ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

ඔබ ඔය සුරතල්කරන්නේ සතර අපායයි

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....
'සතර අපායෙන් මිදෙමු' 26 කොටස


තාම ලෙන්ගතුභාවයෙන් සතුන් ඇති කිරීමෙන් සිදුවන භායනක අනතුර නම් ජලභීතිකාවත්, මැලේරියා, බරවා, වැනි රෝගවත් නොවේ. ඒවා වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් විය හැකිය. සතුන් ඇති කිරීමෙන් සිදුවන්නා වූ භයානකම අනතුර ගැන ඔබ අවධානයෙන් සිටිය යුතුය. 

ඔබ සිතන්න ඔබ ඉතා ආදරයෙන් ඇති දැඩි කරපු සතෙක්‌ මියයනවා. මියගිහින් ඔබ ඇසුරේම ප්‍රේත සතෙක්‌ ලෙස උපදිනවා ඔබ නොදන්නවාට මේ ප්‍රේත සතා ඔබ ඇසුරේම ඔබේ නිවසේම ඉඩමේම ජීවත්වෙනවා. මෙවැනි අවස්‌ථාවකදී ඔබ ද වයසට යැම නිසා වෙනත් රෝගී තත්ත්වයක්‌ නිසා හදිසි අනතුරක්‌ නිසා මරණීය තත්ත්වයට පත්වෙනවා. අපිට කියන්න බැහැ අපි කොහොම කොයි මොහොතේ මැරෙයිද කියලා. සමහරු ඉන්නවා හොඳින් ජීවත්වෙලා මැරෙන මොහොතේ අසිහියෙන්, වේදනාවෙන් මියයනවා. මෙවැනි අවස්‌ථාවක තමාගේ මානසික තත්ත්වය බිඳ වැටිලයි තිබෙන්නේ. එවැනි විටක තමා අභිබවා ඔය අමනුෂ්‍ය බලවේග ඉස්‌මතු වෙනවා. ඒ අය මනුෂ්‍යයාගේ දුර්වල මනෝභාවයට පෙනී සිටිනවා. මෙවැනි අවස්‌ථාවක ඔබට ඔය ප්‍රේත සුරතල් සතාව දර්ශනය වුවහොත් ඔබ සුරතල් කළ, ආදරය කළ එම සතා කෙරෙහි ඡන්ද රාගය ඇතිවී තමාත් එම ප්‍රේත සතාගේ ලෝකයේ ඉපදීම සිදුවිය හැකියි. ජීවිතයේදී කාය, වචී, මනෝ කුසල කර්මයන් පුරුදු පුහුණු කර නොතිබුණ හොත් අපි මැරෙන මොහොතේ අධ්‍යත්මිකව වැටිල අසරණවෙන විට අපි ඉදිරියට එන ඕනෑම ප්‍රිය රූපයක්‌ අල්ලාගන්නවා, උපාදානය කර ගන්නවා. අපි ද එහිම බැසගන්නවා. තෙරුවන් කෙරෙහි සද්ධාව නොමැති නිසා, සද්ධර්මය ශ්‍රවණය නොකිරීම නිසා කල්‍යාණමිත්‍ර සේවනය නොකළ නිසා සතර අපාය මොකක්‌ද කියලාවත් මේ අය දන්නෙ නැහැ. තමා ඉදිරියේ පෙනී සිටින ප්‍රේත සුරතලා, ජීවමානව සිටි සුරතලා වශයෙනුයි මේ අය හඳුනාගන්නේ. අවසානයේ ස්‌වාමියා ප්‍රේතයෙක්‌ ලෙසත් ඔහුගේ ප්‍රේත ලෝකයේ සුරතලා ප්‍රේත සතාත් බොහෝම සමීපව ප්‍රේත ලෝකයේ ජීවත්වෙනවා. 

සතුන් කෙරෙහි තෘෂ්ණාව ඇතිකරගත් පිංවතුන් තමාත්, එම අසරණ සතුන්වත් දුකෙන් දුකට පත්කරනවා. ඉහත ස්‌වභාවයන් අවබෝධකරගෙන සතුන් ඇති කිරීම දෙපාර්ශ්වයටම යහපත් වෙනවා. එසේ නොවුන හොත් සතර අපාය තව තව පිරීම හැර වෙනත් විකල්පයක්‌ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේද භික්‍ෂුන් වහන්සේලාට තම පාත්‍රය සෝදා ඉතිරිවන ඉඳුල් වතුරටික පවා සතුන් නොමැති ජලයේ පා කර හරින්න යෑයි අනුදැන වදාළේ, සතුන් ඇති දැඩි කිරීමට නොහැකි ආකාරයට විනය නීති පැනවූවේ ගිහි පැවිදි සැමටම ඉහත සතුන් පලිබෝධයක්‌ වන නිසාමය. අද සතෙකුට කෑමට යමක්‌ දැම්මොත් එම සතා නැවත ඔබ සොයා එනු ඇත. මෙය නැවත නැවත සිදුවීමේදී සතා ඔබේ හිතවතා, සුරතලා වීම අනිවාර්යය. සතාගේ හිතවත්භාවය නිසා, අසරණ භාවය නිසා ඔබ එම සතාට ආහාර ලබාදෙයි. මෙහිදී සිදුවන්නේ තෘෂ්ණාව මත ඇති වන ගනුදෙනුවකි. එම ගනුදෙනු ඔබව මුලාකරනු විනා සත්‍යවබෝධය සදහා නම් උපකාර නොකරයි. ප්‍රේත අලියාගේ ඉරණම සම්බන්ධයෙන් ඉහත සටහන තැබුවේ භික්‍ෂුව එය ගලපාගත් ආකාරයටය. ඔබට එය වැරදි යෑයි හැඟේ නම් පිංවත් ඔබට කැමති ආකාරයට එය ගලපාගත හැකිය. පිංවත් ඔබ කෙසේ ගලපාගත්ත ද සීමාව ඉක්‌මවා ගිය සතුන් කෙරෙහි බැඳීම ඔබේත් සුරතලාගේත් දුක පිණිසම හේතුවේ. සුරතලා කොහොමත් සිටින්නේ සතර අපායේය. එහෙත් ඔබ උතුම් මනුෂ්‍ය ජීවිතයකය. මේ දෙක ඔබ පටලවා නොගතයුතුය. තමාවත් තමාට අයිති නැතිකොට සතර අපායේ සතෙකු තමාගේ කරගැනීමට යැම අනතුරුදායක බව මෙනෙහි කරන්න. ඔබේ සෙවනේ වැඩෙන සුරතලා කුමන සතෙකු වුවද එම සතා පෙර ජාතියක මනුෂ්‍යයෙක්‌ බව හොඳින් සිහිකරන්න. එම මනුෂ්‍යයා තිරිසන් සත්වයෙක්‌ ලෙස සතර අපායට වැටුණේ පෙර මනුෂ්‍ය ජීවිතයේදී තිරිසන් සත්ව සංඥා වැඩු නිසා වීම එක හේතුවක්‌ විය හැකිය. මනුෂ්‍ය ජීවිතය ප්‍රපාතයට හෙලන මෙවැනි හේතූන්ගෙන් ඔබ අත්මිදෙන්න. තිරිසන් සත්වලෝකය විවිධත්වයෙන් පිරී ඇත. මේ විවිධත්වය යනු එම සතුන් ගෙවන කර්ම සහ කර්ම විපාකයන්ගේ ස්‌වභාවයයි. මෙහි පර්යේෂණ කිරීමට, ඇති දැඩි කිරීමට, සුරතල් කිරීමට දෙයක්‌ නොමැත. ඔබ සුරතල් කරන්නේ නම් ඒ ඔබ සුරතල් කරන්නේ සතර අපායේ කර්ම විපාකයකි. ඔබ දක්‍ෂයෙක්‌ වන්නේ සතර අපායේ දුක තිරිසන් සත්වලෝකයේ දුක දැක එය කමටහනක්‌ කර ගෙන සතර අපායෙන් එතෙර වීමෙන්ය. එසේ නොකොට සතර අපාය සුරතල් කිරීමෙන් නොවේ.




මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....


මෙම ලිපි මාලාවේ මෙතෙක්‌ පළවූ ලිපි එකතුවෙන් ඔබ අතට පත්වූ 'මහරහතුන් වැඩි මග ඔස්‌සේ' අතහැරීම 1 සහ අතහැරීම 2 යන පොත් වලට පාඨක ඔබගෙන් වූ ඉල්ලුම සපුරාලීමට විටෙක අප අපොහොසත් විය. එහෙත් මේ වන විට අප දිවයිනේ ප්‍රධාන පොත්හල් මගින් සහ 'දිවයින' අලෙවි නියෝජීතයන් මගින් එම පොත හිඟයකින් තොරව ඔබට ලබාදීමට අප වැඩපිළිවෙලක්‌ සකස්‌ කර ඇත්තෙමු. ඒ අනුව මෙම සතියේ බදාදා සිට පහත සඳහන් පොත්හල්වලින්ද 'අතහැරීම 1' සහ 'අතහැරීම 2' පොත් ලබාගත හැකිය.



තවත් මාස 2ක ඇවෑමෙන් 'අතහැරීම 3 පළමු කොටස්‌ පොතද පළවීමට නියමිත බව පිංවත් ඔබට දැනුම්දීමට කැමැත්තෙමු. 


(මේ සෑම ධර්ම ග්‍රන්ථයක්‌ම ලාභ අපේක්‍ෂාවකින් තොරව අවම මිලට ඔබ අතට පත්වන බව කරුණාවෙන් සලකන්න)

බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානය(නැදිමාල,තුම්මුල්ල), සරසවි පොත්හල (කොළඹ කොටුව, කොල්ලුපිටිය, නාරාහේන්පිට, බොරැල්ල, මහරගම, දෙහිවල, ගම්පහ, මහනුවර, පිළියන්දල, කුරුණෑගල, වත්තල, මාතර, කිරිබත්ගොඩ, ගාල්ල) ශ්‍රී සම්බෝධි පොත්හල- කොළඹ 07, දයාවංශ ජයකොඩි පොත්හළ, සමුද්‍ර පොත්හල (මාතර, මහනුවර, කුරුණෑගල, බොරැල්ල) ලේක්‌හවුස්‌ පොත්හල, සේනාධීර පොත්හල (හෝමාගම)

උපාලි පුවත්පත් ප්‍රධාන කාර්යාලය බ්ලුමැන්ඩල් පාර, කොළඹ 13, උපාලි පුවත්පත් දැන්වීම් කාර්යාල, කොළඹ කොටුව, මහනුවර ක්‌වීන්ස්‌ හෝටලය, වජීර හවුස්‌ බිල්ඩර්ස්‌, වජීර පාර, බම්බලපිටිය.

මෙම පොත් අවශ්‍ය වෙනත් පොත්හල් හෝ පිරිස්‌ වේ නම් 

071-2199900 දුරකථන අංකයට අමතන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
 
2013 ජනවාරි 27 ඉරිදා දිවයින

මේ දුකදැයි සිහියෙන් බලන්න

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....
'සතර අපායෙන් මිදෙමු' - 27 කොටස


වනගත ආරණ්‍යවල හුදකලා වනවාසී කුටිවල වැඩසිටින ස්‌වාමීන් වහන්සේලා ගත කරන්නේ සමහරවිට දුෂ්කර ජීවිතයකි. මෙය සටහන් තබන වේලාවේ භික්‍ෂුව වැඩසිටින්නේ රුහුණු ප්‍රදේශයේ වනගත ආරණ්‍යයකය. මේ වන විට මාස කිහිපයකින් මෙහෙට වැසි නැහැ. පරිභෝජනයට ගන්න තිබෙන වැව් දෙකම හිඳිලා. ඒ හිඳීගිය වැවේ ඇති සුළු වතුර ප්‍රමාණයේ අලින් නානවා, සත්තු වතුර බොනවා, කිඹුල්ලුත් බැසගෙන ඉන්නවා. ලුණු ගතිය වැඩිනිසා මාළුත් මැරිල උඩ පාවෙනවා. ඒ කියන්නේ දිනෙන් දින හිඳෙන සීමිත ජල ප්‍රමාණයට අපවිත්‍ර දෑ මිශ්‍රවෙනව වැඩියි. මෙම ජලය තමයි 'පිල්ටර්' කරල සැවොම වළඳන්නේ. ඒ උනත් මේ ජලය පිරිසිදුයි. අපුලක්‌ දැනෙන්නේ නැහැ. සමහර වියළි කලාපයේ ආරණ්‍යවල ජලය හිඟ නිසා ශාරීරික අවශ්‍යතා සඳහාද ජලය සොයා ගන්නේ ගල් වලකින්, පොකුණකින්. බොහෝම තෘප්තියකින් තමයි පිංවත් ස්‌වාමීන් වහන්සේලා මෙහෙම, අවම පහසුකම් වලිනුත් තොරව තම නිවීමේ ප්‍රතිපදාවේ යෙදෙන්නේ. අපේ පිංවත් දායක මහත්වරුන් මෙවැනි භික්‍ෂුන්ගෙන් අසන ප්‍රශ්aණයක්‌ තමයි 'ඔබ වහන්සේලා කැලයට වෙලා දුක්‌විඳින්නේ ඇයි' කියලා. භික්‍ෂුවට තේරෙන්නෙ නැහැ ඇයි ඒ පිංවතුන් මෙහෙම අහන්නේ කියලා. කැලේ ජීවත්වන විට සතියකට වරක්‌ තමයි හිස රැවුල බාන්නේ. භික්‍ෂුව දරා සිටින්නේ දුඹුරු පාට චීවරය. වියළි පරිසරය නිසා ශරීරයේ වියළි ස්‌වභාවයක්‌ තමයි දරන්නේ. මේ ස්‌වභාවයන් දැක්‌කම ගිහි පිංවතුන් සිතනවා භික්‍ෂුන් වහන්සේලා දුක්‌විඳිනවා කියල.

එක්‌ අවස්‌ථාවක භික්‍ෂුවට මතකයි මිනිස්‌ වාසයෙන් හුඟාක්‌ ඈත ආරණ්‍යයක වැඩසිටියදී කුටියේ සිට දානයට පිංඩපාත ශාලාවට කැලය මැදින් වඩින විට වන්දනාවේ පැමිණි නඩයක පිංවත් වයස අවුරුදු දොළහක්‌ පමණ දැරියක්‌ පාත්‍රය එල්ලාගෙන පැමිණෙන භික්‍ෂුව දැකලා තමන්ගේ මවගෙන් අහනවා 'මොකෙද්ද අම්මේ ඒ කියලා' ඒ කියන්නේ 'අමුතු සතෙක්‌' හැටියට තමයි ඒ පිංවත් දැරිය භික්‍ෂුවව දැක්‌කේ. ඒ කථාව ඇසෙද්දී මට හරි නිරාමිස සතුටක්‌ දැනුණා. මට හිතුනා භික්‍ෂුව මේ ලෝකයට අයිති නැති කෙනෙක්‌ය කියලා. භික්‍ෂුව මේ ලෝකයේ හැමෝටම වඩා වෙනස්‌ කෙනෙක්‌ය කියලා. කොයිහැටි වෙතත් ඔබ කවදාකවත් භික්‍ෂුන් වහන්සේ නමකගෙන් එහෙම අසන්න එපා. එහෙම සිතන්න එපා. මොකද එය මේ ලෝකයේ තිබෙන ලොකුම මුසාවාදය වෙනවා. මෙය සටහන් තබන භික්‍ෂුව මොනම කටුක පරිසරයකදීවත් කවදාකවත් කැලයේ අසතුටින් ඉඳලා නැහැ. පිංවත් වනවාසී ස්‌වාමීන් වහන්සේලා බොහෝම තෘප්තියකින්, නිදහසකින්, හුදකලාවකින් තමයි කැලයේ නිවන් මග වඩන්නේ. දුකක්‌ කොතැනද මේ හුදකලාව තුළ. මෙතනදි පිංවත් ගිහිපිංවතුන් පටලවාගෙන තිබෙන්නේ දුක සහ සැපයේ ස්‌වභාවය. තමන් ගෙවල් දොරවල්, ඉඩකඩම්, දරුමල්ලන්, ඥාතීන්, නිලතල, තනතුරු වැනි මහා දුක්‌ ගොඩකට මැදිවෙලා. මේ සියල්ලෙන්ම මිදී නිදහස්‌ව නිස්‌සරණ ජීවිත ගත කරන භික්‍ෂුන් වහන්සේලාගෙන් පිංවතුන් අසනවා 'ඇයි දුක්‌ විඳින්නේ?' කියලා. අපි කිසිම දුකක්‌ විඳින්නේ නැහැ. බොහෝම සැනසිල්ලේ තමයි මෙහි ජීවත් වෙන්නේ. අතහැරීම තුළ භික්‍ෂුන් වහන්සේලා ලබන සැපය, සංහිඳීම පිංවත් ඔබලාට සිතාගන්නවත් සමහරවිට බැරිවෙයි. ඔබත් ජීවිතයේ බැඳීම් අඩු අයෙක්‌නම් ඔබට මේ සැපය දැනී ඇත. එසේ නොවුන අය භික්‍ෂුන් වහන්සේලා කෙරෙහි ආදරයෙන් ඉහත ප්‍රශ්ණය අහන්නේ. 

හැබැයි මෙයත් සටහන් කරන්න ඕනේ. වනවාසීව ආරණ්‍යගතව වැඩසිටියත් යමක්‌ කෙරෙහි තෘෂ්ණාවක්‌ ඇතිකරගෙනනම් ජීවත්වෙන්නේ ඒ ජීවිතවලටද සැපයක්‌ නැහැ. දුක තමයි තිබෙන්නේ. මොකද කැලයේ පරිසරයට, වනසතුනට, ඇළදොලට, පුරාවස්‌තුවලට තණ්‌හාවෙන් මේවාට ඇලිල මේවා සොයන්න, ගවේෂණය කරන්න, ආරක්‍ෂා කරන්න වෙහෙසෙන ස්‌වාමීන් වහන්සේලාත් වැඩ සිටින්න පුළුවන්. හැබැයි සැබෑ ආර්යඅෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරන ස්‌වාමීන් වහන්සේලාට කිසිම දුකක්‌ වනවාසී ජීවිතය තුළ නැහැ. 

ගිහි පිංවතුන් නිතරම තම වසඟයේ තබාගත නොහැකි ඇසත්, කනත්, නාසයත්, දිවත්, මනසත්, කයත් මගේ කරගෙන ඒවාට ආහාර සොයන්න වෙහෙසෙනවා. ඔබට දැනෙන්නේ නැහැ ඇසත් ඇසට දෙන ආහාරත් අනිත්‍යබව. අනෙක්‌ ආයතන පහත් එසේමයි. ඒවාට ලබාදෙන ආහාරත් අනිත්‍යවන දේවල්මයි. මේ නිසාම ඔබ නැවත නැවතත් වෙහෙසෙනවා මේවායේ කුස ගින්න නිවන්න. මේ ගින්දර අවුළුවන්නේ අධ්‍යාත්මික බාහිර රූප දෙකත් විඤ්ඤාණයත් හේතුවෙන් සකස්‌වෙන ඵස්‌සය නිසාමයි. මේ ඵස්‌සය වුනේ ගින්දරත් පිදුරුත් බව නොදැන ඔබ ඵස්‌සය හේතුවෙන් සකස්‌වුන වේදනාව මගේ කරගන්නවා. නමුත් ඔබ මගේ කරගෙන තිබෙන්නේ ගිනි ගොඩක්‌. ඔබ ඒ ගිනි ගොඩවල් නිසාම වර්තමානයේ තැවෙනවා, දුම්දමනවා, රත්වෙනවා, ගිනිගන්නවා. වර්තමානය කියලා සටහන් කරනවිටම ඒ සදහන්කළ වර්තමානය අතීතයට ගොස්‌ ඉවරයි. මේ අත්ඳකින්නේ රූපය අනිත්‍යභාවයට පත්වෙන වේගයයි. මේ වේගය පංචඋපාදානස්‌කන්ධයටම පොදුයි.මේ අනිත්‍ය ස්‌වභාවයේ යථාර්ථය තමයි වනවාසී භික්‍ෂුන් අත්දකින්නේ. මෙයින් අදහස්‌ වෙන්නෙ නැහැ වනවාසී භික්‍ෂුන්වහන්සේලා අන්ධ, ගොළු, බිහිරියි කියලා. උන්වහන්සේලා ආශ්වාදයේ කෙටිබව දැකලා, ආදීනවයේ දිගුබව වියරුබව දැකලා කාමයේ නිස්‌සරණයමයි සොයන්නේ. රූපයේ නිස්‌සරණයමයි සොයන්නේ. මෙතන තියෙන්නේ පලායාම නොවේ. මගහැරීම නොවේ. අවබෝධයෙන් අතහැරීමයි. අතහැරීමෙන් නිදහස්‌වීමයි.

මේ මොහොතේ භික්‍ෂුව අත්දැකීමට ලැබුණු සිද්ධියක්‌ මතක්‌වුණා. දිනක්‌ භික්‍ෂුව කැලයේ කුටියක සිට පිණ්‌ඩපාතය සොයා ගමට වඩින්නට පිටත්වුණා. හිමිදිරියේ කුටියෙන් එළියට බහිනවිට වැසිවසින ලකුණක්‌ පෙනෙන්ට තිබුණේ නැහැ. දැන් භික්‍ෂුව කුටියෙන් එළියට බැහැල කිලෝමීටර් දෙකක්‌ පමණ ඇවිදින් තිබෙනවා පිණ්‌ඩපාතය සොයන්න. කිලෝමීටර් කාලක්‌ යන්න හම්බවුනේ නැහැ කැලය මැදදිම මහා වැස්‌සක්‌ වසින්න පටන් ගත්තා. ලැබුණු අභියෝගයේදී භික්‍ෂුව අධිෂ්ඨානයක්‌ ඇතිකරගත්තා අනෝරා වැස්‌සක්‌ වැස්‌සද වැස්‌සෙන් මිදීමට සෙවනකට නොයනවා කියලා. දැන් වැස්‌සෙන් සිවුර, ශරීරය, පාත්‍රතවිකය හොඳටම තෙමිලා. ගෙවල් කිහිපයකට වැඩමකරලා අවශ්‍ය ආහාර සොයාගත්තා. සමහර දායක පිංවතුන් ඇසුවා හාමුදුරුවනේ කුඩයක්‌ දෙන්නද කියලා. සමහරු කුඩයක්‌ ඉහලලම දෙන්න උත්සහ කළා. භික්‍ෂුව ප්‍රකාශ කළා මහත්මයෝ එළියට බසිනවිට වැසි වසියි කියලා සිතුවේ නැති නිසා කුඩය ගෙනාවේ නැහැ. දැන් ඉතින් හොඳටම තෙමිල නිසා කුඩයක්‌ අවශ්‍ය නැහැ. මෙහෙමම කුටියට වඩිනවාය කියල. ඒත් ඒ සද්ධාවන්ත පිංවතුන්ට එය ලොකු දුකක්‌ වුනා. ඒ මොහොතේ වැස්‌සට තෙමී සිටි භික්‍ෂුව දුටුවානම් ඔබ සිතන්නේ අනේ මේ හාමුදුරුවෝ වුවමනාවෙන් දුක්‌විඳිනව කියල. ගෞරවණීය, වන්දනීය නායක ස්‌වාමීන් වහන්සේලා පවා සමහරවිට ප්‍රකාශ කරනවා කැලේට යන්නේ දුක්‌විඳින්නද කියලා. කැලේ වනවාසී ජීවිත දුකක්‌ නොවන්නේ කොහොමද කියල භික්‍ෂුව ඔබට පහදා දෙන්නම්. ඔබ දන්නවද බලාපොරොත්තු නොවු ආකාරයට කඩාවැටුණු මහ වැස්‌සෙ තෙමි තෙමි තෙත බරිත වෙලා වඩින භික්‍ෂුව මොනතරම් සන්හිඳීමකින්ද වඩින්නෙ කියලා. ඔබට දැන් ප්‍රශ්ණයක්‌ මතුවෙන්න පුළුවන් භික්‍ෂුවට මොළේ අමාරුවක්‌ද කියලා. ඇයි හාමුදුරුවො කියනවා වැස්‌සෙ හොඳටම තෙමිල වඩින්නේ සංහිඳීමකින් සැපයකින් කියලා. සත්‍යකින්ම එය ලෝකයේ ශේ්‍රෂ්ඨම සැපයක්‌ ආර්යයන් වහන්සේලා පමණක්‌. අත්විඳින සංහිඳීමක්‌. ලෝකයට හොරා ලබන සංහිඳීමක්‌ සැපයක්‌. නමුත් දෙවියන්, බ්‍රහ්මයන් පමණක්‌ දකිනා සැපයක්‌. ඔබ දන්නවාද භික්‍ෂුව එම සංහිඳීම සැපය ලබන්නේ කොහොමද කියලා. මහා වැස්‌සේ තෙතබරිත වෙච්ච ශරීරය සිවුර බාහිරින් පෙනුනද භික්‍ෂුවට ශරීරයේ එක රෝම කූපයකටවත් ශීතලක්‌ දැනුනෙ නැහැ. දැනෙන්නේ නැහැ. භික්‍ෂුවට වහිනවද තෙමිලද කියල තේරුමක්‌ නැහැ. ඇයි දන්නවද ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකර වදාල ප්‍රතිප්‍රදාවේ ආශ්චර්ය ප්‍රාතිහාර්යන් නිසා. භික්‍ෂුව කුටියෙන් පිටවෙලා වැස්‌ස පටන්ගත් මොහොතේම තේජෝ මනසිකාරයට සමවැදිලයි වැඩියේ. භික්‍ෂුqව මුළු ශරීරයේම තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය සිතෙන් වැඩිකරගන්නවා. හරියට දැඩි ලෙස උණෙන් පෙලෙන අයෙක්‌ වගේ ශරීරය එවිට උණුසුම් වෙනවා. මේ උණුසුමට වැස්‌ස කෙසේනම් දුකක්‌ දෙන්නද? මෙවැනි විටක වැස්‌ස නවත්වන්න කාටවත් බැහැ. එය ලෝක ස්‌වභාවයක්‌. ලෝක ස්‌වභාවයන් වළක්‌වන්න නිවන් මග වඩන්නන්ට බැහැ. නමුත් එම ස්‌වභාවයන් අවබෝධයෙන් හඳුනාගෙන ඒවායේ නොඇලී නොගැටී ඉන්න භික්‍ෂුවට පුළුවන් වෙන්න ඕනේ. ආර්යයන් වහන්සේ කියන්නේ වැස්‌සත් උෂ්ණත්වයත් ජයගත්ත කෙනෙක්‌. ලොව බලසම්පන්න පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතූන් විනිවිද දුටු කෙනෙක්‌. උන්වහන්සේලා දන්නවා සතරමහා ධාතුව තමන්ට අවශ්‍ය ආකාරයට ගලපාගන්න, පෙරලාගන්න. ඇයි සතරමහා ධාතුවේ ස්‌වභාවය අවබෝධකර අවසන් නිසා. නිරතුරුවම වෙනස්‌භාවයට පත්වෙන සතරමහා ධාතූන් ප්‍රඥාව අවබෝධය හමුවේ අසරණයෙක්‌මය. 

දැන් ඔබ මෙය ඔබේ ජීවිතයට ගලපාගන්න. වනවාසී භික්‍ෂුන් දුක්‌විඳින පිරිසක්‌ නොවේය කියල දැනගන්න. සැබෑ බුදුපුතුනට පුළුවන් අවශ්‍ය අවස්‌ථාවක තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය සිතින් වැඩිකර ශරීරය උණුසුම් කරන්න, ශරීරය ගිනි තබාගන්න, ශරීරය අළු දූවිලි හැටියට දකින්න. මුළු ලෝකයම තේජෝ ධාතුවෙන් ගිනිඅවුළුවා මුළු විශ්වයම, දස දිශාවම ගිනිගොඩක්‌, අළු ගොඩක්‌ ලෙස දකින්න. අනෙක්‌ ධාතූන්ද ඉහත ආකාරයට අවශ්‍ය අවස්‌ථාවේදී ක්‍රියාකාරීත්වය අඩු වැඩි කිරීමේ ශක්‌තිය ආර්යන් වහන්සේට තිබෙනවා. එම නිසා පිංවත් ඔබ නොදැනුවත්භාවය නිසා වනවාසී, ආරණ්‍යවාසී භික්‍ෂුන් දුක්‌විඳිනවාය කියනවානම් එය ලෝකයේ තිබෙන ලොකුම මුසාවාදය වනු ඇත. එම නිසා ඔබට වඩා දසමයකින් හරි ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ඉදිරියෙන් සිටින පන්සල් වේවා ආරණ්‍යය වේවා පැවිදි උතුමෙකුට සහතික දීමට ඔබ ඉක්‌මන් නොවන්න. එය ඔබලාගේ සැපය පිණිසම හේතුවෙනවා ඇත. පිංවත් ඔබලාද කළයුත්තේ සතරමහා ධාතුවේ ස්‌වභාවය අවබෝධයෙන් හඳුනාගෙන අධික ශීතලද දැඩි රශ්ණයක්‌ බවට පත්කළහැකි ඝණ දැඩි ස්‌වභාවය දියරයක්‌ බවට පත්කළහැකි ඇතිවෙමින් නැතිවෙන සිතේ හැකියාවන් දියුණුකළ ප්‍රඥාවෙන් හඳුනා ගැනීමය. 

මාර්ගය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇත. එම ධර්මය අත්දැකීමට අපි සැවොම පිංකර ඇත්තෙමු. මග වැඩු ගුරුවරයෙකුගේ, කළ්‍යාණ මිත්‍රයෙකුගේ ඇසුරකින් තොරව ඉහත ස්‌වභාවයන් ඔබ අත්දැකීමට ගියොත් කායික මානසික රෝගියෙක්‌ වීමේ ඉඩකඩ වර්තමාන සමාජයේ ඉතා වැඩිබව සිහිතබාගන්න. ඉහත සටහන තබන භික්‍ෂුවද කුඩයක්‌ පාවිච්චි නොකර වැස්‌සේ වැඩිය මුල්ම අවස්‌ථාව මෙන්ම අවසාන අවස්‌ථාවද එයම බව හොඳින් මතක තබාගන්න. ඊට හේතුව වුqයේද කුටියෙන් පිටවන මොහොතේ වැසි ලකුණු නොතිබුණු නිසාය. යම් හෙයකින් වැසි ලකුණු තිබුනානම් භික්‍ෂුව අනිවාර්යෙන්ම කුඩය සමගයි වඩින්නේ. මොකද මේ ආශ්චර්යමත් ප්‍රතිපදාවන් අවබෝධය ලබා අතහැරදැමීම සඳහා මිස ලෝකයාගෙන් ලකුණු ලබාගැනීමට නොවන නිසාය. තමා කවුද යනු අවබෝධයෙන් හඳුනාගත් පසු තමා තමාටද අතහැරෙනු ඇත. මන්ද තමා තුළද ඇත්තේ හේතුඵල ධර්මයන්ගෙන් සකස්‌වුවක්‌ මිස සත්වයෙක්‌ ඔහු නොදකින නිසාය. සෑම බුදුපුතෙකුම පන්සලක වැඩසිටියද, ආරණ්‍යයවාසීව වැඩසිටියද තෘෂ්ණාවෙන්, චන්ද රාගයෙන් යමක්‌ අල්ලා නොගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්නේ නම් උන්වහන්සේ ලබන්නේ සංහිඳීමක්‌මය, සැපයක්‌මය.

ඉන්ද්‍රජිත් සුබසිංහ

ආදීනව නොපෙනෙන අශ්වාදයද ආදරය?

'සතර අපායෙන් මිදෙමු' - 28 කොටස

තවත් වැලන්ටයින් දිනයක්‌ අත ළඟය. මෝහයට මෝස්‌තර දමා 'ආදරය' යෑයි ආටෝපයක්‌ සරුවට සමාජගත කරන්නේය. සරු දේ නිසරු වශයෙනුත් නිසරු දේ සරු වශයෙනුත් ගත් අහිංසක තාරුණ්‍යය මුලාවෙන් මුලාවට පත්වන්නේය. සැබෑ සැනසීම වෙනුවට කාමයේ ආශ්වාදය තුළ වැනසීමට පාර කපන්නේය. පරිහානියෙන් පරිහානියට යන ලෝකයේ ඒ 'නන්නත්තාර' රැල්ල නැවතීම (හේතු ඵල අනුව) අපට නොහැකිවුවද, සරු දේ සරු වශයෙන් ගලපාගැනීමටත් නිසරු දේ නිසරු ලෙසින් බැහැර කිරීමත් පහසුවක්‌ වනු පිණිස ආදරය ගැන සඳහන් මේ සටහන මෙම සතියේ ඔබට පිදීමට අපි තීරණය කළෙමු. 

තාරුණ්‍යය කියන්නේ බොහෝම සුන්දර තැනක්‌. ලස්‌සන, කඩවසම්, ලාලිත්‍යය, රිද්මය, ප්‍රභාෂ්වරබව තාරුණ්‍යයත් එක්‌ක ජීවිතයට එකතුවෙන ධර්මතාවයන්. ශරීරය තුළ කුළුඳුලේ නිපදවන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා සතරමහා ධාතුව හොඳින් දීප්තිමත්ව හැඩවැඩ වෙන කාලයක්‌ මේ තාරුණ්‍යය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා 'මහණෙනි, රූපයේ ආශ්වාදයක්‌ තිබෙනවා. මම රූපයේ ආශ්වාදයක්‌ නැහැ කියන්නේ නැහැ' කියලා.

රූපයේ ආශ්වාදය තමයි නව යොවුන් දරුවෙකුගේ, දැරිවියකගේ රූපයේ ලාලිත්‍යය, හැඩය, ප්‍රභාෂ්වරබව. මෙතන ආශ්වාදයක්‌ තිබෙනවා. ඒ නිසාමයි සත්වයා මේ තාරුණ්‍යයෙන් යුත් රූපයට බැඳීයන්නේ. ඒ රූපය තුළ බැසගන්නේ. මෙන්න මේ රූපයේ ආශ්වාදයට මත්වෙන අපි රූපයේ ආශ්වාදය වගේම රූපයේ ආදීනවයකුත් තිබෙන බව අමතක කරනවා. බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා රූපයේ ආදීනවය තමයි ඔය ප්‍රභාෂ්වර කාන්තිමත් රූපය ක්‍රමාණුකූලව වයෝවෘද්ධභාවයට පත්වීම කියලා. 

වයස හැට පිරිණු විට රූපය වැහැරී මහල්ලෙක්‌ මැහැල්ලක්‌ බවට පත්වෙනවා. රූපයේ ආශ්වාදය කියන්නේ බොහෝම කෙටිකාලයක්‌ පවතින දෙයක්‌. නමුත් එහි ආදීනව බොහෝම දිගයි. තාරුණ්‍යය නිසා අපි ඇතිකරගන්නා රාග, ද්වේෂ, මෝහ සිතුවිලි නිසා ආදීනවය කියන කාරණය කල්ප ගණනාවක්‌ දිග වෙන්න පුළුවන්.

තාරුණ්‍යය සමග අත්වැල්බැඳගන්න ධර්මතාවයක්‌ තමයි ආදරය. තාරුණ්‍යයත් ආදරයත් එකතුවෙච්ච තැනදී ආශ්වාදයෙන් මත්වීම නිසාම ආදීනවය දැකීමේ හැකියාව අන්ධවෙනවා. මේ අන්ධභාවය නිසා ඇතිකරගන්නා අනතුරු හේතුවෙන් අහිමිකරගත් ජීවිත, විනාශකරගත් ජීවිත කොපමණද? 

තම ජීවිත තුළ රාග, ද්වේශ, මෝහ අකුසල මූලයන් ශක්‌තිමත් කරගන්න සමාජයක්‌ අපි ඉදිරියේ තිබෙනවා. මෙය ධර්මයේ කැඩපතක්‌. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා ක්‍රමාණුකූලව මනුෂ්‍යයාගේ ආයුෂ පිරිහීමට පත්වෙනවා කියලා. ඒ කියන්නේ අනාගතයේදී මනුෂ්‍යයගේ පරමායුෂ අවුරුදු 10 ක්‌ බවට පත්වෙනවාය කියල. එම කාලයේදී වයස අවුරුදු 05 වනවිට මනුෂ්‍යයෙක්‌ විවාහ වෙනවා. වයස අවුරුදු 07 වන විට දරු මුණුපුරන් ලබල මැරිල යනවා. මොකද පරමායුෂ වසර 10 යි. මෙන්න මේ තැනට ලෝකය දැන් යමින් පවතිනවා. අපි මේ රටේ ලෝකෙ සිද්ධවෙන සිදුවීම් දෙස කම්මුලට අත තබාගෙන බලා සිටින්නේ අදහාගන්න බැරුව වගේ. ඒත් මේ අරුමයක්‌ නෙවෙයි. සම්මා සම්බුද්ධ මුවින් දේශණා කළ ලෝකයේ ගමන් මාර්ගයම තමයි.

මනුෂ්‍යයාගේ ආයුෂ කෙටිවෙන්න, කෙටිවෙන්න වර්තමානයේ මනුෂ්‍ය චර්යාවන්ද කෙටි වෙනවා. අද කාලයේ දරුවෙක්‌ වයස අවුරුදු 7, 8 වනවිට වැඩිවියට පත්වෙනවා. ඒ කියන්නේ ලාබාල වයසේදීම දරුවන් වැඩිහිටියන් බවට පත්වෙනවා. ලාබාල වයසේදීම වැඩිහිටිභාවයට අදාල මානුෂික අවශ්‍යතාවයන්ට ඒ අය බැඳී යනවා. ළමා වයසේදීම විරුද්ධ ලිංගිකයන් සමග ආදරයට හා ඒ හා සමාන බැඳීම්වලට ඇදීයනවා. දරුවෙක්‌ තුළින් වැඩිහිටියෙක්‌ මෙන්ම, එහි අනෙක්‌ පැත්ත හැටියට වැඩිහිටියෙක්‌ තුළින් තරුණයෙක්‌ දැකීමට ඔබට සිද්ධවෙයි. මේවා ආයුෂ පිරීහීමත් සමග ඇතිවෙන හේතුඵල ධර්මයන්. මෙය වැඩිහිටි පරපුරට එක්‌තරා අභියෝගයක්‌ වෙන්න පුළුවන්. නමුත් සම්බුදු ධර්මයට අනුව ගලපා බලනවිට මෙතන කිසිම අභියෝගයක්‌ නැහැ. ලෝකය යායුතු ගමන හැඩවැඩ වෙමින් යනවා. නමුත් මේ ගමන දැකලා සතුටුවෙන්ට ඔබට බැහැ. ඔබ කුමන වෙහෙසක්‌ ගත්තද මේ ගමන නවත්වන්නත් ඔබට බැහැ. මේවා හේතුඵල ධර්මයන්ය.

මීට වසර දෙදහස්‌ පන්සියයකට පෙර අවුරුදු 160 ක්‌ ආයු වැළ» බක්‌කුල මහරහතන් වහන්සේ වැඩසිටියා. ඒත් ඒවා දුර්ලභ පාරමී ශක්‌තීන් නිසා සකස්‌වූ ඵලයන්. එදා මනුෂ්‍යයාගේ පරමායුෂ පැවතියේ අවුරුදු 120 යි. නමුත් මේ මොහොතේ වසර දෙදහස්‌ පන්සියයක්‌ ගෙවුන තැනදි මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 65ක්‌ දක්‌වා පමණ අඩුවෙලා. ඒ කියන්නේ මනුෂ්‍යයෙකුගේ ආයුෂ අඩකට සමාන ප්‍රමාණයකින් අඩුවෙලා. ඒ සා ආයුෂයක්‌ අඩුවන්නට ගතවූ කාලය ලෝකය අස්‌වාභාවිකත්වය කාර්මීකරණය දෝරගලා ගිය යුගයක්‌ නොවෙයි. සරල ස්‌වභාවිකත්වය තුළ ලෝකය පැවති කාලයක්‌. නමුත් ඔබ වර්තමානය අනාගතය තුළ දකින්නේ අතිශය අස්‌වාභාවික කාර්මීකරණය දෝරගාලා ගිය ලෝකයක්‌. රසකාරක, කෘමිනාශක, වල්නාශක.... මත රැඳුණු ලෝකයක්‌. ඒ හේතුව නිසාම මනුෂ්‍යයාගේ ආයුෂ අතීතයට වඩා මහාවේගයකින් හීනවෙනවා. වර්තමාන ලෝකය ගමන් කරන දැඩි කාර්මීකරණය, කෘතිම ආහාරකරණය දෙස බලනවිට තව වසර එක්‌දහස්‌ පන්සියයක්‌ ගිය තැනදි මනුෂ්‍යයාගේ පරමායුෂ අවුරුදු 10 කියන තැනට පත්වීමේ හැකියාව කාටවත්ම බැහැර කරන්න බැහැ. මොකද ගෙවීගිය වසර දෙදහස්‌ පන්සියයට වඩා අතිශය ව්‍යාකූල එක්‌දහස්‌ පන්සියයක්‌ ඉදිරියේ එළඹෙන්නේ.

අපි තරුණ කාලයේදී ආදරය කියන හැඟීමක්‌ අප තුළ සකස්‌ වුනේ අවුරුදු 20 පසුවුණාට පසුව. ඒත් අපි ආදරය ගැන කතාකරන්න බය වුණා ලැ-ජා වුණා. නමුත් වර්තමානයේ අවුqරුදු 15 වනවිට ආදරය කරල ආදරයෙන් පරාජයවෙලා මුහුදට, ගඟට පැනල, වසබීල ජීවිත නැති කරගන්න කොතෙක්‌ තරුණ ජීවිත මේ සමාජයේ ඇතිද? තමාට වූ ආසාධාරණය වසාගෙන ජීවත්වන චරිත සමාජයේ කොතෙක්‌ ඇතිද? මේවායේ ගණන් හිලව් වැඩිවීමක්‌ මිස අඩුවීමක්‌ සිතීම විහිළුවකි. 

ලෝකය යමක්‌ සුන්දරයි කියල දැක්‌කහම අපි ඒ සුන්දරත්වයට රැවැටෙනවා. ඔබ සිතන්නේ ඒ සුන්දරත්වය ලෝකයට අයිති දෙයක්‌ කියලා. ඒ සුන්දරත්වය ලෝකයට අයිති දෙයක්‌ නොව ඔබ තුළින්ම එම රූපය කෙරෙහි ඔබ සකස්‌ කරගන්නාවූ ඡන්ද රාගය නිසාම ඔබ තුළ සකස්‌කරගත් සිතුවිලි සමුදායකි. මෙන්න මෙතනදී ඔබ රැවටීමට ලක්‌වෙනවා. මොකද අනුන් නිසා ඔබ තුළින්ම සකස්‌කරගත් හොඳයි කියන මිම්මක්‌, සීමාවක්‌ තුළ සිට ලෝකයාට පුද්ගලයාට බැඳීයනවා. රූපය නිසා තෘෂ්ණාවෙන් බැඳුණ සිතට පුදුමාකාර හැකියාවක්‌ තිබෙනවා ඇඳුමකින් වසා තිබෙන කසළ ගොඩක්‌ රත්‍රං ගොඩක්‌ කරලා දකින්න. මනුෂ්‍යයාගේ ආයුෂ පිරිහෙන්න පිරිහෙන්න මනුෂ්‍යයා සූදානම් නැහැ තමාගේ ආයුෂ අඩුවෙනවාය යන්න පිළිගන්න. එය සද්ධර්මය කෙරෙහි ඇති දුරස්‌ථභාවය නිසාම සිදුවන්නක්‌. එවැනි අය යමෙක්‌ අවුරුදු 50 - 60 ක්‌ ජීවත්වෙලා මැරුනොත් එම මරණයට කියන්නේ අකල් මරණයක්‌, හදිසි මරණයක්‌ කියලා. ධර්මයේ යථාර්ථය, සංස්‌කාරධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිගන්න සූදානම් නැහැ. තවත් පැත්තකින් මනුෂ්‍යයාගේ ආයුෂ පිරිහෙනවාය කියන කාරණය පිළිගන්න සූදානම් නැති නිසා අවුරුදු 50 - 60 දී ආදරය සොයන කාමය සොයන වැඩිහිටියන්ගේ සමාජයක්‌ බිහිවෙනවා. මොකද මේ අය දකින්නේ තවම පරමායුෂ අවුරුදු 120 ක්‌ පමණය කියලා. මේ අය අවුරුදු 65 න් මියයාමේ බලාපොරොත්තුවෙන් නොවේ සැලසුම් සකස්‌ කරන්නේ. මරණය ජීවිතයෙන් ගොඩාක්‌ ඈතට දමනවා. ඒ කියන්නේ ධර්මයෙන් ඈතට යනවා. පුළුවන් තරම් මරණය ජීවිතය කිට්‌ටුවට ගන්න. එවිට ඔබ ධර්මයට සමීප වෙනවා. කෙනෙක්‌ ධර්මයෙන් හොඳටම දුරස්‌ වුණොත් ඔහු හිතන්නේ නැහැ තමන් මැරෙනවාය කියල. මරණය ගැන හිතන්න බය කෙනා ඉබේම ධර්මයෙන් ඈතට යනවා. බුදුරජාණන් වහන්සේ දේශණා කළ ධර්මය තුළ සිට ලෝකය දකින්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
2013 පෙබරවාරි 10 ඉරිදා දිවයින
සදහම් සඟරා - Online