ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

මාර්ගඵල ලැබිය හැකි සද්පුරුෂයෝ

ආචාර්ය වල්පොල විමලඤාණ හිමි

බක්කුල රහතන් වහන්සේගේ හා ඇතැම් රහතන් වහන්සේලාගේ ජීවිත මෙන්ම පසේබුදුවරයන් වහන්සේලාගේ ජීවිතද පශ්චිම භවික වශයෙන් පෙන්වා දී තිබේ. එතුමන් වහන්සේලා කෙසේ හෝ එම ආත්ම භවයේදීම මාර්ගඵලාවබෝධය ලබන්නාහුමය. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය වශයෙන් සැලකෙනුයේ අලෝභ, අදෝස, අමෝහ යන හේතුකාරක තුනෙන් යුක්තව උපත ලබන පුද්ගලයෝ වෙති. මාර්ගඵල අවබෝධකිරීමට තරම් කාලපරාශයක් හෙවත් අඩු වශයෙන් කල්ප ලක්ෂයක් තරම් වත් පාරමී ධර්ම පුරා සුදුසු කාලයක් එළඹ තිබේනම් එබඳු ත්‍රිහේතුක පුද්ගලයන්ටත් මාර්ගඵලාවබෝධය කළ හැකිය
කෙනෙකු සිතන පතන අයුරින් ඔහුට මාර්ගඵල ලැබිය හැකි යයි සිතීම අසීරුය. ඒ සඳහා වෙසෙසින් හඳුනා ගත හැකි සුදුසුකම් දෙකක් ඔහු තුළ පිහිටිය යුතුය. එයින් පළමුවැන්න නම් ඔහු “පශ්චිමභවික” පුද්ගලයෙකු විය යුතුය. “පශ්චිමභවික” යනු එකී ජීවිතය තුළම සියලු ආශ්‍රව ධර්මයන් ප්‍රහාණය කිරීමෙන් සසර ගමන නවතා දමන පුද්ගලයාය. එසේ නොමැතිනම් ඒකාන්ත වශයෙන්ම අර්හත් මාර්ගඥානයෙන් සැනසීම ලබන තැනැත්තා වෙයි.
රහත් නොවී ඔහුගේ විනාශවීමක් හෝ විනාශකර දැමීමක් නොවිය හැකියි. බක්කුල රහතන් වහන්සේගේ හා ඇතැම් රහතන් වහන්සේලාගේ ජීවිත මෙන්ම පසේබුදුවරයන් වහන්සේලාගේ ජීවිතද පශ්චිම භවික වශයෙන් පෙන්වා දී තිබේ. එතුමන් වහන්සේලා කෙසේ හෝ එම ආත්ම භවයේදීම මාර්ගඵලාවබෝධය ලබන්නාහුමය. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය වශයෙන් සැලකෙනුයේ අලෝභ, අදෝස, අමෝහ යන හේතුකාරක තුනෙන් යුක්තව උපත ලබන පුද්ගලයෝ වෙති. මාර්ගඵල අවබෝධකිරීමට තරම් කාලපරාශයක් හෙවත් අඩු වශයෙන් කල්ප ලක්ෂයක් තරම් වත් පාරමී ධර්ම පුරා සුදුසු කාලයක් එළඹ තිබේනම් එබඳු ත්‍රිහේතුක පුද්ගලයන්ටත් මාර්ගඵලාවබෝධය කළ හැකිය. එසේ වුවද පශ්චිම භවික පුද්ගයන්ට මෙන් එම ජීවිතයේදීම මාර්ගඵලබෝධය කළ යුතු යයි නිගමනයක් නැත්තේය.මජ්ක්‍ධිම නිකාය අට්ඨකථාවේ හා සාරත්ථදීපණියෙහි මෙසේ දක්නා ලැබේ. ඇතැම් උපනිශ්‍රය ඇත්තන්ටත් බුදුන් වහන්සේ හමුවුවද මාර්ගඵලාදියට අවකාශ නොලැබිය හැකිය. එය තමා කරන්නාවූ දෙයෙහි වරදකින් හෝ පාපමිත්‍ර සේවනයෙහි විපාක වශයෙන් විය හැකිය. දේශක පරිහාණිය සිදුවන්නේ ශ්‍රාවකයන්ගෙන් මිස බුදුන් වහන්සේගෙන් නොවේ. සැරියුත් හිමියන් “ධනංජානී’ බමුණාගේ අදහස් දැන හැදින දහම් දෙසුවේනම් ඔහු සෝවාන් විය හැකිව තිබුණි. ඔහු බණ දෙසද්දී ඉවත්ව ගියේය. එසේම අජාසත් සුදින්න , දෙදෙනාගේ මාර්ගඵල නොවැඩී ගියේ පාපමිත්‍ර සේවනයේ වරදිනි.
මේ කරුණු වලට අනුව මගඵල ලැබිය හැක්කේ පශ්චිම භවික පුද්ගලයෙකුට හෝ කල්ප ලක්ෂයක් පෙරුම්දම් පිරූ ත්‍රිහේතුක පුද්ගලයන්ට පමණි. එසේ උපතක් නොලැබූවාවූ සුදුසු අවස්ථාවක් නොලැබූණාවූ කිසිවෙකුට එය ලැබිය නොහැකිය.
ඉහත කී කරුණු සම්පූර්ණ වුවද මාර්ග ඵල ලාභයට ප්‍රදේශ සම්පත්තිය හා කාලසම්පත්තිය ද අවශ්‍ය වේ. එහෙයින් බුදුන් බෝමැඬට නොවඩින්නට බුද්ධත්වය නොලබන බවද සමවත් සමවැදීම අන්තැනකදී නොකළ හැකි බවද කියවේ. බුදුන් දිවමන් කාලයේදී මගඵල ලබනු වස් සෑම යෝගාවචරයෙක්ම එය වැඩීමට සුදුසු තැන් අසා දැනගත් බවද ඒ ඒ පුද්ගලයන්ට නියම කළ ස්ථාන හැර අන්තැනකදී මාර්ගඵල ලැබිය නොහැකි වූ බවද බොහෝ සිදුවීම්වලින් පෙනේ. බුදු,පසේබුදු,මහාශ්‍රාවක උතුමන් උපදින්නේ දඹදිව මධ්‍ය දේශයෙහිම බවද ඉන් බාහිර වූ සක්වලක හෝ දඹදිවින් පිටත් අන් දිවයිනක හෝ නූපදනා බව ධර්ම සාහිත්‍යයෙහි සඳහන් වේ.
සිදුහත් බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳගැනීමට පූර්වයෙන් පස්මහ බැලුම් බැලූ බව ප්‍රකටය. “කාලං දිපංච දෙසංච කුලං මාතර මෙවච
කාලය,දීපය, දේශය, කුලය හා මව ඒ පස්මහ බැලුම්වලට අයත්ය. එසේම මෙය සෑම බුදුවරයන් වහන්සේ නමකටම අයත් ධර්මතාවයක් බවද සඳහන් වේ. මෙසේ බුදුන් පහළවීමට නියමිත කාලයක් හා දේශයක් තිබෙනු පෙනේ. මහාශ්‍රාවකයන් උපන්නේද ඒ කාල වකවානුවෙහිමය. බෝධිකාරක ධර්ම හෙවත් බුදු,පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධියෙන් කිසිවක් ලැබීමට නැතහොත් මාර්ගඵලවබෝධයට සෑහෙන තරම් කාලයක් පාරමීධර්මපුරා සම්පූර්ණව සිටියද ඊට සුදුසු කාලසම්පත්තිය.ප්‍රදේශ සම්පත්තිය නොලැබනේනේ නම් කොතරම් වෑයම් කළත් ප්‍රාර්ථනා කළත් ඒ උසස් ලෝකෝත්තර තත්වය ලැබීම උගහටය.
වරක් බුදුන් වහන්සේ සුභද්‍ර භික්ෂුව අමතා සුභද්දය, මාගේ ශ්‍රාවකයෝ යම්තාක් කල් ධම්මානුධම්ම ප්‍රතිපත්තිව වෙසෙත්ද, ඒ තාක්කල් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන්නේයයි වදාළහ.
ප්‍රතිපත්තිය තිබෙනතාක් මාර්ගඵල ලැබිය හැකි බව එයින් කියවෙයි. ප්‍රතිවේධයට අවශ්‍ය කරුණු ඇත්නම් පර්යාප්තිය නැතත් එයට බාධාවක් නොමැතිබව ධර්මයට අනුව පෙනේ. මාර්ගඵල ලැබිය හැක්කේ පශ්චිම භවික, ත්‍රිහේතුක පුද්ගලයන් දෙදෙනාට පමණක් බව අප මුලින් පෙන්වා දුනිමු. එයින් පශ්චිම භවික පුද්ගලයා ප්‍රධානය. ස්ථීරය. ඔහු මාර්ගඵල ලැබිය යුතුමය. ත්‍රිහේතුක පුද්ගලයා අප්‍රධානය. අස්ථිරය, මාර්ගඵල ලැබිය යුතුමය යන නිගමනයක් ඔහුට නැත.

යෝනිසෝමනසිකාරයෙන් සෝවාන් වන්නේ කෙසේද?

යෝනිසෝමනසිකාරය (නුවණින් මෙනෙහි කිරීම) සේවාන් අංග 4 න් එක්‌ සෝවාන් අංගයක්‌ ලෙස ස. නි. මහා පඥා සූත්‍රයේ හා වෙනත් සූත්‍රවලද, දී. නි. සංගිති හා දසූත්තර සූත්‍රයන්හිද, අ. නි. චතුක්‌ක නිපාතයේ බහුපකාර සූත්‍රයේ ද පෙටකෝප දේශයේ ද දැක්‌වේ. ඉතිරි අංග 3 සත්පුරුෂ ආශ්‍රය හා සද්ධර්ම ශ්‍රවණය හා ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි. යෝනිසෝමනසිකාරය සෝවාන් වීමට කෙසේ උපකාර වේද යනු මෙහි දී විමසා බැලේ.

අංගුත්තර නිකායේ එකක නිපාතයේ ප්‍රමාද වර්ගයේ (10 සූත්‍රය) යෝනිසෝමනසිකාර සූත්‍රයේ මෙසේ වදාරා ඇත. "මහණෙනි මහත් අර්ථය පිණිස පවතින මේ යෝනිසෝමනසිකාරය හා සමාන වෙනත් කිසිදු ධර්මයක්‌ මම නොදකිමි. මහණෙනි යෝනිසෝමනසිකාරය මහත් අර්ථය පිණිස පවතී."
මනසිකාරය

"මනසිකාරය" යනු චිත්ත චෛතසික අරමුණට යොමු කරන ගතිය ලෙස ශ්‍රී සුමංගල ශබ්දකෝෂය පැහැදිළි කරයි. මනසිකාරය නම් "මෙනෙහි කිරීමයි" මනසිකාරය සියලුම සිත්හි යෙදෙන බැවින් සබ්බ චිත්ත සාධාරණය. එනම් සියලුම සිත්වලට සාධාරණය. මනසිකාරයේ ලක්‍ෂණය නම් අරමුණ මෙනෙහි කිරීමයි. යෝගාවචරයා විසින් කමටහන් අරමුණ මෙනෙහි කිරීමයි. යෝගාවචරයාට කමටහන් අරමුණු මෙනෙහි කිරීම සඳහා උපකාර වන්නේ මනසිකාරයයි. නොයෙක්‌ අරමුණු කරා දුවන සිත එයින් වළක්‌වාලනු ලබන්නේ මනසිකාරය විසිනි. සිතත් සම්ප්‍රයුක්‌ත ධර්මත් වුවමනා අරමුණට යොමු කරවනුයේ මනසිකාරයයි. මනසිකාරය අරමුණ සිහි කිරීමක්‌ සිත හා එකිනෙක ගැලපීමක්‌ සිදු කරන්නේය. මනසිකාරය නොමැති නම් අරමුණ වෙන්කර ගැනීමක්‌ සිදු නොවේ. එහෙත් අරමුණ යහපත් අයහපත් වශයෙන් තෝරා ගැනීමට මනසිකාරයට ශක්‌තියක්‌ නැත.

යෝනිසෝමනසිකාරය "නුවණින් මෙනෙහි කිරීම" ලෙස පාලි සිංහල අකාරාදියත් " නුවණින් කල්පනා" කිරීම ලෙස සිංහල ශබ්ද කෝෂයත් අරුත් දේ "නුවණ සමග යෙදී අරමුණ මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාරයයි" අභිධර්ම ප්‍රදීපිකාව පැහැදිලි කරයි.

"යෝනිසෝ" යනු "මුල පටන්", "නුවණින්" යනුවෙන් පාලි සිංහල අකාරාදිය පැහැදිලි කරයි. "යෝනි" යනු උත්පත්ති ස්‌ථානයයි. එනම් යමක මූලයයි. හේතුවයි. හේතුවකින් ඵලය ඇති වේ. ගිනි නිපදවීමට කැමැත්තා වියළි දර ගෙන ගිනි නිපදවයි. අමු දරවලින් ගිනි නිපදවිය නොහැක. හරි ක්‍රමය "යෝනි" යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ. "යෝනිසෝමනසිකාරය" යනු හේතුඵල වශයෙන්ද පටිච්ච සමුප්පන්න වශයෙන්ද බැලීමයි. යථාර්ථය දැක්‌ම ද, ඇත්ත ඇති සැටියෙන් දැකීම සියලු සංස්‌කාර අනිත්‍ය, දුක්‌ඛ වශයෙන් සිතීම හා මගේය, මමය, මගේ ආත්මය, යන දෘෂ්ටි අත් හැරීම, විපරිණාමය අවබෝධ කර ගැනීම යෝනිසෝමනසිකාරයයි.

ආධ්‍යත්මයෙහි යෝනිසෝමනසිකාරය

" එහි ආධ්‍යාත්මයෙහි යෝනිසෝමනසිකාරය කවරේද යත්, ආධ්‍යාත්මයෙහි යෝනිසෝමනසිකාරය නම් යමෙක්‌ දහම් දෙසන කල්හි බාහිර අරමුණු නොගෙන නුවණින් මෙනෙහි කෙරේද මේ ආධ්‍යාත්මයෙහි යෝනි සෝමනසිකාරය යෑයි කියනු ලැබේ. යම්සේ පුරුෂයෙක්‌ තෙත පහව ගිය වියළි කාෂ්ඨකයෙක මතුයෙහි වියළි උත්තරාණයකින් මදිනුයේ ගිනි ඉපැදවීමට සුදුසුවෙයි. කවර හෙයින් ද යත් ගිනි නිපදවීමට කාරණය වන හෙයිනි. එපරිදිම හේ දුක්‌ඛ, සමුදය, නිරෝධ, මාර්ගයේ අවිපරිත ධර්ම දේශනාව මෙනෙහි කෙරෙයි. මේ ආධ්‍යාත්මයෙහි යෝනිසෝමනසිකාරය යෑයි කියනු ලැබේ." පෙටක 2

"අනිත්‍යය අනිත්‍ය වශයෙන්ද, දුක දුක වශයෙන්ද අනාත්ම අනාත්ම වශයෙන්ද මෙනෙහි කෙරේ නම් ඒ පඨමනසිකාරයයි. යොනිසොමනසිකාරයයි. එසේ නියම තතු මෙනෙහි නොකිරීම අයෝනිසොමනසිකාරයයි. (මනසිකාර, යෝනිසෝමනසිකාර යන වචන විසිපස්‌ වතාවකට වැඩියෙන් දේශනා කර ඇති සූත්‍රයකි. මඡ්ජිම නිකායේ සබ්බාසව සූත්‍රය) පංචස්‌කන්ධය හැර මම කියා සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැතැයි නුවණින් මෙනෙහි කිරීම, තෘෂ්ණාව තෘෂ්ණාව යෑයි නුවණින් මෙනෙහි කිරීම, ව්‍යාපාද ව්‍යාපාදයයි. නුවණින් මෙනෙහි කිරීම, සියලු සංස්‌කාර අනිත්‍ය දුක්‌ඛ, අනාත්ම වශයෙන් සිතීම හා මාගේය, මමය මගේ ආත්මය යන වැරදි දෘෂ්ටි අත්හැරීම යෝනිසෝමනසිකාරයයි කියමි"

"කුසල් උපදින සේ සුදුසු පරිදි මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාරයයි. එනම් ඇතිවෙමින් නැතිවෙමින් පවත්නා නාමරූප ධර්මයන්ගේ ස්‌වභාව, ලක්‍ෂණ වශයෙනුත් ඇති වීම හා නැතිවීම ගැන අනිත්‍ය ලක්‍ෂණාදිය වශයෙනුත් මෙනෙහි කිරීම හා මෙනෙහිකොට දැන ගැනීම යෝනිසෝමනසිකාරයයි. ප්‍රත්‍යක්‍ෂ ඥානය මෝරවා දියුණු කරගත් කල්හි ප්‍රත්‍යක්‍ෂ ඥානයෙන් දක්‌නා ලද නාම රූපයන් හා සසඳා මෙනෙහි කරගත හැකිවීම හෝ විනිශ්චය කරන්නට හැකිවීම යෝනිසෝමනසිකාරයයි. සිල්වත් මහණුන් විසින් පංච උපාදානස්‌කන්ධයෝ අනිත්‍ය වශයෙන්, දුක්‌ වශයෙන්, රෝග වශයෙන්, ගණ්‌ඩ වශයෙන්, හුල් වශයෙන්, පීඩා වශයෙන්, ආබාධ වශයෙන්, වැනසීම වශයෙන්, ශුන්‍ය වශයෙන්, අනාත්ම වශයෙන් (නුවණින් මෙනෙහි) යෝනිසෝමනසිකාරය කළ යුතුය. ස. නි. සීල සූත්‍රය.

"යෝනිසෝමනසිකාරය කියන්නේ නුවණින් සලකා බැලීමයි. කල්පනා කිරීමයි. මනසිකාරය යනු සියලුම සිතුවිලිවලට සාධාරණව උපදින චෛතසිකය යෑයි සිතක්‌ හට ගැනීමේ දී එස්‌ස, වේදනා, සංඥා, ෙච්තනා, මනසිකාර චෛතසික පහක්‌ වශයෙන් සූත්‍රවලද, ඒකග්ගතාව, ජීවිතේන්ද්‍රිය දෙක, සමග චෛතසික හතක්‌ වශයෙන් අභිධර්මයේ ද සඳහන් වේ.

හේතුවකින් ඵලය ඇතිවේ. ඒ ඵලය නැවත හේතුව වී ඵලයක්‌ ඇති වේ. මෙසේ බලන විට හේතුව හා ඵලය යනු එකක්‌ වශයෙන් යමකට කියන එකම වචන ද නොවන්නේය. කෙසේ හෝ හේතු ඵල වශයෙන් බැලීම යෝනිසෝමනසිකාරයයි. මේ අනුව යෝනිසෝමනසිකාරය නම් හේතුඵල වශයෙන් කල්පනා කර බැලීමයි.

පංචස්‌කන්ධයාගේ උත්පාද, ඨිති, භංග ත්‍රය සම්මර්ශනය, පරාමර්ශනය කිරීම යෝනිසෝමනසිකාරයයි.

යෝනිසෝමනසිකාරය හටගැනීමට හේතු 

සුවච බව, කීකරු බව කලණ මිතුරන් ඇති බව, අලෝභ, අද්වේශ, අමෝහ යන කුසල මූල තුන, සසර ඕඝයෙන් මිදීමට සිතීම, සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන පංච ඉන්ද්‍රියන්, දියුණුවට, ගෞරව කළ යුතු 6 දෙනාට ගෞරව කිරීමේ ප්‍රමාදය, පවට බිය හා ලැඡ්ජාව, සද්ධාව, හිරි ඔතප්, බහුශ්‍රැත බව උද්යෝගී බව, සතිය හා ප්‍රඥාව, යන ධර්ම හත, අරි අටඟි මග, නව අඝාත පටිවිනය ධර්ම, කෝපය දුරු කරන දශ කුසල ධර්ම,

"සංඝයා මැද ඔවුන් අතුරෙහි යම් නුවණැති කෙනෙක්‌ වෙත් නම් ඔනුහු අපි මරහු සමීපයට යනුයි දනිත්. මෙසේ දත් ඒ නුවණැත්තේ වනාහි නිතර යෝනිසෝමනසිකාරය උපදවාලීමෙන් කලහයාගේ සංසිඳීම පිණිස පිළිපදිත්. එකල සංසිඳේ"

ආර්යඥාන ලාභයට නම් හුදෙක්‌ යෝනිසෝමනසිකාරය පමණක්‌ පිහිට වන්නේ බුදු, පසේ බුදු යන දෙදෙනා වහන්සේට පමණි. රහතන් වහන්සේලාට පරතොඝෝසයද අනතුරුව යෝනිසෝමනසිකාරයද අවශ්‍යය. සප්ත බොඡ්ජංග ධර්මයන් හට ගැනීමට අවශ්‍ය වන්නේ යෝනිසෝමනසිකාරයයි.

සම්මා සම්බුද්ධත්වයට පත් විපස්‌සී, සි‚, වෙස්‌සභූ, කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බෝධිසත්වරු හත් දෙනාම සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ පටිච්ච සමුප්පාද අංග 12 යෝනිසෝමනසිකාරයෙන් බැලීමෙන් බව සංයුක්‌ත නිකායේ අභිසමය සංයුක්‌තයේ ද, නගර සූත්‍රයේ ද වදාරා ඇත. මේ අංග 12 දෙවාරය බැගින් 24 වාරයක්‌ම හටගැන්ම හා නැතිවීම වශයෙන් බලා ඇත. "මහණෙනි උදාහිරුම අරුණෝදයට පෙරදැරිවන්නාක්‌ මෙන් භික්‍ෂු නමට මේ අරි අටඟිමග වැඩීම පිණිස බහුල කිරීම පිණිස යෝනිසෝමනසිකාර සම්පත්තිය පෙර දැරිවෙයි" (ස. නි. යෝනිසෝමනසිකාරය සූත්‍රය) "අධ්‍යාත්මයේ යෝනිසෝමනසිකාරයෙන් යම් ප්‍රඥාවක්‌ උපදීද මේ චින්තාමය ප්‍රඥාය, අදේවශ කුසල මූලය චින්තාමය ප්‍රඥාවයි. චින්තාමය ප්‍රඥාව පරිපූර්ණ වුයේ අවිතර්ක විචාර මත්ත සමාධිය පුරයි. අවිතර්ක විචාරමත්ත සමාධිය පරිපූර්ණ වුයේ, අධිසීල ශික්‍ෂාව පුරයි. උපේක්‍ෂා නිමිත්ත පරිපූර්ණවූයේ අව්‍යාපාද විතර්කය පුරයි, අව්‍යාපාද විතර්ක පරිපූර්ණ වුයේ අඥ්ඥතාන්ද්‍රිය පුරයි. අඥ්ඥතාන්ද්‍රිය පරිපූර්ණ වුයේ අව්‍යාපාද විචාරය පරිපූර්ණ කෙරෙයි. අව්‍යාපාද විචාරය පරිපූර්ණ වූයේ ගවේෂණය දුරුකෙරෙහි. ගවේෂණ ප්‍රහාරණය සීලක්‌ඛන්ධ පරිපූර්ණ කෙරෙයි. මෙයින් සුඤ්ඤත විමොක්‍ෂමුඛවෙයි" පෙටක

පසේ බුදුරජාණන් වහන්සේලා පසේ බුද්ධත්වයට පත්වන්නේද යෝනිසෝමනසිකාරයෙන් මෙනෙහි කිරීමෙනි. ඇතැම් රහතන් වහන්සේලාත් යෝනිසෝමනසිකාරයෙන් අරහත්වයට පත්ව ඇති බව ථෙරගාථාවල දැක්‌වේ.

යෝනිසෝමනසිකාරය වහා සිතෙහි ඇති කර ගැනීම අපහසු බැවින් ඒ සඳහා උචිත අඩිතාලමක්‌ පසුබිමක්‌ සකස්‌ කර ගත යුතුය. මුලින්ම තථාගත ධර්මය සත්‍ය ධර්මයක්‌ බව සිතෙහි ධාරණය කර ගැනීම, එසේ වීමට නිතරම තථාගත ධර්මය හැදෑරීම, ශ්‍රවණය කිරීම හා පිළිපැදීමය. ධර්මය කෙරෙහි අචල ශ්‍රද්ධාව, සතර ඉරියව්වේ සෑම ඉරියව්වකදීම මෙනෙහි කිරීම, තථාගත ධර්මය ජීවිතයේ අංගයක්‌ කර ගැනීම, අරිඅටඟි මගෙහි ගමන් කිරීමයි. "මහණෙනි, දුක්‌ හටගැනීම කවරේද යත් ඇසත්, රූපයත් නිසා චක්‌ඛු විඤ්ඤාණය උපදී. මේ දහම් තුනේ එකතුවීම ස්‌පර්ශයයි. ස්‌පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාද, වේදනා ප්‍රත්‍යයෙන් තණ්‌හාව වේ. මහණෙනි මේ දුක්‌ හට ගැනීමයි." තෘෂ්ණාව උපාදානය වන බැවින් තෘෂ්ණාව ප්‍රහීන කළ යුතුය. දුක්‌ඛ සත්‍ය නිතර මෙනෙහි කළ යුතුය.

ආශ්‍රයට කල්‍යාණ මිතුරන්ව තෝරා ගැනීම, මෙත්තා, කරුණා, මුදිතා යන කර්මස්‌ථාන උපරිම මට්‌ටමට වැඩීම. ඊට පසු උපේක්‌ඛා කර්මස්‌ථානය වැඩීම, බුද්ධ ධර්මය පිළිබඳ සැක ඇති වන දෑ නොකියවීම. බුද්ධ ධර්මය පිළිබඳ වාද විවාදවලින් ඈත් වීම, සූත්‍ර, අභිධර්ම දෙපිටකයෙන් බාහිර ග්‍රන්ථ පරිශීලනය අත්හැරීම, නිරන්තරයෙන්ම අෂ්ටාංග ශීලය සමග ව්‍යාපාද, අභිඡ්ජධා, මිථ්‍යාදෘෂ්ටි ශික්‍ෂා පද සමාදන් වීම සිත කය වචනය යන තිදොරින් සිදුවන්නා වූ අකුසලින් වැළකීම, යෝනිසෝමනසිකාරය හටගැනීමට හේතු වෙයි.

යම් හෙයකින් කාම විතර්කයක්‌ පහළ වූයේ නම් ඒ කාම විතර්කය අකුසල්ය. සදොස්‌ය, දුක්‌ විපාක ගෙන දෙන්නේය. තමාටත් අනුන්ටත් යන කාටත් දුක්‌ පිණිස අහිත පිණිස පවතින්නේය යනාදී වශයෙන් යෝනිසෝමනසිකාරයෙන් යුතුව එහි ආදීනව සලකා බලා එසේ අරමුණෙහිදීම නොඉවසිය යුතු බව, සිතට නගා නොගත යුතු බවය. සිතට වැද්ද නොගත යුතු බව සිත්හි නවතා තැන්පත් කරගැනීම නොකළ යුතු බවත් නාධිවාසෙති යනුවෙන් පැහැදිලි කෙරේ.

"තිට්‌ඨං චරං නිසින්නොවා, සයානොවා යාවතස්‌ස විගථ මිද්ධො "යනුවෙන් අදහස්‌ වන්නේ, යෝනිසෝමනසිකාරයයි. මේ ඒ පිළිබඳව පැහැදිලි කිරීමකි. "තව මාහැඟි භාවනා ක්‍රමවලින් එකක්‌ නම් පෞද්ගලික ජීවිතයේ සාමාජික ජීවිතයේ හෝ වෘත්තීය ජීවිතයේ හෝ දවසේ වැඩවලදී කයින් වචනයෙන් අප කරන සියලු දේ සිහියෙන් කිරීමය. ඇවිදීම, සිටීම, හිඳීම, නිදීම, අඟ පසඟ හැකිලීම, දිගු කිරීම, ඔබ මොබ, බැලීම, ඇඳුම් ඇඳීම, දෙඩීම, නිහඬ, වීම, ආහාර පාන ගැනීම, අනෙකක්‌ තබා මළ මුත්‍ර පහ කිරීම යනාදී හැම ක්‍රියාවකදීම කරන හැම මොහොතේම ඒ කරන ක්‍රියාව ගැන සම්පූර්ණයෙන් සිත යෙදිය යුතුය. වෙන වචනවලින් කියතොත් දැන් පවත්නා මේ මොහොතෙහි හෙවත් දැන් මේ කරන ක්‍රියාවෙහි ජීවත් විය යුතුය. අතීතය ගැන හෝ අනාගතය ගැන කිසිසේත් නොසිතිය යුතුය යනුවෙන් ඉන් අදහස්‌ නොවේ. සැබවින්ම දැන් කරන ක්‍රියාව හෙවත් මේ මොහොත පිළිබඳ අතීතයක්‌ හෝ අනාගතයක්‌ වේ නම් ඒ ගැන මේ මොහොතට අනුව සුදුසු පරිදි සිතිය යුතුය."

අනගාරික බ්‍රහ්මචාරී 

දයාසේන සේනාරත්න

අපායගාමීයාට කාලයේ ගමන නොදැනේ

සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරාව ඉතා දුක්‌බර සසරින් මිදීයැමේ සුන්දර හා ශෝභමාන මාවත කවරකුගේ වුව සිත් තුළ විවෘතව ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරන මේ ශීලෝපශෝභිත මහයතිවරයන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍යවූ තුරු මඩුලු සිරසින් ගහන වන අරණකදීය. නම් ගොත් හෝ රුව පවා හෙළිකිරීමට අකමැතිවූ උන්වහන්සේගේ මුවමඬලින් ගලා ගිය අමා සදහම් දියෙන් බිඳක්‌ මෙසේ අපි ඔබ සිත් අභිමුව තබමු.

සංවාද සටහන - සුගත් වීරසූරිය

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරියසව්තෙම (ආර්ය ශ්‍රාවක) යනු භවානුසය හෙවත් භවයට හේතුවන්නා වූ බියකරු කෙලෙස්‌ ක්‍රමයෙන් සිඳ වියලා දමන්නාය. ඇතැම් විට හේ තෙමේ එම කෙලෙස්‌ රැහැන් වර පට මුළුමනින්ම ලිහා සුනුවිසුණු කළ අමා නිවන් දුටු මහරහතන් වහන්සේද වන සේක.

'ගහපතියෙනි, ආර්ය ශ්‍රාවක තෙම ක්‌ෂයවූ නිරය ඇත්තේ වන්නේය. ක්‌ෂය කළ ප්‍රේත විෂය ඇත්තේ වන්නේය. ක්‌ෂය කළ විනිපාත දුග්ගති ඇත්තේද වන්නේය.' සම්මා සම්බුදු පියාණන් වහන්සේ සෝතාපත්ති සංයුක්‌තය ආශ්‍රිත වෙළුද්වාර සූත්‍රය තුළදී ඒ සංසාර දුක ඉක්‌මවූ මහරහතන් වහන්සේ පිළිබඳව සදෙසා වදාළේ එලෙසින්ය.

ඇත්තටම ඒ මහ අරහත් මුනීන්ද්‍රයාණන් වහන්සේලා එම සංසාර සාගරයෙන් එතෙරවී මාරයාට නෙපෙනෙන තැනවූ නිවනට වැඩියේ මූලික වශයෙන් කුමක්‌ නිසාද? එතෙක්‌ විඥනය තුළ ගැබ්ව පැවැති මමත්වය සම්පූර්ණයෙන්ම වියළා දැමූ නිසාය. ඒ වියළා දැමීම තාවකාලිකවූ වියළා දැමීමක්‌ නොවීය. එය ඉතා ආශ්චර්යවත් ක්‌ලේශ ප්‍රහානයක්‌ම වී.

අපගේ මේ නොනවතින නිමාවක්‌ නැති සංසර ගමනට, සංසාර දුකට ඉවහල්වන මමත්වය යනු කුමක්‌ද? එය අනෙකක්‌ නොවේ. සංසාර දුකට වැටුණු සත්වයින්ගේ විඥනය තුළ ගැටගැසී පවතින අනේක ප්‍රකාර සිතිවිලි සමූහයමය. මේ සිතිවිලි, තමාගේම ස්‌වයපෝෂිත විවිධාකාර වූ ලොබ බැඳීම් නැතහොත් ආශාවන් අතරින් නිරතුරුවම ප්‍රසාරණය වෙමින් පවතී. ලෝකය නමැති දුකින් හා බියෙන් ද යුතු මඟුල් සක්‌වල තුළ මේ හැම දෙයක්‌ම සත්වයාට ප්‍රිය අප්‍රිය දේය. ජය හා පරාජයෝය. සංතුෂ්ටීන් හා වේදනාය. ඇලීම් හා ගැටීම්ය. සැබවින්ම මේ සත්වයාගේ මමත්වය ප්‍රසාරණයවී නැත්නම් දිගහැරී ඉතිරිවන ලෞකික අන්තයන්ය. නැතහොත් අසාරවූද, අනිසය වූද, අයථාර්ථවාදී වූද ලෝක සම්මූතීන්ය. මේ සම්මූතීන්වල දැඩිව බැඳී සත්වයා ලෞකික ලෝකය තුළ ලබන ඉහළම ප්‍රාප්තිය වූ සක්‌විකි රජ පදවිය ලබන්නේ යෑයි අපි කල්පනා කරමු. ඔහුට දිව්‍යමය වූ පස්‌කම් ගුණයන් පරිහරණය කිරීමේ මහා භාග්‍යයක්‌ තිබේ. මේ සියල්ල ලැබූවත් හේ තෙමේ ස්‌වකීය වූ විඥනගත ස්‌වයං නිර්මිත ආශාවන් සිය චිත්ත සංතානයෙන් විනිර්මුක්‌තකොට දමා හෙවත් අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් විනාශකොට දමා නැත. ඒ හෙයින්ම හෙතෙමේ සිව් දහමෙන් යුතු නොවන්නාවූ සක්‌විති රාජ පදවි ලැබූවත් සංසාරික වශයෙන් පරාජිතයකු වන්නේය. ඒ ඔහු නිරයෙන්, තිරිසන් යෝනියෙන්, පේත විෂයෙන්, අපාය දුගති විනීපාතයට කෙළවරක්‌ නොමැතිවම පැමිණෙන හෙයිනි.

මේ අන්දමට බැලීමේදී මම යනු ස්‌වකීය වූ පවුල, ජාතිකත්වය, ජන සමූහය, දැක්‌ම, සංස්‌කෘතිය, පාරම්පරික සම්ප්‍රදා, ගට්‌ඨන, උත්සාහයන්, ලෞකික ප්‍රගුණ කිරීම් ආදී මේ කී නොකී සියල්ලෙන්ම පෝෂණය ලබා තිබෙන එකම ව්‍යාකූළක ජාලාවක්‌ බව අප අවබෝධ කරගත යුතුය. මේවායෙහි 

රැඳෙන බැඳෙන තරමට සිදුවන්නේ සත්වයා ඒවා අතරේ තව තවත් සිර ගතවිමයි. ඔහු එක තැනකට සීමාවූ, එකම දුකකට කොටුවූ මේ දුෂ්ට බන්ධනාගාරය තරම් තවත් විපතක්‌ ලෝකය තුළ ඔහුට නැති තරම්ය. හුදෙක්‌ම ඒ අවුරුදු කෙළ කෝටි ප්‍රකෝටි ගණන් තිස්‌සේ ඔහු ඇවිද්ද වන බැවිනි. ඇවිද්දවන්නේ කොහේද? විවිධාකාර වූ දුක්‌තැවුල් අනාථ, අසරණවීම්වලින් පිරුණු අනවරාග්‍ර (කෙළවරක්‌ නැති) සංසාර සාගරයේය. මෙහිදී ඔහුනට නිරන්තරයෙන්ම දායාද ලෙස ලැබෙන කුරිරු සරදම් තුනක්‌ තිබේ. එනම්, අපායගාමනීය රාගයයි. අපාය ගාමනීය ද්වේෂයයි. අපාය ගාමනීය මෝහයයි. තම විඥානය තුළ ගැබ්කොට ගත් මමත්වය නමැති නිහර සිතුවිලි සමූහය තුළ සත්වයා කොටුවී සිටින තාක්‌ කල් ඔහුට මේ කෲර පරාජිත සංසාරමය ලුහුබැඳීම්වලින් කිසිම අතමිදීමක්‌ නැත.

ගොනුපසුපස යන රියක සකක්‌ මෙන් පෘතග්ජන සංසාරිකයා ලුහුබඳින මේ විඥනගත විපතින් ඔබ අතමිදෙන්නේ කෙසේද? ඒ සඳහා ඉහතකී 'මම' හා බැඳුණු සෑම සියලු අඩුවැඩියත්, ඔබේ නමක්‌ ඔබ සපුරා බැහැර කළ යුතුය. එහි රැඳෙන - බැඳෙන හැම රැහැන් පටද ඔබ සුනුවිසුණු කළ මනාය. එවිටම සංසාරගත අනන්තය පැවැත්මට හා බියට, තැති ගැන්මට හේතුවන 'ඔබ, හා 'මම' නමැති කිසිවක්‌ ලෝකය තුළ තවත් ඉතිරිවී නොපවතිනු ඇත. 

මේ සුන්දර වූද, ලෝකෝත්තර වශයෙන් ශෝභමාන හා පරම අර්ථවත් වූද මාර්ගයට පිවිස ගත්තේ, තිලෝගුරු බුදුරදුන් හැඳින්වූයේ සෝවාන් මාර්ගඵල ලාභී අරිය සම්මා වශයෙනි. මේ පුණ්‍යවන්තවූද, භාග්‍යවන්තවූද ශ්‍රාවකයෝ ලෝකෝත්තර මාර්ග සිතෙහි ධ්‍යාන කුසල චිත්තය ඉතාමත්ම ප්‍රබලය. ඒ උත්තම ශ්‍රාවකයාට සිය ජීවිතයද අමා නිවන් දක්‌නා තාක්‌කල් වඩාත් ආරක්‌ෂිත ස්‌ථානයක්‌ වන්නේය. ඒ විදසුන් වඩා පිළිවෙලින් නිවන තෙක්‌ වැටී ඇති මාර්ගපල වෙත ප්‍රවේශවීමේ හා ශක්‌තියක්‌ ඔහුට කර්ම ශක්‌තිය විසින්ම ලබාදෙනු ලැබ තිබෙන හෙයිනි. නිර්වාණ ධර්මාවබෝධය ලබා සංසාරයෙන් නික්‌ම යන තෙක්‌ මොහු හට අකාල මරණ කිසිවක්‌ හිමි නොවේ. එමෙන්ම කිසිවකුගේ කවරවූ හෝ උපක්‍රමයකින්වත් මේ ආර්යය තෙමේ මරා දැමිය ද නොහැක්‌කේය. එයට ප්‍රධානතම හේතුව වන්නේ ඒ වූ සියලු උවදුරු කෙරෙන් කල් ඇතිවම ඉවත්වී නිර්වාණ අවබෝධය ලැබීමට ඔහුට හැකිවන හෙයිනි. එසේ වුවත් අහෝසි නොවූ කර්ම පල විපාකයන් විසින් මේ අරියසව් තෙමේද පෙළිය හැකිය. එය සංසාරයේ ස්‌වභාවයයි. 

මේ කෙසේ වුවත් විඥනය තුළ ගැබ්වී කැකෑරීමට ලක්‌වන 'මම' වෙනුවට මේ සසර ඉක්‌මවන මුණි පුත්‍රයන්ගේ සිත මහත් සේ ප්‍රභාෂ්වර වන්නේය. ඒ මම යන්නෙහි සියලු තට්‌ටුවල හරයන් ශුන්‍යත්වයට, හිස්‌බවට පත්වීම කෙරෙනි. එසේ වන්නේ ඔහුට ශාස්‌තෘ නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව රහිතව විසීම අභව්‍යවන නිසාය. ධර්මය කෙරෙහි ගෞරව රහිතව විසීම අභව්‍ය වනනිසාය. සංඝයා කෙරෙහි ඔහුගේ පැවැත්මද එසේය. එමෙන්ම හේ මනා ශීලයකින්ද සමන්නාගත වන අතර දෙසැටක්‌වූ මිසදිටුභාවයන්ගෙන්ද තොරවී අටවන භවයක ඉපදීමකටද නොපැමිණිනෙන්නේය. එමෙන්ම කිසිම සංසාකාර ධර්මයක්‌ නිත්‍ය යෑයි සුභයෑයි, සුඛ යෑයි පිළිගැනීමක්‌ද ඔහු තුළ නොවේ. මෙම සියල්ලෙන්ම වටහා ගත හැක්‌කේ කුමක්‌ද? ඔබ සංසාර සාගරයේ අනන්ත අප්‍රමාණ දුරක ඇවිද්වනු ලබන 'මම' හෝ 'අපි' යන්න ඔබේ සිත තුළ සටහන් වී ඇති දේවල ප්‍රතික්‍රියා පමණක්‌ වන බව නොවේද? ඔබගේ දුක්‌ දොම්නස්‌, වේදනා, ආදරය හෝ වේදනාව පමණක්‌ නොව අනෙකුත් සෑම අවුල් චින්තාවක්‌ම මේ සංසාර මායාවේ කෙලෙස්‌ උල්පත්වලින් ගලා එන පවිටු දියවැල් පමණෙකි. මේ සියලු දියවැල් එක්‌වී නිර්මාණය වන සංසාර සාගරය සත්වයාගේ නිර්වාණ විමුක්‌තිය සම්පූර්ණයෙන්ම අවුරා දමන්නේය. මේ දියවැල්වල ස්‌වභාවය තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේද විස්‌තර කොට වදාළ සේක. එනම් මේ චිත්ත විකාර, මුළාවීම් සංඥ ස්‌කන්ධයයි. එය පෘථග්ජන සිත තුළ ගංගාවක්‌ ගලන්නාක්‌ මෙන් ඇතිවෙමින් නැතිවෙමින් නිමාවක්‌ නැතිව ක්‍රියාත්මක වේ. 

සංසාරගත ජීවිත තුළ කුසල් අකුසල් හටගැනීම සිදුවන්නේ මේ නිසාය. තවදුරටත් පැවසුවහොත් මෙයින් කරන්නේම එක්‌ සිතිවිලි පරම්පරාවක්‌ නිරුද්ධවීමට ප්‍රථමයෙන් තවත් සිතුවිලි පරම්පරාවක මුල් අල්ලා දීමයි. මේ සිතුම් පරම්පරාව හා කර්මයද එක්‌වී (විශේෂයෙන්ම කර්මය) සත්වයාගේ ඊළඟ භවය තෝරාබේරා දෙයි. මෙය සම්මා සම්බුදු දහමෙහි 'ගතිය' යනුවෙන්ද හැඳින්වේ. අපේ තිලෝගුරු බුදුහාමුදුරුවන් මරණින් පසු සත්වයා උපදින ගති සතරක්‌ පිළිබඳ දේශනාකොට වදාළ සේක. එනම් දේව, මනුෂ්‍ය, නිරච්චාන හා නේරෙයික යනාදී වශයෙනි. මෙම ගතියෙන් එකක මීළඟ ජීවිතය සකස්‌කර ගැනීම කෙරෙහි ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ එතෙක්‌වූ ජීවිතයේදී 'මම' යන්න මූලික කරගෙන පුද්ගලයා රැස්‌කළ කර්ම සමූහයයි. මෙයින් මහත් සේ අකුසල් රැස්‌ කළෝ ඒකාන්ත වශයෙන්ම අටවන මහා නිරය තුළ මහත්වූ දුඃත ජීවිතයක්‌ සකස්‌කර ගනිති. අමාමහා නිරයන් අතරින් අනන්ත වූ අප්‍රමාණ දුක්‌ පිරුණු නිරය වන්නේ අවීචි මහානරකයයි. මෙහි අනන්තවූ ජීවීහු ප්‍රමාණයක්‌ ජීවත්වෙති. ඔවුහු විවිධ භවයන්වලදී පාපයන්ගෙන් අනන්තයට ගමන් කළාදීහුය. අවීචි මහා නිරයෙන් නැඟෙන ගිනිදැල් ක්‍රමයෙන් මහ පොළොව තෙක්‌ නැගෙන බව බුදුපියාණන් වහන්සේ සදෙසා වදාළහ. මෙහි ඇති අනෙක්‌ භයානකම තත්ත්වය නම් මෙය නොවේ. මේ නරකයන්හි පවත්නා ගිනිය නොහැකි තරම් වූ කාලයයි. නොනිදන්නා හට ය ඉතා දිගුව දැනෙන්නාක්‌ මෙන් නිරයන්හි භවය සකසා ගන්නා අපායගාමී සත්ව තෙමටද කාලය ගෙවෙන බවක්‌ හෝ නොදැනේ.

තිසරණගත උපාසක භාවය

පූජ්‍ය කරඳන සමිත හිමි

බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය තිසරණයයි කියනු ලැබේ. කුමක්‌ හෙයින්ද? සරණ යන මේ වචනයෙහි අදහස නම් පිහිට යනුයි. එය කුමකට වන පිහිටක්‌ද? "සරති හිංසතීති සරණං" යනු සතර අපා දුක හා ජාති, ජරා මරණාදී සියලු භය සන්ත්‍රාස දුර්ගති පරික්‌ලේශයන් හිංසනය කිරීම පිණිස විධවංශනය කිරීම පිණිස වන පිහිටයි. සරණ යන්නෙහි අදහසය.
සරණ යන මේ වචනයෙන් වධය (මැරීම) කරන්නෙක්‌ කියනු ලැබේ. එය කවරෙක්‌ද? බුද්ධාදී රත්නත්‍රයයි. රත්නත්‍රයෙහි පිහිටි යම් කිසි පුද්ගලයෙක්‌ රත්නත්‍රය විශ්වාස කොට ගෙන ත්‍රිවිධ රත්නය සෘජු අදහසින් පිහිටකොටගෙන යථා විධීන් අදහන්නේනම් ඔහු හට දෙලොවින්ම පැමිණෙන භය සන්ත්‍රාසාදී සියලු උවදුරු ත්‍රිවිධ රත්නය විසින් තියුණු මුවහත් අසිපතකින් නෙළුම් දඬුවක්‌ සිඳ ලන්නාක්‌ මෙන් සුණු විසුණු කර දමනු ලැබෙත්. සංසාර යාත්‍රාවට පිළිපන් සත්ව සමූහයාට දායාද වශයෙන් මෙන් නියමිතව ලැබෙන ජාති ජරා මරණ ව්‍යාධි, ශෝක, පරිදෙව, දුක්‌ඛ්‍ය, දොමනස්‌සාදී අනන්තාපරිමාණ දුක්‌ සමූහයකින්ද කරන ලද පව් කම් වලට විපාක වශයෙන් ලැබෙන දණ්‌ඩ භය, දුර්ගති භය ආදී ශත සංඛ්‍යාත භයෝපදාව සමූහයෙන් මිරිකී මිරිකී යොනියෙන් යොනියට භවයෙන් භවයට යමින් එමින් පරම අසරණ භූත තත්ත්වයක වැටී සිටිනේ වෙයි. ඔහුන් කලෙක පින්ද කලෙක පව්ද කරමින් සුගති දුගති වශයෙන් භවයේ ඇවිදිති. ඔවුන් ස්‌වෝත්සාහයෙන් බුද්ධොත්පාදයකට "මේ දේ කළ යුතුයි. මේ දේ නොකළ යුතුය දන් දෙව් සිල් රකිව්. භාවනා වඩව්, සතුන් නොමරව් මේ ආදී සිද්ධාන්ත "පරම ශාන්ත අතිරමණීය" උපදේශ ධර්ම නැමති ස්‌වර්ණ පානයට ඔවුන් නංවා අනාදිමත් කාලයක සිට පරිචිතව ආමාෂුචිත්ත සන්තාන ගත ක්‌ලේශ ධර්ම සෝදා හැර දුක්‌ඛ භය සන්ත්‍රශාදී සියලු උපද්‍රව්‍යයන්ගෙන් තොර කොට පරම සුතයෙන් කරණ හෙයින් "යුද්ධාදී රත්නත්‍රය "සරණ" යන නමින් හඳුන්වනු ලැබේ. 

සරණාගමනය

සරණාගමනය ලෞකි සරණාගමනය ලෝකොත්තර සරණාගමනයයි දෙයා කාරවේ.

ලෞකික සරණාගමනය

ආත්ම නිර්යර්තන සරණාගමනය

තත් පරායනතා සරණාගමනය

ශිෂ්‍ය භාවොපගමන සරණාගමනය

ප්‍රණිපාත සරණාගමනය යනුවෙන් සතර ආකාරයකට බෙදේ. ආත්ම පරිත්‍යාග කරමින් සිතා කියා සරණ යෑයි ආත්ම නිර්යාර්තන සරණාගමනයවේ. ජාති ජරා මරණාදී සියලු දුක්‌ නැසීම පිණිස බුදුන්, දහම්, සඟුන් පිහිට කොට සරණ යැම. තත් පරායනත සරණාගමනයවේ. ශිෂ්‍ය භාවොපගමන සරණාගමනය යනු බුද්ධ ධර්ම සංඝ යන ත්‍රිවිධ රත්නයෙහි අවවාද අනුශාසනා අසා දිවි හිමියෙන් රකින සුවච කීකරු ශිෂ්‍යයෙක්‌ වෙමි යයි සිතා ශිෂ්‍ය භාවයට පැමිණ රත්නත්‍රය සරණ යැම වේ. තෙරුවන් ගුණ නුවණින් දැන අචල සද්ධාව උපදවා අද පටන් මගේ පරම ගෞරවාදරය නමස්‌කාරය තෙරුවන් උදෙසාම වේවායි සිතා සරණ යැම ප්‍රණිපාත සරණාගමනයයි.
ලෞකික සරණාගමනයෙහි ස්‌වභාවය බිඳීමට, කෙලෙසීමට පැමිණීමයි. සරණය කෙලෙසන අයුරු, වන්නේ තිසරණය සමාදන් වූ යම් කෙනෙක්‌ බුදුපියාණන් වහන්සේට, උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට, ආර්ය මහා සංඝරත්නයට, කායාදි ද්වාරයෙන් අගෞරව අනාදර කිරීමෙන්, වැඳුම් පිදුම් ගරු බුහුමන් නොකිරීමෙන්, ශ්‍රද්ධා ගෞරවාදර අඩුකර ගැනීමෙන්, තෙරුවන් ගුණ මෙනෙහි නොකිරීමෙන්, ත්‍රිවිධ රත්නයෙහි නුගුණ කීමෙන්. ත්‍රිවිධ රත්නය අල්ප ස්‌වල්ප කොට සිතා කවට සිනා බස්‌ කීමෙන්ද, මිථ්‍යාගමයන්ගේ වැඩි දියුණුවට කරන වැඩවලට උපස්‌තම්භක වීමෙන් හා චපල ක්‍රියාවන් හේතුකොටගෙන සරණය කෙලෙසේ බෞද්ධ මලකඩයෙක්‌ වේ.
ලෞකික සරණාගමනය බිඳී යැම මරණයෙන් බිඳී යැම, අන්‍යාගමක්‌ ඇදහීමෙන් බිඳී යාම යයි කියා දෙයාකාරවේ.
පෘථග්ජන වූ අප විසින් ගනු ලබන සරණය මේ ආත්ම භාවයටම සීමා වූයේ වෙයි. මරණින් පසු අනික්‌ ජන්මයකට නොයන්නේය. තමන් සමාදන් වූ සරණය බිඳ දැමීම නොහොබිනා පාප වැඩක්‌ වුණේ වී නමුත් මරණයේදී බිඳී යැම පිළිබඳව වරදක්‌ නොමැත. ත්‍රිවිධ රත්නය සරණ ගිය ඇතැම් මන්ද බුද්ධිකයෝ මිථ්‍යාවාදීන්ගේ අභූත බස්‌ අසා අප අදහන බුදුපියාණන් වහන්සේ නියම ශාස්‌තෘවරයෙක්‌ නොවෙයි. ඒ ධර්මය යහපත් දෙයක්‌ නොවෙයි. ඒ සංඝයා යහපත් සංඝයා නොවෙයි. පින්පව්වල ඉෂ්ඨානිෂ්ඨ විපාකයක්‌ නොමැති යෑයි කියා අයෝනිමනසිකාරයෙන් සිතා මිස දිටුවන් ඇසුරු කිරීම මිථ්‍යා මත ගැනීමත් සමග ත්‍රිවිධ රත්නය නමැති ස්‌වර්ණ පර්වතයන් ගිලිහී මිථ්‍යා නමැති ප්‍රපාතයට ඇද වැටී අසත්‍ය ලබ්ධි ජාලයෙන් බැඳී පිරිහීමට පත්වේ.
ලෝකොත්තර සරණාගමනයෙහි බිඳීමක්‌වත් කෙළසීමක්‌ වත් නැත්තේය. ඒ සරණාගමනය කියන ලද පරිදි ආත්ම නියර්තනාදී වශයෙන් සමාදන් වීමකුත් නැත්තේය. එය නොකෙලෙසීමට හේතුවනම් නිර්වාණය අරමුණු කොට සෝවාන් මාර්ග ඥන මහා කුශල චිත්ත විථිය හටගන්නා කළ ත්‍රිවිධ රත්නයෙහි ගුණ සහ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් සෝවාන් මාර්ග ඥනයෙන් අවබෝධ කරගත් විට සරණ බිඳෙන කෙලෙසන සියලු ක්‌ලේශ ධර්මයන් නැති කර දමන හෙයින් සරණ බිඳීමට කෙලෙසීමට නොපැමිණේ. සියලු ක්‌ලේශ ධර්මයන් මුල් සිඳ නැතිකොට දමා අචල ශ්‍රද්ධාවෙන් පිහිටන සරණාගමනයාගේ ආනිසංස වදාරණ බුදුපියාණන් වහන්සේ

1 යොච බුද්ධඡ්ච ධම්මංච සංඝච සරණංගතො

2. චත්තාරි අරිය සච්චානී සම්මපප්ඤ්ඤය පස්‌සතී

එතං ඛො සරණං ඛෙමං එතං සරණං මුත්තමං

ඒතං සරණ මාගම්ම සබ්බ දුක්‌ඛා පමුච්චතී

ත්‍රිවිධ රත්නයෙහි ගුණ දැන චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධමයන් පිහිටන් ලෝකොත්තර සරණගමනයම නිර්භය වන්නේය. ඒ මේ අතිඋත්තම සරණය සමාදන්ව සසර දුකින් මිදෙන්නේය. ඒ සරණ යැම ශේ්‍රෂ්ඨය. උත්තමය ලෝකොත්තර සරණයෙන් සරණ ගත ආර්ය ශ්‍රාවකයා ඒකාන්තයෙන්ම සසර දුකින් මිදුනේ වන්නේය. එහි විපාක ඵල අනිසංස ඵල නම් නිර්වාණ ධර්මාවබෝධයෙන් නියතින්ම නිදුක්‌ වීමයි යනු ඒ ගාථාත්‍රයේ අදහසයි.
මෙසේ ත්‍රිවිධ රත්නය සරණ යන අයුරු සහ එහි ප්‍රභේදාදිය විස්‌තර කරන ලද නයින් ඉගෙන තෙරුවන් සරණ පරායන දිව්‍ය මනුස්‌ස්‍ය සම්පත් කෙළවර නිර්වාණය ලබා ගැනීමට උත්සාහ වඩත්වා බෞද්ධ විලාශයෙන් උපාසක විලාශයෙන් පෙනී සිටින බෞද්ධයන් අද ලංකාවෙහි එමට සිටිත් සරණ බිඳගන්නේ කූට වංචා වැඩ කිරීමෙන්ය. ඔහුන්ට බෞද්ධ උපාසක භාවය ඇතැයි කියා නොසිතිය යුතුයි. ඒ මන්ද? ත්‍රිවිධ රත්නයෙහි සරණ යැම බෞද්ධ භාවයෙහි පදනම හෙයින් ත්‍රිවිධ රත්නයේ ගුණ දැන ගුණ මෙනෙහි කොට තිසරණ සමාදන්ව නිර්මලව එය ආරක්‍ෂා කිරීම නියම බෞද්ධයෙකි. උපාසකයෙකි.
දිනක්‌ මහානාම ශක්‍ය රජතුමා බුදුපියාණන් වහන්සේ වෙත එළඹ "ස්‌වාමීනි" ඔබ වහන්සේගේ ශාසනයෙහි කෙතරම් ගුණයක පිහිටීමෙන් උපාසකයෙක්‌ වන්නේදැයි විචාල ප්‍රශ්නයට පිළිතුරු දේශනා කළ අමා මෑණියන් වහන්සේ.

"මහානාමය" යම් කෙනෙක්‌ බුදුන් සරණ ගියේද? දහම් සරණ ගියේ වේද? සඟුන් සරණ ගියේ වේද? මහානාමය මෙපමණකින් උපාසක නම් වේ යයි වදාළ සේක.

මෙහි දක්‌වන ආකාරයට නියම බෞද්ධයා හෙවත් උපාසකයා නම් ත්‍රිවිධ රත්නය සරණ ගොස්‌ එය නිර්මලව අඛණ්‌ඩව රකින පුද්ගලයා බව මෙයින් පෙනේ.

උත්තම නිහඬ බව

පූජ්‍ය ගම්පහ සිරි සීවලී හිමි
වේළුවනාරාමය, 

කන්නිමහර, වතුරුගම

ගෞතම ශාක්‍යසිංහ මුනින්ද්‍රයාණන්වහන්සේ ඉන්ද්‍රිය බන්ධනයෙන් නිදහස්‌ වීම, ඵස්‌ස නිරෝධය, නිරෝධ සමාපත්තියට සමවැදීම - අමනසිකාරය ආදී වශයෙන් ප්‍රකට කළේ උපදේශාත්මකව අනුදැන වදාළේ මහා නිහඬ භාවයට සම්ප්‍රාප්ත වීමටයි.
"යථා එකො තථා බ්‍රහ්ම" තනිවීම බ්‍රහ්මත්වයයි. මානසික නිහඬ බවයි. විතක්‌ක විප්පාර - විචාර විප්පාර හට නොගැනීමයි. සිතුවිල්ලක්‌ හට ගැනීමට පළමුව "අරමුණ" තිබිය යුතුය. අරමුණ යනු රූපයකි. ධම්ම රූපය මන රූපයට ඵස්‌ස වීම පළමුව සිදු වේ. ඵස්‌සය නිරෝධයේදී සිදුවන්නේ බාහිර අභ්‍යන්තර රූප සම්බන්ධීකරණය නොවීමයි. අරහත් ඵල සමාපත්තිය නිරෝධ සමාපත්තිය සමවදින අවස්‌ථාවයි. උත්තම නිහඬ බවයි. සිතුවිල්ලෙන් තොරව වාසය කිරීමයි. මනසින් නික්‌මයැමයි.
උත්පත්ති - මරණ - මම - අපි - සතා පුද්ගලයා ග්‍රහවස්‌තු - කාම භව - රූප භව - අරූප භව - පාදක කරගෙන දේශනා ප්‍රඥප්ති නමින් හඳුන්වයි. පරමාර්ථ දේශනා නොවේ. යථාභූත ඤාණය යනු උත්පත්ති මරණ ඉක්‌මවා ගියාවූද සම්මුතිය ඉක්‌මවා ගියාවූද භෞතිකත්වයක්‌ ඉක්‌මවා ගියාවූද පැන වීමක්‌ ප්‍රකට කිරීමක්‌ කිසිසේත් පෙන්විය නොහැකි "අස්‌ථි"ත් නොවන "නස්‌ථි"ත් නොවන විඤ්ඤාණ - නාම - රූප යන්ගේ පැනවීමක්‌ ප්‍රකට කිරීමක්‌ හුවා දැක්‌වීමක්‌ ගෙනහැර දැක්‌වීමක්‌ නොයෙදෙන පටිච්ච සමුප්පන්නයේ යථාර්ථයයි. "ඇති" බවත් "නැති" බවත් නැති දෙකක ක්‍ෂයවීමයි. (දු+ඛ}දුක්‌ඛ} 'ඇත' - 'නැත' - නැතිබව) අනිත්‍යයි. විතක්‌ක විචාර වශයෙන් ගෙන මනසිකාරයෙන් තොර පැනවීමක්‌ නැති අති පරිශුද්ධ නිහඬ බවකි. හෙවත් චිත්ත පරම්පරාවක්‌ නොමැති බවයි. "අනිදස්‌සන විඤ්ඤාණය" යනු මේ තත්ත්වයයි. මොනම ආකාරයෙන්වත් චින්තනාත්මක වින්දනයක්‌ නොමැති බවයි. මමෙක්‌ කෙනෙක්‌ දෙයක්‌ පැනවීමක්‌ නොමැති තැන අරමුණු ගැන කතා කළ නොහැක. සීමාමායිම් නොමැති පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඤ්ඤාණ, ශුද්ධ ධර්මතා වශයෙන්වත් කළු සුදු වශයෙන්වත් අඳුර ආලෝක වශයෙන්වත් ප්‍රකට කිරීමක්‌ නොමැති සංඛතයක්‌ නොවන "අසංඛතයක්‌" පමණි. එය වචනවලින් ප්‍රකාශ නොවන නිසා අව්‍යාකෘතයි. අතක්‌කාවචරයි. කර්තෘ විරහිත මනෝ භාවයකි. ඔබේ හුස්‌ම විශ්වයට මුදාහැරියා හා සමානයි. මහා සාගරයට අහසින් වැටුණු වැහි බිඳුවලට වූ දෙයක්‌ පෙන්විය නොහැක. සම්පූර්ණයෙන්ම කිසිත් ඉතිරිවී නැති දියවී, නොපෙනී ගිය මහා නිහඬ බවක්‌ පමණි. පහනක්‌ නිවී ගියා සේය. භෞතික ලෝකයේ පෙනෙන - දැනෙන - විඳින ආයතනවලට සම්බන්ධ වන සියලු දැ සඳහා සංඥ ලකුණු ඉදිරිපත් කිරීමට ව්‍යවහාර භාෂා සහ මුද්‍රd ඇත. අකුරු සමූහයකින් වචන සමූහයක්‌ සෑදී ඇත. තනි අකුරකින්ද සංඥවක්‌ අදහසක්‌ ප්‍රකට කළ හැක. එහෙත් ලොකෝත්තර ස්‌වභාවය ඉක්‌මවා ගියා වූ අනුත්තර ධර්මතාවය මානසික ග්‍රහණය කර ප්‍රකට කිරීම සඳහා කොතරම් ප්‍රාණ පිහිටුවා සජීවිකත්වය ආරෝපණය කළත් කිසිම භාෂාවකට මාධ්‍යයකට මේ උත්තරීතර ලෝකෝත්තර තත්ත්වය ප්‍රකට කළ නොහැක. උත්තම නිහඬ බව නිදහස්‌ බව ප්‍රකට කිරීමේදී සියලු භාෂා මාධ්‍ය මළ භාෂාවන් වේ. ඒ පරිපූර්ණ උත්තම නිදහසයි.
එක්‌ වස්‌තුවක්‌ ද්‍රව්‍යයක්‌ ගෙයක්‌ දොරක්‌ ගලක්‌ පුද්ගලයෙක්‌ සතෙක්‌ දෙවියෙක්‌ ප්‍රඥප්ති පඨවි, ආපෝ තේජෝ වායෝ හා විඤ්ඤාණ යන ධාතූන්ගේ අඩු වැඩි බවක්‌ ප්‍රධාන අප්‍රධාන බවක්‌ සාපේක්‌ෂව විශ්ලේෂණය කර බැලීමේදී පෙනීයයි. ඊට එහා ගිය සුවිශේෂී බවක්‌ දක්‌නට නොමැත. මූලිකම සිද්ධාන්තය වන්නේ මේ සුද්ධ ධර්මයන්ගේ ඉදප්පච්චයතාව හෙවත් පටිච්ච සමුප්පන්න භාවය මතවූ ශූන්‍යතා දර්ශනයයි. විශ්වය තුළ විද්‍යමාන වන්නා වූ අංශු ශක්‌ති (ශුද්ධ ධර්ම) සමූහිකව පුංජයක්‌ වශයෙන් ගොනුවක්‌ වශයෙන් ඝනීභූත භාවය ප්‍රකට වන විට ස්‌කන්ධ - ධාතු ආයතන වශයෙන් පනවාගෙන සම්මුති වශයෙන් නාම යෙදේ. තථාගත දර්ශනයේ ඒ සමස්‌තයම පංච උපාධානස්‌කන්ධය (ලෝකය) වශයෙන් නාමිකව ඉදිරිපත් කෙරේ. මෙහි ඇත්ත ඇති සැටියෙන් ශක්‌තීන්ගේ මූල ස්‌වභාවය විනිවිද හෙවත් විදර්ශනාවේදී යථාභූත පිළිබඳ යථාවත්ව අවබෝධ වේ. එහිදී කිසිවක්‌ ඇත්තේත් නැති නැත්තේත් නැති අස්‌ථි - නස්‌ථි නොවන ශූන්‍යතා දර්ශනය බුද්ධියට ගෝචරවීමේදී නිදහස නිවීම සිදු වේ. එය සම්මාඤාණ - සම්මා විමුක්‌ති නමින් අංග දසයෙකින් සමන්විත අර්හත් ඵලයේ සම්මා සමාධියට පසුව ඇතිවන ධර්මතාවයි.
විශ්ව ධර්මතාවල යම් හටගැනීමක්‌ විද්‍යමාන වන්නේ නම් එය ශූන්‍යතා ධර්මතාවට යටත්ය. එය ශාස්‌වත - උච්ඡේද යන අන්ත දෙකට කිසිසේත් සම්බන්ධ නැති 'දිට්‌ඨිංච අනුපගම්ම' සම්මා ඤාණ - සම්මා විමුක්‌තිය වේ. ඒ නිසා ශූන්‍යත්වය යනු කිසියම් හටගත් වස්‌තුවක ඇතුළාන්තයේ පෙනෙන බව හෝ නොපෙනෙන බව ප්‍රකට කිරීමට යෙදෙන යෙදීමක්‌ නොවේ. එය අව්‍යාකෘතයි. පාරිභාෂිත ශබ්ද මාලාවට අන්තර්ගතයක්‌ නැති මහා ප්‍රඥව නම්වූ බුද්ධමය ශුද්ධ මානසික තත්ත්වයක්‌ මිස ඊට එහා ගිය තත්ත්වයක්‌ බව කිසිසේත් ප්‍රකාශ කළ නොහැක. දෘෂ්ටිගත වාදයක්‌ නෙවේ. අඥාතයි. සියලුම දෘෂ්ටීන්ගේ සමූලඝාතනයයි. ශූන්‍යතා දෘස්‌ටියත් ශේෂ නොවී ඉක්‌මයැමකි. නැතිවීමකි, නැතහොත් ශූන්‍යත්වයද ශූන්‍ය වීමකි.
අයෝනිසො මනසිකාරය යනු ඇත්ත ඇති සැටියෙන් නොදැකීමයි. හෙවත් වැරදි දැකීම, මිථ්‍යා දෘෂ්ටියයි. යෝනිසො මනසිකාරය ඇත්ත ඇති සැටියෙන් දැකීම, හරි දැකීමයි. භෞතිකත්වය ඉක්‌මවා ගියාවූ ලෝකෝත්තර සිතට විදර්ශනය වන ශුද්ධ මානසික තත්ත්වය ශූන්‍යත්වයි. දෘෂ්ටි පාරිශුද්ධත්වය ශූන්‍යත්වයයි. "සුඤ්ඤත විමොක්‌ඛය"යි. 'ඵස්‌ස නිරෝධයයි'. මානසික චින්තන රටාවේ රූපමය සංඥ නිරුද්ධ වීමයි. ධාතූන්ගේ ස්‌වභාවය යථාභූත ඤාණ දර්ශනයට විදර්ශනය වීමේදී වේගය දකී. ඇතිවීම නැතිවිම දෙකම 'ක්‌ධය' බවට පත්වන විට 'අමනසිකාරය' නිසා විඤ්ඤාණයාගේ පැවැත්මක්‌ නැත. ඵස්‌සය නිරුද්ධවීමෙන් විඤ්ඤාණයාගේ නිරුද්ධ වීම සිදු වේ.
නිවැරැදි දැක්‌ම හෙවත් "සම්මා දිට්‌ඨිය" යනු ලෝකෝත්තර තත්ත්වයකි. එහි දිට්‌ඨිමය ප්‍රභවයක්‌ නොමැත. මැදුම් පිළිවෙත වූ අන්තදෙකට නොයැම වූ "අමනසිකාරය" නම් වූ මෙනෙහි නොවීමක්‌ නොකිරීමක්‌ තුළ නිවැරැදි දෘෂ්ටියක්‌ද තිබිය නොහැක. එය ශූන්‍යත්වය නම් වේ. නිවැරැදි දැක්‌ම තුළ සම්මා දිට්‌ඨිය තුළ පනවා ගැනීම් නැති නිගමනයකට නොඑළඹී පත්නොවූ "බුද්ධ මනසයි" සියල්ල ශූන්‍යයි. ආත්මවාදය - දිට්‌ඨි දෙදෙරා සුණු විසුණු වී යැමකි. ශාක්‍ය මුනින්ද්‍ර ස්‌වාක්‌ඛාත ධර්මයේ "සබ්බ නිමිත්තං අමනසි කරොන්තො" මහා සුඤ්ඤතා සූත්‍රයේ ප්‍රකට කරන්නේ මේ ධර්මතාවයි. ලෝක ධර්මයන් යනු පනවා ගැනීම් පමණි.
මනසින් නික්‌මයැම ප්‍රඥව අවදි වීමයි. * වර්ණ රූපය අත්හරින්න * හඬ අත්හරින්න * ගන්ධය අත්හරින්න * රස අත්හරින්න * පොට්‌ඨබ්බය අත්හරින්න, * ධම්මරූප අත්හරින්න * සිත අත්හරින්න * කර්ම වාදය අත්හරින්න * මම අත්හරින්න * මනසින් නික්‌මෙන්න. ලෝකයෙන් එතර වේ.

මේ මොහොත සිහිනුවණින් සිටීමේ වාසිය

පූජ්‍ය සෝමපුර සිරි සුධම්ම හිමි

පුද්ගලයාගේ චරියාව හෙවත් හැසිරීම සකස්‌ කරන්නේ ඔහුගේ සිත පූර්වාංගම කරගෙනය. ඒ නිසා ඔහු නිතරම එකම ආකාරයකට හැසිරෙන්නේ නැතිව සතුටින්, අසතුටින්, කෝපයෙන්, ෙත්‍රෙsයෙන්, ඊර්ෂ්‍යාවෙන්, දයාවෙන් හැසිරෙන අවස්‌ථා ඇති වේ. කාරුණික පුද්ගලයාම තවත් විටෙක ප්‍රකෝපකාරී පුද්ගලයකු ලෙස ක්‍රියාකරයි. විරාගී පුද්ගලයාම තවත් විටෙක රාගී පුද්ගලයකු ලෙස හැසිරෙයි. දයාබර ස්‌වාමියකු ලෙස හැසිනෙ තැනැත්තාම යම්කිසි විටෙක තම බිරිඳ මරා දමයි. මෙසේ එකම පුද්ගලයා තුළින් විවිධාකාර පුද්ගලයන් බිහිවන්නේ ඔහුගේ චින්තනය අනුවයි. ක්‍රෝධයෙන් ක්‍රියාකරන පුද්ගලයා තුළ කරුණාව, මෛත්‍රිය නැතිව නොවෙයි. අපගේ චින්තනය නිසා කරුණාව, මෛත්‍රිය අභිබවා ක්‍රෝධය ඉස්‌මතු වේ. එම ක්‍රෝධ නමැති නරක සිතුවිල්ල මතුවී එයින් පිරිසිදු සිත වෙළී ගිය විට ඔහු ක්‍රියාත්මක වන්නේ ඒ සිතුවිල්ල අනුවයි.

නිතරම සිත පිරිසිදුව කෙලෙස්‌ සිතුවිලිවලින් වැසී ආවරණය වී පවතින්නේ නැත. ඉන්ද්‍රියන්ට අරමුණු වන බාහිර ලෝකයේ වස්‌තු නිසා මේ සිතුවිලි මතු වේ. සිත කෙලෙසයි. සිත අපිරිසිදු කරයි.
'පබස්‌සරමිදං භික්‌ඛවේ චිත්තං තංච ඛො ආගන්තුකෙහි උපක්‌කිලෙසෙහි උපක්‌කිළිට්‌ඨං' 
මහණෙනි, මේ සිත ප්‍රභාස්‌වරයි. එය පිටින් ගලා එන කෙලෙස්‌ සිතුවිලි නිසා කිලිටි වේ.'
යමෙක්‌ මේ රාගය, ද්වේෂය ආදී සිතුවිල්ලකින් සිත වෙලී, කිලිටිවී තිබෙන අවස්‌ථාවක ඒ කිsලිටි සිතින් දෙන උපදෙස්‌ අනුව හැසිරෙනවා නම් හෙවත් ක්‍රියාත්මක වෙනවා නම් තමාටත් අනුන්ටත් දුකක්‌, විපතක්‌ සිදුවීම වැළැක්‌විය නොහැකියි.
'රත්තො ඛො බ්‍රහ්මණ රාගෙන දොaසේන මොහෙන අභිභූතො පරියාදින්නසිත්තො අත්තව්‍යාබාධාය පරව්‍යාබාධාය උභයව්‍යාබාධායපි චෙතෙති දුක්‌ඛං දොaමනස්‌සං පටිසංවෙදෙති උභයත්ථිම්පි භූතං නප්පජානාති' (අංගුත්තර නිකාය - තික නිපාත)
'බ්‍රාහ්මණය යමකුගේ සිතක්‌ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මැඩී වෙලී ගත්විට ඔහු තමාටත්, අනුන්ටත් දුකක්‌ විපතක්‌ ඇතිවීමට ෙච්තනය කරයි. එසේම තම සිතින් දුක්‌ දොම්නස්‌ සන්තාපයන් විඳියි. තවද තමාගේ හෝ අනුන්ගේ යහපත නොදකියි. එබඳු සිතුවිලි අනුව ඔහුගේ හැසිරීම සකස්‌ වේ.
ඔබගේ චර්යාව මේ සිතුවිලි අනුව සිදුවන්නේ නම් ඔබ නිතරම ඔබගේ සිතුවිලි දැකීමට පුහුණු වූවොත් එම සිතුවිලි හඳුනාගෙන එබඳු සිතුවිලිවලින් සිත වෙලී ගත් විට ක්‍රියාත්මක නොවීමට වගබලා ගතහැකිය. මෙය ඉබේම සිදුවන්නක්‌ නොවේ. ශික්‌ෂණය හෙවත් පුහුණුව තුළින් මනස ක්‍රියාත්මක වන ආකාරයයි. සිතට බාහිර ලෝකයේ අරමුනු ඉන්ද්‍රියන් මගින් ලැබෙන විට සිතේ ඇතිවන සිතුවිලි දැකීමට ඔබ ළඟ ඇති මානසික ශක්‌ති දෙකක්‌ උපයෝගී කර ගැනීමෙන් එම සිතුවිලි අනුව ක්‍රියාත්මකවීම වළකා දැමීමට හැකිවන බව බුදුන්වහන්සේ පෙන්වා දෙයි. ඔබ ළඟ ඇති සතියත් ප්‍රඤ්Æවත් (සතිසම්පජඤ්ඤය) හෙවත් සිහියත්, නුවණත් උපකාරී කරගත හැකිය. එනිසා මේ මොහොතේ උපදින දුක වළකා ගැනීමට නම් ඔබ නිතරම සිහිනුවණින් ක්‍රියාකළ යුතුය.
'යානි සොතානි ලෝකස්‌මිං සති තෙසං නිවාරයෙ' (පරායන වග්ග - සුත්ත නිපාතය) තම චිත්ත සන්තානයේ රාගාදී කෙලෙස්‌ තිබුණත් එයින් වන විපත්ති නිවාරණය කිරීම කරන්නේ සතිය හෙවත් සිහි කල්පනාව බව මෙයින් පැහැදිලි කරයි.
ඔබ සතුව ඇති ඇස, කණ, නාසය ආදී ස්‌පර්ශ ආයතන හය පවත්නා තාක්‌ කල් බාහිර ලෝකයේ තිබෙන රූප, ශබ්ද, ගන්ධ ආදී බාහිර ආයතන හය ස්‌පර්ශ වීම වැළැක්‌විය නොහැකිය. ඒ හැපීම හෙවත් ස්‌පර්ශවීම නිසා සිත තුළ සැප දුක මධ්‍යස්‌ථභාවය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, වෛරය ආදී සිතුවිලි පහල වේ. ඒ බව බුදුන්වහන්සේ පෙන්වා දෙයි. 'ඵස්‌ස නිදානං සාතං අසාතං' ඵස්‌සෙ අසන්තෙ න භවන්ති හෙතෙ' (කලහ විවාද සූත්‍රය - සුත්ත නිපාතය) සුඛ වේදනා දුක්‌ඛ වේදනා ස්‌පර්ශ නිසා ඇති වේ. ස්‌පර්ශය නොමැති විට සැප දුක ඇති නොවේ' බාහිර ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ ආදිය අපගේ ඉන්ද්‍රියන්ට හැපෙනවාය කියා ඒවා විනාශ කළ නොහැකිය. අපට තිබෙන්නේ අප සතු අපගේ ඉන්ද්‍රියන් පාලනය කර ගැනීමයි. (බන්ද්‍රීයෙසු ගුත්තද්වාරෝහොති).
ඒවා පාලනය කිරීමට අපට සිහි කල්පනාවක්‌ තිබිය යුතුයි. එසේ කිරීමට ඇති එකම මග සතිය පිහිටුවා ගෙන සිහිය පෙරටු කරගෙන හෙවත් සිහිනුවණින් දවසේ වැඩ කටයුතු කිරීමයි. (ඒකායනො අයං භික්‌ඛවේ මග්ගොචත්තාරො සතිපට්‌ඨානා)
මේ ඉන්ද්‍රියන් පාලනය කළ යුත්තේ පෝය දවසට පමණක්‌ නොවේ. දෛනික ජීවිතයේ සෑම විටම මෙය කළ යුතුය. එසේ කිරීමට පුහුණුවක්‌ අවශ්‍යය. බුදුන්වහන්සේ ශික්‌ෂා පද මගින් ලබා දෙන්නේ මෙන්න මේ පුහුණුව හෙවත් ශික්‌ෂණයයි. එසේම පුහුණුව උපකාරී වන්නේ ජීවත්වන මොහොත හෙවත් පවත්නා ජීවිතය දුකින් ගලවා ගැනීමටය. පරලොවක ගත කිරීමට බලාපොරොත්තු වන ජීවිතයක්‌ නොව, තම සිත දෙස බැලීමේ පුහුණුව මනසට ලබාදීමට උපයෝගී කරගත හැකි මානසික අභ්‍යාස රාශියක්‌ ඉන්ද්‍රීය භාවනා සූත්‍රයේදී බුදුන්වහන්සේ අපට පැහැදිලි කර වදාළ සේක.
ආනන්දය, ආර්ය විනයෙහි කෙසේ උසස්‌ ඉන්ද්‍රිය භාවනාව සිදුවෙයිද? යම්කිසි ශ්‍රමණයකුට හෝ යම්කිසි පුද්ගලයකුට ඇසින් රූපයක්‌ දැකීම නිසා සිත තුළ මනාපයක්‌, අමනාපයක්‌ හෝ මධ්‍යස්‌ථ සිතුවිල්ලක්‌ ඇති වේ. එවිට ඔහු වහා තමාගේ සිත දෙස තම සිතුවිලි ඇති වූ මනාප අමනාප හෝ මධ්‍යසථ සිතුවිල්ල දැක මෙසේ දැන ගනී. මට මනාපයක්‌ උපන, අමනාපයක්‌ උපන, මධ්‍යස්‌ථ උපන. ඒ උපන් සිතුවිල්ල මේ රූපය දැකීමේ හේතුව නිසා ඇතිවූ සිතුවිල්ලකි. එය උසස්‌ හැඟිමක්‌ නොවේ. ළාමකයි. මෙයට පෙර පැවැති උපේක්‌ෂා සහගත සිතුවිල්ල මෙයට වඩා ශාන්තය. ප්‍රනීතයි යනාදී වශයෙන් සිතයි. එසේ සිතන විට ඔහුට උපන් යම්කිසි රුචි, අරුචි හෝ වෙනත් ආකාරයක වූ සිතුවිල්ල නැතිවී යයි. සිත තුළ පෙර පැවැති මධ්‍යස්‌ථ ස්‌වභාව සිතුවිල්ල යළි ඇති වෙයි.
මෙයින් පැහැදිලි වන්නේ බාහිර ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු අපගේ ඇස, කන ආදී ඉන්ද්‍රියන්ට හමුවූ විට සිත තුළ ඇති වන විවිධාකාර සිතුවිලි නිසා තමා නොදැනුවත්වම විවිධාකාර හැසිරීම්වලට ගොදුරු වන බවයි. එනිසා නොයෙක්‌ චිත්ත පීඩාවන් විඳින බවත්ය. ජීවත් වන මොහොතේ සිත තුළ දුක්‌ උපදින්නේ මේ ආකාරයෙනි. නමුත් යමෙක්‌ තම සිත් තුළ උපදින විවිධාකාර සිතුවිලි දැකීමට පුහුණුවක්‌ ලබා සිටින්නේ නම් ඔහුට බුද්ධිමත්ව තම සිතුවිලි පාලනය කර ගැනීමෙන් වර්තමාන පීඩා වළකා ගන්නට පහසු වේ.
දියුණු මනසක්‌ වර්ධනය කළ යෝගාවචරයා බාහිර අමුණු නිසා පමණක්‌ නොව ආධ්‍යාත්මිකව ඇඳි ඇති රූප නිසා උපදින සිතුවිලිද අනිත්‍යය වශයෙන් මනසින් දකියි. විරාගී වශයෙන් මනසින් දකියි. නිරෝධ වශයෙන් හෙවත් විනාශ වී යන ආකාරයෙන් දකියි. එසේ දකිමින් 'පටිනිස්‌සග්ග' කරයි. හෙවත් එම සිතුවිලි හා සිතුවිලි උපද්දන ආධ්‍යාත්මික රූප වේදනා අත්හරියි. දැනට මනස දියුණු කරගත් අය මෙයද ක්‍රියාත්මක කරන්න. සාමාන්‍ය හෙවත් නවක අයට කිරීමට තිබෙන්නේ බාහිර අරමුණු නිසා සිත තුළ ඇඳි රූප හේතුකොට ගෙන උපදින සිතුවිලි අත්හැරීමයි. ඔබට කිරීමට ඇත්තේ බාහිර රූපය අත්හැරීම නොව, ඒ නිසා උපන් සිතුවිල්ල අත්හැරීමයි. රූපය ඔබ අත්හැර ගොස්‌ය. ඇත්තේ ඒ පිළිබඳ උපන් සිතුවිල්ල පමණි. මේ ගැන සිතන්න. මෙනෙහි කරන්න. මෙය සත්‍යදැයි අවබෝධ කරගන්න.
පුද්ගලයාගේ චරියාව හෙවත් හැසිරීම සකස් කරන්නේ ඔහුගේ සිත පූර්වාංගම කරගෙනය. ඒ නිසා ඔහු නිතරම එකම ආකාරයකට හැසිරෙන්නේ නැතිව සතුටින්, අසතුටින්, කෝපයෙන්, මෛත්‍රියෙන්, ඊර්ෂියාවෙන් , දයාවෙන් හැසිරෙන අවස්ථා ඇති වේ. කාරුණික පුද්ගලයාම තවත් විටෙක ප්‍රකෝපකාරි පුද්ගලයෙකු ලෙස ක්‍රියා කරයි.
විරාගී පුද්ගලයාම ඇතැම් විටෙක රාගී පුද්ගලයෙකු සේ හැසිරෙයි. දයාබර ස්වාමියෙකු ලෙස හැසිරෙන තැනැත්තාම යම් කිසි විටෙක තම බිරිඳ මරා දමයි. මෙසේ එකම පුද්ගලයා තුළින් විවිධාකාර පුද්ගලයින් බිහි වන්නේ ඔහුගේ චින්තනය අනුවයි. ක්‍රෝධයෙන් ක්‍රියා කරන පුද්ගලයා තුළ කරුණාව, මෛත්‍රිය නැතුවා නොවෙයි. අපගේ චින්තනය නිසා කරුණාව, මෛත්‍රිය අබිභවා ක්‍රෝධය ඉස්මතු වේ. එම ක්‍රෝධ නමැති නරක සිතිවිල්ල මතු වී එයින් පිරිසුදු සිත වෙලී ගිය විට ඔහු ක්‍රියාත්මක වන්නේ ඒ සිතිවිල්ල අනුවයි.
නිතරම සිත පිරිසුදුව කෙලෙස් සිතිවිලිවලින් වැසි ආවරණය වී පවතින්නේ නැත. ඉන්ද්‍රියන්ට අරමුණු වන බාහිර ලෝකයේ වස්තු නිසා මේ සිතිවිලි මතු වේ. සිත කෙලෙසයි. සිත අපිරිසුදු කරයි.
“මහණෙනි මෙ සිත ප්‍රභාස්වරයි. එය පිටින් ගලා එන කෙලෙස් සිතිවිලි නිසා කිලිටි වේ.”
යමෙක් මේ රාගය ද්වේෂය ආදි සිතිවිල්ලකින් සිත වෙලී කිලිටි වී තිබෙන අවස්ථාවක ඒ කිලිටි සිතින් දෙන උපදෙස් අනුව හැසිරෙනවා නම් හෙවත් ක්‍රියාත්මක වෙනවා නම් තමාටත් , අනුන්ටත්, දුකක්, විපතක් සිදුවීම වැළැක්විය නොහැකියි.
“බ්‍රාහ්මණය, යමෙකුගේ සිතක් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වැඩී වෙලී ගත් විට ඔහු තමාටත් අනුන්ටත්, දුකක්, විපතක් ඇති වීමට චේතනය කරයි. සිතයි එසේම තම සිතින් දුක් දොම්නස් සන්තාපයන් විඳියි. තවද තමාගේ හෝ අනුන්ගේ යහපත නොදකියි. එබඳු සිතිවිලි අනුව ඔහුගේ හැසිරීම සකස් වේ.
ඔබගේ චරියාව මේ සිතිවිලි අනුව සිදුවන්නේ නම් ඔබ නිතරම ඔබගේ සිතිවිලි දැකීමට පුහුණු වූවොත් එම සිතිවිලි හඳුනාගෙන එබඳු සිතිවිලිවලින් සිත වෙලී ගත් විට ක්‍රියාත්මක නොවීමට වගබලා ගත හැකිය. මෙය ඉබේම සිදු වන්නක් නොවේ. ශික්ෂණය හෙවත් පුහුණුව තුළින් මනස ක්‍රියාත්මක වන ආකාරයයි. සිතට බාහිර ලෝකයේ අරමුණු ඉන්ද්‍රියන් මගින් ලැබෙන විට සිතේ ඇතිවෙන සිතිවිලි දැකීමට ඔබ ළඟ ඇති මානසික ශක්ති දෙකක් උපයෝගි කර ගැනීමෙන් එම සිතිවිලි අනුව ක්‍රියාත්මක වීම වළකා දැමීමට හැකිවන බව බුදුන් වහන්සේ පෙන්වා දෙයි. ඔබ ළඟ ඇති සතියත් ප්‍රඤ්ඤාවත් (සතිසම්පජඤ්ඤය) හෙවත් සිහියත්, නුවණත් උපකාරි කර ගත හැකිය. එනිසා මේ මොහොතේ උපදින දුක වළකා ගැනීමට නම් ඔබ නිතරම සිහි නුවණින් ක්‍රියා කළ යුතුය.
ඔබ සතුව ඇති ඇස , කන, නාසය ආදි ස්පර්ෂ ආයතන හය පවත්නා තාක් කල් බාහිර ලෝකයේ තිබෙන රූප, ශබ්ද ,ගන්ධ ආදි බාහිර ආයතන හය ස්පර්ශ වීම වැළැක්විය නොහැකිය. ඒ හැපීම හෙවත් ස්පර්ෂ වීම නිසා සිත තුළ සැප දුක මධ්‍යස්ථ භාවය ක්‍රෝධය, ඊර්ෂියාව, වෛරය ආදි සිතිවිලි පහළ වේ. ඒ බව බුදුන් වහන්සේ පෙන්වා දෙයි. “ ඵස්ස නිදානං සාතං අසාතං” ඵස්සෙ අසන්තෙන භවන්ති හෙතෙ” (කලහ විවාද සූත්‍රය – සුත්ත නිපාතය) සුඛ වේදනා දුක්ඛ වේදාන ස්පර්ෂ නිසා ඇතිවේ. ස්පර්ෂය නොමැති විට සැප දුක ඇති නොවේ” බාහිර ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ ආදිය අපගේ ඉන්ද්‍රියන්ට හැපෙනවාය කියා ඒවා විනාශ කළ නොහැකිය. අපට තිබෙන්නේ අප සතු අපගේ ඉන්ද්‍රියන් පාලනය කර ගැනීමයි.
ඒවා පාලනය කිරීමට අපට සිහි කල්පනාවක් තිබිය යුතුයි. එසේ කිරීමට ඇති එකම මග සතිය පිහිටුවා ගෙන සිහිය පෙරටු කරගෙන හෙවත් සිහිනුවණින් දවසේ වැඩ කටයුතු කිරීමයි.
මේ ඉන්ද්‍රියන් පාලනය කළ යුත්තේ පෝය දවසට පමණක් නොවේ. දෛනික ජීවිතයේ සෑම විටම මෙය කළ යුතුය. එසේ කිරීමට පුහුණුවක් අවශ්‍යය. බුදුන් වහන්සේ ශික්ෂා පද මගින් ලබා දෙන්නේ මෙන්න මේ පුහුණුව හෙවත් ශික්ෂණයයි. එසේම පුහුණුව උපකාරි වන්නේ ජීවත් වන මොහොත හෙවත් පවත්නා ජීවිතය දුකින් ගලවා ගැනීමටය. පරලොවක ගත කිරීමට බලාපොරොත්තු වන ජීවිතයක් නොවේ. තම සිත දෙස බැලීමේ පුහුණුව මනසට ලබා දීමට උපයෝගී කරගත හැකි මානසික අභ්‍යාස රාශියක් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුන් වහන්සේ අපට පැහැදිලි කර වදාළ සේක.
“ආනන්දය ආර්ය විනයෙහි කෙසේ උසස් ඉන්ද්‍රිය භාවනාව සිදු වෙයිද? යම්කිසි ශ්‍රමණයෙකුට හෝ යම්කිසි පුද්ගලයෙකුට ඇසින් රූපයක් දැකීම නිසා සිත තුළ මනාපයක්, අමනාපයක් හෝ මධ්‍යස්ථ සිතිවිල්ලක් ඇතිවේ. එවිට ඔහු වහා තමාගේ සිත දෙස තම සිත තුළ ඇතිවු මනාප අමනාප හෝ මධ්‍යස්ථ සිතිවිල්ල දැක මෙසේ දැන ගනී. මට මනාපයක් උපන, අමනාපයක් උපන, මධ්‍යස්ථ සිතිවිල්ලක් උපන, ඒ උපන් සිතිවිල්ල මේ රූපය දැකීමේ හේතුව නිසා ඇති වූ සිතිවිල්ලකි. එය උසස් හැඟීමක් නොවේ . ලාමකයි මෙයට පෙර පැවැති උපේක්ෂා සහගත සිතිවිල්ල මෙයට වඩා ශාන්තයි. ප්‍රණීතයි . යනාදි වශයෙන් සිතයි. එසේ සිතන විට ඔහුට උපන් යම්කිසි රුචි අරුචි හෝ වෙනත් ආකාරයක වූ සිතිවිල්ල නැති වී යයි. සිත තුළ පෙර පැවැති මධ්‍යස්ථ ස්වභාව සිතිවිල්ල යළි ඇති වෙයි.
මෙයින් පැහැදිලි වන්නේ බාහිර ලෝකයේ රූප, ශබ්ද, ගන්ධ ආදි අරමුණූ අපගේ ඇස, කන ආදි ඉන්ද්‍රියන්ට හමුවූ විට සිත තුළ ඇති වන විවිධාකාර සිතිවිලි නිසා තමා නොදැනුවත්වම විවිධාකාර හැසිරීම්වලට ගොදුරු වන බවයි. එනිසා නොයෙක් චිත්ත පීඩාවන් විඳින බවත්ය. ජීවත් වන මොහොතේ සිත තුළ දුක් උපදින්නේ මේ ආකාරයෙනි. නමුත් යමෙක් තම සිත තුළ උපදින විවිධාකර සිතිවිලි දැකීමට පුහුණුවක් ලබා සිටින්නේ නම් ඔහුට බුද්ධිමත්ව තම සිතිවිලි පාලනය කර ගැනීමෙන් වර්තමාන පීඩා වළකා ගන්නට පහසු වේ.
දියුණු මනසක් වර්ධනය කළ යෝගාවචරයා බාහිර අරමුණු නිසා පමණක් නොව ආධ්‍යාත්මක ඇඳී ඇති රූප නිසා උපදින සිතිවිලිද අනිත්‍යය වශයෙන් මනසින් දකියි. විරාගි වශයෙන් මනසින් දකියි. නිරෝධ වශයෙන් හෙවත් විනාශ වී යන ආකාරයෙන් දකියි. එසේ දකිමින් “පටිනිස්සග්ග“ කරයි.
හෙවත් එම සිතිවිලි හා සිතිවිලි උපද්දන ආධ්‍යාත්මික රූප වේදනා අත්හරියි. ඔබට කිරීමට ඇත්තේ බාහිර රූපය අත්හැරීම නොව, ඒ නිසා උපන් සිතිවිල්ල අත්හැරීමයි. රූපය ඔබ අත්හැර ගොස්ය. ඇත්තේ ඒ පිළිබඳ උපන් සිතිවිල්ල පමණි. මේ ගැන සිතන්න. මෙනෙහි කරන්න. මෙය සත්‍යදැයි අවබෝධ කර ගන්න.

මෙලොවත් පරලොවත් ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයම යි

මෙලොවත් පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි කියා වදාළේ මේ මහා භද්‍ර කල්පයේ සතරවනුව ලොව පහළ වී වදාළ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේයි.
අප දරාගෙන සිටින දේවල් බොහෝමයක් අපේ උපන් ක්ලේශයන් ප්‍රහාණය වෙන්න උපකාර වන්නේ නැහැ. නූපන් කෙලෙස් නූප දවන්න හේතුවෙන්නෙත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් වැකිය යම් කෙනෙක් ගලේකෙටූ අකුරක් වගේ රඳවා ගතහොත් එය ඔහුට යහපත උපදවාගන්න උපකාර වෙනවා. උන්වහන්සේගේ මුව මඬලින් මෙය පිටවෙන්නට හේතුවක් තිබ්බා. එදා සැවැත්නුවර මිගාරමාතා ප්‍රාසාදයේ සෙවනැල්ලේ භාග්‍යවතුන් වහන්සේ සක්මන් කරමින් සිටින අයුරු දුරදීම වාසටේඨ, භාරද්වාජ සාමණේර දෙපළ දුටුවා. සාමණේර දෙපළ බුදුරජාණන් වහන්සේ අසලට පැමිණී පසු උන්වහන්සේ මෙසේ අසා සිටියා.
වාසෙට්ඨියනි, උසස් කුලයකින් නික්ම බුද්ධ ශාසනයේ පැවිදි වුණ ඔබලාට ඤාතීන් මොකද කියන්නේ? ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස ඔවුන් අපට බොහෝ සෙයින් පරිභව කරනවා. බ්‍රාහ්මණ ‍කුලයමයි ශ්‍රේෂ්ඨ, බ්‍රාහ්මණ වංශය තමයි ශ්‍රේෂ්ඨ, බ්‍රාහ්මණයෝ කියන්නේ මහා බ‍්‍රහ්මයාගේ හිස් මුදුනින් උපන් අය. බ්‍රහ්මයාගේ ඔරඝ ප්‍රත්‍රයෝ. මහා බ්‍රහ්මයාගේ දායාදයට හිමිකම් කියන අය.
නමුත් ඔබලා වැරැදි දෙයක් තෝරාගෙන ශ්‍රමණයන් වුණා. ශ්‍රමණයෝ කියන්නේ මහා බ්‍රහ්මයාගේ යටිපතුලෙන් උපන් අය. දාස පිරිසක්. මේ දාසබව ඔහේලා තෝරාගත්තේ නැහැ කියා අපට පරිභව කරනවා. අන්න ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ මුව මඬලින් මේ උතුම් වැකිය පිටවුණා.
වාසෙට්ඨියනි, මෙලොවත් පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයම යි කියා. බුදුන් වහන්සේ වදාළා වාසෙට්ඨිය, කුල හතරක් තිබෙනවා. ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර කියා. ක්ෂත්‍රිය කියා කියන්නේ පාලන තන්ත්‍රය කරන රාජවංශයට, බ්‍රාහ්මණ කියන්නේ පූජක පක්ෂය, නැතැක් කේන්දර යාගහෝම කටයුතු කරන අය. වෛශ්‍ය කියන්නේ වෙළහෙළදාම්, ගොවිතැනින් ආදිය රැකෙන අය. ශුද්‍ර කිව්වේ කලින් කියු සියලු දෙනාගේම මෙහෙකාරකම් කරන අය.
වාසෙට්ඨය, ක්ෂතී‍්‍ර කුලේ කෙනෙක් ප්‍රාණඝාතය කරන, සොරකම් කරන, වැරදිකාමසේවනය කරන, බොරු කියන, කේලම් කියන, හිස්වචන කියන, පරුෂ වචන කියන, අනුන්ගේ දේ තමන්ට අයිති කර ගැනීමේ ආශාවෙන් යුක්ත ව්‍යාපාදයෙන් යුක්ත, ඒ වගේම මිථ්‍යා දෘෂ්ඨියෙන් යුක්ත දස අකුසලයකින්ම යුක්ත ඒවගේම ක්ෂත්‍රී වංශය තුළ නැද්ද දස අකුසලයෙන්ම යුක්ත අය. නැත්නම් සමහර සමහර අකුසල ධර්මයන්ගෙන් යුක්ත අය? ස්වාමිනි එසේ සිටිනවා. වාසෙට්ඨිය බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර අය අතර නැද්ද දස අකුසල්ම හෝ සමහර සමහර අකුසල් කරන අය?
ස්වාමිනි ඉන්නවා කියා වාසෙට්ඨ පිළිතුරු දුන්නා. ඔබ මෙසේ සිතන්න. සිංහල අය අතර නැද්ද දස අකුසල්ම කරන අය. නැත්නම් සමහර සමහර අකුසල් හෝ කරන අය? ඉන්නවා. එහෙනම් වෙන ජාතින් අතර දස අකුසල්ම කරන අයත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වාසෙට්ඨගෙන් අසනවා වාසෙට්ඨ, මේ දස අකුසල් කුල භේදයකින් තොරව ක්ෂතී‍්‍රයා තුළත් දිස්වෙනවා. වෛශ්‍යය තුළත්, බ්‍රාහ්මණයා තුළත් දිස්වෙනවා. ශුද්‍රයා තුළත් දිස්වෙනවා. ඒ වගේම තමා මේ අකුසල් ශ්‍රී ලාංකිකයා තුළත්, ඉන්දියානුවා තුළත්, ඇමරිකානුවා තුළත් මනාව දිස්වෙනවා. එහෙනම් මේ ලෝකයේ ජාතියක් ලෙස කුලයක් ලෙස මේ ජාතිය මේ කුලය පිරිසුදුයි කියා කියන්න බැහැ.
හැම ජාතියකම හැම කුලයම දස අකුසල් කරන ‍අය ඉන්නවා. දස අකුසල කිරීම හේතුවෙන් ක්ෂත්‍රීය අය දුගතියේ යනවා වගේම බ්‍රාහ්මණ වෛශ්‍ය ශුත්‍ර අයත් දුගතියේ යනවා. එසේනම් බ්‍රාහ්මණයෝ විතරක් කොහොමාද කියන්නේ අපේ කුලය තමා ශ්‍රේෂ්ඨ කියා. මේ ලෝකයේ උපන් ජාතිය නිසාවත්, උපන් කුලය නිසාවත් උපන් ආගම නිසාවත්, කථා කරන භාෂාව නිසාවත් කිසිවෙක් ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. ධර්මය නිසාමයි ශ්‍රේෂ්ඨවන්නේ. ක්ෂත්‍රියෙක් ඉන්නවා දස අකුසලයෙන් වැළ කුණ. ප්‍රාණඝාතයෙන් සොරකමින් වැරදිකාම සේවනයෙන් බොරු කීමෙන් කේලාම් කීමෙන් හිස් වචන කීමෙන්, පරුෂ වචන කීමෙන්, අනුන්ගේ දේ ගැන ආශාව ඉපැද්දවීමෙන් ව්‍යාපාදයෙන් මිථ්‍යා දෘෂ්ඨියෙන් වැළකුණා. ඔහු මරණින් මතු සුගතියට යනවා. ඒ වගේම දස කුසල් වැඩුවොත් බ්‍රාහ්මණ අය, වෛශ්‍ය අය, ශුද්‍ර අය ඒ අයත් මරණින් මතු සුගතියේ යනවා. එසේනම් බ්‍රාහ්මණ පිරිස විතරක් කොහොමද කියන්නේ අපේ වශංය, අපේ කුලය තමා ශ්‍රේෂ්ඨ කියා. මොකද අනිත් කුලවල අයත් සුගතියේ යනව නෙව. ඒ නිසා ශ්‍රේෂ්ඨ වුණේ පුරුදු කළ යහපත් වූ ධර්මයම යි.
කෙනෙක් ඉන්නවා ඒ කෙනා ක්ෂත්‍රීය වංශකයි. එයා කැමැති නැහැ ක්ෂත්‍රීය වංශකයකු ලෙස ජීවත්වෙන්න. ඒ වගේම බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර කෙනෙකුත් ඉන්නවා කැමැති නැහැ බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර කෙනෙක් ලෙස ජීවත් වෙන්න. ගිහිගෙය අතහැර ශ්‍රමණයෙක් බවට පත්වෙනවා. ඔහු කවුරු හෝ වේවා කුසල් වඩල පංචනීවරණ ‍යටපත්කරලා පළමු දෙවැනි තුන්වෙනි හතර වෙනි ධ්‍යාන උපද්දවල සියලු කෙලෙස් ප්‍රහාණය කරලා නිවන ස්පර්ශ කර රහතන් වහන්සේ නමක් බවට පත්වෙනවා. වාසෙට්ඨ හතර කුලයෙන් ඕනෑම කෙනෙකු රහතන් වහන්සේ නමක් බවට පත්වුණොත් ඒ කෙනා නොවේද අර සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ අන්න ඒ රහතන් වහන්සේට කියන්න පුලුවනි. ඕනෑනම් මම තමා බ්‍රාහ්මණයා මම භාග්‍යවතුන් වහන්සේගේ ඔරඝ පුත්‍රයා මම භාග්‍යවතුන් වහන්සේ ඉපැද්ද වූ කෙනා. සෑම භාග්‍යවතුන් වහන්සේගේ දායාදයට හිමිකම් කියන කෙනා, අර කාටවත් එහෙම කියන්න බැහැ.
ඒ නිසා වාසෙට්ඨ දැන ගන්න. ධර්මයමයි ශ්‍රේෂ්ඨ කියා බුදුජාණන් වහන්සේ වදාළා. ධර්මය කියා අප අදහස් කරන්නේ එක්කෝ කුසල ධර්මයක් අපේ ජීවිතයට මඟ පෙන්වන පෙරමුණගන්න යහපත් දෙයක්. අපේ ජීවිතයේ පෙරමුණ ගත්තොත් අකුසල ධර්මයන් ඉරණම කුමක් වේවිද? කරදරයකින්ම අවසන් වෙයි. ධර්මය ශ්‍රේෂ්ඨයි කියන්න අප තව කාරණයක් තේරුම් ගන්න ඕන. අපට මේ ලෝකේ තනියම ජීවත් වෙන්න අමාරුයි. අපට වයස අවුරුදු හතර පහ වෙද්දී අප ඒ වයසේ අය සමඟ ජිවත්වුණා. අවුරුදු දහය පහළොව වෙද්දී අප ඒ වයසේ අය සමඟ ජීවත් වුණා. අවුරුදු තිහ හතළිය වෙද්දී අප අවුරුදු තිහ, හතළිහ වයස අය සමඟ ජීවත් වුණා.
අවුරුදු පනහ හැට වෙද්දී ඒ වයසේ අය සමඟ අප ජීවත් වුණා. එවිට ඒ ඇසුරු කළ අය තමා ඒ ඒ කාලවල අපේ ආශ්‍රයට පත්වුණේ. අපේ ජීවිතයේ අප ආපස්සට හැරී බැලුවොත් හැම කෙනෙක්ටම ගෙවපු අතීතයක් තිබෙනවා. අවුරුදු දහයක, පහළොවක, තිªහක, හතලිහක, පනහක, හැටක මේ අතීතය සිහිපත් කරද්දී පසුතැවෙන්න වෙනවානම් දුකින් පීඩාවෙන් ඉන්න වෙනවානම් හොඳට සොයා බලන්න. ඒ තැන පාප මිත්‍රයෙක් ඉන්නවා. පාප මිත්‍රයාගේ අනුබලයක්, මඟ පෙන්වීමක් තිබෙනවා. දැන් එතැන ඒ පාප මිත්‍රයා නැහැ. නමුත් අප කරපු වැරැද්ද තිබෙනවා.
ජීවිතය ආපස්සට හැරී බලද්දී සතුට ඇතිවන පින උපදවන යහපත මතුවෙන දෙයක් තිබෙනවා නම් එතැන කල්‍යාණ මිත්‍රයෙක් ඉන්නවා. ඒ කල්‍යාණ මිත්‍රයා යම් දවසක නැතුව යනවා. නමුත් අන්තිමට බලද්දී ඒ කල්‍යාණ මිත්‍රයාගේ ඇසුරෙන් තමන් කළ හොඳ දේ විතරක් තමන් ළඟ තිබෙනවා. හොඳට කල්පනා කර බලන්න එතැන තිබෙන්නේ ධර්මයම යි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ බාහර්‍ණඡ්ර දේ අතර කල්‍යාණ මිත්‍රයා තරම් ශ්‍රේෂ්ඨ දෙයක් නැහැ කියා. කල්‍යාණ මිත්‍රයා තමා අපට හරි වැරැදි දේ කියා දෙන්නේ. බොහෝ වෙලාවට මේ මගේ කලණ මිතුරා මේ කලණ මිතුරියයි කියා අප කියන්නේ අපට බොහෝ සේ හිතවත් කෙනාට. නමුත් සැබෑ ස්වභාවය තේරුම් ගන්න ධර්මය වුවමනායි.
කෝසල රජතුමාටත්, වාසභවන්තියාටත් දාව විඩුඩභ උපදින්නේ. අනාගත කෝසල රාජ්‍යයේ රජතුමා මේ කුමාරයාට හිතුණ තමන්ගේ මව් පාර්ශවයේ ඤාතින් බලන්න. ඒ කියන්නේ ශාක්‍ය වංශකයන්. නමුත් වාසභවන්තියා කියන්නේ නියම ශාක්‍ය කාන්තාවක් නොවේ. මහානාම ශාක්‍යයාට දාව සේවිකාවකට උපන් කාන්තාවක්. වාසභවන්තියා ශාක්‍යයන් බලන්න විඩුඩභට යන්න නො දුන්නේ මේ රහස හෙළිවෙයි කියා.
නමුත් තරුණ වයසේදී විඩුඩභ කපිලවස්තුවට ගියා. බොහෝම හරසරින් පිළිගත්තා. නැවත පිටත්කොට හැරියා. නමුත් එක සේවකයකුට තමන්ගේ කඩුව අමතක වුණා. නැවත ආපසු කඩුව ගෙන යන්න එනවිට එක්තරා සේවිකාවක් විඩුඩභ වාඩි වූ පුටුව සෝදමින් සිටියා. “අපේ රාජවංශයේ ආසනය කිලිටි කළානේ. මේ දාසියකගේ පුතා වාඩිවෙලා” කියා. එය අර සේවකයාට ඇසුණා. ඔහු එය විඩුඩභට ගිහින් කිව්වා. විඩුඩභ වෛර බැඳ ගත්තා. රජවීමෙන් අනතුරුව මේ පුටුව ශාක්‍යයන්ගේ ලේ වලින් සෝදනවා කියා හිතාගත්තා.
විඩුඩභ රජවීමෙන් පසු ශාක්‍යයන් මරා දැමුවා. කපිලවස්තුව එකම ලේ විලක් කළා. අවසානයේ ශාක්‍ය කාන්තාවන් පන්සියයක් අල්ලාගෙන අතපය ගැටගහලා ඇදගෙන ගියා. මඟ දිගට යනවිට මේ තරුණ ශාක්‍ය කාන්තාවන් ශාපකර කර හඬ හඬා යනවා. විඩුඩභ කියනවා මේ පන්සිය දෙනාගේම අත් පා කපන්න කියා. සියලු දෙනාගේ අත්පා කැපුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් අමතා වදාළා ඔවුන්ට ධර්මය කියන්න කියා.
භික්ෂුව වැඩම කර ධර්මය වදාළා. සසරේ භයානකකම ගැන, දුක් සහිතව යන්න තිබෙන ගමන ගැන කිව්වා. ද්වේෂය ඇති නො කර ගැනීම ගැනත්, මෛත්‍රියෙන් සිහි‍‍ය පිහිටුවා ගන්නටත් කියා දුන්නා. ඒ සියලු දෙනා මරණයට පත්වුණා. දෙවියන් අතර උපන්නා. ඒ අය දෙවියන් අතට ගෙනගියේ භාග්‍යතුන් වහන්සේ නොවේ. උන්වහන්සේ වදාළ ධර්මය යි. ඒ නිසා ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයම යි. ධර්මය නායකත්වය දෙන්නේ සුගතියට ගෙන යන්න. අධර්මය නායකත්වය දෙන්නේ දුගතියට යන්න. එහෙනම් ධර්මය තැවරෙන්න ඕනෑ ක්‍රියාවේ මිසක් වෙනදෙයක නොවේ. අප සියලු දෙනාටත් ඒ ශ්‍රේෂ්ඨ වූ ධර්මය තුළට පැමිණ වාසය කරන්නට වාසනා උදාවේවා!

ප්‍රඥාවයි-කරුණාවයි

බුදු සමය තුළ දැක්වෙන ප්‍රඥාව සහ කරුණාව යන ගුණාංග දෙක පහදන ලිපියකි.

ඇස, කන, නාසය, දිව සහ කය ආධාර කරගෙන මිනිසා අවට ලෝකය ගැන තතු දැනගනී. මෙ පඤ්චේන්ද්‍රියන් සමඟ අරමුණු ගැටීම තුළින් මිනිසා සිය දැනීම වර්ධනය කරගනු ඇත. ඒ දැනීම පිළිබඳව මිනිසා තුළ පැහැදීමක් හෝ අපැහැදීමක් හෝ මධ්‍යස්ථ හැඟීමක් හෝ ඇති වීම සිදු වේ. පඤ්චේන්ද්‍රියෙන් ලැබෙන දැනුම තමා සතු බුද්ධිය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. දහසක් දෙනා දහසක් ලෙසින් තමා නිවසන ලෝකය තේරුම් ගන්නේ එනයිනි.
අනුරාධපුර යුගයෙහි වැඩ සිටි බුද්ධඝෝෂ හිමියන් මිනිසාගේ මේ විවිධත්වය ගැන දක්වන අදහස ඉතා වැදගත්ය. ඒ හිමියෝ, මිනිසාගේ දැනීම සඤ්ඤා, විඤ්ඤාණ සහ පඤ්ඤා යනුවෙන් අවස්ථා 03කට බෙදා වෙන් කළහ.
ප්‍රඥාවට මුළුමනින්ම විරුද්ධ ධර්මතාව අවිද්‍යාවයි. අවිද්‍යාවෙන් සිත ආවරණය කොට ප්‍රඥාව වසා සඟවාගෙන සිටී. ප්‍රඥාව වර්ධනය කරගැනීමට ලෝභ, ද්වේෂ සහ මෝහ යන හේතු තුන බාධා ඇති කරයි. මෙම හේතු අතරින් මෝහය හෙවත් අවිද්‍යාව ප්‍රධාන තැන ගනී. අවිද්‍යාව නම් ධර්මතාව නිසා ලොව සත්ත්වයෝ පසිඳුරන්ට අරමුණු වන අන්දමටම ලෝකය දෙස බලනු විනා ප්‍රඥා ඇසින් ලොව දෙස බැලීමක් නොකරති.
ලෝකය දෙස ප්‍රඥා ඇසින් බලා ප්‍රඥාවේ පරිපූර්ණත්වයට ළඟා වීම බුද්ධ දර්ශනයේ පරමාර්ථය වේ. පංචනීවරණයන් ප්‍රඥාව යටපත් කර, අවිද්‍යාව ඉස්මතු කරයි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන පංච නීිවරණයන් මඟින් මොහඳුර වඩාලයි. එක් එක් සත්ත්වයාගේ ප්‍රඥාව ඒ ඒ ප්‍රමාණයට වැඩී ඇත. ප්‍රඥාව හීන අන්ධබාලයාට තමන් මෝඩ කෙනෙකැයි කනස්සලු වීමට අවශ්‍ය නැත. හේතුව, සෑම දෙනාටම ප්‍රඥාව දියුණු කරගැනීමට හැකි බැවිනි. බුද්ධිමත් ගුණයෙන් අඩු, ප්‍රඥාව වැඩී නැති අයට පවා ප්‍රඥාව වැඩි-දියුණු කරගැනීම සම්බන්ධයෙන් බලාපොරොත්තු ඇති කරගැනීමට බුද්ධ ධර්මය උගන්වයි. මන්දබුද්ධික මිනිසුන්ට පවා බුද්ධ ධර්මය නිසි ලෙස හැදෑරීමෙන් ප්‍රඥාව අවදි කරගත හැකිය. සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධර්මානුකූල හැසිරීම යන මාර්ග සතරින් ප්‍රඥාව දියුණු වී යයි. ප්‍රඥාව එක වසරකදී හෝ එක ජීවිතයකදී හෝ දියුණු කරගත හැක්කක් නොවේ. එය ක්‍රමයෙන් දියුණු කරගත යුතු ධර්මතාවකි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි සහ ප්‍රඥා ලෙසින් කොටස් 03කට බෙදේ. ප්‍රඥාව ලැබීමට බලාපොරොත්තු වන ගිහියා හෝ පැවිද්දා ප්‍රථමයෙන්ම ප්‍රඥාවේ පසුබිම වන සීලයෙහි පිහිටිය යුතුය. ගිහියකු නම් පන්සිල්, අටසිල්-දසසිල්වලින් ද පැවිද්දකු නම් අදාළ සිල් රැකීම මඟින්ද සිය ජීවිතය පිරිසිදු කරගත යුතුය.
සමාධිය හෙවත් භාවනාව පුරුදු කර ප්‍රඥාවේ පරිපූර්ණත්වය ලැබීමට පසුබිම වන්නේ සීලයයි. සීලය නොමැත්තා තුළ සම්‍යක් ප්‍රඥාවක් ඇති නොවේ. ඔහු තුළ ගොඩනැගෙන ප්‍රඥාවෙන් කිසි විටෙක නිවන් සුවය අත් කරගත නොහැකිය. “සීලටෙහි පිහිටියා වූ ප්‍රඥාවන්ත භික්ෂුව සිතද නුවණද පුහුණු කොට කෙලෙස් තැවීමෙන්ද උත්සාහයෙන්ද මේ අවුල ලිහන්නේය.”. යනුවෙන් සීලය ප්‍රඥාව ලැබීමට අත්‍යවශ්‍ය බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත. ආර්ය අෂ්ටාංගික මාර්ගයද ආරම්භවන්නේ ප්‍රඥාවෙනි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප යන අංග දෙක ප්‍රඥාවට වැටේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුපිළිවෙළින් සීල, සමාධි, ප්‍රඥා ලෙස දක්වා ඇතත් සීලයද සම්මා දිට්ඨි මත සිට රැකිය යුතු නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි ප්‍රථම අංගය ලෙස සම්මා දිට්ඨි දක්වා ඇත. ප්‍රඥාවේ අග්‍රඵලය ලොවුතුරා බුද්ධත්වයයි. එතැනට සම්ප්‍රාප්ත වීම සඳහා කල්ප .ගණනාවක් පෙරුම්දම් පූරණය කළ යුතුය.
නිර්වාණය හෙවත් විශිෂ්ටතම ප්‍රඥාව ලබාගැනීම සඳහා ගිහි පැවිදි සියල්ලන්ම තුළ අචල ශ්‍රද්ධාවක් තිබිය යුතුය. ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාව තුළින් අවැඩද බොහෝ විට සිදු විය හැකිය. ඉතා විධිමත්ව සැලසුම් කර නිවෙස්වලට ඇතුළුව මුදල් සහ භාණ්ඩ, ගෙහිමියාට අසු නොවී සොරකම් කරන පුද්ගලයන් එසේ කරනු ලබන්නේ බුද්ධිය පෙරදැරි කරගෙනය. මිනීමරා සාක්ෂි නැති වන අන්දමින් අසු නොවී සිටින්නන්ද ඒ කාර්යය පිළිබඳව බුද්ධිමත් අය වෙති. ඔවුන් බුද්ධිමතුන් වුවත් සද්ධාව නොමැති හෙයින් නොමග ගොස් ඇත. මෙලෙස ප්‍රඥාව හරිමග ගමන් කරවීමට සද්ධාව අවශ්‍යය. සමහර අය ළඟ ප්‍රඥාව නොමැතිව සද්ධාව පමණක් ඇත. අන්ධ භක්තිකයන් ලෙස ගැනෙන ඔවුන්ට බුදු දහමින් නිසි ප්‍රයෝජන ලබාගැනීමට නොහැකිය. බුදු රදුන් ගැනත් ධර්මය ගැනත් නුවණින් පහදින්නාට තරම් විචාරවත් බුද්ධියක් සද්ධාවෙන් පමණක් සිත පුරවාගත් අයට නැත. බුද්ධ ධර්මය අවබෝධ කරගැනීමේ ප්‍රඥාවක් නැති කෙනකු බෞද්ධයකු වීම තේරුමක් නැති වැඩකි.
බුද්ධ ධර්මයේ ප්‍රඥාවට සුවිශේෂ තැනක් දී ඇත. සිදුහත් තවුසාණන් බුද්ධත්වය ලබාගැනීමෙන් අනතුරුව බැසගත් තීරණය තුළින් ද එය පැහැදිලි වෙයි. “මා විසින් අවබෝධ කරන ලද මෙම ධර්මය ගැඹුරුය. දුකින් දත යුතු වේ; දුකින් අවබෝධ කටයුතු වේ; ප්‍රණීත වේ; තර්කයෙන් නොදත හැකි වේ; සියුම් වේ, පණ්ඩිතයන් විසින් දත යුතු වේ; පස්කම් සැපතෙහි හා තෘෂ්ණාවෙහි ඇලෙන්නා වූ ඇලුණා වූ ප්‍රජාව විසින් මේ සංස්කාරාදීන්ට ප්‍රත්‍ය වූ යම් ප්‍රනීත්‍ය සමුත්‍යාදයක් වේද මෙය දුකින් දත යුතු වේ” යනුවෙන් තමන්
වහන්සේ අවබෝධ කළ ධර්මය ප්‍රඥාවන්තයන්ට පමණක් ඇරෙන බව සිතූ සේක. බුද්ධ ධර්මයෙන් කැරෙන්නේ ප්‍රඥාවේ අග්‍රඵලය නෙළාගැනීමට මග සැලසීමයි. සමථ භාවනාවෙහි යෙදෙන තැනැත්තා පංචනීවරණ ධර්ම දුරු කරමින් රූපාවචර ධ්‍යාන අත් කරගනී. ඉක්බිති අරූපාවර ධ්‍යානද ද්වි විධ ඥානයද ලබාගනී. එය ලබාගැනීමෙන් පසු අහසින් යෑමට, ජලය මත ඇවිදීමට, බිත්ති තුළින් එහා මෙහා යෑමට, හිරු-සඳු ඇල්ලීමට හැකියාව හිමි වේ. ඉන් පසු දිව කනද, දිවැසද ලැබේ. තව තවත් ප්‍රඥාව දියුණු කරමින් භාවනා කරන විට පරචිත්ත විජානන ඥාණය, පූර්වේනිවාසානුස්මෘති ඥානයද ලැබේ. චුතූපපාත ඥානය ලද පසු සත්ත්වයා සංසාර සාගරයේ සැරිසරන අන්දම පෙනෙන්නට පටන්ගනී. අවසාන වශයෙන් ආසවක්ෂය ඥානය පසක් වේ. මෙම ඥානයෙන් දුක, දුක ඇති වීමට හේතුව, දුක නැති කිරීම, ඒ සඳහා අනුගමනය කරන මාර්ගය අවබෝධ වේ. එම ඥානය ලැබීත් සමඟ දත යුතු සියල්ල දැන ප්‍රඥාවේ පරිපූර්ණත්වයට පත් වේ.
“පමාදං අප්පමාදේන
යදා නූදති පණ්ඩිතෝ
පඤ්ඤා පාසාදමාරුය්හ
අසෝකෝ සෝකිනිං පජං
පබ්බතට්ඨෝච භුම්මට්ඨේ
ධීරෝ බාලේ අවෙක්ඛති.”
(ධම්මපද, අප්පමාද වග්ගය, 8)
අප්‍රමාදයෙන් ප්‍රමාදය පලවා-හරින පණ්ඩිතයා ප්‍රඥා නමැති ප්‍රාසාදයට නැග පර්වතයක මුදුනෙහි සිටින්නකු බිම සිටින්නන් දෙස බලන්නා සේ සෝකයෙන් තොරව සිට, සෝකයට පිළිපන් මෝඩ ප්‍රජාව දෙස බලයි. ප්‍රඥාව සියල්ල පෙනෙන උස ප්‍රාසාදයක් ලෙස මින් කියැවේ.
මෙලෙස ප්‍රඥාව නම් ප්‍රාසාදයට නැගගත් අයෙකුට විනා වෙන අයෙකුට ලෝකයේ ඇති-තතු එලෙසින්ම බැලීමට නොහැකිය.
බුද්ධ ධර්මයේ කරුණාවට විශේෂ තැනක් හිමි වී ඇත. කරුණාව යනු කරදරයට පත් වූවන් දැක හද තුළ ඇති වන කම්පාවය. කරුණාව බ්‍රහ්ම විහාර අතරින් එකකි. ප්‍රාග් බෞද්ධ සමයෙහි පටන් බ්‍රාහ්මණයන් පවා බ්‍රහ්ම විහාර පුරුදු කර උත්තරීතර සුඛය වූ බ්‍රහ්මයන් සමඟ එක් වීම ප්‍රාර්ථනා කර ඇත. බුදුන් වහන්සේ බ්‍රහ්ම විහාර හතරම අනුමත කළ සේක. බ්‍රහ්ම විහාර පුරුදු කිරීමම සත්‍ය ගවේෂණයේ ආරම්භයත් අවසානයත් ලෙස බ්‍රාහ්මණයන් පිළිගත් නමුත්, බුදුන් වහන්සේ එය නොපිළිගත්හ. කරුණාව පුරුදු කළ අය අතරින් ලොව ශ්‍රේෂ්ඨම මිනිසා බුදුන් වහන්සේ බවට තර්කයක් නැත.
“මහා කාරුණිකෝ නාථෝ”, “කරුණා සීතල හදයං” යන වදන්වලින් බුදුන් වහන්සේ හඳුන්වන්නේ එහෙයිනි. කරුණාව ස්වාර්ථ සාධනයට මගකි. ස්වාර්ථ සාධනයක් සාදා නොගෙන පරාර්ථ සාධනයක් කළ නොහැකි හෙයින් ප්‍රථමයෙන්ම සිදුහත් තවුසාණෝ බ්‍රහ්මචරිය පුහුණු කර අවසන් කොට, කළ යුතු සියල්ල කර අවසන් කොට මහත් කරුණාවෙන් අනුන් වෙනුවෙන් ඉතිරි කාලය යෙදැවූහ.
ආත්මාර්ථකාමිත්වයෙන් පරාර්ථ චර්යාවද ඉටු වන ආගමක් ලෙස බුද්ධාගම ගැන කතා කළ හැක්කේ එහෙයිනි. උදෑසන මහා කරුණා සමාපත්තියට සමවදින බුදුන් වහන්සේ, රෝගීන්, අනාථ දරුවන්, දාසියන්, මිනීමරුවන්, කෙටි ආයුෂ ඇත්තවුන් ආදීන් සොයාගෙන ගොස් කරුණාවෙන් පිහිට වූ සේක. කරුණාව ඔස්සේ සිත දියුණු කරගත් විට නිවනද ලබාගත හැකිය. අට්ඨක නාගර නම් ගෘහපතියා ආනන්ද තෙරුන් වහන්සේගෙන් අනුත්තර විමුක්තියට පැමිණීමට ඉවහල් වන කරුණු විමසූ විටදී උන් වහන්සේ කරුණා භාවනාව මගින්ද විමුක්තිය ලබාගත හැකි බව පවසා ඇත.
සෝමසිරි දෙනගම

සම්බුදු සසුන බබළවන සබඳතාව

පූජ්‍ය වැල්ලවායේ සුමනබෝධි හිමි

'සාගාරා අනගාරා ච උභෝ අඤ්ඤොaඤ්ඤ නිස්‌සිතා ආරාධයන්ති සද්ධම්මං යෝගක්‌ෙ€මං අනුත්තරංණී' ගිහියෝද පැවිද්දෝ ද යන උභය පාර්ශවයෝ එකිනෙකාගේ සහයෝගයෙන් අනුත්තර වූ යෝගක්‌ෂේම වූ නිර්වාණය සපුරා ගනී. එනම් ගිහි පින්වතුන් සිව්පසය සැපයීම හරහා පැවිදි උතුමන්ට පිළිවෙත් මගෙහි ගමන් කිරීමට සහයෝගය දක්‌වයි. පැවිදි උතුමන් ධර්ම මාර්ගය පෙන්වීම තුලින් ගිහියාට අනුග්‍රහ කරයි.

තථාගතයන් වහන්සේ විසින් 'ගිහීනමුපකරොන්තානං නිච්චමාමිසදානතෝ කරෝථ ධම්මදානේන තේසං පච්චුපකාරකං' යනුවෙන්, ගිහියන් කෙරෙහි අනුකම්පා කළ යුතු ආකාරය දේශනා කර ඇත. එබැවින් ගිහියන් හා පැවිද්දන් අතර සම්බන්ධය ගොඩනැගිය යුත්තේ ඒ තථාගත දේශනාව අනුවය. එකල්හි එකිනෙකා අතර සහයෝගය මතම පවතින ගිහි පැවිදි සම්බන්ධය ධර්මානුකූලවී උභය පාර්ශවයන්ටම යහපත සැලසෙනු ඇත. එතුලින් මුළුමහත් සමාජයම ධර්මානුකූල කිරීමේ කටයුත්ත ඉතාමත් සාර්ථක වන්නේමය. එවිට සම්බුද්ධ සාසනයට පැනනගින ගැටළු මනාව නිරාකරණය කළ හැකිය. ඒ සදහා කැපවීම සියලු පැවිදි උතුමන්ගේ වගකීමක්‌ වේ.

ගිහියාට කෙසේ ධර්ම දානයෙන් අනුග්‍රහ කළ යුතුද? ගිහි පැවිදි යුතුකම් දැක්‌වෙන්නේ ඒ උදෙසාය. පැවිද්දා විසින් 'පාපා නිවාරෙන්ති, කල්‍යාන නිවේසෙන්ති, කල්‍යානමනසා අනුකම්පන්ති, අස්‌සුතං සාවෙන්ති, සුතං පරියෝදපෙන්ති, සග්ගස්‌ස මග්ගං ආචික්‌ඛන්ති' යනුවෙන් දක්‌වන ලද අකාරයන්ට අනුව කටයුතු කළ යුතුය.

චීවර පිණ්‌ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය, යන සිව් පසය සපයන ගිහියාගේ ඒ ප්‍රත්‍ය දානය මහත්ඵල මහානිසංස වීමට පිළිපැදිය යුතු අකාරය පසුගිය ලිපිය මගින් පෙන්විමු. පැවිද්දා එසේ මනාව පිළිපැදීම තුලින් ගිහියාට පරලෝකය පිණිස අනුග්‍රහ කරන ලද්දේ වෙයි. ඒ ඔහුට මේ ලෝකය පිණිස අනුග්‍රහ කිරීමට හා මතු මතු දියුණුව පිණිස ධර්මය දේශනා කළ යුතුය. එහිදී දාන කථා, සීල කථා, ස්‌වර්ග කථා, කාමයන්ගේ ආදීනව, ඕලාරික බව, කෙලෙසෙන බව, නෙක්‌ඛම්මයෙහි ආනිසංස සහ අවසන චතු සත්‍ය, ලෙසින් වූ පිළිවෙල කතාවක්‌ විය යුතුය. ඒ දේශනාවද එම ප්‍රත්‍ය දායකයා කෙරෙහි අනුකම්පාවෙන් කළ යුතු දේශනාවකි. නොමැතිව මිත්‍යා ආජීවය තුලින් කරනු ලබන ගුණ වර්ණනා ධර්ම දේශනා ගණයට නොයයි. එබඳු ක්‍රියා තථාගත ගර්හාවට ලක්‌වූ හීන ක්‍රියා වේ. ඒවායින් වැලකීම තමාගේ සීලාදී ගුණ දියුණුව පිණිස බව පැවිද්දා දැඩිව සිතෙහි දරාගෙන කටයුතු කළ යුතුය.

එහිදී දානයක්‌ මහත්ඵල මහානිසංස වීමට බලපාන ප්‍රධාන කරුණු වන දායකයාගේ ගුණ සම්පත්තිය, ප්‍රතිග්‍රාහකයාගේ ගුණ සම්පත්තිය හා දාන වස්‌තුවේ ධාර්මික භාවය යන දක්‌ණා විසුද්ධීන් ඔස්‌සේ දේශනාව ගෙනයාම සාර්ථක ක්‍රමයකි. එතුලින් දායකයාට කරුණු කාරණා රාශියක්‌ දැනගැනීමේ මහඟු අවස්‌ථාව විවර වේ. එතුලින් දානමය පුණ්‍ය කර්මය නිවැරදිව සිදුකර ගැනීමටත් ඒ හරහා නිවන් මග විවර කරගැනීමටත් හැකියාව ලැබෙන්නේය.

සීලය වනාහි සෑම සියලු දෙන තුළ ඒකාන්තව පැවතිය යුත්තකි. 'සීලං කිරේව කල්‍යානං සීලං ලෝකේ අනුත්තරං' සීලයම යහපත් වෙයි සීලය ලෝකයේ අනුත්තර වෙයි යනුවෙන් සීලය වර්ණනා කර ඇත. වර්තමාන බෞද්ධයා තුළ බොහෝ දුරට නැත්තේද සීලයම වේ. ඒ සීලය බිඳීම නිසාම සෙසු සියලු ගැටලු පැනනැගී ඇත. සීලය යනු සියලු කුසලයන්ගේ පදනම වේ. සීලය නයින් සීල නම් වේ. කුසලයන්ගේ සමාදාන හා උපාදානාර්ථයෙන් සීලන නම් වේ. එනම් සියලු කුසලයෝ සමාදන් කරගැනීම හා දරා ගැනීම සිදුකරන්නේ සීලය මගිනි. ත්‍රි ශික්‌ෂාවට සීලයම මුල වන්නේ එබැවිනි. යමෙකු සීලය බිඳගෙන සිටියිද හෙතෙමට සෙසු කිසිදු කුසලයක්‌ නිවැරදිව කරගත නොහැකිය යන්න ප්‍රත්‍යක්‍ෂ කරුණකි. යටත් පිරිසෙයින් සිල් පද පහ රැකගත නොහැකි තැනැත්තෙකු ඉන් මතු කුසලයෝ කෙසේ කරනු ලැබේද? එය වනාහි අහසෙහි මාලිගා තැනීමක්‌ පමණමය. එබැවින් කුසල් දහම් තුල හැසිරෙන පින්වතුනට සීලය රැකගැනීමේ දියුණු කරගැනීමේ ආනිසංස මෙන්ම සීලය බිඳීමේ ආදීනවද දක්‌වා දර්මය දේශනා කළ යුතුය.

එසේ කුසලයට බරවූ සිත දිව්‍ය ලෝක වර්ණනා තුලින් තව තවත් කුසලයෙහි සමාදන් කරවිය හැක. එය ඒ ඒ පුද්ගලයාගේ ස්‌වභාවය අනුව කළ යුත්තකි. සද්ධාවන්තයාට ස්‌වර්ග කතා රුචිය. නමුදු ප්‍රඥාවන්තයින් එතරම් ඒ කෙරෙහි කැමැත්තක්‌ නොදක්‌වයි. ඒ ඔවුන් ස්‌වර්ගයද සැනසීමක්‌ නොමැති තැනක්‌ බව දකින බැවිනි. ඔවුනට ස්‌වර්ගය කෙටියෙන් දක්‌වා චතුරාර්ය සත්යා දේශනාව දැක්‌විය හැක.

කාමයන්ගේ ආදීනව මනාව දැක්‌විය යුතුමය. කාමයන් නිසා සත්වයා දුක්‌ විඳින්නාවූ ආකාරය ඔහුගේම ජීවිත තුලින් දැකීමට සිත නැඹුරු කළ යුතුය. ඒ කාමයන් නිසා කෙලෙසෙන බව ඒවායේ ඕලාරික බව සසඳා බැලීමට හැකි අයුරින් දේශනාව ගෙන යා යුතුය. එවිට චතුරාර්ය සත්‍ය කෙරෙහි සිත නැඹුරු කරවීම ඉතාමත් පහසු කටයුත්තක්‌ වේ. 

මෙසේ දානයෙන් සීලයට සීලයෙන් ස්‌වර්ගයට ස්‌වර්ගයෙන් කාමයන්ගේ ආදීනවයන්ට සිත නැඹුරු කරවා කාමයන්ගෙන් තොරවීමේ සැනසීම දක්‌වා එයම චතුරාර්ය සත්‍ය බවට හැරවිය යුතුය. එනම් ඒ කාමයෝ යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ, ධර්ම වේ. ඒවා ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හරහා අරමුණු ලෙස ගනී. එසේ වූ ඒ ආයතනයෝම දුක්‌ඛාර්ය සත්‍යයයි. එනම් ජාති, ජරා, ව්‍යාධි, මරණා දී දුක්‌ඛයෝ ගෙන දුන්නේ ද්වාදස ආයතනයෝම වේ. ඒ ආයතන නම් වූ පංච උපාදානස්‌ඛන්ධය තුලින්ම ඒ ජරා මරණයෝ පහළ වේ. එසේ ජරාමරණයෝ පහල වීම දුකෙකි. දුක නම් වූ ජරා මරණ ද්වාදසායතන නිසා පහළ වන බැවින් දුක යනු ද්වදසායතනම වේ. ද්වාදසායතන යනු කාමයෝ බැවින් කාමයෝ යනු දුක වේ. 

ඒ කාමයෝ නැවත නැවත පහළවන කල්හි දුක නැවත නැවත පහළ වේ. එසේ කාමයන් නැවත නැවත පහල වන්නේ කාමයන් කෙරෙහි පවතින තණ්‌හාව නිසාය. එසේ නම් තණ්‌හාව නිසා දුක නැවත නැවත පහළ වේ.

දුක නැතිවීමට නම් කාමයෝ නැතිවිය යුතුය. කාමයෝ නැතිවීමට නම් කාමයන් නැවත නැවත පහළකරවන හේතුව නැතිවිය යුතුය. හේතුවනම් තණ්‌හාවයි. එබැවින් තණ්‌හාව දුරුකළේ නම් දුක දුරුකළා වේ.

එයට මගනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයම වේ. 

මෙලෙස පිළිවෙල කතා තුලින් ගිහියාට මගපෙන්ව ඔහුට අනුග්‍රහ කළ යුතුය. එය එසේ වීමට නම් තමාද නිවැරéව පිළිපැදිය යුතුය. නොමැතිව මෙබඳු දේශනාවක්‌ පැවැත්වීම ඉතා දුෂ්කර කර්තව්‍යයකි. නමුදු කළ යුත්තේ මෙයම පමණි.

මෙසේ දානමය පින්කම් සීලමය පින්කම් භාවනාමය පින්කම් කෙරෙන කල ඒවා මූලික කරගෙන ධර්ම මාර්ගය තුල ස්‌ථාවර භාවයට පත්වීමට මග විවර කළ යුතුය. බොහෝ විට බොහෝ දෙනා අකමැති වුවද ප්‍රපත්තියට නැඹුරු කිරීම කළ යුතුමය. ඒ ප්‍රතිපත්තියෙන් තොරව සාසනයෙහි අභිවෘද්ධියක්‌ නොමැති බැවිනි. සැබෑවටම අනුකම්පා කළා වන්නේ එවිටම පමණි.

වර්තමානික බොහෝ දෙනෙකු බලාපොරොත්තු වන්නේ පිළිවෙත් නොපුරා රහතන් වහන්සේ නමකගෙන් ධර්මය ශ්‍රවණය කොට එකවරම රහත් වීමටය. නොමැතිනම් කිසියම් පූජාවක්‌ පවත්වා ප්‍රාර්ථනාවෙන් රහත් වීමටය. එය එසේ කළ හැකිනම් ශ්‍රමන පාරමිතා කුමටද? මෙබඳු මිත්‍යාවන්ගෙන් බොද්ධයා ගලවා ගත යුතුය. එසේ ඔවුනට නිසිමග දැක්‌වෙන පරිදි මනාව ධර්මය දේශනා කළ යුතුය. 

එසේම ගිහියාගෙන් පැවිද්දාට ලැබෙන සිව්පසය ධාර්මිකව ලබාගැනීමටත් ඒවා ධාර්මිකව පරිහරණය කිරීමටත් පැවිද්දා වගබලා ගත යුතුය. සිව්පසය විනාශ නොකළ යුතුය. අපතේ නොයෑවිය යුතුය. සාසන අභිවෘද්ධිය පිණිස තම තමන්ගේ ගුණ දියුණුව පිණිස යොදාගත යුතුය. තමා තුල අල්පෙච්චතා සන්තුට්‌ඨිතා ආදී ශ්‍රමණ ගුණ වර්ධනය කරගත යුතුය. තමාගේ ගුණ දියුණු වන තරමටම දායකයාට පින වැඩිවන බව සිතිය යුතුය.

තවද ගිහියන් සමග අනවශ්‍ය හිතවත්කම් එනම් පැවිද්දට බාධාවන අන්තරායකාරී වන පුද්ගලයන් සමග සම්බන්ධකම් නොපැවැත්විය යුතුය. ගිහියන්ගේ යටත්වැසියකු නොවිය යුතුය. පැවිද්දෙහි ගරුත්වය රැකගත යුතුය. ලාභ ලෝභ තකා ගිහියන්ගේ වැඩ කරදීමට, ගිහියන් වර්ණනා කිරීමට, සමකොට කටයුතු කිරීමට නොපෙළඹිය යුතුය. එසේම ඔවුනට අවමන් කිරීමද නොකළ යුතුය. තමන් නිසා ඔවුන් පින් රැස්‌කරගන්නා බවද ඔවුන් නිසා තමන් සීලාදී ගුණ දියුණු කරගන්නා බවද සිතිය යුතුය.

අවසන සිතිය යුත්තේ පැවිද්දා වශයෙන් තමාත් ගිහියා වශයෙන් අනෙකාත් ප්‍රතිපත්තිගරුක වන කල්හිම මේ සම්බුදු සසුන බැබළෙන බවයි. එසේ කිරීමට සැවොම උත්සාහවත් වෙත්වා යන්න අපගේ පැතුමයි.

මව දරුවා සුරකිනා සේ රකින්න අටසිල් නිසි සේ

දිවි දෙවෙනි කොට බිජු රකින කිරල ධේනුවක් මෙන්, ස්වකීය වල්ගය රකින සෙමර මුවා මෙන් එක් ඇසක් ඇති පුරුෂයෙකු එය රකින්නාක් මෙන් එක් පුතකු ඇති මවක් එම පුතු රකින්නාක් මෙන් ඉතාමත් සැලකිල්ලෙන් සීලය රකියි. එවන් සීලවන්තයා බුද්ධාදී තුනුරුවන් විෂයෙහි ගරු සැළකිලි දක්වයි. පි‍්‍රයසීලීව වෙසෙයි.
සීලෙ පතිටඨායනරොසපඥේඤා 
චිත්තං පඤ්ඤංච භාවයං
ප්‍රඥාවත් වූ කෙලෙස් තවන වීර්යය ඇති යමෙක් සීලයෙහි පිහිටා සමාධියත් විදර්ශනා ප්‍රඥාවත් වඩයි නම් හේ තෘෂ්ණා නමැති අවුල මනාකොට නිරවුල් කරයි යනු එහි අදහසය.
නිවන් පසක් කිරීමට සීල, සමාධි, ප්‍රඥා යන ගුණාංගයන් පිරිය යුතු බව එයින් පැහැදිලිවේ. එසිනුත් පළමුකොට පිරියයුත්තේ සීලයය. සීලය නම් හික්මීමයි.කය, වචන දෙකේ සංවරයයි. සීලයෙන් තොර සමාධියක් නැත. සමාධියෙන් තොරව ප්‍රඥාව වැඩිය නොහැක. සීල, සමාධි, ප්‍රඥා යන ගුණාංග අනුපිළිවෙළින් පුරන්නට ඕනෑ. එසේ නැතිව රහත් විය නොහැක.
චතුරාර්සය සත්‍යය අවබෝධකර ගැනීමට ප්‍රඥාව වුවමනාය. ප්‍රඥාව ඇතිකර ගැනීමට සමාධිය අවශ්‍යය. සමාධිය ඇති කර ගැනීමට සීලය වුවමනා කෙරේ. එහෙයින් බෞද්ධයා මුලින්ම සීලය රැකිය යුතු ය. එහෙයින් ඔබ සිල් සමාදම්වීමෙන් කරන්නේ ඤාණවන්ත ක්‍රියාවකි. ගිහි ජීවිතය මවාගෙන ඇති කෙළරවක් නැති ප්‍රශ්න එයින් ඔබට අමතක වුණා. පෙහෙවස් සමාදන් වුණා. බුදු රජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවක් පැවැත්වීමට ඉටාගත්තා. එසේ නම් ඔබ බුද්ධිමත් ලෙස ප්‍රයෝජනවත් පරිද්දෙන් දවස ගත කිරීමට තිර අදිටනේ පිහිටන්ට වටිනවා.
නියම බෞද්ධයා පෙර පටන්ම කෙළේ බුද්ධිමත් දෑ ය. එයට හේතුව ඔහු පිළිගත් දහම බුද්ධි ගෝචර ධර්මයකි. බුදුරජාණන් වහන්සේ සදහම් වදාළේ නැණවතුන් සඳහාය. ඒ දහම පිළිගත් ඔබත් සමාදන් වූ සීලය ගැන මෙනෙහි කරන්නට ඕනෑ. බෞද්ධයා නිත්‍ය සීලයක් වශයෙන් පන්සිල් සමාදන් වෙනවා ඒවා රකිනවා. ඔහු එයින් කරන්නේ ගුණ ධර්ම පසක් ජීවිතයට සම්බන්ධ කර ගැනීමයි. කරුණු පහකින් චරිතය අලංකාර කර ගැනීමයි. අටසිල් සමාදන්වී ඒවා ආරක්ෂා කිරීමෙන් අදහස් කරන්නේ විශේෂ ගුණ ධර්ම අටක් ජීවිතයට සම්බන්ධ කර ගැනීමයි. එයින් තථාගතයන් වහන්සේ ප්‍රතිපත්ති පූජාවෙන් පිදීමට ඉටා ගැනීමයි.
සතුන් මැරීම, සොරකම් කිරීම, පහත් කාමසේවනය, බොරුකීම, රහමෙර පානය, විකල් බොජුන, නටනු ගයනු වයනු, විසුළුදස්සන මල්ගඳ විලවුන් දෑරීම උසසුන් මහ අස්න යන මේවායින් වැළකීමට පොරොන්දු වී ඔබ කරන්නේ කය, වචනය දෙකේ හික්මීමයි.එය සීලයයි.
සීලයට සීලය කියන්නේ තේරුම් කීපයක් සලකාගෙනයි. දුක් පමුණුවන කාය වාග් කර්මවලින් විසිරෙන්නට නොදී සිත මනාකොට පිහටුවන නිසා සීලයයි කියයි. සියලු කුසල කර්මවලට මුල්වන නිසාත් සීලයයි කියයි. ශරීරයෙන් හිස වෙන්කළාම මුළු ශරීරයම වැනසී යන්නා සේ සීලය නැති තැන මොනම ගුණ දහමක් වත් නොරැඳෙන බැවින් සිරස, හීස යන අර්ථයෙනුත් සීලනම් වේ. සියලු කෙලෙස් දැවිලි සංසිඳුවන බැවින් සීතලාර්ථයෙනුත් සීල නම් වේ. සියලු ගුණදම්වලට පිවිසීමට හිසයට ශාලාවක් වැනි හෙයිනුත් සියලු අකුසල්කම්පිත කරවන හෙයිනුත් සීල නම් වේ.
මෙසේ විවිධ තේරුම් ඇති සීලය බොහෝ අනුසස් ඇති ගුණ ධර්මයකි. සිල් සුවඳට සමාන වෙනත් මිහිරි සුවඳක් ලොවේ කොහේවත් නැත.
චන්දනං තගරංවාපි 
උප්පලං අථ වස්සිකී 
එතේසං ජාතානං
සීලගන්ධා අනුත්තරො
යනුවෙන් පැවසෙන පරිදි සඳුන් තවරලා මානෙල් දෑ සමන් යන මල් ජාතීන්ගේ සුවඳට වඩා සිල් සුවඳ උසස් බව වදාළේ සියල්ලදත් බුදුරජාණන් වහන්සේ ය. සඳුන් තවරලා ආදියේ යම් සුවඳක් වේ නම් එය ඉතා ස්වල්ප වූවකි. සිල්වතුන්ගේ උතුම් ගුණ සුවඳ දෙව්ලොව පවා විහිදී යන බව වදාළේ මෙසේ ය.
අප්පමත්තො අයං ගන්ධො 
යා යං තගර චතූනී 
යෝච සීලවතං ගන්ධො 
වාති දෙවෙසු උත්තමො
ස්වර්ගයට නැඟීමට උපකාරවන සීලය වැනි වෙනත් හිණි මඟක් නැත. නිර්වාණය පුරයක් නම් එයට පිවිසීමට සීලය සමාන අන් දොරටුවක් නැත. සිල්වතාගේ සීලය හැම කල්හිම ආත්මානුවාදභය හෙවත් තමා තුළින් උපදවන බිය දුරු කරයි. කීර්ති ප්‍රශංසා - වස්තු ලාභ පරලොව සුගතිය ලබාදෙයි. එහෙයින් සීලය රැකිය යුතු ගුණ ධර්මයකි. මනාකොට රකින සීලය, නොපිරිහෙන බලයකි. උත්තම ආයුධයකි. ශ්‍රේෂ්ඨ ආභරණයකි. නිරුත්තර සුගන්ධයකි. උත්තරීතර විලෝපනයකි. වටිනා මාර්ගෝපකරණයකි. මේ ආදී අනුසස් දත් ඥානවන්තයා ජීවිතය ගියත් සිල්පද නොබිඳියි.
දිවි දෙවෙනි කොට බිජු රකින කිරල ධේනුවක් මෙන්, ස්වකීය වල්ගය රකින සෙමර මුවා මෙන් එක් ඇසක් ඇති පුරුෂයෙකු එය රකින්නාක් මෙන් එක් පුතකු ඇති මවක් එම පුතු රකින්නාක් මෙන් ඉතාමත් සැලකිල්ලෙන් සීලය රකියි. එවන් සීලවන්තයා බුද්ධාදී තුනුරුවන් විෂයෙහි ගරු සැළකිලි දක්වයි. පි‍්‍රයසීලීව වෙසෙයි. ඔහුට සිල් රැකීමට කාලභේදයක් නැත. උපන්දා සිට ජරාවට පත්වීම තෙක් කළ යුතු හොඳම දෙය සිල් රැකීමයි.
පින්වත ඔබ පෙහෙවස් සමාදන්වීමෙන් කෙළේ ඉතා උතුම් ගුණයක් පිරීමට ඉදිරිපත් වී පොරොන්දුවීමයි. “අහං භන්තේ අජ්ජ ඉමංච දිවසං උපොසථං උපවසාමි” යනාදී වචන ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ ඔබ ප්‍රකාශ කළා. “ස්වාමීනි මම අද මේ මුළු දවස අටසිල් සමාදන්ව රකිමි. යනු එහි තේරුමයි. එසේ නම් දවස පුරාම මේ සීලය රැකීමටයි ඔබ පොරොන්දු වූයේ.
එසේ නම් එක් දිනක් සිල් රැකීමට පේවී සිටින ඔබ එය හරියටම කිරීමට සිතට ගන්න. ස්වල්ප මාත්‍රයකින් වත් සීලය කිළිටි වන්න නොදී පිරිසුදුව රැකගත යුතු වෙයි. ඒ නිසා සිල් ගන්නා දවසේ එක් විනාඩියක්වත් අපතේ නොයවා තෙරුවන් පිදීම, බණ ඇසීම, ධර්ම සාකච්ඡා කිරීම, දහම් පොත පත කියැවීම ආදියෙන් කාලය ගත කිරීමට සිතන්න. බුද්ධාගමේ උසස් ගුණාංගයක් වන භාවනාව ගැන විශේෂ සැළකිල්ලත් දක්වන්න.භාවනාව නම් සිත යහපත් අරමුණක වැඩීමය. සිත එහෙ මෙහෙ විසිරයාමට ඉඩ නොදී එම යහපත් අරමුණේ නැවත නැවත ඉපදවීම් වශයෙන් බැඳ තැබීමයි. භාවනාව සමථ විපස්සනා වශයෙන් දෙයාකාරයි. එයිනුත් බෞද්ධයාගේ පරමාර්ථය මුදුන් පමුණුවා ගැනීමට උපකාරී වන්නේ විපස්සනා භාවනාවයි.
පඤ්චස්කන්ධ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විවිධආකාරයෙන් බලමින් කරනා භාවනාව විදර්ශනා භාවනාවයි. එහෙයින් නිතර පුරුදු පුහුණු කළ යුත්තේ එම භාවනාවයි. එය මැනවින් සපුරා අමා මහ නිවන් සුව සලසා ගැනීමට උත්සාහ කළ යුතුය.

පිරිහීමට පත්නොවී සිටීමට නම් කළ යුත්තේ කුමක්ද?

දෙල්ගොඩ, උඩුපිල, විපස්සනා 
භාවනා මධ්‍යස්ථානයේ
යොවුන් සිතට දහම් සිසිල දහම් මැදුරේ 
බණ්ඩාරවෙල අමිතානන්ද හිමි

දියුණුවීමට හෝ පිරිහීමට හේතු වන්නේ තමන්ගේ ධාර්මික හෝ අධාර්මික පිළිවෙත් බව බොහෝ දෙනා නොදන්නා බව පෙනෙන්නට තිබෙනවා. දියුණුවට පැමිණෙන පුද්ගලයා හා පිරිහෙන පුද්ගලයාගේ ක්‍රියා කලාපය දෙස බැලීමෙන් අපට පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ ධර්මයට පි‍්‍රය කරන පුද්ගලයා දියුණුවන බවත් ධර්මයට පි‍්‍රය නොකරන පුද්ගලයා පිරිහෙන බවත්ය.
බුදුරජාණන් වහන්සේ විසින් මේ බව පැහැදිලිව දේශනා කර තිබෙනවා. එය පරාභව සූත්‍රයේදී සඳහන් වන්නෙ.
සුවිජානො භවං හොති 
සුවිජානො පරාභවො 
ධම්මකාමො භවං හොති
ධම්ම දෙස්සී පරාභවො යනුවෙන්දියුණුවන පුද්ගලයා පහසුවෙන් දැකගත හැකි බව මෙයින් පැහැදිලියි.එමෙන්ම පිරිහෙන පුද්ගලයාද පහසුවෙන් දැක ගත හැකිය. දියුණුවන පුද්ගලයා ධර්මය කැමැත්තේ වෙයි. පිරිහෙන පුද්ගලයා ධර්මයට ද්වේශ කරන්නෙක් වෙයි.
සියලු දානයන් අතර ධර්ම දානය උතුම් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කර තිබෙනවා. එසේ නම් එම දානය පිරි නැමීමට පෙර ඒ සඳහා අවශ්‍ය කළමනා සකසා ගත යුතුයි. ආමිෂ දානයකදී නම් ඒ සඳහා අවශ්‍ය ආහාරපාන සකස් කර ගත යුතු බව අප දන්නවා. එසේම ධර්ම දානය සඳහා පළමුව තමන් ධර්මයෙහි පිහිටිය යුතුයි.
තමන් ධර්මයෙහි පිහිටන්නේ කොහොමද?
ධර්මයෙහි පිහිටීමට නම් තමා ධර්මයට කැමැති පුද්ගලයකු විය යුතුයි. ධර්මයෙහි නොකැමැත්තා පිරිහෙන බව බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙයිනි.
මේ සඳහා හොඳම උදාහරණ බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයෙන්ම අපට ලබා දිය හැකියි. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වසන අවස්ථාවකි. රජගහනුවර භාරද්වාජ පරපුර ඉතා ප්‍රසිද්ධ ප්‍රභූ බ්‍රාහ්මණ පැළැන්තියකි. මේ ගෝත්‍ර පරපුරේ අතර වැඩිමලා වූයේ භාරද්වාජයි. අක්කෝසක භාරද්වාජ , සුන්දරී භාරද්වාජ හා ඛිලංගික භාරද්වාජ සෙසු සොහොයුරන් තිදෙනා වුණා. එසේ වුවත් භාරද්වාජගේ බිරිඳ වු ධනංජානි බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා සෝවාන් ඵලයට පත්ව සිටියා. ඇය සෑම විටම බුදු ගුණ සිහි කරන්නියක්. ධර්මයට පි‍්‍රය කළා. යමක පය පැටලුණු විටත් කිවිසුමක් පිට වූ විටත් නමස්කාර පාඨය කියා බුදුරජාණන් වහන්සේ සිහිපත් කිරීම ඇයගේ සිරිත වුණා.
වරක් භාරද්වාජ බ්‍රාහ්මණයාගේ නිවසේ බමුණන් උදොස ආහාර පිරිනමන අවස්ථාවක සෝවාන් ඵලයට පත්ව සිටි ධනංජානි ද ඒ සඳහා සහභාගි වී සිටියා. පය පැටලී ගිය ඇය “නමෝ බුද්ධාය” යනුවෙන් පැවසුවා.
පැමිණ සිටි බ්‍රාහ්මණයන් භාරද්වාජ දෙස හෙළුවේ එතරම් හොඳ බැල්මක් නෙමෙයි. “තෝ මක් නිසා ඒ මුඩු මහණාගේ ගුණ වයන්නේද? බමුණා ගෝරණාඩු කර බැමිණිය දෙස ක්‍රෝධයෙන් බලා 'මම වහා ගොස් ඒ මුඩු මහණා සමඟ වාද කර පරාජය කර පැමිණෙන්නෙමියන්නයි' කෑගැසුවා. ඒ ධර්මය නොදැන දේවේශ කිරීමකි. ධර්මය නොකමැත්තන්ය. එහෙත් අවසානයේ භාරද්වාජ පරපුරම බුදුන් සරණ ගියා. ඒ ධර්මය වටහා ගන්නට සමත්වීම නිසාය. ධර්මය පි‍්‍රය කළ නිසාය.
එහෙත් ධර්මයට ද්වේශ කළ දේවදත්ත හිමියන් අවසානයේ පණ පිටින් නිරාගත වුණා. දේවදත්ත හිමියන් ධර්මයට නොව තම බල පුළුවන්කාරකම් සඳහා පමණක් පි‍්‍රය කළ අයෙකි. එම නිසා හැමවිටම ඒ හිමියන්ට අවශ්‍ය වූයේ තමන් කැපී පෙනෙන ලෙස කටයුතු කිරීමටයි. එම නිසා වරෙක සංඝයාගේ පාලනය තමන්ට බාර දෙන ලෙසින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා. එය ඉටු නොවූ තැන භික්ෂූන් වහන්සේ උදෙසා පංචවර යාචනයක් ඉල්ලා එයද ඉටු නොවූ තැන ඒ සඳහා පක්ෂ භික්ෂූන් පිරිසක් සමඟ වෙනම ගොස් සංඝ භේදය නම් ආනන්තරිය පාපකර්ම අතුරින් බලවත්ම අකුසලය කර ගත්තා.
මේ සියල්ල ධර්මයට නොකැමැති පුද්ගලයාගේ ලක්ෂණයි. ධර්මයට නොකැමැති පුද්ගලයා අවසානයේ ළං වන්නේ නිරයටම බව මෙයින් පෙනී යනවා. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පැවිදි දිවි ගෙවීමම ධර්මයට කැමැති අයකුගේ ලක්ෂණයක් බව පැහැදිලිය.
උදාහරණ ලෙසින් බුදුරජාණන් වහන්සේ වදාළ නොකළ යුතු වෙළෙදාම් පහෙන් වෙන්ව දිවි ගෙවන්නේ නම් එයම තමා ධර්මයට රුචි පුද්ගලයකු බවට පත් කරනවා. එසේ නොකරන්නා පැහැදිලිවම බුදු මඟ හෙවත් ධර්මයට රුචිකමක් නොදක්වන්නෙක් බව පැහැදිලියි.
එසේ හෙයින් පංචශීලය අනුවම දිවි ගෙවීමම ධර්මයට රුචි පුද්ගලයෙක් බවට තමන් පත් කරනවා. තමන් පර පණ නොනසන්නෙක් නම් අනුන් සතු දේ සොරා නොගන්නේ නම් අයථා කාම සේවනයේ නොයෙදෙන්නෙක් නම්, අන් අය රැවටීමට නැත්නම් වංචාව උදෙසා බොරු නොකරන්නේ නම් ප්‍රමාදයට හේතුවන රහ මෙර මත් වතුර පානය නොකරන්නේ නම් ඔහු හෝ ඇය ධර්මයට කැමති බව පැහැදිලියි.
සමස්ත සමාජයම මේ අයුරින් කටයුතු කරන්නේ නම් සමාජයක පිරිහීමක් සිදු නොවන බව අපට පැහැදිලිය. එසේම පංචසීලය අනුගමනය කරන පුද්ගලයා මෙන්ම අනුගමනය නොකරන්නා අපට පහසුවෙන් දැක ගන්නට පුළුවන්. සමාජයේ පිළි ගැනීම ඇති වන්නේ ධර්මයට පි‍්‍රය කරන පංචශීලය ආරක්ෂා කරනු ලබන පුද්ගලයාට මිස ධර්මය පිළිකෙව් කරන අයට නොවේ.
මේ නිසා සමාජයේ පැහැදිලිව හඳුනා ගත හැකි ධර්මයට පි‍්‍රය කරන්නා හා නොකරන්නා දෙස විමසුම් ඇසින් බලා ධර්මයට පි‍්‍රය කරන්නා අනුව ගමන් කරන්නේ නම් දියුණුව කරා යාමට පුළුවන්. එසේ නොමැති වුවහොත් ඒ තැනැත්තාගේ පිරිහීම වැළැක්විය නොහැකි වෙනවා.
දස කුසල ධර්මයන්ට නොකැමැති පුද්ගලයා පිරිහෙන බව මෙයින් අප වටහා ගත යුතු වෙනවා. වචනයෙන් සිදු වන අකුසල් හතරෙන් වෙන් වීම කයින් සිදුවන අකුසල් තුනෙන් වෙන්වීම මෙන්ම සිතින් සිදුවන අකුසල් තුනෙන් වෙන්වීම යන දස කුසල් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දක්වා තිබෙනවා. මේ දස කුසල් මොනවාද? අපට සාමාන්‍ය දිවි පෙවෙතේදී අනුගමනය කළ නොහැකිද? මේ සම්බන්ධව අප අවධානය යොමු කිරීමත් මෙහිදී වැදගත් වනවා.
වචනයෙන් සිදුවන අකුසල් මොනවාද? මුසාවාදය හෙවත් බොරු කීමෙන් වෙන් වීම, කිසිදු වැඩකට නැති හිස් වචනවලින් වෙන්වීම මෙන්ම අන්‍යයන්ගේ සිත් රිදෙන පරුෂ වචනවලින් වෙන්වීම මෙන්ම අන්‍යයන් භේද කරවන කේළාම් කීමෙන් වෙන්වීම යන කුසල් වැඩීම මඟින් ධර්මයට ළඟා විය හැකි වනවා. මේ සියල්ල අපට කිසිදු ආකාරයක අන්‍යයන්ගේ සහායක් නොමැතිව තම එදිනෙදා ජීවිතයේදී කළ හැකි ගුණ ධර්මයන් බව පැහැදිලියි.
එසේම කයින් සිදුවන වැළකිය යුතු පර පණ නැසීමෙන් වැළකීම ,අන් සතු දේ ගැනීමෙන් වැළකීම මෙන්ම අන්‍ය කාම වස්තු සේවනයෙන් වෙන් වීම යන කුසල් ධර්ම වැඩීම අපහසු නොවන බව මෙයින් ඉතා පැහැදිලිය. ධර්මයට එයින් ළඟා විය හැක්කේ විහාරස්ථානයට ගොස් මල් පහන් පුදා හෝ පසළොස්වක පොහෝ දිනයන්හි සීල සමාදානයන්ට සහභාගි වීමෙන් හෝ නොවන බවද මෙයින් ඉතා පැහැදිලියි. දාන සීල භාවනාවන්ට යොමු වී ලොකෝත්තර මාර්ගය සකස් කර ගැනීම බෞද්ධයන් වශයෙන් අපට ඉතා වැදගත් වුවත් පිරිහීමෙන් වැළකී දියුණුව සලසා ගැනීම උදෙසා දස කුසල් ධර්මයන්ට යෙමු වීම අපගේ එදිනෙදා සාමාන්‍ය දිවි පෙවෙතේදීම කළ හැකි බව මෙයින් පැහැදිලියි.
එමෙන්ම අවිද්‍යාව හෙවත් විෂම ලෝභය ක්‍රෝධය හා සමඟින් ඇති කරගන්නා ව්‍යාපාදය මෙන්ම වැරදි දැක්ම හෙවත් මිථ්‍යාදෘෂ්ටියෙන් වෙන්වීම යන සිතෙන් සිදුවන අකුසල්වලින් දුරුවීමත් මේ අනුව අපට ඉතාම පහසුවෙන් සිදු කර ගැනීමට පුළුවන්. මේ අයුරින් අප ගමන් කරන්නේද දියුණුවටද නැත්නම් පිරිහීමටද යන්න අපට මැනවින් වටහා ගන්න පුළුවන් වනවා.
සාකච්ඡා කෙළේ 

තාරක වික්‍රමසේකර
සදහම් සඟරා - Online