල, සුත, චාග ,පඤ්ඤා යන සම්පත් අතර සද්ධා සම්පදා නමින්ද, සද්ධා විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්මයන් අතර සද්ධා ඉන්ද්‍රිය වශයෙන්ද ඒ ඉන්ද්‍රියම බල ධර්ම වන විට සද්ධා බල නමින්ද තමාම සුරැකෙමින් පමාවට නොනිසි සද්ධා විරිය හිරි ඔත්තප්ප පඤ්ඤා යන අප්‍රමාදී ධර්මයන් අතර සද්ධා නමින්ද ආදි වශයෙන් දක්වා ඇත. ඒ කෙසේ දැක්වුවද කෙටියෙන් අවබෝධ කර ගත යුතු වන්නේ ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් අවසන් වන බවයි.
නිවන් දැකීම අසීරු වන්නේ ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකිවන බැවිනි. සත්වයා සසර දුක් විඳින්නේ ද එම හේතුවෙනි. එසේ නම් එම ගැඹුරු දහම අවබෝධ කර ගැනීමට පෙර එම ධර්මය දෙසට යොමු වන ශක්තිය වන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව ඇති කළ පන්සල් යෑමට , මල් පහන් පූජා කිරීමට ,දන්දීමට , බුදුන් වැඳීමට ආදි ආමිස පූජා වලට නැඹුරු වනු ඇත.
එම නැඹුරු වීමේ කෙළවර ප්‍රතිපත්ති පුජාවද සිදු කිරීමට අපහසුවක් නැත. එසේ නම් නිවනට යන ගමන් මගේ සමාරම්භක අවස්ථාව නොහොත් දොරටුව ශ්‍රද්ධාව කීවොත් ඉතා නිවැරැදිය. එහිදී අමූලික ශ්‍රද්ධාව ඉවත් කොට අකාරවතී ශ්‍රද්ධාවම ප්‍රගුණ කිරීමට උත්සාවත් විය යුතුය. එවිට තුණුරුවන් හරහා නිවන් මඟ පෑදෙනු ඇත.
සමහර ධනවතුන් තමන්ගේ නම දැන්වීම් පුවරුවල ලියා ගැනීමට හෝ තමන්ගේ නම පිරිස මැද කියවා ගැනීමට තරම් බොලඳ වී ඇත. ඒ අය සිඳු කරන්නේ නැති බැරි අසරණ දුප්පත් අයට දීමට නොව තියන තැනටම දීමටය. අමූලික ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාවකට පරිවර්තනය කිරීමට නොයති. එසේ වුවහොත් ඔවුන්ටද මදි පුංචි කමක් කළා කියමින් සිතා අමනාප වෙයි ද යන ආකල්පය හේතුවෙනි. යන ආකල්පයෙනි. එවිට ලාභ ප්‍රයෝජනද නවතිනු ඇත. නමුදු අමූලික ශ්‍රද්ධාවෙන් නම කියා ගැනීමට හෝ නම ලියා ගැනීමට උත්සාහවත් වන එම තැනැත්තියට හෝ තැනැත්තාට උපාදානයෙන් මිය ගොස් සසර තව තවත් දික් වී නිවන තබා සෝවාන් වීමටවත් අවස්ථාවක් උදා නොවනු ඇත.

දහම් අසන්න පිළිපදින්න

ගාල්ල මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාමාධිපති 
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති 
අග්ගමහා පණ්ඩිත 
පල්ලත්තර සුමනජෝති නා හිමි
“විහත ථිනමිද්ධො ඛො සාරිපුත්ත භික්ඛු සංඝො. පටිභාතු තං සාරිපුත්ත භික්ඛූනං ධම්ම කථා. පිට්ඨි මේ ආගිලායති. තමහං ආයිමිස්සාමිති. එවං හන්තේ ඛො ආයස්මා සාරිපුත්තො භගවතො පච් වස්සොසි”
“සාරිපුත්‍රය, මේ අවස්ථාවේ භික්ෂු සංඝයා ථීන මිද්ධයෙන් (සිතේ හා චෛතසිකයන්ගේ අලසකමින්) තොරයි. ඔවුන්ගේ සිත හා චෛතසික ක්‍රියාත්මකයි. සාරිපුත්‍රය, එහෙයින් භික්ෂූන්ට ධර්ම දේශනයක් කරන්න. මේ වේලාව සුදුසුයි. මාගේ පිට රිදෙනව. එම රුදාව සමනය කරගන්න මා විවේක ගන්නව“ බුදුන් වහන්සේ ගේ කීම පිළිගත් සැරියුත් හාමුදුරුවෝ හොඳමයි ස්වාමිනී යි කියා බුදුන් වහන්සේට පිළිතුරු දුන්හ. (ඉහත සඳහන් සූත්‍ර පාඨයෙන් ප්‍රකාශ වන්නේ ඒ අදහසයි.
මේ පළමු නලකපාන සූත්‍රය සැරියුත් හිමියන් දේශනා කළේ බුදුරජාණන් වහන්සේ නලපාන ගමැ වූ පළාස නම් වනයේ වැඩසිටි දවසක. එක්තරා පුරපෝ දිනක බුදුන් වහන්සේ භික්ෂූන් පිරිවරාගෙන රාත්‍රී බොහෝ වේලාවක් ධර්ම දේශනා කළා. එම ධර්මය පිළිපැදීමට භික්ෂූන් උත්සාහවත් කරල ඒ පිළිබඳ සතුටු කරවල දේශනාව නිමකරල භික්ෂූන් දෙස බැලුවම උන්වහන්සේට හැඟුණ භික්ෂූන් තව තවත් ධර්මය ඇසීමට කැමැත්තෙන් සිටින බව. ඒ බව තේරුම් ගත් බුදුන් වහන්සේ සැරියුත් හිමියන් අමතල සාරිපුත්‍රය, භික්ෂු සංඝයා දැන් ථීන මිද්ධයෙන් තොරයි. උන්වහන්සේට තවදුරටත් ධර්මය දේශනා කරන්න. මාගේ පිට රිදෙනව. මම ටිකක් විවේක ගන්නම්. යහපති ස්වාමීනි යි පිළිතුරු දුන් සැරියුත් හිමියෝ අනතුරුව සිය දේශනාව ආරම්භ කළහ.
අංගුත්තර නිකායේ දසවන නිපාතයේ යමක වර්ගයට අයත් මේ නළකපාන සූත්‍රය දේශනාකරන ලද්දේ නළකපාන නම් ගමේ පලාස නමැති වනයේදී. බෝසතාණන් වහන්සේ වඳුරුව උපන් එක් ආත්මයක වනගත ජලාශයකට අරක් ගත් අමනුෂ්‍යයකු මුළාකොට බටදඬුවලින් දිය පානය කළ පුවත් මේ වානර ජාතකයෙහි සඳහන් වේ. මේ පුවත මුල්කරගෙන ඒ ගම නළකපාන ගම යනුවෙන් හැඳින්වෙන බව අට්ඨ කථාව කියයි.
බුදුරජාණන් වහන්සේගේ පිට රිදීම පිළිබඳ කරුණු කියන අට්ඨ කතාව උන්වහන්සේ බුදුවීම සඳහා වනගතව සාවුරුද්දක් දුෂ්කරක්‍රියා කළ කාලය තුළ කායික වශයෙන් විඳින්නට වූ දුක් හේතු කොට ගෙන වෘද්ධ වයසට පත් වූ පසු පිටිකොන්දේ වාතයක් හටගත් බවත් තමාගේයයි පුහුදුන් අප සිතන තෘෂ්ණා මානාදි වශයෙන් අප පිළිගත් උපාදින්නක ශරීරයෙහි ඉඳීමි, සිටීමි ආදී අවස්ථාවලදී හටගත් ආබාධ සමනය කිරීමට අවකාශ නො ලැබුණ නිසා එම වේදනා දැන් ඉස්මතු වී එන බැවින් ඒවා සංසිඳුවා ගැනීම සඳහා සිංහ සෙය්‍යාවෙන් (සිංහයා සයනය කරන්නාක් මෙන්) මඳ වේලාවක් දකුණැළයෙන් සැතපෙන බවත් ඒ අනුව මේ අවස්ථාවෙහි ද මෙසේ විවේක ගත් බවත් අට්ඨ කතාව කියයි.
(බුදුරජාණන් වහන්සේ ස්වකීය සඟළ සිවුර හතරට නමා සුදුසු ස්ථානයක එය අතුරා දකුණැළයෙන් වම්පය දකුණු පාදයෙන් මඳක් පසුපසට මෑත් කොට පිබිදෙන වේලාව සිතා සිහියෙන් හා සමප්‍රඥාවෙන් යුතුව සයනය කළ බව අට්ඨ කතාව කියයි.)
බුදුරදුන්ගේ ඉල්ලීම පිළිගත් සැරියුත් හිමියෝ භික්ෂූන් අමතා මෙසේ වදාළහ. ඇවැත්නි, යමෙකුට කුශල ධර්ම පිළිබඳ ශ්‍රද්ධාවක් (විශ්වාසයක්) නැත්නම් හිරි, ඔතප් (පවට ලජ්ජාව හා පවට බිය) නැත්නම් එසේම වීර්යය නැත්නම් ප්‍රඥාව නැත්නම් ධර්මය ඇසීමට ඕනෑකමක් නැත්නම් ඇසූ ධර්මය සිතේ ධාරණයකර ගැනීමට ඕනෑකමක් නැත්නම් එම ධර්මය පිළිබඳ අර්ථ පරීක්ෂා කර බැලීමේ ඕනෑකමක් නැත්නම් එම ධර්මය හා ඊට අනුකූල වූ අනුධර්ම පිළිබඳ පිළිවෙත් පිරීමක් නැත්නම් එසේම කුශල් දම් පිරීමෙහි උනන්දුවක් නැත්නම් නොසැළකිලිමත් අන්දමින් ධර්මය ඇසීමෙන් පලක් නොවන බව පැහැදිලි කරමින් සැරියුත් හිමියෝ උපමාවකින් මෙසේ ප්‍රකාශ කළහ. ඇවැත්නි, කළුවර පක්ෂයෙහි චන්ද්‍රයාගේ යම් රැයක් හෝ දවාලක් ගත වේද? ඒ කාලය තුළ චන්ද්‍රයා වර්ණයෙන්, මණ්ඩලයෙන්, ආලෝකයෙන්, හා ප්‍රමාණයෙන් පිරිහේ. එමෙන් යමකු තුළ කුශල ධර්ම පිළිබඳ ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, වීර්යය, ප්‍රඥාව ශ්‍රෝත්‍රාවධානය (ඇසීමට කන්යොමු කිරීම) ධාරණය, අර්ථ පරීක්ෂාව, පිළිපැදීම, කුශල් කිරීමට යුහුසුළු බව, යන මේ ගුණ නැත්නම් ඔහුට ගතවන හැම රැයක් දවාලක් ම ඔහුගේ කුශල ධර්ම පිරිහීමට හේතු වේ. කුශල ධර්මවල වර්ධනයක් නම් නොවේ. මෙසේ ප්‍රකාශ කළ සැරියුත් හිමියෝ තවදුරටත් මෙසේද ප්‍රකාශ කළහ. ඇවැත්නි, (අස්සද්ධො පුරිස පුග්ගලො ති ආවුසො පරිහානිමෙතං) ඇවැත්නි, නො සැදැහැවත් පුද්ගලයා කියන්නේ ඔහුගේ පිරිහීමයි. (අසිරිකො පුරිස පුග්ගලො) පවට ලජ්ජා නැති පුද්ගලයාය කියන්නෙ පිරිහෙන පුද්ගලයාය යන්නයි. එසේම පවට බිය නැත්තා ද කම්මැලි පුද්ගලයා ද අනුවණ පුද්ගලයා ද ක්‍රෝධ කරන පුද්ගලයා ද බද්ධ වෛරී පුද්ගලයා ද පවට ලැදි පුද්ගලයා ද පාපමිත්‍ර පුද්ගලයාද මිසදිටු පුද්ගලයා ද කියන මේ ලක්ෂණ ඇති පුද්ගලයෝ හැම දෙනාම පිරිහෙන පුද්ගලයෝ වෙති. මෙබඳු පුද්ගලයෝ පවින් වැඩුණු කුශල් දහම්වලින් නොවැඩුණු පාපී පුද්ගලයෝ යයි සැරියුත් හාමුදුරුවෝ ප්‍රකාශ කළහ.
යළිත් භික්ෂූන් ඇමතූ සැරියුත් හාමුදුරුවෝ ඇවැත්නි, යමෙකු තුළ ඉහත කී ශ්‍රද්ධාදී ගුණ දහම් තිබේ නම් ඔහුට ගත වන හැම රෑ දවාලක් කුශල ධර්මයන්ගෙන් හේ වැඩෙන බවත් කුශල ධර්මයන්ගේ පිරිහීමක් නම් නොවන බවත් ප්‍රකාශ කළහ. තවදුරටත් උන්වහන්සේ ප්‍රකාශ කරනව ඇවැත්නි, නොසැදැහැ බව, හිරි ඔතප් නැති බව පටන් ගන්නා ලද වීර්යය නැති බව කිපෙනසුළු බව බද්ධ වෛරී නොවන බව පවට ලැදි බව, පාපී මිතුරන් ඇති බව මිසදිටු බව යන කරුණු පුද්ගලයාගේ පරිහානියට හේතුවන ලක්ෂණ බව.
සැරියුත් හිමියන්ගේ දේශනාව අවසන් වත්ම සයනයෙන් නැගී සිටි බුදුරජාණන් වහන්සේ සැරියුත් හිමියන් අමතා මෙසේ වදාළහ. සාරිපුත්තයෙනි, ඉතා හොඳයි ඉතා හොඳයි. යමෙකු තුළ කුශල ධර්ම කිරීමට ශ්‍රද්ධාව (තුණුරුවන් කෙරෙහි ගුණ දැනගෙන විශ්වාස කිරීම) හෝ පවට ලැජ්ජාවක් හෝ පවට බියක් යනාදී ඉහත කී ගුණ නැත්නම් ඔහුට ගතවන හැම රෑ දාවල පින්ම සේ කුශල ධර්මවලින් පිරිහෙනව. කුශල ධර්ම පිළිබඳ වර්ධනයක් නම් නොවේ. සාරිපුත්‍රය, එය හරියට කළුවර පක්ෂයෙහි දී චන්ද්‍රයාගේ කිසියම් රාත්‍රියක් හෝ දවාලක් හෝ ගත වේ නම් චන්ද්‍රයා වර්ණයෙන් මණ්ඩලයෙන් ආලෝකයෙන් දිගු පුළුලින් පිරිහෙන්නාක් මෙනියි වදාළ (සැරියුත් හාමුදුරුවන් ප්‍රකාශ කළ කරුණු ම යළිත් එම දේශනාව තහවුරු කරනු වස් එයම බුදුරජාණන් වහන්සේත් ප්‍රකාශ කොට සැරියුත් හිමියන්ගේ දේශනාව බුද්ධ භාෂිතයක් බවට පත් කරමින් සැරියුත් හිමියන්ගේ ධර්ම ඥානය පැසසුමට භාවිතා කළහ.
යළිත් බුදුහාමුදුරුවෝ දේශනා කරනව සාරිපුත්‍රය, යමකු තුළ කුශල ධර්ම පිළිබඳ ශ්‍රද්ධාව නැතිකම, හිරි ඔතප් නැතිකම, වීර්ය නොකිරීම, ප්‍රඥාව නැතිකම, ඇසීම සඳහා කන් යොමු නොකිරීම, ඇසූ ධර්මය සිතින් දරා නොගැනීම, ඇසූ ධර්මයෙහි අර්ථ යළි යළිත් පරීකා කොට නොබැලීම, නොපිළිපැදීම, කුසල් කිරීමට යුහුසුළුු නොගැනීම, ඇසූ ධර්මයෙහි අර්ථ යළි යළිත් පරීක්ෂාකොට නොබැලීම, නොපිළිපැදීම, කුසල් කිරීමට යුහුසුළු නොවීම යන සියලු ලක්ෂණ පුද්ගලයාගේ පිරිහීමේ ලක්ෂණයි. එමෙන්ම සාරිපුත්‍රය, යමකු තුළ කුශල ධර්ම පුරණය සඳහා ශ්‍රද්ධා, හිරි ඔතප් ආදිය තිබේ නම් ඔහුට ගතවන හැම රාත්‍රියක්ම දවාලක් ම ඔහුගේ දියුණුවට හේතුවෙනව. හරියට පුර පක්ෂයෙහි චන්ද්‍රයාගේ ගතවන හැම රාත්‍රියක් ම හැම දාවලක් ම ඔහු වර්ණයෙන්, මණ්ඩලයෙන්, ආලෝකයෙන් දිග පළලින් වැඩීමට හේතු වන්නාක් මෙනියි වදාළහ.
මෙසේ සැරියුත් හිමියන් දෙසූ නළකපාන සූත්‍රදේශනාව අනුමත කළ බුදුරජාණන් වහන්සේ එම දේශනා සර්වඥ භාෂීතයක් බවට පත්කළහ. මේ සූත්‍රයට අමතරව දෙවන නළකපාන සූත්‍රයක්ද මෙහි තිබේ. පළමු සූත්‍රයෙහි ම සඳහන් කරුණු මෙහි ද විස්තර කෙරෙන අතර සැදැහැවත් බෞද්ධයා තුළ ධර්මය පිළිබඳ ශ්‍රද්ධාව, හිරි, ඔතප්, වීර්යය, ප්‍රඥාව යන ලක්ෂණවලට අමතරව සෝතාවධානය (ඇසීමට කන්යොමු කිරීම, ධම්මධාරණය (අසන ධර්මය සිතේ තැන්පත් කර ගැනීම, අත්ථුපරක්ඛා (ධර්මයෙහි ඇතුළත් අර්ථය නැවත නැවත පිරික්සා බැලීම) ධම්මානුධම්ම පටිපත්ති (ඇසූ ධර්මයට හා අනුධර්මවල අනුව පිළිවෙත් පිරීම) අප්පමාදය (කුශල් කිරීමට පමා නොවීම, අද අද එයි මරු පින් කරගන්නේ) යන ගුණ වර්ධනය කර ගැනීම දියුණුවට හේතු වනබවත් එම ගුණ විනාශ කර ගැනීම පරිහානියට හේතු වන බවක් දක්වා තිබේ. එහෙයින් පින්වත, ඔබ කෙතරම් ධර්මය ඇසූවත් ඔබ හිටපු තැනින් දසමසක් වත් ගුණධර්ම අතින් දියුණුවට ගිය බවක් ඔබට මෙන්ම අන්‍යයාටද නොපෙනෙන්නේ ධර්මයේ අඩුපාඩුවක් වත් ධර්මයේ වරදක්වත් නොවේ. ඔබේ වරදයි. ධර්මය ඇසුවට මදි, සැරියුත් හිමියන් හා බුදුරජාණන් වහන්සේ මෙහි කියපු පරිදි එම ධර්මය අනුගමනය කොට නොපිළි පැදීම නිසා ප්‍රතිඵල නැති බව ඔබම පිළිගන්නවා ඇති. ඒ නිසා මෙම සූත්‍රය කියවා ධර්මය අසන හැටි, එය සිතේ ධාරණය කරගන්නා හැටි, එහි සඳහන් පරිදි ඒ ගුණ ධර්ම ධාරණය කරගෙන පිළිපදින හැටි, ප්‍රායෝගික කරගන්න.
ධර්මය අසන්න, ධාරණය කරගන්න, පිළිපදින්න යන බුද්ධා අවවාදයෙහි පිහිටා බණ අසා දරා පිළිවෙත් පුරා නිවනින් සැනසෙන්න උත්සාහ කරන්න.

අඩුපාඩු මඟ හරවා ගනිමු

දෙල්ගොඩ, උඩුපිල, 
විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ,
යොවුන් සිතට දහම් සිසිල, 
දහම් මැදුරේ 
බණ්ඩාරවෙල අමිතානන්ද හිමි

ලෞකික මෙන්ම ලෝකෝත්තර සුවය පතා බෞද්ධයන් ලෙස අප නිරතුරුවම විවිධ පුණ්‍ය කර්මයන්හි නිරත වෙනවා. එහෙත් අප කොතරම් පින්කම් කළත් බොහෝ පින්කම්වල අඩුපාඩු රාශියක් දක්නට තිබෙනවා .මේ බොහෝ අඩුපාඩු අප නොදැනුවත්වම සිදු කරනු ලබන එසේත් නැත්නම් සිදුවන ඒවා බව අප නොදැන සිටීම නිසා දිගින් දිගටම ඒවා සිදුවනවා. වළක්වා ගැනීමට හැකි එම අඩුපාඩු මඟ හරවා ගැනීමට හැකිනම් එම පූර්වාදර්ශ අනාගත පරපුරටද හිමි වන බව අප සිහිතබා ගත යුතුවනවා.
අඩුම වශයෙන් වන්දනා කරනු ලබන ක්‍රමවේදය හෝ ඇතැම් දේශනා නොදැනීම ගැන බෞද්ධයන් වශයෙන් අප කනගාටු විය යුතුයි.
වැඩි වෙහෙසක් දරා උගැන්විය යුතු නැති විෂයයක් ලෙසින් බුදු දහම සැලකීම කිසිසේත්ම සුදුසු නැහැ. ගණිතය, විද්‍යාව වැනි විෂයයන්ට මුල් තැනක් ලැබී බුදුදහම පසෙකට විසිවී මේ විපාකය අප සමාජය දෙස බලා හෝ තේරුම් ගත යුතුවනවා. වර්තමානයේ සිදුව ඇත්තේ මාධ්‍ය මඟින් පවා මේ සම්බන්ධව කතා කිරීමෙන් වැළකී සිටීමයි. මෙයින් සිදුවන්නේ මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වී අප තවත් ප්‍රපාතයට නොදැනීම නිහඬව ඇදී යාමයි.
සිරිත් විරිත් විනාශයට ගිය විට ආගම දහමට අමුතුවෙන් විනාශයක් වන්නට දෙයක් නැහැ. එය ක්‍රමයෙන් පරිහානියට පත් වනවා . අප නාමික ආගම් අදහන්නන් බවට පත්වෙනවා.
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කුටියට පවා අප පවසන්නේ සුගන්ධ කුටිය යනුවෙන් . බුද්ධ මන්දිරයක් උදෙසායි අප වතාවත් කළ යුත්තේ. එවන් මන්දිරයක් ඉදි කළ යුතු සුදුසු තැනක් තිබිය යුතු වෙනවා. බුදු පිළිමයක් තැන්පත් කර වන්දනාමාන කළ යුත්තේ එවන් ස්ථානයකටයි. පුණ්‍යවන්ත පුණ්‍ය භූමියකයි. එසේ නොමැතිව දුර්ගන්ධය පැතිරෙන ස්ථානවල එසේ බුදු පිළිම ස්ථාපිත කිරීම කිසිසේත්ම නොකළ යුතුවෙනවා. අප ගෞරවනීය බෞද්ධයන් යැයි ඇතැම් විට කියා ගැනීමටයි මේ අයුරින් කටයුතු කරන්නේ. එහෙත් නිසි වන්දනාවකින් තොරව බුදු පිළිම ඉදි කර එය පසෙකට දමා නිහඬව සිටීම විශාල අකුසලයක් බව සිහි තබා ගත යුතු වනවා. බුදු පිළිමය ඉතා උතුම් වන්දනීය වස්තුවක් මිස තමන් බෞද්ධ බව පෙන්වීමට යොදා ගන්නා ප්‍රදර්ශනාත්මක භාණ්ඩයක් නෙමෙයි.
අනාගතය බාර ගන්න සිටින දරු දැරියන්ගෙන් ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටින්නේ කිසිම අවස්ථාවක බුදු පිළිමයක් කිසිම විටක වැරැදි ස්ථානයක තැන්පත් කරන්ට එපා. බුදුරජාණන් වහන්සේගේ පිළිම හන්දි ගානේ තැබුවාට බෞද්ධකම වැඩිවන්නේ නැහැ. ශාසන ව්‍යාප්තියක් සිදු වන්නේ නැහැ. ශාසනය ආරක්ෂා වන්නේ පුද්ගලයා පිළිවෙත් ආරක්ෂා කරමින් බුද්ධිමත්ව කටයුතු කළහොත් පමණයි.
බුදු පිළිමයකට නිරතුරුව වන්දනාමාන කරනවා නම් එය තුළ බුදු ගුණ අන්තර්ගත වනවා. එය මැටියෙන් හෝ ලීයෙන් හෝ වෙනත් ද්‍රව්‍යයකින් තැනුවත් වන්දනය තුළින් එම ප්‍රතිමාවන්ට ජීවමානව බලයක් ලැබෙනවා. සුනාමියේදි පවා බුදු පිළිමයන්ට හානි නොවුණේ එම නිසයි. එවන් පිළිම නිසා අනෙක් පිරිසටත් විශාල ආරක්ෂාවක් සැලසෙනවා. ඒක මිථ්‍යා විශ්වාසයක් නොවන බව අප තරයේ සිහි තබා ගත යුතුවනවා. දහම තුළ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනා බව අප තේරුම් ගත යුතු වනවා. පසුගිය දිනවල කතරගම කිරිවෙහෙරෙන් කිරි මතුවීමත් ,සෝමාවතී වැනි චෛත්‍යරාජයාණන් ගේ බුදුරැස් විහිදීම වැනි කතා මිථ්‍යා කතාවන් ලෙස බැහැර කිරීමට බැහැ. බුදුරැස් විහිදිය හැක්කේ බුදුරජාණන් වහන්සේගෙන් පමණයි. එය සැබෑවක් නමුත් යම් කිසි ප්‍රාතිහාර්යයක් වැනි යමක් සිදු විය හැකියි.
දහස් ගණනක් පිරිසක් කරුණා මෛත්‍රිය පෙරදැරි කරගෙන වන්දනා මාන කරන විටදී සෑම විටම එහි ශක්තිය ලැබෙනවා. එය පුණ්‍ය භූමියක් බවට පත් වෙනවා. එහි අනෙක් පැත්තත් මේ අයුරින් මයි සිදු වන්නේ ,අප විසින් ඇස් වහ, කටවහ, හෝ වහ යනුවෙන් හඳුන්වන්නේ මෙවන් සිද්ධාන්තයන් බව පෙනෙනවා.
මේ සඳහා හොඳම උදාහරණයක් ලබා දෙන්න පුළුවන්. බණ්ඩාරවෙල ප්‍රදේශයේ මා දන්නා අයෙකුගේ තක්කාලි වත්තක් තිබුණා. එක වරකට ලොරි හතරකට පහකට පමණ තක්කාලි ඵලදාව ලැබෙනවා. තක්කාලි කුඩා ලොරි වලට පැටවීමට විශාල පිරිසක් අවශ්‍ය වුණා. එතැනට පැමිණි වයෝවෘද්ධ ඥාති කාන්තාවකට අපේ 'අප්පොච්චියේ මෙහෙමත් තක්කාලි වගාවක්' කියා කියැවුණා.
පසුදින තක්කාලි වත්තට එද්දී ඉදුණු තක්කාලි සියල්ල බිමට වැටිලා තිබුණා. ඇස් වහ කටවහ ප්‍රායෝගික-වම අත් දුටු අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්.
ඇතැම් අය කෙසෙල් කැන් දිහා බලා කරන ප්‍රකාශ ඔබ අසා ඇති එම ඵල දාවට වන්නේ කුමක්ද? මේ ප්‍රකාශ කරන අයගේ ඇග ඇතුළේ තියෙන විසයි මේ ලෙසින් පිට වන්නේ. අනුන්ගේ සැපය ගැන දරා ගන්න බැරි එවන් මිනිසුන් සමාජයට හානියක් නොවේද ඔවුන්ගේ වචන මෙලොව ජීවිතයත් පරලොව ජිවිතයත් දෙකම දුගතිගාමි බව හොඳින් අවධාරණය කර ගත යුතු වනවා.
සාකච්ඡා කෙළේ 
තාරක වික්‍රමසේකර
සදහම් සඟරා - Online