ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

"දුෂ්කර අවස්ථාවෙත් පින් කිරීම උතුම්" මෙණ්ඩක සිටුතුමාගේ කථා වස්තුව

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ කාලයේ බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ භද්දිය නගරයෙහි ජාතියා වනයේ.භික්ෂු සංඝයා පිරිවරාගත් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිමින් පිළිවෙලින් අංගුත්තරාප ජනපදය තෙක් වැඩියා.
ඒ ජනපදයෙහි භද්දිය නගරයෙහි මෙණ්ඩක නම් සිටුවරයෙක් වාසය කළා.එතුමාගේ බිරිඳ චන්දපදුමා නමින් ප්‍රසිද්ධව සිටියා.ධනංජය සිටුතුමා යනු එතුමාගේ පුතයි.සුමනා දේවිය යනු ලේළියයි.විශාඛා නමින් මිණිබිරියක් සිටියා.පුණ්ණ නමින් දාසයෙක් සිටියා.
බුදුරජාණන් වහන්සේ මේ සියලුදෙනාම සෝවාන් වීමට පින් ඇති අය බව බුදු ඇසින් දැක්කා.ඒ නිසයි භද්දිය නගරයට වැඩම කළේ.
මේ සිටුවරයාට මෙණ්ඩක යන නම ලැබුණේ හරි පුදුම විදිහටයි.අමුණු තිස් දෙකක පමණ බිම් පෙදෙසක අලියෙකුගේ, අශ්වයෙකුගේ, ගොනෙකුගේ උස ප්‍රමාණයෙන් යුතු රන් බැටළුවෝ පොළොව පලාගෙන මතු වුණා.පිටෙන් පිට පහර දෙමින් මතු වුණා.ඒ රන් බැටළුවන්ගේ මුඛයෙහි පස් පැහැයෙන් යුතු නූලෙන් ගෙතූ පන්දු තිබුණා.ගිතෙල්, මී පැණි ආදිය වේවා, ඇඳුම් පැළඳුම් වේවා, රන් රිදී ආභරණ වේවා, ඕනෑම දෙයක් අවශ්‍ය වූ විට කරන්නට තියෙන්නේ ඒ බැටළුවන්ගේ මුවෙහි ඇති පන්දුව අයින් කරන එකයි.එතකොට දඹදිව වැසියන්ට ඇති තරම් වුවමනා දේවල් ඒ බැටළුවන්ගේ මුවින් ගලනවා.ඒ නිසයි සිටුතුමාට මෙණ්ඩක සිටු යන නම ලැබුණේ.මෙණ්ඩක කියන්නේ බැටළුවාටයි.
මේ සිටුතුමාට මෙතරම් වස්තුව පොළොවෙන් පහළ වුණේ පෙර සසරේ කරපු පිනක් නිසයි.විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේ මොහුගේ නම අවරෝජ.මොහුගේ බිරිඳගේ පියාගේ නමත් අවරෝජ.
දිනක් මොහුගේ මාමා විපස්සී බුදුරජුන්ට ගන්ධ කුටියක් කරන්නට පටන් ගත්තා.
"අනේ මාමේ....මමත් මේකේ හවුල්කාරයෙක් වෙන්නද...?"
"නෑ...නෑ...කවුරුවත් හවුල් වෙන්නට ඕනෑ නෑ...මං මේක කරන්නේ කාටවත් කරන්න බැරි විදිහටයි.ඒ නිසා තනියම කරන්නම්...."
'මේ ගන්ධ කුටිය කළාට පස්සේ මෙතැනම කුඤ්ජර නමින් ශාලාවක් කරන්නට ඕන...' කියලා වනයට ගියා.ලී දඬු සකසාගෙන ආවා.ඒ සෑම ලී කණුවක්ම කැටයම් කළා.ඇතැම් කණු රිදියෙන් කැටයම් කළා.ඇතැම් කණු මැණිකෙන් කැටයම් කළා.ඇතැම් කණු සප්ත රත්නයෙන් ඔබ්බවා කැටයම් කළා.මේ විදිහට දොරපලු, ජනේල, උළුවහු, වහල ආදිය හැමතැනම රන් කැටයම් ඔබ්බවා සැරසුවා.ගන්ධ කුටියට ඉදිරියෙන් තථාගතයන් වහන්සේ උදෙසා සප්ත රත්නයෙන් කුඤ්ජර ශාලාව කෙරෙව්වා.ඒ ශාලාව මැද රත්න මණ්ඩපයක් කෙරෙව්වා.ධර්මාසනයක් කෙරෙව්වා.ඒ ආසනයේ පාද ඝන රනින් කෙරෙව්වා.විට්ටම ඝණ රනින් කෙරෙව්වා.සතර පැත්තෙන් රන් බැටළුවෝ කෙරෙව්වා.ආසනයේ පාදවල යටින් තැබ්බෙව්වා.රන් බැටළුවෝ දෙන්නෙක් කරවලා පා පුටුවේ තැබ්බෙව්වා.රන් බැටළුවෝ කරවලා මණ්ඩපය වටේට තිබ්බා.ඒ ධර්මාසනය රන්මුතු වැල්වලින් සැරසුවා.හේත්තු වන ලෑල්ල සඳුන් වලින් කෙරෙව්වා.කුඤ්ජර ශාලාව කරවලා එක්ලක්ෂ හැට අට දහසක් ප්‍රමුඛ විපස්සී බුදුරජුන් වඩම්මවා හාර මාසයක් තුන් සිවුර සහිතව දන් දුන්නා.
විපස්සී බුදුරජුන්ගේ කාලයෙහි ඔය අයුරින් පින්කම් කළා.එයින් චුත වෙලා දෙව්ලොව - මිනිස් ලොව ඉපිද ඉපිද ආවා.මේ භද්‍ර කල්පයේ බරණැස් නුවර උපන්නා.බරණැස් සිටු යන නම ලැබුණා.ඔහු එක දවසක් රාජ උපස්ථානයට යමින් සිටියා.පුරෝහිතයා දැකලා මෙහෙම ඇහුවා.
"ඇදුරුතුමනි...නැකැත් මුහුර්තිවල විශේෂ යමක් තිබෙනවාද ?"
"එසේය...විශේෂ යමක් දකිමි."
"ඇදුරුතුමනි...ඒ විශේෂ දෙය ජනපද චාරිත්‍රයක්ද ?"
"නෑ සිටුතුමනි...එක්තරා භයක්....!"
"ඇදුරුතුමනි...ඒ භය කුමක්ද ?"
"සිටුතුමනි...එය දුර්භීක්ෂ භයක්....!"
"ඇදුරුතුමනි....කොයි කාලෙද ඔය භය ඇතිවෙන්නේ...?"
"තව තුන් අවුරුද්දකින් දුර්භීක්ෂ බය එනවා..."
එතකොට සිටුතුමා බොහෝ කුඹුරු කෙරෙව්වා.ගෙදර තිබෙන සියලු ධනයෙන් ධාන්‍යම රැස් කළා.එක්දහස් දෙසිය පනහක් වී අටු කෙරෙව්වා.අටුකොටු පිරෙව්වා.හැලි වළං වලත් වී පුරවලා බිම සාරවා නිධන් කළා.ඉතුරු වී මැටි සමග මිශ්‍ර කොට අනා බිත්තිවල ආලේප කෙරෙව්වා.
තුන් අවුරුද්ද ගෙවෙද්දී දුර්භීක්ෂ භය ඇති වුණා.සිටුතුමා අටුකොටුවල තිබෙන ධාන්‍යයෙන් ජනයා පෝෂණය කළා.ධාන්‍ය අවසන් වුණා.
"දරුවෙනි...දැන් ඈත කඳුකරයට පලා යන්න....දුර්භීක්ෂය නැතිවන කලට කැමති නම් එන්න.අකමැති නම් එහිම ඉන්න."
තම පරිවාර ජනයා හඬමින් සිටුතුමා වැඳ පිටත්ව ගියා.පුණ්ණ නම් දාසයා පමණක් නොගිහින් නැවතුණා.දැන් ඉතුරු වුණේ පස්දෙනයි.සිටුතුමයි, බිරිඳයි, පුතයි, ලේළියි, දාසයයි, බිම සඟවා තිබූ භාජනවලිනුත් වී ගත්තා.ඒවාත් ඉවර වුණා.බිත්තිවල ආලේප කරවපු මැටි පතුරු ගැලෙව්වා.වතුරෙන් තෙම තෙමා වී ටිකක් ගත්තා.එය කොටා හාල් නැලියක් ගත්තා.එයත් බිම සාරා සඟවා තිබ්බා.එදා සිටුතුමා රාජ උපස්ථානයට ගිහින් ආවා.
"සොඳුරියේ...ඉතාම බඩගිනියි.මොකවත් නැද්ද ?"
"හිමියනි....එක් සහල් නැලියක් තියෙනවා...."
"කොහෙද තියෙන්නේ....?"
"හිමියනි...සොරුන් ගනීවි යන බයෙන් මං එය බිම සාරවලා සඟවලා තියෙන්නේ....හිමියනි...එයින් කැඳක් හැදුවොත් අපට වාර දෙකක් අනුභව කරන්නට පුළුවනි....බතක් හැදුවොත් එක වාරයයි...."
"සොඳුරිය....අපට ජීවත් වෙන්නට වෙන දෙයක් නැහැ නොවැ....බත් කාලා මැරෙමු....බතක්ම හදන්න..."
සිටු බිරිඳ බතක් පිස කොටස් පහකට බෙදුවා.සිටුතුමාගේ කොටස තැටියෙහි වඩාත් ඉදිරියෙන් තැබුවා.
ඒ වෙලාවෙහි ගන්ධමාන පර්වතයෙහි පසේබුදුරජාණන් වහන්සේ නමක් සමාධියෙන් නැගිට්ටා.සත් දවසක්ම භාවනාවෙන් සිටිය නිසා නැගිට්ට විට බලවත් කුසගින්නක් එනවා.එතකොට උන්වහන්සේ දන් පැන් ලබා ගැනීමට සුදුසුකම් ඇති අය දෙස බලනවා.පසේබුදු කෙනෙකුට එබඳු අවස්ථාවක දෙන දානය මහත්ඵල මහානිශංස නිසා දුකට පත් වුණ අය දෙස විශේෂයෙන් බලනවා.එහෙම බලද්දී පසේ බුදුරජුන්ට මෙය පෙනුණා.
'මුළු දඹදිවම දුර්භීක්ෂ භයක් හටගෙන තියෙනවා.සිටු ගෙදර පස් දෙනෙකුට බතක් පිස තිබෙනවා.මේ ඇත්තන්ට ශ්‍රද්ධාවත් තියෙනවා.මට සංග්‍රහ කරන්න පුළුවන්කමක් තියෙනවා.'
මෙසේ කල්පනා කළ පසේබුදුරජුන් සෘද්ධියෙන් මහා සිටුවරයාගේ නිවස ඉදිරියට වැඩියා.සිටුවරයා ඉතා සතුටට පත් වුණා.මෙහෙම කල්පනා කළා.
'මං ඉස්සර දන් නොදුන්න නිසයි මෙබඳු වූ දුර්භීක්ෂයකට මුහුණ දුන්නේ.මං මේ බත කෑවොත් එක දවසක් ජීවත් වේවි.ආර්යයන් වහන්සේට පූජා කරගත්තොත් නොයෙක් කල්ප කෝටි ගණන් පිහිට ලැබේවි.' කියලා තමන්ගේ බත් තලිය ගෙන පසෙකින් තිබ්බා.පසේබුදුරජුන්ට වන්දනා කළා.ආසනයක් පැණෙව්වා.පසේබුදුරජුන්ගේ පා දෝවනය කළා.ආසනයෙහි වඩාහිඳෙව්වා.තම බත් තලිය පසේබුදුරජුන්ගේ පාත්‍රයට අඩක් දමද්දී පසේබුදුරජුන් අත වැසුවා.
"අනේ ස්වාමීනි...එක් සහල් නැලියක් පස් දෙනෙකුට පිසපු බතක් තියෙන්නේ...මේ එක් කොටසක්...මේක දෙකොටසක් කරන්නට බැහැ...මට මෙලොවින් සංග්‍රහ කරන්නට එපා...! මං සියල්ල දෙන්න කැමතියි..." කියලා සියලු බත් පූජා කළා.මෙහෙම පැතුමකුත් කළා.
"ස්වාමීනි....උපනූපන් ආත්මයෙහි මෙබඳු වූ දුර්භීක්ෂයක් දකින්නට නොලැබේවා ! මෙතැන් පටන් සියලු දඹදිව වාසීන්ට බිත්තර වී, බත් ආදිය දෙන්නට සමර්ථ වෙම්වා ! සිය අතින් වැඩකොට ජීවත් වෙන්නට නොලැබේවා ! එක් දහස් දෙසිය පනහක් අටුකොටු සෝදා, වතුර නා, ඒ අටුකොටු පෙරටුව සිට උඩ බැලූ විට රත් ඇල් සහල් අහසින් වැටී සියලු අටුකොටු පිරෙත්වා ! උපනූපන් තැන මැය මාගේ බිරිඳ වේවා ! මොහු මාගේ පුතා වේවා ! මැය මාගේ ලෙහෙලිය වේවා ! මොහු මාගේ දාසයා වේවා !" එතකොට සිටු බිරිඳත් මෙහෙම කල්පනා කළා.
'මගේ ස්වාමිය බඩගින්නේ සිටිද්දී මං කොහොමද අනුභව කරන්නේ...? මමත් පසේබුදුරජුන්ට මගේ කොටස පූජා කරනවා...' කියලා ඇයත් තම බත් කොටස පූජා කළා.මෙහෙම ප්‍රාර්ථනා කළා.
"ස්වාමීනි....උපනූපන ආත්මයක මෙවැනි දුර්භීක්ෂ භයක් නම් දකින්නට නොලැබේවා ! බත් හැළියක් ඉදිරියේ තබාගෙන සියලු දඹදිව වාසීන්ට බත් බෙදද්දී යම්තාක් මම එතැනින් නැගිටින්නේ නැද්ද, ඒ තාක් බත් ගත් තැනින් නැවත පිරේවා ! ඒ වගේම ස්වාමීනි...මොහුම මාගේ සැමියා වේවා ! මොහුම මාගේ පුතා වේවා ! මැයම ලෙහෙලිය වේවා ! මොහුම දාසයා වේවා !"
එතකොට පුතාත් තමන්ගේ බත් කොටස පසේ බුදුරජුන්ට පූජා කළා.මෙබඳු ප්‍රාර්ථනාවකුත් කළා.
"ස්වාමීනි...මෙතැන් පටන් කිසිදා මෙබඳු දුර්භීක්ෂ භයක් දකින්නට නොලැබේවා ! කහවණු දහසක් ඇති පසුම්බියක් ගෙන මුළු දඹදිව වැසියන්ට කහවණු බෙදුවත් ඒ කහවණු පසුම්බිය හිස් නොවේවා ! මාගේ මා පියවරුන් මේ දෙදෙනාම වෙත්වා ! මැය මාගේ බිරිඳ වෙත්වා ! මොහු දාසයා වේවා !"
ලෙහෙලියත් තමන්ගේ බත් කොටස පසේබුදුරජුන්ට පූජා කළා.මෙබඳු පැතුමකුත් කළා.
"ස්වාමීනි...මෙතැන් පටන් කිසිදා මෙබඳු වූ දුර්භීක්ෂ භයක් දකින්නට නොලැබේවා ! එකම කුල්ලකට පුරවාගත් බිත්තර වී සියළු දඹදිව වාසීන්ට දුන්නත් එය අවසන් නොවේවා ! උපනූපන් තැන මේ දෙදෙනාම මාගේ මාමණ්ඩියත්, නැන්දණියත් වෙත්වා ! මොහුම මාගේ සැමියා වේවා ! මොහුම දාසයා වේවා !"
දාසයාත් තමන්ගේ කොටස පසේබුදුරජුන්ට පූජා කළා.එදා සෙන්පතිබව පැතුවත් ලැබෙන බව දන්නවා.නමුත් ස්වාමිවරුන් කෙරෙහි ඇති ආදරය නිසා මේ විදිහට ප්‍රාර්ථනා කළා.
"ස්වාමීනි...මෙතැන් පටන් කිසිදාක දුර්භීක්ෂ භයක් දකින්නට නොලැබේවා ! මේ සියලුදෙනා මාගේ ස්වාමිවරු වේත්වා ! මා නඟුලෙන් සී සාද්දී එක්වරම මැදින් පස් පිඬැල්ලකුත්, දෙපැත්තෙන් පස් පිඬැලි තුන බැගිනුත් බිඳී යන ලෙසින් නඟුල් පහර සත බැගින් වැදී යත්වා !"
පසේ බුදුරජුන් සෙත් ගාථා ප්‍රාර්ථනා කළා.මොවුන්ගේ චිත්ත්ප්‍රසාදය පිණිස ගන්ධමාන පර්වතය තෙක් පෙනෙන්නටත් අධිෂ්ඨාන කළා.ඔවුන් බලා සිටියදීම අහසට පැන නැග ගන්ධමාන පර්වතයට වැඩියා.පන්සියයක් පසේබුදුවරුන්ට ඒ දානය බෙදුවා.ඒ සියල්ල ඉතා සතුටින් මේ උදවිය බලා සිටියා.
දහවල් කාලය ගෙවී ගියා.සිටු බිරිඳ හැළි වළං සෝදා නවා තිබ්බා.සිටුවරයා ඉවසිය නොහැකි බඩගින්න නිසා ඇඳේ වැටී නිදා ගත්තා.සවස් වරුවෙහි අවදි වුණා.
"සොඳුරියේ...බඩගින්න නම් ඉවසන්නට බැහැ....ඔය හැළියක දන්කුඩ ටිකක්වත් නැද්ද ?"
එතකොට සිටු බිරිඳ හැළිව්ළං සේදූ බව කිව්වේ නෑ.හැළියේ පියන ඇරලාම කියන්නට ඕන කියලා එතැනට ගියා.ගිහින් පියන ඇරියා.හරිම පුදුමයි...! අදහා ගන්නට බැහැ...ලොකු සමන් කැකුළු වගේ හැඩයෙන් යුතු ඇල් හාලේ අත් හැළිය පුරා පිරී තිබෙනවා....සිටු බිරිඳට ප්‍රීතිය වැඩිකමට කෑ ගැසුණා....
"හිමියනි...හිමියනි...නැගිටින්න...හරි පුදුම දෙයක් වෙලා...මං මේ හැළි වළං සෝදලා වසා තිබ්බා....හිමියනි....මෙහෙ එන්න...මේ බලන්න....ඇල් හාල් බත් සමන් කැකුළු වගේ ලස්සනට තියෙන අපූරුව....පින් නම් කළ යුතු දෙයක්මයි...දානය නම් දිය යුතු දෙයක්මයි...හිමියනි...මෙහි එන්න....හැකිතාක් වළඳන්න...."
හැමෝම ඉතා සතුටින් අනුභව කළා.ඒ පස් දෙනාටම සතුටුයි.හැන්දෙන් බත් ගත් තැනින් අඩු වුණේ නෑ.ආයෙමත් බත් පිරුණා ! අටුකොටු බලද්දී වී පිරී ඉතිරී ගිහින් ! සිටුතුමා හැම තැනම ප්‍රසිද්ධ කෙරෙව්වා.
"කවුරුත් භය වෙන්නට එපා ! ඕනෑ තරම් කෑම තියෙනවා..."
සිටු ගෙදරින් දිගටම ආහාර පාන බෙදුවා.ටිකෙන් ටික දුර්භීක්ෂය අවසන් වුණා.දඹදිව වාසීන්ට ජීවිතය රැක ගන්නට ඒ සිටුතුමා කළ උපකාරය හේතු වුණා.
ඔවුන් කාලානුරූපීව මිය ගියා.දෙව් මිනිස් ලොවෙහි සැරිසරා යද්දී අපේ බුදුරජුන් කල සිටුතුමා භද්දිය නගරයෙහි සිටු කුලයෙහි උපන්නා.සිටු දේවිය මහා සම්පත් ඇති කුලයක ඉපදී මේ සිටුතුමාගේම බිරිඳ වෙලා ආවා.ඒ පුතාමයි ඔවුන්ට පුතා වුණේ.ලේලියම ලේලිය වුණා.දාසයාම දාසයා වුණා.ඒ පෙර පින් නිසයි පොළොව පළාගෙන රන් බැටළුවෝ මතු වුණේ.දවසක් සිටුතුමා තමාගේ පින විමසන්නට හිතුවා.එක්දහස් දෙසිය පනහක් අටුකොට සේදුවා.වතුර නෑවා.ඒ අටුකොටු ඉදිරියට ගොස් අහස බැළුවා.හරි පුදුමයි ! රත් ඇල් සහල්වලින් අටුකොටු පිරී ගියා.
තමන්ගේ පින විමසන්න කියලා බිරිඳටත් කිව්වා.සිටු බිරිඳත් සියලු ආභරණවලින් සැරසිලා මහජනයා බලා සිටිද්දී සහල් මැනලා ගත්තා.බතක් පිසුවා.ගේ දොරකඩ ආසනයක් පනවාගෙන රන් හැන්දක් අතට ගෙන බත් අරගෙන යන්නට මිනිසුන් කැඳෙව්වා.දවස පුරාම දුන්නා.බත් අවසන් වුණේ නෑ ! ඒ සිටු බිරිඳ සසරේ පාත්‍ර පුරවා දන් දුන් බැවින් වම් අතේ නෙළුම් මලේ ලකුණ තිබුණා.දකුණු අතේ පුන් සඳේ ලකුණ තිබුණා.සසරේ භික්ෂු සංඝයාට දන් දෙද්දී පැන් කෙණ්ඬිය අරගෙන දාන ශාලාව පුරා ඇවිදපු නිසා දකුණු පාද තලයේ සඳ ලකුණ තිබ්බා.වම් පාද තලයේ පියුම් ලකුණ තිබ්බ.ඒ නිසයි ඇයට චන්දපදුමා යන නම ලැබුණේ.
පුත්‍රයාත් තමාගේ පින විමසුවා.හොඳට වතුර නෑවා.පසුම්බියට කහවණු දැම්මා.ඒ පසුම්බිය ගෙන ජනයාට කහවණු බෙදන්නට පටන් ගත්තා.කහවණු අවසන් වුණේ නෑ !
ලේලිය තමන්ගේ පින විමසුවා.සියලු ආභරණයෙන් සැරසිලා වී පුරෝපු කුල්ල අතට ගත්තා.එළිමහනකට ආවා.බිත්තර වී බෙදන්නට පටන් ගත්තා.වී අවසන් වුණේ නෑ !
දාසයාත් තමන්ගේ පින විමසුවා.සියලු ආභරණයෙන් සැරසිලා, සරසවපු ගොන්නු වියගසේ බැඳලා රැහැන් පට අතට ගෙන රන් නඟුල ගෙන කුඹුර සාන්නට පටන් ගත්තා.දෙපැත්තෙන් පස් පිඬැලි තුන බැගින් පෙරළුණා.මැද්දෙන් පස් පිඬැල්ල බැගින් පෙරළුණා.නඟුල පහර සත බැගින් පෙරළී ගියා !
මෙසේ මේ පස් දෙනා මහා පිනකින් යුක්ත වුණා.
භද්දිය නගරයට බුදුරජුන් වැඩි වග සිටුතුමාට සැලවුණා.සිටුතුමාට හරි සතුටුයි.සිටුතුමා 'අනේ අපගේ ශාස්තෘන් වහන්සේව පිළිගැනීමට පෙරගමන් යන්නට ඕන...' කියලා පිටත් වුණා.සිටුතුමාගෙන් ලාභ ප්‍රයෝජන ගත් අන්‍ය තීර්ථකයන් කලබල වුණා.ඔවුන් වහ වහා රැස් වුණා.සිටුතුමා මුණගැසෙන්නට පාරට දිව්වා.
"හා...හා...සිටුතුමනි...ශ්‍රමණ ගෞතමයන් බැහැදකින්නට ඔතරම් හදිස්සියක් මොකද ? ඔබ කර්ම - කර්මඵල විශ්වාස කරන කෙනෙක් නොවැ...ශ්‍රමණ ගෞතමයන් එහෙම කෙනෙක්යැ...ආත්මයක් විශ්වාස කරන්නේ නැහැනේ...අකිරියවාදියෙක් නොවැ..."
සිටුතුමා හිනැහුණා මිස විරුද්ධව මොකුත් කිව්වේ නෑ.ඔවුන්ගේ වචන ගණන් ගත්තේ නෑ.භාග්‍යවතුන් වහන්සේව පිළිගැනීමට ගියා.භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කළා.එකත්පස්ව හිඳගත්තා.බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ධර්මය දේශනා කළා.ඒ දේශනාව අවසාඅනෙයි ඔහු සෝවාන් ඵලයට පත් වුණා.සිටුතුමා අන්‍ය තීර්ථකයන් තමන්ව වැලැක්වූ අයුරු බුදුරජාණන් වහන්සේට පැවසුවා.
"සිටුතුමනි...මේ සත්වයන් තමන්ගේ විශාල දෝෂය දකින්නේ නෑ.අනුන්ගේ නොතිබෙන්නා වූ දෝෂය තිබෙන්නා වූ දෝෂය බවට පත් කරනවා.ඒ ඒ තැන බොල් පළනවා වගේ ගරහනවා."
මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ මධුර මනෝහර ස්වරයෙන් මේ ගාථා රත්නය වදාළා.
252.18.
සුදස්සං වජ්ජමඤ්ඤේසං - අත්තනෝ පන දුද්දසං
පරේසං හි සෝ වජ්ජානි - ඕපුණාති යථා භුසං
අත්තනෝ පන ඡාදේති - කාලිං'ච කිතවා සඨෝ

අනුන්ගේ වරද දැකුම නම් - බොහෝ අයට ඉතා පහසුය
තමන්ගේ වරද දැකුම නම් - ඔවුන් හට ඉතා අපහසුය
බොල් වී පෙළන ලෙස - අනුන්ගේ වැරදිම සොයයි
තම වැරදි සඟවා ගනියි - කුරුලු වැද්දා සැඟවෙමින්
කුරුල්ලන් මරනා ලෙසින්

පින්වතුනේ, පින්වත් දරුවනේ, බුදුරජාණන් වහන්සේ තරම් අකුසලයත්, අකුසල විපාකත්, කුසලයත් කුසල විපාකත් පැහැදිළිව තෝරා දීපු කෙනෙක් වෙන කොයින්ද ? උන්වහන්සේ තරම් ක්‍රියාවේ වගකීම පෙන්වා දුන් වෙන කෙනෙක් කොයින්ද ? නමුත් අන්‍ය තීර්ථකයන් උන්වහන්සේට නිතර නින්දා කළේ ක්‍රියාව නොපිළිගන්නා කෙනෙක් ලෙසයි.උන්වහන්සේ නොතිබූ දෝෂයකින් තමයි ඒ කවුරුත් බැන්නේ.ඒ අයටමයි ඒකෙන් පාඩු වුණේ.මහා කාරුණික, මහා සත්පුරුෂ, මහා කල්‍යාණ මිත්‍රයා හඳුනා ගැනීමේ අවස්ථාව ඔවුන්ට නැති වුණා.නමුත් මෙණ්ඩක සිටුවරයා බඳු නුවණැතියන්ට ඒක බාධාවක් වුණේ නෑ.ඒ අය ධර්මය කරාම ගියා.
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය - 18 ( මල වර්ගය )
~ අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ~

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...
සියලු දාන අතර උසස්ම දානය ධර්ම දානයයි ඔබත් ධර්ම දානයට සහභාගිවි බොහෝ කල් යහපත පිනිස පින් රැස් කරගන්න.
තෙරුවන් සරණයි…!!!!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online