ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

ඔබ, ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කරන අයුරු නිවැරැදි ද...?


ශාරීරික චෛත්‍යය, පාරිභෝගික චෛත්‍යය, උද්දේසික චෛත්‍යයයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වැඳුම් පිදුම් කිරීමට සුදුසු ස්‌ථාන තුනක්‌ වේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් ශේෂ වී පවතින සර්වඥ ධාතූන් වහන්සේලා හෝ එම ධාතු නිධන් කොට ඇති කරඬු, දැගැබ් ආදිය ශාරීරික චෛත්‍ය නම් වේ. (බුදු පිළියමක වුවත් සර්වඥධාතු නිධන් කර ඇත්නම් එය ශරීරික චෛත්‍යයකි.) තථාගතයන් වහන්සේ විසින් පරිභෝග කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේද, එයින් පැවත එන, එම පරම්පරාවට අයත් සියලු බෝධි වෘක්‌ෂයෝද පාරිභෝගික චෛත්‍යයෝ වෙති. තවද උන්වහන්සේ පරිහරණය කළ පාත්‍ර, චීවර, බඳපටි, සෙනසුන් භාණ්‌ඩ ආදියත්, ඒවා තැන්පත් කොට තැනූ චෛත්‍ය ආදියත් "පාරිභෝගික චෛත්‍ය" නම් වේ. ශරීරික පාරිභෝගික වස්‌තු නිධන් නොකොට බුදුරජාණන් වහන්සේ වෙනුවට වැඳුම් පිදුම් කිරීම සඳහා ඉදි කෙරෙන ප්‍රතිමා සහ ස්‌ථූපයෝ උද්දේශික චෛත්‍යයෝය.

මේ චෛත්‍යය තුන් වර්ගයෙන් ශාරීරික චෛත්‍යයටම මුල් තැන හිමි වේ. ශාරීරික චෛත්‍යයකට බාධා පැමිණේ නම් බෝ අතු ආදිය වුවත් ඉවත් කළ යුතු බව සඳහන් වේ. එහෙත් පාරිභෝගික හෝ උද්දේසික චෛත්‍ය රකිනු පිණිස ශාරීරික චෛත්‍යයට අනතුරු නොකළ යුතුය. දෙවන තැන හිමි විය යුත්තේ බෝධීන් වහන්සේ ඇතුළු පාරිභෝගික චෛත්‍යයන්ටය. ප්‍රාකාර, බෝධිඝර, මහා මාර්ග ආදිය ඉදි කරනු පිණිස හෝ අන්‍ය ගොඩනැඟිලි ආදිය රකිනු පිණිස හෝ බෝධීන් වහන්සේට අනතුරු නොකළ යුතුය. බෝධි වෘක්‍ෂයේ පැවැත්ම පිණිස දිරාපත් වූ, රෝගී වූ අතු කපා ඉවත් කිරීම වරදක්‌ නොවේ. ශාරීරික ධාතූන් වහන්සේලා හෝ පාරිභෝගික වස්‌තු නිධන් නොකළ බුද්ධ ප්‍රතිමා ආදී උද්දේසික චෛත්‍යය කෙරෙහි තුන්වෙනුව සැලකිලිමත් විය යුතුය. බාහිර උපද්‍රවවලින් විනාශ නොවන ආකාරයෙන් බුදු පිළිම ආදිය ආරක්‍ෂා කර ගැනීමටත්, නිගරු නොවන ආකාරයෙන් පවත්වා ගැනීමටත් උත්සාහවත් විය යුතුය.

වත්මන් සමාජයේ බුදුරදුන් අරමුණු කර ගැනීමට ශාරීරික ධාතූන් වහන්සේටත් වඩා බුදු පිළිමය උපකාර කර ගනී. එහෙයින් පිළිම සකසද්දී මෙන්ම පවත්වාගෙන යද්දීද දුටුවන්ගේ චිත්ත ප්‍රසාදය ඇතිවන අයුරින්ම කළ යුතුය. එමෙන්ම බුද්ධ ප්‍රතිමාවක්‌ ඉදිකරද්දී හෝ තැන්පත් කරද්දී බුදුරජාණන් වහන්සේ ජීවමානව මෙතැන වැඩ සිටිනවා යන හැඟීම ඇති කරගෙනම වටපිටාව සැකසිය යුතුය. වැඳුම් පිදුම් කරද්දීත් පිළිමයට වඳිනවා යන අදහසින් නොව ජීවමාන බුදුරදුන්ට වඳිනවා යන හැඟêමෙන් බුදුගුණ ආවර්ජනයා කරගෙනම වැඳුම් පිදුම් කළ යුතුය.

අද සමාජයේ ඇතැම් කෙනෙක්‌ තමන්ගේ හැකියාව පෙන්වීමට, භූමියක අයිතිය තහවුරු කරගැනීමට, ව්‍යාපාරික ස්‌ථාන ආරක්‍ෂා කරගැනීමට, ආගමික බලය ප්‍රදර්ශනය කිරීමට, පිං කැටයක්‌ තබා ආධාර එකතුකර ගැනීමට වැනි පටු පරමාර්ථ පෙරදැරි කරගෙන බුදු පිළිම ඉදිකරනු පෙනේ. එබඳු හැඟêමකින් බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම නම් මුලින් කියන ලද ආකාරයේ " අට මහා කුසලයට" අයත් නොවේ. මහා කුසලයක්‌ වන්නේ බුදු ගුණය පිළිබඳව චිත්ත ප්‍රසාදය ඇති කරගෙන, තවත් බොහෝ දෙනාට සිත පහදවාගෙන දහම් මගට යොමු වීමට උපකාර කිරීම් වශයෙන් බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම පමණි.

ඉහත කියන ලද පටු ආකල්පයන් ඇතිවත්, තවත් බොහෝ දූෂිත වූ පරමාර්ථයන් ඇතිවත් බුදු පිළිම ඉදි කිරීමට පෙළඹීමෙන් බුද්ධ ප්‍රතිමාවට ලැබිය යුතු ගරුත්වය කෙළෙසී ගොස්‌ තිබේ. කඩපිල් අසල, කුණු කාණු අසල, මංසන්ධිවල, ගස්‌ගල් යට නිරාවරණව, පක්‍ෂීන්ගේ වසුරු වලින් හා බලු බළලුන්ගේ මළ මුත්‍රාවලින් ගැවසීගෙන ඇති බුද්ධ ප්‍රතිමා, දකින්නවුන්ගේ සිත් කම්පා කරවයි. දුටු දුටුවන්ගේ මනස දූෂ්‍ය කරවන ආකාරයෙන් පිළිම තැන්පත් කිරීමෙන් කුසලයක්‌ කෙසේ වෙතත් නොවැරදීම අකුසලයක්‌ නම් සිදු වේ.

එමෙන්ම පැරණි පිළිමයක්‌ වෙනුවට අලුත් පිළිමයක්‌ තැන්පත් කරද්දී පැරණි පිළිමයද ගරු බුහුමන් ලැබෙන වෙනත් තැනක හෝ එතැනම හෝ අගෞරව නොවන ආකාරයෙන් තැන්පත් කර තැබිය යුතුය. පිළිම ඉදි කිරීමටත් වඩා නඩත්තු කිරීම ගැන සැලකිලිමත් විය යුතුය. පොදු ස්‌ථානවල පිළිම ඉදි කරද්දී මාර්ග සංවර්ධන ආදියට බාධා නොවන්නටත්, පිළිමය නිසා අන් අය අකුසලයට යොමු නොකරන්නටත් වග බලා ගත යුතුය. නිවසේ වැඳුම් පිදුම් කිරීමට භාවිත කරන බුදු පිළිම වුවත් කලක්‌ ගත වී කැඩී බිඳී යනවිට බොහෝ දෙනා ගෙනැවිත් තබන්නේ පන්සලක හෝ බෝධියක්‌ යට හෝ වෙනත් ප්‍රසිද්ධ ස්‌ථානයකය. එය දකින යම්තාක්‌ දෙනාගේ සිත් දූෂ්‍ය වේද, එම දූෂිත වූ චිත්ත වේගය පිළිමය ගෙනැවිත් තැබූ පුද්ගලයා වෙත අකුණු සරක්‌ සේ පතිත වේ. එය නිවසෙහි මෙන්ම නිවැසියන්ගේද පරිහානියට හේතු වේ. බුදු පිළිම ඉදි කිරීම දුටු දුටුවන්ගේ සිත් පැහැදීමට උපකාර වන නිසා එය මහා කුසලයක්‌ වෙනවා මෙන්ම, බුදු පිළිම අයථා ලෙස පරිහරණය කිරීම නිසා දුටු දුටුවන් ගේ සිත් කෙළෙසෙන්නේ නම්, එබඳුම අකුශලයකට ඉඩ සැලසෙන බව අමතක නොකළ යුතුය. එහෙයින් නිවසක පරිහරණය කරන බුද්ධ ප්‍රතිමාවක්‌ කැඩී බිඳී ගිය විට, හැකිනම් නැවත පිළිසකර කරගත යුතුය. එසේ නොමැකි නම්, එය කිසිවෙකුට ඇස නොගැටෙන තැනක තැන්පත් කර තැබීම වඩා යෝග්‍යය. ඒ සඳහා යෝග්‍ය තැනක්‌ නිවස තුළ නැතිනම්, නිවසින් පිටත හෝ මිනිසුන්ට නොපෑගෙන, දර්ශනයටද ලක්‌ නොවන තැනක්‌ සොයාගත යුතුය.

පොදු තැන්වල පිහිටුවා ඇති බුද්ධ ප්‍රතිමාවක්‌ අසල පුද පූජා පවත්වන්නේ නම් පසුව ඒවා ඉවත් කොට ස්‌ථානය පිරිසිදු කිරීමටද වගබලා ගත යුතුය. ඇතැම් තැනෙක තිර රෙදිවලින් බුදුපිළිමය සම්පූර්ණයෙන් ආවරණය කර තිබීමද, යම් යම් විසිතුරු ඇතිරිලි බුද්ධ ප්‍රතිමාවේ දෑත උඩ අතුරා තිබීමද දැකිය හැකිය. බුදුරුව දැක සිත පහදවා ගැනීමට ඒවායින්ද යම් පමණකට බාධාවක්‌ සිදු වේ. බුද්ධ ප්‍රතිමාවලට කාසි විසිකිරීමද බොහෝ තැන්වල සිදු කෙරෙන උමතු ක්‍රියාවකි. පූජාවකට හෝ වෙනයම් කාර්යයකට මුදලක්‌ දෙන්නේ නම් එය පිං කැටයකට හෝ වෙනත් සුදුසු තැනකට දමනවා විනා, පිළිමය අසලට කාසි දමා ගැසීමෙන් වැළකිය යුතුය. එසේ නුසුදුසු ලෙස පිළිම ඉදිරිපිට කාසි දැමීමෙන් බුදු රජාණන් වහන්සේට නිග්‍රහ කිරීමේ අකුසලය පමණක්‌ නොව පිළිමය පළුදු කිරීමේ අකුසලයද සිදු වේ.

බුදු පිළිම ඉදිරිපිට යමක්‌ පූජා කර ඇතොත් එය ජීවමාන බුදුරජාණන් වහන්සේට කළ පූජාවක්‌ ලෙස සලකාගෙන ප්‍රවේශමෙන් කටයුතු කිරීමද සුදුසුය. පූජාකර ඇති මල්, වස්‌ත්‍ර, ආහාර, පඬුරු ආදිය යමෙක්‌ තමන්ගේ පරිහරණයට ගනී නම් එයද බරපතල අකුසලයක්‌ වන්නේය.

පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සි හිමි
සටහන - ධම්මික හේවාවසම්
සදහම් සඟරා - Online