ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

සෝවාන් ඵලය


ආධ්‍යාත්මික සංවර්ධනයේ නිෂ්ඨාව රහත් බෝධියයි එහි පළමු ඵලය සෝවාන් තත්ත්වයයි. සෑම බෞද්ධයෙකුගේම ප්‍රාර්ථනාව වන්නේ මෙම පරම සංවර්ධනය ඇති කරගැනීමය. මේ සඳහා පැහැදිලි මාර්ගයක් බුදුදහමේ පැහැදිලි කෙරේ. රතන සූත්‍රයේ දී “යේ පුග්ගලා අට්ඨසතන් පසත්ථා....” ලෙස විස්තර වන්නේ ආර්ය මාර්ගයේ ගමන් කරන්නන් පුද්ගලයන් වශයෙන් අටක් බවත් යුගල වශයෙන් හතරක් බවත්ය.

බෞද්ධ දර්ශනයට අනුව පුද්ගලයා සසර බැඳ තබන සංයෝජන ධර්ම දහයකි. එය උද්ධම්භාගීය හා ඕරම්භාගීය ලෙස දෙකොටසකට බෙදේ. මින් පළමු සංයෝජන තුන ප්‍රහීණ කළ පසු ලබන තත්ත්වය හඳුන්වන්නේ සෝවාන් ලෙසයි. ඒ සඳහා ආර්ය මාර්ගයේ ගමන් කරන්නා සක්කායි දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජන තුනම ප්‍රහීණ කළ යුතුය. මෙය උසස්ම ලාභයකි. ධම්මපදයේදී එය මෙසේ දක්වයි.

පථව්‍යාඒකරජ්ජේන
සග්ගස්සගමනේනවා
සබ්බලෝකාධිපච්චේන
සෝතාපත්ති ඵලං වරං

චක්‍රවර්ති රාජ්‍යත්වයට වඩා දෙව්ලොව ඉපදීමට වඩා සියලු අධිපතිත්වයට වඩා සෝවාන් ඵලය උතුම්ය. මෙම තත්ත්වය දහමට අනුව කෙතරම් උසස් ලාභයක්ද යන්න ඕනෑතරම් සාධක දැක්විය හැකිය. සංයුක්ත නිකායේ සෝතාපත්ති සංයුක්තය ලෙස වෙනම ම කොටසක් ඇත. මෙය පුද පූජාවන්ගෙන් ලද හැක්කක් නොවේ. සෝතාපත්ති සංයුක්තයේ ඵල සූත්‍රයට අනුව මේ තත්ත්වයට පත්වීමට කාරණා හතර සම්පූර්ණ විය යුතුය. එනම්

1. සත්පුරුෂ ආශ්‍රය 2. සදහම් ශ්‍රවණය 3. ඇසූ දහම් මුල සිට අඟට කල්පනා කිරීම 4. ධර්මයෙහි හැසිරීම වශයෙනි.

සෝවාන් වූ ආර්යන් වහන්සේ සිව් අපායෙන් මිදෙයි. (තිරිසන්, පේ‍්‍රත, අසුර, නරක) පාප කර්ම හයක් ඔහුගෙන් සිදුනොවේ. නියත සම්බෝධි පරායන වේ. ඒ බව රතන සූත්‍රයේදි මෙසේ පැහැදිලි කරයි.

සහාවස්ස දස්සන සම්පදාය
තයස්සු ධම්මාජහිතාභවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡීතඤ්ච
සීලබ්බතංවා පියදත්ථි කිඤ්චි
චතූහපායේහිච විප්පමුත්තෝ
ඡාචාභිඨානානි අභබ්බෝ කාතුං

නිවනෙහි ඊළඟ පියවරට යාම සෝවාන් වූ ආර්යාගේ ස්වභාවයයි. එනිසා ඔහු තව තවත් බැඳීම ඇති කර නොගනී. භව හතක් ඇතුළත ඔහු නිවන සාක්‍ෂාත් කර ගනී. අට වැනි භවයක් නැත” නතේ භවං අටඨමං ආදි යන්ති” ආර්ය මාර්ගයට පිවිසීම සඳහා සියලු සැප අත්හැරිය යුතු නොවේ. අනේපිඬු, බිම්බිසාර, විශාඛාව වැනි අය සෝවාන් ඵල ලැබූවන්ය. ඔවුන්ගේ ගිහි ජීවිතය ඉතා සාර්ථකය. ඥාතික ගමේ පමණක් උවසුවන් 506ක් සෝවාන්ව කලුරිය කළ බව ගිඤ්ජකාවසත සූත්‍රයෙහි දැක්වෙයි. සෝවාන්වීම තුළ ඇතිවන ප්‍රධාන තම වෙනස වන්නේ ආර්යකු වීමය. තෙරුවන් සරණ යාම තුළින් බෞද්ධයෙකු වන්නා ආර්යකු නොවේ යැයි මහානාම සූත්‍රය කියයි. ඒ සඳහා ආර්ය මාර්ගයට පිවිසිය යුතු බව ගිඤ්ජකාවසක සූත්‍රයෙන් පැහැදිලිය.

සෝවාන් වන්නා තුළින් නැතිවන පළමු සංයෝජනය “සක්කාය දිට්ඨියයි” එනම් වැරැදි දැකීම හෙවත් දර්ශනය යි. ධර්මානුකූලව රූපය ආදි කොට ඇති පඤ්චස්කන්ධය සමබන්ධයෙන් ඇති වැරැදි අවබෝධය යි. එනම් සම්මුතිකව ඇතිකරගත් දේ පරමාර්ථ වශයෙන් ග්‍රහණය කරගෙන කටයුතු කිරීම ය. ඉන් මිදුණු පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි දක්වනු ලබන සම්මාදිට්ඨියට පිවිසේ. මේ නිසා සියල්ල යථාර්ථවාදීව දැකීම හෙවත් ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමට අවශ්‍ය ශක්තිය ඇතිකරගනියි.

දෙවන සංයෝජනය විචිකිච්ඡාවයි. එනම් පුද්ගලයා තුළ, පවතින සැකයයි. සැකය පාපයක් නොවේ. මන්ද යත් සැක කිරීමකින් තොරව නිවැරැදි අවබෝධය ලද නොහැකි බැවිනි. සැකය දැනුම ලැබීමට ඇති මාර්ගයකි. ධර්මයට වඳීන තැන එහි පසිස්කෝ ලෙස දක්වන්නේ ද එහෙයිනි. වීමංසන සූත්‍රයේ දී පවා මෙය පැහැදිලිය. ධර්මානුකූල සැකය යනු බුද්ධාදී අටතැන් පිළිබඳව ඇතිවන සැකයයි. සැකය පවක් නොවුණද එය තිබෙන තාක් ආර්ය මාර්ගයට පිවිසිය නොහැකිය. සැකය නැතිවූ තැන විචිකිච්ඡාව යන සංයෝජනය ප්‍රහීණවේ. සැකය යනු තවත් ආකාර නොදැනීමකි.

’සීලබ්බතපරාමාස’ යනු වැරැදි ආකාර ව්‍රත සමාදන්වී ඊට අනුගතව කටයුතු කිරීමයි. තම විමුක්තිය මාර්ගය පිළිබඳව නිරවුල් අවබෝධයකින් තොරව සිතෙන කියන, අසන දේ අනුව ශරීරයට දුක් දීම හෝ ඉන් පරිභාහිරව සිදුකරන ආගමික විශ්වාස පිළිගෙන කටයුතු කිරීමයි. මෙහි “සීල” යනු හික්මීමයි. ‘ව්‍රත’ සමාදන් වීම අර්ථවත් කරන අතර පරාමර්ශනය යනු තදින් අල්ලා ගැනීම හෙවත් වැරැදි ලෙස ග්‍රහණය කරගැනීමයි. මෙම වැරැදි ව්‍රත තුළින් සත්‍ය පසක්කරගත නොහැක. නිගණ්ඨනාථපුත්ත වැනි ශාස්තෘන් මෙය අනුගමනය කළ බුද්ධකාලීන ආචාර්යවරයෙකි. එපමණක්ද නොව ඒ තුළින් තමන් රහත් වූයේ යැයි පැවසු වූ අය වූහ. ජටිලයන් එවන් පිරිසකි. සෝවාන් වූවකු තුළ මෙවන් ව්‍රත පැවැතිය නොහැකිය.

මෙම සංයෝජත්‍රය ක්‍ෂය කළ ආර්ය තැනැත්තා ලෞකික ලෝකයේ සාමාන්‍ය පුද්ගලයෙකු තුළ දකින්නට නොලැබෙන පරිදි සංවර්ධනයක් ඇති උත්තම කෙනෙකුවේ. එසේම තමා සෝවාන්දැ’යි තමාටම බලාගත හැකිය. ඒ බව සංයුත්ත නිකායේ ගිඤ්ජාවස්ථ සූත්‍රය’ පැහැදිලි කරයි. එසේ දැනගත හැකි දහම් කණ්ණාඩියක් (ධම්මදාස) එහිදී පෙන්වා දී ඇත. එනම් අවෙච්ප්පසාදයෙන් යුක්තවීම හා අරියකාන්ත සීලය ආරක්‍ෂා කිරීම වශයෙනි. සෝවාන් තැනැත්තා තුළ මෙම ලක්‍ෂද්වය දැකිය හැකි ය. බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් පිළිබඳ මනාව කරුණු දැන පැහැදීම අවෙච්චප්පසාදයයි. අරීයකාන්ත යනු නිති පන්සිල් ආරක්‍ෂා කිරීම යි. ආධ්‍යාත්මික සංවර්ධනය ලැබීමට මූලිකවම සීලයෙහි පිහිටිය යුතුය. ‘සීලේපතිට්ඨාය නරෝ සපඤ්ඤෝ’ ලෙස විස්තර වන්නේ එයයි. සීලයෙහි පිහිටාගෙන ප්‍රඥාව වැඩිය යුතුය. මෙම ආර්ය තත්ත්වයට පත්වීම ගිහි පැවිදි දෙපක්‍ෂයම එකහා සමානව හැකියාව ඇත. මාර්ගයෙහි වෙනසක් නැත ඇති එකම වෙනස ගමන් කිරීමේ වේගයයි.

පෙර සඳහන් කළ පරිදි සෝවාන් තත්ත්වයට පත්වූ ආර්යන් වහන්සේ සතර අපාගත නොවේ. මන්දයත් ඔහු නියත සම්බෝධි පරායන පුද්ගලයෙකු බැවිනි. එහෙත් උන්වහන්සේ අතින් පාපකර්ම සිදුවිය හැකිය. අංගුත්තර නිකායේ සික්ඛාපද සූත්‍රයේ හා රතන සූත්‍රයේදී (කිඤ්ඤාපි සොකම්මං කරෝති පාපකං) (ඒ බව දක්වා ඇත.) මෙසේ සිදුවන්නේ සෝවාන් වීමේදි ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් සම්පූර්ණයෙන් ක්‍ෂය නොවන බැවිනි. නමුත් පෘථග්ජනයාට වඩා ඉහළ සංවර්ධනයක් සෝවාන්වු ආර්යන් සතුය. පෘථග්ජන සිත සංකීර්ණය. විවරණය කිරීම අපහසුය. නිතර ලාභාපේක්‍ෂාවන් ප්‍රාර්ථනා කරයි. හැඬීම, වැළපීම, දුක්වීම ස්වභාව කර ඇත. සෝතාපන්න ආර්යා එසේ නොවේ. සීලයෙහි පිහිටා සමාධිය ප්‍රඥාව තරමක් දුරට වැඩූවෙකි. යහපත අයහපත පෙන්වා දෙන සත්පුරූෂයෙකි. මනා සිහිබුද්ධියෙන් යුතුව ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරයි. එහෙත් වැරැදි සඟවා තැබීමට උත්සාහ නොකරයි. වැරැද්ද පිළිගෙන නැවත එය නොකරන බවට තමා විසින්ම අධිෂ්ඨාන කරගනු ලබයි.

තෙරුවන් සරණයි!

ගෞරව ශාස්ත්‍රවේදී සියඹලාගොඩ ධම්මින්ද හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online