ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

සුපසන් වූ ජීවිතයකට හිමිකම් කියයි ද?

බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 

ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි

අප තථාගත භාග්‍යවතුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් අස්‍රැතවත් පෘතග්ජන වූ අපට කුම්මෝපම සූත්‍ර දේශනාවේ දී මහත් වූ කරුණාවෙන් දේශනා කර වදාළේ, තිරිසන් සතෙක් වූ ඉදිඹුවාට මනා වූ සිහිය පිහිටුවාගෙන සිවලාගෙන් ආරක්ෂා වීමට පුළුවන්කම ලැබුණ නම්, දුර්ලභව මනුෂ්‍ය ජීවිතයක් ලැබූ උසස් මනසක් ඇති අපට මාරයාගෙන් ආරක්ෂා වීමට නොහැකි වන්නේ ඇයි ද? කුම්මෝපම සූත්‍ර දේශනාවේ අවසාන කොටසින් අප තව දුරටත් මාරයාගෙන් ආරක්ෂා වීම පිළිබඳව විවරණය කර බලමු.
වර්තමාන පරිසරය තුළ සද්පුරුෂ ගුණවන්ත යම් විටක බෝධිසත්වයන් මෙන් චරිත ගත කළ අය එහෙත් මේ උතුම් වූ දහම් පෙළ පිළිබඳ මනා අවබෝධයෙන් කටයුතු නොකිරීම නිසා ඔවුන් මාර පාක්ෂිකව රාගයට දේශයට හසු වී තම ජීවිත විනාශ කරගෙන දුකින්, කඳුළින් ජීවිතය පවත්වන බව ඕනෑ තරම් දැකගන්නට හැකියි. මේ බව තේරුම් අරගෙන පංච සීලය හෝ අෂ්ඨාංග සීලය, නවාංග සීලය, දස සීලය වැනි සීල පිළිබඳ අවබෝධයෙන් අඩුම තරමෙ තමා පවත්වන ජීවිතය කෙරෙහි එනම් ස්වාමියා, බිරිඳ, දෙමව්පියෝ, දරුවෝ, ලැබූ උතුම් මනුෂ්‍ය ජීවිතය කෙරෙහිවත් මනා වූ සිහිය පවත්වාගෙන මේ ඇස වරදකට පෙළඹෙන්නේ නැතිවෙන්න කන, නාසය, දිව, ශරීරය, මනස, මෙතෙක් පැහැදිලි කළ අයුරින් වරදකට පෙළඹෙන්නෙ නැතිවෙන්න සිහිය පවත්වා ගැනීමට හැකියාවක් ඇතිකර ගත යුතුමයි. එසේ ඇතිකරගන්නට පුළුවනි නම්, ඔබ ඔබගේ ම ජීවිතය තුළ සුපසන් ජීවිතයකට හිමිකරුවෙක් හෝ හිමිකාරියක් වන බව ඔබට පැහැදිලි වෙනවා ඇති.
මෙහි දී ඔබට අක්කර සියගණනාවක ගෙවත්තක් නොතිබුණත්, තට්ටු දෙක තුනක මාලිගාවක් නොතිබුණත්, ලක්ෂ ගණන් වටිනා යානවාහන නැති වුණත්, ඉතාම ප්‍රණීත ආහාර තුන්වේලටම නැති වුණත් ඔබ මනාකොට සිහිය පැවැත්වීම නිසා ඇස ආදී ඉන්ද්‍රියන්ගෙන් වරදකට හසුවෙන්නට කිසිදු හෝ ආකාරයකින් ඉඩක් නොතිබීම නිසා මාරයාගෙන් බැහැරව සම්‍යක්දෘෂ්ටික දෙවියන්ගේ ආරක්ෂාව ඇතිව පවුල් පරිසරය තුළ ඔබට ම දැනෙන අයුරින් ස්වාමියා, බිරිඳ, දෙමව්පියන්, දරුවන් ද දෙවියන් දිව්‍යාංගනාවන් සේ හදවත්වලින් පොහොසත්ව ජීවිතය පවත්වාගන්න තරම් ශක්තියක් ඔබට සැලසෙනවා ඇති. එසේ නොවුණත් මාරයාට හසුවීමෙන් ඇතිවන මහා විපත මෙලොව හා පරලොව වශයෙන් ම භුක්තිවිදිය යුතුමයි.
තථාගත බුදුරජාණන් වහන්සේ මේ නිසයි මහත් වූ කරුණාවෙන් අනුශාසනා කළේ ඇසෙහි සංවරය පිණිස පවතින්න, ඇසෙහි ආරක්ෂාව පිණිස පවතින්න යම් විටක අස්‍රැතවත් පෘතග්ජන ස්වභාවය නිසා ඇසෙහි අසංවර බවට ගියොත්, කනෙහි අසංවර බවට ගියොත්, නාසයේ අසංවර බවට ගියොත් දිවේ අසංවර බවට ගියොත් කයේ අසංවර බවට ගියොත් සිතේ අසංවර බවට ගියොත් නැවත මනා කොට සිහිය පවත්වා ඔබ උපතේ පටන් හෝ හය හතර තේරෙන අවධියේ පටන් ඔබ සමීප වූ එනම් සරණ ගිය තථාගත බුදුරජාණන් වහන්සේ, උතුම් ධර්ම රත්නය, ආර්ය සංඝරත්නය සිහියට නගාගෙන නැවතත් ඇසේ සංවරයට එන්න. එනම් ඇසෙන් රාගයක්, ද්වේෂයක් ඇති වී මාර පාක්ෂික නොවෙන්නට සිහිය පවත්වන්නට, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් අසංවරයට ගියත් අතපසුවීමක් ඇති වුණත් නැවතත් සංවරයට පැමිණෙන්න මාර පාක්ෂික කෙනෙක් බවට පත්නොවෙන්න. එවිටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඇස නම් වූ දොරටුව, කන නම් වූ දොරටුව, නාසය නම් වූ දොරටුව, දිව නම් වූ දොරටුව, කය නම් වූ දොරටුව ඒ වගේ ම සිතනම් වූ දොරටුව වසා තබන්න කියා.
අවසන් වශයෙන් සඳහන් කළොත් ඇසෙන් රුව දකින්න, එය ස්ථිරයි, සදාකාලිකයි, මගේ, යැයි නොසිතන්න කනෙන් හඬ අසන්න දෙමව්පියෝ දරුවෝ දුවේ, පුතේ, අම්මා, අප්පච්චි, කියා සුපසන් වූ හඬක් ඔබට ඇසෙයි. එහෙත් ඒ හඬ මගේ නොවෙයි සදාකාලික නොවෙයි. ස්ථිර නොවෙයි. නාසයෙන් ආඝ්‍රහණය ලැබේවි එය සුවඳක් බව ඔබට දැනේවි, එය පරිහරණය කරන්න. එහෙත් එය කිසිවිටකවත් ස්ථිරයි සදාකාලික යැයි කිසිවිටකවත් සිතා රාගෙයන් නොබැඳෙන්න. වෙනස් වී අහිමි වී යන විට ද්වේෂයෙන් නොගැටෙන්න. එය ලොව පවත්නා අනිච්චතා ධර්මයක් බව නුවණින් මෙනෙහි කරන්න. දිවෙන් රස ලබන්න ජීවිතය පවත්වන්නට ආහාර ගන්න විටක පැණි රසයි. ඇඹුල් රසයි, තිත්තයි ආදී වශයෙන් දැනෙයි. ඔබ ජීවිතය පවත්වන්න ප්‍රසන්න ආහාරයක් පිළියෙලකර ගන්න. එහෙත් රසයට රාගෙයන්, රතියෙන් ඇලෙන්නට නම් එපා. දිව වගේ ම ඒ රසයත් අනිච්චතා දහමට යටත් කොට දකින්න. ඒ වගේ ම කයෙන් ස්පර්ශ ලබන්න. ගෙයක්, දොරක්, ඇඳුමක්, පැළඳුමක්, ඇඳක් පුටුවක් ලෙසින් ධර්මානුකූල ජීවිතයකට සපයා ගන්න. එහෙත් කය වගේ ම ඒ බාහිර වස්තූන් ද අනිච්චතා ධර්මයට යටත් බැවින් පස් පව් දස අකුසල් ඔස්සේ ඔය කිසිවක් ලබන්නට, රකින්නට උත්සාහ කරන්න එපා. එයට හේතුව තමා තමාටවත් හිමි නැතිව දිරාගෙන යන ලෙඩදුක්වලට උරුමව මරණය පත්වන මේ කය නිසා සතර අපායේ දුක් දෙන සොරකම් කිරීම්, ප්‍රාණඝාත ආදී කටයුතුවල යෙදෙමින් බාහිර අරමුණු බාහිර වස්තූන් ලබන්න, හොයන්න, රකින්න උත්සාහ කරන්න එපා. මනසින් සිතිවිලි එකතු කරන්න. කුසල් මඟට එන්න. තුන්ලොවක් සැනසූ තථාගත බුදුරජාණන් වහන්සේගේ දහම් මඟට එන්න. සිතිවිලි නගන්න. එහෙත් ඔය සිතෙන් මවු කෙනෙක් දෙස, සොහොයුරියක් දෙස, දරුවෙක් දෙස, පියකෙනෙක් දෙස, සොහොයුරෙක් දෙස, මනුෂ්‍යයෙක් දෙස වැරැදි වූ කාමයෙන්, රාගයෙන්, රතියෙන් නම් පෙනෙන්න එපා. ඇහෙන්න එපා. දැනෙන්න එපා. දකින්න එපා. සිතෙන්නට එපා. මෙයයි තථාගත බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ දහම එනම් ඇස කන ආදී ඉන්ද්‍රියන් හැර විවෘත කොට ලෝකය බලන්න. කරුණාවෙන්, මෛත්‍රීයෙන් සුපසන් සිතක් සකස් කර ගන්න. රාගය, ද්වේෂය, වෛරය, පලිගැනීම, ඊර්ෂ්‍යාව, තමන් උසස් කොට අනුන් පහත්කොට අනුන්ට කරදර කිරීම්, බොරුකීම්, කේලාම් කීම්, පරුෂ වචන කීම්, හිස් වචන කීම නම් මේ අපමණ වූ කෙලෙස් සම්භාරය ඉදිරියේ වැසූ දොරපියන් ඇතිව අන්ධයෙක් සේ ද, බිහිරෙක් සේ ද, දුබල අයෙක් සේ ද, ජීවිතය පවත්වන්න බොහෝ වෙලාවක් මාරයා බලා සිට ඉදිඹුවා අත්හැර යන්නට ගිය සිවලා සේ මාරයා අප වෙතින් බැහැරව යන්නේ ය. සෝතාපන්න මාර්ග ඵල අවබෝධයට අප පැමිණුනා හා සමාන තැනකට පැමිණ ඇත්තේ ය.
සුපසන් ජීවිතයක් සොයන, හිතන ඔබ සෑම කෙනෙකුට ම කුම්මෝපම සූත්‍ර දේශනාව ඇසුරෙන් කරන ලද මෙම දහම් කතාවත් ඔබ හැම කෙනෙකුටමත් උපකාරක ධර්ම පෙළක්ම වේවායි මහත් කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා.

අල්පේච්ඡතාව අරපිරිමැස්ම හා බුද්ධ චීවරය

කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය කොලොන්නාව පුරාණ විහාරවාසී

සියඹලාගොඩ ධම්මින්ද හිමි

බුදුරදුන්ගේ මෙන් ම ශ්‍රාවකයන් වහන්සේගේ ද ඇඳුම වූයේ බුද්ධ චීවරය හෙවත් අර්හත්ධජයයි. කෙලෙස් වැඩෙන ඇඳුම් අතර මෙය කෙලෙස් තවන ඇඳුමකි. බුදුරදුන් මෙන් ම ශ්‍රාවකයන් වහන්සේලා සිවුර නිර්මාණය කිරීමේ දී ද ඊට අනුකූල ක්‍රමවේදයක් සකසා ගත්හ. ඒ තුළ අල්පේච්ඡතාව හෙවත් අල්ප ආශා ඇති බව කැපී පෙනුණ ගුණාංගයකි. මේ සෑම කාරණයකට ම වඩා වටිනා කාරණය වූයේ මේ තුළින් සමාජයට කියා දුන් අරපිරිමැස්ම හෙවත් සම්පත් අපතේ නොයැවීමයි. (බුදුරදුන්ගේ භාවිතයෙන් මෙන් ම පනවන ලද විනය නීති තුළින් එය මනාව පැහැදිළි වේ.)
සිවුර සකසා ගැනීමේ දී මරණය ඔතන ලද ඉවත දමන රෙදිකඩ මනාව සෝදා පවිත්‍ර කර ගැනීම පළමු කාර්යයයි. ඉන් අනතුරු කඩකපා මසා නිමකර පඬු පෙවීම සිදු කර ගනී. මේ සඳහා මහා පිරිවැයක් දරන්නේ නැත. ස්වභාව දහමට හානි නොකර ගස් කොළ, පොතු, මුල් ආදිය සඳහා යොදනු ලබයි. එහි දී ද සම්පත් අපතේ නොයැවීම අගය කටයුතුය. ඇඳුමක් පිළියෙල කර ගැනීම අනවශ්‍ය වියදම් කිරීම බුදු දහම අනුචිතය. ඇඳුමෙන් කෙරෙන කාර්යය මනාසේ ඉටුවන්නේ ද එය සිවුරෙන් සිදුවේ. එනම් සීතලෙන්, අව්වෙන්, මැසි මදුරු කරදරවලින් ආරක්ෂා වීමයි. එවැනි කාර්යයන් සිදුකිරීමේ දී සම්පත් අපතේ යැවීම බුදු දහම අනුමත නොකරයි.
සිවුරේ දැකිය හැකි සරල බව නිසාම වර්තමානය දක්වාම එය වෙනස් නොවී පවතියි. බොහෝ විලාසිතාවන් ඇඳුමට එක්වෙද්දී සිවුර අවුරුදු 2600 ක් අවිච්චින්තව පැවතීමේ රහස ද එයයි. සමානාත්මතාව ඇති වී උඩගු බව තුරන් වීම මෙහි දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයයි. පරිහරණයේ දී ද යම් ක්‍රමවේදයක් සිවුර සම්බන්ධයෙන් දැකිය හැකිය.
සම්පත් අපතේ යැවීම මගහරවා බොහෝ දෙනෙකුට බෙදී යන ආකාරයට සිවුරු පරිහරණය කළ යුතුය. මුල් කාලසීමාවේ දී භික්ෂුවකට දැරීමට අනුදැන වදාළ තිබුණේ තුන් සිවුර පමණි. එනම් දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර වශයෙනි. පසුකාලීනව ඇති වූ අවශ්‍යතා මත හා සිදුවීම් නිසා එය යම් පමණකට ලිහිල් කළහ. සාකේත නුවර වස්විසි භික්ෂූන් තෙතබරිතව බුදුරදුන් නැමදීම හේතු කොට ගෙන කඨින සිවුර අනුදැන වදාළහ. බොහෝ සිවුරු දැරීම ගර්හාවට ලක් කළහ. එසේ ම විශාඛාවගේ මැදිහත්වීම මත නානකඩය පසුකාලීනව භික්ෂූන්ගේ පරිහරණයට එක්වුණි. මේ තුළින් පැහැදිලි වන්නේ සම්පත් අවශ්‍ය වන්නේ පරිභෝගයට මිස ගොඩගසා ගනිමින් තමන්ට පමණක් භුක්ති විඳීමට නොවේ. එය ආත්මාර්ථකාමී සිතිවිල්ලකි. පොදුවේ ලැබෙන සිවුරු පිරිකර භික්ෂූන්ට ලබා දුන්නේ අවශ්‍යතාවය මතයි. සාංඝික හෙවත් පොදු දේපල ක්‍රමය බුදුරදුන් ආරාමයන්ට හඳුන්වා දුන්හ. සෑම ආරාමයක් ම පූජා කරනු ලැබුවේ සංඝයා උදෙසා ය. එසේ ම ආරාම පරිපාලනයේ දී භික්ෂූන්ට ලැබෙන සිවුරු පිරිකර භාරව භික්ෂුවක් පත් කළහ. අවශ්‍යතාවය මත සිවුරු ලබාදෙන්නේ එම භික්ෂුවයි. එසේ සකසුරුවම් ආකාරයට සිවුරු ලබාදෙන්නේ සම්පත් අනවශ්‍ය ලෙස අපතේ යැවීම පාපයක් හෙවත් නරක ක්‍රියාවක් බැවිනි. සැතපීමේ දී පොරවනු ලබන්නේ ද තම සිවුරමය. වෙනයම් ඇතිරිල්ලක් පොරවන්නේ නැත. සීමිත සම්පත් භාවිත කර මහා ප්‍රයෝජනයක් ගැනීම උන්වහන්සේගේ අපේක්ෂාව වූහ. යම් තැනක වාඩිවීමේ දී බොහෝ විට ප්‍රයෝජනයට ගනු ලැබූයේ තම දෙපට සිවුරයි.
භාවිත කරන ලද සිවුර නැවත පෙරවීමට නුසුදුසු තත්ත්වයට පත්වීමේ දී හිතුමනා ලෙස ඉවත් කළ නොහැක. එසේ ඉවත් කිරීම සාමාන්‍ය අර්ථයෙන් ගත්ත ද අශෝභන ක්‍රියාවකි. අඳින ලද ඇඳුම් අපිළිවෙළට බැහැර කිරීම දකින්නන්ගේ පිළිකුලට භාජනය වනවා පමණක් නොව පරිසර දූෂණයට හේතුවකි. ස්වභාවික පරිසරයේ සුන්දරත්වයට හානියකි. විශේෂයෙන් සිවුර එසේ බැහැර කිරීම කිසිසේත් ගැළපෙන්නේ නැත. භික්ෂුව සෑම විට ම නොපැහැදුන ඇත්තන් පැහැද වීමටත් පැහැදුනන්ගේ වර්ධනීය පැහැදීම පිණිස වැඩසිටිය යුතු ය. සිවුරු අනවශ්‍ය ලෙස බැහැර කිරීම අප්‍රසාදයට හේතුවිය හැකිය. ස්වභාවදහම පැත්තෙන් ගත් කළ ද එය නුසුදුසුය. භික්ෂූන්ට නිරන්තරව බුදුරදුන් උපදෙස් දෙනු ලැබූයේ ද කෙලෙස් වනය සිඳින්න, ස්වභාවික පරිසරයට හානි නොකරන ලෙසය. කෙලෙස් තවන ඇඳුම ඒ නිසාවෙන් ගෞරවයෙන් බැහැර කළ යුතුය.
පෙරවීමට යෝග්‍ය නොවන විට තම සිවුර වෙනත් අවශ්‍යතා සඳහා යොදවන ලෙස බුදුරදුන් අනුදැන වදාළහ. ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් උන්වහන්සේ පැනවූහ. සෑම භික්ෂුවක් ම එය අනුගමනය කළ යුතුය. උන්වහන්සේ ද එය ආදර්ශයෙන් පෙන්වා වදාළහ. එය මෙසේ පෙළගැස්විය හැකිය.
* මළමිනිය ඔතන ලද රෙදිකඩ හෙවත් පාංශු කූල වස්ත්‍රය සෝදා පිරිසුදු කර ගැනීම.
* විනයානුකූලව කඩකපා මසා නිමකොට පඬු පෙවීම.
* පරිහරණයට සුදුසු තාක් කල් භාවිත කිරීම.
* නුසුදුසු වූ සිවුර තම යහනට ඇතිරිල්ලක් ලෙස යෙදීම.
* යහනට ද නොගැළපෙන තැන පාපිස්සක් ලෙස යොදා ගැනීම.
* එසේ නුසුදුසු වූ විට බිත්තිවල මැටි යෙදීමේ දී සිහින් කැබලිවලට කපා මැටි සමඟ අනා බිත්තිවල යෙදීම වශයෙනි.
එකම වස්ත්‍රය අවස්ථානුකූලව යොදාගනිමින් විශාල ප්‍රයෝජනයක් ගැනීමට මෙසේ බුදුරදුන් පැනවීම් සිදු කළහ. අඩු සම්පත් ප්‍රමාණයකින් වැඩි ඵලදාවක් ලබා ගැනීම මෙයින් අපේක්ෂා කළ බව කිව යුතුය.
මගධ කෙත සකස් වී ඇති ආකාරයෙන් සිවුරු පිළියෙල කිරීම භික්ෂූන්ට නියම කළහ. එසේ ම අධික මුදල් වියදම් කරමින් සිවුරු පඬු පෙවීම වෙනුවට ස්වභාව දහමේ සම්පත් ප්‍රයෝජනයට ගනු ලැබූහ. එහි දී ද පරිසරයට හානි කිරීම බුදු දහම ප්‍රතික්ෂේප කළහ. සිවුර යනු ‘පව්’ තවන වස්ත්‍රයකි. මෙයට අර්හත් ධජය ලෙස ද ව්‍යවහාර කරයි. එසේ පවසන්නේ ආර්යයන් වහන්සේලා දරන බැවිනුත් ආර්ය ස්වභාවයට පත්වන්න වෙරදන්නන් භාවිත කරන නිසාවෙනි. එවැනි උතුම් ඇඳුමක් සැකසීමේ දී කෙලෙස් වැඩීම අගය කළ යුතු නැත. ඒ නිසා තම වස්ත්‍රය සකසා ගැනීමේ දී බොහෝසෙයින් සිහියෙන් කටයුතු කළ යුතුය. පැවිද්ද ඉල්ලීමේ දී පවා මේ සම්බන්ධයෙන් සිහියෙන් කටයුතු කළ යුතුය. සිවුර හැකිතාක් ප්‍රයෝජන ගත යුතු අතර ප්‍රයෝජන ගත නොහැකි විට ද ඉවත් කළ යුතුය. නමුත් තවත් ප්‍රයෝජනයක් සඳහා එය යෙදිය යුතුවේ. ඇඳ ඇතිරිල්ල ලෙස සිවුර පරිහරණයට ගැනීම භික්ෂුවගේ කාර්යයි. එසේ නොකරන්නේ නම් එය ඇවැතකි. සම්පත් අපතේ යැවීම පවකි. නොහැකියාවකි. භික්ෂුවට නම් එය කෙසේවත් සුදුසු නැත. යම් හෙයකින් ඇඳ ඇතිරිල්ලට ද එම සිවුරු නුසුදුසුනම් බැහැර කළ හැකිය. නමුත් නැවත පාපිස්සක් ලෙස යොදාගැනීමට වග බලා ගත යුතුය. අවසානයේ දී එසේ ද නුසුදුසුනම් සිවුර සිහින් වන සේ ඉරා මැටි සමඟ අනා බිත්තියට තැබිය යුතුය. සිවුරු පරිහරණයේ දායකයාගේ ප්‍රසාදය ක්ෂය වන ආකාරයෙන් ඉවත් නොකළ යුතුය. ඉහත ක්‍රමවේදය ඒ සඳහා භාවිතා කිරීම භික්ෂූන්ට අනුදැන වදාරා ඇත.
යම් හෙයකින් ඇතැම් භික්ෂුවක් එසේ නොකරන්නේ නම් එය විනය විරෝධි ක්‍රියාවකි. විනයෙන් තොර සාසනයක් නැත. සාසනයේ ආයුෂ විනයයි. ගිහියා ද මෙම ක්‍රමය මෙසේ සිදු නොකළ ද භාවිත කරන දෑ අරපරිස්සමින් යොදා ගත යුතුය. සම්පත් අපතේ යැවීම හෙවත් අවභාවිතය නරක ක්‍රියාවකි. පාපයකි. එය බුද්ධ චීවරයට පමණක් අනන්‍ය වූ දෙයක් නොවේ. අවශ්‍යතාව හා පරිභෝජනයේ සීමාව හඳුනාගෙන කටයුතු කිරීමට භික්ෂුව විශේෂයෙන් වග බලා ගත යුතුය. එය භික්ෂු සංස්ථාවේ දියුණුවට සේම සමස්ත රටේම දියුණුව විෂයෙහි යහපත්ව බලපානු ලබයි. අල්පේච්ඡතාව, සන්තුට්ඨිතාව මෙන් ම සුභරතාව හෙවත් පහසුවෙන් පෝෂණය කළ හැකි වීම දියුණුව මැනීමේ එක් මිනුම් දණ්ඩයකි. අර්හත් ධජය හෙවත් බුද්ධ චීවරය පරිශීලනය හා ඒ හා බැඳි සංඝකර්ම තුළින් එය මනාව පැහැදිලි වේ.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කාමේසුමිච්ඡාචාරා හෙවත් වැරදි ලෙස මෙවුන්දම් සේවනය කිරීම Sexual Misconduct

අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි'' යනුයි. එහි සාමාන්‍ය අදහස ''මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි'' යනුයි. කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාමයෙහි වරදවා හැසිරීමටයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට අනුකූල නොවන පරිදි කාමයෙහි හෙවත් මෛථූනයේ හැසිරීම කාමේසු මිච්ඡාචාරයයි. එයම කාම මිත්‍යාචාරය වශයෙන්ද ව්‍යවහාර කරනවා. එනිසා ලෝක සම්මත චාරිත්‍රයට අනුකූලව ආවාහ විවාහවී අඹුසැමියන් වශයෙන් හැසිරීම ''කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි'' සිල් පදයේ අදහසයි.
මේ සිල් පදය පිළිබඳ ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල සඳහන් වෙනවා. අපි මෙහි අරුත් තවදුරටත් මඡ්ධිම නිකාය කියන බණ පොතේ ඇතුළත් ''සාලෙය්‍යක සූත්‍රය'' අනුව කරුණු විමසා බලමු. බුදුරජාණන් වහන්සේ සාලෙය්‍යක ගම්වැසියන්ට දේශනා කළේ ''කාමේසුමිච්ඡාචාරා ඛො පන හොතී යා තා මාතු රක්‌තා පීතූරක්‌තා මාතා පිතූ රක්‌තා භාතුරක්‌තා භගිනි රක්‌තා C¹තිරක්‌තා ගොත්ත රක්‌තා ධම්ම රත්තා සස්‌සාමිකා සපරිදණ්‌ඩා, අන්තමසො මාලාගුණ පරික්‌ත්තාපි තථා රුපාසු චාරිත්තං අපඡ්ජිතා හොති''
ඒ අනුව කාමේසු මිච්ඡාචාරා (කාම මිත්‍යාචාරය කාමය වරදවා හැසිරීම) හෙවත් අනියම් ලෙස ලිංගික හැසිරීමට හේතුවන කාන්තාවන් දස දෙනෙක්‌ මෙහි සඳහන් වන බව ප්‍රකටයි. එනම්
1. මාතු රක්‌තා - මව විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
2. පිතූ රක්‌තා - පියා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
3. මාතා පිතූ රක්‌තා - මවුපිය දෙදෙනා විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
4. භාතු රක්‌තා - සොහොයුරකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
5. භගිනි රක්‌තා - සොහොයුරියක විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
6. C¹ති රක්‌තා - නෑයකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය
7. ගොත්තරක්‌තා - සිය කුලයේ කෙනකු විසින් රක්‌නා ලද ස්‌ත්‍රිය.
8. ධම්ම රක්‌තා - ධර්මය රකින්නී.
9. සාරක්‌ඛා - පුරුෂයකු විසින් සිය බිරිඳ කර ගැනීමට නියම කරගෙන රක්‌නා ස්‌ත්‍රිය.
10. සපරිදණ්‌ඩා - දඬුවමට බැඳුන තැනැත්තිය.
දීඝ නිකායේ සංගීති සූත්‍රයේ ''කාමේසු මිච්චාචාරා වේරමණී'' යන්න විවරණය කරන දීඝ නිකාය අටුවාවේ කාම මිත්‍යාචාරය පාපයට හේතුවන තවත් කාන්තාවන් දස දෙනකු ගැන සඳහන් වෙනවා. එනම්,
1. ධනක්‌‚තා - මිලයට ගන්නා ලද්දී
2. ඡන්වාසිනී - කැමැත්තෙන් පැමිණි තැනැත්තිය.
3. භෝගවාසිනී - සම්පත් දී ලබාගත් තැනැත්තිය.
4. පටවාසිනී - වස්‌ත්‍රදී ලබාගත් තැනැත්තිය.
5. ඔපත්තකිනී - අරක්‌කැමිකමට ගත් තැනැත්තිය.
6. ඕභතචුම්බටා - ආධාරය පිණිස ගෙනා තැනැත්තිය
7. දාසභරියා - දාසිය වශයෙන් ගෙනා බිරිඳ කරගත් තැන්තිය
8. කම්මකරි භරියා - කම්කරුකමට ගෙන පසුව බිරිඳ කරගත් තැනැත්තිය.
9. ධජාභටා - යුද්ධයකදී අල්ලාගත් තැනැත්තිය.
10. මුහුත්තිකා - තාවකාලිකව භාර්යාව භාවයෙහි සිටින වෛශ්‍යා තැනැත්තිය.
ඇත්ත වශයෙන්ම මේ වචනවලට මේ ආකාරයෙන් අර්ථදීම සම්පූර්ණ නෑ. තත්කාලීන සමාජ පරිසරය අනුව පැවැති රටා තේරුම් ගැනීමට පාලි සාහිත්‍යය මනාව අධ්‍යයනය කරන්න ඕනෑ. කෙසේ වුවත් තවදුරටත් පසුව මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
කාම මිත්‍යාචාරය සිදුවීමටද කරුණු හතරක්‌ සම්පූර්ණ වියයුතු බව අටුවාවේ සඳහන් වෙනවා. එනම්
1. අන්සතු ස්‌ත්‍රීයක හෝ පුරුෂයකුවීම - අගම නීයවත්ථු
2. සේවනය කිරීමේ සිත - සේවන චිත්තං
3. සේවනය කිරීමට උත්සාහය - උපක්‍රමය - සේවන පයෝගෝ
4. සේවනය ඉවසීම - මග්ගෙන මග්ගං පටිපත්ති අධිවාසනත්ති
කාමමිත්‍යාචාරයේ ස්‌වභාවය පිළිබඳ විවරණය කරමින් රේණුකානේ චන්දවිමල මහානාහිමියන් මෙසේ පවසති. එනම් ''සැමියකු විසින් හෝ මා පිය සහෝදරාදීන් විසින් හෝ ආරක්‍ෂා කරන්නා වූ ස්‌ත්‍රියක හා බලයෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් හෝ කාමයෙහි වරදවා හැසිරීමෙන් පුරුෂයනට කාමමිත්‍යාචාර පාපය වේ. තමන් රක්‍ෂා කරන්නාවූ පුරුෂයකු සිටියදී පරපුරුෂයන් (වෙනත් මිනිසෙක්‌) හා කාමයෙහි හැසිරීමෙන් ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය පාපය වේ. හිමියන් නැති මාපියාදීන් විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රිය හා කාමයේ හැසිරීමෙන් පුරුෂයන්ට පමණක්‌ කාමමිත්‍යාචාරය පාපය වේ. සැමියකු විසින් රක්‍ෂා කරන ස්‌ත්‍රියක හා කාමයෙහි වරදවා හැසිරීමෙන් ස්‌ත්‍රී පුරුෂ දෙදෙනාටම පාපය වේ.
ඇත්තවශයෙන්ම ඉහතකී කාම මිත්‍යාචාරය සිදුවන විසිදෙනා අතරින් මාතුරක්‌ත, පීතු රක්‌ත, මාතාපිතූ රක්‌තා, භාතු රක්‌තා, භගිනි රක්‌තා, Cඳාති රක්‌තා, ගොත්ත රක්‌තා, ධම්ම රක්‌තා, යන ස්‌ත්‍රීන් බාරකරුවන්ගේ අනුදැනුම ඇතිව තම කාමය සංසිදවා ගන්නවා නම් ඊට එකඟ වන පුරුෂයාට කාම මිත්‍යාචාරය අකුශලය නොවන බව සඳහන් වෙනවා. එම ස්‌ත්‍රීන්ටද සැමියන් නොමැති නිසා එම අකුශලය සිදු නොවේ. එහෙත් මේ දෙපක්‍ෂයටම හෝ එක පාර්ශ්වයකට හෝ අවැඩක්‌ හෝ වැරදිවලට හේතුවනවා නම් අකුශලයක්‌ සිදුවෙනවා. මඡ්ජිම නිකායේ ජීවක සූත්‍රය අනුව ඒ බව පැහැදිලි වෙනවා. මේ සෑම ධර්ම කරුණකින්ම පැහැදිලි කරන්නේ මිනිසාගේ යහපත් සුන්දර ජිවිතයකට වටිනාකමයි. මේ පැහැදිලි කිරීම අනුව යමෙක්‌ වරදවා තේරුම් ගන්න හැකිවන නිසා ඉදිරියේදී ඉහත කරුණු ගැන පහදා දෙනවා.
කාම මිත්‍යාචාරය මිනිස්‌කම වනසන පවක්‌. අංගුත්තර නිකායේ අට්‌ඨක නිපාතයේ මෙහෙම සඳහන් වෙනවා.
''යො සබ්බ ලහුසො කාමෙසු මිච්චාචාරස්‌ස
විපා කෝ මනුස්‌ස භූතස්‌ස සපත්ත වෙර
සංවත්තනිකො හොති''
මේ පව්කම කළ අය මෙලොවත් වැන සෙනවා. සතර අපායේ උපදිනවා. යම් කිසි පිනකින් මිනිසත් බව ලැබුවොත් සතුරන් බහුල කොට දුක්‌කරදර බහුල කොට ඇති වෙනවා.
ලෝවැඩ සඟරාවේ මේ ගැන සඳහන් කරන්නේ
කාම් මිත්‍යාචාරය අකුශලය සුළු කොට නොසලකන්න. එපා කියාය. එනම්
අසු කොට ගත නොතබති ආදර ය
වද කොට මැරුවත් නැත එ විචාර ය
ලගු කොට නොසිතමි පව් පරදාර ය
නිරයට ඇදගෙන යන එම පා රය
මහා නිද්දෙස පාලියේ සත්වයාගේ කාම ගතිය මෙසේ සඳහන් වෙනවා. එනම්,
''ප්‍රජාව කාමෙසු (කාමයන්හි) රත්තා (ඇලුණුහුය) ගිද්ධා (ගුඡවාග්‍රය) ගථිතා ඉතා (අලුණුහුය) මුච්ජිතා (සිහිනැති වූවාහුය) අජෙCධාපන්නා (බැසගත්තාහුය) ලග්නා (ඇලුණුහුය) ලග්ගිතා (ඇවුරුණාහුය) පළිබුද්ධා (කිළිටිනුවාහුය) මේ සමාන වචන යොදා තිබෙන්නේ එක අදහසක්‌ පිණිසම නොවේ. එ ඒ වචනවලට ඉතා සියුම් අර්ථ තිබෙනවා. එසේම සමාන වචන එකළඟ පාවිච්චි කිරීමෙන් එහි කාමයේ බරපතලකම හැඟවෙනවා.
සංස්‌කෘත සාහිත්‍යයේ විශිෂ්ට කවියකු වන අශ්වඝෝෂ හාමුදුරුවන් ස්‌වකීය සෞන්දරනන්ද මහා කාව්‍යයේ එකොළොස්‌ වැනි පරිච්ඡේදයේදී කාම නමැති ගින්න ගැන මෙහෙම කියනවා.
"තෘප්තිර්නාස්‌තිවධනෛරග්නෙර්
නාම්භසා ලවණාම්භසඃ
නාපි කාමෙඃ සතෘෂ්ණස්‌වි
තස්‌මාත් කාමාන තෘප්තයේ"
ගින්නට දරවලින් තෘප්තියක්‌ නැහැ. සයුරට ජලයෙන් තෘප්තියක්‌ නැහැ. තෘෂ්ණා සහිතයාට කාමයෙන් තෘප්තියක්‌ නැහැ. ඒනිසා කාමය තෘප්තිය පිණිස පවතින්නේ නෑ.
අරියකන්ත ශීලය හෙවත් පඤ්ච ශීලයේ තෙවැනි "කාමෙසුමිච්ඡාචාරා යන ශික්‍ෂා පදය හුදෙක්‌ ස්‌ත්‍රී පුරුෂ සංභෝගයම අදහස්‌ කරනවා. ඒ නිසා ඒ ඒ සත්ත්ව නිකායවල මෛථුන සම්භෝගය හෙවත් ලිංගික සංසර්ගය පිළිබඳ තලල්ලේ ධම්මානන්ද මහානායක හාමුදුරුවන්ගේ
"ත්‍රිපිටකයෙහි සංස්‌කෘතික ලක්‍ෂණ "ග්‍රන්ථය ආශ්‍රයෙන් කරුණු දක්‌වන්නම්.
එනම්, නරකයෙහි උපන් සත්ත්වයන් තුළ මෛථුන සම්භෝගයක්‌ කුලම (කොහෙත්ම) නැහැ. එහි නිරතුරුව ඇති දුකින් පුරුෂයනට ස්‌ත්‍රීන් කෙරෙහි හෝ ස්‌ත්‍රීන්ට පුරුෂයන් කෙරෙහි හෝ උපදනා කාමච්ඡන්දයක්‌ නොවෙයි. එසේ අෙන්‍යාන්‍ය කාමච්ඡන්ද වශයෙන් පවත්නා චිත්තෝත්පාද මාත්‍රයක්‌ හෝ නැති ඔවුනට මෛථුන සම්භෝගයක්‌ ඇති වන්නේ ම නැත. සුවදුක්‌ මිශ්‍රව පවත්නා තිරිසන් ප්‍රේත, මනුෂ්‍ය යන මොවුන් අතර මෛථුන සම්භෝගය වෙයි. ඔවුන්ගේ අන්‍යෝන්‍ය (ඔවුනොවුන්) සම්භෝගයෙන් ශුක්‍ර ශ්‍රෝණිතයන්ගේ නික්‌මීමද වෙයි. කාමාවචර දෙවියන් අතර මෛථුන සම්භෝගය ඇතත් ශුක්‍ර ශ්‍රෝණිත වහනය නොවේ. ඔවුන්ගේ සම්භෝගයෙන් නික්‌මෙන්නේ වායුව පමණකි. චාතුර්මහාරාජකායික දෙවියන් තෘප්තිමත් වන්නේ ද්වයංද්වයසමාපත්තියෙනි. ඒ චාතුර්මහාරාජකායිකයන් සෙයින්ම තාවතිංසය, යාමය යන දෙව් ලෝ වැසි දෙවියෝ ද ඔවුනොවුන් වැළඳ ගැනීම් පමණකින් කාම ඩාහය සන්සිඳුවා ගනිති. තුසිත වැසි දෙවියෝ ඔවුනොවුන් පරිග්‍රහණය (අල්ලා ගැනීම) මාත්‍රයෙන් ද නිර්මාණරති දෙවියෝ ඔවුනොවුන් සිනාසීම් පමණින්ද පරනිර්මිත වසවර්ති දෙවියෝ ඔවුනොවුන් දර්ශන මාත්‍රයෙන්ද (දැකීම් පමණකින්ද) කාමඩාහය සන්සිඳුවා ගනිති.
මෙතෙක්‌ අප සාකච්ඡා කරන ලද කරුණුවලින් පැහැදිලි කරන්නේ "කාමෙසුමිච්ඡාචාරා" යන පදයෙහි අදහස වැරැදි ලෙස මෛථුන හෙවත් මෙවුන් දම් සේවනය කිරීමමයි. ඇතැමෙක්‌ කාමෙසු " යන බහුවචන රූපය නිසා මෙය "කාමයන්හි" යනුවෙන් අරුත් කියනවා. ගිහියා අරබයා එවැනි නිගමනයකට කොහෙත්ම එන්නට බෑ. ඒ පිළිබඳ පුළුල්ව සාකච්ඡා කරන්ට අපේක්‍ෂා කරනවා.
ඉහත දැක්‌වූ සාලෙය්‍යක සූත්‍රයේදී කාමය වරදවා හැසිරීමට හේතු වන ස්‌ත්‍රීන් පිළිබඳව සඳහන් කළා. ඇස්‌, කන්, නාසාදී ඉන්ද්‍රිය සංවරය "කාමෙසු" වශයෙන් දේශනා කළා නම් එහි ස්‌ත්‍රී වර්ග කිරීමක්‌ සිදුවන්නේ නැහැ"
කාමෙසුති, මෙථුන සමාචාරෙසු මෙථුනවත්ථුසුවා
එහි තේරුම - කාමෙසු යනු මෙවුන්දම් පිණිස හැසිරීම්වලදී හෝ මෛථුන වස්‌තූන්හි දී හෝ යනු මිච්ඡාචාරොති, එකන්ත නින්දිතො ලාමකාචාරෝ මිච්ඡාචාර යනු ඒකාන්තයෙන්ම නින්දිත ලාමක (පහත්) හැසිරීමයි. මෙසේ පැහැදිලි කරන්නේ දීඝ නිකාය අටුවාවයි. ඒ නිසා කාමමිච්ඡාචාරය යනු පුරුෂයන්ට අන් ස්‌ත්‍රීන් සේවනයේද, ස්‌ත්‍රීන්ට අන් පුරුෂ සේවනයේද උපදින ආස්‌වාද චේතනාවයි. තෙවැනි සික පදය පිළිබඳ ව්‍යාකරණමය ස්‌වරූපය තවදුරටත් පසුව කතා කරනවා. කෙසේ වුවත් පරදාර සේවනය මහත් ගිනි ජාලාවක්‌. මාරාන්තික ඒඩ්ස්‌ වැනි රෝගාබාධයන්ට තිබෙන හොඳම බෙහෙත බුදුරජාණන් වහන්සේ වදාළ මෙම තුන්වැනි ශික්‍ෂාපදය ආරක්‍ෂා කිරීමයි.
"සංයුක්‌ත නිකායේ වේළුද්වාරෙය්‍ය සූත්‍රයේ සඳහන් වෙනවා. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීමට අවශ්‍ය කරන ත්‍රිකෝටිපාරිශුද්ධියක්‌ පුනචපරං ගහපතයො අරියසාවකො ඉති පටිසඤ්චික්‌ඛති. යොඛොමෙ දාරෙසු චාරිත්තං ආපඡ්ජෙය්‍ය, න මෙ තං අස්‌ස පියං මනාපං අහඤ්වේච ඛො පන පරස්‌ස දාරෙසු
චාරිත්තං ආපඡ්ජෙය්‍යං, පරස්‌සපි තං අස්‌ස අප්පියං අමනාපං, යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපෝ පරස්‌ස පෙසො ධම්මෝ අප්පියෝ
අමනාපො යො ඛො ම්‍යායං ධම්මෝ අප්පියෝ අමනාපො තථාහං පරන්තෙන සංයොජෙය්‍යන්ති සො ඉතිපටිසංඛාය අත්තනාච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, පරඤ්ච කාමෙසුමිච්ඡාචාරා වේරමණියා සමාදපෙති කාමෙසු මිච්ඡාචාරා වේරමණියා ච වණ්‌ණං භාසති, එවමස්‌සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
යමෙක්‌ මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ නම් මට එය ප්‍රියමනාප නොවන්නේය. මමත් අනුන්ගේ අඹුව කෙරෙහි හැසිරීමට යන්නේ නම් ඒ අඹුවගේ සැමියා මාහටද අප්‍රිය අමනාප වන්නේය. ඒ නිසා යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් අනුන්ටද මා හටද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමක්‌ මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම අනුන්ට ඒ සමග යොදන්නෙම්දැයි මෙසේ නුවණින් සලකා කාමයේ වරදවා හැසිරීමෙන් වැළකුණේය.
එය නොවරදින දහමකි. ඒ අනුව හික්‌මෙන්නේ නම් මේ සමාජය කොතෙක්‌ දුරට සුන්දර නොවෙයිද?
The Buddhist

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සැපවත් වූ සක්දෙව් පදවි ලබන්නට නම්.....

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන්

පින්වතුනි, ශක්‍ර දෙවියන් ශක්‍ර දෙවි පදවිය ලබන්ට මනුෂ්‍ය ලෝකෙ ඉන්න කාලෙ, මොනවද කලේ කියල භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වාදෙනව. ශක්‍ර දෙවියන් මනුෂ්‍ය ලෝකේ වාසයකරනකොට කරුණු ගණනාවක් අත්නොහැර පුරුදුකලා කියල අපිට කියාදෙනව. ව්‍රැත විදිහට සමාදන් වෙලා එයා ඒව පුරුදුකලා කියල කියනව. ජීවිතේ තියෙන තාක්ම ඒ කරුණු අත්නොහැර පුරුදුකලා කියල කියනව.
අන්න ඒ විදිහට ඒ කරුණු අත්නොහැර පුරුදුකිරීමෙන් ඉපදුණ පිනෙන් තමයි එයාට මහත් වූ ආනුභාව සහිත සක්දෙවි පදවිය ලබාගන්ට පුළුවන්කම ලැබුනෙ. ඒ සක්දෙවි පදවිය එයාට හිමිවුනේ, ඒ ඉතා ම දුර්ලභ වූ ගුණධර්ම ජීවිතේ පුරාවට ම සමාදන්වෙලා, පුරුදුකල නිසා කියල භාග්‍යවතුන් පෙන්වා දෙනව.
භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනව, ඒ ශක්‍ර දෙවියන් මනුෂ්‍ය ලෝකෙ වාසයකරනකොට දිවිහිමියෙන් ම දෙමව්පියන්ට සත්කාර කලා. ජීවිතය තියෙනතාක් ම දෙමව්පියන්ට සත්කාර කලා. ඒක අත්හැරියෙ නෑ. ඉතා ම සෙනෙහසින්, ආදර ගෞරවයෙන් දෙමව්පියන් පෝෂණය කලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, මනුෂ්‍ය ලෝකෙ ඉන්න කාලෙ ශක්‍ර දෙවියන් ජීවිතය තියෙන තාක් ම වැඩිහිටියන්ට ගරු බුහුමන් දක්වමින් ඥාතීන්ට සංග්‍රහ කලා, අත්නොහැර සංග්‍රහ කලා.
අන්න ඒකත් ජීවිතය පුරාවට ම කඩ නොකල දෙයක් වුනා. ඊළඟට දිවි තිබෙනතාක් කේලාම් කිව්වෙ නෑ කියල කියනව. කේලම කියල කියන්නෙ පිරිස් කොටවන්ට, මෙතන එකක් අහල එතන තව එකක් කියනව. එතන තව එකක් අහල මෙතන වෙන එකක් කියනව. එකට කියන්නෙ කේලම. පිරිස වෙන්කරවනව, බෙදනව, බින්නකරනව.
අන්න ඒ විදිහට පිරිස වෙන්වෙන්ට, බින්නවෙන්ට අසමඟි වෙන්ට හේතුවෙන විදිහේ ප්‍රකාශකලේ නෑ. කේලාම් කිව්වෙ නෑ ජීවිතය තියෙනතාක් ම. ඊළඟට ශක්‍ර දෙවියන් මනුෂ්‍ය ලෝකෙ ඉන්න කාලෙ ජීවිතය තියෙනතාක් ම ප්‍රිය වචන කතා කලා, මිහිරි වචන කතා කලා. අමිහිරි, අප්‍රිය වූ වචන කතාකලේ නෑ. හරි පුදුමයි නේද? හිතා ගන්නවත් බෑ නේද මෙහෙම මනුෂ්‍යයෙක් ලෝකෙ හිටියද කියල.
එහෙම මනුෂ්‍යයෙක් ලෝකෙ හිටිය. එයා දැන් ඉන්නෙ තාවතිංස දිව්‍ය ලෝකෙ. දෙවියන් අතර අග්‍ර බවට පත්වෙලයි එයා ඉන්නෙ . ඒ අග්‍ර බවට පත්වුනේ, අපිට විශ්වාස කරන්ට බැරි, අදහගන්ට බැරි ගුණධර්ම පුරුදුකල නිසා. ඊළඟට දිවිහිමියෙන් ම සත්‍යයවාදී වුනා, බොරු කිව්වෙ නෑ, සත්‍යය ප්‍රකාශකලා. ඊළඟට ජීවිතය පුරාවට ම මසුරුමල දුරුකරල දන් දුන්න. දන් දීමට නැඹුරු වූ සිතින් වාසය කලා. දන් දීමට දෑත සෝදගෙන හිටියෙ කියල කියනව.
ඊළඟට ශක්‍ර දෙවියන් ගිහිගෙදර වාසය කරනකොට ක්‍රෝධ රහිත සිතින් තමයි දිවි හිමියෙන් ම වාසය කලේ. ජීවිතය තියෙනතාක් ම ක්‍රෝධ රහිත සිතින් හිටියෙ. තරහ සහිත සිතුවිල්ලක් ආවොත් එයා බැහැරකලා, පවතින්ට දුන්නෙ නෑ. මෙන්න මේ කරුණු ජීවිතය තියෙනතාක් ම ශක්‍ර දෙවියන් පුරුදුකලා මනුෂ්‍යය ලෝකෙ ඉන්නකොට.
අන්න ඒව පුරුදුකිරීමෙන් උපදවගත්ත පිනෙන් තමයි ශක්‍ර දෙවි පදවිය ලැබුනෙ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනව, ඒ තාවතිංස දෙවියන් කතා වෙනවලු, "යම් කෙනෙක් දෙමව්පියන්ට පුද සත්කාර දෙමින් සලකනවානම්, ඥාතීන්ට ගරු බුහුමන් දක්වමින් ඥාති සංග්‍රහ කරනවානම්, මිහිරි වචන දිවිහිමියෙන් කතා කරනවානම්, කේලාම් කියන්නෙ නැත්නම්, මසුරු මල දුරුකරමින් දන් පැන් දෙමින් වාසය කරනවානම්, සත්‍යය වචන කතා කරනවනම්, අන්න එයා ඒකාන්තයෙන් සත්පුරුෂයෙක්" කියල.
එතකොට අපිට සත්පුරුෂයෙක් විදිහට අපේ ජීවිතය දියුණුකරගන්ට මේක මගපෙන්වීමක් කරගන්ට අපිට පුළුවන් නේද? දැන් බලන්න දෙමව්පියන්ට සලකනවා කියන එක ගෙදර ඉඳල අපිට කරන්ට පුළුවන්ද බැරිද? ගෙදර සිට කලයුතු දෙයක්. ඥාතීන්ට සංග්‍රහ කිරීම ගෙදර සිට කලයුතු දෙයක්. මිහිරි වචන කතා කිරීම ගෙදර සිට කලයුතු දෙයක්.
කේලාම් නොකිය සිටීම ගෙදර සිට කලයුතු දෙයක්. දන්පැන් දීම, මසුරු මල දුරු කරල දන්පැන් දීම ගෙදර සිට කලයුතු දෙයක්. සත්‍යය වචන කතා කිරීම, ක්‍රෝධය දුරු කරල වාසයකිරීම ගෙදර දොරේ සිට කලයුතු දෙයක්. රාජකාරි කරන තැන. එතෙන්දිත් ඒක කල යුතුයි. ගමේ රටේ සමාජයේ එතෙන්දිත් මේ ගුණධර්ම අපි පුරුදුකල යුතුයි.
මේ ගුණධර්ම යමෙක් පුරුදුකර ගත්තොත්, එයාට සුවපහසු ජීවිතයක් ඇතිවෙයිද? පීඩාකාරී ජීවිතයක් ඇතිවෙයිද? නිතැතින් ම සුවපහසු ජීවිතයක් ඇතිවෙනවාම යි. එතකොට බලන්න මේ ගුණධර්ම පුරුදුකර ගත්තොත් යම් කෙනෙක් එයා තමන්ගේ දෙමාව්පියන්ගේ ආශිර්වාදයට හිමිකරුවෙක් වෙයිද නැද්ද? හිමිකරුවෙක් වෙනව.
ඥාතීන්ගේ ආශිර්වාදයට හිමිකරුවෙක් වෙනවද නැද්ද? හිමිකරුවෙක් වෙනව. ගමේ රටේ අයගේ ආශිර්වාදයට ප්‍රිය බවට හිමිකරුවෙක් වෙයිද නැද්ද? යාළු මිතුරන් අතර මෙයා ප්‍රියබව උපදවන, ප්‍රශංසාවට පාත්‍ර වන කෙනෙක් වෙයිද නැද්ද? වෙනව. ඊට පස්සෙ ශ්‍රමණයින් අතර මෙයට ප්‍රශංසාව ලැබෙයිද නොලැබෙයිද? ලැබෙනව. එහෙනම් සමාජයේ කොතන ගියත් මේ ගුණධර්ම පුරුදුවෙනවා නම් මෙයාට සමාජයේ කොතනත් පිළිගැනීමක්, කීර්තියක් ලැබෙනව.
එතකොට ඒ ගුණධර්ම පුරුදුකරන කෙනා සුවපහසුවෙන් සැපසේ වාසය කරන කෙනෙක් බවට නිතැතින්ම පත්වෙනව. එතකොට මේ කටයුතු කරන්ට කරන්ට එයාගෙ පින තව තවත් බලවත් වෙනවද නැද්ද? බලවත් වෙනව. එයා මරණයට මූණදෙනකොට බය තැති ගැනීම් වෙයිද? ලෙඩ දුක එනකොට බය තැතිගැනීම් එයිද? නෑ. මරණයෙන් මත්තේ එයාට මොකද වෙන්නෙ? සුගතියේ උපදිනව.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

භවයෙන් භවයට යන සසර පුරුදු

වාද්දුව මොල්ලිගොඩ
ප්‍රවචනෝදය මහ පිරිවෙනේ ආචාර්ය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
බාහිර කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
අයගම සුසීල හිමි

නිතර නිතර පුරුදු පුහුණු කරන හොඳ හෝ නරක භවයෙන් භවයට යන සසර ගමනෙහිදී දුක් හෝ සැප ලබාදීමට ප්‍රබල බලපෑමක් ඇති කරයි. බුදු දහමට අනුව අප ලබාගත් මිනිස් ජීවිතයේ ආරම්භය එක් ජීවිතයකට සීමා නොවේ. සසරදී අප කළ කී බොහෝ දේ අපේ ජීවිතය හා බද්ධ වී පවතින බව පිළිගත් සාධකයකි.
ලොව ඇති ප්‍රබලතම ශක්තිජනක යන්ත්‍රය මිනිස් සිතයි. එහි ක්‍රියාකාරීත්වය සහ පැවැත්ම ද ප්‍රබලය. එමෙන්ම සංකීර්ණය,වරෙක උසස් සිතිවිලි නිෂ්පාදනය කරන මෙම සිත වරෙක පහත් සිතිවිලි නිෂ්පාදනය කරයි. ඒ අනුව කෙනෙකුගේ චර්යාව ද උසස් හෝ පහත් බවට පත් වේ.

මෙම පැවැත්ම සිත නමැති යන්ත්‍රයේ ද්විත්ව ක්‍රියාකාරී ස්වභාවයයි. එය භෞතික යන්ත්‍රයකට උපමාකොට දැක්වුවහොත් මෙම සිතේ ස්වභාවය පැහැදිලිව වටහාගත හැකිය. කවර හෝ ද්‍රව්‍යාත්මක වස්තුවක් නිෂ්පාදනය කරන යන්ත්‍රයකින් ප්‍රමිතියෙන් සහ ගුණාත්මක බවින් ඉහළ යමක් නිෂ්පාදනය වේ නම් එම ද්‍රව්‍ය ලබාගන්න තැනැත්තාගෙන් එයට නිසි ඇගයීමක් ලැබේ. එමෙන් මිනිස් සිත් තුළ ජනිත වන යහපත් සිතිවිලිවලට හා ක්‍රියාකාරකම්වලට ද එබඳු ඇගයීමක් සහ වටිනාකමක් ලැබේ. යම් ද්‍රව්‍යයක්ම නිෂ්පාදන ක්‍රියාවලියේ දී එහි ගුණාත්මක බව හා තත්ත්වය මැනවින් රැකගත නොහැකිවුවහොත් එම ද්‍රව්‍ය ඵල රහිත වූවක් බවට පත්වන්නේ යම් සේද එමෙන්ම මිනිස් සිතේ ජනිත වන දූෂිත සිතිවිලිවලට හා ක්‍රියාකාරකම්වලට ද මිනිස් සමාජයෙන් ඇගයීමක් නොලැබේ.
මෙසේ පුද්ගලයෙකුගේ අධ්‍යාත්මික දියුණුව හෝ පරිහානිය ද කුසලාකුසල චින්තනය සහ චර්යාවන් පදනම්කොටගෙන ගොඩනැඟේ. මේ අනුව නිතර නිතර පුරුදු පුහුණු කරන හොඳ හෝ නරක භවයෙන් භවයට යන සසර ගමනෙහිදී දුක් හෝ සැප ලබාදීමට ප්‍රබල බලපෑමක් ඇති කරයි. බුදු දහමට අනුව අප ලබාගත් මිනිස් ජීවිතයේ ආරම්භය එක් ජීවිතයකට සීමා නොවේ. සසරදී අප කළ කී බොහෝ දේ අපේ ජීවිතය හා බද්ධ වී පවතින බව පිළිගත් සාධකයකි. ඇතැම් මිනිසුන්ගේ හොඳ සහ නරක චර්යාවන් විමර්ශනයට භාජනය කිරීමේ දී භව පුරුද්දෙන් පැමිණි බොහෝ දේ ඔවුනගේ වර්තමාන ජීවිතය තුළින් ප්‍රකට වන අවස්ථා පැහැදිලිව දැකගත හැකිය. භව පුරුද්ද සසර පුරුද්ද යනුවෙන් අප ප්‍රකාශ කරන ඒ ඒ පුද්ගලයන්ට ආවේණික ස්වභාවයන් තුළින් මිනිස් සිතේ සංකීර්ණ වූ අති දීර්ඝ ගමන් මග ද කෙනෙකුට වටහා ගැනීමට අපහසු නොවේ. සිද්ධාර්ථ ගෞතම බෝධිසත්ත්වයන්ගේ අති දීර්ඝ සසර සංසරණය පිළිබඳ තොරතුරු අනාවරණය කරන පන්සිය පනස් ජාතක පොත් වහන්සේ භවයෙන් භවයට යහපත් චර්යාවන් පුරුදු පුහුණු කළ උත්තමනීය චරිතයක ස්වභාවය පැහැදිලි කරයි. ජාතක පොතේ චරිත අතර අපට හමුවන බෝධිසත්ව චරිතය සදාචාර සංවර්ධනයක් වෙත මෙහෙයවූ යහපත් පුරුදු ජාලයක් ලෙස වටහාගත හැකිය. එක් ජීවිතයකින් තවත් ජීවිතයකට ගමන් කිරීමේ දී පුරුදු පුහුණු කරන ලද උසස් ගුණාංග උන්වහන්සේ වෙතින් ගිලිහී නොගිය බව ඉතා පැහැදිලිය. මහා ප්‍රාඥයෙකු දාර්ශනිකයෙකු හෝ සිල්වත් ගුණවත් සත් පුරුෂයෙකු ලොවට නිර්මාණය වන්නේ අඛණ්ඩ වූ පුරුදු පුහුණුතාවයන් හේතුකොට ගෙන ය. ජාතක පොතෙහිම දක්නට ලැබෙන වෛරය සසර පුරුද්දක් බවට පත්කරගත් දේවදත්ත චරිතයේ දූෂිත ස්වභාවය සහ ඔහුගේ පාප සිතිවිලි භව පුරුද්දකට නතුවී ඇති ආකාරය අනාවරණය කරයි. බෝධිසත්වයන් වහන්සේ උතුම් ගුණාංග පුරුදු පුහුණු කිරීමෙන් මිනිසෙකුට ළඟාවිය හැකි උපරිම තත්ත්වය වූ බුද්ධත්වය වෙත පැමිණීමත් දේවදත්ත චරිතයේ පාප චින්තාව සහ චර්යාව හේතුවෙන් සසරෙහි පිරිහීමට ලක්වීමත් අඛණ්ඩ මමෝ ප්‍රවාහයක ප්‍රතිඵල ලෙස වටහාගත හැකිය. මෙනිසා පුද්ගල ක්‍රියාකාරීත්වයේ ස්වභාවය අනුව කෙනෙකුගේ දියුණුව සහ පරිහානිය වෙත භව පුරුදුතාවයන් අති ප්‍රබල බලපෑමක් සිදුකරන බව බුදුසමය අවධාරණය කරයි.
පුරුද්දක් යනු එක් ජීවිතයකදී නැවත නැවත සිදු කරනු ලබන ක්‍රියාවන්ය. යම් හොඳ චර්යාවක් හෝ නරක චර්යාවක් එක් වරක් කළ පමණින් එය පුරුද්දක් බවට පත් නොවේ. යහපත් දෙයක් වුවද නැවත නැවත පුරුදු පුහුණු කිරීමෙන් හා සතතාභ්‍යාසයට නතු කිරීමෙන් පුරුද්දක් බවට පත් කරගත හැකිය. ඉඳහිට යම් හොඳ දෙයක් කිරීමෙන් සිත යහපත වෙත යොමු කර ගැනීම කළ නොහැකිය. නිතර යහපතෙහි යෙදීමෙන් පමණක් සිත පවින් වළක්වාගත හැකිය. ධම්මපදයේ සඳහන්වන මෙම ගාථාවෙන් ඒ බව අනාවරණය වේ.
අභිත්ථරෙථ කල්‍යාණෙ 
පාපා චිත්තං නිවාරයෙ 
දන්ධං හි කරොථො පුඤ්ඤං 
පාපස්මිං රමතී මනො (ධම්මපදය පාප වර්ගය 1 – ගාථාව)

සිද්ධාර්ථ ගෞතම බෝධිසත්ත්වයන් වහන්සේ පාරමී ධර්ම පුරමින් සිදු කරන ලද්දේ ද නිවැරැදි යැයි වටහාගත් උතුම් චර්යාවන් භව පුරුද්දක් බවට පත්කර ගැනීමයි. එම පුරුදුතාවයන්ගේ උත්කෘෂ්ටතම අවස්ථාව බුද්ධත්වය නම් වූ මිනිස් දුර්වලතා සියල්ලම සමූහනය කළ තත්ත්වයට පැමිණීමයි. දස පාරමිතා පූර්ණයේ දී භවයෙන් භවයට එම සුචරිත මාර්ගය නැවත නැවත ප්‍රගුණ කළ අයුරු ජාතක කතා තුළින් ප්‍රකටව පෙනේ. වෙස්සන්තර, මාතුපෝසක, සාම, සීලවිමංස, උම්මග්ග, මහාකපි, සීලවනාගරාජ ආදී ජාතක කතා විමර්ශනය කිරීමේ දී බෝධිසත්ව චරිතයේ ආධ්‍යාත්ම සංවර්ධනය කෙබඳු ද යන්න කෙනෙකුට වටහාගත හැකිය. කෙනෙකු තුළ පවතින පරිත්‍යාගශීලීභාවය, ඉවසීම, පරෝපකාරය, මිත්‍රශීලී ආකල්පය, සමාජ සුබ සාධන කටයුතු ආදිය විවිධ යහපත් වැඩ කටයුතුවලදී දක්වන උනන්දුව හා කැපවීමත් මසුරුකම, පිළිගැනීම, ඊර්ෂ්‍යාව, අනුන් හෙළා දැකීම, සුරාලෝලත්වය, සූදුව, කාමයෙහි වරදවා හැසිරීම, හොරකම වැනි දූෂිත පුරුදුත් නිතර නිතර පුරුදු කිරීමෙන් ඒවා භව පුරුදුතාවයනට නතු වේ. කෙනෙකුගේ චරිතයට බද්ධ වී පවතින හොඳ හෝ නරක පුරුදු ආකස්මිකව පැමිණ තහවුරු වූ ඒවා නොවේ. බෙහෙවින් ම නිතර නිතර ප්‍රගුණ කළ හොඳ හෝ නරක පුරුදු භව පුරුදු බවට පත්වන්නේ උපවිඤ්ඤාණය හෙවත් යටිසිතට එම මනෝභාවයන් සහ චර්යාවන් දැඩිව කාවැදී පැවතීම හේතුවෙනි. විඤ්ඤාණයෙන් හෙවත් උඩ සිතින් දෛනිකව සිදුකරනු ලබන ශරීරය පවත්වාගෙන යාම සඳහා අනුගමනය කරන වැඩ කටයුතුවලට වඩා සුවිශේෂී වූ ස්වභාවයක් පිළිගැනීම, ඊර්ෂ්‍යාව, වෛරය, සොරකම, ප්‍රාණඝාතය වැනි නරක පුරුදුවලත් , මෛත්‍රී කිරීම, පරෝපකාරය, ඉවසීම වැනි යහපත් පුරුදුවලත් දක්නට ලැබේ. මේවා බෙහෙවින්ම පුද්ගල චර්යාව සමඟ බද්ධ වී ඉදිරියට ගමන් කරයි.
බුදු සමයේ මෙබඳු භව පුරුදු රාශියක් පිළිබඳ තොරතුරු දක්නට ලැබේ. පන්සිය පනස් ජාතක පොත්වහන්සේ තුළ අන්තර්ගත කථා පුවත් තුළින් මෙම භව පුරුදුතාවයන්ගේ ස්වභාවය සහ අඛණ්ඩ පැවැත්ම අවබෝධ කරගත හැකිවේ. නූතන අධිමානසික විද්‍යාඥයන් විසින් මෝහන මාර්ගයෙන් සොයාගත් බොහෝ තොරතුරුවලින් ද භව පුරුදු සත්‍ය යැයි හඳුනාගෙන ඇත. භව පුරුද්ද සම්බන්ධයෙන් බුදුසමය අනාවරණය කරන සිත්ගන්නා සුළු කතා පුවත් දෙකක් මෙම කරුණු තහවුරු කිරීම සඳහා අනාවරණය කිරීම මෙහිලා ප්‍රයෝජනවත් වේ.
බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයෙහි පිළින්දවච්ඡ නම් මහරහතන් වහන්සේ නමක් වැඩ සිටියහ. උන්වහන්සේ තමන් වහන්සේ සමඟ වැඩ වසන භික්ෂූන්ට සහ දායක දායිකාවන්ට කතා කිරීමේ දී අවඥා සහගත අප්‍රසන්න වචනයෙන් ඇමතීමට පුරුදු වී සිටියහ. නිතරම අනුන්ව හෙළා තළා පෙළා කතා කරන, නොසරුප් වචන බිණීම නොඉවසූ භික්ෂූහු මේ බව බුදුන්ට සැල කළහ. එවිට බුදුරජාණන් වහන්සේ එතුමන් වහන්සේගේ අතීත ජීවිතය පිළිබඳව විමසා භික්ෂූන්ට දේශනා කරන ලද්දේ පිළින්දවච්ඡ හිමියන් අතීත ජීවිතයක බමුණු මහසල් කුලයක ඉපදී සිටියදී ජාති මානය නිසා අනුන්ව හෙළා දකින නොසරුප් වචන බිණීමට පුරුදුව සිටි හෙයින් එම භව පුරුද්ද නිසා දැනුදු එසේ කරන බවය. වර්තමානයේ උන්වහන්සේ තුළ ජාති මානයක් නැතත් භව පුරුද්දේ බලපෑමෙන් එවැනි දුර්වලතාවයන් පවතින බවයි.
එසේම වරක් බුදුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් පිරිවරා දානයකට වඩින අවස්ථාවේ උන්වහන්සේ සමඟ වැඩම කළ එක් රහත් භික්ෂුවක් දිය කඩිත්තකින් එගොඩට පැන්නේ ය. එම භික්ෂුවගේ අසංවර ක්‍රියාව දුටු දායකයා බුදුරජාණන් වහන්සේගෙන් එම ක්‍රියාවට හේතුව විමසූ විටදී සෙසු භික්ෂූන් අනුගමනය නොකළ මෙවන් ක්‍රියාවක් කිරීමට හේතුව වශයෙන් බුදුන් වහන්සේ අනාවරණය කර ඇත්තේ අතීත ජීවිත බොහොමයක වඳුරු යෝනියේ උපත ලබා සිටි මෙම භික්ෂුව ඒ වඳුරු චර්යාවන් තවම අනුගමනය කිරීමට භව පුරුද්ද බලපා ඇති බවයි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අභයදානය දීමට හැකි වන්නේ මනුෂ්‍ය භවයේදී පමණි

හිමාලයන්යෝගී භාවනා උපදේශක,
ආචාර්ය පූජ්‍ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි
ජාත්‍යන්තර භාවනා මධ්‍යස්‌ථානය,
බුද්ධගයාව, දිස්‌.ගයා බිහාර ප්‍රාන්තය,
ඉන්දියාව.

උතුම්ම දානය වන ධර්මදානය සමග එකට අත්වැල් බැඳි අනෙක්‌ දානය නම් ජීවිත දානයයි. මහා මෛත්‍රියෙන් මහා කරුණාවෙන්, මහා ශාන්තියෙන් කළ හැකි මාහැඟි උතුම්ම දානය වශයෙන් ඕනෑම අයකුට ලබාදිය හැක්‌කේ ජීවිත දානයයි. සියදිවි නසා ගන්නා මනුෂ්‍යයන් මිනිස්‌ ලොව සුලබව ඇතත් සත්ව ලෝකයේ එසේ දිවි නසාගන්නා සත්වයන් ගැන අප අසා දැක නොමැත.
තිරිසන් අපාය හෙවත් තිරිසන් ලෝකයේ වසන සියලු නිරි සත්වයන් නිරතුරුව බියෙන් සහ සැකයෙන් දිවිගෙවති. ඒ ඔවුන් ගෙන ආ අකුසල කර්මයි. කවුරුන් විසින් හෝ තමන්ට හිරිහැර කරතියි යන බිය ඔවුන්ගේ සිත් සතන් තුළ උපතින්ම ලියෑවී ඇත. එම නිසා දිවා රෑ ඔවුන් දිවි පෙවෙත් ගෙනයන්නේ අතිශය ශෝකබරිතවය. අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සියලු සත්වයින් කිසිදු වෙනසක්‌ නොමැතිවම සියොළඟ වෙලාගිය බියකින්ම දවස ගතකරයි. එහෙත් මිනිසත් බව ලබා ඇති මිනිස්‌ සත්වයාගේ ආදරය, කරුණාව රැකවරණය ලැබීමට වාසනාවන්තවූ ඇතැම් සත්වයන් ස්‌වභාවිකව මියයන තෙක්‌ ජීවිත බියකින් කල් නොගෙවන බවද මෙහිලා පැවැසිය හැකිය.
මෙවැනි තත්ත්වයන් තුළ අපගේ නෙත් යොමුවන්නේ නිතර දෙවේලේ කුසගින්නෙන් පෙළෙන කපුටන් දෙසය. කිසිදු මිනිසකු හෝ සත්වයකු කපුටු මස්‌ ආහාරයට නොගනී. එහෙත් ඔබ විමර්ශනය කරන්න කපුටන් කෙතරම් මර බියකින් නිරතුරු ජීවත්වනවාද කියා. ගොදුරු සොයන සත්වයන්ගෙන් සිය පැටවුන් බේරාගැන්මට සත්ව දෙමව්පියන් වෙහෙසෙන සැටි අප සමහරවිට දැක ඇත. එහෙත් එම උත්සාහයන් සාර්ථක වන්නේ කෙතරම් කලාතුරකින්ද? දුර්ලභව ලබාගත් මෙම වාසනාවන්ත මනුෂ්‍ය භවයේදී ඔබට පුළුවනි එම අසරණ සත්වයිනට උන්ගේ දරුවන් රැකදීමට කටයුතු කිරීමට පුරුදුවන්න. මෙතැනදී අවශ්‍ය වන්නේ බුදුරදුන් දෙසා වදාළ එසේම ධම්ම පදයේද සඳහන්ව ඇති සියලු සතුන් දඬුවමට මරණයට බිය ඇත්තාහ. තමුන්ට වනවා යෑයි අනුරූපව සිතන්න' යන පාඨයයි.
එවන් වටිනා සම්බුදු මුවින් පිටවූ දේශන නිරතුරුවම සිත් සතන්හි දරාගන්න පුරුදුවන්න. එය කුඩා කල සිටම ඔබට ලැබෙන මහඟු දායාදයකි. උතුම් කරණීය මෙත්ත සූත්‍රයේ විලසින්ම තිට්‌ඨං, චරං, නිසින්නෝවා, සයානෝවා යාවතස්‌ස විගත මිද්දොa' සිටගෙන සිටිමින් ඇවිදිමින්, හිඳගෙන සිටිමින් හෝ වැතිර සිටිමින් හෝ යහනෙහි නොනිදා සිටින තාක්‌ කල් සියලු සතුන් කෙරෙහි නිරතුරු මෛත්‍රීය වැඩීම නිවනට පවා යොමුවන බලවත් කුසල කර්මයකි.
සියලු සතුන් මරණයට බිය නම්, මරණයට ඔබත් බිය නම්, ඔබ කළයුත්තේ කිසිදු වර්ග භේදයකින් තොරව 'දිට්‌ඨාවා යේව අද්දිට්‌ඨා' දකින නොදකින සියලු සතුන්ට සැම දිනකම ජීවිත දානය දීමට කටයුතු කිරීමයි. ඉතා සියුම් කුඩාම කෘමියන් පවා සම්බුදුරදුන් දෙසූ ජීවිත දානයට අදාළය. හදවත අවිහිංසාවෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් පිරී ඉතිරී යන්නේ එවිටය. එයම ඔබේ ඉදිරි ගමනට කුසලින් පිරී නොනවතින පහන් එළියකි. ඔබට නිරෝගීව, දීර්ඝායුෂ සහිත ජීවිතයක්‌ ගත කිරීමට අල්පායුෂ දීර්ඝායුෂ කරගැනුමට ඇති ඒකායන මාර්ගයත් එයම පමණි. 
සම්බුදුරදුන් ආවාට ගියාට සූත්‍ර දේශනා පැවැත්වූයේ නැත. එසේම පසුව විකෘති කර ඇති පරස්‌පර ධර්මයන් දෙසා වදාළේද නැත.
එවන්දැ සිය බුද්ධියෙන් විමසා ගැනීම බුදුරදුන්ගේම 'ඒහි පස්‌සිකො ඕපනයිකො පච්චත්තං' න්‍යායෙන්ම තේරුම් ගැනීම වටී. සම්බුදුරදුන් දෙසූයේ තම ධර්මය වුවත් තීක්‌ෂණ අයුරින් විමසා බැලීමටය. පසුකාලීනව යම් යම් අය කියන ලියන දැ කාලාම සූත්‍රය අනුසාරයෙන් තේරුම් කර ගැනීමට උපදෙස්‌ දුන්නේද මේ නිසාය.
සත්වයින් මියයන විට සිය අසරණකම නිසාම උන්ගේ සිත් සතන් තුළ ඇතිවන්නේ අතිභයංකර බද්ධවූ වෛරයකි. එසේම මරන්නා පසුපස ඇදී එන නොනිමි ශාපයකි.ඒ සඳහා අනුබල දෙන්නාටද ගැලවීමක්‌ නැත. කරකියා ගැනීමට හෝ තමාට තමාව රැක ගැනීමට අපහසු මිනිස්‌ හෝ තිරිසන් හෝ භේදයකින් තොරව ඇතිවන්නේ, සිත්වලින් පිටවන්නේ න්‍යෂ්ටික ආයුධවලටත් වඩා වැඩි බලවත් ශාපයකි. එකී ශාපවලින් ගැලවීමට කුමන තරාතිරමක අයකුට හෝ සංසාරයේදීම කිssසිසේත්ම අපහසුය.
මෙතනදී අපට පෙන්වා දිය හැක්‌කේ ජීවිතදානය දීම නොමඳවම කළ හැක්‌කේ මෙම වාසනාවන්තවලබාගත් මනුස්‌ස භවයේදී පමණක්‌ බවය. සියලු මනුෂ්‍යයින්ම එය දැනගත යුතුය. ජීවිත නැති කිරීම මිනිස්‌ තිරිසන් භේදයකින් තොරව ඕනෑම පව්කාරයකුට පහසුවෙන් කළ හැකිය. එසේම එකී පව්කාරයන්ට තමන් නැසූ ජීවිත යළි ලබාදිය නොහැක. මෙයම සිද්ධාන්තයකට ගෙන හැකි අයුරින් සියලු සතුන්ට ජීවිත දානය දෙන්න. පයට පෑගීමට යන කුඩා කුහුඹුවකුට හෝ ජීවිත දානය දෙන්න. එයයි සම්බුදුරදුන් ලොවට ගෙන හැර පෑ මහා කරුණාව. ඒ නිසයි අට පිරිකරේ එක්‌ පිරිකරක්‌ වශයෙන් පෙරහන්කඩය පවා නිර්නය කළේ. උන්වහන්සේද යන යන තැන එය රැගෙන වැඩියේ. මහණෙනිෘ වතුර පෙරා බොන්න, එසේ කොට පෙරහන්කඩය නැවත වතුරේ ගසා නැවත ප්‍රයෝජනයට ගන්න.
දැන් සිතන්න, නොපෙනෙන සතුන්ට පවා එකල බුදුහිමියන් කෙතරම් සැලකිල්ලක්‌ දැක්‌වූවාද කියා. එසේ දිරිගැන්වූ සම්බුදුරදුන් පෙනෙන සතුන් මරා මරවා කෑමට අවසර ලබාදේවිද? එක ජීවියකුට අභය දානය දීම වනාහි ජීවමාන සම්බුදුවරයකුට පිදෙන සිව්පස දානයක මහා කුසලය හිමිවන බව, බුදුහිමියෝ දෙසා වදාළේ සියලු කල බුදුවරු නොමැති නිසා. ජීවිත දානය දීම තමන් වහන්සේ ජීවතුන් අතර සිටින අවධියේදී ලබාදෙන 'සිව්පස චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලන්පස්‌ දානයක්‌ ලෙස සැලකීමටය. එහෙත් අවාසනාවක තරමෘ මෙවැනි අගනා දෙසුම්, මිල කළ නොහැකි දෙසුම් අද අතුරුදන් වී ඇති සෙයකි.
ජීවිත දානය ලැබිය යුතු මෙලොව වැඩියෙන්ම වද වේදනා විඳිමින් තම බඩදරු පැටව් සමග හැලියේ තැම්බී මියයන කකුලු අම්මලාව තම්බා තුනපහ රසකාරක, ලුණු, මිරිස්‌, සෝස්‌ දමා ඇතැම් පන්සල් තුළම සකසා දානය වශයෙන් ලබාගන්නා පින්වන්තයන්ද අප දේශය තුළ සිටින බව ඇතැම් පුවත්පත් වල පවා දැක්‌වී ඇත.
පිංවත් සැදැහැවතුනි, මෙවන් අසරණ කකුළුවන් පණ පිටින් අතපය බැඳ මත්ස්‍ය වෙළඳපළවල විශේෂයෙන් වෙරළබඩ වෙළෙඳසල්වල විකිණීමට තබාඇත. ඒවා විකිණෙන්නේ කිලෝ ගණනටය. එවන් කකුළුවන්ගෙන් සියයට අසූපහක්‌ම බඩදරු අම්මලාය. හැකිනම් ඔබලා කිහිප දෙනකු එකතුවීමෙන් උන්ව මිලදී ගෙන ආරක්‌ෂිත කලපු ප්‍රදේශවලට බැමි කපා දමා නිදහස්‌කර යවන්න. එවන් ජීවිත දාන පිංකම් වල වටිනාකම ගැන ප්‍රකාශ කිරීමට අප ශබ්ද කෝෂවල වචන පවා නැත. ඔබට වැයවන්නේ සංසන්දනාත්මකව සුලු මුදලකි. උපන් දිනවලදී මෙවැනි ජීවිත දාන ක්‍රියාවන්හි නිරතවන්න.
ආහාර දානය මිනිසුන් පමණක්‌ නොව සතුන්ද කරනා ක්‍රියාවලියකි. සියලුම සතුන් පාහේ සිය දරු පැටවුනට ආහාර ලබාදෙන බව ඔබද දන්නා කරුණකි. එයද දානයකි. එමනිසා ආහාර දානය මිනිසුන්ට පමණක්‌ නොව සතුන්ටද කළ හැකි එසේම කරන දෙයකි. අප මේ කියන්නක්‌ අසනු මැනවි, ජීවිත දානය දිය හැක්‌කේ දෙවියන්ට හෝ බ්‍රහ්මයන්ට නොවේ. සතර අපාගතවී ඇති සත්වයින්ටද එය කළ නොහැකිය. එසේ නම් කළ හැක්‌කේ උතුම් මනුෂ්‍ය භවයක්‌ ලැබ ඉපදී ඇති අපට පමණය. ඒ බව තේරුම් ගන්න. 
තෙරුවන් සරණයි!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online