ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

පින සමඟ එක්වන කර්ම ව්පාක

මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී ඒ ශ්‍රාවකයාට හොඳින් කල්පනා කරන්නට පුළුවන් හැකියාවක් තිබිය යුතුයි. ඒ හැකියාව විශ්මිත දෙයක්. ඒ විශ්මිත දේ තුළිනුයි ඔහුට මේ ධර්මයේ තිබෙන නිවැරැදි දේ හමු වෙන්නේ. ඒ තුළින් ඔහුට මේ ධර්මයෙන් උපරිම දේ ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා.තමන්ගේ ජීවිතයේ කල්පනා කරන ශක්තිය තම තමාගේ ජීවිතයේ සාර්ථකත්වය කරා ගෙනයන ආකාරයට හදා ගන්න ඕන.
අප දන්නවා බොහෝ දෙනා කුසල් වඩනවාටත් වඩා පිනට මිනිසුන් කැමැතියි. මේ ලෝකයේ තිබෙන බලවත්ම කුසල් තමා සතර සතිපට්ඨානය වැඩීම, සිහිය ඉහළට දියුණු කිරීම, විදර්ශනා සමථය වැඩීම. නමුත් අද සමාජයේ ඒ බලවත් කුසල් වෙනුවට පළමුතැන දෙන්නේ පිනට. “පින” කියන්නේ අප මහත්ඵල මහානිසංස ලෙස දන් දෙනවා. පුදපූජා කරනවා, ධාතුන් වහන්සේ වඳිනවා, නොයෙක් ලෙස බුදුරජාණන් වහන්සේට උපහාර පූජා, මල් පූජා පවත්වනවා. ධර්මය පතුරුවන්නට උදව් වෙනවා. මේ සියලු පින් අප කරන්නේ කුසල උපදවා ගන්නවාට වඩා පින් රැස්කර ගැනීමට යි. මෙහෙම පින් කරනවා කියන මිනිසුන්ගේ ජීවිතේ ඔවුන්ටත් නො දැනීම ගොඩනැඟෙන කර්ම ශක්තියක් තිබෙනවා. එය අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා පින් කරන්නට ගිහින් පවු ගොඩක් ජීවිතවලට එකතු වෙනවා. ඒක මේ වගේ දෙයක්.
මීට කලින් බුද්ධ ශාසනයක රහතන් වහන්සේ කිහිප නමක් පිඬු පිණිස නිවසකට වඩිනවා. උන්වහන්සේලා මේ නිවසේ සිටි තරුණ යුවලක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් මුන්වහන්සේලාට දානය පූජා කළා. ඉතාමත් සංවර ඉරියව් තිබෙන උන්වහන්සේ දෙස බලලා සතුටු වුණා. මුනිවරු මෙතරම් ශාන්ත වුණේ යම් ධර්මයක් අවබෝධ කරලද? ඒ පරම ශාන්ත වූ අමා නිවන අපටත් අවබෝධ කරගන්න පුළුවන්නම් කියන අදහස තරුණ යුවලගේ සිතේ බලවත්ව පිහිටියා. මේ දෙදෙනා ඒ සිතිවිල්ලෙන්ම දන් පූජා කළා. දානය වැළඳු රහතන් වහන්සේ පිටත් වුණා. මොනම හරි හේතුවකට මුලින් සිටි හිමියන් පිටුපස හැරී පසුපස සිටි හිමියන් සමඟ සිනා වුණා. ඒ හිනාව දුටු කාන්තාව සැමියාට කියනවා හරියට “සර්කස් කාරයෙක්” වගේ නේද? කියා. ස්වාමියා හිස වනා එය ස්ථිර කළා.
ඒ අය මනුස්ස ලෝකයේ සැපවත්ව ගෙවා මරණින් මතු සුගතියේ උපන්නා. කර්ම විපාකය සඳහා ගෞතම බුද්ධ ශාසනයේදී අර කාන්තාව ඉපදුනා සර්කස් පවුලක. පිරිමියා උපන්නා ඒ ගමේම සිටු පවුලක. දැන් ඒ ගෑණු ළමයා ගමින් ගමට සර්කස් පෙන්වමින් යනවා. දිනක් මේ සිටුකුමාරයටත් මේ සර්කස් බලන්න ලැබුණා. සසරේ බැඳීම යළි මතු වුණා. දුටු සැණින් හිත ගියා. ඔහු තීරණය කළා මේ තරුණිය විවාහ කරන්න. කලින් ජීවිතයයි, කර්ම ශක්තිය එකට එකතු වුණා. මාපියන්ගේ විරුද්ධතා මැද අර තරුණිය විවාහ කරගත්තා. දැන් මේ කුමාරයාගේ රැකියාව සර්කර් පෙන්වන තැන්වලට බඩු ඇඳීමයි. දිනක් මේ තරුණයා මමත් සර්කස් ඉගෙනගන්න ඕන කියා සිතා සර්කස් ඉගෙන ගත්තා. කෙතරම් දක්ෂද කියනවානම් රියන් අසූවක් උස උණ ගසක් උඩකට නඟිනවා. කය සැහැල්ලු කරගෙන සමබර කරගෙන මොහොතකින් ආකාසයට පැන නැඟ ආකාසයේ කරනම් දාහතර ක් ගසා නැවත අර අසූ රියන් උස උණ ගසේ මුදුනේම සිට ගන්නවා. මිනිසුන් බොහෝ දෙනා එනවා මේ සර්කස් එක බලන්න.
දිනක් තථාගතයන් වහන්සේ ලෝකයාගේ හිතසුව පිණිස කරුණාවෙන් ලොව දෙස බැලුවා. උන්වහන්සේ පින තිබෙන කෙනා කෙතරම් ඈතක සිටියත් හොඳින් හඳුනනවා. හරියට මහමේරු පර්වතය වගේ. පින් නැති කෙනා ළඟ සිටියත් උන්වහන්සේට පෙනෙන්නේ නැහැ. හරියට රෑ කාලයේ ළඟට වැටුන ඉදිකටුවක් වගේ. බුදුරජාණන් වහන්සේ එදා සඟ පිරිසත් සමඟ සර්කස් පිට්ටනියට වඩිනවා. දැන් මිනිසුන් බුදුරජාණන් වහන්සේ දෙස බලනවා. අර පුද්ගලයා උණ ගහේ උඩ ඉන්නවා. ඔහු සිතනවා මම දැන් සර්කස් පෙන්වන්නට හදන්නේ. මේ ශ්‍රමණ පිරිසක් ඇයි මෙතැනට වැඩියේ? කියලා සිත වික්ෂිප්ත වුණා. බුදුන් වහන්සේ වදාළා පින්වත අපටත් පෙන්වන්න ඔබගේ සර්කස්. දැන් ඔහුට හරි සතුටුයි. උණ ගස මුදුනේ සිට සර්කස් වලට සූදානම්ව සිත එකඟ කරගත්තා. උණ ගසෙන් උඩට එසවුණා. බුදුරජාණන් වහන්සේ ඔහුට ඇසෙන සේ වදාළා “පින්වත, අතීතය අත්හරින්න. අනාගතය සිතින් පතන්නට එපා. වර්තමානයේ ස්වභාවය දකින්න. මේ පංච උපාධානස්කන්ධයට මුලාවෙන්න එපා” කියා. ඔහු ආකාසයේ සිටම ධර්මය අවබෝධ කරගෙන නැවත උණ ගස උඩ සිට ගත්තේ රහතන් වහන්සේ නමක් ලෙස. මේ නිසා කටින් පිටවන වචනය ගැන සැලකිලිමත්වීම වැදගත් වෙනවා.
ඔබට තව උදාහරණයක් කියන්නම්. එක සිටු නිවසකට පසේ බුදුරජාණන් වහන්සේ පිරිසක් දානයට වැඩියා. පාත්‍රා උණු වතුරෙන් සෝදන විට රස්නය නිසා උන්වහන්සේ ඒ පාත්‍රා බිම තිබ්බා. බිමතබා සෝදනවිට ඒ පාත්‍ර සෙලවෙනවා. එක් කුමාරිකාවක් මේක දැක තමාගේ අතේ තිබුණු ඇත් දළයෙන් කළ වළලු අට අර පාත්‍රා නොසෙල්වීමට ‘දරුණු’ ලෙස තිබ්බා. දැන් දානය පුජාකරගෙන සතුටු වුණා. ඒ පසේබුදුරජාණන් වහන්සේ අතර එක් නමක් සිටියා කුදුවෙලා යන. අර වළලු දුන් බිසව අනෙක් බිසෝවරුන්ට කියනවා අර අර බලන්න අර භික්ෂුව යන හැටි. අනෙක් අය අහනවා ඇයි මොකද? යන විදිහ. එවිට අරයා රඟපා පෙන්නුවා මෙහෙමයි ගියේ කියා. උපනුපන් ආත්මවල කුදුවෙලා ඉපදුණා. මේ බුද්ධ ශාසනයේ “කුජ්ජුත්තරා” ඇයයි. අර පාත්‍රාවලට දරුණු පූජාකළ පිනට වහා ධර්මය අවබෝධ වුණා. පසේබුදු කෙනෙකුට නින්දා කළ නිසා කුදු වුණා. එනිසා අපේ සසරේ සැරිසරන නජීවිත සකස් වෙලා තිබෙන විදිහ රෝම කූපයක, ඇහි බැමක, බලන බැල්මක, කථා කරන වචනයක, යම් ඉරියව්වක කර්මය සකස්වෙලා තිබෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කය කියන්නේ සසරේ කරන ලද පැරැණි කර්මයක් ලෙස. ඒවා මේ ජීවිතයේදී ලැබෙනවා. අප මුහුණේ එක එක ඉරියව් වෙනස් කළොත් අපේ මුහුණ එක එක ආකාරයට පෙනෙනවා. මේ ආකාරයට අපට කයක් හදලා දුන්නේ කර්මය විසින්. තවත් කෙනෙකුට හදාදුන් ශරීරයට හිනාවෙලා අපත් කර්ම රැස්කර ගන්නවා.
එහෙමනම් අප නොදැනීම පිනත් සමඟ කර්මය මිශ්‍ර වෙනවා. කෙනෙක් උඩුඟු සිතින් දන්පැන් දුන්නානම් ඒ දානය උඩුඟු සිත සමඟ එකතු වෙනවා. සමහර අය දන් දෙනවා. නමුත් කායික ජීවිතය සංවර නැහැ. දන් දෙන සමහරු හරි පරුෂයි. ඒ අය දානය නිසා බලවත් වෙනවා. නමුත් සැර පරුෂ යක්ෂයන් වෙනවා. තමන්ගේ ඊළඟ ජීවිතය දැන් ගතකරන ජීවිතය අනුවයි සකස් වෙන්නේ. තමන් දන්පැන් දෙනවිට, සිනාසෙනවිට, කථාකරනවිට එයින් කර්මයක් සකස් වෙනවා. බොහෝ දෙනා දන් දෙනවා. නමුත් අත් හැර දන් නොදුන්නේ නිසා දුන් දේ පමණක් ලැබෙනවා. තමන්ගේ දේ භුක්ති විඳින්න හිත නැමෙන්නේ නැහැ. තමන් කරන කියන දේ තමන්ගේ පිටු පස්සෙන් එනවා. එනිසා නිතරම අප දන් දීලා හිත පහදවා ගන්නට ඕන.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්මය මුල්කරගෙන විහිළු කළොත් එය විශාල පාපයක් වෙනවා. උප උපන් ආත්මවල විහිළුවට කිවුවත් එය අපට ගෙවන්නට සිදුවෙනවා. මිනිසුන් මේ සියලුම පාපයන් කර ගන්නේ ධර්මය නො දන්නාකම නිසයි. සමහර අය බුදුරජාණන් වහන්සේ විවිධ කුසලතාවලට විවිධ විශේෂ දක්ෂතාවලට නින්දා අපහාස කරනවා. ගරහනවා. එහෙම වෙන්න පුළුවන්ද කියා අහනවා. නමුත් ඒ අය දන්නේ නැහැ උන්වහන්සේගේ අසීමිත ප්‍රඥා ගුණය ගැන. ඒ නිසාම ශ්‍රද්ධාවක් නැති අය වචනය නිසා බොහෝ පවුකර ගන්නවා. බුදුරජාණන් වහන්සේ, ධර්මය, සංඝයා මුල්කරගෙන කියන කරන දේ පිළිබඳව අප විශේෂයෙන් පරිස්සම් විය යුතුයි . තමන්ගේ සිත, කය, වචනය හික්මීමෙන් ඔබටමයි යහපත සැලසෙන්නේ. ඔබ යමක් දෙන ආකාරයටයි නැවත ලැබෙන්නේ. තමන් ඉතුරු කරගෙන ඉතුරු කරගෙන නම් දන් දෙන්නේ සසරෙදී තමන්ට ලැබෙන විටත් ටික ටික තමා ලැබෙන්නේ. ඒ නිසා තමාට කර්මය ගැන හැඟීමක් තිබෙන්න ඕන. බුදුරජාණන් වහන්සෙගේ ශාසනයේ සිතින්, කයින්, වචනයෙන් මොනවාහරි දෙයක් කළොත් ලැබෙන්නේ ඒ ආකාරයට ය. ශාසනය කියන්නේ සරුසාර කුඹුරක්. ඒ කුඹුරේ මොන දේ වැපුරවත් එහි බීජ හට ගන්නවා. කොහොඹ වැපුරුවොත් කොහොඹ හට ගන්නවා. වී වැපුරුවොත් වී හට ගන්නවා. බුද්ධ ශාසනය ගැන අප සතුටින් නම් කථා කරන්නේ පුණ්‍ය සංස්කාර හට ගන්නවා. බුද්ධ ශාසනය ගැන අපැහැදීමෙන් නම් කටයුතු කරන්නේ පාපි කර්ම සකස් වෙනවා. ඒ නිසා අද කාලයේ මැරෙන බොහෝ දෙනා දුගති ලෝකවල යනවා.
සීලය ගැන, දානය ගැන, භාවනාව ගැන තේරුමක් නැහැ. ඒ නිසාම භාවනා කරන අයට ගරහනවා. භාවනාවක් කරන කෙනායි දන්නේ භාවනා කරන එක කෙතරම් අමාරුද කියා. භාවනා කරන අයට අප ගැරහුම් කළොත් එහි විපාක ලැබෙන්නේ අප භාවනාට වාඩිවුණාට පස්සේයි. සිල් රකින කෙනාට අපෙන් වරදක් වුණොත් යම් දවසක අප සිල් රකින්න උත්සාහ කරද්දී එහි විපාක අපට ලැබෙනවා. ඒනිසා තේරුම්ගන්න සිතින්, කයෙන්, වචනයෙන් නිරන්තරයෙන් කර්ම සකස් වෙනවා. පිනක් හෝ පවක් අපේ අතින් සිදුවෙනවිට තමන්ගේ හැසිරීම් රටාව, සිතේ ස්වභාවය කර්මයත් සමඟ එකතු වෙනවා. විපාක දෙනකොට ඒ සියලුම දේ එකතුවෙලා විපාක දෙනවා.
ඒ නිසා අප ඒ ගැන සිහියෙන්, බුද්ධියෙන්, විමසීමෙන් මේ ධර්ම මාර්ගයේ ගමන්කිරීම වැදගත් වෙනවා.
තෙරුවන් සරණයි!
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි - බුදුසරණ අන්තර්ජාල කලාපය
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online