ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

පොඩි දෙයක්‌ ආහාරයට ගන්න ලොකු දෙයක්‌ දන්දෙන්න

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
'සතර අපායෙන් මිදෙමු' - 38 කොටස


භික්‍ෂුව සොයා පැමිණි එක්‌ තරුණ මහත්මයෙක්‌, තමා තාවකාලිකව පැවිද්ද ලැබීමට බලාපොරොත්තු වෙනවා, එය සුදුසුද කියලා විමසුවා. භික්‍ෂුව ප්‍රකාශ කළේ මේ ශාසනය තුළ 'තාවකාලික පැවිද්ද' කියලා දෙයක්‌ නොමැති බවයි. තෙරුවන් කෙරෙහි සද්ධාවේ හීනභාවය නිසාම සකස්‌වෙන විනය කාරණා ප්‍රතික්‍ෂේප කිරීමේ දුර්වලතාවය හේතුවෙන් මෙවැනි දේවල් සමාජයේ සිදුවෙනවා වෙන්න පුළුවන්. නමුත් තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණි කෙනා කවදාකවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උතුම් රහතන් වහන්සේලා දැරූ කසාවත් චීවරය තාවකාලික අරමුණකින් දරන්නෙ නැහැ. එය මහා පාපකාරී ක්‍රියාවක්‌. කෙනෙක්‌ තාවකාලිකව පැවිද්ද ලබන්නේ සතියකින් එසේත් නැතිනම් මාසයකින් නැවත ගෙදර යාමේ බලාපොරොත්තුවෙන්. නැවත ඥාතීන් සමග බිරිඳ දරුවන් සමග කාමලෝකය අත්විඳින මනෝභාවයෙන්. ඔහු එම කාම සම්පත් දින කීපයකට පමණයි පැත්තකින් තබලා තිබෙන්නේ. ඒත් ඒවා සිතෙන් තිබෙන්නේ තමා ළඟමයි. මෙවැනි කෙනෙක්‌ මහා සංඝරත්නය පෙරවූ උතුම් චීවරයක්‌ දැරීම චීවරයට දක්‌වන්නාවූ අගෞරවයක්‌මයි. එවැනි අගෞරවයක්‌ දක්‌වන කෙනකුට කවදාකවත් සංඝරත්නයේ ගුණයන්, ඥානයන් පිළිබඳ සද්ධාව සකස්‌කරගන්න බැහැ. මොකද ඔහු සංඝයා දකින්නේ අඩු තක්‌සේරුවකින්. එම නිසා ඔබ තුළ සද්ධාව හීනභාවයට පත්වෙන්නාවූ තාවකාලික පැවිදි දිවියකට යන්න එපාය කියල භික්‍ෂුව ඔහුට මතක්‌ කළා. 

වැදගත් දෙය කුමක්‌ වුවත් සමාජය තුළ ඕනෑතරම් මෙවැනි දේවල් සිදුවේවි. ඒකට තමයි ධර්මය කියන්නේ. ධර්මය තිබෙන්නේ ගැටෙන්න නොවේ. එම නිසා සමාජය තුළ ඕනෑම දෙයක්‌ සිදුවෙන්න දෙන්න. ඒවා නිවැරැදි කරන්න ඔබ යන්න එපා. ඔබ නිවැරැදි වෙන්න. එම නිවැරැදිභාවය තුළින් සද්ධාව සකස්‌ කරගන්න. තම තමන් තනිවම ගැලවෙන්න තිබෙන අවස්‌ථාවක්‌ මේක. අත්වැල් බැඳගෙන ගියොත් ප්‍රමාදී භාවයටයි පත්වෙන්නේ. පිංවත් ඔබට අවශ්‍ය නම් ගිහි බැඳීම් වලින් තාවකාලිකව ඉවත්වෙලා ශීලයක්‌ තුළ ජීවත්වෙන්න සුදුසු ගුරුවරයෙක්‌ යටතේ සුදුවත හෝ සුදුසු පැහැයක්‌ දරාගත් දසශීලයේ පිහිටන්න. එවිට ඔබට පුළුවන් අවශ්‍ය අවස්‌ථාවකදී ශීලයන් පවාරනය කරලා නැවත සුදුසු ජීවිතයකට පැමිණෙන්න. ඒ ආකාරයට කටයුතු කළොත් ඔබ තුළ වැඩෙන තෙරුවන් කෙරෙහි සද්ධාවට හානියක්‌ වෙන්නේ නැහැ.

අතීතයේ වැඩසිටියාවු අති උතුම් මහරහතන් වහන්සේලා දැරූ උතුම් අරිහත් ධජයට අගෞරවයක්‌ නම් කරන්න එපා. චීවරයට පූජනීයත්වයක්‌ ලබාදෙන්නේ කාමය බිමින් තැබු සිරුරක්‌මයි, කාමය බිමින් තැබීමට වෙර වඩන සිරුරක්‌මයි විනයානුකූලව සැකසු චීවරයක්‌ දැරීමට සුදුසු වන්නේ. උතුම් චීවරයට අගෞරවයක්‌ කළොත් සංසාරයේ හුඟාක්‌ ඈතට යන තුරාවට උතුම් පැවිදි ජීවිතයක්‌ ලැබීමේ වාසනාව අහිමිවේවි. සම්මාසම්බුද්ධ ශාසනයක පැවිද්ද කියන්නේ බොහෝම දුර්ලභ දෙයක්‌, පැවිදිවීම දුර්ලභ දෙයක්‌ බවට පත්වෙන්නේ. එම නිසා ගිහි ජීවිත ගතකරන පිංවතුන්ලා උතුම් චීවරයට ලබාදියයුතු ගෞරවය උතුම්කොට සලකන්න ඕන. 

එක දායක මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ස්‌වාමීන් වහන්ස තනිවම වියදම් කර දෙන දානයද හවුලේ පුජාකර දෙන දානයද ආනිසංස වැඩි කියලා. මෙහිදී අපි සිතන්න අවශ්‍යයි දන්දීමේ මුලිකම පරමාර්ථය තෘෂ්ණාව අඩුකරගැනීම බව. දානයන් තුළින් අප දන්දිය යුත්තේ අප තුළ ඇති දුකට හේතුවෙන තෘෂ්ණාවයි. තනිවම පුජාකරන දානයන්ට වඩා හවුලේ පුජාකරන දානවලින් තෘෂ්ණාව කියන කාරණයෙන් ඔබ තවත් බැහැරවෙනවා. නමුත් හවුලේ දෙන දානය පුජා කිරීමේදී අපේ පිංවතුන් මේ කාරණය දැනගත යුතුයි. ඒ දානයේ අර්ථයන් සමඵල කරගැනීමට.

ඔබ සිතන්න කෙනෙක්‌ දානයක්‌ පුජාකරනවා පෞද්ගලිකවම. එම දානය සඳහා ඔහුට රු 500 ක්‌ වැය වෙනවා. මොහුට සිතෙනවා මින්පස්‌සේ පිරිසක්‌ හවුල් කරගෙන දානය පුජාකරනවා කියලා. මේ පිංවත් මහත්මයා තම හිතවතුන් තුන්දෙනෙක්‌ දානයට හවුල්කර ගන්නවා. මේ හවුල්වෙන පිංවතුන් තුන්දෙනා රුපියල් 100 බැගින් රුපියල් 300ක්‌ දෙනවා. ඉතිරි රුපියල් 200 ඉහත දානය හිමි මහත්මයා යොදලා දානය පුජකරනවා. තනි පුද්ගලයා දානය පුජා කරන විට වැය කළේ රුපියල් 500 යි. පුද්ගලයන් හතරදෙනෙක්‌ එකතුවෙලා දානය පුජා කරන විටත් වැය කළේ රුපියල් 500යි. මෙතනදී මොකද සිද්ධ වුණේ. දානය හිමි මහත්මයා රුපියල් 300 ක්‌ ඉතිරි කරගත්තා පමණයි. මේ ආකාරයට පූජා කරන දානය හවුලේ පුජා කරන දානයක්‌ වෙන්නේ නැහැ. එය අර්ථවත් හවුලේ පුජාකරන දානයක්‌ බවට පත්වෙන්නේ දානය හිමි පිංවත් මහත්මයා රුපියල් 500 ම දානයට යොදවනවා නම්. හවුලට එකතුවෙන පිංවතුන් තුන් දෙනාගේ රුපියල් 300 ත් එයට එකතුවෙනවා නම්. එවිට දානයට රුපියල් 800 ක්‌ම වැය කරනවා. එතකොට එය පිරී ඉතිරීගිය දානයක්‌. එම දානයයි හවුල් දානයේ ආනිසංස පක්‍ෂය වැඩිකර දෙන්නේ. එසේ නොවුණහොත් හවුල් දානයේ නාමයෙන් අපි ඇති කරගන්නේ තෘෂ්ණාවමයි. 

දානය ගැන සටහන් කරනවිට ලුණු ඇඹුල් නිසා දුක්‌වෙන මහත්මයෙක්‌ ගැන මතක්‌ වුණා. භික්‍ෂුව වැඩසිටිය කුටියක කැපකරු මහත්මයෙක්‌ භික්‍ෂුව උදේම ගිලන්පස වැළඳුවාට පස්‌සේ සහ දානය වැළඳුවාට පස්‌සේ ඇවිත් අහනවා 'හාමුදුරුවනේ ගිලන්පසට සීනි ඇතිද? වැඩිද? දානයට ලුණු වැඩිද? කියලා. මේ සුපුරුදු දින චර්යාව දින කිහිපයක්‌ම සිදුවුණා. භික්‍ෂුවටත් තේරුණා ගිලන්පසවල සීනි හුඟාක්‌ වැඩි බවකුත්. ඒත් භික්‍ෂුව ඒ ගැන තැකීමක්‌ කළේ නැහැ. කැපකරු මහත්මයා නැවත දිනපතා එම විමසීම කරන නිසා 'ඇයි මහත්තයෝ නිතරම සීනි ලුණු වැඩිද අඩුද කියල අහන්නේ' කියලා. 

එතකොට එම දායක මහත්මයා කියනවා 'ස්‌වාමීන්වහන්ස, අපි දානයේ ලුණු ඇඹුල් බලන්නේ නැහැ. එහෙම බැලුවොත් පව් සිද්ධවෙනවා' කියලා. ඒ මහත්මයා පුරුදුවෙලා තියෙන්නේ මහා සංඝරත්නය කෙරෙහි ඇති ගෞරවය වැඩි භාවය නිසාම ලුණු ඇඹුල් නොබලන්න. ඒ වෙලාවේ භික්‍ෂුව ප්‍රකාශ කළා ඔබ ගෞරවයෙන් පූජාකරන දානයේ ලුණු ඇඹුල් අඩු වැඩි වුණොත් කොහොමද ස්‌වාමීන් වහන්සේලා දානය වළඳන්නේ. ඔබ ඔය ඇති කරගෙන තියෙන ගෞරවය මෝහය මුසු ගෞරවයක්‌. පිංවත් ඔබ දානයේ ලුණු සීනි ගැන හැමදාම හාමුදුරුවන්ගෙන් විමසන්නේ ඔබ තුළ සැකයක්‌ ඇති නිසා. එම නිසා පිංවත් ඔබ බුද්ධිමත් වෙන්න, ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ෙච්තනාවයි කර්මයට මුල්වන්නේ කියලා. ඔබ දානයට පිළියෙල කරන ආහාරවල ලුණු සීනි රස බලන්නේ ඔබ ආහාරයට ඇති කැමැත්ත නිසාවත්, ඔබගේ කුසට ආහාරයක්‌ පිණිසවත් නොවේ. ස්‌වාමීන්වහන්සේලාට දානය වැළඳීමට පහසුව ලබාදීම පිණිසයි. එවැනි ෙච්තනාවකින් ඔබ දානය පිළියෙල කරන වේලාවට අවශ්‍ය නම් ලුණු ඇඹුල් බැලීමෙන් ඔබ තුළ ඇතිවෙන්නේ මෛත්‍රී සිතක්‌මයි. සංඝරත්නය කෙරෙහි ගෞරවයක්‌මයි. එය කවදාකවත් ඔබට අකුසලයක්‌ වෙන්නේ නැහැ. මෙවැනි පුංචි කාරණා ඔබ සිහිනුවණින් විසඳාගතයුතු වෙනවා. මොකද ආහාරය කියන්නේ දුකක්‌ම නිසා. 

අපි ආහාර ගන්න ගමන්, ගන්නා වූ ආහාරය අවබෝධ කරගැනීමටත් උත්සාහ ගන්න ඕනේ. ආහාරය අවබෝධ කර ගැනීමෙන්ම ඔබට සම්මා දිට්‌ඨියට පත්වීමට හැකි බව සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා. ආහාරයට ඇලීම හේතුවෙන් ආහාරවලම බිහිවන ගුල්ලෙක්‌, ආමාශගත පණුවෙක්‌ වීමේ අවදානමද තියෙනවා. එහෙයින් ආහාරය ප්‍රයෝජනයට ගතයුත්තේ තෘෂ්ණාව හීනකර ගැනීම සඳහාමය. එසේ තිබියදී ලුණු ඇඹුල් නොබැලීම වැනි කාරණයක්‌ උතුම් ධර්මකාරණයක්‌ වශයෙන් අල්ලාගෙන සිටීමේදී ධර්මයේ සැබෑ අර්ථයන්ගෙන් ඈත්වීම පමණක්‌මයි සිද්ධ වෙන්නේ. ලුණු ඇඹුල් බැලීමෙන්ම විචිකිච්ජාවෙන් මිදෙන්න. විචිකිච්ජාව නැති වූ සිතකමයි ධර්මයක්‌ වැඩෙන්නේ. 

දන්දීම තුළින් ඔබට එහි ආනිසංස ලෙසින් ලැබෙන්නේ ආයුෂ, වර්ණය, සැපය, බලයයි. ඔබ මෙතැනදී දක්‍ෂ වෙන්න ඕනේ ඉහත ශක්‌තිය ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් ශක්‌තිමත් කරගැනීම උදෙසාම ප්‍රයෝජනයට ගන්නට. දානය ගැන කථාකරලා ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් කියන තැනටයි නැවත පැමිණියේ. එහෙම නම් දානය කියන්නේ සතර අපායෙන් මිදීමේ මාර්ගයට ශක්‌තිමත් සාධකයක්‌මයි. බතක්‌ දන් දීමෙන් ලබන ශක්‌තියෙනුයි ඔබ කවදාහරි සිතක්‌ දන් දෙන්න ශක්‌තිය ලබන්නේ. එහෙයින් තෘෂ්ණාව හීනවන දිශාවටම දානයේ අර්ථයන් ප්‍රයෝජනයට ගන්න දක්‍ෂ වෙන්න. 

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ත්‍යාගයට දුෂ්කර දේ දන්දෙන තැනැත්තා, මනාප දේ ලබාගනී කියලා. උතුම් දේ දෙනුයේ උතුම් දේ ලබාගනී, අග්‍ර දේ දෙනුයේ අග්‍ර දේ ලබාගනී, ශ්‍රේෂ්ඨ දේ දෙනුයේ ශ්‍රේෂ්ඨ දේම ලබාගනී කියලා. ලෞකික සැප සම්පත් බලාපොරොත්තුව දන් දෙන්නා සිතූ සිතූ සම්පත් ලබාගන්නා අතර එම ලෞකික සැපසම්පත් වල අනිත්‍යභාවය නුවණින් මෙනෙහි කිරීමට දක්‍ෂ තැනැන්තා දානය තුළින්ම සතර අපායෙන් මිදීමද සාක්‍ෂාත් කරගනී. 

තෘෂ්ණාව හේතුවෙන්ම සකස්‌වෙන ආහාරය නිසා මනුෂ්‍යයා තුළ සකස්‌වන පංචඋපාදානස්‌කන්ධයේ අනතුරුදායක බව දැකලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ පුත්‍ර මාංශය අනුභව කරනවා යන හැඟීමෙන් ආහාරය පරිහරණය කරන්න කියලා. දීර්ඝ කාන්තාර ගමනකදී මංමුළාවට පත්ව ආහාර, ජලය නැතිවී කාන්තාරය මැද අතරමංවුවහොත්, ජීවත්වීම උදෙසාම තමාගේ එකම දරුවාගේ මාංශය එම දෙමාපියන් අනුභව කරන්නේ යම් අප්‍රියභාවයකින්ද, යම් අකමැත්තකින්ද තම ජීවිතයේ සැපය, මදය, ජවය පිණිස නොවන්නේද ජීවිතය බේරාගෙන කාන්තාරයෙන් පිටවීම සඳහාමය. 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉහත කාරණයේදී ආහාරය තුළ සැඟවී ඇති අනතුරුදායක බව හොඳින් පෙනෙනවා. නමුත් වර්තමාන සමාජය තුළ ආහාර කෙරෙහි ඇති 'සුන්දරත්වය' වැඩි වෙන්න, වැඩිවෙන්න සමාජය ඉහත අනතුරු තුළමයි ගමන් කරන්නේ. ආහාරය ඇතිවන්නේත් තෘෂ්ණාව නිසාමය. ඒ කියන්නේ ආහාරයේ අර්ථය දුකය කියන කාරණයයි. දුකට හේතුවෙන ආහාරය අප ප්‍රයෝජනයට ගතයුත්තේ දුකෙන් මිදීමේ මාර්ගය උදෙසාමයි. 

පිංවත් ඔබ පොඩි දෙයක්‌ ආහාරයට ගන්න. ලොකු දෙයක්‌ දන් දෙන්න. එවිට ඔබේ ගතත් සිතත් දෙකම පිරේවී. ඒ මතුකොටගත් පිරුණු සිතමයි, ඒ සිතුවිලි පරම්පරාවමයි සතර අපායෙන් මිදීම උදෙසාම ශක්‌තිමත් කරගත යුත්තේ. 

මෙම ලිපි සපයන ස්‌වාමීන් වහන්සේ මේ දිනවල දිවයිනේ තැන් කිහිපයක ධර්ම දේශනා මාලාවක්‌ පවත්වන බව පින්වත් ඔබට මෙසේ දැනුම්දෙමු.

ඉන්ද්‍රජිත් සුබසිංහ

පව පහුරුගාමින් නොසිට කුසල නිධිය මතුකරගන්න

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....
'සතර අපායෙන් මිදෙමු' - 39 කොටස


මේ සටහන තබන වේලාවේ භික්‍ෂුවට මතක්‌ වෙනවා භික්‍ෂුව ගිහිකාලයේ ගමේ පුරාණ විහාරයේ වැඩසිටි අපවත්වී වදාළ ගෞරවනීය නායක ස්‌වාමීන් වහන්සේව. උන්වහන්සේ සෑම වසරකට වරක්‌ම තම කුටිය හිස්‌කරනවා. එය සිද්ධකරන්නේ වාර්ෂිකව පැවැත්වෙන දානමය පිංකමට. කුටියේ ඉතිරිව තිබූ සෑම පිරිකරක්‌ම පිංකමට වඩින ස්‌වාමීන් වහන්සේලාට පූජා කරනවා. මට මතකයි ඒ ක්‍රියාව තුළින් උන්වහන්සේ පිංකමට පස්‌සේ ලොකු ආශ්වාදයක්‌ ලබනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාළ විනය කාරණාවලට යටත්ව සිටිමින් තමන්ට ලැබෙන අතිරික්‌ත සිව්පසය ඒවා හිඟපාඩු ස්‌වාමීන්වහන්සේලාට බෙදා දීම විනය කාරණා ආරක්‍ෂා කරගැනීමෙන් අපිට ගොඩාක්‌ උපකාරීවෙනවා. නායක ස්‌වාමීන් වහන්සේ මට කියලා තිබෙනවා රැස්‌කොට තබාගැනීමට වඩා බෙදා දීමෙන් මහා සැපයක්‌, නිදහසක්‌ ජීවිතයට ලැබෙනවා කියලා. 

පැවිදිවීමට පෙරාතුව වසර පහක්‌ පමණ මම ගමේ පුරාණ විහාරස්‌ථානයේ දායක සභාවේ සභාපතිවරයා හැටියට කටයුතු කළා. ඒ කාලයේ නායක ස්‌වාමීන් වහන්සේ මා කෙරෙහි ලොකු විශ්වාසයක්‌ ඇතිකරගත්තා. ඒ නිසාම පන්සල උපයෝගීකරගෙන මහා පිංකම් රාශියක්‌ සිදුකරගත්තා. ඉන් එක්‌ ගෞරවනීය පිංකමක්‌ තමයි ලොකු පිංකමක්‌ සිදුකරලා කුඩා සාමනේර ස්‌වාමීන් වහන්සේලා එකළොස්‌ නමක්‌ පැවිදි කිරීමේ පිංකම. මේ වෙලාවේ උන්වහන්සේලාගෙන් කී නමක්‌ පැවිදි භාවය තුළ ඉන්නවාද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. නමුත් එම පිංකම තුළින් ලැබුණා වූ කුසලය මට ලැබුණාය කියන විශ්වාසය මා තුළ තිබෙනවා. ලෝකය උපයෝගි කරගෙන ලැබුණු අවස්‌ථාව ප්‍රයෝජනයට ගෙන මගේම නිදහස්‌ පාර සොයාගෙන ගියා. මෙතන තමයි ඔබ හඳුනාගත යුතු දක්‍ෂභාව තිබෙන්නේ. 


මේ කාලයේදී මට මතකයි වයස අවුරුදු අසූවක්‌ පමණ වූ වයෝවෘද්ධ නායක ස්‌වාමීන් වහන්සේ දැඩිලෙස ගිලන් වූ අවස්‌ථාවක්‌. ගිහියෙක්‌ හැටියට හරියටම අවුරුද්දක කාලයක්‌ දවසක්‌ හැර දවසක්‌ සබන්ගාල ඇඟ අතුල්ලල උන්වහන්සේව නාවල තිබෙනවා. ඒ සෑම දිනකම උන්වහන්සේ සිවුරු අඳන සෝදල තිබෙනවා. උන්වහන්සේට දානය වැළඳීමට දෑත් වෙව්ලන අවස්‌ථාවන්හිදී උන්වහන්සේට මා සියතින් දන් වළඳවල තිබෙනවා. අවශ්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍ය මහත්වරුන් ළඟට රැගෙන ගොස්‌ තිබෙනවා. නමුත් මේ මොහොතේ උන්වහන්සේ මොන ලෝකෙක කව්රුන් වශයෙන් ඉන්නවද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. නමුත් උන්වහන්සේට උපස්‌ථානය කිරීම තුළින් රැස්‌වුණාවූ කුසලය භික්‍ෂුවට ලැබුණාය කියන විශ්වාසය වර්තමානයේ භික්‍ෂුවට තිබෙනවා. වයෝවෘද්ධ නායක ස්‌වාමීන්වහන්සේ පුංචි දරුවෙක්‌ වගේ උන්වහන්සේව නාවන්න එන තුරු තම උස ආසනයේ වාඩිවී ජනේලයේ කවුළුවෙන් බලාසිටින දර්ශනය මට තාම මතකයි. උන්වහන්සේගේ ඒ බැල්ම තුළ ආදරය, රැකවරණය, ආරක්‍ෂාව, කරුණාව ගැබ්වෙලා තිබුණා. එහි දිට්‌ඨදම්මවේදනීය කුසලය නිසාම ඒ හැම දෙයක්‌ම භික්‍ෂුවට මේ මොහොතේ ලෝකයෙන් ලැබෙනවා. ලෝකයේ ශේ්‍රෂ්ඨම ආයෝජනයට ජීවිතය යොදවල එහි ප්‍රතිලාභයන් ලබන කෙනෙක්‌ භික්‍ෂුව. භික්‍ෂුවට මතකය ජීවිතයේ එක්‌තරා රාත්‍රියකදී විහාරස්‌ථානයේ අධිෂ්ඨාන පූජාවක්‌ සංවිධානය කළා. සුප්‍රසිද්ධ ගෞරවනීය ස්‌වාමීන් වහන්සේ නමක්‌ පිංකමට වැඩමකළේ. පන්දහසක්‌ පමණ ගිහිපිංවතුන්ලා මේ පිංකමට සහභාගි වුණා. රාත්‍රි 8.00 විහාරස්‌ථානයේ සියලුම විදුලි ආලෝකයන් නිවීයනවිට පන්දහසක්‌ පමණ ගිහිපිංවතුන්ලාගේ දෑතේ පහන් හෝ ඉටිපන්දමක්‌ දැල්වුණා. ඝනාන්ධකාර රාත්‍රියක්‌ පහන් ආලෝක පහන් දහසකින් ආලෝකවත් වෙනවිට එම පිංකම සංවිධානය කරපු මම හිස්‌ දෑතින් පන්දහසක්‌ පහන් ආලෝක දෙස බලාසිටියා පමණක්‌මයි කළේ. මේ පිංකම නිසාම ශිල්වත් පන්දහසක්‌ පමණ පිංවතුන්ලාගේ හදවත් තුළ ඇතිවුණ අධිෂ්ඨාන ශක්‌තිය මා ලෝකයාට හොරෙන් තනිවම අනුමෝදන් වුණා.වෙහෙස මහන්සි වී පිංකම් සංවිධනය කර අනුන් පිංකම් වල යොදවා ඒ අයට සොරා මා මගේ කුසල් පක්‌ෂය ශක්‌තිමත් කරගත්තා. පිංකම් හුදු ආශ්වාදයක්‌ කරගත්තේ නැහැ. අතීතයේ දැල්වූ පහන් ආලෝක පහන් දහසක්‌ මොහොතකින් නිවීගියත් නිවීගිය පහන් ආලෝක දෙස බලමින් මා ඇතිකරගත්තා වූ අනිත්‍යයේ බීජය ප්‍රඥාවේ ආලෝකයක්‌ බවට පත්වී තවමත් නොනිමී භික්‍ෂුව තුළ දැල්වෙනවා. පන්සලේ වේවා ආරණ්‍යයේ වේවා ගිහිගෙදර වේවා ඕනෑතරම් කුසල්නිධි තිබෙනවා සැඟවිලා. මේවා සොයාගෙන ගිහිල්ලා සුවසේ හරාගන්න. ලෙඩෙක්‌, මහල්ලෙක්‌, පිංකමක්‌ දෙස ඔබ නොබලා යනවා කියන්නේ කුසල් නිධියක්‌ මගහැර යනවා කියන කාරණයයි. වසරක්‌ එරමිණිය ගොතාගෙන කායානුපස්‌සනා භාවනාව වැඩුවත් නොලැබෙන අවබෝධයක්‌ දිනක්‌ ලෙඩෙක්‌, මහල්ලෙකුට උපස්‌ථාන කිරීමෙන් ලැබීමට හැකි බව භික්‍ෂුව අත්දැකීමෙන් දන්නවා. නමුත් එකිනෙකාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්‌වභාවය අනුව මෙය වෙනස්‌ වෙන්න පුළුවන්. කායානුපස්‌සනාව කියන කාරණය, අසුභය කියන කාරණය භික්‍ෂුව වඩාත්ම අත්දැක්‌කේ ගිහි ජීවිතයේදී රෝගීන්ට උපස්‌ථාන කිරීම තුළින්මයි. අවබෝධයම අරමුණු කරගත් අවංක ෙච්තනාවෙන් රෝගීන්ට උපස්‌ථානය කිරීමේදී කවදාකවත් රෝගියාගේ අශූචි, මුත්‍ර වල ගඳක්‌ අපුලක්‌ දැනුනේ නැහැ. කුසලයේ ශක්‌තිය විසින් අශූචි, මුත්‍රා වල දුගත් නිශේධ කරනවා. මේ සටහන අවසන් කරනවිට මේ දෙයත් සඳහන් කරන්න ඕන. තරුණ කාලයේ ආවේගශීලීභාවයන් නිසාම ස්‌වාමීන් වහන්සේ සමග ගැටුමුත් එකක්‌ දෙකක්‌ ඇතිකරගෙන තිබෙනවා. ඒවායේ අකුසල් විපාකත් සමහරවිටදී ඉදිරියේදී විපාක දෙන්න පුළුවන්. 

භික්‍ෂුව මේ මොහොතේ වැඩ සිටින කුටිය අසල නිතර ගැවසුණ, නමුත් හුඟ දවසක්‌ පේන්නේ නැතිව සිටි වළිකිකිළි අම්මලා දෙන්නෙක්‌ ආයෙමත් රංචුව සමග කුටිය සමීපයට එන්න පටන් අරගෙන. වෙනදාට නැති කිචි, බිචි ගාන හඬ ඇසිල බලනවිට එක වළිකිකිළි අම්මා කෙනෙකුට කුඩා පැටව් හතර දෙනයි. අනෙක්‌ වළිකිකිළි අම්මාට පැටව් එක්‌කෙනයි. අලුත් සාමාජිකයෝ පස්‌ දෙනෙක්‌ වළිකුකුල් රෑනට එකතුවෙලා. මේ පස්‌දෙනාම ගැහැනු සත්තු. වළිකුකුළන්ගේත් පිරිමි ගහනය අඩුවෙනවා වගේ. ඒ අයගේත් කාමයේ වරදවා හැසිරීමේ ක්‍රියාවන් වැඩිවෙලා ඇති. පුංචි පැටව් හතරදෙනෙක්‌ ඉන්න වළිකිකිළි අම්මලා වෙනදාට වඩා බෝහෝම කඩිසරයි. වේගයෙන් පොළව පහුරුගාමින් ආහාර සොයනවා. වෙනදාට තමාට පමණයි කෑම සොයන්න වෙහෙසුණේ. දැන් පස්‌දෙනකුට කෑම සොයන්න ඕනේ. කෑම සොයන ගමන්ම පැටව්න්ගේ ආරක්‍ෂාවත් බලන්න ඕනි. ඒ නිසා වළිකිකිළි අම්මා තියුණු අවධානයකින් නිතර පසුවෙන්නේ. වෙනදා තරම් භික්‍ෂුව සමීපයට එන්නේත් නැහැ. ඒ තරමට ඇය පැටව්න්ගේ ආරක්‍ෂාව පිළිබද අරමුණු කෙරෙහි අවධානයෙන් පසුවෙන්නේ. ඒ තියුණු අවධානයත් හරියට ශීලයෙන් තොරව සකස්‌වෙන මිථ්‍ය සමාධියක්‌ වගේ. දුක ආරක්‍ෂා කරගැනීම උදෙසායි. ඒ තියුණු අවධානය හේතුවෙන්නේ. වළිකිකිළි අම්මා වගේම පැටවුණුත් බොහෝම උපක්‍රමශීලියි. පුංචි හෝ අනතුරක ඉවක්‌ දැනුන සැණින් මේ වළිකිකිළි පැටවුන් වේගයෙන් සැඟවෙනවා. 

කාමච්ඡන්දයන්ට යටවූ මනුෂ්‍ය සිතත් නිරතුරුවම සැඟවිලා තිබෙන්නේ. ඔබට සමහරවිට පෙනෙනවා ඇති සිත කාමයන්ටමයි දුවන්නේ. බොහෝම අකීකරුයි. ධර්ම මනසිකාරයට කැමතිම නැහැ. මේ සැඟවුණා වූ සිත මතුකරගැනීමට ධර්මවිජය බොජ්ජංගය වඩන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ සිත ධර්ම මාර්ගය සඳහා උපක්‍රමශීලීව සැඟවුණවිට සද්ධර්මයක්‌ ශ්‍රවණය කරන්න. ධර්ම සාකච්ජාවක යෙදෙන්න. ධර්ම පොතක්‌ කියවන්න. තෙරුවන් වන්දනාවක යෙදෙන්න. එවිට යටපත්ව ගිය සිත ධර්ම මාර්ගය තුළට ධර්මය කෙරෙහි කැමත්ත තුළට යොමුවේවි. ඒ මෝදුවන සිතුවිල්ල තුළින් වීර්ය, ප්‍රීතිය, පස්‌සද්ධිය, සකස්‌කර දේවි. දැන් ඔබට පුළුවන් සමාධි, උපේක්‍ෂා ධර්මයන්ට ක්‍රමාණුකූලව සිත යොමුකරන්න.

සිත අකීකරු වන විට ඔබ උපක්‍රමශීලී වන්න. ධර්ම මනසිකාරයක්‌ම සිත තුළින් මතුකොට ගන්න දක්‍ෂ වෙන්න. ඇසට ප්‍රිය, හුරුබුහුටි දකින ඕනෑම කෙනෙක්‌ ආදරය කරන වළිකිකිළි අම්මාගේ ජීවිතය තුළ සැඟවුණ අනතුරත් පිංවත් ඔබ නුවණින් මෙනෙහි කරන්න. වළිකිකිළි අම්මා වේගවත්ය කියන්නේ ඇය වේගයෙන් සංස්‌කාර රැස්‌කර ගන්නවාය කියන කාරණයයි. සෑම නිමේෂයකම ඇය තුළ රැස්‌වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයන්මයි. ඇය සෑම නිමේෂයකම අනාගතභවය සඳහා අප්‍රමාණ අකුසල් ප්‍රමාණයක්‌ රැස්‌කරගන්නවා. ඇය කවදානම් ගැලවෙන්නද? වළිකිකිළි අම්මාගේ පවටම උපන් දරුවො පස්‌දෙනෙක්‌. කාමයන් උදෙසා කාමයම රැස්‌කරමින් භවයේ වේදනාත්මකව නිරයේ දුකට සියතින්ම පාර සකස්‌ කර ගන්නවා. මනුෂ්‍යයන් වන අපත් අනාගතයේදීත් වනවදුලුවල සංචාරය කර වළිකුකුළන්ගේ සුන්දරත්වය දැක සතුටුවේවි. සුන්දර ඡායාරූප සිහිවටන ලෙස ගනීවි. අවසානයේදී අපි දෙගොල්ලන්ම එකම තැනයි ඉන්නේ. පෙනෙන සුන්දරත්වය තුළින් හුදු ආශ්වාදයම නොව අවබෝධය ලබන්න. 

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

ඔබ ඔය ඊර්ෂ්‍යා කරන්නේ සංස්‌කාරවලට බව දැනගන්න

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
'සතර අපායෙන් මිදෙමු' - 40

ඊර්ෂ්‍යාව කියන වචනය සටහන් තබනකොටම එහි තරමක පැටලිලි ස්‌වභාවයක්‌ තියෙනවා. ඒ පැටලැවිල්ල වගේමයි ඊර්ෂ්‍යාව කියන වචනයේ අර්ථය අපව භවගමනේදී පටලවන්නේ. මමය කියලා ගන්න දෘෂ්ටියේ දැඩිභාවය නිසාම, ලෝකයා අපව ඉක්‌මවා යනවාට අපි කැමති නැහැ. හැකියාවෙන්, දැනුමෙන්, රූපයෙන්, වත්පොහොසත්කම්වලින්, ගරුසත්කාරවලින්, එකිනෙකා පරයා යනකොට එතැන සකස්‌වෙන්නේ ඊර්ෂ්‍යාව කියන ධර්මතාවයයි. සංස්‌කාර කියන ධර්මතාවයේ අර්ථය නොවැටහෙන්න, නොවැටහෙන්න මනුෂ්‍යයා ඊර්ෂ්‍යාව දෙසටමයි ගමන් කරන්නේ.

මේ ලෝකයේ එක සුන්දර කාන්තාවක්‌ ජීවත්වෙනවා, ඇයගේ ශරීරයේ සුන්දරත්වය, ලාලිත්‍යය, රිද්මය, හැඩය, වර්ණය මේ මොහොතේ අතිශය චමත්කාරජනකයි. ඒ රූපය නිසාම ඇය ලෝකයේ ජනප්‍රිය කාන්තාවක්‌. ඇය මේ රූපයෙන් ලෝකයාව හැඟීම්වලින් අන්දමන්ද කරනවා. ඇය අන්‍යාගමික කාන්තාවක්‌. ඇයගේ මේ අසිරිමත් රූපය නිසාම ඇයට ඊර්ෂ්‍යා කරන අය අප්‍රමාණව ඇති.

ඒ අසිරිමත් රූපය නිසාම වර්තමානයේ ඇය සතර අපාය දෙසටමයි මාර්ගය සකස්‌කරගන්නේ. එක්‌ භික්‍ෂුවක්‌ උතු=ම් සමාධියේදී අරමුණුකර බලනවා, ඉහත රූමත් කාන්තාව පෙර ජීවිතයෙදි කුමන අයුරේ ජීවිතයක්‌ ගතකරපු කෙනෙක්‌ද කියලා.

එවිට එම භික්‍ෂුවට අරමුණුවෙලා තියෙන්නේ වයස අවුරුචු 40ක පමණ පැහැපැත් කාන්තාවක්‌. ඇය තැඹිලි පැහැති රෙදි පටියකින් බැඳගත් තනපටයක්‌ සහ ඉනේ සිට පහතට අඳිනලද තැඹිලි පැහැති රෙදිකඩකින් සැරසී ඉඳලා තිබෙන්නේ. ඇයගේ ස්‌වරූපයෙන් භික්‍ෂුව ඇයව හඳුනාගෙන තිබෙන්නේ දේවදාසියක්‌ ලෙසිනුයි.

ඉන්දියානු සමාජයේ දෙවියන් උදෙසාම කැපවූ, ජීවිතය පූජා කළ කාන්තාවන් සිටියා. ඒ අයගේ මුළු ජීවිතයම ගෙවුණේ තමන් අදහන දෙවියන් වෙනුවෙන්, එම දෙවියන්ට පූජෝපහාර පැවැත්වීම උදෙසායි. ඇය මුළු ජීවිතය තුළදීම කරන්නේ දෙවියන්ව මලින් සැරසීමට මල් මාලා ගොතන එක. දේව මන්දිර පිරිසිදු කරන කාර්යය. සුවඳහමන මුරුතැන්බත් පිසින කාර්යය. සුවඳ දුමෙන් දේවමන්දිර සුවඳවත් කරන කාර්යය. දෙවියන් උදෙසාම ජීවිතය පූජා කරන්නී... ඇය දේවදාසියක්‌. තමා අදහන ආගමට අනුව දෙවියන්ට මලින් ජූජා පැවැත්වීම නිසාම එහි විපාකයක්‌ හැටියට මේ ජීවිතයේදී අබෞද්ධ පවුලක වුණත්, සුරූපී උපතක්‌ සකස්‌කොටගත්තා. මේ ජීවිතයේදී ඇයට නිල් මහනෙල් මලක්‌ වැනි ශරීරයක්‌, ඇස්‌ දෙකක්‌ ලැබුණේ ඇය ගිය ජීවිතයේදී දෙවියන්ට පූජා කළ මල්වල අසිරියෙන්මයි. එහෙමනම් ඇයගේ රූපයට අපි ඊර්ෂ්‍යා කරලා වැඩක්‌ නැහැ. ඒවා හේතුඵල ධර්මයන්. නමුත් එතැන තිබෙන්නේ මිත්‍යාදෘෂ්ඨික ජීවිතයක්‌.

ඇයගේ සුන්දර ජීවිතය දකිනකොට අපට පෙනෙන්නේ ඔබ දක්‍ෂනම් ඔබ පූජා කරන මලකින් මොන තරම් අසිරියක්‌ ලබන්න පුළුවන්ද කියලා. නමුත් මල් පූජා කරමින් දෙවියන්ට සුවඳින් ජූජෝපහාරයන් පැවැත්වීමෙන් ලබාගත් අසිරිමත් රූපය නිසාම, එම රූපයේ ආශ්වාදය නිසාම, ඇය දැන් අකුසල් වැඩෙන මාර්ගයකමයි ගමන්කරන්නේ. ඉහත කරුණ ඔබට සටහන් කළේ ඊර්ෂ්‍යාව කියන කාරණයේ ඇති අර්ථ විරහිතබව ඔබට දැන ගන්නයි. ඔබ ඔය ඊර්ෂ්‍යා කරන්නේ අනුන්ගේ කුසල් සංස්‌කාරධර්මයන්ටයි. අනුන් පොහොසත් වෙන්නේ, බලවත් වෙන්නේ, රූමත්, උගත් වෙන්නේ ඒ අය පෙර ජීවිතයේ

රැස්‌කරගත් කුසල් සංස්‌කාරධර්මයන් අනුවමයි. යමෙක්‌ යමෙකුගේ සංස්‌කාරවලට ඊර්ෂ්‍යාකරනවා කියන්නේ ධර්මයට ඊර්ෂ්‍යා කරනවාය කියන කාරණයයි. ධර්මයට යමෙක්‌ ඊර්ෂ්‍යා කරනාවනම් ඔහු තමාගේම හිස කළුගලක ගසාගන්නා අඥාන පුද්ගලයෙක්‌ වෙනවා. පිංවත් ඔබ කළුගලක ඔලුව ගසාගත්තොත් මොකද වෙන්නේ? මුහුණ ලේ පැහැ වෙනවා, දත් එළියට පනිනවා. මුහුණ ඉදිමිලා විකෘති වෙනවා. මේ සියල්ල ඊර්ෂ්‍යාවේ ඵලයයි.

වරක්‌ භික්‍ෂුවක්‌ උතුම් සමාධියේ පසුවෙන කොට රාත්‍රී කාලයේදී, තම ජීවිතයේ පළමු වරට යක්‍ෂණියක්‌ දර්ශනය වෙනවා. ඇය මිත්‍යාදෘෂ්ඨික යක්‍ෂණියක්‌. ඇගේ බෙල්ලෙන් උඩ කොටස විතරයි දර්ශනය වෙලා තියෙන්නේ. ඇයගේ ස්‌වරූපය මොනතරම් භියකරු ද කියනවානම් එම යක්‍ෂණියගේ කට දෙපැත්තෙන් එළියට නෙරපු අඟල් තුනක පමණ දළ කැබැලි දෙකකුත් ඇයට තිබිලා තියෙනවා. රත්පැහැ ගැන්වුණු පුපුරණ මුහුණක්‌ ඇයට තියෙන්නේ. හරියටම තමාගේ හිස තමාම කළුගලක ගසාගත්තා වැනි මුහුණක්‌. එම භියකරු යක්‍ෂණිය දකිනකොට, භික්‍ෂුව එම යක්‍ෂණිය තුළින් දැකලා තිබෙනනේ ද්වේෂය, ඊර්ෂ්‍යාව ජීවිතය කරගත් කාන්තාවක්‌. පිංවත් ඔබ සිතන්න ඔබ තුළින් ඊර්ෂ්‍යාව සකස්‌වෙනවා නම් ඔබ තුළින් ඔබ යක්‍ෂයෙක්‌, යක්‍ෂණියක්‌ දකින්න දක්‍ෂවෙන්න.මොකද මේ කාලකණ්‌ණි ධර්මයන්මයි මේ යක්‍ෂණියට ඒ දුක උරුමකරදුන්නේ. මේ යක්‍ෂණියගේ දළ දෙකෙන් කියන්නේ ඊර්ෂ්‍යාවේ තියුණුභාවය. යක්‍ෂණියගේ ජීවිතයේ අකුසල් බලවත්භාවය නිසාම ඇයගේ යක්‍ෂ ජීවිතයට ආයුෂ, වර්ණය, සැපය, බලය වැඩිවෙලා. ඒ වැඩිවීම හේතුවෙන්නේ තව තවත් දුක වැඩිවීමටමයි. ඒ නිසා පිංවත් ඔබ ඊර්ෂ්‍යා කරන්න එපා. ඊර්ෂ්‍යාව තුළින් යක්‍ෂයෙක්‌ දකින්න.

සමහර ගම්මානවල පිඬුසිඟාවඩිනකොට මොන තරම් දුප්පත් මනුෂ්‍යයෝ ජීවත්වෙනවද කියලා පෙනෙනවා. ඉළුක්‌ සෙවිලි කළ කුඩා වරිච්චි බිත්ති හතර තුළ පාන්, විස්‌කෝතුවකින්, කැඳ උගුරකින්, වේල පිරිමහගන්න කුඩා කිරිදරුවන්, අම්මලා දකිනකොට 'අනේ පුතේ, මේ ජීවිතයෙදී අනුනට ඊර්ෂ්‍යා කරන්න එපා'ය කියලා කියන්න භික්‍ෂුවට හිතෙනවා. ඒත් බියක්‌ දැනෙනවා, අනේ මේ දරුවන්ට එහෙම කීවොත්, භික්‍ෂුව කෙරෙහි ද්වේශයක්‌ ඇතිකරගෙන තව අකුසල් රැස්‌කරගනියි කියලා. අනුනට ඊර්ෂ්‍යා කරන මනුෂ්‍යයා නැවත මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවොත් ඔහු අල්පභෝගී සම්පත් ඇති, අල්පේශාඛ්‍ය දුර්වර්ණ ජීවිතයක්‌ ලබන බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බලන්න ඊර්ෂ්‍යාව තුළ මොනතරම් අවදානමක්‌ ද සැඟවිලා තියෙන්නේ. යමෙක්‌ අනුනට ඊර්ෂ්‍යා කරන්නේ නම්, ඔහු ඊර්ෂ්‍යා කරන්නේ තමාගේම සැපයට බව හොඳින් සිතන්න. ඔබ අවබෝධයෙන්ම ඊර්ෂ්‍යාවෙන් මිදෙන්න. එවිට ඔබ උපේක්‍ෂාව තුළට පැමිණේවී. දැන් ඔබට පුළුවන් මෛත්‍රියට සිත යොමුකරන්න. ඊර්ෂ්‍යාවත්, මෛත්‍රියත් කියන්නේ එක සිතිවිල්ලක්‌ අතර ඇති පරතරය පමණයි. ඒ තරම් සරල තැනක්‌ ඔබ මගහරිනවා. මේ එක සිතිවිල්ලක පරතරය ඔබව සුගතියේ සිට දුගතියට ඇද දැමීමට හොඳටෝම ප්‍රමාණවත් වෙනවා. වර්තමාන අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ ඇති තරගාකාරීත්වය නිසා කුඩා වයසේදීම දරුවන් තුළ ඊර්ෂ්‍යාවේ බීජයන් ඇතිවෙනවා. ඒ අනාගත සමාජයේ ව්‍යාකූලබව කියන්නාවූ බොහොම අනතුරුදායක ප්‍රවනතාවයක්‌.

බුදුරජාණන් වහනසේ දේශනා කරනවා ගිය ජීවිතයේ මහණ බමුණන්ගෙන් කුසලය, අකුසලය ගැන, කළයුත්ත නොකළයුත්ත ගැන නොඇසීමේ හේතුව නිසාම මේ ජීවිතයේදී අකුරු ශාස්‌ත්‍රයේ අදක්‍ෂභාවයට පැමිණෙනවාය කියලා. පුද්ගලයකු අතින් ඉහත කාරණා සිදුනොවන්නේ මාන්නය නිසාමයි. එමනිසා නිහතමානීව උත්සහය තුළින් ඔබ අධ්‍යාපන කටයුතු කළහොත් ඔබට අනුනට ඊර්ෂ්‍යා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට ලැබිය යුත්ත ලැබේවි. තෙරුවන් කෙරෙහි විචිකිච්ඡාවෙන් බැහැරවෙන මොහොත දක්‌වාම ඔබ තුළ ඊර්ෂ්‍යාව සකස්‌වෙනවා. මොකද ධර්මානුකූලව ලෝකය දකින්න තවම ඔබ ධර්මය කෙරෙහි සැකයෙන් බැහැරනොවී ඇති නිසා.

ඔබ සක්‌කාය දිට්‌ඨිය තුළිනුයි ලෝකය දකින්න උත්සහ ගන්නේ. මෙතැනදී ඔබට ලැබෙන ඵලය ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයන්මයි. සද්ධර්මයේ අසමර්ථයන්ගෙන් ලෝකය බැහැරවෙන්න, බැහැරවෙන්න මාරයාගේ අධිපත්‍යයයි ලෝකයේ පැතිරෙන්නේ. ඒ සද්ධර්මයෙන් බැහැරවූ අනාගත ලෝකයට අවශ්‍ය මාර සමාජය තමයි වර්තමානයේ හරිබරි ගැහෙමින් මේ සකස්‌ වෙන්නේ.

පිංවත් ඔබ සද්ධර්මය තුළින් අනාගතයේ බිහිවෙන මේ විෂම ලෝකය හඳුනාගන්න. මාරයාගේ විෂම සැලසුම් පරාජයකර ඔබ ලොව්තුරා බුදුරජාණන්ගේ මහා කරුණා ගුණයේ සෙවනට එන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
සදහම් සඟරා - Online