ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

අභියෝග ජය ගැනීම

කොළඹ විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ්‍ය කථිකාචාර්ය රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි

“අරමුණු සුබ වශයෙන් දකිමින් වෙසෙන, පසිඳුරන් සංවර නොකරගත්, ආහාරයෙහි පමණ නොදත්, කුසීත වූ හීන වීර්යෙන් යුක්ත පුද්ගලයා දුර්වල වූ ගසක් සුළඟින් මුලිනුපුටා දමන්නාක් මෙන් මාරයා විසින් මැඬලනු ලැබේ. එහෙත් යම් පුද්ගලයෙක් අරමුණු අසුබ වශයෙන් දකිමින් පසිඳුරන් සංවර කරගනිමින් ආහාරයෙහි පමණ දැන දැඩි වීර්යයෙන් යුක්තව වාසය කරන්නේද ගල් පර්වතයක් සුළඟින් සෙළවිය නොහැක්කාසේ එම තැනැත්තා මාරයාට මැඬලිය නොහැකිය”.
ප්‍රධාන උපදෙස් හතරකින් සමන්විත ධම්මපද යමක වග්ග හත්වන සහ අටවන ගාථා අයහපත් දේ හා යහපත් දේ වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් කරන අතර පළමුව අයහපත් අංශය පෙන්වා දෙයි. දෙවනුව යහපත් අංශය පැහැදිලි කරයි. බුද්ධ දේශනාවේ තිබෙන එක් විශේෂත්වයක් වන්නේ පළමුව නරක පෙන්වා දෙන අතර දෙවනුව හොඳ පැහැදලි කිරීමයි. පළමුව දුකත්, එයට හේතුවත් පෙන්වන බුදුසමය දෙවනුව එයින් මිදීමත් එයට අවශ්‍ය ක්‍රමවේදයත් පැහැදිලි කරයි. මෙහිදීද එම ක්‍රමවේදය අනුගමනය කර තිබේ.
පළමු උපදෙසින් ඉදිරිපත් කෙරෙන්නේ අරමණු සුබ වශයෙන් නොගෙන අසුබ වශයෙන් දැකිය යුතු බවයි. විචාරයකින් තොරව බලන්නේ නම් මෙම උපදේශය ගැන කෙනෙකුට වැරදි වැටහීමක් ඇතිවිය හැකිය. ධම්මපදට්ඨ කථාවෙහි දැක්වෙන පරිදි මෙම ගාථා දෙක චූලකාල හා මහාකාල යන භික්ෂූන් වහන්සේලා දෙනම පසුබිම්කරගෙන දේශනා කරන ලද්දකි. චූලකාල – මජ්ක්‍ධිමකාල , මහාකාල නමින් හැඳින්වෙන ව්‍යාපාරික ජීවිතයක් ගත කළ සොහොයුරන් තිදෙනෙක් වාසය කළ අතර ඔවුහු බහුභාර්යා සේවනයේ යෙදුණෝ වෙති. මහාකාල නම් වැඩිමහල් සොහොයුරා පැවිද්දට ඇලුම් කළ හෙයින් සියල්ලන්ගේම අවසරය ලැබ බුදුසසුනෙහි පැවිදි විය. ඔහුගේ පැවිදිවීම හේතුවෙන් ව්‍යාපාරික කටයුතු අඩාළ වූ අතර චූලකාල නම් බාල සොහොයුරා විශ්වාස කළේ කෙසේ හෝ තම වයැඩිමල් සොහොයුරා නැවත සිවුරු හරවා ගිහි බවට පත්කරගත හොත් පිරිහුණු ව්‍යාපාර නැවත දියුණු කළ හැකි බවයි. චූලකාලද එම අදහසින් පසුකලෙක පැවිද්දට ඇතුළත් විය. පැවිද්ද කෙරෙහි සැබෑ ඇල්මකින් හා අවබෝධයකින් තොරව පටු අරමුණින් පැවිදි වූ චූලකාල තම අතීත කාමභෝගී ජීවිතය පිළිබඳවත් එහිදී තමා ලද ස්ත්‍රී ඇසුර පිළිබඳවත් නිතර මෙනෙහි කරමින් කාලය ගත කළේය. එක් දිනෙක බුදුරජාණන් වහන්සේ මහාකාල හා චූලකාල යන භික්ෂූන් දෙදෙනා සමඟ ඔවුන්ගේ ගමට වැඩම කළ අවස්ථාවෙහි චූලකාල හිමියන්ගේ පැරණි භාර්යාවන් විසින් උපක්‍රමශීලීව උන්වහන්සේ උපැවිදි කරවන ලදී. මෙය පූර්වාදර්ශ කරගත් මහාකාල හිමියන්ගේ පුරාණ භාර්යාවන් ද උන්වහන්සේ පොළොඹවා ගැනීමට උත්සුක වුවද එය කළ නොහැකි විය.

මෙම අවස්ථාවෙහි බුදුරදුන් විසින් අවවාද වශයෙන් ඉහත උපදෙස් ඇතුළත් ගාථා දේශනා කරන ලදී. ගාථා මගින් ඉදිරිපත් කරන උපදෙස් ප්‍රධාන වශයෙන් භික්ෂුව අරමුණු කොට ඇති හෙයින් එම සන්දර්භයට , අදාළව අන්තර්ගත කරුණු වටහා ගත යුතුවේ. පළමු උපදේශයෙන් අවධාරණය කරන්නේ අසුභානුපස්සනා භාවනාවයි. අශුභය වැඩීමේ මූලික අරමුණ රාගය ප්‍රහීණ කිරීමයි, (රාගස්ස පහාණාය අසුභා භාවතෙබ්බා) ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාගේ රූපයන් පිළිබඳ මෙනෙහි කිරීමෙන් ඇතිවෙන ලිංගික රාගය හා එහි ස්වභාවයත් එමගින් සිදුවන අයහපතත් එය ප්‍රහාණය කිරීමෙන් ලැබෙන සුවයත් දීර්ඝ වශයෙන් පැහැදිලි කොට තිබේ. අශුභ භාවනාව පිළිබඳ දීර්ඝ විස්තර විසුද්ධිමග්ග අසුභකම්මට්ඨාන නිද්දේසයේ ඇතුළත් වේ. අසුභානුපස්සනාවේදී උද්ධුමාතකාදි දස අශුභය පිළිබඳව ගැඹුරින් මෙනෙහි කරනු ලැබේ’. ස්ත්‍රී පුරුෂ වශයෙන් ඔවුනොවුන්ගේ ශරීර දෙස රාගයෙන් හා සුබ වශයෙන් මෙනෙහි කිරීමෙන් වැළකී එකිනෙකාගේ ශරීරයන් තුළ පවතින යථා ස්වභාවය දැකීම මෙයින් අපේක්ෂා කෙරේ. මේ දැක්ම වනාහි සාමාන්‍ය දැක්මක් නොවේ. විපස්සනාව පදනම්කරගත් දැක්මකි. ධම්මපදට්ඨකථාවෙහි දැක්වෙන පරිදි චූලකාල හිමි ස්ත්‍රි ශරීරය හා එයින් විඳි සුවය පිළිබඳ රාගමිශි‍්‍රත ආකල්පවලින් යුක්ත වූයේය. තම අතීත ජීවිතයේ ලද කාමස්වාදයන් මෙනෙහි කිරීමෙන් උන්වහන්සේගේ සිත ස්ත්‍රී ඇසුර කෙරෙහි පොළඹවනු ලැබීය. පැරණි බිරින්දෑවරුන්ගේ පෙළඹවීම හේතුවෙන් තවදුරටත් එය ශක්තිමත් වු හෙයින් පැවිද්ද අතහැර ගිහි බවට පත්විය. මහාකාල හිමියන් ලිංගික රාගයේ ආදීනව දකිමින් වාසය කළ හෙයින් උන්වහන්සේගේ සිත කිසිවෙකුටත් රාගය කෙරෙහි පෙළඹවිය නොහැකි විය.
පැවිද්ද කෙරෙහි මනා අවබෝධයකින් සසුනට ඇතුළත් වීම හේතුවෙන් උන්වහන්සේ එම හැඟීම්වලින් පීඩාවට පත් නොවුණි. පුද්ගලයන් දෙදෙනෙකුගේ චින්තන ධාරාවන් දෙකක් දෙවිදියකට ක්‍රියාත්මක වු අයුරු මෙයින් පැහැදිලි වේ. පැවිද්දට අවශ්‍ය විරාගික චින්තනය නොතිබුණු භික්ෂුව උපැවිදි විය. කාමරාගයෙන් සිත නිදහස්කරගත් භික්ෂුව බුදුසසුනේ රැඳුණේය. ස්ත්‍රිය පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියටත් ආකර්ෂණය වන බවත් එම ඇසුර තරම් වෙනත් සැපයක් කෙරෙහි මිනිසා ආසක්ත නොවන බවත් සූත්‍ර දේශනාවල දක්වා තිබේ. ස්ත්‍රි පුරුෂ ශරීරය තුළ එකිනෙකා අපේක්ෂා කරන පංචකාමයම අන්තර්ගතව පවතින බව ධර්මයේ සඳහන් වේ. මිනිස් සිතක පාලනය කිරීමට අතිශය දුෂ්කර වූ චිත්තවේගය ලෙස කාමරාගය හැඳින්විය හැකිය. කාමරාගය ඉතා දිගුකලක් තිස්සේ මනසේ තැන්පත්ව පවතින හෙයින් එය දන්ධවිරාගී යනුවෙන් දැක්වේ. අසුභානුපස්සනාවෙන් අපේක්ෂා කරන්නේ ශරීරය තුළ පවතින යථා ස්වභාවය වටහා ගැනීමයි. මෙය වටහා නොගත් විට සැඩ සුළඟ දුර්වල ගසක් මුලිනුපුටා දමන්නාක් මෙන් මාරයා විසින් පුද්ගලයා මැඩලනු ලැබේ. ස්ත්‍රී පුරුෂ ලිංගික රාගය කෙරෙහි ලොල් වු මිනිසුන් පවුල් දිවියෙන්ද සෞඛ්‍යයෙන්ද ධනයෙන්ද කීර්තියෙන්ද පිරිහුණු අවස්ථා සුලබව දක්නට ලැබේ.අශුභය වැඩීම, පැවිද්ද සාර්ථක කර ගැනීමට මෙන්ම ගිහියාගේ කාමභෝගී ජීවිතය නිසි ලෙස කළමනාකරණය කරගැනීමට උපකාරි වේ. මනසේ ඇති කාමරාගය සදාචාර සම්පන්න ලෙස හසුරුවා ගැනීමට අවශ්‍ය දැක්ම හා ශික්ෂණය අසුභානුපස්සනාවෙන් ලැබේ. අසුභානුපස්සී වීම ජීවිතයෙන් පලායාමක් හෝ ජීවිතය පිළිබඳ කළකිරීමක් නොවේ. එසේම ලොව සුන්දර වස්තූන් පිළිකුල් කිරීමක්ද නොවේ.
ගාථාවේ එන දෙවන උපදේශය වන්නේ ඉඳුරන්හි සංවර බවයි. මෙය ගිහි පැවිදි දෙපක්ෂයටම අවශ්‍ය වේ. පංචේන්ද්‍රියන්ගෙන් ගලාගෙන එන අරමුණු පිටුපස හඹා නොගොස් එම අරමුණුවල පවතින ආස්වාදය ආදීනව මැනවින් දකිමින් එම අරමුණු කවර මොහොතකදී වුව අත්හැරීමේ නුවණින් යුක්තව කටයුතු කිරීම මෙමගින් අපේක්ෂිතය. ඉඳුරන් සංවරකර ගැනීම යනුවෙන් අදහස් වන්නේ ඒවා විමසා තබා ගැනීම නොව අරමුණු පිටුපස හඹායාමෙන් වැළකීමයි. පාලනයක් නොමැතිව අරමුණු ඔස්සේ හඹායාමෙන් ලෞකික හා ලෝකෝත්තර දෙඅංශයෙන්ම පිරිහීමට පත්වේ. තෙවැන්නෙන් පෙන්වා දෙන්නේ ආහාරයේ පමණ දැනීමයි.ආහාර අනුභවයේ අරමුණු ගිහි පැවිදි වශයෙන් වෙනස් වේ. පැවිද්දාගේ ආහාර ගැනීමේ අරමුණ ජවය පිණිස මදය පිණිස ලස්සන වීම පිණිස නොවේ. හුදෙක් යැපීම සඳහාය. බඹසර හැසිරීම සඳහාය. ගිහියාගේ ආහාර අනුභවයෙහි අරමුණ මෙයින් වෙනස්වන අතර අතිරේක අපේක්ෂා රැසක් එහි දක්නට ලැබේ. ගිහි වුවද පැවිදි වුවද පමණ දැන ආහාර අනුභවය කායික මානසික සුවය පිණිසත් ආර්ථික සුරක්ෂිතතාව පිණිසත් හේතුවේ. වෙළෙඳ දැන්වීම් මගින් මෙහෙයවන වර්තමාන පාරිභෝගික සමාජයට මෙම උපදේශය බෙහෙවින් අදාළ වේ. අධිපරිභෝජනය මෙන්ම ඌන පරිභෝජනයත් බුදුදහමින් ප්‍රතික්ෂේපිතය.
අවසන් උපදේශය වන්නේ වීර්යෙන් යුක්තවීමයි. පැවිද්දාගේ වීර්ය කෙලෙස් තැවීම අරමුණු කොට පවතී. නිවණ අරමුණුකරගෙන වඩන වීර්ය පාරමිතාවක් වේ. ගිහියාගේ වීර්ය භෞතික දියුණුව ප්‍රධාන අරමුණ කොට ඇත. උත්සාහවන්තයා ධනය ලබන්නේය යනුවෙන් (උට්ඨාතා වින්දතෙ ධනං) දැක්වෙන්නේ මෙයයි. වීර්යයෙන් තොරව ප්‍රාර්ථනා කිරීමෙන් හෝ ආයාචනා කිරීමෙන් කිසිවක් ලද නෙහැකි බව බුදුරදුන්ගේ ඉගැන්වීමයි. බාහිර බලවේග මත යැපෙමින් දියුණුව අපේක්ෂා කිරීම බෞද්ධ පිළිවෙත නොවේ. මෙම ගාථාවන්හි දැක්වෙන පරිදි මාරයාට පහසුවෙන් මැඩලිය හැක්කේ ඉහතින් දැක්වූ දුර්වලතාවයන්ගෙන් යුක්ත පැවිද්දා හෝ ගිහියාය. මාරයා යනු පුද්ගලයෙක්ද එසේ නැතහොත් මනසේ පවතින කෙලෙස්ද ධර්මයන්ගේ සංකල්පීය රූපයක්ද යන්න කෙසේ වුවත් කාමරාගයෙන් ආසක්ත වූ ඉන්ද්‍රිය දමනය නොමැති භෝජනයෙහි පමණ නොදන්නා අලස තැනැත්තා මැඩ සුළඟින් දුර්වල ගසක් මුලිනුපුටා දමන්නාක් මෙන් මාරයා විසින් මර්දනය කරනු ලැබේ. මෙකී දුර්වලතාවන්ගෙන් තොර පුද්ගලයා ශක්තිමත් අයෙකි. පර්වතයක් මෙන් ශක්තිමත් එම තැනැත්තා කිසිවෙකුටත් සෙළවිය නොහැකිය. සියලු අභියෝග හමුවේ අකම්පිතව නොසෙල්විය හැකිව සිටිය හැක්කේ එවැනි උජුපටිපන්න ගිහි පැවිදි බුදුසව්වන්ටම පමණි.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online