ඔබ දන්නවාද පන්චානන්තරිය පවක් සිදු කර අපාගතවනාවට වඩා නියත මිත්‍යා දෘෂ්ථිය නිසා අවීචි මහා නරකයට අපාගතවීමෙන් සසරේ කවදාකවත් ගොඩඒමට නොහැකි ලෙස සසරේ බැඳ දමන බව....? මේ නිසා ඔබ බෞද්ධයෙක් වුවත් අබෞද්ධයෙක් වුවත් මේ මිත්‍යා දෘෂ්ථියෙන් යුක්තනම් ඔබට ගැලවීමක් නැත.

භාග්‍යවත් වූ අරහත් වූ සම්බුදුරජානන්වහන්සේ අසම සම වූ සේක.

සැබෑ උපාසකයකු වන්නේ කෙසේද?

අප මේ ගත කරන්නේ ගෞතම බුද්ධ ශාසනය පවතින යුගයේය. ගෞතම නම් වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සහ අන්‍ය බුද්ධ ශාසනයේද, ඒ බුද්ධ ශාසනවල විශාල වගකීමක්‌ දරන පිරිස්‌ හතරකි. ඒ සතර නම් භික්‌ෂු-භික්‌ෂුණි, උපාසක - උපාසිකා යන පිරිස්‌ හතරයි. මෙහිදී උපාසක උපාසිකා යනු ගිහි පිරිසකි. ඉහතකී දෙපිරිසගේම අවසන් පැතුමක්‌ ඇත. එය නිවනයි. එසේම සිව්වනක්‌ පිරිස මෙන්ම දෙව්බඹුන් ආදී පිරිසගේද අවසන් පැතුම නිවනයි. මෙකී නිවන යන වචනය පුහුදුන් සමාජයේ බොහෝ උපාසක උපාසිකා යන දෙපිරිසගේ නිවනේ දැනුම වනාහී ඉතාම අල්පය. එබැවින් මේ අයට නිවන් සැප ලැබේවා කියා ඇසූ පමණින් දුටු පමණින්, මනසින් උපාදානය කරගෙන ඇත්තේ මනසේ චිත්ත රූපයක්‌ මවා ගෙන ඇත්තේ නිවන යනු ස්‌ථානයක්‌ බවත්, එයට යා හැකි බවත්, උපරිම සැප විඳිය හැක්‌කේ නිවනේදී බවත්ය. කෙටියෙන් කිවහොත් වෙනත් ලෝකයක්‌ බවයි.

එහෙත් තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද බුද්ධ දේශනාවේදී නිවන විග්‍රහ කරනු ලබන්නේ මේ අයුරිනි.


'අතථි භික්‌ඛවේතදායතනං - යත්ථනේව පඨවි, න ආපෝ, න තේජෝ, න වායෝ න උභෝ චන්දිමා සූරියා, න ගතිං, නචුතිං න උප්පත්තිං, අප්පතිට්‌ටඨං, අප්පවත්තං, ඒ සෝවන්තෝ දුක්‌කස්‌මාතී'

එහි සරල සිංහල තේරුම නිවන කියා දෙයක්‌ ඇත. පඨවි, ආපෝ,තේජෝ, වායෝ යන සතර මහා ධාතු එහි නැත. එසේම සූර්යයා, චන්ද්‍රයා යන දෙකම නැත. එහි යන්නෙක්‌ද නැත. සිටින්නෙක්‌ද නැත. උපදින කෙනෙක්‌ද නැත. පිහිටීමක්‌ද නැත. පැවැතීමක්‌ද නැත. එබැවින් එය දුකේ කෙළවරයි යනුවෙනි.

එසේ නම් තථාගතයන් වහන්සේගේ මූලික බුද්ධ දේශනාවට අනුව නිවන යනු සියලු දුක්‌ කෙළවර කිරීම මිස වෙනත් කිසිදු දෙයක්‌ නොවන බව උපාසක උපාසිකාවන් පළමුව දත යුතුය. උපාසක යන ගෞරව නාමය හිමිවන්නේද අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය තැනැත්තා වෙතය. එසේම උපාසක යන වචනයේ අකුරු පෙළ ගැස්‌මේදී 'උ' උත්සාහයෙන්, 'පා' පාපයෙන් මිදී, 'ස්‌ සත්‍ය අවබෝධය පිණිස, 'ක' කළමනාකාරීත්වය හෙවත් කළ යුතු දේ මනා ලෙස කිරීම යනුවෙන් විස්‌තර කළ හැකිය. මේ අයුරින් අවබෝධයෙන් කටයුතු කරන්නේ නම් උපාසක යන පොදු නාමය (උපාසිකාවනට ද සාධාරණ වේ) කියාදෙනු ලබන්නේ උපාසක යනු උට්‌ඨාන වීර්යයෙන් යුතුව සියලු පාපයෙන් මිදී සත්‍ය අවබෝධය පිණිස කළ යුතු දෙය මනා ලෙස කරන්නා බවයි. එසේ නම් නිවනට යන ගමනේදී උපාසක, උපාසිකාවන් කළ යුතු, නොකළ යුතු දේ මොනවාද විමසා බැලිය යුතුය. වැඩිය යුතු, නොවැඩිය යුතු දේ මොනවාද, අනුගමනය කළ යුතු නොකළ යුතු දේ මොනවාද, යායුතු නොයායුතු දේ මොනවාද ආදිය පිළිබඳ උපාසකතුමා දැනගත යුතුය.

පළමුව කළ යුතු දේ මොනවාද බලමු. පළමුව කළ යුත්තේ උපාසක සරණ ගිය බුදුරජාණන් වහන්සේත්, උන්වහන්සේ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් යන තිසරණයට හානි කර නොගැනීමයි. එසේම තිසරණය පිළිබඳව ඇති විශ්වාසය හෙවත් ශ්‍රද්ධාවට හානියක්‌ කර නොගැනීමයි. තිසරණයත්, ශ්‍රද්ධාවත් යන මූලික කාරණා දෙකින් තොර නිවනක්‌, නිවීමක්‌, දුක කෙළවර කිරීමක්‌ බෞද්ධකමක්‌, උපාසක භාවයක්‌, සසරින් නිදහස්‌වීමක්‌ කිසි දිනක සිදු නොවන බව පළමුව දත යුතුය. එබැවින් ඒ කරුණුවලට හානියක්‌ නොවන කටයුතු කළ යුතුය. ශ්‍රද්ධාවේද ප්‍රධාන අංග දෙක වන ආකාරවතී ශ්‍රද්ධාව හා අමූලිකා ශ්‍රද්ධාව යන කාරණා දෙකෙන් ආකාරවතී ශ්‍රද්ධාව මත නිරතුරු සිටිය යුතුය.ආකාරවතී ශ්‍රද්ධාව යනු තුණුරුවන් කෙරෙහි කරුණු හරිහැටි අවබෝධ කර ගෙන මූලික බුද්ධ දේශනා මත පිහිටා කටයුතු කිරීමයි. මේ සඳහා යෝනිසෝ මනසිකාරය ඇති කරගත යුතුය. එවිට උපාසකතුමා හෝ උපාසිකාව ශ්‍රද්ධානුසාරී බවට පත්වීම අනිවාර්යයෙන් සිදුවේ. එය උපාසක තුමා විසින් කරගත යුතු පළමු නිවන් මඟ විවර කර ගැනීමයි.

දෙවනුව දිවි හිමියෙන් ශීලවන්තයකු විය යුතුයි. විශේෂයෙන් ශික්‌ෂා පද ආරක්‌ෂා කළ යුතුයි. තමා සමාදන් වන පංචශීලය, අටශීලය, දස ශීලය ආදී ශීලවල පිහිටා එම ශික්‌ෂා පද සමාදන් වී එම ශීල ආරක්‌ෂා කරගත යුතුය. ශික්‌ෂාපද ඛණ්‌ඩනය කිරීමක්‌, බිඳ ගැනීමක්‌ නොකර ගත යුතුය. ධර්මරත්නය කෙරෙහි මනා ගෞරවයක්‌ ඇති කරගත යුතුය. තථාගත ශ්‍රාවක උතුමන් වහන්සේලාගේ ආහුනෙයියාදී ගුණ දැන පැහැදීම තුළ සිට සිව්පසය ලබාදිය යුතුය. දන් දියයුතුය. උන්වහන්සේලා ගේ ශීල වෘද්ධභාවය, ගුණෝවෘද්ධ භාවය, වයෝවෘද්ධභාවය මත සිට ධර්මය ශ්‍රවනය කිරීම, ධර්මය සාකච්ඡා කිරීම, ධර්මානුකූල ජීවිතයත් ගොඩනගා ගැනීමේ ෙච්තනාව මත පිහිටා ධම්මානුසාරී විය යුතුය. 

මෙකී කටයුතු කරන උපාසකතුමා විසින් තමාගේ චිත්ත සමාධිය ඇතිවන අයුරින් චිත්ත සමාධිය ඇති කර ගැනීමේ පරම අභිලාසයෙන් සමථ, විදර්ශනා භාවනාව ප්‍රගුණ කළ යුතුය. ඒ සඳහා භාවනාව ප්‍රගුණ කරන ලද භාවනාවපිළිබඳ හසල බුද්ධියක්‌ ඇති, ප්‍රගුණ කරන ලද විදර්ශනා ඥනයෙන් හෙබි තථාගත ශ්‍රාවක උතුමන් වහන්සේලා ඇසුරුකළ යුතුය. බුද්ධ මතය පමණක්‌ දේශනා කරන උතුමන් වහන්සේලාගේ උපදෙස්‌ ලබාගත යුතුය.

එසේම නිවීමට යන උපාසකතුමා විසින් උපාසිකාව විසින් නොකළ යුතු නොවැඩිය යුතු, අනුගමනය නොකළ යුතු කාරණාද බොහෝ ඇත. පළමුව කළ යුත්තේ ශ්‍රද්ධාව වෙනුවට ඇති භක්‌තිය අලුයම ලූ කෙළ පිඩක්‌ සේ මුලිනුපුටා දැමීමයි. මේ භක්‌තිය විස්‌තර වන්නේ 

'සැදහැය නම් ගුණ දැන පැහැදීමකි'

'භක්‌තිය යනු බිය මුසු ගෞරවයකි' යනුවෙනි. එනිසා මෙකී භක්‌තිය වන බිය මුසුවූ ගෞරවය ඇති නොවන වැඩපිළිවෙළකට යා යුතුය. ඒ සඳහා උපාසක ජීවිතයේදී භක්‌ති, පූජා භක්‌ති ගීත, බැතිමත් භාවය ඉදිරියේ අසරණ නොවිය යුතුය. භක්‌තිය මත පිහිටා පූජා වට්‌ටිය විසිකළ යුතුය. මිත්‍යා දෘෂ්ටික දෙවියන් ඉදිරියේ යෑදීම නොකළ යුතුය. ඒ සඳහා අනුබල නොදිය යුතුය. පූජා නොතැබිය යුතුය. බුදුරජාණන් වහන්සේට මලක්‌ පුදන විට අත නොසෝදන උපාසකතුමා, මිත්‍යා දෙවි කෙනෙක්‌ ළඟ පූජාවට්‌ටිය තබන්නේ කහ දියරයෙන් ඒවා දෝවනය කිරීමෙනි.මෙවැනි ක්‍රියා උපාසක නොදන්නා භක්‌තියයි.

එමෙන්ම නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං, ධම්මෝ මේ සරණං වරං, සංඝෝ මේ සරණං වරං' යනුවෙන් උපාසකතුමා තථාගතයන් වහන්සේ ඉදිරියේ දිනකට වරක්‌ හෝ දෙවරක්‌ ප්‍රකාශ කරනුයේ තුනුරුවන් පිළිබඳ විශ්වාසයයි. එහෙත් ඒ ප්‍රකාශය කරනු ලබන්නේ අවබෝධයෙන් නොවන බව කිව යුතුය. එබැවින් නිවීමට යන උපාසකතුමා යම් කුසලයක්‌, පිනක්‌ කළ යුත්තේ යෝනිසෝ මනසිකාරයෙනි. අයෝනිසෝ මනසිකාරයෙන් වෙන් විය යුතුය.

එමෙන්ම නිවීමට යන උපාසකතුමා විසින් කිසි විටෙක පාපමිත්‍ර සේවනය නොකළ යුතුය. ආර්ය මහා සංඝරත්නයේ අඩුපාඩු නොසෙවිය යුතුය. මහා සංඝයා විවේචනය කිරීම, ගැරහීම ආදි කටයුතු නොකළ යුතුය. සාංඝික දේපළ පිළිබඳ සොයා බැලීමක්‌, ඒවායේ අඩුපාඩු පිළිබඳ ද්වේෂ සහගතව කතා නොකළ යුතුය. මූලික බුද්ධ දේශනා අකාලික ධර්මයක්‌ බැවින් කාලීන බණ නොඇසිය යුතුය. නොදෙසිය යුතුය. අන්‍යාගමික මත, විද්‍යාත්මක මත, පඬිවර මත, බුද්ධ මතය හා සංසන්දනය නොකළ යුතුය. ශීල, සමාධි, ප්‍රඥ දියුණු කරගත යුතු අතර ශිල, සමාධි, ප්‍රඥ හීනවන අයුරින් කටයුතු නොකළ යුතු අතර, ඉන් පරිබාහිරව කිසිදු මාර්ගයක්‌ නොවැඩිය යුතුය. නොසෙවිය යුතුය.

නිවනට යන උපාසකතුමනි, උපාසිකාවනි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ශීල, සමාධි, ප්‍රඥ යන ත්‍රිශික්‌ෂාව තුළ වර්ධනය වන අරි අට මග ඇසුරු කරන්න. දියුණු කරන්න. ගමන් කරන්න. එවිට මූලික බුද්ධ දේශනාවලින් පිට නොයනු ඇත. එවිට ස්‌ථාවර වන්නේ ශ්‍රද්ධාවයි. ඒ ස්‌ථාවර වූ ශ්‍රද්ධාව අනිත්‍ය බව දකින්න, මෙලොව - පරලොව දෙලොවම යහපත් කරගන්න වෙර දරන්න. එවිට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දුකේ කෙළවර දැකිය හැකිය. භාග්‍යවතුන් වහන්සේගේ විස්‌මිත අවබෝධය පිළිගෙන කටයුතු කර ඒ අමාමහ නිවනට පත්වෙන්න.
ආර්. අනුර ප්‍රියතිස්‌ස
සදහම් සඟරා - Online