ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

ශ්‍රද්ධාව නිවනට ළඟා කරයි

හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත 
ආර්ය නිකේතන නිර්මාතෘ අමරපුර විද්වත් සංඝ 
සභාවේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි

මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ මත පදනම්ව දරුවන් හැදුවොත් දරුවන්ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වන්නේ නැහැ. එවැනි මවුවරුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳව නිතරම දරුවන් විමසිලිමත් වෙමින් සොයා බලමින් අවශ්‍යතා ඉටුකර දෙයි. දරුවන් නොසලකන බවට නිතරම අඳෙීනා කියන විට දරුවන් සලකන්න කැමැති වන්නේද නැහැ. අපේ අම්මලාට කෙතරම් සැලකුවත් මදි? යනුවෙන් ප්‍රකාශ කරන දරුවන් සිටී.
දරුවන් යමක් ලබාදුන් විට සැම විටම ලැබෙයි යන බලාපොරොත්තුවෙන් නොසිට එය ප්‍රතික්ෂේප කරන අම්මලාට දරුවන් ඉතාම සතුටෙන් අවශ්‍යතා ඉටුකර දෙයි. එය එහි ස්වභාවයයි. ඔබ බලාපොරොත්තු නොවන තරමටම ඔබට අවශ්‍යතා ඉටුවෙයි. අසවලාගෙන් මෙතරම් ප්‍රමාණයක් ලැබෙයි යනුවෙන් බලාපොරොත්තු ඇතිකර ගනු ලැබුව හොත් ලැබෙන්නේම නැහැ. වැඩිපුරම බලාපොරොත්තු තබාගත් පුද්ගලයා පිළිබඳව අවසාන වශයෙන් කේන්තියක්ද ඇතිකර ගනී.කවුරුන් වෙනුවෙන් හෝ කැපකිරීමක් කරනවා නම් එය ලාභ අපේක්ෂාවෙන් තොරව නිරාමිසව කැප විය යුතුයි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වඩමින් බෝසත්වරයෙකු ලෙස නිවන් දැකීමට කටයුතු කළ යුතුයි. ඔබ මෛත්‍රියෙන් සිටින විට අනෙකාට කෙතරම් උදවු උපකාර කළ හැකිද? ඔබ කරුණාවෙන් යුක්තවනවා යනු අසල්වැසියාගේ සිට සියලු ලෝකවාසීනට කරන උපකාරයක් වෙයි. ලෝකය පිළිබඳව මුදිතාව වඩන විට ඔබ කාටවත්ම ඊර්ෂ්‍යා කරන්නේ නැත. උදවු නොකළත් ඊර්ෂ්‍යා නොකරනවා නම්,එයද යහපත් වෙයි. එයත් ඇතැමුන් උපකාර නොකරන අතරම එසේ තිබියදීත් තිබෙන යහපතට උගුල් අටවයි. එය ඊර්ෂ්‍යාව භයානක චෛතසිකයක් වෙයි. එම නැතිකිරීමට නම්, මුදිතාව ළඟා කර ගත යුතුයි. මුදිතාව යන උදාර චෛතසිකය වැඩුණ හොත් ඊර්ෂ්‍යාවට පැවතිය නොහැකිය.ඊර්ෂ්‍යාව මතුවීමට බලපානු ලබන පරිසරය නැතිකර දැමිය යුතුයි. තමා තුළ ඊර්ෂ්‍යාවක් නොමැති නම් කේලාම් කියමින් ගැටලු ඇති කරන්නේ නැහැ. ඊර්ෂ්‍යාව නැත්නම්, එකිනෙකාට කතන්දර ගොතමින් අපහාස නඟන්නේ නැහැ. එසේ ජීවත්වනවා නම් ඔබට කෙතරම් පින් සිදුවෙයිද?
නිවනට අදාළ වන කාර්යයන් සමාජය වෙනුවෙන් ඉටු කළාට ගැටලු ඇති වන්නේ නැත. කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව සමාජයට උදවු උපකාර කළ යුතු අතරම අනෙකාගේ ජයග්‍රහණය තුළ මුදිතාවෙන් සතුටු විය යුතුයි. මුදිතා කරුණා මෛත්‍රියෙන් යුක්ත වන විට නොදැනීම උපේක්ෂාව හටගනී. කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අනෙකාගේ යහපත වෙනුවෙන් කටයුතු කළ යුතුවා සේම ඔහුගේ හෝ ඇයගේ දියුණුව දැක මුදිතාවෙන් සතුටු විය යුතුයි. උපේක්ෂා සහගතව ඇලීම් ගැටීම් නැතිවන විට රහත්භාවයට ළඟාවෙයි. අදුර ඈත්වී පූර්ණ ආලෝකය ලබමින් ඥනය ක්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගනී. නුවණින් යුක්තව නිවනට අදාළ වන නිරාමිස බව පළමුකොටම ඇතිකර ගත යුතුයි.

නිර්වාණය පිළිබඳව විශ්වාස කළ යුතුයි. ඇතැමුන්ට නිර්වාණය පිළිබඳව විශ්වාසයක් ද දුකින් නිදහස් වීම පිළිබඳ විශ්වාසයක්ද නැත. නිවන් දැකපු උතුමන් තුළ ඇලීම් නොමැති නිසාම ගැටීම් නොමැතිව ජීවත් වන අතර නිවන් නොදැකපු පිරිස ඇලීම් සමඟ ගැටීම් ඇති කර ගනී. නිවන් සාක්ෂාත් නොකළ පුද්ගලයා අනෙකාගේ යහපතට ඊර්ෂ්‍යා කරන අතර නිවන් සාක්ෂාත් කළ උතුමන් අනෙකාගේ යහපතට ඊර්ෂ්‍යා නොකරයි. අප විශ්වාස කරන ගැඹුරු අවබෝධය ඇතුළත කෙලෙස් එකින් එක ගැලවී යයි.
තණ්හාව මෝහය වැනි කෙලෙස් ඉතිරියක් නැතිව ක්ෂය කළ විට ලබන්නාවූ ශාන්ත ඵලය නිර්වාණය ලෙස හඳුන්වයි. එම නිවන පිළිබඳව විශ්වාසයක් තිබිය යුතුය. එම විශ්වාසය තමා තුළ ගොඩනැඟීමත් සමඟ එය ක්‍රියාවට නැඟීම සඳහා උද්‍යෝගයක් හටගනී.
නිවන පිළිබඳව ශ්‍රී සද්ධර්මය පිළිබඳව , ස්වාමීන් වහන්සේලා පිළිබඳව සැක නැති විය යුතුය. ඇතැමුන්ගේ දැනුම වැඩිවීමත් සමඟ විචිකිච්ජාව වැඩිවෙයි. ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කළ රජ්ජුමාලාද, කසළ සෝදකයෙකු ලෙස කටයුතු කළ සුනීතද, මළමිනියට ගැටගසා සිටි සෝපාකටද, නිවන් දැකිය හැකි නම්, දැනුම බලය වැනි කාරණා අවබෝධය සඳහා ප්‍රයෝජනවත් නොවන බව වැටහෙයි. දැනුම බලය ලෞකික ජීවතය සැපයෙන් ගත කිරීමට පමණක් ප්‍රයෝජනවත් වෙයි. පුර්ණ අවබෝධය කරා යන ගමනේදී විශ්වාසය පමණක් ප්‍රමාණවත් වෙයි. ශ්‍රද්ධාව ඉපදුනාට පසුව නිවනට අදාලව කළයුතු සහ නොකළ යුතු කාර්යයන් කළ යුතුයි.
නිවනට අදාළව පුහුණු වන පුද්ගලයෙකු කළයුතු දෑ සහ නොකළ යුතු දෑ පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. ගැඹුරු ශ්‍රද්ධාව නොමැති කම නිසා සීලයට අදාළවන වීර්යය අප තුළ ගොඩනැගෙන්නේ නැත. නිවන නැමැති අස්වැන්න නෙළාගැනීම සඳහා බීජ ලෙස ශ්‍රද්ධාව වැපිරිය යුතුබවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. ශ්‍රද්ධා බීජ නොමැති පුද්ගලයාට සිල් ආරක්ෂා කළ යුතු බවට ප්‍රකාශ කළද එයින් පලක් වන්නේ නැත. කෙතරම් පන්සිල් සමාදන් වුවත් ඵලක් තිබෙනවාද? යනුවෙන් විමසන පිරිස් සිටී. පන්සිල් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රද්ධාව තිබිය යුතුයි. සසර ගමන කෙටි කර ගැනීම සඳහා ශ්‍රද්ධාව පිළිබඳ විශ්වාසයක් නොමැති නම්, පන්සිල් ආරක්ෂා කිරීමක් වන්නේ නැත. ශ්‍රද්ධාව නොමැති පුද්ගලයන් තුළ සීලය ගොඩනැංවීම පහසු කාර්යයක් නොවෙයි. අප රට තුළ සිල්වත් බව බිඳ වැටී ඇත්තේද ශ්‍රද්ධාව බිඳ වැටී ඇති නිසයි. නූතන අධ්‍යයාපන ක්‍රමය තුළ බොහෝ උගතුන් බිහිවුවද, ශ්‍රද්ධාවන්තයන් බිහි වුයේ නැහැ. ජාතක පොත් වහන්සේ තුළ ඇති බෝධිසත්ව සංකල්්ප පිළිබඳ ප්‍රශ්න ඇතැමුන් විමසනු ලබයි. බෝධිසත්ව ගති පිළිබඳව විශ්වාසය පැවතුණ කාලය තුළ ලේ දන්දීම සඳහා දැන්වීම් ගැසීමට අවශ්‍ය වුයේ නැත. උගතුන් බිහිවීමත් සමඟ ශ්‍රද්ධාව පිළිබඳව පණ්ඩිත කාරණා ප්‍රකාශ කළා පමණයි. ඇස් ඉස් මස් ලේ දන්දුන්නේ බෝධිසත්ව වරුන් බවට අපගේ සමාජය තුළ පැවති ආකල්පයයි.බුදුවීමට ප්‍රාර්ථනා කරන උතුමන් උතුම් ගුණ වඩන බවට අදහස සමාජය තුළ පැවති අතර වර්තමානය තුළ වකුගඩු ලක්ෂ ගණනින් අලෙවි කරයි. ශ්‍රද්ධාව විනාශ වූ විට සියල්ල විනාශ වී යයි. ශ්‍රද්ධාව ඔබගේ ජීවිතයේ පදනම විය යුතුයි.
අරමුණ නිරාමිස කරන ආකාරයත් එම නිරාමිස අරමුණ සඳහා විශ්වාසයක් අඛණ්ඩව පැවතිය යුතු බවත්, ඔබගේ අරමුණ නිර්වාණය අවබෝධය නම්, එම නිර්වාණය අවබෝධය සඳහා අවශ්‍ය කරන කළ යුතු නොකළ යුතු දෑ මොනවාදැයි හඳුනාගෙන නොකළ යුතු දෙයින් වැළකී කළයුතු දෑ සමාදන් වන ආකාරය පිළිබඳවද,අවබෝධය ලැබී ඇත.
එම උදාර අරමුණ සඳහා පුහුණුව සිදුකරද්දී ලැබෙන සියලු ප්‍රතිපල සතුටින් බාරගත යුතුයි. යථා ලාභං සන්තුට්ඨිං අරමුණ දිනීමට නම්, ලද දෙයින් සතුටු විය යුතුයි. ලද දෙයින් සතුටු නොවන පිරිසට අරමුණ ජයග්‍රහණය කිරීම අතිදුෂ්කර වෙයි. ලද දෙයින් අසතුටු වූ විට ශ්‍රද්ධාව කඩා වැටී නිරාමිස බව නැතිවෙයි. ලද දෙයින් සතුටු වීමට නොහැකි වන තමාගේ ආගමික ප්‍රතිපත්ති තුළින් ඉවත්ව යයි.
දන් පහන් පූජා කරන නිසාත් පන්සල් යන නිසාත් එම පිහිටෙන් අපට කිසිවක් සිදු විය නොහැකි බව අප විශ්වාස කරයි. කරදර බාධක වැඩි වූ විට කෙතරම් පන්සල් ගියත් බෝධිපූජ තැබුවත් පලක් නැති බවට ඇතැමුන් ප්‍රකාශ කරන අතර ඔබ ඔවැනි තරමින් හෝ ෙබිරී සිටින්නේ ඔබ විසින් සිදුකරන ලද ආගමික වතාවත්වල ප්‍රතිඵලයෙන් විය හැකි. අප විසින් සිදු කරනු ලබන යහපත් ක්‍රියාකාරකම් නිසා යාන්තමට හෝ බේරී සිටිනවා විය හැකියි.
යහපත් ප්‍රතිඵල නොලැබුණත් කරදර අඩුවෙන් හෝ ජීවත් වනුයේ එයි ප්‍රතිපලයක් ලෙස වන අතර එම යහපත් ක්‍රියාකාරකම් අතහැර දැමුව හොත් කුමක් සිදුවිය හැකිද? බුද්ධ ශාසනයත්, පන්සලත් විනාශ වුවහොත් පොලිසි නැති වූවාට වඩා භයානක තත්ත්වයක් උදාවෙයි. එම නිසා ශ්‍රද්ධාව කිළිටි නොකර ගත යුතුයි. තමා තුළ පවතින යහපත් ක්‍රියාකාරකම් තුළින් ලැබෙන ප්‍රතිඵලය බාරගත යුතුයි.
අප අපේක්ෂා කරන ආකාරයෙන් සියල්ල සිදු නොවන බව අවබෝධ කරගත යුතුය. බොහෝ අවස්ථාවල නොසිතන ප්‍රතිඵල ලැබෙයි. ලැබෙන දේ සතුටින් බාරගත් විට අඛණ්ඩව ශ්‍රද්ධාවෙන් කටයුතු කළ හැකියි.
ලංකාව තුළ මේ තරම් ධර්මය දේශනා කළත් ඇති ඵලය කුමක්ද? යනුවෙන් ඇතැමුන් විමසන අතර ඒ දේශනා කරනු ලබන්නාවු ධර්මයත් නැතිවුණා නම් කුමන තත්වයක් ලංකාව තුළ ඇති විය හැකිද?
මෙම ලිපියෙහි තවත් කොටසක් දුරුතු පුර අටවක (ජනවාරි05) පෝදා පත්‍රයේ පළවිය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ආර්යඵල ලාභිත්වය සඳහා


පූජ්‍ය පණ්‌ඩිත ගම්පහ සිරිසීවලී හිමි
සුදර්ශන ජාත්‍යන්තර භාවනා මධ්‍යස්‌ථානය, 
ප්‍රධාන අනුශාසක, යටියන, මිනුවන්ගොඩ

භවය බුද්ධියෙන් අවබෝධ කර භව නිරෝධය සඳහා ප්‍රතිපත්ති පුරන්නා බෞද්ධයායි. නැතහොත් අවබෝධයෙන් අර්ථ සම්පන්න ජීවිතයක්‌ ගතකර ජීවිතයෙන් වැඩ ගන්නා උත්තමයා බෞද්ධයායි. ජීවිතයේ වැඩ ගත් වැදගත් උතුමෝ රහතන් 

වහන්සේය. උතුම් මිනිස්‌ දිවියෙහි කරන ලද 'කිස්‌ ඇති 'කතකිච්ච' උතුමෝ රහතන් වහන්සේය. එසේ හෙයින් අනූපමේය කරුණාවෙන්, මෛත්‍රියෙන් ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ දායාද කළ ධර්ම දානය ලැබගෙන ධර්ම දායාදය ලැබගෙන ලොව්තුරු ඵල මේ භවයේදී ලබාගැනීමට අදිටන් කරගත යුතුය. ලැබී ඇති මේ ස්‌වර්ණමය අවස්‌ථාව නොසලකා හැරියොත් මගහැරී ගියහොත් කවදා කෙසේ නම් කුමන දවසක ලැබේදැයි සිතීම පවා අසීරුය.

සම්බුද්ධ ශාසනයේ ස්‌ථාවර වීමට, මුල්බැස ගැනීමට, දායාද ලැබීමට, සතර අපායෙන් සදහමට අත්මිදීමට, භව හතක්‌ තුළ නිවන් දැකීමට අනිවාර්යයෙන්ම ආර්ය ශ්‍රාවක භාවය ලැබිය යුතුය. ඒ සඳහා වැඩිය යුතු මගක්‌, කළ යුතු කෘත්‍යයක්‌ ඇත. එය පළමුවන ආර්ය මාර්ග වැඩීමයි. සෝවාන් මාර්ගයට අවතීර්ණ වීමයි. සේක ප්‍රතිපදාව නම්වූ ආර්ය ප්‍රතිපදාව නම්වූ සෝවාන් මාර්ගය වැඩීමේදී සත්තිස්‌ බෝධි පාක්‌ෂික ධර්ම වැඩිය යුතුය. සත්පුරුෂ සංසේවය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානු ධම්ම පටිපදාව ඒ සඳහා නිර්දේශිතයි.

බෝධිපාක්‌ෂික ධර්ම ඉගෙනගැනීම, පොතපතේ සටහන් තැබීම, කටපාඩම් කිරීම, මතකයේ රඳවා ගැනීම පමණකින් ධර්මය වැඩි මාර්ගස්‌ථයෙක්‌ බවට පත් නොවේ. ඒ ගුණ ධර්ම තමා තුළ ක්‍රියාත්මක භාවයෙන් වැඩිදියුණු වීමක්‌, ගුණාත්මක සංවර්ධනයක්‌ සිදුවෙනවා දැයි ආත්ම ප්‍රත්‍යවේක්‌ෂණය තුළින් හෙවත් තම චරිතය වෙත තීක්‌ෂණ බැල්මක්‌ හෙලා සැබවින්ම ප්‍රගතියක්‌ කරා යන වර්ධනයක්‌ ඇද්දැයි විමසිය යුතුය.

ලෝකයේ උපත ලබන සත්වයන් භව්‍ය හා අභව්‍ය යනුවෙන් දෙකොටසකි. භවය යනු යමක්‌ හරිහැටි අවබෝධ කරගත හැකි, හොඳ - නරක, සත්‍ය - අසත්‍ය වටහා ගත හැකි කොටස වේ. අභව්‍ය යන්නෙන් අදහස්‌ කරනුයේ ඒ හැකියාව නැති සතර අපාගත සත්ත්වයන් හා සමහර අමනුෂ්‍ය කොටස්‌ය. භව්‍ය සත්ත්වයන් අතර ඉහළින්ම සිටින්නේ මනුෂ්‍යයන්ය. මනුසතාය. ඉතිරි දේව - බ්‍රහ්මාදීන්ය.

සතර සතිපට්‌ඨානයෙන් ආරම්භවී ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් අවසන් වන සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්මවලින් මෙම ධර්ම පත්‍රිකාවෙන් ඉදිරිපත් කරනුයේ පංච ඉන්ද්‍රිය ධර්ම ගැන විස්‌තරයයි.

සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය යනු ඒ ඉන්ද්‍රිය ධර්ම පහයි. මේ ඉන්ද්‍රිය ධර්ම පහ හෝ කීපයක්‌ තමා තුළ විද්‍යාමන වේ නම් හේ ආර්ය ශ්‍රාවකයෙකි. එසේ නොවේ නම් හේ පුහුදුන් බවේ සිටින්නෙකි. ඒ බව මෙසේ බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරති.

'යස්‌සඛො භික්‌ඛවේ, ඉමානි පංච ඉන්ද්‍රියා සබ්බෙන

සබ්බං සබ්බතා සම්බං නත්ථි, තමහං බාහිරො ප්‍රථුඡ්ජන පෙCධ තිඨොති වදාමි'. ඉහත අදහස මේ දේශනා පාඨයෙන් ප්‍රකාශ වේ. මේ ඉන්ද්‍රිය ධර්ම කෙසේදැයි විමසාබලමු.

සංයුත්ත නිකායේ සාලා සූත්‍රයේ මෙසේ දැක්‌වේ.

'මහණෙනි, සද්ධාව ඉන්ද්‍රිය ධර්මයක්‌, බෝධි පාක්‌ෂික ධර්මයක්‌. එය අවබෝධය හෙවත් ප්‍රඥව ලබාගැනීම සඳහා උපකාරී වේ.

- මහණෙනි, විරිය ඉන්ද්‍රිය ධර්මයක්‌ බෝධිපාක්‌ෂික ධර්මයක්‌. එය අවබෝධය හෙවත් ප්‍රඥව ලබාගැනීම සඳහා උපකාරී වේ.

- මෙසේ ඉතිරි සියලුම ඉන්ද්‍රිය ධර්ම නිවන සඳහාම පාදකවේ.

පළමු ඉන්ද්‍රිය ධර්මය විවරණය වන්නේ 

මෙසේයá

'මහණෙනි, ශ්‍රද්ධාවේ බලය, ශක්‌තිය මොනයම් කරුණකදී පැහැදිලිව දැකිය හැකිද?

සතර සෝතාපත්ති අංගවලදී දැකිය හැක.

සතර සෝතාපත්ති අංග මෙසේයි.

1. බුද්ෙ අවෙච්ච ප්‍රසාදය

2. ධම්මේ අවෙච්ච ප්‍රසාදය

3. සංඝෙ අවෙච්ච ප්‍රසාදය

4. අරිය කාන්ත සීලයයි

මේ අංග හතරෙන් බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ තමා තුළ ඇතිකරගෙන වඩවා ගැනීමේදී දැන පැහැදීම ඇතිවේ. මෙහි විශේෂත්වය වනුයේ බුදුගුණ වැඩීමේදී දහම් ගුණ, සඟගුණද ඇතිවනු ඇත. වැඩෙනු ඇත. බුදුගුණ වැඩීම කොටස්‌ තුනකට බෙදා දැක්‌විය හැක. 

1. බුදුගුණ ගායනය

2. බුදුගුණ සිහිකිරීම

3. බුදුගුණ ඇතිකර ගෙන වඩවා ගැනීමයි. 

මෙයින් පළමු බුදුගුණ ගායනය සාමාන්‍ය ජනතාව ආගමික කටයුතුවලදී නිතර සිදුකරයි. එය ආමිෂ පූජාවකි. දෙවනුව බුදුගුණ සිහිකිරීමයි. බුද්ධානුස්‌සති භාවනාවයි. එමගින් ධ්‍යාන බල ඇතිකරගත හැක. එයද ආමිෂ පූජාවටඅයත්ය. ගායනයෙන් සිහිකිරීමෙන් නිවන් දැකිය නොහැක. එයට හේතුව ආමිෂ පූජාවකින් ලෝකෝත්තර ඵල නොලැබෙන නිසාය. ලෝකෝත්තර හෙවත් මාර්ගඵල ලැබෙන්නේ ප්‍රතිපත්ති පූජාවකින් පමණි.

තෙවනුව සඳහන් බුදුගුණ ඇතිකරගෙන වඩවාගන්න. සෝතාපත්ති අංග හතරෙන් තුනක්‌ම වැඩෙනු ඇත. ඒ මෙසේයි. බුදුගුණ අනන්තය, අප්‍රමාණය. ගණනය කළ නොහැක. බුදුගුණවලින් අපට පහසුවෙන් වැඩිය හැකි ගුණය වන්නේ ලෝකවිදූ ගුණයයි. ලෝකය යනු සිතයි, කයයි දෙකේ එකතුවයි. සිත හා කය ගැන දැනගැනීමට සතර සතිපට්‌ඨානය වැඩිය යුතුය. යමෙක්‌ සතර සතිපට්‌ඨානය අවබෝධයෙන් වඩන්නේ නම් හේ සෝතාපත්ති අංග වඩන්නෙක්‌ වේ. ආර්ය ශ්‍රාවකයෙක්‌ වේ. නිවනට නියත වූ බුද්ධ ශ්‍රාවකයෙක්‌ වේ. බෞද්ධයෙක්‌ වේ. අරියකාන්ත සීලය යනු සියලු පව් අතහැර කුසල් දියුණු කිරීමයි.

දෙවැනි ඉන්ද්‍රිය ධර්මය මෙසේ දැක්‌වේ. 'කFථච භික්‌ඛවේ විරියිJද්‍රියං දට්‌ඨබ්බං' චතුසු සම්මප්පධානෙසු' මහණෙනි, විරිය ඉන්ද්‍රිය කිනම් ධර්මතාවක දැකිය හැකිද? සතර සම්පධානයෙහිය.

සතර සම්ප්පධානයන් කවරේද?

1. සො අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාතිá පදහති.

යෝගාවචරයා නූපන් අකුසල ධර්ම නොඉපදීම සඳහා කැමැත්ත ඇතිකරගනී. වෑයම් කරයි. විර්ය ඇතිකරයි. එක සිතින්ම පිහිටා සිටී. ස්‌ථිරව පිහිටයි. බලවත් උත්සාහය ඇතිව වෙසේ.

2. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පාහානාය ඡන්දං ජනේති á වායමති á විරියං ආරභති á චිත්තං පග්ගන්හාතිá පදහති.

උපන් පාපක අකුසල ප්‍රහානය සඳහා කැමැත්ත ඇති වේ. ඒ සඳහා වෑයම් කරයි. වීර්යය උත්සාහය ඇතිවේ. ස්‌ථිරව පිහිටවූ බලවත් අධිෂ්ඨානයෙන් යුක්‌තවේ. 

3. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති. වායාමති. විරියං ආරභති. චිත්තං පග්ගන්හාති. පදහති.

නූපන් කුසල් සිත් (සෝවාන් ආදී මාර්ග සිත් 04 හා ඵලසිත් 04) වැඩීම, ඉපදවීම සඳහා වෑයම් කරයි. වීර්යය ඇතිකර ගනී. ස්‌ථිරව පිහිටවූ බලවත් අධිෂ්ඨාන ඇති කර ගනී.

4. උපප්නානානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භිය්‍යො භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති.

උපන් (මාර්ගඵල සිත්) ස්‌ථිර කිරීම සඳහා නොපිහිරීම සඳහා බොහෝ සේ දියුණු කිරීම සඳහා විපුලභාවයට පත්කිරීම සඳහා භාවනාත්මකව වඩා ගැනීම සඳහා පරිපූර්ණ කැමැත්ත ඇතිකර ගනී. ඒ සඳහා වෑයම් කරයි. වීරිය ආරම්භ කරයි. උත්සාහවත් වේ. ස්‌ථිරව පිහිටා සිටී. තුන්වැනි ඉන්ද්‍රිය ධර්ම මෙසේ දැක්‌වේ. 

කFථච භික්‌ඛවේ, සති ඉන්ද්‍රියං දිට්‌ඨබ්බං? චතුසුසති පට්‌ඨානේසු

මහණෙනි, සති ඉන්ද්‍රිය ධර්මයේ බලය, ශක්‌තිය කිනම් තැනකදී දැකිය හැකිද? සතර සති පට්‌ඨානයෙහිය.

1. කායානුපස්‌සනා

2. වේදනාපස්‌සනා

3. චිත්තානුපස්‌සනා

4. ධම්මානුපස්‌සනා වේ.

සිවුවන ඉන්ද්‍රිය ධර්ම කෙසේද?

කFථච භික්‌ඛවේ සමාධි ඉන්ද්‍රියං දට්‌ඨබ්බං? චතුසු ජධානේසු.

මහණෙනි, සමාධි ඉන්ද්‍රිය ධර්මයේ බලය, ශක්‌තිය දැකිය හැක්‌කේ කිනම් ස්‌ථානය තුළද? ධ්‍යාන හතරෙහිය.

1. පළමු ධ්‍යානය 2. දෙවැනි ධ්‍යානය

3. තෙවන ධ්‍යානය 4. සතරවන ධ්‍යානය වේ.

ඊළඟට පස්‌වන ඉන්ද්‍රිය ධර්ම පඤ්ඤ ඉන්ද්‍රියයි. 

'කFථච භික්‌ඛවේ පඤ්ඤේන්ද්‍රියං දට්‌ඨබ්බං?' චතුසු අරිය සච්ෙච්සු ඤාණං
මහණෙනි, පඤ්ඤ ඉන්ද්‍රිය බලය ශක්‌තිය, දැකිය හැක්‌කේ කිනම් ධර්මතාවක්‌ තුළද? චතුරාර්ය සත්‍ය ධර්මය තුළය.

චතුරාර්ය සත්‍ය ධර්මය

1. දුක්‌ඛ සත්‍යය 2. සමුදය සත්‍යය 3. නිරෝධ සත්‍යය 4. මාර්ග සත්‍යය 

මෙසේ මෙම ඉන්ද්‍රිය ධර්මවල කාර්යභාරය පැහැදිලිව සඳහන් වීමෙන් ආර්ය ශ්‍රාවකයාට තමා තුළ ඒ ධර්මතා වඩා ගැනීමටත්, වැඩි දියුණු කර ගැනීමටත් ඉමහත් පිටිවහලක්‌ සිදුවේ.

- සද්ධා ඉන්ද්‍රියෙන් සතර සෝතාපත්ති අංගද

- විරිය ඉන්ද්‍රියෙන් සතර සම්‍යග් ප්‍රධාන වීර්යයද

- සති ඉන්ද්‍රියෙන් සතර සතිපට්‌ඨානයද

- සමාධි ඉන්ද්‍රියෙන් සතර ධ්‍යානංගද

පඤ්ඤා ඉන්ද්‍රියෙන් - සතර ආර්ය සත්‍යයද

ප්‍රකාශ වේ. සසරෙන් එතෙරවීමට ඉදිරියට යන ඔබට මේ ධර්මතා වැඩි තිබේදැයි විමසිලිමත් වන්න.

සත්‍ය අවබෝධ කළ උත්තමයාට වඩා සුත, මුදිත සැනසුන පුද්ගලයෙක්‌ මේ තුන් ලෝකයේ කොතනකවත් නැත. බෞද්ධ දර්ශනය හැර ලොව පහළවූ සියලු ආගම් දර්ශනවලින් මිනිසාගේ සදාකාලික විමුක්‌තිය සැනසිල්ල ළංකර ගත හැක්‌කේ මරණින් මතුවටය. එහෙත් සතර මග, සතර ඵල නිවන මේ භවයේදී මේ ජීවිතයේදී ලැබිය හැක. චෛතසික දියුණුවේ ශ්‍රේෂ්ඨතම අවස්‌ථාව අර්හත් ඵලයයි. අවම ඵලය සෝවාන් ඵලයයි. දිට්‌ඨධම්මවේදනීය ආර්ය ඵලලාභීත්වය සඳහා උත්සාහ කරන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සියලු යහපත උදාකරන සරණාගමනය

පොල්ගහවෙල මහමෙව්නා 
භාවනා අසපුවේ
කළගන්වත්තේ විජිතඤාණ හිමි

පිරිවානා පොත් වහන්සේගේ මුලින්ම සඳහන් වන්නේ “සරණා ගමනය” පිළිබඳවයි. එහි අර්ථය තිසරණයට පැමිණීම හෙවත් තෙරුවන් සරණ යාමයි.
තෙරුවන් සරණ යෑම යනු අපගේ බුදුරජාණන් වහන්සේත්, උතුම් ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝ රත්නයත් තමාගේ එකම පිහිට, පිළිසරණ, රැකවරණය, ආරක්ෂාව ලෙස මුළු හදවතින්ම සරණයාමයි. අති බිහිසුණු සසරක සැරිසරන සත්ත්වයන්ට තෙරුවන් සරණ යෑම යනු සුළුපටු දෙයක් නොවේ. එය හැම පැත්තෙන්ම ආරක්ෂාව සහිත පරිපූර්ණ සරණ යෑමකි. මෙය වටහා ගැනීමට නම් ඔහු තුළ නුවණ තිබිය යුතුමය.
එසේනම් මේ ලෝකයේ නුවණැත්තන් යම්තාක් ඇත්නම්, ඒ සියලු දෙනාට සරණ යාහැකි එකම දෙය මේ තිසරණය යි. වෙන පිළිසරණක් නැත්තේම ය. තෙරුවන් සරණ යාමට නම් නුවණැත්තාට තෙරුවන ගැන අසන්නට ලැබිය යුතුය. තෙරුවන් සරණ ගැන අසන්නට ලැබෙන්නට නම් අප උස් හඬින් තිසරණය ගැන ලොවට කිව යුතුය. එවිට නුවණැත්තා මිනිස් ලොව, දෙව් ලොව,බඹ ලොව යන කොතැනත් තෙරුවන හා එක් වේ.
තිසරණ පිහිට
ලෝකයා විවිධ ආගම් සරණ ගියත් සැබවින්ම සියලුම සත්ත්වයන්හට සදා සැනසිල්ල උදාකරදෙන එකම සරණ තිසරණය පමණි. “නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණංවරං. . . නත්ථි මේ සරණං අඤ්ඤං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං” බුදුරජාණන් වහන්සේගේ සරණ හැර මට වෙන සරණක් නැත්තේය, උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයේ සරණ හැර මට වෙන සරණක් නැත්තේය. ආර්ය මහා සංඝ රත්නයේ සරණ හැර මට වෙන සරණක් නැත්තේය. මෙය පරම සත්‍යයකි. මේ සත්‍යානුභාවයෙන් මට සෙතක්, ශාන්තියක්, යහපතක්ම වේවා, යනු එහි අර්ථය යි.

ඉතිපිසෝ. . . ස්වක්ඛාතෝ. . . සුපටිපන්නෝ යන ගාථාවන් මේ වාක්‍යයන් එකතුකොට බොහෝ ලස්සනට ඇතැම් අය සජ්ඣායනා කරන නමුත්, ඒවායේ අර්ථයන් නොදනී. එය අවාසනාවකි. බෞද්ධයන්ට තෙරුවන් ගැන මනා අවබෝධයක් තිබිය යුතුමය. ඒ මක්නිසාද යත් නිවන අවබෝධ කර ගැනීමට නම් ඒකාන්තයෙන්ම සදාකාලික විමුක්තියක් මේ ලොව දෙවියෙකු, බ්‍රහ්මයෙකු, මනුෂ්‍යයෙක් බලාපොරොත්තු වේනම් ස්ථිර ලෙස තෙරුවන් සරණ යාම හැර වෙනත් කිසියම් මාර්ගයක් ඒ සඳහා මේ විශ්වයේම නැත.
තුනුරුවන්ගේ දුර්ලභ බව
තිසරණය ලොව පහළවන්නේ කල්ප ගණනකට පසුවය. එය හැම කල්හිම පහළ නොවේ. කල්ප සියයක් ඇතුළත තිසරණය ලොව පහළ වී ඇත්තේ හත්වතාවකි.
මෙකරුණින්ම තෙරුවන් සරණ යෑම කොතරම් දුර්ලභ දෙයක්ද කියා පැහැදිලිය. “කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ” හැමටම වඩා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම දුර්ලභය. “සුඛෝ බුද්ධානං උප්පාදෝ” බුදුරජාණන් වහන්සේගේ ඉපදීම සියලු දෙනාටම යහපතක්ම සැපයක්ම වන්නේය. “බුද්ධෝ හවේ කප්පසතිහි දුල්ලභෝ” බුදුරජාණන් වහන්සේ කල්ප ගණනකින් පහළ නොවේ. මොක් සිරිදෙන මුනිඳුන්ගේ උපතකි. “කප් කෙළ සිය දහසකිනුත් නො ලදැකි” යනුවෙන් ලෝවැඩ සඟරාවේ ද සඳහන්ය. ලෝවැඩ සඟරාවේ ඇති මේ කවිය දෙසත් හොඳින් බලන්න.
බුදු කෙනෙකුන් මේ ලොව නූපන් ව ර
අඳුරෙක් මය සදහම් නැති මේ සස ර
ඉඳුරා නො දැනෙයි මේ පින් තොරතු ර
සිදු නොකළැකි ඉන් සඟමොක් පිරිව ර

සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ නොවූ කල්හි උතුම් ශ්‍රී සද්ධර්මයද අසන්නට නො ලැබෙන්නේ ය. එනිසා පව් හා පින්වල කිසිඳු තොරතුරකින් ලෝකයාට දැන ගන්නට කිසිසේත්ම නොහැකි නිසා දිව්‍ය සම්පත් හා ඒ අමා නිවන් සම්පත් ලබන්නට නො හැක්කේම ය යනුයි.
නමස්කාරය
තෙරුවන් සරණ යෑමට පෙර අප අපගේ භාග්‍යවතුන් වහන්සේට “නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” කියා නමස්කාර කරන්නෙමු. සියලුම සම්බුදු ගුණයන් වැඩ සිටීමට සමත් හෙයින්ද, (භගවතෝ) ගුරු උපදේශ රහිතව සියලුම කෙලෙසුන් නැසූ හෙයින්ද, (අරහතෝ) ගුරු උපදේශ නැතිවම සියලුම ධර්මයන් (ස්වංභූ ඤාණයෙන්) අවබෝධ කළ හෙයින්ද, (සම්මා සම්බුද්ධස්ස) සම්මා සුම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්නෙමු. මේ නමස්කාර පාඨය තුළ සියලුම සම්බුදු ගුණ කැටි වී තිබෙන අයුරු මේ ගැන හොඳින් විමසීමේ දී කාට වුවද දැකගත හැකි කරුණකි. ඒ නිසා අධික කටයුතු තිබෙන අයෙකු වුවද දවසේ ආරම්භයේදීත්, දවස අවසානයේදීත් මේ උතුම් නමස්කාර පාඨය හෝ ඉතා ගෞරවයෙන් යුතුව දොහොත් මුදුන් දී තුන්වරක් කියයිනම් ඔවුන්ට බොහෝ යහපත සැළසෙන්නේ ය.
තෙරුවන යනු
රුවන් යනුවෙන් ලෝකයේ ඉතා අගනා මැණික් වර්ගයක් ගැන කියැවෙයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයට තෙරුවන් කියා කියන්නේ සුවිශේෂී අර්ථයකින්ය. මෙලොව, පරලොව හෝ දෙව්ලොව හෝ කිසියම් තැනක යම් මාණික්‍යමය දේවල් ඇද්ද ඒ කිසිවක් අපගේ බුදුරජාණන් වහන්සේ සමකොට ගත නො හැකිය.
ඡත්ත මානවක කථාවේදී අපගේ බුදුරජාණන් වහන්සේ ඡත්ත මානවකගේ ජීවිතයට ඇති අනතුර බුදු නුවණින් දැක ඔහුට පිහිටවීම සඳහා මහ මඟට වැඩම කොට ඔහු තිසරණයෙහි සමාදන් කරවා පිහිටුවා වදාළ සේක. ඔහු ඒ තිසරණයේ ගුණ සිතමින් යන අතරේ සොරුන්ට හසුවිය. සොරුන්ගෙන් දරුණු ප්‍රහාර එල්ල වෙද්දීත් ඔහු තිසරණය සිහි කළේය. ඒ මොහොතේ මරණයට පත් ඔහු ඒ හේතුවෙන් දෙව්ලොව ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා නමින් උපන්නේය.
එක්තරා කාන්තාවක් වැටකොළු මල් හතරක් නෙළාගෙන ධාතු තැන්පත් සෑයකට පූජා කිරීම පිණිස ඒ මල් හතර දෝත දරාගෙන අපගේ භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරිස ලකුණින් හෙබි රන්වන් ඒ බුදු සිරුර ගැනත්, නව අරහාදී බුදු ගුණයන් ගැනත් අපමණ සිත් පහදවාගෙන බුදුගුණ සිතමින් යද්දී ඒ උතුම් සෑය අසලදී උමතු වූ ගව දෙනක් දරුණු ලෙස අනිද්දීත් ඇය බුදු සිරුර ගැනම බුදු ගුණම ගැනම සිතීම නිසා මරණයෙන් මතු දෙව් ලොව උපන් කථාවක් පීති විමාන වත්ථු නමින් විමාන වත්ථුවෙහි ඇත. ඇය අත තිබූ මල් කහ පැහැයෙන් යුතුවීමත්, රන්වන් බුදු සිරුර ගැන සිතීමත් ආදී සිතේ පිවිතුරු බව නිසා ඇයගේ විමානය හා එහි සියල්ලද, ඇයගේ සියලු ආභරණයන් ද, කහ පැහැයෙන්ම වීම අරුම පුදුමය.
හදවතින් සරණ යාම
මහා සමය සූත්‍රයේ බ්‍රහ්මරාජවරු හතර දෙනෙක් කපිලවස්තු මහා වනයට බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණ ඔවුන් හතර දෙනා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වෙන් වෙන් වශයෙන් ගාථා හතරක් ප්‍රකාශ කළේය. ඉන් හතරවැනි බ්‍රහ්මරාජයා මේ ගාථාව කියා සිටියේය.
යේකේචි බුද්ධං සරණං ගතාසේ
න තේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං
දේවකායං පරිපූරෙස්සන්ති

යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ ගියේනම් ඔහු අපායට යන්නේ නැත. මිනිස් ජීවිතය අතහැර මියගිය පසුව ඔවුන් සුගතියෙහිම උපදී.
අසිරිමත් බුදුන් සරණ යාම
නිරයගාමි අකුසල්ම බොහෝ සිදුකළ මිථ්‍යා දෘෂ්ඨිකයෙකු වූ අම්බසක්කාර නම් රජ කෙනෙක්, කිසියම් පේ‍්‍රතයෙකු මාර්ගයෙන් මහා කප්පින්න මහා රහතන් වහන්සේ වෙත යොමුව උන්වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ ගැන අසන්නට ලැබුණු කරුණු වලින් අපමණ පී‍්‍රතියට පත් ඒ රජු පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ ගොස් සෝතාපන්න ඵලයෙහි පිහිටා සදහටම සතර අපායෙන් නිදහස් වුණි.
පිරිත් දේශනා කරන පිරිසත්, පිරිත් ශ්‍රවණය කරන පිරිසත් තිසරණයෙහි පිහිටා පිරිත් කීම, පිරිත් ඇසීම ඉතා උසස් ඵල ලැබීමටම හේතු වෙයි. එනිසා මේ තිසරණය ගැන අප වෙන් වෙන් වශයෙන් ඉදිරි ලිපිවලදී විස්තර කරනු ඇත.
අද ලිපියෙන් කථා කළ තෙරුවන් සරණ යාම යටතේ බුදුන් සරණ යාම පිළිබඳවයි. බුද්ධානුස්සති භාවනා ගාථාවන්හි එන මේ ගාථාව සිහිපත් කරමු.
ඒ කෝ සබ්බස්ස ලෝකස්ස 
සබ්බ සත්ථානුසාසකෝ
භාග්‍ය ඉස්සරියාදීනං 
ගුණානං පරමෝ නිධී

සියලු ලෝකයන්හි සියලුම සතුන්හට, නියම අර්ථයෙන් උතුම් දහම් දෙසන එකම එක ශාස්තෘවර අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණි. භාග්‍යවත් ගුණයෙන් විචිත්‍රවත් වූ පිරී ඉතිරි යන ආශ්චර්යමත් වූ අනන්ත ගුණ කඳ උත්තම වූ නිධානයක් වැන්න.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සදහම් සඟරා - Online