ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

කිසිදා සිදුවීමට අවකාශ නැති කරුණු


1. සෝවාන් පුද්ගලයා සංස්කාර ධර්මයක් නිත්‍ය යැයි ගැනීම.

2. සෝවාන් පුද්ගලයා සංස්කාර ධර්මයක් සුඛ වශයෙන් ගැනීම.

3. සෝවාන් පුද්ගලයා සංස්කාර ධර්මයක් ආත්ම වශයෙන් ගැනීම.

4. සෝවාන් පුද්ගලයා මවගේ ජීවිතය තොර කිරීම.

5. සෝවාන් පුද්ගලයා පියාගේ ජීවිතය තොර කිරීම.

6. සෝවාන් පුද්ගලයා රහතන් වහන්සේ නමක් ජීවිතයෙන් තොර කිරීම.

7. සෝවාන් පුද්ගලයා දුෂ්ට වූ සිතින් (දුට්ඨෙන චිත්තෙන) තථාගතයන් වහන්සේගේ ලේ සෙලවීම.

8. සෝවාන් පුද්ගලයා සංඝයා භේද කිරීම.

9. සෝවාන් පුද්ගලයා වෙනත් සමයක්, වෙනත් ශාස්තෘවරයෙක් පිළිගැනීම.

මෙම කරුණු නවය දිට්ඨිසම්පන්නෝ පුග්ගලො යනුවෙන් මාර්ග දෘෂ්ටියෙන් යුතු සෝවාන් මාර්ගයට අවතීර්ණ වූ ආර්ය මාර්ගයට බැසගත් පුද්ගලයකු අතින් කිසිදා සිදු නොවේ. එනමුත් මෙම කරුණු ප්‍රථුජ්ජනො පුහුදුන් පුද්ගලයා වෙතින් සිදුවිය හැකි ය. (ඨානමෙතං විජ්ජති) මෙහි අංක 4 – 9 එන කරුණු 6 සෝවාන් පුද්ගලයා අතින් සිදුවීමට අභව්‍ය බව රතන සූත්‍රයේ ද කියැවේ. (ඡචාභිඨානානි අභබ්බො කාතුං)

10. එකම ලෝකධාතුවක පෙර පසු නොවී (අප්‍රබ්බං අචරිමං) එකවිටම සම්බුදුවරු දෙදෙනෙක් පහළ වීම කිසිදා සිදු නොවේ.

11. එක ලෝක ධාතුවක එකවිට සක්විති රජවරු දෙදෙනෙක් කිසිදිනක පහළ නොවේ.

12. ස්ත්‍රියක් අර්හත් සම්මා සම්බුද්ධත්වයට පත්වීම කිසිදා සිදුනොවේ.

13. ස්ත්‍රියක් සක්විති රජකමට පත්වීම කිසිදා සිදු නොවේ.

14. ස්ත්‍රියක් ශක්‍ර දේවේන්ද්‍ර බව කිරීම කිසිදා සිදු නොවේ. (සක්කත්තං)

15. ස්ත්‍රියක් මාර බව කිරීම කිසිදා සිදු නොවේ. (මාරත්තං)

16. ස්ත්‍රියක් බ්‍රහ්ම බව කිරීම කිසිදා සිදු නොවේ. (බ්‍රහ්මත්තං) 

දෙලොව ප්‍රගතිය

බිබිල යල්කුඹුර 
ශි‍්‍ර විද්‍යානන්ද පිරිවෙනේ ආචාර්ය 
පදියතලාවේ ඤාණවිමල හිමි
බුදු දහම තුළින් ලොවෙහි ප්‍රතීයමාන වන සෑම කරුණක් පිළිබඳව නිවැරදි වූත් විශ්වාසදායී වූත් කරුණු අන්තර්ගත බව නිසැකවම පිළිගැනීමට බඳුන් වූවකි. ති‍්‍රපිටකය පරිශීලනය කිරීමෙන් මෙකී කාරණාවන් මනාව අවබෝධ කර ගැනීමට අපට හැකි වන්නේය. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම උගත් බුද්ධිමත් මිනිසුන් සඳහාම ය. නිවන් අවබෝධ කර ගැනීම පිණිස වෙහෙසෙන සත්පුරුෂයන් උදෙසාම ය. මෙහිදී නිරන්තරවම පෙන්වා දී ඇත්තේ පුද්ගල ප්‍රගතිය කරා ළඟා වීමේ ඇති වැදගත්කමයි.
ප්‍රගතිය යන වචනයේ ඇසූ පමණින් අපට හැඟී යන කරුණක් නම්, අපට දැනෙන දෙයක් නම් තමන් යම් විදියකින් උසස් බවක් හෝ දැන් සිටිනා තත්ත්වයෙන් ඔබ්බට ගොස් සංවර්ධනයක් ඇති කර ගැනීමයි. මෙකී කරුණේදී අපට තවත් හොඳින් අවබෝධ කර ගැනීමට හොඳ ම අවස්ථාවක් නම් භෞතික පරිසරයේ ඇති සංවර්ධනයේ ස්වරූපයයි. කෙසේ නමුත් ප්‍රගතිය යන වදනයේ අර්ථය අවබෝධ කර ගැනීම එතරම් අපහසු වන්නේ නැත. කෙසේ නමුදු පුද්ගලයා ප්‍රගතිය කරා ළඟා වීමේ දී බුදුසමය අනුව කෙසේ දායකත්වයක් ලබා දෙන්නේ දැයි විචාරීම මේ ලිපියේ අපේක්ෂාවයි.
බුදුදහමට අනුව පුද්ගල ප්‍රගතිය කරා යාමේදී අංශ දෙකක් පිළිබඳ අවධානය යොමු කළ යුතුවේ. එනම්, මානසික අංශය හා භෞතික අංශය යනුවෙනි. මේ අංශ දෙකම සම්පූර්ණ වූ විට සාර්ථක ප්‍රගතියක් ළඟා කරගත හැකිවන්නේ. බුදුසමයේදී මෙකී කරුණු දෙකින් එක් කරුණක් පමණක් ප්‍රශංසා කරන්නේ නැත. උභයාංශයම ආවරණය කළ යුතු බවයි. එයින් ප්‍රකට කෙරෙන්නේ. ප්‍රගතිය යනු තමන් වර්තමානයේ සිටින තත්වයෙන් මිදී යම් දියුණුවක් ළඟා කර ගැනීමේ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා මෙය ඉතාමත් බැරෑරුම් ක්‍රියාවක් ලෙස මුලින්ම අප අවබෝධ කරගෙන සිටිය යුතුවේ. මෙකී කරුණේදී බුදුහිමියන් පෙන්වා දෙන වැදගත්ම කාරණාවක් වන්නේ අලුත් දේ ගැන නිර්මාණශීලිත්වයක් නැති පුද්ගලයාට ලෙහෙසියෙන් පහසුවෙන් ප්‍රගතිය කරා ළඟා වීමට නොහැකිවන බවයි.(නාචිත්තයන්තෝ පුරිසෝ විසේසමධිගච්ඡති) එනම් මෙහිදී අප අවබෝධ කරගත යුතු මූලිකම කාරණාව වන්නේ නිරන්තර ව අලුත් දේ පිළිබඳ සිතීම නිර්මාණශීලිව යමක් කිරීමටත් නොපසුබට උත්සාහයෙන් යුතුව ක්‍රියා කළ යුතු බවයි. අප ජීවත් වීමේ දී නොයෙක් දෑ උපයා ගැනීමට වෙහෙස මහන්සි ගන්නා අතර ඇතැම් විට අපට නොදැනුවත්වම අලසකම, කම්මැලිගතිය ඇතිවීමට පුළුවන. නමුදු මේ හේතුව නිසාවෙන් ම අප ප්‍රගතිය ළඟා කර ගැනීම වෙනුවට පරිහානිය කරා ළඟා වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩි ය.අප ස්වාධීන පුද්ගලයින් ලෙසත්, මානව පවුලේදී සාමාජිකයින් ලෙසත්, සමාජයේ දී එයට අනුගත පිරිසක් ලෙසත් ක්‍රියා කිරීමේදී අපෙන් එකී පිරිසට ඉටු විය යුතු දෑ බොහෝය. මෙහිදී මුලින්ම තමා පිළිබඳව සිතා තමාගේ අභිවෘද්ධිය පිණිස කැපවන්නාක් මෙන්ම අනෙකුත් අංශයන්හි දියුණුවට ද එසේ කැපවීමෙන් ක්‍රියා කළ යුතුවේ. මෙකී කාරණාවන් සඵල කරගැනීමේදී සිතට කාවදින විවිධ සිතුවිලි ධාරාවන් නිසා එකී කර්තව්‍ය නිසි ලෙස ඵල දැරීමට නොහැකි වීමටද හැකිය. දැන් ශීතලයි.දැන් ඌෂ්ණයි. දැන් නිදිමතයි. දැන් බැහැ ආදි ලෙස සිතා කළ යුතු දෑ පසුවට කල් දැමීම තමාගේ මෙන්ම සමාජීය ජීවිත විනාශයට , පරිහානියට ඇද දමන සංකල්පයන් ය. සංවර්ධනයක් අපේක්ෂා කරන්නන් මෙකී සිතුවිලිවලින් මිදී උත්සාහය, වීර්යය, අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කළ යුතුවේ.
එසේ නොකර ඉහත සඳහන් කළ අයුරින් සිතා නිෂ්ක්‍රීයව සිටින්නේ නම් තමන් සිතුවත් ප්‍රායෝගික ව එහි නොයෙදීම මත ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වන්නේ නැත. අප නිසඟයෙන් අත්පත් කරගන්නා මෙන්ම අපගේ විභව ශක්තියෙන් පහළ වන්නා වූ ඇතැම් හැකියාවන් අපට හොරා අපේ හදවතේ ළැගුම් ගෙන සිටී.අපගේ ක්‍රියාත්මක වීම මත ඒවා නිවැරදිව තෝරා බේරා ගෙන නොපසුබට උත්සාහයෙන් ක්‍රියා කිරීම මගින් ප්‍රගතිය උදා කර ගැනීමට හැකිවනු නො අනුමානය. මෙකී කරුණු සාධනයෙහි ලා බුදුහිමියන් විසින් අප ක්‍රියා කළ යුතු අන්දම විවිධ සූත්‍ර දේශනාවන් ඔස්සේ සඳහන් කර ඇත. එහිදී අතිශයින්ම වැදගත් සූත්‍ර දේශනාවක් ලෙස කරණීයමෙත්ත සූත්‍රය හැඳින්විය හැකිය. එකී සූත්‍ර දේශනාව තුළින් ගම්‍ය කෙරෙන්නේ අප ජීවිත සාධනයේදී අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත් සමුදායක් පිළිබඳවය. මෙහි කරණීය යනුවෙන් පෙන්වා දෙන්නේ කළ යුතු, සිහිකළ යුතු ධර්මතාය. එහිදී අධිශීල, අධිචිත්ත, අධිපඤ්ඤා වැඩීම පෙන්වා දිය හැකිය. එවිට අපට නිසැක වශයෙන්ම මතකයට එන කරුණක් නම් අප නොකළ දෑ මොනවාද යන ප්‍රශ්නයයි. එහි දී අකරණීය ධර්ම ලෙස ශීල විපත්ති, දිට්ඨි විපත්ති හා ආචාර විපත්තිවලින් බැහැරව කටයුතු කළ යුතුය. එලෙසටම මෙහි අත්ත වශයෙන් පෙන්වා දී තිබෙන්නේ පුද්ගල ජීවිතය සංවර්ධනය කරන, පුද්ගලයාට ප්‍රයෝජනවත් හා ඔහුගේ සශ්‍රීකත්වයට තුඩුදෙන කරුණු ය. අත්ත කුසලතාව වර්ධනය කරගනු පිණිස මෙකී සූත්‍රදේශනාව තුළින් ප්‍රකට කර ඇති කරුණු කිහිපයකි. ඒවා මෙසේ පෙළගස්වා දැක්විය හැකිය. සක්කෝ – හැකියාවය (යමක් ඉතා සාර්ථකව කිරීමට ඇති ශක්‍යතාව) උජු – ඍජු බව, අවංක බවසූජූ – ඉතා ඍජු බව, ඉතා අවංක බව සුවචෝ – කීකරුකම මුදු – මෘදු හිතැති කෙනෙක් වීම අනතිමානි – නිහතමානි ගතිගුණයෙන් යුක්ත වීම සන්තුස්සකෝ – ලද දෙයින් සතුටු වීමේ හැකියාව සුභරෝ– පහසුවෙන් පෝෂණය කළ හැකි බව අප්පකිච්චෝ – අල්පකෘත්‍ය බව, ජීවිතය පැවැත්මට අදාළ කරුණු ඉටුකිරීම සල්ලහුකවුත්ති – සැහැල්ලු ගති පැවතුම් ඇති බව සන්තින්දාියෝ – ශාන්ති දැමුණු ඉඳුරන් ඇති බව නිපකෝ – තැනට සුදුසු නුවණින් යුක්ත බව අප්පගබ්බෝ – හැඩිදැඩි හෝ අසංවර ගතිවලින් මිදුණු අයෙක් වීම කුලේසු අනනුගිද්ධෝ – හිතමිතුරු පවුල්වල නිතර, නිකරුණේ හැසිරීමෙන් වළකින්නෙක් වීම
ඉහත සඳහන් කළ කරුණු අනුගමනය කිරීම මත සැබැවින්ම කුසල පක්ෂයට නැඹුරු සිතක් ඇති කර ගැනීමට හැකිවනු නො අනුමානය. එය තමාගේ භෞතික අංශය වර්ධනය කර ගැනීමට පමණක් නොව මානසික අංශය හෙවත් ආධ්‍යාත්මික අංශයද දියුණුවට හේතු වන්නා වූ කරුණකි. මීට අමතරව ප්‍රගතිය කරා ළඟා වීමේදී පිළිපැදිය යුතු වැදගත් ක්‍රමවේදයක් ද දහමේ සඳහන්ව ඇත. එය විශේෂයෙන්ම ළඟා වන්නේ උත්සාහය යන කාරණාව විෂයයෙහිය . එනම්. ආරම්භක ධාතු– යමක් ආරම්භ කිරීමට නික්ඛම ධාතු – ඉදිරියට කරගෙන යෑමට පරක්කම ධාතු– බාධක මැඬගෙන ඉදිරියට යෑමට ථාම ධාතු –බලවත් වීර්යයෙන් යුතුව කටයුතු කිරීමට ඨිති ධාතු – ස්ථාවරව සිටීමේ හැකියාව උපක්කම ධාතු – උපක්‍රමශීලි වීම
යන කරුණු අතිශය වැදගත් වේ. අප සමහර විට යම් ක්‍රියාවක් ආරම්භ කිරීමට බොහෝ සෙයින් උත්සාහවත් වේ. අපට වැටහෙන අප දන්නා කරුණ නම් යමක් ආරම්භ කිරීමට ඇති අපහසුතාවයි. එසේ වුවද ඉතා සාර්ථකව ආරම්භ කළ ක්‍රියාවක් වුවද නිසි ක්‍රමවේද භාවිත නොකිරීම මත විනාශයට හා පරිහානියට ලක් වීමට ඉඩ ප්‍රස්ථාව වැඩිය. මේ නිසාවෙනි බුදුදහමේ දී ඉහත සඳහන් කළ උත්සාහවත් වීමේ අවස්ථා රැසක් පෙන්වාදී ඇත්තේ. උත්සාහයකින් තොරව යහපත් ජීවිත ගමනක් නොමැති බව අප විශේෂයෙන් ම තේරුම් ගත යුතුය. බුදුදහමේ දී යහපත් කටයුතු සඳහා ද උත්සාහවත් වීමේ අගය නිරන්තර පෙන්වා දී ඇත්තේ මෙකී කරුණ නිසාවෙනි. මුලින් සඳහන් කළ පරිදි අප වැඩිපුර ම වෙහෙසන්නේ අපගේ භෞතික පක්ෂය ස්ථාවර කර ගැනීමට බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. නමුදු එය පමණක් නොව මානසික පක්ෂය ද ස්ථාවර කර ගැනීමට වෙහෙසිය යුතුය. මක් නිසාද ?යත් එක් පක්ෂයක් පමණක් දියුණු කර ගැනීම බුදු දහමට අනුව සාර්ථක ජීවිතයක ලක්ෂණයක් නොවන නිසාවෙනි. මෙකී කාරණාව බුදුහිමියන් ද්විචක්ඛු සූත්‍රයේදී පෙන්වා දී ඇත. එහිදී අංශ දෙකම සමබරව පවත්වා ගෙන යෑමට කටයුතු කළ යුතු බවයි පෙන්වා දෙන්නේ.
මිනිසත් බව ලැබුවාවූත් විරාගීව හැසිරෙන උතුමන් හැරුණු විට අන් සියලු දෙනාම සමාජය සමඟ ජීවත් වන්නන්ය. ඔවුන්ට සමාජයෙන් ඈත්ව හුදෙකලා ජීවිත ගෙවීම සුදුසු වන්නේවත් එසේ කිරීමට හැකිවන්නේවත් නොවේ. බුදුදහම ද විරාගි දර්ශනයක් මත පදනම් වුවද පුද්ගලයාගේ මෙලොව දියුණුව පිළිබඳ ව දක්වා ඇත්තේ අඩු තක්සේරුවක් නොවේ. මෙලොව දියුණුව සඳහා නම් ආර්ථිකය සාරවත් කර ගත යුතුය. හොඳ ආර්ථික සමබරතාවයකින් තොරව යහපත් ජීවිතයක් ගත කිරීම උගහටය. ඒ නිසාවෙන් විවිධ සූත්‍ර දේශනා ඇසුරින් ආර්ථික දියුණුව ළඟා කරගන්නේ කෙසේද ?යන්න දේශිතය. ධනය උපයාගත යුතු අන්දම,උපයාගත් පමණින් සියල්ල සම්පූර්ණ නොවන බවය. එය පරිභෝජනයේදී අනුගමනය කළ යුතු පිළිවෙත ආදි දෑ බුදු දහමෙන් පෙන්වා දෙන්නේ ධනය අත්පත් කරගත් පසු අප බොහෝවිට වැරදි මාවත් ඔස්සේ ගමන් කිරීමට වැඩි ප්‍රවණතාවක් ඇති නිසාවෙනි. මෙම කරුණේදී සිඟාලෝවාද සූත්‍රය අතිශය වැදගත් වන්නේ මෙකී ක්‍රමවේදයන් පිළිබඳ ඉතා සාරගර්භ වූ තොරතුරු රාශියක් අන්තර්ගත වන බැවිනි. එහි දී මෙලොව දියුණුව උදෙසා අතිශයින් වැදගත් වන කරුණු 14 ක් පෙන්වා දී ඇත. එනම්.
විශේෂයෙන්ම මෙකී ගුණ ධර්මයන්ගෙන් හීන වීම මත අප නොදැනුවත්වම අපගේ ආර්ථිකය පරිහානියට යෑම වැළැක්වීම නොහැකිය. එනිසාවෙන් මනා සිහියෙන් යුතුව මෙකී කාරණා සාධනය කරගැනීමට වෙහෙසිය යුතුවේ. එය සැබැවින්ම භෞතික අංශයේ ප්‍රගතිය සඳහා ඉවහල් වනු ඇත. ඊට අමතරව අප උපයාගන්නා ධනය දැහැමි ක්‍රමවලින් උපයාගත යුතු වන අතර ඒවා පරිභෝජනය කිරීමේදී ද ප්‍රවේශම් විය යුතුය. එහි දී අප කළ යුතු දෑ පිළිබඳ ව අණන සූත්‍රයෙන් හා පත්තකම්ම සූත්‍රයෙන් පෙන්වා දී ඇත. අණන සූත්‍රයෙන් පෙන්වා දී ඇත්තේ ද ධනය ඉපැයීම මෙන්ම පරිභෝජනය කළ යුතු අන්දමයි. මෙහි දී පුද්ගලයාගේ පී‍්‍රතියට හේතුවන්නා වූ කරුණු 04 ක් ඇත. කරුණු තුන මෙලොව ජීවිතයේදී ප්‍රගතිය කෙරෙහි බලපාන අතර අවසන් කරුණ මෙලොව වශයෙන් පමණක් නොව පරලොව වශයෙන්ද වැදගත් වේ. මෙකී කරුණු සියල්ලම භාවිතයට ගත් කළ පුද්ගල ප්‍රගතිය උදා කරගත හැකි බව බුදුදහමෙන් පෙන්වා දී ඇත්තේය.

තුන් භවය ම ගිනිගත් යකඩ වැටකි

පූජ්‍ය මාන්කඩවල සුදස්‌සන හිමි 

රත්තරං, රිදී මුතු මැණික්‌ තියෙන තැන බුදුරජාණන් වහන්සේ කියනවා දුක කියලා. ඒ දේවල් නො ලැබෙන කොට දුක නැතුව ඉන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දැක්‌කා. ඔය ගින්දරයි ළඟට එන්නේ, ඔය දුකයි ළඟට එන්නේ, ළඟට ගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දැක්‌කා. 

මේ දේවල් අයින් වෙන කොට දුක එනවා කියලා ලෝකය දැක්‌කත්, බුදුරජාණන් වහන්සේ කියන්නේ ඕවා අයින් වෙන කොට දුක නැති වෙනවා කියලයි. ලෝකයා දැක්‌කා පුළුවන් තරම් උදේ ඉඳන් රෑ වෙන තුරුත්, රෑ ඉඳන් උදේ වන තුරුත්, වැඩ කරලා පුළුවන් තරම් මේවා එකතු කරන්න. බුදුරජාණන්වහන්සේ දැක්‌කා උදේ ඉඳන් රෑ වන තුරුත් රෑ ඉඳන් උදේ වන තුරුත් වෙහෙස වෙලා වැඩ කරලා පුළුවන් තරම් මේවායින් මිදෙන්න ඕන කියන එක මාර්ගය හැටියට පෙන්නුවා. මේවායින් මිදෙන්න කිව්වා.

දැන් ඔභ ඔන්න එය හතර ටික ටික හරි ජීවිතයෙන් දකින්න ඕන. ගෙවල් දොරවල්, යානවාහන, ඉඩකඩම්, මිල මුදල්, නො වෙයි, ජාතිය ස්‌වභාවය කොට, ජරාව ස්‌වභාවය කොට, ව්‍යාධිය ස්‌වභාවය කොට, මරණය ස්‌වභාවය කොට ඇති ධර්මතා නේ ද කියලා පෙනුණොත් යම් දවසක පෙනුණොත්, මේ දන්නවා කියන එක නො වෙයි, "පෙනෙනවා" "දකිනවා" කියන එකේ ලොකු අර්ථයක්‌ තියනවා. 

පාරෙ යනකොට සතෙක්‌ ජරා කරපු තැනක්‌, අශුචි ගොඩක්‌ එහෙම දැක්‌කොත් ඒකේ අශුභ බව ඔබට හිත හිතා ඉන්න ඕනෙ ද? එක පාරට ම පෙනෙනවා නේ ද? පෙනීම තියෙන තැන දී අසිහිය නෑ. බැරි වෙලා, වැරැදීමකින් හරි සාක්‌කුවේ දා ගනී ද? හිතලා නො වෙයි බැරි වීමකින් දා ගත්තොත්? දා ගන්න බැරි ද? බෑ. මොකද? "පෙනෙනවා" කියන තැන දී "අසිහිය" කියලා එකක්‌ නෑ. "නෑ, නෑ, මේක අශුභ නෑ, හරි ශුභයි, මේක හොඳයි, සුවඳයි ගන්ඩ ඕනේ" කියලා වචන ටිකක්‌ කිව්වාට කය පස්‌සට අදිනවා. හිතත් පස්‌සට අදිනවා. ඒ මොකද "දකිනවා" කියන මට්‌ටම නිසා. එතකොට "අශුභයි අශුභයි" කියලා, "මේක අශුචි, අශුචි" කියලා ප්‍රර්ථනා කරන්න ඕන ද? හිතන්න ඕන ද? හිතුවත් නැතත්, ප්‍රාර්ථනා කළත් නො කළත්, පෙනෙනවා කියන මට්‌ටම යෙදිලා. 

තිරිසන්ගත සතකුට, රිලවකුට, බල්ලකුට වගේ සතකුට කණ්‌ණාඩියක්‌ දුන්නොත් මොකක්‌ වෙයි ද? ඉදිරියෙන් පේන රූපයට බුරයි ද නැද්ද? බුරනවා. කෑගහනවා නේ ද? ඔබ කණ්‌ණාඩිය දිහා බැලුවහ ම, මූණෙ නේ පවුඩර් ගාන්නේ, ඇයි ඔබ කණ්‌ණාඩියේ පඩුඩර් ගාන්නෙ නැත්තේ? අපි කවදා වත් හිතලා තියනව ද කණ්‌ණාඩියේ තියෙන්නෙ ඡායාවක්‌. මේ මගේ මූණෙ තියන ඡායාවක්‌ මේ වැටෙන්නේ, තියලා හිතලා තියෙනව ද? හිතුවේ නැති වුණාට අපි නුවණින් දකිනවා නේ ද? නුවණ කියන එක යෙදුණහම, ඒකට අනුව හිතන්න වත් ඕනේ නැහැ. තිරිසන්ගත සතා නුවණ නො යෙදුණ නිසයි කණ්‌ණාඩියට පනින්නේ. 

හොඳට දැනගන්න, අපි කණ්‌ණාඩියට පනින්නේ නෑ කියන්නේ, ඒක බලනවත් එක්‌ක ම නුවණ යෙදිලා. නුවණ යෙදෙන කොට ඒ ප්‍රතික්‍රියාව කරන්නේ නැහැ. තිරිසන්ගත සතාට වගේ ප්‍රතික්‍රියාව නැත්තේ ඇයි? නුවණක්‌ ඇති නිසා. අපට "මනුෂ්‍යයා"යි කියන්නේ නුවණ මතයි. ඒකෙන් තමා ඒක වෙන්නෙ. 

ඒ වුණාට දුවා පුතා කියලා අපි පනින්නේ රිලවා කණ්‌ණාඩියට පනිනවා වගේ නේ. මේ අපි පෙනෙන දේට පනිනවා කියලා දන්නව ද? කණ්‌ණාඩියේ පවුඩර් ගානවා වගේ වැඩක්‌ අපි මේ කරන්නේ. 

මනුෂ්‍යයෙක්‌ කණ්‌ණාඩියේ පවුඩර් ගාන්න යන්නේ නැහැ නේ. ප්‍රතික්‍රියා දක්‌වන්නේ නැහැ නේ.

ඒ වගේ රහතන් වහන්සේලාත් මේවා හම්බ වෙන කොට ක්‌ෂණිකව ව දන්නවා දුක කියලා. පනින්නේ නැහැ ඒවාට. හිතන්ඩ වත් ඕනේ නැහැ. නුවණ කියන එක යෙදුණහම අර කණ්‌ණාඩියේ දකින කොට මේ ඡායාව කියලා වෙන් වෙලත් ඉවරයි. හඳුනාගෙනත් ඉවරයි වගේ. හම්බ වෙන කොට ම, සංඛත ධාතුව කියන්නේ, නැත්නම් ලෝකය කියන්නේ "දුකයි" කියන තැනින් මේ තීන්දු තීරණ හැදිල ඉවරයි. එතැනින් එහා ආයෙ ප්‍රතික්‍රියා නෑ. මවයි පියයි අතර සංයෝජන, තාත්තයි දුවයි අතර සංයෝජන, මවුපියන් සහෝදරයන් අතර සංයෝජන මොනවත් ම එතන නැහැ. තියෙන්නෙත් දකින්නේත් "දුක" කියන තැනකිනුයි.

යම් දවසක ඔන්න ඔය මට්‌ටමට ලෝකය දකින්න ඕන. ඒ කියන්නේ දැන් අද අපට පෙනෙන්නේ බණ අහන කට්‌ටියක්‌ ඉන්නවා, හාමුදුරුවෝ බණ කියනවා. මේ එක ම පහන් දැල්ලයි. මෙහෙම ලෝකය තුළ වෙද්දිත්, යටින් දිව යන නුවණක්‌ තියනවා නම් අපිට, මෙතැන තියන්නේ මේ රූපය, මේ වේදනා, සංඤ්ඤා සංඛාරය, නැත්නම් මේ තියන්නේ දුක නේ ද, මේ අපට පෙනෙන්නේ, හම්බ වෙලා තියන්නේ දුකයි. මේ ටික දකින්න පුළුවන්. මේ මොනවා හරි දෙයක්‌ අපි ගත්තා නම් ගත්තේ, දුකයි. ඒ කියන්නේ අපට පෙනෙන්න ඕනේ ගෙවල්, දොරවල්, යාන වහන, ඉඩ කඩම්, මිල මුදල්, හරකා බාන කියලා මේ හේතූන් ගෙන් හටගත්ත මේ දේවල් "දුක" හැටියට දකින්න ඕන. ඒ දේවල් ලබාගන්න ලබා ගන්න, එන්නේ දුකයි කියන තැන මනස තියෙන්න ඕන. මේ දේවල් එකින් එක, එකින් එක, අයින් වුණොත්, එදාට මොකද වෙන්නේ? සැපක්‌ එනවා, දුක නැති වෙන බව දන්නවා. 

මේ ලෝකයේ ඇත්තේ ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල්, හරකා බාන නො වේ, දුකයි කියලා දකින මට්‌ටමට, මේ හේතූන් ගෙන් හටගත්ත දේවල් ලැබීම දුකේ ලැබීමයි කියන තැනට, හටගත්ත දේවලින් මිඳීම දුකෙන් මිදීමයි කියන තැනට මනස ගන්න මේ "සීල සමාධි ප්‍රඥ" කියන ත්‍රිශික්‍ෂාවයි තියන්නේ, කියන එක දැනගන්න ඕන. 

මේ ත්‍රිශික්‌ෂාවේ ගිහිල්ලා, මෙන්න මේ තැනට අපේ මනස පත් කරගන්න එක තමයි නිෂ්ඨාව, කෙළවර කියන්නේ. රහතන් වහන්සේලා මුළු ලෝකය ම දකින්නේ තුන් භවය ම ගිනිගත්ත යකඩ වැටක්‌ වාගෙයි.

"දුක්‌ඛෙ ඥනං" - දුක ගැන හොඳට නුවණ තියනවා.

දුක්‌ඛ සමුදයේ ඥනං - මේ දුක ඇති වන්නේ මෙන්න මෙහෙමයි කියලා දන්නවා. තණ්‌හාව නිසා. ඇයි දුක ඇති වන්නේ තණ්‌හාව නිසායි කියලා කියන්නේ? පහන් දැල්ල දුකයි. ඔය දුක්‌ විඳින්න වෙන්නේ පළඟැටියට මොකක්‌ හින්ද ද? පහන් දැල්ලට තණ්‌හා කරන හින්දයි. පහන් දැල්ල කියලා දැක්‌කොත් තණ්‌හා නො කර ඉන්න බැහැ නේ. පහන් දැල්ල දැක්‌කහම පහන් දැල්ලට තියන තණ්‌හාව නිසයි දුක්‌ විඳින්න වෙන්නේ. තණ්‌හාව නැති වුණොත්, නැති වෙන්නේ මොකට ද, පහන් දැල්ලටයි. පහන් දැල්ලට තණ්‌හාව නැති වුණොත් පනිනවා ද? නෑ. පනින්නේ නෑ. එතකොටයි දුක නැති වන්නේ. ඒ නිසා ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල්, හරකා බාන, දූදරුවන් ගත්තහ ම, අරගෙන තියන්නේ මොකක්‌ ද? දුකයි. එහෙනම් අපි දුකෙන් නො මිදුණේ මොකක්‌ හින්ද ද? තණ්‌හාව නිසයි. 

දුක්‌ඛ නිරෝෙ ඥනං - තණ්‌හාව නැති වුණොත්- කණ්‌හාව නැති වෙන්නේ කොහේ දී ද? ගෙවල් දොරවල්, යානවාහන, ඉඩ කඩම්, මිල මුදල්, හරකා බාන, දූදරුවන්ට තියෙන තණ්‌හාව නැති වුණොත් අපි ඒ දේවල් ළඟට ගන්නව ද? රැස්‌ කරනව ද? නෑ. එහෙනම් නැති වෙන්නේ මොකක්‌ ද අපිට? දුක. ඒ නිසයි තණ්‌හාව නිසයි දුක ඇති වෙන්නේ. තණ්‌හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා කියන්නේ, දුක්‌ දේවලින් මිදෙන්නේ අප එදාට. 

එහෙනම් මනස ඒ වාගේ තැනකට ගන්නයි මේ "සීල, සමාධි, ප්‍රඥ" කියන ත්‍රි ශික්‍ෂාව තියන්නේ. 

නිවනට පිවිසෙන දොරටුව ශ්‍රද්ධාවයි

මාස්‌පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී, 
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ ආචාර්ය,
ගලගෙදර රතනවංස හිමි

නිවන යනු සියලු කෙළෙසුන් අවසන් වන අවස්‌ථාවයි. එය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්‌සේ ගමන් කොට පියවරෙන් පියවර සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් වශයෙන් ලැබිය යුත්තකි. තම ප්‍රඥවෙන් ලැබිය යුතු එම නිවන් මඟ අවබෝධ කර ගැනීමට වීර්යයෙන් යුක්‌තව කටයුතු කළ යුතුව ඇත. බුදු දහම වනාහි ප්‍රඥවන්තයන් උදෙසා දේශනා කළ එකකි. එයට හේතුව එය අවබෝධ කර ගැනීම එතරම්ම ගැඹුරු වූවක්‌ බැවිනි. බුදුරජාණන් වහන්සේ මුලින්ම ලෝකයාට ධර්මය නොදෙසීමට තීරණය කළේද එහි ගැඹුරු බව හේතුවෙනි. "පඤ්ඤාවන්තස්‌සායං ධම්මො නායං ධම්මො දුප්පඤ්ඤස්‌ස" යන පාඨයෙන් ඒ බව තහවුරු වේ.

නමුදු පුහුදුන් ලෝකය තුළ ජීවත්වන බොහෝ දෙනෙක්‌ මෝඩයන් හෙවත් පිස්‌සන්ය. "සබ්බේ පුතු-ජනා උම්මත්ථකා" යනුවෙන් සියල්ලෝම පිස්‌සන් බව සනාථ වේ. බුදු, පසේ බුදු, මහ රහත් යන උතුමන් හැරුණු කොට සියල්ලෝම වැරදි අඩු පාඩුවලින් අනූනය. සියල්ලෝම කාම ලෝකයේ පිස්‌සන් විලසින් එක එක අරමුණු ප්‍රාර්ථනා පොදි බැඳගෙන ඉච්ඡා භංගත්වයෙන් ජීවත් වෙති. එවැනි ලෝකයකට ගැඹුරු දහමක්‌ දේශනා කිරීමෙන් ඇති ඵලක්‌ නැත. නමුදු බුදු කෙනෙක්‌ නිරන්තරයෙන් උත්සාහ කරන්නේ සංසාර චක්‍රයට හසු වී සිටින අපමණ දුක්‌ විඳින සත්ත්වයා ඉන් මුදවාලීමටය. ඒ සඳහා එකම විසඳුම නිවන අවබෝධ කර වීමයි. එය සෘජුව කර දීමට අපහසු බැවින් පළමුව පුද්ගලයා ඒ සඳහා නැඹුරු වීමේ ආකල්පය ඇති කිරීම අනිවාර්ය වේ. ඒ සඳහා ඇති එකම විකල්පය වන්නේ ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීමයි.

බුදු දහම වනාහි ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥවෙන් අවසන් වන්නකි. බුදු දහම කිසිම අවස්‌ථාවක භක්‌ති මාර්ගය අගයන්නේ නැත. බුදුන් ලොව පහළ වන යුගය තුළ පැවතියේ භක්‌ති මාර්ගයයි. සර්ව බලධාරී දෙවි කෙනකු අරභයා පුද පූජා යාග හෝම පැවැත්වීම එහි කාර්යයි. අදෘෂ්‍යමාන වස්‌තූන් මූලික කොටගෙන නිවන සෙවූ යුගයක බුදු හිමි ඥන මාර්ගය පෙන්වා දී පරම සත්‍යය වූ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට මාර්ගය පාදා දුන් ආකාරය ඉතා පැහැදිලිය.

ම.නි. කීටාගිරි සූත්‍රයට අනුව ශ්‍රද්ධාව හා එහි ප්‍රභේද පිළිබඳව දක්‌වා ඇත. ඉහතින් මතක්‌ කළ ආකාරයට සියල්ලෝම ප්‍රඥවන්තයන් නොවන බැවින් ශ්‍රද්ධාව මුල් කොටගෙන බුදු දහම වැළඳ ගැනීම හා නිවනට යන මාර්ගය පාදා ගැනීමට සිදු වේ. ඒ අනුව ශ්‍රද්ධාව ඉතා වැදගත් වේ. ශ්‍රද්ධාව එහි මූල බීජයයි. සැදැහැයෙන් පෙළඹෙන පුද්ගලයා සම්‍යක්‌ දෘෂ්ටිය ප්‍රකාශ වන තැනට එළඹෙයි. පැමිණ සමීපයෙහි හිඳ ගනියි. හිඳ සවන් යොමු කරයි. යොමු කළ සවනින් දහම් අසයි. ඇසූ ධර්මය දරයි. දැරූ ධර්මය අර්ථ පරීක්‌ෂා කරයි. අර්ථ පරීක්‌ෂා කිරීමෙන් ධර්මය වැටහෙන්නට පටන් ගනියි. එකල්හි ශාසන කාර්යයෙහි කැමැත්ත ඇති වෙයි. එබැවින් උත්සාහ කරයි. උත්සාහය නිසා ත්‍රිලක්‌ෂණ මනසිකාරයට පෙළඹෙයි. එය පධන් වීර්යයට පුද්ගලයාව මෙහෙයවයි. පධන් වීර්යය නිසා නාම කයින් පරම සත්‍යය සාක්‌ෂාත් කරයි. ප්‍රඥවෙන් එය ප්‍රතිවේධ කොට දකියි.

මේ ආදී වශයෙන් ප්‍රඥව අඩු වුවත් ශ්‍රද්ධාව ඇත්නම් ක්‍රම ක්‍රමයෙන් නිවන කරා ගමන් කරනා අයුරු එම සූත්‍රයට අනුව විග්‍රහ වේ. මෙහිදී අප අවබෝධ කරගත යුතු කරුණක්‌ වන්නේ ශ්‍රද්ධාවේ කොටස්‌ දෙකක්‌ ඇති බවත් එයින් ආකාරවතී ශ්‍රද්ධාවම අනුගමනය කළ යුතු බවත්ය. අමූලික ශ්‍රද්ධාව තුළින් සිදුවන්නේ නොවිමසා අවිචාරශීලීව අනවබෝධයෙන් පිළිගැනීමයි. කටයුතු කිරීමයි. නමුත් ආකාරවතී ශ්‍රද්ධාව එසේ නොවේ. එතුළින් විචාරශීලීව සොයා බලා විමසා තර්කානුකූලව බුද්ධිමත්ව ක්‍රියා කිරීමත් ප්‍රසාදයට පත්වීමත් සිදු වේ.

බුදුන් කලද සමහර දෙනකුට අමූලික ශ්‍රද්ධාව තිබූ බැවින් නිවන පවා අවබෝධ කර ගැනීමට අපහසු විය. සැරියුත් හිමි ප්‍රඥවන්තයන් අතර අග තනතුර ලැබීම ප්‍රශංසා කොට ඇති මුත් ශ්‍රද්ධාවෙන් යුක්‌ත වූ වක්‌කලි හිමියන්ගේ ශ්‍රද්ධාව ගැන ප්‍රශංසා කොට නොමැත. එයට හේතුව අධික ශ්‍රද්ධාව නිවනට පවා බාධාවක්‌ වන බැවිනි. ආනන්ද, වක්‌කලී, මේඝිය වැනි හාමුදුරුවරුනට නිවන් ලබා ගැනීම ප්‍රමාද වී ඇත්තේද අධික ශ්‍රද්ධාව තිබූ බැවින් බව පැහැදිලි වේ.

ම.නි. කීටාගිරි සූත්‍රය තුළම ශ්‍රද්ධාව පිළිබඳ තවත් විධිමත් විස්‌තරයක්‌ සිදු කොට ඇත. එම සූත්‍රයට අනුව ශ්‍රද්ධාව විවිධ අංශයන් ඔස්‌සේ විකාශනය වන අයුරු පැහැදිලි වේ. නිර්වාණාවබෝධය උදෙසා වැඩෙන සද්ධා සීල, සුත, චාග පඤ්ඤා යන සම්පත් අතර සද්ධා සම්පදා නමින්ද, සද්ධා විරිය, සති, සමාධි, පඤ්ඤා යන ඉන්ද්‍රිය ධර්මයන් අතර සද්ධා ඉන්ද්‍රිය වශයෙන්ද. ඒ ඉන්ද්‍රියම බල ධර්ම වන විට සද්ධා බල නමින්ද තමාම සුරැකෙමින් පමාවට නොනිසි සද්ධා විරිය හිරි ඔත්තප්ප පඤ්ඤා යන අප්‍රමාදී ධර්මයන් අතර සද්ධා නමින්ද ආදී වශයෙන් දක්‌වා ඇත. ඒ කෙසේ දැක්‌ වුවද කෙටියෙන් අවබෝධ කර ගත යුතු වන්නේ ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥවෙන් අවසන් වන බවයි.

නිවන් දැකීම අසීරු වන්නේ ධර්මය අවබෝධ කර ගැනීමට නොහැකි වන බැවිනි. සත්ත්වයා සසර දුක්‌ විඳින්නේද එම හේතුවෙනි. එසේ නම් එම ගැඹුරු දහම අවබෝධ කර ගැනීමට පෙර එම ධර්මය දෙසට යොමු වන ශක්‌තිය වන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව ඇති කල පන්සල් යැමට, මල් පහන් පූජා කිරීමට, දන් දීමට, බුදුන් වැඳීමට ආදී ආමිස පූජාවලට නැඹුරු වනු ඇත. එම නැඹුරු වීමේ කෙළවර ප්‍රතිපත්ති පූජාවද සිදු කිරීමට අපහසුවක්‌ නැත. එසේ නම් නිවනට යන ගමන් මගේ සමාරම්භක අවස්‌ථාව නොහොත් දොරටුව ශ්‍රද්ධාව කීවොත් ඉතා නිවැරදිය. එහිදී අමූලික ශ්‍රද්ධාව ඉවත් කොට ආකාරවතී ශ්‍රද්ධාවම ප්‍රගුණ කිරීමට උත්සාහවත් විය යුතුය. එවිට තුනුරුවන් හරහා නිවන් මඟ පෑදෙනු ඇත. අද බොහෝ දෙනකුට තිබෙන්නේ අමූලික ශ්‍රද්ධාවයි. එම හේතුවෙන් තුනුරුවන්ගේ ගුණ පිළිබඳව නිසි අවබෝධයක්‌ නැත. මල් පූජා කළාට එම ගාථාවේ අර්ථය පිළිබඳ අවබෝධයක්‌ නැත. මේ ආදී වශයෙන් අමූලික ශ්‍රද්ධාව තුළින් නිවන් ලැබීම තබා සැබෑ බෞද්ධයකු වීමටද අපහසු වී ඇත.

සමහර ධනවතුන් තමන්ගේ නම බෝඩ් වල ලියා ගැනීමට හෝ තමන්ගේ නම පිරිස මැද කියවා ගැනීමට තරම් බොළඳ වී ඇත. ඒ අය සිදු කරන්නේ නැති බැරි අසරණ දුප්පත් අයට දීමට නොව තියෙන තැනටම දීමය. එයට හේතුව මැණිකෙ, මැතිනිය, මැතිතුමා ආදී වචන පිට වන්නේ ද පටු පරමාර්ථ තිබෙන ලාභ ප්‍රයෝජනම අපේක්‌ෂිත තැන් වලින් වීමය. කිසිම අවස්‌ථාවක ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වන අය එම ධනවතුන්ගේ වැරදි අඩු පාඩු හැදීමට උත්සාහවත් නොකරති. අමූලික ශ්‍රද්ධාව ආකාරවතී ශ්‍රද්ධාවකට පරිවර්තනය කිරීමට නොයති. එසේ වුවහොත් ඔවුන්ටද මදි පුංචිකමක්‌ කළා කියමින් සිත් අමනාප වෙයිද යන ආකල්පය හේතුවෙනි. යන ආකල්පයෙනි. එවිට ලාභ ප්‍රයෝජන ද නවතිනු ඇත. නමුදු අමූලික ශ්‍රද්ධාවෙන් නම කියා ගැනීමට හෝ නම ලියා ගැනීමට උත්සාහවත් වන එම තැනැත්තියට හෝ තැනැත්තාට උපාදානයෙන් මිය ගොස්‌ සසර තව තවත් දික්‌වී නිවන තබා සෝවාන් වීමටවත් අවස්‌ථාවක්‌ උදා නොවනු ඇත.
සදහම් සඟරා - Online