'සතර අපායෙන් මිදෙමු' - 57 කොටස

භික්‍ෂුව ඇසුවා ඔබ ඇයි මේ පුදබිමට පැමිණියේ කියලා. ඔහු කියනවා බෝධීන් වහන්සේට චෛත්‍යරාජයාණන් වහන්සේට භාරයක් වන්න කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව ප්‍රකාශ කළා 'මහත්මයෝ, ලෝකය කව්රුත් මැවුවේ නැහැ. ඔබතුමාගේ ප්‍රශ්න වෙන කව්රුවත් ඇතිකළේත් නැහැ. ඔබ විසින්ම සසර කරන ලද අකුසල් හේතුවෙන් ඔබ ලබන ඵලය තමයි ඔය බලාපොරොත්තු කඩවීම' කියලා. මේ ප්‍රශ්නය සමාජයේ හුඟ දෙනෙකුට තිබෙනවා. සමහර දරුවො දෙමාපියන්ට චෝදනා කරනවා. දෙමාපියෝ දරුවන්ට චෝදනා කරනවා, බිරිඳ ස්‌වාමි පුරුෂයාට චෝදනා කරනවා. සමහරු රජයට චොදනා කරනවා. ඔබ නිසාය මට මේ දුක කියලා. අතීතයේ යම් දවසක අනුන් නිසාම තමයි ඔබ මේ දුකට හේතුවනම් සකස්‌කරගත්තේ. තමන්ගේ සැපය උදෙසා තවත් කෙනෙකුට පීඩාකිරීමෙන් ඔබ ලබපු සැපය සෙවනැල්aලක්‌සේ පසුපසින් එනවා විපාක පිණිස. ඔබ මෙහෙම සිතන්න. පිංවත් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි සිටිනවා. මේ දෙදෙනාම කළුපැහැතියි. ඒ කියන්නේ සමේ පැහැය කළුයි. මේ දෙදෙනාට දරුවෙක් උපදිනවා දරුවාගේ පැහැයත් කළුයි. මේ දැරුවා ළමා වයසට පැමිණෙන කොට දෙමාපියන් කෙරෙහි ද්වේශයක් ඇතිකරගන්නවා ඔය දෙදෙනා නිසා මමත් කළුවුණාය කියලා. මෙතැනදී දරුවා කළුපැහැති වුණේ අම්මා තාත්තාට කළු පැහැති සමක් තිබුණ නිසා. එහි ජාන බලපෑම් හේතුවෙන්. නමුත් එවැනි කළුපැහැති සමක් ඇති අම්මා කෙනෙකුගේ මව් කුසකට දරුවා බැස ගන්නේ දරුවා පෙර ජීවිතයේ කරන ලද අකුසල කර්මයක් නිසා. ඊට විපාක වශයෙන්. පෙර ජීවිතයේදී දරුවා ද්වේශය වඩන්න ඇති. පරවුණ මල් බුදුසමිඳුන්ට පුජාකරන්න ඇති. මෙවැනි හේතූන් නිසා අවලස්‌සනව ඉපැදීමට හේතු සකස්‌වෙමින් සම කළු පැහැති දෙමාපියන්ට දාව ඉපදුණා. මේක දෙමාපියන්ගේ වරද නොවේ. තමාගේ කර්ම විපාකය. සුදු පැහැති අම්මා කෙනෙක්‌ට දාව සුදු පැහැති ලස්‌සන දරුවෙක් උපදිනවා. එම අම්මාගේ මව්කුසට දරුවා බැසගන්නේ කුසල විපාකයක් වශයෙන් වර්ණවත් සමක් ඇති ලස්‌සන දරුවෙක් ලෙස උපදින්න හේතු සකස්‌වී තිබුණ නිසා. ඒ හේතුව මෛත්‍රිය වැඩීම, සිල්වතුන්ට ගරුකිරීම, සුවඳ මල් පුජාකිරීම. ආසන වැලි මළු ඇමදීම. මෙවැනි කුසල් විපාකයන් ඉස්‌මතුවී එම සැප විපාක සකස් වෙනවා. එතකොට මේ ස්‌වභාවයන් සකස් වුණේ ඔබ කරගත්ත කුසල් අකුසල් නිසා මිසක් අම්මා තාත්තා නිසා නොවේ. අම්මා තාත්තා පොහොසත් වත්කම් ඇති නිසාම නොවේ දරුවා පොහොසත් වෙන්නේ. එම දරුවා එවැනි සශ්‍රික ජීවිතයක් ලැබීමට පෙර ජීවිතයේ සම්පූර්ණ කරගත් කුසල් තිබුණ නිසායි. ඊට අනුරූපීව පොහොසත් දෙමාපියන්ට දාව දරුවා උපදින්නේ. දෙමාපියන් දුප්පත් වුණාය කියලා සමාජයේ පොහොසත් අය සමග සංසන්දනය කරලා දුප්පත් දෙමාපියන්ට චෝදනා කරලා ඵලක් නැහැ 'අම්මා තාත්තා නිසා මම දුක්‌විඳිනවා' කියලා. ඔබට සැප ලබන්න පෙර පිං අවම නිසයි ඔබ දුප්පත් මව්කුසක ප්‍රතිසන්ධිය ලබන්නේ. එම නිසා එම අහිංසක දෙමාපියන්ට චෝදනා කිරීම, දුක්‌දීම තව තවත් අකුසල් සකස්‌කරගැනීමක්. තමන්ට ලැබුණ දෙය තමන්මයි ලබාගත්තේ කියලා ධර්මානුකූලව ජීවිතයට ගලපාගන්න දක්‍ෂවෙන්න. අඩු තැන, වැරදුන තැන බලලා නිවැරදි කරගන්න. 
මේ ලිපිය ලියූ ස්‌වාමීන් වහන්සේ මේ වන විට පිංවත් ඔබ ගැන අනුකම්පාවෙන් දම් දෙසුම් පවත්වන්නාහ. එදා උන්වහන්සේ මේ පිං බිමේ ගැඹුරු වන ගැබක අලි, කොටි, වළසුන් මැද ඒක විහාරීව දහම් සුව විඳිමින් සිටියදී අප ගැන අනුකම්පාවෙන් මේ සටහන් තැබූහ. මේ ඝෝර කටුක සංසාරයේ බිය දැක, මේ ආත්මයේදීම සසර දුකින් එතෙරවීම අදිටන් කරගනිමින් සෘජුව නිවන් මගෙහි ගමන් කළ උන්වහන්සේ ලබා ඇති මගඵල ගැන කියන්නට තරම් මම සමතෙක් නොවෙමි. එහෙත් උන්වහන්සේ වැඩිය යුතු බවුන් වඩන උතුමකු බව කියන්නට මම නොපැකිලෙමි. එදා, තම අවබෝධය මෙන්ම අත්දැකීම්ද උන්වහන්සේ සතු වූ කුඩා පොත් හතරක සංස්‌කරණය නොකළ සටහන් ලෙසින් මා අතට පත් කළ උන්වහන්සේ වනයේ නොපෙනෙන ඈතට වැඩියහ. ඉනික්‌බිති කිහිපවරක් උන්වහන්සේ හමුවීමට මා භාග්‍යවන්ත විය. එහිදී නැවතත් සටහන් කිහිපයක් මා අතට පත්විය. ඒ සියලු සටහන් කෙතරම් දාර්ශනිකද? ගැඹුරුද? ආශ්චර්යමත්ද? නිවන් මගට පිළිපන් ගිහිපැවිදි උභය පාර්ශ්වයන්ට මෙය අගනා පූජාවක් වනු ඇතැයි මගේ පුහුදුන් සිත කියයි. මේ සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද ඒවා ලියූ උන්වහන්සේගේ නාමය හෙළි නොකරන සේ කරන ලද අයෑදුමක්‌ද විය. කාලයා විසින් උන්වහන්සේව හෙළිකරනු ඇතත් ඒ මුල් පොරොන්දුව මම අදටද රකිමි. මා ලද ඒ අතිශයින් අගනා දහම් පඬුර පමණක් ලිපි මාලාවක් ලෙස ඔබ අතට ගනු මැනවි!
විඤ්ඤාණධාතුවේ ආධිපත්‍යයට නතුවී ජීවත්වන ලෝකයේ බහුතරයක් ජනතාව අදහන ආගම්වල දෙවියන් බ්‍රහ්මයන් තමන්ගේ ගැලවුම්කරුවන් ලෙස දකිනවා. එම පිංවතුන් එහෙම කියන එක සාධාරණයි. මොකද එම ආගම්වල ශාස්‌තෘවරුන් ආගම් නායක උතුමන් පූජක උතුමන් බ්‍රහ්ම දිව්‍ය සංඥාවලින් ඔබ්බට ගිය පිංවත් පිරිසක් නොවේ. ඒ නිසා ඒ අය දිව්‍ය සැප රූපී අරූපී බ්‍රහ්ම සැප උපාදානය කොටගත්තා. ඉන් ඔබ්බට යන්න ඒවායේ අනිත්‍ය දකින්න එම පිංවතුන්ට හේතු සකස් උනේ නැහැ. ඉහත සැප කෙරෙහි ඇති කරගත් ඡන්දරාගය නිසා එම පිංවතුන් දිව්‍යතල බ්‍රහ්මතලවල කොටුවුණා හිරවුණා. එහි ප්‍රතිඵලය නැවත භවයක් සකස්‌වීමයි. ඒ කියන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ වල හිමිකරුවන් වීම. ලෝකයේ යම් පුරුෂයෙක්, ස්‌ත්‍රියක් දෙවියෙක් ළඟට බ්‍රහ්මයෙක් ළඟට යන්න ප්‍රාර්ථනා කරනවා නම් ඔහු ප්‍රාර්ථනා කරන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණවලින් යුත් භවයක්. මෙහි භයානක කම වන්නේ මොවුනට ලැබෙන්නේ මිථ්‍යදෘෂ්ටික භවයක් වීමයි. අප බෝධිසත්වයන් වහන්සේද සංසාරයේ අනන්තවත් මිථ්‍ය දෘෂ්ටිකව ඉපදිලා තිබෙනවා. මේ යථාර්ථය ලොව්තුරා බුදුරජාණන්වහන්සේ සම්මා සම්බුද්ධ ඥානයෙන් දැක්‌ක නිසයි දෘෂ්ටින් හැටගණනාවක් තිබුණ ඉන්දියාවේ මේ සෑම දෘෂ්ටියකටම එහි නිර්මාතෘවරුන්ට කරුණාව, මෛත්‍රීය දැක්‌වුවේ. අපටත් කරුණාව, මෛත්‍රීය දක්‌වන්න උගැන්නුවේ. මේවා ලෝකයේ ස්‌වභාවය. ලෝකයේ බහුතරයක් පිංවතුන් දිව්‍යතල, බ්‍රහ්මතල උපාදානය කරගැනීම සාධාරණයි. මන්ද දිව්‍ය, බ්‍රහ්ම සංඥාවලින් ඔබ්බට ගිය ලෝකය එම පිංවතුන් නොදැක්‌ක නිසා. ඒක එම පිංවතුන්ගේ වරදක් නොවේ. එයත් ජයග්‍රහණයක්. නමුත් මේ ජයග්‍රහණයේ ආශ්වාදය කෙලවර වන්නේ දුකෙන්. ඒ ඔවුන් සතර අපායෙන් නොමිදී ඇති නිසා.
මනුෂ්‍යයා ආශ්‍රිතව ජීවත්වන සතරඅපායෙන් නොමිදුනු දෙවිවරු භික්‍ෂුන්ට අරමුණුවී ඇත. මේ දිව්‍යතල බ්‍රහ්මතලවලින් නවතින කථාවක්. ඉන් ඔබ්බට ගිය දර්ශනයක් මේවායේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ දිව්‍යතල බ්‍රහ්මතල ඉක්‌මවා ගොස් ලෝකයෙන් එතෙරවන මාර්ගය දේශනා කළ ශාස්‌තෘන්වහන්සේ නමක්. ගෞතම බෝධීසත්වයන් වහන්සේ ජයශ්‍රීමා බෝධිමූලයේදී ඔය දිව්‍යතල බ්‍රහ්මතල සැපයන්ට මුලාවුණේ නැහැ. වසවර්ති මාරයාගේ මාර දූවරුන් නොඑක් කාමාභිනන්දන රැඟුම් දර්ශන ඉදිරිපත් කරමින් මෙම දිව්‍යතල බ්‍රහ්මතල සශ්‍රික බව සැපය ගැන විසිතුරු පෙන්නුවද උන්වහන්සේ ඒවාට මුලාවුණේ නැහැ. උන්වහන්සේ සෑම දිව්‍ය, බ්‍රහ්ම තලයක්‌ම ප්‍රඥාවෙන් පීර පීරා බැලුවා. යම්තැනක හෝ ඉඳිකටු තුඩක් ගැසීමට තරම්වත් ප්‍රමාණයේ නිත්‍ය සැපයක් තිබෙනවාද කියලා. උන්වහන්සේ ප්‍රඥාවේ ඥානදර්ශනයන් ලබමින් අවබෝධ කළා මේ සියල්ල අනිත්‍ය බව. ජාති, ජරා, ව්‍යාධි, මරණවල තෝතැන්නක් බව. සියලු ලෝකයන්ගේ අනිත්‍යභාවය ප්‍රඥාවෙන් අවබෝධ කර මේවාට ඇති කැමැත්තෙන් මිදෙන විට සිත පිහිටන්න උන්වහන්සේට වෙන තැනක් තිබුණේ නැහැ. ඒ සිත නැවතුනේ ලෝකයෙන් එරෙහි වුණ නිවන අවබෝධය තුළමය.
ඉහත සටහනට උපකාර වශයෙන් භික්‍ෂුවක් සමාධියෙන් පසුවෙන විට දුටු දර්ශනයක් මෙහි සටහන් තබනවා. භික්‍ෂුවක් සිංහරාජයට යාබද ආරණ්‍යයකට පැමිණි දෙවැනි දින රාත්‍රියේ සමාධියෙන් පසුවෙද්දී භික්‍ෂුව ඉදිරියේ හැඩිදැඩි අඩි හයාමාරක් පමණ උසැති හොඳින් මස්‌පිඬු තදින් පිහිටි තේජස් සහිත ව්‍යායාම කළ ශරීරයක් සේ ශක්‌තිමත් ශරීරයක් සහිත දිව්‍යරූපයක් දර්ශනය වුණා. සුදු අත්කොට කමිසයක් සහ සුදු සරමක් ඇඳගෙන සිටියා. ප්‍රභාෂ්වර, දිලිසෙන සුදු පැහැයක් ඇඳුමේ තිබුණා. ලා කහ පැහැති ප්‍රසන්න මනබදනා රූපයක්. ඔහු භික්‍ෂුව දෙස නොසෙල්වී සෘජුව විනාඩි තුනක් පමණ නිහඬව බලාසිට නොපෙනී ගියා. මේ දිව්‍යරූපය කාගේද කියන්න භික්‍ෂුව දන්නේ නැහැ. නමුත් එකක් විශ්වාසයි. මේ කන්දට ආරණ්‍යයට අධිපති අල්පේශාඛ්‍ය දෙවියෙක් බව. භික්‍ෂුව මේ ආරණ්‍යයට ආගන්තුක නිසාත් මෙවැනි දිව්‍ය ස්‌වභාවයන් මීට පෙර ආරණ්‍යයේ කිසිවෙක් දැක නොතිබු නිසාත් මෙම දිව්‍යබලය කවරෙක්‌ද යන්න භික්‍ෂුව දන්නේ නැහැ.
සතියක් පමණ ගත වෙද්දී උදෑසන 4.30 ට පමණ භික්‍ෂුව පිටුපස විශාල ආලෝකයක් හැටියට ද දිව්‍ය ආලෝකයක් පැමිණියා. මෙම ආලෝකය බස් රථය ඉදිරි ප්‍රධාන විදුලි ලාම්පුව තරම් විශාල ආලෝකයක්. එහෙත් මොහොතකින් මෙම ආලෝකය අතුරුදන්වීම නිසා මෙම ආලෝක වශයෙන්ද පැමිණියේ ඉහත දිව්‍යස්‌වභාවයම බව භික්‍ෂුව අනුමාන කරයි. අවශ්‍ය විටක මනුෂ්‍ය ස්‌වරූපයේ සියුම් ස්‌වභාවයනුත් අවශ්‍ය විටක ආලෝකයක ස්‌වභාවයනුත් පෙනී සිටීමට මෙම දෙවිවරුන්ට හැකියාව ඇතැයි ඉහත සිද්ධියෙන් භික්‍ෂුව අනුමාන කරයි.
ඉහත ආරණ්‍යයේ සති දෙකක් පමණ වැඩසිටියදී දිනක් දහවල් දානය පූජා කළ පිරිස පිංඅනුමෝදන් කිරීමට අවශ්‍ය අයගේ නම් කොළ කැබැල්ලක සටහන් කළ නායක ස්‌වාමීන් වහන්සේ අතට දුන්නා. මෙහි සඳහන් වෙනවා මියගිය අම්මා, තාත්තාගේ නම් සහ වීදියබණ්‌ඩාර සෙනවිතුමාට පිං පිණිසයි කියලා. අන්න ඒ අවස්‌ථාවේ භික්‍ෂුව සොයල බැලුවා කවුද මේ වීදියබණ්‌ඩාර සෙනවිතුමා කියලා. මේ ආරණ්‍යයේ පිහිටි ගල්පර්වතයේ තමයි අතීතයේ වීදියබණ්‌ඩාර සෙනවිතුමා තම හේවාබලඇණි සමග පලා ඇවිත් කඳවුරු බැඳගෙන තිබෙන්නේ. මේ ගමේ සමහරු එම හේවා භටයින්ගෙන් පැවතෙන අය. ඒ නිසා මොවුන් වර්තමානයේදීත් සෙනවිතුමා සිහි කරලා පිං දෙනවා. මේ කරුණු ටික ඇසෙනවිට භික්‍ෂුව අනුමාන කළා ඉහත ප්‍රතාපවත් දිව්‍ය ස්‌වභාවය සහ දිව්‍ය ආලෝකය වීදියබණ්‌ඩාර සෙනවිතුමාගේ පරලොව දිව්‍ය ජීවිතය බව. එම සෙනවිතුමා ජීවත්ව සිටි ස්‌වරූපයේ රූපයට සමාන ප්‍රතාපවත් රූපයක් සහිත සම්‍යදෘෂ්ටික අල්පේශාඛ්‍ය දෙවියෙක් ලෙස ආරණ්‍යය පිහිටි කඳුපංතිය උපාදානය කරගෙන ජීවත්වෙනවා විය හැකියි.
දැන් අපි බලමු මේ දිව්‍ය ස්‌වභාවය ඇයි මේ කඳුගැටය උපාදානය කරගෙන මෙහි ආරක්‍ෂක දෙවියෙක් වශයෙන් ජීවත්වෙන්නේ කියලා. එයටත් අනුමාන වශයෙන් හේතුවක් භික්‍ෂුවට දැනගන්නට ලැබුණා. ඒ තමයි මේ කඳුපංතියේ යම් ආරක්‍ෂිත ස්‌ථානයක ආභරණ සහිත නිධානයක් ඇතැයි කියන විශ්වාසය. මෙය ඇත්තක් නම් මෙම ආභරණ නිදන් කරන්නට ඇත්තේ පරාජයවීමකදී හෝ පලායාමකදී ඒවයේ ආරක්‍ෂාවට වීමට පුළුවන. මැරෙන මොහොතේදී ඒවා කෙරෙහි ඇතිවූ ජන්දරාගයන් නිසා සෙනවිතුමා මරණින් මතු ආරක්‍ෂක දෙවියෙක් ලෙස මෙම කඳුපංතිය උපාදානය කර උපත ලැබුවාද විය හැකියි.
දිව්‍යජීවිත ගත කළද මේ සියල්ලෝම ජාති, ජරා, ව්‍යාධි, මරණ සමග ලෝකය තුළම ජීවත්වන්නේය. සමහරවිටක මේ අය ඔබට ලෞකික වශයෙන් උපකාරයන් කළ හැකිය. නමුත් මේ කිසිවෙකුට අන් අයෙකුට සසරදුකින් මිදීම සඳහා පිහිට විය නොහැක. මන්ද තමාද භවය උපාදානය කරගෙන ජීවත්වන නිසාය.
ඉහත දිව්‍ය ස්‌වභාවයන් සශ්‍රික දිව්‍යලෝකවල ජීවත්වන දිව්‍ය ස්‌වභාවයන් නොවේ. යම් යම් කැමැත්තන් කෙරෙහි චන්දරාගය ඇතිකරගෙන ඒවා නිත්‍යභාවයෙන් ගැනීම නිසා මනුෂ්‍ය ලෝකයේම මනුෂ්‍යයන් ඇසුරේ පිරිසිදුභාවයෙන් ජීවත්වන දෙවිවරුන්ය. ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයාට ස්‌ථීර සැප ඇති තැනක් මේ ලෝකධාතුව තුළ නැතැයි පැහැදිලිව දේශනා කර ඇත. හේතුඵල ධර්මයන් නිසා සකස් වුණ නිරතුරුවම අනිත්‍යභාවයට පත්වෙන ලෝකය උන්වහන්සේ ප්‍රඥාවේ අවබෝධයෙන් අභිබවා ගියහ. කවදාහරි දිනයක ඔබත් මමත් අපේක්‍ෂා කරන නිවීම තුළද ඇත්තේ සැපයක් නොව නිදහස්‌වීමක්‌මය. නිදහස ලබන්නේ දුක සහ සැපය යන දෙකින්මය. ලොව්තුරා සම්මාසම්බුද්ධ ඥානයෙන් අවබෝධ කර වදාළ මේ යථාර්ථය අන් දෘෂ්ටින් සමග කෙසේනම් සසඳන්නද? ගලපන්නද? ඉහත දෘෂ්ටින් සතර අපායවල් ඉක්‌මවා නොගිය ස්‌වභාවයක්‌ය. එහෙත් මේ සටහන කියවන ඔබ සැබෑම වාසනාවන්තයෙකි, දක්‍ෂයෙකි. සතර අපායෙන් මිදීමේ මාවත පිංවත් ඔබලාට තවම විවෘතය. සමහරවිට පිංවත් ඔබ දැනටමත් අවබෝධාත්මක සතර අපායෙන් එතෙරවූ දක්‍ෂයෙක් වීමටද එම මාර්ගයේ ගමන් කරන අයෙක් වීමටද පුළුවන. සැබවින්ම ඔබ එසේනම් කෝටි ප්‍රකෝටි ගණන් මිනිසුන් අදහන දෙවියන් බ්‍රහ්මයන්ට වඩා ඔබ වැඳුම් පිදුම් ලැබීමට සුදුස්‌සෙකි. අන්‍යයන්ට මාර්ගය කියාදීමට සැබෑම ලොව්තුරු බුද්ධ වචනයම, අර්ථයම කියාදෙන කළ්‍යාණ මිත්‍රයෙක් වීමට සුදුස්‌සෙකි.
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......







