ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

විශ්වාසය මත නොරැඳෙන බෞද්ධකම

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක 
ආචාර්ය 
ඕමල්පේ සෝභිත නා හිමි

විශ්වාසය යනු යමක් පිළිබඳ ඇදහීමයි. ඇත්ත යැයි සිතාගෙන, ඇත්ත යැයි උපකල්පනය කරමින්, යමක් සම්බන්ධයෙන් ඇදහීම විශ්වාසයයි.
බෞද්ධයා යනු මෙම තත්ත්වය ඉක්මවා ගිය පුද්ගලයෙකි. එනම් විශ්වාසය ඉක්මවා ගිය තත්ත්වයක් හෙවත් අවබෝධයක් ලැබූ පුද්ගලයෙකි. තථාගත බුදුරජාණන් වහන්සේ, එන්න මා විශ්වාස කරන්න. එන්න මා කියන දේ අදහන්න. වෙන කිසිවක් නැත මා කියන දේ පරම සත්‍යයයි. ඒ නිසා මා පමණක් විශ්වාස කරන්න යැයි කිසිවිටෙක දේශනා කර නැත.

තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, එන්න බලන්න, එන්න දකින්න, අවබෝධ කර ගන්න. ‘ඒහිපස්සිකෝ සන්දිට්ඨිකෝ” තථාගතයාණන් වහන්සේගේ ධර්ම මාර්ගය ආරම්භ වන්නේ විශ්වාසය පදනම් කරගෙන නොව අවබෝධයෙන් ධර්මය දැකීම තුළිනි. ඒ ධර්ම මාර්ගය අංග අටකින් එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් යුක්තයි. දර්ශනය, දැක්ම, තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම සම්මා දිට්ඨියයි.
විශ්වාසය සහ අවබෝධය අතර වෙනස අපි මෙසේ විග්‍රහ කරමු. “අද සීතල සුළඟක් පවතිනවා. ඒ නිසා තවත් පැය කීපයකින් වැස්සක් ඇදහැලෙනවා.” වහින්නත් පුළුවන්, නො වහින්නත් පුළුවන්. එම සාධක මුල්කරගෙන අප එය විශ්වාස කරනවා. අදහනවා. කවුරුන් හෝ පුද්ගලයෙක් පවසනවා මෙන්න මෙතැන හොල්මනක් එනම් භූත ආත්මයක්, බලවේගයක් පවතිනවා කියා. ඒ මොහොතේ සිට අප එය විශ්වාස කරනවා. එතැන එහෙම දෙයක් තියෙන්නත් පුළුවන්. නැතිවෙන්නත් පුළුවන්.
නමුත් අප කියනවා හෙට උදේ හය වන විට සිදුවන දේ කුමක්ද? කියා. හෙට උදේ ඉර පායනවා. උදේට ඉර පායනවා කියන එක විශ්වාසයක් නොව දැනීමක්. එසේ ම ඉර පායන්නේ කුමන දිශාවෙන් ද කියා විමසුවොත් කුඩා දරුවෙක් පවා පිළිතුරු දෙයි ඉර පායන්නේ නැගෙනහිර දිශාවෙන් කියා. එයට විශ්වාසයක් අවශ්‍ය නැහැ. එයට අවශ්‍ය දැනුමයි. ඒක ඉතාම පැහැදිළියි. ඒක හරියට අතැඹුලක් සේ, “අතේ තියෙන නෙලුම් මලක්, අතේ තියෙන යම් උපකරණයක් දෙතුන් පැත්ත හරවා බලා තීන්දු තීරණ ගන්නා සේ අප යමක් දැක තීරණ ගන්නවා. එය විශ්වාසය නොවෙයි. විශ්වාසය ඉක්මවා සිටි අවබෝධයයි. ඒ නිසා අප ජීවිතය තේරුම් ගන්නේ කරුණු කාරණා අධ්‍යයනය කිරීමෙන් බුද්ධියෙන් විමසා බැලීමෙන් ලබා ගන්නා වූ දැනුම අවබෝධය මතයි.
බුදු දහම තුළ විශ්වාසයට තැනක් නැහැ. ශ්‍රද්ධා යන සංකල්පය මතයි බුදු දහම පවතින්නේ. ශ්‍රද්ධාව යනු චිත්ත ප්‍රසාදය මුල් කරගත් විශ්වාසයයි. ඇදහීමයි. පිළිගැනීමයි. ශ්‍රද්ධාවේ ආකාර දෙකක් තිබෙනවා ඒ ආකාරවතී ශ්‍රද්ධාව හා අමූලිකා ශ්‍රද්ධාව ලෙසයි.
අමූලිකා ශ්‍රද්ධාව යනු පදනම් රහිත, ආවේග බහුලව තේරුම් ගන්නට උත්සාහ ගන්නා ප්‍රසාදය හෙවත් ශ්‍රද්ධාවයි. එනම් හැඟීම්වලට මුල් තැන දී අනුගමනය කරන ඇදහීමයි. මෙය බුදු දහම සමඟ එකඟ වූවක් නොවන හෙයින් තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප ශ්‍රද්ධාවකි.
ආකාරවතී ශ්‍රද්ධාව එනම් බුද්ධියෙන් යම් යම් කරුණු විමසා සොයා බලා අවබෝධයෙන් තේරුම් ගැනීමත් චිත්ත ප්‍රසාදයක් ඇති කර ගැනීමයි. එයයි බුදු දහමේ අගයන්නේ.

වර්තමානයේ සමාජය තුළ වැඩි පෙළඹීමක් පවතින්නේ අමූලිකා ශ්‍රද්ධාවටයි. මේ දේ විශ්වාස කරන්න. අසවලා කියූ නිසා එනම් දෙවියෙක්, එසේ නොමැති නම් දෙවියෙක්ගේ නියෝජිතයෙක්, එසේත් නැතිනම් මහා බල පරාක්‍රමයක් සහිත පුද්ගලයෙක් මේ දේ පැවසූ නිසා, විශ්වාස කරන්න. එනම් පුද්ගලයා පදනම් කොටගෙන, කේන්ද්‍රගතකොට යම් යම් දේ ඇදහීමට, විශ්වාස කිරීමට සමාජය පෙළඹී තිබෙනවා. මෙය අමූලිකා ශ්‍රද්ධාවයි.
මෙම අමූලිකා ශ්‍රද්ධාව ආගමට පමණක් සීමා වූවක් ද නොවේ. දේශපාලනයේ දී, ආර්ථිකයේ දී, සමාජ කටයුතු තුළදී ආදී වශයෙන් අමූලිකා ශ්‍රද්ධා පවතිනවා. අපට තිබුණු ඉතාමත් වැරැදි ආදර්ශයක්, නිදර්ශනයක් පසුගිය වකවානුවේ පැවතුණු ත්‍රස්තවාදය. උතුර, දකුණ, බටහිර , නැගෙනහිර මේ මුළු රටම භීෂණයට ලක් කළ භීෂණය. මෙය අමූලිකා ශ්‍රද්ධාව මුල්කරගෙන ඉදිරිපත් වූ ව්‍යාපාරයක්. සමාජයේ ජීවත්වන බොහෝ පුද්ගලයන් අමාරුවේ වැටෙන්නෙ, තමන්ගේ දියුණුව අහුරා ගන්නේ විශේෂයෙන් ම තමන්ගේ අධ්‍යාත්මික හර පද්ධතීන් විනාශ කර ගන්නෙ මෙන්න මේ අමූලිකා ශ්‍රද්ධාව හෙවත් පදනම් විරහිත විශ්වාසය නිසයි.
අප බෞද්ධයන් හැටියට අදහන්නා වූ යමක් වේ, නම් ඒ ඇදහීම බුද්ධියෙන් තීන්දු තීරණ කරගෙනයි කළ යුත්තේ. මීළඟට කර්මය පිළිබඳ අප තුළ පවතින්නේ විශ්වාසයක් නොවෙයි. කර්මය පිළිබඳව අප තුළ තිබිය යුත්තේ සම්මාදිට්ඨියයි. එය විශ්වාසය ඉක්මවා ගිය ශක්තියක්. කර්මය වන්නේ කුමක් ද? එය සිදු වන්නේ කෙසේද? ක්‍රියාත්මක වන්නේ කෙසේද? කර්මය හා මගේ සම්බන්ධය කුමක්ද? කර්මය හා මගේ හා ලෝකය අතර සම්බන්ධය කුමක් ද? යන්න බෞද්ධයන් වූ අප පැහැදිලිව දන්නවා. පුනර්භවයක් පිළිබඳව සලකන්නේ විශ්වාසයෙන් නෙමෙයි. අප තුළ පවත්නා දැනුම මුල්කරගත් දැක්මෙන්.
ඒ නිසා ඉතාමත් ම පැහැදිලියි මෙය ආගමික සංකේත භාවිතයක් හෝ ආගමික බාහිර ස්වරූපයක් සහිත කල්ලි කණ්ඩායම්වලට අයත් වැඩක් නෙමෙයි. බුදු දහමේ ඉදිරිපත් කරන මේ සෑම කරුණක්ම සාමාන්‍ය දැනීම හා මුසු වූ ජන සමාජය තුළ බුද්ධිමය ආකාරයෙන් දැකිය හැකි සහ ක්‍රියාත්මක විය හැකි සම්‍යයක් දර්ශනයක් මිස වෙන යමක් නොවන බවයි. අප ඉතාමත් පැහැදිලිව දන්නවා. සීල, සමාධි, ප්‍රඥා යන මාර්ග ත්‍රිත්වයෙන් තිබෙන වැදගත්කම අප තේරුම් ගන්නේ විශ්වාසය මත හෝ ආගමික පදනමක් මුල්කරගෙන නොවෙයි.
බලන්න පංචසීලය. පංචසීල ප්‍රතිපත්තියේ තියෙන ප්‍රායෝගිකත්වය අප දකින්නෙ විශ්වාසයෙන් නොවෙයි. අපට අවබෝධයක් පවතිනවා පංච සීලයෙන් සිදුවන යහපත. පළමු සිඛ පදයෙන් පවසන්නේ හිංසනය හොඳ නැහැ. හිංසනය හොඳ යැයි පැවසීමට කිසිම කෙනෙකුට බැහැ. කුමක් හෙයින්ද? හිංසනයට භාජනය වීම නිසා මිනිස් ඉතිහාසයේ, මිනිසා වින්ද දුක් කරදර විපත් මේ සියල්ල ගැනම මනුෂයෝ තුළ අවබෝධයක්, මතකයක් තියෙන නිසා. සාමකාමී සමාජ පරිසරයකට හිංසාව බාධාවක්. මෙම සත්‍ය පිළිගැනීමට ආගමික න්‍යායක් අවශ්‍ය වන්නේ නැහැ. එය ලෝකයේ සෑම කෙනෙක් විසින් ම අත් දකින ඇත්තක්.
සොරකම, දූෂණය, වංචාව හොඳ නැහැ. ඒකත් අප අත්දැකීමෙන් දන්නවා. මිනිස් සමාජය කෙලෙසන අවගුණ කියා. අදින්නාදානා, මුසාවාද ආදී කරුණු විශ්වාසය මත පදනම්ව නොව ආගමික කාරණාවක් වශයෙන් නොවෙයි අප සමාදන් විය යුත්තේ. අනුගමනය කළ යුත්තේ. ඒ එක්කම පවුල් ජීවිතය, ලිංගිකත්වය කියන දේත් බැහැර වෙන්නෙ නැහැ. අවශ්‍යයයි, ඒ තුළ යම් සීමාවක් පැවතිය යුතුයි. මනුෂ්‍යයාගේ යහපත් පැවැත්ම, ශාරීරික යහපත, සෞඛ්‍යමය යහපත, සමාජමය පැවැත්ම මේ සියල්ල එකතු වූ කල තුන්වන සිඛ පදය අවශ්‍යයයි. මේ සිඛ පදය පිළිබඳව අප තුළ පවතින්නේ ආගමික විශ්වාසයක් නොවෙයි. මෙය සමාජය පිළිබඳව දැක්මක්, ඇත්ත පැහැදිලි කිරීමක් බව අප අවබෝධයෙන් දන්නවා. එම නිසා මෙම සිඛ පදය රැකීම අත්‍යවශ්‍යයි.
අප ගත කරනු ලබන ජීවිතයේ සෑම තත්ත්පරයක් ම සිහියෙන්, කල්පනාවෙන් ගත කළ යුතුයි. එසේ නොවන මොහොතේ දී, අපගේ අඟපසග දුර්වල වූ මොහොතේ, සිත විකෘති වූ මොහොතේ දී අපට සිදු වන්නේ අයහපතක්. දැඩි වූ අවධානය යම් තැනක නැතිවෙනවා ද එය වරදක්. ඒ නිසයි සුරාපානය එපා යැයි කියන්නෙ. “ඒස ධම්මෝ සනන්ථනෝ” ලෝකයේ සෑම තැනකටම පොදුවේ භාවිත කළ හැකි, භාවිත විය යුතු, ඒ භාවිතය තුළින් යහපත් ප්‍රතිඵල දැකිය හැකි මිනිස් අවබෝධයට නතුවන කාරණා පහකි, පංචසීලය.
මේ ආකාරයෙන් විග්‍රහ කරන විට අපට පෙනී යන්නේ, බුදුරජාණන් වහන්සේගේ දේශනාව විශ්වාසය මත පදනම් වූවක් නොව. අවබෝධය මත පදනම් වූවක් බවයි. තථාගතයාණන් වහන්සේ කිසි මොහොතක තමන්ගේ ශ්‍රාවකයාට විශ්වාසය ඇති කරගන්නට යැයි ආරාධනා කළේ නැහැ. ධර්මය පිළිබඳ අපගේ අවබෝධය වැඩි දියුණු කර ගැනීම, ඒ මත කටයුතු කිරීමට අධිෂ්ඨාන කර ගැනීම ලෝක සත්ත්ව සමාජයට, පාරිසරික සමාජයට, විශ්වගත සමාජයට කරන මෙහෙවරක්.

වියපත් වන දිවිමඟේ අභියෝගයට වෘද්ධතාව කළමනාකරණය පිළියමක්‌ ද ?


කැකනදුරේ ධම්මසිරි හිමි

(Chaplain) (Spiritual Care Provider)
වියට්‌නාම බෞද්ධ විහාරය,
ස්‌පෝකෑන් නගරය, වොෂින්ටන් ප්‍රාන්තය,ඇමෙරිකාව
kekanadura@yahoo.com,
domettatome@gmail.com


කතමා චා වුසො ජරායා ?
තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සන්තනිකායේ ජරා ජීරණතා, ඛණ්‌ඩිච්චං, පලිත්තචතා, ආයුනො සංහානි,
ඉන්ද්‍රියානං පරිපාකො අයං වුච්චතාවුසො ජරා'
සච්චවිභංග සුත්ත - 514 මනි

මහණෙනි, 'ජරාව යනු කුමක්‌ ද?

ඒ ඒ සත්වයන්ගේ ශරීර තුළ ඇති වන්නා වූ පරිණාමය, දත් දිරායාම, හිසකෙස්‌ (කළු) සුදු පැහැ ගැනීම, හම දුර්වර්ණය වීම, ජීවිතයේ අවසානය කරා ළඟාවීම සහ මානසික ශක්‌තිය මුහුකුරායැම (ඇතුළු) සියලුම දේ (ක්‍රියාදාමයෝ) මහණෙනි, ජීවිත පරිණාමය හෙවත් වැහැරීම ලෙස දැනගත යුතු වේ. බුදු දහමේ මිනිස්‌ ජීවිතය හා බැඳී ප්‍රපංචයන් 'දුක්‌ඛ' යන වචනය තුළින් විවරණය කරන්නේ එය යථාවබෝධයෙන් දැනගැනීමට හා ඒ තුළින් ජනිත වන අවස්‌ථාවන් නිවැරැදිව කළමනාකරණය කොට ගෙන මුහුණදීමට පුද්ගලයන්ව පුරුදු පුහුණු කරලීමට ය. 'ජාති' යන්නෙන් දිවියේ ආරම්භය ද, 'මරණය' යන්නේ භෞතික කයෙහි නිමාව ද, උපත සහ විපත අතර පවතින ක්‍රියා සන්තතිය 'ජරා' යන්නෙන් හැඳින්වේ. 'ජරා' යන වචනය තුළ විපරිණාමය තේරුම ද අන්තර්ගත වේ. විටින් විට ඇතිවන වෙනස්‌වීම්, බලාපොරොත්තු සුන්වීම්, ප්‍රිය වස්‌තූන්ගෙන් සමුගැනීම, අප්‍රිය අවස්‌ථාවන්ට මුහුණදීම හා කායික මෙන්ම මානසික රෝගාබාධයන්ට ලක්‌වීම ආදී අනේකවිධ වූ කැමැති මෙන්ම අකැමැති දේ මෙම විපරිණාමය යන්නේ හඳුනාගත හැකි වේ. දුක්‌ඛ සංකල්පයේ පදගතාර්ථයට පරිබාහිරව එහි දාර්ශනික තේරුම වන්නේ දුක්‌ඛාන්තයෙන් ආරම්භ වන දිවි ගමන සුඛාන්තයකින් නිමා කරන්නට මඟ හෙළි පෙහෙලි කර ගැනීමට මඟ පෙන්නා දීමය.
බටහිර වෘද්ධතාව පිළිබඳ මනෝ විද්‍යාඥයන් විවිධ ක්‍රමෝපායන් පෙන්වා දෙමින් ජීවිතයේ සැඳෑසමය සතුටින් ගතකරන්නට ජනතාව දැනුවත් කරන අයුරු දැකගත හැකි වන අතර ඒ සඳහා විවිධ ක්‍රමෝපායන් දිනෙන් දින හඳුන්වා දේ. බුදුදහම තම අනුගාමිකයන්ට පෙන්වා දෙන්නේ ස්‌වශක්‌තිය මත පදනම් වූ අවබෝධය ළඟාකර ගැනීමේ අවශ්‍යතාවයි. එසේ ළඟා කරගන්නා අවබෝධය පදනම් කරගෙන ජීවිතයේ ස්‌වර්ණමය යුගය කළමනාකරණය කර ගැනීමේ වැඩපිළිවෙළකට ප්‍රවේශවීමේ අත්‍යවශ්‍යතාව බෞද්ධ දර්ශනය තුළින් ඉස්‌මතු කරයි.

ජීවිත විපරිණාමය හා කළමනාකරණ අවධීන්

බුදුදහම ජීවිත පරිණාමය ගැන කරුණු සඳහන් කරන අවස්‌ථා බහුල වේ. මහලු වියේදී ස්‌වභාවිකව උද්ගත වන්නා වූ කායික සහ මානසික ගැටලු නිරාකරණයෙහි ලා යොමු විය යුතු අංශ පුළුල් සංවේදීව පැහැදිලි කරන අවස්‌ථාවක්‌ ඉහත සඳහන් කළ 'සච්ච විභංග' සූත්‍ර දේශනාවේ කොටසින් දැකගත හැකි වේ. මීට පරිබාහිරව විශුද්ධි මග්ගයෙහි සඳහන් කෙරෙන අවස්‌ථාවන් පහ (05) ද එක්‌කරගෙන සැසඳීමකින් මනා චිත්‍රයක්‌ ගොඩනඟාගත හැකිය. මහලු වියට අදාළව කායික වෙනස්‌වීම් පහත පරිදි විග්‍රහ කරගත හැකිවේ.

* පළමු අවධිය
'හායන' නමින් හඳුන්වන අතර ඒ අවධියේ දී වයස අවුරුදු පනහ (50) ඉක්‌මවන විට ඇතිවන මූලික ලක්‌ෂණ පෙන්වා දේ. මෙය මධ්‍යම වියේ ඇතිවිය හැකි අර්බුදය ලෙස මනෝ විද්‍යාඥයෝ අදහස්‌ කරති. (Middleage Crises)

* දෙවැනි අවධිය
'පබ්බහාර' අවධිය වයස අවුරුදු 60 - 70 අතර ද

* තෙවැනි අවධිය
'පවංක' අවධිය වයස 70 - 80 අතර ද

* සිවුවන අවධිය
'මූමෝහ' අවධිය සිහි නුවණ අවුල්වන අවස්‌ථාව ද සහ 

* පස්‌වන අවධිය
'සයන' අවධිය ජීවිතයේ නිමාව ද ලෙස විග්‍රහයට ලක්‌කෙරේ.
'හායන' අවධිය ගැන සඳහන් වන ලක්‌ෂණ කිහිපයක්‌ විශුද්ධි මග්ගයෙහි පෙන්වා දී ඇත්තේ මෙසේ ය,

දත් දිරායැම (බණ්‌ඩිච්චං), කළු කෙස්‌ සුදු පැහැ ගැනීම (පාලිච්චං), සම රැලි වැටීම (වලිච්චතතා), කේස කලාපය සුදු පැහැ ගැන් වී හණ නූල් බවට පත්වීම (සානවාහක සදිසා), යොවුන් වියේ පැවැති ප්‍රසාද ජනක කෙස්‌ කළඹ දැන් පවතින්නේ හාවකුගේ හෝ එළුවකුගේ රෝමවලින් පිටවන දුගඳ (සලෝ හමගන්ධිකා), තැනින් තැන පැටලුණු කෙස්‌ (තං ජරායං විරලං නහිං තහිං), කායික වැහැරීම නිසා දෙබැම දැන් එල්ලෙන රැලි (වලීහ පලමධිකා) ලෙසට ද, නීල වර්ණය වූ දෙඇස්‌ දිරායැම නිසා (ජරායභිහතා) ද, විඩා බවින් යුතුවීම ද, නාසය හැකිලීම ද, (අප්පකුලීතතාවය) ද, පෙර දා පැහැබර වූ මුව දත් කැඩුණු හා කහ පැහැ ගැන්වුණු දත්වලින් යුතුවීම ද, (ඛණ්‌ඩිතා/පීතතා), දත් බිඳීම නිසා කන්න අපහසුව/පැටලෙන කතන වචනවලින් යුතු වේ (ඛලිතා තහිං තහිං), මස්‌ දියවී යැම නිසා ම නහරවල් හැකිලුනු ස්‌වරූපයක්‌ ද (භග්ගවිනාමිතා), ශරීරයේ සියුම් රැලි හටගෙන ඇති නිසා සම රැලි සහිත දැලක්‌ සේ ද යනුවෙන් භෞතික කයෙහි ඇතිවන විපරිණාමය විචිත්‍රාකාරයෙන් පාලි ථෙරිගාථා සවිස්‌තරාත්මකව පෙන්නා දෙන රූප කයෙහි ස්‌වභාවයන් සර්වකාලීන ය. සර්ව භෞමික හා කිසි ලෙසකින් අභික්‌කමනය කරවීමට පහසු නොවන විශ්ව සනාතනික ධර්මතාවයකි.
වියපත් සමයේ තවත් පිටුවක්‌ 60 - 70 යුගයට සම්බන්ධ වන අවධිය 'පබ්බහාර' යනුවෙන් හැඳින්වේ. මෙහි දී මෙතෙක්‌ කල් Rජුව පවත්වාගෙන ගිය භෞතික කය ඉදිරියට නැමීමට පටන් ගනී. (පුරතො පබ්බාරෙවමකායො) එසේම සමෙහි වර්ණවත් භාවය ද ක්‍රමයෙන් ගිලිsහී යනු ලැබේ. (සෙච්තතාව පරිසුද්දො හෝති පටිවණ්‌ණො) මෙසේ ශරීර ස්‌වභාවය වඩාත් පහසුවෙන් වෙනසක්‌ දැකිය හැකි අවධිය 'පවචක' අවුරුදු 70 - 80 අවස්‌ථාව වේ. මෙම වයස්‌ ඛාණ්‌ඩයේ දී සැරයටියක ආධාරය අවශ්‍ය වේ. ඉතා වේදනාබර මෙන් ම විවිධ රෝගාබාධයන්ට ගොදුරුව ගිලන්වීම මෙන්ම ශරීරය රෝග වාසස්‌ථානයක්‌ වීම නොවැළැක්‌විය හැකි තත්ත්වයකි. සමස්‌ථ කයෙහි අඩපණ වීම ක්‍රමයෙන් ආරම්භ වන, මානසික ශක්‌තිය අභියෝගයට ලක්‌ කරන සිහිය ප්‍රමාණවත්ව රඳවාගත නොහැකිව කවරකුගේ හෝ ආධාරයෙන් ජීවත් වීමට සිදුවන අවධිය මෝමූහ නමින් හැඳින්වේ. ඇතැමුන් මෙම වයස්‌වලදී තමාගේ මළ මූලයෙහි ඇලී ගැලී (සකෙමුත්ත තරිසෙ පිලි පන්නං සෙමානං) අබල දුබල වී තවකෙකුගේ ආධාරයෙන් නැඟී සිටීමට සිදුවේ. (අඤ්ඤෙහි මුට්‌ඨා පියමනා). මෙසේ පවත්වාගෙන යන මිනිස්‌ කය එහි අවසාන අදියරට ළඟාවීම 'සයන' අවධිය වේ. (ආයුනො සංහානි)
පාලි සාහිත්‍යයෙහි මෙසේ විස්‌තර වන පස්‌වැදෑරුම් අවධීන් පෙන්වා දීමෙන් අපේක්‌ෂා කළේ ජීවිතය සහ ඒ සම්බන්ධ පවත්නා වූ විපරිණාමය ගැන යථාවබෝධයක්‌ ජනතාව තුළ ඇතිකොට කායික වැහැරීම (Biological Aging) වලට මුහුණදීමට වියපත් වන සමාජය සූදානම් කිරීම පිණිස පමණක්‌ වන අතර ස්‌වභාවිකව ඇති වන්නාවූ යථා ස්‌වරූපයට මුහුණදීමට නොහැකිව සෝකවීම (සොචති) ක්‌ලාන්තවීම (කිලමති) දැඩි වේදනාවට පත්වීම (පිදෙවති) ලයෙහි අත් ගසා ගනිමින් හැඩීම (උතතා ළිං කන්දති) සිහිමුලාවට පත්වීම (සම්මොහං අපච්චති) වැනි යථාරූපී නොවන දේ සඳහා අපව පත්වීම වළකා, අවිධිබවකින් වැඩිහිටිභාවයට ලංවීමට කායික මෙන්ම මානසිකව ද සූදානම් කරලීම සඳහා ය. එසේම එම වයස්‌වලට අනුරූප වන පරිදි තම තමන්ගේ චර්යා රටාවන් ද පවත්වාගත යුතු බව පරාභව සූත්‍රය වැනි සමාජගත දේශනාවලින් යුතු සූත්‍රවලින් අවධාරණය කරයි. සද්චර්යාවලින් යුතුව තම දිවියේ සැඳෑසමය කළමනාකරණය කරගෙන අසත් චර්යාවන්ගෙන් වනිර්මුක්‌තව 'සයන' සමයේදී දිවි මඟින් සැලසුම් සුසුමක්‌ හෙලා සමුගෙන යන්නට සවිමත් වයස්‌ගත ජන සමාජයක්‌ ප්‍රතිනිර්මාණය කරලීම බුදු දහමේ අභිලාසය වන අතර මහලු වියේදී භෞතික කයෙහි පරිණාමයට සාපේක්‌ෂව ඇතිවන සිරුරේ දිරාපත්වීම වළකා, ජීවිතයේ සෑම වයස්‌ ඛාණ්‌ඩයකදීම එක සමානව ජීවත්විය හැකිය යන වැරැදි දර්ශනයක්‌ මිනිසුන් අතර ඇති කරලීම නොවේ. බුදු දහම හෙළිකරන කායික හා මානසික තත්ත්ව විග්‍රහයෙන් අදහස්‌ කරන්නේ යම් කෙනකු මියයන තුරු ආතුර වූ මිනිස්‌ කය තුළ අනාතුර වූත් ශක්‌තිමත් වූත් මානසික තත්ත්ව සහිතව ජීවත් කරලීමටය.

අපරදිග දැක්‌ම සහ වෘද්ධි චිකිත්සාවග

2600 ඉපැරැණි ඉතිහාසයකට උරුමකම් කියාපාන බෞද්ධ දර්ශනය උපතේ සිට ඇරඹෙන විපරිණාමය සහිත ජීවන ගමනේ සැඳෑසමය ගැන පුළුල් පරාසයක තුලනාත්මක සංවර්ධනයක්‌ ගැන කතා කරද්දී, නවීන විද්‍යාව ක්‌ෂේත්‍ර කීපයක්‌ ඔස්‌සේ සිය විග්‍රහයන් ඉදිරිපත් කරයි. විශේෂයෙන් නූතන මනෝ විද්‍යාවට අයත් එක්‌ ශාඛාවක්‌ හඳුන්වාදී ඇත්තේ 'වෘද්ධ මනෝ විද්‍යාව' ලෙසටයි. මහලු වියට ආවේණික රෝගී තත්ත්වයන් ගැන අධ්‍යයනය කරන අංශය වෘද්ධ චිකිත්සාව (Geriatrict) යනුවෙන්ද, එම ජන කාණ්‌ඩයේ මානසික රෝගාබාධ පිළිබඳ විෂය පථය වෘද්ධි මනෝ චිකිත්සාවයි. (Psycho Geriatrict, Geropsychiatry or Psychogeriactric, Psychietry of old age) දියුණු රටවල රෝහල් තුළ ද වෘද්ධ ශල්‍යාගාර පවත්වාගෙන යන අතර රෝගී පිරිස්‌ සඳහා විශේෂ අවධානයක්‌ යොදා සුවපත් කරලීමට උත්සාහ ගනියි. භෞතික ජීවිතය කෙසේ සුවපත් කරන්නට හැකි වුවත්, එහි ලෞකික සහ පාර ලෞකික උභයාර්ථ සාධනයට සම්බන්ධ වැඩ පිළිවෙළක්‌ හෝ ඒ හා සම්බන්ධ අවධානයක්‌ නූතන විද්‍යාවෙන් ලබාගත හැකි නොවේ. මෙම හිඩැස මනාව ආවරණය සඳහා බුදුදහම පෙන්වා දෙන ගමන් මඟ යථාවබෝධයෙන් කළමනාකරණය කර ගැනීම වැදගත් වන්නේ විද්‍යාවෙන් ඒ සඳහා ආලෝකයක්‌ නොලැබෙන නිසාවෙනි. වෘද්ධ කළමනාකරණයෙන් ලැබෙන ප්‍රයෝජන වියපත් වන අවධියට මුහුණ දෙන ගැහැනු පිරිමි දෙපිරිසම මානසිකව උදාසීන බවක්‌, උකටලී බවක්‌ මෙන්ම ජීවිතය පිළිබඳව යම් ආකාරයක අප්‍රසන්නතාවක්‌ දැක්‌වීම පැහැදිලිව දක්‌නට ලැබේ. විශේෂයෙන් මානසිකව ඇදවැටීම ගැන එතරම් උනන්දුවක්‌ නොදැක්‌වීම නිසා ඉතා භයානක තත්ත්වයන්ට පත්වීම බෙහෙවින් වැඩිහිටි ජන සමූහය තුළ සුලබ වේ. සක්‍රීය ජීවිතයක්‌ ගතකිරීමට උත්සාහ ගන්නේ නම් වයසට ගියත් කායික සහ මානසිකව වඩා සාර්ථකව ජීවත් විය හැකි බව වෘද්ධ මානසික විද්‍යාඥයන් සහේතුකව කරුණු අවධාරණය කරත්. 

වත්මන් විද්‍යාත්මක පර්යේෂණ සහ වෘද්ධත්ව කළමනාකරණය 

ස්‌වාභාවික වයස්‌ගත වීම අවම කර ගැනීම සඳහා වත්මන් විද්‍යාඥයෝ පර්යේෂණ රාශියක නියෑලී සිටිත්. විශේෂයෙන් පර්යේෂකයන් මුහුණදුන් ගැටලු කිහිපයක්‌ නිරාකරණය කර ගැනීම අරමුණුයි 'වයස්‌ගත වීම අවම කිරීමට අමතරව අභ්‍යාවකාශගත ගගනගාමීන්ගේ ශරීරයෙහි සෛල දිරාපත්වීම අවම කරලීම සහ දීර්ඝ ගුවන් ගමන්වල දී මගීන්ට ඇතිවන විකිරණ බලපෑම්වලින් මුදා ගැනීමයි.
ස්‌වාභාවිකවම අපගේ සෛලවල සූර්ය කිරණ නිසාත් විවිධ හේතු නිසාත් හානිවන D.N.A. අණු නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට පත්කරගත හැකි වුවත් වයස්‌ගත වීමත් සමඟ එම හැකියාව නැති වී යාම ස්‌වාභාවිකයි. D.N.A. ප්‍රකෘතිමත් කිරීම සහ සෛලගතවීම තුළ තිබෙන සංඥා ක්‍රියාවලියක්‌ අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඖෂධය සංවර්ධනය කිරීමට පර්යේෂණ කණ්‌ඩායම සමත් වී ඇත. නව අත්හදා බැලීමට ලක්‌ වූ ඖෂධය වයස්‌ගතවීම නිසා හෝ විකිරණවලට නිරාවරණය වීම නිසා හෝ හානි වුණු D.N.A. අණුව Rජුවම ප්‍රකෘතිමත් කිරීමට මෙම ඖෂධය සමත් වීම විශේෂත්වයයි.
ඇමෙරිකාවේ ටෙක්‌සාස්‌ ප්‍රාන්තයේ නාසා ආයතනය 2016 දෙසැම්බර් මස සංවිධානය කරන ලද 'නාසා අයිමෙක්‌' තරඟාවලියේදී පර්යේෂණ ආයතන 300 ක්‌ අභිභවා නව පර්යේෂණ අංශයේ ප්‍රධානියා වූ මහාචාර්ය 'සින්ක්‌ ක්‌ලෙයාර්' සහ ඔහුගේ සහාය පර්යේෂක වූ ආචාර්ය 'ලින්ස්‌ ලේ වූ' එම විද්‍යාත්මක ගැටලුවට පිළියම් සොයා ගැනීම වෙනුවෙන් පිළිගැනීමට ලක්‌විය. තමන්ගේ මෙම පර්යේෂණය මීයන් යොදා ගෙන කරමින් සාර්ථක වීම නිසා ඉදිරි මාස හයක කාලය තුළ මිනිසුන් පදනම් කරගෙන ආරම්භ කිරීමට අදහස්‌ කරන පර්යේෂණ කණ්‌ඩායම වයස 03 ක්‌ ඇතුළත සාර්ථක ප්‍රතිකාර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට අදහස්‌ කෙරේ.
ළමා වියේදී පිළිකාවලින් සුවපත් වන අපගෙන් 96% ක්‌ පමණ පිරිමි වයස අවුරුදු 45 පමණ වන විට දී බෝ නොවන රෝගයන්ට ලක්‌වී පීඩා විඳින අතර හෘදයාබාධ, දියවැඩියාව, ඇල්සයිම සහ දැඩි පිළිකාවන්ට ගොදුරු වීමේ ප්‍රවණතාව පවතී. මේ නිසාම එම පිරිස්‌ වයස්‌ගත වීමේ වේගය ද වැඩි වේ. ඒ පිරිස්‌ වෙනුවෙන් නව ඖෂධය යොදාගෙන යමක්‌ කරලීමට හැකි වේ යෑයි ආචාර්ය 'ලින්ක්‌ස්‌ වූ' අදහස්‌ කරයි.
දැනටමත් වෙළෙඳපොළේ වයස්‌ගත වීමේ පෙනුම අඩුකරලීමට විවිධ ප්‍රතිකාර පවතින අතර ඒවායේ සාර්ථකත්වය ගැන ලෝක මට්‌ටමේ පිළිගැනීමක්‌ නොමැති අතර ලැබෙන සමහර තොරතුරු එතරම් සුබදායක ද නොවේ. යම් විදියකින් විද්‍යාත්මක සමාජයේ අපේක්‌ෂිත ඉලක්‌කයන් සාර්ථක වීම බුදුදහමට අභියෝගයක්‌ වේ ද යන්න විමසා බැලීමේදී එය කිසිදු අභියෝගයක්‌ නොවන බව පෙන්නුම් කරයි. විශේෂයෙන් ඖෂධ භාවිතයෙන් ඇතිවන ප්‍රතිඵල යහපත් විය හැකි නමුත් සමහර අතුරු ආබාධයන් ගැන අවධානයෙන් සිටිය යුතුය. බුදු දහම පෙන්නා දෙන්නේ ස්‌වාභාවිකත්වය සමඟ ඒකාබද්ධව යන ගමන් මාර්ගයක්‌ වන අතර ඒ තුළින් මානසික ස්‌ථායිතාව, නිරෝගිතාව සහ කායික තත්ත්වය කිසියම් විදියේ පාලිත තත්වයකින් සුරක්‌ෂිත කොට, කායික හා මානසික යහපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ අවබෝධයෙන් මනාව කළමනාකරණයෙන් පවත්වාගෙන යන්නටත් ස්‌වභාවිකව ලැබෙන මරණ අවස්‌ථාව ගැන පෙර සුබවාදී සූදානමකින් තම තමන්ගේ ජීවන ගමන ගතකර ගැනීමයි. ඒ තුළින් අතිරේක යහපත් ප්‍රතිලාභ තමන්ටත්, තමන්ගේ පවුලේ සාමාජිකයන්ටත් ලබාගත හැකි වන ආධ්‍යාත්මික සංවර්ධන ක්‍රියාමාර්ගයක්‌ බුදුදහම අවධාරණය කරයි.

වැඩිහිටි වියේ දී ගිලිහී යන මානසික ස්‌ථාවරත්වය රැකගැනීමට වයෝවෘද්ධ කළමනාකරණය පිටුබලයකි.

ගිලිහී යන කායික ශක්‌තිය යම් ප්‍රමාණයකට හෝ සමබරව පවත්වාගෙන යැම පිණිස අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග අතර අලස බවින් මිදීම ඉතා වැදගත් වේ. විශ්‍රාමික ජීවිතයට ළඟා වන හෝ විශ්‍රාම ගැනීමෙන් පසුව තමා ඉතා නොවටිනා කෙනකු ලෙස තමාම පිළිගනිමින්, ක්‍රියාශීලී ජීවිතයට ආයුබෝවන් කියමින් කාලය ගෙවීමට වඩා සැලසුම් කර කායික ව්‍යායාමයන්හි යෙදීම තුළින් වයස 55 - 75 අතර වයස්‌ කාණ්‌ඩවල අයගේ මානසික හැකියාව සාපේක්‌ෂකව ව්‍යායාමයන්හි නොයෙදෙන අයට වඩා 15% ඉහළ අගයක්‌ ගන්නා බව මනෝ විද්‍යාඥයන්ගේ සොයාගැනීමයි. ආගමික ජීවිතයක්‌ ගැන විශ්වාසය ඇති අය තමන්ගේ භාවනාමය ක්‍රියාකාරකම්වලට අදාළ ඇවිදීම්, පිරිසිදු කිරීම්වල යෙදීමෙන් කායික මෙන්ම මානසික නිරෝගිතාව ළඟාකර ගැනීම අපහසු නොවේ. බටහිර රටවල විශ්‍රාමික පිරිස්‌ ස්‌වෙච්ඡා කටයුතුවල යෙදීම සාමාන්‍ය දෙයකි. ඒ සඳහා තම ආගමික ස්‌ථාන ආශ්‍රිතව සිදුකරන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම හෝ පොදු ස්‌ථානයන්හි කටයුතුවලට තම ශ්‍රමය ලබා දේ. මානසික සහ කායික ශක්‌තිය ආරක්‌ෂා කර ගැනීමේ අවශ්‍යතාව අවබෝධ කර ගෙන ඒ සඳහා ක්‍රියාකරමින්, තම අවසන් හුස්‌ම පොද ගිලිහී යනතුරු කුමන හෝ ඵලදායී ක්‍රියාවක නිරත වීම වැදගත්ය. විශේෂයෙන් මානසික උත්තේජනය ලබාගැනීමට සහ මානසික ආතතීන්ගෙන් තොර ජීවිතයකට පුරුදු පුහුණු විය යුතුය. මානසික උත්තේජන ක්‍රමෝපායයන් රාශියක්‌ ගැන මනෝ විද්‍යාඥයන් සහ මනෝ චිකිත්සකයන් ගෙනහැර දක්‌වති. එම ක්‍රමෝපායන් යොදා ගැනීමේදී පුද්ගල විවිධත්වය සහ අධ්‍යාපනික පසුබිම ද අවධානයට ගැනීම වැදගත් ය. උදා( 'සු + සුඩු කො' වැනි ප්‍රහේලිකා ශාස්‌ත්‍රීය පසුබිමක්‌ සහිත පිරිස්‌වලට ද වන්දනා චාරිකා සැදැහැවත් සාමාන්‍ය පිරිසට යෝග්‍ය විය හැකිය. කියවීමට උනන්දුව සහ ආශාව ඇති පිරිස්‌වල පොත්පත්, සඟරා, පුවත්පත් ප්‍රයෝජනවත් විය හැකිය.
වියපත් වන විට අප සමඟ සිටි බොහෝ දෙනෙක්‌ අපගෙන් ඈත්වීම ස්‌වභාවික සංසිද්ධියක්‌ ලෙස සිතන්නට සුදුසු මානසික තත්ත්වයක්‌ ළඟා කර ගෙන තිබීම නිසා මානසික පීඩාව, බලාපොරොත්තු රහිත වීම, තනිකම මඟ හැරලීමට සුදුසු සමාජ වටපිටාවක්‌ ගොඩනඟා ගැනීම කෙරෙහි අවධානය යෙදිය යුතුය. ඒ සඳහා පරිසරය නිර්මාණය කර ගැනීමට තම ප්‍රදේශයේ ආරාම පදනම් කර ගෙන සතිපතා, මාස්‌පතා සහ විශේෂිත දිනවල දී හමුවීම, ඵලදායී සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ ධර්ම කවයන් සංවිධානය කර ගෙන ජීවිතයේ සැඳෑ සමය කළමනාකරණය ගැනීම අර්ථවත් වේ. නේවාසික භාවනා, වැඩමුළු සහ වාර්ෂික සංචාරයන්ට වැඩිහිටි පිරිස්‌ උනන්දු කරලීමේ සංවිධාන ජාලයක්‌ නිර්මාණය කළ යුතුවේ. ඇමෙරිකාවේ වැඩිහිටි පිරිස්‌වලට නව ලොව දැනුම ලබාගැනීමට වැඩිහිටි අධ්‍යාපන ආයතන ඇති කර ඇති අතර ඒ සඳහා නොමිලේ ඇතුළු වී තාක්‌ෂණික දැනුම ලබා ගත හැකිය. උදා senior center iy extended learning center ආයතන බිහිකර ඇති අතර වැඩිහිටි පිරිස්‌වලට උසස්‌ විභාග සඳහා ද උනන්දු කෙරේ.
නූතනයේ කාර්ය බහුල සමාජ රටාවකට ගොදුරු වී ගෙන යන ශ්‍රී ලාංකීය සමාජය වැඩිහිටි පිරිස්‌ සඳහා විශ්‍රාමික වැටුප හෝ වෙනත් සුළු ප්‍රදානයක්‌ දීම හැර වියපත් අයගේ සමස්‌ථ ගැටලු අවධානයට ගන්නා බවක්‌ නොපෙනේ. 'Little Star ','Super star
','Who wants to be millioner iy ' I am not smarter that 5 th grader' වැනි රූපවාහිනී වැඩසටහනක්‌ සම්පාදකවරුන් මීට වඩා පුළුල් පරාසයක්‌ ගැන තම නිර්මාණ කුසලතාව යෙදිය යුතුය. වැඩිහිටි පිරිස්‌ සම්බන්ධ කරගත හැකි නිර්මාණාත්මක ප්‍රාසාංගික කලාවක්‌ ගැන අතහිත යෙදිය යුතුය. විශේෂයෙන්ම ඈත් වෙමින් යන වැඩිහිටි සහ තරුණ සම්බන්ධතාව අවම කොට (Generational
gap) යෞවනයේ සුන්දරත්වයත් වියපත් දිවියේ ආශ්වාදනීයත්වයත් එක්‌තැන් කොට ගෙන සමබර ජීවිතයක්‌ ගැන තරුණ සහ වැඩිහිටි පිරිස්‌වලට කිසියම් වැඩසටහනක්‌ ඉදිරිපත් කළ යුතුය.
අද වැඩිහිටියා හෝ යෞවනයා කවදාහරි වියපත් අයකු වන බව තේරුම් ගන්නට යොමු කොට අතරමඟ අතහැර දමන වියපත් පිරිස්‌වලට අත්වන අඳුරු තත්ත්වය අවම කරලීම ක්‍රියාශීලී ප්‍රතිපත්ති සම්පාදකවරුන්ගේ වගකීමක්‌ වන අතර ඒකකයේදී තම වැඩිහිටි පිරිස්‌ ඒ ඒ අයගේ හැකියාවන්ට අදාළ වන පරිදි ප්‍රමුඛත්වය දී බාල මහලු දෙපාර්ශ්වය අතර ආදරය, විශ්වාසය, ගෞරවය සහ අෙන්‍යාaන්‍ය බැඳියාව වර්ධනයට බෞද්ධ 'මෛත්‍රී' සංකල්පය ප්‍රායෝගිකව යොදා ගැනීම වැඩි පිරිසකට මානසික සහනයකි. ජීවිතයේ සැඳෑ සමය හැකි පමණ සතුටින් සහ පිවිතුරු මනසකින් යුතු වීම ඉතා වැදගත් වෙයි. වේදනාව, බලාපොරොත්තු සුන්වූ ස්‌වභාවයකින් යුතු වීම, සම්පූර්ණ කළ නොහැකි දේ ගැන වේදනාවෙන් යුතු වීම වැනි සෘණාත්මක ස්‌වභාවයෙන් මිදීමට සුදුසු ක්‍රියාමාර්ග තම ජීවිතයට ළඟාකර ගැනීම වියපත් සමයේ වගකීම වේ. අතීතය ගෙවී අවසන් හෙයින් ද අනාගතය තවමත් ළඟා වී නොමැති හෙයින් ද මේ කාලපරාස දෙක ගැන කුමන හෝ පසුතැවිල්ලක්‌ විය යුතු නොවන බව පාලි සාහිත්‍යයයේ සඳහන් වන්නේ මෙසේය.

'අතීතං නභානු සොචෙය්‍ය නප්පටකචෙ අනාගතං

යදහිතං පහීනංකං අප්පනකූච අනාගතං'

අද වැඩිහිටි සමාජය බෙහෙවින් මුහුණ දෙන ප්‍රබලතම අභියෝගය වන්නේ හුදකලා බවයි. (loneliness) මේ නිසාම එම පිරිස්‌ හෘදයාබාධයන්ට අකාලයේ ගොදුරුව ජීවිතයෙන් සමුගනී. මෙවන් අවස්‌ථාවන් ජය ගැනීමට හෝ අවම කර ගැනීමට බුදු දහම අවධාරණය කරන භාවනා ක්‍රම යොදාගත හැකි අතරම ඒ තුළින් 'කල්‍යාණ මිත්‍රයන්' කිහිප දෙනෙක්‌ තම ජීවිතයට එකතුකර ගැනීම අධ්‍යාත්මික දියුණුවට මෙන්ම එදිනෙදා දිවි පැවැත්මට ද ඵලදායී වේ. පරමාදර්ශී වියපත් ජීවිතයක්‌ ගැන සංයුක්‌ත නිකායේ 'නකුල පිතු' සූත්‍රයේදී කරුණු අවධාරණය කළ යුත්තේ මෙසේය.

'එවං සිකතබ්බං අතුරකායස්‌ස මෙ සතො චිත්තං අනාතුරං භවිස්‌සතීති,

එවං හිතෙ ගහපති සිඛ තබ්බනානී'

මෙම සඳහනේ දාර්ශනික අගය උභය ජීවිතය සාර්ථකව පවත්වා ගැනීම කෙරෙහි යොමු කරලීමයි. මනසේ ප්‍රධානත්වය ප්‍රමුඛත්වයෙහි ලා කරුණු දක්‌වන බුදු දහම හැම විට දීම මානසික සෞඛ්‍ය ඇති කර ගැනීමට තම අනුගාමික පිරිස්‌ උනන්දු කළ අතර වයස්‌ගත හැම කෙනකුම තමන්ට හැකි පමණින් මානසික ව්‍යායාම්වල යෙදීමෙන් 'චිත්තං අනාතුරං භවිස්‌සති' යනුවෙන් කියවෙන පරිදි නිරෝගී වූ වයස්‌ගත මානසික ශක්‌තියක්‌ පවත්වා ගැනීමට වෘද්ධ කළමනාකරණයෙන් කටයුතු කර ගැනීමට වගබලා ගත යුතු වේ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

උපාලි ගෘහපතිගේ බුද්ධ ගුණ ශතකය


රාජකීය පණ්‌ඩිත ගෞරව ශාස්‌ත්‍රවේදී 
වැහිහේනේ පඤ්ඤාලෝක හිමි
පෝද්දිවල, ශ්‍රී සුමනශෛලාරාමාධිපති

උපාලි ගෘහපතිතුමා නිගණ්‌ඨ නාථ පුත්තයන්ගේ ශ්‍රාවකයෙකි. එසේම ප්‍රධාන දායකයා ද විය. හෙතෙමේ දිනක්‌ නාථපුත්තයන්ගේ අනුමැතියෙන් බුදුරජුන් හා කර්මය පිළිබඳ වාදයකට ගියේය. බොහෝ වේලාවක්‌ වාද කළේය. අවසන උපාලි ගෘහපති වාදයෙන් පරාජයට පත්විය. බුදුන් වහන්සේ කෙරෙහි අතිශයින්ම පැහැදීමට පත්වූ උපාලි ගෘහපතිතුමා බුද්ධ - ධම්ම - සංඝ යන තෙරුවන් සරණ ගිය උපාසකයකු බවට පත්විය.

අනතුරුව බුදුන් වහන්සේ උපාලි ගෘහපතියාට දාන කතා, සීලකතාදී අනුපිළිවෙල කතාව වදාරා චතුරාර්ය සත්‍යය පිළිබඳ ධර්මය දේශනා කළහ. උපාලි ගෘහපති එම දේශනාව අසා සෝවාන් ඵලයට පත්විය. ඉන්පසු බුදුන් වැඳ අවසර ගෙන සිය නිවෙසට ගිය උපාලි ගෘහපති දොරටුපාලයා අමතා "අද පටන් මාගේ නිවෙසට නිගණ්‌ඨයන්ට ඇතුළුවීමට අවසර නොදෙව. යමක්‌ අවශ්‍ය වී නම් , පිටත සිට දෙව. අද පටන් මාගේ නිවස බුදුරජාණන් වහන්සේටත්, භික්‌ෂු, භික්‌ෂුනී, උපාසක උපාසිකා යන සිව්වනක්‌ පිරිසට පමණක්‌ දන්දෙනු ඇත. මා තුණුරුවන් සරණගිය බව මෙහි එන නිගණ්‌ඨයන්ට දන්වන්න යෑයිද නියම කළේය.

උපාලි ගෘහපති බුදුන් වහන්සේගේ ශ්‍රාවකයකයකු වූ බව දැනගත් දීඝතපස්‌සී නිගණ්‌ඨ නාථපුත්තයන් කරා ගොස්‌ ඒ බව දන්වා සිටියේය. එය විශ්වාස නොකළ නිගණ්‌ඨනාථ පුත්ත තෙමේ තමාම ගොස්‌ විමසා දැන ගන්නෙමැයි කියා උපාලි ගෘහපතිතුමාගේ නිවසට ගියේය.

දොරටුපාලයා එන්නාවූ නිගන්ඨනාථපුත්තයන් ඈත දීම දැක "ස්‌වාමීනි, නැවතිනු මැනවි. අද පටන් උපාලි සිටුතුමා බුදුන් වහන්සේගේ ශ්‍රාවකයකු බවට පැමිණියේය. නිගණ්‌ඨයන්ට මෙහි දොරවල් වසන ලදී. බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පමණක්‌ අද සිට දන්දෙනු ඇත. මෙසේ පැවැසූ දොරටුපාලයා උපාලි ගෘහපතිතුමන් හමුවට ගොස්‌ නිගණ්‌ඨනාථපුත්තයන් පැමිණි බව දන්වා සිටියේය. "කැමැති නම් මැද ශාලාවට පැමිණ අසුන් ගන්නා ලෙස දන්වැයි උපාලි ගෘහපතිතුමා කීය. දොරටුපාලයා ඒ බව නිගණ්‌ඨනාථපුත්තයන්ට දැන්වූ කල්හි හෙතෙම තම පිරිස සමඟ මැද ශාලාවට පැමිණ එහි ප්‍රධාන ආසනයෙහි වාඩිවී සිටි උපාලි ගෘහපති දුටුවේය. එවිට උපාලි ගෘහපති තෙමේ "ස්‌වාමීනි, කැමැති නම් ආසනවල හිඳගන්නැ"යි පැවැසීය.

එවිට නිගන්ඨනාථපුත්ත තෙමේ ගෘහපතිය, ඔබ උමතු වූයෙහිද? නැතිනම් දීනයකුවීද? ශ්‍රමණ භවත් ගෞතමයන් හා වාද කර, ඔහු පරදවන්නෙමි" යි වහසි බස්‌ කියා ගොස්‌ කප්පාදුකර ගත් අණ්‌ඩය ඇත්තකු මෙන්, උදුරාගත් ඇස්‌ ඇත්තකු මෙන් ඔහුගේ වාදයෙන් බැඳී ආයෙහිද? ඔහුගේ ආවර්තනී මායාවට අසුවූයේ නොවේදැයි ඇසීය.

එවිට උපාලි ගෘහපතිතෙම ස්‌වාමීනි. ඒ ආවර්තතී මායාව යහපත්ය. එයින් මටත් මගේ ඥාතීන්ටත්ත් මහත්වූ සෙතක්‌ හා යහපතක්‌ වන්නේය. එපමණක්‌ නොව ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන සියලු දෙනාටත්, දෙව් මිනිසුන් සහිත සකල ප්‍රජාවටත් බොහෝ කාලයක්‌ හිතසුව පිණිසම පවත්නේය.

ස්‌වාමීනි, අතීතයෙහි වූ සිද්ධියක්‌ ඔබ සිහිපත්කර දෙනු කැමැත්තෙමි. "එක්‌ මහළු බමුණකුට තරුණ බිරිඳක්‌ සිටියාය. ඇය ගැබිණි වූ කල්හි දිනක්‌ මහළු බමුණාට මෙසේ කීවාය. බමුණා අලුත උපදින දරුවාට සෙල්ලම් කිරීම පිණිස කඩ පිලෙන් වඳුරු පැටවකු ගෙනැත් දෙවයි කීවාය. එවිට බමුණා තරුණ බිරිඳට මෙසේ කීවේය. "දරුවා උපන් කළ පිරිමියකු වී නම් පිරිමි වඳුරෙක්‌ද, ගැහැණු දරුවකු වී නම් වැඳිරියක්‌ද ගෙනෙමි. වදනතුරු ඉවසන්න යෑයි කීය. එහෙත් බැමිණිය දෙවැනි තුන්වැනි වරද ඇවිටිලි කළ කල්හි බමුණා කඩ පිලෙන් වඳුරු පැටියකු ගෙනත් දුන්නේය. එවිට බැමිණිය "මේ වඳුරු පැටවා සායම් කරන තැනකට රැගෙන ගොස්‌ හොඳට තලා පෙළා කීප විටක්‌ සායම් ගල්වා ගෙන එන්නැයි බමුණාට කීවාය. මෝඩ මහළු බමුණා බිරිඳ කී පරිදි සායම් කරණ තැනකට ගොස්‌ වඳුරු පැටවා දී මොහු හොඳින් තලා පෙළා දෙතුන් වරක්‌ සායම් ගල්වා දෙන ලෙස කීය. එවිට සායම් කරන්න බමුණාට කතාකර මේ සතාව එක වරක්‌ පමණක්‌ සායම් කළ හැකිය. නැවත නැවත තළා පෙළා දෙතුන් වරක්‌ සායම් කළ නොහැකි යෑයි කීවේය. 

උපාලි ගෘහපතියා මේ කථාව කියා ස්‌වාමීනි, එපරිද්දෙන් නිගණ්‌ඨයන්ගේ ධර්මය අඥාණයන් එක්‌ වරක්‌ රැවටීමට ශක්‌තිය ඇත. නුවණැත්තන්ට නැවත නැවත විමසීමට සුදුසු නොවේ යයි පැවැසීය.

උපාලි ගෘහපති නැවතත් නාථපුත්තයන් අමතා මෙසේද කියන්නට විය. ඉහත කී බමුණා දිනක්‌ වස්‌ත්‍රයක්‌ රැගෙන ගොස්‌ සායම් කරන්නකුට දී මෙය හොඳින් තලා පෙළා දෙතුන් වතාවක්‌ සායම් කොට දෙන ලෙස කීය. සායම් කරන්නාද ඒ වස්‌ත්‍රය හොඳින් තලා දෙතුන් වතාවක්‌ සායම් කොට දුන්නේය. ස්‌වාමීනි. එ පරිද්දෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේගේ වාදය නුවණැතියන්ට ප්‍රියය. සුදුසුය. අඥනයන්ට ප්‍රිය නොවේ. සුදුසුද නොවේ. නැවත නැවත විමසීමටද සුදුසුය.

මෙබස්‌ ඇසූ නිගණ්‌ඨනාථපුත්ත උපාලි ගෘහපති අමතා, ගෘහපතිය, මෙතෙක්‌ දවස්‌ ලෝකයා දැන සිටියේ උපාලි ගෘහපති නිගණ්‌ඨනාථපුත්තගේ ශ්‍රාවකයකු හැටියටයි. දැන් ඔබ කවරකුගේ ශ්‍රාවකයෙක්‌දැයි ඇසීය.

මෙබස්‌ ඇසූ උපාලි ගෘහපති 

හුනස්‌නෙන් නැගී උතුරු සළුව 

එකස්‌කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි දිසාවට දොහොත් මුqදුන් දී වැඳගෙන මෙසේ පැවැසීය.

1. සියලු සම්මුති පරමාර්ථයන් දන්නාවූ මහා ප්‍රඥා ඇති, සමුච්ඡේද ප්‍රහාණයෙන් පහව ගිය මෝහාන්ධකාර ඇති, බිඳහරන ලද පඤ්චවේතොල කෙලේශයන් ඇති, දිනන ලද පස්‌මරුන් අති, හෙයින් විජයශ්‍රීයෙන් යුක්‌තවූ ක්‌ලේශ දුක්‌ඛ විපාක දුක්‌ඛයන් දුරුකළ හෙයින් නිදුක්‌වූ, හිතා'හිත සියලු සත්ත්වයන් කෙරෙහි සමසිත් ඇති. වැඩුනාවූ උත්තමාචාර සීල ඇති, යහපත් ප්‍රඥා ඇති, විෂම වූ රාගාදී ක්‌ලේශයන් තරණය කළ ඒ භාග්‍යවතුන් වහන්සෙගේ ශ්‍රාවකයෙක්‌ වෙමි මම.

2. දුරුකළ සැක ඇති, හැම ලෙසින්ම සතුටු සිත් ඇති බැහැර කරන ලද පංචකාම ගුණික තෘෂ්ණා ඇති. මුදිත භාවනා විහරණ ඇති, මුදුන්පත්වූ උත්තම ශ්‍රමණ ගුණ ඇති, සත්වෝත්තම වූ, අන්තිම ශරීරයක්‌ දරන්නාවූ, නරශ්‍රේෂ්ඨවූ, උපමා විෂයාතික්‍රාන්ත ගුණ ඇති, රාගාදි කෙලෙස්‌ රජස්‌ නැති, ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෙක්‌ වෙමි මම.

3. කොතැනකවත් සැක නැති, ධර්මා' ධර්ම විනිශ්චයෙහි දක්‌ෂ වූ සත්ත්වයන් හික්‌මවන්නා වූ අන්‍යයන් විසින් දමනය කළ නොහැකි වූ චණ්‌ඩ පරුෂ සක්‌ත්වයන් දමනය කිරීමෙහි උත්තම සාරථිවූ, නිරුත්තරවූ පවිත්‍ර ධර්ම ඇති තරණය කළ විචිකිච්ඡා ඇති, ප්‍රභාපත් වූ සිඳින ලද මානය ඇති, සතර සම්‍යයක්‌ ප්‍රධාන වීර්යයෙන් යුක්‌තවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්‌ වෙමි මම.

4. අතිශයින් ශ්‍රේෂ්ඨවූ , අප්‍රමාණ ගුණ ඥාණණානුභාව සම්පත්තවූ මහ සයුර සේ ගැඹුරු ගුණ ඇති, පැමිණියාවූ ප්‍රඥා සම්පත් ඇති, ලොවට නිර්වාණ ශාන්තිය සිද්ධකරන, උතුම් නුවණ ඇති, නව ලොව්තුරා දහම්හි පිහිටි, සංවර කරන ලද ඉඳුරන් ඇති, රාගාදී පඤ්ච සංගයන් ඉක්‌මවූ. කෙලෙසුන් කෙරෙන් මිදුණු සිත් ඇති, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්‌ වෙමි මම

5. සතර කරුණකින් ශ්‍රේෂ්ඨ වූ, ප්‍රාන්ත සේනාසනයෙහි ඇලුණු ක්‍ෂය කරන ලද සසර බැඳුම ඇති, පටිමන්තන ප්‍රඥාවෙන් යුක්‌ත වූ, මාර්ග ඥාණයෙන් දවන ලද කෙලෙස්‌ ඇති, මානය දුරුකළ චිතරාගී වූ, දැමුනාවූ කෙලෙස්‌ ගැටළු නැති ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්‌ වෙමි මම.

6. විපස්‌සි ආදී සවිසි බුදුවරයන්ට සත්වැනි වූ, කොහොන් ගුණ නැති, ත්‍රිවිද්‍යා ඇති, ශ්‍රේෂ්ඨ බවට පැමිණි, නසන ලද  කෙලෙස්‌ ඇති, ගාථා පදරචනායෙහි සමර්ථවූ, සන්සුන් කාය චිත්ත ඇති. විදිත ඥන ප්‍රභේද ඇති, හැමට පළමුව ධර්මදානය දුන්, වැඩසදාලීමෙහි සමර්ථ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්‌ වෙමි මම.

7. ආර්ය වූ, වැඩූ සිත් ඇති. පැමිණිය යුතු සියලු ගුණයන්ට පැමිණි, විස්‌තරකොට උත්තමාර්ථය ප්‍රකාශ කරණ, ස්‌මෘතිමත්, විදර්ශනාකරන, අර්හත්වූ අදුෂ්ටවූ, තෘෂ්ණා රහිතවූ, වශීප්‍රාප්තවූ ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෙක්‌ වෙමි මම.

8. මනාකොට ශාන්ත පදයට ගියාවූ ධ්‍යාන කරන, කෙලෙසුන් අනුව ගියසිත් නැති, සසරෙහි නොබැඳුනු, ප්‍රහීණ නොවූ කෙළෙස්‌ නැති උත්තම විවේකයෙහි ඇලුනු, ලොවට අගපත්වූ, තරණය කළ චතුරොඝය ඇති, අන්‍යයන් සසර සයුරෙන් එතෙර කරවන ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්‌ වෙමි මම.

9. සාන්තවූ, මහත්ව ප්‍රඥාවෙන් යුක්‌ත, පහකළ ලෝභ ඇති, තථාගත වූ, සුන්දර වූ ගමන් ඇති. අප්‍රතිපුද්ගලවූ, අසම ව බුදුවරයන්ටම සමානවූ විසාරදවූ නිපුණවූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්‌ වෙමි මම.

10. සිඳදැ මූ තෘෂ්ණා ඇති, චතුරාර්ය සත්‍යය අවබෝධකළා, පහවූ කෙලෙස්‌ දුම් ඇත, තෘෂ්ණාd දෘෂ්ටි වශයෙන් නොඇලුණු, පූජාවට සුදුසු, දිව්‍ය ස්‌වරූපවූ, උත්තම පුද්ගලවූ අතුලවූ මහත් යසසින් අගපත්වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක්‌ වෙමි මම.

උපාලි ගෘහපතියන්ගේ බුදුගුණ වැනුම සාවධානව අසා සිටි නිඝණ්‌ඨනාථ පුත්ත තෙමේ ගෘහපතිය, මේ සියලු වර්ණනා ඔබ කෙසේ ප්‍රබන්ද කෙළෙහිදැයි ඇසීය. එවිට උපාලි ගෘහපති තෙමේ, ස්‌වාමීනි, දක්‌ෂ මාලාකාරයෙක්‌ විසිතුරු මල් දමක්‌ ගොතන්නා සේ මමද බුදුගුණ එක්‌කොට වර්ණනා කෙළෙමියි කීය. ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ අප්‍රමාණ ගුණ ඇත්තාහ. කවරෙක්‌ ගුණවතාගේ ගුණ වර්ණනා නොකරද්දැයි උපාලි ගෘහපති පැවසූ කල්හි බුදුගුණ අසනු නොකැමති නිගණ්‌ඨනාථපුත්ත ගේ මුවෙන් උණු ලේ පිටවිය.

අපිරිමිත බුදු ගුණ කඳින් වශීවූ උපාලි ගෘහපති තම ස්‌වකීය අචල ප්‍රසාදය හා බුද්ධ ගෞරවය මෙම ස්‌තුති ගිතිකාවෙන් වටහා ගත හැකිය. මෙවන් උදාර බුදුගුණ වැණුමක්‌ සූත්‍රපිටක දැකිය නොහැකි තර ම්ය. ගාථා දසයකින් පරිමිත මෙම ස්‌තුති ගීතිකාව බුදුරජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික ගුණ සමුදාය මූර්තිමත් කොට දැක්‌වීම සඳහා ගුණ විශේෂණ සියයක්‌ යොදා ගෙන ඇත. හැම ගාථාවක්‌ අවසානයේදී උපාලි ගෘහපතිතුමා ප්‍රකාශ කරන්නේ "මම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්‌ වෙමි" යනුවෙනි.

තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භාවයට පත් උපාලි ගෘහපතිතුමා නිගණ්‌ඨනාථපුත්තයන් ඉදිරියෙහි ප්‍රකාශ කරන ලද මෙම බුද්ධ ගුණ ශතකය උද්ග්‍රහණ ධාරණය කිරීමෙන් මහත්වූ බුද්ධ ගුණානුස්‌මරණ පූර්වංගම බුද්ධාලම්භන ප්‍රීතිය ඔබතුළ ද උපදවා ගත හැකිය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සංසාරයටත් නිර්වාණයටත් මඟ සදන සිත

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ 
රාස්සගල විහාර පාර්ශ්වයේ මහා නායක
කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නා හිමි

සිත ඉතා ගැඹුරුය. තේරුම් ගන්නට අසීරු ය. ගැඹුරුවූත්, තේරුම්ගත නොහැකි වූත් සිත ගැන වෙනත් කිසිඳු ආගමක, දර්ශනයක, පැහැදිලි විග්‍රහයක් නැත. මනෝ විද්‍යාවේද සවිස්තර නොවේ. එහෙත් සිත ගැන, මනස පිළිබඳ ඉතා ගැඹුරු වූද, එහෙත් ඕනෑම කෙනෙකුට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තුළින් දැකිය හැකි ආකාරය පිළිබඳ අපූර්ව වූද විග්‍රහයක් බුදුදහමේ ඉගැන්වේ.
‘සිත’ කියන්නේ කුමකටද? එය නිවැරැදිව අවබෝධ කරගන්නේ කෙසේද? එහි ස්වභාවය, නියම ස්වරූපය කෙබඳුද? සිත හඳුනා ගන්නේ කෙසේද? සිත වැරැදි මඟක ගමන් කරනවා නම් එහි ප්‍රතිඵලය කුමක්ද? නිවැරැදි මගක ගමන් කරනවා නම් එහි ප්‍රතිඵලය කුමක් ද? දුර්වලතා හඳුනාගෙන නිවැරැදි මඟක ගමන් කරන්නේ කෙසේද? ආදි ලෙස විවිධ පැතිකඩවලින් සිත ගැන කළ දීර්ඝ විග්‍රහයක් බුදු දහමේ සඳහන්ය.
චිත්ත, මනෝ, විඤ්ඤාණ ආදි වචනවලින් බුදු දහමේ සිත පිළිබඳ කියැවේ. විග්‍රහකර බැලීමේදී තරමක වෙනස්කම්, භාවිත කර ඇති අවස්ථා අනුව දැකගත හැකි වුවද මුලික අර්ථයෙහි වෙනසක් දැකීමට නුපුළුවන. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මෙලෙස දේශනා කළහ.
“නා හං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං ඒවං චිත්තං” “සිත වැනි වැදගත් වන වෙනත් කිසිම දෙයක් මේ ලොව මා දැක නැත. සිත වැනි වටිනා වෙනත් කිසිම දෙයක් මේලොව මා දැක නැත. සිත වැඩිදියුණු කරනවා නම්, නිවැරැදිව මෙහෙයවනවා නම් මිනිසාට ඔහුගේ සිත උතුම් මෙහෙයක්, උතුම් සේවාවක් ඉටු කරදෙනු ඒකාන්තය”යි උන්වහන්සේ පැහැදිලි කළහ.
ඕනෑම කෙනෙකුගේ බලාපොරොත්තුව සතුටින් ජීවත්වීමය. සාමයෙන් සමඟියෙන් ජීවත් වීමය. සාමාන්‍ය විශ්වාසය නම් සතුට ලබන්නට ධනය ඇවැසි බවය. බලය, සමාජ තත්ත්වය තිබිය යුතු බවය. වෙනත් විවිධ සාධක බලපැවැත්විය යුතු බවය. අවබෝධයෙන් සිතන්න. සත්‍ය වශයෙන්ම මේ සියල්ල හිමි වුවද නියම සතුටක් ලැබෙනවාද? මෙ කවර සම්පත් ලැබුණද නියම සතුටක්, තෘප්තියක් ලැබෙනවාද? වෛරයෙන්, ක්‍රෝධයෙන් , ලෝභයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන් සිත දැවෙනවා නම් ලැබෙන්නේ කවර සතුටක්ද? එසේ නම් ඒ සියල්ලට වඩා වැදගත් වන්නේ සිතේ දැක්මය.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්වීමට පුළුවන. එනම් සංසාරය හා නිර්වාණයයි. මේ දෙකරුණම එක්කර බැලූවිට පෙනෙන්නේ එකම දෙයක් ගැන බුදුදහම දේශනා කර ඇති බවය. එනම් සිතය. සිත කිළිටි නම් එය සංසාරයයි. සිත නොකිළිටි නම් එනම් පිරිසුදු නම් එය නිර්වාණයයි. ඒ අනුව අපිරිසුදු වීම සංසාරයට සමානය. පිරිසුදු වීම නිර්වාණයට සමානය. පිරිසුදු සිතේ තණ්හාදී ක්ලේශයන් නැත. අපිරිසුදු සිත කෙලෙස් මලින් බරය. මේ අනුව සිත යනු ප්‍රබල සත්‍යයකි. එය අවබෝධ කර නොගත්තා කියන්නේ අප ළඟ ඇති, ලෝකයේ ප්‍රබලම ශක්ති වේගය හඳුනාගෙන නැති බවය.
බුදුරජාණන් වහන්සේ මෙලෙස දේශනා කළහ.
“චිත්තං භික්ඛවේ අභාවිතං අපාතෝ භූතං 
මහතෝ අනත්ථාය සංවත්තතී”

මෙහි අපට නැවත නැවතත් සිතන්නට ප්‍රායෝගික ජීවිතයට ඉතා වැදගත් වචන දෙකක් හමුවේ. ඉන් එකක් ‘අභාවිතං’ යන්නය. එහි අර්ථය ‘සිත’ හරියට භාවිත නොකරන බව. සංවර්ධනය නොකරන බවය. දෙවැන්න ‘අපාතෝභූතං’ යන්නය. එනම් සිත නිවැරැදි දෙයට, ධනාත්මක පැත්තට යොමු නොකිරීමය.
සමහරු යමක් කරන්නට පෙර ‘අනේ මට මේ වැඩේ නම් කරන්න බෑ’ ‘එය ඉතා අපහසු දෙයක්’ ‘මේ තරම් වැඩ තියෙන අතරේ තවත් වැඩ කොහොම කරන්නද? ආදි ලෙස සිතති. ඒ නිශේධනාත්මක සිතිවිලි ඇත්තෝය. එහෙත් තවත් කෙනෙක් ‘මම කෙලෙස හෝ මගේ අරමුණ ජය ගන්නවා’. ‘මට මේ දෙය කරන්න පුළුවන්’ ‘උත්සාහ කර බලනවා’ කෙලෙස හෝ බාධක ජය ගන්නවා’ යන සිතිවිලිවලින් යුතුය. ඒ ධනාත්මක සිතිවිලි ඇත්තෝය. බුදුදහමේ එය ‘ප්‍රාතුර්භූත කිරීම ලෙස හැඳින්වේ.
සමහර ළමයි ඉගෙනීමෙහි දක්ෂය. සමහරු අදක්ෂය. විභාග ආදියේදී අඩු ලකුණු අතර සිටිති. ඇතැම් මව්පියවරු සේම ගුරුවරුද අදක්ෂ දරුවාගේ සිතෙහි ධනාත්මක සිතිවිලි ඇති කරනවා වෙනුවට නිශේධනාත්මක සිතිවිලි ඇති කරති.
‘අනේ මේ ළමයාට නම් ඉගෙන ගන්න බෑ’ ‘කිසි දෙයක් හිතේ හිටින්නේ නෑ. මොන තරම් පාඩම් කළත් වැඩක් නෑ’. ‘ගණන් හදන්න බෑ’ විද්‍යාව බෑ’ ‘මේ තරම් වියදම් කිරීමේ තේරුමක් නෑ’ ආදී ලෙස කුඩා කල සිටම දෝෂාරෝපණය කරමින් දරුවාගේ සිතේ නිශේධනාත්මක ආකල්ප වර්ධනය කරති. එහෙත් මවකගේ පියෙකුගේ, ගුරුවර වැඩිහිටියන්ගේ වගකීම වන්නේ එවැනි දරුවෙක් වේ නම් ඒ දුර්වලතා මඟ හැරවීමට උත්සාහ කිරීම, දරුවා දිරිමත් කිරීම මිස තව තවත් අධෛර්ය කිරීම නොවේ.
‘පුතාට පුළුවන්. තව තවත් මහන්සි වෙන්න. අපහසු පාඩම් නිතර අධ්‍යයනය කරන්න’. ‘පාඩම්වලට හොඳින් ඇහුම්කන් දුන්නොත් මතකයේ හිටිනවා. ‘ආදී ලෙස උනන්දු කළේ නම් ඒ සිතිවිලි දරුවාගේ සිතේ තැන්පත් වේ. ධෛර්යමත් වේ. ධනාත්මක සිතිවිලි මෙන්ම නිශේධනාත්මක සිතිවිලිද මෙලොව ජීවිතය මෙන්ම සමහරවිට සසර ගමනටද බලපෑම් කිරීමට පුළුවන. ගලේ කෙටුවාසේ සිතේ රැඳෙන බැවිනි. ධනාත්මක සිතිවිලි සංවර්ධනය කිරීමෙන් අපගේ දුර්වලතා හදා ගන්නට පුළුවන. දීපංකර පාද මූලයේදී සුමේධ තාපසතුමා කළ අධිෂ්ඨානය ධනාත්මකය. එතුමා නිතර ඒ ගැන සිතුවේය. මතු බුදුවන්නට අවශ්‍ය දේ විමසා බැලුවේය. බාධක හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාදාමයන් අනුගමනය කළේය. එලෙස ඕනෑම කෙනෙකුට ධනාත්මක සිතිවිලි ඇති කරගෙන අවශ්‍ය කරන ක්‍රියාදාමයන් ගොඩනඟා ගන්නට වෙහෙසනවා නම්, බාධක හඳුනා ගන්නවා නම්, ඉදිරියට යන්න සිතනවා නම්, යහපත් අරමුණූ ජය ගැනීම අපහසු වන්නේ නැත. ඊට මූලික වන්නේ සිතයි.
සිත නිතර එහෙ මෙහෙ දුවයි. එක් තැනෙක නොරඳයි. රඳවා ගැන්මද අපහසුයි. සිත විකෘති කරන අංග පහක් දහමෙහි විස්තර කෙරේ. පළමුවැන්න ආශාවයි. බණ පොතේ කාමය, තණ්හාව ලෙසින් හැඳින්වෙන්නේ මේ ආශාවයි. ආශාව වැඩි වූ විට හැඟීම් ඉදිරියට එයි. බුද්ධිය යටයයි. දැනීම යටයයි. කල්පනා ශක්තිය අඩුවෙයි. නුවණින් මෙනෙහි කරන්නට අපහසු වෙයි. වරද නිවරද නොපෙනෙයි. මවුපිය, වැඩිහිටියන් අවවාද කළද ඒවා බැහැරලයි. එහි අවසන් ප්‍රතිඵලය කුමක්වේදැයි කිව නොහැකිය.
දෙවැනි අංගය ක්‍රෝධයයි. තරහව, වෛරය, ලෙසද එය අර්ථවත් වෙයි. බණ පොතේ ව්‍යාපාදය ලෙස හැඳින්වෙන්නේ ක්‍රෝධයයි. එවැනි සිතිවිලි වර්ධනය වූ විට ප්‍රකෘතිය විකෘති වෙයි. එවිට අවබෝධය ගිලිහී හැඟීම්බර වෙයි. උනුන් අඬදබර කරන්නේ , සිය දිවි නසා ගන්නේ , ගැටුම් උග්‍රවන්නේ එලෙස හැඟීම් ඇවිස්සී පාලනය කරගත නොහැකි වූ තැනය.
සිත විකෘති කරන තෙවැනි අංගය සිතේ ගිලන්බවය. ගිලන් සිතක උපදින සිතිවිලි මලානිකය. ප්‍රාණවත් ස්වභාවයක් නැත. ධෛර්යමත් බවක්, හැඟීමක් නැත. කිසිදු වැඩක් කරන්නට සිතෙන්නේ නැත. සිත නිද්‍රාශීලි වූවා බඳුය.
වික්ෂිප්ත බව හා පසුතැවිල්ලද සිත විකෘති කරයි. එනම් සිතේ එකඟ බවක් නොවීමයි. එවිට කරන දේ, කියන දේ අමතක වෙයි. වැඩ අතපසු වෙයි. සිත එහාට දුවයි. මෙහාට දුවයි. පැටලුනු නූල් බෝලයක් සේය. යමක් කරන්නට බැරි වුණා යැයි පසුතැවෙයි. නිතර ඒ ගැන මතක් කරයි.පස්වැනි අංගය සැකයයි. කෙනෙක් කරුණු ඇතිව යම් දෙයක් ගැන සැක කරති. තවත් කෙනෙක් කරුණූ නැතිව සැක කරති. බුදුරජාණන් වහන්සේ ‘සකාරණ’ හෙවත් කරුණු සහිත සැකයට අනුමැතිය දී තිබේ. ඒ සැකයට හේතු කාරණා තිබේ නම් පමණි. එහෙත් සමහරු ‘අකාරණ’ සැක ඇත්තෝ වෙති.
මෙසේ අංග පහකින් විකෘතිවන සිත ප්‍රකෘති තත්ත්වයට පත්කර ගන්නට බුදුරජාණන් වහන්සේ අපුර්ව මාවත් පහක් පෙන්වා දුන්හ. සිත සමාධිගත කරන්නට, තැන්පත් කරගන්නට පළමුව බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කළ යුතුය. නව අරහාදී බුදු ගුණ මෙනෙහි කිරීමෙන් සිත එක්තැන් වේ.
දෙවනුව ධර්මයේ ගුණ සිහි කළ යුතුය. සංඝයා වහන්සේගේ ගුණ සිහිපත් කළ යුතුය. ඒ ගුණ සිතන විට සිත සුවපත් වේ. දැවීම් තැවීම් දුරුවේ. එමෙන් තමන් යම් ශීලාදී ගුණ ධර්මයක් වඩන්නේ නම්, ප්‍රතිපත්ති සුරකින්නේ නම් ඒ පිළිබඳවද සිහිපත් කළ හැකිය. ඒ ගැන සිතමින් සතුටු විය හැකිය. ඒ සතුට සිතේ තැන්පත් බව, හික්මීම ඇති කරයි. අවුල් නිරවුල් කරයි.
එවැනි සිතක උපදින සිතිවිලි නිවැරැදිය. යහපත්ය. මේ වෙසක් පෝ දිනයේ අපි අදිටන් කරගත යුතු වන්නේ සිත අවබෝධ කරගෙන වැඩිදියුණු කිරීමටය. සිතට විකෘති වීමට ඉඩ නොදීමටය.

නිවන් මඟට පමුණුවන ආර්ය මාර්ගය

ශාස්ත්‍රපති 
රාජකීය පණ්ඩිත 
තලල්ලේ චන්දකිත්ති හිමි

රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහේ ඇලුණු තැනැත්තා සත්ත්වයා වශයෙන් හඳුන්වනු ලබයි. ඒ සත්ත්වයා එහි ඇලී වාසය කරන තාක් ඔහුට හිමිවන්නේ දුකක්මැයි. සත්ත්වයාට එම පඤ්චස්කන්ධයට ඇලීමෙන් හටගත් දුකින් නිදහස්වීමට ඇති ප්‍රතිපදාව හෙවත් වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස හඳුන්වයි. සෝවාන්, සකදාගාමි, අනාගාමි සහ අර්හත් යන සතරමග ඵලවලට පත් උත්තමයන් ආර්යයන් ලෙස හඳුන්වනු ලබන අතර, ඔවුන් ඒ ආර්යභාවයට පැමිණීමට මේ ප්‍රතිපදාව අනුගමනය කළ නිසා එය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙසද හඳුන්වයි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය ධර්මය තුළ විවිධ නම්වලින් හඳුන්වයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දී එය මැදුම් පිළිවෙත නමින් දක්වා තිබේ. සිත ඇලෙන සහ ගැටෙන අන්ත දෙකටම යොමු නොකොට මධ්‍යස්ථව පවත්වාගෙන යන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය නිසා එය මධ්‍යම ප්‍රතිපදාව හෙවත් මැදුම් පිළවෙත නමින් දක්වා තිබෙනවා. බුද්ධාදි ආර්යයන් විසින් පුරුදු කරනු ලබන ප්‍රතිපදාවක් වන බැවින්ද, ආර්යභාවයට පමුණුවාලන ප්‍රතිපදාවක් වන බැවින්ද, තණ්හාව නිසා හටගන්නා පඤ්චස්කන්ධයට ඇති උපාදාන දුක නැති කරන අංග අටකින් යුක්තවන බැවින්ද, උත්තම නිවන කරා පමුණුවාලන මාර්ගය වන බැවින්ද මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස හඳුන්වනු ලබයි.
චතුරාර්ය සත්‍යයේ න්‍යායත්මක පැත්තක් මෙන්ම ප්‍රායෝගික පැත්තක් ද තිබෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ ප්‍රායෝගික පැත්තයි. අනෙක් කාරණා තුන ම න්‍යායාත්මක පැත්තට ඇති නැඹුරුව වැඩියි. දුක, දුකට හේතුව වන තණ්හාව, දුක නැති කිරීම හෙවත් නිවන යන කාරණා දැනුම පදනම් කර ගෙන වටහා ගත යුතු දේයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු දුක නැති කිරීමට නොඑසේ නම් දුකට හේතුව වන තණ්හාව නැති කිරීමට පුරුදු කළයුතු ප්‍රායෝගික කි‍්‍රයාකාරකම් සමුදායයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් වන මාර්ගාංග පුරුදු කළ යුත්තේ ප්‍රායෝගික ජීවිතය තුළදීයි. උදාවන හිරුට අරුණෝදය පූර්වංගම වන්නා සේ කල්‍යාණ මිත්‍රත්වයද, චතුපාරිශුද්ධි ශීලයද, කත්තුකම්‍යතා කුසලච්ඡන්දයද, ච්ිත්ත සමෘද්ධියද, ඤාණ සම්පත්තියද, අප්‍රමාණ සම්පත්තියද, යෝනිසෝමනසිකාරයද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්වගාමීව සිටින බවයි බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍ර දේශනාවලදී වදාළේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට නම් ඉහත දක්වන ලද කරුණු ජීවිතය තුළ හුරු පුරුදු කර ගැනීම අත්‍යාවශ්‍ය වෙයි. බොහෝ දෙනා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග ගැන උනන්දු වූවාට ඉහත දක්වන ලද කාරණා තමන් විසින් සම්පූර්ණ කර තිබේදැයි කල්පනා කර බලන්නේ නැහැ. ඉහත දක්වන ලද කාරණාවන් නිසි ලෙසින් සම්පූර්ණ කර නොමැති පුද්ගලයාට මේ මාර්ගාංග නිසි ලෙසින් වැඩෙන්නේ නැති අතර, නිවන සාක්ෂාත් කර ගැනීමද අපහසු වෙයි. එනිසා මෙම ලිපියෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්ත සාකච්ඡාවට බඳුන් කෙරේ.

සම්මා දිට්ඨිය – චතුරාර්ය සත්‍යය පිළිබඳව ඇති මනා දැනුමයි. මහණෙනි, දුක පිළිබඳ දුකෙන් හට ගැනීම පිළිබඳව, දුකෙන් නැතිවීම පිළිබඳව, දුක නැතිකිරීමේ වැඩ පිළිවෙළ යම් දැනීමක් වේද මහණෙනි, මෙය සම්මා දිට්ඨිය යැයි කියනු ලැබේ. ඉහත කියන ලද චතුසච්ච සම්මා දිට්ඨිය කොටස් දෙකකින් යුත්ක වෙයි. ආරමිභක අවස්ථාවේ මාර්ගාංගයක් ලෙසින් කි‍්‍රයාත්මක වන්නේ දැනුම පදනම් කරගත් එකකි. දුක්ඛේ ඤාණං, සමුදයේ ඤාණං ආදී ලෙස දක්වා ඇත්තේ ඒ දැනුමයි. නිවන් සුව ප්‍රත්‍යක්ෂ කිරීමෙන් පසු ඇතිවන්නේ චතුරාර්ය සත්‍යය ගැන ප්‍රත්‍යක්ෂ අවබෝධයයි. මනා ලෙස දැන ගැනීම සිදුවන්නේ අවබෝධයත් සමඟයි. මේ අවස්ථා දෙකම සම්බෝධිය හා බැඳී පවත්නා නිසා බෝධිපාක්ෂික ධර්ම ලෙස හඳුන්වයි. සම්මාදිට්ඨිය උපදවා ගැනීමට දුක්ඛාදි සත්‍යයන් ගැන ඉගෙනීමද එය භාවනා ලෙස නැවත නැවත සිතීමද යන කාරණා උපකාරි වෙයි.
සම්මා සංකප්ප – තම සන්තානයේ ඇතිවන්නා වූ නිකෙලෙස් සිතිවිලිය. නිවන් මඟ හෙළිකරන නිකෙලෙස් සිතිවිලි හෙවත් කල්පනාවන් වශයෙන් දක්වා තිබෙන්නේ සත්ත්වයා ලෝකයට බැඳ තැබීමට හේතුවන කාම වස්තූන්ට ඇති ආශා අත්හැරීමේ සිතිවිලි (නෙක්ඛම්ම සංකප්ප), සන්තාන ගත ද්වේශය නැති කිරීමට ඉවහල් වෙන මෛත්‍රි සිතිවිලි (අව්‍යාපාද සංකප්ප), විහිංසා විතර්කයන් නසන කරුණා සිතිවිලි (අවිහිංසා සංකප්ප) යන සංකල්පනා තුනයි. ලෝභ, ද්වේශ සහ මෝහ යන අකුශල මූලයන්ට ප්‍රතිපක්ෂ වූ කුසල සිතිවිලි තුනක් වන මේ ත්‍රිවිධ සංකල්පනා සත්ව සන්තානය පිරිසුදු කරයි. සම්මා වාචා- කුසල මූලයන්ගෙන් හටගත් නිවන කරා නැඹුරු වූ යම් කථාවක් වේනම්, එය සම්මා වාචාව ලෙස හඳුන්වයි. හොඳ යැයි සම්මත සෑම කථාවක් ම නිවනට උපකාරී වන්නේ නැත. ඒ හොඳ කථාවන් තුළත් රාගාදී කෙලෙස් යම් පමණකට තිබිය හැකිය. එවන් කෙලෙස් සිතිවිලි වලින් තොර කුසල සිතිවිලි වලින් යුතු වචන හෙවත් කථාව සම්මා වාචාවයි. බොරුකීමෙන්, කේළාම් කීමෙන්, පරුෂ වචනයෙන් , හිස් වචනයෙන් වැළැකීම සම්මා වාචාව වෙයි.
සම්මා කම්මන්ත- මනා වූ කායික ක්‍රියාකාරකම් සම්මා කම්මන්ත නමින් හැඳින්වේ. කයින් සිදුකරනු ලබන දුශ්චරිතයන් සිදු නොකිරීමත්, ඒවා සිදු කිරීමට ඇති කැමැත්ත අත්හැරීමත් ඒ දුශ්චරිතයන්ගෙන් වැළැකීම සේ ම කුසල මූලික සුචරිතයන්ගෙන් යුක්තවීමත් සම්මා කම්මන්ත නම් වෙයි. සත්ත්ව ඝාතනයෙන්, සොරකමින්, කාම මිථ්‍යාචාරයෙන් වැළැකීම සිදු කරන අතරම ඒවා සිදු කිරීමට ඇති ආශාවද අත්හැර දැමීම සම්මා කම්මන්ත ලෙස අදහස් කෙරේ.
සම්මා ආජීව - රාගාදී කෙලෙස් දහම් ඇති නොවන ලෙසින් කරනු ලබන යහපත් දිවි පැවැත්ම සම්මා ආජීවය ලෙසින් දැක්විය හැකියි. ආජීවය යනු රැකියාව ම නොවේ. ජීවත්වීම පිණිස සිදුකරනු ලබන සියලු ක්‍රියාකාරකම් ආජීව වශයෙන් හැඳින්වෙයි. දිවි පැවැත්මට සිදු කරනු ලබන සියලු ක්‍රියාකාරකම් යහපත් නොවේ. එසේම සම්මා යන වචනයෙන් දක්වා ඇත්තේ යහපත්කම ම නොවේ. කෙලෙසුන්ගෙන් තොර බවයි. මහණෙනි, මේ සස්නෙහි ආර්ය ශ්‍රාවක තෙමේ වැරැදි ආජීවය අත්හැර සම්මා ආජීවයෙන් ජීවිතය පවත්වාගෙන යයිද, ඇලීම්,ගැටීම්වලින් තොර ජීවන පැවැත්මක් පවත්වයි ද එය සම්මා ආජිවයයි.
සම්මා වායාම- වායාමය යනු වෑයම් කිරීම හෙවත් උත්සාහය යි. නිවන පිණිස වන යම් උත්සාහයක් වේනම් එය සම්මා වායාමය යි. නිවන අවබෝධ කරනුයේ පිරිසුදු සිතයි. සිත කිළිටි කරනුයේ කෙලෙස් සිතිවිලියි. කෙලෙස් සිතිවිලි සිතින් ඉවත් කිරීමට කුසල් සිතිවිලි වැඩිදියුණු කළ යුතු වෙයි. ඒ අකුසල් සිතිවිලි ප්‍රහාණය කිරීම පිණිසත්, කුසල් සිතිවිලි වැඩිදියුණු කිරීම පිණිසත් යම්කිසි උත්සාහයක් වේනම් එය සම්මා වායාමය යි. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය සම්මා වායාමට අයත් වෙයි.
සම්මා සතිය – නිවන පිණිස වන නිවනට උපකාරි වෙන යම් සිහියක් වේ නම්, එය සම්මා සතියයි. කායික ක්‍රියාකාකරම් සම්බන්ධයෙන්්, වේදනාවන් විඳීමෙහිද, චිත්ත ක්‍රියාකාරීත්වය තුළදීද සිතිවිලි පරිහරණයේදී කෙලෙස් ඇති නොවන ලෙසින් සිහිය පිහිටුවා ගැනීම සම්මා සතියයි. සතර සතිපට්ඨානය වැඩෙන ලෙස කටයුතු කිරීම සම්මා සතියයි. සම්මා සතිය සිත ඇලීමෙන් සහ ගැටීමෙන් වළක්වා ගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇතිකර ගැනීමට උපකාරි වෙයි.
සම්මා සමාධි- සමාධිය යනු සිතෙහි ඇති වන එකඟතාවයි. සිතේ කුසල් අරමුණු නිසා ඇතිවන එකඟතාව සම්මා සමාධි වශයෙන් දක්වා තිබේ. සම්මා සමාධියට සිත සන්සුන් කිරීමටත් නාමරූප ධර්මයන්ගේ අනිත්‍යාදි යථා ස්වභාවය යථා පරිදි ම වටහා ගැනීමට බෙහෙවින් උපකාරී වෙයි. සිත කුසල අරමුණක පිහිටුවා උපදවා ගත් ධ්‍යානංග තුළින් පඤ්චනීවරණ ධර්ම යටපත් කර ගත් තැනැත්තාට ඇතිවන සම්මා සමාධිය හෙවත් කුසල සිතෙහි එකඟතාව යථාභූත ඤාන දර්ශනයට උපකාරී වෙයි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ලොවට සැනසීමේ මඟ කියාදුන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ

කැලණිය විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ ආචාර්ය, 
වෑඋඩ, බුජස්ලෙන රාජමහා විහාරවාසී,
මහාචාර්ය 
මකුරුප්පේ ධම්මානන්ද හිමි

බුදු වීමට පෙර බුදුන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම නම් වූහ. පුරාකෘත කුශල ශක්තිය නිසා ඍද්ධිබල සම්පන්න පෞරුෂේය චරිතයක් එම කුමරාට හිමිවිය. තරුණ වියේ දී ධන ධාන්‍යයෙන් ආඪ්‍ය පවුලක සෞන්දර්යාත්මක ජීවිතයක් ගෙවූ අතර ත්‍රිවේදය, ගණිතය, මිනින්දෝරු ශාස්ත්‍රය, තර්කය, න්‍යාය, ලලිත කලා, ජ්‍යොතිෂ, වෛද්‍ය විද්‍යාව ආදී විවිධ ශබ්ද ශාස්ත්‍රයන් පිළිබඳ පරතෙරට පත් විය. ජව සම්පන්න තරුණයෙකු වශයෙන් ද තම මිත්‍රයන් සමඟ සමස්ත ඉන්දියාවේ සොළොස් මහ ජනපදයන්හි හැසිර ලබාගත් ඥාන සම්භාරයක් සහ ජීවිත පරිඥානයක් සතුව සිටි කෙනෙකි.

එසේම යශෝධරා නම් සුරූපී කුමරිය සමඟ විවාහ ජීවිතයක් ගෙවමින් රාහුල නම් පුත් කුමරෙකු ද ලොවට සුජාත කළ පියෙකි. මෙබඳු පසුබිමක සිට සිද්ධාර්ථ කුමරුන් ගිහි ජීවිතය අතහැර යාම විශේෂ සිද්ධියකි. එය රාජකීය කුමරෙකු රජ පෙළපතෙන් සමුගැනීමක් විය. දිව්‍යාංගනාවක බඳු බිරිඳක හා පුත් කුමරෙකු අතහැර යාමේ ශෝකජනක සිදුවීමක් විය. සැප අතහැර දුක පිළිගැනීමේ තීරණාත්මක හා විප්ලවීය ක්‍රියාදාමයක් විය. මේ නිසා සිද්ධාර්ථ කුමරුන්ගේ අබිනික්මන යනු ලාමක ක්‍රියාවක් නොව අලාමක පුරුෂ ශ්‍රේෂ්ඨයෙකුගේ විශිෂ්ට කැප කිරීමකි. බුද්ධත්වය යනු සාමාන්‍ය ගිහි ජීවිතයට වඩා අසාමාන්‍ය ලෙස චරිත ලක්ෂණ හා ප්‍රඥාව විකසිත කිරීමෙන් ලද උත්තරීතර තත්වයකි. වරක් බුදුන් වහන්සේ තමන් කිසිඳු දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු හෝ නොවන බවත් මනුෂ්‍යයෙකු වන බවත් පැවසූහ. මේ නිසා තථාගතයන් වහන්සේ අප විසින් හඳුනාගත යුත්තේ මුනුෂ්‍යයෙකු හැටියටය. එහෙත් උත්තරීතර හා අසාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙසය. කිසිඳු දේව බ්‍රහ්ම මාර යක්ෂ යනාදී කිසිවෙකුට අභියෝග කළ නොහැකි තරමේ හැකියාවන් සහිත වූ කෙනෙකි. බුද්ධ යන පාලි පදය සෑදී ඇත්තේ බුධ යන ධාතුවෙනි. එහි එක් තේරුමක් වන්නේ පිබිදීම යන්නයි. සැබැවින්ම නිදා සිටි භාරතීය ජනතාව අවදි කළ තැනැත්තා නම් බුදුරජාණන් වහන්සේය.
උන්වහන්සේ ලොව පහළ වන විට සිය මිනිසුන් ද ඇතුළුව දහස් ගණන් සතුන් මරමින් යාග පවත්වා දියුණුවට මඟ පෙන්වූ ආගමික කොටස්වලින් ද එයම අනුගමනය කරමින් ක්‍රියා කළ ජනයාගෙන් ද සමස්ත භාරතය යුක්ත විය. දෙසැටක් මිථ්‍යා දෘෂ්ටීන්ගෙන් ජන සමාජය මෙහෙයවනු ලැබිණ. වීමංසන බුද්ධියට සමු දී නිද්‍රාවට වැටී සිට එම ජනයාගේ දෑසේ අවිද්‍යා අන්ධකාරය නමැති කඩතුරාව ඉවත ලූයේ බුදුරජාණන් වහන්සේ විසිනි. අජාසත් වැනි දේශපාලනඥයන්, පොට්ඨපාද වැනි ආගමික නායකයන්, උපාලි ගෘහපති වැනි ආගමික අනුගාමිකයන්, අනාථපිණ්ඩික වැනි ව්‍යාපාරිකයන්, තාලපුට වැනි කලාකරුවන්, අංගුලිමාල වැනි දාමරිකයන්, සච්චක වැනි පණ්ඩිතමානී දේශකයන් පමණක් නොව දුසිරිතෙන් දිවි ගෙවමින් ඊට සුසිරිතෙහි අරුත ආරෝපණය කරමින් සිටි අපමණ ජන කොටස් බුදුරදුන්ගේ මඟ පෙන්වීම නිසා යහ මඟට පිවිසියහ. මේ නිසා ජනයා අවදි කළ උතුමන් වහන්සේ යන අරුතින් ද බුද්ධ යන්න බුදුරජාණන් වහන්සේට අන්වර්ථ නාමයක් වේ. මෙය බෞද්ධ ඇසකින් බලා පැමිණෙන නිගමනයක් නොවේ. ජාති, ආගම්, කුල, ග්‍රෝත්‍රාදී භේද රහිතව එවකට සමස්ත ඉන්දියානු ජනයා විසින් අවිවාදයෙන් පිළිගන්නා ලද්දකි. ඇතැම් අන්‍යාගමිකයන් බුදුන් වහන්සේට ගරු කළේ කවර හේතු නිසා දැයි දීඝනිකායේ සෝණදණ්ඩ සූත්‍රයෙන් මැනවින් දැකගත හැකිය. වරක් සෝණදණ්ඩ නම් ප්‍රකට අන්‍යාගමික ශාස්තෘවරයා මහපාර දිගේ විශාල පිරිස් ගමන් කරනු දුටුවේය. ඊට කරුණු විමසා බලද්දී ඔහු දුටුවේ බුදුන් වහන්සේ පැමිණ ඇති හෙයින් මෙසේ පිරිස් ඇදී යන බවයි.
බුදුරදුන් හමුවීම සඳහා යාමට ඔහුට සිතුණි. ඒ බැව් දැනගත් සෝණදණ්ඩ බමුණාගේ ශ්‍රාවකයෝ කරුණු දක්වමින් කියා සිටියේ සෝණදණ්ඩ බමුණා බුදුරදුන් බැහැ දැකීමට නොයා යුතු බවයි. එහෙත් එය නො පිළිගත් සෝණදණ්ඩ බුමුණා තමා බුදුරදුන් බැහැ දැකීමට යා යුත්තේ මේ මේ කරුණු නිසා යැයි අවධාරණය කළේය. ඔහු බුදුරදුන් සතු විශේෂ කරුණු කිහිපයක් දුටුයේය. ඉන් පළමුවැන්න බුදුන් වහන්සේ මව්පිය දෙපසින්ම සුජාත කෙනෙකු බවය. දෙවැන්න සත් මුතු පරපුර දක්වා පිරිසුදු කළළ ඇත්තෙකි. තෙවැන්න ජාති කුල ගෝත්‍ර සම්බන්ධයෙන් අපවාද නො ලද්දෙකි. සිවුවැන්න විශාල ඥාති පිරිසක් ඇත්තෙකි. පස්වැන්න ධන ධාන්‍ය සම්පත්තියෙන් ආඪ්‍ය කෙනෙකි. සයවැන්න භද්‍ර යෞවන අවදියෙහි සිටින කෙනෙකි. සත්වැන්න අනුව උන්වහන්සේ දැකීමට කිසිදු දෝෂයක් නැති තරම් රූප සෞන්දර්යයෙන් සමන්විත කෙනෙකි.
 අටවැන්න ආචාරශීලී කෙනෙකි නවවැන්න අනුව උගතෙකි. දසවැනි කරුණ අනුව බුදුරජාණන් වහන්සේ යම් දෙසක වෙසෙත් නම් එහි වෙසෙන අමනුෂ්‍යයන් මිනිසුන්ට හිංසා නො කිරීමට තරම් උන්වහන්සේ බලගතු කෙනෙකු වන බවයි. ඉහත සඳහන් කරුණු අනුව බුදුරදුන් තුළ පැවතියේ අපූර්ව කායික හා මානසික පෞරුෂයක් බව පැහැදිලිය. අනෙක් අතින් විද්‍යාව අතින් ලෝකය දියුණුවත්ම බුදු වදන අඳුරු කඩතුරාවන්ගෙන් නිරාවරණය වී බැබළීම වැළැක්විය නො හැකිය. බුදුදහම යනු විශ්ව සත්‍යය පිළිබඳ අනාවරණයක් වීම ඊට හේතුවයි. බුද්ධ ධර්මය පුද්ගල කේන්ද්‍රීය වූවක් නොවේ. බුදුන් වහන්සේ ධර්මයේ නායකත්වය ධර්මයටම පැවරූ උතුමෙකි.
එය කිසියම් රටක පාලකයෙකු අනුව නොව ව්‍යවස්ථාව අනුව රට පාලනය කිරීමක් බඳුය. බුදුන් වහන්සේගේ දූරදර්ශීභාවය තේරුම් ගැනීමට එය පමණක් වුවද ප්‍රමාණවත්ය. වර්තමානය වන විට විශේෂයෙන් යුරෝපා රටවල බුදුදහම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේත් ලෝක නායකයින් බුද්ධිමතුන් හා නිදහස් මතධාරීන් බුදුදහම වැළඳ ගන්නේත් බුදුන් වහන්සේ නමැති ශ්‍රේෂ්ඨ ආගමික ශාස්තෘවරයාගේ ප්‍රතිපත්තිය හා ඉගැන්වීම දිනෙන් දින සනාථ වන බැවිනි. තවද ලොව්තුරා බුදුරජාණන් වහන්සේ යනු ලෝකයේ පවතින මහා කරුණාවේ සහ මහා ප්‍රඥාවේ අග්‍රගණ්‍ය ප්‍රතිමූර්තිය වේ. උන්වහන්සේ සතුව පැවති මහා ප්‍රඥාව ඉතා ප්‍රකටය. තථාගත දේශනාවෙහි ඇති එක අක්ෂරයක පවා ගැඹුරු දාර්ශනික අර්ථයක් ඇත. ඊට සමාන දේශනාවක් ලෝකයේ වෙනත් කිසිවෙකු විසින් මෙතෙක් සිදු කොට නැත. තේරුම් ගත යුතු අනෙක් කරුණ වන්නේ එකී මහා ප්‍රඥාව මහා කරුණාවත් සමඟ බැඳී තිබීමයි. ලෝකයේ මහා කරුණාවක් සහිත පුද්ගලයෙකුට මහා ප්‍රඥාවක් හිමි වේ නම් එය ලෝකයාගේ කෙතරම් භාග්‍යයක් දැයි ඔබට අමුතුවෙන් කිවයුතු නැත.
ශාස්තෘවරුන් අතර බුදුරජාණන් වහන්සේ අග්‍රගණ්‍ය වන ලක්ෂණ රාශියක් දක්නට ලැබේ. එයිනුදු විශේෂ කරුණක් වන්නේ යමෙක් තමන්ට අපහාස කළ ද එහි දී උරණ නොවන ලෙසත් ඊට හේතු විමසා බැලීමට නින්දා අපහාස කරන්නන්ට අවස්ථාව සලසා දෙන ලෙසටත් තම ශ්‍රාවකයන් දැනුවත් කොට තිබීම නිසාය. මෙම උත්තුංගගුණය වඩාත් අර්ථවත් ලෙස වටහා ගත හැකි වන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් වෙනත් ආගම් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිය විමසා බැලීමෙනි. බුද්ධ ධර්මය සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ පිළිගැනීම වූයේ එය විවෘත වන තරමට බබළන බවය. මේ නිසා පිරිසුදු බුද්ධ ධර්මයත්, සංඝය රත්නයත් ලෝකයේ පවතින තුරු එහි පැවැත්ම හෝ ව්‍යාප්තිය සම්බන්ධයෙන් කිසි තැනක හෝ කිසි කලෙක ඊට අභියෝගයක් නොමැත. එබැවින් බුදුදහම ආරක්ෂා කිරීම විෂයෙහි අප විසින් විශේෂයෙන් යමක් කළ යුතු නැත. කළයුතු එකම දෙය වන්නේ තථාගතයන් වහන්සේගේ අනුශාසනය අනුව පිළිවෙත් රැකීම පමණකි. සියලු ආකාරයේ පව් නො කිරීමත්, කුසල් කිරීමත් තම සිත පිරිසුදු කර ගැනීමත් සමස්ත බුද්ධානුශාසනය හෙවත් බුදුදහම බව බුදුන් වහන්සේ විසින්ම දේශනා කොට ඇත. එබැවින් ගෞතම තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ යනු ප්‍රඥා සාගරයකි. කරුණා නිධානයකි.
සංසාරයේ දීර්ඝ කාලයක් තිස්සේ භාවිත පාරමිතා ශක්තීන්ගෙන් පහළ වූ පුරුෂෝත්තමයෙකි. බුදුරදුන් සැබෑ ලෙස දැකිය හැකි වන්නේ උන්වහන්සේ විසින් දේශිත ධර්මයෙන්මය. යො ධම්මං පස්සති සො මං පස්සති යනුවෙන් වදාළේ එහෙයිනි. විද්‍යාවෙන් දියුණුව කරා පිය මනින ලෝකය රාග ද්වේෂ මෝහයන්ගෙන් දැවෙන අයුරු බලන්න. බුදුන් වහන්සේ එකී ලෝකය තුළ නො දැවී සිටිමේ මාවත හෙළි පෙහෙළි කර දුන් සේක. එබැවින් එකී බුදුරදුන් පිළිබඳ ඔබ තුළ ඇතිවන භක්තිය ඔබ ශ්‍රද්ධාවෙන් සහ ප්‍රඥාවෙන් පිරිපුන් පුරුෂයෙකු බවට පත් කරවනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online