ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

‘සාමුක්කංසික දේශනා’

ගන්තුනේ අස්සජි හිමි 
බුදුදහමෙහි ‘සාමුක්කංසික දේශනා’ නමින් හැඳින්වෙන චතුරාර්ය සත්යයට ඇතුළත් දුක්ඛ සමුදය ආර්ය සත්යයෙන් පැහැදිලි කෙරෙන්නේ ජාති, ජරා, ව්යාධි,මරණ ආදි විවිධ දුක්වලට සත්ත්වයා ගොදුරු වන්නේ කුමක් හේතු කොටගෙනද යන්නයි. බුදුදහම අනුව දුක නැවැත ඇතිවන්නේ කිසි හේතුවක් නැතිව ඉබේම නොවේ. එම දුක කිසියම් සර්ව බලධාරි දෙවි කෙනෙකු විසින් ඇති කරනු ලබන්නක්ද නොවේ. දුක වශයෙන් හැඳීන්වෙන උපාදානස්කන්ධ තුළම දුක ඇතිවීමේ සැබෑ හේතුවද ඇතුළත්ව තිබේ. එය හැඳින්වෙන්නේ ‘තණ්හා’ නමින්ය. කඳින් පැළවෙන ගසක මුලට හානියක් වී නැත්නම් එම ගස කපා දැමුවත් නැවැත ලියලයි. එමෙන්ම තණ්හාව තිබෙන තුරු නැවැත නැවැත දුක උපදීයයි’ බුදුරාජණන් වහන්සේ දේශනා කර ඇත.
ශරීරය අබල දුබල වීම අතපය වාරු නැති වීම, ගිලන්වීම ආදි දුක් කරදරවලට අප භාජනය වන්නේ ජාතිය හෙවත් ඉපදීම නිසාය. නැවැත නැවැත ඉපදීමක් නැත්නම් නැවත නැවැත ජරා මරණ ආදි දුක්වලට පත් නොවේ. නැවැත නැවැත උපදින්නේ තණ්හාව නිසාය. එබැවින් එය පෝනෝභවික තණ්හා නමින් දැක්වෙයි. පුනර්භවයට හෙවත් සසර නැවැත නැවත ඉපදීම සිදුවීමට මූලික වන බැවින්ද මෙලොවදීම විවිධ දුක් කරදර හිරිහැරවලට හේතුවන බැවින්ද තණ්හාව දුක් ඉපදවීමේ සැබෑ හේතුව ලෙස බුදුදහමෙහි ඉගැන්වේ.

පුද්ගලයා තුළ විවිධ ස්වරූපයෙන් තණ්හාව ඇති වෙයි.රූපාදිය ඇසුරෙන් ඇස ආදි ඉඳුරන් පිනවීමේ ආශාව වශයෙන් පහළවීම එක් ස්වරූපකි. රූප ශබ්ද ආදියට කාමවස්තුයැයි කියනු ලැබේ. කාමය නම් රාගය හෙවත් ඇලීමයි. ඒ ඇලීම වන්නේ රූප ශබ්ද ආදි අරමුණුවල නිසාය. ඒවා කාම වස්තු ලෙස හැඳින්වෙන්නේ ඇසට හමුවන රූප පදනම් කරගෙන ලැබෙන ආශ්වාදය නිසා අපි ඒවාට ආශා කරමු. නැවැත නැවැත එබඳු රූප දැකීමට, ලබා ගැනීමට කැමැති වෙමු. එය රූප තණ්හාවයි. කනට ඇසෙන ශබ්දවලින් ලැබෙන සතුට නිසා යළි යළිත් එබඳු ශබ්ද ඇසීමට ආශා කරමු. එය ශබ්ද තණ්හාවයි .එසේම නාසයට ගන්ධයත්, දිවට රසයත් ශරීරයට ස්පර්ශයත් ලැබෙන විට දැනෙන ආස්වාදය නිසා ඒවා නැවැත නැවැතත් ලබා ගැනීමට ආශාව ඇතිවේ. ඒවා පිළිවෙළින් හැඳින්වෙන්නේ ගන්ධ, තණ්හා රස තණ්හා සහ පොට්ඨබ්බ තණ්හා කියායි. ඇස කන ආදි ඉන්ද්රියයන්ට ගොදුරු නොවන සිතට පමණක් ගොදුරු වන අරමුණු ධම්ම නමින් හැඳින්වෙයි. අප පිළිගත් යම් යම් දෘෂ්ටි ආදියද ඊට ඇතුළත් වෙයි. ඒවාට ආශා කිරීම ධම්ම තණ්හාවයි. රූප ශබ්ද ආදි සියලු අරමුණුවලින් ලැබෙන ආස්වාදය නිසා ඒවා යළි යළිත් ලබා ගැනීමට ආශාව ඇතිවෙයි. එසේ ඒ කැමැති අරමුණු ලබා ගැනීමට ඇති අශාව හෙවත් කාමයට ඇති ආශාව කාම තණ්හාවයි.

කාමයන්ගෙන් තෘප්තිය මෙලොව ජීවත්වන කාලය තුළ පමණක් නොව භවගාමීව නැවැත නැවැත ඉපදෙමින් සදාකාලිකව ලැබීමට ආශාව ඇති වෙයි. එය තණ්හාව පහළවීමේ තවත් ස්වරූපයකි. එසේ පහළවන තණ්හාව හඳුන්වා තිබෙන්නේ භව තණ්හා යනුවෙන්ය. ශාස්වත දෘෂ්ටියෙන් යුක්ත වූ තෘෂ්ණාව ලෙස හැඳින්වෙන්නේ මෙම භව තණ්හාවයි.

පරලොවක් පිළිබඳ විශ්වාස නොකරන නැවැත නැවැත ඉපදෙමින් මැරෙමින් ඇදී යන සාංසාරික ජීවිතයක් ඇතැයි නොපිළිගන්නා අය තුළ වෙනත් ස්වරූපයකට තණ්හාව ඇති වෙයි. එවැන්නන්ගේ පිළිගැනීම මෙම ජීවිතය මරණයෙන් කෙළවර වූ පසු නැවැත ඉපදීමක් නැති බවයි. එම නිසා ඔවුන්ට ආශාව ඇතිවන්නේ මරණය පැමිණෙන තුරු හැකිතාක් කාම වස්තුන්ගෙන් ආස්වාදය ලබා ගැනීමටයි. ඉන්ද්රියයන් පිනවීමටයි. නැවැත භවයක් පිළිබඳ බලාපොරෙත්තු නොතබා මේ ජීවිතයේ වඩ වඩා කම්සැප සෙවීමට ඇති එම ආශාව හැදින්වෙන්නේ විභව තණ්හා නමිනි. උච්ඡෙද දෘෂ්ටියෙන් මිශ්ර වූ තණ්හාව ලෙසද මෙය හැඳීන්වේ.

ඉහත සඳහන් කාම, භව, විභව යන තුන් වැදෑරුම් තෘෂ්ණාවම ඇතිවන්නේ රූප ආදී කාම වස්තුන්ගෙන් ලැබෙන ආස්වාදය පදනම් කරගෙනය. නැවැත ඉපදීම ගැන හෝ නවැත නො ඉපදීම ගැන හෝ නොසිතා රූපවලින් ලැබෙන ආස්වාදයට යළි යළිත් ආශා කිරීම රූපය පිළිබඳ කාම තණ්හාවයි. රූපයෙන් ලැබෙන ආස්වාදය නැවැත නැවැත ඉපදෙමින් ලැබීමට ඇතිවන ආශාව රූපය පිළිබඳ භව තණ්හාවයි. නැවැත උපතක් නැත. එබැවින් මැරෙන තුරු රූපවලින් ආස්වාදය ලැබිය යුතුයයි ඇති වන ආශාව රූපය පිළිබඳ විභව තණ්හාවයි. මේ ආකාරයටම ශබ්දය රසය ආදි කාම වස්තුන් පිළිබඳවද, තණ්හාව ඇති වෙයි. තෘෂ්ණාව විවිධ ස්වරූපයෙන් හට ගන්නා ආකාරය මේ අනුව තේරුම් ගත හැකිය.

කාම වස්තූන්ගෙන් ලැබෙන ආස්වාදයට ඇති කැමැත්ත නිසා ඒවා තමා සතු කර ගැනීමට පුද්ගලයා උත්සාහ කරයි. ආස්වාදය නොලැබෙන දේ බැහැර කිරීමට උත්සාහ කරයි. ඒ සඳහා හොඳ දේ මෙන්ම නරක දේ ද කරයි. ආස්වාදය ලබාදෙන අරමුණු ලබා ගැනීමට හා රැක ගැනීමට බාධක පැමිණෙන විට නරක දේ කිරීමට යොමුවෙයි. එයින් පව් රැස් කර ගනී. යහපත් දෙයක් පවා කරන්නේ වඩ වඩා කාමාස්වාදය ලැබීමේ ආශාවෙන් නම් එබඳු අයට සසරින් මිඳීමක් නැත. තෘෂ්ණාව නැවැත නැවැත දුක උපදවන හේතුව ලෙස දැක්වෙන්නේ එබැවිනි.

තණ්හාව නිසා වර්තමාන ජීවිත කාලය තුළදීම අපි විවිධ දුක් කරදර හිරිහැරවලට භාජන වෙමු. අප දැඩි ලෙස ඇලුම් කරන දෙයක් හදිසියේ විනාශ වුවහොත් හෝ පැහැර ගනු ලැබුවහොත් හෝ අපි බලවත් දුකට කම්පාවට පත්වෙමු. එහි පි්රය විප්රයෝග දුක මෙන්ම සෝක දුකද ඇතුළත් වෙයි.

විනාශ වූ හෝ පැහැරගනු ලැබූ හෝ වස්තුව කෙරෙහි කිසිම බැඳීමක් නොවූ තැනැත්තෙකුට එම වස්තු විනාශය නිසා කිසිදු දුකක් වේදනාවක් ඇති නොවෙයි. එකම වස්තුව විනාශ වු විට අයකුට දුකක් ඇතිවීමටත් අයකුට දුකක් නැති වීමටත් හේතු වූයේ කුමක්ද? පළමු තැනැත්තා තුළ අදාළ වස්තුව කෙරෙහි ආසාවක් පැවැතිණි. ඒ නිසා ඔහුට දුකක් වේදනාවක් ඇතිවිණි. එම වස්තුව පිළිබඳ ආශාවක් නොවුණු නිසා දෙවැන්නාට දුකක් වේදනාවක් ඇති නොවිණි. තෘෂ්ණාව නිසා පුද්ගලයා දුක්වලට ගොදුරුවන ආකාරය එයින් පැහැදිලි කරගත හැකිය. මේ ජීවිත කාලය තුළදිත් සාංසාරිකවත් අප දුකට භාජනය වන්නේ තණ්හාව නිසා නම් දුකින් මිඳීම සඳහා අප කළ යුතු වන්නේ තෘෂ්ණාව අනුක්රමයෙන් තුනීකර සම්පූර්ණයෙන් ප්රහීණ කරන වැඩ පිළිවෙළකට ධෛර්යයෙන් සිහියෙන් හා ප්රඥාවෙන් යුක්තව බැස ගැනීමයි. තණ්හාව පහාතබ්බ ධර්මතාවක් ලෙස දැක්වෙන්නේ එබැවිනි.

තෙරුවන් සරණයි!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ලොව සැනසෙන්නේ කෙසේද?

කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි 
නියෝජ්‍ය පරිවේණාධිපති 
මාස්පොත ශ්‍රී ගංගාරාම ඓතිහාසික 
බෝධි පූජා විහාරස්ථානවාසී 
ගලගෙදර රතනවංශ හිමි

" බුදුරදුන් කල ශාක්‍ය, කෝලිය වංශිකයන් අතර ජලය බෙදා ගැනීම උදෙසා වෙන්නට තිබූ ලොකු විනාශයක් බුදුහිමියන්ගේ අවවාද අනුශාසනා මත නතර කර ගත්හ. එදා එය සිදුවුනිනම් ජීවිත රාශියක් විනාශ වන්නට ඉඩ තිබුණි. ඒ සෑම තැනකදීම බුදුහිමි සමඟියෙන් ජීවත් වීමම අගය කළහ."
මිනිසාට හුදෙකලාව ජීවත් විය නොහැක. සමාජ පද්ධතිය තුළ ජීවත් වන සියලු දෙනාම කුමන හෝ සම්බන්ධයක් මත කල් ගෙවන්නෝය. ඒ අනුව සමූහය, එකතුව, සංස්ථාව, රාශිය වැනි වචන තුළ ඇති අර්ථය වැදගත් වනු ඇත. උපන් සත්වයා ජීවත් වීමේදී විවිධ පැතිකඩයන් ඔස්සේ පරිසරය සකස් කර ගනු ඇත. එය මානව සමාජයේ සමාරම්භක අවස්ථාවල පටන් පැවත එන්නකි. ඒ අනුව වර්තමානයේ විද්‍යාත්මක ක්‍රමය තුළ විද්‍යාමාන වන්නේ එම අදහසය.
එය ගොඩ නැගීමේදී බුදු දහමට අනුව නිර්ණායක රාශියක් ඉදිරිපත් කොට ඇත. බුදු ඇසින් දුටු ‘සමඟියක ඇති වටිනාකම’ තුළ ඇති ගැඹුරු බව තව කෙනෙකුට සිතීමට පවා නොහැකි තරම්ය. බෞද්ධ දර්ශනය තුළ නිරන්තරයෙන් ප්‍රකට කර ඇත්තේ සමඟියක ඇති වටිනාකම නොවේද? බුදුරදුන් පහළ වූ යුගය තුළ විවිධ දෘෂ්ඨි ඔස්සේ ගමන් කොට නිවන ක්ෂාත් ක්ෂාත් කරගත නොහැකිව මං මුලා වී බොහෝ දෙනා ජීවන ප්‍රතිපදාවන් ගතකළ ආකාරය ඉතා ප්‍රකටය. ඒ සියල්ලම තුළ ඇත්තේ අන්තද්වයයි. නමුදු බුදු හිමි දේශනා කළ සමාජ ප්‍රගමනයට අවශ්‍ය කරුණු සියල්ලම මධ්‍යස්ථ ඒවාය. ඒ අනුව සමඟියක ඇති වටිනාකම අද ලෝකයට අවශ්‍ය වී ඇත.
එකිනෙකා පරයා තනි තනිව කාමභෝගි ජීවිත උදෙසා කරන සටන තියුණු මට්ටමක පවතී. එය එතරම් සුබදායක දෙයක් නොවේ. ඒ තුළින් කෙසේ හෝ ජීවත් විය යුතුය යන පටු පරමාර්ථ ඔස්සේ විහිදුන සංකල්ප උද්දීපනය වී සමාජයට හා පුද්ගලයාට විශාල විනාශයක් සිදු වනවාට කිසිදු සැකයක් නැත. සමඟියේ ඇති අගය පිළිබඳ බුද්ධ දේශනාවට අනුව කරුණු පැහැදිලි කිරීමේදී ඒ බව මනාව ප්‍රත්‍යක්ෂ වේ. සමඟියෙහි අගය පිළිබඳ බුදුහිමි බුද්ධ ශාසනයෙන්ම ආරම්භ කරන ලද්දේ ආදර්ශයක් වශයෙන් පුහුදුන් සත්ත්වයාට යහතින් ජීවත් වීම උදෙසාය. ඒ අනුව ධම්ම පදයේ පහත ගාථා ධර්මය ඉතා වැදගත් වනු ඇත.
සුඛෝ බුද්ධානං උප්පාදෝ 
සුඛා සද්ධම්ම දේශනා 
සුඛා සංඝස්ස සාමග්ගි 
සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි. භික්ෂූන් වහන්සේලාගේ සමගිය අගය කළ බදු හිමි ඒ පිළිබඳ නිරන්තරයෙන් අවවාද අනුශාසනාද කළහ. වරක් විශාලා මහනුවර කූටාගාර ශාලාව තුළ විනයධර හා ධර්මධර භික්ෂූන් වහන්සේලා අතර සුළු දෙයකට ඇති වූ කෝලාහලයක් සංසිඳුවීමට බුදුහිමි මහත් පරිශ්‍රමයක් ගත්හ. එහි දී දේශනා කළේද “සමග්ගා හෝත මා විවදත” “සමඟි වව් වාද නොකරව්” වශයෙනි. නමුදු භික්ෂූන් වහන්සේලා එම වාදය දිගින් දිගටම ගෙන ගිය බැවින් බුදු හිමි අවසානෙට ඔවුන්ගෙන් ඈත් වී පාරිලෙය්‍ය වනයට වැඩම කරමින් නව වන වස් තුන්මාසයම එහි ගත කළහ. එතුළින් පැහැදිලි වන්නේද භික්ෂූන් වහන්සේලාගේ සමඟිය අගය කළ ආකාරයයි. ගිහි ජනතාවට ආදර්ශයක් විය යුතු පිරිසක් භික්ෂූන්වහන්සේලා එලෙස වාද බේද වීම නොහොබිනා ක්‍රියාවක් බව බුදුරදුන් පහදා දුන් ආකාරය ඉතා අගනේය.
සමඟියේ අගය වටිනාකම බුදුහිමි විවිධ තැන්වලදී භික්ෂූන්ටත් රාජරාජ මහාමාත්‍යාදීන්ටත් සාමාන්‍ය වැසියාටත් දේශනා කළහ. ඒ අතර බුදුරදුන් විවිධ ආත්මවල සමඟිව ජීවත් වූ ආකාරය පිළිබඳ ජාතක පොත තුළින්ද අනාවරණය වේ. ජාතක පොතෙහි සඳහන් 33 වෙනි ජාතකය වන්නේ සම්මෝදමාන ජාතකයයි. එහි සමඟිය හා සමඟිය බිඳුන තැන සිදුවන විනාශය පිළිබඳ මනාව විවරණය කොට ඇත.එනම්,
එක් ආත්මයක අප බෝසතාණෝ වටු කුරුලු ජාතියෙහි ඉපිද අන් වටුවන්ට නායකව සිටියහ. එක් වැද්දෙක් වටුවන් වසන පෙදෙසට පැමිණ වටු හඬ නගා වටුවන් රැස් වූ කළ දැල එළති. පසුව සියලු වටුවන් අල්ලා ඔවුන් විකිණීමෙන්ද, ඔවුන්ගේ මස් අනුභව කිරීමෙන්ද ජීවිතය පවත්වාගෙන යයි. දිනක් බෝසත් වටුවා පිරිසට සමඟිව සිටිනතාක් බේරීයාමට හැකි බව දන්වා සියලුදෙනා සමඟියෙන් දැළත් සමඟ ඉගිල්ලී ජීවිත බේරා ගනිමුයැයි සාකච්ඡා කොට ඒ විධියට ක්‍රියා කොට ජීවිතය බේරාගත්හ. මෙසේ ක්‍රියා කරමින් සිටියදී දිනක් වටුවන් බිමට බසින විට එක් වටුවෙකුගේ පය අනිකාගේ හිසේ වැදීමෙන් දබරයක් හටගත්තේය. ඒ තුළින් අසමඟියක් ඇති වී වැද්දාට සියලු දෙනාම බිලි වූහ.
එම කතා පුවතින් වුවද පැහැදිලි වන්නේ අසමගිය ඇති වූ කළ ජීවිත පවා විනාශවීමට පුළුවන් බවය, ඒ අනුව සමඟියෙන්ම ජීවත් වීම උතුම් වන්නේ ය. බුදුරදුන් කල ශාක්‍ය, කෝලිය වංශිකයන් අතර ජලය බෙදා ගැනීම උදෙසා වෙන්නට තිබූ ලොකු විනාශයක් බුදුහිමියන්ගේ අවවාද අනුශාසනා මත නතර කර ගත්හ. එදා එය සිදුවුනිනම් ජීවිත රාශියක් විනාශ වන්නට ඉඩ තිබුණි. ඒ සෑම තැනකදීම බුදුහිමි සමඟියෙන් ජීවත් වීමම අගය කළහ. තනි ගසක් තිබුණ කළ සුළඟකින් පවා විනාශ වීමේ ප්‍රවණතාවය වැඩිය. නමුදු ගස් සමූහයක් තිබෙන තැන සුළඟකින් පවා විනාශ කිරීමට අපහසුය. එලෙසම සමඟියෙන් ජීවත් වීමේ දී සතුරු ආක්‍රමණ පවා නැති කර ගැනීමට පුළුවන් බව සිතට ගත යුතු ය.
බුදුන් කළ පැවැති ලිච්ඡවි රාජ්‍ය දෙස බැලුවත් එම රාජ්‍ය දිව්‍ය ලෝකයක් සේ බැබළීමට හේතුව වූයේ සමඟිව හදාගත් ක්‍රියා පද්ධති හතක් නිරන්තරයෙන් ක්‍රියාත්මක වූ බැවිනි. ඒවා ‘සප්ත අපරිභාණී ධර්ම’ වශයෙන් හඳුන්වා ඇත. එම රාජ්‍ය පිරිහුනේ අසමඟිවීමෙන් එම ප්‍රතිපත්ති කඩා වැටීමත් සමඟය. ඒ අනුව මුළු ලෝකයටම අවශ්‍ය වී ඇත්තේ සමඟිය බව පැහැදිලි වේ.
මුළු ලෝකයම ගිනිගෙන පවතින්නේ සමඟියක් නොමැති කමිනි. එකිනෙකා පරයා නැගෙන පටු පරමාර්ථ ඔස්සේ තම තමන් නැගී සිටීමට මිස සමඟියෙන් සමාදානයෙන් කටයුතු කරන බවක් නොපෙනේ. රාගයෙන් රත් වී, ද්වේෂයෙන් දූෂිත වී, මෝහයෙන් මුලා වී අන්ධ ලෝකයක මිනිසුන් ජීවත් වෙති. දිනපතා ලෝකය තුළ සිදුවන ගහ බැණ ගැනීම්, කපා කොටා ගැනීම්, මිනී මරා ගැනීම් කෙළවරක් නැත. ජීවිතයක තිබෙන වටිනාකම අබමල් රේණුවකට නොසිතන, කුහක මිනිසුන් වසන ලෝකයක අප ජීවත් වන්නෙමු. මුදල් පසුපසම ජීවිතය හඹායන අඥාන මිනිසුන් වසන ලෝකයක් නිර්මාණය වී ඇත.
ඒ අනුව බුද්ධ චරිතයෙන් ගත හැකි පාඩම් එමටය. එතුළින් තනි තනිව හෝ සැකසීමට මේ කාලයයි. ජාති, කුල, ආගම්, පක්ෂ මත ඇනකොටා ගැනීම්, ඛේද බින්න වීම් අනුවණයින්ගේ ක්‍රියාවකි. පුංචි කාලයක් ගත කරන සත්වයා විසින් සිදුකළ යුත්තේ ගුණ ධර්ම තුළින් චරිත සංවර්ධනය නොවේද? තිරිසන් සතුන් සේ ජීවත් වීම මිනිසාට නොගැළපෙන්නකි. ඒ අනුව රටක ජාතියක උන්නතියට හේතුව සමගිය බැවින් එම උතුම් ක්‍රියා ප්‍රතිපත්තිය ප්‍රගුණ කරමින් ජීවිත සාර්ථක කර ගැනීමට සැවොම අධිෂ්ඨාන කර ගනිත්වා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සීලයේ දියුණුව ප්‍රඥාවයි

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති කථිකාචාර්ය,
දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

සසර ගින්නෙන් දැවෙන, බොහෝ දුක් විඳින සත්ත්වයාට ඒ ගිනි නිවීම සඳහා උත්තම ධර්මයක් දේශනා කොට වදාළේ බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ අපගේ එකම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ යි. අසිරිමත් ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන සියලුම දෙනාටම අසිරිමත් නැවතුමක් ද හමුවෙයි.

සීලයේ දියුණුව ප්‍රඥාව උදෙසා

අපේ සිත මහා පුදුම දෙයක්. සිත නරක නපුරු දේත්, පුණ්‍යවන්ත, යහපත් දේත් හොඳින් ග්‍රහණය කර ගන්නවා. සිත තුළට පාපී , භයානක ක්ලේශ ධර්ම ඇතුළු වනවිට අපේ සිත නපුරු, දුබල, කළු, චණ්ඩ බවට පත්වෙනවා. නමුත් සිත තුළට පුණ්‍යමය අරමුණු, දැහැමි සිතිවිලි අසිරිමත් බුද්ධ දේශනා සිතට ඇතුළු වූ පසු සිත පිරිසුදු වෙනවා, සුවපත් වෙනවා. සිත බලවත් වෙනවා. චල බව නසා අචල බවට මේ සිත ගෙනයන්නට අපට භාග්‍යය ලැබෙනවා.

බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධර්මය ප්‍රගුණ කිරීම තුළින් අපේ ශ්‍රද්ධාව දියුණු කර ගන්නට පුළුවන්. ඒ දේශනා ශ්‍රවණය කරන විට අපේ සීලය දියුණු වෙනවා. සීලයේ දියුණුව සමාධියට උදව්වක්. සමාධියේ දියුණුව ප්‍රඥාව ලබන්න පුළුවන්. එපමණක් නොවේ ප්‍රඥාවේ දියුණුව සීලයේ දියුණුවට නැවත ගෙන එන්න පුළුවන්. සීලයේ දියුණුව ප්‍රඥාව උදෙසා යන්නත්, ප්‍රඥාවේ දියුණුව සීලය බලවත් කරන්නත් හේතුවෙනවාම යි. එනිසා ධර්මය ඇසුරු කරගෙන සුවපත් මනසක් ඒ වගේම සසර නැවතුමත් හදා ගන්නට පුළුවන්.
නත්ථිරාග සමෝඅග්ගි 
නත්ථිදෝස සමෝකලී
නත්ථිඛන්ධා සමෝදුක්ඛා 
නත්ථිසන්ති පරංසුඛන්ති

රාගය තරම් බලවත් ගින්නක්, දාහයක් නැත, ද්වේෂය, වෛරය, පටිඝය තරම් බලවත් අපරාධයක් කිළුටක් මේ සංසාරයේ නැත, මේ ලෝකයේ කෙතරම් දුක් තිබෙනවාද? ඒ හැම දුකටම වඩා මේ පංචඋපාධානස්ඛන්ධ කූඩුව අපට දුක් ගෙන දෙනවා. එනිසා රාගය දුක ඇති කරනවා. අප දවනවා. ද්වේශය දුක ඇති කරනවා අප දවනවා. පංච උපාධානස්කන්ධය බරයි, දුකයි කරදරකාරීයි, අසහනකාරීයි. මේ නිසා දුක්ඛිත සසරින් එතෙරවීම ශාන්ති සුවය පසක් කිරීම නිවනට සමීප වීමට වටිනා සැපත බවත්, එවන් වෙනත් සුවයක් නැතිබවත් බුදුරජාණන් වහන්සේ ඉහත ගාථාවෙන් වදාළා.

රාගය තිබුණොත්?

මේ දේශනාව සිදුකිරීමට එක් හේතුවක් තිබුණා. දිනක් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටින විට එක්තරා පිරිසක් බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණියා. උන්වහන්සේට වන්දනාමාන කොට පසෙකින් අසුන් ගත්තා. ඔවුන් කියනවා “අනේ ස්වාමිනි, අපේ මේ දියණිය දැන් විවාහ ජීවිතයට පිවිසෙන්නයි සූදානම. ඒ නිසා අපේ මේ දියණියට ආශිර්වාද පිණිස ඔබවහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට අප දානයක් පූජා කිරීමට කැමැතියි. එය පිළිගන්නා සේක්වායි” කියා සිටියා. බුදුරජාණන් වහන්සේ ආරාධනය පිළිගත්තා. නිසි දිනයේදී බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය පෙරහරකින් ඒ නිවසට වැඩියා. ශෘස්තෘන් වහන්සේට පිටුපසින් රහතන් වහන්සේ, අනාගාමි උතුමන්, සකෘදාගාමි , සෝවාන් උතුමන් මඟඵල නො ලැබූ ස්වාමින් වහන්සේ පිළිවෙලින් වැඩියා. මිනිසුන් පාර දෙපැත්තේ සාධුකාර දෙමින් වන්දනා කළා. අර තරුණිය විවාහවීමට සිටි තරුණයාත් එදා ඒ දානය සඳහා පැමිණ සිටියා. හෙටයි ඔවුන්ගේ විවාහ මංගල්‍යය. අදයි දානය පැවැත්වීමට සූදානම්ව තිබුණේ.
බුදුරජාණන් වහන්සේ වැඩ අනුශාසනා කරන අතරේ අර තරුණයා විවාහ වීමට නියමිත තරුණිය දෙස බලාගෙනම සිටියා. “ඇය කෙතරම් ලස්සනද? ඇයගේ හිසකෙස් කෙතරම් පි‍්‍රයමනාප ද? ඇවිදින විට ඇය පමණයි මෙතරම් සුන්දර. මේ වගේ තරුණියක් විවාහ කරගන්නට මම වාසනාවන්ත වුණානේ” යැයි සිතිවිලි සිතමින් බුදු බණට කන් යොමන්නේ නැතිව තරුණිය දෙසම එක එල්ලේ බලා සිටියා. ඔහු සිතින් බොහෝ දුර ගියා. මම ඇයගේ හිස මේ ආකාරයට පිරිමදිනවා යැයි සිතමින් ඔහු ළඟ සිටි වයෝවෘද්ධ පියෙකුගේ හිස පිරිමැද්දා. එවිට සිත මත කය ක්‍රියාත්මක වුණා. බුදුරජාණන් වහන්සේ දුටුවා මේ පිනක් සිදුවන අවස්ථාවේදී මේ තරුණයා රාග සිතින් මත්වෙලා අපහසුතාවයට පත්වෙන ආකාරය. ඔහුගේ ඇතුලත ගිනි ගන්නා ආකාරය.
බුදුරජාණන් වහන්සේ බුද්ධ බලය තුළින් මේ තරුණිය තරුණයාට නො පෙනෙන්නට සැලැස්සුවා. තරුණයා දැන් කලබල වෙලා තරුණිය සොයනවා. ටික ටික ඔහුගේ සිතේ රාගය අඩුවුණා. දැවිල්ල අඩුවුණා. ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේගේ දේශනාවට කන් යොමුකළා. මේ අවස්ථාව මුල් කරගෙන තථාගතයන් වහන්සේ වදාළා පින්වත, රාගය තරම් බලවත් ගින්නක් මේ ලෝකයේ නැහැ. ඒ වගේම ද්වේශය තරම් භයානක අල්ලා ගැනීමක්, ඒ තරම් අපරාධයක්, හානියක් වන දෙයක් නැහැ කියා.

ද්වේෂය තිබුණොත්?

ඔබ දන්නවා සිත ද්වේශයට පත්වුණාම අපේ ශරීරයේ සිදුවන හානිය කෙතරම් ද? කියා. සංසුන්බව, ගුණවත්කම, හැදිච්චකම පලා යනවා. එයට උපමාවක් කියනවා අශ්වයන් රෑනක් ඇවිත් දූවිලි ගොඩක දඟලනවා. මොකද වෙන්නේ? අශ්වයන් කුර ගැටිලා අර පළාතම දූවිල්ලෙන් වැසී යනවා. අපේ සිතට ද්වේශ සහගත සිතිවිල්ලක් ආ විට කළයුත්ත නො කළයුත්ත පෙනෙන්නේ නැහැ. ධර්මය, අධර්මය, කුසලය අකුසලය පෙනෙන්නේ නැහැ. එය ඉතා භයානකයි. ද්වේශය පාලනය කරන ආකාරයත්, අපට තථාගතයන් වහන්සේ වදාළා. ඒ තමයි කේන්තියක්, අධික තරහක් සිතට ආ විට දිග හුස්මක් ගන්න. එවිටත් කේන්තිය පාලනය නොවේනම් සිහියේ උපකාරය ගෙන තම සිත තුළ බලාගෙන සිටින්න. සිත දඟලන හැටි, නලියන හැටි. පිච්චෙන හැටි. එක පිට එකට එන නරක, නපුරු සිතිවිලි දකින්න කියනවා. එවිට ද්වේශය මැඬපත්වන්න පුළුවන්. ඒ වගේම කේන්තිය ආ අරමුණ කුමක්ද? කියා බලන්න කියනවා. ඒ අරමුණේ බීජය හඳුනාගත් විටත් කේන්තිය පාලනය කරගත හැකියි.

පංච උපාධානස්කන්ධයේ බර

ඒ වගේම අපට දුක් දෙන තුන්වෙනි කාරණය වන්නේ පංච උපාධානස්කන්ධයේ දුකයි. ඒ පංච උපාධනස්කන්ධය කුමක්ද? රූප,වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. මේ පහෙන් තමා අප නිර්මාණය වී තිබෙන්නේ. මේ පහම දුකයි. මේ පංච උපාධානස්කන්ධය ඉතා බරයි. බැරි බරක් උසුලාගෙන ඉන්නේ. බරක් තිබෙනවා. බර දරන කෙනෙක් ඉන්නවා. බර දැරීම මහා දුකක්. ඒනිසා මේ දරන්න බැරි බර දුක් සහගත බර පැත්තකින් තබන්න පුළුවන්නම් එතැන තමා සැනසීම. අප දන්නවා මේ පංච උපාධානස්කන්ධය නිසාම අපට කෙතරම් දුක් ඇතිවෙනවාද කියා. අපගේ ශරීරය හැමදාම එක විදිහටම පවතින්නේ නැහැ. දිරනවා. වෙනස්වෙනවා. ඒ වගේම නැතිවෙන්න විනාශ ස්වභාවයට යනවා. අපේම පංචඋපාධානස්කන්ධය අපටම දුකක් කරදරයක් වෙලා. අප කැමැති නැහැ අපේ ශරීරය වෙනස් වෙනවාට. මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ වලින් හැදුන පංච උපාධානස්කන්ධ සහිත මේ සත්ත්වයා මහත් දුකක පැටලිලා. මෙහි හට ගැනීමත්, වෙනස්වීමත්, නැතිවීමත් තිබෙනවා. එයටයි ලෝකය කියන්නේ. කැඩෙන බිඳෙන, වෙනස්වෙන දෙය ඒ ලෝකයට අයත්.
මේ පංච උපාධානස්කන්ධයත් බර ලෝකයක්. ඒ නිසා මේක දුකේ අනිත්‍ය ස්වභාවය වැටහෙනවිට මම, මගේ, මගේ ආත්මය කියා ගැනීමක් නැහැ. යමක් මගේ නම්, මට ඕන ආකාරයට තිබෙන්න ඕන. නමුත් බුදුරජාණන් වහන්සේ සියල්ල අනිත්‍යයි සියල්ල දුකයි කියා කියු දෙය නැති කරන්නට බැහැ. මේ ලෝකය අනාත්මයි. මම, මගේ, අපේ කියා අල්ලා ගැනීමක් නැහැ. අල්ලාගත් දේ සියල්ල අතහැරෙනවා. නමුත් සිතින් අල්ලා ගත් පින අත හැරෙන්නේ නැහැ. යන යන තැන සෙවනැල්ල වගේ පිටුපසින් එනවා. ඔබට ලස්සන ශරීරයක් ලැබුණේ. රසට තුන් වේලටම කෑමක් ලැබෙන්නේ, යානවාහන, ගෙවල් දොරවල් ලැබෙන්නේ සංසාරික පින නිසයි. පුන්‍යවන්ත සිතක් ලැබුණෙත් පින සහ පිනේ පුරුද්ද නිසායි. ඒ නිසා ධර්මකාමි බව ඔබ සුවපත් කරනවා. ධර්මයට ද්වේශ කරන්නා අගාධයට යනවා.
මේ ධර්මය පරිහරණය කරන්නාට ඤාණය වැඩිදියුණු කර ගන්නට පුළුවන්. හොඳට ජීවිතය යහපත මතුකරගන්න පුළුවන්. තමා ගැන කාල කළමනාකරණයක් කර ගන්න පුළුවන්. මනුස්ස ආයුෂ ටික කාලයයි තිබෙන්නේ. ජීවිතයට මේ ලැබුණ ආයු කාලය හොඳම විදිහට ප්‍රයෝජන ගන්න අපේ සිත යොදවන්න ඕන.
ඒ නිසා නිවන පසක් කර ගැනීමට රාගය, ද්වේශය, මෝහය නැති කිරීමට මේ සසරේ උත්තම ජීවිතය ලබන්න සිහිල් වෙන්න නිවන් සුව පසක් කරන්න අප සියලු දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ධම්ම සවණානිසංස සූත්‍රය


’’මහණෙනි, ධර්ම ශ්‍රවණයෙහි මේ ආනිශංස පසක් වෙත්.
’’කවර පසක්ද යත්? නොඅසන ලද්ද අසයි. අසන ලද්ද පිරිසිදු කෙරෙයි. සැකය දුරු කෙරෙයි. දෘෂ්ටිය ඎජු කෙරෙයි. මොහුගේ සිත පහදියි යන පසයි.
’’මහණෙනි, ධර්ම ශ්‍රවණයෙහි මේ ආනිශංස පසක් වෙත්.

111
’’සියළු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර බුදුරජතෙම චතුස්සත්‍යය දේශනා කරමින් බොහෝ දෙන (සසර සයුරින්) එතර කළහ.
112
’’මම එකල්හි උග්‍ර තපස් ඇති ජටිලයෙක් (ජටාධර තවුසෙක්) වූයේ, වැහැරි සිවුරු කම්පනය කරමින් අහසෙහි යමි.
113
’’මම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ (හිස) මතුයෙහි (ඉහළ අහසෙහි) යන්ට නොහැකිවීමි. පර්‍වතයක හැපුනු පක්‍ෂියෙකු මෙන් ගමන නොලැබීමි. (යනු නොහැකි විය.)
114
’’මාගේ ගමනට මෙබඳු අවහිරවීමක් පෙර නොවූ විරූය. (පෙර) පොළොවෙන් මතුවීගන මෙන් මෙසේ අහසෙහි යමි.
115
’’උදාරවූ මනුෂ්‍යයෙක් යට (පොළොවෙහි) හුන්නේ වන්නේය. ඒකාන්තයෙන් හේ කවරෙක්දැයි සොයන්නෙමි. මම ඉන් අභිවෘද්‍ධියක් ලබන්නේ නම් මැනවි. (යයි සිතීය.)
116
’’අහසින් බසිමින් අනිත්‍යය දේශනා කරන්නාවූ බුදුරජුන්ගේ ශබ්දය ඇසීමි. (අසා) එකල්හි මම එය උගතිමි.
117
’’අනිත්‍ය සංඥාව ඉගෙන මාගේ අසපුවට ගියෙමි. එහි ආයුෂ ඇතිතාක් වැස මම කළුරිය කළේ වෙමි.
118
’’චුතිය වන්නාවූ අවස්ථාවෙහි එම ධර්‍ම ශ්‍රවනය සිහි කෙළෙමි. මැනවින් කරන ලද එම කර්‍මය කරන කොට ගෙන මම තව්තිසා දෙව්ලොවට ගියෙමි.
119
’’මම කල්ප තිස් දහසක් දෙව්ලොව සිත් අලවා විසීමි. එක් පණස් වරක් දිව්‍ය රාජයයද කෙළෙමි.
120
’’මම එක් සැත්තෑ වරක් සක්විති රජ වීමි. (කරවන ලද) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිණිය නොහැකිය.
121
’’පියාගේ ගෘහයෙහි වැඩ හිඳ, වඩන ලද ඉඳුරන් ඇති බුදුරජතෙම ගාථාවෙන් (කරුණු) දක්වමින් අනිසබව (අනිත්‍ය බව) වදාළ සේක.
122
’’කුදු මහත් භවයෙහි සැරිසරමින් එම අනිත්‍ය සංඥාව සිහි කරමි. (එහෙත්) (සසර) කෙළවරවූ, අමෘත පදයවූ නිවන අවබෝධ නොකරමි.
123
’’ඒකාන්තයෙන් (සියළු) සංස්කාරයෝ අනිත්‍යයහ. ඇතිවීම හා නැතිවීම ස්වභාවයකොට ඇත්තාහ. ඇතිව නැතිවෙත්. එම සංස්කාරයෝ සංසිඳීම සැපයකි.’’
124
’’එම ගාථාව අසා ඒ සමගම පූර්‍ව කර්‍මය සිහිපත් කෙළෙමි. එම අසුනෙහිම හිඳ රහත්බවට පැමිණියෙමි.
125
’’මම උත්පත්තියෙන් සත් හැවිරිදි වූයේ රහත් බවට පැමිණියෙමි. පසැස් ඇති සර්‍වඥ තෙමේ මාගේ ගුණය දැන (මා) උපසම්පදා කරවූහ.
126
’’ලදරු වියෙහිවූ මම රහත්බවට පැමිණියෙමි. ශාක්‍ය පුත්‍රවූ බුදුරජානන් වහන්සේගේ සසුනෙහි (අද) කටයුතු දෙය කිම?
127
’’මින් සියක් දහස් (ලක්‍ෂයක්) වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සද්ධර්‍ම ශ්‍රවණයෙහි (බණ ඇසීමෙහි) විපාකය වේ.
128
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මසවනිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ධම්මසවනිය ථෙරාපදානය -> http://dahamvila13.blogspot.fr/p/blog-page_7629.html

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සසරෙදි ලබාගත යුතු රැකවරණය

මාලබේ අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති
කථිකාචාර්ය, 
දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි

අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වී ශ්‍රේෂ්ඨ ධර්මයක් වදාළ සේක. අනන්ත සත්ත්වයන්ගේ ජීවිත සුවපත් කළ, නිවෙන, සැනහෙන මාර්ගයට සත්ත්වයා යොමු කළ ඒ අසිරිමත් ධර්මය ලෝකයට හෙළි පෙහෙළි කොට වදාළේ උන්වහන්සේ විසිනි.

විලේ වටිනාකම

අපේ මනස ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ විලක් වගේ කියායි. සෑම විලක්ම වටින්නේ නැහැ. වටිනා වස්තු ඇති විලක් පමණයි වටින්නේ. ඔබ දන්නවා විලක ජලය තිබෙනවා. ඒ වගේම ලස්සනට සුවඳ හමන මල් තිබෙන්නත් පුළුවන්. සරුසාර විලක් නම් සමහර විට වටිනා මැණික් පවා තිබෙන්න පුළුවන්. ඒ වගේම විල ලස්සනයි. ලස්සන පාට පාට ජලජ ජීවින් නිසාත්. මල් පිපුණත්, මාළුන් සිටියත් වතුර තිබුණත්, ඒ විලේ ජලය අවපැහැ ගෙන නම්, ඒ විලේ ලස්සනක්, අසිරියක් නැහැ. මේ අපේ මනුස්ස සිතත් විලක් වගේ. මිනිසා තුළයි දෙවියා සහ යක්ෂයා දෙදෙනාම සිටින්නේ. කෙනෙකුට තරහ ආ විට පාලනයක් නැතිකොට අප කියනවා ඒ මනුස්සයා නම් යකෙක් වගේ කියා. 
තව වෙලාවකදී ඒ පුද්ගලයාම දෙවියෙකු වගේ ක්‍රියා කරනවා. උතුම් ගති ලක්ෂණ පෙන්නුම් කරනවා. වචනයෙන් සංවර වෙනවා. ක්‍රියාවෙනුත් සංවර වෙනවා. සද්පුරුෂයෙක් වගේ කියා අප කියනවා. එකම පුද්ගලයාට දෙවියා ලෙසත් තවත් විටෙක යක්ෂයා ලෙසත් කියනවා.

එහෙමනම් තේරුම් ගන්න අපේ සිතමයි දෙවියා සමඟත් යක්ෂයා සමඟත් අත්වැල් බැඳගන්නේ. සිත බොර වූ වෙලාවට සැබවින්ම යක්ෂයෙක් වෙනවා. විලේ වතුර බොරවූ විට කැළඹුන විට මලේ සුවඳ නොවෙයි එන්නේ. මල් සුවඳ යට කරගෙන මඩ ගඳ ඉස්මතු වෙනවා. ඒ ආකාරයට සිත බොර වූ අවස්ථාවට සැබවින්ම යක්ෂයෙක් වෙනවා. මිනිස් සිත යට කරගෙන අකුසල් ඉස්මතු වෙනවා.

සිතට පීඩාදෙන සුළං

මනුස්ස සිත අවුස්සන සුළං පාර කිහිපයක් තිබෙනවා. ඒ ඇස හරහා එන රූප සුළඟ. කන හරහා එන ශබ්ද සුළඟ, නාසය හරහා හමන ගඳ සුවඳ සුළඟ, දිව හරහා හමන රස සුළඟ, කය හරහා හමන ස්පර්ෂ සුළඟ. මේ පංචමහා සුළං නිසා චංචල සිත කැළඹෙන්නට පටන් ගන්නවා.
තථාගතයන් වහන්සේ වදාළා අග්‍ර වූ උතුම් වූ නිවනට උතුම් වූ ශක්තියකින් පිවිසෙන්න ඕන. වටිනා දේවල් ලෙහෙසියෙන් කරන්න බැහැ. නමුත් පාපී දේවල් පහසුවෙන් ලෙහෙසියෙන් කරන්න පුළුවන්. මාරයා නිරන්තරයෙන්ම අප ඇඳ දමන්නේ පාපී දේවලටයි. පාපී කර්ම වලටයි. විල බොර වුණේ, කැළඹුණේ නැත්නම් විලේ පතුල ලස්සනයි. මැණික් දිලිසෙනවා. ජලජ ජීවින් ලස්සනට පෙනෙනවා. මල් සුවඳ සිසාරා හමා යනවා. මේ වගේ සුළං වලින් අපේ සිත කැළඹෙනවිට විලේ මඩ සුවඳ එනවා වගේ විල බොර වෙනවා වගේ සිත ද බොර වීමට පටන් ගන්නවා. එවිට නරක, නපුරු, භයානක සිතිවිලි ඇවිස්සෙනවා. ක්‍රෝධය, වෛරය, පටිඝය, මාන, රාග , ද්වේෂ, ඊර්ෂ්‍යා ඇවිස්සෙන්නේ මඩ දුගඳ ඇවිස්සෙනවා වගේ. එනිසා නො කැළඹුන විල ලස්සනයි වගේ අපේ සිතත් නො කැළඹීනම් එහි අපූරු ලස්සනක් තිබෙනවා. ඒ නිසායි බුද්ධ අවවාද අතිශයින්ම මහා ඖෂධයක් වන්නේ.
බුදුරජාණන් වහන්සේ තරම් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයෙකු ලොව පහළ වූයේ නැහැ. ධර්මය තරම් වටිනා බෙහෙතක් මේ ලෝකයේ නැහැ. අද නවීන විද්‍යාවත් පිළිගන්නවා මිනිසුන්ගේ ලෙඩරෝග වලින් වැඩිපුර ශරීරගත වන්නේ සිත ලෙඩවීමෙන් බව. සිත කැළඹීම නිසා බව. ඒ නිසා බෙහෙත් වලින් භෞතිකව ප්‍රතිකාර කළ හැක්කේ බොහෝම ස්වල්ප ප්‍රමාණයකට. ධර්මයට සිත යොමු කරන අය ලෙඩ වෙනවා අඩුයි. සිල් රකින භාවනා කරන අයට ධර්මය බෙහෙතක් කරගෙන සුවපත් වූ අය ලෝකයේ ඕනෑතරම් ඉන්නවා. සාංසාරික අකුසල කර්ම වලින් මතුවන භයානක ලෙඩ බලවත් කුසල කර්ම වලින් යට කරන්න පුළුවන්.

පිය උරුමය

අපේ සංසාරේ ධර්මය නොදන්නා කාලයේ අනන්තවත් වැරැදි පාප කර්ම සිදුවෙලා තිබෙන්න ඇති. සංසාරයේ හැම කාලයේදීම බුද්ධෝප්පත්ති කාලයක් මුණ ගැහෙන්නේ නැහැ. ඒ වගේම මනුස්ස ආත්මයක්ම ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා මේ භවයේ ලැබුණ මනුස්ස ජීවිතය කෙතරම් වටිනවාද? මනුස්ස ජීවිතයත් , බුද්ධෝප්පත්ති කාලයත්, ධර්මයට නැමුණ සිතත්, අංගවිකල නොවූ ජීවිතයත් කියන කරුණු හතර කාට හරි ලැබුණානම් ක්ෂණ සම්පත්තිය ලැබුවා වෙනවා.
තථාගතයන් වහන්සේ වදාළා පිය උරුමය ලැබීමට කැමැති අය සතර සම්‍යක් ප්‍රධන්, සතර සෘද්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ඨාංගික මාර්ගය මේ සසුනේ තිබෙන වටිනා මානික්‍ය නිරන්තරයෙන් පුරුදු කළ යුතු බව. ගෞතම බුදු සසුනේ තිබෙන මේ මානික්‍ය වලින් මුළු සසරම සුවපත් කර ගැනීමට පුළුවනි. ආර්ය නිධානය, ආර්ය ධනය මේවායි. මේ සසුන තුළ සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත් කියන උතුමන් වැඩ සිටීයි. මාර රාජ්‍ය කඩා බිඳ සුණු විසුණු කරගෙන ආර්ය රාජ්‍යයට වැඩි මේ උත්තමයන් වහන්සේ සැබැවින්ම සසර ජයගත් අයයි. එනිසා අප තේරුම් ගන්න ඕන මේ මනුස්ස ජීවිතය ලැබුණ නිසා ඒ මනුස්ස ජීවිතය අපතේ නො යවා එයින් වැඩ ගන්න. ජීවිතය හොඳින් බල ගන්වන්න ඕන. ඒ සඳහා අවශ්‍ය කරන්නේ බුද්ධ අවවාදය යි.

මල් උයනත් සිත වගේ

දිනක් තථාගතයන් වහන්සේ සුන්දර මල් උයනක වැඩ සිටියා. උන්වහන්සේ දුටුවා ඒ උයනේ විවිධ ලස්සන මල් පිපී තිබෙනවා. “මහණෙනි, මේ උයනේ තිබෙන මල් ඔබට වර්ග කළ හැකිද?” “ස්වාමිනි, මේ උයනේ විවිධ වර්ණ මල්, සුවඳ මල්, සුවඳ නැති මල්, පෙති අඩු මල්, පෙති වැඩි මල් ආදියෙන් පිපී තිබෙනවා. මහණෙනි, මේ ලෝකයේ පිපෙන මේ සෑම මලක්ම කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඒ එක් කොටසකට මේ පිපෙන සෑම මලක්ම අයිතියි. එක් මල් කොටසක් නම් ලස්සනයි. නමුත් සුවඳ නැහැ. අනෙක් කොටස හරිම සුවඳයි. නමුත් ලස්සනක් නැහැ, තුන් වැනි මල් කොටස ලස්සනත් නැහැ. සුවඳත් නැහැ. හතරවැනි මල් කොටසනම් හරිම ලස්සනයි, හරිම සුවඳයි.
මහණෙනි, මේ මනුස්ස ජීවිතය ගත කරන අපත් ඒ කොටස් හතරෙන් එකකට අයත්. සමහර අය ලස්සනයි. නමුත් ඔහු තුළ සුවඳ නැහැ, සමහර අය රූපයෙන් ලස්සනයි යාන වාහන, ගෙවල් දොරවල් ලස්සනයි නමුත් කිසිඳු සිල් සුවඳක් නැහැ.
තව සමහරක් අය ඉන්නවා සුවඳ තිබෙනවා. නමුත් ලස්සන නැහැ. සිල් රකිනවා. ධර්මයේ හැසිරෙන්නට උත්සාහ කරනවා. නමුත් තමන්ගේ යුතුකම් පැහැර හරිනවා. වයසක මාපියන්ට සලකන්නේ නැහැ. වැඩිහිටියන්ට ගරු සැලකිල්ලක් නැහැ.
තුන්වැනි කොටස ලස්සනත් නැහැ සුවඳත් නැහැ. හිඟමනේ ජීවත් වෙනවා. ඉන්නට වාසස්ථානයක් නැහැ. පිපාසයට වතුර ටිකක් නැහැ. ඒ වගේම ඔහු ආධ්‍යාත්මිකවත් කිසිදු දෙයක් දියුණු කරන්නේත් නැහැ.
හතරවැනි කොටසේ නම් සුවඳත් තිබෙනවා. ලස්සනත් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ආශ්චර්යවත් සසුන තුළ සුවපත් වීමටනම් හොඳ ලස්සන මෙන්ම සුවඳවත් බවත් තිබෙන්න ඕන කියා.

සිත පිරිසුදු කර ගන්නේ කෙසේද?

ඒ සඳහා අප ජීවත් වන පරිසරය, නිවාස, තම ශරීරය පිරිසුදුව තබා ගන්නවා මෙන්ම ඊට වඩා ගැඹුරින් තම සිත පිරිසුදු කර ගතයුතු වෙනවා. දිය නාලා ශරීරය පිරිසුදු කර ගත්තත් සිත පිරිසුදු කර ගත හැක්කේ කෙසේද? ඒ සඳහා බුද්ධ දේශනා ශ්‍රවණය කරමින්, සිත, කය වචනය පිරිසුදු කර ගනිමින්, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කළයුතු වෙනවා. එවිට සිත පිරිසුදු වෙනවා. ලස්සන සුවඳ තිබෙන මලක් මෙන් එවිට තමන්ටත්, අනුන්ටත් ප්‍රයෝජනවත් මලක් වීමට පුළුවන්කම තිබෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online