ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

අනාගාමී උතුමා හා පංච ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක

අනාගාමී පුද්ගලයා පිළිබඳව බුදු දහම උගත් අය අතර නානා විධ මත පවතියි. අනාගාමී වීම යනුවෙන් හැඳින්වෙන්නේ ඕරම්භාගීය සංයෝජන ධර්ම පහ ප්‍රහාණය වීමයි. මෙම ඕරම්භාගීය සංයෝජන ධර්ම පහෙන් සක්‌කාය දිට්‌ඨි, සීලබ්බත පරමාස හා විචිකිච්ඡා යන සංයෝජන ධර්ම තුන සෝවාන් වීමේ දී දුරු වී යයි. ඉතිරි දෙක වන කාමරාග හා පටිඝ යන සංයෝජන ධර්ම දෙක සකෘදාගාමී වීමේ දී හරි අඩක්‌ පමණ දුරු වී යන අතර මුලුමනින්ම ප්‍රහාණය වනුයේ අනාගාමී මාර්ගඵල මට්‌ටමේදී බව ධර්මයේ සඳහන් වේ. සෝවාන් හා සකෘදාගාමී යන මාර්ගඵල මට්‌ටම් උපදවා ගත් අයට සාමාන්තර ලෞකික ජීවිතයේ දී පුහුදුන් පුද්ගලයා හා සමානවම වෙනසක්‌ නොමැතිව කටයුතු කළ හැකි වේ. එනමුදු ආර්ය පුද්ගලයෝ ලෙස හැඳින්වෙන සෝවාන් හා සකෘදාගාමී උතුමෝ පුහුදුන් පුද්ගලයකුට වඩා ගතිගුණ සිතුම් පැතුම් හා ආකල්පවලින් උසස්‌ මට්‌ටමක වෙසෙති.

අනාගාමී පුද්ගලයාහට තවත් දුරු කිරීමට ඉතිරිව ඇත්තේ පංච උද්ධම්භාගීය සංයෝජන ධර්ම පමණකි. එනම් රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච හා අවිඡ්ජා යන සංයෝජන ධර්ම පහයි. මෙම සංයෝජන ධර්ම පහ ඉතාම සියුම්ය. අණු සහගතව පමණක්‌ කෙලෙසුන් අනාගාමී පුද්ගලයා තුළ ඉතිරි වේ. යම් හෙයකින් අනාගාමී පුද්ගලයා අෂ්ට සමාපත්තිලාභියෙකු නම් එතුමා හට අර්හත්ඵලයට පත්ව සිටින අෂ්ට සමාපත්තිලාභී උතුමන්ට පමණක්‌ සමවැදිය හැකි ලෞකික ධ්‍යාන සමාපත්ති අතර උසස්‌ම ධ්‍යාන සමාපත්තිය ලෙස ධර්මයෙහි විග්‍රහ වන සංඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි බව දක්‌වා තිබේ. මේ හැඳින්වීම තුළ අනාගාමී මාර්ග ඵලලාභී ආර්ය උතුමා බොහෝ සිතේ දියුණුවක්‌ ලද උතුමකු බවට නිගමනය කළ හැකිය. 

මෙහි වැදගත්ම ලක්‌ෂණය නම් කාමරාග හා පටිඝ සංයෝජන ද්වය අතරින් කාමරාග යන්න පවුල් සංස්‌ථාව හා සම්බන්ධව තිබීමයි. යහපත් දූ දරුවන් ලබා යහපත් විවාහ ජීවිතයක්‌ ගත කිරීම ගිහි බවේ සාමාන්‍ය ලක්‌ෂණයයි. නමුත් කාමරාග ප්‍රහීණ බැවින් අනාගාමී උතුමා එක්‌තරා ආකාරයට ඒ සඳහා අභ්‍යව්‍ය පුද්ගලයෙකු වේ. ස්‌ත්‍රියකු පුරුෂයකු පිළිබඳව හා පුරුෂයකු ස්‌ත්‍රියක පිළිබඳව ඇති කර ගන්නා තෘෂ්ණාව කාමරාග නම් වේ. අද වන විට මේ තත්ත්වය කිනම් හෝ පුද්ගලයකු කිනම් හෝ පුද්ගලයකු අරබයා ඇති කරන්නා කායිකව ලිංගිකව එකතු වීමේ කැමැත්ත කාමරාග යන්න වන මට්‌ටමට මේ හැඟීම වර්තමාන ගිහි සමාජය තුළ ඉතාමත් අන්ත තිරශ්චාන ආකාරයට පිරිහී ගොස්‌ තිබේ. පෙර ද්විවිධ ලිංගිත්වයක්‌ තිබූ ගිහි සමාජය තුළ මේ වන විට තෙවන ආදී විකාර රූපී ලිංගික ප්‍රභේදයන් ද පහළව තිබේ. ස්‌ත්‍රිය පුරුෂයන් තුළ කාමරාගී හැඟීම් අධිකව උත්සන්න වීම මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුව වශයෙන් පෙන්වාදිය හැකිය. මේ තත්ත්වය සමාජය තවදුරටත් විකාශය වීමේ දී සමාජ සංකීර්ණත්වයට සාපේක්‌ෂකව අධික වනවා මිසක අඩුවක්‌ නොවේ. සමාජය දියුණු වීම දැනට අර්ථකථනය කර ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතය හැකිතාක්‌ භෞතික ද්‍රව්‍යවලින් පුරවා ගැනීමයි. නමුදු නූතන සමාජය පුරාණ සමාජයට වඩා ආකල්ප වලින් ආපස්‌සට යැමක්‌ ඉතා පැහැදිලිව දක්‌නට ඇත.

කාමරාග සංයෝජන ධර්මය ප්‍රහීණ කර අනාගාමී වීමේ දී ඒ අනාගාමී උතුමා ස්‌ත්‍රිය හෝ පුරුෂ ලිංගික තෘෂ්ණාව නැති අලිංගික ආකල්ප ඇත්තකු බවට පත් වේ. ඒ අලිංගික තත්ත්වය ඉතාමත් සැහැල්ලු නිරාමිස ප්‍රීතිමත් සුවදායි නමුදු නොවිඳින ඉහළම අති ප්‍රනීත අවේදයිත සුවයකින් සමන්විත වේ. මේ තත්ත්වය ස්‌ත්‍රී හෝ පුරුෂ යන ද්විවිධ රූපාන්තරණයකට කොටු වී සීමා වූ මානසික රාමුවක සිට කාමරාග තෘෂ්ණාවෙන් බැඳී අහෝ සැප යෑයි දුකම විඳින සාමාන්‍ය පුහුදුන් ගිහියකුට වටහාගත නොහැකිය. ඒ එබඳු පුද්ගලයා කාමරාගය උසස්‌ දෙයකැයි වරදවා වටහාගෙන එය තණ්‌හා මාන උපාදාන වශයෙන් දැඩිව ග්‍රහණය කරගෙන ඇති බැවිනි. අඩුම තරමින් යම් තරමින් හෝ විදර්ශනා භාවනා වඩා සිත යම් මට්‌ටමකට හෝ දියුණු කර ඇති අයෙකුට නම් මේ තත්ත්වය යම් තරමකින් හෝ වටහාගත හැකිය. ඒ මට්‌ටමකට සිත දියුණු කරගැනීමේ වුවමනාව නූතන දැඩි තරඟකාරී වටාපිටාවක දිවි ගෙවන සාමාන්‍ය ගිහියකුට ඇති වේදැයි ගැටළුවකි. එලෙස යමෙකු කටයුතු කරතත් සමාජයේ එබඳු අයකු අනෙකුත් අයගේ අවඥාවට, නින්දාවට ගැරහීමට ලක්‌වීමේ අවදානමක්‌ ඇත. පවතින මේ ඉවසිලි නොමැති අධි තරඟකාරී ආත්මාර්ථකාමී සමාජයේ බොහෝ දෙනෙකුට වුවමනා කෙටිකාලීන ක්‌ෂණික මාර්ගඵල හෝ වෙනත් අමුතු තාලයේ කියුම් කෙරුම්ය. තොරම්බල් සරුව පිත්තල විඡ්ජාය. නිවැරදි පාලි ත්‍රිපිටක දහම විවේක බුද්ධියෙන් යුතුව අධ්‍යයනය කිරීමට නොවේ. පිරිසිදු බුදුදහම වෙනුවට ගිහි හෝ පැවිදි අයකු කියන අමුතු විකාරරූපි අදහස්‌ වහා ක්‌ෂණිකව සමාජගත වී වේගවත් අයුරින් ව්‍යාප්ත වන්නේ මිනිසුන්ගේ පවතින මේ ආකල්පවල සාවද්‍ය ස්‌වභාවය නිසාය. ඒවා නිවැරදි කළ නොහැකි මට්‌ටමට ආකූල ව්‍යාකූල වැරදි අදහස්‌ ආකල්ප මතවාද වලින් ඔද්දල්ව දූෂිත වී තිබේ. 

ගිහි හෝ පැවිදි බවේ වෙනසක්‌ නොමැතිව යම් කෙනෙකුට විදර්ශනා භාවනා වඩා හෝ බණ අසා හෝ ධර්මයෙහි සඳහන් ලෙස ඊට අවශ්‍ය පිළිවෙත් පුරා අර්හත්වයට පත් විය හැකි බව ධර්මයේ සඳහන්ය. පැවිදි උතුමෙකුහට අර්හත්වයට පත් වූ පසුව ඒ පැවිද්ද තුළ සුවසේ විසිය හැකිය. පැවිදි භූමිය අර්හත් ඵල ලාභයට ගැළපෙන ලෙස බුදුරජාණන්වහන්සේ විසින් අනුදැන වදාරා ඇති බැවිනි. නමුදු අර්හත්ඵලයට පත් වූ ගිහියකුට සත් දිනකට වඩා ගිහි බවේ සිටිය නොහැකිය. එක්‌කෝ සත් දිනක්‌ ඇතුළත ඒ ගිහි උතුමා පැවිදි බවට පත් විය යුතුය. එසේ පැවිදි බව ලැබිය නොහැකි නම් අර්හත්ඵලයට පත් වූ ගිහි උතුමා සත් දින ඇවෑමෙන් පරිනිර්වාණයට පත් විය යුතුය. අර්හත්වයට පත් වූ ගිහියකුට අනිවාර්යෙන්ම පැවිදි බවට පත්වීම අත්‍යවශ්‍ය වන්නේ අර්හත්වය වැනි අති ශ්‍රේෂ්ඨ තත්aත්වයක්‌ දැරීමට ගිහි බව කිසිසේත්ම සුදුසු නොවන බැවිනි. නමුත් ඒ අවශ්‍යතාව අනාගාමී මාර්ගඵලලාභී ගිහියෙකුට නැත. අනාගාමී මාර්ගඵල ලාභී ගිහියෙකුට පැවිදි වී හෝ ගිහියෙකු ලෙසම ආයුෂ ඇති තාක්‌ කල් ගිහියෙකුව විසිය හැකිය. 

අවිහය, අතප්පය, සුදස්‌සය, සුදස්‌සිය, අකනිට්‌ඨ යෑයි ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහක්‌ තිබේ. මේවාට පංච ශුද්ධාවාස යෑයි ව්‍යවහාර වේ. ශුද්ධ නම් කාමරාග හා පටිඝ දෙකින්ම පිරිසිදු වූ බවයි. අනාගාමී උතුමෝ මේ ශුද්ධාවාස භූමිවල උපදිති. මේ ශුද්ධාවාස බ්‍රහ්ම තලවල ආයුෂ ඉතා විශාල වේ. යමෙකු අනාගාමී බවට පත්ව කළුරිය කෙරේද ඔහු තම අවසන් භවය ගතකිරීමට ඉපදෙන්නේ ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහෙන් එකක ය. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට පිවිසෙන පුද්ගලයා ඉන් පිරිනිවන්පාන්නේ අරහත් පුද්ගලයෙකු ලෙස ය. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝක තවත් අංශ කීපයකින්ම සුවිශේෂී වේ. යම් කලෙක බුදු කෙනෙකු පහළ වීමට නියමිත බව කලින් ම දැනගන්නේත්, බ්‍රාහ්මණ වේශයෙන් මනුෂ්‍ය ලෝකයට පැමිණ මනුෂ්‍ය ලෝකයේ පාලක පිරිස ඇතුඵ ජනතාවට, බුදුන් වහන්සේ හඳුනාගත හැකි ලකුණු කියාදෙන්නේත් මෙම ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකවලට අයත් බ්‍රහ්මයන් විසිනි. එසේම ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වී සිටින විට ලෝකයට සත්‍ය කියාදෙන ලෙස ඉල්ලා සිටි සහම්පති බ්‍රහ්ම දිව්‍ය රාජයාත් මෙම ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකවලට අයත් අකනිට්‌ඨා බ්‍රහ්ම ලෝක වාසී බ්‍රහ්මයෙකි. 

මෙම පංච ශුද්ධාවාසයන්ගේ ඉහළම ලෝකය වන්නේ අකනිටා බ්‍රහ්ම ලෝකයයි. මෙහි ආයු කාලය කල්ප 16 000ක්‌ වේ. ඊ ළඟ ශුද්ධාවාස තලය නම් සුදස්‌සිය. එහි ආයුෂ කල්ප 8 000 කි. තෙවන ශුද්ධාවාස තලය සුදස්‌සය. එහි ආයුෂ කල්ප 4 000 කි. අතප්ප බ්‍රහ්ම ලොව ආයුෂ කල්ප 2 000 කි. අවීහ බ්‍රහ්ම ලොව ආයුෂ කල්ප 1 000 කි. අවීහ යන්නෙහි තේරුම 'නැවත පහළට ඇද නොවැටෙන' යන්නයි. එම නිසා යම් ලෝකයකින් පැමිණෙන අනාගාමී පුද්ගලයෙක්‌ මෙම ලොවින් පහළට වැටෙන්නේ නැත. එසේම ඇතැම් අනාගාමී පුද්ගලයෝ මෙම ලෝකයෙන් ද වඩා ඉහළ ගමන් කරති. ඔවුන් හැඳින්වෙන්නේ 'උද්ධම්සෝත' යන නමිනි. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම සූත්‍ර දේශනාවල කල්ප සියයක්‌ තුළ ලොව පහළ වූ සත් බුදුරජාණන් වහන්සේලා පිලිබඳව සඳහන් වේ. විපස්‌සී, සි‚, වෙස්‌සභූ, කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සත් බුදුරජාණන් වහන්සේලාම දුටු දෙවිවරු හා බ්‍රහ්මරාජයෝ දීර්ඝ ආයුෂ තියෙන දිව්‍ය බ්‍රහ්ම ලෝකවල තවමත් වැඩ සිටිති. ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකවලට බුදුරජාණන් වහන්සේ වැඩම කළ අවස්‌ථාවක මීට කලින් පහළ වූ කකුසඳ කෝණාගම ආදී බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කොට ධර්මාවබෝධය ලබා ශුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල සිටි ආදී බ්‍රහ්මයන් විසින් ඒ ඒ බුදුවරුන්ගේ විස්‌තර ප්‍රකාශ කළ අවස්‌ථාවක්‌ සූත්‍ර පිටකයේ සඳහන් වේ. 

දීඝනිකායේ මහාපදාන සූත්‍රය තුළ පවා මීට පෙර වැඩ සිටි බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ විස්‌තර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබේ. සංයුක්‌ත නිකායේ පවා විපස්‌සී බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාදය නුවණින් විමසූ ආකාරය දක්‌වා ඇත. ඊට අමතරව සි‚ වෙස්‌සභූ කකුසඳ, කෝණාගම කාශ්‍යප ගෞතම යන පෙර බුදුරජාණන් වහන්සේලා සියලු දෙනම පටිච්ච සමුප්පාදය ධර්මය මෙනෙහි කොට සම්මා සම්බුද්ධත්වයට පත් වූ ආකාරය සඳහන් වේ. සාමාන්‍ය මනුෂ්‍ය ලෝකයෙහි වැසියකුගේ ආයු කාලය ඉතා සුලු නිසා මේ විස්‌තර පත පොත ඇසුරෙන් දැනගත යුතු නමුදු මේ සියලු දේවල් ශුද්ධාවාස බ්‍රහ්මයන් දැක නරඹා තිබේ. ඒ නිසා ශුද්ධාවාසී අනාගාමී හා අර්හත් බ්‍රහ්ම රාජයන් නිවැරදි පිරිසිදු බුදු දහම දැන් මනුෂ්‍ය ලෝකයෙහි පවතිනවාට වඩා ඉතා පිරිසිදු අයුරින් දන්නා බවට සැකයක්‌ නැත. දැනට මෙරට පිරරිසිදු ථේරවාදී බුදු දහම පවතින්නේ යෑයි පිළිගැනීමක්‌ ඇත. නමුත් දළ වශයෙන් දැනට වසර 2600 කට පමණ ඉහත දී බිහි ව ලෝකය වෙත ධර්මය දේශනා කළ බුදුරදුන්ගේ ඒ දහම් පණිවිඩය ඒ ආකාරයෙන්ම තවමත් සුපිරිසිදුව සුපැහැදිලිව එක අකුරක හෝ දශමයකුදු වෙනසක්‌ නැතුව ඒ වූ ආකාරයෙන්ම බුදු මුවින් ප්‍රකාශ වූ ආකාරයෙන්ම පවතින්නේ යෑයි අපට යථාර්ථවාදී නිගමනයකට පැමිණීම අපහසුය. නමුත් අපට දැනට රැකගත හැකිව හා එසේ බලවත් පරිශ්‍රමයක්‌ දරා ජීවිත පූජාවෙන් 

රැකගෙන පැමිණි ධර්මය දැනට අපට මනුෂ්‍ය ලෝකයෙහි දී දැකගත හැකිය. ඒවා පිළිපැදිය හැකිය. 

නමුත් දැන් මේ මොහොතේ දී බුදු හිමියන් විසින් දේශනා කළ ආකාරයට ම ඒවා නැවුම්ව එලෙසම පවතින්නේ යෑයි පිලිගැනීම අසීරුය. එයට හේතුව දේශ දේශාන්තරගතව විටින් විට භාෂා කීපයකට යළි යළි පරිවර්තිතව පැවත පැමිණීමයි. එසේම මුඛ පරම්පරාගතව දීර්ඝ කාලයක්‌ පැවතීම හේතුවෙන් යම් පමණකට ඒවාට විවිධ ශ්‍රාවක අදහස්‌ මිශ්‍ර වන්නට ඉඩකඩ තිබීමේ අවදානමද මෙහිදී නොසලකා සිටිය නොහැකි තරම් බව අමතක නොකළ යුතුය.
කථිකාචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 
සදහම් සඟරා - Online