ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

දුර්ලභ මිනිස්‌ භවයෙන් අනුන්ට කඹුරනවාද?

පූජ්‍ය ආචාර්ය 
බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි

මෙම උතුම් මිනිස්‌ භවය මෙලොව වසන අප වැඩි දෙනෙක්‌ ගෙවන්නේ ඉතා දුකසේය. එසේම බලවත් දුක්‌ඛ සන්තාපයකින්ය. ඒ පිළිබඳව සිතන විට පෙනී යන්නේ පරණ ණයක්‌ වැල් පොලියක්‌ සමග ගෙවන ආකාරයෙන් අප මෙම භවයේත් කළ අතීත අකුසල් ගෙවා දමන බවය. එක්‌තරා මහා විද්‍යාලයක දේශනයකදී පාසල් දරුවන්ගෙන් මා ඇසූ ප්‍රශ්නයක්‌ නම් දරුවනේ ඔබලා වැඩි දිනක්‌ ගතකරන්නේ සතුටින්ද? දුකින්ද? කියායි. එම අවස්‌ථාවේ සියලුදෙනාම කෑගසා කීවේ අසතුටින් සිටිනා බවයි. ඇත්තෙන්ම එය තමා සත්‍යය. ඒත් පුදුමයට පත්වූ මා පෙන්වාදුන්නේ මාගේ ජීවිතයේ සතුටුම කාලය පාසල් කාලය බවය. මෙම අසරණ දරුවන් පාසල් දිවිය අවසන්ව වැඩිහිටියන් වූ විට මුහුණ පෑමට සිදුවන දුක්‌ඛ දෝමනස්‌සයන් නිසා ඔවුනට සිතේවි තම පාසල් දිවිය තමයි සාපේක්‌ෂව හොඳම සතුටු කාලය බව.

කෙසේ වුවද බුදුරජාණන් වහන්සේ පහදාදුන් දුක්‌ඛ සත්‍යය එයයි. මත්වතුර, මත්ද්‍රව්‍ය ගන්නා අය සමග පැවැත්වූ සමීක්‌ෂණවලදී පෙනී ගියේ එම අය තාවකාලික සතුටු විනෝදාස්‌වාදයක්‌ ලැබීමට පියවි මිනිස්‌ ලොවේ දුක්‌ඛ වේදනාව අමතක කිරීමට එසේ ඇබ්බැහිවූ බවයි. එහෙත් එම හුදු තාවකාලික සතුට සදාකාලික විනාශයක්‌ බව ඔවුන් තේරුම් නොගන්නා බවයි අපහට හැඟීගියේ. මේ මිනිස්‌ ලොවේ පෙර කළ පව් කෙලවරක්‌ නොමැතිව ගෙවමින් යන බව සිතාගැනුම යහපති. එම නිසා සෝද සෝදා යළි මඩේ දමන්නාක්‌ මෙන් අවම වශයෙන් කළ පව් (අතීතය) ගෙවන ගමන් අලුතින් පව් (ණය) රැස්‌කර නොගෙන ජීවත්වීමට අප කවුරුත් වගබලා ගත යුතුයි.

මාංශ අනුභවයෙන්, සතුන් මැරීමට අනුබලදීමේ ප්‍රතිවිපාක ඔබ මරණයට පත්වන අවස්‌ථාවේ තනිව හුදකලාව මරණ රකුසා සමග පරදින සටනක්‌ කරන විට ඔබට යස රඟේට තේරුම් යාවි. එහෙත් එය මොනතරම් දුක්‌කන්දරාවක්‌ද? යනු අන්‍යයන්ට තේරුම්කරදීමට ඔබට හෝ මාහට කිසිදා අවස්‌ථාවක්‌ නොලැබෙනු ඇත.

මුළු සෞරග්‍රහ මණ්‌ඩලයම එකම ගොඩකට ගෙන මුංපියලි තරමට වෙන්කර ගණනය කළත් මෙම අග මුල මැද නොමැති අනන්ත සංසාරයේ අතීතයේ ඔබ අප මියගිය වාර ගණන එම සංඛ්‍යාවටත් වඩා වැඩි බව ශ්‍රී මුඛ දේශනාවල සඳහන්ය.

බුද්ධෝත්පාද කාලයක ඉපදී, අතිදුර්ලභ මිනිසත් බවක්‌ ලැබී සද්ධර්ම ශ්‍රවණයට ඇති සියලුම බාධක දුරලා ප්‍රත්‍යන්ත නොවන පතිරූප දේශයක ඉපදී අවුරුදු හැටහැත්තෑවක්‌ වැනි කෙටි ජීවිත කාල පරාසයක අප සියලු දෙනා මේ ගෙවන්නේ අතීත භව වල අප විසින්ම කරන ලද අපරාපරීය, උප්පඡ්ජවේදනීය වශයෙන් ධර්මයේ හැඳින්වෙන අකුසල කර්මවල ශේෂ වූ ඵල විපාකයි.

මේ භවයේ ගෙවා නිමකරලීමට නොහැකි වුවහොත් ඒවා අනාගත භව වලදී නොයෙක්‌ වේෂයෙන් තමන් කරා ඒම අනිවාර්ය වේ. සමාජ උදාහරණයක්‌ වශයෙන් ගතහොත් සමාන කළ හැක්‌කේ පරණ ණය පොලිය සමග ගෙවීමට සිදුවීමයි. ඉදින් සැදැහැවතුනි, ඒ අතරතුර මේ භවයේදීත් තෘෂ්ණාව හේතුකොට ගෙන අප වැඩිපුර කරගන්නේත් ඉදිරි භවවලදී යහපත්සේ ගෙවීමට හැකිවන කුසල නොව තව තවත් වේදනාකාරී අකුසලකර්ම රැස්‌ කිරීමයි.

අද කෙරෙන්නේ අකුසලයන්මය. මුදල් යොදවා කරගන්නා අකුසලයන්මය. උදාහරණ වශයෙන් සම්බුදුපියාණන් අනුමත නොකළ එහෙත් වර්තමානයේ ගජරාමෙට සිදුකරන සතුන්ගේ මරණවලට දායකවෙමින් මාංශ පූජා කරමින්, නැටුම්, ගැයුම්, වැයුම් (බෙර) පෙරහැර පවත්වමින් කරන අකුසල් මූලික පිං නොව පව්කන්දරාවන්ය. අනුවණ බොළඳ පුද්ගලයන් සිතන්නේ වැය කරන මුදල් වැඩිවන්න වැඩිවන්න මීළඟ භවයේදී තව තව ධනය සහිත සිටුවරුන් වී ඉපදෙන බවයි. බණ දේශනාවලදීත් කියවෙන්නේ එයය. එය තෘෂ්ණාව වැඩීමක්‌ බව කියන සහ අසන දෙපාර්ශ්වයම නොදනී. ඇත්තවශයෙන්ම එය කාම තණ්‌හා, භව තණ්‌හා, විභව තණ්‌හාවලින් එක්‌ තණ්‌හාවක්‌ වන භව තණ්‌හාව වැඩීමය.

මේ අනුව මුදල් නොමැති අයට නිවනද නොමැත. කඨින පිංකම්ද නොමැත. දෙව්, බඹලොවද නොමැත. මෙයද අප සම්බුදුපියාණන් දෙසූ අල්පේච්ඡ දහම.

මෙවන් මෝහාන්ධකාරයක්‌ තවත් කොහිද? හැඳ පැළඳ සිටින සිල් වස්‌ත්‍රයකින් හෝ සිවුරු කඩකින් අකුසල කර්ම ඵලදීම වලකාගත හැකි නොවේ. විපාකයෙන් සැඟවී සිටිය හැකි ස්‌ථානයක්‌ද මුළු විශ්වයේම නැත. එය දහමේ සඳහන්ය.

සුපිංවතුනි, ශ්‍රී මුඛ බුදුදහම යනු ඉතා අල්පේච්ඡ ජීවිත ගත කරමින් සසර කතරින් බේරීමට ඇති ඒකායන මාර්ගය මිස සෝබනව හැසිරිය යුතු දහමක්‌ නොවේ. අඳුරින් මිදෙමින් කුසල් රැස්‌කර ගැනුමට සිත නොනැමෙන්නේ නම් අඩු වශයෙන් අකුසල් රැස්‌කර ගැනුමෙන් හෝ මිදෙන්න, ප්‍රඥවන්තවන්න. අවම වශයෙන් පරණ අකුසල් හෙවත් පොලිය සහිත පරණ ණය ගෙවීමට හෙවත් ගොනාපසුපස එන කරත්තයේ වියගහ ගලවා දැමීමටවත් දුක සේ ලැබූ මේ මිනිස්‌ භවයේදී වාසනාවන්ත වන්න. නුවණ මෙහෙයවන්න. 

තෙරුවන් සරණයි
සදහම් සඟරා - Online