ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

විවේකය ඇසුරෙහි නිවී යන කෙලෙස් ගිනි

මෙලොව උපත ලබන සත්වයා තම ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා විවිධ සේවා කටයුතු සිදු කරයි. ලොව්තුරා බුදුන්වහන්සේ වැඩ සිටි කල ඇතැම්හු ක්‍ෂත්‍රිය (රාජ්‍ය බලය හිමි) පිරිසට සේවා කටයුතු සිදු කළහ. ඇතැම්හු බ්‍රාහ්මණ (ජටා පැළැඳගත්) පිරිසට සේවා කටයුතු සිදු කළහ. තවත් අය ගෘහපති පිරිසට සේවා කටයුතු සිදු කළහ. මෙසේ කුදු මහත් සේවා කටයුතුවල නිරත වූහ. ඇතැම්හු වරදවා පිළිපන් මිසදිටු මහණ බමුණන්ට මෙහෙ කළහ.
මිථ්‍යා දෘෂ්ඨිය සමාදන් වූ පිරිස් යටතේ මිථ්‍යා ඇදැහිලි විශ්වාස පිළිගෙන ජීවිතාන්තය දක්වා සේවා කටයුතු කරන පිරිස් ගැන සිතා බලමු. මිසදිටු යාග හෝම බලි තොවිල් සිදු කරමින් මහත් ධනය විය පැහැදම්කොට උත්සව, පෙරහර, සැණකෙළි පවත්වති. බොහෝ ජනයා එබඳු සේවා කටයුතු කරදෙමින් යැපෙති. එයින් මහත් ශාන්ති අපේක්‍ෂා කරති. එහෙත් මේ සැමදෙයක් සිදු කළත් සසර දුකෙන් එතෙර වීම පිණිස කුසල ශක්තිය, පාරමි ශක්තිය ඇති නොවන්නේ ය.
රාග ද්වේෂ මෝහ ආදි කෙලෙස්වලින් පිරි තණ්හා දිට්ඨි මානවලින් බැඳී ගිය මිසදිටු අදහස් ගත් පිරිසකට කොපමණ සේවා සිදු කළත් එයින් තමන්ට විශුද්ධියත් සැනැසීමත් අත් නොවේ. ඒ අය සේවා ලබාගෙන බොහෝ අකුසල් රැස් කරති. මිථ්‍යා දෘෂ්ඨියම වැළඳගෙන කර්මය, කර්ම ඵලය විශ්වාස කිරීමක් නොමැතිව පංච දුශ්චරිතය ම සිදු කරති. දස අකුසල් සිදු කරති. එබැවින් එසේ සේවා සිදුකරන පිරිසත්, ලබන පිරිසත් දෙපිරිසම ගුණ ධර්මවලින් පිරිහී යති. කළු කර්ම රැස් කරති. පුහුදුන් බවට ම පත්වෙති. ප්‍රණීත භාවයට පත් නොවෙති. ආර්ය උතුමන් ඇසුරක් නැති නිසා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් සිත වඩවාගැනීමට හැකියාවක් නොමැත. දුර්වර්ණ භාවයට පත් වෙති. අර්ථ සාධනයක් නොලැබෙන්නේ ය. කොපමණ මුදල් අධර්මයෙන් රැස් කළත්, දෙපිරිසම දෙලොව පිරිහෙති. මෙලොවද තැවෙති. පරලොව ද තැවෙති. කළ අකුසල් කර්මයන්ගෙන් බේරීමට, ගැලවීමට ආරක්‍ෂක ස්ථානයක් නැත.
ජීවිතය යහපත් ලෙස ගත නොකළ නිසා මානසික සුවයත් නිදහසත් ඇත්තේම නැත. සන්සිඳීමක් නොමැත. කාම ගින්නෙන්ම අන්ධ භාවයට පත්වේ. පංච නීවරණයන් නිසා තව දුරටත් සිත හීන භාවයට පත් වී පිරිහී යයි. මෙවන් මිථ්‍යා අදහස් සමාදන් වූ පිරිසට සසර දිගු වේ. කෙළවරක් නොපෙනේ. ආර්යයන් වහන්සේ නොදකිති. ආර්ය ධර්මයේ දක්‍ෂ භාවයට පත් නොවෙති. සසරේ බියකරු ස්වභාව ගැන කිසිදු ආකාරයකින් වැටහීමක් ඇති නොවේ. එම නිසා ජාති, ජරා, ව්‍යාධි මරණයන්ගෙන් නොමිදෙති. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආදි ගිනි එකොළොසින් නිරන්තරයෙන් ම දැවෙති. විනාශයට පත්වෙති. විරාගි දහමෙන් නිදහස් සුවය නොලබති.
තවද මෙලොව ඇතැම් පිරිස් තම චිත්ත සන්තානයෙහි නිරතුරු සිහිපත් කරන කාමාදි අරමුණු තුළින් සැනසීමත් සතුටත් ලැබිය හැකි යැයි සිතමින් එයින් තොර ස්ථිර වූ සැපයක් විවේක සුවයක් නැතැයි විශ්වාස කරති. මෙසේ ලෝකයා සිහිපත් කරන කරුණු කාරණා මොනවා දැයි විමසා බලමු. ඇතැමෙක් පුත්‍ර ලාභය සිහිපත් කරති. භාර්යා ලාභය සිහිපත් කරති. ධන ලාභය සිහිපත් කරති. අධිපති ලාභය සිහිපත් කරති. ගරු බුහුමන් සිහිපත් කරති. නැටුම් ගැයුම් වැයුම් ද කාය බලය ද නිරෝගී ලාභය ද සිහිපත් කරති. මෙසේ කුදු මහත් ලාභ සිහිපත් කරති. මිසදිටු ගත්, එහි සමාදන් වූ මහණ බමුණන් සිහිපත් කරති. එහිම නැවැත නැවැත සිහිපත් කර දෘෂ්ඨිගත වෙති.
මෙසේ සිහිපත් කිරීම් ලොව ඇත. කාමාදි ලෝකවල ආස්වාදය මුල්කරගෙන සත්වයෝ එහි මත් වෙති. අතීත, අනාගත, වර්තමාන වශයෙන් දුප්පත්, පොහොසත්, හීන, ප්‍රණීත, ළදරු, තරුණ, වයස්ගත භේදයකින් තොරව ඉහත කරුණු කාරණා සිහිපත් කර එක මොහොතක සතුටු වෙති. බොහෝ කොට දුක් තැවුල් ලබති. මෙය පුහුදුන් ලෝකයේ ස්වභාව වේ. මෙම කාමාදි අරමුණුවල සුව සොම්නස තාවකාලික බව සිහිපත් නොවෙයි. ඒවා ස්ථිර වූ, සුබ වූ, ආස්වාද ජනක දේ හැටියට සිතීම උපන්දා සිට ලෝකයා පුරුද්දක් කරගෙන ඇත. නිරන්තරයෙන් ම ඒ සඳහා ඇස පිනවා සතුටු වෙති. කන, නාසය, දිව, ශරීරය, මනැස යන ඉන්ද්‍රියන්ට ගෝචර වන රූපාදි අරමුණු සිහිපත් කරමින් ආහාර කොට ගැනීම ලෝකය වැඩීමට හේතු වේ.
මෙවන් ලාභයන් සිහිපත් කිරීමෙන් තව තවත් සිතේ නීවරණ ධර්ම වර්ධනය වීම සිදුවෙයි. තමාට එහි ආදීනවය වැටහෙන්නේ නැත. තමා එහි මිහිරියාව භුක්ති විඳීමට දැඩි කැමැත්තක් ඇති නිසා යථාර්ථයෙන් ඈත් වෙයි. ඒ පසු පස එන දුක්ඛ සහගත තත්ත්වය කෙසේ වත් දර්ශනය නොවෙයි. සිත අපිරිසුදුවීම වර්ධනය වෙයි. ඤාණ දර්ශනය වැසී යයි. රාග සිතිවිලි, ද්වේෂ සිතිවිලි, මෝහ සිතිවිලි සිතන්නට සිතන්නට එහි උමතු භාවයට පත්වෙයි. තමාත් තමාගේ සිතුවිලිවලට අරමුණු වන පිරිසත් රාග, ද්වේෂ, මෝහ ප්‍රහාණය කර නැත. එවැනි අය සිහිපත් කිරීමෙන් තණ්හා, දිට්ඨි, මාන වැඩිවනවා මිසක විරාගයට නොවැටෙයි. වස්තු කාම, ක්ලේෂකාම යන දෙයාකාරයෙන්ම සිදුවන්නේ සිත දුර්වර්ණ භාවයට පත්වීමයි. අඳුරට පත්වීමයි. දහම් ඇස නැතිවීමයි. එයින් සත්වයා මෝඩ භාවයෙහිම ගිල්වා දමයි. ප්‍රඥාව නැති කරයි. සියලු කෙලෙස් නැති කිරීමෙන් ලබන නිර්වාණ සුවය අහිමි වී යයි. දිගු සසරටම වැටෙයි.
ස්ත්‍රී ලාභය මෙනෙහි කරන ලද නන්ද තෙරණුන් වහන්සේගේ සිත ද රාග ගින්නෙන් පෙරැළි ගියේ ය. ආවාහ මඟුල හා අබිසෙස් මංගල්‍යයට දින යෙදී තිබුණත් බුදුන්වහන්සේ ගේ කීමට විරුද්ධ විය නොහැකි නිසා මහණ විය. එහෙත් පෙම්වතිය වන ජනපදකල්‍යාණි කුමරිය කෙරෙහි සිත තදින් ඇලිණ. ඇයගේ සිත ද නන්ද කුමරු කෙරෙහි තදින් බැඳී තිබිණ. මහණ වූ දා සිට ඇය කෙරෙහි සිතන්නට විය. සිතේ විවේකය සන්සිඳීම නැති විය. මහණකමේ සිත අභිරමණය කිරීමද දුෂ්කර විය. සිවුරු හැර යන්නට සිත් විය. ලොව්තුරු බුදුන් වහන්සේ මහා කරුණාවෙන් සසර අනියත බව වටහා දී රහත් ඵලයට සිත නැංවීමට උපදෙස් ලබා දුන්සේක. රාග සිතට නිඟා කොට කාමයෙහි ආදීනව මෙනෙහි කොට සව් කෙලෙස් නසා රහත් ඵලයට පත් වූහ.
දිනක් සොරෙය්‍ය සිටු තෙමේ මහා කච්චායන තෙරුන් වහන්සේ දැක මෙසේ සිතීය. ‘අහෝ! මුන් වහන්සේ මට බිරිඳ වී නම් හෝ මුන්වහන්සේගේ රුසිරි මාගේ බිරිඳට වී නම් කෙතරම් අගේ දැ’යි ස්ත්‍රී ලාභය සිහිපත් කළේ ය. ආර්ය උපවාදය මුල්කරගෙන එකිනෙහිම පුරුෂ භාවය අතුරුදන් වී ස්ත්‍රියක බවට පත්විය. විලියෙන් මිරිකී ගිය ඇය තක්සලා නුවරින් පලා ගියා ය. පුරුෂව සිටිය දී ලත් දරු දෙදෙනකු විය. ස්ත්‍රිව සිටියදීත්දරු දෙදෙනකු ලැබිණි. තමාගේ කුසින් උපන් දරුවන්ට තද සෙනෙහසක් විය. පසුව මහාකච්චායන තෙරුන් වහන්සේ වෙතින් සමාව රැගෙන ස්ත්‍රිලාභයේ ආදීනවය දැක සසර කලකිරී මහණ විය. පසුව පුත්‍රලාභ, ස්ත්‍රිලාභ ආදි සිහිපත් කිරීමෙහි බිය දොස් දැක කිසිවක් කෙරෙහි බැඳීම් සිහිපත් කිරීම් අත්හැර විදසුන් වඩා රහත්ඵලයට පත් වූහ. රහත් වූ පසු, කිසිවකු කෙරෙහි තවදුරටත් ආදරයෙන් සිහිපත් කිරීමක් නැතැයි ප්‍රකාශ කරන ලදී.
දොළොස් අවුරුද්දක් පුත්‍ර සෙනෙහස මෙනෙහි කරමින් දුක් වෙමින් සිටි කුමාර කාශ්‍යප මාතා තෙරණියට ද මාර්ගඵල නිවනට පත්වීමට එයම බාධාවක් විය. එම තෙරණිය පුත්‍රයා කෙරෙහි දැඩි ආදරයක් සෙනෙහසක් දැක් විය. නිරතුරු පුත්‍රයා ගැනැම සිහිපත් කළාය. පුත්‍ර ලාභයම පැතුවාය. දොළොස් අවුරුද්දක් ගියත් ධ්‍යාන මඟඵලයට පත් වීමට නොහැකි විය. පුත්‍රයා නොදැක සොවින් පෙළිණ. මහණ වුවත් ඡන්දරාගය දුරු නොවීය. අයෝනිසෝ මනසිකාරය බහුලව වැඩිණි. එවිට සිතේ විවේක සුවය, විරාගී සුවය, සන්සිඳීම යටපත් විය. සිතේ එකඟතාව විනාශ විය. පුත්‍රයා නොදැක ක්ලාන්තව දුක් පීඩා ඇතිව සිටියාය. සිත විරාගි දහමට නැඹුරු නොවීය. එකල්හි මරණය පැමිණියේ නම් දුක්ඛිත ලෝකය කරාම වැටෙන්නේ ය. එතරම් මේ ක්ලේෂ ධර්මයන් සත්වයා සැපයෙන් පහකර දමන්නේ ය. සුවයක් යයි කියා එහිම මුළා කරවන්නේ ය. මත්කරවන්නේ ය. පිපාසිත කරවන්නේ ය. මෙසේ සිය පුතු ගැන ශෝක කරන තාක් කුමාර කාශ්‍යප මාතා මෙහෙණිය සසර කෙරෙහි වන බියකරු භාවය, ආදීනව තේරුම් නොගත්තා ය.
කුඩා කලම මහණවීමට කැමැත්තක් දැක්වූ කුමාර කාශ්‍යප කුමරුවන් බුදුන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් පැවිදි කරවනු ලැබිණි. නොබෝ කලකින් සව් කෙලෙස් නසා රහත් ඵලයට පත් වූහ. දිනක් වීදියේ යන පුතුනුවන් දැක පුත්‍ර සෙනෙහසින් වේගයෙන් ගොස් අල්ලන්නට සූදානම් වන විට, මේ කිමෙක්ද? වහා ඉවත් වන්න කියා ප්‍රකාශ කරන්නට යෙදුණි. එසේ සිදු කළේ මෑණියන් කෙරෙහි කරුණා සිතින්ම ය. පුත්‍ර සෙනෙහස නිසා ඇය දොළොස් අවුරුද්දක් දුක් වින්දා ය. තෙරණියට වන යහපත දැක කුමාර කාශ්‍යප තෙරණුවෝ එසේ පැවසූහ. මෙතෙක් කලක් සිත තුළ රුවාගෙන විඳ වූ පුත්‍ර ස්නේහය කෙරෙහි කලකිරී සෙනෙහස බිඳ ඡන්දරාගය ප්‍රහීන කොට සව්කෙලෙස් නසා රහත් ඵලයට පත්වීමට කුමාර කාශ්‍යප මාතා තෙරණියෝ සමත් වූහ.
තමාට පිහිට තමා බවද, වෙන කෙනෙකු පිහිට නොවන බවද, මනාව සිත දමනය කළ කල්හි ඉතා දුකසේ ලැබිය හැකි රහත් ඵල සුවයට පත්විය හැකි බව ද ලොව්තුරා බුදුන්වහන්සේ දේශනා කළ සේක. මුළාවට පත්වී තැවෙන දැවෙන සිත් සතන් ඉහත කරුණු ආදර්ශයට ගෙන විවේක සුවයට පත්කර ගැනීමට අධිෂ්ඨාන කරගන්න.
වේවැල්දෙණිය, පහළගම
සමථ – විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ
ප්‍රධාන අනුශාසක
පොල්ගහවෙල මිතභාණි හිමි
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online