ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

දියුණුව උදාකර ගන්නේ කෙසේද?

අම්බලන්ගොඩ, කහව ගල්දූව ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය, 
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

සමස්ත ලෝකවාසී ජනතාවගේම එකම ප්‍රාර්ථනය තමන්ගේ දියුණුව සලසා ගැනීමයි. දියුණුව යනු ආධ්‍යාත්මික දියුණුව සහ බාහිර දියුණුව කියලා කොටස් දෙකකට බෙදා දක්වනවා. ආධ්‍යාත්මික ගුණ දියුණුව පිණිස තමයි මව්ට සැලකීම, පියාට සැලකීම, දාන, ශීල, භාවනා, පින්කම් කිරීම, කරුණාව, මෛත්‍රී ගුණ දියුණු කිරීම, යාචක දාන පැවැත්වීම, දන්සල් පැවැත්වීම, මේ සියලුම දේ කරනවා. තණ්හාව, තරහව, මෝඩකම නැති කිරීම සඳහා කටයුතු කරද්දී කොයි කාගෙ වුණත් තමන්ගේ චිත්ත සන්තතිය තුළ උදාර ගුණ දියුණුවීමක් සකස් කර ගන්න පුළුවන්කම තියෙනවා.
බාහිර දියුණුව යනු මිල මුදල්, කෙත්වතු, යාන වාහන, සැප සම්පත්වල දියුණුවයි. මේ දියුණු දෙකම මුලු මහත් ලෝකවාසී සැමටම අවශ්‍ය දෙයක්. බුදු, පසේ බුදු, මහරහත් උතුමන් වහන්සේලාට බාහිර දියුණුව අවශ්‍ය නෑ. ඒ උත්තමයෝ අධ්‍යාත්මික ගුණ දියුණුව හදාගෙනයි තිබෙන්නේ. ඒ දියුණුව හදාගත්ත උතුමන් වහන්සේලා අපට ඒ විශ්ව මග පෙන්වා දී තිබෙනවා. ඒකට මධ්‍යම ප්‍රතිපදාව කියලා සඳහන් කරනවා. නිවන් මඟත් කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරපු කිසිම කෙනෙකුට වැරදුණේ නැහැ. දුකක් වුණේ නැහැ. සැපයක් සැලසුණා. සැප බලාපොරොත්තුවන හැමෝම මේ නිවන් මඟ මධ්‍යම ප්‍රතිපදාවෙ ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. මැදුම් පිළිවෙතේ යන අය සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරුව, වංචාව, කපටිකම සහ මත් පැනට ගොදුරු වීම සිදු කරන්නේ නැහැ. ඒ අය පංචශීලය හොඳින් ආරක්ෂා කරනු ලබනවා.
පංචශීලය ආරක්ෂා කිරීම තමන්ගේ දියුණුවයි. තමන්ගේ දියුණුව පිණිස තමයි ඒ මානසික දියුණුව සකස් කරගනු ලබන්නේ. තමන්ගේ සත්‍ය දියුණුකර ගැනීමට කායික, මානසික සුවපත්භාවය පිණිස ආධ්‍යාත්මික ගුණ වගාව හේතු භූත වෙනවා. ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු කරගැනීම සඳහාමයි හැමෝටම යහපතක් සලසා ගැනීමට පුළුවන්කම තිබෙන්නේ. එහෙමනම් තම තමන්ගේ චිත්ත සන්තතිය තුළ මේ කියනු ලබන ගුණ සම්පත් දියුණු කරනු ලැබුවොත් හැමෝටම යහපතක් සැලසෙනවා. අයහපතක් සැලසෙන්නේ නෑ. පංචශීලය ආරක්ෂා කරන අයට යහපතක් මිස අයහපතක් සැලසෙන්නේ නැහැ. පංචශීලය ආරක්ෂා කරන්නේ නැති අයට කවදාවත් යහපතක් දියුණුවක් සැලසෙන්නේ නැහැ. පිරිහීමටම පත්වෙනවා.
එහෙමනම් දියුණුවේ දොරටු සකස්කර ගනු ලබන හැමෝම පංචශීලය අනිවාර්ය දෙයක් ලෙස සැලකිය යුතුයි.
ඒ වගේ නොයෙක් සූත්‍ර දේශනාවලදී තථාගත ධර්මය දියුණුවේ දොරටු පෙන්වා දී තිබෙනවා. මවට පියාට සැලකීම, ගුරුවරුන්ට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම විශේෂයෙන් දියුණුවීමේ දොරටුවක් හැටියට තමයි පෙන්නුම් කර තිබෙන්නේ.
ඒ වගේම තමන්ගේ ජීවිතය පසුකරන ගුණ සම්පත් වගේම කායික මානසික සුවය සඳහා මේ කියනු ලබන සෑම දෙයක්ම අපේ දියුණුව යහපත පිණිස මහෝපකාරී වෙනවා. එහෙම කල්පනා කරලා පංචශීලය ආරක්ෂා කරනු ලැබුවහොත් පංචශීලය මඟින් තමයි ඔය දියුණුව සකස් කරගන්න පුළුවන්කම තිබෙන්නේ. පංචශීලය ආරක්ෂා නොවුණොත් කිසිම කෙනෙකුගේ දියුණුවක් සැලසෙන්නේ නැහැ. අර මා මුලින්ම සඳහන් කරපු මවට පියාට, ගුරුවරුන්ට සැලකීම, වැඩිහිටියන්ට සැලකීම, නෑදෑ හිතමිතුරන්ට සැලකීම ඒවා තමන්ගේ ගුණ දියුණුවට විශේෂ හේතුවක් වෙනවා.
හැමෝටම මේ දියුණුව කරගන්න ලැබුණොත් හැමෝටම යහපත සලසා ගන්න පුළුවන්කම තියෙනවා.
බුදු , පසේ බුදු , මහරහත් උතුමන් වහන්සේලා වැඩ ඉන්න කාලෙකනම් නිවැරැදි අවවාද අනුශාසනා ලැබෙන නිසා කිසිම කරදරයක් පීඩාවක් උපද්‍රවයක් නැතිව ජීවනෝපාය කරගෙන යන්නට පුළුවන්කම තියෙනවා.
යම්කිසි කෙනෙකුගේ ජීවිතය සකස්කර ගන්නට නම් ඒ ජීවිතයට කරුණු අටක් සම්බන්ධ කරගන්නට ඕන. පළමුවැන්න නුවණින් කටයුතු කිරීමයි. දෙවැන්න හොඳ අදහස්වලින් දියුණු කිරීම, තෙවැන්න යහපත් වචන පාවිච්චි කිරීම, සිව්වැන්න නිවැරැදිව වැඩ කටයුතු කිරීමයි. පස්වැන්න නිවැරැදිව ජීවත්වීමයි. හයවැන්න උත්සාහයෙන් වැඩ කිරීම, හත්වැන්න සිහිකල්පනාවෙන් වැඩ කටයුතු කිරීම අටවැන්න සිතේ සමාධියෙන් ගත කිරීමයි.
මෙන්න මේ ටික තමයි තමන්ගේ දියුණුව පිණිස විශේෂයෙන් මහෝපකාරී වන්නේ. තමන්ගේ ජීවිතයට අවශ්‍යකරන ගුණ සම්පත මෙයින් සලසගන්න පුළුවන්. මේකට කියනවා ආර්ය ධර්මය කියලා මැදුම් පිළිවෙත කියලත් කියනවා. එවිට මේ කරුණු අට තමයි ඕනෑම කෙනෙකුගේ ජීවිතයක් සකස්කර ගන්නට අවශ්‍ය කරන්නේ.
පිනට, දහමට, ගුණයට කැමැති වන්නේ ඔන්න ඔය කියන ගුණ සම්පත් තියෙන අය විතරයි. ගුණයට කැමැති නැති අය පන්සලට එන්නේ නැහැ. වතාවත් කරන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ වැඳුම් පිදුම් කරන්නේ නැහැ. බණ දහම් අහන්නේ නැහැ. දාන මාන පින්කම් කරන්නේ නැහැ. එහෙමනම් ගුණයට මුල්තැන ලැබුණහම අර සියලු පින්කම්වල තමන්ගේ සිත යොදවන්න පුළුවන්. ශ්‍රද්ධාව, වීර්යය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්දු‍්‍රිය පහ සිතේ තිබුණොත් ඕනෑම කෙනෙකුට බලවත් ලෙස පින්කරන්න පුළුවන්. බලවත් ලෙස පින්කරන්න බැරිවෙන්නෙ ඔය ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය පහ නැතිකමයි.
බණ ගෙදරකට ආවත් බණ අහන්නේ නැහැ. පැත්තකට වෙලා ඉන්නවා. දානේ ගෙදරක ආවත් දන් බෙදන්නේ නැහැ. පැත්තකට වෙලා ඉන්නවා. පන්සලට ගියත් පන්සිල් ගන්නේ නැහැ. බුදුන් වඳින්නේ නැහැ. පැත්තකට වෙලා ඉන්නවා. මේක තමයි සම්පත් දියුණු නොකිරීම. ගුණ සම්පත් දියුණු කරන පුද්ගලයා එහෙම වෙන්නේ නැහැ. නිතරම තමන්ගේ ගුණ දියුණුව සඳහා කටයුතු කරනවා. ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු කර ගැනීම කියන්නේ ඔන්න ඔය අයුරින් වැඩ කටයුතු කිරීමයි. බාහිර ගුණ දියුණුුව තම තමාගේ ජීවනෝපාය හොඳට ගෙනයාමට තමන්ගේ වෙළෙඳාම් කටයුතු , ගව පාලනය මේවා හරියට සිදුකර ගත්තොත් තමන්ගේ බාහිර දියුණුව හොඳට සිදුකරගන්න පුළුවන්.
අනේ මට දියුණුවක් යහපතක් නැහැ. හැමදාමත් කරදරයි කියලා කියන්නේ ආගමට, දහමට පිටුපාලා වැඩ කිරීමයි. ආගමට , දහමට සමීපව වැඩකටයුතු කරන අයට පිරිහීමක් වෙන්න බැහැ. දුකක් වෙන්න බැහැ. ඒ අයට යහපතක් සලසාගන්න පුළුවන්කම තියෙනවා.
ලොවුතුරු තථාගත දහමෙන් තමයි මේ නිවැරැදි මඟ ලෝකයාටම පෙන්වල තියෙන්නේ. අනෙක් කිසිම දහමකින් මෙහෙම පෙන්වල නැහැ. ලෝකයේ ශාස්තෘවරු පහළ වුණා. සමහර ශාස්තෘවරු ගස්, ගල් , පර්වත සරණ යන ගිනි දෙවියන් පුදන නොයෙක් මිත්‍යා ඇදහිලි, විශ්වාස තිබෙන උදවිය බුදුකෙනෙක් ලොවේ පහළ වුණහම අන්න ඒ විවිධ ඇදහිලි ක්‍රම නැතිවෙලා බුදු දහම වැළඳගෙන තුනුරුවන්ට සමීප වෙලා කටයුතු කරනවා. බොහොම කලාතුරකින් බුදුවරයෙක් පහළවෙන කාලෙකදි නම් මේ පිනක් දහමක් ගුණයක් දියුණු කරගන්නවා කියන එක නම් හිතන්නවත් බැහැ. අන්න ඒවා ගැන හොඳට වැටහීමක් ඇතිකරගෙන කොයි කාගෙ වුණත් තිබෙන ගුණ සම්පත් දියුණු කර ගත්තොත් මෙලොවත් හොඳයි . පරලොවත් හොඳයි අපේ සංසාරෙත් හොඳයි. අන්න ඒවා ගැන කොයිකවුරුත් කල්පනා කරලා ලොවුතුරු තථාගත දහමේ වැදගත්කම හිතන්න ඕන. මනුෂ්‍ය ජීවිතය ලබාගත්ත මේ මනුෂ්‍ය ජීවිතය උපරිම ඵල නෙළා ගැනීම තමයි වැදගත්ම කාරණය. ඒ වගේම පිනට දහමට යොමු වෙන්නට ඕන. අන්න එවිට තමන්ගේ ජීවිතය තවත් වාසනාවන්ත බවට පත්වෙනවා.
අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා අපණ්ණක ප්‍රතිපදාව කියලා. හොඳ ප්‍රතිපදාවක්. ඒ කියන්නේ කිසිම කෙනෙකුට කරදරයක් පීඩාවක් නැතිව ගමන් කිරීමේ ක්‍රමයට අපණ්ණක ප්‍රතිපදාව කියනවා. එක ආත්මයක ගෞතම බෝසතාණෝ දැවැන්ත වෙළෙඳ ව්‍යාපාරිකයෙක් . එතුමා දවසක් ගැල් පන්සියයක බඩු පුරවලා වෙළෙඳාමේ යද්දී එක තැනක ගිමන් හරින්නට නතර වුණා. තව කණ්ඩායමක් ඇවිදින් බෝසතාණන් වහන්සේට තර්ජන ගර්ජන කළා අපියි ඉස්සෙල්ලාම වෙළෙඳාමේ යන්නේ කියලා. ඉස්සෙල්ලා ගිය කණ්ඩායමට මගදි විශාල විපතක් සිදු වුණා. යක්ෂණියක් පරිවාර සේනාව සමඟ ඇවිදින් ඔක්කොම මරාගෙන කෑවා. ගවයො ටිකත් මරාගෙන කෑවා. කරත්ත ටික හැම තැනම විසිවෙලා ගියා. පස්සෙන් එන බෝසතාණන් වහන්සේ මේක දැකලා බොහොම කනගාටු වුණා. කනගාටුවෙලා සිතනවා පසුව ආපු නිසා අපට ලොකු සැනසුමක් ලොකු දියුණුවක් ලොකු ආරක්ෂාවක් ලැබුණා. කරදරයක් පීඩාවක් නැතිව මේ ගමන එන්නට ලැබුණා. ඒ නිසා කාටවත් කරදර පීඩාවක් නැතිව මේ ගමන යන්නට ඕන කියලා අපණ්ණක ප්‍රතිපදාව බොහොම හොඳට පැහැදිලි කළා. අපණ්ණක ප්‍රතිපදාව තුළ ගමන්කරන අය පන්සිල් රකිනවා. පෝයට අටසිල් රකින අය උදේ , සවස තෙරුවන් නමඳිනවා. ඒ අයගේ මෙලොව ජීවිතය සරුසාරයි. සංසාර ගමන යහපත් වෙනවා. දුකක් කරදරයක් පීඩාවක් නැතිව මේ බිහිසුණු සසරෙන් එතෙර වෙන්නත් පුළුවන්කම තියෙනවා. අපි කොයි කවුරුවුණත් මේ ලොවුතුරු තථාගත දහමේ තිබෙන බලය ආනුභාවය ගැන හිතලා නිතර නිතර ධර්මය පිළිබඳව මෙනෙහි කරලා ධර්මයේ තිබෙන අර්ථාන්විත ගතිය සාරත්වය පිළිබඳ හොඳට කල්පනා කරලා පුළුවන් තරම් තමන්ගේ සිත දියුණු කර ගැනීම සඳහා කටයුතු කරන්නට වෙනවා.
ආනාපාන සති භාවනාව, බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව ඒ වගේ දුක් කරදර නිවාලන ඒ භාවනා ක්‍රම මඟින් උදාර මෙහෙවරක් කරගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ කල්පනාකරලා හැමෝම දහමට අනුව කටයුතු කරලා සිතේ ඇති වැදගත්කම ධර්මයේ ඇති වැදගත්කම පහදා දෙනවා. පින්වන්තයන් සම්පත් ලඟාකරගෙන සුගතියෙන් සුගතියට යනවා. නිවනට පත්වෙනවා. ගුණ සම්පත් නැති පව්කාර පුද්ගලයෝ සැමදාම අපායේ ගෙදර වගේ වාසය කරලා මරණින් පසුව දුකට පත්වෙනවා. අන්න ඒවා ගැන හොඳට කල්පනාකරලා දියුණුවීමේ දොරටු සමඟම පිරිහීමේ ක්‍රමත් මේ ධර්මයේ සඳහන් කරලා තිබෙනවා. මේ ධර්මයේ සඳහන් කරන ලද කරුණු කාරණා අපේ මෙලොව යහපත සඳහා පරලොව සුගතියට පමුණුවන විශිෂ්ඨ දේ හැටියට තමයි සඳහන් කරන්නේ. මේවා ගැන කල්පනා කරලා දියුණුවීම සඳහා මේ දේශනා බොහොම වැදගත් වෙනවා. කම්මැළිකම පසුවට දාලා , උත්සාහය මතුකරගෙන, දාන ශීල භාවනා ආදී පින්කම් සපුරාගත්තහම මේ කියන නිවන් මඟ යනවා කියන එක අමාරු කාරණාවක් නොවෙයි. ඒ වගේම පිනට දහමට ගුණයට නැඹුරුවෙලා වාසනාවන්තකම වෙන්කරවා ගත්තහම අපට පුළුවන්කම තියෙනවා මේ භයානක සංසාර දුකෙන් නිදහස් වෙන්න. මේවා ගැන තමයි සිතලා කල්පනාකරලා අපේ සත්‍යයේ බලය යොදලා බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න තිබෙන්නේ.
බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන තමන්ගේ ගුණ සම්පතුත් දියුණු කරලා මෙලොවත් හදාගෙන පරලොවත් හදාගෙන ඉතා ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිවන් සම්පත් අවබෝධ කරගන්න ලැබේවා කියන අදහසින් යුතුව කටයුතු කිරීම ඔබ අප කොයිකාගෙත් පරම යුතුකමයි.

අභාවිත සිතකට පංචකාම ගුණ විපතක්ද? සැපතක්ද?

බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

සුපසන් ජීවිතයකට දේශනා පෙළෙහි වානරයෙක් උපමා කොටගෙන දේශනා කළ ‘මක්කට’ නම් දහම් කතාවෙන් දුරුතු මස අමාවක පෝදා විග්‍රහ කළාසේ අස්‍රැතවත් පෘතග්ජන සිතක් දකින දකින දේ, ඇසෙන ඇසෙන දේ තමා සතු කර ගැනීමට යෑමේ දී ඇතිවන විනාශය කුමක් දැයි ඔබම තේරුම් ගත යුතුයි.
යම් රුවක් දැකීමෙන් සිතේ යම් වූ ද ආශාවක් ඇති වුණත් එය සීලයට, සමාධියට, සදාචාරයට ගැළපෙන යමක් නම් එය ඉටුකරගත හැකියි. එසේ නොවන හැම දෙයක් ම ජීවිතයට අනතුරක් බව, ජීවිතයට මහා ව්‍යසනයක් බව, මෙලොව පමණක් නොව පරලොව සතර අපායට යාමෙන් සිදුවන මහා ව්‍යසනයක්, විනාශයක් බව වහ වහාම සිතට අවබෝධය ඇතිවිය යුතුයි. ඒ සඳහා මනා වූ සිහියක් පැවැතිය යුතුයි. එය සතර සතිපට්ඨානයයි.
ඒ සඳහා මනා වූ සීලයක් පැවැතිය යුතුයි. එය පංච සීලය, ඒ වගේ ම අෂ්ඨාංග සීලය, නවාංග සීලය, දස සීලය, උපසම්පදා සීලය ආදී වශයෙන් විග්‍රහ කළ හැකියි. යම් විටක ඇසෙන් ස්වල්ප වූ ද අරමුණක්, ආශාවක් හැටියට පැවතුනා නම් ධර්මයේ පැහැදිලි කළ ලෙස පංචකාම ගුණයන් මතු වුණා නම් එහි ඇති ආදීනවය වහා සිහිපත්විය යුතුයි. මම ස්වාමීන් වහන්සේ නමකි. මම අම්මා කෙනෙකි. පියාණන් කෙනෙකි. ස්වාමි දියණියකි. ස්්වාමි පුත්‍රයෙකි. මා පැවිදි උතුමෙකි. මා ගුරුවරයෙකි. මා වෛද්‍යවරයෙකි. මා වැඩිහිටියෙකි. මා මෙවැනි වයසක පසුවන අයෙකි. මා මෙවැනි තනතුරක් දරන අයෙකි. මා ගමෙහි, පළාතෙහි, ගෘහය තුළ පවා මෙවැනි ගෞරවයකට ලක්ව ජීවත්වන අයෙකි. මා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කර්මය හා ඵලය පිළිබඳව විශ්වාස කරන අයෙකි. හොඳ නරක, කුසල් අකුසල්, පින පව, පිළිබඳව දැන අවබෝධයෙන් කටයුතු කරන කෙනෙකි. මම මගේ යැයි යම් වූ ද දෙයක් පරිහරණය කළත් ඒ සියල්ලම අත්හැර මොනයම් වෙලාවක හෝ මෙලොවෙන් බැහැරවීම නම් වූ මරණයට පත්වීම උරුමකම් කියන කෙනෙකි. මේ ආදී වශයෙන් සිහිය පවත්වා ගැනීමෙන් අර සිදුවෙන්නට යන අනතුර පිළිබඳව ආදීනවය කල් ඇතිව මෙනෙහි කරන්නට පුළුවනි. එවිට ඇසෙන් හමු වී වැරැදි ලෙස සකස් වූ පංචකාම ගුණයෙන් ඔද්දල් වුණු ඒ මනස එතැනින් ම සුවපත් කර ගැනීමට අවස්ථාවක් කර ගන්නට පුළුවනි.

මනා වූ සිහියක් නොමැතිව කටයුතු කරන හෝ අභාවිත සිතක් ඇතිව කටයුතු කරන පුද්ගලයකුට සිදුවන්නේ කුමක් ද? ඇසෙන් හමුවුණ රුව ඉටුවඩන, මනවඩන, ප්‍රිය දැයෙහි කාමයෙන් යුත් ඇලුම්කරන වශයෙන් පංචකාම ගුණයට හසු වී බලවත් වූ වැරැද්දකට හසුවෙන බව දැනෙන්නට පටන් ගනී. එහෙත් එහි ඇති ආදීනවය ඔහුට හෝ ඇයට නොපෙනේ. නොදැනේ. දැනෙන්නේ එහි මතු වූ තෘෂ්ණාව පමණක්මයි. එය ලෝභය හෝ රාගය හෝ කාමය හෝ රතිය හෝ බැඳීම හෝ ආශාව හෝ ඇලීම හෝ ඔබ සඳහන් කරන විවිධ වචනවලින් ද සඳහන් කළ හැකියි.
එය රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, ස්පර්ශ තණ්හාව, ලෙසින් විය හැකියි. පැහැදිලිවම තමාට නොගැළපෙන දෙයක් බව සීලයට, හැදියාවට සදාචාරයට නොගැළපෙන දෙයක් වියහැකි බව දැනුමෙහි පැවතිය හැකියි. එහෙත් එහි ඇති අනතුර ආදීනවය භයානක කම පිළිබඳව සිතන්ට දැනෙන්න තරම් හෝ ඒ ගැන තේරුම් ගන්න තරම් ඕනෑ කමක් නැති නිසා මේ පුද්ගලයා ඇසෙන් පමණක් නොව කනෙන් ද ශබ්දය ඔස්සේ එයට සමීප වීමට උත්සාහ ගනී. දුටු දේ හඬින් ද, ශබ්දයෙන් ද, කන් දෙකෙන් ද, ළං කර ගැනීමට උත්සාහ ගනී. හරියට සමාන කළොත් අර ලහටුවලට හසු වූ වානරයා පළමු අත ලහටුවෙහි ඇල වුණු වෙලාවෙහි එය ගලවා ගන්න කල්පනා කරන්නෙ නැතිව දෙවැනි අතත් තැබුවා සේ මේ අසතියෙන් පවතින අභාවිත සිත් ඇති පුද්ගලයා කනත් එයට ළංකර ගනී. දැන් ඇසෙන් ගත් රූපයට පංචකාම ගුණයෙන් ඇලුණා පමණක් නොව කනින් ද, ශබ්දයට ද පංචකාම ගුණයෙන් බැඳෙන්නට පටන් ගනී. දැන් ඇසෙන් වගේ ම කනෙනුත් පංචකාම ගුණයට හසු වී තිබෙන බව පැහැදිලියි. මාරයාට ළං වීමක් තිබෙන බව පැහැදිලියි. ඇසෙන් පමණක් නම් හසු වී තිබුණේ දැන් කනෙන් ද හසු වී තිබෙන නිසා කොටස් දෙකකින් මාරයාට හසු වී මාරයා බලවත්ව සිටින බව මෙහි පැහැදිලියි.
අභාවිත සිතක් පවතින මේ අයට තවමත් තමාට සිදුවෙමින් පවතින අනතුර විනාශය විපත්තිය පිළිබඳව සිහිපත් කරන්න තරම් අවස්ථාවක් නොදැනේ හෝ ඕනෑකමක් නැත. එයට හේතුව වානරයාගේ මෙන් බාලගතියත්, ලොල් ස්වභාවයත් අසංවර බවත් නිසායි. දැඩි වූ ආශාව රාගය තෘෂ්ණාව, ලෝභය නොහැදුණුකම, වර්තමානයේ සඳහන් කරන සල්ලාලකම පවා මෙවැනි අවස්ථාවක බලපෑ හැකියි. තමාගේ ස්වභාවය ආකාරය ගෞරවය මේ සියල්ලම අමතක කොට දැන් වඩාත් නැගෙන්නේ ලොල් ස්වභාවයයි. මනසේ පවතින බාල ස්වභාවයයි.
මේ නිසා වානරයා තුන්වෙනි පාදයත්, හතරවෙනි පාදයත් තබා තදින් බැඳුනා වගේ මේ අයද මේ පුද්ගලයා ද නාසයෙන් ද දිවෙන් ද බැඳෙන්නට පටන් ගනී. වානරයා හිසත් තමා බැඳුණ වගේ මේ පුද්ගලයා කයෙන් බැඳෙනවා යැයි සඳහන් කළේ මුළු සර්වාංගයම අර ආශාවට යොමුකර ගැනීමයි. මෙවැනි අවස්ථාවක සාමාන්‍ය ලෝකයා කියන්නේ නින්ද යන්නෙ නැහැ කියල, කුසගින්න දැනෙන්නෙ නැහැ කියල, වෙනද වගේ දැන් සිත එක්තැන් කරගෙන යමක් කරන්න බැහැ කියලා. වෙනදා පි‍්‍රය වස්තුව යැයි සඳහන් කළ අය හෝ යම් දේ පවා ඒවා තමාට අප්‍රිය වෙන බව පවසයි. ඒවා සමඟ හිතවන්ත බවක් නැතිවී යයි. යම් කෙනෙකුගේ ජීවිතවල අත්දැකීම් ඇත්නම් තමාගේ නිවහනෙහි ඔවුනොවුන්ට ස්වාමියා, බිරිඳ, දෙමව්පියන්, දරුවන් ආදී වශයෙන් ඔවුනොවුන් එපා වෙන්න පටන් ගනී.
නුරුස්නා බවකට පත්වෙයි. ඔවුන්ගේ දැක්ම, කතාව, හැසිරීම පවා තමාට කරදරයක් ලෙස දැනෙන්නට පටන් ගනී. ආශාවේ හා ලොල් ගතිය නිසා අර බැඳුණු අරමුණේ දැඩිබව මෙයට හේතුව බව යම් විටක ඒ පුද්ගලයා පවා නොදැන සිටින්නට පුළුවනි. මෙවැනි වෙලාවක ඔවුහු හෝ ඇයට නොදැන තමාගේ ආධ්‍යාත්මික වශයෙන් ජීවිතයට සිදුවන පරිහානිය බලවත් සේ වැඩෙන්නට පටන් ගනී. ඉගෙන ගන්නා අවධියේ දරුවෙක් නම් මතක ශක්තිය නැති වී යාම, දැනුම අලුතින් ලබාගැනීමට ඇති අපහසුතාව සිතන්නට, තර්කනයට ඇති අපහසුතාවය අලුත් යමක් සොයාගෙන යෑමේ ඇති නොහැකියාව වැඩෙන්නට පටන් ගනී. සමීපතම ප්‍රතිඵල ලබාගෙන සිටිද්දීම අධ්‍යාපනයෙන්, විභාග ආදියෙන් දුර්වල වීමයි. අසමත්වීමයි. දැඩි ආශාවට පත් වූ ලෝභ ගති ඇති ජීවිතවල භයානක විපාක පිළිබඳව ඔබ බොහෝ කෙනෙක් දැන ඇති බවට විශ්වාසයි.
වැඩිහිටි වූ තරුණ දරුවෙකුගේ ජීවිතවල කතාවත් එසේ විය හැකියි. විවාහක නම්, රැකියාවක්, වෘත්තියක් කරන අයකුගේ නම් ජීවිතවල ඇතිවන තත්ත්වය කුමක්දැයි සිතාගත හැකිය. වර්තමානයේ බොහෝ විටක පවත්නා පවුල් අතර ගැටලු ගැන ධර්මානුකූල අදහසක් සුපසන් ජීවිත කතාවේ දී අපට විමසා බැලිය හැකියි. අභාවිත සිත් පැවැත්වීම නිසා පළමුව සිතින්, පැනනැගුණු ඇස මුල්කරගත් අර රූපය, මොනතරම් විපතක් රැගෙන ජීවිතය ට ඇතුල් වී මොනතරම් විනාශයක් කොට ඇත්දැයි තේරුම් ගත හැකියි.
මලක් කොළයක් කා විනාශ කරන පණුවෙක් සෙයින්ද? යහපත් වූ පලතුරක් විනාශ කරන පණුවෙක් සේද? ජීවිතයක් විනාශයට පත් කරන පිළිකාවක් සෙයින්ද? ගසක් මුළුමනින් ම විනාශ කරන පිළිලයක් සෙයින්ද? අභාවිත සිතකට ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ඇතුල්වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නම් වූ මේ පංචකාම ගුණ මොනතරම් විපතක් දැයි සිතා බලන්න.
මේ සියල්ලන්ගේ ම පිටුපස සිටින්නේ කවුද? මේ සියල්ලන්ගේ ම පිටුපස සිටින්නේ මාරයා බව ඉතාම පැහැදිලියි. මේ සියල්ලන්ගේ ම පිටුපස සිටින්නේ මාරයාගේ ශක්තිය බව මාර බලවේගය මාරයාගේ ආවේශය බව ඉතාම පැහැදිලියි. මෙන්න මේ නිසයි තථාගත බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා නම් වූ සිව් පිරිසට ම ආරාධනා කරන්නේ නුඹලා කිසිදු කෙනෙක් අගෝචර වූ මෙර මා සතු විෂයෙහි හැසිරෙන්නට එපා. අගෝචර වූ මෙර මා සතු විෂයෙහි ස්ථානයෙහි හැසිරෙන්නට ගියොත් එය මාරයාට අවස්ථාවක් බවට පත්වන්නේ ය. ලච්ඡති මාරො ඔතාරං ආරම්මණං.... යනුවෙන් දැක්වූයේ එයයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

නිවන් මඟට පසුබිම

සිත එකඟ කර ගැනීම සමාධියයි. සැනින් අරමුණු ගනිමින් අරමුණින් අරමුණට මාරුවන සිත මොහොතකට නමුදු එක අරමුණක පිහිටුවා ගත හැකි නම් සිතෙහි ශක්තිය මතු කරගත හැකි ය. සිත ස්වභාවයෙන්ම ශක්තිමත්ය. බලවත්ය. ඒ ශක්තිය මතු කරගත්විට විශ්මිත දේ කළහැකියි. සෘද්ධි පෙළහර පෑම වැනි සාමාන්‍ය ජනයා මවිත කරවන දේ සිදු කර ඇත්තේ මේ ශක්තිය තාවකාලිකව මතුකරගැනීමෙනි. විද්‍යා ශාස්ත්‍ර විෂයෙහි විස්කම් පෑ අයද කර ඇත්තේ එක් අතකට සිතේ නිසඟ ශක්තිය මතුකර ගැනීමකි. නිවන වැනි උසස් සැපයක් ලැබීමද කළ හැක්කේ සිත කාම, රූප අරූප භවවල නො පිහිටන සේ ශක්තිය මතු කර ගැනීමෙනි.
උපන් ඇසිල්ලේ බිලිඳෙකුට ලැබෙන සිත පැහැසර බබළන සිතකැයි නොසිතිය යුතුයි. බිලිඳා මෙලොවට ආගන්තුකය. පරිසරය ගැන ඒ හැටි දැනීමක් හැඳිනීමක්ද නැත. එහෙයින් වැඩුණු අයෙකුට මෙන් රාග, ක්‍රෝධ, සිතිවිලි පහළ නොවේ. එහෙත් ඒ සිත එවන් කිළිටි සිතිවිලි උපදීමට සුදුසු තෝතැන්නකි. තෙත පොහොර සහිත පොළොව බීජයක් පැළවීමට සුදුසු ය.
බීජයක් වැටුණු විට දිනකින් දෙකකින් පැළයක් හටගනියි. එපරිද්දෙන් ඉපදුන ඇසිල්ලේ බිලිඳු සිතෙහිද කිළිටි සිතිවිලි පහළවීමට සුදුසු පසුබිම පවතියි. කෙසේ හෝ අපට ඇත්තේ කිළිටි වී ගිය සිතකි. එහි පැහැසර බවෙක් නැති පිරිසුදුබවට පැහැසර බවට බලවත් ශක්තිමත් බවට සිය පත්වීම යනු සිතේ මූලික ස්වරූපයට පත්වීමයි. සිතේ ඇති මේ ශක්තිය නැති වී තිබෙන්නේ බාහිරව එකතු වන කාමය, කෝපය, ඊර්ෂ්‍යාව වැනි අපවිත්‍ර සිතිවිලි වලිනි.
ධර්මයෙහි කෙලෙස් නමින් හැඳින්වන කිළිටි දැලි කුණුවලින් සිත වැසී තිබුණ පමණට සිතෙහි ශක්තිය බලය හීන වේ. සමාජයේ ඉතා පහත් මට්ටමක හිඳිමින් දරුණු කෲර අපරාධ කරන්නෙකුගේ සිත කිලිටි සිතිවිලිවලින් දැඩිව වැසී තිබිය හැක. එවන් අපරාධ නො කරතත් ගුණ දහමක පිළිවෙතක නොයෙදෙන කෙනෙකුගේ සිතද අඳුරින් දුහුවිල්ලෙන් වැසි තිබීමට පිළිවන. බඩු මුට්ටු තැන්පත් කළ ඇතැම් ගබඩා කාමර නිතර දෙවේලේ පරිහරණය නො කළත් දූවිල්ලෙන් වැසී තිබෙන බව අපි දනිමු. එපරිද්දෙන් පව් නො කරන අපට පින් කුමකටදැයි අසන අයගේ සිත් සතන් ද වසා ඇති ගබඩාකාමර මෙන් පව් නොකළත් කෙලෙස් දුහුවිලිවලින් වැසී පැවැතීමට ඉඩඇත.
එහෙයින් අප පළමුව සිතේ ඇති ශක්තිය බලය නිසි පරිදි වටහා ගත යුතු ය. එය මතුකර ගැනීමට උනන්දුවිය යුතු ය. ඒ සඳහා නිවැරැදි මග කිම්දැයි දතයුතුයි.
කෙනෙකු නපුරු කෲර පාප ක්‍රියාවක නිරත වන්නේ සිතෙහි පහළ වූ කිළිටි සිතිවිල්ලක බලපෑමෙනි. අනුනට හිංසා පිණිස වන වදන් පිට කරන්නේ ද එවැනි වුම පාපි සිතිවිලි නිසා ය. එහෙයින් අප කරන පාපි ක්‍රියාවත් නපුරු වචනත් නිකරුණේ බැහැර වී යන්නට ඉඩදීම නොකළ යුත්තකි. තවත් අතකින් එය අලාභයකි. අයහපත් ක්‍රියාව හෝ නපුරු වචන ගැන ඔබ විමසිය යුතු යි. තම සිත තුළ වැරැදි සිතිවිල්ල ඇතිවීමට හේතු සාධක විමසනවිට ඔබ සිදු කරන්නේ උතුම් සම්බුදු ධර්මය ක්‍රියාවට නැංවීමකි. මේ ස්වභාවය ධර්මයෙහි මෙසේ සඳහන් වෙයි.
ඔහු තම සිත තුළ උපන් ගැටෙන සුළු ස්වභාවය දනියි. ඒ සිත උපදින අන්දමද දනියි. එය නැතිවන අන්දමද දනියි යළි ඒ ගැටෙන සුළු සිත ඇති වේ නම් ඒ බවද දනියි. මෙසේ සිහිකිරීම ආවේග පහළ වූ කෙනෙහිම කළ නොහැක. එහෙත් ආවේග නිසා වූ ප්‍රතික්‍රියා අවසන් වූ පසු සිතෙහි වූ ස්වභාවය ගැන සිතිය හැක. සමහරවිට මෙසේ දැකීමට පුහුණු වීමෙන් යළිත් එවැනි ගැටෙන සුළු අවස්ථාවකට මුහුණ දීමේ දී සන්සුන් මනසින් කටයුතු කිරීමේ හැකියාව ලැබීමට පිළිවන.
බෞද්ධ පිළිවෙත් නිවැරැදිව තේරුම් නොගෙන කටයුතු කිරීමෙන් බොහෝ දෙනාට තම පිළිවෙත් මඟෙහි ඉදිරියට යා නොහැකිව එකම තැන රැඳීමට සිදුවන බව පෙනෙයි. ඔවුහු සතර පෝයට සිල් පේ වෙති. වන්දනා ගමන් යති. දානමාන පින්කම් විසිතුරු පූජා පින්කම් ලයිස්තුවෙ මුලටම ලියා ගනිති. එහෙත් වන්දනා ගමන ගොස් එන අතර වාරයෙ තමන් සමඟ ගිය සැදැහැතියෙකුගෙන් සිදු වූ අඩුපාඩුවට දැඩි සේ කිපී තම සිත අඳුරු කිළිටි කෙලෙස්වලින් වසා ගන්නවා විය හැක. විසිතුරු පින්කම්වලින් අපට මොහොතකට සිත සංවර කරගත හැක. බියකරු සසර ගමනේදී අපට සැනසීමෙන් සිත සකස් කරගත හැකි ක්ෂේම භූමි ලැබීමට දානාදී පින්කම් අවශ්‍ය වේ. එහෙත් ඒවා හිත් හැදීමේ වැඩ පිළිවෙළට උපකාර දේ මිස පිළිවෙත වඩා වැඩිමනත් දේ නොවෙයි.
දහම ගැන නිසි අවබෝධයෙන් තොර වූ අයෙකු නිතරම බලන්නේ ක්‍රියාවන්ගේ මතුපිට පමණයි. යමෙකු රළු පරළු වදනින් දොස් කියනවිට පෙරලා අසන්නාද එසේ කරන්නේ මේ මතු පිට පමණක් බැලීමට පුරුදුව සිටින හෙයිනි. හේතු ඇතිව හෝ හේතු නැතිව යමෙකු දොස් නගන විට තැන්පත් සංයමයකින් ප්‍රතික්‍රියා දක්වන්නෝ නැතැයි කිවයුතු තරමට දුලභයහ. රළු වදනට රළුවදනින්ම පිළිතුරු දෙන්ටත් කෲර නපුරු ක්‍රියාවට එබඳුම නපුරු පිළිවෙතට උත්තර දෙන්නටත් යෑමෙන් සිදුවනුයෙ සිතෙත් බැහැර කළයුතු අවගුණයකට සිතෙහි පැල පදියම් වීමට ඉඩකඩ සැලසීමයි. ආරම්භයෙදි සුළුවෙන් ඇතිවන මේ අසාධු සිතිවිල්ල දෙතුන් වරක් සිත තුළ ඇති වීමෙන් එය සිතින් පලවා හැරිය නොහැකි තරමට මුල්බැස ගනු ඇත.
එක අතකින් අපේ ජීවිතවල මේ ජීවිතයෙදිම දසක දෙක තුනක් පුරාවට මේ අයහපත් ධර්මතාවයන් අප විසින්ම සිත් තුළ රෝපණය කර ගනිමු. අනෙක් අතට සසර අනන්ත උප්පත්තිවලදී එක්රැස් කරගත් අගුණ දුර්වලකම්වලින් ශේෂ වූ ශක්තීන් ආත්මයෙන් ආත්මයට ගෙන යන බවද අප අමතක නොකළයුතුයි. එහෙයින් දිය බඳුනක පත්ලේ තැන්පත්වන රොන්මඩ කැළඹීමක් සිදුවූ විගස ඉස්මතු වන්නාසේ අපගේ සිත්වලත් රැඳී ඇති කිලිටි සිතිවිලිවලින් ඉතිරි වූ අපවිත්‍ර දැලි කුණු හා සමාන පව් කිරීමට උපකාර වන චිත්තාවේගයන් අප හැකිතාක් දුරට සමනය කිරීමට වග බලා ගත යුතුයි. තම දුබලතා නොදැක යළි යළිත් එයම සිදු කිරීම අපේ උතුම් පරමාර්ථ ඉටු කර ගැනීමට බාධාවකි. යෙ තං උපනයහන්ති වෙරං තෙසං නසම්මති’ යමෙක් තුමු සිතේ පහළ වූ ගැටෙන නොරිසි ස්වභාවය දිගින් දිගට වර්ධනය කරමින් පවත්වාගෙන යයිද කිසිදින ඔහු සංසිඳිමකට නිවීමකට නොපැමිණෙයි.
මැදුම් පිළිවෙතෙහි ඉදිරිගමනට අරි අටඟි මගෙහි හැම අංගයක්ම උපකාරි වන බව සැබෑවකි. එහෙත් වඩාත්ම උපකාරිවන ධර්මතාවයක් ලෙස සම්මා වායාමය දැක්විය හැක. මන්ද සිත පසු බසින හැමවිටම ඔසොවා තබන්නෙ සම්මා වායාමය මෙන්ම විරිය සම්බොජ්ඣංගය යන ධර්මතා දෙක මඟින් වන හෙයිනි.
ඉහත සඳහන් කළ පරිදි මතුපිට පමණක් බලන්න පුරුදු වූ තැනැත්තාට කිසිවිටෙකත් තම සිත තුළ සැඟව පවත්නා අප්‍රකට අකුසල් නොපෙනෙනු ඇත. එවිට ඔහු තමා තුළ ඇති උපන් අකුසල් දුරු කිරීමට අසමත් වෙයි. එසේම බැහැරින් අලුතින් එකතුවන අකුසල්වලට ඉඩකඩද ලබා දෙයි. අලුතින් කුසල් එක් රැස් නොවන්නාසේම දැනට ඇති කුසල් දහම්වල දුබලවීමක්ද ඇතිවිය හැක.
එහෙයින් නිවන් පතා යන පිළිවෙත් ගමනේ දී සැදැහැතියා අනිවාර්යෙන්ම තම සිත දෙස බැලීමට පුරුදුවිය යුතු යි. එසේ බලනවිට ඔහුට තම සිත තනිවූ පරිද්දෙන් දැකීමට පුහුණුව ලැබෙනු ඇත. එය කළ හැක්කේ බුද්ධ වචනයෙ සඳහන් උතුම් සතිය ප්‍රගුණ කිරීමෙනි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කාමයෙහි ආදිනව නොදත්තා කිසිදිනක එය අත් නොහරී

කාමය සිඟා කෑ දෙයක් වැනි ය. නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකුගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය.කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව නොහැකි ය.
ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයයි. සැවැත්නුවර පිඬු පිණිස වඩින භික්ෂුන් වහන්සේ නමකි. කොසොල් රජතුමා ගේ එක බන්ධනාගාරයක් උන්වහන්සේ ගේ ඇස ගැටේ.
එහි දැඩි වධ බන්ධනයට හසුව දුක් විඳීන සිරකරුවෝ ය. ඒ දුක දැක සංතාපයට පත් වූ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ අසති.
“ස්වාමීනි! බුදුපියාණන් වහන්ස. රජ ගෙයෙහි අපමණ දුක් පීඩා විඳින සිරකරුවන් දැක අපි බොහෝ දුකට පත් වීමු. යකඩ දැල් අතර සිරවී ගත කරන මේ බන්ධනයට වඩා වැඩි තවත් බැඳුම් තිබේද? බුදුරජාණන් වහන්සේ මෙසේ සඳහන් කරති.
“නතං දළහං බන්ධනමාහු ධීරා - යදාය සං දාරුංජං බබ්බජඤ්ච
සාරත්ත රත්තා මණිකුණ්ඩලෙසු - පුත්තේසු ධාරේ සුචයා අපේඛා
එතං දළහං බන්ධනමාහු ධීරා - ඔහාරිනං සිථිලංදුප්පමුඤචං
ඒතම්පි ජෙත්වාන පරිබ්බජන්තී - අනපේක්ඛිනෝ කාම සූඛං පහාය”
“මහණෙනි, යකඩයෙන් කරන ලද, දැවයෙන් කරන ලද සහ රැහැනින් කරන ලද යම් බැඳුමක් වේද ඒ සියල්ල පහසුවෙන් සිඳලිය හැකි ය. ඒ නිසා නුවණැත්තෝ මේවා දැඩි බැඳුම් සේ නොසලකති. යමෙක්, ආභරණ කෙරෙහි, දරුවන් කෙරෙහි, අඹුවන් කෙරෙහි වූ දැඩි බැඳුම් ඇත්තෙක් වේද ඒ බන්ධනය අවි ආයුධයකින් සිඳලිය නොහැකි ය. නුවණැත්තෝ දැඩි බන්ධනය ලෙස දකින්නේ තණ්හාව නමැති බැම්මයි.
බුදුරජාණන් වහන්සේ එදා භික්ෂුන් වහන්සේට පෙන්වා දුන් මාර්ගය අද අප ගේ ජීවිත හැඩ ගසා ගැනීමට මහත් උපකාරි වන බව මාගේ විශ්වාසයයි.
අප කෙරෙහි වූ විවිධාකාරයේ ඇලීම් නිසා සංසාරික ජීවිතයේ දී අපි වේදනාවට භාජනය වෙමු. දුකට, පීඩාවට පත්වෙමු. මෙහි දී කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කළ යුතුව ඇත. එනම් කාමය සහ රාගයයි. අඹු දරුවන්, සහෝදර සහෝදරියන්, ඥාති හිත මිත‍්‍රාදීන්, ආහාරපාන, වස්ත‍්‍රාභරණ, මිල මුදල් ආදී වූ වස්තු කෙරෙහි අධික ලෙස ඇලීම කාමයයි. එහි රූප තිබේ.
ශබ්ද තිබේ. ගන්ධය, රසය, ස්පර්ශය තිබේ. නිර්වාණය අවබෝධ කරගන්නා තාක් පංචකාමයන් පිළිබඳව වූ ඇලීම මිනිසුන් කෙරෙන් දුරස් නොවේ. එක් අවස්ථාවක දී ගිහිගෙය කලකිරී සසුන්ගත වූ පැවිද්දකු පවා පස්කම් සුව විඳීමේ ආශාවෙන් නැවත ගිහිගෙය සොයා පැමිණීමට පුළුවන.
කාම බන්ධනයේ ස්වභාවය එයයි. ලෞකික ධ්‍යාන උපදවාගෙන සිටින අය පවා එම ධ්‍යානවලින් පිරිහී ගිය අවස්ථා පිළිබඳව ධර්මයේ සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ බෝධි සත්ත්ව කාලයේ සිටම නෙක්ඛම්ම පාරමිතාව පිරුවේ කාමයෙහි ඇළුණු පසුව අත්විඳින්නට වන අසහනකාරිත්වය, එහි තිබෙන දුක්ඛ සහගත බව උන්වහන්සේ ඉතා හොඳින් අවබෝධ කොට සිටි බැවිනි. කාමයෙහි වූ ආදීනව දැකිය යුතු බව උන්වහන්සේ සෑම මොහොතකම තම ශ‍්‍රාවක පිරිසට ඉගැන්වූයේ ය.
කාමයෙහි ආදීනව නොදකින තැනැත්තා කාමය අත්හරින්නට කිසිදාක සූදානම් නැත. මේ ජීවිතයේ වූ අධික බැඳීම්වල ඇති අගතියෙන් ගැලවෙන්නට සූදානමක් නැතිනම් ලෞකික ජීවිතයේ ආධ්‍යාත්මික සුවයක් කිසිදිනෙක අත්විඳින්නට නොලැබෙනු ඇත. කාමයේ සහ රාගයේ දැඩිව ඇලීමේ ආදීනව දහයක් බුදුරජාණන් වහන්සේ ‘අලගද්දුපම සූත‍්‍රයේ’ දී උපමා මගින් පෙන්වා දුන්හ.
“අත්ථි කන්කලුපමා කාමා”
කාමය ඇට කැබැල්ලක් හා සමානය. ඒ කුමන ඇට කැබැල්ලක් ද? අල්ප වූ රසයක් ඇති ඇට කැබැල්ලකි. සාමාන්‍යයෙන් කාමයෙහි ලොල් වූ තැනැත්තාට එහි ඇත්තේ අල්ප වූ රසයක් බව කිසිදා නොසිතේ. කාමයෙහි මත් වූ පසුව, රාගයෙහි දැඩිව ඇළුණු පසුව එහි වින්දනාත්මක බව වඩ වඩාත් දැනෙන බැවිනි. බුදුරජාණන් වහන්සේ මෙය අපට නිරවුල්ව කියා දෙති.
මස්වත් ලේවත් නැති ඇට කැබැල්ල කොතරම් වේලාවක් කටේ රුවාගෙන සිටියත් සුනඛයා ගේ කුස නොපිරෙන්නා සේ පස්කම් සුවයෙහි ගැති වූ පසු කිසිවකු දැන් ප‍්‍රමාණවත් යැයි ඒකෙරෙන් සම්පූර්ණත්වයට පත්වන්නේ නැත.
“මංස පේසු උපමා කාමා”
කාමය මස් කැබැල්ලකට ද උපමා කොට ඇත්තේ ය. මස් කැබැල්ලක් ගෙන අහසට පියඹා යන උකුස්සා පසුපස අනෙක් උකුස්සෝ හඹා යති. ඒ මස්කැබැල්ල ඩැහැ ගන්නට ය. කාමයෙහි ආදීනව නොදැන දිගින් දිගටම එහි ඇලීමෙන් අත්වන්නේ මස් කැබැල්ල රැගෙන අහසට පියඹා ගිය උකුස්සාට අත්විඳින්නට වූ පීඩාව හා සමාන පීඩාවකි. කාමයට ගිජු වූ පසු කවරාකාරයේ ගැටුම්වලට, කුළල් කාගැනීම්වලට මුහුණ දෙන්නට සිදුවේදැයි අපි නොදනිමු.
බුදුරජාණන් වහන්සේ එය තවත් අපූරු උපමාවකින් මෙසේ විග‍්‍රහ කරති.
“තිනික්කු උපමා කාමා”
පෙ‍්‍ර්මයෙන් පැරැදුණ ඇතැම් පිරිස් ‘මාව පිච්චෙනවා වගේ’ ‘මම ගිනි අරගෙනයි ඉන්නේ’ යනුවෙන් පවසන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. බුදුරජාණන් වහන්සේ මෙහි කාමය උපමා කොට තිබෙන්නේ තණ හුළකටය.
ගිනිගත් තණු හුළක් උඩු සුළඟට හැරුණු පසු වේගයෙන් දැවේ. අත් නොහැරිය හොත් එය අල්ලා ගෙන සිටින තැනැත්තා ද දවා හළු කරන තරමට මේ ගිනි හුළ කි‍්‍රයාත්මක වීමට පුළුවන. දැල්වුණු තණ හුළකින් ඔබ දැවී පිච්චී යන්නට පුළුවන් වගේ ම කාමයෙහි අධික ලෙස ඇලීමෙන් එයින් ම ඔබ දැවී වැනසී යන්නට පුළුවන් බව බුදුන් වහන්සේ උගන්වා ඇත.
“අංගාර කාසු උපමා කාමා”
කාමයෝ ගිනිදලු නැති, දුම් නැති, ගිනි අඟුරුවිලක් හා සමානය. ගිනි අඟුරුවිලක තිබෙන බිහිසුණු බව කොතරම් ද? ගිනි දලු එළියට නොපෙනුණත් ඊටත් වඩා භයානක බවක් අභ්‍යන්තරයේ ඇත. එය කෙනෙක් දවා හළු කරන්නට සමත් ය.
කාමය, රාගය නමැති ගින්න එළියට එන්නට නොදී සඟවාගෙන සිටින තැනැත්තා කාමයෙන් මත් වූ පසුව මොන තරම් නම් විඳවනවා ඇත්ද? මොනතරම් දැවෙමින් පිච්චෙනවා ඇත්ද?
ඔබ අනිවාර්යයෙන් ම සිහියට ගත යුතු දෙයක් වේ. අධික වූ කාමයකින් ඔබ යමක් කෙරෙහි ඇළෙනවා නම්, අභ්‍යන්තරයේ කාමය සඟවා ගෙන සිටිනවා නම් එය හරියට අළුයට සැඟවුණු ගිනි අඟුරු ගොඩක් වැනි ය. කුමන අවස්ථාවකදී මතු වී අවුත් අලුත් ගින්නක් හට ගනී දැයි අපි නොදනිමු.
කාමයෙහි ඇති හිස් බව බුදුරජාණන් වහන්සේ තවත් උපමාවකින් පෙන්වා දේ. කාමයෙහි ඇලීමෙන් පසු අප ගත කරන සිහින ලෝකය පිළිබඳව මෙසේ සඳහන් කරයි.
‘සුපින කූපමා කාමා’
කාමය හරියට සිහිනයක් හා වැනිය. අපි බොහෝ සිහින දකිමු. නින්දේදී අපට අලංකාර මහා මන්දිර හමුවේ. දිව්‍ය ලෝක පෙනේ. උදෑසන පිබිදුණු විට ඒ හීනවල කිසිම හරයක් නැති බව, සිහින පමණක් ම බව අවබෝධ වේ. කාමයෙන් අගතියට ගිය පසු.
අප ජීවත්වන්නේ ද සිහින ලෝකයක ය. ඒ සිහිනයේ සිටින තාක් යථාර්ථය අත්විඳින්නට ලැබෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කර දී තිබේ.
තවත් අවස්ථාවක, කාමය අනුන්ගෙන් ඉල්ලා ගත් දේවල් බඳු යැයි සඳහන් කරයි.
“යාචිත උපමා කාමා”
කාමය සිඟා කෑ දෙයක් වැනි ය. එසේත් නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකු ගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය. කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව නොහැකි ය.
බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක, කාමය පල දරන ගසකට උපමාකර ඇත්තේ ය.
“රුක්ඛ පලුපමා කාමා’
පල බරැති ගසකට නැඟගත් කෙනෙක් සීමාවකින් තොරව ගෙඩි ආහාරයට ගන්නට පටන් ගනී. ගසට නැඟ ගත නොහී තවත් මිනිසකු පැමිණ ගස කපා දමන තුරුම ගසට නැගගත් තැනැත්තා සිහියක් නැතිව ගසින් නොබැස්සේ නම් ඔහු ගසත් සමගම ඇද වැටී විනාශයට පත්වෙන්නට පුළුවන. පස්කම් සුවයෙහි අසීමාන්තිකව ඇළෙන්නට ගැලෙන්නට යන සියලු දෙනාටම විනාශය ගෙන දෙන බව මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙති.
“අතිසුනු උපමා කාමා”
කාමය කඩුවකට, මස් කපන කොටයකට උපමා කරන්නේ ය. කඩුවත් කොටයත් නිසා මස් කැපෙන්නා මෙන් කාමය නිසා කළකෝළාහල ඇති වී මිනිසුන් විනාශයට පත්වන්නේය. සමාජය දෙස බැලූ කල මෙය ඉතාම ප‍්‍රායෝගික සිදුවීමකි.
අධික ආශාව නිසා මිනිසුන් ගහ මරා ගන්නා අවස්ථා කොතෙකුත් ඇත. ලොව බලවත් රටවල් තෙල්වලට ඇති අධික ආශාව නිසා, ඒ සීමිත සම්පත්වල උරුමක්කාරයින් වන්නට ඇති අධික කැමැත්ත නිසා පිල්වලට බෙදී එකිනෙකාට එරෙහිව අවි ආයුධ අමෝරා ගන්නා ආකාරය අපට පෙනේ. බුදුරජාණන් වහන්සේ, යම් දෙයක් කෙරෙහි අධික ලෙස ඇලීමෙන් එකිනෙකා අතරවන ගැටුම් කඩුවකට සහ කොටයකට උපමා කොට ඇත්තේ මෙවැනි අවස්ථා පදනම් කරගෙන ය.
“සක්ති සලුපමා කාමා”
අලගද්දුපම සූත‍්‍රයේ දී තවත් අවස්ථාවක කාමය ඉතා තියුණු පිහියකට තියුණු ආයුධයකට තියුණු උලකට උපමා කර තිබේ. තියුණු ආයුධයකින් සිදුවන්නේ කෙනකුට හානියක් සිදු කිරීමයි. විනාශ කර දැමීමයි. කාමයත් ඒ හා සමානය.
කෙනෙක් වඩාත් ඇලුම් කරන දෙයක් තවත් කෙනකුට හිමිවූ කල එය ඔවුනොවුන් අතර මහා අරගලයකට, විනාශයකට හේතු වන අවස්ථා අපි කොතෙකුත් දැක ඇත්තෙමු. තමා ආදරය කළ තැනැත්තිය වෙනකකු හා විවාහ වූ කල ඔවුන් මරා දමන්නට තරම් සැහැසී වූ අවස්ථා අපට කොතෙකුත් හමු වී ඇත.
බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන් කාමය සර්ප හිසකට උපමා කරන්නාහ.
“සප්ප සිරූපමා කාමා”
සර්ප හිස ඉතාම බිහිසුණු ය. කාමයත් ඒ වගේ ඉතා භයානක, බිහිසුණු දෙයක් ලෙස උන්වහන්සේ උගන්වා ඇත.
ඔබ මේ උපමා දහය පිළිබඳව ඉතා සියුම්ව, ඉතාම විමර්ශනශීලීව කල්පනා කළ යුතු ව ඇත. අනවශ්‍ය ඇලීම් නිසා ඔබට වේදනාවක් මිස සැනසුමක් උදාවන්නේ නැත. එය දැල්වෙන ගිනිහුලක් සේ නිරතුරුවම අපට පීඩාකාරී වන බව අමතක නොකළ යුතු ය මේ නිසා යම් යම් දේවලට ඔබ කෙරෙහි වූ ඇල්ම අඩුම තරමින් ටිකෙන් ටික හෝ අඩු කරන්නට, ප‍්‍රහීණ කරන්නට ඔබ උත්සාහ කළ යුතුව ඇත.
ඒ සඳහා අලගද්දුපම සූත‍්‍රය පදනම් කරගනිමින් සිදු කරන මේ මඟ පෙන්වීම මහත් ප‍්‍රයෝජනවත් වනු ඇත. විවිධ වස්තූ කෙරෙහි තදින් ඇලීම නව ලොව රටවායි. අප අගතියට පෙළඹවීම කාමයේ ස්වභාවයයි. මේ වෙළෙඳපොළේ රටාව ද එයයි. මේ නිසා ඔබ කාමයේ ආදීනව සිහි නුවණින් අවබෝධ කොට කිසි දිනෙක යම් දෙයක් කෙරෙහි අධික ලෙස නො ඇලී ජීවත්වන්නට සිතට ගත යුතු ය.
ඔබ ඇලුම් කරන යමක් අහිමිවේද නිහතමානීව, මධ්‍යස්ථභාවයෙන් ඒ දේවල් දරාගන්නට, ඒවා සමඟ ගනුදෙනු කරන්නට ඔබ සූදානම් විය යුතු ය. කාමයෙහි ඔබ අප සිතනා තරම් තෘප්තියක්, වින්දනයක් නොලැබෙන බැවිනි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

උපෝසථ ශීලයේ ආනිසංස

කාම අරමුණු ඔස්සේ දුවලා, මුදල් වස්තු පිටුපස දුවල හති වැටුණ, පීඩාවන්ට ගොදුරු වුණු ජනයාට, හිතට කයට විවේකයක් ලබා ගන්නා සුදුසුම ක‍්‍රමය පෙන්වා දුන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ පමණයි. කායික මානසික විවේකය සඳහා අදටත් නොයෙකුත් දේවල් කරමින්, තව තවත් උගුලේ වැටෙන ජනයාට සැබෑම විසඳුමක් පෙන්වා දුන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ පමණයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ක‍්‍රමයෙන්, කෙනෙක් කිසිම අයුරකින් නැවත පීඩාවට පත් වෙන්නේ නෑ. සැබෑ කායික මානසික විවේකයක් සහිතවයි ඔහු නැවත පැමිණෙන්නේ. ඒ විසඳුම තමයි, අප බොහෝ දෙනෙක් දන්නා, නමුත් අඩුවෙන්ම ප‍්‍රයෝජනයට ගන්නා, පොහොය දිනවල උපෝසථ ශීලය සමාදන් වීම හා ඊට අනුකූලව දවස පුරා ගත කිරීම.
කාම අරමුණු වලින් තොරව, නෛෂ්කර්මයෙන් යුතුව (නිශ්කාමී) වාසය කරන්නට නම්, හෝටල් ගානේ බඩගාන්නට ඕනේ නෑ. මුදලූත් කාලයත් කැප කරමින් නැති ප‍්‍රශ්න හදාගන්නට ඕන නෑ. විනෝද ගමන් යන්ට ඕන නෑ මුදල් නාස්ති කරගෙන. කිසි වියදමක් නැතිව බලවත් ලෙස කායික මානසික විවේකය ලබා ගන්නට, උපෝසථ දවස ඉතා වටිනා මෙහෙයක් ඉටු කරන බව බොහෝ දෙනෙකුට තවමත් අවබෝධ කරගන්නට බැරිවෙලා. ඒ නිසා තමයි විශ‍්‍රාම ගන්නකම් බලාගෙන ඉන්නේ. දරුවන්ගෙ වැඩ ඉවර වෙනකම් බලාගෙන ඉන්නෙ. කායික මානසික පීඩනයෙන් මිදෙන්න ක‍්‍රමය, සැබෑ විසඳුම අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වාදී තිබියදීත්, අඩුම ගානෙ මාසෙකට එක දවසක් මේ කැපවීම කරල සැබෑ උපෝසථ දිනයක් ගත කරන්නට හැකි නම් මොන තරම් අගෙයිද?
හොඳට හිතල බලන්න. නුවණින් සලකලා බලන්න. උපෝසථ දවසට, ඔබ අතින් වචන වැරදිලා සිත් තැවුල් පීඩා ඇතිවෙන්නට විදියක් නෑ. කි‍්‍රයාව වැරදිලා ඔබ අතින් පීඩාවක් ඔබටවත් අනුන්ටවත් ඇතිවෙන්නට විදියක් නෑ. හිත කිළිටි කරන දේ සිතෙන්නෙත් නෑ. ඔබ එදාට වෙහෙසෙන්නේ සිත පිරිසිදු කර ගන්නයි. සිත පිරිසිදු වස්ත‍්‍රයක් වගේ තබා ගන්නයි. හිතත් පිරිසිදුයි. ගතට වෙහෙසකුත් නෑ. හිතට ගලාගෙන එන කෙලෙස් පිරිසිදු කරගන්නට අවස්ථාවක් උදාවෙනවා. මානසික ආතතිය ලිහිල් කර ගන්නට අවස්ථාවක් ලැබෙනවා. පීඩනයෙන් මිදෙන්නට හැකිවෙනවා. හිතත් ගතත් දෙකම සැහැල්ලූ වෙනකොට ඒ සැහැල්ලූ වූ සිතෙන් මොන තරම් යහපත් දේවල් සිතන්නට ලැබෙනවාද? පිරිසිදු සිතෙන් හිතලා යහපත් වචනම කථා කරන්නට ලැබෙනවා. යහපත් කි‍්‍රයාම සිදු කරන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒ විතරක්ද? එදාට ධර්මය ඉගෙන ගන්නට අවස්ථාවක් ලැබෙනවා. දහම් පිළිසඳරේ යෙදෙන්නට ඉඩක් ලැබෙනවා. හිතේ සමාධියක් ඇති කර ගන්නට පුළුවන්. පින වැඩි කර ගන්නට අවස්ථාවක් උදා වෙනවා. සකස් කර ගත්ත වචනයෙන් යුක්තව, සකස් කර ගත් කයින් යුක්තව ඔහුට කුසල් වඩන්නට ඉඩ කඩක් ලැබෙනවා. බලන්න, මේ එක දවසක් තුළ එකතු කරගන්නට ලැබෙන මහා ධන නිධානය, වටිනාකම, මුදල් දහස් ගාණක් වියදම් කරලා යන විනෝද ගමනකින් ලැබෙනවාද? කන්දක් නැග්ගට ලැබෙනවාද? හෝටලයකට ගිහින් සති අග සාද පැවැත්තුවාට ලැබෙනවාද? යහළුවො එකතු කරගෙන ‘‘සාද නාද’’ පැවැත්වූවට ලැබෙනවාද? බලන්න, අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා දුන්, මෙවැනි උපක‍්‍රමයක්, කායික මානසික විවේකය උදෙසා, වෙනත් කිසිම ආගමක හෝ දර්ශනයක හෝ ඉදිරිපත් කර නෑ. ඔබ මොන තරම් වාසනාවන්තද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ඒ මග අනුගමනය කරන්නෙක් බවට පත්වෙනවා නම්?
උපෝසථය අගය කළ ශක‍්‍ර දෙවියෝ________________
බුදුරජාණන් වහන්සේ ශ‍්‍රාවකයින්ට උපදෙස් දුන්නේ අඩුම වශයෙන් මාසෙකට දින හතරක් උපෝසථය සමාදන් වන ලෙසටයි. පසළොස්වක දවසෙත්, මාසෙ පෝය දවසෙත්, අව අටවක දවසෙත්, පුර අටවක දවසෙත් උපෝසථය සමාදන් වීමට බුදුරජාණන් වහන්සේ විසින් ශ‍්‍රාවකයන්ට අනුශාසනා කොට වදාළා. ඉස්සර කාලෙ බෞද්ධ ජනතාව හතරපෝයට නොවැරදීම විහාරස්ථානවලට එකතු වෙලා දවසේ පැය 24 පුරාවටම උපෝසථය සමාදන් වෙලා කාලය ගත කළා. අද කාලේ බෞද්ධයන්ට අඩුම ගානෙ පසළොස්වක දවසටවත් උපෝසථය සමාදන් වෙන්න කාලය හොයා ගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ මේ සිල්වත්ව ගත කරන එක මොන තරම් ඇගයීමට ලක් කළාද?
යෝ චෙ වස්සසතං ජීවේ
දුස්සීලෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
සීල වන්තස්ස ඣායිනෝ
‘‘දුශ්ශීලයෙක් විදියට, එකඟ වූ සිත් නැත්තෙක් විදිහට අවුරුදු සීයක් ජීවත් වෙනවට වඩා,
සිල්වතෙක් විදිහට එක දවසක් ජීවත් වෙන එක ශ්‍රේෂ්ඨයි’’
(සහස්ස වර්ගය – ධම්ම පදය)
දවසක් තව්තිසා දෙව්ලොව දෙවියන්ට සිල් සමාදන් වීමේ අගය පහදා දුන්නා දෙදෙව් ලොවට අධිපති ශක‍්‍ර දේවේන්ද්‍රයා විසින්,
චාතුද්දසිං පඤ්චදසිං – යා ච පක්ඛස්ස අට්ඨමී
පාටිහාරියපක්ඛං ච – අට්ඨංගසුසමාහිතං
උපෝසථං උපවසෙය්‍ය – යො පස්ස මාදිසො නරෝ ’ති
‘‘යම් කෙනෙක් මං වගේ වෙන්ට කැමති නම් (ශක‍්‍ර දේවේන්ද්‍රයා වගේ), ඔහු මාසෙ පෝය දවසටත් (චාතුද්දසිං) පසළොස්වක දවසටත් (පඤ්චදසිං) පක්‍ෂයෙහි අටවක දවසටත් (පක්ඛස්ස අට්ඨමී) පාටිහාර්ය දවසෙදිත් 
(පාටිහාරියපක්ඛං ච) විශේෂයෙන් යොදා ගත් සිල් දවසකදී අංග අටකින් යුක්ත උපෝසථය සමාදන් වෙන්ට ඕනේ’’
(3.1.4.8 උපෝසථ සූත‍්‍රය – අංගුත්තර නිකාය- 01)
උපෝසථ සීලයේ ආනිශංස වටහා දුන් ශාස්තෘන් වහන්සේ__
එදා පොහොය දවසක්. උපෝසථ දවසක්. භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු පුරයේ පිහිටි නිග්‍රෝධාරාමයේ තමයි එදා වැඩ වාසය කළේ. ඒ පොහොය දවසේ, භාග්‍යවතුන් වහන්සේව මුණ ගැහෙන්ට ශාක්‍ය වංශික පිරිසක් පැමිණියා. ඒ පිරිසත් බුදුරජාණන් වහන්සේත් අතර ඇතිවූ මෙම සංවාදය උපෝසථයේ අගය වටහාගැනීමට කදිම උදාහරණයක්.
‘‘පින්වත් ශාක්‍යවරුනි, ඔබලා උපෝසථ ශිලය සමාදන් වෙලා ආරක්‍ෂා කරනවද?
(අපි නු ඛෝ තුම්හේ සක්‍යා අට්ඨංගසමන්නාගතං උපෝසථං උපවසථා’ති?)’’
‘‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අපට උපෝසථ ශීලය ආරක්‍ෂා කරගන්නට අවස්ථාවක් ලැබුණෙ නැහැනෙ. ගෙවල් දොරවල්වල, අඹුදරුවන්ගෙ වැඩ කටයුතු හින්ද, අපට මේ උපෝසථය රැක ගන්න අවස්ථාවක් ලැබෙන්නෙ බොහොම කළාතුරකින්නෙ.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, ඔබලා මේ ශෝකයෙන් පිරුණු, මරණ බියෙන් පිරුණු මේ ජීවිත ගත කරමින්, කිසිම දවසක අංග අටකින් යුක්ත උපෝසථ ශීලය සමාදන් වෙලා එය ආරක්‍ෂා කරන්නේ නැතිනම්, එය ඔබට විශාල පාඩුවක්. එය ඔබට විශාල අලාභයක්මයි. නපුරක්මයි. පින්වත් ශාක්‍යවරුනි, ඔබලා මේ ගැන හිතන්නේ කුමක්ද? යම් කෙනෙක් ධාර්මිකව යම් රැකියාවක් කරලා දිනක වැටුප විදිහට කහවණු භාගයක් ලබනවා නම්, ඔහු දක්‍ෂ පුරුෂයෙක් කියලා, උට්ඨානවීර්යයෙන් යුක්ත පුරුෂයෙක් කියලා ඔබලා කියනවාද?’’
‘‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒක එහෙම තමයි. ඔහුට එය ලොකු වැටුපක්. ඔහු දක්‍ෂ කෙනෙක්. (ඒ කාලෙ හැටියට කහවණු භාගයක් කියන්නෙ ලොකු වැටුපක්)’’
‘‘හොඳයි, පින්වත් ශාක්‍යවරුනි, ඔහු දවසක් රැකියාව කරලා කහවණුවක් ලබනවා නම්, ඔහු දක්‍ෂ පුද්ගලයෙක්ද?’’
‘‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔහුට ඒක ලොකු වැටුපක්. ඔහු දක්ෂ කෙනෙක්.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, එහෙම නම් ඔහු දවසක් රැකියාව කරලා කහවණු දෙකක්.. කහවණු තුනක්.. කහවණු පහක්.. කහවණු දහයක්..කහවණු විස්සක්.. කහවණු පනහක්.. කහවණු සියයක්.. කහවණු දහසක්.. කහවණු දසදහසක්.. ආදී වශයෙන් උපයන්නේ නම්, ඔහු දක්‍ෂ පුද්ගලයෙක් කියලා ඔබලා හිතනවාද?
‘‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඒ වැටුප නම් බොහොම ලොකු එකක්. ඔහු දක්‍ෂ පුද්ගලයෙක්.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, ඔහු දවසක් රැකියාව කරලා කහවණු ලක්‍ෂයක් උපයා ගත්තොත් ඒක ලොකු වැටුපක් නේද?’’
‘‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දවසක වැටුප විදියට කහවණු ලක්‍ෂයක් ගන්නවානම්, එයා මහා ධනයකට හිමිකාරයෙක් වෙනවා.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, ඔහු දවසට කහවණු ලක්‍ෂය ගානේ උපයමින් අවුරුදු 100ක් රැකියාව කළොත් එයා කොයි තරම් ධනයක් උපයා ගනියිද?’’
‘‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔහු කියන්න බැරි තරම් මහා ධනස්කන්ධයකට හිමිකාරයෙක් වෙනවා.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, ඔබලා මේ ගැන හිතන්නේ කුමක්ද? ඒ පුද්ගලයා අර මහා ධනස්කන්ධය හේතු කොට ගෙන, එක දවසක් හෝ එක රාති‍්‍රයක් හෝ හිතේ සංතෝසයෙන් වාසය කරයිද?’’
‘‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, එහෙම වෙන්නෙ නෑ.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, ඒකට හේතුව කුමක්ද?’’
‘‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ කාමයන් සියල්ල අනිත්‍යයි. ඉතා පහත් තූච්ඡුයි. ඒ නිසයි.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, එහෙම නම් ඔබ දැන ගන්න. මාගේ ශ‍්‍රාවකයෙක් අප‍්‍රමාදීව, කෙලෙස් තවන වීරිය ඇතිව, මා විසින් අනුශාසනා කරන පරිදි අවුරුදු දහයක් වාසය කරනවා නම්, ඔහු අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනාවක්, අවුරුදු ලක්ෂ ගණනාවක්, ඒකාන්ත සැපයෙන් වාසය කරනවා. ඒ වාගේම සකදාගාමී හෝ අනාගාමී හෝ අඩුම තරමින් සෝවාන් ඵලයට හෝ පත්වෙන්නටත් පුළුවන්.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, අවුරුදු දහයක් නෙමේ. අවුරුදු පහක්.. අවුරුදු එකක්.. මාස පහක්.. එක දවසක්.. මාගේ අනුශාසනයට අනුව වාසය කරයි නම්, ඔහු හැමදාම හිතේ සතුටෙන් වාසය කරන්නෙ.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, එහෙව් එකේ ඔබ මේ ශෝකයෙන් පිරුණු, මරණ බියෙන් යුක්ත වූ මේ ජීවිතයේ කිසිදවසක් අංග අටකින් යුක්ත උපෝසථය සමාදන් වෙලා වාසය කරන්නේ නැත්නම්, ඒ ඔබට මහත් අලාභයක්මයි. මහත් නපුරක්මයි ශාක්‍යවරුනි, අර පුද්ගලයා විසින් උපයාගන්නා ඔක්කෝම ධනයට වඩා වටිනවා, ඔබලා එක දවසක් අෂ්ටාංග උපෝසථශීලය සමාදන් වෙලා උපයා ගන්නා දේ.’’
‘‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අපි දැනගෙන හිටියෙ නෑ උපෝසථ ශීලයේ මේ තරම් ආනිශංස තියෙනවා කියලා. අපි අද ඉඳලා පුළුවන් තරම්, උපෝසථ ශීලය ආරක්‍ෂා කරනවා. (ඒතේ මයං භන්තේ අජ්ජතග්ගේ අට්ඨංගසමන්නාගතං උපෝසථං උපවසිස්සාමාති)
(සකක්‍ය සූත්‍ය – අක්කොස වර්ගය අංගුත්තර නිකාය – 06)
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මහා මංගල සූත්‍රය

දෙවියන් සහිත ලෝකයෙහි ඒ ඒ කාලවල ඇතිවන කෝලාහලයන් පිළිබඳව ධර්මයේ සඳහන් වේ. 
ඒ අනුව
1. මංගල යනු කුමක්දැයි තේරුම් ගැනීම සඳහා ඇතිවන කෝලාහලය මංගල කෝලාහලය යි.
2. සක්විති රජකෙනෙකු පහළවේ යැයි ඇතිවන ආන්දෝලනය සක්විති කෝලාහලය යි.
3. ලෝක විනාශයේදී ඇතිවන කෝලාහලය කල්ප කෝලාහලය යි.
4. බුදුවරයකු පහළ වේ යැයි ඇතිවන කෝලාහලය බුද්ධ කෝලාහලය යි.

බුදුන් දවස දඹදිව මිනිසුන් අතර මංගල යනු කුමක්දැයි වාදයක් හට ගත්තේය. ඒ පිළිබඳව එකිනෙකා විවිධ අදහස් දැරූ අතර සමහරෙක් ඇසට පෙනෙන දේ මංගල යයි කීහ. ” දිට්ඨ මංගලික” යන නමින් හැඳින්වුණු මොවුහු ඇසට පෙනෙන හොඳ දෙය මංගල ලෙසත් නරක දෙය අවමංගල ලෙසත් පිළිගත්හ. තවත් සමහරෙක් කණට ඇසෙන දේ මංගල යයි කීහ. ඔවුන් හැඳින්වූයේ “සුත මංගලිකයන්’යනුවෙනි. ඔවුන්ගේ පිළිගැනීම වූයේ කණට ඇසෙන මිහිරි දේ මංගල බවත් අමිහිරි දේ අවමංගල බවත්ය. ඇතැමෙක් ශරීරයට දැනෙන ස්පර්ශය මංගලයයි කීහ. “මුත මංගලිකයන්” මින් හැඳින්වුනු ඔවූහූ ශරීරයට දැනෙන සැපදායක ස්පර්ශය මංගල බවත් කටුක ස්පර්ශය අවමංගල බවත් පිළිගත් හ. මෙසේ මිනිස්සු තුන් කොටසකට බෙදී තම තමන් ගත් මතය සත්යය යයි ඔප්පු කිරීමට දිගු කලක් මුළුල්ලේ විවාද කළහ. එහෙත් දිනූ පක්ෂයක් නැත. දොළොස් වසරක් පුරා පැවති මෙම වාදයෙන් පිරිස් පිල්වලට බෙදී ගිය අතර අවසන් කීරණයකට එළැඹීමට ද නොහැති විය. මිනිසුන් අතර ඇති වූ මෙම මංගල කෝලාහලය පසුව දෙවියන් අතර ද පැතිරිණි. ඔවුන්ගෙන් බඹලොව වැසි බ්රහ්මයන් අතරද එය පැතිරී ගියේ ය.
සියල්ලෝම කොටස්වලට බෙදී වාද කරති. එහෙත් දිනන්නෙක් නැත. මෙම පැනයට විසඳුම් සොයන්නට කල්පනා කළ ශක්ර දේවේන්ද්රයා එක්තරා දෙවියෙකු කැඳවා සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වෙත ඔහු යැව්වේ පැනයට නියම විසඳුම ලබා ගැනීම සඳහාය. සැණෙකින් තව්තිසා දෙව්ලොවින් අතුරුදහන් වූ ඒ දිව්ය පුත්රයා සැවැත් නුවර දෙව්රම් වෙහෙරට සම්ප්රාප්ත වූයේය. මධ්යම රාත්රියෙහි ඉතා සිත්කළු ශරීර වර්ණයෙන් මුළු ජේතවනාරාමයම බබළවමින් පැමිණි හෙතෙම බුදුරදුන් වෙත ගොස් වැඳ එකත් පසෙක සිට ‘බහුදේවා මනුස්සාච මංගලානි අචින්තයුං’ආදී ගාථාවෙන් මංගල ප්රශ්නය විචාලේය. බුදුරජාණන් වහන්සේ ඊට පිළිතුරු වශයෙන් මංගල කරුණු තිස් අටක් අඩංගු මහාමංගල සූත්රය දේශනා කළ සේක. ලෞකික ජීවිතයට අදාල කරුණු 32 කුත්, ලෝකෝත්තර ජීවිතයට අදාල කරුණු 6 කුත් වශයෙන් උභයලෝක සංසිද්ධි කාරණා 38 ක් ඇතුලත් මහා මංගල සූත්රය දේශනා කරමින් බුදුන්වහන්සේ මංගල ප්රශ්නය විසඳූ සේක
මහා මංගල සූත්රය
එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ, අථඛො අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා කෙවල කප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.
තේරුම
මා විසින් මේ සූත්ර දේශනාව මෙසේ අසන ලදී. එක් සමයෙක් හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ ආරාමයේ වැඩ වසන සේක.
එකල්හි වනාහි නාම ග්රෝත්රයෙන් අප්රසිද්ධ වූ එක්තරා දිව්ය පුත්රයෙක් ප්රථම යාමය ඉක්ම වූ කල්හි යහපත් ශරීර වර්ණය ඇතිව සියලු ජේතවනය බබුලුවාගෙන යම් තැනෙක්හි බුදුරජාණන් වහන්සේ වසන සේක් ද එතැනට එළැඹියේ ය. එළඹ භාග්යවතුන් වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ ඒ දිව්ය පුත්ර තෙමේ භාග්යවතුන් වහන්සේට ගාථාවකින් කරුණක් සැලකෙළේ ය.
බහූ දේවා මනුස්සා ච
මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්ථානං
බ්රෑහි මංගල මුත්තමං
තේරුම
දෙලොව යහපත කැමති දෙවියෝ ද මනුෂ්යයෝ ද මංගල කාරණයන් සිතූහ. එම දෙව්මිනිසුනට අනුකම්පාවෙන් හිතසුව ඵලවන මංගලයන් දේශනා කළ මැනවි.
අසෙවනා ච බාලානං
පණ්ඩිතානඤ්ච සෙවනා
පූජා ච පූජනීයානං
එතං මංගල මුත්තමං
තේරුම
අනුවණ බාලයන් සේවනය නොකිරීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, බුද්ධාදී පිදිය යුත්තන්පිදීම ද දෙලොව දියුණුව ගෙන දෙන කරුණු ය.
පතිරූප දේස වාසො ච
පුබ්බේ ච කත පුඤ්ඤතා
අත්ත සම්මා පණීධි ච
එතං මංගල මුත්තමං
තේරුම
සුදුසු පෙදෙසක විසීම ද, පෙර කළ පින් ඇති බව ද, සිත මනාව පිහිටුවීම ද, උතුම් මංගල කරුණු ය.
බාහු සච්චං ච සිප්පං ච
විනයො ච සුසික්ඛිතො
සුභාසිතා ච යා වාචා
එතං මංගල මුත්තමං
තේරුම
බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ද, ශිල්ප දැනීම ද, මනා හික්මවීම ද, සුභාෂිත වචන බිණීම ද යන මේ කාරණා උතුම් මංගල කරුණු ය.
මාතා පිතු උපට්ඨානං
පුත්තදාරස්ස සංගහො
අනාකුලා ච කම්මන්තා
එතං මංගල මුත්තමං
තේරුම
මවුපියනට උවටැන් කිරීම ද, අඹුදරුවනට සංග්රහ කිරීම ද, නිරවුල් කර්මාන්ත ද යන මේ කාරණා උතුම් මඟුල් ය.
දානං ච ධම්මචරියා ච
ඤාතකානඤ්ච සංගහො
අනවජ්ජානි කම්මානි
එතං මංගල මුත්තමං
තේරුම
දන්දීම ද, දස කුසල්හි හැසිරීම ද නෑයනට සංග්රහ කිරීම ද නිරවුල් කර්මාන්ත ද යන මේ කාරාණා උතුම් මඟුල් ය.
ආරති විරති පාපා
මජ්ජපානා ච සඤ්ඤමො
අප්පමාදො ච ධම්මෙසු
එතං මංගල මුත්තමං
තේරුම
පාපයෙහි නො ඇල්ම ද, අකුසලයෙන් වෙන්වීම ද, මත් පැනින් වැළකීම ද, හැම කුසල් දහම්හි පමා නොවීම ද උතුම් මඟුල් ය.
ගාරවො ච නිවාතො ච
සන්තුට්ඨි ච කතඤ්ඤුතා
කාලේන ධම්ම සවනං
එතං මංගල මුත්තමං
තේරුම
ගරුකළ යුත්තනට ගරු කිරීමද, යටහත් පහත් බව ද, ලද දෙයින් සතුටු වීම ද, කළගුණ සැළකීම ද සුදුසු කල්හි දහම් ඇසීම ද උතුම් මඟුල් ය.
ඛන්තී ච සොවචස්සතා
සමණානං ච දස්සනං
කාලෙන ධම්ම සාකච්ඡා
එතං මංගල මුත්තමං
තේරුම
ඉවසීම ද, කීකරු බව ද, ශ්රමණයන් දැකීම ද, සුදුසු කල ධර්ම සාකච්ඡාව ද උතුම් මඟුල් ය.
තපො ච බ්රහ්ම චරියඤ්ච
අරියසච්චාන දස්සනං
නිබ්බාණ සච්ඡි කිරියා ච
එතං මංගල මුත්තමං
තේරුම
තපස ද, උතුම් හැසිරීම ද, සිවුසස් දැකීම ද, නිවන් අවබෝධකර ගැනීම ද උතුම් මඟුල් ය.
ඵුට්ඨස්ස ලෝක ධම්මෙහි
චිත්තං යස්ස න කම්පති
අසොකං විරජං ඛෙමං
එතං මංගල මුත්තමං
තේරුම
අටලෝ දහමින් සිත කම්පා නොවේද, ශෝක රහිත ද, රාගාදී කෙලෙස් දූලි නැත් ද, බිය රහිත ද මේ උතුම් මඟුල් ය.
ඵතාදිසානි කත්වාන
සබ්බත්ථ මපරාජිතා
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති
තං තෙසං මංගල මුත්තමන්ති.
තේරුම
මෙබඳු මංගලයන් කොට සියලු තන්හි නො පැරදුනාහු සියලු තැන සැපතට යෙති. ඔවුනට මෙම කරුණු අටතිස උතුම් මඟුල් වේ. දෙලොව වැඩ සදාලන කරුණු වේ.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිතකට සුවය විවේකයයි

කඩවත සමාධි මැදුරේ 
පයාගල නන්ද හිමි

මෙම ලිපියෙහි මුල්කොටස දුරුතු පුර පසළොස්වක පෝදා පත්‍රයේ පළවිය.
සමහරවිට ඔබට හුස්ම ඉහළ පහළ යන හැටි දැනෙන්න පුළුවන්. එහෙම නම් ඒ ගැන ටික වෙලාවක් හිත යොමුකරගෙන ඉන්න. මිනිත්තු කිහිපයක් ඒ අන්දමට හිත හුස්ම වෙතට යොමු කරගෙන සිටින විට සිත එකඟ කරගැනීමේ පුහුණුව ඔබට පහසුවෙන් කරගෙන යන්නහැකි වේවි.
ඇතැම් කෙනෙකුට මේ අන්දමට හුස්ම වෙතට හිත යොමු කරගෙන සිටීම අපහසු වෙන්න පුළුවන්. එහෙමනම් ඔබ ආශ්වාස කරනවිට එකයි කියලත්, ප්‍රශ්වාස කරන විට දෙකයි කියලත්, ගණන් කරන්න. එකයි! දෙකයි! එකයි! දෙකයි! යනුවෙන් ඉලක්කම් උපයෝගී කර ගැනීමෙන් අදහස් කරන්නෙ සිතින් ඒ අංකය කීම තුළින් හිත තැන්පත් කරගැනීමට යම් සහයෝගයක් ලබා ගැනීමයි.
බස්රියේදී වැඩපොළේදී මගතොටේදී ඔබ මේ අන්දමට මිනිත්තු දෙක තුනකට හිත සන්සුන් කර ගැනීමට උත්සාහයක යෙදෙනව නම් ඔබ නින්දට පෙර කොහොමත් ඒ සුවදායි සංවේදිතාවය ලබන්නට උත්සාහ කරනව නිසැකයි. දවසෙ වැඩ කටයුතුත් සමඟ සිතට විවේකය ලබාදෙන්න කළ උත්සාහය වගෙ නොවෙයි නින්දට පෙර සයනයෙ වැතිරගෙන සිටින විට වැඩි වෙලාවක් නිදහස් නිහඩ පරිසරයක් තුළ හිඳිමින් මේ පුහුණුවට ඔබේ සිත යොමු කරගන්න පුළුවන්.
දැන් ඔබ දන්නවා හිත මොහොතකට හරි තැන්පත් කරගැනීමෙන් එක අරමුණක හිත පිහිටුවා ගැනීමෙන් ලබන සහනය, සැනසිල්ල, ඒ සහනය තවදුරටත් ඔබ ගන්න වෑයම් කරන්න. ඔබ කිසිවිටෙකත් මෙය බැරෑරුම් කොට සිතන්න එපා. ඔබ භාවනා වඩනව කියලවත් හිතන්න ඕන නැහැ. දවසේ ඔබ කරනු ලබන වැඩ කටයුතු අතරතුර මිනිත්තුවක් දෙකක් හිත එකඟ කිරීමට සිතීම විතරයි ඔබ කළ යුත්තේ. මීළඟ පියවරට ඔබ යොමුවන්නේ නිරායාසයෙන්. සිය කැමැත්තෙන් ක්‍රමයෙන් ඔබ ඒ උතුම් සුවය විඳින්න නිරතුරුව යොමුවෙනව. ඔබ එයට නිතැතින්ම පෙළඹෙනවා.
නින්දට පෙර ඔබ කොහොමද සිත එකඟ කරගන්නෙ. සාමාන්‍යයෙන් එක් එක් පුද්ගලයන් නිදන ස්වරූපයෙන් විවිධත්වයක් තිබෙනව. ඒ නිසා වෙන්න ඕන බෞද්ධ සාහිත්‍යයෙන් උඩ බලා ගෙන නිදා ගැනීම (පෙතසෙය්‍යාව) සිරුර යට කරගෙන නිදා ගැනීම (කාම භොග සෙය්‍යාව) වැනි සයනගත ඉරියව් ගැන විස්තර කරල තිබෙන්නේ. ඇතැම් අය වකුටුවෙලා නිදනව එහෙම නැතිනම් සයනය පුරාම අත පය විසුරුවාගෙන නිදන අයත් ඉන්නවා. උතුම් නැතිනම් ශ්‍රේෂ්ඨ සැතපීමට සිංහ සෙය්‍යාව කියනවා බලන්න විහාරයේ නෙළල තිබෙන බුදු සමිඳුන් සැතපෙන අන්දම. ඒ අන්දමට ඔබටත් පුළුවන් ඇඳුම පැළඳුම සකස් කරගෙන සන්සුන්ව සයනයෙ වැතිරෙන්න.
මට මතකයි “භාවනාවෙ හදවත” යන භාවනා උපදේසයන් ගැන සඳහන් පොතේ තිබුන වගන්තියක්.
අධුනිකයන්හට ආරම්භයේදී මේ පිම්බීම හැකිළීම එකවරම නොදැනේ. සමහරවිට පැහැදිලිව දැනෙන්නේ සුළු වෙලාවකටයි. මෙය අසාමාන්‍ය කරුණක් නොවන අතර උනන්දුවෙන් පුහුණුවෙන විට සාර්ථක කර ගත හැක. දිගුවේලාවක් දැනීම පවත්වා ගැනීම සඳහා ආධුනිකයන්හට නිදා ගන්නා ඉරියව්ව පහසු විය හැකිය.
තම උදරය මත අත තබාගෙන සිටීමෙන්ද මේ පිම්බීම හැකිලීම දැනේ (පිම්බීම යනු හුස්ම පිටවනවිට උදරයේ උස්වීමයි. හැකිළීම යනු හුස්ම ඇතුළුවනවිට සිදුවන උදරයේ පහත්වීමයි) අත ඉවත් කළ පසුවද ඒ පිළිබඳව සිත යොමු කිරීමට පහසු වේ.
නිදා සිටින ඉරියව්වේදී අභ්‍යාසය කිරීමට පහසුයයි හැඟේ නම් නිදිමත හා උදාසීන බව මග හැරිය හැකිනම් එසේ යෙදීමේ වරදක් නැතිවුවද හැකිතාක් දුරට හිඳගෙන සිටින ඉරියව්වේදී මෙය පුහුණුවීමට උත්සාහ කළ යුතුය.
(බෞද්ධ භාවනාවේ හදවත –145)
මෙහි සඳහන් පුහුණු ක්‍රමය ගැන ඔබ අවධානය යොමු කරන්න. රාත්‍රි නින්දට සැරසෙන ඔබ කලින් කී අන්දමට ඇඳුමත් ඉරියව්වත් නිසි අන්දමට සකස් කරගෙන උත්සාහකරන්න .මේ මොහොත තෙක් සියලුම සිතිවිලි බැහැර කරන්න.අතීතයට සම්බන්ධ කිසිවක් හිතන්න එපා. ඒ වගේම අනාගතය ගැනත් සිතන්න එපා. හෙට යන එන ගමන් බිමන් කරන කියන වැඩකටයුතු ගනුදෙනු ඒ සියල්ල මොහොතකට නවතන්න. ඔබේම සිරුර දෙස සිතින් බලන්න. දකුණුපාදයේ මාපටගිල්ලෙන් පටන් අරගෙන ක්‍රමයෙන් සිත හිස්මුදුන දක්වා ගෙන එන්න. දැන් ඔබ ක්‍රමානුකූලව මාපටගිල්ල වළලුකර, දණහිස, උකුළ, දකුණූ උරහිස, බෙල්ල හිස්මුදුන යන අන්දමට හිත යොමු කරමින් හිස් මුදුන දක්වා ගෙන එනවා. නිහඬව සිතිවිලි බැහැර කරමින් ඔබේ හිස් මුදුන වෙත අවධානය යොමු කරගෙන සිටින විට ඔබට දැනෙන්නේ ඔබේ ප්‍රශ්වාස ක්‍රියා කරන අන්දම පමණයි. ඉහතින් සඳහන් කළ අන්දමට උදරය මත අත තබාගෙන සිටින විට ඔබට හුස්ම ක්‍රියාකරන අන්දම දැන ගන්න පුළුවන්. අළුතෙන් පුහුණුව අරඹන කෙනෙකුට හුස්ම ඇතුළුවීම් පිටවීම වැනි සියුම් ක්‍රියාකාරිත්වයක සිත පිහිටුවීම අපහසු විය හැකියි. ඒ නිසයි උදරයෙ අත තබාගෙන එහි උස් පහත්වීම අනුව හුස්ම වෙත හිත පිහිටුවෙන්නෙ. මේ අන්දමට සරළව ආරම්භ කරන පුහුණුව ක්‍රමයෙන් ඉදිරියට ගෙන යන්න පුළුවන්.
නින්දට පෙර මේ අන්දමට සිත තැන්පත් කර ගැනීමෙන් ඔබට දෙ ආකාරයකින් ප්‍රතිඵල ලැබෙනවා. මූලිකව ඔබේ සිත එකඟ කරගැනීමෙන් ඉඩ කඩ සැලසෙනවා. ඒ තුළින් ඔබට සනීපයක් සැහැල්ලුවක් දැනෙනවා. අනෙක් අතට නින්දේදී ඔබට සුවදායි සහනශීලිබවක් ඇතිවෙනවා.
මෙතැන් සිට අභිධර්මයට සම්බන්ධ කරුණු කිහිපයක් මතක් කරල දෙනවා. නින්දේදී අපේ ඉන්ද්‍රියන්ට කුමක්ද වෙන්නෙ? ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස මේ සියල්ලම අක්‍රිය වෙනවද අප දන්නවා නිදා සිටින විට කිසිවෙකු ළඟට පැමිණියත් ඒ වගක් නොදන්න බව. මහවරුසා වැස්සත් සමහරවිට ඒ ගැන දැනීමත් ඇසීමත් සමහරවිට ඇතිවන්නේ නැහැ. මේ අනුව පැහැදිලියි ඇස. කණ, දිව,නාසය , ශරීරය කියන ඉන්ද්‍රිය නිදන මොහොතේ ක්‍රියාත්මක නොවන බව. ඒත් මනසට මොකද වෙන්නෙ මනසත් ඇස වගේ අක්‍රිය වෙනවද, නැහැ මනස ක්‍රියාත්මකයි. ඒත් මනස ක්‍රියාකාරි වන්නේ අරමුණු ගැනීමේ ඉතාම පහළම ස්ථරයේ හිඳිමිනුයි. අභිධර්මයට අනුව ඒ අවස්ථාව හඳුන්වන්නේ භවාංග සිත කියලයි. ඇස, කණ ආදී ඉඳුරන් සමඟ සිත සම්බන්ධ නොවන විට සිත මූලික අවස්ථාවට පත් වෙනවා. භවාංග නමිනුයි ඒ අවස්ථාව හඳුන්වන්නෙ. චුති, ප්‍රතිසන්ධි, භවාංග චුති කියන්නේ මැරෙන මොහොතේ සිත. ප්‍රතිසන්ධි කියන්නේ මරණයෙන් පසු තව තැනෙක විඤ්ඤාණය බැස ගැනීම පිළිසිඳ ගැනීම ඒ බැසගත් එහෙම නැතිනම් පිළිසිඳ ගත් පසු පහළවන පළමුවන සිත තමයි භවාංග කියන්නෙ. මේ සිත් තුනට ද්වාරමුක්ත කියලත් කියනව. ඉන් අදහස් කරන්නේ මේ සිත් තුන දොරටුවක් ලෙස ක්‍රියාකරමින් අරමුණු නොගන්නව කියන එකයි. දොරටුවක් එහෙම නැතිනම් ද්වාරයක් හැටියට අරමුණු නොගත්තත් ඒ හිත්වලත් අරමුණක් තියෙනවා. චුති ,පටිසන්ධි, භවාංග කියල හිත් තුනක් වුණා. එකම අරමුණයි ගන්නෙ. චුති සිත නැතිනම් මරණය සිදුවන මොහොතෙ පහලවන සිත යම් අරමුණක් ගන්නව නම් ඒ අරමුණම තමයි ප්‍රතිසන්ධි සිතට යොමුවන්නෙත් ඒ සිතම භවාංග සිතටත් අරමුණු වෙනව. එහෙම නම් නින්දේදී අපේ හිත අප පෙර භවයේ අවසාන මොහොතෙ ගත්තු අරමුණට එහෙමත් නැතිනම් මේ භවයෙ උපත පටන් ගනු ලබන මොහොතෙ පහළවුන අරමුණම ගන්නවා.අප උපදින මොහොතෙ පහළ වූ ප්‍රතිසන්ධි විඤ්ඤාණයට පෙර භවයෙ චුතවන මොහොතෙ විඤ්ඤාණය ගත් අරමුණ බලපානව නම් ඒ සිත අපට නින්දේදි හමුවෙනවා.
පඨාන ප්‍රදීපයේදී ලේඩි ස්‍යාඩො බුරුම හාමුදුරුවන්ගේ අදහසට අනුව භවාංග සිත බොහොම දුර්වලයි. ප්‍රබල සිත වන්නේ ජවන් සිත්.දුබල සිතේ ක්‍රියාකාරිත්වය කොතරම් දුර්වලද කියනව නම් වතුර මලක කරාමය යන්තමින් විවෘත කිරීමක් හා සමාන තත්වයක් තමයි භවාංග සිතේ පවතින්නෙ. යන්තම් මතුපිට දිය වැගිරීම වතුර මල ඉතා අඩු ප්‍රමාණයකින් විවර කළ විට පවතින්නෙ. ඒ වගෙ භවාංග සිතත් දුර්වල ක්‍රියාකාරිත්වය නිසා නින්දේදී පරලොව දී ගත් අරමුණූ සමඟ සම්බන්ධ වුනත් අවදි වූ පසු ඒ ගැන කිසිවක්ව කීමට මතකයක් නැහැ.
කොහොම නමුත් නිදාගත් විට මතුවන භවාංග සිතට නිරවුල් මනසින් පිවිසීම තුළින් එහි යම් අඳුරු බලපෑම් තිබෙනව නම් ඒවා පවා දුරු වෙනවා. කොහොමත් සන්සුන් ශක්තිමත් එකඟ සිතකින් නිද්දට පිවිසෙන්න හැකිනම් මොනතරම් හොඳද? සන්සුන් සිතින් නින්දට පිවිසි ඔබට සුවසේ නිදාගන්නත් සුවසේ පිබිදෙන්නත් පුළුවන් “සුප්පබුද්ධං පබුජ්ඣන්ති සදා ගොතම සාවකා ගෞතම ශ්‍රාවකයින් නිතර සිත එකඟ කර ගැනීමේ යෙදෙනව නම් සුවසේ නිදන බවත් පිබිදෙන බවත් ධර්මයේ සඳහන් වෙනවා.
ඔබ අන් අය වගේ අවදිවුන විගසම දඩිබිඩි ගාල ඇඳෙන් බැහැල දවස පටන්ගන්නේ නැහැ. ඒ වගේම වැඩ ගොඩගැහිල කියල ඒ ගැන හිතමින් කල්මරන්නෙත් නැහැ. නරකම දෙය අවදිවෙල ඇඳේ ඒ අත මේ අත පෙරළෙමින් අලසව සිටින එක. තැන්පත් විවේකී බව සඳහා පුහුණුවන ඔබට දැන් හැම දෙයකම මහ අළුත්බවක් පෙනෙනවා. ප්‍රබෝධයක් දැනෙනවා.
සතුට සොම්නස පිරි දිනයක් බවට අද දවස පත්කරගන්නව කියන සිතිවිල්ල උදෑසන අවදි වූ විගසම ඇති කරගන්න. විනාඩි දෙක තුනක් මේ මොහොතේ සිත එකඟ කරගන්න. මුළු දවසම ජීවයෙන් තැබීමට එකඟකම උපකාර වේවි.
කලබල හිතකට වඩා තැන්පත් හිත මොනතරම් හොඳද විසුරුණු සිතකට වඩා එක්තැන් වූ හිත කොතරම් වටිනවද තරහෙන්, ක්‍රෝධයෙන් වෛරයෙන් පිරුන සිතක තියෙන රත්වුන ගිනියම ගැන ටිකක් හිතන්න. සීමාව ඉක්මවපු ආශාවෙන් පිරි සිත නිතරම දෝංකාර දෙන සුසුම් හඬට කන් දෙන්න. හිත ලෙඩ කරන මේ කරුණු ඔබේ ජීවිතයට මොන විදිහට බලපානවද කියල ටිකක් හිතන්න. මේ කියපු අයහපත් සිතිවිලි ඔබ සිත තුළත් පහල වෙනව නම්. මේ මොහොතේ ඔබට ඒ ගැන දැනීමක් ඇතිවේවි. සමහරවිට ඒ දැනීමට දුබලතාවය දුරු කරගන්න උපකාරි වෙන්න පුළුවන්.
මිනිස් සිතේ මහිමය ගැන සිතන්න. ඔබේ සිත මොනතරම් තැන්පත්ද ඒ තැන්පත් සිත තුළ මේ යහගුණ ඇති කරගන්න. දයා, කරුණා, මෘදු ගුණ ඇති කරගත හැකි නම් ඔබේ චරිතයේ සැහෙන වෙනසක් ඇති වේවි. මෘදු ගුණයෙන් යහගුණයෙන් පිරුණ ඔබේ සිතෙහි වෙනදා නැති සිසිලසක් අද ඇති වේවි. වීය¸ ධෛය¸ උත්සාහය ගැන උදෑසන හිතනව නම් ඊයෙට වසා උද්‍යෝගයකින් වැඩ කිරීමේ ශක්තිය අද ඔබට ලැබේවි.
ඔබ දක්ෂයෙකු, සමර්ථයෙකු, කෝටිපතියෙකු කරන්නෙත් ඔබේ සිතයි. අදක්ෂයෙකු, අවාසනාවන්තයෙකු, දීනයෙකු, හිඟන්නෙකු කරන්නෙත් ඔබේ සිතයි. ඔබේ සිත තුළ ශක්තිය දල්වගන්න හැකිවන්නේ ඔබටම මිස ඔබේ මව්පියන්ටවත් වෙන පිටත සිටිතැයි කියන සර්වබලධාරියෙකුටවත් නොහැකි බව සිතන්න. පසුගාමී ඔබේ සිත ශීඝ්‍රගාමි වෙන්න තියෙන එක ක්‍රමයක් තමයි දුක දිනාගත් හපන්නු ගැන දැන කියා ගැනීම. වැටිල සිටි මිනිසුන් තනියෙන් නැගී සිටි අන්දම ගැන සිතන්න. කුසට ආහාර වේලවත් නැතිව සිටි අය මහා ධනපතියන් වූ අන්දම සිතන්න. ගුණහීනයන් සේ සිටි අය උදාර ගුණයෙන් පිරුන බෝසතුන් බවට පත් වූ අන්දම ගැන ඔබට මතක නැද්ද. සමහර විට ඔබට ඔවුනට වඩා පහසුකම් තිබෙන්න පුළුවන්. හැකියාව තිබෙන්න පුළුවන්. ඒත් ඔබට සතුටින් ජීවත්වෙන්න ඇති බාධාව ඔබේ ශක්තිය මතුකර නොගැනීමයි. එයට බාධා ඇතිවන්නෙ ඔබම සිතේ ඇති කරගත්තු පසුගාමී සිතිවිලියි.
කවුරුත් දවසෙ ආරම්භයේදී සිතන්නේ අද දවස සතුටින් ගතකරන්නෙ කොහොමද කියන කරුණ ගැනයි. ඒත් ඔබට ඒ ගැන විශ්වාසයක් නැතිවෙන්න පුළුවන්. දවසෙ ආරම්භයේදීම මම අද දවස සතුටින් ගතකරනව කියල හිතනව නම් ඒ සිතිවිල්ල හොඳින් ධාරණය කරගන්නව නම් අධිෂ්ඨානයක් හැටියට සිතේ තැන්පත් කරගන්නව නම් එදා දවසෙ කටයුතු වලදී අනපේක්ෂිතව කරදරයකට මූණපානවිට උදේ සිතූ සිතිවිල්ල මතක් වෙන්න පුළුවන්. එහෙම නම් ඔබ අසතුටින් ඉන්නෙ ඇයි කියල හිතන්න හොඳම වෙලාව උදෑසන විවේකීව ගත කරන මේ මොහොතයි.
කන්තෝරුවට ගිය හැටියෙම ඔබේ ආයතන ප්‍රධානියා දොස් නගපු නිසා ඔබේ සතුට නැතිවන්න පුළුවන්. වැඩ අතපසු කිරීම ගැන වෙලාවට නොපැමිණීම ගැන. වැඩ කළත් පිළිවෙළක් නැතිවීම ගැන ඔබ දොස් අහන්න පුළුවන්. බාගදා ඔහු නගන චෝදනා ඇත්ත වෙන්නත් පුළුවන්. ඒත් ඔබ පිළිගන්න කැමැති නැහැ. ඔබේ අදහසේ හැටියට ඔබ හොඳට වැඩ කරන කෙනෙක්. පිළිවෙළට පිරිසුදුවට වැඩ කරන කෙනෙක්. ඒ ඔබේ තක්සේරුව මොනව වුණත් දැන් ඔබ මොකද කරන්නෙ. දෝෂාරෝපණය ගැන සිතමින් තැවෙනවද කවුරු හරි කියපු කේලමක් කියල සැකකරනවද රස්සාව අතහැරල ගෙදරට වෙලා ඉන්න හිතනවද. එහෙම හිතන්නත් බැරි නැහැ. ඒත් මේ වගෙ වෙලාවට කළ යුතු හොඳම දෙය නම් සිත තැන්පත් කර ගැනීමයි. ඒක අපහසු වෙන්න පුළුවන්. ඒත් කරගත හැකිනම් ඔබට ලොකු සැනසීමක් ලැබෙනවා. ඔබ දැඩි අධිෂ්ඨානයක සිටින්න. හිත සන්සුන් කර ගැනීමේ වැදගත්කම ගැන සිතන්න. එහෙම නැතිනම් මෙහෙම සිත කඩාවැටුන වෙලාවක ඔබ හැසුරුන අන්දම ගැන සිතන්න. පාවිච්චි කළ වචන ගැන සිතන්න. මෙහෙම හිතන්න නැතිනම් ඒ පහුගිය සිද්ධී ඔබට තැන්පත්වෙන්න උපකාරි වේවි. ඔබට පුරුදු නුපුරුදු ඉවසීම ගැන සිතන්න. ඒ වගේම ප්‍රවේසම් විය යුතු තැනක් තිබෙනවා. මෙහෙම තැනදි නිහඬවුනා වගේම එයට වැඩි වේගයකින් ඔබේ හිත දවපු, තවපු වචනවලට උත්තර දෙන්නත් ඔබ නොදැනුවත්වම කට ඉස්සර වෙන්න පුළුවන්. ඒ නිසා හැමවිටම හොඳට හිත තබාගන්න. ආවේගාත්මක හැඟීම්වල තිබෙන භයානකකම ක්ෂණයෙන් ඇතිවෙලා ක්ෂණයෙන් නිවිල ගියත් සිදුකරන හානිය සුළු පටු නැහැ. ඒ නිසා සතුටට මුලින් තැන්පත් බව සන්සුන් බව සිත තුළ ඇති කරගන්න.
අප මෙතෙක් කතා කළේ සාමාන්‍ය ජීවිතයේදී කෙනෙකු තුළ විවේකය ඇතිකරගන්න අන්දම ගැනයි. මෙතැන් සිට මතක් කරල දෙන්නෙ උසස් අන්දමින් විවේකය ලබන අන්දම ගැනයි. උසස් විවේකයේදී ඔබ සිත තුළ සිතිවිලි පවතින්න බැහැ. අපේ සිත ගිලන්බවට රෝගීබවට පත් කරන්නෙ කාමය මුල් කරගත්තු සිතිවිලියි. එය විවිධ මට්ටම් වලින් සිත් තුළ පහල වෙනවා. කාම කිව්වම ලිංගිකත්වය මුල්වුන රාගික හැඟීම් ගැනම සිතීම වැරැදිය. කීර්තිය ප්‍රසංසාව, ධනය, ආහාරපාන, ඇඳුම්පැළඳුම් කියන අප වටා ඇති අප එදිනෙදා අත්විඳින විඥානයන්ට මුල්වන බොහෝ දේ කාම යන්නට ඇතුළත් වෙනවා. උසස් විවේකයේදී කාම සහමුලින්ම නැති නොවුනත් ඉතා සියුම් අන්දමින් සිතක පහල වන කාම චේතනා පවා මෙහිදී යටපත් වෙනවා. ඒ වගේම ලෝභය, දෝසය,මෝහය මුල්වුන සිතිවිලිවලින් පවතින්න බැහැ. එවිට සිත ඉතා ශක්තිමත් සිත අරමුණ තුළ සිත පිහිටනවා. (විතක්ක,විචාර) ඒ වගේම සිතට ලොකු සුවයක් දැනෙනවා. පී‍්‍රතිය සුවය එකඟබව කියන උසස් එකඟ සිත අප මෙතෙක් සඳහන් කළ අන්දමට විවේකය නැතිනම් එහකඟ බව දියුණු කිරීම තුළින් ලබන්න පුළුවන්.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online