ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

සම්බුදු දහම විමසා බලන්න පිළිවෙත් මඟට එකතු වන්න


බත්තරමුල්ල සිරි සුදස්සනාරාම

සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි

ධර්මය හෝ දහම නම් වූ වචනය ඕනෑම ඉගැන්වීමක් වෙනුවෙන් යොදාගත හැකි වචනයකි.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලට අප විසින් දහම නම් වූ පරියාය වචනය භාවිත කරන්නේ කුමන අදහසින් ද? මිනිස් සන්තානයේ සකස් වෙන්නා වූ ලෝභ, දෝෂ, මෝහ නම් ප්‍රධාන වූ, මෙලොව, පරලොව අනර්ථකාරී බව නිර්මාණය වන කෙලෙස් බැහැර කරවන, පාරිශුද්ධ වූ චිත්ත සන්තානයක සන්සිඳීමක් හෙවත් සමාධියක් ඇතිකරවන නම් වූ අදහසිනි.

මෙම දහම, ධර්ම පරියායක් ලෙස සීල, සමාධි, ප්‍රඥා නම් වූ ත්‍රිශික්ෂාව ඔස්සේ ක්‍රියාවට නැංවෙයි. දර්ශනයක් යනු යම් සිද්ධාන්තයක් ඔස්සේ චින්තන මාර්ගයක් ඉදිරිපත් කිරීමයි. එය පූර්ව නිගමනවලින් බැහැරව සහ ඉන්ද්‍රිය ගෝචර නොවන විශ්වාසවලින් සහ සංකල්පවලින් තොර වූවකි.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වල, ශාස්තෘවරයෙක් ලෙස මඟ පෙන්වීම සිදු කෙරේ. එනමුත් එය දේව විශ්වාසයක මෙන් මිනිස් සිතට බලපැවැත්මක් නොකෙරේ. ලෝභ, දෝෂ, මෝහයන්ගෙන් බැහැරව සිතීමේ සහ විමසීමේ නිදහසක් කැමත්තෙන් අනුගමනය කරන්නන්ට ලබා දෙයි. මේ බව කාලාම සූත්‍ර දේශනාවෙන් ප්‍රකට කෙරේ.

එමඟින් තමාගේ ම අත්දැකීම්වලින් මෙන්ම බාහිර ලෝකය ද ඇසුරු කරගෙන දැක්ම හෙවත් දර්ශනය සකස් විය යුත්තේ ය. මේ අනුව බෞද්ධ ඉගැන්වීම් වඩාත්ම දර්ශනයක් ලෙස ද සැලකිය හැක්කේ ය. කෙසේ වෙතත් බෞද්ධ ඉගැන්වීම් යථාභූත ඥාන දර්ශනයකි. එය අසවල් කොටසට පමණක් අයත් ය යනුවෙන් අවසාන නිගමනයකට පැමිණිය නොහැක්කේ ය.

වර්තමානයේ යම් පිරිස් පවසන පරිදි බුදුදහම ද ආගමකට සීමා කොට, බෞද්ධ ඉගැන්වීම්වලින් ද බැහැරව නිදහස්ව සිතන්නට, කියන්නට, ක්‍රියා කරන්නට සුදුසු ය යන්න ය. එසේ පවසන පිරිස් අඩුම තරමේ තථාගතයාණන් වහන්සේ ලොවට වදාළ “මෙත්තා” නම් මෛත්‍රිය පිළිබඳවත් සිත සිහිය යොමු කළ යුතු වන්නේ ය. ලෝකයේ “යහපත් ය” නම් වූ බොහෝ පිරිස් මනුෂ්‍යයන් පමණක් ගැන සිතද්දී බුදුදහම මනුෂ්‍යයන් ද ඇතුළුව සියලු සත්ත්වයන් කෙරේම හිතවන්ත බව පුරුදු කිරීමට ඉගැන්වීය. මානව අයිතිවාසිකම් පමණක් නොව සියලු සත්වයින්ට ම ජීවත්වීමේ අයිතිය තහවුරු කළේ ය. තමා තමාට දක්වන හිතවන්ත බව මෙන්ම සියලු සත්ත්වයෝම ඔවුන්ට හිතවන්ත බව උපමාකොට ගෙන කිසිදු මනුෂ්‍යයකුට හෝ වේවා සත්ත්වයකුට හිංසා නොකළ යුතු බව සහ ජීවිත හානි නොකළ යුතු බව අවධාරණය කළේ ය. දැඩි වූ තෘෂ්ණාවෙන් ඔවුනොවුන් මරණයට පත් කරන්නට අවි ආයුධ නිෂ්පාදනය කරමින්, භෞතික ලෝකයේ වස්තූන් වෙනුවෙන් දැඩි තරගයක නිරතව සිටින ලෝකයාට සියලු සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක වස්තුන්ගේ ඇති අස්ථිර බව පෙන්වාදී මනුෂ්‍ය ජීවිතයේ වටිනාකමද, මිනිස් සංහතියේ යහපත වෙනුවෙන් ක්‍රියා කළ යුතු ආකාරය ද පෙන්වා දුන්හ. මෙය මූලික පියවරේ දී දානාදී පාරමී ධර්ම සම්පූර්ණ කිරීමක් ලෙස ඉගැන්වෙයි. අනිච්ච, දුක්ඛ, අනන්ත නම් වූ තිලක්ඛණය ඉදිරිපත් කළේ ලෞකික ජීවිත, සාමාන්‍ය ලෝකයා සිතන පරිදි දුකට හෝ අකර්මණ්‍යය කරන්නට හෝ මෙලොව දියුණුව නැති කරන්නට නොව, මනුෂ්‍යත්වයේ හැබෑ තේරුම, උතුම් සැනසිල්ල තමා වෙතින් ම අවබෝධයෙන් යුතුව මතු කර ගන්නට ය.

බුදුදහම මෙත්තා, කරුණා, මුදිතා සහ උපේක්ඛා නම් වූ සතර ආකාරයක උතුම් වූ හැසිරීම් නම් වූ සතර බ්‍රහ්ම විහරණ ඔස්සේ සියලු දෙනාම සමගියට පරෝපකාරයට සමීප කරයි. සියලු දෙනාටම සාමානාත්මතාවයෙන් යුතුව දිළිඳු අයට පරිත්‍යාග කරමින්, වචනයෙන් පමණක් නොව පිරිසුදු සිතින් ම මවුපිය, දූ, දරු, සොහොයුරු, සොහොයුරියන් සේ ගරු කරන්නට උගන්වන ප්‍රතිපදා මාර්ගයක බුදුදහම පිළිපදින බොහෝ පිරිසක් සාමාන්‍ය ජන ජීවිතයේ සතුට සහ යහපත ද දියුණුව සහ ස්වයං සන්තුෂ්ඨිය පිණිස ද උගන්වන මංගල, සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ, වසල පරාභව වැනි සූත්‍ර පිළිබඳ දැනුම්වත් වී ඇත.

මේ මඟින් මිනිස් සිතේ අති කරගත යුතු ගුණාංගත්, මනුෂ්‍ය ප්‍රජාවට විපත් ගෙන දෙන කායික, මානසික සහ වාචසික ක්‍රියාදාමයන් බැහැර කරගත යුතු ආකාරයත් මැනවින් පෙන්වා දෙයි.

පඤ්ච සීලයෙන් මූලිකව මනුෂ්‍යත්වය පිරිසුදු කොට, සතර සතිපට්ඨානයෙන් දුක් දොම්නස් බැහැර කොට සියලු දුකින් නිදහස් වන සදාකාලික විමුක්තියට කැඳවාගෙන යන අසිරිමත් වූ ද, සුන්දර වූ ද මානුෂීය ප්‍රතිපදා මාර්ගයකි. බිය ගන්වා බලයෙන් ඇදහීමට හෝ විශ්වාස කිරීමට යොමුකරන මඟක් ද නොවේ.

භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍යයෙකි. එනමුත් සාමාන්‍ය පෘථග්ජන මනුෂ්‍යයන් කෙරේ පවත්නා වූ රාග, දෝෂ, මෝහ මුළුමනින් ම බැහැර කළ ආශ්චර්යවත් වූ, උතුම් වූ මනුෂ්‍ය රත්නයකි. එය සංකේතවත් කළේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය නම් වූ “බුද්ධ” නම් වූ වචනයෙනි.

එය ද දක්වන්නේ ඇවිත් නුවණින් යුතුව පරීක්ෂා කොට බලන්නට මිස අන්ධ භක්තියෙන් යුතුව අදහන්නට නොවේ. භාග්‍යවතුන් වහන්සේට හැබෑවටම ගරු කරන්නා නම් මේ ප්‍රතිපදා මාර්ගය අවබෝධයෙන් යුතුව අනුගමනය කොට ඵල ලබන්නා මිස අනවබෝධයෙන් වැඳුම් පිඳුම් හෝ පුද පූජාවල නිරත වෙන්නා නොවේ. සතිපට්ඨානයේ උගන්වන “සති - සම්පඡඤ්ඤය” අවබෝධයෙන් යුතුව මේ මොහොතෙහි සිත සිහිය පිහිටුවා ගැනීම, අධ්‍යාපනික, ආර්ථික, සාමාජික සහ පවුල් පාරිසරික ආදී කුමන රටාවකට ද යොමු කර ගැනීමෙන් එහි නැණවත්, සත්පුරුෂයන් බලාපොරොත්තු වන සාර්ථකත්වයක් ඇති කරගත හැකි ය. වර්තමානයේ බොහෝ සමාජ කණ්ඩායම් අතර පවත්නා ආතතිය (Stress) දොම්නස (Depression) දුරු කර ගැනීමට කදිම මානසික ඖෂධයකි. මෙය නොදත් හෝ නොසලකා හරින්නෝ දුර්ලභ වූ ලැබූ මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් නොදෙති.

බෞද්ධ නමින් පෙනී සිටින යම් අයෙක් ප්‍රතිපදාව අනුගමනය නොකොට ලාභ, අලාභ ආදී අෂ්ඨ ලෝක ධර්මයට ජීවිතාබෝධයෙන් යුතුව මුහුණ දී ගත නොහැකිව දහමින් ඉවත්වෙනවා යැයි පැවසීම හෝ දහමට ගැරහීම නියමාකාර පිළිතුර දැයි විමසිය යුතු වන්නේ ය.

ශ්‍රී ලාංකික පරිසරයේද මව්පිය, දූ දරු, ස්වාමි භාර්යා, ගිහි පැවිදි මනා වූ සම්බන්ධයක් ගොඩනඟා මනුෂ්‍යත්වයේ හැබෑ අරුත කියා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම්වලිනි.

මෙය මනා ලෙස අවබෝධ නොකර ගන්නා වූ පුද්ගලයෝ සර්පයාගේ වලිගයෙන් අල්ලා ගත්තාක් මෙන් චාරිත්‍ර වාරිත්‍රවල පමණක් මූලික තැනක් දී ක්‍රියා කොට ගැටුම් ඇතිකර ගනිති. කලින් කල සිදුවන සාමාජික හෝ ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීමේ දී දහම වරදවා පලිහක් කර ගැනීමට උත්සාහ ගනිති. තම පුද්ගලික අභිමතාර්ථ ඉටු නොවන අවස්ථාවේ දී දහමෙහි වරදක් බව සිතති. වර්තමානයේ ලෙඩ සනීප කරනවා ය නම් වූ ඇදහිලි සංකල්පය ද එවැන්නකි. පරමාර්ථ ධර්මයම ප්‍රධාන කොට බුදුදහම විමසා බලන්නට පිළිවෙත් මඟට එකතු වන්නට ද ආරාධනා කරමි.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සදහම් සඟරා - Online