මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
'සතර අපායෙන් මිදෙමු' - 41
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 'පිංවත් අනුරුද්ධ, බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත්කරන්නවත්, ජනතාව සුරතල් කරන්නවත්, ලාභ සත්කාර ලබන්නටවත්, මා ගැන මෙසේ යෑයි හඳුනාගැනීමටවත් නොවේ. ශ්‍රාවකයින්ගේ මෙලොව, පරලොව යහපත උදෙසාමයි' කියලා. බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලොව පරලොව ඉලක්‌කකොට පමණක්‌මයි. මේ සා අසිරිමත් රැකවරණයක් වූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාගුණයේ රැකවරණය දරුවෙක් උදෙසා, බිරිඳක්, ස්‌වාමිපුරුෂයෙක්, තනතුරක්, දේපලක් උදෙසා මගහරිනවානම් එම අනුවණකමේ විපාකයන් ඔබට අනාගතයේදී අවුරුදු ලක්‍ෂ ගණනාවක් ගෙවන්නට සිදුවේවි.
පිංවත් ඔබට අයිති නැති දරුවෙක්, බිරිඳක්, ස්‌වාමිපුරුෂයෙක් උදෙසා ඔබට අයිති සද්ධර්මයේ රැකවරණය අහිමි කරගන්න එපා. මේ කෙටි මනුෂ්‍ය ජීවිතය, අතිදීර්ඝ දුකෙන් මිදීම උදෙසාම ප්‍රයෝජනයට ගන්න. බුදුරජාණන්වහන්සේ සාරසංඛ කල්ප ලක්‍ෂ ගණනාවක් දස පාරමීධර්ම පිරුවේ පිංවත් ඔබ උදෙසාමයි. ඇස් ගලව ගලවා දන්දුන්නේ, මහා සාගරයේ ජලය පරදවා යන තරමට රුධිරය දන්දුන්නේ, මහ පොළොවේ පස් පරදවන තරමට ශරීර මාංශ දන්දුන්නේ පිංවත් ඔබ උදෙසාමයි. හය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කෙරුවේ ඔබ උදෙසාමයි. නමුත් පිංවත් ඔබට ඇස්, මස්, ලේ දන්දෙන්න අවශ්‍යම නැහැ. රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා ඔබ තුළ සකස්‌වෙන ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයන් පමණක් ඔබ දන්දෙන්න. එවිට අප බෝධිසත්වයාණෝ ඔබ වෙනුවෙන් දන් දුන් ඇස්, මස්, රුධිරය වෙනුවෙන් ඔබ කෘතගුණ දැක්‌වූවා වෙනවා. ඔබට ලැබුණ මේ උතුම් අවස්‌ථාවේදී එවන් අසිරිමත් ශාස්‌තෘන්වහන්සේනමකට ණයකාරයෙක් නම් වෙන්න එපා.
මාරයා සැඟවී බලා සිටිනවා, ඔබට දරුවාගේ සුරතල් පෙන්වලා, බිරිඳගේ, සැමියාගේ ආදරය පෙන්වලා, මෙවරත් ඔබව බුදුරජාණන් වහන්සේගේ ණයකාරයෙක් කරවන්නට.
බැංකුවට ඔබ ණය වුණොත් දේපල රාජසන්තක කරාවී, බුදුරජාණන් වහන්සේට ඔබ ණය වුණොත් භවයේ සැපයම මාරසන්තක වෙනවා. දුකින් බැහැරට මගපෙන්වූ ඒ උතුම් ශාස්aතෘන්වරයාණන් වහන්සේට පිංවත් ඔබ නිරතුරුවම ඔබේ ජීවිතය තුළින් අලෝභ, අද්වේශ, අමෝහ සුවඳ කුසුම් පූජාකරන්න. බුදුරජාණන් වහන්සේ ඒ මල් සුවඳ නිරතුරුවම වර්ණනා කළා. 'මේ ලෝකයේ කිසිම මනුෂ්‍යයකුට, දෙවියකුට, බ්‍රහ්මයකුට විඳින්නට තබා සිතන්නවත් බැරි අප්‍රමාණ වූ දුක් කන්දරාවක් සය අවුරුද්දක් පුරා මම දුෂ්කරක්‍රියා කළ කාලයේදී වින්දා' කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
මේ හැම දුක්‌ගැහැටක්‌ම උන්වහන්සේ කැමැත්තෙන්ම දරාගත්තේ පිංවත් ඔබ මේ මොහොතේ ලබන සද්ධර්මයේ සැනසිල්ල ඔබට ලබාදීමටයි. එවන් අසිරිමත් ශාස්‌තෘන්වහන්සේ නමක් වෙනුවෙන් නිරතුරුවම පිංවත් ඔබ තුළ අලෝභ, අද්වේෂ, අමෝහ සිතිවිලි ඇතිකරගෙන බුදුරජාණන් වහන්සේගේ රූපකාය සිතෙන් මවාගෙන ඒ පවිත්‍ර සිත බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයන්, ඥානයන්ට නිරතුරුවම ඔබ මනසින් සමීපවෙන්න. එවිට පිංවත් ඔබ තුළ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අයෝමය විශ්වාසයක් සකස් වේවී.
භික්‍ෂුවට මතකයි අතීතයේ එක්‌තරා දවසක උදෑසන සුදු සරමක් සුදු කමිසයක් බෑගයක දමාගෙන උදෑසන 5ට බසයේ නැගලා, කිසිම ඥාතියෙක් හිතවතෙක් ගෙන් තොරව භික්‍ෂුව පැවිදිවීම සඳහා උපන් නිවසින් පිටව ගිය ආකාරය. එදා පටන් මේ මොහොත දක්‌වා භික්‍ෂුවට අයෝමය ශක්‌තිය වුණේ බුදුරජාණන් වහන්සේමයි. ස්‌ථිර වාසස්‌ථානයක් නොමැතිව තැන්තැන්වල ආරණ්‍යවල හුදෙකලා කුටිවලට ගිය ගමනේදී සමහර පිංවතුන්ලා භික්‍ෂුව හැඳින්වූවේ 'අහිගුන්ඨක භික්‍ෂුව' කියලා. මගේම කණට ඇසිලා තියෙනවා පිංවතුන්ලා එහෙම කියනවා. මා හඳුනාගත්තා ඒ කථාකරන්නේ මාරයාය කියලා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තුළින් ඒ වෙලාවේ භික්‍ෂුව මාරයාව හඳුනාගෙනයි තිබුණේ. මාරයාට අවශ්‍ය වුණේ 'අහිගුන්ඨක හාමුදුරුවෝ' කියන නම පටබැඳලා මා තුළ ලැ-ජාව සකස් කරලා ආරණ්‍යයක, පන්සලක ස්‌ථිර නිත්‍ය පදිංචිකරුවෙක් කරන්න. උතුම් පැවිද්ද ලැබීමට පෙරාතුවම මාරයාගේ එම අවකාශය මම බලාපොරොත්තුවුණා. භික්‍ෂුවට, ස්‌ථිර නිත්‍ය තැනක් නැති 'අහිගුණ්‌ඨක හාමුදුරුවෝ' කියනකොට මට සතුටක් ඇතිවුණා. භික්‍ෂුව කල්පනා කළේ, සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ, මහා කාශ්‍යප මහෝත්තමයාණන් වහන්සේටත් ස්‌ථිර, නිත්‍ය තැනක් තිබුණේ නැහැ නේද කියලා. ඒ කියන්නේ උන්වහන්සේලාත් 'අහිගුණ්‌ඨක' ජීවිත ගතකළේ. ඒ උතුම් ජීවිතය මටත් ලැබීම භාග්‍යයක්‌කොටයි භික්‍ෂුව සැලකුවේ. ඒ 'අහිගුණ්‌ඨක භික්‍ෂුව' කියන නාමය භික්‍ෂුවට ලැබුණු ගෞරව නාමයක් ලෙසයි භික්‍ෂුව මේ මොහොතේත් දකින්නේ. ඒ ගතකළ අහිගුණ්‌ඨකභාවයමයි මේ සටහන් ලියන්න අවශ්‍ය අවබෝධය ලබාදුන්නේ. මොකද භික්‍ෂුවට පැවිදිවෙන්න පෙරාතුව කවදාකවත් බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ සූත්‍ර පොතක් කියවා තිබුණේ නැහැ. කවදාවත් භාවනා පංතියකට ගිහින් තිබුණේ නැහැ. ජීවිතේ කවදාවත් දහම් පාසලකට ගිහින් තිබුණේ නැහැ. භික්‍ෂුව ගිහිකාලයේ අධ්‍යාපනය ලැබුවේ ක්‍රිස්‌තියානි පාසලක. එහි බුදුදහම ඉගැන්වුවේ 7 වැනි ශ්‍රේණියෙන් පසුවයි. මෙවැනි පසුබිමක් තුළ 'අහිගුණ්‌ඨක හාමුදුරුවෝ' කියන අර්ථයේම ඵලයයි මේ භික්‍ෂුව. අහිගුණ්‌ඨක කියන වචනයේ අර්ථය මෙතැනදී භික්‍ෂුව දකින්නේ 'අතහැරීම' කියන අර්ථයෙන්. ඔබ අතහැරිය යුත්තේ රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව පමණක්‌මයි. එතැනදී ඔබට මුළු සද්ධර්මයේම රැකවරණය ලැබෙනවා. සද්ධර්මයේ රැකවරණය ලබාගත් තැනැත්තාට මිනිස්, දෙව්, බඹුන් තුන් ලෝකයේම ගරු බුහුමන් ලැබෙනවා. 'ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ල ලැබෙයි' කියන අර්ථය භික්‍ෂුව නිරතුරුවම කියන්නේ ඉහත අත්දැකීම නිසාමයි.
භික්‍ෂුවට ඉහත ශක්‌තිය ලබාදුන්නේ, සසර පිළිබඳ ඇතිකරගත් බිය විසින්මයි. මේ බිය සකස් කර දුන්නේ තෙරුවන් කෙරෙහි ඇතිකරගත් ශ්‍රද්ධාවයි.
සමාජය තුළ පිංවතුන්ලා විනෝදවෙනකොට, සෙල්ලම් කරන විට භික්‍ෂුවට හරි බයක් දැනෙනවා, ඔබලා පිළිබඳව. විනෝදවෙන්න සෙල්ලම් කරන්න පුළුවන් ලෝකයක් නොවෙයි මේක. ලෝකය නිරතුරුවම ගිනිගන්නවා තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවේ ගින්දරයි ඔබ විනෝදය, සෙල්ලම හැටියට දකින්නේ. නොදන්නාකම නිසාම ගින්දරත්, විනෝදයත් සෙල්ලමක් කොටගනිද්දී පිච්චීමට අදාළ සංස්‌කාරයන් අනාගත විපාකයන් පිණිස සකස්‌වෙනවා. පරිස්‌සමෙන් විනෝදවෙන්න. තෘෂ්ණාව කියන්නේ ගින්දරක්. අනුනගේ විනෝදය, සෙල්ලම ඔබ ගින්දරක් ලෙස දකිමින් ඒ ගිනි නිවන දිශාවට යොමුවෙන්න.
ඉන්ද්‍රජිත් සුබසිංහ
තොරණින් එහා වෙසක් අදහසක්.
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....
'සතර අපායෙන් මිදෙමු' - 42 කොටස
පිංවත් ඔබ වෙනුවෙන් මේ ලිපි මාලාව ලියූ ස්‌වාමීන්වහන්සේ 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සැමරූ වෙසක් දිනයදා එය නිමිති කරගනිමින් ලියන ලද සටහනකි මෙය. ඉකුත් වසරේ වෙසක් සතියේදී ද අප 'ඉරිදා දිවයින' ඔස්‌සේ මෙය පළ කළෙමු. ඒ අනුව මෙය නැවත පළකිරීමකි. වරක් දෙවරක් නොව සිය දහස්‌වරක් පළ කළද මෙවන් දහම් ගැලපුමක් ඔබට අතිරික්‌තයක් නොවන බව අපි දනිමු. මේ සටහන නැවත මෙසේ පළකරනුයේ මේ දහම් කරුණු තව තවත් ඔබ අධ්‍යාත්මයට ගලපා ගැනීම පිණිසය.
අද වෙසක් පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස් හයසියයක් සපිරෙන ප්‍රවෘත්තියක් ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස් වාසයෙන් දුරස්‌වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට ගලපාගන්න ඕනේ.
ධර්මය කියල කියන්නෙ චතුරාර්ය සත්‍ය ධර්මය, පටිච්චසමුප්පාදය, සතරසතිපට්‌ඨානය, පංච උපාදානස්‌කන්ධය, සප්තබොඡ්ජංග ධර්මයන්, භව නිරෝධය උදෙසා පක්‌ෂවෙන්නාවු සත්තිස් බෝධිපාක්‌ෂික ධර්මයන්මයි. ඔබේ ජීවිතය තුළින් අද දවසේ මේ ධර්මතාවයන් තන්හා, දිට්‌ට, මාන්නයෙන් තොරව වැඩෙන අවබෝධවන දිශාවට ජීවත් වුනා නම් අද දවසේ පිංවත් ඔබ සැබැවින්ම ලොව්තුරා බුදුරජාණන් සරණගිය කෙනෙක් වෙනවා. මෙම අර්ථවත් මාර්ගයෙන් බාහිරව වෙසක් තොරණ්, වෙසක් කූඩු, දන්සල්, සැරසිලි, නාට්‍ය සංදර්ශන වැනි දේවල් තුළින් ඔබ සැනසුනානම්, ඒවා වැටෙන්නේ ශාසනයේ නාමයෙන් කෙරෙන සිල්ලර වෙළදාම් ගණයටම බව කිවයුතුයි. නමුත් මේවා ප්‍රතික්‌ෂේප කරන්න කාටවත් බැහැ. තමනුත් සතුටුවෙලා අනුන්වත් සතුටුකිරීම තමයි මේවායේ අරමුණ. ජීවිතයටම පන්සලකට ගොස් ශීලයක් සමාදන්නොවූ මනුෂ්‍යයෙක් හදිස්‌සියේ මැරෙන මොහොතක තමන් නැරඹුවාවූ වෙසක් තොරණක නේක වර්ණ විදුලි බුබුලු වලින් ඒකාලෝක වු බුදුසමිඳුන්ගේ රූපය සිහියට නැගිලා, එම පුණ්‍ය සිතුවිල්ල නිසාම සුගතිගාමී ජීවිතයක් ලබන්න පුළුවන්. නමුත් මේවා භවයේ ලබන්නාවු සිල්ලර සැපයන්මයි.
අපට තිබෙන්නේ එකිනෙකට වෙනස් වු ඉන්ද්‍රීයධර්මයන්ගේ ස්‌වභාවයන් . ඒ නිසා අර්ථයෙන් විවිධවූ ක්‍රියාකාරකම් සමාජය තුළ පැවතීම ධර්මතාවයක්‌මයි. එම ධර්මථාවය ඇලීමෙන්, ගැටීමෙන් තොරව උපේක්‌ෂාවෙන් යුතුව දකිමින් ධර්මයේ සැබෑ අර්ථය තුළට පැමිණීමට පිංවත් ඔබ දක්‌ෂ විය යුතුය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහපොළවෙන් පස් මිටක් අතට අරගෙන, මහ පොළවේ තිබෙන ඉතිරි පස්a සමග උපමා කරලා 'මහණෙනි, මියයන සත්වයන්ගෙන් සුගතිගාමී ජීවිත ලබන්නේ මේ අතේ තිබෙන පස් ප්‍රමාණයටයි' කියලා. මහ පොළවේ තිබෙන පස් තරමටම සත්වයා දුගතිගාමී ජීවිත වලට වැටෙන්නේ කියලා. මෙම සම්මා සම්බුද්ධ වචනයට අනුව අපි උත්සහ ගන්න ඕනේ සමාජය තූළ සිදුවන දෙය අර්ථවත්ද නැතිද යන්න සෙවීමට නොවේ. ලොව්තූරා බුදුරජාණන්වහන්සේගේ අතේ තිබෙන පස් මිටෙන් එක් පස් කැටයක් වෙනවාය කියන උත්සාහයටයි එන්න ඕනේ.
ලෝකය කියන්නේ හාස්‍යයක්. සත්වයාගේ මෝහය වැඩිවන්න වැඩිවන්න විකට ජවනිකා වැඩිවෙනවා. හාස්‍ය රසය තව තව වැඩිවෙන්න. ලෝකය සංකීර්ණයි කියන්නේ, ලෝකය ලස්‌සනයි කියන්නේ, බලා ඉවරයක් කරන්න බැහැය කියන්නේ ඔබේ සිත මේ සියල්ලටම වඩා වේගවත්ය කියන කාරණයයි. රූපය සැම විටම තිබෙන්නේ රූපයේ සAවභාවයෙන්. රූපය කෙරෙහි ඇති ඡන්දරාගය නිසාම ඔබමයි රූපයට අනේකවිධ වටිනාකම් දෙන්නේ. ඉහත අර්ථය පිංවත් ඔබට හොඳින් වැටහෙන්න සුදුසු කතා ප්‍රවෘත්තියක් මෙහි සටහන් කරනවා.
භික්‌ෂුව වැඩසිටි ප්‍රදේශයක එක දායක ගෙදරක වයෝවෘද්ධ අම්මා කෙනෙක් සිටියා. භික්‌ෂුව මේ නිවසට හත් අට වතාවක්‌ම පිණ්‌ඩපාතය සඳහා වැඩම කරලා තියෙනවා. මේ හැම වතාවකම භික්‌ෂුවට පෙනෙනවා නිවසේ කාමරයක සිට බිත්තිය අල්ලමින් ඉතා අපහසුවකින් අම්මා කෙනෙක් ඇවිත් පුටුවක වාඩිවෙනවා. ඇයට වයස අවුරුදු අසූ පහක් පමණ ඇති. ටිකක් මහත ශරීරයක් තිබෙනවා. හොඳින් පිරිසිදු වෙලා ඉන්න පාටක් පෙනෙන්නේ නැහැ. තමන්ගේම දරුවා සිටියත් එම අම්මාව අතින් අල්ලලා හාමුදුරුවො වැඩම කිරීමට පෙර පුටුවේ වාඩි කරන්නේවත් නැහැ. එයාම බිත්තිය අල්ලාගෙන එන්නේ. කොටින්ම ඒ අම්මා දැන් එම නිවැසියන්ට එපා වෙලා. අඩුම තරමින් එම නිවැසියන් හාමුදුරුවන්ට පූජා කරන ආහාරයක්‌වත් එම අම්මාට අත ගස්‌වන්නේ නැහැ. වයෝවෘද්ධභාවය නිසාම, ජරා ව්‍යාධි ලක්‍ෂණ නිසාම හැමෝටම එපා වෙලා සිටි මේ අම්මා මිය යනවා. මේ අම්මා මැරුණාට පස්‌සෙ භික්‌ෂුවක් අරමුණු කොට බලනවා මේ අම්මා කුමන ආකාරයේ නැවත උපතකට ගියාද කියලා. ඒ වෙලාවේ භික්‌ෂුවට අරමුණු වෙනවා මියගිය අම්මාගේ රූප ස්‌වභාවයෙන්ම යුත් පාවෙන භූත රූපයක්. වෙනසකට තිබුණේ කොණ්‌ඩේ කරල් දෙකකට ගොතලා බැඳලා තිබුණා. ළමා වයසේ ගැහැණු දරුවෙකුගේ වගේ. භික්‌ෂුව ඉදිරියේ ඇය පාවෙනවා. හරස් අතටයි පාවෙන්නේ. මෙය භවයේ තවත් උපතක්. ඇස, කණ, නාසය, දිව, මනස, කය ඇයට තිබෙනවා. අපට වගේම මේ භූත සත්වයාට බාහිර රූප ඵස්‌සය වීමෙන් පංච උපාදානස්‌කන්ධය සකස් වෙනවා. මිය යන අවස්‌ථාවේ ශක්‌තිමත් කුසල් අකුසල් නිමිත්තක් සකස් නොවීම නිසා මෙවැනි භූත ස්‌වභාවයේ ජාතියක් සකස් වෙන්න පුළුවන්. මෙන්න මෙවැනි අයට තමයි පාංශකූල පිංකම, සත් දවසේ බණ පිංකම වටින්නේ. මෙවැනි පිනකින් කුසල් අකුසල් නිමිත්තක් ශක්‌තිමත් කරවලා ඊළඟ උපතට ඇය පැන ගන්නවා. මෙම භූත ස්‌වභාවය හරියට නිදාගෙන ඇහැරුන දරුවෙක් වගේ. තද නින්දෙන් අවදිවුණ ගමන් දරුවා පියවි සිහියෙන් නොවේ ඉන්නේ. මුහුණට වතුර ටිකක් ඉස්‌සාම හොඳින් අවදි වෙනවා. ශක්‌තිමත් කුසල් අකුසල් චිත්තයක් මිය යන මොහොතේ සකස් නොවූ නිසා භූත ස්‌වභාවයට පත් මෙම සත්වයාටත් පාංශකූල පිංකම, සත් දවසේ පිංකම හරියට අඩ නින්දේ පසුවෙන දරුවෙකුට වතුර ටිකක් මුහුණට ඉසීම වැනිය. අසිහියෙන් මියයාම, නින්දේදී මියයාම, ක්‌ෂණිකව සිදුවන අනතුරු මරණ වලදී මෙන්ම ළමා මරණ වලදීද ඉහත ස්‌වභාවයක් සකස් විය හැකියි. මෙම මව මියගොස් දින තුනේදී තමයි භික්‌ෂුවට මෙම මවගේ භූත ස්‌වභාවයේ උපත සමාධියේදී දර්ශනය වුනේ.
ඒ අසරණ මෑණියන් වෙනුවෙන් මෙය සටහන් තබන භික්‍ෂුවද නිරතුරුවම පිං අනුමෝදන් කළා. මරණයේ භූමිදාන කටයුතු අහවරවෙලා දිනකට පසුව ඇයව භික්‍ෂුවක් සමාධියෙන් අරමුqණු කොට බලද්දි භික්‍ෂුවට දර්ශනය වෙනව කුඩා ගැහැණු දරුවෙක්. ඒ කියන්නෙ ඇය මව් කුසක බිළඳියක් ලෙස උපත ලැබූ බවයි. මෙතැනදී උපත කියල සටහන් කළේ මවගේ ගර්භාෂ කුටියට බැසගත් බවයි. භික්‍ෂුව මේ ඔබට පැහැදිලි කරමින් එන්නේ ලෝකය හාස්‍යයක් වෙන්නෙ කොහොමද කියලා. දැන් කවුද මේ මැරුණ වයෝවෘද්ධ අම්මා. වයස අවුරුදු අසූපහක් වන, හැමෝටම එපාවෙලා කරදරයක් වෙලා හිටපු, හරි හැටි පිරිසිදු භාවයක්‌වත් නොතිබුණ, ශරීරයෙන් තෙල් බෙහෙත් ගඳ හමපු, ජරා ව්‍යාධියට පත්වූ අයෙක්. මේ අම්මා කළාවූ කුසල් අකුසල් හේතුවෙන් සකස්‌වුන විඤ්ඤාණ ධාතුව මුලින් භූත සත්වයෙක් හැටියට බැසගත්තා. භූත සත්වයා තුළ සකස් වුන සංස්‌කාර ධර්මයන් හේතුවෙන් සකස්‌වූ විඤ්ඤාණ ධාතුව ඉන් චුත වී මව්කුසක බිළිඳියක්‌ව බැසගත්තා.
දැන් මේ බිළිඳිය බැසගත් මව්කුස හිමි තැනැත්තිය දින විසි අටක් ගියාට පස්‌සෙ දැන ගන්නවා තමන්ගේ කුසේ දරුගැබක් ඇති වුණාය කියලා. මේ සුබ ආරංචිය දැනගත් මොහොතේම ඇය මේ බව දැනුම් දෙන්නෙ තමන්ගේ සැමියාට. සැමියා එවිට මොකද කරන්නේ. මෙලෝ සිහියක් නොමැතිව බිරිඳව සිපගන්නවා. වාසනාවන්ත දරුපැටියෙක්, සුරතල් දරුපැටියෙක්, ලස්‌සන දරුපැටියෙක් ඔයා මට දෙන්න කියලා. එදා ඉඳන් භාරහාර වෙනවා, බේබි සූට් මහනවා, කොට්‌ට හදනවා, ලස්‌සන සුසිනිදු ඇතිරිලි,මල් පීස් රෙදිමයි සොයන්නේ. දරුවා නළවන්න තොටිලි ගේනවා, සෙල්ලම් බඩු එකතු කරනවා. වැදගත් රෝහලක දරු ප්‍රසූතිය කිරීමට සිහින දකිනවා. මේ සියල්ල කරන්නේ කවුරුන් උදෙසාද? දිව්‍යලෝකයෙන් පහළවූ දිව්‍යාංගනාවක් උදෙසාද? නැහැ. මීට මාසයකට පෙර මිය පරලොව ගිය අර වයෝවෘද්ධ ආච්චිගේ සංස්‌කාර ධර්මයන් හේතුවෙන් සකස් වුන දරුගැබයි මේ බිහි වෙන්න යන්නේ. එදා එම ආච්චිව අතින් අල්ලවා වාඩිකරන්නවත් කෙනෙක් හිටියෙ නැහැ. ඒ තරමටම ඇයව ජරා, ව්‍යාධි නිසාම කොන්කරලා. වර්තමානයේ ඇයව නලවන්න තොටිලි හදනවා. ප්‍රසූත කරන්න වැදගත් රෝහල් සොයනවා. සුසිනිදුම රෙදිපිළි සොයනවා. මේකම නේද ලෝකය කියන්නේ? එහෙමනම් ලෝකය කියන්නෙ හාස්‍යයක් නොවේද? විඤ්ඤාණය නැමති මැජික්‌කරුවා සංස්‌කාර ධර්මයන්ගේ ශක්‌තියෙන් නිපදවන අනේකවිධ රූපයන් කෙරෙහි ඡන්දරාගයෙන් අපිද විඤ්ඤාණයට බැඳී යනවා. මැජික්‌කරුවෙක් එක මොහොතක පරවියෙක් දෑතට ගෙන සුදු රෙදි කඩකින් එම සතාව වසා, මොහොතකින් රෙදිකඩ ඉවත් කරනවා. එවිට එතන ඉන්නේ ගිරවෙක්. මැජික්‌කරුවා ගිරවාව රෙදිකඩකින් වසනවා. මොහොතකින් එම රෙදිකඩ ඉවත් කරනවා. එවිට එතන ඉන්නේ හාවෙක්. හාවාව රෙදි කඩකින් වසනවා. මැජික්‌කරුවා තම මැජික් යෂ්ටියෙන් යමක් කරනවා. දැන් එතන ඉන්නේ බෝනික්‌කෙක්. මැජික්‌කරුවා තම මැජික් යෂ්ටිය උපයෝගී කොටගෙන ප්‍රේක්‌ෂකයා මුලාකොට රිසිසේ රූපයන් මවයිද සංස්‌කාරධර්මයන් නැමති යෂ්ටිය උපයෝගී කරගෙන විඤ්ඤාණය නැමති මැජික්‌කරුවාද එකිනෙකට වෙනස් රූප නිපදවයි. රොහලේ ලෙඩ ඇඳේ දුක්‌විඳින රෝගීන් ඔබ දැක තිබෙනවාද? නාස් සිදුරුවලට බට දමල. මුඛයට බට දමල. මුත්‍රා මාර්ගයට බටයක් දමල. සේලයින්,රුධිරය දෙනවා. මරණාසන්නව ලෙඩා ඇඳේ වැතිරිලා සිටිනවා. ඥාතීන්ටත් මේ රෝගීන්ව එපාවෙලා. උපස්‌ථායකයින්ටත් මේ රෝගීන්ව එපා වෙලා. සමහරු මෙවැනි රෝගීන් දිහා බලන්නත් බයයි. ඒත් මේ රෝගියා මැරිලා නැවත මව් කුසක උපතක් ලැබුවොත් මොන සැලකිලිද?.... මොනතරම් ආදරයක්‌ද ඔහු ලෝකයාගෙන් ලබන්නෙ. මේක නේද ලෝකය කියන්නේ. පසුගිය ජීවිතයේදී තිරිසන් ලෝකේ හරක් කුළයේ ඉපදිලා,අලි කුළයේ ඉපදිලා, කුකුල් කුළයේ ඉපදිලා මේ ජීවිතයේ මනුෂ්‍යයෝ වෙච්ච අය භික්‍ෂුවකට අරමුණුවෙලා තිබෙනවා.
රූපය කෙරෙහි ඇති ඡන්දරාගය සත්වයාව මොන තරම් හාස්‍යයක් බවට පත්කොට තිබෙනවාද. රූපය කෙරෙහි ඇති ජන්දරාගය මේ තරම් සත්වයාව හාස්‍යයට පත්කොට තිබියදීත් අපි තවම වෙසක් දිනයේවත් රූපයට ඇති ජන්දරාගයෙන් මිදීමට කැමත්තක් දක්‌වන්නෙ නැහැ. එදාටත් රූප සොය සොයා යනවා.
තොරණ්, වෙසක් කූඩු, සැරසිලි, භක්‌ති ගීත, නාට්‍ය සංදර්ශන, විදුලි බුබුලු.... මේවා සොය සොයා යන තරමට රැස්‌වෙන සංස්‌කාර ධර්මයන් ඔබට භවයේ කැමැති කැමැති රූප උපද්දවලා දෙනවා. වෙසක් දිනයේ රාත්‍රියේ අගනගරය යම් සේ චමත්කාරජනකද, ඔබටත් භවයේ චමත්කාරජනක උපත් සකස්‌කර දෙනවා. පක්‍ෂීන්ගේ ලෝකය, මාළුන්ගේ ලෝකය මොනතරම් චමත්කාරජනකද කියලා බලන්නකෝ. විවේකී සිතෙන් මේවා සිතන්න. මේවා තමයි කමටහන්.
මේ ලෝකයේ උපත ලබන සෑම සත්වයෙක්‌ම ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා තුන දෝතින් දරාගෙනමයි උපත ලබන්නේ. නමුත් රූපය කෙරෙහි ඇති ඡන්දරාගය නිසා ඔබට මේ යථාර්ථය පෙනෙන්නේ නැහැ. ඉපදුණ අලුත කුඩා බිළිඳකුගේ සුරතල්භාවය, අසරණභාවය හමුවේ ඇතිවන ආදරය නිසා මේ දරුවාගේ ජීවිතය තුළ ඇති ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණ සැඟවිලයි තියෙන්නේ. නමුත් පිංවත් ඔබ සතියෙන් සිහියෙන් යුතුව මේ පුංචි රූපය දෙස බැලුවොත් එම රූපය තුළ සැඟවී ඇති ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා හඳුනාගන්න පුළුවන්. සතිය, සිහිය නැති තැනදී ඔබ දරුවාට ආදරය කරනවාය කියන්නේ, රැකවරණය දෙනවාය කියන්නේ මේ ජරා, ව්‍යාධි, මරණ ලක්‍ෂණ වසන් කිරීමට, යටපත් කිරීමට, පරාජය කිරීමට ගන්නා වූ උත්සහයක්‌මයි. මේ උත්සහයේදී අප කව්රුත් තාවකාලිකව දිනුවත් අවසානයේදී පරාජය වන එකමයි සිද්ධවෙන්නේ.
අපි මේ පුංචි බිළඳු රූපයට මොන තරම් ඡන්දරාගයක් ඇතිකරගෙන තිබෙනවාද කියලා කියනවා නම් සමාජයේ මතයක් ප්‍රකාශ වෙනවා, බිළිඳු දරුවාගේ සිත ප්‍රභාශ්වරයි කියලා. නොකිලිටියි කියලා. මේ පුංචි රූපයට ඇති තෘෂ්ණාව නිසාමයි මෙවැනි මාර සිත් වැඩිහිටියන් තුළ ඇතිවෙන්නේ. වැඩිහිටියකුගේ සිත යම් සේද කුඩා බිළිදෙකුගේ සිතුවිලිද රාග, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ගෙන් සංසාරික පුරුදු, ඉව ඔස්‌සේ වැඩිලයි තිබෙන්නෙ. තමා කැමති උපාදානයන් අහිමි වෙනකොට ළදරුවා කියල වෙනසක් නැහැ. ද්වේෂය සකස් වෙනවා. දරුවෙක් නව මාසයක් මව් කුස ගර්භාෂය මගේ කරගෙනයි ජීවත් වෙන්නෙ. අපිට පෙනුනට මේ දරුවා නව මාසයක් අතපය වකුටු කරගෙන මේ ලේ සැරව පිරුණු බැලුම් බෝලයක් වන් අවකාශය තුල තෙරපෙමින් දුක් විඳිනවා නේද කියලා, ඒ අපි හිතන හැටි. නමුත් මේ ළදරුවා ගර්භාෂය තුල ජීවත් වෙන්නේ මේක මගේ නිවස, මේක මගේ කාමරය, මේක මගේ තැන කියන උපාදානය සකස් කොටගෙන කැමත්තෙන්මයි. එයාට දුකක් දැනෙන්නෙ නැහැ. අපිට පෙනෙන දුක ළදරුවා සැපක් හැටියටමයි දකින්නෙ. ළදරුවා මව් කුස තෘෂ්ණාවෙන් යුතුව උපාදානය කොට ඇති නිසා තමයි අම්මා කෙනෙක් දරුවා බිහිකරන වෙලාවෙ මහා වේගයකින් කෑමොර දෙමින් ලෝකයාට බිහිවෙන්නෙ. දරුවාගේ විරෝධයයි එයා ප්‍රකාශ කරන්නේ. මගේ තැනින් මාව මුදාගත්තාය කියන විරෝධය. මෙතන තිබෙන්නෙ ද්වේෂයක් වෛරයක් නොවේද? ඒ කියන්නෙ දරුවෙක් ඉපදෙනකොටම ද්වේෂය වෛරය සකස් කරගෙනමයි උපදින්නේ. ඉන් පස්‌සෙ බලන්න දරුවා අම්මාගේ උණුසුම උපාදානය කොටගන්නවා, තෘෂ්ණාවෙන්ම. දැන් අම්මාගේ උණුසුම, පියයුරු සැපයි කියල මව් කිරට උපාදානය ඇති කරගෙනයි සිටින්නේ. අම්මාගේ තුරුලේ සිටින මේ දරුවා යමෙක් අතට ගන්න හැදුවොත් මහා වේගයකින් කෑමොරගහනවා. මුහුණ රතු කර ගන්නවා. මේ පුංචි සිතේ සැඟවී ඇති ද්වේෂය, වෛරය,රාගයමයි මේ හැසිරීම් වලට හේතුව. ඒ නිසාම පුංචි සිත ප්‍රභාෂ්වරයි කියන කාරණය, පුංචි දරුවන්ගේ රූපයන් කෙරෙහි අපේ ඇති ඡන්දරාගය නිසාම සකස් කොටගත් මෝහ මූලික අදහසක්. එම නිසා කුමන රූපයකට ඔබ බැඳුනත් ඒ බැඳී ඇත්තේ මාරයාටය කියන කාරණයයි අදවන් දිනයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අවබෝධකොට ගත්තේ.
ඉන්ද්‍රජිත් සුබසිංහ
2013 මැයි 26 ඉරිදා දිවයින
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ.....
'සතර අපායෙන් මිදෙමු' - 43
ඔබේ භෂ්මාවශේෂ පූජනීයත්වයට පත්කරන්න
පිංවත් මහත්මයෙක් භික්‍ෂුවගෙන් විමසුවා 'හාමුදුරුවනේ කුසලය සහ පින කියන්නේ එකම කාරණයක්‌ද?' කියලා. මෙය පිංවතුන්ලා නිතර ස්‌වාමීන්වහන්සේලාගෙන් විමසන ප්‍රශ්නයක්. සාරිපුත්ත මහෝත්තමයාණන්a වහන්සේ දේශනා කරනවා, කුසලය කියලා කියන්නේ කාරනා 10 කට කියලා. එම කාරනා දහය තමයි සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමය වරදවා හැසිරීමෙන් වැළකීම, බොරුකීමෙන්, පිසුනාවාචා, පරුෂාවාචා, සම්ප්‍රප්පලාපා කීමෙන් වැළකීම, අනභිධ්‍යාව, අව්‍යාපාදය, සම්මා දිට්‌ඨිය යනු කුසලය කියලා. ඉහත කාරණා 10 ට තමයි සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ කුසලය කියලා කියන්නේ.
කුසල් මූලයන් හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා අලෝභ, අදෝෂ, අමෝහය කියලා. මේ කාරණා දහය පිංවත් ඔබට මේ ආකාරයට ගන්නත් පුළුවන්. ඒ කයෙන් සිදුවෙන්නා වූ කුසල් 3 යි, වචනයෙන් සිදුවෙන්නා වූ කුසල් හතරයි, මනසින් සිදුවෙන්නා වූ කුසල් තුනයි කියලා. ඉහත කාරණා 10 ට තමයි කුසල් කියලා කියන්නේ.
එතකොට පින කියලා කියන්නේ කුමකටද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින යනු යහපත්, සිත්කළු, මන වඩන සැපයට කියන තවත් නමක්‌ය කියලා. එහෙමනම් පින කියන්නේ සැපයට කියන්නා වූ තවත් නමක්. දැන් පිංවත් ඔබට කුසලය කියන වචනයේ අර්ථයත්, පින කියන වචනයේ අර්ථයත් හොඳින් පැහැදිලියි. පින කියන කාරණයත්, කුසලය කියන කාරණයත් අර්ථයන් දෙකක්. නමුත් මේ කාරණා දෙක හේතුඵල අනුව එකට සම්බන්ධ වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. යමෙක් කුසල් ධර්මයන් ජීවිතය තුළින් වඩනකොට, ඔහු තුළ සැපය, ඒ කියන්නේ පින ඇතිවෙනවා. යම් පිංවතෙක් සැපයෙන් ජීවත්වෙනවානම් ඔහු ජීවත්වෙන්නේ කුසල් ධර්මයන් ජීවිතය තුළින් සිදුකරගන්නා නිසාමයි. පිංවත් ඔබ ධර්මානුකූලව සැපයෙන් ජීවත්වෙනවාය යන්නෙන් කියවෙන්නේ ඔබ තුළ කුසලයත්, පිනත් දෙකම තිබෙනවාය කියන කාරණයයි. පිංවතුන් වචන වල අර්ථයන් පසුපස හඹායැම හැකිතාක් අඩුකර අනිත්‍ය ධර්මය තුළින්ම විතර්ක සකස්‌කොට දෙන සිත දෙස බලන්න දක්‍ෂ වෙන්න. එවිට ඔබට පෙනේවි ඔබ පිළිතුර තුළ සිටිමින්ම පිළිතුරු සොයන බව.
පිංවත් මනුෂ්‍යයෙක් භික්‍ෂුවගෙන් විමසුවා 'ස්‌වාමීන්වහන්ස, මනුෂ්‍යයන් විසින් පූජෝපහාර පවත්වන ධාතූන්වහන්සේලා සෘද්ධියෙන් වඩින්නේ කොහොමද කියලා. පිංවත් ඔබ ධර්මරත්නය පිළිබඳව අචල ශ්‍රද්ධාවක් ඇතිකර ගැනීමට අවශ්‍යනම් මෙවැනි කාරණාවන් පිළිබඳව ධර්මානුකූල අර්ථය දැනගතයුතු වෙනවා. එසේ නොවුණහොත් මෝහය මුසු, අමූලිකා ශ්‍රද්ධාවයි අප තුළ වැඩෙන්නේ.
ධාතූන්වහන්සේ නමක් කියන්නේ අතීතයේ වැඩසිටි උතුම් ආර්යයන් වහන්සේලාගේ ශරීරයේ කොටසකට. එය දන්ත ධාතූන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, නැතිනම් ශරීරයේ වෙනත් අස්‌ථි කැබැල්ලක් වෙන්නත් පුළුවන්. අස්‌ථි කැබැල්ලක්, දතක් කියලා කියන්නේ සතරමහා ධාතුවෙන් සැදුනු දෙයක්. මේ උතුම් ආර්යයන් වහන්සේලා කියන්නේ, රූපයේ ආධිපත්‍යය පතුරුවාගෙන සිටින සතරමහා ධාතුව තම අවබෝධ ඥානයෙන් විනිවිද දැක්‌ක කෙනෙක්. සත්වයා ලෝකයට බැඳ තබන පංච උපාදානස්‌කන්ධයේ මුල්ම උපාදානස්‌කන්ධය වන රූප උපාදානස්‌කන්ධය අවබෝධ කරගත් තැනැත්තාමයි රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන්නේ. රූපය නැමැති සතරමහා ධාතුව අවබෝධ කර ගත්තාවූ රහතන්වහන්සේ ඒ අවබෝධය ලබාගන්නේ නාමරූප ධර්මයන් උපයෝගී කරගෙනමය. රහතන් වහන්සේ පිරිනිවීයන මොහොතේ විඥ්ඥාන ධාතුව රහතන් වහන්සේ තුළින්ම පිරිනිවී ගියත්, මෙලොව ඉතිරිවූ නොවූ ශරීරය හෙවත් සතරමහා ධාතුව පූජනීයත්වයට පත්වෙනවා. සතරමහා ධාතුව අවබෝධ කරගත් නිසාමයි උන්වහන්සේගේ රූපය පූජනීයත්වයට පත්වෙන්නේ. එම නිසාම ධාතූන් වහන්සේලාට පූජෝපහාර දක්‌වන්න කියන කාරණය බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
මේ කිසිම ධාතූන්වහන්සේ නමකට සෘද්ධිමත්භාවයක් ඇතිකරගෙන තැනින් තැනට වැඩම කරන්න පුළුවන්කමක් නැහැ. ධාතූන්වහන්සේ නමකට සෘද්ධිමත්භාවයක් ඇතිවීමට නම් ධාතූන්වහන්සේ තුළ පංච උපාදානස්‌කන්ධයක් සකස්‌වෙන්න අවශ්‍යයි. පංච උපාදානස්‌කන්ධයක් සකස්‌වෙන්න නම් සංස්‌කාර හේතුවෙන් සකස් වුණ විඥ්ඥානය ධාතූන්වහන්සේලා තුළ බැසගෙන තිබෙන්න ඕනේ. ඒ හේතුවෙන්ම නාමරූප ධර්ම සකස්‌වෙන්න ඕනේ. ආයතන හය පිහිටන්න ඕනේ. මේ කිසිවක් සකස් නොවන ධාතූන්වහන්සේ නමක් කෙසේ නම් සෘද්ධියෙන් වඩින්නද? එය කවදාකවත් ධර්මානුකූලව සිදුවන දෙයක් නොවෙයි. ඒ අපි අමූලිකා ශ්‍රද්ධාව නිසාම ධර්මයේ සැබෑ අර්ථයෙන් දුරස්‌ව ලෝකය දකින නිසාම ඇතිකරගන්න අදහසක්.
නමුත් පිංවතුන්ලා අපිට නිතර ප්‍රකාශ කරනවා. තම තමන්ගේ පූජනීය ස්‌ථාන වලට ධාතූන්වහන්සේලා වැඩියා කියලා. 'ගිය සතියේ ධාතූන්වහන්සේලා දෙනමයි වැඩසිටියේ. අද බලනකොට ධාතුකරඬුවේ ධාතූන්වහන්සේලා හත්නමක් වැඩ සිටියා' කියලා. ඒ කියන්නේ ධාතූන්වහන්සේලා පස්‌නමක් වැඩිවෙලා. ඒ කියන්නේ මෙතැන" සිද්ධවෙන්නේ ධාතූන්වහන්සේලා ස
සෘද්ධියෙන් වැඩීමක් නෙමෙයි. සම්‍යදෘෂ්ඨික දෙවිවරු විසින් සුදුසු පූජනීය ස්‌ථානවලට ධාතූන්වහන්සේලා රැගෙන යනවා. අතීතයේ වැඩසිටියාවූ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් ඒ උතුම් ආර්යයන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලැබූ, ශිෂ්‍යභාවය ලැබූ නමුත් නිවන් අවබෝධ කරගැනීමට නොහැකිවූ ලක්‍ෂ ගණනාවක් ගිහි පැවිදි පිංවතුන්ලා මේ මොහොතේ සශ්‍රික දිව්‍යතලවල මහේශාඛ්‍ය දෙවිවරු ලෙස වැඩසිටිනවා. ඒ දෙවිවරු තමන් සතු දිව්‍යචක්‌කු තුළින් තමන්ගේ ගුරුවරයාගේ පූජනීය ධාතූන්වහන්සේලා වැඩසිටින්නේ කොහේද යන්න දන්නවා. තම සත්පුරුෂ ගු=රුවරයාට ඇති ගෞරවය නිසාම එම ගුරුවරයාගේ පූජනීය ධාතූන්වහන්සේලාට අවශ්‍ය පූජෝපහාරයන් නොලැබෙනවා නම්, එම දුසිල්වතුන් සිටින ස්‌ථානවල වැඩසිටිනවා නම් දෙවිවරු තම දිව්‍යචක්‌කුවලින් එය දැකලා සුදුසු පූජනීය ස්‌ථානවලට, සිල්වතුන් අතරට එම ධාතූන්වහන්සේලා රැගෙන ගොස් තබනවා. මහේශාඛ්‍ය දෙවිවරු තම අතීත කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලාට දක්‌වන ගෞරවය තමයි පිංවත් ඔබ 'ධාතූන්වහන්සේලා සෘද්ධියෙන් වඩිනවා'ය යනුවෙන් දකින්නේ. ඉහත කාරණයෙන්ම පිංවත් ඔබ දැනගන්න ඕනා, උතුම් ධාතූන්වහන්සේලාට ජූජෝපහාර දක්‌වන්න කියලා බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළ කරුණට දෙවිවරු වර්තමානයේත් මොනතරම් ගරුකරනවාද කියන දෙය.
මේ මොහොතේ සම්‍යාදෘෂ්ඨික දෙවිවරු උතුම් ධාතූන්වහන්සේලාට ගරුසත්කාර කරමින් පිංවත් ඔබලාට දෙන පණිවුඩයක් තිබෙනවා. ඒ උතුම් පණිවුඩය ඔබට හඳුනාගන්න පුළුවන්කම ලැබෙන්නේ අකාරවතී ශ්‍රද්ධාව කියන තෙරුවන්ගේ ගුණයන්, ඥානයන් අර්ථයෙන් දැක ඇතිකරගන්නා වූ ශ්‍රද්ධාව තුළින්මයි. මෝහය මුසු අමූලිකා ශ්‍රද්ධාවෙන් නම් නොවෙයි. පිංවත් දෙවියන් ඔබට කියන පණිවුඩය තමයි, සම්මා සම්බුද්ධ ශාසනය ජීවමානව පවතින මේ මොහොතේ මහපොළොවට පස්‌වෙන, ගින්දරට අලුවෙන, පිංවත් ඔබගේ ඔය ශරීරයේ ඇටකටු, ධාතූන්වහන්සේලා බවට පත්කර පූජනීයත්වයට පත්කරගන්න කියන කාරණය. ධාතූන්වහන්සේ තුළින් ඔබ දැකිය යුතු අර්ථය ඔතැනයි තිබෙන්නේ. පිංවත් ඔබටත් පුළුවන් ඔය ශරීරයේ තිබෙන සෑම ඇට කැබැල්ලක්‌ම පූජනීයත්වයට පත්කරගන්න. උතුම් ධාතූන්වහන්සේ නමක් බවට පත්කරගන්න. එය කරගත හැක්‌කේ උතුම් ධාතූන්වහන්සේලා වන්දනාකරන ගමන්ම, ඉන් ඔබ්බට ගොස් ධාතූන්වහන්සේත් අනිත්‍යයේ ඵලයක්‌ය, ධාතූන්වහන්සේත් අනිත්‍යභාවයට පත්වෙන සතරමහා ධාතු කොටසක්‌ය කියන කාරණය අවබෝධ කරගැනීමට දක්‍ෂ වීමෙන්ය. එම අවබෝධය ලැබීමට නම් පිංවත් ඔබ පළමුවෙන්ම පංච උපාදානස්‌කන්ධයක් සකස් නොවෙන, රූපයක් පමණක් වන උතුම් ධාතූන්වහන්සේලාට සෘද්ධියක් ඇති නොවන බව ධර්මානුකූලව තේරුම්ගත යුතුව ඇත. පිංවත් ඔබත් ධර්මාවබෝධයෙන් සැනසෙන්න. එවිට ආයාසයෙන් තොරවම, ඔබේ ධාතූන්වහන්සේලාත් පූජනීයත්වයට පත්වේවි. එතෙක් අපේ භෂ්මාවශේෂයන්ට ලෝකය බියක්‌මයි දක්‌වන්නේ. ඒවාට ගරුකරන්නේ ප්‍රේතයන් යක්‍ෂයන් පමණක්‌මය. පිංවත් ඔබ සතර අපායෙන් මිදීමෙන්මයි, තම භෂ්මාවශේෂ පූජනීයත්වයට පත්කර ගැනීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේ. එම නිසා පිංවත් ඔබ බොහෝම සිහිනුවනින් යුතුව අමූලිකා ශ්‍රද්ධාවෙත්, ආකාරවතී ශ්‍රද්ධාවෙත් වෙනස කල්‍යාණමිත්‍ර ආශ්‍රය තුළින්ම හඳුනාගෙන, ශීලයෙන් පරිපූර්ණවෙමින්, නිරතුරුවම අනිත්‍ය සංඥාවන් තුළින් ජීවිතය දකිමින් නිවැරදි මාර්ගය තුළම අවබෝධය කරායන්න. ඉක්‌මන් කෙටි මිථ්‍යාවන් පසුපස යන්න නම් එපා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයා අධිමාන්නය නිසාත්, මෝහය නිසාත්, සිහිමුලාවීම නිසාත්, මාර්ගඵලයන් ප්‍රකාශ කරනවා කියලා. බුදුරජාණන්වහන්සේගේ කාලයේ සුනක්‌ඛත්ත වැනි පැවිදි අය පවා බලුව්‍රත, හරක් ව්‍රත, රකින නිර්වස්‌ත්‍ර මිත්‍ය දෘෂ්ඨිකයන්ව රහතන් වහන්සේලා හැටියට දැක්‌කා. අනාගත සමාජය තුළ ශාසන විකෘතීන් සකස්‌වීම සඳහා මාර්ගඵල උන්මාදය කියන කාරණය බොහොම වේගයෙන් පැතිරයන්න පුළුවන්. මෙය ධර්මතාවක්. ඒ ඇසෙන හඬ ශාසනයේ අර්ථයන් අතුරුදන්වීමේ කාලය ළඟාවන බව පිංවත් ඔබට කරන අනතුරු හැඟවීමක්. මේ සියලු අභියෝගයන් ධර්මානුකූලව දකිමින් බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළ ධර්ම මාර්ගය තුළින්ම ගමන්කොට ධර්මය දකින්න. ඔබ අර්ථවත්ව ධර්මමාර්ගය තුළ ගමන් කිරීමේදී පිංවත් ඔබ තුළින් ක්‍රමානුකූලව මමත්වයේ දැඩිභාවය නැතිවීයාවි. මාන්නය දියවෙන ප්‍රමාණයට නිහතමානී බව ඔබගේ ජීවිතය තුළ ඇති වේවි. දැන් ඔබ ලෝකය ඉදිරියේ ප්‍රදර්ශකයෙක් නොවේ, අවබෝධයෙන්ම එම සිත අනිත්‍ය බව දැකීමට හැකි දක්‍ෂ වීර්යවන්තයෙක්.
ඉන්ද්‍රජිත් සුබසිංහ
2013 ජුනි 02 ඉරිදා දිවයින