ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

ජීවන ගමනේ අතරමං නොවීමට නම්...

බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

මෙලොව පමණක් නොවෙයි. සංසාරික වශයෙන් ද අනාරක්ෂිත නොවන්නට නම්, තමන් මෙලොව රක්ෂිත විය යුතු ය. තමන්ට රැකවරණයක් සලසාගත යුතු ය. තමා තමාට පිහිටක් වී, රැකවරණයක් වී බාහිර වස්තූන් ද රැකවරණයට උපකාරී කර ගැනීම ධර්ම මාර්ගයෙන් පෙන්වා දෙන අදහසයි.
තමන් ආරක්ෂා නොකර අන් අය හෝ බාහිර වස්තු හෝ රැක ගැනීමෙන් තමන්ට යහපතක් නොවන බව සංයුක්ත නිකායේ කෝසල සංයුත්තයට අයත් අත්තරක්ඛිත සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළහ. උන්වහන්සේ අවධාරණය කළේ පළමුව තමා රැකගෙන අන් අය හෝ අන්වස්තු හෝ රැක ගැනීම ප්‍රඥාවන්තයන් විසින් කළයුතු මාර්ගය බව ය.
ජීවන ගමනේ සංතෘෂ්ටිය සොයාගෙන යන බොහෝ පිරිස් විසින් සංතෘෂ්ටිය සොයනු ලබන්නේ අන් අය හෝ අන්වස්තූන් හෝ එනම්, බාහිර පුද්ගලයන් හා බාහිර වස්තූන් කෙරෙහි විශ්වාසය තැබීමෙනි. බාහිර වස්තු සොයාගැනීමෙනි, ඒවා රැක ගැනීමෙනි. මට සතුටක් තියෙනවා. ආරක්ෂාවක් තියෙනවා යන අදහසිනි.
බාහිර පුද්ගලයන් මගේ කර ගැනීමෙන්, මගේ යැයි අයිතිකර ගැනීමෙන් රැකවරණයක්, ආරක්ෂාවක් ඇතිවෙනවා යන අදහසිනි. ආරම්භයේ දී ම ඔබට මෙසේ සඳහන් කරමි. තමන්වත් තමාට හිමි නැති ශරීර පුංජයක් දරාගෙන, ඒ ඒ පුද්ගලයන්ටවත් අයිති නැති ඒ ඒ පුද්ගලයන්ගේ ශරීර පුංජයන්ගෙන් පිහිටක් සතුටක් ලබන්නට ප්‍රාර්ථනා කිරීම නුවණැත්තන් විසින් කළ යුතු මඟක් නොවන බව පැහැදිලි කරගත යුතුම ය.
මේ නිසා මෙලොව පමණක් නොවෙයි. සංසාරික වශයෙන් ද අනාරක්ෂිත නොවන්නට නම්, තමන් මෙලොව රක්ෂිත විය යුතු ය. තමන්ට රැකවරණයක් සලසාගත යුතු ය. තමා තමාට පිහිටක් වී, රැකවරණයක් වී බාහිර වස්තූන් ද රැකවරණයට උපකාරී කර ගැනීම ධර්ම මාර්ගයෙන් පෙන්වා දෙන අදහසයි.
ස්වාමියා, බිරිඳ, මවුපියන්, දරුවෝ, සොහොයුරු සොහොයුරියන් ආදී වශයෙන් ඔවුනොවුන් පවසන්නේ ‘නුඹ මගේ ය. නුඹ මට සිටිනවා. නුඹ සිටිනා කල් මට බිය විය යුතු කිසිවක් නැත’. ආදී වශයෙනි. එහෙත් තමාගේ සිතෙහි දහමේ පෙන්වා දෙන ආකාරයෙන් මනා වූ රැකවරණයක් සලසා ගත්තේ නම්, බාහිර පුද්ගලයන් මොනතරම් තමා සමීපයේ සිටියත්, බාහිර වස්තූන්, මිල මුදල්, ධන ධාන්‍ය වැනි දෑ තමා සන්තකයේ මොනතරම් පැවතුණත්, මනසින් මොනතරම් අනාරක්ෂිත වී ඇත්දැයි හඬන, වැළපෙන හිස් ආකාසය දෙස බලාගෙන සුසුම් හෙළන බොහෝ පිරිස් දැකීමෙන්, ඔවුන්ට ඇහුම්කන් දීමෙන් තේරුම්ගත හැකි වන්නේ ය. මේ කතාව ඔබේ ජීවිතයේ ඔබේ ම අත්දැකීමක් ද විය හැකිය.
මේ නිසා අත්තරක්ඛිත සූත්‍ර දේශනාවේ පෙන්වා දෙන සදහම් පෙළ ඔබගේ ජීවිතයට ගළපා ගන්නටත්, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් අන් අයත් ඒ දහම් මඟට යොමු කරන්නටත් ඔබට ඉතාමත් කරුණාවෙන් ආරාධනා කරමි. මේ මාර්ගය දැනගැනීමෙන් ම ලෞකික වශයෙන් ධර්මානුකූල සංතෘෂ්ටියක් ලැබීමත්, මෙලොව වශයෙන් ම පරමාර්ථ ධර්මය අවබෝධ කර ගන්නටත් එමගින් සියලු කෙලෙසුන් නැසීමේ මාර්ගය සකසා ගැනීමටත් අවස්ථාව සැලසේ.
දිනක් පසේනදි කොසොල් රජතුමා භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණ ගෞරවකොට මෙසේ සඳහන් කළේ ය. “භාග්‍යවතුන් වහන්ස, මම හුදකලාව සිටින අවස්ථාවක මගේ සිතට මෙවැනි අදහසක් පැන නැගුණා. ඒ කුමක් ද? කවුරුන් විසින් ආත්මය රක්නා ලද්දේ ද? කවුරුන් විසින් ආත්මය නොරකිනා ලද්දේ ද? යනුවෙනි”. භාග්‍යවතුන් වහන්ස, ඒහා සමඟින් ම මගේ සිතට මෙවැනි අදහස් රාශියක් ඇතිවුණා. යම් කිසි කෙනෙක් කයෙන් දුසිරිත් කෙරන්නේ ද? වචනයෙන් දුසිරිත් කරන්නේ ද? සිතින් දුසිරිත් කරන්නේ ද? ඔහු විසින් තමා නොරකිනා ලද්දේ ය. යම් ආකාරයෙන් ඔහු ඇතුන් පිරිසක් රකින්නේ වෙයි. අශ්වයන් සමූහයක් මගේ යැයි කියමින් ආරක්ෂා කරන්නේ වෙයි. ඒ වගේ ම රථ සමූහයක් තමා වෙත පවත්වා ගන්නේ වෙයි. පාබල සෙනග හෙවත් බොහෝ පිරිස තමා වෙත පවත්වාගෙන රකින්නේ වෙයි. එනමුත් ඔවුන් විසින් තමා ම නොරක්නා ලද්දේ වේ. එයට හේතුව කුමක් ද? ඉහත සඳහන් කළ ඇත්, අස්, රිය, පාබල නම් වූ සියලු වස්තූන් බාහිර දේ ම ය. ඒවා රැකීම බැහැර වස්තූන් රැකීමක් වන්නේ ය. ආරක්ෂා කිරීමක් වන්නේ ය. ඒවා රැක ගැනීම තමාගේ අධ්‍යාත්මය රැකගැනීමක් වන්නේ නැත. තමාගේ ඇතුළත රැක ගැනීමක් වන්නේ නැත. එනම් තමාගේ සිත රැක ගැනීමක් වන්නේ නැත. එසේ නම් ඔහු විසින් තමා නොරක්නා ලද්දේ යැයි මට හැඟෙනවා”.
කොසොල් රජතුමා තවදුරටත් මෙසේ සඳහන් කළේ ය. “භාග්‍යවතුන් වහන්ස යම් කිසි කෙනෙක් කයෙන් සුසිරිත් කරනවා ද? වචනයෙන් සුසිරිත් කරනවා ද? සිතින් සුසිරිත් කරනවා ද? ඔවුන් විසින් හැබෑවට ම තමා රක්නා ලද්දේ වෙයි. එනම් ආරක්ෂා කරගත්තේ වෙයි. ඔහු විසින් ම ඇත්, අස්, රිය, පාබල නොරකිනා ලද නමුත්, ඔහු සුචරිත මාර්ගය අනුගමනය කිරීම නිසා තමාගේ ආත්මය, තමාගේ ජීවිතය, තමාගේ පැවැත්ම මනාකොට රැක ගන්නා ලද්දේ වේ ම ය. එය අධ්‍යාත්මික ආරක්ෂාවක් බවට ම පත්වන්නේ ය. එය රැකීම බැහැර ආරක්ෂාවක් බවට පත්වන්නේ නැත. එනම් ඔහු විසින් තමන් ආරක්ෂා කරන ලද්දේ යැයි මට අවබෝධ වුණා. භාග්‍යවතුන් වහන්ස, මා නිවැරදි ද? දේශනා කරනු ලබන සේක්වා”.
බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාට මෙසේ පිළිතුරු දේශනා කළහ. “මහරජ එය එසේම ය. යම් කිසි කෙනෙක් කයෙන් දුසිරිත් කෙරෙත් ද? වචනයෙන් දුසිරිත් කෙරෙත් ද? සිතෙන් දුසිරිත් කෙරෙත් ද? ඔහු විසින් තමා නොරක්නා ලද්දේ වෙයි. සඳහන් කළ අයුරින් ඔවුන් ඇත්, අස්, රිය, පාබල රකින්නේ ද? එසේ රකින්නේ නමුත් ඒ සියල්ල ඔහුගේ රැකීමක්, ඔවුන්ගේ ඇතුළත හෙවත් අධ්‍යාත්මය රැකීමක් නොවන්නේ ය. එනම් ඔහු නො රකිනා ලද්දේ ය. ඒ කවර හෙයින් ද? ඒ සියලු ආරක්ෂාව, රැකවරණය, බැහැර රැකීමක් වන නිසා ය. ඒ රැකීම තමාගේ අධ්‍යාත්මය හෙවත් ඇතුළත රැකීම නොවන්නේ ය. එහෙයින් ඔහු විසින් තමා නො රකිනා ලද්දේ යැයි පැවසිය යුතුමය. මහරජ, යම් කිසි කෙනෙක් කයෙන් සුසිරිත් කරනවා ද? වචනයෙන් සුසිරිත් කරනවා ද? සිතින් සුසිරිත් කරනවා ද? ඔහු විසින් තමා රක්නා ලද්දේ ම ය.
මුලින් සඳහන් කළ පරිදි ඇත්, අස්, රිය, පාබල රකින්නේ හෝ රැකගත්තේ නැති වූව ද, තමා විසින් තමා රැකගත්තේ බවට පත්වන්නේ ය. එයට හේතුව තමාගේ අභ්‍යන්තරය හෙවත් අධ්‍යාත්මය තමා විසින් රැක ගැනීම ය. එනම් සුචරිත මාර්ගයේ හැසිරීම ය. සුචරිතය රැකීම බැහැර රැකීමක් නොවේ. තමන් විසින් තමන් ම රැක ගැනීම ය.
මෙසේ දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ කොසොල් රජතුමාට උතුම් ගාථා රත්නයක් දේශනා කළ සේක.
කායෙන සංවරො සාධූ
සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධූ
සාධු සබ්බත්ථ සංවරො
සබ්බත්ථ සංවුතො ලජ්ජී
රක්ඛිතෝති පවුච්චති

කයෙන් සංවරවීම මැනවි, වචනයෙන් සංවර වීම මැනවි. සිතින් සංවරවීම මැනවි. හැම තන් හි ම සංවරය මැනවි. හැම තන්හි ම ආරක්ෂා වූයේ පාපයට, අවබෝධයෙන් ලජ්ජාවක් ඇති වූයේ, තමා රැකුණේ යැයි කියනු ලැබේ.
මේ දහම් කතාව අප සියලු දෙනාගේ ම ජීවිතවලට ගළපා ගනිමු. ගෘහස්ථ ජීවිතයක හෝ වේවා, පැවිදි ජීවිතයක හෝ වේවා තමා තමාට ලෙන්ගතු නම්, ප්‍රියවන්ත නම්, කුමක් කළ යුතු දැයි අප විසින් තේරුම් ගත යුතුම ය. පැවිදි ජීවිතයක සියලු දුක් නසා නිවන සාක්ෂාත් කර ගැනීම හෙවත් අවබෝධය පිණිස, ගෘහස්ථ ජීවිතයෙන් බැහැරව කසාවත් ඇඳ පැවිදි ජීවිතයට පත්වන්නේ නම් තමා රැක ගත යුතු ය. අධ්‍යාත්මය ආරක්ෂා කර ගතයුතු ය. එනම් කයින්, වචනයෙන්, සිතින් සිදුවන දුසිරිත්වලින් බැහැරව සුචරිත මාර්ගයට අවබෝධයෙන් ම සිත යොමු කර ගත යුතු ය. ඒ වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ත්‍රිපිටකය පුරා ම අන්තර්ගත ව පවතී. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ පිහිටීමේ පටන් සිල්වත් විය යුතුවන්නේ ය. ඒ පළමු ව තමා රැක ගැනීම ය.

බුදුරජාණන් වහන්සේ දැක ගන්නට නම් ...

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ 
නියෝජ්‍ය ලේඛකාධිකාරී, 
අස්ගිරි මහා විහාර පරිවේණාධිපති, 
නාරම්පනාවේ ආනන්ද හිමි

"උපුල් , නෙළුම්, සුදු නෙළුම් ආදී මලක් දියෙහි හටගෙන දියෙන් උඩට විත් දියේ නො ගෑවී, දියෙන් වෙන්ව පවත්නේ යම් සේ ද, එසේ බුදුරදුන් ද මිනිස් ගොහොරුවේ ම ඉපදී ක්‍රමයෙන් ඉන් වෙන්ව යළි ඒ මිනිස් ගොහොරුවේ නො ගෑවී නො ගැටී සිටින ආශ්චර්යවත් මනුෂ්‍යයෙකි"
“අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං 
භාවෙතබ්ඛං ච භාවිතං 
පහාතබ්බං පහීනං මෙ 
තස්මා බුද්ධොස්මි බ්‍රාහ්මණ”

“අවබෝධ කරගත යුතු දේ අවබෝධ කර ගතිමි. වැඩිය යුතු දේ වැඩුවෙමි. අත්හළ යුතු දේ අත් හළෙමි. එහෙයින් බ්‍රාහ්මණය මම බුද්ධ නම් වෙමි.”

මෙතෙක් බිහි වූත්, විෂයය වූත් පදවි තානාත්තරාත්තරයේ උත්තරීතර පදවිය නම් සම්බුදු පදවිය හෙවත් බුද්ධත්වය ම වන්නේ ය. එකී උත්තරීතර වූ බුදු පදවිය කවරකාර වූවක් ද යන්න පිළිබඳව මෙහි දී විමසා බැලීමට භාජනය කෙරේ. අදින් වසර 2600 කට පෙරාතුව දඹදිව නේරංජනා නදිය අසබඩ හෙවත් වර්තමානයේ බුද්ධගයාව යන නමින් හැඳින්වෙන අතිශය නිසංසල වූත් මනරම් භූමි භාගයක පිහිටි අශ්වත්තන වෘක්ෂ මූලයේ දී ලොවේ පවත්නා සියල්ල , යථා ස්වභාවය ඉතා මැනවින් වටහාගත් සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අභිමුඛයෙහිහොත් සේල නම් බ්‍රාහ්මණයා විසින් “ඔබ කවරෙක් වන්නේ දැයි” විමසු පැනයට දුන් පිළිතුර ම මෙහි දී බුදු පදවිය විමසීමෙහිලා උපයෝගී කරගත හැකි ය. පූර්වෝක්ත ගාථාවේ පිළිබිඹු වන පරිදි ‘බුද්ධත්වය’ යන වදන ඉතා සරල ලෙසත්, ගැඹුරු ලෙසත් විවරණය කොට තිබේ. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පුරණයට පමුණවන ලද පාරමිතා ධර්මවලින් ද අවසන් අත්බැව්හි ලැබූ සංකීර්ණ අත්දැකීම්වලින් ද මනා ලෙස මෙහෙය වන ලද සිදුහත් බෝසතුන්ගේ අසම සම ප්‍රඥාව කූටප්‍රාප්තිය ලබනුයේ බුද්ධත්වය නම් වූ උත්තරීතර පදවියට සම්ප්‍රාප්ත වීමෙනි. ඒ වනාහි අවබෝධ කරගත යුතු දේ අවබෝධ කර ගැනීමෙහිත්, වැඩිය යුතු දේ වැඩීමෙහිත්, අත්හළ යුතු දේ අත්හැරීමෙහිත් අවසාන ප්‍රතිඵලයයි.
අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං යන්නෙන් ප්‍රකට වන්නේ සිද්ධාර්ථ ගෞතම බුදුපියාණන් වහන්සේ අවබෝධ කරගත යුතු දෑ මනා සේ අවබෝධ කොට වදාළ හෙයින් සම්බුද්ධ නම් වන බවකි. මෙහි දී සම්බුද්ධත්වය පිළිබඳව කර්මානුගත විවරණය සැපයීමට මත්තෙන් ව්‍යාකරණ නිරුක්තිගත අර්ථ විවරණයක් සැපයීම අර්ථාවබෝධයට උපකාරී වනු ඇත.
බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ, බුදුරජාණන් වහන්සේට අදාළ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ සර්වඥයන් වහන්සේ ආදී අර්ථ විස්තර දක්වා තිබේ. මෙහි දී ලෙව්හි සියල් සද්, අසද්, ජීවී , අජීවී කරන්නා පිළිබඳ නිවැරදි අවබෝධය අදහස් කෙරේ. එකී අවබෝධය කෙසේවී ද යත් පෙර කී පරිදි ලෝ පවතින සියලු දේ නිත්‍ය නොවන බවයි. නිත්‍ය නොවීම නිසා දුක් සහගත වන බවත්, මම ය මාගේ ය යනුවෙන් ඇලීම් ගැටීම් නොවන බවත් ය. ඒ පමණකුදු නොව සත්ත්වයා භවයෙන් භවය උපදිමින් සසර දුක් විඳින්නේ තෘෂ්ණාව නිසා බව ය. එසේම සසරට ඇති ඇල්ම සම්පූර්ණයෙන් දුරු කිරීම තුළින් සියලු කෙලෙසුන්ගෙන් මිඳිය හැකි බව හෙවත්, නිවීම නම් නිර්වාණය සාක්ෂාත් කරගත හැකි බවත් ය. එකී අවබෝධයෙන් තොර තැනැත්තා නැවත නැවත සසර උපදිමින් දුක් විඳියි. සක්කා දිට්ඨි ආදී වශයෙන් දක්වන ලද දශ සංයෝජනයන් ප්‍රමුඛ කොට ඇති මිනිස් සිතෙහි උපදනා අප්‍රමාණ කෙලෙස්කර ධර්මයන් නිසා සසර ඇල්ම හෙවත් ආශාව හට ගනී. මෙලොව ඇතිතාක් සියල්ල නිත්‍ය, සුඛ, ආත්ම වශයෙන් උපාදානය කර ගනී ද, මේ මිථ්‍යාවෙන් මිදී ත්‍රිලක්ෂණය පදනම් කරගත් අවබෝධය සත්ත්වයා සසර දුකින් මුදවන බව උන්වහන්සේ අවබෝධ කරගත් සේක.
දීපංකර පාද මූලයේ ඇතිකරගත් ප්‍රාර්ථනානුගතව පටිච්චසමුප්පාදය, කර්මය, පුනර්භවය, චතුරාර්ය සත්‍ය ආදී පරම දේශනාවන් තුළින් තමා අවබෝධ කොට ගත් ධර්මය නිවැරැදිව, නිසි ක්‍රමානුගතව සමාජයට ඉදිරිපත් කළහ. එසේ ම ඒ ආකාරයෙන් ධර්ම ශ්‍රවනයේ නියුක්ත වූවෝ දහස් ගණනින් විමුක්ති බලය ලදහ. කෙලෙස් මලින් ආර්ද්‍ර වූ අපට සම්බුද්ධත්වය ලද නොහැකි මුත් තථාගතප්පවේදිත ධර්මානුසාරයෙන් නිවන් ඵල ලැබීමේ සත්‍යතාව නොඅඩුව ලැබී ඇත. එසේ ම මදින් මද වුව ලබන ධර්මාවබෝධය සසරෙ කෙදිනක හෝ නිවන පිණිස ම හේතු වනවා ඇත.
“භාවෙතබ්බං ච භාවිතං” යනුයෙන් දේශනා කළ පරිදි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩිය යුතු යහපත් ධර්මයක් වී නම්, ඒ සියල්ල වඩන ලදී. ස්වකීය චිත්ත අභ්‍යන්තරයෙහි අත්‍යත්තයන් වඩා ගත යුතු අධ්‍යාත්මික වූත්, යහපත් ධර්මයන් සිය ජීවිතය තුළින් ම පෙන්වා වදාළ උන්වහන්සේ එකී ගුණ වැඩීමේ ආනිශංසයන් ද නිරන්තර වශයෙන් පෙන්වා දුන්හ. එසේ බුදුන් වහන්සේ වැඩු ගුණ දම් අතර මහා කරුණාව, මහා ප්‍රඥාව මුල්කරගත් මෛත්‍රීය පරහිතකාමීත්වය ඉවසීම, පරමාදර්ශී නායකත්වය, රහසින්වත් පව් නො කිරීම, ගිලානෝපස්ථානය, පිහිට විය යුත්තන්ට පිහිට වීම, ලාභසත්කාරයන්ට ලොල් නොවීම, තාදී ගුණික බව, කළගුණ සැලකීම, නො පසු බස්නා වීර්යය, දානදී පාරමිතා යනු එකී ගුණයන්ගෙන් කිහිපයකි. මිනිස් ගොහොරුවේ ම ජනිතව අන් සියල්ලන්ට වඩා උදාර මනුෂ්‍යයෙකු ලෙස ලෝක යථාර්ථය මනා අවබෝධ කොටගත් බුදුරජාණෝ මානව වර්ගයාට පමණක් නොව විශ්වයේ සියල්ලන්ටම මෙත්, කුළුුණු පැතිරවීමට තරම් සිත දියුණු කර ගත්හ. අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ සඳහන් වන පරිදි,
කයෙහි අසුභ දැකීම, ආහාරයෙහි පිළිකුල් බව වැඩීම, ලොව සියලු දේ කෙරෙහි අනභිරතිය වැඩීම, සියලු සංස්කාරයන්හි අනිත්‍යතාව වැඩීම, මරණ සංඤාව වැඩීම, යන කාරණා පස භාවිත කිරීමෙන්, බහුලව, වැඩීමෙන් ඒකාන්තයෙන් ම නිබ්බිදාව, විරාගය, නිරෝධය, උපසමය, අභිඤ්ඤාව සම්බෝධිය, නිවීම පිණිස හේතු වන බව දැක්වේ. ඒ ආකාරයෙන් වූ වැඩිය යුතු යහපත් වැඩීම් සියල්ල උන්වහන්සේ වැඩූ නිසා බුද්ධ නම් වන සේක. එසේ නො වැඩිය යුතු ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ලෝභය, රාගය, ද්වේෂය, මෝහය, මාන්‍ය මදය ආදිය නො වැඩූ සේක. එමතු ද නොව වැඩි සියලු ගුණ ප්‍රකට කළ සේක. ඒ අනුව විමසා බලන කල යමෙක් තම දිවියේ යම් සද් දහමක් වැඩීමට කැමති වන්නේ නම්, හෙතෙම ඒකාන්තයෙන් ආදර්ශයට ගත යුතු චරිතය අන් කිසිවෙක් නොව බුද්ධ චරිතය බව වටහා ගත යුතු ය.
“පහාත බ්බං පහීනං” යනුවෙන් දැක්වූ පරිදි සර්වප්‍රකාරයෙන් අත්හළ යුතු දේ අත්හළ බව සිදුහත් බෝසත් චරිතයේ මුල සිටම මනාව දිස් වේ. මෙලොව වසන පෘථග්ජන සියලු දෙනාම ආශාවෙන් රැස්කළ දේ අත්හැරීමට නො කැමැත්තාහ. අත් හරිතත් හුදෙක් තමාට අප්‍රයෝජනාවක් දෙයක් මැ. එහෙත් අප බෝසතාණෝ කළ උතුම් අත් හැරීම් රාශියක් ම සිදුහත් බෝසත් චරිතයේ ඇත. ඒ බව සිය පි‍්‍රයාදර ස්වාමි දියණිය වූ යශෝදරාව, සුකොමල පුත් වූ රාහුල ආදී නෑ හිතාදරයන් අතැර කළ අභිණිෂ්ක්‍රමණය ම නිදසුන් ලෙස සැලකුව හැකි ය. එමතු ද නොව උන්වහන්සේ පාරමී පුරණ අවධියේදී ද ස්වකීය ඇස්, ඉස්, මස්, ලේ මෙන් ම අඹු දරුවන් ද මතු ලෝකාර්ථචරියාව සලකා අත්හළ සේක. අත්හැරීම පුරුදු වන විටත් තමා සතු සැප සම්පත් හලයකු බව සක්විති රාජ්‍යාදිය අත් හැරීමෙන් ම පෙනේ. ඒ අත්හැරීම වනාහි හුදෙක් ලෝ වැසියන්ගේ හිත සුව පිණිස වූ නිසා තව තවත් උසස් අත්හැරීමක් ම වන්නේ ය. එහෙයින් බුදුන් වහන්සේ යනු බැඳීම් අත්හැරීම් පිළිබඳ මේ ලෝක සත්ත්වයාට ජීවිතාදර්ශයෙන් පෙන්වා වදාළ මහා ශාස්තෘවරයාණෝ ය.
උපුල් නෙළුම්, සුදු නෙළුම් ආදී මලක් දියෙහි හටගෙන දියෙන් උඩට විත් දියේ නො ගෑවී දියෙන් වෙන්ව පවත්නේ යම් සේද, එසේ බුදුරදුන් ද මිනිස් ගොහොරුවේ ම ඉපදී ක්‍රමයෙන් ඉන් වෙන්ව යළි ඒ මිනිස් ගොහොරුවේ නො ගෑවී නො ගැටී සිටින ආශ්චර්යවත් මනුෂ්‍යයෙකි. ‘බුද්ධ’ යනු කිසියම් යක්ෂ, දේව, ගාන්ධර්ව ගණයකට අයත් වූවෙක් නොව උතුම් ආශ්චර්යවත්, මනුෂ්‍යයෙක් බව මෙහිලා වටහා ගත යුතු ය. මේ ආදී වශයෙන් විමසා බලන කල බුදුරදුන් කවරෙක් ද යන වග කෙනෙකුට මනාව අවබෝධ කරගත හැක. පෙර කී කාරණාවන්ට අනුව විමසා බලන කල බුද්ධත්වය නම් අවබෝධයෙන් ගුණ දම් වැඩීමෙන්, ආශා බැඳීම් දුරු කිරීමෙන් ලබන ශ්‍රේෂ්ඨ අධිගමයකි. ඒ අධිගමනය බුදුරදුන් තරම් ඉහළින් නො මැති වුව ද මෙලොව බුද්ධිමත්ව සිතන්නට හැකි සියලු දෙනාටම ළඟා විය හැකි තත්ත්වයකි. බුදුරජාණන් වහන්සේ දකින්නට නම් උන්වහන්සේගේ දහම නිවැරැදිව වටහාගත යුතු ය. එකී ධර්මාවබෝධය මේ ජීවිතයේ දීම ලබන්නෙමුයි සියලු බොදුනුවන් එක්සත්ව, එක්සිත්ව අදිටන් කර ගැනීම ම සම්බුද්ධත්ව ජයන්තිය අර්ථවත් කිරීමට බෙහෙවින් ඉවහල් වනු නො අනුමාන ය.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ඇත් පියවර උපමාවෙන් සත්‍යාවබෝධයට

පොල්ගහවෙල 
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

එදා ජානුස්සෝනි බ්‍රාහ්මණයා සුදු අසුන් යෙදූ කරත්තය සුදු පාටින් සරසවා තමාත් සුදු වතින් සැරසුණා. බ්‍රහ්ම රාජයෙකුගේ ලීලාවෙන් සැවැත්නුවර නගර ප්‍රදක්ෂිණාවට නික්මුණා. මොහුගේ මිත්‍රයෙක් වූ පිරිවැජියෙක් පිළෝතික නමින් සිටියා. ඔහු වච්ඡයාන ග්‍රෝති‍්‍රකයෙක්. දිනක් ජානුස්සෝනි බ්‍රාහ්මණයාට පිළෝතික පිරිවැජියා මුණගැසුණා.
“වච්ඡායන, මේ දහවල් කොහේ සිට එන ගමන්ද?”
“මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ බැහැ දකින්න ගියා. මම එන්නේ එහි සිටයි”.
“හැබෑවට වච්ඡායන ඔය ශ්‍රමණ ගෞතමයන්ගේ බුද්ධිමත් බව ගැන ඔබ සිතන්නේ මොකක්ද? ඔහු මහා නුවණැත්තෙක් ද”?
“ පින්වත, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ මහා ප්‍රඥාව ගැන මම මොනවද දන්නේ? උන්වහන්සේගේ ඒ මහා ප්‍රඥාව ගැන දැනගන්නට පුළුවන් වෙන්නේ උන්වහන්සේ වාගේම උත්තමයෙකුට පමණයි”.

අපේ වච්ඡායන ශ්‍රමණ ගෞතමයන් ගැන මහා ගෞරවයකින් ප්‍රශංසා කරනවානේ?
'පින්වත, ගෞතමයන් වහන්සේට ප්‍රශංසා කරන්න තරම් මට ඇති සුදුසුකම මොකක්ද? උන්වහන්සේ පැසසිය යුත්තන් අතර ප්‍රමුඛයි. දෙව් මිනිසුන් අතර මහා ශ්‍රේෂ්ඨ උත්තමයා.'
' වච්ඡායන, ඔබ ගෞතමයන් වහන්සේ කෙරෙහි මෙසේ පැහැදීමට උන්වහන්සේ තුළ තිබෙන විශේෂ ලක්ෂණ මොනවාද?'
'පින්වත, උපමාවක් කියන්නම්. මහා ඇතුන් සිටින වනයකට මිනිසෙක් යනවා. වනයට ගිය විට හොඳට දිග පළල ඇති විශාල ඇත් අඩි දැක ඔහු මෙසේ සිතනවා. මේ ඇත් අඩිය නම් මහා හස්තිරාජයෙකුගේමයි කියලා. ඒ ආකාරයට මාත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තුළ පියවර සටහන් සතරක් දුුටුවා. මම ස්ථිරවම සිතුවා භාග්‍යවතුන් වහන්සේ නම් ඒකාන්තයෙන් ම සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ විසින් වදාරන ලද ධර්මය නම් මනාකොට දෙසූ දෙයක්මයි. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා මනා පිළිවෙතින් යුක්තමයි කියලා.
“ඇත්තෙන්ම වච්ඡායන මොනවද ඒ පියවර සටහන්.
පින්වත, අප අතර මහා වාද විවාද කරන ක්ෂත්‍රිය පණ්ඩිතවරු සිටිනවා. ඒක පළමුවෙනි පියවර සටහන වගෙයි. මහා නුවණැති බ්‍රාහ්මණ පණ්ඩිතවරු සිටිනවා. ඒක දෙවැනි පියවර සටහන වගෙයි. මහා නුවණැති ගෘහපති පණ්ඩිතවරු සිටිනවා. ඒක තුන්වෙනි පියවර සටහන වගෙයි. මහා නුවණැති වාදීභසිංහ ශ්‍රමණ පණ්ඩිතවරු සිටිනවා. ඒ සිව්වැනි පියවර සටහන වගෙයි
මේ සතර කාණ්ඩයේ පියවර සටහන වගේ වෙන්නේ මෙසේයි. ඔවුන් කණ්ඩායම් ගැහිලා ප්‍රශ්න ගොතනවා.
ශ්‍රමණ ගෞතමයන් මහා බුද්ධිමතෙක්ලු. උන්වහන්සේ අසවල් ගමට වඩිනවාලු. එවිට අපි ඒ ගමට ගිහින් මේ මේ ප්‍රශ්න අසමු. එවිට උන්වහන්සේ මෙහෙම උත්තර දේවි. එවිට අපි මෙසේ ප්‍රශ්න අසමු. එතකොට මෙසේ උත්තර දේවි. මේ ආකාරයට අපි වාදය පටන් ගනිමු.
ඔවුන් විශාල ප්‍රශ්න ගොතාගෙන සංවිධානය වෙද්දී භාග්‍යවතුන් වහන්සේ අසවල් ගමට වඩින බව ආරංචි වෙලා ඔවුන් එහි යනවා. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසෙනවා. උන්වහන්සේ අමා වැස්ස වසින සේ දහම් දෙසනවා. ඔවුන් පී‍්‍රතියෙන් සතුටට පත්වෙනවා. කිසිවෙකු ප්‍රශ්නයක් අසන්නේ නැහැ. වාදයක් කෙසේ වෙන්නද? ඔවුන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත්වෙනවා. අර මහා නුවණැති ශ්‍රමණ පිරිස උන්වහන්සේගේ ළඟ මහණ වෙනවා. අන්න ඒ නිසා, මම භාග්‍යවතුන් වහන්සේ ගැන සැකයක් නොතබාම පැහැදුනේ.
එවිට ජානුස්සෝනි බ්‍රාහ්මණයා අශ්ව කරත්තෙන් බිමට බැස්සා. හිස දෙපැත්ත වැසෙන සේ පොරවාගෙන සිටි සළුව ඒකාංශ කොට පොරවා ගත්තා. සැවැත්නුවර ජේතවනය දෙසට වන්දනා කරගෙන තෙවරක් මෙසේ කිව්වා.
ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා. ගෞතමයන් වහන්සේ මුණගැසෙන උන්වහන්සේ සමඟ කතාබස් කරන්න මමත් කැමැතියි කියමින් භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ගියා. සතුටු සාමිචි කතා කොට ඉහත විස්තර කියා සිටියා. භාග්‍යවතුන් වහන්සේ වදාළා බ්‍රාහ්මණය, ඔය ඇත් පියවර සටහන උපමා කළ විස්තරේ සම්පූර්ණ එකක් නොවෙයි. එය මම විස්තර ඇතිව කියා දෙන්නම්.
මහා ඇතුන් ඉන්න වනයට එක් පුද්ගලයෙක් යනවා. ඔහු ඇත් පියවර සටහනක් දකිනවා. දිගට පළලට තිබෙන විශාල ඇත් අඩියක්. හැබැයි ඔහු මහ ඇතාව හඳුනාගන්න දක්ෂයෙක් නම් එක පාරමට මේ නම් මහා ඇතා කියා තීරණයකට එන්න හොඳ නැහැ. ඒ මොකද? බ්‍රාහ්මණය, වාමනික කියලා විශාල ඇතින්නියෝ වනයේ සිටින නිසා ඔවුන්ටත් ඔය ආකාරයේ ඇත් අඩි තිබෙනවා. ඒ නිසා ඔහු කළයුත්තේ දිගින් දිගටම ඒ ඇත් අඩි සටහන ඔස්සේ විමසමින් යෑමයි. එසේ යද්දී කලින් වගේ විශාල ඇත් අඩි, උස්තැන්වල පිට උලාපු තැන්, දළින් ඇන අතු සිඳු තැන් දකින්නට ලැබෙනවා. එවිටත් මේ නම් මහ ඇතා කියා තීරණය කරන්නට කලබල විය යුතු නැහැ.
ඔහු තවදුරටත් විමසන්නට ඕන. ඉදිරියට යද්දී ඔහුට විශාල ඇත් අඩි, පිට ඉලු තැන්, බිඳපු අතුඉති, දළින් ඇනපු තැන් දකින්නට ලැබෙනවා. එවිට ඔහුගේ දෑසටම මහා ඇතාව දකින්නට ලැබෙනවා. එවිට මේ මහා ඇත් රජා කියලා ඔහු තීරණයට එන්න ඕන.
බ්‍රාහ්මණය, ඔය වගේම තමයි මේ බුදු සසුනේ ප්‍රතිපදාවත්. ඉතාමත් කලාතුරකින් ලෝකයටම සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ නමක් පහළ වෙනවා. මුල, මැද, අග පිරිසුදු ධර්මය උන්වහන්සේ දේශනා කරනවා. ගිහි පින්වතෙකුට මේ ධර්මය අසන්න ලැබෙනවා. ඔහුගේ සිත පහදිනවා. ධර්මයේ කියැවෙන පිරිසුදු බ්‍රහ්මචර්යාව ගිහිගෙදර සිට පුරන්නට අපහසුයි කියා තේරුම් ගෙන දෙමාපියන්, නෑ හිතමිතුරන්, දේපළ වස්තුව ආදිය අත්හැර කහවත් පොරවා පැවිදි වෙනවා. ඒ භික්ෂුව සිල්වත් වෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකී දයාවෙන්, කරුණාවෙන්, මෙත් සිතින් කල් ගෙවනවා. අනුන් සතු කිසි දෙයක් සොරකම් නොකොට පිරිසුදු වෙනවා. ඉතා ළාමක වූ වැරැදිකාම සේවනයෙන් වැළැකි බඹසර සිල් රකිනවා. බොරු කියන්නේ, කේළාම් කියන්නේ, දරුණු වචන කියන්නේ, හිස් වචන කියන්නේ නැහැ. මටසිලිටි මොළොක් මධුර වූ වදන් කියනවා. ලද දෙයකින් සතුටු වෙනවා.
ඒ භික්ෂුව ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්නවා. ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉඳුරන් අකුසලයට යොදවන්නේ නැහැ. පාලනය කරමින් රැක ගන්නවා. සංවර වෙනවා. ඒ නිසා තමා තුළින්ම සතුටක් විඳිනවා.
ඔහු හොඳ සිහියෙන් ඇවිදිනවා. හොඳ සිහියෙන් දන් වළඳනවා. සිවුරු පොරවනවා. වැසිකිළි කැසිකිළි කරනවා. හොඳ සිහියෙන් වටපිට බලනවා. හැම දෙයක්ම ඉතා හොඳ සිහි නුවණින් කරනවා. දැන් ඔහු ඉතා හොඳ සීලයෙකින් යුක්තයි.
දැන් ඒ භික්ෂුව නීවරණ හොඳින් හඳුනාගෙන ඒවායින් නිදහස්ව සිත පැවැත්වීමට මහන්සි ගන්නවා. කාම අරමුණුවලට තැනක් දෙන්නේ නැහැ. ද්වේෂයට, නිදිමතට යට වෙන්නේ නැහැ. සිත විසිරෙන්න නොදී තැන්පත් කර ගන්නවා. සැකයකින් තොරව දහම් මගෙහි හැසිරෙනවා. ටිකෙන් ටික සිත පංචනීවරණයන්ගෙන් බැහැර වෙනවා. පී‍්‍රතිමත් සිතින් චිත්ත විවේකය ඇතිව භාවනා අරමුණු මෙනෙහි කරමින් පළමු ධ්‍යානය උපදවා ගන්නවා.
බ්‍රාහ්මණය, පළමු ධ්‍යානය කියන්නේ තථාගතයන් වහන්සේගේ පියවර සටහනක්. නුවණ දළින් පහස ලද තැනක්. එපමණකින් භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. ධර්මයත් මැනැවින් ම වදාළා, සංඝයාත් සුපටිපන්නයි කියලා තීරණය කරන්න කලබල විය යුතු නැහැ. බ්‍රාහ්මණය, ඒ භික්ෂුව දෙවැනි, තුන්වෙනි, සතරවෙනි ධ්‍යානත් උපදවා ගන්නවා.ඒ හැම ධ්‍යානයක්ම තථාගතයන් වහන්සේගේ පියවර සටහන් තමයි. නුවණ දළින් පහස ලද තැන් තමයි. නමුත් කලින් වගේම තීරණයකට එන්න කලබල විය යුතු නැහැ. බ්‍රාහ්මණය, දැන් ඒ භික්ෂුව තමන් අතීතයේ ගත කළ ජීවිතය කල්ප ගණන් ඈතට බලන පෙර විසූ කඳ පිළිවෙළ දකිනා ඤාණය ලබනවා. ඒකත් පියවර සටහනක් තමයි. නුවණ දළින් පහස ලද තැනක් තමයි. තවමත් ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් ම සම්මා සම්බුද්ධයි. ධර්මයත් මැනැවින්ම වදාළා. සංඝයාත් සුපටිපන්නයි කියලා නිශ්චයකට එන්නට කලබල විය යුතු නැහැ.
ඒ භික්ෂුව මේ ලෝක සත්වයන් තම තමන්ගේ කර්මානුරූපව උපදින හැටිත්, චුතවෙන හැටිත් දකිනා චුතුපපාත ඤාණය ලබනවා. ඒකත් තථාගතයන් වහන්සේ ගේ පියවර සටහනක් තමයි. නුවණ දළින් පහස ලද තැනක් තමයි. ඒත් ඒ භික්ෂුව කලින් වගේම නිශ්චයකට පැමිණිය යුතු නැහැ.
ඒ භික්ෂුව ඉතා හොඳින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වීමෙන්, ආශ්‍රවයන් නැතිකොට නිකෙලෙස් වූ අර්හත්වයට පත්වෙනවා. චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්නවා. එයත් තථාගත පියවර සටහනක්. නුවණ දළින් පහස ලද තැනක්. බ්‍රාහ්මණය, ඒ භික්ෂුව ඒකාන්ත නිගමනයක සිටිනවා භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා.
මෙය ඇසූ ජානුස්සෝනි පුදුමයට පත්වුණා. විශ්මයෙන් ඇලලී ගියා. ජානුස්සෝනි බ්‍රාහ්මණයා මුළු හදවතින්ම තුණුරුවන් සරණ ගියා.
(චූලහත්ථිපදෝපම සූත්‍රය ඇසුරෙනි)  - නයනා නිල්මිණි

මෛත්‍රියේ සිසිලස

සියලු සත්වයෝ දඬුවමට බිය වෙති. තැති ගනිති. ජීවිතයට පි‍්‍රයවෙති. තමා උපමාකොට කිසිදු සත්වයකුගේ ප්‍රාණය නිරුද්ධ නොකරන්න යන උතුම් සම්බුදු වදන ජන සමාජයෙහි එදා සිට මුල් බැස ගත්තේ ය. රජුගේ සිට ගම් දනව් වැසි ජනයා පරපණ නැසීමෙන් වැළකීම නම් වූ ශික්ෂා පදය ආරක්ෂා කිරීමට පටන් ගත්හ.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 230 ක් පමණ ඉක්ම වූ කල්හි දඹදිව ධර්මාශෝක අධිරාජයා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනා පරිදි තුන්වන ධර්ම සංගායනාව පවත්වන්නට කටයුතු කළේ ය. භාරත දේශයේ සිට රටවල් 09 ක් පුරා සම්බුදු දහම ප්‍රචාරය වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසටය. ඒ උතුම් භාග්‍ය උදාකර ගැනීමේ අවස්ථාව ලංකාද්වීපයට ද හිමි වුණි.
මෙකල සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීවීම පිළිබඳ මෙරට ජනතාවට අවබෝධයක් තිබූ බව නොපෙනේ. රජු සතළිස් දහසක් පිරිවරා විනෝදය පිණිස දඩ කෙළියේ යෙදුණු බව ඉතිහාසය පෙන්වා දෙයි. බොහෝ ආගම් මානව හිතවාදී බව ඉගැන්වුවද, සියලු සතුන්ට හිතානුකම්පී වීම ඉගැන්වූ එකම ශාස්තෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ය.
න්‍යායාත්මක බුදුදහමේ සූත්‍ර විනය දේශනාවන්හි තථාගතයන් වහන්සේ කුරා කුහුඹුවකුට හෝ හිංසා කිරීම, පරපණ නැසීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළහ. ගහට කොළට, පරිසරයට හානි සිදුකිරීම වරදක් බව පෙන්වා දුන්හ. උපසම්පදා විනයෙහි භික්ෂූන් වහන්සේට තණ කොළ ගසක් ගැළවීම තබා ගසක පත්‍රයක් හෝ කඩා දැමීම ඇවතක් වන බව දේශනා කළහ.
එදා මිහිඳු මහරහතන් වහන්සේ ලක් ජන සමාජයට හඳුන්වා දුන්නේ එතරම් අවිහිංසාවාදී දහමකි. දෙවන පෑතිස් රජු මිහිඳු මාහිමියන් සම්මුඛ වූ මොහොතේ ම දුනුදිය බිම දැමුවේ ය. ඒ අවිහිංසා වාදය පිළිබඳ පළමු සංකේතාත්මක නිරූපණයයි. අවිහිංසාවාදය ගරු කරන බවට පරපණ නැසීම වරදක් ලෙස දකින සියලු සතුන්ගේ ජීවිත ආරක්ෂා කරන බවට පොරොන්දු වීමයි.
සියලු සත්වයෝ දඬුවමට බිය වෙති. තැති ගනිති. ජීවිතයට පි‍්‍රයවෙති. තමා උපමාකොට කිසිදු සත්වයකුගේ ප්‍රාණය නිරුද්ධ නොකරන්න යන උතුම් සම්බුදු වදන ජන සමාජයෙහි එදා සිට මුල් බැස ගත්තේ ය. රජුගේ සිට ගම් දනව් වැසි ජනයා පරපණ නැසීමෙන් වැළකීම නම් වූ ශික්ෂා පදය ආරක්ෂා කිරීමට පටන් ගත්හ.
මිහිඳු මා හිමියන් ජන සමාජයට හඳුන්වා දුන් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය, සමචිත්ත පරියාය සූත්‍රය, විමාන වත්ථු, පේත වත්ථු, දේවතා සංයුක්තය, අතමතග්ග සංයුක්ත, බාල පණ්ඩිත සූත්‍රය ශ්‍රවණය කොට ජන ජීවිතය දැහැමි මාවතකට අවතීර්ණ විය.
උත්ථිය රජ දවස පිරිනිවන් පානාතුරුම උන්වහන්සේ මේ රටේ වැසියන්ට ධර්ම ප්‍රතිපදා මාර්ගය පෙන්වා දුන්හ. දාන, ශීලමය පින්කම් පිළිබඳව දේශනා කොට වදාළහ. භාවනාවෙන් ලැබෙන මහඟු ප්‍රතිඵල පෙන්වා දුන්හ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ගුණ වඩමින් විශේෂයෙන් මෛත්‍රී භාවනාව වැඩීමෙ විශේෂත්වය පෙන්වා දුන්හ.
සියලු ලෝ සත වෙත මෛත්‍රී චිත්තය වැඩීමෙන් ලද හැකි අපමණ සැනසුම පෙන්වා වදාළහ. ද්වේෂයෙන්, තරහවෙන් වෛරී සිතිවිල්ලෙන් චිත්ත සන්තානය ගිනි ගොඩක් කරගත්, අපිරිසුදු කරගත් මිනිසුන්ට ඒ දැවෙන සිතිවිලි දුරලා මෙත් සිසිලසින් නිවී සැනසීමේ මඟ කියා දුන්හ. මෛත්‍රී භාවනාව හඳුන්වා දෙමින් ද්වේශ සහගත හැඟීම් පාලනය කරගන්නා අයුරුත්, සියලු සත වෙත මෙත් සිත වඩන අයුරුත් උගන්වා වදාළහ. මෛත්‍රිය භාවනාවක් ලෙස වැඩීමේදී සමස්ත පරිසරයට එම සිතිවිලි ධාරවන් විහිදී පැතිරී සොබාදහම තැන්පත් විය. එහෙත් මිහිඳු හිමියන් පෙන්වා දුන් මෛත්‍රී චින්තනය අද බොහෝ දෙනාගෙන් ගිලිහී යන බවක් පෙනේ. මානව සමාජය ඔවුනොවුන්ට වෛර කරන ආකාරයක් අපි දකිමු. සොබා දහමට මුදා හරින ද්වේෂ සහගත සිතිවිලි නිසා සමස්ත ස්වභාව ධර්මයම කැළඹී ඇති ආකාරය විද්‍යාමානය. ජල ගැලීම්, නාය යාම්, වසංගත රෝග පීඩාදිය, අකල් මරණවලට මිනිසාට වැඩි වශයෙන් මුහුණ දෙන්නට සිදුව තිබේ.
මිහිඳු මහරහතන් වහන්සේ කල් ඇතිවම මෛත්‍රී සහගත උදාර සංකල්පයන් දේශනා කොට වදාළේ මෙවැනි අයහපත් තත්ත්වයන්ගෙන් මෙරට ජනතාව මුදා ගැනීමටය. එහෙත් පසුකාලීනව ඇති වූ විදේශ ආක්‍රමණ නිසා වූ බලපෑම් සමඟ අපේ සමාජයෙන් එම ගුණධර්ම ටිකෙන් ටික දුරස්වීම ඇරඹුණි. ජන සමාජය ඇතැමෙක් තරගයට, නිලයට, ධනයට, බලයට මුල් තැන ලබා දෙති. මේ පොසොන් සමයේ මිහිඳු මාහිමියන් වෙනුවෙන් කරන උතුම් පූජාවක් ලෙස අපට කළ යුතු හැකි පහසුම කාර්යය වන්නේ සියලු සතුන්ට හිතානුකම්පි වීමය.
කාලයක් තිස්සේ අප මෛත්‍රී භාවනාව ලෙස පුරුදු පුහුණු කර තිබෙන්නේ කරුණා භාවනාවයි. මම නිදුක් වෙම්වා, නිරෝගි වේම්වා, සුවපත් වෙම්මා, දුකින් මිදෙම්වා, නිවන් ලබම්වා, යනුවෙන් අරඹා සියලු සත්ත්වයන් වෙත කරුණා පැතිරවීමය. එහෙත් සූත්‍රාගත දේශනාවන්ට අනුව මෛත්‍රී භාවනාව වැඩිය යුතු යම් පිළිවෙළක් තිබේ. මම වෛර නැත්තෙක් වෙම්වා, මම තරහ නැත්තෙක් වෙම්වා, මම ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා, මම සුවසේ ජීවත් වෙම්වා, මම ශාන්ත සුවයට පත්වෙම්වා ආදී ලෙස පළමුව තමන් ගැන ද, අනතුරුව නිවසේ සියල්ලෝ ද, ගමෙහි වෙසෙන සියල්ලෝ ද නගරයෙහි වෙසෙන්නෝ ද, මුළු රටෙහි වෙසෙන්නෝ ද ලෝකවාසී සත්වයෝ ද, උතුරු දිශාවේ සිටින සත්වයෝද, උතුරු අනුදිශාවේ සිටින සත්වයෝ ද, නැගෙනහිර දිශාවේ සිටින සත්වයෝද, නැගෙනහිර අනු දිශාවේ සිටින සත්වයෝ ද දකුණු දිශාවේ සිටින සත්වයෝ ද, දකුණු අනු දිශාවේ සිටින සත්වයෝද, බටහිර දිශාවේ සිටින සත්වයෝද, බටහිර අනු දිශාවේ සිටින සත්වයෝද, යට දිශාවේ සිටින සත්වයෝද උඩ දිශාවේ සිටින සත්වයෝද, දස දිශාවේම සිටින සියලු සත්වයෝ ද වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා යනුවෙන් දීර්ඝ ලෙස මෙත් සිත වැඩිය යුතු ය. බුදුරජාණන් වහන්සේ මෙත්තානිශංස සූත්‍රයේ දී දේශනාකොට වදාළේ මෛත්‍රී සිතිවිලි වඩන්නා සුවසේ නින්දට යන බවය. සුවසේ අවදිවන බවය. නරක සිහින නොදකින බවය. මනුෂ්‍යයන්ට ද. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වන බවය. දෙවියන් ආරක්ෂා කරන බවය. වස, විස, ගිනි අව් ආයුධවලින් හානියක් නොවන බවය, මුහුණ පැහැපත් වන බවය. වහා සිත එකඟ වන බවය. මරණයේ දී විකල් වූ සිහියක් ඇති නොවන බවය. මරණින් මතු සුගතියෙහි උපත ලබන බවය.
මේ පොසොන් සමයේ පමණක් නොව ජීවත්වනතුරු මිහිඳු මා හිමියන් අපට හඳුන්වා දුන් උතුම් දහම් මඟ ගමන් කරමින් සියලු සතුන්ට හිතානුකම්පී වෙමින්, පුණ්‍ය ධර්මයන් රැස් කරමින් මෙලොව ජීවිතය ද, පරලොව ජීවිතයද යහපත් කර ගනිමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

විශ්වාසය මත නොරැඳෙන බෞද්ධකම

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක 
ආචාර්ය 
ඕමල්පේ සෝභිත නා හිමි

විශ්වාසය යනු යමක් පිළිබඳ ඇදහීමයි. ඇත්ත යැයි සිතාගෙන, ඇත්ත යැයි උපකල්පනය කරමින්, යමක් සම්බන්ධයෙන් ඇදහීම විශ්වාසයයි.
බෞද්ධයා යනු මෙම තත්ත්වය ඉක්මවා ගිය පුද්ගලයෙකි. එනම් විශ්වාසය ඉක්මවා ගිය තත්ත්වයක් හෙවත් අවබෝධයක් ලැබූ පුද්ගලයෙකි. තථාගත බුදුරජාණන් වහන්සේ, එන්න මා විශ්වාස කරන්න. එන්න මා කියන දේ අදහන්න. වෙන කිසිවක් නැත මා කියන දේ පරම සත්‍යයයි. ඒ නිසා මා පමණක් විශ්වාස කරන්න යැයි කිසිවිටෙක දේශනා කර නැත.

තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, එන්න බලන්න, එන්න දකින්න, අවබෝධ කර ගන්න. ‘ඒහිපස්සිකෝ සන්දිට්ඨිකෝ” තථාගතයාණන් වහන්සේගේ ධර්ම මාර්ගය ආරම්භ වන්නේ විශ්වාසය පදනම් කරගෙන නොව අවබෝධයෙන් ධර්මය දැකීම තුළිනි. ඒ ධර්ම මාර්ගය අංග අටකින් එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් යුක්තයි. දර්ශනය, දැක්ම, තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම සම්මා දිට්ඨියයි.
විශ්වාසය සහ අවබෝධය අතර වෙනස අපි මෙසේ විග්‍රහ කරමු. “අද සීතල සුළඟක් පවතිනවා. ඒ නිසා තවත් පැය කීපයකින් වැස්සක් ඇදහැලෙනවා.” වහින්නත් පුළුවන්, නො වහින්නත් පුළුවන්. එම සාධක මුල්කරගෙන අප එය විශ්වාස කරනවා. අදහනවා. කවුරුන් හෝ පුද්ගලයෙක් පවසනවා මෙන්න මෙතැන හොල්මනක් එනම් භූත ආත්මයක්, බලවේගයක් පවතිනවා කියා. ඒ මොහොතේ සිට අප එය විශ්වාස කරනවා. එතැන එහෙම දෙයක් තියෙන්නත් පුළුවන්. නැතිවෙන්නත් පුළුවන්.
නමුත් අප කියනවා හෙට උදේ හය වන විට සිදුවන දේ කුමක්ද? කියා. හෙට උදේ ඉර පායනවා. උදේට ඉර පායනවා කියන එක විශ්වාසයක් නොව දැනීමක්. එසේ ම ඉර පායන්නේ කුමන දිශාවෙන් ද කියා විමසුවොත් කුඩා දරුවෙක් පවා පිළිතුරු දෙයි ඉර පායන්නේ නැගෙනහිර දිශාවෙන් කියා. එයට විශ්වාසයක් අවශ්‍ය නැහැ. එයට අවශ්‍ය දැනුමයි. ඒක ඉතාම පැහැදිළියි. ඒක හරියට අතැඹුලක් සේ, “අතේ තියෙන නෙලුම් මලක්, අතේ තියෙන යම් උපකරණයක් දෙතුන් පැත්ත හරවා බලා තීන්දු තීරණ ගන්නා සේ අප යමක් දැක තීරණ ගන්නවා. එය විශ්වාසය නොවෙයි. විශ්වාසය ඉක්මවා සිටි අවබෝධයයි. ඒ නිසා අප ජීවිතය තේරුම් ගන්නේ කරුණු කාරණා අධ්‍යයනය කිරීමෙන් බුද්ධියෙන් විමසා බැලීමෙන් ලබා ගන්නා වූ දැනුම අවබෝධය මතයි.
බුදු දහම තුළ විශ්වාසයට තැනක් නැහැ. ශ්‍රද්ධා යන සංකල්පය මතයි බුදු දහම පවතින්නේ. ශ්‍රද්ධාව යනු චිත්ත ප්‍රසාදය මුල් කරගත් විශ්වාසයයි. ඇදහීමයි. පිළිගැනීමයි. ශ්‍රද්ධාවේ ආකාර දෙකක් තිබෙනවා ඒ ආකාරවතී ශ්‍රද්ධාව හා අමූලිකා ශ්‍රද්ධාව ලෙසයි.
අමූලිකා ශ්‍රද්ධාව යනු පදනම් රහිත, ආවේග බහුලව තේරුම් ගන්නට උත්සාහ ගන්නා ප්‍රසාදය හෙවත් ශ්‍රද්ධාවයි. එනම් හැඟීම්වලට මුල් තැන දී අනුගමනය කරන ඇදහීමයි. මෙය බුදු දහම සමඟ එකඟ වූවක් නොවන හෙයින් තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප ශ්‍රද්ධාවකි.
ආකාරවතී ශ්‍රද්ධාව එනම් බුද්ධියෙන් යම් යම් කරුණු විමසා සොයා බලා අවබෝධයෙන් තේරුම් ගැනීමත් චිත්ත ප්‍රසාදයක් ඇති කර ගැනීමයි. එයයි බුදු දහමේ අගයන්නේ.

වර්තමානයේ සමාජය තුළ වැඩි පෙළඹීමක් පවතින්නේ අමූලිකා ශ්‍රද්ධාවටයි. මේ දේ විශ්වාස කරන්න. අසවලා කියූ නිසා එනම් දෙවියෙක්, එසේ නොමැති නම් දෙවියෙක්ගේ නියෝජිතයෙක්, එසේත් නැතිනම් මහා බල පරාක්‍රමයක් සහිත පුද්ගලයෙක් මේ දේ පැවසූ නිසා, විශ්වාස කරන්න. එනම් පුද්ගලයා පදනම් කොටගෙන, කේන්ද්‍රගතකොට යම් යම් දේ ඇදහීමට, විශ්වාස කිරීමට සමාජය පෙළඹී තිබෙනවා. මෙය අමූලිකා ශ්‍රද්ධාවයි.
මෙම අමූලිකා ශ්‍රද්ධාව ආගමට පමණක් සීමා වූවක් ද නොවේ. දේශපාලනයේ දී, ආර්ථිකයේ දී, සමාජ කටයුතු තුළදී ආදී වශයෙන් අමූලිකා ශ්‍රද්ධා පවතිනවා. අපට තිබුණු ඉතාමත් වැරැදි ආදර්ශයක්, නිදර්ශනයක් පසුගිය වකවානුවේ පැවතුණු ත්‍රස්තවාදය. උතුර, දකුණ, බටහිර , නැගෙනහිර මේ මුළු රටම භීෂණයට ලක් කළ භීෂණය. මෙය අමූලිකා ශ්‍රද්ධාව මුල්කරගෙන ඉදිරිපත් වූ ව්‍යාපාරයක්. සමාජයේ ජීවත්වන බොහෝ පුද්ගලයන් අමාරුවේ වැටෙන්නෙ, තමන්ගේ දියුණුව අහුරා ගන්නේ විශේෂයෙන් ම තමන්ගේ අධ්‍යාත්මික හර පද්ධතීන් විනාශ කර ගන්නෙ මෙන්න මේ අමූලිකා ශ්‍රද්ධාව හෙවත් පදනම් විරහිත විශ්වාසය නිසයි.
අප බෞද්ධයන් හැටියට අදහන්නා වූ යමක් වේ, නම් ඒ ඇදහීම බුද්ධියෙන් තීන්දු තීරණ කරගෙනයි කළ යුත්තේ. මීළඟට කර්මය පිළිබඳ අප තුළ පවතින්නේ විශ්වාසයක් නොවෙයි. කර්මය පිළිබඳව අප තුළ තිබිය යුත්තේ සම්මාදිට්ඨියයි. එය විශ්වාසය ඉක්මවා ගිය ශක්තියක්. කර්මය වන්නේ කුමක් ද? එය සිදු වන්නේ කෙසේද? ක්‍රියාත්මක වන්නේ කෙසේද? කර්මය හා මගේ සම්බන්ධය කුමක්ද? කර්මය හා මගේ හා ලෝකය අතර සම්බන්ධය කුමක් ද? යන්න බෞද්ධයන් වූ අප පැහැදිලිව දන්නවා. පුනර්භවයක් පිළිබඳව සලකන්නේ විශ්වාසයෙන් නෙමෙයි. අප තුළ පවත්නා දැනුම මුල්කරගත් දැක්මෙන්.
ඒ නිසා ඉතාමත් ම පැහැදිලියි මෙය ආගමික සංකේත භාවිතයක් හෝ ආගමික බාහිර ස්වරූපයක් සහිත කල්ලි කණ්ඩායම්වලට අයත් වැඩක් නෙමෙයි. බුදු දහමේ ඉදිරිපත් කරන මේ සෑම කරුණක්ම සාමාන්‍ය දැනීම හා මුසු වූ ජන සමාජය තුළ බුද්ධිමය ආකාරයෙන් දැකිය හැකි සහ ක්‍රියාත්මක විය හැකි සම්‍යයක් දර්ශනයක් මිස වෙන යමක් නොවන බවයි. අප ඉතාමත් පැහැදිලිව දන්නවා. සීල, සමාධි, ප්‍රඥා යන මාර්ග ත්‍රිත්වයෙන් තිබෙන වැදගත්කම අප තේරුම් ගන්නේ විශ්වාසය මත හෝ ආගමික පදනමක් මුල්කරගෙන නොවෙයි.
බලන්න පංචසීලය. පංචසීල ප්‍රතිපත්තියේ තියෙන ප්‍රායෝගිකත්වය අප දකින්නෙ විශ්වාසයෙන් නොවෙයි. අපට අවබෝධයක් පවතිනවා පංච සීලයෙන් සිදුවන යහපත. පළමු සිඛ පදයෙන් පවසන්නේ හිංසනය හොඳ නැහැ. හිංසනය හොඳ යැයි පැවසීමට කිසිම කෙනෙකුට බැහැ. කුමක් හෙයින්ද? හිංසනයට භාජනය වීම නිසා මිනිස් ඉතිහාසයේ, මිනිසා වින්ද දුක් කරදර විපත් මේ සියල්ල ගැනම මනුෂයෝ තුළ අවබෝධයක්, මතකයක් තියෙන නිසා. සාමකාමී සමාජ පරිසරයකට හිංසාව බාධාවක්. මෙම සත්‍ය පිළිගැනීමට ආගමික න්‍යායක් අවශ්‍ය වන්නේ නැහැ. එය ලෝකයේ සෑම කෙනෙක් විසින් ම අත් දකින ඇත්තක්.
සොරකම, දූෂණය, වංචාව හොඳ නැහැ. ඒකත් අප අත්දැකීමෙන් දන්නවා. මිනිස් සමාජය කෙලෙසන අවගුණ කියා. අදින්නාදානා, මුසාවාද ආදී කරුණු විශ්වාසය මත පදනම්ව නොව ආගමික කාරණාවක් වශයෙන් නොවෙයි අප සමාදන් විය යුත්තේ. අනුගමනය කළ යුත්තේ. ඒ එක්කම පවුල් ජීවිතය, ලිංගිකත්වය කියන දේත් බැහැර වෙන්නෙ නැහැ. අවශ්‍යයයි, ඒ තුළ යම් සීමාවක් පැවතිය යුතුයි. මනුෂ්‍යයාගේ යහපත් පැවැත්ම, ශාරීරික යහපත, සෞඛ්‍යමය යහපත, සමාජමය පැවැත්ම මේ සියල්ල එකතු වූ කල තුන්වන සිඛ පදය අවශ්‍යයයි. මේ සිඛ පදය පිළිබඳව අප තුළ පවතින්නේ ආගමික විශ්වාසයක් නොවෙයි. මෙය සමාජය පිළිබඳව දැක්මක්, ඇත්ත පැහැදිලි කිරීමක් බව අප අවබෝධයෙන් දන්නවා. එම නිසා මෙම සිඛ පදය රැකීම අත්‍යවශ්‍යයි.
අප ගත කරනු ලබන ජීවිතයේ සෑම තත්ත්පරයක් ම සිහියෙන්, කල්පනාවෙන් ගත කළ යුතුයි. එසේ නොවන මොහොතේ දී, අපගේ අඟපසග දුර්වල වූ මොහොතේ, සිත විකෘති වූ මොහොතේ දී අපට සිදු වන්නේ අයහපතක්. දැඩි වූ අවධානය යම් තැනක නැතිවෙනවා ද එය වරදක්. ඒ නිසයි සුරාපානය එපා යැයි කියන්නෙ. “ඒස ධම්මෝ සනන්ථනෝ” ලෝකයේ සෑම තැනකටම පොදුවේ භාවිත කළ හැකි, භාවිත විය යුතු, ඒ භාවිතය තුළින් යහපත් ප්‍රතිඵල දැකිය හැකි මිනිස් අවබෝධයට නතුවන කාරණා පහකි, පංචසීලය.
මේ ආකාරයෙන් විග්‍රහ කරන විට අපට පෙනී යන්නේ, බුදුරජාණන් වහන්සේගේ දේශනාව විශ්වාසය මත පදනම් වූවක් නොව. අවබෝධය මත පදනම් වූවක් බවයි. තථාගතයාණන් වහන්සේ කිසි මොහොතක තමන්ගේ ශ්‍රාවකයාට විශ්වාසය ඇති කරගන්නට යැයි ආරාධනා කළේ නැහැ. ධර්මය පිළිබඳ අපගේ අවබෝධය වැඩි දියුණු කර ගැනීම, ඒ මත කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගැනීම ලෝක සත්ත්ව සමාජයට, පාරිසරික සමාජයට, විශ්වගත සමාජයට කරන මෙහෙවරක්.
සදහම් සඟරා - Online