ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

නොකඩවා ආ ගමන...

සෑම ජීවිතයකම මිසදිටු අඳුරු කඩතුරාව ඉරා, දුක්‌බර සසරින් මිදීයැමේ සුන්දර හා ශෝභමාන මාවත කවරකුගේ වුව සිත් තුළ විවෘතව ඇත. ඒ අතිශය සුන්දර වූ මංතලාව ඔස්‌සේ අමා නිවනට පිවිස ගැනීමට පෙරුම් පුරාණ මේ ශීලෝපශෝභිත මහයතිවරයන් වහන්සේ අපට හමුවූයේ දුර ඈත රජරට පෙදෙසේ පිහිටි ජනයාගෙන් බොහෝ සෙයින් ශුන්‍ය වූ තුරු මඩුලු සිරසින් ගහන වන අරණකදීය. නම් ගොත් හෝ රුව පවා හෙළි කිරීමට අකමැතිවූ උන්වහන්සේගේ මුවමඬලින් ගලා ගිය අමා සදහම් දියෙන් බිඳක්‌ අපි ඔබ සිත් අභිමුව තබමු.

සංවාද සටහන - සුගත් වීරසූරිය

ජීවිත කාලය තුළදී ඔබ කොතෙක්‌ නම් ගමන් බිමන් යනවාද? ඒ හැම ගමනක්‌ ගොස්‌ නිමා කළ ඉක්‌බිතිව ඔබ අන්තිමට එන්නේ කොතැනකටද? සැබවින්ම ඔබ හැම කෙනෙක්‌ම අන්තිමට එන්නේ ගෙදරටය. එනේම කාරුණික පින්වතුනි, මේ ලෝකය දෙස මඳක්‌ බලන්න. ඒ තුළ කොතෙක්‌ නම් ආකාරවූ මිනිසුන් සිටිනවාද? කොතෙක්‌ ආකාරවූ ගැහැනුන් සිටිනවාද? මේ අප්‍රමාණ වූ සත්ත්ව ලෝක විෂයය ගෙන බැලුවද දක්‌නට ලැබෙන්නේත් මේ ටිකමය. රූපයෙන් ඉහළ මිනිස්‌සු ජීවත්වෙති. රූපයෙන් පහළ මිනිස්‌සු ජීවත්වෙති. ගැහැනුන් ගැනද මේ ටිකම කිව හැකිය. සත්ත්ව ලෝකයේද මේ ටික දක්‌නට තිබේ. ඔවුනොවුන්ගේ හැකිකම් හා නොහැකිකම්ද අනුව ඔවුනොවුන් ජීවත්වෙන්නටද නොයෙක්‌ දේ කරති. කියති. 

මේ මහා ලෞකික ජීවිත සටන ජයගැන්මට මෙන්ම එහි ඇති අනෙකුත් අනේකවිධ වූ ජීවන අරමුණුද ජයගන්නට ලෝකයා කටයුතු කරති. ඇතැම් විට ඔවුන්ට රැය හා උදය, දවාල ගෙවී යනවාද දැනෙන්නේ තේරුම් යන්නේ නැත. ජීවිතය ගෙවී අවසන් වෙන්නට ඔන්aන මෙන්න තිබියදී ඒ බවවත් නොවැටහී තවත් තණ්‌හා කළල් ගොහුරේම කර වටක්‌ එරී ගත් මිනිසුන් ඔබ අප අතරේ කොතෙක්‌ නම් සිටිත්ද? මොවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ජීවිතයේ අන්තිමටම එන තැන් කිහිපයක්‌ම තිබේ. කොයි යම් පාරකින් ගියත් මේ තැන් නම් ඔවුන්ට මඟහැර යන්නටම බැරිය. ඒ එක්‌ තැනක්‌ තමා ජරාව, අනෙක්‌ තැන ව්‍යාධිය. අනෙක්‌ තැන මරණයයි. ජීවිතයක්‌ ලබා සාංසාරික ගමන් මගට වැටුණු කවරකුට වුවත් මේ අනිවාර්ය නවාතැන්වලට විත් වැටෙන්නට සිදුවෙනවාමය. 

ළදරුවන් ලෙස දවසකට ලෝකය තුළ කොතෙක්‌ නම් මිනිස්‌ උපත් සිදුවනවාද? අනෙකුත් සත්ත්ව ලෝකවලටද මේ නිය දහම පොදුය. මේ ලෙස උපත ලබන සෑම සත්ත්වයකුම ඒ උපන් මොහොතේ පටන්ම පෙරකී ජීවන නවාතැන්පලවලට එන්නට සූදානම් වන්නෝය. හුදෙක්‌ම ඒ සනාතන අනිත්‍යතාවට නිරන්තරයෙන්ම ඔවුන් ගොදුරු වීම තුළින් ඔවුන්ට මෙයට මුහුණ දෙන්නට සිදුවේ. ගලා යන දිය දහරක්‌ වෙත වරක්‌ බසින්නකුට යළිත් ඒ දිය දහරටම බහින්නට බැරිය. එනම් ඊළඟ මොහොතේ එහි ඇත්තේ අලුත් දිය දහරකි. සත්ත්ව ජීවිතයේ තත්ත්වයද මෙයමය. එනම ඊළඟ මොහොතේ දක්‌නට ලැබෙන්නේ කලින් සිටි සත්ත්වයා නොවේ. ඒ වන විට ඒ සත්ත්වයාගේ ශරීරය තුළ වූ මෙන්ම මුළු මහත් ජීවිතයේම වූ සෑම සියලු දෙයක්‌ම මහා වෙනසකට විපර්යාසයකට, විපරීතයකට පෙරළී ඇති හෙයිනි. නාම කය යනුවෙන් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සත්ත්වයාගේ චිත්ත චෛතසික ධාරාවයි. එනම් නොනැවතී පවතින සිතිවිලි වැලයි. රූප කය ලෙස උන්වහන්සේ දේශනාකොට වදාළේ මේ සත්ත්ව ශරීරයයි. නාම කය ක්‌ෂණයක්‌ පාසා වෙනස්‌වීමට ලක්‌වන්නකි. රූප කායද නිරන්තරයෙන් මේ විපරීත වීමට, වෙනස්‌ වීමට ලක්‌වෙයි. එහෙත් පුහුදුන් සත්වයිනට මේ විපරිණාම දුක්‌ඛය එක්‌වරම මැනවින් පෙනෙන්නේ හෝ දැනෙන්නේ නැත. එතෙකුදු වුවත් තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ සර්වඥතා ඥානයට එය මැනවින් පෙනෙන්නේය.

නොබෝ දිනයක වයස්‌ගතවී, බොහෝකොට ජරාජීර්ණවී මියෑදුණු ඔබේ අසල්වැසියකු නැත්නම් නැදැයකු ගැන ඔබට සිහිපත් කළ හැකිද? මියයන්නට ආසන්නයේ ඔහු ඈ සිටියේ වක්‌වුණු කුදු ගැහුණු කොන්ද සහිතවය. රැළි වැටුණු හම හා යටගිලී ගිය දැස්‌ සහිතවය. අතපය වැල්කෝටුවලට සමාන වූවාට සැක නැත. ඔහු ඈ උපන් දවසේ යෞවන වියට පත්වුණු කාලයේ මේ ජීවිත විකෘතීන් කවදාවත් දක්‌නට නොලැබුණේය. ඔහු ඈ නිරන්තරයෙන් වැඩකරන අවස්‌ථාවල කිසියම් වැඩක යෙදී සිටියේය. අහර අනුභව කරනවිට අහර අනුභව කළේය. දිය නාන විට දිය නෑවේය. ගමන් බිමන් යන විට ගමන් බිමන් ගියේය. නිදාගන්නා විට නිදාගත්තේය. ජීවිතයේ කුදු මහත් සකලවිධ වූ කටයුතු පුළුවන් තරම් කළේය. දරු මුණුබුරන් තනා හදා වා ඔවුන්ද දීගතලග දී ඔවුන්ගේ දරුවන්ද නැළෙව්වේය. 

රැක්‌කේය. එහෙත් අර පෙර කී අනිවාර්ය ජීවිත තවාතැන්පලවලට ඔබ දක්‌කාගෙන එන ඒකාන්ත ජීවන ගමන හැම මොහොතකම එකම වේගයකින් නොනැවතී ඔබ හා අත්වැල් බැඳගනිමින් ඉදිරියටම ගලාගෙන ගියේය. මහලු බවට, ජරාවාස වීමට මාරාන්තික ලෙඩ දුක්‌වලට පැමිණි මේ ගමන ඇතැම් විට ඔබට සිහිනයක්‌ මෙන්ද විය හැකිය. විටෙක එය තෝරා බේරා ගැන්මට තරම් ශක්‌තියක්‌. ප්‍රඤාවක්‌ නැති ඔබට මේ ගමන ආවේ කවදාද, කොහොමද යෑයි කල්පනා කරන්නටද පිළිවන. කෙසේ වතුදු ඒ කොහොම සිතුවත් ඔබ හැම නොකඩවා ආ ගමන නම් මෙයයි.

සැබැවින්ම ඔබ කවුරුත් ජීවිතය තුළ නොනැවතී එන මේ ගමන දෙස ගැඹුරු නුවණින් බැලිය යුතුය. මේ ආදී වශයෙන් බලන කල විශේෂයෙන් ඔබ අවධානයට ලක්‌කළ යුතු කාරණයක්‌ තිබේ. එනම් ඔබට මේ ජීවන ගමනෙහිදී සදාතනිකවම එකතැන නතර කර තබා ගැනීමට හැකිවූයේ කුමක්‌ද? ඔබ සිතූ සිතිවිලි නැත්නම් නාම කොතෙක්‌දැයි ඔබට ගණන් කිරීමට පිළිවන්ද? එය කවදාවත් කරන්නට බැරිය. ඔබ තුළ ළදරු කාලයේ තිබූ නාමයන් දැන් මුළුමනින්ම අතුරුදන්වී ගොසිනි. ළමා කාලයේ තිබූ නාමවලට සිදුවූයේ කුමක්‌ද? තරුණ කාලයේ නාමවලට සිදුවූ දෙයද එයමය. ඒ සියල්ල ගෙවී, ඉවරවී නැතිවී ගොසින්ය. මේ හා සමගාමීවම රූප කායයන්ගේද ගෙවීම්, ඉවරවීම් හා නැතිවීම් අනන්තව සිදුවිණි.

මෙහිදී තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදු රජාණන් වහන්සේ සදෙසා වදාළ මහා සුදස්‌සන සූත්‍රය මට සිහිපත් වේ. භික්‌ෂුන් වහන්සේලාද පිරිවරා ගත් උන්වහන්සේ දිනක්‌ අතීතයේ මහා සුදස්‌සන නම් සක්‌විති රජු රාජ්‍යය කළ රාජධානිය පිහිටි බිම් පෙදෙස වෙතින් වැඩම කරමින් සිටියහ. ඒ වන විට ඒ රාජධානියේ තිබුණේ අතීතයේ මතක නටබුන් ටිකක්‌ පමණකි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ එහිදී භික්‌ෂුන් වහන්සේලා අමතා වදාළ සේක. 

'මහණෙනි, පින්වත් මහණෙනි, බලන්න එදා ඒ මහා සුදස්‌සන රජතුමාට කොතෙක්‌ නම් ඇත්, අශ් රිය, පාබල සේනා, ස්‌ත්‍රීන් ආදීන් සිටියාද? එහෙත් අද ඒ කිසිවකුත්, කිසිවෙකුත් ඉතිරි වී නෑ. බලන්න, මහණෙනි, ඒ සංස්‌කාරවලට සිදුවූ දේ. ඒ සියල්ලම ගෙවී ගියා, නැතිවී අතුරුදන් වී ගියා. ඉදින් මහණෙනි, මේ සංස්‌කාර අනිත්‍යමයි. සංස්‌කාර කෙරෙහි කිසිදු විශ්වාසයක්‌ තැබිය නොහැකිමය. ඒවායින් අතමිදීමම සාංසාරික විමුක්‌තිය පිණිස හේතු වෙයි. එහිදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සේක.


සංස්‌කාර නම් හේතූන් නිසා හටගත් දේයි. සැබැවින්ම පවසතොත් ලෝකයට අයත් සියලුම දේයි. ලෝකය නම් නිර්වාණ සම්පත්තියෙන් මෙතෙර දේයි. සත්ත්වයාගේ දුඃත සංසාර ප්‍රවෘත්තිය යනුද මෙයමය. දිරායැම, ගෙවී යැම, විකෘති වීම, නැතිවීම, විනාශයට පත්වීම මේ සියලු සංස්‌කාරයන්ගේ ඒකාන්ත ස්‌වභාවයමය. මෙය වළක්‌වන්නට කිසිදු දෙවියකුට බැරිය. කිසිදු බඹෙකුට ද බැරිය. කිසිම මනුෂ්‍යයකුට හෝ යක්‌ෂයකුටත් නොහැකිය. සියලු කෙළෙසුන් නසා සම්මා සම්බෝධියට පත්වී වදාළ සම්බුදුරජාණන් වහන්සේලාටත් එය වළක්‌වන්නට නොහැකි වූයේ උන්වහන්සේලාගේ ජීවිත පහන් ද මරු සුළඟින් නිවී ගියේය. වැදගත්වූයේ උන්වහන්සේලා දුඃත වූ ඒ සංසාර ඉරණමට යළිදු නොවැටෙන්නට කටයුතු කරගෙන තිබීමයි. මාරයා පරාජයට පත්කර තිබීමයි.

උන්වහන්සේ සම්මා සම්බෝධිය ලබන්නට පෙරාතුව එනම් ඊට අවශ්‍ය බෝධි සම්භාර ධර්ම පිරූ කාලය සාරාසංඛ්‍ය කල්ප ලක්‌ෂයක්‌ පමණ බව ධර්මයෙහි සඳහන් වේ. ඒ කාලය තුළ උන්වහන්සේ උපත ලැබූ ආත්මභාව සංඛ්‍යාව කිසිවකුටත් ගණන් කිරීමට පවා නොහැකි තරම්ය. ඒ සෑම ආත්මභාවයකදීම උන්වහන්සේද ජරාවට පත්වූ සේක. ව්‍යාධි දුඃඛයට පැමිණ වදාළ සේක. එමෙන්ම අවසානයේදී මරණයටද පත්වූහ. මේ ලෙසින් බලන කල ඒ කාලය තුළ උන්වහන්සේ මරණයට පත්වූ වාර අනන්තය. එහෙත් උන්වහන්සේ එලෙසින් කොතෙක්‌ වාරයක්‌ මරණයට පත්වූවත් උන්වහන්සේ තුළ වූ සම්මා සම්බෝධිය ලබාගැනීමේ උදාර අරමුණට කිසිදු හානියක්‌ සිදු වූයේ නැත. තවදුරටත් පැවසුවහොත් ඒ උතුම් අරමුණ ඉෂ්ට සිද්ධ වන තෙක්‌ සංසාරයේ ඉදිරියටම ගමන්ගත් සේක.

එය එසේ වුවත් ඔබ යන ගමන ගැන ඔබට නිශ්චිත නිර්ණයක්‌ තිබේද? ජීවිතයේදී නිරන්තරයෙන් ලබා ඇතිවාටත් වඩා විසිතුරු ලබන්නට ප්‍රාර්ථනා කරන ඔබේ සෑම අරමුණක්‌ම තෘෂ්ණාවෙන්ම තෙත්වී තිබේ. දූෂිත වී තිබේ. එහෙයින් ඔබ යන ගමනේදී ඔබට වැඩිපුරම හමුවන්නට ඉඩ ඇත්තේ සතර අපාය භූමීන් බවට නම් කිසිදු සැකයක්‌ නැත. ඒ ඔබේ අරමුණ හුදෙක්‌ම සංසාරයේ විසිතුරු ප්‍රාර්ථනා කරමින් එහි ඈතටම ගමන් කිරීම වන නිසාය. මෙහිදී ජාතියට, ජරාවට, ව්‍යාධියට හා මරණයට හැමදාමත් පැමිණෙන ඔබේ සංසාර ජීවිත ගමනෙහි කෙළවර කොතැන දැයි සිතා ගැනීමටවත් බැරි තරම්ය.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
සදහම් සඟරා - Online