ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

මංශයට ඇලී, මාංශයට ගැටී තවත් මස්‌ ගොඩක්‌ දරාගෙනම ඉපදෙමුද?

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....
(මස්‌ මාංශ අනුභවය - 4)
'සතර අපායෙන් මිදෙමු' - 70 කොටස

මෙය සටහන් කරන භික්‍ෂුව හෙටත් උදෑසන පාත්‍රය රැගෙන ගමට පිණ්‌ඩපාතය වඩිනු ඇත. එහිදී පාත්‍රයට බත් ටිකකුයි පොල් සම්බෝල ස්‌වල්පයකුයි ලැබුණොත් ඇති. එය භික්‍ෂුවට හොඳටම ප්‍රමාණවත් පහුවදා උදෑසන දක්‌වාම. එය භික්‍ෂුව දකින්නේ බත් හෝ පොල් සම්බෝල හැටියට නොවේ. කය පවත්වා ගැනීමට ලැබුණු පිළිකුල සහිතවූ ආහාරයක්‌ ලෙසය. 

මස්‌, මාළු, බත්, පරිප්පු, පොලොස්‌.... මේවා මුලාවූ ලෝකයාට බඩ පිරෙන්න දෘෂ්ඨි සපයන මාර කෑම වට්‌ටෝරුවයි. මාරයාගේ වේටර්ලා රිදී බන්දේසියක තබා ඔබට පිළිගන්වන මාරයාගේ කෑම වට්‌ටෝරුව, විඳීමෙන් බැහැරකොට ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් ආහාරයට ගන්න. ප්‍රත්‍යාවේක්‍ෂාව යනු මේ ශරීරයත්, ආහාරයත් දෙකම පිළිකුල් බව දකිමින්, ධර්ම මාර්ගයේ ගමන් කිරීම උදෙසා කය පවත්වාගැනීම අරමුණු කොට ආහාර ගැනීමයි. 

පිංවත් ඔබගේ දිවට ඵස්‌සය වන ආහාරය මස්‌ මාංශ වුවද, පරිප්පු වුවද, රසය-ගුණය පිං- පව් කියන සංඥාවන්ගෙන් මිදී අනිත්‍යයි කියන සංඥාවෙන් දකින්නට උත්සහ ගන්න. පිංවත් ඔබ ඒවා කෙරෙහි ඒවා කෙරෙහි ඇතිවන කැමැත්ත අකමැත්ත ඔබේ කර නොගෙන, ධම්මානුපස්‌සනාවට භාරදෙන්න. එවිට ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා, දෘෂ්ඨියෙන් කිළිටිවුන සිත විදර්ශනාවෙන් විනිවිද දකින්නට හැකිවේවි. 

කොහොම ගත්තත් තිරිසන් සංඥා අනතුරුදායකයි. තිරිසන් ලෝකය යනු අකුසල කර්මයන්ගේ මව්බිමයි. අකුසල් මව්බිමේ ඉපදෙන සෑම තිරිසන් සතෙක්‌ම, පෙර ජීවිතයේ සත්ව ඝාතකයෙක්‌මයි. පාපකාරී ජීවිත ගතකළ එම සත්ත්වයින්ට තම අකුසල් සංස්‌කාර විපාක දෙන ධර්මතාවය අපට නවත්වන්න බැහැ. අපි සංස්‌කාරවලින් මිදෙන දිශාවටම ගමන් කරමු. පිංවත් ඔබ ව්‍යාපාර, රැකීරක්‍ෂා කරමින් පංචශීලය තම නිත්‍ය ශීලය හැටියට සමාදන්ව ජීවත්වෙන්න. ශීලයක්‌ සමාදන් වීමට පෙර එම ශීලයේ ඇති වටිනාකම මෙනෙහි කොට ශීලය කෙරෙහි ගෞරවය සකස්‌කොට ගන්න. කිසිම අවස්‌ථාවක සිල්පදයක අර්ථයට අඩු තක්‌සේරුවක්‌ දෙන්න එපා. ඔබට සිතෙනවානම් අද දවසේ අදාළ සිල්පදය කිට්‌ටුවේය කියලා, සමාදන් වන ශිල්පද කිට්‌ටු කරගන්නවාට වඩා, ශීලයට ඇති ගෞරවයෙන්ම එම සිල්පදය සමාදන් නොවී සිටීම යෙහෙකි. නිර්මාංශ වීම හෝ මාංශ අනුභවය සිsල්පදයක්‌ නොවන බව විශ්වාස කරන්න. බුදුරජාණන්වහන්සේ දේශනාකර වදාළ ධර්මය අකීකරු ආකාරයෙන් ගලපා නොගන්න. එසේ වුවහොත් නිරතුරුවම දෘෂ්ඨි මතවාදවල හිමිකරුවෙකු වීමට ඔබට සිදුවනු ඇත.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මස්‌ මාංශ වෙළෙඳාම, මිනිසුන් ඇතුළු සත්ත්ව වෙළඳාම, අවි ආයුධ වෙළඳාම, සුරා වෙළඳාම සහ වස විශ වෙළෙඳාම මිච්ජා ආජීවය වශයෙන්. ඉහත කාරණයේ" අනිවර්යයෙන්ම මස්‌ මාලු වෙළඳාම මිච්ජා ආජීවයට අසුවෙනවා. ඒ ගැන කිසිම සැකයක්‌ නැහැ. හංදියේ හෝටලයේ මුදලාලි මහත්මයා මස්‌ පීරිසයක්‌, මාලු පිරිසියක්‌ විකිණීමේදී, බුරියානි එකක්‌ කොත්තු රොටියක්‌ විකිණීමේදී පවා මිච්ඡා ආර්වයක්‌ සිද්ධ වෙනවා. නමුත් ව්‍යාපාර, රැකිරක්‍ෂා කරන, වගකීම් බහුල පිංවතුන්ලාගේ නිත්‍ය ශීලය පංචශීලයයි. එම නිසා ඔබේ ජීවිතය තුළින් පංචශීලය අර්ථවත් කරගන්න. එවිට ඔබ හෝටලයක, මාලු ලෑල්ලක, ශීතකරණයක බහා මස්‌ මංශ වෙළඳාම කරන විට ශිල්පදයක්‌ බිඳගැනීමක්‌ වෙන්නේ නැහැ. මොකද ඔබ සමාදන්ව සිටින්නේ පංචශීලයයි. නමුත් මිච්ඡා ආජීවයක්‌ ඔබ අතින් සිද්ධවෙනවා. එය බුදුරජාණන්-වහන්සේ ඔබට එපා යෑයි දේශනා කළ කාරණයක්‌. නමුත් ගිහි පිංවතුන් පංචශීලය සමාදන්වීමේදී මිච්ඡා ආජීව කියලා සිල්පදයක්‌ සමාදන් වෙන්නේ නැහැ. පිංවත් ඔබ උපක්‍රමශීලීව ධර්මය ජීවිතයට ගලපාගන්න.

බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කර ඇත්තේ සියලුම සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙනි. අපේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩීමේ නොවැඩීමේ ස්‌වභාවය විවිධයි. ඒ නිසා හැමෝටම එකම තැන සිට ධර්මය දකින්න බැහැ. හෝටල් ව්‍යාපාරයක්‌ කරන කෙනෙකුට, මාළු ලෑල්ලක්‌, ශීතකරණයක මස්‌ මාළු වෙළෙඳාම කරන පිරිසකට අපි කීවොත් ඔබ මස්‌ මාංශ විකිණීමෙන් කරන්නේ මහා වරදක්‌, ඔබ මහා දුස්‌ශීලයෙක්‌, ඔබ අනිවාර්යයෙන්ම නිරයට යනවා කියලා, එය මහා ද්‍රෝහිකමක්‌ වෙනවා. සම්බුදු වදනට පටහැනි ප්‍රකාශයක්‌ වෙනවා. එහෙම වුණොත් අනේ ඒ අසරණ වන බෞද්ධයන් අන්‍යාගම්වලට යාවී. මිථ්‍යාදෘෂ්aඨික භාවයට පත්වේවි. ඒ නිසා ඒ අයට කියන්නට තිබෙන්නේ පිංවත් ඔබලා පංචශීලය නිත්‍ය ශීලය හැටියට සමාදන්ව, රැකගෙන ඔබේ ව්‍යාපාරය කරන්න කියලා. එවිට පුළුවන් ඔවුන්ටත් මේ ධර්මයේ සුරක්‍ෂිතභාවයක්‌ ලබාගන්න. එතැන" ඔවුන් අතින් සිල්පදයක්‌ බිඳෙන්නේ නැහැ. තමන් සමාදන්වූ පංච ශීලයට අගෞරවයක්‌ වෙන්නේ නැහැ. නමුත් එම පිංවතුන්ට ශක්‌තිය තිබුණොත් මස්‌ මාංශ විකිණීම මිච්ජා ආජීවයක්‌ නිසා, ඉන් මිදී ජීවත්වෙනවා කියලා තීරණයක්‌ ගන්න, එය ඔහුගේ ජයග්‍රහණයක්‌.

එහෙම නොවුනා කියලා ඔහු දුස්‌ශීලයෙක්‌ නොවේ. මොකද ඔහු තෙරුවන් සරණ ගිය පංචශීලය ක ගෙන ජීවත්වන සිල්වතෙක්‌ නිසා. ඔහුද ධර්මය තුළ සුරක්‍ෂිතභාවය ලැබූවෙක්‌. වගකීම්වලින් බැඳුන ගිහි පිංවතුන්ලාගේ නිත්‍ය ශීලය පංචශීලය කියලයි බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා බුදුරජාණන්වහන්සේ ඉක්‌මවා ගොස්‌ තෙරුවන් සරණ ගිය පංචශීලය ආරක්‍ෂා කරගෙන ජීවත්වෙන මනුෂ්‍යයෙකුට දුස්‌ශීලයි කියන චෝදනාව නගන්න හොඳ නැහැ. පිංවත් ඔහුට තවදුරටත් ධර්මය ගැන සිතමින් , තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගනිමින්, ශීලයෙන් ශක්‌තිමත් වෙමින් ඉදිරියට පැමිණීමට, ඒ පැමිණීම තුළින්ම මිච්ඡා ආජීවයෙන් මිදීමට අවශ්‍ය රැකවරණය සත්පුරුෂභාවයෙන් යුතුව ලබාදෙන්නට අපි පාර පෙන්විය යුතු වෙනවා. 

අවසාන වශයෙන්ද කියමි. පිංවත් ඔබ කැමතිනම් නිර්මාංශව ජීවත්වෙන්න. කැමතිනම් මස්‌ මාංශ අනුභව කරන්න. මස්‌ මාංශ කෑම, නොකෑම කෙනෙකුට ශීලයක්‌ නොවන නමුත් මස්‌ මාංශ කෑම, නොකෑම නිසා ඔබ තණ්‌aහාව, මාන්නය, දිට්‌ඨි සකස්‌ කොටගතහොත් එය බලවත් මනෝ කර්මයක්‌ බව හොඳින් සිහිපත් කර ගතයුතු වෙනවා. මස්‌, මාංශ, නිර්මාංශ ලෝකයට අයිති දේවල්. ලෝකයට අයිති දේවල් ලෝකයේම තිබීමට ඉඩහැර, ලෝකයට ඔබ බැඳෙන, රූපය කෙරෙහි ඔබ ඇතිකරගන්නා, ඔබ තුළ සකස්‌ වෙන තෘෂ්ණාවෙන් මිදෙන්න. මස්‌ මාංශ කෙරෙහි සකස්‌ වුවද, නිර්මාංශ කෙරෙහි සකස්‌ වුවද තෘෂ්ණාව යනු දුකෙහි නිර්මාණකරුවාම බව දකින්න. ඔබ දරාගෙන සිටින ශරීරය නැමැති මස්‌ ගොඩේ හිමිකාරීත්වය ඔබට ලබාදෙන්නේ සංස්‌කාර කෙරෙහි සකස්‌කොට ගන්නා තෘෂ්ණාව නිසාම බව දකින්න. 

තිරිසන් සතුන්ගේ මස අතහැර, පරිප්පු ව්‍යංජනයේ රස අතහැර ශêරය නැමැති ඔබේ මස්‌ ගොඩෙන් මිදීමේ මාර්ගය දකින්න.

එවිට මෙතැන ඇත්තේ මස්‌, මාළු, පරිප්පු ප්‍රශ්නයක්‌ නොව ඒවා කෙරෙහි ඇතිකරගන්නා ඇලීමේ ගැටීමේ ප්‍රශ්නයක්‌ බව ඔබ දකිනු ඇත. 

ලොව්තුරා බුදුරජාණන්වහන්සේගෙන් දේවදත්ත හිමියන් මස්‌ මාංශ වැළඳීම තහනම් කරන ලෙස කළ ඉල්ලීමේදී බුදුරජාණන්වහන් සේ දේශනා කළේ කැමැති කෙනෙක්‌ තමන්ට පූජා කරන මස්‌ වැළඳුවාවේ, කැමති කෙනෙක්‌ නිර්මාංශව පිණ්‌ඩපාතය වැළඳුවාවේ යන්නයි. 

එතැනයි ඇලීමේ, ගැටීමේ ස්‌වභාවයෙන් මිදුණු උපේක්‍ෂාව. මධ්‍යම ප්‍රතිපදාව. අපි ඒ සම්මා සම්බුදු වදන ඉක්‌මවා යා යුතු නැහැ. එහෙම වුණොත් අපිට කවදාකවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මරත්නය, සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවට එන්න බැහැ. ලෝකය ලෝකයේ ස්‌වභාවයෙන් තිබුණාවේ. පිංවත් ඔබ ධර්මයේ ස්‌වභාවයට එන්න. මස්‌ මාංශ නිසා, හේතුඵල ධර්මයන්ට අනුව නැවත මස්‌ ගොඩකට බැසගන්න, ඵස්‌ස ආහාර, මනෝසංෙච්තනා ආහාර, විඤ්ඤාණ ආහාර යන ආහාර 3 ක්‌ බුදින ධර්මයේ රැකවරණය අහිමි කරගත් පිංවතෙක්‌ වෙන්න එපා. අපි සියලුම දෙනා බුදුරජාණන්වහන්සේගේ දරුවෝ. එමනිසා බුදුරජාණන්වහන්සේ දේශනා කළ ධර්මයේ ඇසෙන් ලෝකය දකින්න. තමාගේ කැමැත්ත, අකමැත්ත තමාට අයිති නැති කොට, අනුන්ගේ කැමැත්ත අකමැත්ත ඔබ ඔබේ කරගන්න එපා. ඒ ඔබ ඔබේ කරගන්නේ දුකයි. 

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...
භාවනාවට පෙර...
'සතර අපායෙන් මිදෙමු' - 71 කොටස

භාවනාව වර්තමානයේ බොහෝ ජනප්‍රිය මාතෘකාවක්‌. වයස්‌ භේදයකින් තොරව දෙස්‌ විදෙස්‌ පිංවතුන් විශාල පිරිසක්‌ මේ ජනප්‍රිය මාතෘකාව තුළින් සැනසුම සොයනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ දඹදිව මිනිසාගේ විමුක්‌තිය අරමුණු කොට ගොඩනඟාගත් මිථ්‍යා දෘෂ්ඨී හැට දෙකක්‌ තිබුණු බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සෑම දෘෂ්ඨීයක්‌ ඇති වූයේ, වර්ධනය වුණේ, මනුෂ්‍යයාගේ ජීවිතවල සංකීර්ණභාවය වැඩි වුණ නිසා. 

සංකීර්ණභාවය කියන්නේ දුක වැඩිවීම කියන කාරණයයි. වර්තමාන සමාජය තුළද මනුෂ්‍යයාගේ ජීවිතවල සංකීර්ණභාවය වැඩිවන්න, වැඩිවන්න සකස්‌ වන විකෘති සමාජීය, අධ්‍යාත්මික, පාරිසරික ස්‌වභාවයන් හේතුවෙන් මනුෂ්‍යයා නිරතුරුවම අසහනයට පත්වෙනවා. මේ අසහනයෙන් මිදීමටත්, පිංවතුන්ලා වැඩි වැඩියෙන් භාවනාවට යොමුවෙනවා.

ඉහත කාරණය නිසා ඔබ භාවනාවට යොමු වනවා නම්, එම හේතුව සකස්‌වීම සඳහා බලපෑ සාධකයන්, ගැන පිංවත් ඔබ භාවනා කිරීමට පෙර දැනුවත් වෙන්න අවශ්‍යයි. ජීවිතයට බලපාන අසහනය නැමති ඵලය සකස්‌වීමට හේතු කාරණා වූ ධර්මතාවය කමටහනක්‌ කොට ගත්තොත්, පමණක්‌මයි, භාවනාවක්‌ තුළින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙන්නේ. අප ජීවත්වන සමාජය ඉබේ සංකීර්ණභාවයට පත්වන්නේ නැහැ. සමාජයේ සංකීර්ණභාවය කියන්නේ මනුෂ්‍යයාගේ අධිවේගී සිතුවිලිවල ඵලයකි. සඳ පායා ඇති එක්‌තරා සුන්දර රාත්‍රියකදී අජාසත්ත රජතුමාට සිතිවිල්ලක්‌ පහලවෙනවා.මේ සුන්දර රාත්‍රිය වඩාත් අර්ථවත් වෙන්න නම්, ධර්ම සාකච්ඡාවක්‌ කළොත් හොඳයි කියලා රජතුමා ඇමැතිවරුන් කැඳවලා විමසනවා. ඒ සුන්දර රාත්‍රියේ අර්ථවත් ධර්මයක්‌ කිනම් ශෘස්‌තෘවරයකුගෙන් ඇසුවොත් යහපත් වේවිද කියලා. ඇමැතිවරුන් තම තමන්ගේ මතයන් ප්‍රකාශය කරන අතරේ එක සිහිනුවන තිබෙන ඇමැතිවරයෙක්‌ ප්‍රකාශ කරනවා. මගේ අඹ වනයෙහි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක්‌ ස්‌වාමීන් වහන්සේලා වැඩ සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ, පිංවත් මහ රජතුමාගේ මේ සුන්දර රාත්‍රිය අර්ථවත් කරගැනීමට උතුම් හමුවක්‌ම වේය කියලා.
ඇමැතිවරයාගේ පැහැදිළි කිරීම ගැන රජතුමා සතුටුවෙලා. තම පිරිවර සමග අඹ වනයට ගමන් කරනවා. අඹ වනය තුළට පැමිණීයත්, කිසිවකුගේ කිවිසුමක්‌ පමණකුදු හඬක්‌ නොඇසෙන නිසා රජතුමා බියට පත් වෙනවා. තම ඇමැතිවරයා මේ රාත්‍රියේ තමා මරා දැමීම සඳහා සැලසුමක්‌ කළාද කියලා. පන්සියක්‌ දෙනා සිටින තැනක අඩු වශයෙන් කුඩා හෝ ශබ්දයක්‌ නැඟෙන්න ඕනේ. 'ඔබ මට වංචා කළා නේද?' කියලා රජතුමා විමසනවා. ඇමැතිවරයා ප්‍රකාශ කරනවා අර පෙනෙන ශාලාවේ බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩ සිටිනවා කියලා. රජතුමා සතුට ප්‍රකාශ කරනවා. පන්සියයක්‌ මහා සංඝරත්නය වැඩ සිටින ස්‌ථානයක්‌ කෙසේ නම් මේසා නිහඬතාවයක්‌ ඇති වන්නද කියලා. මේ උතුම් නිහඬතාවය ඒ උතුම් ජීවිතවල ගොඩනැඟුණු සරලභාවය නිසාම හටගත් ස්‌වභාවයක්‌. පංච නීවරණ ජීවිතය තුළින් යටපත් වෙන්න, යටපත් වෙන්න ජීවිතය සරලභාවයට පත් වෙනවා. මේ සියල්ල හේතුඵල ධර්මයන්. 

මේ හේතුඵල ධර්මයන් දකිමින් ඕනේ අපි භාවනාවට යොමු වන්න. මනුෂ්‍යයා රූපයක්‌ කෙරෙහි ඇති කරගත්, තෘෂ්ණාව වැඩි වන්න, වැඩිවන්න ඒවා අයිතිකර ගැනීමට උපක්‍රම යොදනවා. වෙහෙස ගන්නවා. අර්බුද, ගැටලු, තරගය.... මේ හේතු නේද, සමාජයේ සංකීර්ණභාවය හැටියට අපි දකින්නේ. මනුෂ්‍යයා තෘෂ්ණාව පසු පස හඹා යන්න හඹා යන්න දුක වැඩි වෙනවා. සැප සොයන්නයි හඹා යන්නේ, නමුත් සකස්‌ වෙන දුක? අප්‍රමාණ කැපවීම් කරලා සැපයක්‌ ලැබුණත්, එය බොහෝම කෙටි ආශ්වාදයක්‌. ඒ ආශ්වාදය අභිබවා ජරා ව්‍යාධි, මරණ, ශෝක පරදේව නැගී සිටිනවා. පිංවත් ඔබ සිහිනුවනින් බලන්න.
ලෝකය මොනතරම් අසාධාරණද කියලා. ප්‍රශ්නය තිබෙන්නේ මෙතරම් අසාධාරණ ලෝකයකට ඔබ මෙතරම් ආදරය කරන්නේ ඇයිද කියලා. පිංවත් ඔබට යමෙක්‌ අසාධාරණයක්‌ කරනකොට ඔහුගෙන් මිදීයාමටයි ඔබ උත්සාහ ගන්නේ. නමුත් ඔබ මෙතනදි ලෝකයේ කොටස්‌කරුවෙක්‌ වෙමිනුයි විසඳුම් සොයන්න උත්සාහ ගන්නේ. මෙය හරියට වැරැද්ද තමා තුළ තබාගෙන අනුන් තුළින් වැරැදි සොයනවා වගේ වැඩක්‌. ඔබ තුළින්ම සකස්‌ වෙන තෘෂ්ණාව විසින්මයි. මේ අසහනය අසාධාරණය සකස්‌කොට තිබෙන්නේ.
පිංවත් ඔබ මොන භාවනා ක්‍රමවේදයකට යොමු වුණත්, දුක සකස්‌ කර තෘෂ්ණාව පිළිබඳව නිරුතුව අවදියෙන් සිටින්න ඕනේ. මොකද පිංවත් ඔබ මේ ජීවිතයේදී පුරුදු වෙන්න භාවනා කරනවා නොවේ, අතීත සංසාරික භව ගමනේදී, පිංවත් ඔබ සැවොම සමථ භාවනාව පුරුදු පුහුණු කොට, ධාන්‍යලාභීන්ව අහසින් ගමන් කළ, පිරිසක්‌මයි. අතීතයේ ඔබලා රූපී අරූපී බ්‍රහ්මතලවල ඉපදිලා අප්‍රමාණ සමාධියේ ආශ්වාදය කල්ප ගණන් විඳි පිරිසක්‌මයි. පිංවත් ඔබත් මමත් මනුෂ්‍ය ජීවිතවලදී මෛත්‍රි භාවනා වඩලා මරණින් මතු කල්ප ගණන් බ්‍රහ්ම සම්පත් ලැබූ පිරිසක්‌මයි. අපි සැමගේම යථාර්ථය මේක තමයි.
අතීතයේ සමාධි භාවනාවන්ගේ ආශ්වාදයේ අසිරියෙන්, සමාධියේ ලෝකය ජයගත් ඔබට, තමා තුළම දුක සකස්‌ කිරීමට හේතු වන තෘෂ්ණාව හඳුනාගැනීමට තවම පුළුවන් වෙලා නැහැ. ඒ නිසාම පිංවත් ඔබ වර්තමානයේ නැවතත්, ස්‌වාමීන් වහන්සේනමකගෙන්, ගුරුවරයෙක්‌ගෙන්, පතපොතින්, සොයනවා. විමසනවා. කොහොමද ආශ්වාස ප්‍රාශ්වාසයට හිත යොමු කරන්නේ. කොහොමද විචාර විතර්ක සංසිඳෙන්නේ. කොහොමද හුස්‌ම දෙස බලා සිටින්නේ. කුමක්‌ද ධ්‍යාන කියන්නේ කියලා. බලන්නකෝ. අවාසනාවක මහත, අතීත භවයන්හිද රූපි, අරූපි බ්‍රහ්මඵල ස්‌පර්ශ කළ අපි, තෘෂ්ණාව ගැන, නොතකා හැරීම නිසාම, මේ නිමේෂයේත් නැවතත් ආනාපානසති භාවනාව වඩන හැටි 'අ' යන්නේ සිට සොයනවා.



ඉන්ද්‍රජිත් සුබසිංහ

'සතර අපායෙන් මිදෙමු' - 72 කොටස
මහ රහතුන් වැඩි මග ඔස්‌සේ....
භාවනාවට පෙර...
අතීත ශක්‌තීන් අවබෝධයෙන් ආයෝජනයට ගන්න

අතීත භව කාන්තාරයේ ඔබ අයිති කොටගත්, දේ ගැන නැවත නැවත කමටහනක්‌ කොට මෙනෙහි කරන්න. ඔබ අතීතයේ ධ්‍යානලාභීන් ලෙස, අහසින් ගමන් කළ හැටි, දියමත ගමන් කළ හැටි, මෛත්‍රි ධ්‍යාන ලබා මනුෂ්‍යයින් දෙවියන් බ්‍රහ්මයින් වසඟයට ගත් හැටි, මෙනෙහි කරන්න. මේ අතීත භවයන්හිදී ඔබ කළ දේවල් ගැනයි මෙනෙහි කරන්නේ. 

අතීතයේ එහෙව් අසිරිමත් කෙනෙක්‌ ඔබ.

මේවා මෙනෙහි කරමින් ආත්ම විශ්වාසය, ආත්ම ශක්‌තිය වර්ධනය කරගන්න. ඔබ කවුද කියන කාරණය අතිශෝක්‌තියෙන් තොරව ඔබ දකින්න. ඔබ අතීත භවයන්හිදී නවත්වපු තැන මෙනෙහි කරන්න. ඔබ තුළ සැඟවුණු අයෝමය ශක්‌තිය මෙනෙහි කරමින් මතු කොට ගන්න. පිංවත් ඔබට සුනීතට සෝපාකට, කිසාගෝතමියට පිහිට වූවා සේ ඔබව ආශ්චර්යමත් පෙළහර මතුකොට දී සත්‍ය පසක්‌ කොට දෙන්න. වර්තමානයේ ජීවමාන ලොව්තුරා බුදුරජාණාන් වහන්සේ නමක්‌ නැහැ. ඒ නිසා ඔබ කවුද කියන කාරණය ඔබ තුළින්ම මතු කොට ගන්න.

මාන්නයෙන් තොර වූ අයෝමය ආත්මශක්‌තියත් ඔබ තුළින්ම මතු කොටගෙන, භාවනාවට යොමු වෙන්න. සමාධියේ ආශ්වාදය උදෙසා නොව, වේදනාවේ නිරෝධය සඳහා ඉලක්‌කය යොමු කරන්න. අතීතයේ ඔබ දිග්විජය කළ ධ්‍යාන ඵලයන් ගැන නැවත වර්තමානයේ මොහොතක්‌ හෝ, තෘෂ්ණාව ඇති නොකරගන්න. එවැනි සිතුවිල්ලක්‌ සකස්‌ වෙන මොහොතක සතුරා තෘෂ්ණාව නිසා අරමුණු වන, සෑම රූපයක්‌ම අනිත්‍ය සංඥාවෙන්ම මෙනෙහි කරන්න. කොතැනකවත් තෘෂ්ණාවට ඉඩක්‌ සකස්‌ කරන්න එපා. තෘෂ්ණාවට ඉඩක්‌ සකස්‌ කළොත් එහි ඵලය, දුකම බව දකින්න. අතීත භවයන්හිදී රූපී අරූපී බ්‍රහ්මතල ස්‌පර්ශ කිරීමට සමත් ධ්‍යාන ශක්‌තිය ඔබ ලැබූවත් එම සංස්‌කාරයෝ අනිත්‍ය බව මේ මොහොතේ ඔබේ ජීවිතය තුළින් දකින්න.

යමක්‌ අනිත්‍ය නම්, එය දුකයි නේද? එසේනම් එම දුක පසුපස පරණ පුරුද්දට නැවත නොයන්න. මෙය සටහන් කරන භික්‍ෂුව එක තත්පරයකදී හෝ ධ්‍යාන අවස්‌ථාවක්‌ පිළිබඳ තෘෂ්ණාවක්‌ සකස්‌කොට නොගත් බව කියමි. අනිත්‍යභාවයට පත්වන ධ්‍යානයන්, ධ්‍යාන ස්‌වභාවයෙන්ම තිබේවී. නැතිවේවී. ඔබ ඒ දුක කරට ගන්න යන්න එපා. දුක ප්‍රයෝජනයට ගෙන සැබෑම සැපය ලබාදෙන මාර්ගයට අවතීර්ණ වන්න. පිංවත් ඔබ භාවනාවට යොමුවෙන්නේ හුදු කායික මානසික විවේකයක්‌ සකස්‌කොට ගැනීමට නම් ඉහත අදහස්‌ ඔබට නොගැලපෙනවා වෙන්න පුළුවන්. නමුත් එවැනි පිංවතුන් සිතන්න ඕනේ, අනිත්‍යභාවයට පත්වෙන විවේකයක්‌ උදෙසා, අනිත්‍යභාවයට පත්වෙන සමාධියක්‌ පසුපස යැම අර්ථයක්‌ නොවන බව.

සමාජය සංකීර්ණභාවයට පත්කර ඇත්තේ තෘෂ්ණාව විසින්මයි. එම සංකීර්ණභාවයෙන් ඔබ තුළ සකස්‌වෙන මානසික පීඩනයෙන් මිදීම සඳහා, ඔබ සමාධි භාවනාවක්‌ කෙරෙහි තෘෂ්ණාව සකස්‌කොටගෙන භාවනාවට යොමුවෙනවා. එය බොහොම හොඳ දෙයක්‌. නමුත් මෙතැනදි ඔබ දක්‍ෂ නම්, ඔබ තුළ ඇතිවන මානසික පීඩනය සකස්‌ කළෙත් තෘෂ්ණාවයි, ඉන් මිදීමට සමාධිභාවනාවන් කෙරෙහි සකස්‌ වුණෙත් තෘෂ්ණාවමයි කියලා හිතන්න, ඒ ඔබ දකින්නේ තෘෂ්ණාවෙන් මිදීමේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. ඔබ එක සිතිවිල්ලක්‌ නුවනින් සකස්‌කොටගත් සැනින්, අර්ථවත් ලෙස මාර්ගයට අවතීර්ණ වෙනවා. මොකද ඔබ අතීතයේ රූපී, අරූපී සංඥා ස්‌පර්ශ කර අත්දැකීම් තියෙන නිසා. ඒවා අනිත්‍යයි කියන සංඥාව මතුකරගැනීමට ඔබට අපහසු නැහැ. එසේ නොවුනහොත් ඔබ අතීත භවයන්හිදී පටලවාගත් සේ, මෙවරද පටලවාගනු ඇත. භාවනා කිරීමට කැමැත්ත අත්‍යවශ්‍යය. එහෙත් ඔබගේ සිත සමාධිමත් භාවයට පත්වූ සැනින්, එම කැමැත්ත අනිත්‍ය සංඥාවට යොමුකිරීමට ඔබ දක්‍ෂ විය යුතුය. කැමැත්තෙත්, අකමැත්තෙත් අනිත්‍යභාවය ඔබ විදර්ශනාවට ලක්‌කළ යුතුය. ඒ නිසා අනිත්‍යභාවයට පත්වෙන සමාධිමත් සිත උපයෝගිකරගෙන ප්‍රඥාවේ ඇත්ත සොයායැමයි ඔබ කළ යුත්තේ. ඔබ අතීතයේ නොකළ එකම දෙයත් එයමයි. එම නිසා අතීතයේ නොකළ එකම දෙය වර්තමානයේ කරන්න. තමා තමාව කමටහනක්‌ කරගන්න.

දුර බලන්න අවශ්‍ය නැහැ. ළඟ බලන්න අවශ්‍යත් නැහැ. තමා තමා දෙස බලන්න. මොකද ඔබ ගොඩනගාගත් ලෝකය තිබෙන්නේ තමා තුළ නිසා. තෘෂ්ණාව නිසා තමා තුළ තමා සකස්‌කොටගෙන ඇති ලෝකය දෙස බලන්න. ඒ ලෝකය තුළ ඇස, කන, නාසය, දිව, මනස, කය තිබෙනවා. ඒ ලෝකය තුළ ඉර, හඳ, තරු, අම්මා, තාත්තා, දරුවා සිටිනවා. ඔබ මේ සියල්ල මගේ ලෝකය තුළ බැඳගෙන සිටින්නේ තෘෂ්ණාව නැමැති යදමින්. තෘෂ්ණාව නැමැති සංසාරයක්‌ පුරාවට ශක්‌තිමත්ව වැඩුණු යදම ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන්කර සිඳ දමා ගතහොත් ඔබට ඉහත ලෝකය අතහැරෙනවා. 

නමුත් රහතන් වහන්සේටත් ඇසක්‌, කනක්‌, දිවක්‌, නාසයක්‌, මනසක්‌, කයක්‌ තිබෙනවා. අහස, පොළොව, අම්මා, තාත්තා ඉන්නවා. නමුත් මේවා මගේ කරගත් තෘෂ්ණාව ක්‍ෂයවෙලා. ලෝකයට අයිති දුකෙන් නිදහස්‌ වෙලා. ඔබ භාවනා කිරීමට පෙර, දුකත්, දුකට හේතුවත් වෙන්කොට හඳුනාගන්න. මේ දෙවල් මෙනෙහි කරන්න පිංවත් ඔබට එරමිනියා ගොතාගෙන ඉන්න අවශ්‍යම නැහැ. විවේක සෑම මොහොතකම මේ කාරණා ගැන මෙනෙහි කරන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com


මහ රහතුන් වැඩි මග ඔස්‌සේ
භාවනාවට පෙර...
සිත තැන්පත් නොවීමත් භාවනාවට ආයෝජනයක්‌ කරගන්න
'සතර අපායෙන් මිදෙමු' - 73 කොටස
ආනාපාන සති භාවනාව කරන්න සුදුසු ඉරියව්වකින් වාඩිවුනාට පස්‌සේ පිංවතුන් විශාල පිරිසකට තිබෙන ප්‍රශ්නයක්‌ තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ සිත නොපිහිටා භාහිර අරමුණක්‌ ඔස්‌සේ සිත දිවයැම. මෙතැනදී ඔබ නොසන්සුන් වෙන්න පුළුවන්. අලසවෙන්න පුළුවන්. භාවනාව කෙරෙහි උදාසීන වෙන්න පුළුවන්. මේ සියල්ල ඔබ තුළ සකස්‌වෙන්නේ පංච නීවරණ වශයෙන්. අරමුණු වේගයෙන් සකස්‌ වෙනවාය කියන්නේ, ඔබ තුළ ඇලීම් ගැටීම්වල ස්‌වභාවය වැඩිය කියන කාරණයයි. 

මෙතැනදී ඔබ ඇලෙන්නේ හෝ ගැටෙන්නේ රූපයකට. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත මාරයාය කියලා. එහෙම නම් ඔබ දක්‍ෂ වෙන්න ඕනේ තැනපත්භාවයෙන් තොර ඔබේ සිත මාරයා වශයෙන් දකින්න. දැන් මේ මාරයා තමයි ඔබට බාධා කරන්නේ, සිත සමාධිමත්භාවයට පත්වන්නට ඉඩ නොදී. මේ හඳුනාගැනීම ඔබ කළාට පස්‌සේ ආනාපානසති භාවනාවෙන් සිත බැහැර කරලා විවේකීව, වේගවත් සිතිවිලි දෙස බලා සිටින්න. 

ඔබට ධර්ම මාර්ගයේ අවබෝධය කරා යැම වැළැක්‌වීමට මාරයා උපක්‍රමශීලී වෙනකොට ඔබ දක්‍ෂ වෙන්න ඕනේ මාරයාට වඩා උපක්‍රමශීලී වීමට. මාරයාට මාර ධර්මයෙන්ම විරුද්ධ දිශාවට යැමට මාර සිත රැවැට්‌ටීමට ඔබ දක්‍ෂ විය යුතුයි. විවේකීව වාඩිවෙලා වේගයෙන් අරමුණු ගලාගෙන එන සැටි බලා සිටින්න. ඒවායේ ඇතිවීමත්, වැනසීමත්, එම සිතිවිලි සකස්‌වෙන වේගවත්භාවයත් දකිමින් ඔබ ඔබට චෝදනා කරගන්න. ගැටෙන්න එපා. ඔබ තව තව ප්‍රබෝධමත්ව සිතිවිලි දෙස බලන්න. සිතිවිලි සකස්‌වීමේ වේගවත්භාවය කියන්නේ මාරයාගේ වේගය බව දකින්න. මේ වේගවත්භාවයේ වේගයට සමාන වේගයකින් මාරයාගේ ලෝකයේ නැවත උපතකට අවශ්‍ය සංස්‌කාර ධර්මයන් තමන් රැස්‌කොට ගන්නා බව දකින්න. ඔබේ සිතිවිලි ඇලීම්, ගැටීම් ඔස්‌සේ වේගවත් වෙනවාය කියන්නේ අනාගත දුක්‌ උදෙසා වේගවත්ව සංස්‌කාර රැස්‌කිරීම බව දකින්න. ඔබ මුලින්ම භාවනාවට වාඩි වුණේ ආනාපාන සති භාවනාව කරන්නයි. සිත තැන්පත් කරගන්න බැරිව ගියා. නමුත් ඔබේ දක්‍ෂභාවය නිසා දැන් කුමක්‌ද සිද්ධවෙන්නේ. ධම්මානුපස්‌සනාවයි, වේදනානුපස්‌සනාවයි, චිත්තානුපස්‌සනාවයි වැඩෙන්නේ. 

ඔබ සිතේ සකස්‌වෙන ගොරහැඩි චංචල සිතිවිලි දෙස බලා සිටියදී එම සිතිවිලිවල චපල බව, රාගික බව, තෘෂ්ණාධික බව, මෛත්‍රීසහගත බව. මේවා දෙයාකාරයක සිතිවිලි. ඒවායේ ඇතිවීම, නැතිවීම දකිනකොට ඔබ තුළ වැඩෙන්නේ විදර්ශනාවයි. ඔබ විනිවිද දකිනවා, සිත විමර්ශනයට ලක්‌කරනවා. මෙහෙම තමයි ඔබ මාර ධර්මයන්ට පහරදිය යුත්තේ. 

මුලින්ම ඔබ ආනාපාන සති භාවනාව කරන්න ගිහින් පංච නීවරණ නිසා එයට අවස්‌ථාව ලැබුණේ නැහැ. ඔබ දක්‍ෂ වුණා එම බාධකය වඩාත් ඉහළ ජයග්‍රහණයක්‌ කරා ඔසවා ගන්න. ඒ කියන්නේ විදර්ශනාවට සිත යොමුකරන්න. මේ දක්‍ෂභාවය ඔබ ලබන්න නම්, සිත කියන්නේ මාරයාය කියන කාරණය කමටහනක්‌ ලෙස ජීවිතයට එකතුකරගන්න ඕනේ. එහෙම එකතුකර ගතහොත් ඔබට පුළුවන් භාවනාවට එරෙහිව එන පංච නීවරණයන් ලෙහෙසියෙන් යටපත්කොට දමන්න. 

ඔබ උදාහරණයක්‌ හැටියට හිතන්න, භාවනාව කියන්නේ ක්‍රීඩාවක්‌ය කියලා. ඔබේ ප්‍රතිවාදියා තමයි මාරයා. ප්‍රතිවාදියා නිරතුරුවම උපක්‍රම යොදන්නේ ඔබව පරාජයකොට, තමා ජයගන්න. මෙතැනදී ප්‍රතිවාදියා ඔබට එල්ල කරන උපක්‍රමය තමයි පංච නීවරණ. පංචනීවරණ වලින් මාරයා ඔබට දමා ගසද්දී, ඔබට තිබෙන්නේ සංසුන් ඉරියව්වෙන් මාරයාගේ ඉරියව් දෙස බලා සිටීම පමණයි. ඔබේ දැවීයැම ගැන ඔබ සිතන්න එපා. පරාජය ජයග්‍රහණය ගැන ඔබ සිතිය යුතු නැහැ. මොකද පරාජයත්, ජයග්‍රහණයත් යන දෙකම අනිත්‍යභාවයට පත්වන ධර්මතාවයන්. ඒවා අයිති මාරයාටයි. ඔබ මේ උත්සහ ගන්නේ ජය පරාජය දෙකින්ම මිදී අවබෝධයෙන් නිදහස ලබාගැනීමටය. අවබෝධයෙන් නිදහස්‌ වීම යනු ධර්මයේ අර්ථයයි. 


ඔබ මේ ක්‍රමවේදය යොදාගනිමින් ආරක්‍ෂා වෙන තරමට, මාරායාට හතිවැටෙන බව ඔබ දැනගත යුතුය. පිංවත් ඔබ වේගවත්ව ඇතිවන අරමුණු දෙස, ඒවා ඇතිවීම, නැතිවීම දෙස බලා සිටින්න. මද සිනහ පහළකරමින් දකින්න. ප්‍රබෝධමත්ව දකින්න. මාර ධර්මයන් හේතුවෙන් මොහොතක්‌ හෝ කම්පා නොවන්න. පසුතැවිලි නොවන්න. කෙළෙස්‌ විඩාවට පත්කොට, තැන්පත් සිතක්‌ සකස්‌කොටගෙන නැවත අවශ්‍ය භාවනාවට යොමුවන්න. 

මොනම හේතුවකින්වත් මෙය මෙසේ වියයුතුයි කියා දෘෂ්ටිගත වන්න එපා. කාලසටහන් සාදාගෙන භාවනාවට යොමුවෙන්න එපා. සියලු සංස්‌කාරයෝ අනිත්‍යයි කියමින්, දකිමින් භාවනාවට යොමුවන්න. පිංවත් ඔබ භාවනා කරන විට ඉදිරියට එන පංච නීවරණයන්ගේ ස්‌වභාවය මත ඔබේ ක්‍රමවේදයන් වෙනස්‌ කරගැනීමට දක්‍ෂ වෙන්න. එහෙම ක්‍රමවේදයන් වෙනස්‌ කරගැනීමට ඔබ අදක්‍ෂ වුවහොත් ඔබ තුළ ඇතිවන ගැටලුවලදී ඔබ ගැටෙනවා. එය හරිම අවාසනාවක්‌. ඔබ මේ ඇලීම හැටියටත්, ගැටීම හැටියටත් අත්දකින්නේ ධම්මානුලපස්‌සනාවයි. වේදනානුපස්‌සනාවයි. නමුත් ඔබ මේ උතුම් විදර්ශනා දැක්‌ම අතහැරලා, මගහැරලා ධර්මයත් සමග ගැටෙන දිශාවට යොමුවෙනවා. ධර්මය ඔබට ස්‌පර්ශ වෙන්නේ ගැටෙන්න නෙවෙයි. අවබෝධ කරගන්නයි. 

මෙය සටහන් තබන භික්‍ෂුව ලැබූ යම් අවබෝධයක්‌ වෙත්නම්, ඒ අවබෝධයට මහෝපකාරී වූයේ සිතේ ඇතිවූ ඇලීම්, ගැටීම් ස්‌වභාවයන්ගේ තීව්‍රභාවයන්මය. මාරධර්මයන් නිසා භික්‍ෂුවගේ සිතේ ඇති වූ ඇලීමේ, ගැටීමේ ස්‌වභාවයන් දෙස ධර්මානුකූලව විදර්ශනා ඥානයෙන් බලමින් එම ඇලීම් ගැටීම් මගේ කර නොගෙන, ඒවායේ නිර්මාතෘවරයා දෙසටම එල්ල කිරීමට භික්‍ෂුව දක්‍ෂ විය .එම ක්‍රියාවලිය කොතෙක්‌ සුක්‍ෂම, දක්‍ෂ ආකාරයට භික්‍ෂුව කළාද කිවහොත් අවසානයේදී, මාරයාගේම ඇලීමේ ගැටීමේ ස්‌වභාවය තීව්‍රවී, මාරයා අමතක නොවන පාඩමක්‌ භික්‍ෂුව වෙතින් ඉගෙන ගත්තේය. ඔහු දැන් බියට පත්වී හමාරය. ඔහු බියට පත්කළේ ඔහුගේ ධර්මතාවයන් මගේ කර නොගෙන, ඔහුටම පෙරළා යෑවීම නිසාය. පෙරලා ගැසීම නොවේ. පෙරළා යෑවීම නිසය. පෙරලා ගැසීම යනු මාරයා සතුටුවන දෙයයි. මොකද එතැන ඇත්තේ ගැටීමයි, ව්‍යාපාදයයි. මාර ධර්මයන් පැමිණි විලසින්ම පෙරළා යෑවීම මාරයා ගැටෙන ස්‌වභාවයයි. මාරයා පීඩාවට පත්කරන ස්‌වභාවයයි. 

ඉන්ද්‍රජිත් සුබසිංහ



සදහම් සඟරා - Online