ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

තවත් පුතුන් කුමට පතන්

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....
'සතර අපායෙන් මිදෙමු' - 32 කොටස



භික්‍ෂුව හමුවීමට පැමිණි තරුණ තාත්තා කෙනෙක්‌ භික්‍ෂුවගෙන් බොහෝම සංවේදී ප්‍රශ්නයක්‌ ඇහුවා. 'හාමුදුරුවනේ මම කුඩා දරුවෙක්‌ ඉන්න තාත්ත කෙනෙක්‌ දරුවාගේ වයස අවුරුදු 4යි. මේ පුංචි දරුවා හරිම දඟකාරයි. එයා එක වෙලාවකට සන්ඩුකරනවා. තව වෙලාවක සෙල්ලම් කරනවා. තවත් සමහර වෙලාවට අම්මා සමග ගාථා කියමින් බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා. මේ දරුවා සෙල්ලම් කරන වෙලාවට නිතරම මම හාවා, මම මුවා, මම අලියා ආදී වශයෙන් සතුන් අනුකරණය කරමින් සෙල්ලම් කරනවා, හැසිරෙනවා' මේ මහත්මයා අහනවා මගේ දරුවා සතුන් අනුකරණය කරමින් සෙල්ලම් කිරීමට ප්‍රියවීම හේතුවෙන් මගේ දරුවාට යම් ප්‍රශ්නයක්‌ වේවිද කියලා. මේ මහත්මයාට තිබෙන ප්‍රශ්නය තමයි යම් හෙයකින් දරුවා මියගියහොත් එම දරුවා හාවෙක්‌, මුවෙක්‌ වෙලා උපත ලබයිද කියන කාරණය. මේ හේතුව නිසා දරුවාගේ අම්මා දරුවා මම හාවෙක්‌ , මම මුවෙක්‌ කියලා සෙල්ලම් කරනවිට 'නැහැ මගේ පුතා දෙවියෙක්‌, දිව්‍යාංගනාවක්‌' කියලා දරුවාගේ මනෝභාවය වෙනත් දිශාවකට යොමු කරනවලු. තම දෑතේ නැළවෙන කුඩා බිළිදා තුළින් අනාගත වෛද්‍යවරයෙක්‌, ඉංජිනේරුවරයෙක්‌, පරම්පරාවේ ගැලවුම් කරුවෙක්‌ බලාපොරොත්තුවන අම්මලා තාත්තලා අතර ඉහත අම්මා තාත්තා සුවිශේෂී වෙනවා. 

පිංවත් ඔබ හාවෙක්‌ කියන තැනින් මුදවලා දෙවියෙක්‌ කියන තැනයි සිත පිහිටුවන්න උත්සහ කරන්නේ. ඒ කියන්නේ අනතුරකින් මුදවලා තවත් තවත් අනතුරකටයි ඔසවා තබන්නේ. භික්‍ෂුව දන්නා තරමින් මෙවැනි දෙමාපියන්ට දාව උපදින දඟකාර හුරුබුහුටි ළදරුවෙක්‌ තමන් ප්‍රියකරන සත්ව සංඥාවක්‌ සකස්‌වෙලා මියගියත් එම දරුවා කවදාකවත් තිරිසන් ලෝකයේ හාවෙක්‌, මුවෙක්‌ වෙලා උපත සකස්‌ වෙන්නෙ නැහැ. දිව්‍ය ලෝකයේ උපත දිව්‍ය හාවෙක්‌, මුවෙක්‌, අශ්වයෙක්‌ ලෙස උපතක්‌ සකස්‌වීමට තමයි ඉඩකඩ වැඩිපුර තිබෙන්නේ. දිව්‍යලෝකයේ වැඩසිටින්නේ දෙවියන් පමණක්‌ නොවෙයි. ඒ ආකාරයේ දිව්‍යමය සතුන්ද සිටිනවා. 

ඉහත ප්‍රශ්නයේ වඩා වැදගත් දේ වනුයේ දරුවාට පෙර මව්පියන් මියගිය හොත් මව්පියන්ගේ අවසාන සිත තෘෂ්ණාව නිසා කුමක්‌ උපාදානයකොටගෙන සකස්‌වෙයිද කියන එකයි. මොකද පිංවත් මව්පිය දෙපල දරුවා අනිත්‍යයයි කියලා දකිනවා වගේම දරුවාගේ අනාගත සුරක්‍ෂිතභාවයක්‌ ගැනත් සිතනවා. එතනදී බාහිරට ප්‍රකට නොවන උපාදනයක්‌ ඇතුළතින් පෙනෙනවා. මෙන්න මේ ප්‍රකට නොවී සැඟවී තිබෙන උපාදානය මතුකරගන්න දක්‍ෂවෙන්න අවශ්‍යයි. මෙවැනි පිංවත් දෙමාපියන් 'දරුවා මගේ'ය කියන තැන ඉඳගෙනයි දරුවා සුගතියට ඔසවා තබන්න උත්සහ ගන්නේ. 

මෙතැනදී ඔබ දරුවා පටිච්චසමුපන්නව ගන්න. අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණා, විඤ්ඤාණ පච්චයා නාමරූපා......

සුරතල් දරුවා තුලින් හේතුඵල ධර්මයන් දකින්න. මෙතැනදී ඔබ නියත වශයෙන් දකිනවා හේතුන් නිසා සකස්‌වුන, ඔබට අයිති නැති දරුවාව. බිරිඳ ස්‌වාමිපුරුෂයා මතක්‌ වෙන විටත් එම රූප පටිච්ච සමුප්පාදය තුළම විසුරුවා දකින්න. සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැති හේතුඵල ධර්මයක්‌ දකිනවිට 'මමය මගේය' යන දෘෂ්ටියෙන් ඔබ බැහැරට යනවා. එසේ නොවන තාක්‌කල් ඔබ එම අනතුර තුළ සිටිමින්මයි අනතුරෙන් මිදෙන්න උත්සහ ගන්නේ. ඒ නිසා එම පිංවත් දෙපල මේ මොහොතේ තම දරුවාට දිව්‍ය සංඥාවක්‌ සකස්‌කොට දීම අනතුර තුළ සිටිමින්ම අනතුරෙන් මිදීමේ මාර්ගය සෙවීමක්‌ වෙනවා. ඒ නිසා පටිච්ච සමුප්පන්නව දරුවාගේ ජීවිතය දකින්න. දරුවා මට අයිති නැති බව දකිමින් දරුවාට අවශ්‍ය යහපත් මාර්ගය කියලා දෙන්න. නිතිපතා මල්කඩන්න, බුදුපහන පත්තුකරන්න, බුදුසමිදුන් වන්දනා කරන්න, වැඩිහිටියන්ට ගරුකරන්න නිරතුරුවම දරුවාව හවුල් කරගන්න. දෙමාපියන් ධර්ම මාර්ගය තුළ දරුවන්ට ආදර්ශමත් වෙන්න. ළමාවියේ දඟකාරකම් උපේක්‍ෂාවෙන් දකිමින් අනතුරුදායක භාවයන් නුවනින් මෙනෙහිකරමින්, ලැබුණු දරුවා මේ භව ගමනේ අවසාන දරුවා කරගන්න.මේ ස්‌වාමි පුරුෂයා මේ භව ගමනේ අවසාන ස්‌වාමිපුරුෂයා කරගන්න. බිරිඳ මේ භව ගමනේ අවසාන බිරිඳ කරගන්න. දරුවාව කමටහනක්‌ කරගෙන දරුවන්ගෙන් මිදෙන්න. දැඩි චිත්තයක්‌ ඇතිකරගන්න 'භව ගමනේ අවසාන දරුවායි මා මේ දරන්නේ' කියලා. 

දෙමාපියන්ට අප්‍රමාණ සසර දුක සකස්‌ කරදෙන ලොකුම කාම වස්‌තුව වන දරුවා කෙරෙහි තෘෂ්ණාව හීනව ගිය කල ඔබ සමීපවනුයේ ලෝකයෙන් මිදීයන දිශාවටයි. දරුවා සමාජයට යහපත් දරුවෙක්‌ වශයෙන් හදන ගමන් ධර්මාවබෝධය සඳහා දරුවාද උපකාරයක්‌ කරගන්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දරුවාට කියන්නේ දේවදූතයෙක්‌ කියලා. ඒ කියන්නේ ඔබට භවයෙන් මිදීයන්න පාර කියන දේවදූතයෙක්‌. භවයෙන් මිදීයන්න පාර කියන්න ආපු දේවදූතයෙක්‌ව ඔබ ඔබව භවයට බැඳ තබන වරපටක්‌ බවට පත්කරගන්නවා. 

භික්‍ෂුවට කුඩා දරුවෙක්‌ දැක්‌කාම එම දරුවා තුළින් දුක්‌ කන්දක්‌ පෙනෙනවා. භවයේ ගොඩාක්‌ ඈතදුරක්‌ පෙනෙනවා. දරුවාගේ කෙළිලොල්භාවය තුළ සැඟවී ඇති අනතුරමයි පෙනෙන්නේ. තමන්ගේ දඟකාර දරුවා සත්ව සංඥාවන් සකස්‌ කරගෙන සෙල්ලම් කරනවිට එම දරුවා මියගියහොත්, හාවෙක්‌, මුවෙක්‌ වෙලා උපදියිද කියන කාරණය හිතන්න පුළුවන් දක්‍ෂ දෙමාපියන්ට ඉහත කාරණා ජීවිතයට එකතුකර ගන්න අපහසුවක්‌ නැහැ. මොකද ඔබ ධර්මය තුළ සිටින නිසාමයි තම දරුවාවත් ධර්මය තුළින් දකින්නේ. පිංවත් ඔබ දරුවා කෙරෙහි ධර්මානුකූලව දකිනවිට ඉන් සකස්‌ වෙන කුසල් ශක්‌තිය ඔබව ධර්මාවබෝධය දෙසටත් එම කුසල්ශක්‌තිය හේතුවෙන් දරුවාට දීර්ඝායුෂත් අනිවාර්යයෙන්ම හිමිවෙනවා. සැබවින්ම ඔබලා දක්‍ෂ දෙමාපියන්. මෙවැනි සමහර දෙමාපියන් හැමවිටම උත්සහකරන්නේ දරුවා පැවිදි කරලා දෙමාපියන් සැනසෙන්නයි. සැනසෙනවාය කියන කාරණයේදී අපි වඩවා ගන්නේ තෘෂ්ණාවමයි. හැමවිටම ආශ්වාදය නොව, ජීවිතයක යථාර්ථයම ධර්මානුකූලව දකින්න. එතැනදී තමයි ශාසනයක අර්ථය ජීවිතයට එකතු කර ගත්තා වෙන්නේ. මගේ පුතා මේ උතුම් ශාසනයේ පැවිදි උතුමන් වහන්සේ නමක්‌ හැටියට දකිනවාට වඩා එම පුතාවම පටිච්චසමුප්පාද ධර්මය තුළ විසුරුවා දකින්න දක්‍ෂ වුණොත් ඔබගේ පුතා තුළින්ම ධර්මය දැකීමේ ශක්‌තිය ඔබට තිබෙනවා. 

භික්‍ෂුවක්‌ සමාධියෙන් වැඩසිටින විට දිව්‍යතලයක වැඩසිටින අජානීය අශ්ව පැටියෙක්‌ දර්ශනය වෙනවා. අඩි තුනක්‌ පමණ උසැති මෙම දිව්‍ය අශ්ව පැටියා කොළ සහ නිල් පැහැයෙන් යුත් වර්ණයෙන් යුක්‌තයි. හරියටම මොනරෙක්‌ගේ වර්ණය. කොඳුනාරටිය දෙපසට නෙරාගිය දිගැති රෝම, රෝමවලින් පිරීගිය වලිගය.............බොහෝම දර්ශනීය දිව්‍ය අශ්ව පැටියෙක්‌. මේ සටහන ලියනවිට මේ දිව්‍ය අශ්ව පැටියා පෙර ජීවිතයේ 'අශ්වයා ගෝන් ටික්‌ ටික්‌ ටික්‌' කියන ළමා උපාදානය දරාගෙන මියගිය දරුවෙක්‌ වෙන්න පුළුවන්. භික්‍ෂුව ස්‌ථිරව ඒබව කියන්න දන්නෙ නැහැ. නමුත් 'උපාදාන පච්චයා භවෝ' කියන ධර්මතාවය විසින් සත්වයා මෙවැනි උපත්වල සිරකරනවා. මේ කිසිවක්‌ අපිට හිතල ඉවර කරන්න බැහැ. අවබෝධයෙන්මයි අවසන් කර ගතයුත්තේ. තමන්ගේ දරුවා තමන්ට අයිති නැහැය කියලා දකින තැනදි තමා තමාට අයිතිය කියන තැනක්‌ සකස්‌ වෙනවා. පටිච්චසමුප්පාද ධර්මයමයි මේ අවුල අපිට නිරවුල් කර දෙන්නේ. 

ඉන්ද්‍රජිත් සුබසිංහ
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....
'සතර අපායෙන් මිදෙමු' - 33 කොටස

වයස අවුරුදු 15ක පමණ පිරිමි දරුවෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා 'හාමුදුරුවනේ මම මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව පුරුදු පුහුණු කරනවා. මට අනිත්‍යභාවනාව ගැන කියල දෙන්න' කියලා. ඒ වෙලාවේ භික්‍ෂුව එම දරුවාගෙන් ඇසුවේ 'ඔබ පැවිදිවීමේ අදහසක්‌ තිබෙනවාද?' කියල. එවැනි අදහසක්‌ නොමැති බව ප්‍රකාශ කළ නිසා භික්‍ෂුව එම දරුවාට මතක්‌ කළේ 'ඔබ අනිත්‍ය සංඥාව වඩන්න යන්න එපා. එය ඔබේ අධ්‍යපන කටයුතුවලට බාධාවක්‌ වෙයි' කියල. අනිත්‍ය සංඥාව භාවනාවක්‌ ලෙද වඩන සිතක නිරතුරුවම කලකිරීම් සකස්‌ වෙනවා. එවැනි කලකිරීමක්‌ සකස්‌ වුණොත් එය ඔබේ අධ්‍යාපන කටයුතුවලටත් බාධාවක්‌ වේවි. ඒ නිසාම දෙමාපියනුත් දුකට පත් වේවි. එම නිසා නිතිපතා පංචශීලය ආරාක්‍ෂා කර ගනිමින් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව වඩමින් ගෙදර වැඩිහිටියන් සමග බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න. වැඩිහිටියන්ට ගරු කිරීමට පෙළඹෙන්න. මේ කාරණා තුළින් තෙරුවන් කෙරෙහි සද්ධාව සකස්‌කර ගන්න. මේ මාර්ගය හොඳටම ප්‍රමාණවත් ඔබගේ වයසේ තරමට.

ඉහත කාරණාවන් සුව සේ ඔබගේ ජීවිතය තුළින් වැඩෙන විට අවශ්‍ය වෙලාවේදී අනිත්‍ය සංඥාවන් මතුවෙලා ඒවි. අපි මෙහෙම අනාගතය ගැන බලාපොරොත්තු ඇතිකර ගත්තත් බලාපොරොත්තු කියන්නේ මායාවක්‌මයි. සියල්ල අනිත්‍යවන නිසාමයි අපි සිහිනුවනින් ජීවිතය පරිහරණය කළ යුත්තේ. එසේ නොවුණහොත් ධර්මයත්, අධ්‍යපනයත් යන දෙකම අපගෙන් බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසාම මේ දෙමාපියන්ද අසරණභාවයට පත් වෙන්න පුළුවන්. 

ඉහත ගුණදම් සමග තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගෙන සංසුන් මනසක්‌ පිංවත් ළමා ඔබ ඇති කර ගතහොත් එතැන ඉඳන් ඔබට පුළුවන් ගුරුවරුන්ට, දෙමාපියන්ට, අකීකරු සිතක්‌ සකස්‌වෙන විට, අධ්‍යපන කටයුතුවලට අලස කම්මැලි සිතක්‌ සකස්‌ වෙනවිට, සිත අනිත්‍ය වශයෙන් දකිමින් එහි ආදීනව දකිමින් අතහරින්න. එවිට ඔබ තුළින් ගුණාත්මක දරුවෙකුත්, තමාට ගැලපෙන පරිදි අනිත්‍ය සංඥාවත් ජීවිතයට එකතු කරගත්තා වෙනවා.

ළමා ජීවිතය කියන්නේ කුසල් නිධියක්‌. මේ කුසල් නිධිය ගැන ළමයින්ට හැගීමක්‌ නැහැ. ඒ නිසාම දරුවන් ළමා කාලයේදී අප්‍රමාණ අකුසල් සිද්ධ කර ගන්නවා. මේ ළමා කුසල් නිධිය දෙමාපියන් ගුරුවරුන්ට ගරුකිරීම, සැලකීම නිසාම තව තවත් ශක්‌තිමත් කරගන්න දරුවන්ට අවස්‌ථාව තිබියදී නොදැනුවත්භාවය නිසාම දරුවන් ළමා කාලයේදී ගොඩාක්‌ අකුසල් සිද්ධ කර ගන්නවා. වර්තමානයේ නොදැනුවත්භාවය නිසාම දරුවන් දෙමාපියන්ට මානසික පීඩාවන් ඇති කරනවා.

වර්තමානයේ ගුරුවරයා කියන්නේ දරුවන්ගේ ප්‍රාණ ඇපයට යටත් පිරිසක්‌ වගේ. හොඳ නරක කියල දෙන්න පුළුවන් කමක්‌ නැහැ. දෙමාපියන්ගේ ගුරුවරුන්ගේ සිත රිදවන එක තරම් අකුසලයක්‌ තවත් නැහැ. දරුවන් නිසා මානසික පීඩාවට පත් අම්මලා, තාත්තලා කොතෙක්‌ අපිට මුණගැසිල තිබෙනවාද? 

රාහුල පුංචි හාමුදුරුවෝ හැමදාම උදයට වැලි දෝතක්‌ අතට අරගෙන එය උඩ දමලා ප්‍රර්ථනාවක්‌ ඇතිකර ගන්නවා "අද දවසේ මේ වැලිකැට ප්‍රමාණයට මට අවවාද අනුශාසනා ලැබේවා" කියලා. පුංචි සිතක සකස්‌ වුණ ලොකු ගුණයක්‌ අප දැක්‌කේ අතීත භවයන්හිදී මහා පාරමී ශක්‌තියක්‌ වඩවාගෙන පැමිණි දරුවෙක්‌ගෙන්. ඒ දරුවායි රාහුල මහෝත්මයන් වහන්සේ. එවැනි පිංවත් දරුවන් පහල වෙන්නේ කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන කාරණා ගුණාත්මකව පවතින සුදුසුම කාලයක. එම නිසා පිංවත් ළමා ඔබ සිතන්න ඕනේ ඔබත් මේ ජීවිතේ මව් කුසට බැස ගත්තේ, උපත සකස්‌කර ගත්තේ, සුදුසු කාලය බලලාය කියන කාරණය. මොකද තවමත් මේ කාලයයි, ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ. තවමත් මේ ද්වීපයයි, සද්ධර්මය සුරක්‍ෂිතව පවතින. තවමත් මේ දේශයයි උතුම් මහ සංඝරත්නය ජීවමානව වැඩසිටින. තවමත් මේ කාලයයි ලෞකික සම්මාදිට්‌ඨීය සකස්‌ කරගත් මව් කුසක මව් පදවිය ලැබීමට.....

පෙර ජීවිතයේ සුගතියේ සිට සුදුසු කාලය බැලීමෙන්ම ලැබූ උපතක්‌ මේක.

ළමා කාලය කියන්නේ, වැඩිවියට පත්වීමෙන් පසු විපාක පිණිස සකස්‌වෙන, අකුසල් ගොඩක්‌ සිද්ධවෙන කාලය. අම්මා, තාත්තා, ගුණවත් ගුරුවරුන්ගේ, ගුණවත්භාවය නිසාමයි ඒ අකුසල් දරුවන්ට සිද්ධවෙන්නේ. දෙමාපිය ගුරුවරුන්ගේ ගුණයන් ඒ තරමටම ශේ්‍රaෂ්ඨයි. ළමා කාලයේදී අපට උගන්වපු ගුරුවරු පන්ති කාමරයේදී අධ්‍යපන කටයුතු අතපසු කළහම ගහපු වේවැල් පාරවල් මේ මොහොතේ මතකයට නැගෙන විට ඒ ගුරුවරුන් උදෙසා ගරුත්වයක්‌මයි සිත තුළ සකස්‌ වෙන්නේ. මේ සටහන් කරන සෑම අකුරක්‌ම ගුරුවරයාගෙනුයි ඉපදුනේ. ගමේ පන්සලේ ලොකු ස්‌වාමීන් වහන්සේ ළගට ගිහිල්ලා මුලින්ම අකුරු කරන්නට 'අ, ආ' ඉගෙන ගන්න දවසේ අම්මා, තාත්තලා කොතෙක්‌ නම් බලාපොරොත්තු දරුවන් තුළින් ඇතිකර ගන්නවාද? තමන්ගේ දරුවා රෝහලේ ඇදක්‌ මත සැත්කමක්‌ කිරීම හේතුවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙනවිට මේ දරුවාගේ තාත්තා පුතුට සමීපවෙලා කියනවා 'පුතේ ඔබ වෙනුවෙන් අපායට යන්න වුණත් මම ලැහැස්‌තියි' කියලා. දරුවා කෙරෙහි ඇති ලෙන්ගතුභාවය නිසාම මේ තාත්තාට අපායේ ඇති ගිනි රස්‌නය අමතකව ගියා. ගින්දර යෝධිය අමතක කරන්න පුළුවන් ශක්‌තියක්‌ දරුවන් වෙනුවෙන් අම්මා, තාත්තා තුළ තිබෙනවා. මේ අයෝමය ශක්‌තියට අකීකරුභාවයෙන් ළමා ඔබ අභියෝග කරන්න නරකයි. ළමා කාලයේ අපි අතින් සිදුවෙන වැරදි හඳුනා ගැනීමට අපහසුයි. බරපතළ බවක්‌ නොහඟවාම ඒවා අපිට මගහැරී යනවා. මේ අකුසල් විපාක පිණිස සකස්‌ වෙන්නේ දරුවා වැඩිවියට පත්වුණාට පස්‌සේ. 

ඉහත කාරණය නුවනින් විමසලා දරුවන් තමන් තුළ දෙමාපියන්ට, ගුරුවරුන්ට අකීකරු සිතක්‌ පහළ වනවිට එය අනිත්‍ය වශයෙන් දැකලා එම සිත අතහැර දැමීමට දක්‍ෂනම්, ඔබ ඔබේ ළමා ජීවිතය අකුසලයන්ගෙන් ඈත් කර ගත් ජීවිතයක්‌ බවට පත්කර ගත්තා වෙනවා. මේ සටහන ලියන්නේ පාසල් දරුවෙක්‌ ඇසුව ප්‍රශ්නයකට පිළිතුරක්‌ වශයෙන්. එම නිසා දරුවන්ගේ ජීවිතයට අදාළවයි මේ පිළිතුර. වැඩිහිටියන් මේ පිළිතුර තමන්ගේ ජීවිතයට ගලපා ගන්න එපා. දරුවෙක්‌ තුළින් අපි මුලින්ම උත්සහ ගත යුත්තේ ඔහුට ලෞකික සම්මාදිට්‌ඨීය සකස්‌කර ගැනීමට අවශ්‍ය මාර්ගය සකස්‌කර දෙන්න. අපිට දරුවාට කියන්න බැහැ ජාති, ජරා, ව්‍යධි, මරණ ගැන පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය ගැන. ඉහත කාරණාවලටයි දුකයි කියලා කියන්නේ කියලා. මොකද එච්චර දුරක්‌ හිතන්න එම දරුවන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා නැහැ. එම දරුවාගේ ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රමානුකූලව දියුණු කරගන්න අපි උපක්‍රමශීලී වෙන්න අවශ්‍යයි. එවිටයි අපිට පුළුවන් වෙන්නේ දරුවා තරුණ වියට පත්වෙන විට ලෞකික සම්මා දිට්‌ඨීය සකස්‌කර ගත් දරුවෙක්‌ බවට පත්කර ගන්න. මෙතනදී දරුවා අධ්‍යපන කටයුතු වෙනුවෙන් උදාසීන අලසභාවයක්‌ ඇතිකර ගතහොත් එයයි 'දුක' ලෙසින් තේරුම් ගතයුතු කරුණ. අධ්‍යපනය අඩාල වුණොත් අනාගතයේදී යහපත් පුරවැසියෙක්‌ ශක්‌තිමත් ආර්ථිකයක්‌ සහිත ජීවිතයක්‌ අහිමි වෙනවා. දෙවනුව දකින්න මේ 'දුක' කුමක්‌ නිසාද සකස්‌ වෙන්නේ කියලා. දෙමාපියන්ට ගුරුවරුන්ට අකීකරුභාවය නිසාමයි. එහෙනම් ඔබ ඉහත දුකෙන් මිදෙන්න මේ අකීකරුභාවයෙන් මිදෙන්න ඕනේ. ඒ සදහා ඔබ ගමන් කළ යුත්තේ දෙමාපියන් ගුරුවරුන් කෙරෙහි කීකරුභාවය ඇති කර ගනිමින්. නිරතුරුවම උදේට තේරුමක්‌ ඇතිව පංචශීලය සමාදන් වෙමින් එම ශිල්පද ආරක්‍ෂා කර ගනිමින්. සවසට නිතිපතා දෙමාපියන් සමග ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මල් පහන් පුජා කරමින්, වන්දනා කරමින් තෙරුවන් කෙරෙහි සද්ධාව සකස්‌ කරගන්නා මාර්ගය තුළ ඔබ ගමන් කරන්න ඕනේ. පාසලේ, පංසලේ පිංකම්වලට ක්‍රියාත්මකව දායක වෙන්න ඕනේ. පුළුවන් ආකාරයට මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඉහත කාරණා පිංවත් ළමා ඔබට පහසු ආකාරයට ජීවිතයට ළංකර ගතහොත් ඔබ තරුණ වියට පත් වනවිට ධර්මයේ අවබෝධාත්මක දිශාවකට අවශ්‍ය ඉන්ද්‍රිය ධර්මයන් ඔබ තුළ වැඩිලයි පවතින්නේ. 

ලෞකික සම්මා දිට්‌ඨීය සකස්‌කරගැනීමට අවශ්‍ය තෙරුවන් කෙරෙහි විශ්වාසය, කර්මය කර්ම ඵල කෙරෙහි විශ්වාසය, දානයේ ශීලයේ ආනිශංස පිළිබඳ විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණය පිළිබඳ විශ්වාසය, මරණින් මතු උපදිනවාය කියන විශ්වාසය ඔබ තුළ සකස්‌වෙනවා. ධර්ම මාර්ගය තුළ ගමන් කිරීමෙන් දෙමාපියන්ට, ගුරුවරුන්ට කීකරුභාවයත්, කීකරුභාවය නිසාම ගුණාත්මක අධ්‍යාපනයකුත්, මේ සියල්ල හේතුවෙන් ලෞකික සම්මාදිට්‌ඨිය සකස්‌කරගත් ගුණාත්මක වැඩිහිටියෙක්‌ බවටත් ඔබ පත්වෙනවා. 

මෙතැන ඉදන් ඔබට පුළුවන් ඔබට අවශ්‍ය ආකාරයට ධර්ම මාර්ගයේ පෙරට යන්න. ඉහත මාර්ගයේ හික්‌මීමෙන් ඔබ පෙරට පැමිණියොත් පමණයි තරුණ ජීවිතයේදීම චතුරාර්ය සත්‍යය ධර්මයේ සැබෑම අර්ථය ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න දක්‍ෂ වෙන්න. එසේ නොවුණහොත් පින, පව හඳුනන්නේ නැති අනාගත ලෝකයේ සමාජිකයෙක්‌ වෙන්න ඔබටත් සිදුවේවි.

ඉන්ද්‍රජිත් සුබසිංහ

ප්‍රඥාවේ පහන් සිළෙන් රැයෙහි අඳුර දුරුකරන්න

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
'සතර අපායෙන් මිදෙමු' - 34 කොටස


භික්‍ෂුවක්‌ ධර්ම සාකච්ඡාවක්‌ රාත්‍රියේ පවත්වනවිට එක මහත්මයෙක්‌ නිතර නිතර ඔරලෝසුව දෙස බැලුවා. එම පිංවත් මහත්මයාගේ හැසිරීම තුළින් භික්‍ෂුව අදහස්‌ කළේ 'දැන් පරක්‌කු වුණා' කියන කාරණයයි. දැන් එම මහත්මයාට අවශ්‍ය ගෙදර ගිහින් නිදාගන්න. මේ වගේ රාත්‍රින් ලක්‍ෂ කීයක්‌ අපේ ජීවිත සමග ගෙවී යන්න ඇතිද? ගෙවීගිය සෑම රාත්‍රියක්‌ම අවසන් වූයේ එළිවීමෙන්ය. නින්ද පමණක්‌මයි රාත්‍රියේ අර්ථය වුණේ. දවල් සහ රාත්‍රි කියන්නේ අපි සාදාගත් සම්මුතීන් දෙකක්‌ පමණයි. ධර්මවබෝධයට දවල්ද, රාත්‍රියද කියලා වෙනසක්‌ නැහැ. ධර්මවබෝධය ලැබූ උතුමන් වහන්සේලා ධර්මය අවබෝධ කරගන්නේ හුඟාක්‌ම ඉර පෑයීමට ප්‍රථම අළුයම් කාලයේදී. ඒ කියන්නේ සංකීර්ණ වු දවාලට වඩා රාත්‍රියේ අවසන් යාමය ධර්මාවබෝධයට හිතකර නිසාමයි.

මාරයා නොයෙක්‌ කාම සිතුවිලිවලින් ඔබේ රාත්‍රීය පුරවා තිබෙන්නේ. කාමයේ දොරගුළු විවරකර ගැනීමට රාත්‍රියට අතවනන ඔබ, ධර්මයට හිතකර රාත්‍රියක්‌ හැමදාමත් මාරයාට පාවා දෙනවා. රාත්‍රිය සුන්දර වෙන්නේ ඇස නිදිනොගන්වා කෙලෙස්‌ නිදිගැන්වීමට ඔබ දක්‍ෂ වුවහොත් පමණි. කෙලෙස්‌ නිදිගැන්වු රාත්‍රියක සිතක ඇතිවන අපුරු ධර්මයේ රටා නින්දේ හිස්‌ අර්ථය අභිබවා ගිය, ලෝකයේ හිස්‌ අර්ථය පිළිබඳ සිතුවිලි වලින් ඔබව අවදි කරවනවා.

භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේ සුන්දරම මොහොත එක්‌තරා රාත්‍රියක්‌ කීවොත් එය නිවරැදියි. භික්‍ෂුවකගේ ගිහි ජීවිතයේ ගෙවාදැමු සමහර රාත්‍රීන් හරිම තුච්චයි. ඒවා මාරයාටම අයිති රාත්‍රී කාලයන්. මාරයාට අයිති රාත්‍රීන් කමටහන් කරගෙනයි භික්‍ෂුව මාරයාගෙන් රාත්‍රිය උදුරාගත්තේ. කාමයන්ගේ නිරුවත හඹායන සුපුරුදු අවිචාරවත් රාත්‍රියක, කාමයන් සකස්‌කර දෙන සිතේ නිරුවත හෙළි කරගැනීමට, ඒ අතීත අත්දැකීම් ගොඩාක්‌ උපකාරීවුණා. රාත්‍රියක ඇති නිහැඬියාව තුළ සැඟවී ඇති ධර්මයේ රසය, නිදි නොලබා අවදිභාවය තුළින්මයි ඔබ මතුකරගත යුත්තේ. එවැනි සුන්දර රාත්‍රියක්‌ 'නිදිමතයි' කියලා භික්‍ෂුව එදා අතහැරියානම් නින්ද විසින්ම මේ සටහන ලියන සුන්දර රාත්‍රියත් ගොරව ගොරවා නිදන රාත්‍රියක්‌ බවට පත්වෙනවා. රාත්‍රියේ නිහැඬියාව ගොරහැඩි නින්දකට යට නොකර පිබිදුනාවු මනසකින් නින්දේ ආදීනව දකින්න. දීර්ඝ නින්ද ඔබට කර ඇති විනාශය සුළුපටු නොවන බව ඔබට පෙනෙනු ඇත. 

නොනිදා පහන් කරන රාත්‍රියකමයි ඔබත් මමත් කවදාහරි ධර්මය අවබෝධ කරගන්නේ. ඒ නිසා නින්දට දෙන වටිනාකම නොනින්දට දී නොනිදන රාත්‍රියක පිංවත් ඔබ ධර්මය අවබෝධ කරගන්න. භික්‍ෂුව මේ සටහන ලියනවිට වේලාව රාත්‍රි 1.30 යි. බදුල්ල කොළඹ මාර්ගයේ ගමන් කරනා බසයක්‌ වේගයෙන් යනවා ඈතින් ඇසෙනවා. මේ මොහොතේ බසයේ රියදුරු මහතා හැර අන් සියලුදෙනාම නින්දේ පසුවෙනවා ඇති. රියදුරු මහතාටත් නින්ද ගියොත් කුමක්‌ වේවිද? නින්ද නිසා ඔබ විතරක්‌ නොවේ සියල්ලන්ම විනාශයටයි ප්‍රමාදයටයි පත්වෙන්නේ. මේ නිදිගත් රාත්‍රියේදී සුන්දර වූද, අසුන්දර වූද, බියජනක වූද සිහින ඔබ දකිනු ඇත. එම සිහින නිසාම දිවා කාලයේදී ඔබ ලැබුවාට වඩා වැඩි සතුටක්‌ ලබනු ඇත. නමුත් ඔබ මේ දකින්නේ එළිවෙන සිහිනයකි. ඒත් පිංවත් ඔබ මේ රාත්‍රියේදී සමාධිමත් සිතක්‌ සකස්‌ කර ගෙන අවදියෙන් පසුවුනානම් ලෝකයේ සුන්දර අසුන්දර දේ ඔබට සමාධියෙන් පෙනෙනු ඇත. සුන්දර වු දෙමාපියන්ද අසුන්දර වු අමනුෂ්‍යයින්ද ඔබට පෙනී නොපෙනී යනු ඇත. ඔබ මේ දකින්නේ එළිවෙන සිහිනයක්‌ නොව නින්දට වටිනාකමක්‌ දෙන ලෝකයාට නොපෙනෙන යථාර්ථයයි. 

සමනළ වැව ජලාශය දෙසින් හමා එන සිහින් සුළං රැළි නින්දකට අවශ්‍ය සියලු පහසුකම් සැපයුවත් පංචනීවරණ යටපත්ව ගිය සිත නින්දකට මැලිකමක්‌ දක්‌වනවා. නොනිදා පහන් කරන්න කීවාම ඔබ වැරදි අර්ථයෙන් ගන්න එපා. සෑම මනුෂ්‍යයෙකුටම නින්ද අවශ්‍යයි. නමුත් එය දීර්ඝ ගොරහැඩි නින්දක්‌ නොව උපරිම පැය පහකට සීමාවියයුතු නින්දක්‌. රාත්‍රිය නොනිදා සිටීම මානසික රෝගීන්ගේද ලක්‍ෂණයක්‌. එහෙයින් ඔබ ප්‍රවේශම් විය යුතුයි. අත්‍යාඅවශ්‍ය කෙටි නින්දකට ඔබේ ජීවිතයේ ඉඩ ලබාදෙන්න. එසේ නොවුනහොත් ඔබ මානසික රෝගියෙක්‌ විය හැකිය. ඔබ සිතන සෑම සිතුවිල්ලක්‌ තුළම විඤ්ඥාණය බැසගෙන ඇත. විඤ්ඥාණය නැමති මැජික්‌කරුවා උපාසක, උපාසිකා කියන රූපයක්‌ නිර්මාණය කරනු ඇත. ධර්මයේ අර්ථය සෑම විටම අන්තයට නොගිය මධ්‍යම ප්‍රතිපදාව තුළට ගොනුවී ඇත. එහෙත් ඔබ ධර්මය අවබෝධ කරගන්නා රාත්‍රිය නම් නොනිදා පහන් කරනු ඇත. එය ඔබ නිදිගත් භවගමනේ නොනිදා පහන් කළ අර්ථවත්ම රාත්‍රිය වනු ඇත. මේ කරුණු ඔබට සටහන් කරන්නේ ඔබ තුළ වීර්යක්‌ ඇතිකරගනිමින් ධර්ම මාර්ගයේ පෙරට යන්න අවශ්‍ය ශක්‌තිය ලබාදීමටය. අතීතයේ වැඩසිටි රහතන් වහන්සේලාගෙන් සමහරක්‌ රහතන් වහන්සේලා අවුරුදු පහක දහයක කාලයක්‌ කවදාකවත් නිදාගෙන නැහැ. වෛද්‍ය මතයන් අනුව නම් වර්තමානයේ ඉහත කරුණු ප්‍රතික්‌ෂේප වෙන්නත් පුළුවන්. ජීවිතයට අවශ්‍ය සැබෑම නින්ද, සැබෑම විවේකය ජීවිතයට ලැබෙන්නේ සමාධිමත් සිතෙන්මයි.

දහවල් කාලයට භික්‍ෂුව වැඩසිටින කුටිය ඉදිරිපිට සමනලවැව ජලාශය හොඳින් පෙනෙනවා. ජලාශයේ ජලය හුඟාක්‌ අඩුවෙලා. ජලය ගලායාමක්‌ නැහැ. එකතැන නතරවෙලා. මේ රාත්‍රීයේ භික්‍ෂුවගේ සිතත් ඒ වගේමයි. සිතුවිලිවල ගලායාමක්‌ නැහැ. සිතුවිල්ලක්‌ සකස්‌ වුණොත් එය ධර්ම මනසිකාරයක්‌මයි. පංචනීවරණයි සිතුවිලි. ඉදිරියට තල්ලුකරන්නේ. පංචනීවරණ යටපත් වු සිතට ගලායන්න තල්ලුවක්‌ ලැබෙන්නේ නැහැ. පංචනීවරණයි සිත භවයට තල්ලුකරන්නේ. දීර්ඝ සුවදායක නින්දක්‌ ඔබ බලාපොරොත්තුවන්නේ හෙට දවසට වඩාත් වැඩි වටිනාකමක්‌ අයිතිකර දෙන්නටයි. ඔබ නිදාගන්නේද තෘෂ්ණාව කරේ තබාගෙනය.මෙවන් මොහොතක ඔබ නිදිපැදුරේදී මියගිය හොත් උපාදානය සකස්‌වෙන්නේ හෙට දවසේ යොදාගත් වැඩරාජකාරීන්ටමය. බලාපොරොත්තු සහගත නින්දේ ඇති නොවටිනා කම දකිමින් අතීත, අනාගත, වර්තමාන පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යබව දකිමින්ම ලබන නින්ද සුවදායිම නින්ද බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා. එහෙයින් සෑම රාත්‍රියකම සිත බලාපොරොත්තුවලින් හිස්‌කර නිදාගැනීමට පුහුණුවන්න. නාසය අගට සිත යොමුකරමින් ආශ්වාසය ප්‍රශ්වාසය දකිමින්ම නින්දට යන්න. ධර්ම මාර්ගයේ ගමන් කරන යෝගාවචර පිංවත් ඔබට ථිනමිද්දය පහවගිය නොනින්දේ වටිනාකම හොඳින් වැටහිලා ඇති.

රාත්‍රීය ගැන කතාකරන විට රාත්‍රීය ආලෝකවත් කරන පහන් ආලෝක 28 ක්‌ අටවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් භික්‍ෂුව වැඩසිටින කුටියට පෙනෙන නොපෙනෙන මානයේ පත්තුවෙනවා. මේ සුන්දර මොහොතේ අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා දවසේ 24 පැයේම පහන් ආලෝක 28ක්‌ දල්වන අපි අතීතයේ වැඩසිටියාවු ලක්‍ෂ ගණනාවක්‌ වු බුදුරජාණන් වහන්සේලා උදෙසා පහන් ආලෝක දැල්වීමට ගියහොත් එය කෙසේනම් අවසන් කරන්නද? සංසාරයක්‌ පුරාවට බුදුරජාණන් වහන්සේලා උදෙසා අපි දැල්වූ පහන් ආලෝකයන් එක පිඩක්‌කොට ගතහොත් එය සූර්යාගේ ආලෝකය පරාද කරනු ඇත. සූර්යාගේ ආලෝකය අභිබවා යාමට සමත් ආලෝක පූජාවන් සංසාරයක්‌ පුරාවට අතීත බුදුරජාණන් වහන්සේලා උදෙසා පුජාකර ඇති අපි මේ මොහොතේ බුදුරජාණන් වහන්සේලා උදෙසා පුජාකර ඇති අපි මේ මොහොතේ බුදුජාණන් වහන්සේ උදෙසා දල්වන පහන් ආලෝකය සඳ හිරු නොමැති කළුවර රැයක නිවීගිය හොත් අපට අන්ධකාරයේ අතපත ගෑමට සිදුවනු ඇත. එයින් අදහස්‌ වන්නේ දැල්වු සෑම පහන් වැටියක්‌ම නිවී ගොස්‌ ඇතිය යන්නයි. එසේනම් පිංවත් ඔබ දැන් මෙතනින් නවතින්න. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ඔබ ඉදිරියේ තබා ඇති මාර්ගය පිළිගන්න. සියලු සංස්‌කාරයෝ අනිත්‍යයයි කියන සම්බුදු වදනම ඔබේ ජීවිතය තුළින් අර්ථයක්‌ දෙමින් සංස්‌කාරයන්ගේ ශක්‌තිය සංස්‌කාර නිරෝධය උදෙසාම ප්‍රයෝජනයට ගන්න. සුදත්ත සිටුතුමා තම මිතුරාගෙන් බුදුරජාණන් වහන්සේ යාබද නගරයක වැඩසිටිනවාය කියන වචනය ඇසුන සැනින් සඳ, හිරු නොමැති රැයක ආලෝක කිරීමට සමත් සිතේ ප්‍රභාෂ්වර භාවය තුළින් ආලෝකය උපදවාගෙන ඝන අන්ධකාර රාත්‍රියක්‌ ආලෝකමත් කළ ආකාරයට පංචනීවරණ යටපත් වු සිතෙන් කෙලෙස්‌ අඳුර විනිවිද යන ප්‍රඥාවේ ආලෝකය තමා තුළින්ම නිපදවා ගැනීමට දක්‍ෂවෙන්න. අතීත සංසාරයක්‌ පුරාවට බුදුරජාණන් වහන්සේලා උදෙසා ඔබ දැල්වු පහන් ආලෝකයන්ගේ සංස්‌කාර ශක්‌තිය ඔබගේ භවයට කැමති සිතට බයේ සැඟවී ඔබ තුළ බලාසිටින්නේ මෝදුවී විපාකදීමට සුදුසු පරිසරයක්‌ ඔබ තුළ ඔබ ගොඩනගා ගන්නා තුරුය. ප්‍රමාදය ඇත්තේ ඔබ තුළමය. මේ ප්‍රමාදයෙන් ඔබට අප්‍රමාදී භාවයට පත්කරන්නේ ශ්‍රද්ධාවත්, වීර්යත්, හිsරිඔතප් කියන කාරණා පමණක්‌මය. අපි මේ මොහොතේ ප්‍රමාදයට පත්වුනොත් අනාගතයේ ඇතිවන අබුද්ධෝත්පාද කාලවලදී ඔබ මනුෂ්‍ය ලෝකයේ සිටියද, දිව්‍ය ලෝකයේ සිටියද තෙරුවන් කියන වචනය එහි අර්ථය අතුරුදහන් වනු ඇත. එදාට අපට සිදුවනුයේ මිත්‍යාදෘෂ්ටික ධර්මයන්ට පහන් පත්තු කිරීමටය. අතීතයේ අබුද්ධෝත්පාද කාලවල අපි ගත කළ මෙවැනි මිත්‍යාදෘෂ්ටි භාවයන්ද ඒවායේ ආභාෂයන්ද මෙතෙක්‌ අපිට ධර්මය අවබෝධ කරගැනීමේ මාර්ගයෙන් බැහැරව තැබීමට හේතුවනවාද වියහැකිය. මේ සියල්ල තුළින් අපි දැකිය යුත්තේ භවයේ අනතුරුදායක බවයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තෙරුවන් උදෙසා ඔබ ජීවිතය අතහරින්න බියවෙන්න එපා. ජීවිතය මරණයට දමන්න. ඒ කියන්නේ ඔබ කෙලෙස්‌ සිඳ දමන්න. ජීවිතය බැඳී තිබෙන්නේ තෘෂ්ණාව නිසාමයි. ඔතන තමයි අවබෝධයේ මග සැඟවී තිබෙන තැන. ඔය තැන ඔබ පහදා ගත යුතුමයි. ඔබ තවමත් බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතය අතහැරීමට සූදානම් නැතිනම් එහි තේරුම ඔබ තවම බුදුරජාණන් වහන්සේ කවුද කියන කාරණය තවම අවබෝධකරගෙන නැහැ. ඔබ තුළ බියක්‌ තිබෙනවා, සැකයක්‌ තිබෙනවා බුදුරජාණන් වහන්සේ දේශණා කළ ධර්ම මාර්ගය කෙරෙහි. කොටින්ම තවම සූදානම් මදිය කියන විචිකිච්චාව තිබෙනවා. මේ කුමන ආකාරයේ සිතුවිල්ලක්‌ සකස්‌ වුවද එය සිතක්‌ පමණක්‌ම බව දකින්න. ඊයේ දවසේ ඔබට කේන්තියක්‌ ඇතිවුනානම් මේ මොහොතේ එම සිත තිබෙනවාද? එම සිත දැන් ඔබට අයිති නැහැ. කේන්ති සිත අනිත්‍ය වී ගියා. නමුත් ඉන් සකස්‌ වුන අකුසලය ඔබට විපාක පිණිස ඔබ පසුපසින්ම එනවා. කේන්තිය ඔබට අයිති නැති වුණාට එහි අකුසල් විපාකය ඔබට අයිතියි. අනිත්‍යවන දේවල් නිත්‍යභාවයෙන් ගැනීම නිසාම භවගාමී සංස්‌කාරවලින් අපිව පිරෙනවා. සංස්‌කාරයන්ගේ බර දරාගන්න බැරි විඤ්ඥාණය නිරතුරුවම වේගවත් භාවයෙන් ක්‍රියාත්මක වෙන්නේ. සිතක්‌ හඳුනාගන්න පෙරාතුව තව තව සිතුවිලි සකස්‌ වෙනවා. මෙතනදි අප උදාසීන වෙනවා. වැල යන අතට මැස්‌ස ගහනවා වගේ සිතට අයාලේ යන්න ඉඩදෙනවා. දැන් සිත භවයට තෝතැන්නක්‌. පිංවත් ඔබ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා දල්වන සෑම පහන් ආලෝකයක්‌ තුළින්ම බුදුරජාණන් වහන්සේගේ රූපකාය නොව බුදුරජාණන් වහන්සේ දේශණා කර වදාල ධර්මය දකින්න දක්‍ෂ වෙන්න. පහනේ ආලෝකයට ඔබ බැඳුනොත් ඔබ ඒ බැඳෙන්නේ භවයටය. එම පහනේ ආලෝකය අනිත්‍ය යන දැක්‌ම ඔබ තුළ ඇතිකරගතහොත් දැල්වුනාවු පහන් ආලෝකය තුළින් ඔබ දකින්නේ ධර්මයයි. ආමිස පූජාවන් පැවත්වීමට කැමත්තක්‌ දක්‌වන සියලු පිංවතුන්ලා බුදුරජාණන් වහන්සේ උදෙසා කරන ආමිස පුජාවන් තුළින් අනිත්‍ය සංඥා මතුකර ගැනීමට දක්‍ෂ වෙන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
2013 මාර්තු 24 ඉරිදා දිවයින
සදහම් සඟරා - Online