ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

ආශ්වාදයේ ආදීනවය සොයා තුච්ඡ සංසාර දුකින් මිදෙන්න

සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරාව ඉතා දුක්‌බර සසරින් මිදියැමේ සුන්දර හා ශෝභමාන මාවත කවරයකුගේ වුව සිත් තුළ විවෘතව ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරන මේ ශීලෝපශෝභිත මහයතිවරයන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහන වන අරණයකදීය. නම් ගොත් හෝ රුව පවා හෙළි කිරීමට අකමැතිවූ උන්වහන්සේගේ මුවමඬලින් ගලා ගිය අමා සදහම් දියෙන් බිඳක්‌ අපි ඔබ සිත් අභිමුව තබමු.

සංවාද සටහන - සුගත් වීරසූරිය

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතය කොතරම් නම් අසිරිමත් වූවක්‌ද? සියල්ලම සදාතනිකව අතහැර දැමීමෙන් ලත් අනන්ත ප්‍රඥව, අනන්ත කරුණාව, අනත්ත මෛත්‍රිය ආදී අහස පොළොව පවා නුහුලන ඒ මහා ගුණ කඳින්ම ඒ අමාමෑණියන් වහන්සේගේ ජීවන අසිරිය සැදුම් ලැබීය. අනවරාග්‍ර නැතහොත් අගක්‌ මුලක්‌ සෙවිය නොහැකි සාංසාරික ජීවිතයේ ඇති අති මහත්වූ භයංකාරත්වය පිළිබඳව උන්වහන්සේ සත්ව ජීවනය අවදි කළේද එම අසිරිමත් ගුණ සයුර නිසාමය.

එය මනරම් සැඳෑ කාලයක්‌ ව තිබුණේය. සැඳෑ වලා කඩක්‌ සේ රත් පැහැ සිවුරු හැඳ පොරවා ගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එම මොහොතේද වඩිමින් සිටියේ සදහම් චාරිකාවකය. සංයත නිහඬ ගමනින් යුතුවූ ශීලෝපශෝභිත සඟ මුනිවරුන් සිටියේ උන්වහන්සේට පසුපසින් පෙළගැසීය. බුදුන් වැඩි එමඟ එක්‌ තැනෙක වූයේ අතිශය භයංකර වූ මහා ප්‍රපාතයකි. පෘථග්ජන භික්‌ෂුහු නම් ඒ ප්‍රපාතය දුටු සැණින්ම මහත් සේ බියට පත්වූහ. තැතිගත්හ. ස්‌වකීය හදවත්ව වූ සැලුම් වෙව්ලුම් කෑ එම ස්‌වරයෙන්ම උන්වහන්සේලාට බුදුරදුන් ඇමතුණේ ඉබේටමය. 

පින්වත් හිමියනි, භාග්‍යවත් බුදුපියාණෙනි, මෙතරම් බියකරු වූ ප්‍රපාතයක්‌ අප නම් කිසිදාක දැක නැත. ඉදින් හිමියනි, මහා කරුණාවෙන් පවසන්න අපට, මේ මහා බියකරු ප්‍රපාතය හැර තවත් ප්‍රපාත මේ අනන්ත ජීවන ලෝකයේ තවත් තිබේද?' පුහුදුන් ඒ භික්‌ෂුහු විමසූහ.

'පින්වත් මහණෙනි, පින්වත් මහණෙනි මෙහි ඇත්තේ කවර නම් බියකරු බවක්‌ද? මීටත් වඩා අනන්ත වූත් අප්‍රමාණ වූත් භයංකර ප්‍රපාත ගණනාවක්‌ම මේ ලෝකය තුළ තිබෙනවා.

සවන් ගුල් තුළට අමෘතය ඉසින්නාක්‌ බඳුවූ මහා කරුණාවෙන් පිරීගිය බුදුපියාණන් වහන්සේගේ ඒ මුදු සුමුදු ස්‌වර ඇසෙත්ම භික්‌ෂුන්ගේ සිත් නිවිණි. ඒ සුමධුර දම් දෙසුම සංසාර දුක්‌ ගිනි නිවමින් බුදු මුවින් වැගිර ගලා ගියේය. 

'ඉඳින් මහණෙනි, මේ සාංසාරික සත්වයා කෙළවරක්‌ දකින්නෙ නැතිව ජාති දුකට ගොදුරු වෙනව. ජරා දුකටත් ගොදුරු වෙනව. ව්‍යාධි දුකටත් පත්වෙනව. මරණ දුකටත් පත්වෙනව මහණෙනි. සත්ත්වයා මුහුණ දෙන මේ සාංසාරික දුක්‌ අර ඈතින් පෙනෙන ප්‍රපාතයට වඩා අප්‍රමාණ බිය ඇති ප්‍රපාත වෙනවා. එය එසේමැයි මහණෙනි, එය එසේමැයි.

සංසාර දුක අවබෝධ කරගත නොහැකි වී නිමක්‌ නැති දුක්‌ පිරිපතම අනුභව කරන පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ සදහම් දෙසුම සදාතනික වූ අකාලික වූ යථාර්ථයෙන් කෙතරම් පිරී තිබේද? බුදුරදුන් ජාතිය ලෙස දේශනා කොට වදාළේ ඉපදීමය. බුදුපියාණන් වහන්සේ තවදුරටත් වදාළේ මේ ඉපදීම තරම් භයංකර ප්‍රපාතයක්‌ මේ විශ්වය තුළ නැති බවයි. සැබැවින්ම මේ ඉපදීම මෙතරම්ම බියකරු ප්‍රපාතයක්‌ වන්නේ කෙසේදැයි ඔබ මොහොතකට කල්පනා කළාද? 

සොබා සොඳුරෙන් පිරී ගිය ලෝකයේ සොබාදම විසින්ම නිමවනු ලැබූ ප්‍රපාතයකට ඔබ වැටුණොත් වැටෙන්නේ එකවරක්‌ පමණකි. ඒත් ඔබ මේ අතිදීර්ඝ සංසාරය තුළ ජාතිය නැතහොත් ඉපදීම නම් ප්‍රපාතයට කොතෙක්‌ නම් වර වැටෙනවාද? ඔබ එලෙස වැටෙන්නේ වරක්‌ දෙවරක්‌ නොවේ. ඒ වාර ගණන අනන්තය. බුදු නුවණකින් පවා බැලුවත් ඒ වාර ගණන මෙතරම් යෑයි කියන්නට බැරි තරම්මය. අනෙක්‌ පසින් මෙම ජාති ප්‍රපාතය තුළ භවයෙන් භවය ඔබ වැටෙන්නේ ඒකාකාර ජීවිතයකින් නොවේ. නොයෙක්‌ වූ සත්ව වෙස්‌ ගෙන එහි වැටෙන ඔබ වරෙක ලෝකය තුළ අංග විකලයකු, කෙළතොලුවකු, දුගියකු, මගියකු මෙන්ම යාචකයකු, කොරකු හෝ අන්ධයකුදු වන්නට බොහෝ සෙයින්ම ඉඩ තිබෙන්නේමය. මේ හැම සංසාරික තිළිණයක්‌ම ඔබට ලැබෙන්නේ සාංසාරය තුළ සැරි සරමින් ඔබ වැපිරූ බීජවලට අනුවය. එනම් ඔබම රැස්‌ කළ කර්මයන්ගේ අස්‌වැන්න ඔබ ලබන හැම උපතකදීම ඔබට නිසැකවම ලැබේ. ස්‌වාභාවික පරිසරයේ ඇති මහා ප්‍රපාතයකට ඇදවැටීමෙන් සත්ත්වයකු සුළු කාලයක්‌ තුළ මහත්වූ දුකක්‌ විඳ හෝ මියයයි. ඒත් මේ ජාති දුඃඛය නමැති හෙළට වැටෙන සත්වයන් කොතෙක්‌ නම් කටුක දුක්‌ අත් විඳිනවාද? එහිදී ඔවුනට ලැබෙන කර්ම නීතියේ දඬුවමම කොතෙක්‌ නම් තියුණද? උපත නමැති බියකරු හෙළෙහි වැටී ජීවත්වන කාලය තුළදී එයින් බේරී පලා යැමට කිසිවෙකුටත් නොහැකිය. අනෙක්‌ අතින් ඒ ඒ කර්මය විසින් සත්වයාට ලබාදෙන දඬුවම්ද පුදුමය. අනේකකාර භයංකාරත්වයන්ගෙන් යුතු ය. ඇඟ ලොමුඩැහැගන්වනු සමත්ය. 

මේ කතා පුවත මඳක්‌ කියවා බලන්න. මෙය කෝනාගම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදුවූ ප්‍රවෘත්තියකි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයද එදා බොදු සිව් පිරිසෙන් සමන්විත වී තිබිණි. ඒ අතර වූ එක්‌ භික්‌ෂුණියක අර්හත් බව ලබා සංසාර දුකින් සදහටම අතමිදී සිටියහ. දිනක්‌ උන්වහන්සේ තවත් භික්‌ෂුණියක සමග බෝමළුවක්‌ හරහා ගමන් වඩිමින් සිටියහ. පසුපසින් ගමන් කළ ඒ භික්‌ෂුණිය තවමත් සිටියේ පුහුදුන් තත්ත්වයේය. අර්හත් භික්‌ෂුණින් වහන්සේගෙන් එක්‌වරම ගිලිහුණේ කිවිසුමකි. එයින් කෙළ බිඳිත්තක්‌ ගිලිහී බෝමළුවට වැටුණේය. ඒ දුටු පුහුදුන් භික්‌ෂුණියගේ කෝපය ඇවිස්‌සිණ. ඈ එතැනින් නතර වූයේ නැත. බෝමළුවෙහි කෙළ ගැසූ මේ ගණිකාව කවුරුන්දැයි ඈ ගුගුලාය. 

රහත් භික්‌ෂුණියට එය ඇසුණත් ඒ අනන්ත උතුම් රහත් බව නිසාම උන්වහන්සේ එය නෑසුණු තරම් වී. කාලය හෙමි හෙමින් ගලා ගියේය. අර්හත් මෙහෙණින් වහන්සේ පිරිනිවන් පා වදාළහ. පුහුදුන් භික්‌ෂුණිය මරණයට පත්වී කෙළින්ම ගියේ නිරයටය. එහි පමණ කළ නොහැකි කාලයක්‌ නිරාදුක්‌ විඳ ඇය අවසන මිනිස්‌ ලොව උපත ලද්දාය. ඇය එලෙසින් මිනිස්‌ ලොව උපන්නේද සාමාන්‍ය තත්ත්වයකින් නොවේ. උසස්‌ම පවුලක උපත ලද ඈට අතිශය සොඳුරු රූ සපුවක්‌ද ලැබී තිබිණ. එහෙත් ඇයට කවරදාකවත් විවාහ ජීවිතයකට පිවිසී සොම්නසින් ජීවත්වන්නට ලැබුණේම නැත. කර්මයක මහත නම් ඇයට සිතුණේම ගණිකාවක සේ වරදෙහි බැඳෙමින් ජීවත්වන්නටමය. එතැන් පටන් ඇය ලැබූ මිනිස්‌ ජීවිත බොහොමයකදී ඇයට උරුම වූ ඉරණම වූයේ එයයි. බලන්න 'මේ ගණිකාව' මෙය එක්‌ වචනයක්‌ පමණි. එයින් ලැබුණු දුක කොතරම් ඇය සොය සොයා භවයෙන් භවය ලුහුබැඳ ගියාද? 

ජාතිය නමැති භයංකර ප්‍රපාතයට වැටී සිටින ඔබ අතින්ද මෙබඳු අකුසල් සිදුවී නැතැයි කියන්නට බැරිය. එසේ සිදුවී නැත්නම් ඔබට නිරාමිස සතුටක්‌ ලැබිය හැකිය. එමෙන්ම ඔබේ සංසාර ගමන කෙටි වන්නේද එවන් තත්ත්වයක ඔබ සිටින්නේ නම් පමණකි.

ජාතිය නමැති ප්‍රපාතයට ඇදවැටීමෙන් මේ ඔබ මුහුණදෙන සාංසාරික භයංකාරත්වයේ එක්‌ පැත්තක්‌ පමණකි. තවත් කොතෙක්‌ නම් එබඳු වූ පැතිකඩ තිබේද? ඒ ජාත්‍යාදී දුකින් ගහන ප්‍රපාතයට නිබඳ ඇදවැටෙන ඔබට ලෝකය තුළ ඇති ඔබ කැමැති ඕනෑම දෙයක්‌ ඔබට ලබාගත හැකිද? ඔබ ප්‍රිය උපදවන කෙතරම් නම් දැ මේ විසිතුරු මායාවන්ගෙන් පිරී ගිය ලොව තුළ තිබේද? බොහෝවිට ලොව උපදින ඔබ රූපරාගයෙක්‌ මත්වී ජීවත්වෙයි. ඒ අනුව ඔබ ඒ ඒ රූප ලබා ගන්නට කොතෙක්‌ නම් වෙර දරනවාද? 

එතෙකුදු වුවත් එයින් පරාජයට පත්ව ඔබ ශෝකයෙන් උමතු බවට පත්වෙයි. නිරන්තරයෙන් දැවෙන්නට පටන් ගනී. බුදුපියාණන් වහන්සේ පරිදාහ දුක නමින් සදෙසා වදාළේ මේ දුකමය. සාංසාරික අනාථ බව නිසා ජාතිය නමැති ප්‍රපාතයට ඇදවැටෙන ඔබ සොයා භවයෙන් භවය පැමිණෙන මේ දුක ඇත්තටම ඇවිලෙන මහා ගිනි කඳකට වඩා දැඩි නොවේද? එනම් එබඳු ගිනි කඳකට හසුවුවහොත් ඒ තෙම දැවී යන්නේ එක්‌ වරක්‌ පමණක්‌ය. එතෙකුදු වුවත් මේ පරිදාහ දුකින් ඔබේ මුළු ජීවනයම දහස්‌ සහස්‌ සුවහස්‌ වර දැවී නොයන්නේද?

එහෙයින් බුදුපියාණන් වහන්සේ වදාළේ සත්ත්වයා නිරන්තරයෙන් ඇදවැටෙන ජාතිය නැතහොත් ඉපදීම නමැති භයංකාර ප්‍රපාතය තරම් තවත් ප්‍රපාතයක්‌ මේ විශ්ව ධාතුවෙහිම නැති බවයි. මෙබැවින් ඔබලාට මේ මහා සංසාර අගාධයෙන් ගොඩනැඟී ගත හැක්‌කේ එහි ඇති බිය හා දුකම ගවේෂණය කිරීමෙනි. ඒ උදෙසා ඔබ කළ යුත්තේ සංසාර ජීවිතය තුළින් ආශ්වාදය සෙවීම නොවේ. ඒ ආශ්වාදය තුළ වන ආදීනවය සෙවීමයි. එහිලා ඔබගේ මසැස පමණක්‌ නොව සිතද තියුණුව මෙහෙයවන්න. එසේ වන්නේ නම් භයතු පට්‌ඨාන ඥනය ලැබීම ඔස්‌සේ මේ හිස්‌ම හිස්‌ තුච්ඡ සංසාර දුකින් ඔබට ඉක්‌මනින්ම අතමිදෙන්නට හැකිවනවා ඇත.
සදහම් සඟරා - Online