ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

විනය පිටකය හා සෞන්දර්යය

බුදුදහම සෞන්දර්ය විරෝධී ධර්මයක් වශයෙන් හඳුන්වා දීමට ඇතැම් විචාරකයෝ පෙලඹෙති. බැලූ බැල්මට නම් එවැනි විචාරයක යෙදෙන්නවුන්ගේ මතය තහවුරු කිරීමට පාලි විනය පිටකය කදිම තෝතැන්නක් බව පෙනේ. බුදුදහම සෞන්දර්ය විරෝධී නො වේ යැ යි අදහස් දක්වන විචාරකයන් වෙතින් ද වක්‍රාකාරයෙන් සෞන්දර්ය විරෝධී ය යන මතය තහවුරු වීමට ඇතැම් විට කරුණු සැපයෙන බව පෙනේ. මේ එහි සත්‍ය තත්ත්වය කෙසේ ද? යන්න විමසා බැලීමකි.

විනය යනු බුදු රදුන්ගේ ‘ආණා දේශනාව’ යි. මුල් කාලීන භික්ෂුව ශාස්තෲන් වහන්සේට ගැළපෙන අයුරින් කටයුතු කළ මුත් පසු කාලීන භික්ෂූන් නොයෙක් විෂමාචාරයන්ට පෙලඹීම හේතුවෙන් පාරාජිකාදි සික පද පනවන්නට සිදු විය. එසේ පැනවූ සික පද සංග්‍රහ මූලිකස්ථානයෙහි ලා ඉදිරිපත් කැරෙන වාර්තාව ‘විනය පිටකය’ නමින් හැඳින්වේ. එහෙත් විනය පිටකය යනු හුදු ශික්ෂා සංග්‍රහයක් ම ද නො වේ. එම ශික්ෂා පැනවීමට හේතු වූ නිදාන, අතිරේක කථා ආදිය ද මෙහි අන්තර්ගත වේ. ඒ අනුව විනය පිටකය යනු බුදු සමය පිළිබඳ ව කරුණු දැනගත හැකි, ප්‍රමාණවත් මූලාශ්‍රයකි. පළමු ධර්ම සංගායනාවේ දී ප්‍රථමයෙන් ම සංගායනා කරන ලද විනය පිටකය කොටස් පහකින් සමන්විත ය. ඒ පාරාජිකපාළි, පාචිත්තියපාළි, මහාවග්ගපාළි, චුල්ලවග්ගපාළි හා පරිවාරපාළි වශයෙනි.
බුදුන් වහන්සේ හා භික්ෂූන් වහන්සේලා වැඩ සිටි ස්ථානවලින් බහුතරය ස්වාභාවික පරිසරයේ පිහිටි සුන්දර ස්ථාන වේ. විනය පිටකය පුරා පැතිරී ඇති, තථාගතයන් වහන්සේ හා තථාගත ශ්‍රාවක-ශ්‍රාවිකාවන් විසින් සේවිත ස්වාභාවික පරිසරය හා බැඳුණු සුන්දර ස්ථාන මෙසේ ය:
සැවැත් නුවර ජේතවනාරාමය, තපෝදාරාමය, තින්දුකකන්දරාව, නළේරු කොසඹ ගස මුල, අචිරවති නදිය, අන්ධ වනය, ඉසිගිලි පර්වතය, උතුරුකුරු දිවයින, උණ ගස් ආදියෙන් වට වූ ලෙහෙනුන්ට අභයභූමියක් වූ වේළුවනයෙහි කලන්දකනිවාපය, විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාව, ගිජ්ඣකූට පර්වතය, ගෝතමකකන්දරාව, චම්පා නුවර ගග්ගරා පොකුණු තෙර, සොරුන් පහළට හෙළා මරා දමන චෝරප්‍රපාතය, ජීවක අඹ වනය, භද්දිය නුවර ජාතියා වනය, මුවන්ට අභය භූමියක් වූ උයන හෙවත් මද්දකුච්ඡි මිගදාය, විශාලා නුවර මහා වනය, හිමාලය ප්‍රදේශයේ මහා වන ළැහැබක්, පුණ්‍ය සම්මත වූ වග්ගුමුදා නම් ගං තෙර, වේභාර පර්වත පස්සයෙහි සත්තපණ්ණි ගුහාව, සීත වනයෙහි සප්පසොණ්ඩික නම් පර්වත ප්‍රපාතය, සප්පිනිකා ගං තෙර, උණු ජලය ඇති තපෝදා නදිය, තපෝදා නදිය ආශ්‍රිත තපෝදාරාමය, තපෝදකකන්දරාව, භගු ජනපදයෙහි සුංසුමාරගිරි නුවර මුවන්ට අභය භූමියක් වූ භේසකලාවනය, අජපල් නුග රුක, අනවතප්ත විල, බරණැස් නුවර මුවන්ට අභය භූමියක් වූ ඉසිපතන මිගදාය, උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා ගං ඉවුර, මිදෙල්ල රුක මුල, කිරිපලු රුක මුල, ගංගා නම් ගඟ, ගයා නදී ශීර්ෂය, ගෞතම තීර්ථය, අවන්ති ජනපදයෙහි කුරරඝර නගරයෙහි ප්‍රපාත පර්වතය, පාචීනවංසදාය නම් වූ වනය, රක්ෂිත වන ළැහැබක් වූ පාරිලෙය්‍යක වනය, මන්දාකිනී පොකුණ, රජගහ නුවර උයනක් වූ වැල්මී වනය, රජගහ නුවර සමීපයෙහි බිය උපදවන මහා සුසාන වනයක් වූ සීත වනය, මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනය, අහෝගංග පර්වතය, අල්ප ශබ්ද ඇති රමණීය වාලිකාරාමය යනාදි තැන් ය.
ජේතවනාරාමය, වේළුවනාරාමය වැනි ආරාම දියුණු වෙළෙඳ නගර ආශ්‍රිත ව පිහිටා ඇති බැවින් ඒවා කෘත්‍රිම පරිසරයක පිහිටි හා ස්වාභාවික පරිසරයෙන් බොහෝ දුරට වියුක්ත වූ ආරාම වශයෙන් හඳුන්වමින් කෙනකුට තර්ක කළ හැකි ය. එහෙත් එම ආරාම පිළිබඳ ව විස්තර ගවේෂණයේ දී ලැබෙන දත්ත අනුව එවැනි තර්ක නිරාධාර වේ. සැබැවින් ම ජේතවනාරාමය පිහිටා තිබුණේ නගරයට දුරත් නොවන, ළඟත් නොවන මට්ටමකිනි. තව ද එය ගෙඩි හා මල් ආදියෙන් ශෝභමාන වූ වනගත ප්‍රදේශයක් බව පැහැදිලි ය.
ජේතවනාරාමය පිහිටියේ වනගත ප්‍රදේශයක බව තහවුරු කරන සාධකයක් වන්නේ අම්බගෝපක ස්ථවිරයන් වහන්සේගේ කථාවෙනි. මේ හිමි නම මහලු කල පැවිදි වී ජේතවන ප්‍රත්‍යන්තයේ අඹ වනයේ පන්සලක් කොටගෙන අඹ රකිමින් සිටි බව සඳහන් වේ. මෙයින් තහවුරු වනුයේ ආරාමික වනය තුළ වුව උපවන තිබූ බව යි. මුලින් සඳහන් කළ අන්ධ වනය ද සැවැත් නුවරට නුදුරෙහි, ජේතවනාරාමය පිටුපස පිහිටි විවේකය කැමැත්තවුන් විසින් සේවනය කළ වන පෙදෙසකි.
විනය පිටකයේ සඳහන් වන මෙම ස්ථානවලින් වැඩිහරියක් වනගත ප්‍රදේශ ය; නැති නම් රුක් මුල් හෝ පොකුණු, ගංගා ආදි ජලයට සම්බන්ධ ස්වාභාවික ස්ථාන ය. සාමාන්‍ය ජනයා විසින් හැර–දමන ලද සීත වනය වැනි සොහොන් බිම් ද ඒ අතර වේ. සාමාන්‍ය ජනයා විසින් බිය ඉපදවීම් ආදිය කරණ කොටගෙන හැර දැමූ පමණින් එම භූමි අසුන්දර ස්ථාන නො වේ. සුපිපි සීත වනයෙහි සීත දිය දහරින් ගත සනසාගෙන තමන් වහන්සේ සුවෙන් වැඩ සිටින බව ඒකවිහාරීය ස්ථවිරයන් වහන්සේ වදාළ අයුරු ථේරගාථාවලින් පෙනේ.
භික්ෂු සංඝයා බුදුරදුන් විසින් සෙනසුන් පනවන්නට පෙර රුක්මුලෙහි, පර්වතයෙහි, කඳුරැළියෙහි, ගල් ලෙන්හි, සොහොනෙහි, වනපෙතෙහි, එළිමහනෙහි හා පිදුරු ගොඩ වැනි තැන්වල වුසූ බව සඳහන් වේ. අත්‍යන්තයෙන් ම ස්වාභාවික පරිසරය හා බැඳී පවතින මෙවැනි තැන් සෙනසුන් පැනවීමෙන් පසු ව පවා ඇසුරු කැරුණු බවට විනය පිටකයෙහි ම සාක්ෂි වේ. හේමන්ත ඍතුවෙහි නවම්, මැදින් දෙමස අතර අට දිනයෙහි ශීත රාත්‍රීන්හි හිම වැටෙන කාලයෙහි ගෝතමක චෛත්‍යයෙහි වැඩ වසන බුදුන් වහන්සේ එළිමහනෙහි වැඩ සිටීමත් සිව් දිවයිනට එක පැහැර මහා මේඝයක් වස්නා කල්හි භික්ෂූන්ට එම වැස්සෙන් කය තෙමාගන්නා ලෙස අනුදැන වැදෑරීමත් එය පිළිගත් භික්ෂූන් සිවුරු බහා තබා වැස්සෙන් කය තෙමාගැනීමත් යන සිද්ධි ස්වාභාවික සුන්දර පරිසරයේ අවස්ථාවන්ට කැමැත්තෙන් මුහුණ දුන් බවට උදාහරණ වේ.
මෙලෙස විනය පිටකය බුදුරදුන් ඇතුළු සංඝයා වැඩ සිටි සුන්දර භූමි පිළිබඳ ව සඳහන් කරන්නා සේ ම තවත් අදාළ සුන්දර තැන් ද නොපැකිළ ව වර්ණනය කොට ඇත. මෙයට හොඳ උදාහරණයක් වන්නේ චීවරක්ඛන්ධකයේ සඳහන් වන වේසාලි නගර වර්ණනය යි. වේසාලි නගරයට පැමිණි රජගහ නුවර වැසි කෙළෙඹි පිරිසක් සුන්දර වේසාලි නගරය දක්නා ආකාරය එහි දක්වා ඇත. සත්දහස් සත්සිය සත බැගින් වන ප්‍රාසාද, කුළුගෙවල්, ආරාම හා පොකුණු ද මනා රූ ඇති දැකුම්කලු වූ ප්‍රසාද ජනක උතුම් වූ වර්ණ සම්පත්තියෙන් යුතු නැටීමෙහි ගැයීමෙහි වැයීමෙහි දක්ෂ වූ අම්බපාලි ගණිකාව ද ඇය නිසා බෙහෙවින් හොබනා වේසාලි නගරය ද ආදි වශයෙන් එම වර්ණනාව දක්වා ඇත. අවශ්‍ය සිද්ධිය විස්තර කරනු වස් මෙවැනි ලෞකික වර්ණනා ද පාලි විනය පිටකයට එක් කොට ඇත.
විනය පිටකයෙහි බුදුරදුන් විසින් පනවා වදාළ අධිශීල ශික්ෂාව අන්තර්ගත වේ. කරුණු දහසක් මුල් තැන්හි තබා විනය නීති පනවා ඇත. එනම් සංඝයාගේ හිත සුව පිණිස, සංඝයාගේ පහසු බව පිණිස ආදි වශයෙනි. මෙසේ පනවා වදාළ ඇතැම් ශික්ෂා පදවලින් සෞන්දර්ය විරෝධී ආකල්පයක් ප්‍රකට වේ ය යනු ඇතැම් විචාරකයන්ගේ අදහස යි. තවත් විචාරකයෝ ඇතැම් සික පදවලින් සෞන්දර්ය ආකල්ප බැහැර වේ ය යන බියෙන් දෝ හෝ ඒවාට නව අර්ථකථන සැපයූ හ. ඒවායින් තත්ත්වය තවත් අවුල් වී ඇති සැටියකි. එබැවින් මෙකරුණු ද එක-එකක් පාසා ගෙන විමසා බැලීම වටී.
බුදුදහම හා සෞන්දර්යය පිළිබඳ ව අධ්‍යයනයෙහි යෙදෙන විද්වතුන් විසින් භාෂා ව්‍යවහාරය පිළිබඳ බෞද්ධ ආකල්පය විමසා බැලීම ද මූලික ව අවධානයට යොමු කරන අංශයක් බව ප්‍රකට ය. ඒ අනුව විනය පිටකයෙහි භාෂා ව්‍යවහාරය පිළිබඳ ආකල්පය විමසා බැලීම ද ප්‍රයෝජනවත් වේ. යමේළු හා තෙකුල යන භික්ෂූ දෙනම බුදුරදුන්ගෙන් බුද්ධ වචනය වෛදික භාෂාමය වාචනා මාර්ගයට නගන්නට අවසර ඉල්ලා සිටියහ. එවිට බුදුරදුන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට, යමෙක් එසේ කරන්නේ නම් දුකුළා ඇවැත් වන බව දක්වා බුද්ධ වචනය සකාය නිරුත්තියෙන් පිරිවහන්නට අනුදැන වදාළ සේක. මේ සම්බන්ධයෙන් මහාචාර්ය පොල්වත්තේ බුද්ධදත්ත හිමි ආදි විද්වතුන්ගේ පිළිගැනීමට අනුව මෙහි සකාය නිරුත්තිය නම් තම-තමන්ගේ භාෂා ය. එහෙත් අට්ඨකථා විවරණයට අනුව එය මාගධික ව්‍යවහාරය හෙවත් පාලි භාෂාව වේ.
මාගධික ව්‍යවහාරයෙන් පවතින බුද්ධ වචනය අන්‍ය භාෂාවන්ට පරිවර්තනය කිරීමේ දී හට ගත් අර්බුද පිළිබඳ ව කථා ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. මෙවැනි අර්බුදකාරී ඇතැම් පරිවර්තන නිසා විචාරකයන් බුදුදහම සර්ව අශුභවාදයක් වශයෙන් සලකන්නට පෙලඹුණු අවස්ථා ද වේ. තව ද: බුදුදහම දරා සිටීමට තරම් ශක්‍යතාවකින් යුතු මාගධික ව්‍යවහාරය පසෙක ලා අන්‍ය භාෂාවකින් එයින් ජනිත වන අර්ථය එලෙස ම ලබා දීම පහසු කටයුත්තක් නො වේ.
ආනන්ද කුමාරස්වාමි ඔහුගේ ‘ශිව නෘත්‍යය’ නම් කෘතියේ දී බුදුන් වහන්සේ සෞන්දර්ය විරෝධියකු වශයෙන් හැඳින්වීමට යොදාගත් කරුණක් පිළිබඳ ව මෙහි දී මුලින් ම අවධානය යොමු කරමු. එහි දී ඔහු දක්වන අන්දමට දසධම්ම සූත්‍රයේ සඳහන් “මම දුර්වර්ණ බවට පැමිණියෙමි, ප්‍රිය මනාප අයගෙන් වෙන් වූයෙමි” යනුවෙන් මෙනෙහි කිරීමට භික්ෂූන් වහන්සේලාට උපදෙස් දී තිබීම සෞන්දර්ය විරෝධී කරුණකි. ආනන්ද කුමාරස්වාමි විසින් ඉදිරිපත් කළ මෙම අදහස සනාථ කිරීමට තර්ක කරන ඇතැමකුට ඒ සඳහා උපයෝගී කරගත හැකි තවත් සාධක රැසකි. ඒ මෙසේ ය:
අලුත් සිවුරක් ලද භික්ෂුව විසින් නිල්, මඩ හෝ කළු යන වර්ණ තුනෙන් එකකින් එම සිවුර දුර්වර්ණ කරගත යුතු ය. එසේ නොකොට එම සිවුර පාවිච්චි කරන්නේ නම් පචිති ඇවැත් වේ. තව ද කඨිනක්ඛන්ධකයෙහි කප්බිඳු තැබූ වස්ත්‍රයෙන් කඨිනය ඇතිරීමක් පිළිබඳ ව සඳහන් වේ. භික්ෂුව වල්ලිකා, පමු, ගෙල පලඳනා, ඉඟ පලඳනා, වළලු, හස්තාභරණ, ඇඟිලි මුදු යන මේවා දැරීම,
කැටපතෙහි හෝ දිය බඳුනෙහි මුහුණු සටහන බැලීම, මුහුණ ආලිප්ත කිරීම, මුහුණ වත්සුනුයෙන් තැවැරීම, ඇඟ පැහැ ගැන්වීම, මුහුණ පැහැ ගැන්වීම ආදිය, භිත්තිකර්ම කළ රූපයෙන් ගැවැසී ගත් විසිතුරු පාමඬුලු (පාත්‍ර අඩි) දැරීම, මල් විසුළ යහන්හි සැතැපීම, නිය ඔපමට්ටම් කිරීම, රැවුළ අන්දම් තබා කැප්වීම, රැවුළ වැවීම, රැවුළ එළුරැවුළ සේ දික් කොට කැප්වීම, රැවුළු සතරැස් කොට කැප්වීම, පපුවේ ලොම් බෑවීම, බඩෙහි ලොම් වැටිය තබා සෙසු තැන්හි ලොම් බෑවීම, දැළි රැවුළු තැබීම, සම්බාධ ස්ථානයෙහි ලොම් බෑවීම යන මේවා කිරීමෙන් භික්ෂූන්ට දුකුළා ඇවැත් වේ.
මීට අමතර ව මල් පැළ සිටුවීම, සිටුවවීම, ඒවාට දිය ඉසීම, දිය ඉස්වීම, මල් කැඩීම, මල් කැඩවීම, මල් දම් ගෙතීම, ගෙතවීම, එක් පසකට නටුව ඇති සේ මල් දම් තැනීම, තැනවීම ආදිය හා කුලවමියනට, කුල දූනට, කුල කුමරියනට, කුල යෙහෙළියනට, කුල දාසීනට එක් පසකට නටු සිටුනා සේ තැනූ මල් දම් ගෙන යෑම ආදිය හා ඔවුන් සමඟ එක් බඳුනෙහි වැලඳීම, නැටීම, ගැයීම, වැයීම යනාදිය ද ශික්ෂාවෙහි ඇති පරිදි පිළියම් කරවිය යුතු වැරැදි වශයෙන් පෙන්වා දී ඇත.
භික්ෂුණීන් හා සම්බන්ධ විනය නීති විමසීමේ දී ද මෙවන් නීති හඳුනාගත හැකි ය. භික්ෂුණිය ස්ත්‍රී අලංකාර දැරීම, ගන්ධ වර්ණකයෙන් ස්නානය කිරීම, සුවඳ කැවූ තලමුරුවටයෙන් ස්නානය කිරීම යන දෑ කිරීමෙන් පචිති ඇවැත් වේ. තව ද: මුව ආලේප කිරීම, මුව සිනිඳු කිරීම, මුව සුනු තැවරීම, මනෝසීල කල්කයෙන් මුව ලකුණු කිරීම, අංගරාගමුඛරාගය යන දෑ කිරීමෙන් දුකුළා ඇවැත් වේ. මේ සියල්ලට අමතර ව උස් අසුන් හා මහ අසුන් දැරීම භික්ෂූන්ට දුකුළා ඇවැතක් බව දක්වා ඇත. එය අටසිල් සමාදන් වූ උපාසක-උපාසිකාවනට එක් සිල් පදයකි. මෙහි උස් අසුන් හා මහ අසුන් යනු විසිතුරු එළු ලොම් ඇතිරිය, රන්කම් කළ නූලෙන් වියූ ඇතිරිය, ඇතු පිට ලන ඇතිරිය, අසු පිට ලන ඇතිරිය යනාදිය යි. සේඛියා පිළිබඳ සාකච්ඡාව ලිපිය දිගු වීමට හේතු වන බැවින් එය මෙහි දී අත්හැරේ.

මේ ආකාරයට බුදුරදුන් භික්ෂු–භික්ෂුණීන් විෂයයෙහි පනවා ඇති සික පද පෙන්වන අයකුට ආනන්ද කුමාරස්වාමිගේ මතය තහවුරු වන ආකාරයට කථා කළ හැකි ය. ඒ සම්බන්ධයෙන් කළ යුතු ප්‍රති
වාදය ගොඩනැගිය යුත්තේ මේ සික පද එක-එකක් පාසා පනවන්නට හේතු වූ පසුබිම ද ගෙන සාකච්ඡා කරමිනි.

මේ බොහෝ ශික්ෂා පනවා ඇත්තේ ඒ ඒ ක්‍රියා භික්ෂූන් කරනු දැකීමෙන් නොසතුටට පත් ගිහියන්ගේ චෝදනාවලින් පසු ව ය. ඒ ඒ ක්‍රියා දකින ජනතාව “මේ භික්ෂූන් කාමභෝගී ගිහියන් මෙනැ” යි පවසමින් අවඥා කරති; නුගුණ කියති; දොස් පතුරුවති. මෙලෙස ජනතාවගේ දෝෂ දර්ශනයෙන් භික්ෂුව මුදාගනු වස් පැනවූ ලෝකවිජ්ජ ශික්ෂා රැසකි.
තව ද: මෙවන් ශික්ෂා සම්බන්ධයෙන් පැනනැගිය හැකි යථෝක්ත ප්‍රශ්න නිරාකරණය සඳහා ශික්ෂා පද පනවන්නට හේතු වූ කරුණු දහය විමසා බැලීම වටී. එනම් සංඝයාගේ හිත සුව පිණිස, සංඝයාගේ පහසු බව පිණිස, දුශ්ශීල පුද්ගලයන්ට නිග්‍රහය පිණිස, ප්‍රියශීලී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිස, මෙලොව දී පැමිණිය හැකි දුක් දුරු කර ලීම පිණිස, පරලොව දී පැමිණෙන දුක් නැති කිරීම පිණිස, නොපැහැදුණවුන්ගේ පැහැදීම පිණිස, පැහැදුණවුන්ගේ වැඩි පැහැදීම පිණිස, සද්ධර්මයේ චිරස්ථිතිය පිණිස, විනයානුග්‍රහය පිණිස යන දස අර්ථ සාධනය පිණිස ය.
මෙවන් ශික්ෂා පද සම්බන්ධයෙන් තව දුරටත් විමසා බලන කල පැහැදිලි වන්නේ කෙලෙස් ඇති වෙතැ යි සැලකිය හැකි අංශ වාරණය කිරීම, මිනිසුන්ගෙන් වන දෝෂාරෝපණය වැළැක්වීම ආදිය අරමුණු වූ බව යි. එහෙත් මෙවන් ශික්ෂාවන්ගෙන් භික්ෂුව ආරක්ෂා වූ පමණින් උන් වහන්සේ දක්නට, ඇසුරු කිරීමට අප්‍රසන්න අයෙක් ද නො වී ය. එයට අදාළ පරිසරය ද බුදුන් වහන්සේ විනය ශික්ෂා ඔස්සේ ම නිර්මාණය කරන්නට වූ සේක. ඒ මෙසේ ය:
භික්ෂුව දික් කෙස් නොදැරිය යුතු ය. යම් භික්ෂුවක් ඒ දරන්නේ නම් දුකුළා ඇවැත් වේ. දෙමසක් වූ හෝ දෑඟුලක් දික් වූ හෝ කෙස් දරන්නට අනුදැන වදාරා ඇත. කළ කබලෙහි පිඬු පිණිස නොහැසිරිය යුතු ය. මිනී හිසින් කළ පාත්‍රයක් නොදැරිය යුතු ය. හප, ඇට හෝ ඉඳුල් දිය පාත්‍රයෙන් ඉවතට ගෙන නො යා යුතු ය. දික් නිය නොදැරිය යුතු ය. තෙත් පයින් සෙනසුන නොපෑගිය යුතු ය. යම් භික්ෂුවක් මේ නොකළ යුතු දෑ කරයි ද එම භික්ෂුවට දුකුළා ඇවැත් වේ. තව ද සෙනසුන් පිරිසිදු ව පවත්වාගැනීමට අදාළ ඇමදීම, ශුද්ධ පවිත්‍ර කිරීම ආදිය පිළිබඳ ව වත්තක්ඛන්ධකයෙහි හා සේනාසනක්ඛන්ධයෙහි කරුණු පෙන්වා දී ඇත. මේ සියල්ලෙන් ම භික්ෂු, භික්ෂුණී සංඝයා පිරිසුදු ව හා ප්‍රිය මනාප ව සිටීම අපේක්ෂිත විය.
මෙලෙස සුන්දරත්වය වෙනුවෙන් ඉවත් කළ යුතු දෑ පෙන්වා වදාළා මෙන් ම අනුගමනය කළ යුතු හා පිළිගත යුතු දෑ ද අනුදැන වදාළ සේක. ඒ මෙසේ ය. තල් වැට හා විජිනිපත අනුදැනීම, ස්වාභාවික පඬු වර්ග අනුදැනීම, මගධ කෙත අනුව සිවුර සකස් කරගැනීමට උපදෙස් දීම, ජීවකයන්ගේ බොහෝ වටිනා සීවෙය්‍යක වස්ත්‍ර යුග්මය පිළිගැනීම, ජීවකයන්ගේ පන්සියයක් වටිනා කම්බිලිය පිළිගැනීම හා කම්බිලිය අනුදැනීම යනුවෙනි. මේ සියලු ශික්ෂා සැලකිල්ලට ගන්නා කල ආනන්ද කුමාරස්වාමිගේ අදහස ඍජු ව ම ප්‍රතික්ෂේප වේ.
මීළඟට අවධානය යොමු කරන පරිසර සංරක්ෂණය හා සම්බන්ධ විනය නීතිවලින් ස්වාභාවික සෞන්දර්යයේ සංරක්ෂණය නිතැතින් ම සිදු වේ. ඒවායින් භික්ෂූන් සඳහා අදාළ වන්නේ ආවාස වත්තෙහි ඒ ඒ තැන මූත්‍ර කිරීම, කැලෑ ගිනි තැබීම, ගස්-වැල් සිඳීම, පොළොව කැණීම, සත්ත්ව ලොම් ආදිය භාවිතය යනාදිය නොකිරීමට උපදෙස් දීම, විනය නීති පැනවීම හා ස්වාභාවික පරිසර සංරක්ෂණය සඳහා වස් වැසීමට අනුදැනීම යනාදිය යි. මේ සම්බන්ධයෙන් ම භික්ෂුණීන් විෂයයෙහි පනවා ඇති ශික්ෂා මෙසේ ය. යම් භික්ෂුණියක් මල, මූත්‍ර, කසළ හෝ ඉඳුල් නිල්වන් ගොයමෙහි දමන්නේ ද, දමවන්නේ ද, ඒවා ම බිත්තියෙන් පිටතට හෝ පවුරෙන් පිටතට දමන්නේ ද, දමවන්නේ ද පචිති ඇවැත් වේ යනුවෙනි.

මහාචාර්ය ඔලිවර් අබේනායක දක්වන අන්දමට ඇතැම් විචාරකයන් වෙතින් බුදුසමය ගීතයට විරුද්ධ ය යන්න තහවුරු කිරීමට ද සාධක ඉදිරිපත් වී ඇත. එසේ ඉදිරිපත් වන කරුණු පහෙන් තුනක් ම විනයට සම්බන්ධ වේ. ඒවා නම් අටසිල් හා දසසිල්වල විරමණය කළ යුතු දෙයක් ලෙස ගීතය පෙන්වා දී තිබීම, බුද්ධ වචනය ඡන්දසට නොනැගීමට, ගී හඬින් ධර්මය ගායනා නොකිරීමට භික්ෂූන්ට අනුශාසනා කර තිබීම යනුවෙනි.

සැබැවින් ම නැටීම, ගැයීම, වැයීම හා නාට්‍ය යන මේවායින් භික්ෂුව ඉවත් කිරීමට පනවා වදාළ ශික්ෂා පද විනය පිටකයෙහි වේ. මෙහි දී විනය පිටකයට අනුව ම සලකා බලන්නේ නම් නැටුම්, ගැයුම්, වැයුම් බැලීමට යෑම ඇවැතක් වුව ආරාමයෙහි සිටිද්දී දකී නම්, අසා නම්, සිටින තැනට පැමිණ එවැන්නක් කරයි නම් එය දකී නම්, අසා නම්, පෙර මග යන විට අසා නම් හෝ දකී නම් හෝ ආදි අවස්ථාවල දී ඇවැත් නො වේ. මෙහි දී මෙම සික පදය පනවන්නට මූලික ව ම හේතු වී ඇත්තේ ද නැටුම්, ගැයුම් ආදිය බැලීමට යෑම නිසා ඇති වූ ජන අපකීර්තිය යි. අනෙක් කරුණ නම් මෙවැනි දෑ සමාධියට බාධා කරන බව යි. මෙහි දී සිහිපත් කරගත යුතු අනෙක් කරුණ වන්නේ බුදුරදුන් දික් වූ ගී හඬින් ධර්මය ගැයීම ප්‍රතික්ෂේප කළ ද ස්වරභණ්‍යය හෙවත් තරංග වෘත්තාදි වශයෙන් වෘත්තවලට අනුව කීම අනුදැන වදාරා ඇති බව යි.
මීළඟට අවධානය යොමු කරන චිත්‍රකරණය පිළිබඳ විනය නීතිය චුල්ලවග්ගපාළියෙන් හඳුනාගත හැකි ය. එහි දී බුදුන් වහන්සේ පනවන්නේ ස්ත්‍රී රූප ද පුරුෂ රූප ද යන ප්‍රතිභාන චිත්‍ර නොකරවිය යුතු බව යි; යමෙක් කරවන්නේ නම් දුකුළා ඇවැත් වන බව යි. මෙහි දී වැදගත් වන්නේ බුදුන් වහන්සේ විසින් ඉන් අනතුරු ව කළ අනුදැන වැදෑරීම යි. එනම් මල්කම් ලියකම් මුවරදත් පස්වනක් පැහැ කිරීම අනුදැන වැදෑරීම යි.
උපමාදිය භාවිතය සෞන්දර්ය විෂය ක්ෂේත්‍රයේ වැදගත් අංශයක් බැවින් ඒ පිළිබඳ ව ද මෙහි දී කෙටියෙන් හෝ අවධානය යොමු කැරේ. ඒ අනුව පාලි විනය පිටකයෙහි කතන්දර භාවිතය, ස්වාභාවික පරිසරයෙන් ලැබූ උපමා, ඒ ඒ පුද්ගලයාට අනුව වදාළ උපමා ආදිය භාවිත වී ඇති අන්දම දැකගත හැකි ය. ගිහි කල වීණා වාදනයෙහි දක්ෂ වූ සෝණ හිමියන්ට වදාළ වීණා උපමාව ඒ ඒ පුද්ගලයාට අනුව වදාළ උපමාවලට නිදසුනකි. උපමා භාවිතයට සුන්දර උදාහරණයක් වශයෙන් සමුදුරේ ආශ්චර්ය අද්භූත කරුණුවලට සසුනේ ආශ්චර්ය අද්භූත කරුණු උපමා කිරීම දැක්විය හැකි ය.
මාගේ ගණනයට අනුව පාලි විනය පිටකයේ උපමා භාවිත ස්ථාන දෙසිය විසි තුනක් හමු විය. එම උපමා පාරාජික පාළියේ විසි දෙකක්, පාචිත්තියපාළියේ තිස් එකක්, මහාවග්ගපාළියේ අසූ දෙකක්. චුල්ලවග්ගපාළියේ අසූ අටක් වශයෙන් සංග්‍රහ වී ඇත.
විනය කරුණු සෞන්දර්ය විරෝධී ආකල්පයක් ප්‍රකට කෙරේ යැ යි කෙරෙන චෝදනා ප්‍රලාප ය. විනය දේශනාව සෞන්දර්යයට සමීපතර බව දැක්වීමට වුව කර ඇති ඇතැම් මත දැක්වීම් පිළිගත නොහැකි ය. එවැනි හිතුමනාප මතවලින් විනය සෞන්දර්යයෙන් තව දුරටත් දුරස් කැරේ. විනය යනු නිවනට අදාළ ශික්ෂාව බව සිහි තබා සෞන්දර්ය මත-වාද විමසිය යුතු ය. විනය ශික්ෂා පිළිබඳ ව කර ඇති ඇතැම් චෝදනා ඒවා පනවන්නට පසුබිම් වූ තත්ත්වය නිසි ලෙස වටහා නොගෙන කළ චෝදනා ය. පාලි විනය පිටකය පුද්ගලයා සෞන්දර්යයට තවත් සමීප කරවන්නක් මිස එයින් දුරු කරවන්නක් නො වේ.
(සම්පූර්ණ පාලි විනය පිටකය, සමන්තපාසාදිකා විනය අටුවාව, විනය ටීකා, ථේරගාථා හා මහාචාර්ය ඔලිවර් අබේනායකයන්ගේ ‘බෞද්ධ අධ්‍යයන විමර්ශන’ කෘතිය ද ඇසුරු කැරිණි)
හසන්ත වාසනා සමරසිංහ
සදහම් සඟරා - Online