ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

න්‍යාය පසෙකට ප්‍රයෝගිකත්වය පෙරට...

යථාර්ථවාදීව දහමට නැඹුරුවූ පුද්ගලයා අතින් වැරැදි සිදුවන්නේ නැත. වැරැදි සිදුවන්නට යන තැන වළක්‌වා ගැනීමට කටයුතු කරයි. දහම න්‍යාය මත නොව ප්‍රායෝගිකව විය යුතුය. බොහෝ අය දහම ගුරුතොට ගත්තද එය ප්‍රායෝගික තලයක පිහිටා කටයුතු කරන බවක්‌ නොපෙනේ.

සතර පෝයට එහෙම නැත්නම් වසරක්‌ පුරා සිල් ගත්තාට ප්‍රමාණවත් නැත. සමහරු උදේ සිට රාත්‍රි දක්‌වා ගුවන්විදුලියේ, රූපවානියේ ධර්ම දේශනාවලට සවන් දෙති. එහෙත් ඒ අය කෙරෙහි සංවේදී මනසක්‌ ඇද්ද යන්න ගැටලුවකි.

අපගේ දිවියට හමුවන චරිත දෙසට නැඹුරුවන විට මේ චරිත මිථ්‍යාවත්, මායාවත් බවට පත්වී ඇත. බණ දහම්වලට නැඹුරුවන අය තමන්ගේ චිත්ත චෛතසිකය යහමඟට යොමුවී ඇති බවක්‌ නොපෙනේ. බණට සවන් දෙන පුද්ගලයා අනිවාර්යයෙන්ම සංවේදී චරිතයකි. බුදුරදුන් දෙසූ ධර්මයෙන් අංශුවක්‌ දේශනා කරන්නේ පුද්ගල චරිත යහමඟට යොමුකරන්නටය. 

ඉතා අමාරුවෙන් ලබාගත් මිනිස්‌ චරිතය යහමඟට යොමු කිරීමටය. අභිප්‍රාය වියයුත්තේ, සසර කෙටිකර ගන්නට නිතරම සිතට ගත යුතුය. මේ සඳහායි බොහෝ අය උදේ, හවා, රාත්‍රී පන්සලට යන්නේ, බෝගසට වඳින්නේ, බුදුරදුන්ට නමස්‌කාර කරන්නේ, පෝයට සිල් සමාදන් වන්නේ. මේ සියල්ලටම නැඹුරු වන අය සංයත චරිතයකින් උපයුක්‌ත වී ඇද්ද?

ජීවිතයේදී ප්‍රායෝගික වශයෙන් පංචශීලය රකින පුද්ගලයාගේ සසර ගමන කෙටිය. සැබෑ ලෙස දහමට නැඹුරු වූ පුද්ගලයා අතින් වැරැදි සිදුවන්නේ නැත. එය දෙබිඩි චරිතයක්‌ නොවේ. ඒක චරිතයකි. බාහිර හා අභ්‍යන්තර වශයෙන් එක සමානය. බාහිර වශයෙන් සමාජයට පෙන්වන එක චරිතයකුත්, අභ්‍යන්තර වශයෙන් තවත් චරිතයකුත් නැත. මේ චරිත දෙකම එක සමානය.

තමන්ගේ නිවසට එක චරිතයකුත්, නිවසින් පිටතට තවත් චරිතයකුත් වශයෙන් චරිත දෙකක්‌ රඟපාන ජීවිත සමාජයෙන් අපට දකින්නට ලැබේ.

සතුන් නොමරන, බොරු නොකියන, මත්පැන් නොබොන, කාමයෙහි වරදවා නොහැසිරෙන, සොරකම් නොකරන චරිත නියම චරිතයකි. මේ චරිතය ප්‍රායෝගිකය. වචනයේ පරිසමාප්තයෙන්ම සැබෑ චරිතයකි. අනවරාග්‍ර හෙවත් කෙළවරක්‌ නැති සසරින් අප මිදිය යුතුය. එසේ මිදෙන්නට අප නිතරම වෙහෙස විය යුතුය.

පුද්ගලයා යහපත් දෙයක්‌ නැත්නම් හොඳ දෙයක්‌ කළොත් එය හරියට තමා පසුපස සෙවණැල්ල මෙනි. නරකට යොමුවුණොත් එය හරියට ගොනා පසුපස ගැලයන්නා පරිද්දෙනි. මේ යථාර්ථය අප සාක්‌ෂාත්කොටගත යුතුය. නිරන්තරයෙන්ම අප යහපතට තමයි සිත යොමු කළ යුත්තේ. අයහපත යටපත්කොට යහපත මතු කිරීමට වගබලා ගත යුතුය.

තමන්ගේ මුඛයෙන් පිටවන වදන් සෙස්‌සන්ට සිත ගත නිවන ආහාරයක්‌ බඳුවිය යුතුය. වදන්වල ඇත්තේ එතරමටම රසාත්මක ස්‌වරූපයකි. ඒ වදන් යළි යළිත් අසන්නට තරම් අප යොමුවන්නේ ඒ වදන්වල ඇති රසාලිප්තභාවය හේතුකොටගෙනය. එහෙත් සිල් සමාදන්වන, පන්සල් යන බොරුවට වඳින සමරුන්ගේ වදන් පෙළින් රසාත්මක බවක්‌ උද්දීපනය නොවේ. මේ කටුක අප්‍රසන්න වදන් නිකුත්වන්නේ චරිතයේ ශික්‌ෂණයක්‌ නොමැතිකම හේතු කොටගෙනය.

සමාජයේ සෙස්‌සන් පුබුදුවාලන වදන් සමුදායක්‌ තමන් කෙරෙහි ගැබ්විය යුතුය. බුදුරදුන්ගේ එක වදනකින් මිසදිටු අය මෙල්ල වූ ආකාරය අපට ජාතක කතාවලින් හෙළිවෙයි. මෙයට නිදසුනක්‌ වශයෙන් 'කුම්භක ජාතකය' දැක්‌විය හැකිය.

මතට ඇබ්බැහිවූ තරුණියන් විශාඛාවන් සමීපයට වෙරි මතින් නැටුම් ගැයුම්වල යෙදී විශාකාවන්ද ඒ තත්ත්වයට ඇදගන්නට මහත් පරිශ්‍රමයක්‌ ගන්නා ලදී. මේ අප්‍රසන්න තත්ත්වය මත එම තරුණියන් සියල්ලම බුදුරදුන් සමීපයට රැගෙන ගියාය. බුදුරදුන් හමුවේත් මතින් මත්වී රංගනයේ යෙදුණි. අවසානයේ බුදුරදුන්ගේ වචන සමූහයකින් ඒ සියල්ල පසෙකට දමා නිසි මඟට යොමුවී මතට ඇබ්බැහිවූ තරුණියන් සෝවාන් ඵලයට පත්වූහ. වදන්වල පවත්නා සුගැඹුරු මෙයින්ම වනිත වෙයි.

චරිතයෙන් උද්දීපනය වන කුහකකම, ද්වේෂය, පළිගැනීම, වෛරය, දිවියෙන් තුරන් කළ යුතුය. ප්‍රායෝගික චරිතයකින් ගැබ්වූ, උපයුක්‌ත වූ පුද්ගලයා මේ රුදුරු ගති ලක්‌ෂණ බැහැර කරයි. සුසිනිඳු ගති ලක්‌ෂණ තමයි දිවියට විෂය කරගනු ලබන්නේ.

බසයේ ගමන් කරන විට බුදුරුවක්‌a දුටුතැන අසුනෙන් නැගිට එම බුදුරුවට ආචාර - සමාචාර කිරීමට යොමුවන අයුරු අපි දැක ඇත්තෙමු. බෝ රුකක්‌ දුටුතැන එයට වැඳ නමස්‌කාර කිරීමට යොමුවන අයත් අපි දුටුවෙමු. මේ ස්‌වරූපය ප්‍රායෝගික නැත. අතිශය මුළාවකි. 

දහම ප්‍රායෝගික තලයකට යොමුවූ පුද්ගලයා මේ මිථ්‍යාවන්ට නැඹුරුවන්නේ නැත. ප්‍රතිපත්ති ඇත්තෙ තමන් ළඟය. මල් වට්‌ටි හිස මත තබාගෙන බුදුරදුන් වඳින අය වරදට පෙළඹෙන ආකාරය අපි දැක ඇත්තෙමු. මෙය දහමට කරන නිග්‍රහයකි.

ජීවිතයට පන්සල් නොගිය, බණ නොඇසූ, සිල් නොගත් අය ද අපි දැක ඇත්තෙමු. මේ චරිත ඉතා පාරිශුද්ධය. රහසින්වත් පව් කරන්නේ නැත. ශ්‍රද්ධාව පදනම් කරගෙන දුකින් මිදෙන්නට නිතරම උත්සාහ දරයි. ජීවිතයට දුකක්‌ මිස සැපතක්‌ නැත. සැපක්‌ ඇත්නම් ඒ සැප තාවකාලික එකකි. දුක්‌ඛාවලියකින් වෙලාගත් ජීවිතය බැහැර කිරීමට තමයි දහම ප්‍රායෝගික කරගත යුත්තේ.

අකුසල් දුරුකොට කුසල් සිතක්‌ ඇතිකරගන්නට අප නිතරම උත්සාහගත යුතුය. බුද්ධිමත් අයගේ කාර්යභාරයයි එය. කුසල් සිතක්‌ නිතරම ඇතිකර ගන්නට අප පෙළඹිය යුතුය. අකුසල් නූපදින්නටත්, උපන් අකුසල් බැහැර කරන්නටත්, නූපන් කුසල් උපද්දවා ගන්නටත්, උපන් කුසල් වර්ධනය කිරීමටත් ප්‍රායෝගික සිතක කාර්යභාරයයි. 

පින්-පිව් පිළිබඳ යථාවබෝධ ඥනයක්‌ පුද්ගලයාට තිබිය යුතුය. පින යනු කුමක්‌ද? පව යනු කුමක්‌ද? යන්න ගැන හොඳ අවබෝධයක්‌ ප්‍රායෝගික තලයක පිහිටි අයට නැත.

ශ්‍රද්ධාවත් දෙකොටසකි. අමූලික ශ්‍රද්ධාව හා ආකාර්තිකා ශ්‍රද්ධාව යනු ඒ දෙකයි. ප්‍රායෝගික තලයක පිහිටි පුද්ගලයා කෙරෙහි ඇත්තේ ආකාර්තිකා ශ්‍රද්ධාවකි. නිවනට ළඟාවන්නට අප නිතරම යොමු විය යුතුය. නිවන තමයි අපේ එකම අපේක්‌ෂාව. යළි යළි ඉපදීම අතිශය දුකකි. ඒ දුකෙන් මිදෙන්නට තමයි ප්‍රායෝගික දහම කරපින්නා ගත යුත්තේ.

මනස අවුල් කරගත්තාට ප්‍රායෝගික තලයක පිහිටන්න අපහසුය. මනස නිරවුල් කරගෙන තමන්ගේ දිවි මඟ සරුකරගන්නට වගබලාගත යුතුය.

බුදුසමය වූ කලී න්‍යාය මත පදනම්වූවක්‌ නොවේ. ප්‍රායෝගික තලයක පිහිටි දහමකි. මෙය අප තරයේ සිතට ගත යුතුය. කාටත් හිංසාවක්‌ ගෙන නොදෙන ආකාරයට අහිංසක, අහිංසාවාදී චරිතයක්‌ බවට පරිවර්තනය කරගත යුතුය.

අද්‍යතන සමාජයේ අපට අසන්නට, දකින්නට ලැබෙන අනූවේදනීය සිද්ධිවලට මූලික හේතුව වන්නේ දහම ප්‍රායෝගික කර නොගැනීමයි. ක්‌ෂණික තීරණවලට යොමුවන තත්ත්වයක්‌ උදාවී ඇත්තේ දහම ප්‍රායෝගික කර නොගැනීමයි. දහම ප්‍රායෝගික කරගත් තැනැත්තා ක්‌ෂණික තීරණය ගන්නේ නැත. හිතා-මතා දුරදිග බලා තමයි තීරණ ගනු ලබන්නේ. 

සෙස්‌සන්ට හානියක්‌ නොවන ආකාරයට ප්‍රායෝගිකත්වයට නැඹුරු පුද්ගලයා කටයුතු කරන්නේ.

මානව භක්‌තියෙන් යුතුව සමාජය දෙස බැලීම දහම ප්‍රායෝගික කරගත් තැනැත්තාගේ කාර්යයයි. දහමෙන් ප්‍රභාවිත දිවිය පරමාදර්ශීය. සෙස්‌සන්ට පාඩම් පොතක්‌ බවට පත්වෙයි. සමාජයට බොහෝ දේ ඉගෙන ගන්නට මං පෙත් විවර කරයි. ප්‍රායෝගික තලයකට පරිපූර්ණභාවය ගෙන යැමෙන් සමාජයේ තවත් පිරිසක්‌ යහමඟට යොමුකරන්නට තැත් දරයි. න්‍යාය පසෙකට ඇදදමා ප්‍රායෝගික දහම කරපින්නා ගැනීමෙන් අප ලත් දිවියෙන් අතිශය සතුටක්‌ ලැබිය හැකිය.
ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම
සදහම් සඟරා - Online